Thursday, September 16, 2021

සත්‍ය නිර්දේශය: දුක්ඛ සත්‍යය


සත්‍ය නිර්දේශය: දුක්ඛ සත්‍යය

උපන්නොත් දුක මිස සැපතක් නෑ
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය,
ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් කායානුපස්සනාවේ භාවනා ක්‍රම දාහතරක්, වේදනානුපස්සනාවේ එකක්, ප්‍රභේද වශයෙන් තුනක්, චිත්තානුපස්සනාවේ එක් භාවනාවක්, ප්‍රභේද වශයෙන් දාසයක් ,ධම්මානුපස්සනාවේ ප්‍රභේද වශයෙන් ප්‍රධාන කමටහන් පහක් අනු කමටහන් රාශියක් ගෙනහැර දැක්වූවා. අවසාන එක වන්නේ සත්‍ය පබ්භ යි. එනම්, චතුරාර්ය සත්‍යය යි. සත්‍ය නිර්දේශයේ පළමු කාණ්ඩය දුක්ඛ සත්‍යය යි. එනම් , දුක පිළිබඳ ව වටහා ගැනීම යි.

ලෝකයේ දුක තියෙනවා. එය සත්‍යයක්. පිළිකුල් සහගත, වේදනා සහගත, කායික මානසික වශයෙන් අපමණ දුක් තිබෙනවා. ඒ සියලුම දුක ‘දුක්ඛ සත්‍ය’ වශයෙන් පැහැදිලි කරනවා. එය මනුෂ්‍යයාට පමණක් නො වෙයි, උපන්නා වූ සියලු ම සත්ත්වයන්ට දුක, දුකක් වශයෙන් දැනෙනවා. සතර අපා සත්ත්වයන්ට පැය විසි හතරේ ම දුක ම යි. ගිනි ජාලාවක් මධ්‍යයේ වෙසෙන, දෙතිස් දඬුවම් ලබන, ස්ථානයක්. මේ අනුව දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි වෙනවා. මනු ලොවත් අප්‍රමාණ දුක් විඳින්න තිබෙනවා. දෙව් ලොවත්, බඹ ලොවත් දුක නැති වුණත්, උපත ලැබීම දුකක්.

දුක්ඛ සත්‍යයේ පළමු දුක ජාති දුක යි. එනම්, ඉපදීමේ දුක යි. එසේනම්, මව් කුස තුළ වාසය කරන සත්ත්වයාගේ මවත්, දරුවාත් දුක් විඳිනවා. එහි සීමාවක් නැහැ. සතර අපායේ උපන් සත්ත්වයෝ උපත ලැබීම නිසා දුක් විඳිනවා. එහෙමනම්, කෙනෙක් උපන්නොත්, දුක මිසක් සැප නැති බව යි බුදු දහමේ පෙන්වන්නේ. දුක නැති කළේ, රහතන් වහන්සේලා යි. උන්වහන්සේලා දිගු සංසාරයේ දුක විඳගෙන පැමිණ, අවසන් ආත්ම භාවයේ තණ්හාව නැති කරලා, දුක අවබෝධ කළා. ජාති දුක යනුවෙන් සඳහන් කළ විට එය හොඳට සිතට ගෙන, ජාති දුක හෙවත්, ඉපදීමේ දුක අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. ඉපදීමේ දුක අති භයානක යි. අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. සතර අපායේ උපත ලැබුවත්, සීමාවක් නැතිව දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙලෙස කල්පනා කර, කර ඉපදීමේ දොස්, ආදීනව දැකිය යුතු යි.

අඳ, ගොළු, බිහිරි ආත්ම භාව ලබා ඒ අය බොහොම දුක් විඳිනවා. ඒ දුකත් කල්පනා කරලා, එයත් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් වටහා ගත යුතු යි. එහෙමනම්, ඉපදීම යනු මහා දුකක් බව, අමුතුවෙන් කිව යුතු නැහැ. අවීචියේ පටන් භවාග්‍රය දක්වා ම උපදින ස්ථාන තිස් එකක් තිබෙනවා. මෙලෙස හැම ලෝකයක ම උපදින ස්ථාන තිස් එකක් තිබෙන අතර එහි සත්ත්වයෝ උපදිනවා, ජීවත් වෙනවා, මිය යනවා. නැවත උපදිනවා, ජීවත් වෙනවා , නැවත මිය යනවා. එය යි, මහා දුකක් වශයෙන් පෙන්වන්නේ.

ඒ නිසා තමයි, දුක අවබෝධ කරගත් බුද්ධා දී උතුමෝ නිවන ගැන ම සිතා තණ්හාව නැති කළ ආකාරයත් බලා, නිබඳව ම සැපයි, සැපයි යනුවෙන් ප්‍රකාශ කරනවා. මේ ගැන කවුරුත් හොඳින් කල්පනාවෙන් දුක්ඛ සත්‍යයේ ජාති දුක ගැන හොඳට මෙනෙහි කරලා, ඉදිරියට භාවනා දැනුම වැඩි කරගත යුතු යි.

දෙවැන්න ජරා දුක යි. ඉපදිලා නතර වෙන්නේ නැහැ. ජරාවට පත් වෙනවා. කෙස් ටික පැහෙනවා, සම රැළි වැටෙනවා, දත් ටික හැලෙනවා. මෙලෙස අප්‍රමාණ ජරා ලක්ෂණ පහළ වෙනවා. ජරා ලක්ෂණයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජරාවත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කරද්දී හොඳට දුක වටහා ගන්න පුළුවන්. ව්‍යාධි දුක එනම්, ලෙඩ වෙනවා, ලෙඩ වීමත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ලෙඩ රෝග සියල්ල ගැනම සිතා රෝග සියල්ල ම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. මරණ දුක, ඉන්පසුව මිය යනවා. එයත් සැමටම සිදුවන දෙයක්. මරණයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. ඉන් නතර වන්නේ නැහැ. සෝක දුක , අඬනවා, වැළපෙනවා. සෝකයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, පරිදේව දුක, වැළපීමේ දුක එයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කායික දුක අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මානසික දුක අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. දැඩි ආයාසය , උපායාසය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් පංච උපාදානස්ඛන්ධයට ම අයිති මේ සඳහන් දුක්ඛ ධර්මයෝ ටික හොඳට සිතමින් කල්පනා කරමින්, අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වටහා ගත යුතු යි. එකක් පාසා ම මෙනෙහි කළ යුතු යි. එවිට දුක අවබෝධ වෙනවා. එවිට මේ ගමන පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. දුක අවබෝධ නොවුණොත් තණ්හාව නැති කරන්න බැහැ. සංසාර ගමන කෙටි කරගන්න පුළුවන්කමක් නැහැ.

