Friday, October 22, 2021

ලෝකවිදූ නම් වන සේක

 


ලෝකවිදූ නම් වන සේක
නිට්ටඹුව, දඹදෙණිය, සාරිපුත්ත,
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ
පීඨාධිපති
කොටගම වාචිස්සර නා හිමි

තුන් ලොව තතු ලෙස ට
දැනගෙන නොදත් මෙලොව ට
දෙසුයෙන් නියම කො ට
ලෝක විදු යයි කියති මුනිඳු ට”

ඒ වීදාගම මහා මෛත්‍රී හිමිපාණන් බුදුගුණාලංකාර නම් පද්‍ය සංග්‍රහයෙහි දී ලෝකවිදූ ගුණය විස්තර කළ අයුරුයි.

නව අරහාදී බුදු ගුණයන්හී පස්වන බුදුගුණය ‘ලෝක විදූ’ ය. වචනාර්ථ ලෙසින් ඉන් කියැවෙන්නේ ලෝකය දැන ගත්තේය යන්නයි. බුද්ධ කාලයෙහි “ලෝක” යන වචනය ඉතා පුළුල් ලෙස විග්‍රහ වූ දාර්ශනික පදනමක් ඇති වචනයකි. නමුත් ඒ එක ද ධර්මයක හෝ දර්ශනයක ප්‍රකාශ නොවන අර්ථ සමූහයක් ම බෞද්ධ ලෝක විග්‍රහයෙහි සූචනය වේ.

ලෝකය පිළිබද අප දන්නේ ඉතා අල්ප වූ දෙයකි. ලෝකය විශාලය. ඒ නිසා අප ලෝකය පිළිබඳ දන්නේම නැත. මහ සයුරෙන් දිය බිඳුවක් මෙනි. ලොව පිළිබඳ අප දන්නේ නොදන්නා දේ මහා සාගරයේ දියමෙනි. පොළොවෙහි වැලිකැට ගණන් කළ නොහැකි ය. නමුත් ලොව පිළිබඳ අප දන්නේ එක් වැලිකැටයක දෙයක් පමණි. නොදන්නා දේ පොළොවෙහි වැලිකැට මෙනි. අප දන්නා දේ නියපිටට ගත් පස් ටිකක් මෙනි. නොදන්නා දේ පොළොවේ පස් මෙනි. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු ලොව සර්වාකාරයෙන් දැන වදාළහ. ඒ නිසාම උන්වහන්සේ “ලෝක විදූ” නම් වන සේක.

“ලෝකය” යනු කුමක්ද? සෑදී තිබෙන්නේ කුමකින් ද? ලෝකය ඇතිවූයේ කෙසේ ද? එය කොතෙක් පැරැණි ද? එහි විශාලත්වය කොපමණ ද? ලෝකයේ ප්‍රභේද මොනවා ද? ආදී ප්‍රශ්න විසඳීමෙන් බුදුරජාණන් වහන්සේ තුළ පැවති ලෝක විදූ ගුණය හඳුනාගත හැකි ය.

බුද්ධ දේශනාවට අනුව ලෝකය යනු සත්ත්වයන් හා අසත්ත්ව වස්තු ලෙස හෙවත් ජීව අජීව ලෙසින්ද, ධාතු හා ගුණ වශයෙන් ඇති සියල්ලයි.

ලෝකය සෑදී ඇත්තේ නාම රූප දෙකිනි. ලෝකය යනු සත්ත්ව සන්තාන යයි. හෙවත් පඤ්චස්කන්ධයම යි. මේ සත්ත්ව සන්තාන හෙවත් පඤ්චස්කන්ධය පිළිබඳ ලෝකය දත් නිසයි බුදුරජාණන් වහන්සේ “ලෝක විදූ” නම් වූයේ. මේ “විදූ” ශබ්දයෙන් කියන්නේ ඒ සත්ත්ව සන්තාන ලෝකය සර්ව ප්‍රකාරයෙන්ම දත් බවයි. සර්ව ප්‍රකාරයෙන්ම දැනීම නම් සභාව,සමුදය ,නිරෝධ ,නිරොධූපාය යන සතරාකාරයෙන් දැන ගැනීමයි. සභාව නම් දුක්ඛ ස්වභාවයයි. සංඛිත්තෙන “පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යන පරිදි වදාළ බැවින් උපාදානස්ඛන්ධ පඤ්චකය දුක්ඛ ස්වභාවයෙන් යුක්ත ය. සමුදය නම් ලෝකයේ හට ගැනීමයි. නැතිවීම නිරෝධයයි. ඊට යොදන උපාධි නිරෝධූපායයි.මෙසේ ස්කන්ධ සන්තතියම සතර මාර්ග ඥානයෙන් සර්ව ප්‍රකාරයෙන්ම අවබෝධ කරගත් නිසා බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ලෝකය ද්වා දසායතනයන්ගෙන් සෑදී ඇත. චක්ඛායතනය, රූපායතනය, සෝ්තායතනය, සද්දායතනය, ඝාණායතනය. ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායායතනය, පොට්ඨබ්බායතනය,මනායතනය, ධම්මායතනය යන ද්වා දසායතනයෝය.

