Saturday, July 10, 2021

කසි සූත්‍රය

 



 කසි සූත්‍රය  

197

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනවියෙහි දක්‍ෂිණාගිරියෙහි එකනාලා බමුණුගම වසනසේක.

එකල වනාහි කසීභාරවාජ බමුණා විසින් වපුරන කාලයේ පන්සියයක් පමණ නගුල් යොදන ලද්දේ විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව, පාත්‍ර සිවුරු ගෙන කසීභාරවාජ බමුණාගේ කර්‍මාන්ත ස්ථානය යම් තැනෙකද එතැනට වැඩිසේක.

එකල කසීභාරවාජ බමුණාගේ (අහර) වැළඳවීමෙක් විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වළඳවන ස්ථානය යම් තැනෙකද එතැනට වැඩිසේක. වැඩ එකත්පසෙක සිටිසේක.

කසීභාරවාජ බමුණුතෙම පිඬු පිණිස වැඩ සිටි දිටීය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “ශ්‍රමණය, මම් වනාහි (සී) සෑමද කරමි. වැපිරීමද කරමි. (සී) සෑම කොටද, වැපිරීම කොටද වළඳමි. ශ්‍රමණය, නුඹත් සෑමද කරව, වැපිරීමද කරව. සෑමද කොට වැපිරීමද කොට වළඳව” (යි කීය.)

“බමුණ, මමත් සෑමද කරමි, වැපිරීමද කරමි. සෑමද කොට වැපිරීම්ද කොට වළඳමි” (යි වදාළසේක.)

“පින්වත් ගෞතමයන්ගේ වියදණ්ඩක් හෝ නගුලක් හෝ හීවැලක් හෝ කෙවිටක් හෝ ගොනුන් හෝ අපි නොදකිම්හ. එසේ නමුත් භවත් ගෞතමතෙම මෙසේ කියයි: ‘බමුණ, මමත් සෑමද කරමි, වැපිරීමද කරමි. සෑමද කොට වැපිරීම්ද කොට වළඳමි”

ඉක්බිති කසීභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවක් කීය:

“ ‘ගොවියෙක්මි’ යි ඔබ ප්‍රතිඥා කරන්නෙහිය. ඔබගේ (සී) සෑමක් නොදක්නෙමි. අප විසින් විචාරන ලද ඔබ ගොවියෙක් දැයි කියව, ඔබගේ සීය කෙසේ දැන ගන්නෙමුද?”

ශ්‍රද්‍ධාව මගේ බීජය වෙයි. තපස වැස්සය, ප්‍රඥාව මගේ සීයට වියගහ හා නගුලය. ලජ්ජාව (හා භය) ද මාගේ නගුල් කඳය. සමාධිය රැහැන් හෙවත් ලණුය. මාගේ සිහිය සීවැල හා කෙවිටය.

“කාය සුචරිතයෙන්, වාක් සුචරිතයෙන් රක්නා ලද්දේ වෙයි. ආහාරයෙහි ගන්නා ලද සංවර නමැති ගවයා වූයෙම්, උදරයෙහි සංවර වූයෙම් සත්‍යයෙන් නෙලීම කෙරෙමි. අර්හත් ඵල විමුක්තිය මාගේ (සීසෑමෙන්) මිදීමයි.

“බර ඉසිලීමට සමර්‍ථවූ මාගේ වීර්‍ය්‍යය නිර්‍වාණයට අභිමුඛව ගමන්කරමින් යම් තැනකට පැමිණ ශෝක නොකරන්නේද, එතැනට නොනවතිමින් යෙයි.”

“මෙසේ මේ සීය සාන ලදී. ඒ සීය අමෘත ඵල ඇතිවේ. මේ සීය සා, සකල සංසාර දුඃඛයෙන් මිදේ.”

“පින්වත් ගෞතමතෙම වළඳාවා. පින්වත් ගෞතමතෙම ගොවියෙක්නම් වෙයි. යම් හෙයකින් අමා ඵල දෙන්නාවූ යම්බඳු සීයක් පින්වත් ගෞතමතෙම සායිද, එහෙයිනි” යි (කීය.)

“බමුණ, මා ගාථා කියා ලත් කිරිබත් වැළඳියයුතු නොවේ. (අර්‍ථධර්‍මයන්) අර්‍ථ ධර්‍ම දෙක දන්නාවූ (සර්‍වඥවරයන්ගේ) මේ (ගාථා කියා ලද දෙය වැළඳීම) සිරිතක් නොවේ. බුදුවරයෝ ගාථා කියා ලැබූ භෝජනය බැහැර කෙරෙත්. බමුණ, ධර්‍මය පවත්නා කල, මේ ඔවුන්ගේ පැවැත්මයි.

“සියලු ගුණයෙන් යුතු මහාර්ෂිවූ, සන්සුන් පසුතැවීම් ඇති, රහතන් වහන්සේ අන්‍යවූ ආහාරයකින් පානයකින් උපස්ථානකරව. ඔහු වනාහි පින් කැමැත්තාහට කෙතක්වේ.” (යි වදාළසේක.)

මෙසේ වදාළ කල්හි කසීභාරවාජ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් හෝ උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේ හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ (ඇසූ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද, සංඝයාද සරණකොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවරකොට සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා.”

Friday, July 9, 2021

දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක නිමා කරමු




ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ අධි පොසොන් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජුනි 06 වනදා බදාදා

දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක නිමා කරමු
බලංගොඩ දම්වැල්ඕඩය
වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාම පුරාණ රජමහා විහාරාධිපති
ර/බල/වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලයේ
විදුහල්පති,
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි

නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යො අප්ප දුට්ඨස්ස නරස්ස දුස්සතී
සූද්ධස්ස පෝසස්ස අනංගනස්ස
තමේව බාලං පච්චේති පාපං
සුඛුමො රජො, පටිවාතංව ඛිත්තො

“යමෙක් ද්වේෂ නොකරන, වරදක් නොකරන කෙනෙකුට අවැඩක් කරයි නම්, ඒ පාපය ආපසු තමන් කරා පැමිණෙයි. උඩුසුළඟට දැමු දූවිලිමෙන් පෙරළා ආපසු පැමිණේ.”