බෝසතාණන් වහන්සේ බෝධි සම්භාර පුරාගෙන දීර්ඝ කාලයක් වැඩම කළේ, දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්න යි. තණ්හාව නැති කරලා, සමුදය අවබෝධ කර ගන්න යි. නිර්වාණය සාක්ෂාත් කර ගන්න යි. නිරෝධ සත්‍ය අවබෝධ කර ගන්න යි. මාර්ග සත්‍ය අවබෝධ කරගන්න අනාදිමත් කාලයක් උන්වහන්සේ නිවන් මඟ වැඩම කරන්නට යෙදුණේ. කරදර, පීඩා , බාධක අප්‍රමාණ ලැබුණා. සියල්ල ම නුවණින් පිරික්සා කර බලා ඉවසීමෙන් යුක්තව කටයුතු දියුණු කරගන්නට යෙදුණා. ඒ ගැන සිතා, කල්පනා කර කවුුරුත් මේ කියනු ලබන දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්න මහන්සි ගන්න.

දුකෙහි සීමාවක් නැති බව දැන් වැටහෙනවා. තමන්ට පේන තෙක් මානයක බැලුවත් දුක ම තමයි. ඇතැම් කෙනෙකුට ඉපදීම දුක’ යි පැවසුවාට වටහා ගන්න බැහැ. නමුත් නුවණ පාවිච්චි කළොත්, ඉපදීම දුකක් බව වටහා ගන්න පුළුවන්.

එසේනම්, බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්හි, එකවරම දුක්ඛ සත්‍ය පැහැදිලි කරන්නේ නැහැ. ඒ සත්ත්වයන්ගේ නුවණ බලා, ඒ සත්ත්වයන්ගේ කවර කොටසක් ද, අවබෝධ වෙන්නේ යනුවෙන් බලා, ධර්ම දේශනා පවත්වලා, අවසානයේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ. ඒ දේශනාව අවසන් වෙද්දී මාර්ග ඵල, නිවන් සම්පත් ලබන්න සුදුස්සෝ නිවනට පත් වෙනවා. චතුරාර්ය සත්‍ය දේශනාවට කියන්නේ සාමුක්ඛංසික දේශනාව කියල යි. මෙම පාඩමෙන් කියැවෙන දුක්ඛ සත්‍ය තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන කණ්ඩායම් සියල්ල සිතට ගෙන, එකක් පාසා ම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරමින් දුක්ඛ සත්‍ය හොඳින් විදර්ශනා කළ යුතු යි. හොඳින් නුවණින් බැලිය යුතු යි.

සාරිපුත්ත මහ රහතන් වහන්සේ, තමන් වහන්සේත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා අනාදිමත් කාලයක් තාපස ජීවිතය ගත කළා. එසේම සිල්වත්, ගුණවත් ජීවිත ගත කළා. එවිටයි පාරමිතා දහය හොඳින් සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙන්නේ. පාරමිතා දහය සම්පූර්ණ කර ගත්තොත්, අපේ නිවන් මඟ පැහැදිලි ලෙස ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කවුරුත් බුදු දහමට අනුව කටයුතු කර, බුදු දහමෙන් ලබාගත යුතු විශේෂ දේ හොඳින් සිතට ගත යුතු යි. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය , අනාත්ම ලක්ෂණය, නිවන හැර හැම පදයකට ම යොදාගෙන මෙනෙහි කරගෙන යාමෙන් තමන්ගේ නුවණ හොඳින් දියුණු කරගන්න පුළුවන්.

දුක අවබෝධ කරගන්නේ නැතිව කුමන දෙයක්වත් කරගන්න පුළුවන්කමක් නැහැ. තණ්හාව අති භයානක යි. ඒ තණ්හාව නිසා තමයි, සංසාරය දිග් වෙන්නේ. නැවත උපත ලබන්නේ. එබඳු දෙයක් කඩා බිඳ දමන එක ලෙහෙසි පහසු දෙයක් නො වෙයි.

එසේනම්, ‘සුඛා පටිපදා, කිප්පා විඤ්ඤා’ කියන ප්‍රතිපදාවෙන් නිවන් මඟ යා යුතු යි. එවිට වහා ධර්මය අවබෝධ වෙනවා. එවිට දුක් කරදර, පීඩා නැතිව මේ ගමන ඉතා හොඳින් ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. එසේ ගියොත් පමණක්, හැම දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. සැප ප්‍රතිපදාවේ ම ගිහින් නිවන් සුව නොපතා ගියොත්, කවදාකවත් මේ දුක අවබෝධ කරගන්න බැහැ.

නිවන් මඟ ගමන් කිරීම අපහසු’ යි කියන්නේ නුවණ මදි අය යි. එසේ ම තද මසුරු වූ, තරහ , වෛර , ක්‍රෝධ ඇත්තෝ නිවන් මඟට විරුද්ධ වෙන්නේ. බුදු දහමට අනුකූලව කටයුතු කළොත්, කාටවත් වරදින්නේ නැහැ. මහා දරුණු සොර සතුරෝ ද , මිනී මරුවෝ ද බුදු දහම ශ්‍රවණය කර, තුනුරුවන් කෙරෙහි දණ නමා, මහණ උපසම්පදාවත් ලබාගෙන අර්හත්වයට පත් වූ පාඩම් කොතෙකුත් තිබෙනවා. මේ ගැන කල්පනාවෙන් හැකිතාක් තමන්ගේ ගුණ නුවණ ටික හොඳින් දියුණුවෙන්, සම්බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු උතුම් දෙයක් වේ නම්, ඒ දේ ලබා ගැනීම සඳහා කවුරුත් වෙහෙස මහන්සි නොබලා කටයුතු කළ යුතු යි. එයට කරුණාව , මෛත්‍රිය, දයාව, අනුකම්පා ගුණ හොඳට අවශ්‍යය යි.

