බුදුරජානන් වහන්සේගේ උදන් ඇනුමක්
අනෙකජාති සංසාරං සන්‍ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං.
භවයෙහි නැවත, නැවත උත්පත්තිය යම් හෙයකින් දුක් ද, එහෙයින් ආත්මභාව සංඛ්‍යාත ගෙය කරණ තෘෂ්ණා නැමැති වඩුවා සොයන මම (යම් නුවණෙකින් ඔහු දක්නට පිළිවන් ද, ඒ බෝධිඥානාධිගමය පිණිස (දිවකුරු පාමුලැ දී කරණ ලද අභිනීහාර ඇත්තෙම්, මෙ තෙක් කල් මුළුල්ලෙහි නොයෙක් ජාතිකෝටිසහස්‍ර යැ යි කියන ලද සසරවටෙහි (ඒ බෝධිඥානය නො ලබන්නෙම් ම) ච්‍යුතිප්‍රතිසන්‍ධි වශයෙන් නැවත නැවත හැවිද්දෙමි.
ගහකාරක දිට්ඨො’සි පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසඞ්ඛතං
විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා.
(අත්බව් නැමැති මේ ගෙය කරණ තෘෂ්ණා නැමැති) වඩුව, (සර්‍වඥතාඥානය ප්‍රතිවේධ කරණ මා විසින්) දැන් දක්නා ලද්දේ වෙහි. නැවැත (අත්බව්) ගෙයක් තෝ මට නො කරන්නෙහි ය. තාගේ සියලු (කෙලෙස් නැමැති) පරාළයෝ තාක් (නොහොත් සියලු ගෘහොපකරණයෝ මා විසින්) බිඳැ පියන ලදහ. (තා කළ අත්බව් ගෙහි) අවිද්‍යා නැමැති කැණිමඬල (මා විසින් රහත් මඟ නුවණ නැමැති පොරොවින් පළා) විසුරුවා පියන ලදී. දැන් මා සිත (අරමුණු කිරීම් වශයෙන්) නිවනට වන. තෘෂ්ණාවන්ගේ ක්‍ෂය යැ යි කියන ලද රහත්පලයට මම් පැමිණියෙමි.
බුදු වන්නට පිරිය යුතු වූ සියලු දහම් මුළුමනින් සම්පූර්‍ණ කොට, ඒ පිණිස බෝරුක් මුල වැඩ හුන් බුදුරජානන් වහන්සේ එදා ඉර බැස යන්නට පෙරාතු ව මරසෙනග පලවා හැරි සේක. පෙරයම, පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ වසා සිටි අවිදඳුර පා කොට හැරි සේක. මැදියම දිවැස පිරි සිදු කළ සේක. අලුයම සියලු සතුන් කෙරෙහි කරුණායෙන් යෙදී ප්‍රත්‍යයාකාරයෙහි නුවණ බහා එය අනුලෝම - ප්‍රතිලෝම විසින් සලකන සේක්, අරුණ නැගෙත් ම සම්‍යක්සම්බෝධිය අවබෝධ කළ සේක. ඉන් පසු නොයෙක් දහස් ගණන් බුදුවරුන් විසින් අත් නො හැර පැවැත් වූ ප්‍රීතිවාක්‍යය පහළ කරණු පිණිස මේ ගාථාවන් වදාළ සේක:
අනෙකජාතිසංසාරං සන්‍ධාවිස්සං අනිබ්බිසං,
ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං.
.
ගහකාරක! දිට්ඨොසි පුනගෙහං න කාහසි,
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං,
විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගාති.
නැවත නැවත උත්පත්තිය (යම්හෙයකින්) දුක් ද (එහෙයින්) ගෙය කරන්නා වූ වඩුවා සොයන මම නොයෙක් ජාති යි කියූ සසරෙහි බෝධි ඥානය නො ලබන්නෙම් සැරිසරා ඇවිද්දෙමි.
ගෘහකාරකය! (මවිසින් තෝ) දක්නා ලද්දෙහි ය. නැවත (මට) ගෙයක් නො කරන්නෙහි. තාගේ සියලු පරාළයෝ බිඳ දමන ලදහ. කැණිමඩල විසුරුවන ලදි. (මාගේ) සිත නිවණට පැමිණියේ ය. අර්‍හත්ඵලයට පැමිණියෙමි.