“අප්පදුට්ඨස්ස” යනු නිදොස් පුද්ගලයා ය. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම අවැඩක් සිදුකරයි ද, එය ‘දොස්’ ලෙස හැඳින්වේ. තමන්ට හෝ අනුන්ට කරදර නොකර දැහැමෙන්, සෙමෙන් කල් යවන්නා නිදොස් පුද්ගලයා ය. ඔහුගේ ලක්ෂණ මැනවින් පෙනේ. පැවැත්ම යහපත් ය. යන එන ගමන බිමන් සන්සුන් ය. තුන්දොර පිරිසුදු ය. අනුන් කෙරේ මෙත් සිත පතුරයි. “සුද්ධස්ස” යනුවෙන් හඳුන්වයි. “අනංගනස්ස” කෙලෙස් නැති තැනැත්තා ය. සසර බැඳ තබන බැමිබිඳ දැමූ නිකෙලෙස් ඇත්තෙකි. එවැනි පිරිසුදු සිත් ඇති අයට දුස්සීල අයෙක් දොස් කීමෙන් ,අවැඩක් කිරීමෙන්, චරිතයට කැළැල් ඇති කිරීමෙන් ඇතිවන පාප කර්මය සුළුපටු නොවේ. ආපසු විපාක හඹා ඒම වැළැක්විය නොහැකි ය. වසර ගණනක සිට කීර්තිමත් වෙමින් ගොඩනඟා ගත් සමාජ පසුබිම දුෂිත වචනයෙන් අපකීර්තියට ඇද දමන්මෝ කවදත් සමාජයේ සිටිති. වචනයෙන්, කයින් කෙනෙකුට අවැඩක් සිදුකිරීමට ගොස් ඒ කර්ම ශක්තිය ආපසු පැමිණ දුක් විඳි චරිත බෞද්ධ සාහිත්‍යයෙන් සෙවිය හැකි ය.

ඉහත ගාථාව දේශනා කර ඇත්තේ ද එවැනි සිද්ධියක් මුල්කර ගෙන ය. නමින් “කෝක” යනුවෙන් නම් දරා සිටි වැද්දෙක් දඩයම් කිරීමේ දී සුනඛයන් පිරිවරා යන බැවින් “කෝක නම් සුනඛ වැද්දා” යනුවෙන් හැඳින්වුණි. දිනක් සුනඛයන් පිරිවරාගෙන දඩයමේ යන වැද්දාට භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට හමුවුණි. භික්ෂූන් වහන්සේ නමක් හමුවුණොත් කිසිම දඩයමක් නොලැබෙන බව ඔහුගේ අදහසයි. එනම් උදයේ ම හෝ ගමනක් ආරම්භයේ භික්ෂුන් වහන්සේ නමක් හෝ හිසමුඩු කරගත් අයෙක් දැකීම කාලකණ්ණි දර්ශනයක් වන බවයි. එවන් දැකීමක් සිදුවුණා යැයි ද, දඩයම් නොලැබෙනු ඇතැයි ද සිතමින් කැළයටම යයි. කැළය පුරා ඇවිද කිසි දඩයමක් නොලත් වැද්දා හිස් අතින් එන ගමනේ දී පිඬුසිඟා ආපසු වඩින භික්ෂුව දකියි. මුලින් මේ කාලකණ්ණියා දැක ගිය නිසා ගවරෝමයක් වත් නොලැබුණි. නැවතත් දුටු බැවින් ගෙදර බතත් නැති වේ යැයි අධික කෝපයක් ඇති කර ගත්තේ ය. ද්වේෂයෙන් රත්ව භික්ෂූන් වහන්සේ දෙසට දඩයම් සුනඛයන් උසි ගැන්විණි. කිසිවක් කර කියාගත නොහැකි වු භික්ෂූන් වහන්සේ ළඟම තිබු අතු පතුර විහිදී ගිය ගසකට ගොඩ වුණි. පොළවේ සිට බඹයක් තරම්වූ උසක් හදිස්සි අවස්ථාවලදි නැගගත හැකි බව විනය නීතියයි. ඒ උපක්‍රමයෙන් සුනඛයන්ගෙන් බේරීමට හැකි වුණි. එහෙත් වැද්දාගෙන් බේරීමට නොහැකිවුණි. සුනඛ රැළ ගසවට සිට බුරති. වැද්දා ඊතලවලින් භික්ෂූන් වහන්සේගේ යටි පතුලට අනියි.අතුමත පා තබන විට ඒ පාදවලට ඊතල’ඟින් අනියි. සිරුර ගිනිගත්තාක් මෙන් වේදනාව දැනුණි. වේදනාවෙන් පාද අතුමත මාරුකරමින් තබද්දී නොදැනුවත්වම සිරුරේ දවටාගෙන තිබුණු සිවුර ගැලවී වැටෙයි. උඩසිට සිවුර වැටුණේ වැද්දාගේ හිස වසාගෙන ය. දඩයම බලාසිටි දඩයම් සුනඛයෝ රැවටිණි. උඩසිටි කෙනා වැටුණේ යැයි සිතා තම ස්වාමියාගේ සිරුර මතට කඩාපැන කන්නට වුණි. සිවුර අස්සෙන් වැදි වැදී කාදමා වැද්දා මැරූහ. භික්ෂුවට දුන් වේදනාවට වඩා වැඩිවේදනා විඳිමින් මරණයට පත්වීමට සිදු වුණේ ය.

මෙම අවාසනාවන්ත සිද්ධියත් සමඟ භික්ෂූන් වහන්සේ විශාල භීතියකට පත්වුණි. සිය දිවියේ පැවිදිවූ තැන් සිට ආරක්ෂා කළ සීලයට හානියක් සිදුවූයේ දැයි දැන ගැනීමට බුදුන් දැකීමට යයි. සියලු සිද්ධිය සවිස්තර කළ භික්ෂුවට බුදුරදුන් වදාළේ තම සීලයට කිසිදු හානියක් සිදු නොවු බවයි. හැම මොහොතේම විශාල පසුබෑමකට පත්වූ සිත සැක දුරු කර ගැනීමට හැකිවුණි. මෙම සිද්ධිය අරමුණු කර ඉහත ගාථාව වදාරා දහම් දෙසූ සේක්. “ද්වේෂ නොකරන පිරිසිදු වූ සිල්වත් කෙනෙකුට ද්වේෂ කරමින්, තිදොරින් සිදුකර ගන්නා අකුසලයට විපාක ලැබෙන බව පෙන්වා දෙමින් පෙර භවවලදී ද එවැනි දේ සිදුකළ ඔහු ජීවිතක්ෂයට පත්වු බව වදාළහ. සසර පුරා කළ පින් ඵලයෙන් අවදිව දහම් නැණැස ඔස්සේ උතුම් රහත් ඵලයට පත්වීමෙන් සිල්වත් භික්ෂූන් වහන්සේ සසර ගමන කෙළවර කර ගත්හ.