එසේනම්, අද සඳහන් කළ කරුණු එකක් පාසා ම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කර, දුක්ඛ සත්‍ය විදර්ශනා හොඳට දියුණු කර ගන්න. සති, සමාධි,ඥාන ද හොඳින් දියුණුවෙන් පාරමිතා ගුණ සම්පූර්ණ කර, අපටත් මේ භාවනාවෙන් ලැබෙන පින හේතු කොට ගෙන , චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහා නිවන් සම්පත් අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල



 

සුව ගෙනදෙන ආත්ම දමනය


සුව ගෙනදෙන ආත්ම දමනය
ඌරුගමුවේ
අස්සජී හිමි

" කාම රාගය දුරු කිරීමට කායගතා සතිය හෙවත් පිළිකුල් භාවනාවත්, ක්‍රෝධය දුරු කිරීමට මෛත්‍රී භාවනාවත්, ඊර්ෂ්‍යාව දුරු කිරීමට මුදිතාවත්, මෙහි දී මහෝපකාරී වෙයි. ආත්ම දමනයේ විශේෂ ලක්ෂණය ඉවසීමයි."

සැවැත්නුවර ඉසුරුමත් පවුලක මව්පිය දෙපළක් අගසවු සැරියුත් මහරහතන් වහන්සේට සිව්පසයෙන් නිති උපස්ථාන කරති. ඔවුනට පිනැති පුත් රුවනක් ලැබිණ. එම කුමරු මව්කුස පිළිසිඳගත් තැන් පටන් නිවසෙහි වෙසෙන සියලු දෙනාම සුව සම්පතින් පිනා ගියහ. දුක් දොම්නස්, රෝග පීඩා යනාදී බාධක දුරු විය. මෙම කුමරු උපන් පසු ඔහුට නම් තැබීම සඳහා සැරියුත් මහරහතන් වහන්සේට ආරාධනා ලැබිණ. කුමරු මව්කුස පිළිසිඳගත් දා පටන් පවුලේ සියලු දෙන සුවසේ වැඩුණු බව දත් උන්වහන්සේ කුමරුට ‘සුඛ කුමාර’ යන නම තැබූහ.

යහතින් වැඩෙන කුමරු සත් හැවිරිදි වියේ දී පැවිදි වීමට කැමැත්තක් දැක්වී ය. සැදැහැවත් මව්පියෝ සැරියුත් මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස කුමරු පැවිදි කර වූ හ. පැවිද්දෙන් පසු පණ්ඩිත සාමණේර නම ලෙස හැඳින්විණ. දිනක් සැරියුත් මහතෙරුන් වහන්සේ සමඟ පණ්ඩිත සාමණේරනම පිඬු සිඟා වඩිමින් සිටියහ. අතරමග දී ඇල මාර්ග ඔස්සේ ඒ ඒ තැන් කරා දිය ගෙන යන්නන් පිරිසක් සාමණේර නමට දැක ගැන්මට ලැබුණි. මොවුහු කුමක් කරත්දැයි, සැරියුත් තෙරුන් ගෙන් විමසී ය. මොවුන් කුඹුරු වගාවන් සඳහා ඒ ඒ තැන් දක්වා ජලය ගෙනයන බව සැරියුත් තෙරණුවෝ වදාළහ.

තවත් මද දුරක් ගමන් කරන විට සාමණේර හිමියන්ට දැකගත හැකි වූයේ ඊතල ගින්නෙන් තවමින්, ඇස් අගින් බලා ඇද හරින හී වඩුවන් පිරිසකි. තවත් මද දුරක් ඉදිරියෙන් ලී දඬු නැවීම්, ඇද හැරීම් යනාදී සියුම් වැඩ මගින් රථවල නිම්වළලු සකස් කරන පිරිසක් දැකගත හැකි විය. පසුව පිණ්ඩපාත ගමන නතර කළ සාමණේර හිමි පෙරළා විහාරගෙය තුළට පිවිසියේ ය. මග දී දුටු මෙම සිද්ධි තුන නිමිති වශයෙන් ගෙන තමා ම තමන් දමනය කරගත යුතු ආකාරය නුවණින් මෙනෙහි කිරීමට තරම් උන්වහන්සේ ප්‍රඥාවන්ත වූ හ. සිත් පිත් නැති ජලය වැනි ඉතා සියුම් දේත් යකඩ, ලී දඬු වැනි ඉතා තද දේත් කීකරු කොට ඒ ඒ කාර්යයෙහි යොදා ඉන් ප්‍රයෝජන ලබන අයුරු නුවණින් මෙනෙහි කළහ. සිත නොයෙක් අරමුණු කරා විසිර යා නොදී එක් අරමුණක තබා ගත්හ. සහජයෙන් ම නුවණැති උන්වහන්සේ තමා ගේ සිත තමා විසින් ම පාලනය කරන ලදුව මාර්ගඵලාවබෝධය ලැබූහ.

මෙම අපූර්ව සිදුවීම නිමිති කරගත් බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ දී මෙසේ වදාළහ.

උදකං හි නයන්ති නෙත්තිකා
උසුකාරා නමයන්ති තෙජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා

දියාලුවෝ (වාරිමාර්ගකරුවෝ) තමන් රිසි තැනට දිය පමුණුවති. හී වඩුවෝ හී ඇද හරිති. ලී වඩුවෝ ලී දඬු තමන් රිසි අතකට නමති. නුවණැත්තෝ තමන් දමනය කරති.

මෙමඟින් ඉගැන්වෙන්නේ ආත්ම දමනය පිළිබඳවයි. පාලි භාෂාවෙහි මෙම ‘අත්ත’ යන පදයෙහි ‘ආත්මය’ යන තේරුමක් නොමැත. එමගින් ‘තමා’ යන සරල අර්ථය ගෙනදෙයි. සුප්‍රකට ‘අත්තාහි අත්තනො නාථො’ යන පාඨයෙහි අදහස ද ‘තමාම තමාට පිහිටය’ යන්නයි. මහා පරිනිබ්බාන සූත්‍රයෙහි එන ‘අත්ත දීපා විහාරථ අත්තසරණාන අනඤ්ඤ සරණා’ යන්නෙන් කියවෙන්නේ ද තමා දිවයිනක් හෙවත් පිහිටක් කරගෙන, තමා සරණ කරගෙන, අනෙකෙකු සරණ කර නොගෙන වෙසෙනු යන්නයි. මේ අනුව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ ඖෂධ භාවිත කිරීමෙන් රෝග සුවය සිදු වන්නාක් සේ ධර්මයෙහි හැසිරීමෙන් ම ආත්ම දමනය සිදු වන බවයි.

