Sunday, April 11, 2021

මිත්ත සූත්‍රය



කිංසු පවසතො (පථවතො (පී. ක.)) මිත්තං, කිංසු මිත්තං සකෙ ඝරෙ;

කිං මිත්තං අත්ථජාතස්ස, කිං මිත්තං සම්පරායික’’න්ති.

‘‘සත්ථො පවසතො මිත්තං, මාතා මිත්තං සකෙ ඝරෙ;

සහායො අත්ථජාතස්ස, හොති මිත්තං පුනප්පුනං;

සයංකතානි පුඤ්ඤානි, තං මිත්තං සම්පරායික’’න්ති

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීරවර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

“පිටරට යන්නහුගේ මිත්‍රයා කවරේද? සිය ගෙයි වසන්නහුගේ මිතුරා කවරේද? උපන් කටයුත්තක් ඇත්තහුට මිත්‍රයා කවරේද? පරලොව යන්නහුට හිතවූ මිතුරා කවරේද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “පිටරට යන්නහුගේ මිත්‍රයා ගැල් රංචුව හෝ තවලමයි. සිය ගෙයිදී මිතුරා මවුයි. උපන් වැඩක් ඇත්තහුට යලි යලිත් මිතුරා යහළුවායි. තමා කළ යම් පින් ඇත්ද, ඒ පරලොවට හිතවූ මිතුරායි.”

සැබෑ මිතුරාගේ ලක්‍ෂණ

 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ

කථිකාචාර්ය ආචාර්ය

මැදගොඩ අභයතිස්ස හිමි



බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙන්නේ සැබෑ මිතුරාගේ ලක්‍ෂණය. අද සමාජයේ සමහර මිතුරෝ කළ හැකි දෑ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. කළ හැකි දේවත් නොකරන ඔවුන්ගෙන් කිරීමට නොහැකි දෑ ගැන බලාපොරොත්තු තැබිය හැක්කේ කෙසේද? මෙවැනි මිතුරන් ඇසුරු නොකළ යුතුය.


බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ යුතු මිතුරා පෙන්වා දුන් මෙම සූත්‍ර දේශනාව “ මිත්ත සූත්‍රයයි” මෙම සූත්‍රය අයත් වන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් යෝධාජීව වග්ගය ටයි. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.


“තීහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො”


” මහණෙනි , අංග තුනකින් සමන්විත මිතුරා සේවනය කළ යුතුයි”


“ කතමෙහි තීහි? “ “ කවර අංග තුනකින්ද? “


”දුද්දදං දදාති “ දීමට බැරි දේ දෙන්නා


“දුක්කරං කරොති “ කිරීමට දුෂ්කර දේවල් කරන්නා


”දුක්ඛමං ඛමති “ ඉවසීමට නොහැකි දෑ ඉවසන තැනැත්තා


”ඉමෙහි ඛො භික්ඛවෙ, තීහි අඛ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො “


“මහණෙනි, මේ අංග තුනෙන් සමන්විත මිත්‍රයා සේවනය කළ යුතුය” යනුවෙනි.


බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙන් පෙන්වා දී තිබෙන්නේ සැබෑ මිතුරාගේ ලක්‍ෂණය. අද සමාජයේ සමහර මිතුරෝ කළ හැකි දෑ නොකරති. ඉවසිය හැකි තැන නොඉවසති. දීමට හැකි තැන නොදෙති. කළ හැකි දේවත් නොකරන ඔවුන්ගෙන් කිරීමට නොහැකි දෑ ගැන බලාපොරොත්තු තැබිය හැක්කේ කෙසේද? මෙවැනි මිතුරන් ඇසුරු නොකළ යුතුය. සමාජයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ හුදෙක් තමවාසියම තකා තමන් ආශ්‍රය කරන මිතුරන්ය. එක් සංස්කෘත ශ්ලෝකයක ඥාති මිත්‍රාදීන් ගැන මෙසේ සඳහන් වේ.