මෙම චරිත දෙක හරහා වැදගත් පාඩමක් සමාජ ගත කරයි. පිරිසුදු චරිතයත් අපිරිසුදුවු චරිතයත් සමාජයේ ක්‍රියාත්මක වන අයුරු පෙන්වයි. තමන් සමාදන් වූ ශීලය දිවි දෙවැනිකොට රැක ගැනීමට අධිෂ්ඨානයෙන් කටයුතු කළ සිල්වතුන් වහන්සේ එම තීරණාත්මක අවස්ථාවේ දී බුද්ධ නීතියට පිටුපෑමට නොකැමැති වූහ. බඹයකට වඩා උඩට නැගීමට අකැමැති වුයේ එහෙයිනි. එම නික්ලේශී චරිතය පැසසුමට ලක්වේ.උදර පෝෂණය ජීවිතයේ පළමු කාර්ය කරගත් අපිරිසුදු මානසික මට්ටමක සිටි වැද්දා සිල්වතුන් වෙනුවෙන් ද්වාරත්‍රය අපිරිසුදුව තබා කටයුතු කිරීමෙන් දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක ලැබුණ බව පැහැදිලි ය. වැරැදි නොකරන මෙත් සිත පෙරටු කොට උභයාර්ථය සකසා ගැනීමට උත්සුක වන සිල්වතුන්ට ගර්හා කිරීම, චරිත කැළැල් ඇති කිරීම, දුක්දීම,පදබැඳීම, මෙලොව දී ම ප්‍රතිවිපාක ලැබෙන බව සමාජයට කියාදෙන්නේ කර්මයේ ප්‍රබලත්වයයි.

උසස් මනසක් උරුම කර ගෙන ජනිත වූ මිනිසාට විවිධ හැකියා පිහිටා තිබේ. විද්‍යා හා තාක්ෂණ ලෝකයේ ඉහළ හිනිපෙත්තට මිනිසා අද නැග තිබේ. ඒ මනසේ දියුණුව තාක්ෂණ පැත්තට යොමුකර ඇති හෙයිනි. එමගින් උපකරණවල දියුණුව ඉහළගොස් ඇත. බුදුවරු මනස යොමුකරන්නේ අධ්‍යාත්මික අංශයට ය. එමගින් අනවරාර්‍ග¡ සසර දුක් නිමා කර සිතේ නිවීම ඇති කරවයි.

තුන් දොර සංවරකර ගෙන සැහැල්ලු ජීවිතයක් ගොඩනගා වැරැදි අඩුකර නිවැරැදි දේ තේරුම් ගැනීමට ඉහත දේශනාව ආදර්ශයට ගැනීමට උත්සාහ වන්න. පහත් සිතිවිලි උත්පාදනයට ඉඩ නොදී උසස් සිතිවිලි මතුකර ගෙන දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක් කෙළවර කර ගැනීමට ලැබූ මිනිස් දිවිය හසුරුවා ගන්න.

Sathi pattana

 


වේදනානුපස්සනාව

වේදනාව ජයග්‍රහණයක් කරගන්න

සතිපට්ඨාන යනු සිහි එළඹීම යි. එනම් සිහි නුවණින් බැලීම යි. යමක් දෙස, සත්ත්වයා , පුද්ගලයා , ආත්ම වශයෙන් බැලීම නොවෙයි. ඒ දෙස සිහි නුවණින් බැලුවොත් සත්ත්ව, පුද්ගල , ආත්ම, සංඥා සියල්ල බැහැරව යයි. එයම නිවන් මඟට මහෝපකාරී වෙයි.

පසුගිය ලිපි පෙළෙන් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව ගැන සඳහන් කළෙමු. අද සඳහන් කරන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ වේදනානුපස්සනාව යි. වේදනානුපස්සනාව පිළිබඳ ව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධාකාර ස්ථානයන්හි දී දේශනා කර වදාළා. සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව වශයෙන් වෙනම කාණ්ඩයක් ගෙන හැර දැක්වූවා. වේදනාව අනුව බැලීම, වේදනා - අනුපස්සනා නම් වෙයි. ශරීරයට දුක් වේදනාවක් වැඩිපුර ලැබෙනවා. සැප වේදනා අඩුයි. මධ්‍යස්ථ වේදනාත් අඩුයි. කායික වේදනා, මානසික වේදනා යනුවෙන් වේදනාව දෙවදෑරුම් වෙයි. සියලු ම වේදනාවන් කායික දුක් ලෙසත්, සිතට දැනෙන වේදනාවන් මානසික දුක් වේදනාවන් ලෙසත් සඳහන් කරනවා.

වේදනාව ගැන අපට අමුතුවෙන් වැඩි විස්තර කිව යුතු නැහැ. වේදනාව ගැන කාටත් පැහැදිලි යි. සැප සහ දුක්ඛ වේදනාව යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙක යි. එය උපේක්ෂා වේදනාව යනුවෙන් ද සඳහන් වෙයි. එවිට සුඛ වේදනාව, දුක්ඛ වේදනාව , උපේක්ෂා වේදනාව යනුවෙන් තෙවැදෑරුම් වෙයි.

එයට ආමිස, නිරාමිස යනුවෙන් තවත් දෙකොටසක් එකතු කර ගත යුතු යි. ආමිස වේදනාව ලෞකික යි. නිරාමිස වේදනාව ලෝකෝත්තර යි. වේදනානුපස්සනාව නව ආකාරයකට සඳහන් වෙනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව යි, සාමිස සුඛ වේදනාව, නිරාමිස සුඛ වේදනාව, සාමිස දුක්ඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව, සාමිස උපේක්ෂා වේදනාව හා නිරාමිස උපේක්ෂා වේදනාව යි.

සිතේ ඇතිවන කල්හි එම වේදනාවන් මෙනෙහි කිරීම වේදනානුපස්සනාව වෙයි. ඒ තත්ත්වයත් හොඳින් වටහාගෙන, වේදනාවේ තත්ත්වයත් හොඳට තේරුම් බේරුම් කරගෙන වේදනානුපස්සනා භාවනාව මෙනෙහි කරමු. ඒ වේදනාව විටක සැප වේදනාවක් විය හැකියි. තවත් විටක දුක් වේදනාවක් විය හැකි යි. ඒ නිසා වේදනාව, වේදනාව යි, වේදනාව යි. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