අනෙකජාතිසංසාරං = නොයෙක් ජාති යි කියු සසරෙහි.
සසර වනාහි ජාති මෙතෙකින් සැදුනේ ය යි ජාති විසින් මොන ලෙසකිනුත් ගිණිය නො හැකි ය. ජාති විසින් පිරිසිඳිය නො හැකි ය. එහෙයින් සසර ‘අනෙකජාතිසංසාරං’ යි වදාළ සේක.
සන්‍ධාවිස්සං = ඇවිද්දෙමි. ජාතියෙන් ජාතියට ගියෙමි.
මේ වනාහි අතීතකාලයෙහි අනාගත වවනයි. ‘අතීතෙපි භවිස්සන්ති තඞ්කාලවචනිච්ඡයං’ යනු අනුශාසනා ය.
අනිබ්බිසං = නුවණ නො ලබන්නෙම්.
සිවුසස් දහම් දන්නා සිවු මග නුවණ මෙයින් කැමැති වන ලද්දේ ය. ඒ නුවණ නො ලබන්නෙම් නො ද විඳින්නෙම්. මේ එහි අටුවාව. ‘අනිබ්බිසං ඤාණං අවින්දන්තො අලභන්තොයෙව’ යනු.
ගහකාරකං ගවෙසන්තො = ගෙය කරන්නහු සොයන්නා වූ (මම).
මම මේ අත්බව යි කියන ගෙය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා සොයන්නෙම්. ‘සන්‍ධාවිස්සං’ යනු හා සම්බන්‍ධ ය. මෙහි ගහකාරක නම් තෘෂ්ණා ය. අත්බව නැමැති ගෙය ගොඩ නගන බැවිනි. ලෝකයා පිළිගත් ගෙයක් ගොඩ නැගීමෙහි දී ඒ පිණිස ගල් - වැලි - හුණු - මැටි - දැවදඬු ආදී වූ ද්‍රව්‍යරාශියක් යෙදිය යුතු ය. එ මෙන් ම අත්බව යි කියන ගෙය ගොඩ නැගීමේ දී රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන යි ද්‍රව්‍යාද්‍රව්‍යධර්‍ම රාශියක් ඒ පිණිස යෙදෙන්නී ය. සසර උපත දෙන කුශලාකුශලකර්‍ම, තෘෂ්ණාව මුල් කොට හට ගත්තේ ය. අවිද්‍යා - උපාදානාදීන්ගෙන් ද මේ පිණිස උපකාර ඇතත් පංචස්කන්‍ධය ඉපදවීමෙහි ප්‍රධාන වන්නී තෘෂ්ණා ය. ද්‍රව්‍ය අද්‍රව්‍යධර්‍මයන්ගෙන් ගොඩ නැගුනු ඒ මේ ආත්මභාවය ගල් වැලි ආදී ද්‍රව්‍යයන්ගෙන් ගොඩනැගුණු ගෙයක් වැනි හෙයින් ආත්මභාව හැඳින්වීමට ආගමධර්‍මයෙහි ගහ-ගෙය යන නාම යොදන ලද්දේ ය. ගල් වැලි ඈ එක්තැන් කොට ගෙය කරන්නේ වඩුවා ය. රූපාරූප ධර්‍ම එක් තැන් කොට ආත්මහාවසංඛ්‍යාත ගෘහය කරන්නී තෘෂ්ණා ය. එහෙයින් තෘෂ්ණාව වඩුවා වැනි ය. තෘෂ්ණාව හා වඩුවා හා අද දෙදෙන ම ගහකාරකයෝ ය. මෙහිලා ගහකාරක යි කියූවා තෘෂ්ණා ය.
ආත්මභාවසඞ්ඛ්‍යාත ගෘහය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා සොයන්නා වූ මම ඔහු දැකීමට ලබා ගත යුතු වූ බෝධිඥානය ලබා ගණු පිණිස දීපඞ්කරපාදමූලයෙහි දී කරණ ලද පැතුම් ඇති ව දන් ඈ දස පැරුම් දම් මුල් කොට ඇති බුදුකුරුදම් ඇස් - ඉස් - මස් - ලේ - අඹුදරු ඈ හැම සැපත් පුදා, ලොව අනෙකකුට නො යෙදිය හැකි මහත් වීර්‍ය්‍යයක් යොදා සපයමින් ජාතීන් විසින් නිමා කළ නො හැකි මේ සසර ඉපැදෙමින් මැරෙමින් ඔබමොබ ඇවිද්දෙමි.
