Wednesday, October 13, 2021

අනිත්‍ය සූත්‍රය

 


 අනිත්‍ය සූත්‍රය  

12

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සඤ්ඤාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඤ්ඤාණය අනිත්‍යයි, මහණෙනි, මෙසේ දක්නාවූ බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයන්හිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නො ඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනුකල්හි මිදුනේය යන ඥානය ඇතිවෙයි. ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි.”

Monday, October 11, 2021

සමුදය සත්‍ය - පඤ්ඤා චක්කය:


සමුදය සත්‍ය - පඤ්ඤා චක්කය:

පරලොවෙන් සසරට
අම්බලන්ගොඩ,
කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනා මාලාවේ ගැඹුරු ම කොටසක් ලෙස සතිපට්ඨාන සූත්‍රය හැඳින්විය හැකි යි. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු සියලුම ලොවුතුරා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන කරුණු රාශියක් වෙයි.

සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ලැබෙන ප්‍රධාන අනුසස් හතක් නිබඳව ම අසනවා, කියවන්න පුළුවන්කම තියෙනවා. භික්ෂු , භික්ෂුණී , උපාසක , උපාසිකා යන කොයි කාගෙත් , දේව, බ්‍රහ්මයන්ගේත් සිත සුව පිණිස සහ තමන්ගේ සන්ථානය පිරිසුදු බවට පත් කර ගැනීමට පළමු ආනිසංසය ලෙස සඳහන් කරන්නේ. මේ භාවනා ක්‍රමය දියුණු කරද්දී කුමන විපතක දී වුවද අඬා, දොඩා, වැළපෙන බව අඩුකර ගන්න පුළුවන්. සතිපට්ඨානයෙන් තොර, ධර්මයෙන් තොර වූවන් ශෝක , පරිදේව , දුක් හමුවේ වුව ද අඬන , වැළපෙන ස්වභාවය වැඩි යි. ඒ නිසා දුක් දොම්නස් පැමිණෙන අරමුණු හමුවේ ඉවසා දරා කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. එය විශේෂ ආනිසංසයක්.

කායික මානසික දුක
එපමණක් නොව, කායික දුක, මානසික දුක බොහෝ දෙනාට ඉවසා දරන්නට අපහසු යි. කායික, මානසික දුක බොහෝ සෙයින් ඉවසා දරන්නට පුළුවන්කම ඇත්තේ සතිපට්ඨාන භාවනා ක්‍රමය දියුණු කර ගැනීමෙනි. එසේ ම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ආදී නිවන් මඟට විශේෂයෙන් බැස ගන්න පුළුවන්. එසේ ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙළින් නිවන අවබෝධ කරන්න පුළුවන්. මෙම ආනිසංස වාරය බුදුරජාණන් වහන්සේ මුලත්, අගත් හොඳින් පැහැදිලි කර තිබෙනවා. එසේනම්, සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු විශේෂත්වය අතර සමුදය කොටස් හය බැගින් දහයක් තිබෙයි. එක කොටසකට කරුණු හයක් වෙයි.ඉන් දහයක් තිබෙන අතර ප්‍රහාණය කළ යුතු කරුණු හැටක් වෙයි. අද සඳහන් කරන්නේ පඤ්ඤා චක්කය යි.

පඤ්ඤාව යනු හැඳින ගැනීම යි. යම් දෙයක් දැන හැඳින ගැනීමට කියන්නේ පඤ්ඤා චක්කය යනුවෙනි. රූප සංඥා , ශබ්ද සංඥා , ගන්ධ සංඥා, රස සංඥා, පොට්ඨබ්භ සංඥා , ධම්ම සංඥා යනුවෙන් දැන හැඳින ගැනීමේ ක්‍රම හයක් තිබෙනවා. ඇස, කන, නාසය, දිව, සිරුර, සිතට ගෝචර වූ දෙයක් වන්නේ මෙම සංඥා හය යි. මේ සංඥා හය හොඳින් ක්‍රියාත්මක වීමෙන් ඒ අරමුණු පිළිබඳව හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා කොයි කවුරු වුණත්, භාවනාවට නැඹුරුව මේ වැදගත් කරුණු හයත්, පෙර භාවනා පාඩම සේ ම සිතෙන් මෙනෙහි කළ යුතු යි. මුලින් ම ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතු යි.

රූප සංඥා යනු රූපය දැන හැඳින ගැනීම යි. ශබ්ද සංඥා යනු ශබ්දය දැන හැඳින ගැනීම යි. සුවඳ දැන හැඳින ගැනීම ගන්ධ සංඥාව යි. දිවට දැනෙන රස දැන හැඳින ගැනීම රස සංඥාව යි. තමන්ට දැනෙන ස්පර්ශය කුමක් දැ’ යි දුක හෝ සැප හෝ තේරුම් කර ගැනීම, දැන ගැනීම පොට්ඨබ්බ සංඥාව යි. අනෙක් සියලු ම දේ දැන හැඳින ගැනීම සිදු වන්නේ මනසින්. එය ධම්ම සංඥාව යි. එසේනම්, මෙම සංඥා හය පෙර සේ ම හොඳට දැන කියාගෙන, අවබෝධයෙන් , තේරුම හොඳින් වටහාගෙන භාවනාවට නැඟිය යුතු යි.

රූප සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රූප සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර සිතෙන් මෙනෙහි කළ යුතු යි. ශබ්ද සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ශබ්ද සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ගන්ධ සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ගන්ධ සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා රස සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ස්පර්ශ එනම් පොට්ටබ්භ සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා පොට්ඨබ්භ සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ධම්ම සංඥාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ධම්ම සංඥාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර පෙර සේ ම මෙනෙහි කළ යුතු යි. සංඥා චක්කය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා සංඥා චක්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් අවසානයේ සිය දහස්වර මෙනෙහි කළ යුතු යි. එය තම සිතට විශාල ශක්තියක්.භාවනාවෙන් කෙරෙන නීවරණයන්ගේ සංසිඳීම ඉතා පහසුවෙන් යට කරගන්න පුළුවන්කම තියෙනවා. එසේම තම සිත දියුණු තියුණුවෙන් පාරමී ශක්තිය දියුණුවෙන් මාර්ග ඵල අවස්ථාවට පවා සමීප වීමට පුළුවන්කම තියෙනවා. තව ද බෝධි පාක්ෂික ධර්මයන් චිත්ත වීතියක් ගානේ , භාවනාව මෙනෙහි කරන වරක් පාසා ම සිතේ දියුණු වෙනවා. පහළ වෙනවා. සතිපට්ඨාන සතර, සම්‍යයක් ප්‍රධාන සතර, ඍද්ධිපාද සතර, ඉන්ද්‍රියන් බල පහ, බොජ්ඣංග හත සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී කරුණු තිස් හත එකක් පාසා ම මෙනෙහි කිරීමේ දී සිතෙහි පහළ වෙද්දී කුසල ශක්තිය බල සම්පන්න වන අතර, කරගෙන යන භාවනා පාඩම හොඳින් කළ හැකියි.

ත්‍රිලක්ෂණය
ඒ නිසා කොයි කවුරු වුණත් භාවනා පාඩම හොඳින් තේරුම් ගෙන , ගැඹුරු බව නො සිතා තේරෙන සේ මෙනෙහි කළ යුතු යි.එකක් මෙනෙහි කළත් ප්‍රමාණවත්. හයම නැතත් රූප සංඥාව අනිත්‍ය යි යනුවෙන් සිතුවත් ප්‍රමාණවත්.

අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රය බුදු කෙනෙකුගෙන් අසනවා මිස වෙන කාගෙන්වත් අසන්නට බැහැ. බුදුන් වහන්සේ දේශනා කළ නිසා තමයි, භික්ෂූන් වහන්සේලා ද ඒ අනුසාරයෙන් දේශනාව පවත්වන්නේ බුදු දහමට අනුකූලව.

ඕනෑම දෙයක අවසානය වන්නේ නැති වී යාම යි. ඉපදෙනවා, පවතිනවා, විනාශ වෙනවා . මෙය යි, අනිත්‍ය ලක්ෂණයේ උගන්වන්නේ. යමක් ඇතිවී නැතිවෙලා යනවා නම්, කොයි කාටත් දුක යි. එය යි දුක්ඛ ලක්ෂණය. මගේ යනුවෙන් කුමන දෙයක්වත් තියා ගන්න බැරි නිසා අනාත්ම වශයෙන් හඳුන්වනවා. මෙය බොහොම ගැඹුරු කාරණාවක්. යම්කිසිවෙකුට මේ වදන් තුන තේරෙනවා නම්, හොඳ නුවණක් තමන්ට ඇති බව පැහැදිලි ව තේරුම් ගත යුතු යි. එයම යි, චතුරාර්ය සත්‍ය අවබෝධ සඳහා හේතු වන්නේ.

තමන්ට වාඩිවෙලා මේ භාවනාව කරන්න අපහසුනම්, රැකියාවට යන එන විට දී, කඩපිළට යන මොහොතේ දී, වාහනයක අසුන්ගෙන යන අවස්ථාවක දී මේ කරුණු ටික එකක් පාසා ම මෙනෙහි කළ යුතු යි. වැඩි යමක් අපහසුනම්, තණ්හාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළත් ඇති. එය ද සමුදය සත්‍ය ප්‍රහාණයට, දුක අවබෝධ කර ගැනීම පිණිස හේතු වෙයි.

සිහිනුවණ
මේ කරුණු හොඳින් දැන ගැනීමෙන් ඔබ අප හැම දෙනාටම මේ ධර්මය පිළිබඳ ව හොඳින් වටහා ගත හැකි යි. සතිපට්ඨාන සූත්‍ර දේශනාව යම් පිරිසකට අයත් දෙයක් නො වන අතර, එය සැමට ම අයත් දෙයක්. සති යනු සිහි කල්පනාව යි. පට්ඨාන යනු එළැඹීම යි. සිහි නුවණින් වැඩ කටයුතු කිරීම සතිපට්ඨාන නම් වෙයි.

බුදුරජාණන් වහන්සේ සෑම ඉරියව්වක් ම සිහියෙන් පවත්වන්නැ’යි මෙම දේශනාව පවත්වා තිබෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ පවත්වා වදාළ භාවනා ක්‍රමය නියමානුකූලව ගෙන යන්නට නුවණ අවශ්‍ය වන්නේ. සිහි නුවණින් යුක්තව කරගෙන යන භාවනා කටයුතු සාර්ථකව නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා.

රාහුල ස්වාමීන් වහන්සේ භාවනා කර්මස්ථාන හතක් දියුණු කර තිබෙනවා. මෛත්‍රිය භාවනාව, කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ෂා භාවනාව , කායගතාසති භාවනාව, ආනාපාන සති භාවනාව සහ අනිත්‍ය, දුක්ඛ , අනාත්ම යන ත්‍රිලක්ෂණ භාවනාව යි. එවැනි භාවනා හතක් දියුණුවෙන් උන්වහන්සේ රහත් බව ලැබුවා. ඒ අනුව භාවනා ක්‍රම ඉගෙන මෙනෙහි කළ යුතු යි. පුරුදු පුහුණු ගතිය වැඩිකළ යුතු යි.

සතිපට්ඨාන සූත්‍රයේ භාවනා ක්‍රම විසි එක යි. එය වැඩි බව නොසිතා ම හොඳට දැන ඉගෙන ගෙන දියුණු කළ යුතු යි. එය තමන්ගේ ම වාසනාව, තමන්ගේ ම දියුණුව පිණිස පවතින්නේ. එසේනම්, තමන්ගේ භාවනා දැනුමෙන් සිදු වන්නේ සංයෝජනයන්ගේ ප්‍රහාණය වීමක්. සිතේ බල පවත්වන සංයෝජන දහයක්. මේවා තුරන් කරගන්න, පුළුවන්කම තියෙනවා. තමන්ගේ සිත්වල පහළ වන්නා වූ තමන්ගේ ශරීරයේ තිබෙන්නා වූ සැක සාංකාව දුරු කර ගන්න. මමත්වය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. වැරැදි මත, දෘෂ්ඨි දුරු කරගන්න පුළුවන්. එසේ ම කාමරාග, ව්‍යාපාද දෙක සංසිඳුවා ගන්න පුළුවන්. රූප රාග, අරූප රාග , මාන්නය, උද්දච්ච, අවිද්‍යා, සංයෝජන පහත්, යටකරගන්න පුළුවන්.

තමන්ට ශක්තියක්
එවිට මේ සංයෝජනයන්ගේ ප්‍රහාණය වීම භාවනාවෙන් සිදු කරගන්නේ. එසේම අනුසය හතක් ද තිබෙයි. එනම්, සැඟවී ඇති පව් හතක් තිබෙනවා. මේ පව් ගැළවී, ඉවත් වී සේදී යන්නේ භාවනා ක්‍රමයෙන් පමණ යි. ඒ නිසා කවුරුත් භාවනාවට මුල් තැන දී දවසට විනාඩි පහ දහයක් වුවත් , ඒ භාවනා ක්‍රමය දියුණු කරගත්තොත්, තමන්ට විශාල ශක්තියක් ගොඩ නංවා ගන්න පුළුවන්. සංසාරයේ කොතැනකවත් සැප යැ’යි බුදුරජාණන් වහන්සේ දේශනා කර නැහැ. මනු ලොව, දෙව් ලොව, බඹ ලොව සැවොම මිය යනවා. සතර අපායේ නම් සෑම තැනම ඇත්තේ දුක ම යි. මේ ගැන හොඳින් වටහාගෙන කොයි කවුරුත් බණ, භාවනා ක්‍රම වැඩි කරගත යුතු යි. සීල ආදී ප්‍රතිපත්ති ටික වැඩි කරගත යුතු යි. විශේෂයෙන් ඉවසීම , කරුණාව, මෛත්‍රිය , දයාව , අනුකම්පාව , අවංකකම, නිහතමානී බව , නුවණ , උත්සාහය ආදී කරුණු ටික අනිවාර්යෙන් ම කවුරුත් දියුණු කරගත යුතු යි. එවිට තමන්ට විශාල ශක්තියක් බලයක් ගොඩනංවා ගන්නට පුළුවන්. බුදු දහමෙන් ලබාගත යුතු ඒ සියලුම කරුණු ටික ලබා ගැනීම තම තමා සතු පරම යුතුකමක්. මේවා වැඩිදියුණු කරගැනීම තමන් සතු යුතුකමක්. ඒ ධර්මය කෙතරම් දියුණු කළත්, අපතේ නො යයි. මෙලොවෙන් පරලොවට, පරලොවෙන් සංසාරයට යයි. සංසාර ගමන කෙටි කරනවා, ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් කරනවා. ඒ තරම්ම වටිනා දහමක් තිබෙන්නේ. ඒවා පුළුවන්තරම් දියුණු තියුණුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කරගන්නට පඤ්ඤා චක්ක භාවනාවත් හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල


 

ඇලීම් ගැටීම් හමුවේ සිහිය පැවැත්වීම


ඇලීම් ගැටීම් හමුවේ සිහිය පැවැත්වීම
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

මේ ලෝකයේ ඉපදුන අප සෑම දෙනාම නිරන්තරයෙන් ම කවර හෝ වේදනාවකට යටත්වයි ජීවත් වෙන්නේ. එනිසා වේදනා යනු කුමක්ද කියා විමසා බලමු.