බුද්ධ කාලයේ පිණ්ඩපාතයේ වැඩම කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දරුණු කායික වේදනාවට පත් වුණා. උන්වහන්සේ අවුරුදු දොළහක් ම එකම නිවසින් දානය වැළඳුවා. කොසොල් මහ රජතුමා ඒ නිවසේ හිමිකරුට මැණික් ගලක් ඔප මට්ටම් කරන්න දුන්නා. ඔහු මේසය මත මැණික් ගල තබා මුළුතැන්ගෙට පිවිස නැවත පැමිණෙන විට මේසය මත තැබූ මැණික් ගල නැහැ. නිවසේ ඇතිකරන ගිජු ලිහිණියා මේ මැණික් ගල ගිල තිබුණා. මේ ගෙහිමියා සැක කළේ ස්වාමීන් වහන්සේ යි. ඒකාන්තයෙන් මැණික් ගල ගන්න ඇත්තේ ස්වාමීන් වහන්සේ යි. ඔහු ඇසුවා , ස්වාමීනි, මා මැණික් ගල මේසය මත තැබුවා. නමුත් දැන් එය නැහැ. ඔබ වහන්සේ ම තමයි මේක ගන්න ඇත්තේ. නැහැ, උපාසක තුමනි, මා එය ගත්තේ නැහැ. එය මට අවශ්‍ය නැහැ. එවිට උපාසකයා, ස්වාමීන් වහන්සේට තරවටු කරමින් ඇසුවා. ඒත් පෙර දුන් පිළිතුර ම දුන්නා. මේ නිසා උපාසකයා වෙළුමක් දමා භික්ෂුන් වහන්සේගේ හිස තද කළා. මේ නිසා ඇස්, කන්, නාසාදී පුපුරා රුධිරය ගලන්න පටන් ගත්තා. සිවුර තෙත බරිත කරමින් ගලා ගිය රුධිර ධාරාව නිවසේ ඇති කළ පක්ෂියා බොන්න පටන් ගත්තා. කෝප වුණ ගෙහිමියාගේ පා පහරින් ඒ සතා මරණයට පත් වුණා. එහිදී පක්ෂියා මළ බව දැන ගත් ස්වාමීන් වහන්සේ , සතාගේ උදරය පළා බලන්නැ’යි වදාළා. එවිට මැණික් ගල ලැබුණා. ගෙහිමියා ලේ විලක් මැද වැඳ වැටී භික්ෂූන් වහන්සේගෙන් සමාව අයැදුවා.

එහිදී ස්වාමීන් වහන්සේ , අතීත සංසාරයෙත් මා මෙවැනි වරදක් කරන්න ඇති. මේ දුකම යි මට ලැබුණේ යනුවෙන් ස්වාමීන් වහන්සේ කායික දුක්ඛ වේදනාව මෙනෙහි කළා. වේදනාවයි, වේදනාවයි, එය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි යනුවෙන් වේදනාව හට ගන්නා ආකාරය, නැතිවන ආකාරය සියල්ල ම නුවණින් මෙනෙහි කළා. ඒ නිසා තමන් වහන්සේට විදර්ශනා නුවණ පහළවීමත්, මහ රහත් භාවයට පත්වීමත් එකවරම සිද්ධ වුණා. එය වේදනා පස්සනාවට සිත යොමුකර, වේදනාව මෙනෙහි කිරීම යි.

බොහෝ ස්වාමීන් වහන්සේ අතර කතාවක් ඇති වුණා, මේ ස්වාමීන් වහන්සේ අපාගත වෙන්න ඇති යනුවෙන්. එහිදී බුදුන් වහන්සේ දේශනා කර වදාළේ, ‘මහණෙනි, ඒ භික්ෂුව අපායට ගියෙත් නැහැ. මැරී ඉපදුණෙත් නැහැ. දෙව්ලොව, බඹලොව ගියෙත් නැහැ. එහෙමනම් කොහේ ගියේ දැ’යි භික්ෂු පිරිස භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළා. ‘මහණෙනි, ඒ භික්ෂුව තථාගතයන් වහන්සේගේ කියමන අකුරටම ඉටු කළා. කුමක්ද ස්වාමීනි, අකුරට ම ඉෂ්ට කිරීම? වේදනාව ලැබුණු වේලාවේ එය මෙනෙහි කිරීම යි, අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් වටහාගෙන රහත් බවට පත්වුණා යනුවෙන් ශාස්තෘන් වහන්සේ වදාළා.

එසේනම්, තමන්ටත් කායික මානසික වේදනාවන් දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට වේදනාව තිබුණු තැන සිත පිහිටුවා ගෙන වේදනාව මෙනෙහි කරන්න. හිසේ වේදනා, බඩේ වේදනා, දණහිස් වේදනා, ඇඟපත වේදනා ආදිය තිබේනම්, ඒ ස්ථානයේ සිත පිහිටුවා ගන්න. යම් ප්‍රශ්නයක් නිසා සිතට වේදනාව දැනුණොත්, වේදනාව මෙනෙහි කළ යුතු යි. ‘වේදනාව යි, වේදනාව යි, වේදනාව මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, ඒ නිසා වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි’ යනුවෙන් වේදනාව මෙනෙහි කරමින් ඉදිරියට යන්න. එවිට තමන්ට වේදනාවෙන් ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. කලබල වෙන්න හොඳ නැහැ. වේගවත් වෙන්න හොඳ නැහැ. හිමිහිට ම අත් විඳින්න. මධ්‍යම ප්‍රමාණයෙන් වේදනාව හොඳින් මෙනෙහි කරන්න. වේදනාව හට ගැනීම, වේදනාව පැවතීම, වේදනාව නැතිවීම යි. එය උප්පාද, ථිති, භංග නම් වෙයි. ඒ අවස්ථා තුන දෙස හොඳට බලාගෙන මෙනෙහි කරද්දී, තමන්ට වේදනානුපස්සනාවෙන් යම්කිසි ජයග්‍රහණයක් ලැබිය හැකි යි. එසේනම්, වේදනානුපස්සනාව දුක් සහගත විය හැකි යි. මධ්‍යස්ත විය හැකි යි. සැපදායක විය හැකි යි. කෙසේ වෙතත් වේදනාව හොඳට හඳුනාගෙන තමන්ගේ කටයුතු ටික හොඳට ඉදිරියට ගෙන යන්න අවශ්‍යය යි.

සිතුල්පව්වෙහි මෑත කාලයේ එක්තරා භාවනායෝගී භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ බොහොම සිල් ගුණ දියුණු කරමින් කටයුතු කළා. උන්වහන්සේට උදරයේ වේදනාවක් හට ගත්තා. එහෙට මෙහෙට හැරෙමින් වේදනාව උහුලා ගන්න බැරිව සිටියා. තව ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ නිබඳව භාවනා කරනවා. වේදනාව ඉවසා ගන්න බැරි මොකද? යනුවෙන් විමසුවා. එවිට, උන්වහන්සේ සිත දැඩිකරගෙන උදරයේ ඇතිවුණු වේදනාව උහුලාගෙන කටයුතු කළා. වේදනාවෙන් උදරය පැලී බඩවැල එළියට එනතුරා ඉවසා සිටියා. මෑත කාලයේ එතරම් ඉවසූ භික්ෂූන් වහන්සේ නමක් ගැන සඳහනක් නැහැ. මරණයත් , රහත් වීමත් දෙක එකටම සිද්ධ වුණා.

