සත්පුරුෂ සේවනයෙහි සප්ත අනුසස්
අත්තනගල්ල රාජමහා විහාරවාසී
රාජකීය පණ්ඩිත
මිහිඳුපුර සුජීව හිමි
බෞද්ධ සමාජයේ කැපී පෙනෙන යහපත් ගුණ ධර්මයන්ගෙන් අනූන වූ පුද්ගලයන් සත්පුරුෂයන් වශයෙන් හඳුනා ගැනීමට අපි පුරුදු වී සිටිමු.
එහෙත් බුදුරජාණන් වහන්සේ පෙර සඳහන් කළ පුද්ගලයන් පමණක් නොව චතුරාර්ය සත්‍ය පිළිබඳ ගැඹුරු දැක්මක් ඇති ආර්ය පුද්ගලයන් ද වෙසෙසින් සත්පුරුෂයන් වශයෙන් දක්වා වදාළ බව පෙනේ (තථූපමං සප්පුරිසං වදාමි, යො අරියසච්චානි අවෙච්ච පස්සති, සු.නි.රතනසුත්ත) ඒ අනුව සත් යන්නෙන් යහපත්, නිවැරැදි , හොඳ යන අර්ථ ජනිත වන අතර එබඳු ගුණයන්ගෙන් සමන්විත පුද්ගලයන් සත්පුරුෂයන් වශයෙන් හඳුනා ගත හැකි වේ. (සත් +පුරුෂ) බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයන් හැඳින්වීම සඳහා පණ්ඩිත, සබ්භි. මේධාවී, පඤ්ඤාවන්ත, අය්‍ය, භද්ද, හා පුරිසුත්තම වැනි වදන් යොදා ගත්හ. ඒ සියල්ලෙන් ම හැඟෙන්නේ සාමාන්‍යයෙන් යහපත් පුද්ගලයා යන අර්ථය යි.
සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුත්තයේ නානාතිත්ථිය වර්ගයට අයත් සිව සූත්‍රය මඟින් සත්පුරුෂ, සේවනයෙහි වැදගත්කම මැනවින් ප්‍රකාශ වේ. මෙහිදී සත්පුරුෂ යන්නට භාවිත කර තිබෙනුයේ “සබ්භි’ යන පදය යි. රාත්‍රියෙහි පෙරයම ඉක්ම යන විට ජේතවනය බබළවමින් බුදුන් වහන්සේ වෙත පැමිණි සිව නමැති දෙවියෙකු අරභයා මෙම සූත්‍රය දේශනා කොට තිබේ. සිව දේවපුත්‍රයා පළමු ව සඳහන් කළ සත්පුරුෂ සේවනෙහි වැදගත් බව කියැවෙන ප්‍රකාශයන් බුදුන් වහන්සේ විසින් අනුමත කළ අයුරු පෙනේ. මෙම සූත්‍රයට අනුව සත්පුරුෂ ප්‍රතිලාභ ලැබීමට නම්, සත්පුරුෂයන් සමඟ එක්ව කටයුතු කළ යුතු ය (සපබ්භිරෙව සමාසෙථ) ඔවුන් හා මිතුරු විය යුතු ය ( සබ්භි කුබ්බේථ සන්ථවං) එමෙන්ම සත්පුුරුෂ දහම දැනගත යුතු වේ. (සතං සද්ධම්මමඤ්ඤාය) මෙහි ප්‍රතිඵල වශයෙන් ලැබෙන කරුණු සතකි. සත්පුරුෂයන්ගේ ඇසුර නිරතුරු ලබමින් දිවි ගෙවන්නාගේ මෙලොව සේ ම පරලොවත් අභිවර්ධනය වේ ( සෙය්‍යො හොති න පාපියො) සංයුත්ත නිකායේ අසප්පුරිස සුත්‍රයට අනුව සත්පුරුෂයා යනු නිවැරැදි දැකීම, නිවැරැදි සංකල්ප, නිවැරැදි වදන්, නිවැරැදි කායික ක්‍රියා, නිවැරැදි දිවිපැවැත්ම, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් දෙලොවම සාර්ථකත්වයට පත් කරගත්තෙකි. එහෙයින් මෙවැනි පුද්ගලයෙකු ආශ්‍රය කරන්නාගේ ද දෙලොව ම අභිවෘද්ධි ජනක වන බව පැහැදිලි ය. ආර්ය මාර්ගය සත්පුරුෂයන්ගේ ගමන් මග බවත්, ඔවුන් එය තමන් ද වඩමින් අනුන් ද ඊට පිවිසුවන බවත් අංගුත්තර නිකායේ සප්පුරිස වග්ගයේ සඳහන් වේ. මෙබඳු පුද්ගලයන් සප්පුරිසතර (මහා සත්පුරුෂයන්) ලෙසින් හැඳින්වේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ මහා සත්පුරුෂයෙකු වශයෙන් දැක්විය හැකි ය.