දුක්ඛා ජාති පුනප්පුනං = නැවත නැවත ඉපදීම දුක් ය.
මම එසේ මුල් පැතීමේ සිට හැම ජාතියක ම ලැබූ හැම සැපතක් ම හැර දමා නොයෙක් කටුක දුක්වලට මුහුණ දෙමින් ගෘහකාරකයා සොය මින් ඇවිද්දෙම්, පුන පුනා ඉපදීම හා මරණය දුක් බැවිනි. ජරාය ව්‍යාධිය මරණය යන මොවුන් හා මිශ්‍රව සිටි බැවින් නැවත ඉපදීම දුක් ය, තෘෂ්ණාව මාර්‍ගඥානයෙන් දක්නා තුරු ම උත්පත්තිය නො නවතින්නී ය. එහෙයින් ඒ තෘෂ්ණාව සොයමින් ඇවිද්දෙමි. “ඉදං ගහකාරකං ගවෙසන්තස්ස පුනප්පුනජානනං වචනං දුක්ඛං. යස්මා ජරාව්‍යාධි මරණමිස්සත්තා ජාති නාමෙසා පුනප්පුන උපගන්තුං දුක්ඛා. න ච සා තස්මිං අදිට්ඨෙ නිවන්තති. තස්මා තං ගවෙසන්තො සන්‍ධාවිස්සං” යනු අටුවා ය.
ගහකාරක = ගෘහකාරකය.
දිටඨොසි = දක්නා ලද්දෙහි ය (තෝ).
සර්‍වඥතාඥානය ලබන්නා වූ මා විසින් තෝ දක්නා ලද්දෙහි ය. සියල්ල දත් නුවණ ය සර්‍වඥතාඥාන නම්.
“සබ්බං අඤ්ඤාසීති = සබ්බඤ්ඤු, සබ්බඤ්ඤුස්ස භාවො = සබ්බඤ්ඤුතා, සා එව ඤාණං සබ්බඤ්ඤුතාඤාණන්ති වත්තබ්බෙ සබ්බඤ්ඤුත ඤාණන්ති වුත්තං” යනු විවරණ යි. සියලු දහම් දත්තෝ සබ්බඤ්ඤු නම්. ඒ මේ සබ්බඤ්ඤු ශබ්දයගේ පැවැත්මට නැගීමට යම් තත්ත්‍වයෙක් කරුණු වී නම්, ඒ සබ්බඤ්ඤුතා නම්. සියල්ල දත්තෙකැ යි දැනුමට කීමට ඔහු පිළිබඳ යම් භාවයෙක් කරුණු නම්, ඒ ය සබ්බඤ්ඤුතා යි කීයේ. ඒ නම් අනෙකෙක් නො ව සියල්ල දැනීම ය. එය සබ්බඤ්ඤුතාඤාණැ යි කිය යුතු වුව ද, එහි සිලුටුබව සලකා සබ්බඤ්ඤුතඥාණැ යි ගන්නා ලදී.
‘සබ්බං අඤ්ඤාසි’ යන විවරණයෙහි එන සබ්බ ශබ්දය ලෝකය පිළිබඳ හැම දෙයක් ම ගත යුතු බව කිය යි. ලෝකයට අයත් හැම දෙයක් ම සඞ්ඛත ය. ලෝකය පිළිබඳ නො වූ පදාර්‍ත්‍ථ, අසඞ්ඛත ය. එ ද මේ සබ්බ ශබ්දයෙහි හෙන්නේ ය. සඞ්ඛත නම්, හේතූන්ගෙන් හට ගත් පදාර්‍ත්‍ථයෝ ය. ඒ නම්, ස්කන්‍ධපංචක ය යි. අසඞ්ඛත නම්, හේතුන්ගෙන් නො හට ගත් පදාර්‍ත්‍ථයෝ ය. ඒ නම් නිවණ ය. මේ සඞ්ඛත - අසඞ්ඛත දෙක සඞ්ඛාර - විකාර - ලක්ඛණ - නිබ්බාණ - පඤ්ඤත්ති යි පසකට බෙදෙන්නේ ය. “සඞ්ඛතාසඞ්ඛතාදිභෙදා සබ්බධම්මා භි සඞ්ඛාරො විකාරො ලක්ඛණං නිබ්බාණං පඤ්ඤත්තීති පඤ්ච ඤෙය්‍යාපථා හොන්ති” යනු අටුවා ය.