මෙහිදී වේදනා කියන්නේ විඳීමට යි. දුක්, සැප සහ මැදහත් වේදනා යනුවෙන් වේදනා කොටස් තුනකට බෙදෙනවා. විඳිනවා කියන අර්ථයෙන් එය සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා වශයෙන් ද කොටස් තුනකට බෙදෙනවා. අදුක්ඛමසුඛ කියන්නේ දුකත් නැති, සැපත් නැති උපේක්ෂා හෙවත් මධ්‍යස්ථ විඳීමට යි. මධ්‍යස්ථ වේදනා ඇතිවන්නේ කවර අවස්ථාවේ ද කියා බොහෝ අයට තේරුම් ගැනීමට අපහසු යි.

විඳීන දේ හඳුනා ගනිමු
සාමාන්‍යයෙන් සුඛ වේදනාවෙහි ඇලෙනවා. දුක්ඛ වේදනාවෙහි ගැටෙනවා. යම් වේදනාවක් තුළ ඇලීමෙහි ස්වභාවයක් හෝ ගැටීමෙහි ස්වභාවයක් නැත්නම් එතැන ඇත්තේ උපේක්ෂාව යි. සැප හොඳ නැහැ. සැපෙහි අප ඇලෙනවා කියා ඔබ කියයි. දුක හොඳ නැහැ, දුකෙහි දී අපි ගැටෙනවා කියලත් කියන්න පුළුවනි. එහෙනම් හොඳ මොකක් ද? අපි හිතනවා සැපත් නැති. දුකත් නැති තැනක ඉන්න එක වඩාත්ම හොඳයි කියලා. නමුත් එතැන ඇත්තේ ඇලීමක් ම පමණයි. සුඛ වේදනාව තුළ ඇතිවන්නේ රාගානුසය යි. දුක්ඛ වේදනාව තුළ ඇතිවන්නේ පටිඝානුසය යි. එවිට උපේක්ඛා වේදනාව තුළ ඇතිවන්නේ කුමක් ද? උපේක්ඛා වේදනාව තුළ ඇතිවන්නේ අවිජ්ජානුසය යි. අවිජ්ජා කියන්නේ, මෙතැන දුකකුත් නැහැ. සැපකුත් නැහැ. මේක නම් වෙනස් වෙන්නේ නැතිව මෙහෙම ම තියෙයි කියා හිතන ස්වභාවයට යි.

අප හිතනවා දුක ඉවර නම් ඊළඟට එතැනට එන්නේ සැපක් කියලා. සැප විඳගෙන යනවිට මේ සැප නම් හැමදාම තියෙන්නේ නැහැ. සැප අවසන් වුණා ම දුක ඇතිවෙනවා කියන අන්තයටම යන අදහස් අපට තියෙනවා. දුකත් නැති, සැපත් නැති තැනක හිටියොත්, අන්න ඒ වෙලාවේ අප හිතනවා ඒ වේදනාව නො වෙනස්ව පවතියි කියලා. එහෙමනම් වේදනාව වෙනස් නො වී තියෙයි කියා සිතූවිට අපේ හිතේ අනුසය කෙලෙස් මතු වී එනවා. ඒ අවිජ්ජානුසය යි. අවිජ්ජා කියන්නේ නො දැනීම, නො දැනෙන කියන එකට යි. නො දැනෙන්නේ වෙනස් වන බව යි. මේ කියවන මධ්‍යස්ථ ස්වභාවයත් කවදා හරි වෙනස් වෙනවා කියා නො දැනෙන විට ඒ තුළ ඇති වන්නේ අවිද්‍යාව යි. ඒ අවිජ්ජානුසය ඇතිවීමට උපේක්ඛාව හේතුවෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් උපේක්ඛාව කියන්නේ හොඳ හැඟීමකට යි. නමුත් අවිජ්ජානුසය බවට පත්වන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරන උපේක්ෂාව යි. අයෝනිසෝ මනසිකාරයනේ පරිහරණය කරනවා කියන්නේ සිහි නුවණින් පරිහරණය කරන්නේ නැතිකමට යි. මේ උපේක්ෂා වේදනාව කියන එකත් ස්ථිර නැති බව තේරුම් ගන්න ඕනෑ. එය නිත්‍ය නැහැ. එය අනිත්‍යයයි කියා තේරුණ විට අවිජ්ජානුසය ඇති කරගන්නේ නැතිව අදුක්ඛමසුඛ වේදනාව පරිහරණය කිරීමේ හැකියාව ඇති වෙනවා. එනිසා උපේක්ෂා සහගත වේදනාව කියන්නේ ඇලෙන, ගැටෙන තත්ත්වයන්ට නොයා පවත්වාගෙන යන මානසිකත්වය යි.

බ්‍රහ්ම විහරණ ගුණ
ඊළඟට සතර බ්‍රහ්ම විහරණ ලෙස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යි. එතැන දී උපේක්ඛා කියන්නේ දුකෙහි දී සහ සැපයේ දී නො සෙල්වෙන ගතියට යි. සතර බ්‍රහ්ම විහරණ සාමාන්‍යයෙන් තිබෙන්නේ මහා බ්‍රහ්මයා ළගයි. ඒවාට බ්‍රහ්ම විහරණ කියන්නේ එනිසයි. මව්පියන් තුළත් සතර බ්‍රහ්ම විහරණ තිබෙනවා. ඒ වගේම බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ, උසස් කියන එකට යි. විවරණය කියන්නේ පැවැත්මට යි. ශ්‍රේෂ්ඨ පැවතුමක් ඇති කෙනෙක් වාසය කරන්නේ මෛත්‍රිය සමඟ යි. ඒ පුද්ගලයා වාසය කරන්නේ කරුණාව සමඟ යි. මුදිතාව නොහොත් අනුන්ගේ සැප දැක සතුටු වෙන ගතිය ඒ පුද්ගලයා සතුයි. දරුවන් කෙරෙහි අම්මා තත්තා තුළ මේ ගුණ තියෙනවා. තම දරුවන්ට මෛත්‍රිය, කරුණාව ,දයාව, මව්පියන් තුළ තිබෙනවානේ. සෑම අම්මා, තාත්තා කෙනෙක් ම දරුවන් කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන තමන්ට පුළුවන් සෑම සැපක් ම දරුවන්ට දෙනවා. ආදරයෙන් ලොකු මහත් කර හොඳින් උගන්වා රස්සාවක් සොයා දෙනවා. විවාහ කර දෙනවා. අවසන දරුවෝ තමන්ට පසුව මුණ ගැසුණු යම් යම් අයගේ වචනයට අවනතව අම්මා තාත්තා අමතක කර දානවා. එවිට අම්මයි තාත්තායි හිතනවාද දරුවන්ට අපි කළේ මෙහෙමයි, දැන් අපිට දරුවන් කරන්නේ මෙහෙමයි කියලා. එහෙම හිතන්නේ නෑ. අනේ අපට සැලැකුවේ නැතත් කමක්නැහැ. ඉන්න තැනක කාල බීලා සැපෙන් ඉන්නවා නම් ඒ ඇති කියා ඒ අය හිත් හදා ගන්නවා. නො සලකා හිඳීම ගැන ඒ අය ගැටෙන්නේ නැහැ. සලකන වෙලාවට අනවශ්‍ය ලෙස උද්දාමයට පත් වෙන්නේත් නැහැ. ඒ අය මැදහත් සිතින් අර දරුවන්ගේ සැලකිලි දරාගෙන සිටිනවා. එය බ්‍රහ්ම විහරණ උපේක්ෂාව කියලා ධර්මයෙහි සඳහන් වෙනවා.

