අරක සූත්‍ර දේශනාව:
ජීවන ගංගාව මරණය සොයා ගලා බසී
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
වැසි ඇදහැලෙන විට දිය එකතුවෙන ස්ථානයක, පොකුණක, ගංගාවක දිය බුබුළු හට ගන්නවා ඔබ දැක තිබෙනවා ද? එහි දිය බුබුළු හට ගෙන වහා නැතිව යනවා. ස්ථිරව පවතින්නේ නැහැ. ඒ වගේ මනුෂ්‍ය ජීවිතයත් ඉතා ම කෙටියි. ඉතාම අල්පයි. බොහෝ ම දුකින් පිරී දුක් දොම්නස්වලින් කායික මානසික දුක් දොම්නස්වලින් පිරී පවතිනවා. මේ බව සම්‍යග් ප්‍රඥාවෙන් ම දැන ගන්න. එසේ දැනගෙන කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. ඉපදුණ කෙනෙකුට නොමැරී සිටීමක් නම් නැත්තේ ය.
අරක ශාස්තෘවරයාණන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරනවා. ‘දියෙහි දඬුවකින් ඉරක් ඇන්දොත් එය ඉක්මනින් ම නැති වී යනවා. ස්ථිරව පවතින්නේ නැහැ. බ්‍රාහ්මණයෙනි, දියෙහි ඇඳි ඉර සේ මනුෂ්‍යයන්ගේ ජීවිතයත් ඉතා ම කෙටියි. අල්පයි. බොහෝම දුකින් පිරී කායික, මානසික, දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී පවතිනවා. මේ බව සම්‍යග් ප්‍රඥාවෙන් දැක ගන්න. එසේ දැක කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. නැවත නැවතත් සිහිපත් කරන්නේ ඉපදුණ කෙනෙකුට මරණයෙන් නම් ගැලවීමක් නැති බවයි.
‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා. ‘පර්වතයක මුදුනෙන් හටගෙන දීර්ඝ ගමනක් යන, වැගිරෙන ජල පහරට හසුවෙන සෑම දෙයක් ම අරගෙන, ගසාගෙන දිගින් දිගට ම රැගෙන යනවා. නැවතීමක් නැහැ. මේ ජීවිතයත් උපතේ පටන් හැම ක්ෂණයක්, මොහොතක් මොහොතක් පාසා ම නතරවීමක් නැතිව ගමන් කරනවා. කොතැනට ද? මරණයට ජීවන ගංගාව මරණය සොයාගෙන ගමන් කරනවා. අශ්‍රැතවත් පෘතග්ජන මනුස්සයෝ මරණය සොයාගෙන යන ගමනේ ඇසට රූප, කනට ශබ්ද වශයෙන් ඉන්ද්රිය හයෙන් රූපාදී ආරම්මණ අල්ලාගෙන ඒවා සමඟින් ම මරණය සොයාගෙන ගමන් කරනවා. සම්‍යග් ප්‍රඥාවෙන් නොදුටුවේ නම්, සම්‍යග් ප්‍රඥාවෙන් අවබෝධ කර නොගත්තේ නම්, ‘මම මගේ’ කියමින් අත්පුඩි තලමින් ද, තවත් විටෙක සිතින් අල්ලගත් දේ වෙනස් වන විට හඬමින් ද ළයේ අත් ගසා ගනිමින් ද, ශෝක බරිතව ම ගලන ගඟක් සේ මරණය සොයාගෙන යන බව පෙනෙනවා.
මේ ජීවිතයත්, පර්වතයෙන් ආරම්භ වී සයුර සොයාගෙන ගලන ගඟක් වගේ ජීවිතය ගැන ගැඹුරින් දකින්න. ජීවිතය කෙටියි. අල්පයි. දුකින් පිරිලා. දුක්ඛ දෝමනස්සවලින් සමන්නාගතයි. සම්‍යග් ප්‍රඥාවෙන් දැකගෙන කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. ඉපදුණා නම් මරණයට මුහුණ දිය යුතුම යි.