කුශලාකුශලාදිහේතුධර්‍ම හා එයින් හට ගන්නා ඵලධර්‍ම සංස්කාර නම්. රූපලහුතා රූපමුදුතා රූපකම්මඤ්ඤතා කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤති විකාර නම්. උපවය සන්තති ජරතා අනිච්චතා ලක්ඛණ නම්. ලෝකය හා මිශ්‍ර නො වූ ලෝකයෙහි ඇතුළත් නො වූ ප්‍රත්‍යධර්‍මබලයෙන් නො උපදින්නා වූ අසංස්කෘත ධාතුව නිර්‍වාණ නම්. යථෝක්තධර්‍මයන් මේ මේ යි හඳුන්වන්නට පැණවුනු සංඥා ප්‍රඥප්ති නම්.
එහි සංස්කාර - විකාර - ලක්ඛණ යන මේ තුණ සඞ්ඛත ය. ප්‍රත්‍යයයන් නිසා හට ගත්තේ ය. නිර්‍වාණ - ප්‍රඥප්ති දෙක අසඞ්ඛත ය. ප්‍රත්‍යබලයකින් නො හට ගත්තේ ය.
මෙයින් පිටත් දෙයක්, මෙහි නො ඇතුළත් දෙයක් නැත්තේ ය. මේ පසෙහි සියල්ල ඇතුළත් ය. දත යුත්තේ ද මෙ පමණ ය. මෙහි ඇතුළත් නො වූ දත යුත්තෙක් කො තැනකත් නැත. දත යුතු හැම මෙහි ඇතුළත් ය. එහෙයින්. මේ පස සකලඥෙය මණ්ඩලැ යි කියනු ලැබේ. සව්නේමඬලෑ යි සිංහල පොතපතෙහි ආයේ ය මේ.
මෙසේ කොටින් කියූ සඞ්ඛත වූ (ප්‍රත්‍යයයන් විසින් උපදවන) පංචස්කන්‍ධය පිළිබඳ අනිත්‍යාදී ස්වභාව හා අසඞ්ඛත වූ, (ප්‍රත්‍යයයන් නිසා නො උපන්) නිවන පිළිබඳ සුඤ්ඤතාදී ආකාර ඉතිරි නො කොට දැනීම සර්‍වඥතාඥාන නමැ යි දන්නේ ය.
“කතමං තථාගතස්ස සබ්බඤ්ඤුතඤාණං?” යන වොදනාවෙහි පරිහාරය, “ සබ්බං සඞ්ඛතමසඞ්ඛතං අනවසෙසං ජානාතීති = සබ්බඤ්ඤුත ඤාණං” යනු යි. සියලු සඞ්ඛත අසඞ්ඛතධර්‍මයන් ඉතිරි නො කොට දන්නා නුවණ සර්‍වඥතාඥාන නමැ යි එයින් කියන ලදි.
නොයෙක් විෂයයන්හි පැවතීම් විසින් සර්‍වඥතාඥානයාගේ භේදය ඉමහත් ය. “අතීතං සබ්බං ජානාතීති = සබ්බඤ්ඤුතඤාණං -පෙ- පච්චුප්පන්නං සබ්බං ජානාතීති - සබ්බඤ්ඤුතඤාණං. තත්‍ථ ආවරණං නත්‍ථිති අණාවරණඤාණං” යනු පටිසම්භිදාපාළියෙහි ආයේ ය. මෙහි අතීතං අනාගතං පච්චුප්පන්නං යන පදත්‍රයයෙන් කියනුයේ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුරාදී වස්තුරූප හා රූපාදී විෂයරූප, එසේ කාල භේදයෙන් සර්‍වඥතාඥානයට විෂය වන බව ය.
