Thursday, August 19, 2021

ආයතන විදර්ශනාව


ආයතන විදර්ශනාව : සංසාර සාගරයේ සැප – දුක

අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

ලොවුතුරා බුදු පියාණන් වහන්සේ ගේ ධර්මය ලැබුණේ අවුුරුදු දෙදහස් හයසිය ගණනකට පෙර යි. අතීත බුද්ධ ශාසනවලත් මේ ධර්මය ම සියලු බුදුවරු දේශනා කොට වදාළා.

බුදු පියාණන් වහන්සේ සෑම දවසක ම ලෝක ධාතුව දෙස බලා සත්ත්වයන්ගේ සන්ථානය බුදු නුවණින් විමස යි. කෙලෙස්, අනුසයන්, සංයෝජනයන් පවතින්නේ කෙලෙස ද? යනුවෙන් විමස යි. මේවා නැති කිරීම සඳහා කවර දේශනාවක් පැවැත්විය යුතු ද? යනුවෙන් බුදු නුවණින් විමසා අදාළ දේශනාව පවත්වනු ලබ යි. එයින් බොහෝ සත්ත්වයන් මාර්ග ඵල අවස්ථාවට පත් වුණා.

එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සැරියුත් තෙරණුවන් ඉගැන්වූ ලෙස කායගතා සති භාවනාව වැඩුවා. නමුත් චිත්ත සමාධියක් ලැබුණේ නැහැ. ඒනිසා සැරියුත් තෙරණුවන් මේ ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ හමුවට වැඩම කරවා, මේ ස්වාමීන් වහන්සේට භාවනාවෙන් චිත්ත සමාධියක් නො ලැබුණු බව වදාළා. එහිදී බුදුන් වහන්සේ, ශාරිපුත්ත, ඔබට එය කළ නො හැකි බවත් , සවස් කාලයේ බුදුන් වහන්සේ හමුවන ලෙසත් වදාළා. මේ ස්වාමීන් වහන්සේ සැවැත්නුවර පොකුණක් අසලට කැඳවා ගත් බුදු පියාණන් වහන්සේ, පොකුණෙහි නෙළුම් පඳුරක් මැව්වා. මෙහි නෙළුම් කොළ දෙස නො බලා , මල දෙස පමණක් බලන්නැ’යි වදාළා. මද වේලාවකින් මල් පෙති වැටී ගියා. හොඳින් සුපිපුණු මලෙහි පෙති ගිලහී ගිය දසුනෙන් අනිත්‍ය ය, දුක්ඛ , අනාත්ම පිළිබඳව ස්වාමීන් වහන්සේට වැටහී ගියා. එහිදී බුදුන් වහන්සේ කළ දේශනාවෙන්, ඒ ස්වාමීන් වහන්සේ රහත් බවට පත් වූවා. මේවා තීරණය කරන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පමණ යි. එසේනම්, බුදුපියාණන් වහන්සේගේ දහමට අනුව කවුරුත් කටයුතු කරන්න. බුදුන් වහන්සේ කළ දේශනාවන් අතීතයට පමණක් අයිති නැති අදටත් ගැළපෙන අකාලික දේශනාවක්. අතීත, වර්තමාන, අනාගත තෛ‍්‍රකාලයටම ගැලපෙයි. මේ ගැන කවුුරුත් හසල දැනුමක් ඇති කර ගන්න.

ආයතන පිළිබඳව සති තුනක් ම සඳහන් කළෙමු. ඒ විස්තර චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යනුවෙන් ආයතන හය යි. ඒවාට ගොදුරු වන්නේ රූපායතනය , ශබ්දායතනය, ගන්ධායතන, රසායතන, පොට්ඪබ්භායතන සහ ධම්මායතන යි. මෙලෙස ආයතන දොළහක් වෙයි. මේ ආයතන නිසා සියලු ම පින් පව් හට ගනි යි. සියලු කුසල් සහ අකුසල් හට ගන්නේ මේ ආයතන දොළහ නිස යි.

සංයෝජන දහයක් ද තිබෙයි. මේවා දස සංයෝජන නම් වෙයි. මේ නිසා අප සසර බැඳ තබන අතර සසර දිග් වෙයි. නැවත නැවත උත්පාදනය වෙයි. අපා ආදියට ගොදුරුවන අති භයානක දුක් ලබා දෙයි. සංයෝජන වන්නේ එය යි. සංසාරයේ යොදවන බව යි. ඒ යෙදවීමට අවශ්‍ය කරන දේ දහයක් වෙයි. සංසාරයේ නැවත නැවත ඉපදීමට අවශ්‍ය කරන දේ දහයක් සංයෝජන වශයෙන් වෙයි. ඉන්ද්‍රියන් හා අරමුණු ගැටීමෙන් සංයෝජන ඇති වෙයි. මේ සංයෝජන බුදු දහමේ උගන්වන ක්‍රමය අනුව මාර්ග ඵල අවස්ථාවේ දී යටපත් වන ක්‍රමය සඳහන් කරනවා.

සක්ඛායදිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, සීලබ්භත පරාමාස සංයෝජනය සෝවාන් මාර්ගඥානයේ දී නැති වී යයි. කාමරාග සංයෝජනය, ව්‍යාපාද සංයෝජනය සෝවාන් මාර්ගඥානයෙන් තුනී වී අනාගාමී මාර්ගඥානයෙන් සම්පූර්ණයෙන් ම න ැති වී යයි. රූප රාග සංයෝජනය, අරූපරාග සංයෝජනය, මාන සංයෝජනය, අවිජ්ජා සංයෝජනය, උද්ධච්ඡ සංයෝජනය, අවිජ්ජා සංයෝජන ආදී දහය අර්හත්වයෙන් සම්පූර්ණයෙන් නැති වී යයි. මේ සංයෝජන දහය ඔබ අප කා ළඟත් කරකැවෙමින් පවතී. සසර උප්පාදනය කර අපාගාමී වන , සියලු පව් හට ගන්නා, මේ සංයෝජන වසා දමා සෝවාන් මාර්ග ඥානයෙන් සතර අපා දුකකට පත් වන්නේ ම නැහැ. මේ ගැන හොඳින් දැන කියාගෙන සංයෝජනයන් උපදින ආකාරය බලා එය නැති කර ගත යුතු බව බුදු දහමෙන් උගන්වයි. සංයෝජනයන් උපදින ආකාරය දැන එය නැවත නැති වන ක්‍රමය දෙස හොඳින් බැලිය යුතු යි. එවිට දස සංයෝජනයන් තත්ත්වාකාරයෙන් අවබෝධ කරගෙන ඒවා නැති කිරීම සඳහා විශේෂයෙන් තමන් උත්සාහයෙන් වැඩ කටයුතු කළ යුතු යි. සක්ඛාය දිට්ඨි සංයෝජනය යනුවෙන් පැවසුවේ තම සිරුරේ තිබෙන වැරැදි අවබෝධය යි. විචිකිච්ඡාව යනුවෙන් සඳහන් කළේ බුද්ධාදී උතුමන් කෙරෙහි පවතින සැකය යි. සීලබ්භත පරාමාස යනු වැරැදි ශීල සමාදානය යි. ඒවා තමන්ගේ චිත්ත සන්ථානයේ හට ගන්නා අතර දුරු කළ යුතු යි. කාමරාග යනු පංචකාම වස්තූන් පිළිබඳ ඇති ඇලීම යි. ව්‍යාපාද යනු තරහව යි. රූප රාග යනු රූපාවචර බඹතලයට තිබෙන ආශාවයි. අරූපරාග යනු අරූපාවචර බඹතලයෙහි උපත ලබන්නට ඇති ආශාව යි. මාන්නය, උද්දච්ඡ යනු සිතෙහි විසිරීම යි. අවිද්‍යාව යනු මෝහය යි. මේ සංයෝජන තම චිත්ත සන්ථානයෙහි ඇති අතර, ඒවා දුරු කළ යුතු යි. ඒ සඳහා එකක් පාසා ම මෙනෙහි කරමින් තම සන්ථානයෙන් ඉවත් කළ යුතු යි. සක්ඛාය දිට්ඨි සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. විචිකිච්ඡා සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. සීලබ්භත පරාමාස සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාමාරාග සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එසේම පටිඝ සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපරාග සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අරූපරාග සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මාන සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. උද්දච්ඡ සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අවිජ්ජා සංයෝජනය යනුවෙන් ක්‍රම දහය අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් හොඳින් වටහාගෙන මෙනෙහි කළ යුතු යි. ඒ සංයෝජනයෝ මම නො වෙයි. මගේ නො වෙයි. මගේ ආත්මය නො වෙයි. යනුවෙන් භාවිත කළොත් තමන්ට ලොකු දැනුමක් ලැබෙයි. මේවා තමන්ගේ ම සිත තුළ හට ගන්නා දේ වෙයි. ඒ නිසා සංයෝජන පිළිබඳ ව මනා වැටහීමක් ඇති කරගෙන දස සංයෝජනයන් තමන්ගේ සිතෙන් ඉවත් ව යන ආකාරයට , බැහැර කරන අයුරු අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම යි. තම සිතෙහි සක්ඛාය දිට්ඨියක් හට ගත්තොත් ඒ සක්ඛාය දිට්ඨියක් බව මෙනෙහි කර එය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සියලුම දස සංයෝජන මෙනෙහි කරන්න. ඒවා පිළිබඳ හොඳ වැටහීමක් ඇතිකරගෙන හොඳට මෙනෙහි කළොත් තමන්ට මාර්ග ඵල අවස්ථාව දක්වා යා හැකි යි.

දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය ආදී චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා මේ කියනු ලබන ධර්මතාවයන් මහෝපකාරී වෙයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සංයෝජන ක්‍රම උන්වහන්සේ එකිනෙක දැනකියාගෙන සියල්ල ප්‍රහාණය කළා. ඒ නිසා උන්වහන්සේ ලොවුතුරා බුද්ධත්වයෙන් පිදුම් ලැබුවා. එසේ බුද්ධත්වයට පත් ව ලෝක සත්ත්වයාට දේශනා කළේ, සංයෝජන ප්‍රහාණයට තමනුත් උත්සාහ වන්ත වන්නට යනුවෙනි. අලෝභ, අදෝෂ, චේතනාවන් උපදින විට සංයෝජනයන් සිතෙන් බැහැරව යයි. ලෝභ, දෝශ, මෝහ හටගන්නා විට සංයෝජනයන් සිතෙහි පහළ වෙයි. මේවා හොඳට අවබෝධයෙන් දැන උගත්කම වැඩි දියුණු කරගත්තොත්, තමන්ට ධර්මය තත්ත්වාකාරයෙන් අවබෝධ කළ හැකි යි. එවිට තමන්ගේ චිත්ත සන්ථානය දියුණු කරගන්නා ක්‍රම වශයෙන් හඳුන්වන්නේ මේ පිළිබඳ ලොකු දියුණුවක් මෙන්ම ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමක් තමන් තුළ ඇති කර ගත යුතු යි. එවිට සංයෝජනයන් ප්‍රහාණය කිරීමත් එසේම තම සිත නික්ලේෂීව පවත්වාගන්නට පුළුවන්කමත් තිබෙනවා. ඒවා හොඳට දැන කියාගෙන ආයතන විදර්ශනාව පිළිබඳව මෙතෙක් සඳහන් කළ දීර්ඝ විස්තරය හොඳට දැන කියාගෙන සටහන් තබා ගෙන එකක් ප ාසාම මෙනෙහි කරමින් බලමින් අනිත්‍ය ය, දුක්ඛ, අනාත්ම වටහා ගත යුතු යි. එවිට ආයතන දොළහ පිළිබඳව හොඳින් තේරුම් බේරුම් කරගත යුතු යි. ආයතන දොළහෙන් සියලු පින් පව් හටගෙන සංසාරයේ සැප , දුක් ලබා දෙනවා. ඉන් එහාට කුසල් අකුසල් උපදින තැනක් නැහැ.

මේ සඳහා සුවිශේෂී වේලාවක් අවශ්‍ය නො වෙයි. මඟ තොට යද්දී වුව ද තම සිතෙහි පහළ වන පව් සිතිවිලි එකක් පාසාම මෙනෙහි කරමින් අනිත්‍යය, දුක්ඛ , අනාත්ම බවට හරවන්න පුළුවන්කම තිබිය යුතු යි. මේවා දියුණු කරගෙන යාමෙන් තමන්ට භාවනාව පිළිබඳව හසල දැනුමක් ලබා ගත හැකි යි. එසේනම්, නීවරණ විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව ගැන තමන්ට ලොකු දැනුමක් ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. එය පොතට සීමා නොකර අධ්‍යාත්මික ව සිතට ගෙන මෙනෙහි කරමින් තම දැනුම වැඩි කරගන්න. නව ලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නේ ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරගත් අය පමණ යි. අනිත්‍යය , දුක්ඛ, අනාත්ම වටහා ගත් අය පමණ යි. ඒ ගැන හොඳ දැනුමකින් ආයතන විදර්ශනාවේ දී දස සංයෝජනයන් මෙනෙහි කරමින් අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වටහාගෙන භාවනාව ඉදිරියට ගෙන යන්නැ’යි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල


 

Sunday, August 15, 2021

සාසප සූත්‍රය

 


සාසප සූත්‍රය

129

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.

“ස්වාමීනි, කල්පය වනාහි කොපමණ දීර්ඝවේද?” “මහණ, කල්පය වනාහි දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් වර්ෂ සියයක්ය කියා හෝ මෙතෙක් වර්ෂ දහසක්ය කියා හෝ මෙතෙක් වර්ෂ ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”

“ස්වාමීනි, උපමාවක් දේශනාකිරීමට හැක්කේද?”

“මහණ, හැක්කේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මහණ, යම්සේ වනාහි දිගින් යොදුනක් ඇත්තාවූ, පුළුලින් යොදුනක් ඇත්තාවූ, උසින් යොදුනක් ඇත්තාවූ අබ පිරවූ, කොතගසන ලද්දාවූ, (මුදුන් කරන ලද්දාවූ,) යකඩින් කරන ලද ප්‍රාකාරයෙන් යුක්තවූ, නගරයක් වේද, ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් එක්එක් අබ ඇටය පිටට දමන්නේ වේද, මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවරවීමට, අවසාන වීමට යන්නේය, කල්පය කෙළවර නොවන්නේමය.

“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ, මෙසේ දීර්ඝවූ, කල්පයන්ට වනාහි නොයෙක් කල්පයන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂ ගණන් අදහස්කරන ලද්දේය. ඊට හේතුව කවරේද?

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(හයවෙනි සාසප සූත්‍රය නිමි.)

Saturday, August 14, 2021

අභිධර්මයේ මූලික කරුණු

 


01

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස


අතට ගත් වීදුරු බෝලයක ඇතුළ පිට දෙක දක්නාක් මෙන් සකල ලෝකයේ ඇතුළ පිට දෙක දැකීමෙන් හා වර්තමානය පමණක් නොව අතීතානාගත දෙක ද දැකීමෙහි සමත් වූ සකලක්ලේශ මලාපගමනයෙන් පරම නිර්මල වූ, පරම සුන්දර වූ ඥානයෙන් යුක්ත වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් අවිද්‍යාවෙන් අන්ධව දුකින් දුකට පත් වෙමින් සසර සැරිසරන අසරණ සත්ත්ව සමූහයා කෙරෙහි පතළා වූ මහා කරුණාවෙන් ඔවුනට නිවන් මග දැක්වීම් වශයෙන් පන්සාලිස් වසක් මුළුල්ලෙහි පවත්වන ලද දේශනය වනාහි ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වන්නේ ය.