නිවනට උපකාරීවන බෝධි අංග
ඊළඟට බොජ්ඣංග උපේක්ෂාව කියලා තවත් උපේක්ෂාවක් තියෙනවා. ඒ සප්ත බොජ්ඣංග ධර්ම තුළ ක්‍රියාත්මක වන උපේක්ඛාව යි. බොජ්ඣංග කියන්නේ නිවන් අවබෝධය පිණිස උපකාර වන අංගවලට යි. බොජ්ඣංග ධර්ම හතක් තිබෙනවා. ඒවානම්, සති, ධම්මවිචය, විරිය, පීති, සුඛ, පස්සද්ධි, උපේක්ඛා සම්බොජ්ඣංග යි. මෙහිදී උපේක්ඛා සම්බොජ්ඣංගය ඇතිවන්නේ සමාධි සම්බොජ්ඣංගයට පසුව බව අපට වැටහෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙළවර වන්නේ සම්මා සමාධියෙනු යි. සම්මා සමාධියෙන් කෙළවර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් වැඩීමෙන් නිවන අවබෝධ කරන්න බැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපට යා හැක්කේ සම්මා සමාධිය කරා පමණ යි. හිත සමාධිමත් වුණාම ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් දකින්නනම්, උපේක්ෂා සම්බොජ්ඣංගය කියන්නේ කුමකට ද? කියා වැටහීමක් අවශ්‍ය යි.මෙහිදී උපේක්ෂා කියන වචනයෙහි තවත් අර්ථයක් තිබෙනවා. උප +ඉක්ඛති, උපේක්ඛා . ඒ වචනය හැදිලා තියෙන්නේ එහෙම යි. උප කියන්නේ සමීපව, ළංවී කියන එකට යි. ඉක්බිති යන්නෙන් බලනවා කියන අදහස ගන්න පුළුවන්. නැත්නම් සමීපව බලන කියන තේරුම අපට ගත හැකියි. සමීපව බලනවා කියන්නෙ ළංවෙලා බලනවා කියන එකටයි. එහෙමනම් ළංවෙලා බැලීමෙහි විශේෂත්වය දුර සිට බැලුවාම හරියට ම පෙනෙන්නේ නැහැ. හොඳට පෙනෙන්නනම් ළංවෙලා බලන්න ඕනෑ.

මම මෙහෙම උදාහරණයක් කියන්නම්. කෙනෙක් යම් පිරිසක් දෙස දුර සිට බලනවිට ඒ අතර සිටින බොහෝ පුද්ගලයන්ගේ හිසකෙස් කලුපාට යි. නමුත් ටිකක් ළංවී බැලුවොත් බොහෝ දෙනෙකුගේ කළු කෙස්වල යටින් සුදු කෙස් පෙනෙනවා. එහෙමනම් යම් දෙයක් දෙස හොඳින් දකින්න නම්, අපි ළංවෙලා බලන්න ඕනෑ. ඒ වගේ මේ කියන නාමරූප ධර්මයන් නැත්නම් සංස්කාරයන්ගේ ස්වභාවය නිසි ලෙසින් දකින්න නම් සමීපව ඒ දෙස බලන්න ඕනෑ. සංස්කාරයන්ගේ ස්වභාවය, අනිත්‍යභාවය යි. අප සැම දෙනාගේ ම උරුමය අභාවය යි. මේ ස්වභාවය දකින්න නම් ළංවෙලා බලන්න ඕනෑ. එහෙම ළංවෙලා බලනවා කියන්නේ උපේක්ෂාවට යි. නමුත් ළංවුණත් වැඩක් නැහැ සෙලවෙනවානම්. දැන් අපි හිස ඒ මේ අත සොළවමින් යමක් දෙස බලනවා නම්, අපට ඒ දේ හරියට ම පෙනෙන්නේ නැහැනේ. ඒ සෙළවෙන හිස කෙලින් තියාගෙන බලන දේ දෙස නිවැරැදිව බලන්න ඕනෑ. අපේ හිතේ ස්වභාවයත් ඒ වගෙයි. නිතරම සෙළවෙනවා. ඒ සෙළවෙන හිත නවත්වන්න පුළුවන් සමාධියෙන් පමණ යි. එතැන දී උපේක්ෂාවට සමාධිය උපකාරි කරගන්න ඕනෑ. ළංව බැලීමේ හැකියාව ඇත්තේ සමාධිමත් වූ සිතකට යි. ළංව බලන විට විතරයි අනිත්‍ය, දුක්ඛ, අනාත්මතාවය පෙනෙන්නේ.

වෙනස්වන ස්වභාවය දැකීම
අනිත්‍ය, දුක්ඛ, අනත්තභාවය පෙනුණොත්, වැටහුණොත්, දැණුනොත් පමණයි කළකිරීම ඇතිවන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය දුටු විට යි. කළකිරීම ඇතිවන්නේ වෙනස් වන ස්වභාවය දකිනවිට යි. එනිසයි රූපයෙහි කළකිරෙන්න කියා බුදුපියාණන් වහන්සේ වදාළේ. රූපයේ කළකිරුණාම රූප අල්ලාගන්නේ නැහැ. එය අතහරිනවා. රූපයෙහි කළකිරෙන්න නම්, එහි අනිත්‍යතාවය දකින්න ඕනෑ. එය නිසි ලෙසින් ත්‍රිලක්ෂණය තුළින් දකින්නනම්, උපේක්ෂාව දියුණු කරන්න ඕනෑ. උපේක්ෂාවෙන් දකින්නනම් සමාධිමත් වූ සිතක් ඇතිකර ගන්න ඕනෑ. කළකිරීම තුළින් අතහරින වැඩපිළිවෙල මේකයි. සමථ භාවනාවෙන් ඔබේ සිත සමාධිමත් කරගන්න. ඉන් අනතුරුව සප්ත බොජ්ඣංග ධර්ම තුළින් එන උපේක්ඛා සම්බොජ්ඣංගය සමාධිමත් වූ සිතින්, නාමරූප ධර්ම පිළිබඳව සමීපව බලන්න. එසේ ළංවී බැලීම තුළ ත්‍රිලක්ෂණය වටහා ගන්න. ත්‍රිලක්ෂණය වටහා ගැනීම තුළ නාමරූප ධර්මයන් කෙරෙහි අවබෝධයෙන් කළකිරෙන්න. එසේ අවබෝධයෙන් කළකිරීම තුළ අවබෝධයෙන් අතහරින්න.