කෙලෙස් මැඩීම පිණිස ගන්නා උත්සාහය මෙහි දී ප්‍රධානත්වය ගනියි. කාම රාගය දුරු කිරීමට කායගතා සතිය හෙවත් පිළිකුල් භාවනාවත්, ක්‍රෝධය දුරු කිරීමට මෛත්‍රී භාවනාවත්, ඊර්ෂ්‍යාව දුරු කිරීමට මුදිතාවත්, මෙහි දී මහෝපකාරී වෙයි. ආත්ම දමනයේ විශේෂ ලක්ෂණය ඉවසීමයි. සුනාපරන්තයේ පුණ්ණ හිමි බුදුරදුන් සමග කළ සංවාදය ඊට වැදගත් ම නිදසුනකි.

දිනක් පුණ්ණ හිමියෝ ස්වකීය ගමට යනු කැමැතිව බුදුරදුන් වෙත ගොස් භාවනා කිරීමට කමටහන් ඉල්ලා සිටියහ. එවිට බුදුරදුන් විමසූයේ, පුණ්ණ සුනාපරන්තවාසීහු ඉතා නපුරු ය. චණ්ඩ ය. එහි දී ඔවුහු ඔබට බනිත් නම්, තර්ජනය කරත් නම් කෙසේ සිතන්නෙහි ද?

එවිට පුණ්ණ තෙරණුවෝ මෙසේ පැවසූහ.

ස්වාමීනි, මට ඔවුන් බැන්නත්, තර්ජනය කළත්, අතින් පයින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි මම සිතමි.

බුදුරදුන් – ඔවුන් අතින් පයින් ගැසුවොත් කෙසේ සිතනවා ද?

පුණ්ණ හිමි – අතින් පයින් ගැසුවත් ගල් මුල්වලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමි.

බුදුරදුන් – ගල් මුල්වලින් ගැසුවොත් කෙසේද?

පුණ්ණ හිමි – එසේ වුවත් ඔවුන් මට පොලුවලින් නොගසනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි සිතමි.

බුදුරදුන් - පොලුවලින් ගැසුවොත් කෙසේද?

පුණ්ණ හිමි – ආයුධවලින් පහර නොදෙනු ඇත. එහෙයින් ඔවුන් හොඳ මිනිසුනැයි, සිතමි.

බුදුරදුන් – ආයුධවලින් පහර දුන්නොත් කෙසේද?

පුණ්ණ හිමි – ආයුධවලින් පහර දුන්නත් ඔවුන් මා නොමරනු ඇත. එහෙයින් හොඳ මිනිසුනැයි සිතමි.

බුදුරදුන් – ඔවුන් ඔබ ඝාතනය කළේ නම්, ඒ අවස්ථාවේ කෙසේ සිතනවාද?

පුණ්ණ හිමි – භාග්‍යවතුන් වහන්ස, ශරීරය හා ජීවිතය ගැන කළකිරී දිවි නසා ගැනීමට ආයුධ සොයන පැවිද්දෝ ද බුදුසසුනෙහි සිටිති. මට එය නො සොයා ම ලැබුණේ යැයි, සිතමි.

එම පිළිතුරු අසා ඉමහත් ප්‍රසාදයට පත් බුදුරජාණන් වහන්සේ සාධුනාද දී ‘මෙතරම් ඉවසීමක් ඇති ඔබට සුනාපරන්තයෙහි විසිය හැකි වන්නේ යැ’යි වදාරා සමුදුන්හ. පුණ්ණ තෙරණුවෝ ස්වකීය ගම වූ සුනාපරන්තයට ගොස් වස් වසා උවසු උවැසියන් දහසක් පමණ ඇති කොට බවුන් වඩා රහත් වූ හ. ඒ ආත්ම දමනයෙහි බලය යි.


 

නකුල පිතු සූත්‍රය


 නකුල පිතු සූත්‍රය

1

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග නම් දනව්වෙහි සුංසුමාරගිරි නම් නුවර භෙසකලාවන නම්වූ මිගදායෙහි වැඩ වාසය කරන සේක.

එකල්හි වනාහි නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙක උන්නාවූ නකුලපිතු ගෘහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කෙළේය.

“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණ වූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. පශ්චිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ගිලන්වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව ඇතිවන්නාවූ, භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. මට යමක් බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේද?’ ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!’ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා!”

“ගහපතිය, ඒ කාරණය එසේය, ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජු වටක් මෙන් දුබල වූයේ වෙයි. සියුම්වූ සිවියකින් දැවටුනේ වෙයි. ගහපතිය, යමෙක් යම් කය පරිහරණය කරන්නේ මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගී බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන බව හැර වෙන කුමක්ද? ගහපතිය, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”

ඉක්බිති, නකුලපිතු ගහපතිතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව එය අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි එළඹියේය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ නකුලපිතු ගහපතියාට ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය.

‘ගහපතිය, ඔබගේ ඉන්ද්‍රියයෝ විප්‍රසන්නයහ. (විශේෂයෙන් පැහැදුනහ) මුඛවර්ණය (මූණෙහි පාට) පිරිසිදුය. නිර්මලය. අද (ඔබ) භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙන් දැහැමි කථාවක් ඇසීමට ලැබුයේ වෙහිද?”

“ස්වාමීනි, කිමද නැත්තේ.” “ස්වාමීනි, මේ දැන් මම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමියි” කීය. “ගහපතිය ඔබ කෙසේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්ම කථාවවූ අමෘතයෙන් “අභිෂේක කරන ලද්දේද?” “ස්වාමීනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි එළඹුනෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක උන්නෙමි. ස්වාමීනි, එකත්පසෙක හුන්නාවූ මම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෙමි.

“ස්වාමීනි, මම ජරාවෙන් ජීර්ණවූයේ වෙමි. වයසින් වෘද්ධවූයේ වෙමි. ජාතියෙන් මහළුවූයේ වෙමි. තුන්කල් ඉක්මගියේ වෙමි. අන්තිම වයසට පැමිණියේ වෙමි. නිතර රෝගීවූ ආතුර (ලෙඩ) වූ සිරුරක් ඇත්තේ වෙමි. ස්වාමීනි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේ හා සිතේ දියුණුව උපදින භික්ෂූන්ද නිතර දක්නේ නොවෙමි. යමක් මට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස වන්නේද? “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අවවාද කරන සේක්වා!” ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට එයින් අනුශාසනා කරන සේක්වා යනුයි.