එහි විනය යනු ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍ර‍මණ ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මය දක්වන්නා වූ දේශනය ය. පෘථිවි වෘක්ෂ පර්වතාදි සංස්කාරයන් ගේ හා මනුෂ්‍ය දේව බ්‍ර‍හ්මාදි සත්ත්වයන්ගේ ද තත්ත්වය ස්කන්ධාදි වශයෙන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන්නාවූ ද, නැවත නැවත ජාතියෙන් ජාතියෙහි සත්ත්වයාගේ උත්පත්තිය සිදුවන සැටි දක්වන්නාවූ ද, සත්ත්වයාට සැප දුක් ලැබෙන සැටි දක්වන්නා වූ ද, පරම සුන්දර ලෝකෝත්තර නිර්වාණ ධාතුව දක්වන්නාවූ ද, ඒ නිවනට පැමිණෙන සැටි දක්වන්නාවූ ද, දේශනය ධර්ම නම් වේ. ඒ ධර්මයෙහි ද සූත්‍ර‍ පිටකය අභිධර්ම පිටකය යි කොටස් දෙකක් ඇත්තේ ය. එයින් අභිධර්ම පිටකය යනු ධම්මසංගණියය, විභංගයය, ධාතු කථාව ය, පුග්ගල පඤ්ඤත්තියය, කථාවත්ථුවය, යමකය ය, පට්ඨානය ය යන ප්‍ර‍කරණ සතය. ඒ සප්ත ප්‍ර‍කරණය වූ අභිධර්ම පිටකය එක පාඩමක් සේ එකිනෙකට සම්බන්ධය ඇත්තාවූ දීර්ඝ දේශනයකි. ඉහත කී ස්කන්ධාදි ධර්ම අඩුවක් නැතිව විස්තර වශයෙන් ක්‍ර‍මානුකූලව අභිධර්ම පිටකයෙහි දක්වා තිබේ. බුද්ධ ධර්මය පිළිබඳව මනා දැනුමක් ඇති කරගත හැකි වන්නේ අභිධර්ම පිටකය උගෙනීමෙනි. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවලදී ඒ ඒ පුද්ගලයන් හට සුදුසු පරිදි පවත්වන ලද කෙටි දේශනයෝ සූත්‍ර‍ නම් වෙති. ඒ දේශනා සමූහයකට සූත්‍ර‍ පිටකය යි කියනු ලැබේ. ඒ සූත්‍ර‍වල එකිනෙකට සම්බන්ධයක් නැත්තේය. කෙටි දේශනයකින් ඉහත කී කරුණු පිළිබඳ විස්තරයක් නොකළ හැකි බැවින් ලෝක තත්ත්වය මැනවින් විස්තර කරන සූත්‍ර‍යක් නැත්තේ ය. සූත්‍ර‍ ධර්ම වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්‍ෂා කර ඒ ඒ රෝගියාට සුදුසු හැටියට ලියන ලද බෙහෙත් සීට්ටු රැසක් වැනිය. අභිධර්ම පිටකය ඒ වෛද්‍යවරයා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍ර‍ය වැනිය. ක්‍ර‍මානුකූලව වෛද්‍ය ශාස්ත්‍ර‍ය උගෙනීමෙන් මිස බෙහෙත් සීට්ටු කියැවීමෙන් වෛද්‍යවරයකු නොවිය හැකි වන්නාක් මෙන් බෙහෙත් සීට්ටු රැසක් බඳු වූ සූත්‍ර‍ පිටකය උගෙනීමෙන් බුද්ධ ධර්මය මනා කොට දන්නකු නොවිය හැකිය. හොඳ ධර්ම ධරයකු හොඳ ධර්ම කථිකයකු නොවිය හැකිය. අභිධර්මය නොදත් තැනැත්තාගේ ධර්ම ඥානය ද අවුල් ය. ධර්ම දේශනය ද අපරිශුද්ධය. එහි ඇති අවුල් එහි ඇති වරද ආභිධර්මිකයන්ට මිස සෙස්සන්ට නො දැනෙන්නේ ය. එබැවින් සෙස්සෝ ඒ අවුල් දෙසුමට ද පසස්නාහ. දේශකයා ද තමාගේ දේශනයෙහි තතු නොදන්නා බැවින් එය උසස් කොට සිතා සතුටු වන්නේ ය. සමහර විට තමා ගැන ආඩම්බර ද වන්නේය. අභිධර්මය දැන ගන්නා තෙක් ඒ වැරදි හැඟීම ඔහුගෙන් නො දුරුවන්නේ ය. අභිධර්මය නූගත් තැනැත්තාගේ ධර්ම දේශනය ගැන “අත්ථසාලිනි” නම් වූ අබිදම් අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.


“ආභිධම්මික භික්ඛු යෙව කිර ධම්මකථිකා නාම, අවසෙසා ධම්මං කථෙන්තාපි න ධම්මකථිකා. කස්මා? තෙ හි ධම්මං කථෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූපරිච්ඡෙදං ධම්මන්තරං ආලෝලෙත්වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මන්තරං න ආලෝලෙන්ති. තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිත කාලෙ පන කථෙස්සතී ති සො යෙව ධම්ම කථිකො නාම හෝති.”


“ආභිධම්මික භික්ෂුහුම ධර්ම කථිකයෝ නම් වෙති. සෙස්සෝ දහම් දෙසන්නාහු ද ධර්ම කථිකයෝ නො වෙති. කුමක් හෙයින් ද යත්? ඔවුහු දහම් දෙසන්නාහු එක් කර්මයක් තවත් කර්මයක් හා අවුල් කොට ද එක් විපාකයක් තවත් විපාකයක් හා අවුල් කොට ද රූපාරූප දෙක අවුල් කොට ද එක් ධර්මයක් තවත් ධර්මයක් හා අවුල් කොට ද දහම් දෙසති. ආභිධම්මිකයෝ වනාහි ධර්මය අවුල් නො කෙරෙති. එබැවින් අභිධර්මය දන්නා භික්ෂුව බණ කියන්නේ හෝ වේවා නො කියන්නේ හෝ වේවා අනුන් විසින් ඇසූ විටෙක නො වරදවා කාරණය කියන බැවින් හෙතෙමේ ම ඒකාන්තයෙන් ධර්මකථිකයා නම් වේ” ය යනු එහි අදහසයි. කරුණු මෙසේ හෙයින් බුදු සමය නිරවුල් ලෙස දනු කැමති සැම දෙනා විසින් ම අභිධර්ම පිටකය උගත යුතුය.


අභිධර්මය ඉතා ගැඹුරු විද්‍යාවෙකි. එහි උගන්වන ධර්ම අතිශයින් සූක්ෂම ඒවා ය. කුඩා දේ මහත් කොට දක්වන කණ්නාඩි ආදි නවීන විද්‍යාඥයන් පාවිච්චි කරන උපකරණවල ආධාරයෙන් ඒ ධර්ම නො දත හැකි ය. ඒවා ශුද්ධ ඥානයෙන් ම දත යුතු ධර්මයෝ ය. ඒවා මැනවින් තේරුම් ගත හැකි වීමට උත්පත්තියෙන් පිහිටි ශුද්ධ බුද්ධිය තිබිය යුතුය. උත්පත්තියෙන් පිහිටි ඥානය නැතියවුන්ට ඒවා අවබෝධ කර ගැනීම අපහසුය. ඒ නිසා පොත පත උගත් සෑම දෙනාට ම ඒවා ගැන මනා වැටහීමක් ඇති නො වේ.


ගුරුන්ගෙන් හා පොත පතින් අභිධර්මය උගත් මන්ද බුද්ධිකයන් සමත් වන්නේ ධර්ම පාඨ කීමට හා පරමාර්ථ ධර්මයන්ගේ නම් හා ගණන් කීමට පමණෙකි. එයින් අභිධර්මය දනිමු යයි ඔවුහු රැවටෙති. ක්‍ර‍මානුකූලව ඉගෙනීමක් නො කොට අභිධර්මය දැන ගන්නට සිතා අතනින් මෙතනින් පොත පත කියවන්නන්ට ද බොහෝ සෙයින් ඇති වන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳ වැරදි හැඟීම් ය. එසේ වැරදි හැඟීම් ඇතිවීම නිසා පරමාර්ථ ධර්මය දනිමු යි රැවටී සිටින්නෝ ද බොහෝ ය.