“ උත්සවෙ ව්‍යසනෙ චෛව - සංග්‍රාමෙ රාෂ්ට්‍ර විප්ලවෙ


රාජද්වාරෙ ස්මශානෙ – යඞ තිෂ්ඨති ස බාන්ධවඞ “


යමෙක් මිතුරෙක් නම් උත්සවයෙහි , ව්‍යසනයේදී, යුද්ධයේදී එකට සිටිය යුතුය. එසේම රටට යුද්ධයක් පැමිණි කල, රජ දොරට හෙවත් රාජකීය දඬුවමකට යටත් වන විට සොහොනට යන කල්හි එකට සිටින්නේ මිතුරාය. මේ ආකාරයට සෑම තැනකම නොවෙනස් වන තැනැත්තා මිතුරා වේ.


“ මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවැති


බිතු සිතුවම් රූමෙන් පිටු නො පාවිති “


මිතුරා බිත්තියක ඇඳි සිතුවමක් මෙනි. සිතුවම ඉදිරියම බලා සිටියි. පිටු නොපායි. එමෙන් පිටු නොදකින ස්වභාවය කල්‍යාණ මිත්‍රයෙකු සතු ලක්‍ෂණයකි.


“භරියාව පරමා සඛා “ යන්නෙන් පැවසෙන්නේ බිරිය ස්වාමි පුරුෂයාගේ පරම මිතුරිය බවයි. දෙදෙනා තුළ හට ගන්නා මිතුරු බව අවියෝජනීය බැඳීමක් බවට පත්වේ. නකුල මාතා නකුල පිතා අතර පැවතුණේ අඹුසැමි සම්බන්ධයට වැඩි මිත්‍රත්වය මත පදනම් වූ බැඳීමකි. සමාජය තුළ මෙම ස්වාමි භාර්යා මිත්‍රත්වය හදුනාගත් අය සතුටින් ජීවත් වෙති. ඇසුරු කිරීම තුළින් මිත්‍රත්වය හඳුනා ගත යුතුය. කන්දරක සූත්‍රය කදිම නිදසුනකි. එහිදී බුදුරජාණන් වහන්සේ සහ පෙස්ස හත්ථාරෙ‍ා්හපුත්‍රයා අතර මෙවැනි සංවාදයක් සිදුවී තිබේ.


“ගහනං හෙතං භන්තෙ යදිදං මනුස්සා “ මිනිසා සැඟවුණූ චරිත ඇත්තෙකි. තිරිසන් සතුන් එසේ නොවේ. මිතුරුකම යහළුකම පෙන්වයි. මිතුරු නොවන තැනදී ගොරවයි. හපන්නට පනියි. එහෙත් මිනිසා තුළ ඇත්තේ යටපත් වූ හැඟීම වේ. බොහෝ මිනිස්සු මතුපිටින් මිතුරුකමත් යටින් සතුරුකමත් තබා ගැනීමට පුරුදුව සිටිති.


මිත්ත, සක යනු දෙදෙනෙකි. එහිදී “ මිත්ත” යනු යම්කිසි ව්‍යසනයකදී, කරදරයකදී එකතුවන මිතුරා වේ. “ සක” යනු තමාගේ කුඩා කල සිට එකට එක්ව පැමිණෙන මිතුරා වේ. සමඟ වැඩුණු පුද්ගලයා සගයා වේ. එහිදී ස්වකීය බවක් තමන්ගේ බවක් ඇත. මිතුරන් රැසක් සිටින අතර ජීවිතයට යහපත ළගා කර ගැනීමට උපාකාරවන, නිවැරැදි මාර්ගය පෙන්වා දෙන ඒ කිසිත් නැතිව චාටුවෙන් රවටාගෙන ඇසුරු කරන වශයෙන් මිතුරන් විවිධාකාර වේ. බුදුන් වහන්සේ මිතුරා ගැන මෙසේ පෙන්වා දෙන සේක. “ විස්සාසපරමා ඤාති “ විශ්වාසය උතුම් නෑයා බවයි. මෙය මිත්‍රත්වයට ද අදාළ කර ගත හැකිවේ. අප විශ්වාසය ඇති කර ගන්නා අය අපගේ යහපතට කටයුතු කරන්නන්ද අයහපතට කටයුතු කරන්නන්ද යනුවෙන් විමසා බැලීමට අප බුද්ධිමත් විය යුතුය.