මේවා තමන්ගේ සිතට, කයට දැනෙන වේදනාවන්. මේ ගැන හොඳට දැන කියාගෙන සිහි කල්පනාවෙන් ම වේදනාව හොඳට මෙනෙහි කළ යුතු යි. විවේක වන සිත අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලිය යුතු යි. සිතේ පහළවන චෛතසික අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලිය යුතු යි. එවිට ගැඹුරු විදර්ශනාවකට බැසගත හැකි යි. තමන්ගේ වේදනාව තිබෙන තැන වේදනාවයි, යනුවෙන් මෙනෙහි කර වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කිරීමත් හොඳටම ඇති. තමන්ගේ දරුවන්ටත් ඒවා දියුණු තියුණු කළ හැකි යි. සැප වේදනාව වුවද ඒ වේදනාවේ තරම දැන කියාගෙන එකක් පාසා මෙනෙහි කළ යුතු යි. දුක් වේදනාව ද හට ගත්තේ කෙසේද? ඒ සිත, චෛතසික මෙනෙහි කළ හැකි යි.

පුරාතන උතුමන් වේදනාව ගැන පමණක් ම මෙනෙහි කළා. කායික වේදනා, කායික සුඛ වේදනා, මානසික දුක්ඛ වේදනා, මානසික සුඛ වේදනා, මෙනෙහි කළා. වේදනාවක් නොදැනේ නම්, මධ්‍යස්ථ වේදනාවෙන් සිත මෙනෙහි කරනවා. ඒ මඟින් සිත දියුණු කළ හැකි යි. එවිට තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මාන්නය, උඩඟුබව, සිතට එන්නේ නැහැ. ඒ පාපී සිතිවිලි යටපත් වෙනවා. තමන්ගේ වේදනාව පමණක් ඉස්මතු කර ගන්න. එය සුබ ආරම්මණයක් ලෙස දිගට ගෙනියන විට වේදනාව යටපත්ව තමන්ගේ නුවණ දියුණු වෙයි. එය අවංක භක්ත්‍යාදරයෙන් ම සිදු කළ යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හොඳින් වටහා ගන්න. තමා සැප වේදනාවක් විඳින්නේ? තමා දුක් වේදනාවක් විඳින්නේ? තමා උපේක්ෂා වේදනාවක් විඳින්නේ? යනුවෙන් මේ අවස්ථා තුන තේරුම් බේරුම් කරගත යුතු යි. සිතේ වේදනාවක් නම් මා මේ වේලාවේ සිතේ වේදනාවෙන් පසුවන්නේ. කායික වේදනාවක් නම්, මම කායික වේදනාවෙන් පසු වන්නේ. යනුවෙන් මෙනෙහි කරන්න. එයම වේදනානු පස්සනාව වශයෙන් ම දියුණු කිරීමෙන් චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයට මඟ සැලසෙයි.


බිලඞ්ගික සූත්‍රය


බිලඞ්ගික සූත්‍රය  
190
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.
බිලඞ්ගිකභාරවාජ බමුණුතෙම ‘භාරවාජ ගෝත්‍රික බමුණෙක් ගිහිගෙන් නික්ම ශ්‍රමණ ගෞතමයන් වෙත පැවිදිවීය,’ යනු ඇසීය. හෙතෙම කිපී නොසතුටුවී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, නිශ්ශබ්දව එකත්පසෙක සිටියේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිලඞ්ගික නම්වූ භාරවාජ ගෝත්‍රක බමුණාගේ සිත්හි කල්පනාව ස්වකීය සිතින් දැන බිලඞ්ගිකභාරවාජ බමුණාට ගාථායෙක් මෙසේ වදාළසේක:
“යම් පුද්ගලයෙක් තෙම වරද නැතිවූ, පිරිසිදුවූ, කෙලෙස් නැතිවූ, පුරුෂයෙකුට අපරාධ කෙරේද, ඒ පාපය උඩු සුළඟට දමනලද සියුම් ධූලි මෙන් ඒ අඥානයා කරාම ආපසු එයි.”
මෙසේ කීකල බිලඞ්ගිකභාරවාජ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයාණනි ඉතා මැනවි. පින්වත් ගෞතමයාණනි ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම ධර්‍මයද, සංඝයාද සහිත භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි. බිලඞ්ගිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය, උපසම්පදාවද ලැබීය. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් බිලඞ්ගික භාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම මනාව සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලකින්ම ඒ නිරුත්තරවූ බ්‍රහ්මචර්‍ය්‍යයාව කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේම විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසීය. නැවත නැවත ඉපදීම ක්‍ෂයවිය, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුතු දේ කරනලදී. මෙයින් අනික් ආත්මයක් නැතැ’ යි (හෙතෙම) මනාව දත්තේය.
ආයුෂ්මත් බිලඞ්ගික භාරවාජ භික්‍ෂුවද රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය

Thursday, July 8, 2021

දෙතිස් වධයම ඇති අපාය

 දෙතිස් වධයම ඇති අපාය



අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


එකසිය තිස්එකක් වන අපාය අතුරෙන් අද සඳහන් කරන්නේ විසිනව වන නරකය වන අංගාරමාල නරකය යි. මේ අපායට වැටෙන්නේ සතුන් පුළුස්සා බැදගෙන ආහාරයට ගන්නන් ය. මනුස්ස ලෝකයේ වාසය කළාට සතුන් පුළුස්සා බැදඟෙන කනවා. ඒ අයත් අංගාරමාල නරකයට වැටී එලෙස ම පුළුස්සා දමයි. ඇතැම් රටවල සතුන් පණ පිටින් ම බදියි, පණ පිටින් ම තම්බයි. පණ පිටින් ම ගෑරුප්පුවෙන් ඇණ කා දමයි. කෙතරම් භයානක ද?


සමහර රටවල ජාතිකයන් පණ පිටින් සිටින රිලවුන්, වඳුරන් වැනි සතුන්ගේ හිස හාරමින් කා දමයි. එය ඒ සතාට කෙතරම් ම වේදනාවක් ද? එසේනම්, මෙවැනි පාපකාරී මිනිසුන් අංගාරමාල නරකයට වැටී ඒ පාපයන් සේ දස දහස් ගණනින් දුක් විඳි යි.


