කළ හොඳ දේ සැප ගෙන දේ
සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක
වේරගොඩ සාරද නා හිමි
ඉධ මොදති පෙච්ච මොදති - කත පුඤ්ඤො උභයත්ථ මොදති
සො මොදති සෝ පමොදති - දිස්වා කම්ම විසුද්ධි මත්තනො
කත පුඤ්ඤො- පින් කළ තැනැත්තා, ඉධ - මෙලොවත් ,මොදති - සතුටු වෙයි , පෙච්ච- පරලොව ද,උභයත්ථ මොදති - දෙලොව ම සතුටු වෙයි, සො - හෙතෙම, අත්තනො- තමාගේ , කම්ම විසුද්ධිං - චර්යාවෙහි පිරිසුදුකම, දිස්වා - දැක, පමොදති .- අතිශයින් සතුටු වෙයි
සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව ධම්මික උපාසක තැන නිමිති කොට දේශනා කළ සේක.
සැවැත් නුවර ධම්මික නමැති ගෘහස්ථ ශ්‍රාවකයෙක් වාසය කළේ ය. නමට ම ගැළපෙන ධාර්මික ජීවිතයක් ගත කළ හෙතෙම දන් දීමෙහි මහත් රුචියක් දැක්වී ය. බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට නිබඳව දන් දුන් අතර විශේෂ දිනවල මහ දන් පැවැත්විය. බුදුරජාණන් වහන්සේ ගේ මහා දායකයන් පන්සියයෙන් එක් අයෙක් වූ හෙතෙම පුතුන් හත් දෙනෙකුගේ සහ දූවරුන් හත් දෙනෙකුගේ පියෙක් වූයේ ය. දරුවෝ ද පියා මෙන් ම දහම් මඟ ගමන් කළ සැදැහැතියෝ වූහ.
වරක් හොඳටම ගිලන් වූ ධම්මික මහ සඟ රුවන වැඩමවා පිරිත් සජ්ඣායනා කරවන සේ ඉල්ලා සිටියේ ය. භික්ෂූන් වහන්සේ වැඩම කොට, ඇඳෙහි වැතිර සිටි ඔහු අබිමුව වැඩ හිඳුවා, මහා සතිපට්ඨාන සූත්‍රය සජ්ඣායනා කරන අතරතුර දෙව් ලෝ හයෙන් සැරැසූ දිව්‍ය වාහන හයක් ඔහු තම තම දෙව් ලෝ වලට කැඳවා ගෙන යනු පිණිස පැමිණිය හ. ඔවුන් දුටු ධම්මික උපාසක පිරිත් නිම වන තුරු මඳක් නවතින්නැ’යි සංඥා කළේ ය. එහෙත් ඒ සංඥාව පිරිත නවත්වන්නැ’යි කළ සංඥාවක් සේ තේරුම් ගත් භික්ෂුන් වහන්සේ පිරිත නවතා පිටත් ව ගියහ.
අනතුරුව තමන් කැඳවා ගෙන යාමට සදෙව් ලොවින් රිය හයක් පැමිණ ඇති බව ධම්මික උපාසක තෙම තම දරුවන්ට පැවසී ය. තුසිත දෙව්ලොවින් පැමිණි රථය තෝරාගත් හෙතෙම මල් දමක් එය තිබෙන තැන අහසට දමන්නැ’යි දරුවන්ට උපදෙස් දුන්නේ ය. ඒ අනුව දරුවෝ මල් දමක් ගුවනට වීසි කළහ. එය ගුවනෙහි වූ දිව්‍ය රථයෙහි රැඳිණි. මල් දම ගුවනෙහි රැඳී තිබෙනු එහි රැස්ව සිටි හැම දෙනාටම පෙනිණි. එහෙත් රථය නො පෙනිණි. ‘ඔබට මල් දම පෙනෙනවා නො වේ ද’යි විමසූ ධම්මික උපාසක තම දරුවන් අමතා එය රැඳී ඇත්තේ තුසිත දෙව් ලොවින් පැමිණි රථයේ බවත් තමන් තුසිත දිව්‍ය ලෝකයේ උපදනා බවත් පවසා, ඔබ මා සමඟ උපදින්නට කැමැති නම්, මා කළාක් මෙන් පින් දහම් කරන්නැ’යි අවවාද කළේ ය. අනතුරුව දෙනෙත් පියා ගත් හෙතෙම මිය ගොස් තුසිත දෙව් ලොව උපන්නේ ය.
භික්ෂූන් වහන්සේ නැවත විහාරස්ථානයට පැමිණි විට ‘මහණෙනි, ධම්මික පිරිත් සජ්ඣායනයට සවන් දුන්නා දැ’යි භාග්‍යවතුන් වහන්සේ විමසූ හ. ‘එසේ ය. ස ්වාමීනි, එහෙත් සජ්ඣායනය මැද දී හෙතෙම ‘නවතින්න, නවතින්න’යි කියා සංඥා කර අප නවතා ලී ය.
එවිට දූ දරුවන් වැළපෙන්නට වූ හෙයින් අපි සජ්ඣායනය නවතා ආපසු ආවෙමු’යි ඔවුහු පිළිවදන් දුන් හ. ‘මහණෙනි, ධමිමික කතා කළේ ඔබ සමඟ නොවේ. දෙව් ලොව හයේ ම දෙවිවරු දිව්‍ය රථ හයක් සරසා ගෙන ඔහු කැඳවාගෙන යාම සඳහා පැමිණ සිටිය හ. ඔහු නවතින්නට යැ’යි කීවේ ඔවුන්ට ය. ධර්ම ශ්‍රවණය නිමවන තුරු සිටින්නැ’යි ඔවුන්ට කළ සංඥාව ය.’ ‘සැබෑ ද ස්වාමීනි? ‘එසේ ය. මහණෙනි, ඒ සැබෑ ය’ ‘දැන් ඔහු උපන්නේ කොහිද, ස්වාමීනි? ‘මහණෙනි, ධමිමික තුසිත දිව්‍ය ලෝකයෙහි උපන්නේ ය’.
’ ස්වාමීනි. ධම්මික උපාසක මේ ඊයේ පෙරේදා වන තුරුම මහත් ප්‍රීතියෙන් මෙහි සිටියේ ය. දැන් හෙතෙම මිය ගොස් දෙව්ලොව මහත් සතුටින් සිටින බව ඔබ වහන්සේගෙන් දැන ගතිමු’ භික්ෂූන් වහන්සේලා එසේ පැවසූ විට ‘එසේ ය මහණෙනි, අප්‍රමාදී, කුසල් කරන පුද්ගලයෝ මොලොවත් ප්‍රීතියෙන් සිටිති. පරලොවත් ප්‍රීතියෙන් සිටිති’යි වදාළ භාග්‍යවතුන් වහන්සේ ඉහත ගාථාව දේශනා කළ සේක.
ජීවිත කාලය පුරා යහපත් චර්යාවන් හේතු කොට ගෙන කුසල් රැස් වේ. යමකු පරලොව යනවිට ගෙන යන එකම දේ කුසල් හා අකුසල් හෙයින් කුසල් කර ගෙන ඇතහොත් ඒ ගැන සිතා පී‍්‍රති විය හැකි ය. තම මතු ජන්මය අනිවාර්යෙන් ම ප්‍රසන්න වන බව ඔහුට සිතා ගත හැකි වේ. යහපත් චුති චිත්තයකින් මිය ගිය විට ඊළඟ ජන්මය නියත වශයෙන් ම යහපත් වෙයි
No comments:
Post a Comment