සීහො සූත්‍රය
78
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.
“මහණෙනි, මෘගයන්ට රජවූ සිංහතෙම සවස් කාලයෙහි ස්වකීය වාසස්ථානයෙන් නික්මෙයි. නික්මී ඇඟ කිලිපොලයි. ඇඟ කිලිපොවා හාත්පස සිව්දිග බලයි. හාත්පස සිවුදිග බලා තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි.
“මහණෙනි, නාදකරන්නාවූ මෘගයන්ට රජවූ සිංහයාගේ නාදය යම්කිසි තිරිසන්ගත ප්‍රාණීහු අසත්ද, ඔව්හු බෙහෙවින් බියටද, තැති ගැණීමටද, සංවේගයටද පැමිණෙත්. බිලවල වාසය කරන සත්වයෝ බිලවලට පිවිසෙත්. ජලයෙහි වසන සත්වයෝ එහිවූ වාසස්ථානලට පිවිසෙත්. වනයෙහි වසන සත්වයෝ එහි වාසස්ථානවලට පිවිසෙත්. පක්ෂීහු අහසට නැගෙත්.
“මහණෙනි, ගම් නියම්ගම් රාජධානිවල දැඩිවූ වරපට වලින් බඳනාලද රජහුගේ යම් ඒ හස්ථිහු වෙත්ද, ඔව්හුද ඒ බන්ධනයන් සිඳගෙන බිඳගෙන මලමුත්‍ර හෙලමින් ඒ මේ අත පලායත්.
“මහණෙනි, තිරිසන්ගත සතුන් අතුරෙහි මෘගයන්ට රජවූ සිංහතෙමේ මෙසේ මහත් ඍද්ධි ඇත්තේද, මෙසේ මහේශාක්‍යවූයේද, මෙසේ මහත් ආනුභාව ඇත්තෙක්ද වෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි අර්හත්වූ අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දත්තාවූ, අති උතුම්වූ පුරිසදම්ම සාරථිවූ දෙවි මිනිසුන්ට ශාස්තෲවූ චතුස්සත්‍යයාවබෝධකළාවූ භාග්‍යවත්වූ තථාගතයන් වහන්සේ යම් කලෙක්හි ලොව උපදීද, ඒ භාග්‍යවත්තෙමේ ‘මේ රූපය වෙයි. මේ රූපයාගේ හේතුව වෙයි. මේ රූප නිරෝධයයි.
‘මේ වේදනාව වෙයි, මේ වේදනාවේ හේතුව වෙයි, මේ වේදනාවේ නිරෝධයයි.
‘මේ සංඥාව වෙයි, මේ සංඥාවේ හේතුව වෙයි, මේ සංඥාවේ නිරෝධයයි.
‘මේ සංස්කාරයෝය. මේ සංස්කාරයන්ගේ හේතුවය, මේ සංස්කාරයන්ගේ නිරෝධයයි.
‘මේ විඥානයය, මේ විඥානයාගේ හේතුවය, මේ විඥාන නිරෝධයයි’ දහම් දෙසයි.
“මහණෙනි, දීර්ඝායුෂ ඇති වර්ණවත්වූ, සැප බහුලවූ, උසස් විමානවල වාසය කරන්නාවූ යම් ඒ දෙවියෙක් වෙත්ද, ඔව්හුද තථාගතයන් වහන්සේගේ ධර්මදේශනාව අසා ‘පින්වත්නි, අපි වනාහි අනිත්‍යවූවාහුම නිත්‍යයයි සිතුවෙමු.
‘පින්වත්නි, අපි වනාහි අස්ථිරවූවාහුම ස්ථිරයයි සිතුවෙමු.
‘පින්වත්නි, අපි වනාහි අසදාකාලිකවූවාහුම සදාකාලික යයි සිතුවෙමු.
‘පින්වත්නි, අපි වනාහි අනිත්‍යවූ අස්ථිරවූ සදාකාලික නොවූ පඤ්චස්කන්ධයෙන් යුක්තවූවෝ වෙමුයයි. බොහෝසේ බියට තැති ගැනීමට සංවේගයට පැමිණෙත්.
“මහණෙනි, මෙසේ තථාගතතෙමේ දෙවියන් සහිත ලෝකයා අතරෙහි මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහේශාක්‍යවූයේ මෙසේ මහත් ආනුභාව ඇත්තේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. ශාස්තෲවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මෙසේ වදාළේය.
“දෙවියන් සහිත ලෝකයාගේ ශාස්තෲවූ අප්‍රති පුද්ගලවූ බුදුරජතෙමේ පඤ්චස්කන්ධයද, පඤ්චස්කන්ධයාගේ හේතුවද හටගැන්මද, පඤ්චස්කන්ධ නිරෝධයද, දුක් සංසිඳීමට පමුණුවන්නාවූ, ආර්ය අෂ්ටාංගික මාර්ගයද දැන ධර්මචක්‍රය පැවැත්වීමද,
“එකල දීර්ඝායුෂ්කවූ වර්ණවත්වූ යසස් ඇත්තාවූ යම් ඒ දෙවියෝවූවාහුද, ඔව්හු කෙලෙසුන්ගෙන් මිදුනාවූ ගුණයෙන් යුක්තවූ රහතුන් වහන්සේගේ දේශනාව අසා ‘පින්වත්නි, පඤ්චස්කන්ධය නොයික්ම සිටියාවූ අපි වනාහි අනිත්‍යයම්හයි’ අවශෙෂ සිවුපාවුන් සිංහයාට යම්සේද එමෙන් භයපත්වූවාහු තැති ගැනීමට පැමිණියාහු වෙති.”
No comments:
Post a Comment