Monday, October 11, 2021

ඇලීම් ගැටීම් හමුවේ සිහිය පැවැත්වීම


ඇලීම් ගැටීම් හමුවේ සිහිය පැවැත්වීම
කොළඹ බෞද්ධාලෝක මාවත
නාරද බෞද්ධ ධර්මායතනාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

මේ ලෝකයේ ඉපදුන අප සෑම දෙනාම නිරන්තරයෙන් ම කවර හෝ වේදනාවකට යටත්වයි ජීවත් වෙන්නේ. එනිසා වේදනා යනු කුමක්ද කියා විමසා බලමු.

මෙහිදී වේදනා කියන්නේ විඳීමට යි. දුක්, සැප සහ මැදහත් වේදනා යනුවෙන් වේදනා කොටස් තුනකට බෙදෙනවා. විඳිනවා කියන අර්ථයෙන් එය සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා වශයෙන් ද කොටස් තුනකට බෙදෙනවා. අදුක්ඛමසුඛ කියන්නේ දුකත් නැති, සැපත් නැති උපේක්ෂා හෙවත් මධ්‍යස්ථ විඳීමට යි. මධ්‍යස්ථ වේදනා ඇතිවන්නේ කවර අවස්ථාවේ ද කියා බොහෝ අයට තේරුම් ගැනීමට අපහසු යි.

විඳීන දේ හඳුනා ගනිමු
සාමාන්‍යයෙන් සුඛ වේදනාවෙහි ඇලෙනවා. දුක්ඛ වේදනාවෙහි ගැටෙනවා. යම් වේදනාවක් තුළ ඇලීමෙහි ස්වභාවයක් හෝ ගැටීමෙහි ස්වභාවයක් නැත්නම් එතැන ඇත්තේ උපේක්ෂාව යි. සැප හොඳ නැහැ. සැපෙහි අප ඇලෙනවා කියා ඔබ කියයි. දුක හොඳ නැහැ, දුකෙහි දී අපි ගැටෙනවා කියලත් කියන්න පුළුවනි. එහෙනම් හොඳ මොකක් ද? අපි හිතනවා සැපත් නැති. දුකත් නැති තැනක ඉන්න එක වඩාත්ම හොඳයි කියලා. නමුත් එතැන ඇත්තේ ඇලීමක් ම පමණයි. සුඛ වේදනාව තුළ ඇතිවන්නේ රාගානුසය යි. දුක්ඛ වේදනාව තුළ ඇතිවන්නේ පටිඝානුසය යි. එවිට උපේක්ඛා වේදනාව තුළ ඇතිවන්නේ කුමක් ද? උපේක්ඛා වේදනාව තුළ ඇතිවන්නේ අවිජ්ජානුසය යි. අවිජ්ජා කියන්නේ, මෙතැන දුකකුත් නැහැ. සැපකුත් නැහැ. මේක නම් වෙනස් වෙන්නේ නැතිව මෙහෙම ම තියෙයි කියා හිතන ස්වභාවයට යි.