“ස්වාමීනි, මෙසේ කීකල්හි මට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක. ‘ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, ඒ කාරණය එසේය. ගහපතිය, මේ කය ආතුරවූයේ වෙයි. බිජුවටක් මෙන් දුබලවූයේ වෙයි. (සියුම් සිවියකින් පමණක්) දැවටුනේවෙයි. ගහපතිය, යමෙක් වනාහි මේ කය පරිහරණය කරන්නේද (හෙතෙම) මොහොතක් නමුත් ආරෝග්‍යය (නිරෝගි බව) ප්‍රතිඥා කරන්නේ නම් (එය ඔහුගේ) අඥාන භාවය හැර වෙන කුමක්ද? එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ‘ආතුරවූ කයක් ඇත්තාවූ මාගේ සිත අනාතුර වන්නේය’ කියායි. ගහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතුය කියායි. ස්වාමීනි, මම මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කථාවවූ අමෘතයෙන් අභිෂෙක කරන ලද්දේ වෙමි.

‘ස්වාමීනි, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක් සහ ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද, කොපමණකින් වනාහි ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩ නොවූ සිත ඇත්තෙක් වන්නේ දැයි’ මත්තෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීමට නොවැටහුණෙහිද?”

“ස්වාමීනි, අපි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිදී මේ දේශනාවේ අර්ථය දැන ගැනීමට දුර සිට එන්නෙමු.” මේ දේශනාවේ අර්ථය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේටම වැටහෙන්නේ නම් මැනවි.”

“එසේනම් ගහපතිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි”යි වදාළේය. “ස්වාමීනි, එසේයයි.” නකුල පිතු ගහපතිතෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්නේය.

ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළේය. “ගහපතිය, කෙසේනම් ලෙඩවූ කය ඇත්තෙක්ව ලෙඩවූ සිත ඇත්තෙක් වන්නේද?”

“ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නොදක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි අදක්ෂවූ ආර්‍ය්‍යධර්මයෙහි නොහික්මුනාවූ සත් පුරුෂයන් නොදක්නාවූ, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂවූ, සත් පුරුෂ ධර්මයෙහි නොහික්මුණාවූ අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපය ආත්මය (තමා) වශයෙන් දකියිද? රූපවත්හු (රූපය ඇත්තාහු) තමා කොට හෝ දකියිද? රූපය තමා කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද? රූපයෙහි ආත්මය (තමා) හෝ ඇත කියා හෝ දකියිද? රූපය මම වෙමි. මගේ රූපය වේයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, රූපය මම වෙමි. මගේ රූපයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද, ඔහුගේ ඒ රූපය වෙනස් වෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරලීම හේතුකොට ගෙන ඔහුට ශෝකය, පරිදේවය, දුක්ය, දොමනස්සය, උපායාසය යන මොවුහු උපදිත්.”

“වේදනාව ආත්මය වශයෙන් දකියිද, වේදනාව ඇත්තහු ආත්මයකොට හෝ දකියිද, ආත්මය (තමා) කෙරෙහි වේදනාව ඇතැයි කියා හෝ වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම වේදනාව වෙමි. මගේ වේදනාවයයි තණ්හා දිට්ඨි දෙකින් මඩනා ලද්දේ වෙයිද, මම වේදනාව වෙමි, මගේ වේදනාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද වේදනාවගේ වෙනස්වීම අන් ආකාරයකට පැමිණීම යන මෙය හේතුකොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

“සංඥාව ආත්මය වශයෙන් දකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ දකියිද, සංඥාව ආත්මය කෙරෙහි ඇතැයි කියා හෝ දකියිද, සංඥාවෙහි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, මම සංඥාව වෙමි. සංඥාව මගේයයි මඩනා ලද්දේ හෝ වෙයිද, මම සංඥාව වෙමි. මගේ සංඥාවයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පැමිණෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඕහට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

“සංස්කාරයන් ආත්මය වශයෙන් හෝ දකියිද, සංස්කාරවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇත කියා හෝ දකියිද, සංස්කාරයන්හි ආත්මය ඇතැයි කියා හෝ දකියිද, සංස්කාරයෝ මම වෙමි මාගේ සංස්කාරයෝයයි මඩනාලද්දේ වෙයිද, සංස්කාර මම වෙමි. මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයකට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

“විඤ්ඤාණය ආත්මය වශයෙන් හෝ දකියිද, විඤ්ඤාණවත්හු ආත්මයකොට හෝ දකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇත කියා හෝ දකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ වෙයිද, මම විඤ්ඤාණය වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු උපදිත්.

“ගෘහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත ඇත්තේද වෙයි.”

“ගහපතිය, කෙසේ නම් ලෙඩවූ කය ඇත්තේ ලෙඩ නොවූ සිත් ඇත්තෙක් වන්නේද, ගහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් දක්නාවූ ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂවූ, ආර්‍ය්‍යධර්මයෙහි හික්මුනාවූ, සත්පුරුෂයන් දක්නාවූ. සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුනාවූ, ශ්‍රැතවත් (ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම රූපය ආත්මය වශයෙන් නොමදකියිද, රූපවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි රූපය ඇතැයි හෝ නොමදකියිද, රූපය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “රූපය මම වෙමි. මගේ රූපය”යි මඩනා ලද්දේ නොවේද, රූපය මම වෙමි මාගේ රූපයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ රූපය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයකට පෙරළෙයිද, රූපයාගේ වෙනස්වීමෙන් අන් ආකාරයකට පෙරළීමෙන් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“වේදනාව ආත්මය වශයෙන් හෝ නොමදකියිද, වේදනාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි හෝ වේදනාව ඇතැයි හෝ නොමදකියිද, වේදනාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, වේදනාව මම වෙමි. මගේ වේදනාවයයි නොමඩනා ලද්දේ වෙයිද, වේදනාව මම වෙමි, මගේ වේදනාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ වේදනාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, වේදනාවගේ වෙනසට පැමිණීමෙන් හා අන් ආකාරයට පෙරළීමෙන් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“සංඥාව ආත්මය වශයෙන් නොමදකියිද, සංඥාවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංඥාව ඇතැයි හෝ නොමදකියිද, සංඥාව කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංඥාව මම වෙමි මගේ සංඥාවය”යි නොමඩනා ලද්දේ වෙයිද, සංඥාව මම වෙමියි මගේ සංඥාවයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංඥාව වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද, සංඥාවගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම හේතුකොටගෙන ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“සංස්කාරයන් ආත්මය වශයෙන් නොමදකියිද, සංස්කාරවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි සංස්කාරයන් ඇතැයි හෝ දකියිද, සංස්කාරයන් කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, “සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි මඩනා ලද්දේ නොවෙයිද, සංස්කාරයෝ මම වෙමි, මගේ සංස්කාරයෝයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනසට පැමිණෙත්ද, අන් ආකාරයට පෙරළෙත්ද, සංස්කාරයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පෙරළීම යන මෙයින් ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ඛය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