සිව සුත්‍රයෙහි සඳහන් පරිදි ප්‍රඥාව ලැබීම සත්පුරුෂාශ්‍රයෙහි තවත් එක් ප්‍රතිඵලයකි. (පඤ්ඤා ලබ්භති නාඤ්ඤතා) සත්පුරුෂයන් යනු යහපත – අයහපත, යුක්තිය – අයුක්තිය , හරි – වැරැද්ද පිළිබඳ නිවැරැදි අවබෝධයකින් යුතු අය යි. එබැවින් ඔවුන් ඇසුරු කරන්නාට විමසා නිවැරැදි තීරණ ගැනීමට අවස්ථාව සැලසේ. ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ පළමු ගාථාවෙහි සඳහන් ආකාරයට සත්පුරුෂයා පරාර්ථ සිද්ධිය පිණිස අනුන්ගේ වරද දැක නිධානයක් පෙන්වන්නෙකු සේ ඊට සුදුසු පරිදි අවවාද ලබා දෙයි. තව ද අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් පරිදි ප්‍රඥාව වර්ධනය වීමේ එක් කරුණක් වශයෙන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීම දක්වා තිබේ.
ජීවිතයේ විඳින්නට සිදු වන නොයෙක් දුක් කම්කටොළුවල දී නොසැලී සිටීමට සත්පුරුෂාශ්‍රය වැදගත් වේ. (සොකමජ්ඣෙ න සොචති) ධම්ම පදයේ සඳහන් කෙරෙන පරිදි නුවණැති වූ සත්පුරුෂයන් නින්දා ප්‍රශංසා, සැප – දුක්, ලාභ – අලාභ යන අට ලෝ දහමෙහි කම්පා නොවී දැඩි සුළගින් නොසෙල් වන පර්වතයක් මෙන් ස්ථිර ව සිටින බව පෙනේ. (එවං නින්දාපසංසාසු න සමිජ්ඣන්ති පණ්ඩිතා) මිනිස් ජීවිතයේ විවිධ දෑ අරමුණු කර ගෙන ශෝකය හට ගනී. එහෙත් නුවණැති සත්පුරුෂයා ඒවායෙහි ඇති ආදීනවයන් නිසි ලෙස දැනගනිමින් එකී ශෝකයන් තුරන් කිරීමට කටයුතු සිදු කරයි.
සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් ලැබෙන සිවුවන ආනිශංසය නම් නෑ හිත මිතුරන් අතර කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් වීම යි. (ඤාතිමජ්ඣෙ විරොචති) සංයුත්ත නිකායේ අපුත්තක සූත්‍රයට අනුව “සත්පුරුෂයා මහත් වූ භෝග සම්පත් ලැබ තමන් සුවපත් කරයි. මව්පියන් සුවපත් කරවයි. මිතුරන් හා සහචරයන් සුඛිත කරවයි” මෙසේ අදහස් වන පරිදි සත්පුරුෂයා තමන් රැස්කරගන්නා ධනය නිසියාකාර ව කළමනාකරණය කර ගනී. තමන්ගේ කටයුතු සඳහා පමණක් නොව ඥාති – හිතමිත්‍රාදීන්ගේ සුබසෙත උදෙසා ද අභිවෘද්ධිය උදෙසා ද ඒවා නිසි ලෙස යොදවයි. එහෙයින් ඔහු සිය ඥාතීන් අතර කීර්තිය, ප්‍රශංසාව ලබන්නෙකු බවට පත් වේ.
සුගතියට ගමන් කරයි
සත්පුරුෂයන් නිරන්තරයෙන් ඇසුරු කිරීමෙන් හොඳ – නරක නිවැරැදි බුද්ධිමත්කමක් ලබා ගන්නා පුද්ගලයා මෙලොව දියුණුවට සේ ම පරලොව දියුණුවට ද කටයුතු සිදු කරයි. යහපත් කුසල් හා පුණ්‍ය ධර්මයන්හි නොපැකිලීව යෙදෙයි. එබැවින් ඔහුට සුගතිගාමී වීමට ද අවකාශ උදාවේ. (ගච්ඡන්ති සුග්ගතිං) දානාදී කුසල් දහම්වල නිරතුරු ව ම යොමු වේ. අංගුත්තර නිකායේ සඳහන් කරුණු අනුව දානය හා මව්පිය උපස්ථානය වැනි පින්කම් පණ්ඩිතයන් විසින්, සත්පුරුෂයන් විසින් අගය කළ දෑ බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති. මේ අනුව සත්පුරුෂයා නොයෙක් පින්දහම්හි නියුතු වී ස්වර්ග සැප සම්පත්තිය උදාකර ගනී.