අප හිතනවා දුක ඉවර නම් ඊළඟට එතැනට එන්නේ සැපක් කියලා. සැප විඳගෙන යනවිට මේ සැප නම් හැමදාම තියෙන්නේ නැහැ. සැප අවසන් වුණා ම දුක ඇතිවෙනවා කියන අන්තයටම යන අදහස් අපට තියෙනවා. දුකත් නැති, සැපත් නැති තැනක හිටියොත්, අන්න ඒ වෙලාවේ අප හිතනවා ඒ වේදනාව නො වෙනස්ව පවතියි කියලා. එහෙමනම් වේදනාව වෙනස් නො වී තියෙයි කියා සිතූවිට අපේ හිතේ අනුසය කෙලෙස් මතු වී එනවා. ඒ අවිජ්ජානුසය යි. අවිජ්ජා කියන්නේ නො දැනීම, නො දැනෙන කියන එකට යි. නො දැනෙන්නේ වෙනස් වන බව යි. මේ කියවන මධ්‍යස්ථ ස්වභාවයත් කවදා හරි වෙනස් වෙනවා කියා නො දැනෙන විට ඒ තුළ ඇති වන්නේ අවිද්‍යාව යි. ඒ අවිජ්ජානුසය ඇතිවීමට උපේක්ඛාව හේතුවෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් උපේක්ඛාව කියන්නේ හොඳ හැඟීමකට යි. නමුත් අවිජ්ජානුසය බවට පත්වන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරන උපේක්ෂාව යි. අයෝනිසෝ මනසිකාරයනේ පරිහරණය කරනවා කියන්නේ සිහි නුවණින් පරිහරණය කරන්නේ නැතිකමට යි. මේ උපේක්ෂා වේදනාව කියන එකත් ස්ථිර නැති බව තේරුම් ගන්න ඕනෑ. එය නිත්‍ය නැහැ. එය අනිත්‍යයයි කියා තේරුණ විට අවිජ්ජානුසය ඇති කරගන්නේ නැතිව අදුක්ඛමසුඛ වේදනාව පරිහරණය කිරීමේ හැකියාව ඇති වෙනවා. එනිසා උපේක්ෂා සහගත වේදනාව කියන්නේ ඇලෙන, ගැටෙන තත්ත්වයන්ට නොයා පවත්වාගෙන යන මානසිකත්වය යි.

බ්‍රහ්ම විහරණ ගුණ
ඊළඟට සතර බ්‍රහ්ම විහරණ ලෙස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යි. එතැන දී උපේක්ඛා කියන්නේ දුකෙහි දී සහ සැපයේ දී නො සෙල්වෙන ගතියට යි. සතර බ්‍රහ්ම විහරණ සාමාන්‍යයෙන් තිබෙන්නේ මහා බ්‍රහ්මයා ළගයි. ඒවාට බ්‍රහ්ම විහරණ කියන්නේ එනිසයි. මව්පියන් තුළත් සතර බ්‍රහ්ම විහරණ තිබෙනවා. ඒ වගේම බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ, උසස් කියන එකට යි. විවරණය කියන්නේ පැවැත්මට යි. ශ්‍රේෂ්ඨ පැවතුමක් ඇති කෙනෙක් වාසය කරන්නේ මෛත්‍රිය සමඟ යි. ඒ පුද්ගලයා වාසය කරන්නේ කරුණාව සමඟ යි. මුදිතාව නොහොත් අනුන්ගේ සැප දැක සතුටු වෙන ගතිය ඒ පුද්ගලයා සතුයි. දරුවන් කෙරෙහි අම්මා තත්තා තුළ මේ ගුණ තියෙනවා. තම දරුවන්ට මෛත්‍රිය, කරුණාව ,දයාව, මව්පියන් තුළ තිබෙනවානේ. සෑම අම්මා, තාත්තා කෙනෙක් ම දරුවන් කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන තමන්ට පුළුවන් සෑම සැපක් ම දරුවන්ට දෙනවා. ආදරයෙන් ලොකු මහත් කර හොඳින් උගන්වා රස්සාවක් සොයා දෙනවා. විවාහ කර දෙනවා. අවසන දරුවෝ තමන්ට පසුව මුණ ගැසුණු යම් යම් අයගේ වචනයට අවනතව අම්මා තාත්තා අමතක කර දානවා. එවිට අම්මයි තාත්තායි හිතනවාද දරුවන්ට අපි කළේ මෙහෙමයි, දැන් අපිට දරුවන් කරන්නේ මෙහෙමයි කියලා. එහෙම හිතන්නේ නෑ. අනේ අපට සැලැකුවේ නැතත් කමක්නැහැ. ඉන්න තැනක කාල බීලා සැපෙන් ඉන්නවා නම් ඒ ඇති කියා ඒ අය හිත් හදා ගන්නවා. නො සලකා හිඳීම ගැන ඒ අය ගැටෙන්නේ නැහැ. සලකන වෙලාවට අනවශ්‍ය ලෙස උද්දාමයට පත් වෙන්නේත් නැහැ. ඒ අය මැදහත් සිතින් අර දරුවන්ගේ සැලකිලි දරාගෙන සිටිනවා. එය බ්‍රහ්ම විහරණ උපේක්ෂාව කියලා ධර්මයෙහි සඳහන් වෙනවා.