කුක්කුට ජාතකයේදී පෙන්වා දෙන්නේ මිත්‍ර භාවයෙන් සතුරන්ද සිටින බවයි. අප මහා බෝසතාණන් වහන්සේ කුකුළු යෝනියේ ඉපදී සිටියහ. උකුස්සෙක් කුකුළු රැළේ කුකුළන් ඩැහැගෙන කෑවේය. එහෙත් බෝසත් කුක්කුටරාජයා ඉතා ආරක්‍ෂා සහිතව යාම් ඊම් කළ අතර උණ පඳුරක් තුළ වාසය කළේය. මේනිසා උකුසු උවදුරට ලක් කරගැනීම අපහසු විය. එවිට උකුස්සා මෙසේ පැවැසුවේය.


“යහළුවේ , ඔබ කෙතරම් ලස්සනද? අප දෙදෙනාම එක්ව ආහාර සොයමු එවිට බෝසත් කුක්කුට රාජයා පැවසුවේ මෙසේය.


“මිතුරු වෙසින් එන සතුරෝද සිටිති. නුඹ සමඟ මාගේ මිතුරු බවක් නැත “ යනුවෙනි. පාප මිතුරන් හඳුනා ගැනීමට තරම් අප පරිස්සම් විය යුතුය. පාප මිතුරෙක් සිටිනවාට වඩා හොඳ සතුරෙක් සිටීම හොඳය. හොඳ සතුරාගේ හානිය සීමිත වන නමුත් පාප මිතුරාගේ හානිය අසීමිත වේ.


“ ගී කිය කියා ලේ බොන මදුරුවාට වඩා


කොටියා හොඳයි එකපාරට පනින කඩා “


ගී කියමින් ලේ උරා බොමින් මඳුරුවන් මෙන් අප ජීවිත විනාශ කිරීමට ක්‍රියා කරන මිතුරෝ වෙති. යමෙකුට හොඳ මිතුරෙකු නොලැබේ නම් කඟවේනෙක් මෙන් තනිව සිටින ලෙසද, අසත්පුරුෂ මිතුරන් නැති විට ජීවිතය යහපත් වන බවද බුදුදහමේ උගන්වයි.


ජාතක පාලියට අනුව අකෘතඥයෙකුට මහපොළොව දුන්නද ප්‍රයෝජනයක් නොමැත. ඒ කුමන ආකාරයකින් හෝ අකෘතඥයා හෙවත් කළගුණ නොදත් පුද්ගලයා සතුටු කළ නොහැකි නිසාය. ඒ නිසා මිතුරෙක් නම් කළ ගුණ සලකන්නෙක් විය යුතුම ය.


මිත්‍රද්‍රෝහී නොවීමේ ආනිසංස රැසක් බුදුදහමේ සඳහන් වේ. යමෙක් මිත්‍රද්‍රෝහී නොවුවහොත් ඒ තැනැත්තාට හොඳින් ආහාර ලැබේ. බොහෝ දෙනෙක් ඔහු යටතේ ජීවත්වෙති. ඔහු කන්දකින්, පර්වතයකින් ගසකින් වැටුණාද පිහිටක් ලබන්නේ වෙයි. ඔහු ඇති කරන එළදෙනුන්ට පැටවු ලැබේ. කුඹුරු හොඳින් වැඩීමට පත්වෙයි. දරු ඵල ලැබේ. තවද හෙතෙම ගින්දර මෙන් දෙවියෙක් මෙන් බබළන අතර ශි‍්‍රයාව ඔහු අත්නොහැර සිටියි.


බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මුළු සසුන් බඹසරම මිත්‍රත්වය මත පවතින බවයි. මෙලෙස යහපත් මිත්‍රත්වය තුළින් ලොවුතුරා ඵල ලද හැකිය. ඒ සඳහා තමා පළමුව යහපත් මිතුරෙකු බවට පත් වී අන් යහපත් මිතුරන් හඳුනා ගත යුතුය. තමා වංචනික නොවන කල වංචනික නොවන සැබෑ මිතුරන් හඳුනා ගත හැකිය. ඒ තුළින් මිත්‍රත්වයෙන් ලද හැකි උතුම් ඵල ලද හැකිවේ.