අවබෝධයෙන් කළකිරුණ පුද්ගලයා නැවත අල්ලා ගන්නේ නැහැනේ. ඒ පුද්ගලයා නිබ්බදා විරජ්ජති යනුවෙන් හඳුන්වනවා. ඒ පුද්ගලයාට නැවත අල්ලා ගැනීමක් නැහැ. එයට චිරාගා විමුච්චති කියනවා. කිසිදෙයක් අල්ලා නො ගන්නා ඒ පුද්ගලයා සියලු දේ අතහරිනවා. සහමුලින් ම නිදහස් පුද්ගලයෙක් වෙනවා. ඒ නිදහස්වීමට ඒ විමුක්තියට බෙහෙවින්ම උපකාරි වෙන ධර්මය උපේක්ෂා සම්බොජ්ඣංගය යි. මා මුලින් සුදු කෙස් පිළිබඳව සඳහන් කළා මතකයි නේද? මෙතැනදී ළං වී බලනවා කියන එකේ මූලික අදහස මනසින් බැලීම යි. තමන්ගේ සිතින් හොඳට ළංවී බැලීම යි. අවබෝධයෙන් බැලීමට පුරුදු වෙන එකයි. එසේ ඒ මනසින් ළංව බැලීම තමයි මෙතැන දී උපේක්ඛා සම්බොජ්ඣංගය ලෙස අවධාරණය කරන්නේ.

 

අතීතානාගත සූත්‍රය



අතීතානාගත සූත්‍රය  

9

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අතීත අනාගත රූපය අනිත්‍යයයි. දැන් පවත්නා රූපය ගැන කියනුම කවරේද? මහණෙනි, දැන් පවත්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ රූපයෙහි අපේක්ෂා රහිතවේ. අනාගත රූපය නොපතන්නේ වෙයි. දැන් පවත්නා රූපය පිළිබඳ කලකිරීම පිණිසද නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි.

“අතීත, අනාගතවූ වේදනාව අනිත්‍යයයි දැන් පවත්නා වේදනාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ අතීතවූ වේදනාවෙහි අපේක්ෂා රහිතවෙයි. අනාගත වේදනාව ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා වේදනාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි

“අතීතඅනාගතවූ සංඥාව අනිත්‍යයි. දැන් පවත්නා සංඥාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීත සංඥාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංඥාව ප්‍රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංඥාව පිළිබඳ කලකිරීම පිණිසද, නො ඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි.

අතීත අනාගත සංස්කාරයෝ අනිත්‍යයහ. දැන් පවත්නා සංස්කාරයන් පිළිබඳ කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ සංස්කාරයන් කෙරෙහි අපේක්ෂා රහිත වෙයි. අනාගත සංස්කාරයන් ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා සංස්කාරයන් පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි.

අතීත අනාගත විඥානය අනිත්‍යයි. දැන් පවත්නා විඥානය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ අතීතවූ විඥානයෙහි අපේක්ෂා රහිතවෙයි. අනාගත විඥානය ප්‍රාර්ථනා නොකරයි. දැන් පවත්නා විඥානය පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේවේයයි” වදාළසේක.


Sunday, October 10, 2021

පින් කරන්නා දෙලොවම සතුටු වෙයි


 පින් කරන්නා දෙලොවම සතුටු වෙයි

කේ. කේ. සුගතපාල

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික)

ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ ලේකම්,

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

බුද්ධ ශාසන අමාත්‍යංශය


තංච කම්මං කතං සාධු

යං කත්වා නානුතප්පති,

යස්ස පතීතො සුමනො

විපාකං පටිසෙවති.


යම් කර්මයක් (ක්‍රියාවක්) කොට සත්ත්ව තෙමේ (අපි) නො තැවේද, ඒ කර්මයක්හුගේ ඉෂ්ට විපාකය (යහපත් ප්‍රතිඵල) පී‍්‍රති සහගතව, සුන්දර සිත් ඇතිව අනුභව කෙරේද, එබඳු කුසල කර්ම මකිරීම මැනැවි.


යං කත්වා න අනුතප්පති – යම් කර්මයක් (කුසල්) කොට පසුතැවිලි නොවේද, යසස විපාකං පතිතො සුමනො පටිසෙවති – ඒ කුසල කර්මයාගේ විපාක වශයෙන් පී‍්‍රතිය උතුරායන සතුටු සිත්ම සේවනය කරයි.


සුමනා මාලාකාර කතා වස්තුව

අප තථාගත බුදුරජාණන් වහන්සේ දවස රජගහනුවර විසූ සුමන නම් මල්කරු දිනපතා බිම්බිසාර රජුට දෑ සමන් මල් නැළි අටක් පිළිගන්වා කහවනු අට බැගින් ලබයි. (එකක් මදටිය විස්සක පමණ බරැති රන්කාසි 8 ක්) දිනක් මල් රැගෙන රජ මාලිගයට යන සුමන නගරයට පිවිසි විට මහා සංඝයා පිරිවරාගෙන සවණක් රැස් විහිදුවමින් බුද්ධානුභාවයෙන් මුළු නගරය ආලෝකමත් කරමින් පිඬුසිඟා යාම පිණිස පිවිසි බුදුරජාණන් වහන්සේ දිටී ය. සමහර දිනවල සිඬුසිඟා වඩින සාමාන්‍ය භික්ෂූන් වහන්සේ කෙනෙක් ලෙස ද පිණ්ඩපාතයේ වඩින අවස්ථා බුද්ධ චරිතයේ ඇත.


මල්කරු, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව රන් තොරණක් වටකොට ඇතිවා සේ මේ වඩින බුදුරජාණන් වහන්සේ දැක බොහෝ සේ පැහැදුනු සිත් ඇතිව බුදුරජුන්ට කිසියම් පූජාවක් කරමියි සිතා වෙනත් කිසිවක් නොදැක අද මේ මල්වලින්ම පූජාව කරමියි සිතී ය. නැවැත මෙසේත් සිතී ය. මේ මල් රජුට උපස්ථාන පිණිස ගෙන යන ඒවා ය. යම් විදියකින් අද මේ මල් ගෙන ගියේ නැතිනම් සිරගෙයි දමා හෝ රටින් පිටුවහල් කොට හෝ මා ඝාතනය කිරීම හෝ රජුගේ නියමයෙන් දඬුවම් ලබන්නේ ය. ඉතින් කුමක් කරම්ද? කම් නැත. මේ දඬුවම් අතර මා නසා දැමුවත් කමක් නැත. රජු මට මේ මල් ගෙන ගියත් දෙන්නේ මෙලොව ජීවිත්වීමට පමණක් සෑහෙන ධනයකි. එහෙත් සිත පහදවා තම ජීවිත පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේට කරන්නට යන මේ පූජාවෙන් මට මතු ආත්ම කල්ප කෝටි ගණනක් හිත සුව පිණිස වන්නේ යැයි නැළි අටම පූජා කිරීමට තීරණය කළේ ය. ඒ මෙසේ ය. නැළි දෙකකින් යුත් මල් මිටි දෙකක් ගෙන බුදුරජුන් ඉදිරියෙහි උඩට දැම්මේ ය. එය බුද්ධ ශීර්ෂයට ඉහළින් වියනක් මෙන් වී සිටියේ ය. තවත් මල් මිටි දෙක බැගින් තෙවරක් උඩට දැමූවිට ඉදිරිපස හැර ඉතිරි තුන් පැත්තෙහි තිරයකින් වටකළාක් මෙන් සකස් විණි. සිතක් නැති මල් සිතක් ඇතිව පිදූ හෙයින් සිතක් ඇත්තාක් මෙන් වී බුදුරජාණන් වහන්සේ සමග නොවැටි යයි. සිටි සිටි හැම තැන නැවතී සිටී. මෙම සිද්ධියෙන් මුළු නගරය ඇලළී ගියේ ය. සුමන මල්කරුගේ ගුණ ප්‍රකට විය. ඔහු මහත් පී‍්‍රතියෙන් පිරීතිරී ගියේ පසුපස මද දුරක් ගමන්කොට බුදුරැස් අතරට වැදී බුදුගුණ කියමින් වඳිමින් ම හිස් කූඩද රැගෙන ආපසු ගෙදර ගියේ ය.