‘විඤ්ඤාණය ආත්මය වශයෙන් නොමදකියිද, විඤ්ඤාණවත්හු ආත්මය කොට හෝ නොමදකියිද, ආත්මය කෙරෙහි විඤ්ඤාණය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය කෙරෙහි ආත්මය ඇතැයි හෝ නොමදකියිද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි මඩනා ලද්දේ නොවේද, විඤ්ඤාණය මම වෙමි. මගේ විඤ්ඤාණයයි නොමඩනා ලද්දාවූ ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනසට පැමිණෙයිද, අන් ආකාරයට පෙරළෙයිද විඤ්ඤාණයාගේ වෙනස්වීම අන් ආකාරයට පෙරළීම හේතු කොටගෙන ඔහුට ශෝකය, පරිදෙවය, දුක්ය, දොම්නසය, උපායාසය යන මොවුහු නූපදිත්.

“ගහපතිය, මෙසේ වනාහි ලෙඩවූ කය ඇත්තේද, ලෙඩවූ සිත නැත්තේද වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇත්තාවූ නකුල පිතු ගහපති තෙමේ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ වචනයට සතුටු වූයේය.

(පළමුවෙනි නකුල පිතු සූත්‍රය නිමි.)



චෛතසික



සිත තනි ව උපදින දෙයක් නො වේ. තනි ව ඉපදිය හැකි ශක්තියක් ද එයට නැත. සිතක් උපදනා කල්හි එය හා සර්වාකාරයෙන් මිශ්‍ර‍ බවට පැමිණ එය හා එක වර ම ඉපද එකට පැවතී එකට ම බිඳෙන සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසක් ඇත්තේ ය. චෛතසික යයි කියනුයේ ඒවාය. සිත හා එකට ඉපදීම ය, එකට බිඳීම ය, එක අරමුණක් ඇති බවය, එක් වස්තුවක් ඇසුරු කොට පවත්නා බව ය යන මේ කරුණු සතර චෛතසිකයේ ලක්ෂණය යි පූර්වාචාර්‍ය්‍යවරයෝ පැවසූහ. චිත්ත චෛතසිකයන්ගේ තත්ත්වය ප්‍ර‍කාශ කිරීමේ දී කසායෝපමා, මල්පොකුරු උපමා ආදිය ආචාර්‍ය්‍යවරයෝ දක්වති. ද්‍ර‍ව්‍ය නොවූ ක්‍රියා මාත්‍ර‍ම වූ චිත්ත චෛතසිකයන්ගේ තත්ත්වය දැක්වීම ඒවායින් සිදුකළ හැකිය යි නො සිතමි. චිත්ත චෛතසික තත්ත්වය අප විසින් උපමාවෙන් දක්වන්නේ මෙසේ ය.

මිනිසකු ගෙයක සිට ගසක් වෙත යන කල්හි මිනිසා ගේ ගමන ක්‍රියාව හා එකවර පටන් ගෙන එකට පැවත එකවර අභාවප්‍රාප්ත වන්නාවූ කවර ආකාරයකින් වත් ඔවුනොවුන් වෙන් නො කළ හැකි සේ එකට බැඳී පවත්නා වූ සර්වාකාරයෙන් මිශ්‍ර‍ව පවත්නා වූ තවත් ක්‍රියා දෙකක් සිදු වේ. එනම් මිනිසා ගෙයින් ඈත් වීම හා ගසට ළං වීම ය. ගමන ක්‍රියාව සිදු කරන මිනිසාගේ පියවරක් පාසා ම ඔහුට ගෙය දුර වීමත් ගස ළං වීමත් සිදු වේ. යෑමේ පටන් ගැනීම දුර වීම්, ළං වීම් දෙකේ ද පටන් ගැනීම ය. යෑමේ පැවැත්ම දුර වීම, ලං වීම දෙකේ ද පැවැත්මය. යෑමේ නැවැත්ම දුර වීම් ළං වීම් දෙකේ නැවැත්ම ය. දුර වීම්, ළං වීම් දෙක සිදු නොවන්නට කවර ආකාරයකින් වත් යෑම නො කළ හැකිය. එබැවින් දුර වීම, ළං වීම, දෙකින් යෑම් හෝ යෑමෙන් දුර වීම්, ළං වීම් දෙක හෝ කවර ආකාරයකින් වත් වෙන් නො කළ හැකි ය.

එහෙත් දුර වීම් ළං වීම් දෙක සිදු වනුයේ ගමන ක්‍රියාව නිසා ය. එබැවින් ගමන ක්‍රියාව එහි ප්‍ර‍ධාන ය. ඉතිරි දෙක අප්‍ර‍ධාන ය. මේ අප විසින් චිත්ත චෛතසික තත්ත්වය දැක්වීමට ගන්නා වූ උපමාව ය. මේ උපමාව ද මඳක් ගැඹුරු ය. පළමු කොට උපමාව හොඳින් තේරුම් ගෙන පසුව අර්ථය හා සසඳා බලනු.

මෙහි ප්‍ර‍ධාන වූ ගමන ක්‍රියාව මෙන් සිත දත යුතුය. අප්‍ර‍ධාන වූ දුර වීම්, ළං වීම් දෙක මෙන් චෛතසික දත යුතු ය. දුර වීම්, ළං වීම් දෙක නො වන්නට ගමන ක්‍රියාව නො කළ හැකිවාක් මෙන් චෛතසිකයන්ගෙන් තොර ව සිතට නූපදිය හැකි බව දත යුතු ය. දුර වීම්, ලං වීම් දෙකින් ගමන ක්‍රියාව හෝ ගමන ක්‍රියාවෙන් දුර වීම්, ලං වීම් දෙක හෝ වෙන් නො කළ හැකිවාක් මෙන් චෛතසිකයෙන් සිත හෝ සිතින් චෛතසිකය හෝ වෙන් නො කළ හැකි බව දත යුතුය. ගමනය, දුරවීමය, ළංවීමය යන මේවා එකට පටන් ගෙන එකට පැවතී එකට නවත්නාක් මෙන් සිතේ හා චෛතසිකයන්ගේ එකට ඉපදීම ය, එකට පැවැත්මය, එකට බිඳීමය යන මේ තුන දත යුතු ය. ගමනාදී ක්‍රියා තුන, යන පුද්ගලයා ඇසුරු කොට පවත්නාක් මෙන් චිත්ත චෛතසිකයන් එක වස්තුවක් ඇසුරු කොට පවත්නා බව දත යුතු ය.