බුදුරදුන් ලොව පහළවන විට ලෝකය පිළිබඳ මිනිසුන් ගෙන තිබුණේ අන් ලොවක වෙසෙන මහා බලගතු මැවුම්කරුවෙකුගේ නිර්මාණයක්, මැවීමක් ලෙසිනි. මහා බ්‍රහ්මයා , ඊශ්වරයා දෙවියන් වහන්සේ ආදි නමින් හැඳින්වූහ. තමන් විසින්ම මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිඳීමටත්. සැපයට පැමිණීමටත් හැකි යැයි සිතූහ. මේ පිළිබඳ ඇති අනවබෝධය දුරුකරගත් බුදුරජාණන් වහන්සේ. ලෝකය කෙනෙකුගේ මැවීමක් නොවන බව දත්, සේක. බීජයෙන් ගසත්, ගසින් බීජයත් ඇති වීමෙන් වෘක්ෂ පරපුර නොසිඳී පවතින මෙන් පළමුවෙන් පහළ වූ සංස්කාර නිසා පසු සංස්කාර පහළවීමෙන් සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍රය පවතින බව බුදුරජාණන් වහන්සේ දැන වදාළහ.

ලෝකය පිළිබඳ ඇති අනවබෝධය නිසා වර්තමානයේ බොහෝ දෙනා මින් පෙර වූවා සේ ලෝකයෙහි අතරමංව ඇත. ලෝකයට අගක් – මුලක් නැති බව දත්, බුදුපියාණෝ එය සෙවීමට නොගොස් ලෝකයෙන් එතෙර වීමට මග කියා දුන් සේක. හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන්ද ඇතිවීමෙන් සසර නොසිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ දත් දේ බොහෝ ය. ප්‍රකාශ කළේ අවශ්‍ය දේ පමණි. වරක් ඇට්ටේරියා වනයේ වැඩ සිටිද්දී අතට ඇට්ටේරියා කොළ මිටක් ගෙන ප්‍රශ්න කළේ මිටෙහි ඇති කොළද වැඩි කැලේ ඇති කොළද වැඩි කියායි. එපරිද්දෙන් තමන් වහන්සේ දත් දහම කැලේ කොළ මෙනි. දෙසූ දහම මිටේ ඇති ස්වල්ප මෙන් බවයි. නියට පස් බිඳක් ගෙන දේශනා කළේද නිය මත ඇති පස් මෙන් දේශනා කළේ ටිකක් බවත්, වටහාගත් දහම පොළොවෙහි පස් මෙන් බවයි.

එබැවින් බුදුරදුන් තුන් ලෝකය පිළිබඳ මනාව දැනගත් උතුමා ය. උන්වහන්සේ නව වැදෑරුම් ලෝකය, අටලෝදහම, සත්ත්ව ලෝක විභජනය ස්වභාව, සමුදය , නිරෝධ, නිරෝධාර්ය වශයෙන් ලෝකය දැන වදාළ හෙයින් ලෝක විදූ නම් වන සේක. මෙලෙසින් බුදුරජාණන් වහන්සේ ලෝකය ඇතැඹූලක් සේ දත් අතර, ලෝකය ලෝක සමුදය, ලෝක නිරෝධය හා ලෝක නිරෝධ ගාමිනී පටිපදාව යන කරුණු ලෝකය අරභයා මනාව දත් බැවින් උන්වහන්සේ ලෝක විදූ නම් වන සේක.

සුගත නම් වන සේක


සුගත නම් වන සේක
නුවරඑළිය පාර පුස්සැල්ලාව
සිරි මන්තින්දාරාම මූලික පිරිවෙනේ ආචාර්ය,
ශාස්ත්‍රවේදී
අඹගහවත්තේ සුධම්මවංශ හිමි

මුළු මහත් ලෝකයාට ම මහත් සැනසීමේ මග වදාළ අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මෙම උතුම් වෙසක් පොහෝ දින අනන්ත අපරිමිත වූ, බුදු කෙනෙකුට ද දේශනා කොට නිම කළ නොහැකි බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ අතරින් සුගත බුදුගුණය පිළිබඳව මෙසේ විවරණය කෙරේ.

“සුගතත්තා සුගත්තත්තා
සෝබනා යස්ස වාගතෝ
ගතත්තා සුන්දරං ථානං
සුගතෝ නාම තේ නමෝ”

සුන්දර සෝබන වූ දහම් වදනින් මුළු ලෝකයාට ම සැනසීම ලබාදුන් නිසා ද, සුන්දර වූ ගමන් විලාශය නිසා ද, නිවන නමැති ක්ෂේම භූමියට පත් වූ නිසා ද, සුගත නම් වන සේක.

කෝට්ටේ යුගයේ වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරයේ සුගත බුදු ගුණය පිළිබඳව මෙසේ සඳහන් වන්නේ,

“යහපත් කොට යෙතැයි
සුන්දර තැනට සැපතැයි
සොඳුරු බස් කියතැයි
කියති ඒ මුනි රජුට සුගතැයි” යනුවෙනි.

බුදුරජාණන් වහන්සේගේ සුගත බුදු ගුණය ආකාර කිහිපයකින් විස්තර කළ හැකි ය. මේ අනුව ගමන් මාර්ගය බොහොම යහපත් ය. සුන්දර වාග් විලාශයෙන් යුක්ත ය. නිවන් මග පෙන්වා දෙන ලද්දා හ. උන් වහන්සේගේ ස්වභාවික ගමන හා නිර්වාණ ගමන අර්ථාන්විත ය. දිව්‍ය මනුෂ්‍ය සැමට යහපතක් සිදු කළේ ය. උන් වහන්සේගේ ගමන් විලාශය පසේ බුදු, මහරහත්, දෙවියන්ට, මිනිසුන්ට සම කළ නොහැක. උන් වහන්සේගේ අනේක ප්‍රාතිහාර සුන්දර වූ ගමන් විලාශය පිළිබඳව අටුවාවේ මෙසේ විස්තර කරයි.