ඔහුගේ අනුවණ බිරිඳ මෙබඳු වූ ප්‍රාතිහාර්යයක ප්‍රසාදය උපදවා ගත නොහැකිව ඔහුට බැණ, නින්දා කොට රජවරු සැර පරුෂ ය. ඔවුහු කිපුනේ අත්පා කැපීම් ආදි අනර්ථ සිදු කරයි. ඔබ කළ දෙයින් මටත් දරුවන්ටත් නපුරක් විය හැකියි. දරුවන් ද ගෙන රජ වාසලට ගියපසු රජු කරුණු විමසූයේ සියල්ල කියන්නට වූවා ය. අවසානයේ ඔහු කළ වැඩේ හොඳ වුවත්, නරක් වුවත් මට කම් නැත. මා මෙහි ආයේ ඔහු හැරදැමූ බව ඔබ වහන්සේට කියන්නට යයි ඈ කීවා ය. බුදුරජු දුටු ප්‍රථම දර්ශනයෙන් ම සෝවාන්ව සිටි බිම්බිසාර මහ රජු මහා ශ්‍රද්ධාවත් ආර්ය ශ්‍රාවකයෙකි. මේ මෝඩ ගැහැනිය මෙබඳු කරුණක් කෙරෙහි පවා සිත පහදවා නොගෙන හැසිරෙනු අයුරු සිතන්නේ, ඇසූ දෙයට කෝප වූ බවක් දක්වමින් මට ගෙනා මල් වෙන කෙනෙකුහට පූජා කළහුහට කළයුත්ත මම දනිමියි කියා ඇය පිටත් කර හැරීය.


රජුගේ සිතේ ප්‍රසාදය දුටු බුදුරජු මාලිගය ඇති දොරට වැඩියහ. රජු වහා ගොස් පාත්‍රය අතට ගෙන මාලිගාව තුළට වඩින ලෙස ආරාධනා කළමුත් මිදුලෙහි වැඩසිටීමට කැමැත්ත ඇතිබව දැන වහා මණ්ඩපයක් කරවූයේ ය. එහි වැඩ සිටි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මාලාකරුගේ ගුණ වඩාත් ප්‍රකට කරනු පිණිස මෙසේ කළ බව දහම් කතාවේ සඳහන් වේ.


පෙරකී පරිදි මල්තිර වටකොට වැඩසිටි බුදුරජු ප්‍රධාන මහ සඟරුවනට ප්‍රණීත දන් පිළිගන්වා භුක්තානුමෝදනාවෙන් පසු බුදුරජාණන් වහන්සේ ආපසු වැඩියේ රජු ද පසුපස ටික දුරක් ගොස් අතර මගින් රජමාලිගාවට ආපසු පැමිණ සුමන මල්කරු කැඳවා මට ගෙනා මල් මිටි අට බුදුරජුන්ට පිදුවේ කවර අයුරකින් සිතාදැයි විස්තර ඇසී ය. මල්කරු, රජු මට කුමන දඬුවමක් දුන්නත් කම් නැතැයි සිතා ලැබෙන දඬුවම සියල්ල තමා සිතු පරිදි රජුට කීයේ අවසානයේ ජීවිතය නසා දැමූවත් මේ මල් පුදන්නට තීරණය කළ බව කී ය. රජු මෙවිට “ඔබ මහා පුරුෂයෙකියි” කියා සතුටු සිතින් ඇතුන් අට දෙනෙක්, අශ්වයන් අටදෙනෙක්, රජ කුලයෙන් මුදාහැර සර්වාභරණයෙන් සැරැසූ ස්ත්‍රීන් අටදෙනෙක් දාස, දාසයින් මහා පළඳනා හා කහවනු අට දහසක් ගම්වර අටක් දැයි මෙසේ සියල්ලෙන් අට බැගින් ‘සබ්බට්ඨක’ නම් පරිත්‍යාගයක් කෙළේ ය. ආනන්ද තෙරුන් වහන්සේ අද දවස පුරා සිදුවූ මේ කාරණය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගෙන් කරුණු විමසූයේ ‘ආනන්ද මේ මාලාකරු විසින් කුඩා දෙයක් කරන ලදැයි නො සිතන්න. මොහු විසින් මා වෙනුවෙන් සිත පහදවාගෙන දිවිපුදා කළ පූජාවේ පිනෙන් කල්ප ලක්ෂයකට මොහු දුගතියකට නොයයි.


දෙවි මිනිසුන් අතර ඉපදෙමින් මහත්ඵල ලබා පසුව ‘සුමන නමින් පසේබුදුවරයෙකු ද වන්නේ යයි වදාළ සේක්හ. මෙසේ වදාරා ගඳකිළියට පිවිසෙන වේලෙහි ඒ මල් දොරටුව ළඟ වැටුණේ ය. සවස් වේලෙහි දම් සභා මණ්ඩපයට වැඩිය අවස්ථාවේ මාලාකරු අද කළ පිනෙන් අදම මේ ජීවිතයේ පවා උසස් පැවැත්මකට අවශ්‍ය හැම දෙයක්ම ලැබීම පිළිබඳ කතා කරමින් සිටි බව භික්ෂූහු පැවැසූහ. ‘මහණෙනි, යම් කර්මයක් කොට පසුව නොතැවේ නම්, සිහිකළ සිහිකළ හැමවිටකම සතුට උපදීනම් යමෙක් කළ යුත්තේ එබඳු දේ’ යි වදාරා අනුසන්ධි ගළපා ආරම්භක ගාථාවෙන් දහම් දෙසූ සේක. දේශනාවසානයෙහි අසූහාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධ වූහ

සමුදය සත්‍යය: නුවණින් වටහා ගතයුතු විඤ්ඤාණය


සමුදය සත්‍යය:

නුවණින් වටහා ගතයුතු විඤ්ඤාණය
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය,
ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

සතිපට්ඨාන භාවනාවෙහි සමුදය සත්‍යය වශයෙන් තණ්හාව හැඳින්වූවා. එය කාම තණ්හා ආදී වශයෙන් තුනක් ද , රූප තණ්හා ආදී වශයෙන් හයක් ද, අතීත ආදී වශයෙන් තුනක් ද, අධ්‍යාත්මික , බාහිර වශයෙන් දෙකක් ද වශයෙන් වැඩිකළ විට තණ්හාව එකසිය අට වැදෑරුම් වෙයි.

මේ තෘෂ්ණාව සමුදය සත්‍යය යි. එය අවබෝධ කරගත යුතු යි. බොරුවක් නො වෙයි, සත්‍යවාදී දෙයක්. සත්‍යවාදී දහමට අනුව කටයුතු කරන විට තමන්ට ධර්මය අවබෝධ කරගන්න පහසු යි. අධ්‍යාත්මික ආයතන හය ඇස, කන, නාසය, දිව, සිරුර, සිත වෙයි. මේ නිසා තණ්හාව හට ගන්නා ක්‍රමය ද, රූප , ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය, ධම්ම ආදී බාහිර ආයතන වන අතර එයින් තණ්හාව හට ගන්නා ක්‍රමය ද පසුගිය ලිපි පෙළින් සඳහන් කළෙමු.