මතු සම්බන්ධයි!




Wednesday, September 15, 2021

ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි උපේක්ඛා සම්බොජ්ඣංගය

 


ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි උපේක්ඛා සම්බොජ්ඣංගය

විදර්ශනා නුවණ දියුණුවට වැදගත්
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

භාවනා අතුරෙන් විදර්ශනා නුවණ දියුණු කරන භාවනාව ඉතා වැදගත්. එනම්, දැන් ඉගෙන ගන්නා උපේක්ඛා සම්බොජ්ඣංගය ඉතා වැදගත්.

සමාධි ආදී බොජ්ඣංග ධර්ම සියල්ල පෙර ලිපි මඟින් සඳහන් කළ අතර උපේක්ඛා සම්බොජ්ඣංගය උප - ඉක්ඛ ධාතුවකින් උපේක්ෂා හැදී තිබෙනවා. එනම් මධ්‍යස්ථ බ ව යි. කුමන දෙයක් කෙරෙහිවත් ඇලෙන්නේ, ගැටෙන්නේ නැතිව දියුණු සිත මධ්‍යස්ථ භාවයට ගෙනෙන්න පුළුවන්.

උපේක්ෂා සම්බොජ්ඣංගය, ගැන හොඳින් නුවණින් පිරික්සා කර බලන විට, එයත් ඇතිව නැතිවන බව වැටහෙනවා. නූපන්නා වූ උපේක්ෂා සම්බොජ්ඣංගය උපන් බවත්, උපන්නා වූ සම්බොජ්ඣංගය දිගට පවත්වාගෙන යාමට සිහි නුවණ පාවිච්චි කළ යුතු බවත්, තමන් හොඳට සිහි නුවණින් කල්පනා කර ගන්නට අවශ්‍යය යි. උපන්නා වූ උපේක්ෂා සම්බොජ්ඣංගය වැඩි දියුණු කර ගන්නට උත්සාහවන්ත විය යුතු යි.

උපේක්ෂා සම්බොජ්ඣංගය උපදවා ගන්නට උපකාරක ධර්ම හතක් තිබෙනවා. පළමුවැන්න තමාගේ කර්ම, කර්ම විපාකයන් තමා විඳින බව හා සත්ත්වයන් පුද්ගලයන් යැ’යි යමක් නැති බව මෙනෙහි කිරීම, කර්මය ගැන මෙනෙහි කළ යුතු යි. සත්ත්ව , පුද්ගල , ආත්ම ගැන මෙනෙහි නො කිරීම. පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැහැ. සම්මුති වශයෙන් පමණක් සත්ත්ව, පුද්ගල , ආත්ම තියෙනවා. එහෙමනම්, කර්මය ගැන මෙනෙහි කරන විට සිත මධ්‍යස්ථ භාවයට පත් වෙනවා.

දෙවන කාරණය සංඛාර ධර්මයන් තමන්ගේ කැමැත්තට අනුකූලව නොපවතින බව හා තාවකාලික බව මෙනෙහි කිරීම, මොනම දෙයක්වත් තමන්ගේ කැමැත්තට අනුව වසඟයෙහි පවත්වාගන්නට පුළුවන්කමක් නැහැ. ඒ සියල්ලම වෙනස් වෙවී , වෙනස් වෙවී යනවා. ඒවා ගැන හොඳට කල්පනා කිරීමෙන් උපේක්ෂා බොජ්ඣංගය හොඳට දියුණු කර ගන්න පුළුවන්.

තුන්වන කාරණය තමන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණයක්. ගිහි උදවියත් තම තමන්ගේ දූ දරුවන්ගෙත් , පැවිද්දෙක් නම්, පැවිදි භික්ෂූන් වහන්සේ, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් , ඒ වගේ ම උපාධ්‍යායන් වහන්සේත් මොහොතක් ම තමා වෙතින් වෙන් නොකරන ලැදැ’යි ඔවුන් කෙරෙහි මමත්වය උපදවා ක්‍රියා කරන , පරිභෝග කරන සිවුරු පිරිකර ආදිය අතින් දෙනු තබා, අතින් ඇල්ලීමකටවත් නොදෙන ගති ඇති පුද්ගලයන් ආශ්‍රය නො කිරීම. එනම්, තණ්හාව, තරහව හට ගන්නා පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් වැළකිය යුතු යි. මධ්‍යස්ථ පුද්ගලයන් ආශ්‍රය නිශ්‍රය කිරීමට තමන්ගේ සිත යොමු කරගත යුතු යි. එවිට තණ්හාව, තරහව තිබෙන අය , ඒ වගේම ගිහි පැවිදි කොයි කවුරු වුණත්, ආලයෙන් , සෙනෙහසෙන් ආශ්‍රය නිශ්‍රය කරන අය ආශ්‍රය කිරීමෙන් වැළකිය යුතු යි.

තව ද ආශ්‍රය කළ යුත්තේ මධ්‍යස්ථ අරමුණු ඇති පුද්ගලයන් ය. ඔවුන් ආශ්‍රය කරන විට, උපේක්ෂා සම්බොජ්ඣංගය හොඳට දියුණු කරගන්න පුළුවන්.

පස්වැනි කාරණය හැම දෙයක් ම මධ්‍යස්ථවම බැලිය යුතු යි. උපේක්ෂා බොජ්ඣංගය දියුණු කරගැනීම සඳහා ම බලවත් උත්සාහයෙන් කටයුතු කළ යුතු යි. එවිට කිසිම දෙයක , කරදර , පීඩාවකට , බාධාවක් නොවී මෙය දියුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. උපේක්ෂා සම්බොජ්ඣංගය විශේෂයෙන් නිවන් සම්පත් අවබෝධ කරගැනීමට සුවිශේෂී කරුණක්.

