ආයතන විදර්ශනාව : සංසාර සාගරයේ සැප – දුක
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ලොවුතුරා බුදු පියාණන් වහන්සේ ගේ ධර්මය ලැබුණේ අවුුරුදු දෙදහස් හයසිය ගණනකට පෙර යි. අතීත බුද්ධ ශාසනවලත් මේ ධර්මය ම සියලු බුදුවරු දේශනා කොට වදාළා.
බුදු පියාණන් වහන්සේ සෑම දවසක ම ලෝක ධාතුව දෙස බලා සත්ත්වයන්ගේ සන්ථානය බුදු නුවණින් විමස යි. කෙලෙස්, අනුසයන්, සංයෝජනයන් පවතින්නේ කෙලෙස ද? යනුවෙන් විමස යි. මේවා නැති කිරීම සඳහා කවර දේශනාවක් පැවැත්විය යුතු ද? යනුවෙන් බුදු නුවණින් විමසා අදාළ දේශනාව පවත්වනු ලබ යි. එයින් බොහෝ සත්ත්වයන් මාර්ග ඵල අවස්ථාවට පත් වුණා.
එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සැරියුත් තෙරණුවන් ඉගැන්වූ ලෙස කායගතා සති භාවනාව වැඩුවා. නමුත් චිත්ත සමාධියක් ලැබුණේ නැහැ. ඒනිසා සැරියුත් තෙරණුවන් මේ ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ හමුවට වැඩම කරවා, මේ ස්වාමීන් වහන්සේට භාවනාවෙන් චිත්ත සමාධියක් නො ලැබුණු බව වදාළා. එහිදී බුදුන් වහන්සේ, ශාරිපුත්ත, ඔබට එය කළ නො හැකි බවත් , සවස් කාලයේ බුදුන් වහන්සේ හමුවන ලෙසත් වදාළා. මේ ස්වාමීන් වහන්සේ සැවැත්නුවර පොකුණක් අසලට කැඳවා ගත් බුදු පියාණන් වහන්සේ, පොකුණෙහි නෙළුම් පඳුරක් මැව්වා. මෙහි නෙළුම් කොළ දෙස නො බලා , මල දෙස පමණක් බලන්නැ’යි වදාළා. මද වේලාවකින් මල් පෙති වැටී ගියා. හොඳින් සුපිපුණු මලෙහි පෙති ගිලහී ගිය දසුනෙන් අනිත්‍ය ය, දුක්ඛ , අනාත්ම පිළිබඳව ස්වාමීන් වහන්සේට වැටහී ගියා. එහිදී බුදුන් වහන්සේ කළ දේශනාවෙන්, ඒ ස්වාමීන් වහන්සේ රහත් බවට පත් වූවා. මේවා තීරණය කරන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පමණ යි. එසේනම්, බුදුපියාණන් වහන්සේගේ දහමට අනුව කවුරුත් කටයුතු කරන්න. බුදුන් වහන්සේ කළ දේශනාවන් අතීතයට පමණක් අයිති නැති අදටත් ගැළපෙන අකාලික දේශනාවක්. අතීත, වර්තමාන, අනාගත තෛ‍්‍රකාලයටම ගැලපෙයි. මේ ගැන කවුුරුත් හසල දැනුමක් ඇති කර ගන්න.
ආයතන පිළිබඳව සති තුනක් ම සඳහන් කළෙමු. ඒ විස්තර චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යනුවෙන් ආයතන හය යි. ඒවාට ගොදුරු වන්නේ රූපායතනය , ශබ්දායතනය, ගන්ධායතන, රසායතන, පොට්ඪබ්භායතන සහ ධම්මායතන යි. මෙලෙස ආයතන දොළහක් වෙයි. මේ ආයතන නිසා සියලු ම පින් පව් හට ගනි යි. සියලු කුසල් සහ අකුසල් හට ගන්නේ මේ ආයතන දොළහ නිස යි.
සංයෝජන දහයක් ද තිබෙයි. මේවා දස සංයෝජන නම් වෙයි. මේ නිසා අප සසර බැඳ තබන අතර සසර දිග් වෙයි. නැවත නැවත උත්පාදනය වෙයි. අපා ආදියට ගොදුරුවන අති භයානක දුක් ලබා දෙයි. සංයෝජන වන්නේ එය යි. සංසාරයේ යොදවන බව යි. ඒ යෙදවීමට අවශ්‍ය කරන දේ දහයක් වෙයි. සංසාරයේ නැවත නැවත ඉපදීමට අවශ්‍ය කරන දේ දහයක් සංයෝජන වශයෙන් වෙයි. ඉන්ද්‍රියන් හා අරමුණු ගැටීමෙන් සංයෝජන ඇති වෙයි. මේ සංයෝජන බුදු දහමේ උගන්වන ක්‍රමය අනුව මාර්ග ඵල අවස්ථාවේ දී යටපත් වන ක්‍රමය සඳහන් කරනවා.
සක්ඛායදිට්ඨි සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, සීලබ්භත පරාමාස සංයෝජනය සෝවාන් මාර්ගඥානයේ දී නැති වී යයි. කාමරාග සංයෝජනය, ව්‍යාපාද සංයෝජනය සෝවාන් මාර්ගඥානයෙන් තුනී වී අනාගාමී මාර්ගඥානයෙන් සම්පූර්ණයෙන් ම න ැති වී යයි. රූප රාග සංයෝජනය, අරූපරාග සංයෝජනය, මාන සංයෝජනය, අවිජ්ජා සංයෝජනය, උද්ධච්ඡ සංයෝජනය, අවිජ්ජා සංයෝජන ආදී දහය අර්හත්වයෙන් සම්පූර්ණයෙන් නැති වී යයි. මේ සංයෝජන දහය ඔබ අප කා ළඟත් කරකැවෙමින් පවතී. සසර උප්පාදනය කර අපාගාමී වන , සියලු පව් හට ගන්නා, මේ සංයෝජන වසා දමා සෝවාන් මාර්ග ඥානයෙන් සතර අපා දුකකට පත් වන්නේ ම නැහැ. මේ ගැන හොඳින් දැන කියාගෙන සංයෝජනයන් උපදින ආකාරය බලා එය නැති කර ගත යුතු බව බුදු දහමෙන් උගන්වයි. සංයෝජනයන් උපදින ආකාරය දැන එය නැවත නැති වන ක්‍රමය දෙස හොඳින් බැලිය යුතු යි. එවිට දස සංයෝජනයන් තත්ත්වාකාරයෙන් අවබෝධ කරගෙන ඒවා නැති කිරීම සඳහා විශේෂයෙන් තමන් උත්සාහයෙන් වැඩ කටයුතු කළ යුතු යි. සක්ඛාය දිට්ඨි සංයෝජනය යනුවෙන් පැවසුවේ තම සිරුරේ තිබෙන වැරැදි අවබෝධය යි. විචිකිච්ඡාව යනුවෙන් සඳහන් කළේ බුද්ධාදී උතුමන් කෙරෙහි පවතින සැකය යි. සීලබ්භත පරාමාස යනු වැරැදි ශීල සමාදානය යි. ඒවා තමන්ගේ චිත්ත සන්ථානයේ හට ගන්නා අතර දුරු කළ යුතු යි. කාමරාග යනු පංචකාම වස්තූන් පිළිබඳ ඇති ඇලීම යි. ව්‍යාපාද යනු තරහව යි. රූප රාග යනු රූපාවචර බඹතලයට තිබෙන ආශාවයි. අරූපරාග යනු අරූපාවචර බඹතලයෙහි උපත ලබන්නට ඇති ආශාව යි. මාන්නය, උද්දච්ඡ යනු සිතෙහි විසිරීම යි. අවිද්‍යාව යනු මෝහය යි. මේ සංයෝජන තම චිත්ත සන්ථානයෙහි ඇති අතර, ඒවා දුරු කළ යුතු යි. ඒ සඳහා එකක් පාසා ම මෙනෙහි කරමින් තම සන්ථානයෙන් ඉවත් කළ යුතු යි. සක්ඛාය දිට්ඨි සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. විචිකිච්ඡා සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. සීලබ්භත පරාමාස සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. කාමාරාග සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එසේම පටිඝ සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපරාග සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අරූපරාග සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මාන සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. උද්දච්ඡ සංයෝජනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අවිජ්ජා සංයෝජනය යනුවෙන් ක්‍රම දහය අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් හොඳින් වටහාගෙන මෙනෙහි කළ යුතු යි. ඒ සංයෝජනයෝ මම නො වෙයි. මගේ නො වෙයි. මගේ ආත්මය නො වෙයි. යනුවෙන් භාවිත කළොත් තමන්ට ලොකු දැනුමක් ලැබෙයි. මේවා තමන්ගේ ම සිත තුළ හට ගන්නා දේ වෙයි. ඒ නිසා සංයෝජන පිළිබඳ ව මනා වැටහීමක් ඇති කරගෙන දස සංයෝජනයන් තමන්ගේ සිතෙන් ඉවත් ව යන ආකාරයට , බැහැර කරන අයුරු අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම යි. තම සිතෙහි සක්ඛාය දිට්ඨියක් හට ගත්තොත් ඒ සක්ඛාය දිට්ඨියක් බව මෙනෙහි කර එය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සියලුම දස සංයෝජන මෙනෙහි කරන්න. ඒවා පිළිබඳ හොඳ වැටහීමක් ඇතිකරගෙන හොඳට මෙනෙහි කළොත් තමන්ට මාර්ග ඵල අවස්ථාව දක්වා යා හැකි යි.
දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය ආදී චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා මේ කියනු ලබන ධර්මතාවයන් මහෝපකාරී වෙයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සංයෝජන ක්‍රම උන්වහන්සේ එකිනෙක දැනකියාගෙන සියල්ල ප්‍රහාණය කළා. ඒ නිසා උන්වහන්සේ ලොවුතුරා බුද්ධත්වයෙන් පිදුම් ලැබුවා. එසේ බුද්ධත්වයට පත් ව ලෝක සත්ත්වයාට දේශනා කළේ, සංයෝජන ප්‍රහාණයට තමනුත් උත්සාහ වන්ත වන්නට යනුවෙනි. අලෝභ, අදෝෂ, චේතනාවන් උපදින විට සංයෝජනයන් සිතෙන් බැහැරව යයි. ලෝභ, දෝශ, මෝහ හටගන්නා විට සංයෝජනයන් සිතෙහි පහළ වෙයි. මේවා හොඳට අවබෝධයෙන් දැන උගත්කම වැඩි දියුණු කරගත්තොත්, තමන්ට ධර්මය තත්ත්වාකාරයෙන් අවබෝධ කළ හැකි යි. එවිට තමන්ගේ චිත්ත සන්ථානය දියුණු කරගන්නා ක්‍රම වශයෙන් හඳුන්වන්නේ මේ පිළිබඳ ලොකු දියුණුවක් මෙන්ම ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමක් තමන් තුළ ඇති කර ගත යුතු යි. එවිට සංයෝජනයන් ප්‍රහාණය කිරීමත් එසේම තම සිත නික්ලේෂීව පවත්වාගන්නට පුළුවන්කමත් තිබෙනවා. ඒවා හොඳට දැන කියාගෙන ආයතන විදර්ශනාව පිළිබඳව මෙතෙක් සඳහන් කළ දීර්ඝ විස්තරය හොඳට දැන කියාගෙන සටහන් තබා ගෙන එකක් ප ාසාම මෙනෙහි කරමින් බලමින් අනිත්‍ය ය, දුක්ඛ, අනාත්ම වටහා ගත යුතු යි. එවිට ආයතන දොළහ පිළිබඳව හොඳින් තේරුම් බේරුම් කරගත යුතු යි. ආයතන දොළහෙන් සියලු පින් පව් හටගෙන සංසාරයේ සැප , දුක් ලබා දෙනවා. ඉන් එහාට කුසල් අකුසල් උපදින තැනක් නැහැ.
මේ සඳහා සුවිශේෂී වේලාවක් අවශ්‍ය නො වෙයි. මඟ තොට යද්දී වුව ද තම සිතෙහි පහළ වන පව් සිතිවිලි එකක් පාසාම මෙනෙහි කරමින් අනිත්‍යය, දුක්ඛ , අනාත්ම බවට හරවන්න පුළුවන්කම තිබිය යුතු යි. මේවා දියුණු කරගෙන යාමෙන් තමන්ට භාවනාව පිළිබඳව හසල දැනුමක් ලබා ගත හැකි යි. එසේනම්, නීවරණ විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආයතන විදර්ශනාව ගැන තමන්ට ලොකු දැනුමක් ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. එය පොතට සීමා නොකර අධ්‍යාත්මික ව සිතට ගෙන මෙනෙහි කරමින් තම දැනුම වැඩි කරගන්න. නව ලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නේ ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරගත් අය පමණ යි. අනිත්‍යය , දුක්ඛ, අනාත්ම වටහා ගත් අය පමණ යි. ඒ ගැන හොඳ දැනුමකින් ආයතන විදර්ශනාවේ දී දස සංයෝජනයන් මෙනෙහි කරමින් අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වටහාගෙන භාවනාව ඉදිරියට ගෙන යන්නැ’යි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
No comments:
Post a Comment