නිරෝගි මනසකින් දහම දකිමු

 නිරෝගි මනසකින් දහම දකිමු

තලල්ලේ චන්දකිත්ති හිමි





සමාජයේ බොහෝ දෙනෙක බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා


සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසායි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය පිළිබඳව. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් සංසාර දුකෙන් නිදහස් වී සැපත ළඟාකර ගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේදී අපේ ජීවිතවලට පුරුදුකළයුතු බොහෝ ගුණාංග තිබෙනවා. ඒ එක් ගුණාංගයක් සඳහන් සූත්‍ර දේශනාවක් අපි අද කථා කරනවා.


ඒ සූත්‍රයේ නම තමයි ආඝාතපටිවිනය සූත්‍රය. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මෙය සඳහන්ව තිබෙනවා. ආඝාතපටිවිනය නමින් සූත්‍ර දේශනා දෙකක් තිබෙනවා. පඨම ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ භාග්‍යවතුන් වහන්සේ. දුතිය ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ සැරියුත් මහ රහතන් වහන්සේ. ආඝාත කියන්නේ තරහ කියන එක. පටි කියන්නේ නැවත නැවත කියන එක. විනය කියන්නේ හික්මවීමයි. හට ගත් තරහ නැවත නැවත නොකර හික්මවා ගැනීමයි මෙහි සරල තේරුම. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය තමයි මෙම සූත්‍රයේ සඳහන්ව තිබෙන්නේ.


අප සමාජයේ බොහෝ දෙනෙක් බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා. අප සිතනවා මේ පුද්ගලයාට මෙතරම් උදව් උපකාර කර තිබියදීත් මා ගැන හොඳක් කිව්වේ නැහැනේ යැයි සිතා දොම්නසට පත්වෙනවා. ඒ තමයි කැමැති දේ නො ලැබීම.


ඊළඟ කාරණය තමයි අකැමැති දේ ලැබීම. අප කවුරුවත් කැමැති නැහැ බැනුම් අහන්න. ඒ වගේම අපේ නරකක් කියනවා නම් අපේ දෙයක් බලෙන් ගන්නවානම් අපිට තරහ යනවා. ඉතින් මේ හේතු දෙකම මුල් වෙලා තරහ යන ආකාර නමයක් මේ දේශනාවේ සඳහන්. එය නවාඝාත වශයෙන් සඳහන් වෙනවා. නවාඝාතය කොටස් තුන තුන වශයෙන් තේරුම් ගත යුතුයි.


පළමු කොටස් තුන තමයි යම් කෙනෙක් මට අතීතයේ දී අනර්ථය කළායැයි සිතමින් තරහ ගන්නවා. එය කයින්, වචනයෙන් සහ සිතින් කරන්න පුළුවන්. සමහර විට අවුරුදු ගණනකට පෙර කළ දේ සිතමින් ඒ තරහ පෝෂණය කරමින් ජීවත් වෙනවා. ඊළඟ එක තමයි වර්තමානයේ සිදුවීම් සිහි කරමින් තරහ පෝෂණය කරනවා. ඊළගට අනාගතයේදීත් මේ අය මට ඊර්ෂ්‍යා කරයි, මගේ දේ පැහැර ගනියි කියා අනාගතය උපකල්පනය කරමින් තරහ සිතක් ඇතිකර ගනු ලබනවා.


