වේදනානුපස්සනාව
වේදනාව ජයග්‍රහණයක් කරගන්න
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි
යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
සතිපට්ඨාන යනු සිහි එළඹීම යි. එනම් සිහි නුවණින් බැලීම යි. යමක් දෙස, සත්ත්වයා , පුද්ගලයා , ආත්ම වශයෙන් බැලීම නොවෙයි. ඒ දෙස සිහි නුවණින් බැලුවොත් සත්ත්ව, පුද්ගල , ආත්ම, සංඥා සියල්ල බැහැරව යයි. එයම නිවන් මඟට මහෝපකාරී වෙයි.
පසුගිය ලිපි පෙළෙන් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව ගැන සඳහන් කළෙමු. අද සඳහන් කරන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ වේදනානුපස්සනාව යි. වේදනානුපස්සනාව පිළිබඳ ව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධාකාර ස්ථානයන්හි දී දේශනා කර වදාළා. සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව වශයෙන් වෙනම කාණ්ඩයක් ගෙන හැර දැක්වූවා. වේදනාව අනුව බැලීම, වේදනා - අනුපස්සනා නම් වෙයි. ශරීරයට දුක් වේදනාවක් වැඩිපුර ලැබෙනවා. සැප වේදනා අඩුයි. මධ්‍යස්ථ වේදනාත් අඩුයි. කායික වේදනා, මානසික වේදනා යනුවෙන් වේදනාව දෙවදෑරුම් වෙයි. සියලු ම වේදනාවන් කායික දුක් ලෙසත්, සිතට දැනෙන වේදනාවන් මානසික දුක් වේදනාවන් ලෙසත් සඳහන් කරනවා.
වේදනාව ගැන අපට අමුතුවෙන් වැඩි විස්තර කිව යුතු නැහැ. වේදනාව ගැන කාටත් පැහැදිලි යි. සැප සහ දුක්ඛ වේදනාව යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙක යි. එය උපේක්ෂා වේදනාව යනුවෙන් ද සඳහන් වෙයි. එවිට සුඛ වේදනාව, දුක්ඛ වේදනාව , උපේක්ෂා වේදනාව යනුවෙන් තෙවැදෑරුම් වෙයි.
එයට ආමිස, නිරාමිස යනුවෙන් තවත් දෙකොටසක් එකතු කර ගත යුතු යි. ආමිස වේදනාව ලෞකික යි. නිරාමිස වේදනාව ලෝකෝත්තර යි. වේදනානුපස්සනාව නව ආකාරයකට සඳහන් වෙනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව යි, සාමිස සුඛ වේදනාව, නිරාමිස සුඛ වේදනාව, සාමිස දුක්ඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව, සාමිස උපේක්ෂා වේදනාව හා නිරාමිස උපේක්ෂා වේදනාව යි.
සිතේ ඇතිවන කල්හි එම වේදනාවන් මෙනෙහි කිරීම වේදනානුපස්සනාව වෙයි. ඒ තත්ත්වයත් හොඳින් වටහාගෙන, වේදනාවේ තත්ත්වයත් හොඳට තේරුම් බේරුම් කරගෙන වේදනානුපස්සනා භාවනාව මෙනෙහි කරමු. ඒ වේදනාව විටක සැප වේදනාවක් විය හැකියි. තවත් විටක දුක් වේදනාවක් විය හැකි යි. ඒ නිසා වේදනාව, වේදනාව යි, වේදනාව යි. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.
