ධම්මානුපස්සනාව
නීවරණ විදර්ශනාව
තරහව නැති කරගන්න එහි ඇති දොස් දකින්න
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ඇතැම් අය අත පය කපා දමා ගන්නවා, ජීවිත හානි කර ගන්නවා, අනුන්ගේ ජීවිත ද නැති කර දමනවා. සත්ත්ව ඝාතන ආදිය සිදු කරන්නේ ද තරහවේ දොස් නිස යි. ඒ නිසා ශරීරය දුර්වර්ණ වීම, හෘදය වස්තුවට අපිරිසුදු රුධිරය ගමන් කිරීම, තමා රෝගී පුද්ගලයකු වශයෙන් බොහෝ කලක් ජීවත් වීම, ඇතැම් විට අකාලයේ මරණයට පවා පත් වීම ආදී බොහෝ දොස් ඇති වන්නේ තරහව නිස යි.
ව්‍යාපාදය තම සිතෙහි දිගින් දිගටම ඇති වුණොත්, එය තමා රෝගී කෙනෙක් ව, අකාලයේ මරණයට පත් ව, මරණින් මතු යක්ෂයෙක් - යක්ෂණියක් හෝ විසකුරු සතෙක් ආදී දරුණු ජීවිත ලබයි. ඒ නිසා කවුරුත් මෛත්‍රී භාවනාව පෙරමුණට ගෙන තරහව දුරු කර ගැනීමට උත්සාහයෙන් වැඩකටයුතු කළ යුතු යි. තරහව නිසා ලෝකයේ කරන්න බැරි පාපයක් නැහැ.
අජාසත්ත රජතුමාට, දේවදත්ත හාමුදුරුවෝ පැවසුවේ, ඔබතුමා නාමිකව මහ රජතුමා බව යි. නමුත් රට වැසියාගේ ගෞරවය තිබෙන්නේ බිම්බිසාර රජතුමා වෙත යි. ඒ නිසා ඔබ පියාණන් ඝාතනය කර, මහ රජ්ජුරුවෝ වන්න, මා බුදුන් නසා බුදුවනවා යනුවෙන් අබුද්ධි චේතනාවෙන්, පටිඝ, තරහ, චේතනාවෙන් ප්‍රකාශයක් කළා. එය පිළිගත් අජාසත්ත රජතුමා තම පියාණන් සිරගෙයි දමා, දුක් පමුණුවා අවසානයේ මරණයට පත් කර ආනන්තරීය පාප කර්මය සිදු කර ගත්තා. අජාසත්ත රජතුමාට සෝවාන් වෙන්න පින තිබුණත් නිවන් මඟ ඇහිරී ගියේ තම පින්බර පියාණන් ඝාතනය කිරීම නිස යි.
ලොවේ කරන්න තියෙන පහත්ම පව් පහෙන් එකක් වන්නේ පීතෘ ඝාතනය යි. පංචානන්තරීය පව් කරන්නේ තරහ චේතනාව නිසයි. දේවදත්ත හාමුදුරුවෝ තරහව නිසා බුදුන් වහන්සේ විනාශ කරන්න වෙහෙස ගත්තත්, එය ව්‍යර්ථ වුණා. දේවදත්ත හාමුදුරුවෝ දරුණු ආනන්තරීය පව් කිහිපයක් කරගෙන ම නිරයට පත් වුණා. මෙය සිද්ධ වුණේ පටිඝ චේතනාව නිස යි. මේ දෝෂයන් හොඳින් දැනගෙන, පටිඝ චේතනාවෙන් තමා අත්මිදී, තරහවෙන් අත්මිදී ‘මම මෛත්‍රියෙන් වාසය කරන්නෙමි’ යනුවෙන් අධිෂ්ඨාන කරමින් මෛත්‍රී භාවනාව දියුණු කළ යුතු යි. සිතට එන තරහව , වෛරය මෙනෙහි කරමින් අනිත්‍ය , දුක්ඛ, අනාත්ම යනුවෙන් ලක්ෂණත්‍රයට යොමු කළ යුතු යි. එවිට ව්‍යාපාද නීවරණය පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවනි. ව්‍යාපාදය තණ්හාව වගේම බරපතළ පාපයක්. එයට ගැටීම යනුවෙන් ද , තණ්හාව ඇලීම යනුවෙන් ද හඳුන්වනවා.