නිවනට උපකාරීවන බෝධි අංග
ඊළඟට බොජ්ඣංග උපේක්ෂාව කියලා තවත් උපේක්ෂාවක් තියෙනවා. ඒ සප්ත බොජ්ඣංග ධර්ම තුළ ක්‍රියාත්මක වන උපේක්ඛාව යි. බොජ්ඣංග කියන්නේ නිවන් අවබෝධය පිණිස උපකාර වන අංගවලට යි. බොජ්ඣංග ධර්ම හතක් තිබෙනවා. ඒවානම්, සති, ධම්මවිචය, විරිය, පීති, සුඛ, පස්සද්ධි, උපේක්ඛා සම්බොජ්ඣංග යි. මෙහිදී උපේක්ඛා සම්බොජ්ඣංගය ඇතිවන්නේ සමාධි සම්බොජ්ඣංගයට පසුව බව අපට වැටහෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙළවර වන්නේ සම්මා සමාධියෙනු යි. සම්මා සමාධියෙන් කෙළවර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් වැඩීමෙන් නිවන අවබෝධ කරන්න බැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපට යා හැක්කේ සම්මා සමාධිය කරා පමණ යි. හිත සමාධිමත් වුණාම ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් දකින්නනම්, උපේක්ෂා සම්බොජ්ඣංගය කියන්නේ කුමකට ද? කියා වැටහීමක් අවශ්‍ය යි.මෙහිදී උපේක්ෂා කියන වචනයෙහි තවත් අර්ථයක් තිබෙනවා. උප +ඉක්ඛති, උපේක්ඛා . ඒ වචනය හැදිලා තියෙන්නේ එහෙම යි. උප කියන්නේ සමීපව, ළංවී කියන එකට යි. ඉක්බිති යන්නෙන් බලනවා කියන අදහස ගන්න පුළුවන්. නැත්නම් සමීපව බලන කියන තේරුම අපට ගත හැකියි. සමීපව බලනවා කියන්නෙ ළංවෙලා බලනවා කියන එකටයි. එහෙමනම් ළංවෙලා බැලීමෙහි විශේෂත්වය දුර සිට බැලුවාම හරියට ම පෙනෙන්නේ නැහැ. හොඳට පෙනෙන්නනම් ළංවෙලා බලන්න ඕනෑ.

මම මෙහෙම උදාහරණයක් කියන්නම්. කෙනෙක් යම් පිරිසක් දෙස දුර සිට බලනවිට ඒ අතර සිටින බොහෝ පුද්ගලයන්ගේ හිසකෙස් කලුපාට යි. නමුත් ටිකක් ළංවී බැලුවොත් බොහෝ දෙනෙකුගේ කළු කෙස්වල යටින් සුදු කෙස් පෙනෙනවා. එහෙමනම් යම් දෙයක් දෙස හොඳින් දකින්න නම්, අපි ළංවෙලා බලන්න ඕනෑ. ඒ වගේ මේ කියන නාමරූප ධර්මයන් නැත්නම් සංස්කාරයන්ගේ ස්වභාවය නිසි ලෙසින් දකින්න නම් සමීපව ඒ දෙස බලන්න ඕනෑ. සංස්කාරයන්ගේ ස්වභාවය, අනිත්‍යභාවය යි. අප සැම දෙනාගේ ම උරුමය අභාවය යි. මේ ස්වභාවය දකින්න නම් ළංවෙලා බලන්න ඕනෑ. එහෙම ළංවෙලා බලනවා කියන්නේ උපේක්ෂාවට යි. නමුත් ළංවුණත් වැඩක් නැහැ සෙලවෙනවානම්. දැන් අපි හිස ඒ මේ අත සොළවමින් යමක් දෙස බලනවා නම්, අපට ඒ දේ හරියට ම පෙනෙන්නේ නැහැනේ. ඒ සෙළවෙන හිස කෙලින් තියාගෙන බලන දේ දෙස නිවැරැදිව බලන්න ඕනෑ. අපේ හිතේ ස්වභාවයත් ඒ වගෙයි. නිතරම සෙළවෙනවා. ඒ සෙළවෙන හිත නවත්වන්න පුළුවන් සමාධියෙන් පමණ යි. එතැන දී උපේක්ෂාවට සමාධිය උපකාරි කරගන්න ඕනෑ. ළංව බැලීමේ හැකියාව ඇත්තේ සමාධිමත් වූ සිතකට යි. ළංව බලන විට විතරයි අනිත්‍ය, දුක්ඛ, අනාත්මතාවය පෙනෙන්නේ.