“එවං සබ්බංග සම්පන්නො - කම්පයන්තො වසුන්ධරං
අහේඨයන්තො පාණානි – යාති ලෝකේ විනායකො”

කිසිදු සත්ත්වයෙකුට හිංසාවක් නොකරමින් මහ පොළොව කම්පා කරවමින් දක්ශිණ ශ්‍රී පාදය ඉදිරියට තබා ගමන් කරන උන් වහන්සේට මහ පොළොවේ ඇති ගල් කැට, දුහුවිලි පවා ඉවත් වෙමින් ඉඩ සලසා දුනි. ඇතෙකු කේශර සිංහ රාජයෙකු වැඩම කරන්නාක් මෙන් උන් වහන්සේ ගමන් කරයි. පියවර තබන විට දුහුවිලි මතු වීමක් නොමැත. එමෙන් ම නිවන් මග මිනිසුන්ට අවබෝධ කරදුන් නිසා ද සුගත නම් වූ සේක. ලොව උපන් සියලුම සත්ත්වයෝ මනුෂ්‍ය, තිරිසන්, දිව්‍ය, ප්‍රේත, යක්ෂ වැනි ආත්ම භාවයන් ලබා සසර ගමන් කරන අතර ඔවුන් ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවමින් මරණින් මතු ලොවක් ගැන නොසිතා පස් කම් සැපය ම පමණක් ජීවිතය යැයි සිතමින් දිවි ගෙවති. ඔවුන්ට තමන් සිදු කරන්නේ කුමක් ද යන්න පිළිබඳව අවබෝධයක් නැත. යමෙකු සැනසීම සොයමින් විවිධ ඇදහිලි, විශ්වාස පසුපස ගමන් කරන අතර, තවකෙනකු විමුක්තිය ලැබීමට නම් ජීවිතයට දුකම ලබා දිය යුතු බව සිතා කෑම, බීම නොගෙන, වාසස්ථාන නොසාදවමින්, වස්ත්‍ර පවා නොදරමින් ගවයෙකු, සුනඛයෙකු, එළුවෙකු මෙන් වෘතයන් පිරීමෙන් කයට දැඩි දුක් දෙයි. මොවුන් සියලු දෙනා ම අපාගාමී වන්නාහ. යා යුතු මග, කළ යුතු දෑ, අවබෝධ කරගත යුතු දේ නොදනිති. තථාගතයන් වහන්සේ මෙම අන්ත දෙකම බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාව පෙන්වා දී, කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර ඕඝයන්ගෙන් එතෙරව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගොස් නිවන අවබෝධ කර ගැනීමට මග පෙන්වූ හෙයින් සුගත නම් වන සේක.

එමෙන් ම උන් වහන්සේ දේශනා කළ සෑම කරුණක් ම යහපත් ය. තුන් ලොවට ම යහපතක් සිදු කළේ ය. මහ මුහුදේ ජලය කිනම් තැනකින් ගත්ත ද එකම රසය දැනෙන්නාක් මෙන්, ධර්මයේ ද එකම රසයක් පවතී. එබැවින් මෙම ශ්‍රී සද්ධර්මය දේශනා කළ හෙයින් ද උන්වහන්සේ සුගත නම් වන සේක.

මේ ආකාරයට උන් වහන්සේගේ සුන්දර ගමන් විලාශය, වාග් විලාශය හා නිවන් මඟ පෙන්වා දුන් ඒ සුගත බුදු ගුණය නිසා ම අංගුලිමාල, රජ්ජුමාලා, පටාචාරා, අජාසත්ත රජතුමා, සුනීත සෝපාක, ආලවක යක්ෂයා වැනි දහස් සංඛ්‍යාත පිරිස මානසික සැනසීම මෙන් ම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත් තත්ත්වයට පත් ව සසර සයුරෙන් එතෙර වූ හ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුගත බුදු ගුණයට නමස්කාර වේවා!

- දීපා පෙරේරා


 

Tuesday, October 19, 2021

සීහො සූත්‍රය

 