සමහර පුද්ගලයන් ඉන්නවා තමන්ට බනින එකත්, අම්මට තාත්තට බනින එකත්, රටට ජාතියට ආගමට බනින එකත් ඉවසන්න පුළුවන්. ඉවසන්න බැරිම දේ තමා තමා අමනාප තමාට අප්‍රසන්න පුද්ගලයකුගේ ගුණ අහන්න ලැබීම. සාමාන්‍ය පෘතග්ජන ගතියට අපි කවුරුත් අකැමැතියි අමනාප පුද්ගලයෙකුගේ ගුණ අහන්න. ඒ පුද්ගලයාගේ වැරැද්දක් කිවුවොත් ඇත්ත තමයි මාත් දැක්කා, එයා එහෙමම තමයි කියමින් අඩුපාඩු එකතු කරන්න කැමැතියි. ගුණයක් කිවුවොත් ඒක අනුමෝදන් වෙන්න කැමැති නැහැ. අප උත්සාහ කරන්නේ අප අමනාප පුද්ගලයාගේ වැරැදි සාධාරණීය කරලා ඒක හරියි කියලා ලෝකයාට හේත්තු ගන්වන්න. අපේ සිත කැමැති තරහ පුද්ගලයාගේ වරදම දකින්නයි. නරකම දකින්නයි. එහෙම අවස්ථාවක එයාගේ හොඳක් අසන්නට ලැබුණොත් අපට කේන්ති යනවා. සිතේ අමනාපයක් ඇතිවෙනවා. එතැනදී අපි කැමැති දේ ලැබුණේ නැහැ. අකැමැති දේ ලැබුණා. එයින් අපගේ සිතට තරහවක් ඇතිවෙනවා. වර්තමානයේදීත් අනාගතයේදීත් ඒ ඒ ආකාරයට ගලපමින් තරහ සිතක් ඇතිකර කර ගන්නවා. මේ විවිධාකාරයට තරහ යාම් නැත්නම් ද්වේෂය අපේ සිතේ හට ගන්නවා. මොන ආකාරයට තරහ ගියත් එය සාධාරණීය කරන්න පුළුවන් කාරණයක් නම් නොවේ. එය පාපතර අකුසල සිතිවිල්ලක්. සිත දුර්වල කරන, සිත කෙළෙසන, සිතේ වටිනාකම නැති කරන ප්‍රභාශ්වරය නැති කරන දුර්වර්ණ කරන අපවිත්‍ර කරන සිතිවිල්ලක්.


සිතට එන නරක සිතිවිලි නවත්වා ගන්න නම් අප කරන්න ඕන ඒ සිතට එන අකුසලයට වටිනාකමක් නොදී සිටීමයි. ඕනෑම සිතිවිල්ලකට වටිනාකමක් දුන්විට ඒ සිතුවිල්ල සිතේ ස්ථාවර වෙනවා. සිතිවිලිවලට වටිනාකමක් ලැබෙන්නේ නැවත නැවත එයම සිතන්නට පටන්ගත් විටයි. ද්වේෂය හටගත් අවස්ථාවක එයම සිතුවොත් එය සිතේ තහවුරු වෙනවා. ස්ථාවර වෙනවා. ඒ ස්ථාවර සිතිවිල්ල ආවේගයක් බවට පත්වෙනවා. ආවේගය කියන්නේ වේගයෙන් අප කරා එන සිතිවිල්ලයි. වේගය වැඩිවුනාම අභ්‍යන්තර පාලනයෙන් තොරයි. සිතුවිලි වලට පානයක් නැතිවුණාම තමයි ඒවා පරුෂ වචන වශයෙන් එළියට එන්නේ. සිතුවිලිවල පාලනයක් නැතිවුණාම වැරැදි ක්‍රියා වශයෙන් එළියට එනවා. ඒ නිසා පාලනය කරන්න බැරි විදිහට සිතුවිලිවලට වටිනාකම් දෙන්න හොඳ නැහැ. නරක සිතිවිල්ල මෙනෙහි කරන්න හොඳ නැහැ. එහි ආදීනවය දැකිය යුතුයි. තමාට තමා වටා සිටින අයට, සමාජයට වන හානිය පිළිබඳව සිහිනුවණින් සිතා තමාගේ් සිතිවිල්ල පාලනය කර ගෙන වලක්වා ගත යුතුයි.


පළමු ආඝාතපටිවිනය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළා සිත පාලනය කරන ක්‍රමවේද පහක්. දෙවැනි සූත්‍රයේදී සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා තරහ ගන්නට හේතු රැස්කරන මිනිසුන් කොට්ඨාස පහක්එහි පළමු පුද්ගලයා තමයි ඔහුගේ කායික වැඩ අපිරිසුදුයි. නමුත් වචනය පිරිසුදුයි. දෙවැනි තැනැත්තා කායික ක්‍රියා පිරිසුදුයි, වචනය අපිරිසුදුයි. තුන්වැනි පුද්ගලයා කායික ක්‍රියාත්, වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. නමුත් ඉඳහිට යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනු ලබනවා. හතරවැනි පුද්ගලයාගේ කායික වාචසික ක්‍රියා මෙන්ම සිතිවිලිත් යහපත් නැහැ. පස්වැනි පුද්ගලයාගේ කායික, වාචසික මෙන්ම සිතිවිලිත් ඉතා හොඳයි.