අරක ශාස්තෘවරයාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා. බ්‍රාහ්මණයෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දිව අග රැස් කළ කෙළ පිඬක් නැවත පහසුවෙන් ම එළියට දමන්නා සේ මනුෂ්‍යයන්ගේ ජීවිතත් ඉතාම කෙටියි. අත්හැරෙනවා. පිළිකුලක් සේ යම් විටක ඒ ජීවිතය සිතින් අත්හරින්න වෙනවා. මම මගේ කියන, සරසා හැඩ බැලූ, මේ සිරුර විටක තමාට ම පාලනයක් නැතිව තමාට ම පීඩාවක් වී සිතින් අත්හැරිය යුතුයි කියන, අවබෝධ කරගත යුතු අවස්ථාවකට එනවා. එසේ නොවුණොත් තමාට ම මෙලොව පරලොව වශයෙන් මහත් විපතකට මුහුණපාන්න සිදු වේවි. ඒ ගැන දන්නා විට මනුෂ්‍යයන්ගේ ජීවිතය කෙටි බව, අල්ප බව, දුකින් පිරී ඇති බව නුවණින් තේරුම්ගෙන බලවත් උපායාස, පරිලාහයන්ගෙන් එනම් සිත් තැවුලෙන් හා දැවෙන පිළිස්සෙන ගතියෙන් ම යුතු බව දැන සම්‍යග් ප්‍රඥාවට පත්විය යුතුයි. කුසල් සිදු කළ යුතුයි. බ්‍රහ්මචරියාවට එකතුවිය යුතුයි. එයට හේතුව නම් ඉපදුණොත් මරණයට මුහුණ පෑ යුතුම නිසා ය.
නැවතත් අරක ශාස්තෘවරයාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. දවස පුරා ම තැවුණු, රත් වූ යකඩ කබලක මස් පිඬක් තැබුවොත් එය ඉක්මනින් ම පිළිස්සී යනවා. ඒක පෙර ආකාරයෙන් පවතින්නේ නැහැ. මනුෂ්‍යයන්ගේ ජීවිතයත් මාංශ පේශියක් කොට උපමා කොට දක්වනවා. මේ මාංශ පේශිය ලෙඩ දුක් දිරාගෙන යෑම ඔස්සේ විනාශ වී නැති වී යනවා. මනුෂ්‍ය ජීවිතය ඉතා ම කෙටියි. අල්පයි. දුකින් පිරිලා. දුක්ඛ දෝමනස්සයන්ගෙන් සමන්නාගත යි. මේ බව නුවණින් දැක කුසල් සිදු කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. උපන්නා හට අමරණීය බවක් නම් නැත.
අරක ශාස්තෘවරයාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා. බ්‍රාහ්මණයෙනි, යම් සේ වදයට එනම් මරණයට නියම වූ ගව දෙනක් මරණ ස්ථානය කරා රැගෙන යන විට ඉදිරියට තබන සෑම පාදයක් ම මරණ ස්ථානයට ම එනම් වධක ස්ථානයට සමීප වෙනවා. අපත් ඒ වගෙයි. මරණයට නියම වූ ගව දෙනක් වගේ ම ඉදිරියට තබන සෑම පියවරක් ම, ගතවෙන සෑම මොහොතක් ම, රාත්‍රියක් ම, හිරු උදාවක් ම සුමානයක්, මාසයක් ආදී වශයෙන් සිතුවොත් මේ හැම මොහොතක් ම මරණය කරා ළංවෙන ගමනක්. සම්මුතිය තුළ සියයක් යැයි සිතනවා නම්, ඒ කියන සියයට හැම මොහොතකම ආශ්වාසයේ, ප්රශ්වාසයේ පටන් ළංවෙන බව සමීපවෙන බව සම්‍යග් ප්‍රඥාවෙන් ම අවබෝධ කර ගත යුතුයි. මේ නිසා මනුෂ්‍ය ජීවිතය ඉතා කෙටි බවත්, අල්ප බවත්, බොහෝ දුකින් පිරී ඇති බවත් නිතර මෙනෙහි කරන්න. බලවත් සිත් තැවුල්වලින් පිරී ඇති බවත්, දැවෙන පිළිස්සෙන ගතියට මුහුණ පෑ යුතු බවත් මෙනෙහි කොට කුසලයට එකතුවෙන්න. බ්රහ්මචරියා මාර්ගය අනුගමනය කරන්න. ඉපදුණ කෙනාට නොමැරී සිටීමක් නම් නැත. මේ ලෙස බොහෝ උපමාවන්ගෙන් ‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දහම් දේශනා කරනවා.
ඒ දහම් දේශනා කරන කාලයතුළ මනුෂ්‍යයන්ගේ ආයුෂ පිළිබඳව අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මහණෙනි, ඒ අරක ශාස්තෘවරයාණන් වහන්සේ පහළ වී එසේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය දේශනා කළ කාලයෙහි මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු හැට දහසක් පමණ වෙනවා. අවුරුදු පන්සියයක් පමණ වියපත් වූ කුමරියකි පතිකුලයට යෑමට සුදුසු වයස ලෙස ඒ කාලය තුළ සිහිපත් කළේ. අවුරුදු හැට දහසක් පරම ආයුෂ නම් අවුරුදු පන්සීයේ දී පතිකුලයට යන කුමරියක් පරමායුෂ හැටියට සිතුවොත් පනස්නමදහස් පන්සියයක කාලයක් සාමාන්‍යයෙන් විවාහ ජීවිතයක් දරුවන් ලබා ගත කළ හැකි බවට අපට අනුමාන කළ හැකි යි. අන්න එවැනි ආයු කාලයක් තිබෙන කාලයේ දී ඒ අරක ශාස්තෘවරයාණන් වහන්සේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය නුවණින් දේශනා කර කුසල් මඟට ළංවෙන්නත්, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට යැයි අනුශාසනා කළේත්, මරණය ගැන නිතර මෙනෙහි කරන්නට යැයි, සිහිපත් කළේත්, එවැනි ආයු හැට දහසක් තිබුණ කාලයකයි.