පරමාර්ථ ධර්ම අතිසූක්ෂම බැවින් දුරවබෝධ ය. එබැවින් ඒ ධර්මයන් ගුරුන් ගෙන් අසන කල්හි ද පොත පතින් බලන කල්හි ද වැරදි හැඟීම් ඇති වීමෙන් උත්පත්තියෙන් පිහිටි නුවණ ඇත්තෝ ද නොයෙක් විට රැවටෙති. වැරදි දැනුම නො දැනීමට වඩා නපුරු ය. එබැවින් සැම කරුණක්ම පිරිසිදු ලෙස දැන ගැනීමට උත්සාහ කළ යුතුය. තමා ඒ කාරණය දැන සිටින සැටි හරි ද වැරදි ද යන බව දැන ගැනීමට නැවත නැවත පොත පත කියවිය යුතුය. එක පොතකින් තේරුම් ගත් කරුණු තවත් පොත්වල විස්තර කර තිබෙන සැටි ද බැලියයුතුය. ඒවා එකිනෙකට සසඳා බැලිය යුතු ය. දන්නා වූ අන්‍යයන් ගෙන් ද කරුණු විමසිය යුතු ය. එසේ කොට සෑම පරමාර්ථ ධර්මයක් පිළිබඳ වූ ම දැනුම පිරිසිදු කර ගත යුතුය.


සිතය, චෛතසික දෙපනසය, රූප අටවිස්සය, නිවනය යි අභිධර්මයේ මෞලික ධර්ම දෙ අසූවකි. අභිධර්මය උගන්නා තැනැත්තන් විසින් උගෙනීමේ අඩිතාලම වශයෙන් ඒ ධර්ම අසූ දෙක මැනවින් උගත යුතුය. මෞලික ධර්ම පිළිබඳ දැනුමෙහි වරදක් ඇති වුවහොත් ඒ වරද දිගට ම යන බැවින් සෑම තැන දී ම එයින් අවුල් ඇති වේ. ඒ ධර්ම ටික හොඳින් තේරුම් ගත හොත් අභිධර්ම පිටකය පහසුවෙන් උගත හැකි වේ. ඒ ධර්ම ටික හොඳින් තේරුම් නොගෙන අභිධර්ම පිටකය කීප වාරයක් අවසන් වන්නට උගතත් ධර්මය ගැන පිරිසිදු අවබෝධයක් ඒ තැනැත්තාට නො වන්නේ ය. එබැවින් මෞලික ධර්ම සමූහය මනා කොට තේරුම් ගැනීමට අභිධර්මය උගනුවන් විසින් විශේෂයෙන් උත්සාහ කළ යුතුය.


මතු සම්බන්ධයි!


රේරුකානේ චන්දවිමල මහාස්ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද ‘අභිධර්මයේ මූලික කරුණු’ නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana කළ්‍යාණ මිත්‍රයන් විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.


Thursday, August 12, 2021

ආයතන විදර්ශනාව:


ආයතන විදර්ශනාව: 

යා යුතු ගමන...
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

බුදු දහම යනු ඕනෑම කෙනෙකුට අනුගමනය කළ හැකි දහමක්. ජාති, ආගම්, භේදවලින් තොර දහමක්. ඒ අනුව ඔබ අප සියලු දෙනාට ම ඒ උතුම් සදහම් වාසනාව ලැබුණේ සංසාරයේ පිනකට. එසේනම්, කවුුරුත් සම්මා සම්බුද්ධ ශාසනය වැළඳගෙන සිත සදා ගැනීමේ වැඩපිළිවෙළට යොමු වී , සියලු පව් නො කිරීම, සියලු කුසල් කිරීම ආදී අවවාදයන් හොඳින් මතක තබාගෙන, ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම දියුණුවෙන්, ධම්මායතනය පිළිබඳව හොඳට මතක තබා ගෙන ඉදිරියට යා යුතු යි.

පසුගිය සතිවල ස්කන්ධ පිළිබඳව, ආයතන පිළිබඳව සඳහන් කළා. ආයතනවල සඳහන් ධම්මායතන කොටස පිළිබඳව දැන ගැනීම ඉතාමත් ම වැදගත්. රූපායතනය යනුවෙන් සඳහන් කළේ රූප යි. ශබ්ධායතනය යනු ශබ්ද යි. ගණ්ධායතනය යනු ගන්ධය යි. රසායතනය යනු රස යි. පොට්ඨබ්භායතනය යනු ස්පර්ශය යි. ධම්මායතනය පිළිබඳව සලකා බලද්දී චෛතසික පනස් දෙක යි, සුඛම රූප දාසය යි, නිර්වාණය යි යන කොටස් සියල්ල වෙයි. එසේනම්, ධම්මායතනයට, ආයතනවලදී වැඩිපුරම සංඛ්‍යාවක් අයත් වෙයි. මනායතනයට සිත් අසූනවය අයත්වෙයි.

මෙතෙක් වූ ධර්ම සම්පත්තිය අතුරෙන් නිර්වාණය විදර්ශනාවට ගන්නේ නැහැ. භාවනාවකට ගන්නේ නැහැ. නිවනට පත්වුණහම ලැබෙන්නේ ස්කන්ධ ආයතන ආදිය කිසිවක් නැති උතුම් සුවයක්. නැවත ඉපදීමක් නැති තැන නිර්වාණය යි. එය අවබෝධකර ගැනීමටයි සියලුම දාන , ශීල, භාවනා පින්කම් ද ශීල, සමාධි, ප්‍රඥා ආදිය සියල්ල සිදු කරන්නේ. තමන්ගේ දහම් දැනුම දියුණු කරගත් විට විශාල ශක්තියක් ගොඩ නංවා ගත හැකි යි.

ධර්මය පිළිබඳ විශාල දැනුමක් තමන්ට ලැබෙයි. චෛතසික පනස් දෙක පිළිබඳව පෙර ලිපි මඟින් සඳහන් කළා. අන්‍ය සමාන චෛතසික දහ තුන යි. ශෝභන චෛතසික විසි පහ යි. සියල්ල තිස් අටක් වෙයි. එසේම අකුසල චෛතසික දාහතර ද එකතු කළ විට පනස් දෙකක් වන අතර මේ සියල්ල එකක් ගානෙ ම මෙනෙහි කළ යුතු යි. මේවා පොතක සටහන් කර තබාගෙන මතක තබා ගත් පසුව පෙර ක්‍රමයට ම චෛතසික පනස් දෙකම එකක් පාසාම ධම්මායතන විදර්ශනා වගන්තියේ දී මෙනෙහි කළ යුතු යි.

සබ්භ චිත්ත සාධාරණ චෛතසිකයේ පටන් අවසාන පඤ්ඤා චෛතසිකය දක්වා පනස් දෙකක් වන අතර මෙය එකක් පාසා ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැන මෙනෙහි කළ යුතු යි. ඵස්ස, වේදනා ,සංඥා, චේතනා, ඒකග්‍රතා, ජීවිතේන්ද්‍රිය , මනසිකාර ආදී හතම අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් එකක් පාසා ම මෙනෙහි කළ යුතු යි. විතක්ක, විචාර, අධිමෝක්ඛ,විරිය, ඡන්ද, පීති ආදී ප්‍රකීර්ණ චෛතසික හය ද අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එසේම අකුසල චෛතසික දාහතර ද එකක් පාසා ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. සෝභන චෛතසික විසි පහ ද එකක් පාසාම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එය මෙලොවට පමණක් නොවෙයි. සංසාරයට ම ගමන් කරන නිසා මේ පිළිබඳ හසල දැනුමක් කවුරුත් ඇති කර ගන්න.

එසේම ධම්මායතනයට සම්බන්ධ සුඛම රූප දාසයම ආපෝ ධාතු රූපයෙන් පටන්ගෙන අනිත්‍ය ය, දුක්ඛ, අනාත්ම වශයෙන් එකක් පාසාම මෙනෙහි කිරීම ධම්මායතන විදර්ශනාව යි. කිසිම දෙයකට නිර්වාණය ගන්නේ නැහැ. එවිට ධම්මායතනයට ධර්ම හැටනවයක් වෙයි. (චෛතසික පනස් දෙකයි, සුඛම රූප දාසය යි, නිර්වාණය යි) මනායතනයට සියලුම සිත් අසුනවයම අයත් වෙයි.

පංචස්ඛන්ධය පිළිබඳව, ආයතන පිළිබඳව මනා වැටහීමක් ඇති කරගත්තොත්, තවත් ඉදිරියට ම ගමන් කළ හැකි යි. මේ සියල්ල ක්‍රියාත්මක වන විට සිත සහ සිතිවිලි වශයෙන් හඳුන්වයි. මේවා රූප නොවන අතර සිතිවිලි වෙයි. සිත ද රූපයක් නොවන අතර එය ද අරූප වෙයි. චෛතසික ද රූප නොවන අතර අරූප වෙයි. සුඛම රූප, රූප සහගත වන අතර නිර්වාණය රූපයන්ගෙන් තොර වෙයි.

භාවනාව යනු සිතේ වැඩීම යි. සිත දියුණු කර ගැනීම යි. සිත දියුණු කරගත් විට තමන්ට ඉදිරි ගමන පහසුවෙන් යා හැකි යි. මේ සඳහා ශීලය, සමාධිය , ප්‍රඥාව අවශ්‍ය වෙයි. ඡන්ද ඍද්ධිපාද,චිත්ත ඍද්ධිපාද, විරිය ඍද්ධිපාද, වීමංස ඍද්ධිපාද, හොඳටම අවශ්‍ය කරනවා. එසේ ම භාවනා ක්‍රම ඉදිරියට ගෙන යන්න සති සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය අනිවාර්යයෙන් වැඩෙනවා. මේවා මෙනෙහි කරන වරක් පාසාම බෝධි අංග වැඩෙන විට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා උපනිශ්‍රය වෙනවා. බෝධි යනු බුදු, පසේ බුදු, මහ රහත් යන තනතුරු යි. ඒවා ලබා ගන්නට අවශ්‍ය අංග හත යි. මේවා සප්ත බොජ්ඣංග යනුවෙන් හඳුන්වන අතර මේවා හට ගන්නේ සිතෙහි පමණ යි. එසේනම්, සිත දියුණුකරගනු ලැබුවොත්, බොජ්ඣංග ධර්ම ද හොඳින් වඩා ගන්නට පුළුවන්.

බෝධිපාක්ෂික ධර්ම තිස් හතම මෙනෙහි කරන වරක් පාසා ම සිතෙහි පහළ වෙනවා. සිහි කල්පනාවෙන් භාවනා වගන්ති මෙනෙහි කරන්න. සජ්ඣායනය කරන්න, එවිට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර ඍද්ධිපාද වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධන් වීර්යය වැඩෙනවා. පඤ්චෙන්ද්‍රිය, පඤ්චබල හොඳින් වැඩෙනවා. සප්ත බොජ්ඣංගය අනිවාර්යයෙන් වැඩෙනවා. මාර්ගාංග අට සිතෙහි පහළ වෙනවා. මේ කරුණු තිස් හත බෝධි පාක්ෂික ධර්ම වෙයි. මෙය මෙනෙහි කරන වරක් පාසා ම එක සිතක පහළ වෙනවා. මේ පිළිබඳ හොඳ වැටහීමකින් යුතු ව ධම්මානුපස්සනාවේ ගැඹුරු ධර්ම කාරණාවන් හොඳට අවබෝධයෙන් දැන තේරුම් ඇතිකරගෙන , කටයුතු කිරීම ඉතාමත් ම වැදගත්. එය තම ගුණ ධර්මවල දියුණුව පිණිස හේතු වෙයි. සෝවාන්, සකදාගාමී , අනාගාමී, අර්හත් මාර්ග ඵලයන්ට හේතු වන්නේ බෝධි පාක්ෂික ධර්මයන්ගේ දියුණුව යි. මේවා දියුණු නොකර චතුරාර්ය සත්‍ය, නිවනට පත්වීම ලබන්න පුළුවන්කමක් නැහැ. මේ ගැන හසල දැනුමක් බුදු දහමෙන් ලබාගෙන බුද්ධාදී උතුමන් අවබෝධ කරන්නට යෙදුණු සම්මා දිට්ඨි , සම්මා සංකප්ප ආදී ආර්ය ගුණාංග දියුණුවට පත් කරගනු ලැබුවොත්, නිවනට පත්වන්න අපහසු නැහැ. කරදර පීඩා බහුල වුව ද මේවා මැඩගෙන නිවන් මඟ යා යුතු යි.

කෙතරම් කරදර , පීඩා හමුවේ වුව ද බෝසත්වරු තම ගමන් මඟ අවසන් කළේ නිවන් මඟට පැමිණීමෙන්. පාරමී ගමන නොයෙක් කරදර, පීඩා, බාධක ඇති වුව ද, ඒ සියල්ල මැඩගෙන නිවන දක්වා ම යා යුතු යි යන අවවාදය යි බුදු පියාණන් වහන්සේ අපට ලබා දෙන පණිවුඩ ය. එසේනම්, ගිහි ගෙදර කරදර කම්කටොළු බාධක වැඩි වී නිදහස අඩු වුව ද කරදර , පීඩා මැඩගෙන මේ ගමන ඉදිරියට යා යුතු යි. විශ්‍රාම කාලයේ ද වැඩ රාජකාරි වෙනුවෙන් කැප නො කර, පරලොව වෙනුවෙන් , පින් රැස් කරගැනීමට කටයුතු කළොත් බොහොම වටිනවා. එසේනම් කවුරුත් ධම්මායතනයේ කරුණු දැන, එකක් පාසාම මෙනෙහි කරන්න.

මීළඟ ලිපියෙන් ධම්මායතනයට, මනායතනයට සම්බන්ධ සියලුම ධර්මයන් එකක් පාසාම විදර්ශනාවට ලක්වන අයුරු සඳහන් කරමු.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල



 

කරුණා ගුණයෙන් ප්‍රඥාවට ළංවෙමු

 


කරුණා ගුණයෙන් ප්‍රඥාවට ළංවෙමු

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක

ආචාර්ය

මිරිස්සේ ධම්මික නා හිමි


" තථාගත බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව ඔබ, ඔබේ සිත තුළ දැකගෙන ඔබ, ඔබට ම හිතවන්ත වන්න. කරුණාවන්ත වන්න."


ශාස්තෘවරයාණන් වහන්සේ නමක් විසින් තම ශ්‍රාවකයනට යමක් අනුශාසනා කටයුතු වන්නේ ද? ඒ සියල්ල මැනවින් මා විසින් ඔබට දේශනා කොට වදාළහ. එසේ ම පෙන්වාදී ඇත්තේ ය. ඔබ ඒ දේ මනාව සිදු කරන්න. එසේ නොමැති වූවහොත් ශාස්තෘවරයාණන් වහන්සේගේ ඇවෑමෙන් හෝ කුමන හෝ අවස්ථාවක දී අප අපේ මාර්ගය අනුගමනය නො කළේ යැයි ඔබට දුක්වෙන්න සිදුවේවි. එනම් විපිළිසර වන්නට සිදුවේවි.


එසේ නොවන්නට “අප්පමත්තා ආතාපිනො පහිතත්තා” එනම් කුසල් ධර්ම මාර්ගයට, සමථ විදර්ශනා මාර්ගයට, ප්‍රමාද නොවන්න. එනම් ඒ මාර්ගයට එකතු වෙන්න. ‘ආතාපිනෝ’ රාගාධි කෙලෙස් තැවීමෙන් යුක්ත වෙන්න. ‘පහිතත්තා’ අවබෝධයෙන් යුක්තව අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛන ධර්මය අවබෝධ කර ගැනීම හෙවත් “උදයත්ථ ගාමිනී පඤ්ඤාය” නම් වූ හටගත් හැම දෙයක් ම නැතිව යනවා නම් වූ අවබෝධයෙන් ඇති කර ගන්නා වූ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න. එනම් අත්හැරීම පුරුදු කරන්න.