මෙහි සඳහන් පළමු, දෙවැනි, තුන්වැනි පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබුණාම අපට තරහ යනවා. ඔවුන්ගේ ඇසුරේදී අපේ සිතේ නිතරම ද්වේෂයක් හට ගන්නවා. ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ වදාළා අර පුද්ගලයන්ගේ තිබෙන සියලු වැරැදි නොසිතා තිබෙන එක හොඳ පමණක් සිහි කරන්න කියා. අනුන්ගේ නරක සිතන්නට සිතන්නට නරක් වෙන්නේ අපේ සිත. අනුන්ගේ හොඳ සිතන්නට සිතන්නට හොඳ වෙන්නෙත් අපේ සිත. අනෙක් කෙනාගේ නරක දකිමින් අපේ සිතට කේන්තියක් ඇතිකර ගන්නවා නම් එහි හානියක් අපටමයි.


මේ ආකාරයට අපට තරහ යනවා නම් ඒ තරහ පාලනය කර ගන්න භාග්‍යවතුන් වහන්සේත් අපට දේශනා කළා ක්‍රම පහක්. පළමු ක්‍රමය තමයි මෛත්‍රීය උපදවා ගැනීම. මෛත්‍රීය කියන්නේ මිතුරුකමයි. යාලුකම. කෙනෙකුගේ නරක ගැන සිතන්නේ නැතිව හොඳ පමණක් සිතනවා නම්, තරහ සිතිවිලි නැතිවෙලා යනවා. යම් පුද්ගලයෙක් පිළිබඳව තරහක් එනවානම් ඔහුගේ් හොඳක්ම දකින්න පුරුදු වෙන්න ඕනෑ.


දෙවැනි කාරණය තමයි කරුණාව පුරුදු කිරීම. කරුණාව කියන්නේ කෙනෙක් අසරණ වුණාම පිහිටවීම. කෙනෙක් අපට දොස් කිව්වාම අපේ සිතේ කේන්තියක් ඇති වෙනවා. එය පාලනය කරගන්න ඔහුට කරුණාව දක්වන්න ඕන.


මම නිසා මොහුගේ සිතේ තරහක් ඇතිවෙනවා නම් ඒ තුළින් ඉවත්වෙලා ඉන්න ඕනෑ කියා කරුණාව ඇතිකර ගන්න ඕන.


ඒ වගේම තුන්වෙනි කාරණය තමයි කා සමඟ හරි තරහවක් ඇති වූ විට තමාගේ සිතේ උපේක්ෂාවක් ඇතිකර ගන්න උත්සාහ කරන්න ඕනෑ. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථව සිටීම. ඕනෑම දුකක් අපට වැඩිවෙන්නේ ඒ දුක පුද්ගලික කර ගැනීමෙන්. අනේ අපටමයි මේ කරදර. හැමදාම අපට දුක පමණයි කියා හිතන්නට හිතන්නට දුක වැඩියි. දුක කියන්නේ පොදු ධර්මතාවයක් කියා සිතූවිට දුක වෙනවා.


හතරවැනි කාරණය තරහ ඇතිවන විට අරමුණ මාරු කිරීම. කෙනෙක් දොස් කියපු අවස්ථාවක එයම නො සිතා වෙන දෙයක් සිතිය යුතුයි. එහෙම නැත්නම් පොතක් කියවන්න, ගීතයක් අහන්න වැනි දෙයක් කරන්නට පුළුවන්. අවධානය වෙනතකට යොමු කළවිට වේදනාව අඩු වෙනවා. එනිසා අප ද්වේෂය ඇවිස්සී එන අරමුණට වටිනාකමක් නොදී වෙනත් අරමුණක් සිතීමට පුරුදු කරන්නට මහන්සි වෙන්න ඕනෑ.


ඊළඟ කාරණය තමයි කා සමඟ හෝ තරහවක් ඇතිවූ විට භාග්‍යවතුන් වහන්සේ වදාළා කර්මයේ ස්වකීයත්වය ගැන සිතන්න කියලා. යම් කර්මයක් තමා විසින් කළ විට එය තමාට දායාද ලෙස ලැබෙනවා කියා විශ්වාසයක් ඇතිකර ගෙන මේ පුද්ගලයා මට දොස් කියලා බැනලා අකුසල් සිදුකර ගත්තා. එහි විපාක ඔහුට ලැබෙයි. මමත් එකටෙක කළොත් මටත් විපාක විඳීන්නට සිදුවෙයි කියා කර්මය පිහිට කරගෙන අකුසල් සිත බැහැර කරන්න ඕනෑ.