එසේනම්, සතුන් පණ පිටින් පුළුස්සා ආහාරයට ගැනීම සුදුසු දෙයක් නොවෙයි. හැකිතාක් සත්ත්ව හිංසාවෙන් වැළකිය යුතු යි. අවිහිංසාවාදීව කටයුතු කළොත් බොහොම වටියි. මස් , මාංශයන්ගෙන් වැළකීමත් ඉතා හොඳයි. ඇතැම් ළමයින් කුමන පිළී දෙයක්වත් ආහාරයට ගන්නේ නැහැ. නිකම් බත් දුන්නොත් ආහාරයට ගන්නවා. මේවා සංසාර පුරුදු. පින්වතුන්ට එකවරම මස් මාංස අනුභවයෙන් වැළකීමට නොහැකි නම්, පෝයදාට, හෝ එයින් වැළකී ටිකෙන් ටික මස් මාංස අනුභවය දුරු කරන්න. එවිට නිර්මාංශවාදී, අවිහිංසාවාදී පුද්ගලයෙක් වෙයි. එයින් තමන්ට ලැබෙන්නේ විශාල පිනක්. මේවා නිමකළ නොහැකි පින්. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා මෙලොව සම්පත්, සුගති සම්පත් හොඳින් ලැබෙයි. කිසිම දෙයකින් අඩු පාඩුවක් නැහැ. මරණින් මතු සත්ත්ව හිංසාවෙන් වැළකුණ අය දෙව්ලොවට යති.


බලන්න, කාය සංවරය, මනෝ සංවරය ඇති කරගත් විට ලබන්න බැරි සම්පතක් ලොවේ නැහැ. මේ ගැන සිතා කල්පනාවෙන් පින වැඩිකර, පව අඩු කරගන්න. සත්ත්ව මාංශ භක්ෂණය බොහොම වටියි. අධිෂ්ඨාන කර ගන්න, මා මේ සතියේ මස් මාලු කන්නේ නැහැ. ඒ සතියේ තමන් මෛත්‍රී භාවනාව කරන්න. එවිට සත්ත්ව හිංසාවෙන් වැළකී සතුන්ට හිංසා පීඩා කරන අයට සහාය දීමෙන් වැළකී කටයුතු කරන්න.


එසේනම්, කොයි කවුරු වුණත් අපායට බිය වන්න. සති, සමාධි, ඥාන ඇති කර ගන්න. පින වැඩිකර, පව අඩුකර සතර අපායෙන් අත්මිදී සුගතියක ම වාසය කරන්න ලැබේවා’යි අදහසින් කටයුතු කිරීම අවශ්‍යය යි. එවිට කිසිවකින් අඩු පාඩුවක් කරදරයක් නැතිව සංසාර ගමනෙන් එතෙර වන්නට කාටත් පුළුවනි.


තිස්වන අපාය ජලකෙස් මැලි නරකය යි. එතැන ඇත්තේ දැඩි දඬුවම්. එහි වාසය කරන්නේ මනු ලොවදී අනුන්ට වංචා කළ අය යි. සුළු දෙයක් හෝ වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. හොර තරාදි, හොරට කිරුම් මිනුම් කටයුතු කිරීම, එසේම සුළු ගණනකට ගෙන වැඩි මිලකට විකුණනවා. මෙලෙස දරුණු පව් කළ ව්‍යාපාරිකයන් මේ අපායට වැටෙයි. එහි දී යම පල්ලන් අතින් පයින් දීර්ඝ කාලයක් දඬුවම් ලබා දෙයි. අත පය කපා දමයි. පොලු මුගුරු වලින් ගුටි බැට දෙයි.


ඒ නිසා මතක තබාගන්න, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ධාර්මික වෙළෙඳාම් කළ යුතු යි. එවැන්නෝ ඉදිරි දියුණුව සකසා ගනියි. අධාර්මික වෙළෙඳාම් කරන්නන්ගේ පිරිහීම, අලාභය සිදු වෙයි. එසේනම්, නිවැරැදිව ගණන් බලා, මිල තක්සේරු කළ යුතුයි. එලෙස සාධාරණව වාසය කරන්නෝ මරණින් මතු සුගතිගාමී වෙයි. එවැන්නන්ට සියලු සම්පත් ලබා ගන්නට පුළුවනි.


අනුන්ට කරදර පීඩා කරන, අලාභ කරන අවාසනාවන්ත ජීවිත ගත කළ අය යම පල්ලන් විසින් අතින්, පයින් ගුටි ගසයි. දඩු මුඟුරු වලින් ගසා දමා දිය යුතු දෙතිස් වධයම දෙයි. මේ නිසා පවින් වැළකී නිවන් මඟ ගමන් කළ හැකි යි. මේ සඳහා අපායට යන ක්‍රියාවන්ගෙන් වැළකී, තිදොරින් ම සංවර විය යුතු යි. ශාසනයත් රැකගෙන මව් පියන්ට ඇප උපස්ථාන කරමින් සිත කය වචනය රැකගත්තොත් වාසනාවන්ත ජීවිත පෙළක් ගත කළ හැකියි. ඉක්මන් භවයක දී ම නිවන් සම්පත් ළඟා කරගත හැකි යි.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

දියණිවරුන්ගේ සැබෑ කතාව

 