මහණෙනි, කුසල් සිදු කිරීම, කුසල් මාර්ගයට එකතුවීමට ඔබ සියලු දෙනාටම හැකි ය. එසේ කරන්නට නො හැකි නම් කිසි විටෙකත් කුසල් මාර්ගයට එකතුවෙන්නට යැයි මා ඔබට අනුශාසනා කරන්නේ නැහැ. මහණෙනි, අකුසල් අත්හරින්න පුළුවනි. අකුසලයෙන් බැහැර වෙන්න පුළුවනි. අකුසලයෙන් බැහැරවෙන්න නොහැකිනම් අකුසලයෙන් බැහැරවන විට අයහපතක් සිදුවෙනවා නම්, ඔබට කිසි විටෙකවත් මා අකුසලයෙන් ඈත්වෙන්නට යැයි සඳහන් කරන්නේ නැහැ. කුසල් සිදු කරන විට යහපතක් වෙනවා. අකුසලයෙන් බැහැරවන විටත් යහපතක් සිදු වෙනවා. ඒ නිසා කුසලයට එකතු වෙන්න. අකුසලයෙන් බැහැර වෙන්න. මෙම ක්‍රියාවන් දෙකින් ම ඔබට සිදුවන්නේ යහපතක්. අකුසලයෙන් යහපතක් සිදුවෙනවා නම් කිසිවිටෙකත් අකුසල් කරන්නට එපා යැයි මා ඔබට සඳහන් කරන්නේ නැහැ. අකුසලයෙන් සිදු වන්නේ අයහපතක්මයි. දීර්ඝ වූ සංසාර ගමනේ සියලු සත්වයන්ගේ සසර ස්වභාවය පිළිබඳව චුතූපපාත ඤාණයෙන් මා දුටුවා. කර්මානුරූපව ගමන් කරන සත්වයෝ වැඩි පිරිසක් අකුසල කර්ම සිදු කරමින් මේ සංසාර ගමනේ හඬාගෙන, වැළපීගෙන, සතර අපාය ප්‍රධාන කොටගෙන දුක්විඳි බව මා නුවණින් දුටුවා. එනිසයි ඔබට කරුණාවෙන් අනුශාසනා කරන්නේ. අකුසලයෙන් බැහැර වෙන්න. කුසල් මාර්ගයට එකතුවෙන්න.


භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ උතුම් දහම් අවවාද භාග්‍යවතුන් වහන්සේගේ මහාකරුණා ගුණය හැටියට ඔබ දකින්න. ඒ මහා කරුණා ගුණය තමාගේ ජීවිතයට එකතු කර ගන්න. භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා ගුණය මගේ ජීවිතයට දැන් දැනෙන්නට පටන් ගන්නවා. ඔබට පෙර සඳහන් කළා සේ මෙත්තා නම් වූ හිතවන්තභාවය, කරුණාව නම් වූ අනුන්ගේ දුකක් දුටුවිට දී හදවතේ ඇතිවන කම්පනය, උණුවෙන ස්වභාවය. “මුදිතා” නම් වූ අන් අයගේ දියුණුවේ දී සතුටුවෙන ස්වභාවය, එසේ නොමැති නම් අන් අයගේ දියුණුවට කැමැති වන ස්වභාවය. “උපේක්ඛා” නම් මධ්‍යස්ථභාවය සිතෙහි සකසා ගැනීමයි. විදර්ශනා උපේක්ෂාවේ දී නම් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛන ධර්මයට යටත් කොට සැප අරමුණක්, දුක් අරමුණක් සියල්ලක් ම හේතූන්ගෙන් හටගත් බවත්, හේතූන්ගේ විසිර යෑමෙන් නැතිවෙන බවත් දැක ඒ කිසිවක් උපාදානයකට නොපැමිණීමයි. උපාදානය නොකරගැනීමයි. මෙයින් අදහස් කරන්නේ, මේ ලෙසින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නම් වූ ගුණ සම්පත්තීන් හතරම භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව යටතේ ඔබේ ජීවිතයට එකතු කර ගන්නට කරුණාවන්ත පුද්ගලයෙක් වෙන්න.


තමා තමාට කරුණාවන්ත කෙනෙක් බවට පත්වෙන්න . දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දැක ගනිමින් සැනසෙන්නට පියවර තබන්න. අනන්ත සංසාර ගමනේ දුක්විඳි බව නැවත නැවතත් මෙනෙහි කරමින් නැවත දුකින් යුක්තව භවය සකස්වෙන ආකාරයට අවස්ථාවක් සකසා නොගන්නට නම්, තමා තමාට කරුණාවන්ත වීමෙන් හැම ආරම්මණයක් ම සම්මුතිය ලෙස කල්‍යාණවන්ත ව පිළිගෙන පරිහරණය කළත්, පරමාර්ථ වශයෙන් වටහාගෙන, ඒ සියල්ල අනිත්‍යය, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛණ ධර්මයට යටත්කොට දැක රාග, ද්වේෂ, මෝහා දී කෙලෙස් හි සංසිඳීම ඇති කර ගැනීම අවශ්‍යයයි. පළමු පියවරේ දී ඔබ ම අස්සාද, ආදීනව, නිස්සරණ වශයෙන් වටහා ගැනීම අවශ්‍යය යි. සීලයේ පිහිටා සම්මුතිය තුළ ප්‍රසන්න බව සොම්නස දකිනවා. එහෙත් ඇලෙන්නෙ නැහැ. බැඳෙන්නෙ නැහැ. ගැටෙන්නෙ නැහැ. මේ හැම ආරම්මණයක් ම පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වූ බවත්, ඒවා විසිරී යන විට මේ ආරම්මණ නම් වූ ඵලය විපාකය නැතිව යන බවත් සිහිපත් කරන්න. ඒ ආදීනවය යි. ඉන් අනතුරුව කෙලෙස් ආශ්‍රය නොකොට මේවා පරිහරණය කිරීමේ ස්වභාවයක් ඔබට සිතෙහි ඇති කර ගන්නට පුළුවනි.


නිදසුනක් දක්වන්නේ නම් “පුංචි දරුවන් සෙල්ලම් ගෙයක් හදනවා. ඒ පුංචි දරුවෝ අම්මට, තාත්තාට ආදරයෙන් කතා කොට පවසනවා. “අම්මේ, තාත්තේ අපි හැදූ සෙල්ලම් ගෙදරට අම්මාත්, තාත්තාත් එන්න යැයි කියා. මව්පියන් සෙල්ලම් ගෙදරට යනවා. ඇතුල්වෙන්න පුළුවන් පුංචි වූව ද සෙල්ලම් ගෙයක් නම්, ඒ සෙල්ලම් ගෙට ඇතුල්වෙන්න පුළුවන්. එසේ නොමැති නම් ඒ පුංචි සෙල්ලම් ගෙය ළඟ අපේ ගෙදර කියා සිනා සී දරුවන් සමඟ සිටින්නට පුළුවනි. එහෙත් මේ පුංචි දරුවන්ගේ සෙල්ලම් ගෙය හරියට අවිද්‍යාවට පත් වූ ලෝකයාගේ ගෘහය වගෙයි. එනම් මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත වූ මේ පුංජය අල්ලාගෙන සිටීමයි. අවිද්‍යාවෙන් පිරුණු ලෝකයා මේ ගෙය අල්ලාගෙන සිටිනවා. පුංචි දරුවන් සෙල්ලම්ගෙය පරිහරණය කරනවා වාගෙයි.


එහෙත් ප්‍රඥාවට ළංවෙන බුද්ධ ශ්‍රාවක, ශ්‍රාවිකාවෝ මව්පියන් වගේ දරුවන්ගේ ලෝකයට සමීප වූවත්, ඔවුන් සම්මුතිය තුළ දරුවන් හා සමඟින් අපේ ගේ යැයි සඳහන් කළත් ඔවුන්ගේ අදහස කුමක් ද? මේ සෙල්ලම් ගෙයක් ය යන අදහසයි. කිසිවිටෙකවත් ඒ ගෙය කෙරෙහි ආශාවක් හෝ අතනින් හෝ මෙතනින් හොඳ යැයි, ජනේලය නැහැ. ඉඩකඩ නැහැ යැයි පවසමින් ගැටීමක් ඇති කරගන්නේ නැහැ. එයට හේතුව එය සෙල්ලම් ගෙයක් නිසයි. ප්‍රඥාවෙන් ලෝකය දෙස දකින විට සම්මතය තුළ මේවා පැවැත්වූවත් පරමාර්ථ වශයෙන් මේ සියල්ල හටගත්තා සේ නැතිව යනවා යන අවබෝධයෙන් යුක්තව කටයුතු කරන විට සෙල්ලම් ගෙයක් දෙස බලනවා වගේ සම්මුතියෙහි ලෝකය පැවැත්වූවත්, පරමාර්ථ වශයෙන් ඒ කිසිවක් ‘මම ය, මාගේ ය යන දෘෂ්ඨියෙන් කෙලෙස් සකස්වන ආකාරයෙන් අල්ලා ගැනීමක් සිතෙහි සකස්වෙන්නේ නැහැ. එනම් උපාධානයක් සිද්ධ වෙන්නේ නැහැ.


