Wednesday, March 17, 2021

Na Uyane Ariyadhamma Thero


 

සකලික සූත්‍රය





එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති මද්දකුච්ඡිස්මිං මිගදායෙ. තෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය (සක්ඛලිකාය (ක.)) ඛතො හොති. භුසා සුදං භගවතො වෙදනා වත්තන්ති සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා (තිප්පා (සී. ස්‍යා. කං. පී.)) ඛරා කටුකා අසාතා අමනාපා; තා සුදං භගවා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො. අථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්‍යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො.

අථ ඛො සත්තසතා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං මද්දකුච්ඡිං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘නාගො වත, භො, සමණො ගොතමො; නාගවතා ච සමුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘සීහො වත, භො, සමණො ගොතමො; සීහවතා ච සමුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘ආජානීයො වත, භො, සමණො ගොතමො; ආජානීයවතා ච සමුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘නිසභො වත, භො, සමණො ගොතමො; නිසභවතා ච සමුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘ධොරය්හො වත, භො, සමණො ගොතමො; ධොරය්හවතා ච සමුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘දන්තො වත, භො, සමණො ගොතමො; දන්තවතා ච සමුප්පන්නා සාරීරිකා වෙදනා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං උදානං උදානෙසි - ‘‘පස්ස සමාධිං සුභාවිතං චිත්තඤ්ච සුවිමුත්තං, න චාභිනතං න චාපනතං න ච සසඞ්ඛාරනිග්ගය්හවාරිතගතං (සසඞ්ඛාරනිග්ගය්හවාරිතවතං (සී. ස්‍යා. කං. පී.), සසඞ්ඛාරනිග්ගය්හවාරිවාවතං (ක.)). යො එවරූපං පුරිසනාගං පුරිසසීහං පුරිසආජානීයං පුරිසනිසභං පුරිසධොරය්හං පුරිසදන්තං අතික්කමිතබ්බං මඤ්ඤෙය්‍ය කිමඤ්ඤත්‍ර අදස්සනා’’ති.

‘‘පඤ්චවෙදා සතං සමං, තපස්සී බ්‍රාහ්මණා චරං;

චිත්තඤ්ච නෙසං න සම්මා විමුත්තං, හීනත්ථරූපා න පාරඞ්ගමා තෙ.

‘‘තණ්හාධිපන්නා වතසීලබද්ධා, ලූඛං තපං වස්සසතං චරන්තා;

චිත්තඤ්ච නෙසං න සම්මා විමුත්තං, හීනත්ථරූපා න පාරඞ්ගමා තෙ.

‘‘න මානකාමස්ස දමො ඉධත්ථි, න මොනමත්ථි අසමාහිතස්ස;

එකො අරඤ්ඤෙ විහරං පමත්තො, න මච්චුධෙය්‍යස්ස තරෙය්‍ය පාර’’න්ති.

‘‘මානං පහාය සුසමාහිතත්තො, සුචෙතසො සබ්බධි විප්පමුත්තො;

එකො අරඤ්ඤෙ විහරමප්පමත්තො, ස මච්චුධෙය්‍යස්ස තරෙය්‍ය පාර’’න්ත්න්ත්ති.

 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුනේය. (එයින්) භාග්‍යවතුන් වහන්සේට දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, බලවත් කායික දුක් වේදනාවෝ උපන්හ. භාග්‍යවතුන් වහන්සේ වනාහි එළඹ සිටි සිහි ඇතිසේක්, නුවණ ඇති සේක්, එහෙයින් නොපෙළෙන්නාහු ඒ වේදනාවන් ඉවසන සේක.

එකළ භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පටක් කොට පණවාගෙන දකුණු පය පිට වම් පය මඳක් ඉක්මවා තබා සිහිනුවණැතිව දකුණු ඇලයෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු) ශයනය කළ සේක.

එකල්හි වනාහි සත්සියයක් සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු මද්දකුච්ඡි වනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙක පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.

එවිට එක් පසෙක සිටියාවූ එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍ය පහළ කෙළේය.

“ස්වාමීනි, පුදුමයෙකි’. ශ්‍රමණ ගෞතම තෙම හස්තියෙකි. එසේ ඇතෙකු බැවින්ම තමහට ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහිනුවණ ඇතිව පීඩා නොවිඳිමින් ඉවසයි.”

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

“ස්වාමීනි, පුදුමයෙකි’. ශ්‍රමණ ගෞතම තෙම සිංහයෙක. සිංහයෙකු නිසාම, ඇතිවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශරීරගත වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.”

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

“ස්වාමීනි, පුදුමයෙකි’. ශ්‍රමණ ගෞතම තෙම ආජානීයයෙක’. ආජානීය බැවින්ම හටගත් දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහි නුවණ ඇතිව නොපෙළෙමින් ඉවසයි.”

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

“පින්වත්නි පුදුමයකි’. ශ්‍රමණ ගෞතම තෙම (ගවයන් ලක්‍සයකට අධිපතිවූ නීසහයෙක) අප්‍රතිසමයෙක.සමාන කිරීමට අනිකෙක් නැත්තෙක). අප්‍රතිසම බැවින්ම හටගත් දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, ශාරීරික වේදනාවන් සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසයි.”

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේය.

“පින්වත්නි, පුදුමයකි’. ශ්‍රමණ ගෞතම තෙම බර උසුලන්නෙකි. බර උසුලන්නෙකු හෙයින්ම හටගත් ශාරීරිකවූ, දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාව සිහිනුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසයි.”

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

“ස්වාමීනි, පුදුමයකි’. ශ්‍රමණ ගෞතම තෙම දැමුණු කෙනෙක, දැමුණු බැවින්ම ශාරීරිකවූ දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, වේදනාවන් සිහි නුවණින් යෙදී පීඩා නොලබමින් ඉවසයි.”

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේය.

“බලන්න, හොඳින් වඩනාලද සමාධියක්’. නොනැමුණු, අරමුණින් ඉවතට නොනැමුණු, අනුන්ගේ මෙහෙයීමෙන් කෙලෙසුන් මැඩ, ඔවුන් වළක්වාලීම් නැති තැන්පත්වූ සිතක්.’ මෙබඳුවූ පුරුෂ ඇතෙකු, පුරුෂ සිංහයෙකු, පුරුෂාජානීයකු, අසම පුරුෂයකු, පුරුෂ ධෝරය්හයකු, පුරුෂදාන්තයකු, පෙළියයුත්තකු කොට යමෙක් සිතන්නේ නම්, එය ඔහුගේ අඥාන බව විනා අන් කිමෙක්ද?”