 සීහො සූත්‍රය  
78
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, මෘගයන්ට රජවූ සිංහතෙම සවස් කාලයෙහි ස්වකීය වාසස්ථානයෙන් නික්මෙයි. නික්මී ඇඟ කිලිපොලයි. ඇඟ කිලිපොවා හාත්පස සිව්දිග බලයි. හාත්පස සිවුදිග බලා තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි.
“මහණෙනි, නාදකරන්නාවූ මෘගයන්ට රජවූ සිංහයාගේ නාදය යම්කිසි තිරිසන්ගත ප්‍රාණීහු අසත්ද, ඔව්හු බෙහෙවින් බියටද, තැති ගැණීමටද, සංවේගයටද පැමිණෙත්. බිලවල වාසය කරන සත්වයෝ බිලවලට පිවිසෙත්. ජලයෙහි වසන සත්වයෝ එහිවූ වාසස්ථානලට පිවිසෙත්. වනයෙහි වසන සත්වයෝ එහි වාසස්ථානවලට පිවිසෙත්. පක්ෂීහු අහසට නැගෙත්.
“මහණෙනි, ගම් නියම්ගම් රාජධානිවල දැඩිවූ වරපට වලින් බඳනාලද රජහුගේ යම් ඒ හස්ථිහු වෙත්ද, ඔව්හුද ඒ බන්ධනයන් සිඳගෙන බිඳගෙන මලමුත්‍ර හෙලමින් ඒ මේ අත පලායත්.
“මහණෙනි, තිරිසන්ගත සතුන් අතුරෙහි මෘගයන්ට රජවූ සිංහතෙමේ මෙසේ මහත් ඍද්ධි ඇත්තේද, මෙසේ මහේශාක්‍යවූයේද, මෙසේ මහත් ආනුභාව ඇත්තෙක්ද වෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි අර්හත්වූ අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දත්තාවූ, අති උතුම්වූ පුරිසදම්ම සාරථිවූ දෙවි මිනිසුන්ට ශාස්තෲවූ චතුස්සත්‍යයාවබෝධකළාවූ භාග්‍යවත්වූ තථාගතයන් වහන්සේ යම් කලෙක්හි ලොව උපදීද, ඒ භාග්‍යවත්තෙමේ ‘මේ රූපය වෙයි. මේ රූපයාගේ හේතුව වෙයි. මේ රූප නිරෝධයයි.
‘මේ වේදනාව වෙයි, මේ වේදනාවේ හේතුව වෙයි, මේ වේදනාවේ නිරෝධයයි.
‘මේ සංඥාව වෙයි, මේ සංඥාවේ හේතුව වෙයි, මේ සංඥාවේ නිරෝධයයි.
‘මේ සංස්කාරයෝය. මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නිරෝධයයි.
‘මේ විඥානයය, මේ විඥානයාගේ හේතුවය, මේ විඥාන නිරෝධයයි’ දහම් දෙසයි.
“මහණෙනි, දීර්ඝායුෂ ඇති වර්ණවත්වූ, සැප බහුලවූ, උසස් විමානවල වාසය කරන්නාවූ යම් ඒ දෙවියෙක් වෙත්ද, ඔව්හුද තථාගතයන් වහන්සේගේ ධර්මදේශනාව අසා ‘පින්වත්නි, අපි වනාහි අනිත්‍යවූවාහුම නිත්‍යයයි සිතුවෙමු.
‘පින්වත්නි, අපි වනාහි අස්ථිරවූවාහුම ස්ථිරයයි සිතුවෙමු.
‘පින්වත්නි, අපි වනාහි අසදාකාලිකවූවාහුම සදාකාලික යයි සිතුවෙමු.
‘පින්වත්නි, අපි වනාහි අනිත්‍යවූ අස්ථිරවූ සදාකාලික නොවූ පඤ්චස්කන්ධයෙන් යුක්තවූවෝ වෙමුයයි. බොහෝසේ බියට තැති ගැනීමට සංවේගයට පැමිණෙත්.
“මහණෙනි, මෙසේ තථාගතතෙමේ දෙවියන් සහිත ලෝකයා අතරෙහි මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහේශාක්‍යවූයේ මෙසේ මහත් ආනුභාව ඇත්තේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. ශාස්තෲවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මෙසේ වදාළේය.
“දෙවියන් සහිත ලෝකයාගේ ශාස්තෲවූ අප්‍රති පුද්ගලවූ බුදුරජතෙමේ පඤ්චස්කන්ධයද, පඤ්චස්කන්ධයාගේ හේතුවද හටගැන්මද, පඤ්චස්කන්ධ නිරෝධයද, දුක් සංසිඳීමට පමුණුවන්නාවූ, ආර්ය අෂ්ටාංගික මාර්ගයද දැන ධර්මචක්‍රය පැවැත්වීමද,
“එකල දීර්ඝායුෂ්කවූ වර්ණවත්වූ යසස් ඇත්තාවූ යම් ඒ දෙවියෝවූවාහුද, ඔව්හු කෙලෙසුන්ගෙන් මිදුනාවූ ගුණයෙන් යුක්තවූ රහතුන් වහන්සේගේ දේශනාව අසා ‘පින්වත්නි, පඤ්චස්කන්ධය නොයික්ම සිටියාවූ අපි වනාහි අනිත්‍යයම්හයි’ අවශෙෂ සිවුපාවුන් සිංහයාට යම්සේද එමෙන් භයපත්වූවාහු තැති ගැනීමට පැමිණියාහු වෙති.”



විජ්ජාචරණසම්පන්න නම් වන සේක


විජ්ජාචරණසම්පන්න නම් වන සේක
මල්වතු මහාවිහාරීය කාරක සංඝ සභික
අනුරාධපුර ශ්‍රි ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති
වැලිවිට සෝරත හිමි

බුදුරජාණන් වහන්සේ ගේ අපරිමිත වූ ගුණ සමුදාය පිළිබඳව මඳක් හෝ නොදන්නා කෙනෙකුට උන්වහන්සේ පිළිබඳ ව මෙනෙහි කරමින් බුදුගුණ භාවනාව කළ නොහැකි ය. ප්‍රාඥයින් අතර අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ දිනක් “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තරම් ගුණසම්පන්න කෙනෙකු මේ තුන් ලෝකයේම නොවු විරූය” යනුවෙන් ප්‍රකාශ කළ විට එසේ ප්‍රකාශ නොකළ යුතු බවත් පෙර බුදුවරයන් වහන්සේලා ද මේ ගුණයන්ගෙන් ම යුක්ත වූ බවත් වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ නමක් තුළ ඇති ගුණ සමුදාය තවත් බුදුවරයෙක් වර්ණනා කළ ද දීර්ඝ වූ කල්පය ගෙවී ගියත් බුදුගුණ කියා අවසන් නොවන බව උන්වහන්සේ ම වදාරා ඇත.