“චක්ඛුං චෙව රූපා ච එවං තං සබ්බං ජානාතී ති = සබ්බඤ්ඤුතඤාණං -පෙ- මනො චෙව ධම්මා ච එවං තං සබ්බං ජානාතීති = සබ්බඤ්ඤුතඤාණං තත්‍ථ ආවරණං නත්‍ථිති = අණාවරණඤාණං” යනු ද ආයේ ඔවුන් ස්වරූප විසින් දක්වනු සඳහා ය. චක්ඛු - සෝත - ඝාණ - ජිව්හා - කාය - මන යන වස්තුරූප හා රූප - සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ධම්ම යන විෂයරූප ඔවුන්ගේ ස්වභාව විසින් දැනීම සර්‍වඥතාඥානැ යි කියන ලදී.
“යාවතා අනිච්චට්ඨං දුක්ඛට්ඨං අනත්තට්ඨං තං සබ්බං ජානාතීති = සබ්බඤ්ඤුතඤාණං” රූපවේදනාදී ස්කන්‍ධපංචකය පිළිබඳ අනිත්‍ය - දුඃඛ - අනාත්ම තත්ත්‍වයන්, උන් පිළිබඳ අනිත්‍යාදී ආකාරයන් දැනීම සර්‍වඥතාඥානැ යි කියන ලදී. විස්තර ග්‍රන්ථාන්තරයෙන් දන්නේ ය.
සර්‍වඥතාඥානය ආවර්‍ජනාපතිබද්ධ බැවින් මොහුට ආවරණයෙක් නැත්තේ අනාවරණඤාණ නම් වේ. සර්‍වඥතාඥානය හා සමගතික බැවින් ඒ හා ම අනාවරණඤාණය දක්වන ලද්දේ ය. ධර්‍ම විසින් තත්ත්‍ව විසින් මේ දෙකෙහි විශේෂයක් නැත්තේ ය. සර්‍වඥතාඥානය කිසි ධර්‍මයකින් කිසි පුද්ගලයකු විසින් ආවරණ කරන්නට අවුරන්නට නො හැකි බැවින් අනාවරණඤාණැ යි කියනු ලැබේ. ඇතැම් කෙනෙක් සර්‍වඥතාඥානය සර්‍වාලම්බනික බැවින් මනෝවිඤ්ඤාණය වැනි ය යි ද, ඒ මේ සකලධර්‍ම විෂයයෙහි අප්‍රතිහත හෙයින් කිසිවෙක නො ද හැපෙන බැවින් අනාවරණැ යි ද කියත්.
“යාවතකං ඤෙය්‍ය තාවතකං ඤාණං, යාවතකං ඤාණං, තාවතකං ඤෙය්‍ය, ඤෙය්‍යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්‍යං, ඤෙය්‍ය අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා ඤෙය්‍යපථො නත්‍ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා” යන බුදුවදනින් සර්‍වඥතාඥානයාගේ මහත්ත්‍වය හා ඥෙය්‍යධර්‍මයන්ගේ මහත්ත්‍වය පැහැදිලි වන්නේ ය. දත යුතු දහම් යම් පමණ වේ නම්, ඥානය ද ඒ පමණ වේ. ඥානය යම් පමණ වේ නම්, දත යුතු දහම් ද ඒ පමණ වේ. ඥානය, දත යුතු දහම් කෙළවර කොට සිටියේ ය. දත යුතු දහම්, ඥානය කෙළවර කොට සිටියේ ය. දත යුතු දහම් ඉක්මවා ඥානය නො පවත්නේ ය. ඥානය, ඉක්මවා ගිය ඥෙය්‍යපථයෙක් නැත්තේ ය. ඥෙය්‍ය-ඥාන දෙක උනුන් කෙළවර කොට පවත්නේ ය.
මැනැවින් පියවෙන උඩු යටි දෙ පියන, යට පියන උඩ පියනත් උඩ පියන යටපියනත් ඉක්මවා නො ගොස් උනුන් කෙළවර කොට පවත්නා සේ ඥෙය්‍ය-ඥාන දෙක උනුන් කෙළවර කොට සිටියේ ය.