“වේද පහ දරන්නාවූ අවුරුදු සියයක් තවුස්දම් රකිමින් හැසිරෙන බමුණෝ වෙද්ද, ඉදින් ඔවුන්ගේ සිත මනාකොට නොමිදුනේ නම්, හීන බව (මාර්‍ග ඵල නොලත් බව) ස්වභාව කොට ඇති ඔවුහු නිවන් කරා යන්නෝ නොවෙත්.

“තණ්හාවෙන් මැඩුණු ව්‍රත හා ශීලයෙන් බැඳුනු තැනැත්තෝ අවුරුදු සියයක් රූක්‍ෂ තපස් කරන්නෝ නමුත්, ඔවුන්ගේ සිත මනාව නොමිදුනේ නම් පිරිහුණු බව ස්වභාවකොට ඇති ඔවුහු නිවන් වෙත යන්නෝ නොවෙත්.

“මෙලොව මානය පතන්නහුගේ සිතේ දමනයක් නැත. එකඟ නොවූ සිතැති ඔහුගේ චතුරාර්‍ය්‍ය සත්‍යය දැනීමෙක් නැත. පමා තැනැත්තේ හුදකලාව වනයෙහි වසන්නේ නමුදු සසරින් පරතෙරට යාගත නොහැක්කේය.”

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මානය දුරලා මනාව එකඟ නර ගත් සිතැත්තේ, නුවණින් යුක්තවූයේ, සියලු ලෙසින් මිදුණු තැනැත්තේ හුදෙකලාව අප්‍රමාදව වනයෙහි වසන්නේ, ඔහු සසරින් එගොඩට යන්නේය.”







Tuesday, March 16, 2021

Na Uyane Ariyadhamma Thero

 


සමය සූත්‍රය

 



එවං මෙ සුතං - එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි; දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්‍යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච. අථ ඛො චතුන්නං සුද්ධාවාසකායිකානං දෙවතානං එතදහොසි - ‘‘අයං ඛො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි; දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්‍යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච. යංනූන මයම්පි යෙන භගවා තෙනුපසඞ්කමෙය්‍යාම; උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ පච්චෙකං ගාථං (පච්චෙකගාථං (සී. ස්‍යා. කං. පී.)) භාසෙය්‍යාමා’’ති.

අථ ඛො තා දෙවතා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය. එවමෙව - සුද්ධාවාසෙසු දෙවෙසු අන්තරහිතා භගවතො පුරතො පාතුරහෙසුං. අථ ඛො තා දෙවතා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘මහාසමයො පවනස්මිං, දෙවකායා සමාගතා;

ආගතම්හ ඉමං ධම්මසමයං, දක්ඛිතායෙ අපරාජිතසඞ්ඝ’’න්ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘තත්‍ර භික්ඛවො සමාදහංසු, චිත්තමත්තනො උජුකං අකංසු (උජුකමකංසු (සී. ස්‍යා. කං. පී.));

සාරථීව නෙත්තානි ගහෙත්වා, ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතා’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘ඡෙත්වා ඛීලං ඡෙත්වා පලිඝං, ඉන්දඛීලං ඌහච්ච මනෙජා;

තෙ චරන්ති සුද්ධා විමලා, චක්ඛුමතා සුදන්තා සුසුනාගා’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස්සන්ති අපායභූමිං;

පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස්සන්තී’’ති.


මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සියල්ලන්ම රහතුන්වූ, භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහද් ඝික්‍ෂු සමූහයා හා ශාක්‍ය රටෙහි කපිලවස්තු නගරය සමීපයේ මහා වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත්, භික්‍ෂු සංඝයාත් දැකීම පිණිස දසදහසක් සක්වළින් දෙවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහුය.

එකල්හි වනාහි ශුද්‍ධාවාස බ්‍රහ්මලෝකවාසී දෙවියන් සතරදෙනෙකුන්ට මේ සිත විය. “මේ භාග්‍යවතුන් වහන්සේ වනාහි සියල්ලන්ම රහතුන්වූ භික්‍ෂූන් පන්සියයක් පමණවූ මහද් භික්‍ෂු සමූහයා හා සමගව ශාක්‍ය රටෙහි කිඹුල්වත් පුර සමීපයෙහිවූ මහ වනයෙහි වාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂු සංඝයාත් දැකීම පිණිස දසසහස්‍ර ලෝක ධාතුවෙහි දේවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහු වෙත්. අපිත් භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණෙන්නමෝ නම්, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙනම ගාථාවක් (බැගින්) කියන්නමෝ නම් ඉතා යෙහෙක.”

ඉක්බිති ඒ දෙවතාවෝ ශක්තිමත් පුරුෂයෙක් යම්සේ හැකුඵෑ අතක් දික් කරන්නේද, දික් කළ අතක් හකුළන්නේද, එමෙන්ම ශුද්‍ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි අතුරුදහන් වූවාහු, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවූහු.

ඉක්බිති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ. පසෙක සිටිඑක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

“වනයෙහි මහා සමූහයෙකි. දේව සමූහයෝ එක් රැස් වූවාහ. අපිදු කිසිවකු විසිනුදු පැරදවිය නොහෙන, සංඝයා දැකීම සඳහා මේ ධර්‍ම සමාගමයට ආවෙමු.”

එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

“ඒ ධර්‍ම සමාගමයෙහි භික්‍ෂූහු තමන් සිත් සමාධියෙහි යෙදූහ. ඎජු කළහ. යොත් අල්ලාගෙන ඉන්නා රියැදුරන් මෙන් නුවණ ඇත්තෝ ඉන්‍ද්‍රියයන් රකිත්”

එවිට අන් දෙවියෙක් භග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

“පසැස් ඇති ශාස්තෘාන් වහන්සේ විසින් මනාකොට හික්මවනලද, තරුණ ඇතුන් බඳුවූ, (රාග, ද්වේෂ, මෝහ නමැති) කණුව සිඳ, (රාග, ද්වේෂ, මෝහ නමැති) අගුල සිඳ, (රාග, ද්වේෂ, මෝහ නමැති) එළිපත උදුරා, තණ්හා කම්පන රහිත වූවාහු, උප ක්ලේශ නැත්තෝව, නිර්‍මලව හැසිරෙත්.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

“යම් කෙනෙක් බුදුන් සරණ ගියෝ නම්, ඔවුහු අපාය භූමියට නොයන්නාහ, ඔවුහු මිනිසත් බව හැර දෙව් පිරිස පුරාලන්නාහ.”














10-4 කුණ්ඩධාන තෙරුන්ගේ කතා පුවත.

 

10-4 කුණ්ඩධාන තෙරුන්ගේ කතා පුවත. 