දියණිවරුන්ගේ සැබෑ කතාව බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි සද්පුරුෂ ලෝකයෙහි සෑම ගුණබර අම්මා කෙනෙකුගේ ම පිය කෙනෙකුගේ ම සිත්වල සකස්වන දරු සෙනෙහස බොහෝම ය. එම දාරක ප්‍රේමය මතුවන තැන තමන්ට ලැබෙන්න සිටින්නේ හෝ ලැබුණේ දියණියක් ද පුතණුවෙක් ද යන අදහසට වඩා මට දරුවෙක් බිහිවුණා යන අදහස පෘතග්ජන ලෝකයේ සද්පුරුෂ මවුපියන්ගේ සිත්වලට සොම්නසක් ගෙන එන බව ඉතා ම පැහැදිලියි. එසේ වුව ද යම් අයෙක් දියණියකගේ ලැබීම සිත සතුටු නොවීමට කාරණයක් කරගත්තේ නම් එය ගුණවන්ත අම්මා කෙනෙකුගේ, සද්පුරුෂ පිය කෙනෙකුගේ හදවතේ ඇතිවන දාරක සෙනෙහසට බාධාවක් විය හැකි ය. බුදු උතුමෙක් මේ ලෝකයට පහළ වූයේ අම්මා කෙනෙක් නිසා ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසා ම ය. රටක් රාජ්‍යයක් පාලනය කරන විශාල ජන පිරිසකට නායකත්වයක් දෙන ධර්මානුකූල රජ කෙනෙකුට පවා මඟ පෙන්වන්නේ අම්මා කෙනෙක් ය. ඒ දියණියක් ලෙස මෙලොවට බිහි වූ නිසයි. මේ ලෝකයේ ආරම්භයේ පටන් ම අම්මාවරුන්ගේ කාර්යභාරය බුදු, පසේ බුදු මහ රහත් උතුමෝ, සක්විති හා මහරහත් සද්පුරුෂ උතුමෝ ලෝකයට දායාද කරමින් ලොව සද්පුරුෂ කළ ආකාරය මවුවරුන්ගේ කතාවෙන් තේරුම් ගත හැකියි. මවුවරුන්ගේ කතාවේ පිටුපස සිටින්නේ දියණිවරුන්මයි. සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයෙහි ධීතු සූත්‍ර දේශනාවෙන් දියණිවරුන්ගේ සැබෑ කතාව අපි මතු කොට දකිමු.දිනක් පසේ නදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, භාග්‍යවතුන් වහන්සේට වැද නමස්කාර කොට එකත් පසව හිඳගත්තේ ය. මෙසේ ටික වෙලාවක් භාග්‍යවතුන් වහන්සේ සමඟ දැහැමි කතාවක යෙදී සිටින අතර, එක්තරා පුරුෂයෙක් පසේ නදී කොසොල් රජු වෙත එළඹුණේ ය. එසේ එළැඹ පසේ නදී කොසොල් රජතුමාට දේවයන් වහන්ස, මල්ලිකා දේවිය දුවක වැදුවා යැයි කනට කර සැල කළහ. එසේ කී මොහොතේ පසේ නදී කොසොල් රජතුමා නොසතුටු සිත් ඇත්තෙක් බවට පත්වුණි. මුහුණේ මෙතෙක් තිබූ ප්‍රසාද පෙනුම බැහැර විය. ශෝකාකූල පෙනුමෙන් යුතු වූවේ ය. මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ පසේ නදී කොසොල් රජතුමාගේ නොසතුටු සිත් දැන මේ ගාථා රත්නය දේශනා කළ සේක. “ඉත්ථි පිහි ඒකච්ඡියා සෙයයා පෝස ජනාධිප මෙධාවිනී සීලවතී සස්සුදේවා පතිබ්බතා තස්සා යො ජායතී පෝසෝ සුරො හෝති දිසම්පති තාදිසා සුභගියා පුත්තො රජ්ජම්පි අනුසාසතී ති රජතුමනි, ඇතැම් ස්ත්‍රිය ශ්‍රේෂ්ටයි. එහෙයින් ඒ දියණිය පෝෂණය කරන්න. නුවණ ඇති, සිල්වත්, තම මවුපියන්ට පමණක් නෙමෙයි, නැන්ද මාමා පවා දෙවියන් කොට සලකා වෙසෙන, ස්වාමියාට ගෞරවයෙන්, පතිව්‍රතාව රකින යම් ස්ත්‍රියක් වේ ද? ඒ ස්ත්‍රී ඉතා ම උතුම් ය. දිශාවන්ට අධිපති රජතුමනි, ඇයට යම් පුතෙක් උපදී ද, හෙතෙම දක්ෂයෙක් වේ. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍යානුශාසනය ද කෙරේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දියණියක් ලැබීම නිසා අසතුටට පත් වූ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් කරුණු පෙළ අප විසින් ද ධර්ම විවරණයකට සකසා ගත යුතුම ය. බුදුරජාණන් වහන්සේ දවස කාන්තාවන්ට පැවතුණේ ඉතාම අඩු සැලකීමකි. බ්‍රාහ්මණ සමාජයතුළ කාන්තාවන් සලකනු ලැබූයේ දරුවන් ලබාදෙන්නටත්, මුළුතැන්ගෙයි වැඩකටයුතු කිරීමටත් යොදා ගන්නා වූ යන්ත්‍රයක් හැටියටය. ඔවුන් සඳහන් කළේ, තවුසන් විසින් හෝ ඉසිවරු විසින් ලැබිය හැකි යම් නුවණක් වේ ද? ඇඟිලි දෙකේ නුවණක් ඇති කාන්තාවන්ට එය ලැබිය නොහැකි බවයි. “යං තං ඉසීහි පත්තබ්බං ඨානං දුරභි සම්භවං නතං ද්වංගුල පඤ්ඤාය න සක්කා පප්පෝති ඉත්ථියා" යනුවෙනි. මෙවැනි අදහස් පෙළකින් බුදුරජාණන් වහන්සේ පහළ වූ ඉන්දියානු සමාජය සකස් වූ අතර බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට පෙන්වාදුන් මේ දහම් පෙළ දියණියකගේ, බිරිඳකගේ, අම්මා කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය, පුරුෂ නායකත්වයක් ඇති සමාජයට මැනවින් පෙන්වා දුන්හ. බුදු දහම තුළ කාන්තාවන්ට ලබා දෙන්නේ විශේෂ ස්ථානයකි. මුල් අවස්ථාවේ දී භික්ෂුණී ශාසනය පිහිටුවන්නට සූදානම්වන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ විසින් එය තුන්වෙනි අවස්ථාව දක්වාම ප්‍රතික්ෂේප කරනු ලැබූයේ ශාසනික වශයෙන් අනාගතය දෙස බැලීමෙනුයි. ඒ වගේ ම අනිටු විපාක දැක ගැනීම නිසා ය. එනම් හුදකලා ජීවිත පවත්වන, නිදහස් ජීවිතවලට අවසර ඇති. මේ ශාසනයෙහි විවිධ පුද්ගලයන් ශාසනයට ඇතුඵවීමෙන් මේ ශාසනය කිළිටිවීමට ඇති අවස්ථා බොහෝයි. ඒ අතරට පාලනයකින්, සංයමයකින් තොරව කාන්තා පිරිස් ද ඇතුළුවීමෙන් නිදහස් ජීවිත හුදකලාව ගත කරන පිරිසකට වැරැදි ලෙස ද පාවිච්චි කළ හැකියි. යොදාගත හැකියි. මේ කරුණෙහි සලකා භික්ෂුණී ශාසනය ආරම්භයේ දී භාග්‍යවතුන් වහන්සේ මුල් කාලයේ දීම අකැමැති වන්නට ඇතැයි, සිතිය හැකියි. එහෙත් සංයමය, දමනය පිණිස විනය ශික්ෂණයකින් යුක්තව භික්ෂුණී ශාසනය ආරම්භ කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට වගේ ම භික්ෂූණීන්ටත් එකහා සමානව ම ගෞරවය, ආරක්ෂාව, තනතුරු ලබා දුන් බව ඉතාම පැහැදිලි ය.සැරියුත්, මුගලන් දෙනම අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කළ සේ ම ඛේමා, උප්පලවන්නා තෙරණියන් අග්‍රශ්‍රාවිකා තනතුරුවලට පත් කළ සේක. භික්ෂූන් වහන්සේලාට සුදුසු පරිදි අග තනතුරු ලබාදුන්නා සේ ම භික්ෂුණීන් වහන්සේලාටත් සුදුසු පරිදි අග තනතුරු ලබා දුන් සේක. තථාගත බුදුරජාණන් වහන්සේ වෙතට පිරිණිවන් පෑම පිණිස අවසර ඉල්ලා පැමිණි මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේට දැක් වූ ගෞරවය භාග්‍යවතුන් වහන්සේ කාන්තා සමාජය කෙරෙහි දක්වන ලද සැලකිල්ල සිතා ගත හැකියි. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන බුදුරජාණන් වහන්සේ අභියස ගෞරව කොට සැවැත් නුවර ජේතවනාරාමයෙන් බැහැරට වඩිනා මහා ප්‍රජාපතී ගෝතමී මෙහෙණින් වහන්සේ නම් වූ තම සුළුමෑණියන් පිටු පස, වචනයෙන් හැඳින්වූ ලෙස බුද්ධ මාතාවන් පිටුපස භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක් පිටුපස වැඩම කළානම්, ඒ බුද්ධ මාතාවන් වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ පිටුපස ය. ඉන් අදහස් කළේ එතුමියට බැහැරට වඩින්නට හැර උන්වහන්සේ ද ජේතවනාරාමයෙන් පිටවන ගේට්ටුව දක්වා ම වැඩම කොට එතුමිය වෙත කළ ගෞරවයයි. මේ අදහස් පෙළ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොසොල් රජතුමාට දියණියකගේ උතුම් බව පෙන්වා දුන් අවස්ථාව වර්තමාන පරිසරයට ද, පවුල් ජීවිතවලට ද ගළපා බලමු. “ඉත්ථි පිහි ඒකච්ඡියා....... ගාථා රත්නයෙහි අදහස සිහිපත් කරන්නේ නම්, රජතුමනි, යම් දියණියක් නුවණැති නම්, සිල්වත් නම්, තම මවුපියන්ට සේ ම නැන්ද මාමාට දෙවිකොට සලකන්නේ නම්, ස්වාමියාට ගුණබර ස්වාමි දියණියක් ව පතිව්‍රතා දහම රැකගෙන කටයුතු කරන්නේ නම්, ඒ ස්ත්‍රිය ශ්‍රේෂ්ඨයි යනුවෙනුයි. ඒ වගේ ම ස්ත්‍රිය බිහිකරන දරුවෙක් දක්ෂ ලෙස හදන්න, වඩන්න එබඳු දියණියක්, අම්මා කෙනෙක් සුදුසුවන්නේ ම ය යන අදහසයි. බුදු දහම තුළ සමාධිය වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ දී එනම් නිවන් අවබෝධයේ දී ස්ත්‍රී පුරුෂ භේදයක් නොදැක්වෙයි. “ඉත්ථිභාවො කිං කයිරා චිත්තම්හි සුසමාහි තො” සිත සමාධිගත වෙන්නේ නම් ස්ත්‍රී භාවය කිසිදු ආකාරයකින් පීඩාවක් නොවන බව ධර්ම කතාවේ පෙන්වා දෙයි. සිත සමාධි ගත කිරීම හෝ නොකිරීම සකස් වෙන්නේ ස්ත්‍රියක් වීම හෝ පුරුෂයෙක්වීම අනුව නොවේ. පාරමී ධර්ම සම්පූර්ණවීමෙන්, ඒ වගේ ම සම්මා දිට්ඨියෙන් පටන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනා කොට ලෝකෝත්තර දහමට නතුකොට අනුගමනය කිරීමෙන් ය. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පුරුෂ පක්ෂය මෙන් ම ස්ත්‍රී පක්ෂයත් මේ චිත්ත සමාධිය දියුණු කොට පරමාර්ථ ධර්ම වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන ලැබූ බව නිවනෙන් සැනසුණු බව දහම් කතාවෙ ඉතාම පැහැදිලි ය. - දීපා පෙරේරා