බුද්ධෝ ‘පි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ
ඛියෙථ කප්පෝ වීර දීඝමන්තරෙ
වණ්ණෝ න ඛීයෙථ තථාගතස්ස

මෙසේ අනන්ත වූ බුදුගුණ අතරින් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් භාවනානුයෝගීව සිටින පුද්ගලයාට මෙලොව හා පරලොව දියුණුව ඇතිකර ගත හැකි ය. නව අරහාදී බුදුගුණවලින් තෙවෙනි බුදුගුණය වන්නේ “විජ්ජාචරණ සම්පන්න” බුදුගුණය යි. විද්‍යාවන්ගෙන් හා චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ යන අදහස එහි ඇත. විද්‍යා යනු දැනීම යි. චරණ යනු පාදය යි. ආර්ය විද්‍යාව ලැබීමට හා නිවන් අවබෝධ කරගැනීමට උපකාරි වන සීලාදී ගුණධර්ම සමූහය වෙත යාමට පයක් වැනි හෙයින් එය චරණය යැයි කියනු ලැබේ.ඒ අනුව සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවෙන් සීලය හා සමාධිය චරණයට අයත් වන අතර, ප්‍රඥාව විද්‍යාවට අයත් වේ.

මෙහි ත්‍රිවිද්‍යා යනු තමන්ගේ හා අන් අයගේ පෙර ඉපිද සිටි ජාති පිළිවෙල නම් ගොත් ආදී වශයෙන් දක්නා වු පුබ්බේනිවාසානුස්සතියත්, දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක හා අපාය ආදී නොයෙක් භවයන්හි කර්මානුරූපීව ඒ ඒ සත්ත්වයා උපදින තැන් දැකීමට හැකි දිබ්බචක්ඛු හෙවත් දිවැසත්, දුක්ඛ සමුදය, නිරෝධ හා මාර්ග වශයෙන් දැක්වෙන චතුරාර්ය සත්‍යාවබෝධය තත් වු පරිද්දෙන් දැක කාමාදී ආශ්‍රවයන් ප්‍රහීණ කොට නිවන් අවබෝධ කරගන්නා අර්හත් ඤාණ මාර්ගය හෙවත් ආසවක්ඛය ඤාණයත් යන ත්‍රිවිද්‍යාවන් ලැබීමයි. මෙම ත්‍රිවිද්‍යාව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ආකාරය මජ්ක්‍ධිම නිකායේ බයභේරව සූත්‍රයේ පෙන්වා දී ඇත.

“අයං ඛො මෙ බ්‍රාහ්මණ රත්තියා පඨමෙ යාමෙ පථමා විජ්ජා අධිගතා අයං ඛො මෙ බ්‍රාහ්මණා රත්තියා මජ්ක්‍ධිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා අයං ඛො මෙ බ්‍රාහ්මණ රත්තියා සච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා”

බ්‍රාහ්මණය මම රාත්‍රියේ පළමු යාමයේ පළමු විද්‍යාවත්, මධ්‍යම යාමයේ දී දෙවන විද්‍යාවත්, පශ්චිම හෙවත් අළුයම කාලයේ තෙවෙනි විද්‍යාවත් අධිගමනය කරන ලදී.

මෙය බුදුන්ට පමණක් නොව රහතන් වහන්සේලාට ද අවබෝධ කරගත හැකි ඤාණයකි. එහෙත් බුදුරදුන් තුළ මේ සම්බන්ධයෙන් ඇති ඤාණය අනෙකුත් රහතන් වහන්සේලාට වඩා වැඩි ය. උදාහරණයක් ලෙස බුදුරදුන්ට පෙර භවයන් දැකීමේ ඤාණය එකවර භව පන්සියයක් දක්වා හෝ දැකිය හැකි ය. එහෙත් රහතන් වහන්සේලාට පෙර භවයන් දැකිය හැකිවන්නේ එක් එක් භවයන් අනුව යමිනි.

මීට අමතරව අම්පටියා සූත්‍රයේ දී අෂ්ඨ විද්‍යා යනුවෙන් දේශනා කර ඇති අතර ඒවා සාමඤ්ඤඵල සූත්‍රයේ දී ශ්‍රමණ තත්ත්වයෙහි ප්‍රතිඵල හැටියටත් දක්වා තිබේ. නාම රූප ධර්ම (පඤ්චස්ඛන්ධය, ෂඩ් ආයතන, දොළොස් ආයතන හා අෂ්ඨාරස ධාතු) හා ඒවා අනිත්‍ය වශයෙන් දැකීමේ ඤාණය වන විදර්ශනා ඤාණය ඉන් පළමුවැන්නයි. තමන්ගේ ශරීරය තුළ තමා හා සමාන වූ රූපකායත් මෙන්ම අන් අයගේ ශරීර විශාල ප්‍රමාණයක් යම් සේ නිර්මාණය කොට කොපුවක තිබූ දෙයක් ඉන් පිටතට ගන්නාක් මෙන් සිදුකිරීමේ ශක්තිය ඇති මනෝමය ඍද්ධි ඤාණය දෙවැන්නයි. (මට්ටකුණ්ඩලී වෙත යැවූ බුද්ධ රූපයත්, චුල්ලපන්ථක තෙරුන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමේ හැකියාවත් මින් අදහස් කෙරේ) යමක මහා ප්‍රාතිහාර්ය සේ ම, තම ශරීරයෙන් ගිනිදැල් පිටකිරීම, දුම්පිට කිරීම, බර දෙයක් සැහැල්ලු කොට රැගෙන යාම,වැසි සුළං ආදිය ඇතිකරලීම වැනි බොහෝ අවස්ථාවලදී පෑමට ඇති හැකියාව වූ ඉද්ධිවිධ ඤාණය තෙවැන්නයි. සාමාන්‍ය කෙනෙකුට නො ඇසෙන සියුම් ශබ්ද, ඉතා දුර සිට කියන්නා වූ දෙය ළග සිටියාක් මෙන් ඇසීමේ හැකියාව, බඹලොව පරසක්වල ආදි සියලු සතුන්ගේ ශබ්ද ඇසීමේ හැකියාව පියවි කනට නොඇසෙන ශබ්ද පවා ඇසීමේ හැකියාව ඇති දිව්‍යලෝක ඤාණය සිව්වැන්නයි. අන් අය සිතන පතන ආකාරය දැනගැනීමේ හැකියාව ඇති පරචිත්තවිජානන ඤාණය පස්වැන්නයි .පෙර විසූ ජාතීන් පිළිබඳ දැන ගැනීමේ හැකියාව ඇති පුබ්බේනිවාසානුස්සති ඤාණය සයවැන්නයි. සියලු ලෝක සත්ත්වයින් බැලීමේ හැකියාව ඇති දිබ්බචක්ඛු ඤාණය සත්වැන්නයි. සියලු කෙලෙස් නසා උතුම් අර්හත්වයට පත්වීමේ ඇති හැකියාව වන ආසවක්ඛය ඤාණය ලැබීම අටවැන්නයි. මෙසේ ත්‍රිවිද්‍යාවන්හි ඇති කොටස් තුනක් එකතුව අෂ්ඨ විද්‍යාවන් ඇති බව දේශනා කර තිබේ.