මාවොච ඵරුසං කඤ්චි, වුත්තා පටිවදෙය්‍යු තං (පටිවදෙය්‍යුං තං (ක.));

දුක්ඛා හි සාරම්භකථා, පටිදණ්ඩා ඵුසෙය්‍යු තං (ඵුසෙය්‍යුං තං (ක.)).

කිසිවකුට පරුෂ වචනයක් නොකියව. (තා විසින් පරුෂ වචන) කියන ලද්දාවූ අන්‍යයෝ තට පෙරළා කියති. එසේම, එකටෙක කථාව දුක්ය. තට පෙරළා දඬුවම් ලැබෙයි.

සචෙ නෙරෙසි අත්තානං, කංසො උපහතො යථා;

එස පත්තොසි නිබ්බානං, සාරම්භො තෙ න විජ්ජති.

ඉදින් (වටින්) කැඩූ ලොහොතලියක් මෙන් තාගේ සිත නිශ්ශබ්ද කෙළෙහි නම් නිවණට පැමිණියා නම් වෙහි. තට පෙරළා දෙසීම් නොවන්නේය.

“ මාවොච ඵරුසං කඤ්චි” යන මේ දෙසුම ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩසිටිය දී කුණ්ඩධාන තෙරුන් නිමිති කරගෙන දේශනාකළ සේක.

උන්වහන්සේ පැවදි වූ දින පටන් එක් ස්ත්‍රී රුවක් තෙරුන් සමගම හැසිරෙයි. ඇයව තෙරුන් වහන්සේට නොපෙනේ. නමුත් මහජනයා දකී. ඇතුළුගම පිඬුපිණිස හැසිරෙන විටද මිනිස්සු එක් දානයක් පුදා - ස්වාමීනි මෙය ඔබවහන්සේටය. මෙය ඔබ වහන්සේගේ සහායිකාවටයයි කියමින් දෙවැනි දානයක්ද දෙති.

(මෙසේ වන්නට කාරණා කවරේද යත්)

අතීතයේ කාශ්‍යප බුද්ධ කාලයේදී යහළු භික්ෂූහු දෙනමක් එක මවකගේ කුසින් ඉපදුණ ලෙස ඉතා දැඩි සමගියෙන් විසූහ. දීර්ඝායුෂ්ක කාලයේ දී අවුරුදු පහක් හෝ අට වසරක් පාසා හෝ භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම සඳහා එක්රැස් වෙති. එනිසා ඒ භික්ෂූන් වහන්සේලා දෙනමද පොහොය කරන ගෙට යන්නෙමුයි. වාසය කළ තැනින් නික්මුණාහුය.

තවුතිසා භාවනා වසන දේවතාවියක් මේ තෙරවරුන් දැක මේ දැඩි සමඟිය බිඳින්නට හැකිදැයි සිතා තමාගේ බාල බැවින් (පව්කාරසිත නිසා) එසේ කිරීමට සිතා ගත්තාය. ඉක්බිති එක් භික්ෂුවක් විසින් ඇවැත්නි, මොහොතක් ඉන්න, මට ශරීරකෘත්‍ය කිරීමට අවශ්‍යයයි පවසා මදක් ඈතට ගියේය. ඒ දේවතාවිය එහිදී ගැහැනියකගේ වෙසක් මවාගෙන තෙරුන් ගියතැනට පිවිස. නික්මෙන අවස්ථාවේදී එක් අතකින් කෙස් කළඹ ද අනෙක් අතින් ඇඳසිටි රෙද්ද ද (වස්ත්‍රයද) සකස් කරමින් තෙරුන්ගේ පිටුපසින් නික්මී ආවාය. උන්වහන්සේ ඇය නොදකී. ඇය එද්දී පෙරටුව ගමන් කළ භික්ෂූන් වහන්සේ නැවතී. බලමින් සිටින්නේ ඒ ස්ත්‍රිය එන අයුරු දුටුවේය. ඇය එම තෙරුන් දුටුබව දැනගෙන අතුරුදහන් වූවාය. මේ නිසා අනෙක් භික්ෂුව තමා ළඟට පැමිණි අවස්ථාවේ දී - ඇවැත්නි ! සිල්බිඳුනා නේදැයි විමසුවේය. නැත ඇවැත්නි මම එබඳු දෙයකට පත්නොවුවෙමි යයි පැවසූහ.

මේ දැන් ඔබ පසුපසින් ආ තරුණ ස්ත්‍රිය (ඇඳිවත හදමින් පැමිණිය) දිටුවෙමි. ඔබ එසේ නොවේයයි පවසන්නේ කුමක් හෙයින්ද? එවිට අනෙක් භික්ෂුව හිසමත හෙණයක් වැටුන සේ ඇවැත්නි මා නොනසවයි ද මම එබඳු වරදක් නොකෙළෙමි යයි ද පැවසූහ. එවිට අනෙක් සහායක භික්ෂුව මම දැන් දෑසින් දුටුදෙය නුඹ නො අදහන්නේදැයි සැරයටි කෙළවර කඩා දමා යන්නට ගියේය.

පොහොය කරන ගෙයි ද මොහු සමග මම පොහොය නොකරමි යි වාඩි වූයේය. අනෙක් භික්ෂුව ස්වාමීනි මගේ සිල්වත්බවේ ඉතා කුඩා පලුද්දක් හෝ නැතැයි භික්ෂූන්ට දන්වා සිටියේය. අනිත් තෙරුන් ද දෑසින් දකින ලද දේ පැවසුවේය. දේවතාවිය මෙම භික්ෂුව සමග පොහොය නොකරන බව දැක - මා විසින් බැරෑරුම් දෙයක් කරන ලදැයි සිතා ස්වාමීනි මම නිසා තෙරුන්ගේ සිල් බිඳීමක් සිදුනොවීය මම උන්වහන්සේ පරීක්ෂා කිරීම සඳහා එය කෙළෙමි. ඒ නිසා මුන්වහන්සේ සමග පොහොය කරන්නැයි පවසා සිටියාය. උන්වහන්සේ ඇය අහසෙහි සිට කියනා විට අදහාගෙන පොහොය කරන ලදී. (පිරිසිදු යයි සිතා පොහොය කළත්) ඒ තෙරුන් වහන්සේ පෙර දී මෙන් මෘදු සිතක් නොවීය. දේවතාවිය විසින් පෙර දින දී කරන ලද කර්මය මෙපමණි.

ආයු කෙළවර තෙරුන් වහන්සේලා සුවසේ ඉපදුණහ. දේවතාවිය අවීචියේ ඉපදී බුද්ධාන්තර කල්පයක් එහි පැසී මේ බුද්ධෝත්පාද සමයේදී සැවත් නුවර ඉපිද වැඩිවියට පත්ව සසුනේ පැවිදිවිය. උපසම්පදාවද ලැබුවේය. ඔහු පැවිදි වූ දා සිට ඒ ස්ත්‍රී රුව පෙර ලෙසටම පෙනෙන්නට විය.