වෙනස්වන ස්වභාවය දැකීම
අනිත්‍ය, දුක්ඛ, අනත්තභාවය පෙනුණොත්, වැටහුණොත්, දැණුනොත් පමණයි කළකිරීම ඇතිවන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය දුටු විට යි. කළකිරීම ඇතිවන්නේ වෙනස් වන ස්වභාවය දකිනවිට යි. එනිසයි රූපයෙහි කළකිරෙන්න කියා බුදුපියාණන් වහන්සේ වදාළේ. රූපයේ කළකිරුණාම රූප අල්ලාගන්නේ නැහැ. එය අතහරිනවා. රූපයෙහි කළකිරෙන්න නම්, එහි අනිත්‍යතාවය දකින්න ඕනෑ. එය නිසි ලෙසින් ත්‍රිලක්ෂණය තුළින් දකින්නනම්, උපේක්ෂාව දියුණු කරන්න ඕනෑ. උපේක්ෂාවෙන් දකින්නනම් සමාධිමත් වූ සිතක් ඇතිකර ගන්න ඕනෑ. කළකිරීම තුළින් අතහරින වැඩපිළිවෙල මේකයි. සමථ භාවනාවෙන් ඔබේ සිත සමාධිමත් කරගන්න. ඉන් අනතුරුව සප්ත බොජ්ඣංග ධර්ම තුළින් එන උපේක්ඛා සම්බොජ්ඣංගය සමාධිමත් වූ සිතින්, නාමරූප ධර්ම පිළිබඳව සමීපව බලන්න. එසේ ළංවී බැලීම තුළ ත්‍රිලක්ෂණය වටහා ගන්න. ත්‍රිලක්ෂණය වටහා ගැනීම තුළ නාමරූප ධර්මයන් කෙරෙහි අවබෝධයෙන් කළකිරෙන්න. එසේ අවබෝධයෙන් කළකිරීම තුළ අවබෝධයෙන් අතහරින්න.

අවබෝධයෙන් කළකිරුණ පුද්ගලයා නැවත අල්ලා ගන්නේ නැහැනේ. ඒ පුද්ගලයා නිබ්බදා විරජ්ජති යනුවෙන් හඳුන්වනවා. ඒ පුද්ගලයාට නැවත අල්ලා ගැනීමක් නැහැ. එයට චිරාගා විමුච්චති කියනවා. කිසිදෙයක් අල්ලා නො ගන්නා ඒ පුද්ගලයා සියලු දේ අතහරිනවා. සහමුලින් ම නිදහස් පුද්ගලයෙක් වෙනවා. ඒ නිදහස්වීමට ඒ විමුක්තියට බෙහෙවින්ම උපකාරි වෙන ධර්මය උපේක්ෂා සම්බොජ්ඣංගය යි. මා මුලින් සුදු කෙස් පිළිබඳව සඳහන් කළා මතකයි නේද? මෙතැනදී ළං වී බලනවා කියන එකේ මූලික අදහස මනසින් බැලීම යි. තමන්ගේ සිතින් හොඳට ළංවී බැලීම යි. අවබෝධයෙන් බැලීමට පුරුදු වෙන එකයි. එසේ ඒ මනසින් ළංව බැලීම තමයි මෙතැන දී උපේක්ඛා සම්බොජ්ඣංගය ලෙස අවධාරණය කරන්නේ.

 

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...