හැම දෙනාම ලාභ අරමුණෙන් උඩඟු වන අතර අලාභ අරමුණෙහි හඬා දොඩා වැළපෙනවා. උපේක්ෂා සම්බොජ්ඣංගය දියුණු කර ගැනීමෙන් ලාභයේ දී ත් , අලාභයේ දී ත් මධ්‍යස්ථ ව වාසය කරනවා. නින්දා-ප්‍රශංසා දෙකෙහි ත් , සැප-දුක් දෙකෙහි ත් මධ්‍යස්ථ ව වාසය කරනවා. යස -අයස දෙකෙහි ද මධ්‍යස්ථව වාසය කරයි. මේ අෂ්ට ලෝක ධර්මය හෙවත් තාදී ගුණය තමන්ගේ සිතේ දියුණු කර ගැනීම සඳහා බලවත් උත්සාහයකින් කටයුතු කරන්න පුළුවන් නම්, එය උතුම් අවස්ථාවක්. මේ පාඩම් හතෙන් ම බොජ්ඣංග හත ගැන කියැවුණා. නිවන් සම්පත් අවබෝධ කරගන්න, සති, ධම්ම විචය හෙවත් නුවණ, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා ආදී බොජ්ඣංග හතක් කියැවුණා.

බොජ්ඣංග හතම මෙලොව දියුණුවට , පරලොව සුගතියට , නිවන් සම්පත් සඳහාත්, හේතු වෙනවා. බොජ්ඣංග ධර්මයෝ ද මොහොතක් පාසා ම වෙනස් වන බැවින්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එලෙස මෙනෙහි කරගෙන යනවිට, තමන්ගේ සිත බොහොම පිරිසුදු ව නික්ලේෂී භාවය කරා ගෙන යන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමාගේ සන්ථානය දියුණු කර ගැනීමෙන්, සෝක, පරිදේව සංසිඳුවා ගන්න පුළුවන්කම තියෙනවා. දුක් -දොම්නස් දෙකම සංසිඳවා ගෙන නිවන් මඟට බැසගත හැකි යි. නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්.

ආනාපාන සති භාවනාව, කායගතා සති භාවනා ආදිය නිවැරැදිව කර ගැනීමෙන් බොජ්ඣංග හත හොඳින් දියුණු කර ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම්, තමන්ගේ ගුණ සම්පත් ගැන කල්පනා කර, ශීලා දී ප්‍රතිපත්ති ගැන සිතා නිවන් සම්පත් බලාපොරොත්තුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මේ බොජ්ඣංග හත හොඳට දියුණු කර ගන්න අවශ්‍යය යි.

රෝගී ව සිටි මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේටත් , මුගලන් ස්වාමීන් වහන්සේටත්, බොජ්ඣංග දේශනාව නිරෝගී සුවය සඳහාත් හේතු වුණා. බුදුරජාණන් වහන්සේත් රෝගී වූ මොහොතේ බොජ්ඣංග දේශනාව චුන්ද ස්වාමීන් වහන්සේ පැවැත්වූ විට උන්වහන්සේටත් නිරෝගී සැප ලැබුණා. එසේනම්, බොජ්ඣංග දේශනාව නීරෝගී සුවය සඳහාත් හේතු වෙනවා. මෙලොව දියුණුව, සසර කෙටි කරගැනීමට සේ ම නිවන් සුව ලබන්නටත්, ජීවිතවල ඇති අඩුපාඩුකම් යටපත් කරගන්නත් පුළුවන්කම තියෙනවා.

සති සම්බොජ්ඣංගය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි , ධම්මවිචය සම්බොජ්ඣංගය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, විරිය සම්බොජ්ඣංගය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, පීති සම්බොජ්ඣංගය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, පස්සද්ධි සම්බොජ්ඣංගය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. සමාධි සම්බොජ්ඣංගය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. උපේක්ඛා සම්බොජ්ඣංගය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම ලෙස මෙනෙහි කරන්න.

මෙලෙස මෙනෙහි කර නූපන්නා වූ බොජ්ඣංගය උපන්න බවත්, උපන්නා වූ බොජ්ඣංගය දියුණු වෙන බවත් කල්පනාවෙන් මේ භාවනාව හොඳට දියුණු කරගනු ලැබුවොත්, අපේ සිත වේගවත් ව ඉදිරියට යන්න පුළුවන්. සිතේ තිබෙන පහත් සිතිවිලි, ක්ලේෂයෝ, දුරු කරගෙන, යටකරගෙන ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ම කරදර, පීඩා, සහිතයි යනුවෙන් නැවත හැරුණොත්, නිවන් මඟ වැරදුණා වෙනවා. එහෙමනම් නිවන් මඟ උදෙසා ඉදිරියට ම යා යුතු යි.

ජම්මික ප්‍රබෝධනී වැලිකල




කප්පින සූත්‍රය



කප්පින සූත්‍රය

245

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

ඉක්බිති ආයුෂ්මත් මහා කප්පිණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් මහාකප්පිණ තෙරුන් දුරදීම දුටුසේක. දැක, භික්ෂූන්හට කථාකළ සේක.

“මහණෙනි, තෙපි එන්නාවූ සුදුපැහැයෙන් යුක්තවූ සිහින්වූ, උස්වූ නැහැයකින් යුක්තවූ, ඒ මහණ දක්නහුද?” “එසේය, ස්වාමීනි.”

“මහණෙනි, ඒ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ භික්ෂුව විසින් සමනොවදිනලද විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියායි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.

(1) “ගෝත්‍ර සොයන්නාවූ යම් සත්වයෝ වෙත්ද, (ඔවුන් කෙරෙහි) ක්ෂත්‍රියතෙම ශ්‍රේෂ්ඨ වෙයි. දෙවි මිනිසුන් කෙරෙහි අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්ත තැනැත්තේ ශ්‍රේෂ්ඨ වෙයි.”

(2) “සූර්‍ය්‍යයා දවල් බබලයි. චන්ද්‍රයා රෑ බබලයි. ක්ෂත්‍රියතෙම සන්නාහසන්නද්ධ වූයේ බබලයි. ක්ෂීණාශ්‍රව තෙම ධ්‍යානයෙන් යුක්ත වූයේ බබලයි. එහෙත් බුදු රජාණන් වහන්සේ දිවා රෑ දෙක්හිම තේජසින් බබලන සේක.”

(එකොළොස්වෙනි කප්පින සූත්‍රය නිමි.)