 

Sunday, October 17, 2021

සම්මා සම්බුද්ධ නම් වන සේක


සම්මා සම්බුද්ධ නම් වන සේක
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

වෙසක් පුර පසළොස්වක පොහෝ දවස සමස්ත ලෝකයට ම සුවිශේෂී දවසක්. දඹදිව රාජ්‍යයේ බුද්ධ ගයා ශුද්ධ භූමියේ දී සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය සිදු වීම මුල් කරගෙන, හතළිස් පස් වසක් දේශනා කළ ධර්මය මුලු මහත් ලෝකයා ම ශ්‍රවණය කරලා, සමස්ත ලෝකය පුරාවට ම බුදුරජාණන් වහන්සේගේ නම ප්‍රචලිත භාවයට පත් වුණා. එවැනි උත්තරීතර තත්ත්වයට පත්වීමේ මූලික ම දේ තමයි, බුදුරජාණන් වහන්සේ ළඟ තිබෙන විද්‍යමාන ගුණ.

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ...යන පාඨයේ බුදු ගුණ නවයක් තිබෙයි. එයින් සම්මා සම්බුද්ධෝ ගුණය යනුවෙන් සඳහන් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් බැවිනි. දුක්ඛ සත්‍ය අවබෝධ කළ නිසා, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, දුක්ඛ දුක, දෝමනස්ස දුක , උපායාස දුක, පංචස්ඛන්ධ දුක සහිත මේ සකල දුක අවබෝධ කළ නිසා බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධ යනුවෙන් ව්‍යවහාර කරනවා. එසේ ම සිතෙහි බලපවත්වන තෘෂ්ණාව සමුදය සත්‍ය යැ’යි කියනු ලබනවා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව, රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ස්පර්ශ තණ්හාව, ධම්ම තණ්හාව , අතීත තණ්හාව, අනාගත තණ්හාව, වර්තමාන තණ්හාව , අධ්‍යාත්මික තණ්හාව, බාහිර තණ්හාව යන එකසිය අට වැදෑරුම් තෘෂ්ණාව මනාකොට අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් ව්‍යවහාර කරනවා. දුක පිරිසිඳ අවබෝධ කරගෙන , සමුදය සත්‍ය ප්‍රහාණය වුණහම, නිවන අවබෝධ වුණා.

නිර්වාණය සිත, ගත නිවා සනසා දෙන වාසනාවක්. ඉපදීම මුළුමනින් ම නතර වෙනවා. එවිට ජාති, ජරා, මරණ, ආදී සියලු ම දුක් නතර වෙනවා. සිත නිවනට ප්‍රවිෂ්ඨ වෙනවා. නැවත උපතක් සිදු වන්නේ නැහැ. ඒ නිසා නිර්වාණය, තණ්හාව ක්ෂය වීම යි යනු වෙයි. ඉපදීමක් නැති නිසා අජාති නම් නිර්වාණය, ජරාවක් නැති නිසා අජර නම් නිර්වාණය, ලෙඩ රෝග නැති නිසා අව්‍යාධි නම් නිර්වාණය , මරණයක් නැති නිසා අමත නම් නිර්වාණය , ඇඬීම නැති නිසා අශෝක නම් නිර්වාණය , වැළපීමක් නැති නිසා අපරිදේව නම් නිර්වාණය, කායික දුකක් නැති නිසා අදුක්ඛ නම් නිර්වාණය, මානසික දුකක් නැති නිසා අදෝමනස්ස නම් නිර්වාණය, දැඩි ආයාසයක් නැති නිසා අනුපායාස නම් නිර්වාණය, අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් අමතනවා. එසේ ම නිවන අවබෝධ කර ගැනීම සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මධ්‍යම ප්‍රතිපදාවෙන් ම ගමන් කොට වදාළා. උතුම් වූ , යහපත් වූ , ශ්‍රේෂ්ඨ වූ අර්ථයෙන් සම්මා වදන ප්‍රකාශ වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි, ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් ව්‍යවහාර කරනවා. බුදුරජාණන් වහන්සේ සෝවාන්, මාර්ග ඵල සකදාගාමී මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල, අරිහත් මාර්ග ඵල, නිර්වාණය යන නව ලොවුතුරා ධර්මය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් හඳුන්වනවා. සංඛාර (හේතූන් හට ගන්නා දේ), විකාර (වෙනස්වන දේ), ලක්ෂණ ( ඒ ඒ දෙයෙහි ලක්ෂණය), පංඤප්ති(පැනවීම), නිබ්බාණ (නිර්වාණය) ආදිය ‘පංචවිධ ඤේ‍යය මණ්ඩලය’ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ ම අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධෝ යනුවෙන් හඳුන්වනවා.