සත්පුරුෂාශ්‍රය නිසි පරිදි ලබන්නාට අනුනට හිරිහැරයක් නොවි සුව සේ යහපත් දිවිපෙවෙතක් ගත කළ හැකි ය. (සත්තා තිට්ඨන්ති සාතතං) අංගුත්තර නිකායේ සප්පුරිස සූත්‍රයෙහි සඳහන් පරිදි සත්පුරුෂයා පර පණ නැසීම, අදත්තාදානය, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම, සුරාමේරය භාවිතය යන කරුණුවලින් වැළකී සිටින්නෙකි. මෙකී කරුණුවලින් සම්පූර්ණ වු පුද්ගලයා සත්පුරුෂයෙකු වන අතර අනුනට ද කරුණු පහදා දී ඉන් වළකාලන්නා සත්පුරුෂතරයෙකු ( මහා සත්පුරුෂයෙකු) වන බව බුදුන් වහන්සේ පෙන්වා දෙති. එසේම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ප්‍රවේශ වීමෙන් මැදහත් ප්‍රතිපදාව අනුව සිය මිනිස් දිවිය සැපවත් කර ගැනීමට ද සත්පුරුෂාශ්‍රය බෙහෙවින් මග විවර කර දේ.
යහපත් මිනිසුන් සමඟ දිවි ගෙවන පුද්ගලයන්ගේ ජීවිතය සැපවත් හා නිවැරැදි එකකි. ඔහුට හරි වැරැද්ද දෙක නිසියාකාරව බෙදා වෙන් කරගත හැකි ය. සත්පුරුෂයන්ගේ අවවාද ඒ සඳහා බෙහෙවින් උපකාරි වේ. එමෙන්ම යමක් පිළිබඳ වටහා ගැනීමට සමත් උසස් වූ ප්‍රඥාව ද නිසර්ගයෙන් ම ඔහු තුළ ඇති වේ. එපමණක් නොව සමාජයේ සියල්ලන්ගේ ම පැසසුමට හා ගරු බුහුමනට සුදුස්සෙකු ද වෙයි. ජීවිතයේ මුහුණ දීමට සිදු වන සියලු අභියෝගයන්ට නොපැකිලී, නොබිය ව මුහුණ දීමට එම පුද්ගලයා සමත් වේ. පන්සිල් ආදී යහපත් ගුණධර්ම ආරක්ෂා කිරීමෙන් මෙලොව සේ ම පරලොව ද සැපවත් කර ගනී. මෙපමණක් නොව, සත්පුරුෂයන් ඇසුරු කරන්නා සසර ගමන නවතා දමා අවසානයේ සියලු දුකින් මිදෙයි. (සබ්බදුක්ඛා පමුඤ්චති) තව ද සංයුත්ත නිකායේ අංග හා ඵල සූත්‍රවලින් පෙන්වා දෙන්නේ සත්පුරුෂාශ්‍රය සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා පරිපූර්ණ කළ යුතු අංග සතරින් එකක් බව යි.අංගුත්තර නිකායේ යමක වර්ගයේ අතුළත් අවිජ්ජා සුත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මේ බව මැනැවින් අවබෝධ කර දෙති. “මහණෙනි, මෙසේ සත්පුරුෂ සේවනය පරිපූර්ණ කළ තැනැත්තා සද්ධර්ම ශ්‍රවණය පුරයි. සද්ධර්මශ්‍රවණය පරිපූර්ණ වූයේ ශ්‍රද්ධාව පුරයි. ශ්‍රද්ධාව පරිපූර්ණ වූයේ යෝනිසෝමනසිකාරය පුරයි. යෝනිසෝමනසිකාරය පරිපූර්ණ වූයේ සතිසම්පජඤ්ඤය පුරයි. සතිසම්පජඤ්ඤය පරිපූර්ණ වුයේ ඉන්ද්‍රිය සංවරය පුරයි. ඉන්ද්‍රිය සංවරය පරිපූර්ණ වූයේ ත්‍රිවිධ සුචරිතයන් කරයි. ත්‍රිවිධ සුචරිතයන් පරිපූර්ණ වුයේ සතර සතිපට්ඨානය පුරයි. සතර සතිපට්ඨානය පූර්ණ වුයේ සප්ත බෝධි අංග පුරයි. සප්ත බෝධි අංග පරිපූර්ණ වූයේ විද්‍යාවිමුක්තිය වේ. “එම නිසා සත්පුරුෂ ඇසුර නිරන්තරයනේ ළං කර ගැනීමෙන් මෙලොව පරලොව දියුණුව උදා කර ගත හැකි ය. එසේ ම මෙය නිවන සඳහා ද බෙහෙවින් ඉවහල් වන කරුණකි.
අපගේ ජීවන ගමනේ දී නිරතුරුව ම සත්පුරුෂයන්ගේ ඇසුර ලබා ගැනීම බෙහෙවින් වැදගත් වේ. එබැවින් තමන්ට වඩා සීල, සමාධි හා ප්‍රඥා යන ගුණයන්ගෙන් උසස්, දැමුණු පුද්ගලයන් ආශ්‍රය පිණිස තෝරාගත යුතු වේ. නැතහොත්, උතුම් ගුණයන්ගෙන් තමන් හා සමාන පුද්ගලයෙකු සොයා ගත යුතු ය. (සෙය්‍යං සදිසමත්තනෝ) එසේත් නොමැති නම්, බාලයන්ගේ ඇසුරට නොවැටී තනි ව වාසය කිරීම උතුම් දෙයකැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (ඒක චරියං දළ්හං කයිරා නත්ථි බාලේ සහායතා)
No comments:
Post a Comment