ඒ අරක ශාස්තෘවරයාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යයන්ට ආබාධ හයක් පමණයි තිබුණේ. මොනවාද ඒ, සීතල, උෂ්ණ, බඩගින්න, පිපාසය, දැනුණා. ඒ වගේ ම ගත් ආහාර බැහැර කිරීම ආහාර වශයෙන් හෝ දියර වශයෙන් බැහැර කිරීමට අවස්ථාව සැලසුණා. ඒ අයට ලෙඩක් ආබාධායක් හැටියට පැවති මේවා වර්තමානයේ ලෙඩ හැටියට නොව සාමාන්‍ය කායික ඇවතුම් පැවතුම් හැටියටයි සිහිපත් කරන්නේ. මේ අදහස් කරන්නේ කුමක් ද? මේ අයට උණ හෙම්බිරිස්සාවක් තරම් වූ ස්වල්ප ආබාධයක්වත් නොතිබූ බව නොවේ ද? එවැනි නීරෝගී වූ කාලයක, හැට දහසක් ආයු පැවතුණ කාලයක අරක ශාස්තෘවරයාණන් වහන්සේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය අල්ප බව දුකෙන් පිරී ඇති බව දේශනා කොට සම්‍යග් ප්‍රඥාවෙන් දකින්න ආරාධනා කළා නම් අවුරුදු සියයකටත් වඩා අඩු කාලයක් ජීවිතය පවත්වන වචනවලින් සඳහන් කළ නොහැකි තරම් අප්‍රමාණ ලෙඩ දුක්වලින් පිරුණු මෙවැනි කාලයක ජීවිතයේ ඇති අල්ප බව අනිත්‍ය බව, දුකෙන් පිරුණු බව කොතරම් මෙනෙහි කළ යුතු නොවේ දැයි ඔබ ම නුවණින් සිහිපත් කරන්න.
එසේ දීර්ඝායුෂ ව, නීරෝගී ව මනුෂ්‍යයන් ජීවත් වූ කාලයක ඒ අරක ශාස්තෘවරයාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පෙර පරිදිම ධර්මය දේශනා කරනවා. බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිත ඉතා ම අල්පයි. ස්වල්පයි. ඉතා ම ලුහුයි. බොහෝ ම දුකින් පිරිලා පවතිනවා. බොහෝ උපායාස පවතිනවා. එනම් බලවත් සිත්තැවුල්වලින් පිරී පවතිනවා. දැවෙන පිච්චෙන ගතියට නිරන්තරයෙන් ම මුහුණ පානවා. මේ බව සම්‍යග් ප්‍රඥාවෙන් දැක ගන්න. එනම් පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියල්ල ම අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්රිලක්ඛණයට යටත් බව නුවණින් පරීක්ෂා කොට දැක ගන්න. එසේ දැක කුසල් මඟ අනුගමනය කරන්න.
ලෝභ, දෝෂ, මෝහ බැහැර කොට අලෝභ, අදෝස, අමෝහ මඟ ඔස්සේ අත්හැරීම නම් වූ පටිනිස්සග්ගයට, විරාගයට නිරෝධයට, උපසමාය නම් වූ කෙලෙස් සංසිඳීමට සිත යොමු කරන්න. ‘අභිජ්ඥාය’ - සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන දහමට යටත් කොට දකින්න. ‘සම්බෝධාය’ – දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට සිත යොමු කරන්න. ‘නිබ්බාණාය’ – නිවන් මඟ පිණිස සිත මෙහෙයවන්න. එයට හේතුව නම් ඔබ ලද මේ මනුෂ්‍ය ජීවිතයේ කුමන වස්තුවක් පණ ඇතිව හෝ පණ නැතිව පැවතුණත් ඒවා ‘මම මගේ’ යැයි සම්මතය අයිති කරගත්තත් මරණය හා සමගින් සියල්ල අවසන් වෙනවා. ‘මම මගේ’ යන ශාරීරික සම්බන්ධය එතැනින් අවසන් වෙනවා. ඒ ඉපදුණු සියලු දෙනාට ම මරණය උරුම නිස යි.
- දීපා පෙරේරා