සම්මා සම්බුද්ධෝ වගන්තිය දවස පුරාම සිතුවත් වැඩි වන්නේ නැහැ. එය ‘සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ’ යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඉතිපිසෝ පාඨයම මෙනෙහි කළත් හොඳයි, තේරුම ටිකෙන් ටික ඉගෙන ගන්න. එවිට බුදු ගුණ වලින් ලැබෙන ශක්තිය, බලය, සීමාවක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ හැමදාම නැහැ. බොහොම කලාතුරකින් පහළ වෙන්නේ. ඒ උතුමන් වහන්සේලා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් බැබළෙනවා. අසූවක් අනු ව්‍යංජන ලක්ෂණයෙන් බැබළෙනවා. කේතුමාලාලංකාරයෙන්, සවණක් ගණ බුදුරැස් මාලාවෙන් , යාමක් ප්‍රභාවෙන් නිබඳව ම බැබළෙනවා. ගුණ සාගරයකින් සමන්වාගත යි. ඥාන සාගරයකින් සමන්වාගත යි. මහා පුණ්‍ය තේජසකින් සමන්වාගත යි. එවැනි මහා උතුමන් වහන්සේ නමක් වඳින පුදන අපට පුදුම පිනක් ලැබෙනවා. බුද්ධානුස්සති භාවනාවෙන් මෙලොව යහපත, තමන්ගේ ගුණ නුවණ, හොඳින් ලැබෙනවා. එසේම කායික මානසික ශක්තිය වැඩෙනවා. එසේ ම බුද්ධානුස්සති භාවනාව නිවන් පසක් කරන්නට පුළුවන් සුදුසු භාවනාවක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරදෙන සුදුසු භාවනාවක්. අවසානයේ විදසුන් නුවණ පහළ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ හැර සම්මා සම්බුද්ධෝ ගුණය තුන් ලෝක ධාතුවේ ම සොයා ගන්නට නැහැ. එසේනම්, වෙසක් පුර පසළොස්වක පොහෝ දවස සමස්ත ලෝකයට ම යහපත සැලසුන දවසක්. ජාති, ආගම් භේදවලින් තොරව කොයි කාටත් වෙසක් පුර පසළොස්වක දවස පටන් හැකිතාක් බුද්ධානුස්සති භාවනාව සම්පූර්ණ කර, අපායෙන් අත් මිදී සුගතියක ම සිට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කර ගැනීමට හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල

 

ඡන්දරාග සූත්‍රය

 


 ඡන්දරාග සූත්‍රය
25
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපස්කන්ධයෙහි යම් (ඡන්ද රාගයක්) ආලයක් ඇද්ද, එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ රූපය පහ කරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.
“වේදනාවේ යම් ආලයක් ඇද්ද එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ වේදනාව පහකරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.
“සංඥාවේ යම් ආලයක් ඇද්ද එය දුරු කරව්. එසේ කිරීමෙන් ඒ සංඥාව පහකරනලද්දේ, මුල් සිඳිනලද්දේ, සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇතියක් වන්නේය.
“සංස්කාරයන්හි යම් ඇලීමක් වේද, එය දුරු කරව්. එසේ කිරීමෙන් සංස්කාරයෝ පහ කරන ලද්දාහු. මුල් සිඳින ලද්දාහු. සිඳින ලද තල්ගසක් මෙන් කරණ ලද්දාහු. නැතිකරන ලද්දාහු, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තාහු වන්නාහුය.
“විඤ්ඤාණයාගේ යම් ආලයක් ඇද්ද, එය දුරු කරව්. එසේ කිරීමෙන් විඤ්ඤාණය පහකරන ලද්දේ, මුල් සිඳින ලද්දේ, සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇතියක් වන්නේය.”
(හතරවෙනි ඡන්දරාග සූත්‍රය නිමි.



Thursday, October 14, 2021

අරහං නම් වන සේක

 



අරහං නම් වන සේක
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ කරුණා සාගරයකි. ප්‍රඥා සාගරයකි. ගුණ සාගරයකි. උන්වහන්සේගේ බුදුගුණ අසීමිත යි. එක් බුදුරජාණන් වහන්සේ නමක් පිළිබඳව තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් උන්වහන්සේලාගේ ගුණ කල්පයක් පුරාවට වදාළත් කල්පය අවසන් වුවත් බුදුගුණ කියා අවසන් කළ නොහැකි බව ධර්මයේ සඳහන් වෙනවා.

මහ සාගරයට වඩා විශාල, අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් යුතු භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීම සඳහා අප බුදුගුණ පාඨයක් සකස් කරගෙන තිබෙනවා. ඒ බුදුගුණ පාඨයට කියනවා නව අරහාදී බුදුගුණ පාඨය කියලා. අරහාදී කියන්නේ අරහං ගුණයෙන් ආරම්භ කරන නිසා. අරහං ගුණයෙන් ආරම්භ කරලා භගවා ගුණයෙන් අවසන් වන බුදුගුණ නවයක් තිබෙනවා. ඒ බුදුගුණ නවයට කියනවා නව අරහාදී බුදුගුණ කියලා. අසීමිත වූ බුදුගුණ සමුදාය කැටිකොට වන්දනා කිරීමට එසේ ගුණ නවයකට කැටිකොට තිබෙනවා.