අසුරින්‍ද සූත්‍රය


අසුරින්‍ද සූත්‍රය  
189
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසනසේක.
අසුරින්‍දකභාරවාජ බමුණු තෙම ‘භාරවාජගෝත්‍රික බමුණෙක් ගිහිගෙන් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සසුන්හි පැවිදිවීය’ යනු ඇසීය.
හෙතෙම කිපියේ, නොසතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය පරුෂ වචනවලින් නින්‍දා කරයි.
ඒසේ කී කල භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දවූසේක.
ඉක්බිති අසුරින්‍දකභාරවාජ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ශ්‍රමණය, දිනූයෙහිය, ශ්‍රමණය, දිනූයෙහිය” (කියායි).
“අන්‍ධබාල පෘතග්ජන තෙම පරුෂ වචන කියන්නේ ඒ තමාට ජයකැයි ඒකාන්තයෙන් හඟී. එහෙත් නුවණැත්තහුගේ යම් ඉවසීමෙක් වේ නම් ඔහුටම ජයවේ.
“යමෙක් තෙම පළමු කිපියහුට පෙරළා කිපේ නම් ඒ කරණකොට ඒ පුද්ගලයාම පාපියෙක් වේ. පළමු කිපියහුට පෙරළා නොකිපෙන පුද්ගලතෙම දුකසේ දිනිය හැකි (ක්‍රෝධ) යුද්‍ධය දිනයි.
“යමෙක් තෙම අණ්‍යයකු කිපෙනු දැක සිහියෙන් යුතුව ඉවසානම් (ඒ පුද්ගල තෙම) තමාටද අනුන්ටද යන දෙදෙනාටම යහපතක් සලසයි.
“තමාගේද අනුන්ගේද යන දෙදෙනාගේම කෙලෙස් නමැති රෝගයට පිළියම් කරන ඒ පුද්ගලයා බාලයෙකැයි ධර්‍මයෙහි අදක්‍ෂවූ අන්‍ධබාල පෘතග්ජනයෝ හඟිත්.”
බුදුන් මෙසේ කීසඳ අසුන්‍දරිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයානන්වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. මනාව අවබෝධ කෙළේය. “
ඒ මම භාග්‍යවත් ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද පිහිටකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සෙගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙම්, උපසම්පදාවද ලබන්නෙම් (නම් යෙහෙකැ)” යි කීය,
ඉක්බිති අසුන්‍දරිකභාරවාජ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ලදී. උපසම්පන්නවී නොබෝ කල් ඇති ආයුෂ්මත් අසුරින්‍දකභාරවාජ භික්‍ෂුව වනාහි තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, නොබෝ කලෙකින්ම, කුලපුත්‍රයෝ යමක් පිණිස ගිහි ගෙයින් නික්ම මනාව ශාසනයට පැවිදවීම් වශයෙන් පැමිනෙත්ද ඒ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යයාගේ කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් අවබෝධකොට, එයට පැමිණ විසුයේය. ‘ජාතිය ක්‍ෂයවූවා, බඹසර වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරන ලදී. මෙයින් අන් ආත්මයක් නැතැ’ යි (හෙතෙම) නිසැකව දත්තේය.
ආයුෂ්මත් අසුන්‍දරිකභාරවාජ තෙමේද රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...