බුද්ධ කාලයේ පිණ්ඩපාතයේ වැඩම කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දරුණු කායික වේදනාවට පත් වුණා. උන්වහන්සේ අවුරුදු දොළහක් ම එකම නිවසින් දානය වැළඳුවා. කොසොල් මහ රජතුමා ඒ නිවසේ හිමිකරුට මැණික් ගලක් ඔප මට්ටම් කරන්න දුන්නා. ඔහු මේසය මත මැණික් ගල තබා මුළුතැන්ගෙට පිවිස නැවත පැමිණෙන විට මේසය මත තැබූ මැණික් ගල නැහැ. නිවසේ ඇතිකරන ගිජු ලිහිණියා මේ මැණික් ගල ගිල තිබුණා. මේ ගෙහිමියා සැක කළේ ස්වාමීන් වහන්සේ යි. ඒකාන්තයෙන් මැණික් ගල ගන්න ඇත්තේ ස්වාමීන් වහන්සේ යි. ඔහු ඇසුවා , ස්වාමීනි, මා මැණික් ගල මේසය මත තැබුවා. නමුත් දැන් එය නැහැ. ඔබ වහන්සේ ම තමයි මේක ගන්න ඇත්තේ. නැහැ, උපාසක තුමනි, මා එය ගත්තේ නැහැ. එය මට අවශ්‍ය නැහැ. එවිට උපාසකයා, ස්වාමීන් වහන්සේට තරවටු කරමින් ඇසුවා. ඒත් පෙර දුන් පිළිතුර ම දුන්නා. මේ නිසා උපාසකයා වෙළුමක් දමා භික්ෂුන් වහන්සේගේ හිස තද කළා. මේ නිසා ඇස්, කන්, නාසාදී පුපුරා රුධිරය ගලන්න පටන් ගත්තා. සිවුර තෙත බරිත කරමින් ගලා ගිය රුධිර ධාරාව නිවසේ ඇති කළ පක්ෂියා බොන්න පටන් ගත්තා. කෝප වුණ ගෙහිමියාගේ පා පහරින් ඒ සතා මරණයට පත් වුණා. එහිදී පක්ෂියා මළ බව දැන ගත් ස්වාමීන් වහන්සේ , සතාගේ උදරය පළා බලන්නැ’යි වදාළා. එවිට මැණික් ගල ලැබුණා. ගෙහිමියා ලේ විලක් මැද වැඳ වැටී භික්ෂූන් වහන්සේගෙන් සමාව අයැදුවා.
එහිදී ස්වාමීන් වහන්සේ , අතීත සංසාරයෙත් මා මෙවැනි වරදක් කරන්න ඇති. මේ දුකම යි මට ලැබුණේ යනුවෙන් ස්වාමීන් වහන්සේ කායික දුක්ඛ වේදනාව මෙනෙහි කළා. වේදනාවයි, වේදනාවයි, එය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි යනුවෙන් වේදනාව හට ගන්නා ආකාරය, නැතිවන ආකාරය සියල්ල ම නුවණින් මෙනෙහි කළා. ඒ නිසා තමන් වහන්සේට විදර්ශනා නුවණ පහළවීමත්, මහ රහත් භාවයට පත්වීමත් එකවරම සිද්ධ වුණා. එය වේදනා පස්සනාවට සිත යොමුකර, වේදනාව මෙනෙහි කිරීම යි.
බොහෝ ස්වාමීන් වහන්සේ අතර කතාවක් ඇති වුණා, මේ ස්වාමීන් වහන්සේ අපාගත වෙන්න ඇති යනුවෙන්. එහිදී බුදුන් වහන්සේ දේශනා කර වදාළේ, ‘මහණෙනි, ඒ භික්ෂුව අපායට ගියෙත් නැහැ. මැරී ඉපදුණෙත් නැහැ. දෙව්ලොව, බඹලොව ගියෙත් නැහැ. එහෙමනම් කොහේ ගියේ දැ’යි භික්ෂු පිරිස භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළා. ‘මහණෙනි, ඒ භික්ෂුව තථාගතයන් වහන්සේගේ කියමන අකුරටම ඉටු කළා. කුමක්ද ස්වාමීනි, අකුරට ම ඉෂ්ට කිරීම? වේදනාව ලැබුණු වේලාවේ එය මෙනෙහි කිරීම යි, අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් වටහාගෙන රහත් බවට පත්වුණා යනුවෙන් ශාස්තෘන් වහන්සේ වදාළා.
එසේනම්, තමන්ටත් කායික මානසික වේදනාවන් දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට වේදනාව තිබුණු තැන සිත පිහිටුවා ගෙන වේදනාව මෙනෙහි කරන්න. හිසේ වේදනා, බඩේ වේදනා, දණහිස් වේදනා, ඇඟපත වේදනා ආදිය තිබේනම්, ඒ ස්ථානයේ සිත පිහිටුවා ගන්න. යම් ප්‍රශ්නයක් නිසා සිතට වේදනාව දැනුණොත්, වේදනාව මෙනෙහි කළ යුතු යි. ‘වේදනාව යි, වේදනාව යි, වේදනාව මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, ඒ නිසා වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි’ යනුවෙන් වේදනාව මෙනෙහි කරමින් ඉදිරියට යන්න. එවිට තමන්ට වේදනාවෙන් ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. කලබල වෙන්න හොඳ නැහැ. වේගවත් වෙන්න හොඳ නැහැ. හිමිහිට ම අත් විඳින්න. මධ්‍යම ප්‍රමාණයෙන් වේදනාව හොඳින් මෙනෙහි කරන්න. වේදනාව හට ගැනීම, වේදනාව පැවතීම, වේදනාව නැතිවීම යි. එය උප්පාද, ථිති, භංග නම් වෙයි. ඒ අවස්ථා තුන දෙස හොඳට බලාගෙන මෙනෙහි කරද්දී, තමන්ට වේදනානුපස්සනාවෙන් යම්කිසි ජයග්‍රහණයක් ලැබිය හැකි යි. එසේනම්, වේදනානුපස්සනාව දුක් සහගත විය හැකි යි. මධ්‍යස්ත විය හැකි යි. සැපදායක විය හැකි යි. කෙසේ වෙතත් වේදනාව හොඳට හඳුනාගෙන තමන්ගේ කටයුතු ටික හොඳට ඉදිරියට ගෙන යන්න අවශ්‍යය යි.