අද සඳහන් කරන්නේ විඤ්ඤාණ චක්කය යි. විඤ්ඤාණය යනු සිත යි. එසේනම්, ආයතන හයට විඤ්ඤාණ එකතු කළ විට විඤ්ඤාණ හයක් වෙයි. මේ විඤ්ඤාණ හයෙන් තණ්හාව හට ගනියි. චක්ඛු විඤ්ඤාණය ඇස සම්බන්ධ සිත නිසා තණ්හාව හට ගන්නවා. සිතක් නොමැතිව තණ්හාවක් හට ගන්නට බැහැ. ඇසින් දකින අරමුණ කෙරෙහි බලවත් ලෙස ගැනීමක් තිබෙන්නට අවශ්‍යය යි. එවිට යි, තණ්හාව හට ගන්නේ. ඇස තණ්හාව උපදින තැනක්. ඇසෙන් යම් දෙයක් දකින විට ඒ දසුනෙහි සිතක් පහළ වන අතර එය චක්ඛු විඤ්ඤාණය යි. කන සෝත නම් වෙයි. කනෙන් යම් දෙයක් අසන විට සිතක් පහළ වෙන අතර එය සෝත විඤ්ඤාණ නම් වෙයි. නාසිකාවෙන් ගඳ , සුවඳ දැනගන්නා අතර එයට සිතක් පහළ වෙන අතර එය ඝාන විඤ්ඤාණය නම් වෙයි. එසේම දිවෙන් රස, තිත්ත දැනගන්නා අතර එය ජිව්හා විඤ්ඤාණය යි. ස්පර්ශ දැනගන්නේ කාය විඤ්ඤාණයෙන්. ඉතිරි සියල්ල ම දැනෙන්නේ මමෝ විඤ්ඤාණයෙන්. මනෝ විඤ්ඤාණයට වැඩි කොටසක් අයත්වන අතර සිත් අසූ නවයෙන් චක්ඛු විඤ්ඤාණ සිත් දෙක යි. සෝත විඤ්ඤාණ සිත් දෙක යි, ඝාණ විඤ්ඤාණ සිත් දෙක යි, ජිව්හා විඤ්ඤාණ සිත් දෙක යි. කාය විඤ්ඤාණ සිත් තුන යි. ඉතිරි සියල්ලටම කියන්නේ මනෝ විඤ්ඤාණ කියල යි. මනෝ විඤ්ඤාණ චෛතසික සංඛ්‍යාව වැඩි එකෙනුත් තණ්හාව හට ගනියි. එසේනම්, පෙර ලිපියේ සේ ම විඤ්ඤාණ චක්ඛය ද මෙසේ භාවනාවට ගත යුතු යි.

චක්ඛු විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. සෝත විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා සෝත විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, ඝාන විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝාන විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජිව්හා විඤ්ඤාණය මම නොවෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ජිව්හා විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාය විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා කාය විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මනෝ විඤ්ඤාණය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා මනෝ විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. විඤ්ඤාණ චක්ඛය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා විඤ්ඤාණ චක්කය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එසේනම් විඤ්ඤාණ හය යි. එය යි චක්ඛය කියන්නේ.

තණ්හාව හට ගනු ලබන අරමුණුවලින් සිතට විඤ්ඤාණය යනුවෙන් සඳහන් කරයි. විඤ්ඤාණය නිස යි, තණ්හාව හට ගන්නේ. ඇසින් කොපමණ රූප දුටුව ද, සිත පහළ නොවුණොත් එයින් තණ්හාවක් හටගන්න බැහැ. අපට ඇතැම් විට ශබ්ද ඝෝෂා නො ඇසී යනවා, ඒ අරමුණ කෙරෙහි සිත පිහිටු වූයේ නැති නිස යි. එසේනම්, අරමුණෙහි සිත පිහිටෙව්වොත් පමණක් විඤ්ඤාණය පහළ වෙනවා. කෙනෙකුගේ විඤ්ඤාණය දැනගත හැක්කේ බුදු කෙනෙකුට පමණ යි. වෙනත් කිසිවකුට බැහැ. බුදුන් වහන්සේ නමක් සිත දෙස බලල යි, ධර්මය දේශනා කරන්නේ, භාවනාව කියලා දෙන්නේ.

ඒ නිසා කවුුරු වුණත් තම සිත හැකිතාක් දියුණුවෙන්, භාවනාවක් ප්‍රගුණ කර, අත් දැකීම් ලබාගෙන මේ ගමන ඉදිරියට යද්දී තමාට ලොකු බලයක්, ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවන්. එසේනම්, අපට මේ බුද්ධ ශාසනයෙන් ලබා ගත යුතු දැනුම හොඳින් ලබා ගන්න. මේ දැනුම වෙන කොහෙන්වත් ලබා ගන්න පුළුවන්කමක් නැහැ.

එක්තරා දවසක සච්චක නම් නිගණ්ඨවාදී තැනැත්තා බුදුන් වහන්සේ හමුවට පැමිණ , සුහද සාකච්ඡාවකින් අනතුරුව ඔබ වහන්සේ බණ කියනවා වැරැදි යැයි පැවසුවා. සච්චකය, කොහෙද වැරැදි යනුවෙන් බුදුන් වහන්සේ විමසුවා. ඔබ වහන්සේ නිබඳව ම බණ කියද්දී අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යනුවෙන් පද තුනක් කියනවා. ඇයි මේ අප යසට ඉන්නේ? මේ ලෝකයක් තියෙන්නේ? අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වෙන්නේ කෙලෙසදැයි සච්චක විමසුවා. එවිට බුදුන් වහන්සේ නැවත මෙලෙස අසනවා. සච්චකය, ඔබට පුළුවන්ද, වයසට යන්නේ නැතිව ඉන්න? සච්චක නැවත ප්‍රශ්නය බුදුන් වහන්සේගෙන් විමසනවා. මෙහි දී බුදුන් වහන්සේ නැවත වදාළේ, සච්චකය ඔබට පුළුවන් ද වයසට යන්නේ නැතිව ඉන්න. ‘බැහැ’ කිව්වා. මෙහි දී බුදුන් වහන්සේ වෙහෙසට පත් නො කරන්නැ’යි සක්‍රයා , යක්ෂයකු සේ පැමිණි දසුනින් සච්චක බියවී එපමණකින් ම කතාව නැවතුණා. එහි දී බුදුන් වහන්සේ මෙලෙස දේශනා කළා. “සච්චකය, ඔබ කිව්වානේ මා අනිත්‍ය , දුක්ඛ ,අනාත්ම කියනවා වැරැදි’යි කියලා. සච්චකය, වයසට යනවා යනු අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යි. කෙස් සුදු වෙනවා, දත් වැටෙනවා, සිරුර රැළි වැටෙනවා. ජරා ජීර්ණ වෙනවා, ඔත්පල වෙනවා, මිය යනවා. මිය යනවා කියන්නේ දුක්ඛ සත්‍යයේ ස්වභාවය යි. තණ්හාව සමුදය සත්‍යයේ ස්වභාවය යි. මේවා අවබෝධ කරගැනීමට නම්, නුවණ පාවිච්චි කර අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වටහා ගත යුතු යි. යථාර්ථය වැටහී ගිය සච්චක පසුදා ම බුදුන් වහන්සේට දන් පිරිනමා හොඳින් කටයුතු කර, මරණින් මතු දෙව් ලොව ද , නැවත ලක්දිව ද උපත ලබා ළමා කාලයේ දී මහණ වී රහත් ඵල ලැබුවා. කාල බුද්ධ මහ රහතන් වහන්සේ කියන්නේ සච්චකට යි.