තථාගත බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව ඔබ, ඔබේ සිත තුළ දැකගෙන ඔබ, ඔබට ම හිතවන්ත වන්න. කරුණාවන්ත වන්න. සසර ගමනේ භයානක බව අවබෝධ කරගෙන නැවතත් සසරේ දුකට පත් නොවෙන්නට ඒ මෙත්තා කරුණාව නිසා ම ප්‍රඥාවට ළං විය යුතුයි. ඔබ සැම දෙනා ම බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය යි. මට ලැබුණු මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගැනීම අවශ්‍ය යි. යන අධිෂ්ඨානය ඇතිකර ගත යුතුයි. සම්මුතිය තුළ ආහාර, ඇඳුම්, පැළඳුම්, බෙහෙත් හේත්, නිවාස, රැකියාව, වෘත්තිය, ගේදොර, මව්පියෝ දරුවෝ, ස්වාමි භාර්යා වශයෙන් යුතුකම් කළත්, එහෙත් ඒ සියල්ල සෙල්ලම් ගෙයක් මෙන් තාවකාලිකයි. ඒ බව දැනගෙනයි පරිහරණය කළ යුත්තේ. පරමාර්ථ වශයෙන් මේ කිසිවක් ‘මම ය, මාගේ ය’ යන දෘෂ්ඨියෙන් උපාධානය නොකරගත යුතුයි. භික්ෂු ජීවිතයක් ගත කළත් එසේමයි.


වර්තමාන පරිසරය අනුව ග්‍රාමවාසී හෝ නගරවාසී ජීවිතවල බොහෝ සෙයින් ම දායක ඇත්තන්ගේ කටයුතු නිසාත්, වෙහෙර විහාරවල සිදුකරන දිනපතා හා වාර්ෂික වශයෙන් පවතින නොයෙක් ආකාරයේ පින්කම්, උත්සව, සිරිත් විරිත් නිසා දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයත්, අති දුර්ලභව සකසාගත් උතුම් පැවිදි ජීවිතයත් පරමාර්ථ වශයෙන් ධර්මය දැක ගන්න තිබෙන කාලය අඩු නොකර ගත යුතුයි. බැහැර නො කර ගත යුතුයි.


යම් විටෙක ඒ දායක ඇත්තන්ගේ කටයුතු සිදු කළත්, සිරිත් විරිත් හා උත්සව කටයුතු එවැනි දෑ සිදු කළත් එහෙත් ඒවා මුලින් සඳහන් කළ උපමාවන් වගේ සිතාගෙන පරමාර්ථ ධර්මය ම මුල් කරගෙන අවබෝධ කරගැනීමෙන් උතුම් පැවිදි ජීවිතයේ ඇති කර ගත්තා වූ ඉහළ ස්වභාවය වඩාත් සාර්ථක කරගත හැකි ය. තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් නමුත් ඉදිරියේ වැඩ සිටින බවත්, භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව අපට දැනෙන බවත්, ඒ කරුණාවට යටත්ව, ඒ කරුණාව පිළිගෙන, ඒ මහා කරුණාවෙන් සැනහෙන බවත් දැන් වැටහෙන්නට අවශ්‍යය යි.


- දීපා පෙරේරා


පුබ්බ සූත්‍රය


පුබ්බ සූත්‍රය  

115

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, බුද්ධත්වයට පෙරම, බුදු නොවූ බෝසත්වූම මට මේ අදහස ඇතිවිය.

“පඨවි ධාතුවේ අස්සාදය (රස විඳීම) කවරේද? ආදීනව (දෝෂ) කවරේද? නිස්සරණය (නිදහස්වීම) කවරේද?

“ආපෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?

“තේජෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?

“වායෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?

“මහණෙනි, ඒ මට මේ සිත ඇති විය. පඨවි ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය පඨවි ධාතුවේ අස්සාදයයි. පඨවි ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය පඨවි ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය පඨවි ධාතුවේ නිස්සරණයයි.

“ආපෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය ආපෝ ධාතුවේ අස්සාදයයි. ආපෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය ආපෝ ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය ආපෝ ධාතුවේ නිස්සරණයයි.

“තේජෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය තේජෝ ධාතුවේ අස්සාදයයි. තේජෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය තේජෝ ධාතුවේ ආදීනවයයි. තේජෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය තේජෝ ධාතුවේ නිස්සරණයයි.

“වායෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය වායෝ ධාතුවේ අස්සාදයයි. වායෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය වායෝ ධාතුවේ ආදීනවයයි. වායෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය වායෝ ධාතුවේ නිස්සරණයයි.

“මහණෙනි, මම යම්තාක් කල් මේ සතර ධාතූන්ගේ මෙසේ අස්සාදය, අස්සාදය වශයෙන්ද, ආදීනවය, ආදීනවය වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, ඇති පරිදි නොදත්තෝද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාව සහිත ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බොධියට නොපැමිණියෙම්යයි දැන නොගත්තෙමි.

“මහණෙනි, යම් තැනක පටන් මම මේ සතර ධාතූන්ගේ මෙසේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ දැන ගත්තෙම්ද. මහණෙනි, ඉක්බිති, මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව සහිත, ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බොධියට පැමිණියෙම්යයි දැනගත්තෙමි. මාහට ප්‍රත්‍යවෙක්ෂා ඥානයෙන් දැකීමද, පහළවිය. ‘මාගේ අර්හත්ඵල සමාධිය කම්පා නොකළ හැකිය යන ඥානය පහළවිය. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැත්තේය.”

(දෙවෙනි පුබ්බ සූත්‍රය නිමි.)


Wednesday, August 11, 2021

ධම්මානුපස්සනාව

 


ධම්මානුපස්සනාව:

ආයතන විදර්ශනාව
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය,
ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

ධම්මානුපස්සනාවේ නීවරණ සහ ස්කන්ධ පහ පිළිබඳව පෙර ලිපි මඟින් සඳහන් කළා. අද සඳහන් කරන්නේ ආයතන දොළහ පිළිබඳව යි. ආයතන නිර්දේශය චක්කායතන, සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායායතන, මනායතන යනුවෙන් හයකි. රූපායතන, ශබ්ධායතන, ඝන්ධායතන, රසායතන, පොට්ඨබ්භායතන, ධම්මායතන ආදී බාහිර හයත් සමඟ සියල්ල දොළහක් වෙයි.

එවිට තම තමන්ගේ කෘතියෙහි ආයතනය ප්‍රයත්න කරන්නන් හෙවත් යෙදෙන්නන්ට ආයතන යනුවෙන් සඳහන් කරයි. ඇස ගැන සඳහන් කළොත්, එය රූප නිශ්පාදනය කරන බැවින් චක්ඛායතනය නම් වෙයි. යමක් කරණ කොට ගෙන චිත්ත , චෛතසික ධර්මයන් තම තමන්ගේ කෘතියෙහි යොදවනවා නම්, එම යෙදීම ආයතන නම් වෙයි. ආය යනු චිත්ත, චෛතසිකයන්ට නමකි. චක්ඛු - ආයතන වෙයි. එය දීර්ඝ බවට පමුණුවන ආයතන වන අතර ආයත යනු සසර දුකට නමකි. එනම්, දීර්ඝ සංසාර දුකට නමකි. එය ආයතනයන්ට හෙවත් සසර දුකට දීර්ඝත්වයට පමුණුවන්නෝ යමක් වේ නම්, එය ආයතන නම් වෙයි. පිනවීමෙන් ඇලීමෙන් , ගැටීමෙන් වාසය කරන නිසා සසර දිග් වෙනවා. ඒ සංසාර දිග්වන ක්‍රම දොළහකි. හොඳට වටහාගෙන පව් ඉවත් කර, පින් වැඩෙන ක්‍රමයකට යොමු විය යුතු යි. බුදු දහමේ ආයතන විදර්ශනාව ලෙස සඳහන් කරන්නේ එය යි. තම ශක්තිය තම බලය හොඳට යොදන්න පුළුවන්. ඇස යනු යමක් දැකීමට (රූප) අවශ්‍ය කරන දෙයක්. ඒ සඳහා චක්ෂු ප්‍රසාදය තිබිය යුතු යි. ඒ සඳහා රූප, ආලෝකය , මනසිකාරය තිබිය යුතු යි. නො එසේනම්, අපට රූපයක් දැකිය නො හැකි යි. අන්ධකාරයේ සිටියොත් රූප නො පෙනෙයි. දෑස් නො පෙනෙයි නම්, රූප නො පෙනෙයි. කල්පනාව නැතිනම්, රූප නො පෙනෙයි. එසේනම්, මේ කරුණු ටික අපට අවශ්‍යය යි. චක්ෂු ප්‍රසාදය, බාහිර රූපය, ආලෝකය, මනසිකාරය අවශ්‍ය කරනවා. එවිටයි අපට රූපයක් දැකගන්නට පුළුවන් වන්නේ.