සිතුල්පව්වෙහි මෑත කාලයේ එක්තරා භාවනායෝගී භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ බොහොම සිල් ගුණ දියුණු කරමින් කටයුතු කළා. උන්වහන්සේට උදරයේ වේදනාවක් හට ගත්තා. එහෙට මෙහෙට හැරෙමින් වේදනාව උහුලා ගන්න බැරිව සිටියා. තව ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ නිබඳව භාවනා කරනවා. වේදනාව ඉවසා ගන්න බැරි මොකද? යනුවෙන් විමසුවා. එවිට, උන්වහන්සේ සිත දැඩිකරගෙන උදරයේ ඇතිවුණු වේදනාව උහුලාගෙන කටයුතු කළා. වේදනාවෙන් උදරය පැලී බඩවැල එළියට එනතුරා ඉවසා සිටියා. මෑත කාලයේ එතරම් ඉවසූ භික්ෂූන් වහන්සේ නමක් ගැන සඳහනක් නැහැ. මරණයත් , රහත් වීමත් දෙක එකටම සිද්ධ වුණා.
මේවා තමන්ගේ සිතට, කයට දැනෙන වේදනාවන්. මේ ගැන හොඳට දැන කියාගෙන සිහි කල්පනාවෙන් ම වේදනාව හොඳට මෙනෙහි කළ යුතු යි. විවේක වන සිත අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලිය යුතු යි. සිතේ පහළවන චෛතසික අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලිය යුතු යි. එවිට ගැඹුරු විදර්ශනාවකට බැසගත හැකි යි. තමන්ගේ වේදනාව තිබෙන තැන වේදනාවයි, යනුවෙන් මෙනෙහි කර වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කිරීමත් හොඳටම ඇති. තමන්ගේ දරුවන්ටත් ඒවා දියුණු තියුණු කළ හැකි යි. සැප වේදනාව වුවද ඒ වේදනාවේ තරම දැන කියාගෙන එකක් පාසා මෙනෙහි කළ යුතු යි. දුක් වේදනාව ද හට ගත්තේ කෙසේද? ඒ සිත, චෛතසික මෙනෙහි කළ හැකි යි.
පුරාතන උතුමන් වේදනාව ගැන පමණක් ම මෙනෙහි කළා. කායික වේදනා, කායික සුඛ වේදනා, මානසික දුක්ඛ වේදනා, මානසික සුඛ වේදනා, මෙනෙහි කළා. වේදනාවක් නොදැනේ නම්, මධ්‍යස්ථ වේදනාවෙන් සිත මෙනෙහි කරනවා. ඒ මඟින් සිත දියුණු කළ හැකි යි. එවිට තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මාන්නය, උඩඟුබව, සිතට එන්නේ නැහැ. ඒ පාපී සිතිවිලි යටපත් වෙනවා. තමන්ගේ වේදනාව පමණක් ඉස්මතු කර ගන්න. එය සුබ ආරම්මණයක් ලෙස දිගට ගෙනියන විට වේදනාව යටපත්ව තමන්ගේ නුවණ දියුණු වෙයි. එය අවංක භක්ත්‍යාදරයෙන් ම සිදු කළ යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හොඳින් වටහා ගන්න. තමා සැප වේදනාවක් විඳින්නේ? තමා දුක් වේදනාවක් විඳින්නේ? තමා උපේක්ෂා වේදනාවක් විඳින්නේ? යනුවෙන් මේ අවස්ථා තුන තේරුම් බේරුම් කරගත යුතු යි. සිතේ වේදනාවක් නම් මා මේ වේලාවේ සිතේ වේදනාවෙන් පසුවන්නේ. කායික වේදනාවක් නම්, මම කායික වේදනාවෙන් පසු වන්නේ. යනුවෙන් මෙනෙහි කරන්න. එයම වේදනානු පස්සනාව වශයෙන් ම දියුණු කිරීමෙන් චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයට මඟ සැලසෙයි.
ජම්මික ප්‍රබෝධනී වැලිකල