මෙයින් දැක් වෙනුයේ ද කාමරූපාරූපලෝකයන්හි ලැබෙන තාක් සඞ්ඛතධර්‍ම හා ලෝකයෙන් බැහැර ලැබිය හැකි අසඞ්ඛතධර්‍ම හා එකකුත් නො හැර බුදුනුවණට විෂය වන බව ය. දත යුතු දේ ඇත්තේ බුදුනුවණ පමණට ය. බුදුනුවණ දත යුතු දේ පමණට, ඇත්තේ ය. එකිනෙකට වැඩි බවෙක් මෙහි නැත්තේ ය. මේ නුවණ ‘ සමන්තචක්ඛු’ යි ද හඳුන්වනු ලැබේ. ‘සමන්තචක්ඛු වුච්චති සබ්බඤ්ඤුතඤාණං’ යනු දේශනා ය. කාමාවචර බැවින් ලෞකිකය. මාර්‍ගඵල හා නො යෙදෙන්නේ ලෝකෝත්තර නො වේ.
පුන ගෙහං න කාහසි = නැවත (මට) ගෙයක් නො කරන්නෙහි.
පංචස්කන්‍ධය උපදවන තෘෂ්ණාව, මූලෝච්ඡින්න කළ බැවින් නැවත මට සසර ඉපැත්මෙක් නො වන්නේ ය. සසර ඉපැත්මට කරුණු වන කුශලාකුශලකර්‍මයන්ගේ හට ගැණීමෙක් නො වන්නේ ය. පංචස්කන්‍ධයෙක් නැවත පහළ නො වන්නේ ය.
සබ්බා තෙ ඵාසුකා භග්ගා = තාගේ සියලු පරාළයෝ බිඳින ලදහ. සියලු ගෘහෝපකරණ බිඳ දමන ලදී.
ඵාසුකා නම්, රාගද්වේෂමෝහාදී වූ ඇති තාක් සියලු කෙලෙස් ය, ඔවුහු ආත්මභාවසඞ්ඛ්‍යාත ගෘහයෙහි පරාළ වෙති.
ගහකූටං විසංඛිතං = කැණිමඩල විසුරුවන ලදි.
මෙහි ගහකූටැ, යි කීවා අවිද්‍යා ය. අවිද්‍යාව, ආත්මභාවයට ගෙයකට කැණිමඬල වැනි ය. එහි පල සතරෙහි වූ පරාළ අග් කැණිමඬල හා සම්බන්‍ධ ව පවත්නේ ය. එමෙන් ආත්මභාවය සම්බන්‍ධී වූ රාගාදී ක්ලේශධර්‍මයෝ අවිද්‍යාව හා සම්බන්‍ධව සිටියෝ ය, ඔවුහු අවිද්‍යා හේතුවෙන් ම උපදිත්. ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’ යනු දේශනා ය. අවිද්‍යා නම්, දුඃඛාදීන්ගේ නො දැනීම ය. ඒ මේ අවිද්‍යා නම් වූ කැණිමඬල මා විසින් රහත්මගනුවණ නමැති පොරවින් පළා විසිරුවාපියන ලද්දේ ය.
විසඞ්ඛාරගතං චිත්තං = (මාගේ) සිත නිවණට පැමිණියේ ය, අරමුණු කිරීම් වශයෙන් නිවණට පිවිසියේ ය.
“ඉදානි මම චිත්තං විසඞ්ඛාරං නිබ්බාණං ආරම්මණකරණ වසෙන ගතං අනුපවිට්ඨං” යනු අටුවා ය. දැන් මාගේ සිත අසඞ්ඛතනිබ්බාණයට අරමුණු කිරීම් වශයෙන් පැමිණියේ ය යන අරුති. නිවණ මට අවබෝධ විය, නිවණ මාගේ හිතට වැටහුනි, යනු වදාළ සැටියි.
තණ්හානං ඛයමජ්ඣිගා = තෘෂ්ණාක්‍ෂයට පැමිණියෙමි. අර්‍හත්ඵලයට පැමිණියෙමි.
යමකට පැමිණ යමක් ඇසුරු කොට තෘෂ්ණාව මුළුමනින් ක්‍ෂය වූ නම්, නැවත නො හට ගන්නා පරිදි ගෙවී ගියා නම්, හේ තෘෂ්ණාක්‍ෂය නම්. අර්‍හත්ඵලය යන මෙයින් නිවණ ද කිය වේ. තෘෂ්ණාවගේ අත්‍යන්තය නිරෝධය මෙයින් වන බැවින් එසේ කියන ලද්දේ ය. අර්‍හත්මාර්‍ගයට පැමිණීම හා ම තෘෂ්ණාව නිරවශයෙන් නිරුද්ධ වන්නී ය.
No comments:
Post a Comment