ඇස- චක්ෂු ප්‍රසාදය, රූප – මනසිකාරය, ආලෝකය ආදී කරුණු පහ තිබීමෙන් රූපයක් දැක ගත හැකි යි. රූප ඕනෑම අවස්ථාවක ආලෝකයේ දී දැක ගන්නට පුළුවන්. නමුත් චක්ඛායතනය ද මුළුමනින් ම විනාශවී යයි. මොහොතක් පාසා ම සිඳී බිඳී යන බව වටහා ගත යුතු යි. එසේ ම ඇසට පෙනෙන රූප ද නිබඳව ම සිඳී බිඳී යයි. මොහොතක් පාසා ම ගෙවි ගෙවී යයි. ඒ නිසා අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රයට වටහා ගන්නට පුළුවන්. ඇස් අන්ධ වුණා යනු අකුසල කර්ම විපාකයක් ඵල දීම යි. ඇස් පෙනෙනවා නම්, කුසල විපාකය ඵල දීම යි. ඒ නිසා දැන දැන දෙනෙත් අන්ධ වන පාප කර්ම නො කරන්න. ඇස් පෙනීම ඇති කරන, බෙහෙත් ලබා දීම, කණ්ණාඩි ලබා දීම , කාච ලබා දීම ආදියෙන් ඇසේ කර්ම විපාක දුරු වෙලා, කුසල කර්ම විපාක මතු වෙයි. මේවා හොඳින් දැන කියාගෙන චක්ෂු ප්‍රසාදය හොඳට දියුණු කර ගන්න. චක්ෂු ප්‍රසාදය නිසා තණ්හාව, තරහව, පින්පව් දෙකම හට ගනියි. ඒ බව වටහාගෙන චක්ඛායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. ඇසට පෙනෙන රූප මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. චක්ඛායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. වරක් දෙවරක් නොව එය දීර්ඝ වේලාවක් මෙනෙහි කරන්නට පුරුදු වන්න.

එසේම සෝතායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. කනට ඇසෙන්නේ ශබ්ද යි. ශබ්දායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එම නිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. කන ඇසෙන්නේ නැහැ’යි යනු අකුසල කර්ම විපාකය පල දීමෙන් දෙසවන් බිහිරි වීම යි. කන ඇසෙනවා යනු කුසල විපාකයෙන් කන පිරිසුදුවට ඇසීම යි. මේ කාරණා දෙකම මෙනෙහි කරගෙන කොයි කාගේ වුණත්, කන විනාශයට පත්වන බව වටහා ගෙන හැකිතාක් විදර්ශනා ඥානය දියුණු කර ගන්න. මෙලෙස මෙනෙහි කිරීම සම්මසන ඥානය යි.

නාසිකාව එනම් ඝානායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝානායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. නාසිකාවට අරමුණු වන්නේ ගඳ සහ සුවඳ යි. එනම් ඝානාරම්භනය යි. ඝානායතනය මම නොවෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝානායතනය අනිත්‍ය යි , දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න පුරුදු වන්න. එවිට ආයතන විදර්ශනාව සම්පූර්ණ වෙයි.

ජිව්හායතනය යනු දිව යි. ඒ නිසා ද පින් පව් රැස් වෙයි. ජිව්හායතනය රස තිත්ත තේරුම් බේරුම් කර ගනි යි. එය වටහාගෙන ජිව්හායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ජිව්හායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. දිවට දැනෙන රසායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රසායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. රස තිත්ත නොදැනේ නම්, එය අකුසල කර්ම විපාකයක් ඵල දීම යි. රස තිත්ත හොඳින් දැනේනම්, එය කුසල විපාකයක්. මේ ගැන වටහාගෙන දිව සහ රස ආරම්මණ දෙක වටහාගෙන මෙනෙහි කළ යුතු යි.

කායායතනය – කය එනම් සර්වාංගයම බැලූ විට හිස කෙස්වලට, මැරුණු සමට, නියපොතු අග ස්පර්ශය නො ද ැනෙයි. සර්වාංගයේ අනෙක් සෑම තැනක ම විඤ්ඤාණය දැනෙ යි. කායායතනය නිසා පින් , පව් දෙකම වැඩෙයි. කායායතනය සැප වේදනාවක දී හෝ දුක් වේදනාවක දී පාප ක්‍රියා හට ගනි යි. මධ්‍යස්ථව සිටිය හැකිනම් හොඳයි. එසේනම්, කායායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි යනුවෙන් මෙනෙහි කර, කායායතනය අනිත්‍ය යි, ද ුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. කයට දැනෙන ස්පර්ශය පොට්ඨබ්බායතනය හෙවත් ස්පර්ශය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්මයි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න පුරුදු වන්න. එවිට කය පිළිබඳ ඇති ඇලීම ගැටීම තුරන් කර, හොඳ අවස්ථාවකට එළඹිය හැකි යි.

සිත එනම් මනායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා මනායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එයට ගොදුරු වන්නේ ධම්මායතනය යි. ධම්මායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. ධම්මායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

ඇස, කන, නාසය, දිව, සිරුර ගැන ගැටලුවක් නැහැ. මනායතනය යනු සිත යි. ධර්මායතනය යනු ධර්ම සම්පත්තිය යි. ධම්මායතනයෙන් අදහස් කරන්නේ චෛතසික පනස් දෙක යි. සුඛම රූප දාසය යි, නිර්වාණය වූ ධර්ම හැටනවය ධම්මායතනය නම් වෙයි. එසේනම්, ධම්මායතනයට අයත් කොටස වැඩි යි. චෛතසික පනස් දෙකක් ද. රූ ප විසි අටෙන් සුඛම රූප දාසයක් ද, නිර්වාණය ද සියල්ල එකතු කළ විට පද හැට නවයකි. එය ධම්මායතනය නම් වෙයි. එය එකක් පාසා ම දැන කියාගෙන මෙනෙහි කළ යුතු යි. ධම්මායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙනෙහි කරමින් ඉදිරියට යා යුතු යි.

චෛතසික පනස් දෙක එකක් පාසා ම මෙනෙහි කර, අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වටහා ගන්න. සුඛම රූප දාසය බලා එය ද අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. නිර්වාණය ද අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි.

එසේනම්, ආයතන දොළහක් පිළිබඳව වටහාගන්න තිබෙනවා. දුකට හේතු වන සසර දිග් කරන නිසා මේවා ආයත නම් වෙයි. ඇස, කන, නාසය, දිව, සිරුර, සිත, තුළින් පින් පව් රැස් වෙනවා. එමගින් අපේ සාංසාරික ජීවිතය දික් වෙවී ගමන් කරනවා. එය නතර කර ගැනීම සඳහා ආයතන එකක් පාසා මෙනෙහි කර, අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වටහා ගත යුතු යි. එවිට සංසාර ගමනේ උපත නතර කළ හැකි යි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල අවස්ථාවට එළඹිය හැකි යි. මේ තත්ත්වයට පත් වන්න ලෙහෙසි පහසු නැහැ. තම දැනුම, පිරිසුදු සිත, කරදර පීඩා බාධක වලින් ජය ගන්නට හැකියාව තිබිය යුතු යි. මේ උත්තරීතර අවස්ථාවට අපේ දහම් දැනුමත් දියුණු කරගෙන චිත්ත, චෛතසික ධර්ම වටහාගෙන ඉදිරියට යන්න.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල




පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...