එසේනම්, මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ දී ම දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට මෙහි සඳහන් කළ විඤ්ඤාණ හයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. චක්ඛු විඤ්ඤාණය අනිත්‍ය යි, දුක්ඛ යි,අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ ද වටියි. තමන්ගේ විඤ්ඤාණය පිළිබඳව හොඳ වැටහීමකින් මෙනෙහි කර තණ්හාව ම නැති කරන්න. තණ්හාව දුරු වුණොත් නිවන් සම්පත් අවබෝධ කර ගන්න පුළුවන්.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල

 

සමාධි සූත්‍රය

 


සමාධි සූත්‍රය
5
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සමාධිය වඩව්. මහණෙනි, වඩනලද සමාධිය ඇති භික්ෂුතෙමේ තත්වූ පරිද්දෙන් දැනගනියි. තත්වූ පරිද්දෙන් කුමක් දනීද? රූපයාගේ හටගැනීමද, විනාශයදත වේදනාවගේ හටගැනීමද, විනාශයදත සංඥාවගේ හටගැනීමද, විනාශයදත සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, විඥානයාගේ හටගැනීමද, විනාශයද දනියි.
“මහණෙනි, රූපයාගේ හටගැනීම කුමක්ද? වේදනාවගේ හටගැනීම කුමක්ද? සංඥාවගේ හටගැනීම කුමක්ද? සංස්කාරයන්ගේ හටගැනීම කුමක්ද? විඥානයාගේ හටගැනීම කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇලෙයි, ප්‍රියයයි, මනාපයයි ප්‍රකාශ කරයි, ගැලී සිටියි. කුමක ඇලෙයිද? කුමක් ප්‍රියයයි, මනාපයයි කියයිද? කුමක ගැලී සිටියිද? රූපයෙහි ඇලෙයි. රූපය ප්‍රිය මනාපයයි කියයි. රූපයෙහි ගැලී සිටියි. රූපයෙහි ඇලෙන්නාවූ, රූපය ප්‍රියයයි මනාපයයි රූපයෙහි ගැලීසිටින්නාවූ ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය උපාදානය (තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වාගැනීම) වෙයි. ඔහුගේ උපාදානය හේතුකොටගෙන භවය වේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ඇති ජරාව හා මරණයද, ශොක පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක සමූහයාගේ හටගැනීම වේ.
“වේදනාවෙහි ඇලෙයි, වේදනාව ප්‍රියයයි මනාපයයි කියයි. වේදනාවෙහි ගැලී සිටියි. වේදනාවෙහි ඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, වේදනාවෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. වේදනාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශොක, පරිදෙව, දුක්, දොම්නස් යන උපායාසයෝද හටගනිත්.
“සංඥාවෙහි ඇලෙයි. සංඥාව ප්‍රියයයි මනාපයයි කියයි. සංඥාවෙහි ගැලී සිටියි. සංඥාවෙහි ඇලෙන්නාවූ සංඥාව ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, සංඥාවෙහි ගැලී සිටින්නාවූ ඔහුට බලවත් තණ්හාව උපදියි. සංඥාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි (තදින් අල්ලා ගැනීමයි.) ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතු කොටගෙන ජාතිය ඇතිවේ. මේ ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් යන උපායාසයෝ හටගනිත්.
“සංස්කාරයන්හි ඇලෙයි. සංස්කාරයන් ප්‍රියයයි මනාපයයි කියයි. සංස්කාරයන්හි ගැලී සිටියි. සංස්කාරයන්හි ඇලෙන, සංස්කාරයන් ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, සංස්කාරයන්හි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. සංස්කාරයන්හි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. උපාදානය හේතුකොටගෙන භවය වේ. භවය හේතුකොටගෙන ජාතිය වේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ පහළවීම වේ.
“විඤ්ඤාණයෙහි ඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියයි. විඤ්ඤාණයෙහි ගැලීසිටියි. විඤ්ඤාණයෙහි ඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. විඤ්ඤාණයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. ඔහුට උපාදානය හේතුකොටගෙන භවය වේ. භවය හේතුකොටගෙන ජාතිය වේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ රාශියගේ හටගැනීම වෙයි.
“මහණෙනි, මේ වනාහි රූපයාගේ හටගැනීම වෙයි. මේ වේදනාවගේ හටගැනීම වෙයි. මේ සංඥාවගේ හටගැනීම වෙයි. මේ විඥානයාගේ හටගැනීම වෙයි.
“මහණෙනි, රූපයාගේ නැතිවීම කවරේද? වේදනාවගේ නැතිවීම කවරේද? සංඥාවගේ නැතිවීම කවරේද? සංස්කාරයන්ගේ නැතිවීම කවරේද? විඤ්ඤාණයාගේ නැතිවීම කවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොඇලෙයි. ප්‍රියයයි මනාපයයි නොකියයි. ගැලී නොසිටියි. කුමක නො ඇලෙයිද, කුමක් ප්‍රියයයි මනාපයයි නොකියයිද, කුමක ගැලී නොසිටීද? රූපයෙහි නොඇලෙයි. රූපය ප්‍රියයයි මනාපයයි නොකියයි. රූපයෙහි ගැලී නොසිටියි. රූපයෙහි නොඇලෙන්නාවූ, රූපය ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, රූපයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුට රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ බලවත් තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීම හේතුකොට ගෙන භවය නැතිවේ. භවය නැතිවීම හේතුකොටගෙන ජාතිය නැතිවේ. ජාතිය නැතිවීම හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙති. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක්ඛ සමූහයාගේ නිරෝධය වේ.
“වේදනාවෙහි නොඇලෙයි. වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියයි. වේදනාවෙහි ගැලී නොසිටියි. වේදනාවෙහි නො ඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, වේදනාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ වේදනාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.
“සංඥාවෙහි නොඇලෙයි. සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියයි. සංඥාවෙහි ගැලී නොසිටියි. සංඥාවෙහි නොඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංඥාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංඥාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැතිවෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.
“සංස්කාරයන්හි නොඇලෙයි. සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියයි. සංස්කාරයන්හි ගැලී නොසිටියි. සංස්කාරයෙහි නොඇලෙන්නාවූ, සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංස්කාරයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංස්කාර කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.
“විඤ්ඤාණයෙහි නොඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි නොකියයි. විඤ්ඤාණයෙහි ගැලී නොසිටියි. විඤ්ඤාණයෙහි නොඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ විඤ්ඤාණය කෙරෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නිරුද්ධ වෙයි. ඔහුගේ ඒ බලවත් තෘෂ්ණාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධ වේ. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ නිරෝධය වෙයි.
“මහණෙනි, මේ රූපයාගේ විනාශය වෙයි. මේ වේදනාවගේ විනාශය වෙයි. මේ සංඥාවගේ විනාශය වෙයි. මේ සංස්කාරයන්ගේ විනාශය වෙයි. මේ විඤ්ඤාණයාගේ විනාශය වෙයි.
(පස්වෙනි සමාධි සූත්‍රය නිමි.)

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...