ධම්මානුපස්සනාවෙහි පළමුවැන්න නීවරණ කොටස යි. ‘නී’ පූර්ව වෙලා, ‘වාණ’ ප්‍රත්‍යයෙන් හැඳුණු ‘නිබ්බාණ’ වදනක් තිබෙයි. නිර්වාණයට සතුරුකම් කරන්නේ , ද්‍රෝහිකම් කරන්නේ, ‘නීවරණ’ ධර්ම පහයි. එයින් කාමච්ඡන්ද නීවරණය පිළිබඳව පසුගිය ලිපියෙන් සඳහන් කළා. කාමච්ඡන්ද නීවරණය ලක්ෂණ වශයෙන් ඉදිරිපත් කළා.
අද සඳහන් කරන්නේ ව්‍යාපාද නීවරණය සම්බන්ධව යි. ව්‍යාපාදය යනු තරහව, වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම, පටිඝය, දෝමනස්සය , ශෝකය, පරිදේව ආදිය තථාගත ධර්මයේ සඳහන් කරන ව්‍යාපාදයට තවත් අර්ථයන් වෙයි. පටිඝ සිත් දෙකකින් ව්‍යාපාදය හට ගනි යි. එසේනම්, පටිඝය හෙවත් තරහව දිගින් දිගටම පත්ව, වෛරයක් බවට පත් වෙයි. තමන් මේ පිළිබඳව හොඳ දැනීමකින් කටයුතු කළ යුතු යි. ව්‍යාපාද නීවරණය යටපත් කරන්න හොඳම දේ මෛතී‍්‍ර භාවනාව, පන්සිල් අටසිල් රැකීම, කාය වාග් සංවරය ආදිය යි.
ව්‍යාපාද නීවරණය පිළිබඳ මෙනෙහි කළ යුතු ආකාර පහක් වෙයි. එනම්, 1. සිතෙහි ව්‍යාපාදය ඇතිවිට මගේ සිතේ ව්‍යාපාදය ඇති බව දැන ගැනීම, 2. සිතෙහි ව්‍යාපාදය නැති කල්හි මාගේ සිතේ ව්‍යාපාදය නැති බව දැන ගැනීම , 3. සිතෙහි නූපන් ව්‍යාපාදය උපදින්නේ මෙසේය යනුවෙන් දැන ගැනීම 4. සිතෙහි උපන් ව්‍යාපාදය නැතිවන්නේ මෙසේය යනුවෙන් දැන ගැනීම 5. සිතෙහි නැති වූ ව්‍යාපාදය නැවත ඇති නොවන්නේ ය යනුවෙන් ව්‍යාපාද නීවරණය දැන ගන්නා ක්‍රම පහ කි.
කෝපය හා කෝපය ඇති වීිමට හේතු වූ අරමුණු ද පටිඝ නිමිති පිළිබඳ නුවණින් තොරව මෙනෙහි කිරීමෙන් ව්‍යාපාදය ඇති වෙයි. එය නූපන් ව්‍යාපාදය උපද වීමට ද , උපන් ව්‍යාපාදය වැඩි වීමට ද හේතු වෙයි. ව්‍යාපාදය යනු ද, පටිඝය යනු ද සිත්හි ඇතිවන විරුද්ධව හැපීම ව්‍යාපාදයේ ලක්ෂණ යි. ව්‍යාපාදය ප්‍රහාණය කිරීමටත් බුදු දහමෙහි හේතු හයක් උගන්වනු ලබයි. 1. මෛත්‍රී භාවනා කිරීම 2. මෛතී‍්‍ර වැඩීමට සුදුසු අරමුණු ගැනීම 3. කර්මය ස්වකීය බව සිතීම 4. බහුලව නුවණින් මෙනෙහි කිරීම 5. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම 6. ව්‍යාපාදයේ දොස් පැවසෙන කථා කීම ආදී කරුණු හයෙන් ව්‍යාපාදය යටපත් කරන්න, ප්‍රහාණය කරන්න සමත් වෙයි.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී පාරමිතාව වෙනම ම සම්පූර්ණ කළා. එය තරහව නැති කර ගැනීම පිණිස යි. දිගු සසරක ගමන් ගන්නා අයට තරහ, ක්‍රෝධ , වෛර , ඊර්ෂ්‍යා ගෙන යන්නට බැහැ. ඒ නිසා මෛති‍්‍රය රැගෙන ව්‍යාපාදය යටපත් කළ යුතු යි. එසේනම්, තම සිතෙහි පහළවන ව්‍යාපාදය, තරහව බව දැන ගැනීම උතුම් කාරණයක්. මට දැන් තරහවක් පැමිණියා යනුවෙන් දැන ගත යුතු යි. තරහවක්, තරහවක්. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් දැන ගැනීම ව්‍යාපාද විදර්ශනාව නම් වෙයි. එය වැදගත් ම භාවනා අරමුණක් මෙන්ම තම සිතේ පහළවන තරහව නැති කර ගැනීමට දුන් උපදෙස් මාලාවක්.