එනිසා ඉවසීම පුරුදු කළ යුත්තේ ද්වේෂය ඇවිස්සී එන විටයි. මෛත්‍රීය පුරුදු කරන්න ඕනෑ එතනැදීයි. එහෙම කරනවිට ද්වේෂය පාලනය කර ගන්න අපට පුළුවන්කම තිබෙනවා. එසේ කළවිට නිරෝගී මනසකින් එදිනෙදා ජීවිතයේ සුවසේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබටත් අවස්ථාව උදා වෙනවා.

Friday, April 9, 2021

ජරාසුත්තං



ජරාසුත්තං  

51

‘‘කිංසු යාව ජරා සාධු, කිංසු සාධු පතිට්ඨිතං;

කිංසු නරානං රතනං, කිංසු චොරෙහි දූහර’’න්ති.

‘‘සීලං යාව ජරා සාධු, සද්ධා සාධු පතිට්ඨිතා;

පඤ්ඤා නරානං රතනං, පුඤ්ඤං චොරෙහි දූහර’’න්ති.


ජරා (හෙවත් කිංසුජරා) සූත්‍රය  

51

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

“මහලු බව දක්වාම කිමෙක් නම් යහපත්ද? කිමෙක් (සිතෙහි) පිහිටීම යහපත්ද? කිමෙක් නම් මිනිසුන්ට රත්නයක් වේද? කිමෙක් නම් සොරුන් විසින් හැරගෙන යා නොහැකිද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මහලුබව දක්වාම සිල් රැක්ම යහපති, ශ්‍රද්‍ධාව ස්ථිරව පිහිටීම මැනවි. ප්‍රඥාව මිනිසුන්ට රත්නය වේ. පින සොරුන් විසින් පැහැරගත හැකි නොවේ.”

ජරාසුත්තං  
51
‘‘කිංසු යාව ජරා සාධු, කිංසු සාධු පතිට්ඨිතං;
කිංසු නරානං රතනං, කිංසු චොරෙහි දූහර’’න්ති.
‘‘සීලං යාව ජරා සාධු, සද්ධා සාධු පතිට්ඨිතා;
පඤ්ඤා නරානං රතනං, පුඤ්ඤං චොරෙහි දූහර’’න්ති.

Wednesday, April 7, 2021

වනරොප සූත්‍රය



කෙසං දිවා ච රත්තො ච, සදා පුඤ්ඤං පවඩ්ඪති;
ධම්මට්ඨා සීලසම්පන්නා, කෙ ජනා සග්ගගාමිනො’’ති.
‘‘ආරාමරොපා වනරොපා, යෙ ජනා සෙතුකාරකා;
පපඤ්ච උදපානඤ්ච, යෙ දදන්ති උපස්සයං.
‘‘තෙසං දිවා ච රත්තො ච, සදා පුඤ්ඤං පවඩ්ඪති;
ධම්මට්ඨා සීලසම්පන්නා, තෙ ජනා සග්ගගාමිනො’’ති.
7. වනරොප සූත්‍රය
47
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“දහවලුත් රෑත් හැමවිටම කවුරුන්ගේ පින් වැඩේද? සුගතියට යන ධර්‍මස්ථයෝ (ධර්‍මයෙහි පිහිටියෝ) නම් කවුරුද? සිල්වත්තු නම් කවුරුද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “යම් ජනයෝ මල් වතු පලතුරු වතු (ආරාමයන්) වවන්නෝද, වන ලැහැබ් වවන්නෝද, හේදඬු පාලම් ආදිය කරවන්නෝද, යම් කෙනෙක් පැන්හලුත් වැව් පොකුණුත් කරවන්නෝද, වාසස්ථාන දෙන්නෝද, දිවා රෑ හැම විටම ඔවුන්ගේ පින් වැඩේ. මරණින් පසු ස්වර්‍ගයට යන, දහම්හි පිහිටි සිල්වත්තුත් ඒ ජනයෝයි.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...