මේ නිසාම උන්වහන්සේට කුණ්ඩධාන යන නම යෙදූහ. ඔහු එසේ හැසිරෙනු දැක භික්ෂූන් වහන්සේලා අනේපිඬු සිටුතුමන්ට සිටුතුමනි ! මේ දුසිල් තැනැත්තා ඔබේ විහාරයෙන් බැහැර කරන්න. මොහු (මේ භික්ෂුව) නිසා අනෙක් භික්ෂූන්ට ද අපකීර්තියක් ඇතිවේ යයි පැවසූහ.

සිටුවරයා, ඇයි ස්වාමීනි ! බුදුරජාණන් වහන්සේ විහාරයේ නොසිටිත්ද? උපාසකතුමනි බුදුහු සිටිතියි පැවසූහ. එසේ නම් ස්වාමීනි තථාගතයන් වහන්සේ (කළයුතු දේ) දනිතියි පැවසීය. එහෙත් භික්ෂූන් වහන්සේලා ගොස් විශාඛා උපාසිකාවට ද දැනුම් දුන්හ. ඇය ද සිටුතුමා කී ලෙසටම පිළිතුරු දුන්නාය. භික්ෂූහු ඔවුන් විසින් කී වචනය නොපිළිගෙන - රජතුමා වෙත ගොස් මහරජ, කුණ්ඩධාන තෙරුන් එක් ස්ත්‍රියක් සමග නිතර සැරිසරමින් සියළු භික්ෂූන්ට අපකීර්තිය ඇති කරයි. එනිසා මහරජ ඔබ විසින් මේ භික්ෂුව ඔබතුමන්ගේ බල ප්‍රදේශයෙන් (විජිතයෙන්) පිටමන් කරන්න යයි පැවසූහ. රජතුමා ස්වාමීනි ඔහු කොහේ සිටීද? මහරජ දෙව්රම් විහාරය තුළ සිටී. කිනම් ආවාස කුටියේ සිටීද? අසවල් කුටුයේ යයි පැවසූහ. හොඳයි එසේනම් ඔබ වහන්සේලා යන්න මම ඔහුව අල්වාගන්නෙමියි පැවසීය. රජතුමා සවස විහාරයට ගොස් එම සෙනසුන මිනිසුන් ලවා වටකරවා තෙරුන් සිටින කුටියට අභිමුඛව සිටියේය. තෙරුන් වහන්සේ මහා ශබ්ධය අසා විහාරයෙන් නික්මී දොරටුව ඉදිරියේ සිටියහ. ඒ ස්ත්‍රී රුවද පිටුපස සිටිනු රජ දුටුවේය.

තෙරුන් වහන්සේ රජුගේ පැමිණීම දැන නැගි සිටියහ. රජතුමා තෙරුන් නොවැන්දේය. ඒ ස්ත්‍රීරූපය ද නො දුටුවේය. ඔහු දොර අස්සේ ද ඇඳයට ද බලන්නේ නොදැක තෙරුන්ට මෙසේ කීවේය. ස්වාමීනි ! මෙතැන එක් ස්ත්‍රියක් දුටුවෙමි. ඇය කිනම් කෙනෙක්දැයි විමසීය. මහරජ මම නොදකිමි. මම දැන් ඇය ඔබවහන්සේ පිටුපස සිටිනු දුටුවෙමි. කීවිට - නොදනිමි මහරජයයි පැවසූහ. රජු මේ කුමක් දැයි සිතමින් ස්වාමීනි ! මෙහි ඉන්න යයි පවසා, තෙරුන් වහන්සේ එහි සිටිවිට නැවත ඇය තෙරුන් පිටුපස සිටියාය. රජු ඇය දැක නැවත උඩ තලයට නැගුනි. ඇය ගියබව දැන තෙරුන් වාඩිවිය. නැවතද රජු ඇය සියළු තැන්හි බලන්නේ නොදැක - ස්වාමීනි ඇය කවර කෙනෙක්දැයි නැවත විමසීය. මම නොදකිමියි තෙරුන් පැවසූහ. ස්වාමීනි දැන් ඇය ඔබ පිටුපස සිටිනු දුටුවෙමි. එසේය මහරජ - මහජනයාද මා පසුපස කාන්තාවක් යන්නේ යයි කියති. මම නම් නොදකිමි පැවසූහ. රජතුමා ප්‍රතිරූපයක් යයි සිතා නැවත තෙරුන් වහන්සේට නැගී සිටින්නැයි පවසා තෙරුන් ඉදිරි පස සිටියේ නැවත ද ස්ත්‍රීරූපය තෙරුන් පිටුපස දැක ඉදිරියෙන් නැගී සිට බලන්නේ ඒ රුව නොදුටුවේය. නැවත තෙරුන්ගෙන් දුටුවේ දැයි විමසා මම නො දුටුවෙමියි පැවසූවිට ප්‍රතිරූපයක් යයි නිශ්චය කරගෙන තෙරුන්ට පැවසීය.

ස්වාමීනි මෙබඳු කෙළෙසීමක් ඔබ වහන්සේ පිටුපසින් හැසිරෙන කළ කිසිවෙක් ඔබ වහන්සේට ආහාර නොදෙන්නේ නම් නිතර මගේ මාළිගයට පිවිසෙන්න මමම ඔබ වහන්සේට සිවුපසයෙන් උවැටන් කරමියි ආරාධනා කොට ගියේය.

භික්ෂූන් වහන්සේලා - බලන්න ඇවැත්නි - රජුගේ පව්කාරකම මේ තැනැත්තා විහාරයෙන් බැහැර කරන්නැයි කීවිට, මෙහි පැමිණ සිවුපසයෙන් උවැටන් කිරීමට ආරාධනා කර ගියේ යැයි ඝෝෂාකළහ. ඒ තෙරවරු එම්බා දුස්ශීලය ඔබ දැන් “රාජකුණ්ඩ” බවට පත්වූයේයි කීහ.

ඒ භික්ෂුව ද කලින් භික්ෂූන්ට කිසිවක් කියන්නට අසමත්වූයේ දුස්ශීලයෝ තෙපිය. කුණ්ඩයෝ තෙපියි තෙපි ගැහැනියක් සමග හැසිරෙන්නෝයි සිතා චෝදනා කළහ. එම භික්ෂූන් එවිට බුදුන් හමුවට ගොස් ස්වාමීනි කුණ්ඩධාන අප දුසිල්වතුන් ආදිය කියමින් නින්දා කරයි යනුවෙන් පැවසූහ. බුදුරජාණන් වහන්සේ කුණ්ඩධාන තෙරුන් කැඳවා ඔබ භික්ෂූන්ට මෙලෙස නින්දා කරන්නේ දැයි විමසූහ. ස්වාමීනි ඇත්ත. මම මෙලෙස චෝදනා කළෙමි. කුමක් නිසා එලෙස නින්දා කළේදැයි විමසූහ. මට කියන ලද චෝදනාව නිසායයි පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි. කුමක් හෙයින් මේ භික්ෂුවට චෝදනා කළේදැයි විමසූහ. එහිදී මොහු පසුපස එක් ගැහැනියක් හැසිරෙන හෙයින් යයි පැවසූ විට - එසේ නොදුටු ඔබ මේ භික්ෂූන්ට එලෙස නොදැක චෝදනා කිරීම වරදක්බව පෙන්වාදී ඔබ පෙර අත්බවයක දී කළ වරදක් නිසා මෙසේ සිදුවී යයි පවසා කවර හෙයින් නැවත එබඳු දෘෂ්ටියක් ගන්නේදැයි ප්‍රශ්නකළහ. භික්ෂූන් වහන්සේලා මොහු විසින් පෙර කුමක් කරන ලද්දැයි බුදුන්ගෙන් විමසූහ. බුදුරජාණන් වහන්සේ ඔහු විසින් පෙර (දේවතාවියක් ව සිටියදී) කළ බැරෑරුම් කර්මය විස්තරකර දී එම පාපකර්මය නිසා මෙබඳු පාපී දෘෂ්ටියක් (විප්‍රකාරයක්) ඇතිවීයයි පවසා දැන් නැවත එබඳු පාප දෘෂ්ටියක් ගැනීම යුතු නොවේයයි පෙන්වා එම භික්ෂුවට කිසිවක් නොකියන ලෙසට නියමකොට නිහඬව මුවවිට බිඳුන කස්ලෝ තලියක් සේ නිහඬ වන්නැයි පැවසූහ. මෙසේ කරන්නේ නිවන් පසක් කරන්නෙක් බවයි වදාරා පිළිවෙළ කථාව සබඳකොට අවවාද කර මේ ගාථාව දේශනාකළහ.

නොකියනු අනුන්හට කිසිවිට පරුස වදන්

එකටෙයක කීම නුසුදුසුමය එකට ඉඳන්

දබරය කරනු ඇත ඔබගේ සතුට නිදන්

නිසලව සිටින්නට හැකි අය අනති උදන්

කිසිවෙකුටත් රළු වදනක් නොකියන්න. එසේ කියන්නාට පෙරළා රළුවදනක්ම අසන්නට ලැබේ. යම් හෙයකින් එකටෙක කියාගැන්ම නිසා ඒ ප්‍රතිවචන විඳින්නට සිදුවේ.

කිසිවෙකුට පරුෂ වචන නො කියව කට කැඩුණු ලෝහ තලියක් සේ, තමන් නිශ්චල කොට රැකගත හැක්කේ නම් එසේ වූ ඇය නිවන් ලැබීමට සුදුස්සෝය.

එහි මාවොච ඵරුසං කඤ්චි - එක් පුද්ගලයෙකුට ද නපුරු වචන නොකියන්න වුත්තානි අන් අයට දුසිල්වතුන් යයි කීවිට තමන්ට ද එලෙසම චෝදනා කරති. සාරම්හකථාති - මෙබඳු එකට එක කීම දුකෙකි. පටිදණ්ඩාති - කායදණ්ඩ ආදී අන් අය නසන - පීඩා කරනවිට එබඳුම පීඩනයකට තමන් ද නතුවේ සචෙ නෙරෙසීති - ඉදින් තමා නිසල කරන්නට හැකිවේද? කංසො උපහතො යථාති - ගැටිය කැඩුන - කළය පමණක් ඉතිරිවු කස්ලෝ තලියකට අත්පාවලින් හෝ - දණ්ඩකින් හෝ පහර දුන්විට ශබ්ද ඇති නොවේ. ඵස පත්තොසීති එබඳු නිහඬ ස්වරූපයකට පත්වීමට හැකිවේද? මේ ප්‍රතිපදාව ගෙනයනවිට (පුරණවිට) මෙලොවදී නිවන් නොලැබුවද නිවන් ලැබුවේ නම් වේ.

සාරම්හොතෙ නවිජ්ජති - මෙසේ ඇතිවිට නුඹ දුසිල්ය මම දුසිල්ය - යන මේ ආදී පිළිතුරු ලෙස කියන වදන් එකට එක කියා ගැනුම් නැත. නො වන්නේය. දේශනාව කෙළවර බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ. කුණ්ඩධාන තෙරුන් ද බුදුන් විසින් දෙන ලද අවවාද අසා රහත් වූහ. නොබෝ දිනකින්ම අහසේ සිට පළමු දානය පිළිගත්හ.

Sunday, March 14, 2021

සත්පුරුෂ සේවනයෙහි සප්ත අනුසස්

 සත්පුරුෂ සේවනයෙහි සප්ත අනුසස්




අත්තනගල්ල රාජමහා විහාරවාසී

රාජකීය පණ්ඩිත

මිහිඳුපුර සුජීව හිමි


බෞද්ධ සමාජයේ කැපී පෙනෙන යහපත් ගුණ ධර්මයන්ගෙන් අනූන වූ පුද්ගලයන් සත්පුරුෂයන් වශයෙන් හඳුනා ගැනීමට අපි පුරුදු වී සිටිමු.


එහෙත් බුදුරජාණන් වහන්සේ පෙර සඳහන් කළ පුද්ගලයන් පමණක් නොව චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරු දැක්මක් ඇති ආර්ය පුද්ගලයන් ද වෙසෙසින් සත්පුරුෂයන් වශයෙන් දක්වා වදාළ බව පෙනේ (තථූපමං සප්පුරිසං වදාමි, යො අරියසච්චානි අවෙච්ච පස්සති, සු.නි.රතනසුත්ත) ඒ අනුව සත් යන්නෙන් යහපත්, නිවැරැදි , හොඳ යන අර්ථ ජනිත වන අතර එබඳු ගුණයන්ගෙන් සමන්විත පුද්ගලයන් සත්පුරුෂයන් වශයෙන් හඳුනා ගත හැකි වේ. (සත් +පුරුෂ) බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයන් හැඳින්වීම සඳහා පණ්ඩිත, සබ්භි. මේධාවී, පඤ්ඤාවන්ත, අය්‍ය, භද්ද, හා පුරිසුත්තම වැනි වදන් යොදා ගත්හ. ඒ සියල්ලෙන් ම හැඟෙන්නේ සාමාන්‍යයෙන් යහපත් පුද්ගලයා යන අර්ථය යි.


සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුත්තයේ නානාතිත්ථිය වර්ගයට අයත් සිව සූත්‍රය මඟින් සත්පුරුෂ, සේවනයෙහි වැදගත්කම මැනවින් ප්‍රකාශ වේ. මෙහිදී සත්පුරුෂ යන්නට භාවිත කර තිබෙනුයේ “සබ්භි’ යන පදය යි. රාත්‍රියෙහි පෙරයම ඉක්ම යන විට ජේතවනය බබළවමින් බුදුන් වහන්සේ වෙත පැමිණි සිව නමැති දෙවියෙකු අරභයා මෙම සූත්‍රය දේශනා කොට තිබේ. සිව දේවපුත්‍රයා පළමු ව සඳහන් කළ සත්පුරුෂ සේවනෙහි වැදගත් බව කියැවෙන ප්‍රකාශයන් බුදුන් වහන්සේ විසින් අනුමත කළ අයුරු පෙනේ. මෙම සූත්‍රයට අනුව සත්පුරුෂ ප්‍රතිලාභ ලැබීමට නම්, සත්පුරුෂයන් සමඟ එක්ව කටයුතු කළ යුතු ය (සපබ්භිරෙව සමාසෙථ) ඔවුන් හා මිතුරු විය යුතු ය ( සබ්භි කුබ්බේථ සන්ථවං) එමෙන්ම සත්පුුරුෂ දහම දැනගත යුතු වේ. (සතං සද්ධම්මමඤ්ඤාය) මෙහි ප්‍රතිඵල වශයෙන් ලැබෙන කරුණු සතකි. සත්පුරුෂයන්ගේ ඇසුර නිරතුරු ලබමින් දිවි ගෙවන්නාගේ මෙලොව සේ ම පරලොවත් අභිවර්ධනය වේ ( සෙය්‍යො හොති න පාපියො) සංයුත්ත නිකායේ අසප්පුරිස සුත්‍රයට අනුව සත්පුරුෂයා යනු නිවැරැදි දැකීම, නිවැරැදි සංකල්ප, නිවැරැදි වදන්, නිවැරැදි කායික ක්‍රියා, නිවැරැදි දිවිපැවැත්ම, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් දෙලොවම සාර්ථකත්වයට පත් කරගත්තෙකි. එහෙයින් මෙවැනි පුද්ගලයෙකු ආශ්‍රය කරන්නාගේ ද දෙලොව ම අභිවෘද්ධි ජනක වන බව පැහැදිලි ය. ආර්ය මාර්ගය සත්පුරුෂයන්ගේ ගමන් මග බවත්, ඔවුන් එය තමන් ද වඩමින් අනුන් ද ඊට පිවිසුවන බවත් අංගුත්තර නිකායේ සප්පුරිස වග්ගයේ සඳහන් වේ. මෙබඳු පුද්ගලයන් සප්පුරිසතර (මහා සත්පුරුෂයන්) ලෙසින් හැඳින්වේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ මහා සත්පුරුෂයෙකු වශයෙන් දැක්විය හැකි ය.


සිව සුත්‍රයෙහි සඳහන් පරිදි ප්‍රඥාව ලැබීම සත්පුරුෂාශ්‍රයෙහි තවත් එක් ප්‍රතිඵලයකි. (පඤ්ඤා ලබ්භති නාඤ්ඤතා) සත්පුරුෂයන් යනු යහපත – අයහපත, යුක්තිය – අයුක්තිය , හරි – වැරැද්ද පිළිබඳ නිවැරැදි අවබෝධයකින් යුතු අය යි. එබැවින් ඔවුන් ඇසුරු කරන්නාට විමසා නිවැරැදි තීරණ ගැනීමට අවස්ථාව සැලසේ. ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ පළමු ගාථාවෙහි සඳහන් ආකාරයට සත්පුරුෂයා පරාර්ථ සිද්ධිය පිණිස අනුන්ගේ වරද දැක නිධානයක් පෙන්වන්නෙකු සේ ඊට සුදුසු පරිදි අවවාද ලබා දෙයි. තව ද අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් පරිදි ප්‍රඥාව වර්ධනය වීමේ එක් කරුණක් වශයෙන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීම දක්වා තිබේ.


ජීවිතයේ විඳින්නට සිදු වන නොයෙක් දුක් කම්කටොළුවල දී නොසැලී සිටීමට සත්පුරුෂාශ්‍රය වැදගත් වේ. (සොකමජ්ඣෙ න සොචති) ධම්ම පදයේ සඳහන් කෙරෙන පරිදි නුවණැති වූ සත්පුරුෂයන් නින්දා ප්‍රශංසා, සැප – දුක්, ලාභ – අලාභ යන අට ලෝ දහමෙහි කම්පා නොවී දැඩි සුළගින් නොසෙල් වන පර්වතයක් මෙන් ස්ථිර ව සිටින බව පෙනේ. (එවං නින්දාපසංසාසු න සමිජ්ඣන්ති පණ්ඩිතා) මිනිස් ජීවිතයේ විවිධ දෑ අරමුණු කර ගෙන ශෝකය හට ගනී. එහෙත් නුවණැති සත්පුරුෂයා ඒවායෙහි ඇති ආදීනවයන් නිසි ලෙස දැනගනිමින් එකී ශෝකයන් තුරන් කිරීමට කටයුතු සිදු කරයි.


සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් ලැබෙන සිවුවන ආනිශංසය නම් නෑ හිත මිතුරන් අතර කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් වීම යි. (ඤාතිමජ්ඣෙ විරොචති) සංයුත්ත නිකායේ අපුත්තක සූත්‍රයට අනුව “සත්පුරුෂයා මහත් වූ භෝග සම්පත් ලැබ තමන් සුවපත් කරයි. මව්පියන් සුවපත් කරවයි. මිතුරන් හා සහචරයන් සුඛිත කරවයි” මෙසේ අදහස් වන පරිදි සත්පුරුෂයා තමන් රැස්කරගන්නා ධනය නිසියාකාර ව කළමනාකරණය කර ගනී. තමන්ගේ කටයුතු සඳහා පමණක් නොව ඥාති – හිතමිත්‍රාදීන්ගේ සුබසෙත උදෙසා ද අභිවෘද්ධිය උදෙසා ද ඒවා නිසි ලෙස යොදවයි. එහෙයින් ඔහු සිය ඥාතීන් අතර කීර්තිය, ප්‍රශංසාව ලබන්නෙකු බවට පත් වේ.


සුගතියට ගමන් කරයි

සත්පුරුෂයන් නිරන්තරයෙන් ඇසුරු කිරීමෙන් හොඳ – නරක නිවැරැදි බුද්ධිමත්කමක් ලබා ගන්නා පුද්ගලයා මෙලොව දියුණුවට සේ ම පරලොව දියුණුවට ද කටයුතු සිදු කරයි. යහපත් කුසල් හා පුණ්‍ය ධර්මයන්හි නොපැකිලීව යෙදෙයි. එබැවින් ඔහුට සුගතිගාමී වීමට ද අවකාශ උදාවේ. (ගච්ඡන්ති සුග්ගතිං) දානාදී කුසල් දහම්වල නිරතුරු ව ම යොමු වේ. අංගුත්තර නිකායේ සඳහන් කරුණු අනුව දානය හා මව්පිය උපස්ථානය වැනි පින්කම් පණ්ඩිතයන් විසින්, සත්පුරුෂයන් විසින් අගය කළ දෑ බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. මේ අනුව සත්පුරුෂයා නොයෙක් පින්දහම්හි නියුතු වී ස්වර්ග සැප සම්පත්තිය උදාකර ගනී.


සත්පුරුෂාශ්‍රය නිසි පරිදි ලබන්නාට අනුනට හිරිහැරයක් නොවි සුව සේ යහපත් දිවිපෙවෙතක් ගත කළ හැකි ය. (සත්තා තිට්ඨන්ති සාතතං) අංගුත්තර නිකායේ සප්පුරිස සූත්‍රයෙහි සඳහන් පරිදි සත්පුරුෂයා පර පණ නැසීම, අදත්තාදානය, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, සුරාමේරය භාවිතය යන කරුණුවලින් වැළකී සිටින්නෙකි. මෙකී කරුණුවලින් සම්පූර්ණ වු පුද්ගලයා සත්පුරුෂයෙකු වන අතර අනුනට ද කරුණු පහදා දී ඉන් වළකාලන්නා සත්පුරුෂතරයෙකු ( මහා සත්පුරුෂයෙකු) වන බව බුදුන් වහන්සේ පෙන්වා දෙති. එසේම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවේශ වීමෙන් මැදහත් ප්‍රතිපදාව අනුව සිය මිනිස් දිවිය සැපවත් කර ගැනීමට ද සත්පුරුෂාශ්‍රය බෙහෙවින් මග විවර කර දේ.


යහපත් මිනිසුන් සමඟ දිවි ගෙවන පුද්ගලයන්ගේ ජීවිතය සැපවත් හා නිවැරැදි එකකි. ඔහුට හරි වැරැද්ද දෙක නිසියාකාරව බෙදා වෙන් කරගත හැකි ය. සත්පුරුෂයන්ගේ අවවාද ඒ සඳහා බෙහෙවින් උපකාරි වේ. එමෙන්ම යමක් පිළිබඳ වටහා ගැනීමට සමත් උසස් වූ ප්‍රඥාව ද නිසර්ගයෙන් ම ඔහු තුළ ඇති වේ. එපමණක් නොව සමාජයේ සියල්ලන්ගේ ම පැසසුමට හා ගරු බුහුමනට සුදුස්සෙකු ද වෙයි. ජීවිතයේ මුහුණ දීමට සිදු වන සියලු අභියෝගයන්ට නොපැකිලී, නොබිය ව මුහුණ දීමට එම පුද්ගලයා සමත් වේ. පන්සිල් ආදී යහපත් ගුණධර්ම ආරක්ෂා කිරීමෙන් මෙලොව සේ ම පරලොව ද සැපවත් කර ගනී. මෙපමණක් නොව, සත්පුරුෂයන් ඇසුරු කරන්නා සසර ගමන නවතා දමා අවසානයේ සියලු දුකින් මිදෙයි. (සබ්බදුක්ඛා පමුඤ්චති) තව ද සංයුත්ත නිකායේ අංග හා ඵල සූත්‍රවලින් පෙන්වා දෙන්නේ සත්පුරුෂාශ්‍රය සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා පරිපූර්ණ කළ යුතු අංග සතරින් එකක් බව යි.අංගුත්තර නිකායේ යමක වර්ගයේ අතුළත් අවිජ්ජා සුත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මේ බව මැනැවින් අවබෝධ කර දෙති. “මහණෙනි, මෙසේ සත්පුරුෂ සේවනය පරිපූර්ණ කළ තැනැත්තා සද්ධර්ම ශ්‍රවණය පුරයි. සද්ධර්මශ්‍රවණය පරිපූර්ණ වූයේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පරිපූර්ණ වූයේ යෝනිසෝමනසිකාරය පුරයි. යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ සතිසම්පජඤ්ඤය පුරයි. සතිසම්පජඤ්ඤය පරිපූර්ණ වුයේ ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පරිපූර්ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් කරයි. ත්‍රිවිධ සුචරිතයන් පරිපූර්ණ වුයේ සතර සතිපට්ඨානය පුරයි. සතර සතිපට්ඨානය පූර්ණ වුයේ සප්ත බෝධි අංග පුරයි. සප්ත බෝධි අංග පරිපූර්ණ වූයේ විද්‍යාවිමුක්තිය වේ. “එම නිසා සත්පුරුෂ ඇසුර නිරන්තරයනේ ළං කර ගැනීමෙන් මෙලොව පරලොව දියුණුව උදා කර ගත හැකි ය. එසේ ම මෙය නිවන සඳහා ද බෙහෙවින් ඉවහල් වන කරුණකි.


අපගේ ජීවන ගමනේ දී නිරතුරුව ම සත්පුරුෂයන්ගේ ඇසුර ලබා ගැනීම බෙහෙවින් වැදගත් වේ. එබැවින් තමන්ට වඩා සීල, සමාධි හා ප්‍රඥා යන ගුණයන්ගෙන් උසස්, දැමුණු පුද්ගලයන් ආශ්‍රය පිණිස තෝරාගත යුතු වේ. නැතහොත්, උතුම් ගුණයන්ගෙන් තමන් හා සමාන පුද්ගලයෙකු සොයා ගත යුතු ය. (සෙය්‍යං සදිසමත්තනෝ) එසේත් නොමැති නම්, බාලයන්ගේ ඇසුරට නොවැටී තනි ව වාසය කිරීම උතුම් දෙයකැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (ඒක චරියං දළ්හං කයිරා නත්ථි බාලේ සහායතා)

උදාන පාලිය – පඨම බෝධි සූත්‍රය

 ඛුද්දක නිකායෙහි උදාන පාලිය :


අසිරිමත් ය අප සම්බුදුරජාණන්

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ

නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අද සිට අප සිත පහදවා ගන්නේ, ඛුද්දක නිකායෙහි උදාන පාලියට අයත් උතුම් සම්බුද්ධ දේශනාවන් පිළිබඳව යි. උදාන පාලිය ඉතාම රසවත් ය. මිහිරි ය. ප්‍රණීත ය. සදහම් රසයෙන් හද ගැබ සුවපත් කරවන සුළු ය. උදානයන්හී ඇති උතුම් දහම් කරුණු එකිනෙක ගෙන විවේක සිතින් විමසා බලන කල්හි අප සිත තුළ ඇතිවන්නේ වචනයෙන් කිව නොහැකි තරම් අසීමිත සැනසුමකි.


අපගේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම දමිත, සමිත වූ ධම්ම විලාසිත චරිතාපදානය වනාහී, ලොව ඇති අතිශයින්ම සුන්දර අසිරිමත් චරණ ධර්මය යි. උන්වහන්සේ තුළ පී‍්‍රති සොම්නස්භාවයක් හටගත් කල්හි, එය උද්දීප්ත වන්නේ සොඳුරු දහම් පදයකිනි. එමෙන් ම භාග්‍යවතුන් වහන්සේ තුළ උපේක්ෂාවෙන් යුතු ධර්ම සංවේගයන් හටගත් කල්හි, එය මතු වන්නේත් දහම් පැදියකිනි. ධර්මයෙන් හටගත් , ධර්මයෙන් ම නිර්මිත , ධර්ම ප්‍රතිමූර්තියක් වන් බුදුරජාණන් වහන්සේ තුළ ඇතිවූ ප්‍රසාද සංවේගයන් ආයාසයෙන් මතු වී ආ කල්හී, ඒවා අපට දායාදවන්නේ විස්මිත දහම් කරුණු ලෙස ය. එම අසිරිමත් දහම් පර්යායන් නවාංග ශාස්තෘ ශාසනයට ඇතුළත්ව තිබෙන්නේ උදාන යන නාමයෙනි.


දීඝ නිකාය අටුවාවේත්, උදාන අටුවාවේත්, උදාන නිර්වචනය කර ඇත්තේ මෙලෙසින් ය. “තෙලක් මිම්මට ගත නොහැකිව වැගිරී යන්නේ ද, එය ගලායාමකි. යම් ජලයකින් පොකුණක් පිරීමෙන් පසුව උතුරා යන්නේ ද, එය ඕඝයකි. එසේ යම් පී‍්‍රතියක් හදවතට අසීමිතව දරාගත නොහැක්කේ ද, එය උදානය යි.” මේ අනුව උදාන යනු පිරිසුදු නික්ලේසී හදවතකින් උතුරා යන්නා වූ නිරාමිස පී‍්‍රති වාක්‍යය යි. උදාන පාලියෙහි වර්ග අටක් ඇත්තේ ය.


එනම්, බෝධි වර්ගය, මුචලින්ද වර්ගය, නන්ද වර්ගය, මේඝිය වර්ගය, සෝණ වර්ගය, ඡච්චන්ධ වර්ගය, චුල්ල වර්ගය හා පාටලීගාමීය වර්ගය වශයෙනි. එක් එක් වර්ගයකට සූත්‍ර දහය බැගින් ඇතුළත්ව අසූවක් උදානයන්ගෙන් , උදාන පාලිය සමලංකෘතය. උදාන පාලිය විස්තර විභංග කරමින් පරමත්ත දීපනී නම් වූ උදාන අට්ඨ කතාව රචනාකර ඇත්තේ අර්ථකතාචාර්ය බුද්ධඝෝෂ මා හිමියන් විසිනි. උන්වහන්සේ උදාන අටුවාවන් අරඹමින්, තෙරුවන් නමස්කාර කොට අනතුරුව මෙසේ සඳහන් කර තිබේ. මහර්ෂි වූ ලොවට හිතැති බුදුරදුන් විසින් සුද්ධ වූ ජීවිතකථා පිළිබඳ යම් උදාන දේශනා කර තිබේ නම්, ඒ සියල්ල ධර්ම සංග්‍රාහික රහතන් වහන්සේලා විසින් එක් තැනකට එකතු කිරීම් පිණිස සංග්‍රහ කරන ලද ධර්මය උදාන නම් වේ. එය බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම සංවේගය හා පී‍්‍රතිය ප්‍රකට කිරීම සඳහා, සොම්නස් සහගත සිතින් දේශනා කරන ලද ගාථාවන්ගෙන් යුක්ත වේ.” කියා ය.


උදාන පාලිය – පඨම බෝධි සූත්‍රය


මෙය උදාන පාලියේ සඳහන් මුල්ම සූත්‍රය යි. ඒ දිනවල උතුම් වූ සම්බුද්ධත්වයට පත්වී, තථාගතයන් වහන්සේ වැඩසිටියේ උරුවෙල් ජනපදයේ නේරංජනා ගංතෙර ශ්‍රී මහා බෝධි සෙවනේ යි. භාග්‍යවතුන් වහන්සේ එක දිගට සත් දිනක් ම එක පළගින්ම විමුක්ති සැපය විඳිමින් වැඩ සිටි සේක. ඉන්පසුව එම සත් දින ඇවෑමෙන් සමාධියෙන් නැඟී සිටි භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම වශයෙන් ඉතා හොඳින් මෙනෙහි කොට වදාළ සේක. එනම්, මේ අයුරින් මේ හේතුව තිබෙන විටයි මේ ඵලය ඇතිවන්නේ. මේ හේතුව උපදින විටයි මේ ඵලය උපන්නේ “කියායි. (ඉති ඉමස්මිං සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති)


“අවිද්‍යාව හේතු කරගෙන, සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොට ගෙන, විඤ්ඤාණය ඇතිවෙනවා. විඤ්ඤාණය හේතුකොටගෙන නාමරූප ඇතිවෙනවා. නාමරූප හේතු කොට ගෙන, ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතුකොට ගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කොට ගෙන, විඳීම ඇතිවෙනවා. විඳීම හේතු කොටගෙන, තණ්හාව ඇතිවෙනවා. තණ්හාව හේතු කොටගෙන, බැඳීම ඇතිවෙනවා. බැඳීම හේතු කොටගෙන, විපාක පිණිස කර්ම සකස් වීම නම් වූ භවය ඇතිවෙනවා. විපාක පිණිස කර්ම සකස්වීම හේතු කොටගෙන ඉපදීම ඇතිවෙනවා. ඉපදීම හේතු කොටගෙන, ජරාවට පත්වීම, මරණයට පත්වීම, ශෝක කිරීම, වැළක්වීම, කායික දුක් මානසික දුක්, සුසුම් හෙළීම් හටගන්නවා. මේ ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ” යනුවෙනි.

බුදුසරණ අන්තර්ජාල කලාපය - බෞද්ධ දර්ශනය (budusarana.lk)

2019 ජුනි 02 වනදා ඉරිදා



පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...