බුද්ධ ශාසනයට අනුව කටයුතු කරන අයටත්, බුද්ධ ශාසනයෙන් පරිබාහිරව සිටින අයටත් ප්‍රයෝජනවත් දේ මෛත්‍රී භාවනාව යි. කෙනෙක් දුටු විට යටහත් පැවතුම් ඇතිව , නිහතමානීව , සුවච කීකරුව, සුහද ලීලාවෙන්, ආදරයෙන් , සෙනෙහසින්, ගෞරවයෙන් කතා බහ කළ යුතු යි. එය මාන්නය, උඩඟු බව ඇති කර ගැනීමට නොව, තම ගුණ දියුණු කර ගැනීමට යි. බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රය, මවුපිය, ගුරුවරු කෙරෙහි මෙන්ම ලෝකවාසී සත්ත්වයන් කෙරෙහි ද හද පත්ලෙන් මෛත්‍රියෙන් කටයුතු කළ යුතු යි.
තම සිතට තරහවක් පැමිණියොත්, තරහවක්, තරහවක්... එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් ද තරහව නැති වුණා. තරහව නැති වූ සිත ද අනිත්‍ය ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. එවිට කුසල් - අකුසල් දෙකම මෙනෙහි වෙයි. එය නුවණින් කල්පනාවෙන් සිදු කළ විට, නීවරණ විදර්ශනා භාවනාව හොඳින් කළ හැකි යි. වාඩිවෙලා, දෑස වසාගෙන , තම සිතට ගලාඑන පටිඝ චේතනාව දෙස බලමින් මෙනෙහි කර අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වශයෙන් වටහා ගත යුතු යි. අතීතයේ උපන් තරහව ඉවත් ව ගිය නිසා අතීත ලක්ෂණයෙන් සමන්විත යි. ඒ නිසා අතීත තණ්හාවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව පෙර ලිපි වලදී ද සඳහන් කළා. එසේම මෙම ලිපියෙහි ද අතීත තරහව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි , වර්තමාන තරහව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි , අනාගත තරහව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. වර්තමාන අරමුණ හොඳින් මෙනෙහි කිරීමෙන් සති, සමාධි, ඥාන හොඳින් වැඩෙයි. විශේෂයෙන් ධම්ම විචය සම්බොජ්ඣංගය හොඳින් වැඩෙන අතර එය සිතෙහි පහළ වීමෙන් තම නුවණ හොඳින් දියුණු කරගෙන යෝනිසෝමනසිකාරය ඉදිරියට දියුණු කර ගත හැකි යි . යෝනිසෝමනසිකාරය යනු නුවණින් මෙනෙහි කිරීම යි. එය සැමටම අපහසු දෙයක් වුවත්, ව්‍යාපාද නීවරණය හොඳට වටහාගෙන තරහව, වෛරය බව හොඳට දැන කියාගෙන එහි දොස් දැකිය යුතු යි.
ව්‍යාපාදය තේරුම් ගෙන පන්සිල් රකින්න පුරුදු වන්න. මෛතී‍්‍ර භාවනාව වැඩි කරගන්න. එවිට ඉවසීම ඇති වෙයි. ඉවසීම හොඳටම ලැබීමෙන් සිතෙහි පව් යටපත් කර, මෛත්‍රී පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව , ප්‍රඥා පාරමිතාව ඇතුළු දස පාරමිතාවෝ ම සපුරා ගත හැකි යි. එලෙස කල්පනාවෙන් සැවොම සිල් ගුණ දියුණුවෙන් කලාතුරකින් ලැබුණු සම්බුදු සසුනෙහි ඵල ප්‍රයෝජන ගැනීමට පංචනීවරණ විදර්ශනාවේ දෙවැන්න වන ව්‍යාපාද නීවරණ භාවනාව බොහොම හොඳින්, සිහි කල්පනාවෙන් ඉදිරියට මෙනෙහි කරන්න.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල