Friday, April 2, 2021
සැපවත් ජීවිතයකට හිමිකම් කියන්මෝ
සැපවත් ජීවිතයකට හිමිකම් කියන්මෝ
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ සිටි සමයෙහි භාග්‍යවතුන් වහන්සේ එක් දිනෙක පිඬු පිණිස නගරය බලා වැඩම කළ සේක. කුඩා දරුවන් පිරිසක් එක්ව දණ්ඩක් රැගෙන නාගයෙකුට හිංසා පීඩා කරනු තථාගතයන් වහන්සේ දුටු සේක.
දරුවන්ගේ එම ක්‍රියාව අනුමත නොකළ භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා “සැප කැමැතිවන යමෙක්, සුවයට කැමැති සෙසු සත්වයන් හිංසනයට ලක් කරන්නේ නම්, එම තැනැත්තා පරලොව දී සැප නොලබයි. එහෙත් සැප කැමැති යම් කෙනෙක් සැපයට කැමැති සෙසු සත්වයන්ට හිංසා නොකරයි නම් හෙතෙම පරලොව දී සැප ලබයි” යනුවෙන් දේශනා කළහ.
උදාන පාලියේ එන දණ්ඩ සූත්‍රයේ ඇතුළත් මෙම අදහස කාල, දීප, දේශ භේදයකින් තොරව සැම තැනකටම, සැම කෙනෙකුටම අදාළවන විශ්වීය සදාචාරාත්මක ඉගැන්වීමකි. මිනිසා මෙන්ම සතුන්ද හිංසනයට හා පීඩාවට පත්කිරීම වර්තමාන ලෝකයේ පොදුවේ දක්නට ලැබෙන ප්‍රවණතාව යි. මේ අනුව අන්‍යයන් හිංසනයට හා පීඩනයට පත්කිරීම විවිධ නයින් සිදුවේ. හිංසනය හේතුවෙන් දුකට වේදනාවට පත්වන මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ද ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වීමට විවිධ සංවිධාන බිහිවී තිබෙන අතර ඉදිරියටත් එවැනි සංවිධාන නිර්මාණය වෙමින් පවතී. මෙම පසුබිම යටතේ බුදුරදුන් වදාළ ඉහත උපදේශය බෙහෙවින් වැදගත් වේ.
බුදුරදුන්ගේ ධර්මය හිංසනය මුළුමනින්ම පිටු දකින, සදාචාරාත්මක ඉගැන්වීම් පද්ධතියකි. පංච ශිලයේ පළමුවන ශික්‍ෂා පදයෙන් ආරම්භ කෙරෙන අවිහිංසාවාදී පිළිවෙත නිර්වාණගාමී ප්‍රතිපදාව යටතේ ශීලයේ පදනම වශයෙන් පිළිගෙන තිබේ. අවිහිංසාව මෙතරම් වැදගත් කොට සලකන්නේ එය සියලුම ජීවීන්ගේ සහජ අවශ්‍යතාව වන නිසයි. ලොව සෑම ජීවියෙක්ම හිංසනයට හා දඬුවමට අකැමැති ය (සබ්බේ තසන්ති දණ්ඩස්ස). එය පොදු ධර්මතාව යි. එය එසේ නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි ය. මෙම සනාතන ධර්මය අනුවය බුදුරදුන් හිංසනය හා දඬුවම අනුමත කර නොමැත්තේ. බුදුරදුන් හිංසනයෙන් වැළකීමට අනුශාසනා කරන්නේ එයින් දිට්ඨධම්මික වශයෙන් මෙන්ම සම්පරායික වශයෙන් ද හානිකර ප්‍රතිඵල ඇතිකරන නිසයි. චුල්ලකම්මවිභංග සූත්‍රයේ දැක්වෙන පරිදි සියලු ජීවීන් ඝාතනය කරමින් දයාවෙන් තොරව කටයුතු කිරීමේ ප්‍රතිඵල වශයෙන් මරණින් පසු නිරයගාමීවන අතර, යම් හෙයකින් මනුෂ්‍යයෙකු ව උපදින්නේ නම් අල්පායුෂ්ක අයෙකු බවට පත් වේ. යමෙක් සියලු ජීවීන්ට අතින් (පාණිනා) පහරදීමෙන්, ගල් කැටවලින් (ලෙඩ්ඩුනා)පහර දීමෙන්, දඩුමුගුරුවලින් (දණ්ඩෙන) පහර දීමෙන් හෝ ආයුධවලින් (සත්‍ථනෙ) පහර දීමෙන් වෙහෙසට, දුකට, වේදනාවට, හිංසනයට පත්කරන්නේ නම් එහි ප්‍රතිඵලයක් වශයෙන් මරණින් පසුව නිරයේ උපදින අතර යම් හෙයකින් මිනිස් ලොව උපදින්නේ නම් ලෙඩ රෝග බහුල, ශරීරික පීඩා බහුල තැනැත්තෙක් බවට පත් වේ. යම් කෙනෙක් සියලු සත්වයන් කෙරෙහි දයාවෙන් යුක්තව මෙත්සිත පතුරුවමින් හිතානුකම්පීව වාසය කරන්නේ නම්, ඔහු හෝ ඇය මෙම අඳුරු සහගත, දුක්ඛදායක අත්දැකීම්වලට භාජනය නොවේ. මෙම බුද්ධ වචනය අනුව කවර ආකාරයේ හිංසනයක් වුවද බුදුදහමින් අනුමතකර නොමැත.
බොහෝ ආගම්වල විවිධ අරමුණු ඇතිව මනුෂ්‍ය ඝාතනය අනුමත කළ අවස්ථා තිබෙන මුත් බුදුරදුන්ගේ නෛර්යාණික දහමෙහි ඝාතනය මෙන්ම හිංසනයත් මුළුමනින්ම බැහැරකොට තිබේ. ඒ අනුව නූතන ලෝකයට ගැලපෙන උසස්ම ආගමික හා සදාචාරාත්මක ප්‍රතිපදාව බුදුසමය බව අවිවාදයෙන්ම පිළිගැනීමට සිදු වේ.
ධම්මපදයේ දැක්වෙන පරිදි සෑම ජීවියෙකුගේ ම සහජ ස්වභාවය නම්, මරණයට මෙන්ම දණ්ඩනයට අකැමැති වීම ය. තමා මෙන් ම අන්‍යයන් ද මරණය හා හිංසනය පිළිකුල් කරයි. මෙම පොදු ධර්මතාව මැනවින් වටහාගෙන තමා උපමා කරගනිමින් අනුන් නැසීමෙන් හා ඝාතනය කිරීමෙන් වැළකිය යුතුබව එහි දැක්වේ. මේ වනාහි මෙලොව පරලොව වශයෙන් ලැබෙන ලාභ අලාභ ගැන සැලකිලිමත් වීමෙන් ඇතිකරගන්නා විරතියක් හෝ වැළකීමක් නොවේ. ආත්මාවබෝධය පදනම්කරගත් උසස් සදාචාර ඤාණයක ප්‍රතිඵලය නිසා ඇතිකරගත් ප්‍රතිපත්තියකි. පරලොව තිබුණත්, නැතත් අපාය හෝ දෙව්ලොව තිබුණත්, නැතත් ප්‍රාණඝාතය මෙන්ම හිංසනය කිසිසේත් ම අනුමත කළ හැකි දෙයක් නොවේ. ධම්මපදයේ එන යථෝක්ත ඉගැන්වීමෙන් අවධාරණය කෙරෙන්නේ අතිශයින් ම දියුණු සංස්කෘතියකට හිමිකම් කියන උසස් මිනිසෙකුගේ ආකල්පය හා චින්තනය යි. වර්තමානයේ එය වෙනත් ආකාරයෙන් නීති රෙගුලාසි හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කිරීමට උත්සුක වුව ද, බුදුරදුන්ගේ ඉගැන්වීම වන්නේ ආත්ම අවබෝධය පදනම්කරගත් උසස් සදාචාර ඤාණයක් ඇතිකර ගැනීමෙන් පමණක් එයින් වැළකීම වඩාත් නිවැරැදි පිළිවෙත බව යි.
දණ්ඩ සූත්‍රයේ දැක්වෙන පරිදි සර්පයෙකු (නයෙකූ) හිංසනයට පත්කළ කුඩා දරු පිරිස අමතා බුදුරදුන් දේශනා කළේ සැප කැමැති, සැප සොයන යම් කෙනෙක් වෙතොත් එම තැනැත්තා හෝ තැනැත්තිය සැපයට කැමැති සෙසු ජීවීන් හිංසාවට හා පීඩනයට ලක් නොකළයුතු බවයි. අනුන් හිංසනයට හා පීඩනයට භාජනය කරන්නා පරලොව දී සැප නොලබන බවද, කුඩා දරුවන්ට පැහැදිලි කළ සේක. දණ්ඩ සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ අන්‍යයන්ට හිංසා කරන්නා පරලොව දී අයහපත් දුක්ඛදායක ඉරණමකට භාජනය වන බව යි. ඒ අනුව සැප කැමැති කෙනෙක් වෙතොත් ඔහු හෝ ඇය අන්‍යයන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකිය යුතු ය. සැප යනු අතිශය පුළුල් අර්ථයකින් යුක්ත වූවකි. එය කායික හා මානසික වශයෙන් අංශ දෙකකින් යුක්ත ය. ඒ අනුව කෙනෙකු කයින් ද, සිතින් ද දුකට වේදනාවට පත්කිරීම බුදුදහමට අනුව වරදකි. ඇතැම් විට කායික හිංසනය නොකළත් මානසිකව හිරිහැර කරනු දක්නට ලැබේ. එසේම අනුන්ට හිංසා කිරීමේ දී පළමුව කිලිටි වන්නේ තම සිතයි. ද්වේෂයෙන් හා මෝහයෙන් කිලිටි වූ සිතින් කියන කරන සැම දෙයකටම ලැබෙන අනුරූපි විපාක දුක්ඛදායක ය. ඒ අනුව අන්‍යයන් පීඩාවට පත්කිරීමේ දී වැඩි හානිය ඇත්තේ එම ක්‍රියාවෙහි නිරතවන්නාට බව වටහා ගැනීම අවශ්‍ය වේ.
අවිහංසාව (අවිහිංසා සංකප්ප) උසස් චින්තනයකට උරුමකම් කියන්නකි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්ප යටතේ මෙය අවධාරණය කර තිබේ. ඒ අනුව බුදු සමය පිළිපදින ආර්ය ප්‍රතිපදාව අනුගමනය කරන්නෙකුගේ චින්තනය පරපීඩා මානසික ධර්මයන්ගෙන් තොර වූවකි. සියලු සත්වයන් කෙරෙහි යොමු වූ හිතානුකම්පී බවකින් යුක්ත, සියලු සත්වයන්ගේ සුවය කැමැතිවන (සබ්බේසත්තා භවන්තු සුඛිතත්තා) උසස් චින්තනයකින් බෞද්ධයාගේ මනස සැකසී තිබේ. බෞද්ධ සංස්කෘතිය සැකසී තිබෙන්නේ ද මෙම උසස් පුරුෂාර්ථවලින් පෝෂණය ලැබීමෙනි. වෛර කරන්නන් අතර වෛර නොකර සිටීම (වෙරිනෙසු අවෙරිනො) බෞද්ධ පිළිවෙත වේ.
එහෙත් මෙම ඉගැන්වීම මගින් පෝෂණය වූ චින්තනයක් ඇත්තේ අතිශය සුළුතර පිරිසකට පමණි. බොහෝ දෙනෙකු හිංසනයට ලැදියාවක් දක්වන බව විවිධ සිදුවීම් ඇසුරෙන් වටහාගත හැකි ය. බෞද්ධ පිළිවෙත වන්නේ හිංසනය වෙනුවට සාමයෙන් ගැටලු විසඳා ගැනීම යි. කුඩා කල සිටම හිංසනය පිටු දකින, අන්‍යයන්ට අනුකම්පා කරන, දයාවෙන් යුක්ත අයෙකු බවට පත්වීමට දරුවන්ට මගපෙන්වීමට දණ්ඩ සූත්‍රය බෙහෙවින් වැදගත් වේ. එබැවින් දෙලොවින්ම කායික හා මානසික සුවය ලැබීමට නම් හිංසාවෙන් වැළකිය යුතු ය. ලොවට හිතානුකම්පීව දයාවෙන් යුක්ත පුද්ගලයා දීර්ඝ කාලීන සැපයට හිමිකම් කියයි.
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය
චුල්ල හත්ථිපදෝපම සූත්‍රය:
චුල්ල හත්ථිපදෝපම සූත්‍රය:
ලෞකිකත්වය ඉක්ම වූ ලෝකෝත්තර තත්ත්වයකට...
මහනුවර අස්ගිරි මහා විහාරයේ
කාරක සංඝසභික හා වයඹ පළාතේ
ප්‍රධාන සංඝනායක
උපාධ්‍යාය ධුරන්ධර මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
මෙම ලිපියේ මුල් කොටස පොසොන් පුර පසළොස්වක පෝදා (ජුනි 16) පත්‍රයේ පළවිය
මේ සිව් ආකාරයෙන් ම බුදුරජාණන් වහන්සේගේ සැබෑ තත්වය දැන ගත නොහී, වාදයෙන් විවාදයෙන් , දෝෂාරෝපණයෙන් හා නින්දා අපහාස කර උන්වහන්සේගේ කීර්ති නාමය විනාශ කොට, උන්වහන්සේ පරාජය කර තම මිථ්‍යාමතවාදවලට ජනතාව වශී කරවා ක්‍රියා කරන්නට පැමිණෙන හැම මිථ්‍යා දෘෂ්ටිකයෙක් ම අවසානයේ දී උන්වහන්සේ ගේ ශ්‍රාවක බවට පත් වීම යි, මේ ඤාණ පද හතරෙන්ම ප්‍රකාශ වී තිබෙන්නේ. ඉතින් ඒ ශ්‍රාවක බවට පත් වෙන සෑම අයෙක්ම එයින් ම සෑහීමකට පත් වන්නේ නැහැ. පළමුවෙන් ම මේ සසුනෙහි පැවිදි බව ලබනවා. උපසම්පන්න බවටත් පත් වෙනවා. ඒ පිරිස එයින් අනතුරුව හුදකලා බව පි‍්‍රය කරනවා. මනාව සිහිය පිහිටුවා ගැනීමට උත්සාහ කරනවා. කෙලෙස් ඉතිරි නො කර සම්පූර්ණයෙන් ම දුරු කිරීමේ උත්සාහයක ද නියැළෙනවා. රහත් බවටත් පැමිණෙනවා. පිලෝතික පිරිවැජියා තවදුරටත් කියනවා බැරිවෙලාවත් මම බුදුරජාණන් වහන්සේ හමුවට එදා නොගියේ නම් අදත් කෙලෙස් බරින් පීඩිතව සිටිනවා.
ඒ වගේම එතෙක් තමන් මහණ බවක් නො ලැබීම මහණ වූවන් බවට ප්‍රකාශ කළා. බමුණු බවක් නැතිව ම බමුණු කුලයේ උපන් බව ප්‍රකාශ කළා. බමුණා කියලා කියන්නේ කෙලෙස් නැති කළ උතුමා යි. දැන් අපි බුදු සව්වන් වුණාට පස්සේ තමා නියම මහණකම ඇති වෙලා තිබෙන්නේ. දැන් තමා අපි සැබෑ බ්‍රහ්මණ වෙලා තිබෙන්නේ.
මේ විස්තරය අසා සිටි ජානුස්සෝණිට දැන් බරපතල අවශ්‍යතාවක් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ දැක කතාබහ කරන්නට, ඉතින් ඊට පෙර ම මේ බමුණා බුදුරජාණන් වහන්සේ ගැන පිලෝතික කළ මේ විස්තරයෙන් මහත් පැහැදීමකට පැමිණ නැගී සිටි රථයෙන් බැස බුදුරජාණන් වහන්සේ ඒ වන විට වැඩ සිටි උතුරු දිශාව බලා “නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස” යනුවෙන් තෙවරක් කියා තම සිත තුළ හටගත් පී‍්‍රතිය ප්‍රකාශ කළා. පසුව බමුණාට සිත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ දැකීමට යාමට.දෙව්රම වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. බමුණා තමා හා පිලෝතික පිරිවැජියා අතර වු සංවාදය ප්‍රකාශ කළා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදී හමුවීමට ආ බවත් ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මෙහි දී පිලෝතික කී උපමා කථාවෙන් පමණක් ම ‘හස්තිපදෝම දේශනාව“ සම්පූර්ණ නොවන බවත් එය සම්පූර්ණ කරමින් මෙසේ එය විස්තර කළා.
ඇතුන් වසන වනයකට හුරු පුරුදුව එහි ම වාසය කරන පුරවැසියෙක් මහවනයට ගියහම ඒ වනයෙහි දිගු පුළුල් ඇත් අඩියක් දකිනවා. ඒ වනවැසියා හස්ති ශිල්පය ගැන දක්ෂයෙක් නම් ඒ වනයේ සිටින විශාල ම ඇතා මේ යයි සිතන්නේ නැහැ. ඔහු සිතනවා වනයේ සිටින “වාමනිකා” නම් ඇතින්නියගේ ඇත් අඩියක් කියා. තවත් ඉදිරියට ගිය විට දකිනවා එවැනි ම විශාල ඇත් අඩි සටහන් වගේම රියන් හත අටක් උස ඇති නුග ගස් ආදියෙහි පිට උලන තැන් ඇති ඇත් සටහනක්. ඒ වෙලාවේ, මේ දක්ෂ වනවැසියා වනයේ ඉන්න විශාල ම ඇතාගේ සටහනක් ලෙස තීන්දු කරන්නේ නැහැ. මේ වනයෙහි උස්වූ රිටි වැනි පා ඇති එකක් මත එකක් ගැටී සිටින දළ ඇති “උච්චාකාලාරිකා” ඇතින්නියගේ සටහනක් ලෙස සිතනවා. තවත් ඉදිරියට යන මේ වනවැසියා දකිනවා තවත් සලකුණක්. එනම් අර විදියටම උස් වූ නුගරුක් ආදියෙහි පිට උලන ලද දළින් බිඳින ලද සිදුරු වු උස් කඳන් ඇති මහ ගස්. එයින් වනවැසියා වනයේ සිටින මහ ඇතා යයි තීන්දු නො කර “උච්චාකණෙරුකා” ඇතින්නියගේ සලකුණු යයි කල්පනා කරනවා. ඒ වනවැසියා තවත් ඉදිරියට යන විට හමුවෙනවා. දිගු පුලුල් ඇත් අඩි,උස් වු නුගරුක් ආදියෙහි පිට ඉලූ තැන් ඇති, දළින් ඇණ කඳ පසාරු කළ උස් ගස්, ඒ ගස්වල අතු ද කඩා බිඳ හෙළා ඇති ඇතෙකු ගැවසුණු තැනක සලකුණු වගේ ම ඒ ගහ මුලට එන්නා වු හෝ ගස මුල වැතිර සිටියා වු මහ ඇතෙකු දකිනවා. දැන් ඔහු තීන්දුවකට එනවා. “මේ තමා තමන් විසින් අපේක්ෂා කරපු මහ ම මහ ඇතා” යැයි කියලා.
මෙම හස්තිපදෝපමාව අනුව දැන් ධර්මානුකූල විස්තරයක් ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙහි දී පැහැදිලි කර දී තිබෙන්නේ බුදුදමේ උගන්වන අනුපූර්ව ප්‍රතිපදාව යි. සැබෑ බෞද්ධයා කියලා කියන්නේ මේ ලෝක තත්වය අවබෝධ කර ගැනුමට වෙර වඩන තැනැත්තා යි. ඔහු ලෝක තත්වය අවබෝධ කර ගැනුමට උත්සාහවත් වන්නේ මේ සසර දුක මහ ගිනිජාලාවක් සේ තමන්ට දැනෙන නිසාත්, එයින් තමන් පීඩාවට පත්ව සිටින නිසාත්. ඉතින් එයින් ඉවත් වීමට නම් අප්‍රමාදව ක්‍රියා කළ යුතු වෙනවා. විසුරුණ සිත එක්තැන් කර ගත යුතු වෙනවා. හැම විට ම පංචනීවරණ (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්චා) නිසා ඊට බාධා එල්ල වෙනවා. ඉතින් මේ උපමාවට අනුව ආරම්භයේ සිට මේ නීවරණ ප්‍රහාරණ කරන අවස්ථාව දක්වා වු කොටස ඇත්වනයට උපමා කර තිබෙනවා. දක්ෂ වනවැසියා නම් නිවන් අරමුණු කර සසර ගින්නෙන් මිඳීමට වෙර දරන යෝගාවචරයා ය . ඉතින් මහම ඇතා නම් බුදුරජාණන් වහන්සේ යි. ඉතින් ඊට පෙර වනවැසියා දකින මහ ඇතාගේ පා සටහන් දැක මේවා වාමනික, ඇතාගේ පා සටහන් මේවා කාලාරිකා ඇතින්නගේ, මේවා කණේරුකා ඇතින්නියගේ ආදී වශයෙන් හමු වෙන, හමු වෙන ඒ වගේම මහඇතාගේ යයි ද සිතෙන තරමට විශාල මේ ඇත් අඩි දැකීම නිසා යෝගාවචරයා විවිධ සැකසංඛා ඇති කරගන්නවා. මේ සැක සිතෙන පියවරෙන් උපමා කරන්නේ වෙනත් බාහිර ශාසනවල ද ඉගැන්වෙන ලෞකික අභිඥාව, ධ්‍යාන ආදියට යි. ඒ වායෙහි අවසාන විමුක්තියක් නැහැ. ඒ නිසා යෝගාවචරයා තවදුරටත් සැබෑ විමුක්තිය සොයනවා. ඒ නිසා තමා තවදුරටත් වනයේ සිටින විශාලම ඇතා සොයා ගෙන ඉදිරියට යන්නේ. පංච අභිඥා ලබුවත් ඒවායින් නිවන අරමුණු කරගත් යෝගාවචරයා සෑහීමකට පත් නොවන බව ප්‍රකාශ වෙනවා. ඒ යෝගාවචරයාගේ අධිෂ්ඨානශීලී ගමන එයින් නවතින්නේ නැතිව මහ ඇතා හෙවත් බුදුරජාණන් වහන්සේ කවුද යන්නට පිළිතුරක් සෙවීමට ම උත්සාහවත් වනවා. මෙහෙම තවත් ඉදිරියට යනකොට තමා කඩා හෙළා ඇති අතුපතර වගේම විශාල වශයෙන් උස් අතුපතර විහිදුණු නුග කඳන් පවා තම දළෙන් සිදුරු කරන ලද අතුපතර ඇති දිගු පුළුල් මහා ඇත් අඩි දකින්නේ. මෙහි දී සැබෑ නිවන අවබෝධය හෙවත් බුදුරජාණන් වහන්සේ සැබෑ වශයෙන්ම දකින තත්වයට පත් වෙනවා. ජීවිතය අවබෝධ කරගෙන සසර දුක් නිවාලනවා. මේ තමා උන්වහන්සේ විසින් දෙසූ සැබෑ ධර්මස්කන්ධය . එය අවබෝධ කරගෙන සසර නැවතීමක් දැකීම යි, යෝගාවචරයාගේ අරමුණ වුණේ. ඉතින් මිහිඳු මාහිමියන් ලක්වැසි ජනතාවට දෙන්නට අපේක්ෂා කරන පණිවුඩය කුමක් ද? යන්න පිළිබඳ පළමුවෙන් ම කරන හැඳින්වීම ලෙස යි මේ හස්තිපදෝපම දේශනාවෙන් උන්වහන්සේ විසින් පෙන්වා දී තිබෙන්නේ. දඹදිව ඉන්දියාවේ මෙන් ම ලංකාවෙත් වෙනත් ශාසනවල ඉගැන්වු ධ්‍යාන අභිඥාලාභීන් මේ වනවිටත් සිටින්නට ඇති. බුදුදහමේ අවසානය ඒ ලෞකික තත්වය ඉක්ම වූ ලෝකෝත්තර තත්ත්වය යි. එය මෙම චුල්ලහත්ථිපෝදපම සූත්‍ර දේශනාවෙන් පැහැදිලිව ඉදිරිපත් කර තිබෙනවා.
Thursday, April 1, 2021
Wednesday, March 31, 2021
සොළොස්මස්ථාන
සොළොස්මස්ථාන
මහියංගණං නාගදීපං
කල්‍යාණං පාද ලාංඡනං
දිවාගුහං දීඝවාපී
චේතියංච මුතියංගණං
තිස්ස මහා විහාරංච
බෝධිං මරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං
ථූපාරාම භයාගිරිං
ජේතවනං සේලචේතියං
තථා කාචර ගාමකං
එතෙ සොළසඨානානි
අහං වන්දාමි සබ්බදා
බෞද්ධයන් විසින් එකම ගාථාවකින් සිද්ධස්ථාන දහසයක්ම එකම තැනක සිට වන්දනා කිරීමට භාවිත කරනු ලබන සොළොස්මස්ථාන වඳීන ගාථාව නොදන්නා බෞද්ධයකු සොයා ගැනීම අපහසුය. මෙම සිද්ධස්ථාන 16 පිළිබද විස්තර මෙසේය...
01. මහියංගණ චෛත්‍යය:-
බුද්ධත්වයෙන් නව වැනි මස ලක්දිවට බුදුරජාණන් වහන්සේ පළමුවැනි වරට වැඩි ස්ථානය සිහිකිරීමට මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකර ඇත. යක්ෂ ගෝත්‍රික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයකට පත් කිරීමට මෙසේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි සේක. එම ස්ථානයට පැමිණි සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පූජා කිරීමට යමක් ඉල්ලා සිටිවිට ලැබුණ කේශධාතුන් වහන්සේ තැන්පත් කොට සමන් දෙවියන් විසින් සත් රියන් උස නිල් මැණික් චෛත්‍යයක් කරවනු ලැබීය. සරභු මහ රහතන් වහන්සේ විසින් බුදු සිරුර ආදාහනය වෙමින් තිබියදි ලබාගත් ගි‍්‍රවා ධාතුන් වහන්සේ තැන්පත් කොට දොළොස් රියන් උසට චෛත්‍යය විශාල කරන ලදී. දෙවන පෑතිස් රජතුමාගේ සොයුරු උද්ධ චූලාභය රජ විසින් තිස්රියන් උසට චෛත්‍යය විශාල කරවන ලදී. දුටුගැමුණු රජතුමා අසූරියන් උසට චෛත්‍යය විශාල කරවීය. කලක් වල්බිහිව තිබූ අතර විසිවැනි සියවසේ මැද භාගයේ දී එවකට අගමැති ඩී.එස්.සේනානායක මහතා විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදී.
02. නාගදීප චෛත්‍යය:-
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි වසරේ බක් මස චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දෙදෙනා අතර මැණික් පුටුවක් සඳහා ඇතිවූ සටනක් සමථයකට පත් කිරීමට දෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාව සිහි කිරීමට මේ ස්ථානයේ නාගදීප චෛත්‍යය ඉදිකර ඇත. මුහුදෙන් වටවූ. ‘නයිනතිව්’ නම් දූපත නාගදීපය යනුවෙන් නම් කරයි. එම සටනට හේතුවූ මැණික් පුටුව උන්වහන්සේටම පූජා කළ අතර පසුව එය තැන්පත් කොට චෛත්‍යය තනවා ඇත. රාජායතන නම් වෘක්ෂයද රෝපණය කළ බැවින් රාජායතන චෛත්‍ය නමින්ද ව්‍යවහාර වේ.
03. කැලණි චෛත්‍යය:-
බුද්ධත්වයෙන් අටවැනි වසරේ වෙසක්පුර පසළොස්වක පෝ දින බුදුන් වහන්සේ තෙවැනි වරට ලක්දිවට වැඩීම වෙනුවෙන් මෙම චෛත්‍යය තනවා ඇත. දෙවැනි වර නාගදීපයට වැඩි අවස්ථාවේදී මණිඅක්ඛික නා රජු කළ ඉල්ලීමට අනුව තෙවැනි වර කැලණියට වැඩියහ. බුදුන් වහන්සේ වැඩ සිටි මැණික් පුටුව නිදන් කොට මේ චෛත්‍යය යටාල තිස්ස රජු විසින් කරවනු ලැබ ඇත.දැනට දක්නට ඇති එකම ධාන්‍යාකර චෛත්‍යයයි. සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද බිතු සිතුවම් සහිත විහාර මන්දිරය පසු කලෙක තනවා ඇත.
04. ශ්‍රී පාදස්ථානය:
බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩි අවස්ථාවේදී සමනළ කන්දට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනළ කන්දට වැඩ වම් සිරි පතුල් සටහන තැබූ ස්ථානයයි. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු බුදු සිරිපා සටහන දහ අට රියන් ගලකින් ආවරණය කොට ඒ මත සිරිපා සටහනක් කොටා ඇති බවක්ද කියැවේ.
05. දිවාගුහාව:-
බුදුන් වහන්සේ සමනළ කඳු මත තමන් වහන්සේගේ සිරි පා සටහන තබා දිවා කාලය ගත කිරීමට පැමිණි ස්ථානය වශයෙන් මේ ස්ථානය සැලකෙයි. ‘භගවා ලෙන’ නමින් හැඳින්වෙන මේ ලෙන ඉඩකඩ ඇති ලෙනකි. මෙතැනට රාත්‍රී කාලයේ දී ශ්‍රී පාදස්ථානයේ ආලෝක ධාරා පවා හොඳින් පෙනේ.
06. දීඝවාපි චෛත්‍යය:-
බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ස්ථාන කිහිපයකම චෛත්‍යය ඉදිකර ඇති අතර දීඝවාපි චෛත්‍යයද ඉන් එකකි. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. සද්ධාතිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත.එතුමා විසින් කරවන ලද ‘දීඝවාපි’ නම් වැව අසල ඇති බැවින් චෛත්‍යයටද ඒ නම යොදා ඇත. දැනට ඉතිරිව ඇත්තේ චෛත්‍යයේ පහළ කොටස පමණකි.
07. මුතියංගණ චෛත්‍යය:-
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මේ චෛත්‍යය පිහිටි ස්ථානය බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි. ජෙට්ඨතිස්ස නම් රජ කෙනකු විසින් විශාල කොට තනවනු ලැබ ඇත. දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක්ද මෙහි වැඩ සිටිති. මලියදේව රහතන් වහන්සේ ස්ථාන සැටකදී දේශනා කළ ‘ඡඡක්ක සූත්‍රය’ අසා සැට දෙනා බැගින් රහත්වූ බවත්, මේ ස්ථානයේදීද එසේ සස රින් මිදී විමුක්තිය ලැබූ බැවින් විමුක්තිය ලැබූ තැන යන අර්ථයෙන් ‘මුතියංගණ’ යැයි නම් තබා ඇත.
08. තිස්සමහාරාමය:-
සොළොස්මස්ථාන අතර ඇති තිස්ස මහා විහාරය හම්බන්තොට ආසන්නයේ ඇති තිස්සමහාරාමය බව බොහෝ දෙනා සලකති. කාවන්තිස්ස රජතුමා විසින් තනවනු ලැබ ඇත. එතුමා විසින්ම බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ නිදන් කොට තනවන ලද සේරුවාවිල චෛත්‍යයද තිස්ස මහා විහාරය යැයි නම් කරන බැවින්, තිස්සමහාරාමය යනු සේරුවාවිල චෛත්‍යයැයිද මතයක් ඇත. කෙසේ වෙතත් තිස්සමහාරාමයද බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශය ලද භුමියකි.
09. ශ්‍රී‍්‍ර මහා බෝධින් වහන්සේ:-
මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදුසමය ගෙන එනු ලැබීමෙන් පසු ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සඟමිත් තෙරණින් වහන්සේ විසින් වැඩමවන ලදුව අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ රෝපණය කරන ලදී.
10. මිරිසවැටි දාගැබ:-
දුටුගැමුණු රජතුමා තිසාවැවට ස්නානය කිරීමට යද්දි ගලක් මත තබා ගිය කුන්තය (ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති) ආපසු පැමිණ ගැනීමට තැත් කළද අපහසු වූ බැවින් එය වටකොට තැනූ චෛත්‍ය මිරිසවැටි චෛත්‍යයයි. ආහාර ගැනීමට පෙර සංඝයා වහන්සේට පුදා ආහාර ගැනීමට පුරුදුව සිටි රජතුමාට මිරිස් මාළුවක් පිදීමට අමතක වූ අතර ඒ නිසා මීට ‘මිරිසවැටි’ දාගැබයැයි නම් කෙරිණි. සියම් රජ කුමරකුගේ ධන පරිත්‍යාගයෙන් පිළිසකර කිරීම් සිදු කෙරිණි.
11. රුවන්මැලිසෑය:-
මෙයද දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරනු ලැබ ඇත. ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් මහා සෑය නමින් හඳුන්වයි. අඩි 350 ක් උස මේ චෛත්‍යය ලක්දිව තුන්වැනි උසම චෛත්‍යයයි. බුබ්බුලාකාර හැඩයක් ගනී. දුටුගැමුණු රජතුමා මරණාසන්නව සිටියදී , වැඩ නිමවී ඇති බව පෙන්වීමට සුදුරෙදි වලින් වසා තිබී ඇත. සද්ධාතිස්ස රජ විසින් වැඩ නිම කරන ලදී.
12. ථූපාරාම චෛත්‍යය:-
ලක්දිව බුදුසමය ස්ථාපිත වීමෙන් පසු ඉදිකරවූ මුල්ම චෛත්‍යයයි. මිහිඳු මහ රහතන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමට දේවානම්පියතිස්ස රජු විසින් කරවනු ලැබ ඇත. සුමන සාමණේරයන් වහන්සේ දෙව්ලොවෙන් ලබාගත්, බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිදන් කර තනා ඇත. උස අඩි 59 කි. වසභ රජතුමා විසින් ඒ වටා චේතිය ඝරයක් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි භූමියකි.
13. අභයගිරි චෛත්‍යය:-
ලෝකයේ උසම චෛත්‍ය අතරින් දෙවැනි වන මෙම චෛත්‍යය ලක්දිවද දෙවැනි උසම චෛත්‍යයයි. අඩි 370 ක් උසවේ. වට්ටගාමිණී අභය (වළගම්බා) රජු විසින් කරවනු ලැබ ඇත. රජු පලා යද්දී ‘මහා කළු සිංහලයා පලායයි’ යනුවෙන් කී ගිරි නිඝණ්ඨක සිටි ආරාමය කඩා බිඳ දමා දෙවැනි වරට බලයට පැමිණ මෙය කරවා ඇත. තමාගේ නම හා ගිරි නිඝන්ඨයාගේ නම එක් කොට නම් කර ඇත. සැඟවී සිටියදී රැකවරණය දුන් කුපික්කල විහාරතිස්ස හිමියන්ට පූජා කර ඇත. ඒ සිද්ධියට සමගාමීව ලක්දිව නිකාය භේදය ආරම්භ විය. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ අභයගිරි චෛත්‍යයෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙයි.
14. ජේතවන චෛත්‍යය:-
ලෝකයේ උසම හා ලක්දිව උසම චෛත්‍යයයි. අඩි 400 ක් උසය. මහසෙන් රජතුමා විසින් බුදුන් වහන්සේගේ පටි ධාතුන් වහන්සේ තැන්පත් කොට කරවනු ලැබ ඇත. කොහොන්තිස්ස නම් භික්ෂුන් වහන්සේට පූජා කර ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි තැනකි. සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ පිළිසකර කෙරෙයි.
15. සේල චෛත්‍යය:-
මිහින්තලයේ අම්බස්ථලයට ඉහළින් ගල්තලාවක පිහිටි බැවින් ශෛල හෙවත් සේල චේතිය යැයි නම් කෙරෙයි. බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ තැන්පත් කොට තනවා ඇත. මහා දාඨික මහානාග රජ විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ මෙබිමෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඇත.
16. කතරගම කිරි වෙහෙර:-
දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග රජු විසින් කරවනු ලැබ ඇත. බුදුන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි රන් පුටුවද කේශධාතුන් වහන්සේ ද නිදන් කොට මේ චෛත්‍යය කරවා ඇත. මුලින් මංගල මහා චෛත්‍ය යැයි නම් කර ඇති අතර කිහිරි ගස්වලින් යුත් උයනක කරවූ බැවින් කිරි වෙහෙර යැයි නම් කෙරිණි. මේ අසලම අෂ්ඨඵල බෝධින් වහන්සේගෙන් එක් නමක් රෝපණය කර ඇත.
ඉහත සඳහන් කළ සොළොස්මස්ථාන හැර තවත් බෞද්ධ පුද බිම් රැසක්ම අපට හිමිව ඇත. මේ අතරින් බුදුන් වහන්සේගේ එක් දළදා වහන්සේ නමක් සුරක්ෂිතව තැන්පත් කොට වැඳුම් පිදුම් කරන මහනුවර දළදා මැඳුර, තවත් දළදා වහන්සේ නමක් නිදන් කොට තනා ඇති සෝමවතී චෛත්‍යය, බුදුන් වහන්සේගේ ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති සේරුවාවිල චෛත්‍යය, තපස්ස භල්ලුක වෙළෙඳ සොහොයුරන්ට ලැබුණු කේශධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදිකර ඇති ගිරිහඬු සෑය, එසේම අවුකන, මාලිගාවිල සහ පොළොන්නරුවේ ගල් විහාරය වැනි සිද්ධස්ථානද අතිශය වැදගත්කමක් ගනී...
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...