නව අරහාදී බුදුගුණ අතර පළමු ගුණය අරහං ගුණය යි. අරහං බුදු ගුණයෙහි තේරුම සුදුසු යි යන්නයි. කුමකට ද සුදුසු? ආමිස පූජාවට සහ ප්‍රතිපත්ති පූජාවට යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ, මිනිසුන්ගේ, බ්‍රහ්මයන්ගේ සියලු ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වූ නිසා උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත යි. මේ ආකාරයට සියලු සත්ත්වයන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසු වූයේ ඇයි? එයට හේතුව අපගේ ශාස්තෘන් වහන්සේ

සියලු කෙලෙසුන්ගෙන් මිදුණ නිසයි. ”අර” කියා පාලියෙන් සඳහන් කරනවා ගරාදිවලට. කෙලෙස් නමැති ගරාදි (ගරාදී කියන්නේ කරත්ත රෝදයක් සවිමත් කරන්න හරහට ගසා ඇති ලීයට යි.) ගරාදිය ශක්තිමත් තරමට තමයි රෝදය කැරකෙන්නේ. අපේ සිතේ කෙලෙස් තිබෙන නිසා තමයි අප මේ සංසාරයේ ශක්තිමත්ව ගමන් කරන්නේ. මේ සංසාර ගමන නැවත්වීමට අරයන් සිඳ දමන්න ඕනේ. උන්වහන්සේ කෙලෙස් අරයන් සිඳලුවා. ඒ වගේම සියලුම කෙලෙසුන් නසා දැමුවා. පාලියෙන් අරි කියන්නේ සතුරාට යි. ඛන්ති කියන්නේ නසනවා, වනසනවා කියන අදහස යි. බුදුරජාණන් වහන්සේ කෙලෙස් නමැති සිතිවිලි සතුරා නසා දැමුවා. ඒ නිසාත් උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ රහසින්වත් පව් නො කළ සේක. සාමාන්‍ය මිනිසුන් පවක් කරලා එය රහසක් ලෙස තිබේවි කියා සිතනවා. නමුත් එය රහසක් ලෙස පවතින්නේ නැහැ. මාරයාත්, දෙවියොත්, තමාගේ සිතත් එය දන්නවා. බුදුරජාණන් වහන්සේ එසේ නොවේ. ඇති තැනත්, නැති තැනත්, එළිපිටත්, සැඟවිලාවත් පවක් සිදු කළේ නැහැ. එනිසා උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත යි.

උන්වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණ සේක. අපගේ ශාස්තෘන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණා වගේම ශ්‍රාවකයාටත් පාපයෙන් වෙන් වෙන්නට උපදෙස් දුන්නා. උන්වහන්සේ සිතින්, කයින්, වචනයෙන් අකුසල් නො කළ නිසා අරහං ගුණයෙන් යුක්ත යි.

තථාගතයන් වහන්සේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක

බුදුරජාණන් වහන්සේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නට පුළුවන්. එදා සිට විශාඛා, අනේපිඬුසිටුතුමා, බිම්බිසාර රජු ආදීන් බුදුන් වහන්සේ ආමිස පූජාවෙන් ඉහළින්ම පිදුවා. ජේතවනාරාමය, පූර්වාරාමය, වේළුවනාරාමය වැනි ආරාම පූජාව දෙස බැලූවිට එය පැහැදිලි යි. ජේතවනාරාමයේ තිබූ ගන්ධකුටිය සාදා තිබෙන්නේ දිව්‍ය විමානයක ආකෘතියක් ලෙස යි. ඒ නිසයි එයට දිව්‍ය රම්‍ය විහාරය කියා හඳුන්වා තිබෙන්නේ. දිව්‍ය රම්‍ය විහාරයටයි සිංහලෙන් දෙව්රම් වෙහෙර කියා කියන්නේ. ඒවාගේ පූජාවන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැහැ. බොහෝ දෙනා ප්‍රතිපත්ති වශයෙන් උන්වහන්සේ පිදුවා. බුදුරජාණන් වහන්සේ වඩාත් සතුටු වුණේ ප්‍රතිපත්ති පූජාවට යි. නමුත් ආමිස පූජාව එපා කියා උන්වහන්සේ වදාළේ නැහැ. එයට හේතුව ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව උපදවා ගැනීමට ආමිස පූජාව උපකාර වෙන නිසයි. මේ සියලු පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසු නිසා උන්වහන්සේ අරහං ලෙස හඳුන්වනවා.

මේ මූලික ගුණ මුල්කරගෙනයි බුදුරජාණන් වහන්සේට අරහං කියන සුවිශේෂී ගුණය භාවිත වන්නේ. එසේ කෙලෙස් වැනසූ නිසා උන්වහන්සේ සියලු පුද පූජාවන්ට යෝග්‍ය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ මිනිස් සමාජය නෙළුම් පොකුණක් වගේ කියලා. මඩ සහිත පොකුණෙන් හට ගන්නා පියුම් මඩෙන් උඩට ඇවිත් වතුරෙන් උඩට ඇවිත් මඩෙත් නො ගෑවී, වතුරෙත් නො ගෑවී ඉහළට ඇවිත් මල පිපෙනවා. එසේ පිපුණාම ඒ මලෙහි සුවඳ දසතම විහිදෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමැති පුෂ්පය,විකසිත වූ විට දුර ඈත සිටින පිරිස පවා පැමිණ ශ්‍රාවකභාවය ලබා ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ සුවඳ ඇතැම් විට මිනිසුන්ට නොතේරුණත් දෙවියන්, බඹුන් නිරන්තරයෙන් උන් වහන්සේට උපස්ථාන කළා. උන්වහන්සේ එසේ වැඳුම් පිදුම් ලැබුවේ අරහං සම්බුදු ගුණය නිසා. සෑමවිටම වැඳුම්පිදුම් ලැබීමට සුදුසු නිසා.

- නයනා නිල්මිණී