Tuesday, March 2, 2021

පජ්ජොත සූත්‍රය


කති ලොකස්මිං පජ්ජොතා, යෙහි ලොකො පකාසති (පභාසති (ක. සී.));
භගවන්තං (භවන්තං (ක.)) පුට්ඨුමාගම්ම, කථං ජානෙමු තං මය’’න්ති.
‘‘චත්තාරො ලොකෙ පජ්ජොතා, පඤ්චමෙත්ථ න විජ්ජති;
දිවා තපති ආදිච්චො, රත්තිමාභාති චන්දිමා.
‘‘අථ අග්ගි දිවාරත්තිං, තත්ථ තත්ථ පකාසති;
සම්බුද්ධො තපතං සෙට්ඨො, එසා ආභා අනුත්තරා’’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය..
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“යමෙකින් ලොව බබළා නම්, ඒ ලොව එලිය කරන දේ කොතෙක්ද? භාග්‍යවතුන් වශන්සේ වෙතින් විචාරන්නට අවුත් සිටිමු. අපි එය කෙසේ නම් දැන ගනිමුද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලොව එළිය කරන දේ සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද දිවා රෑ
දෙක්හි ගින්න ඒ ඒ තැන බබළයි. සම්බුද්ධයන් වහන්සේ බබළන්නවුන් අතරෙහි ශ්‍රේෂ්ඨය. මේ හැමටම වැඩි තරම්වූ ආලෝකයයි.

මෛත්‍රී භාවනාව – 07 කොටස – තමන් වැඩිපුර ම කැමති තමන්ට යි.Feb 21, 2021 | සිත නිවන භාවනා | 0

මෛත්‍රී භාවනාව – 07 කොටස – තමන් වැඩිපුර ම කැමති තමන්ට යි.
Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 


මෛත්‍රී භාවනාව –  07 කොටස – තමන් වැඩිපුර ම කැමති තමන්ට යි.
මෛත්‍රී භාවනාව ආරම්භ කරන තැනැත්තා පළමුවෙන් ම මෛත්‍රිය වැඩිය යුත්තේ තමන්ට ම වේ. ‘මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා, සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.

මෙත් වැඩීම පිළිබඳ සඳහන් වන සූත්‍ර දේශනා සියල්ලෙහි ම අන් අයට මෙත් වැඩීම පිළිබඳව සඳහන් වන නමුදු තමන්ට මෙත් වැඩීමක් පිළිබඳ සඳහන් නොවේ. මෙත්ත සූත්‍රයේ ද ‘සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනාදි ලෙස සඳහන් වේ. ඒ සෑම තැනක දී ම දේශනා කරන ලද්දේ අන් සත්ත්වයන්ට මෙත් වැඩීම පිළිබඳවයි. ඒ අනුව තමන්ට මෙත් වැඩීම දේශනාවට විරුද්ධ දැයි කෙනෙකුට සිතක් පහළ විය හැකිය.
එසේ විරුද්ධතාවයක් ඇති නොවේ. දේශනා පාළියෙහි සියලු සත්ත්වයන්ට මෙත් වැඩීමට දේශනා කරන ලද සෑම අවස්ථාවක දී ම අර්පණා භාවනා වශයෙන් මෙත් වැඩීම කියන ලදී. එනම් මෛත්‍රී ධ්‍යානය ඉපදවීම් වශයෙනි. එහෙත් තමන්ට ‘මම සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් කරනු ලබන මෙත් වැඩීම මෛත්‍රී ධ්‍යාන ඉපදවීම පිණිස නොවේ. එසේ තමන්ට මෙත් වැඩීම කියන ලද්දේ සාක්‍ෂිභාව වශයෙන් වේ. තමන් වැඩිපුරම කැමති තමන්ගේ යහපතයි. එබැවින් පළමුව තමන්ට මෙත් වඩා ‘මම මෙන් ම සියලු සත්ත්වයෝ තම තමන්ගේ සැප කැමැත්තෝ වෙති. එහෙයින් මා විසින් ඔවුන් කෙරෙහි ද මා කෙරෙහි මෙන් ම සැප කැමති වීම කළ යුතුය’ යනුවෙන් තමන් සාක්‍ෂි ස්ථානයේ තබාගෙන අන් අයට ද මෙත් වැඩිය හැකි වේ. ඒ සඳහා පළමුව තමන්ට මෙත් වැඩීමට උපදෙස් දෙනු ලැබේ.

එසේ ම තමන්ට මෙත් වැඩීමෙන් මෛත්‍රී ධ්‍යාන ඉපදවිය හැක්කේ ද නො වේ. අවුරුදු සියයක් හෝ දහසක් හෝ ‘මම සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් තමන් කෙරෙහි මෙත් වැඩීම කළ ද ඔහුට මෛත්‍රී ධ්‍යානය නොම උපදී. එහෙත් ‘මම සුවපත් වෙමි’ යනාදි වශයෙන් තමන්ට මෙත් වැඩීමේ දී ‘මම යම් සේ සැප කැමති වෙම් ද දුක පිළිකුල් කරම් ද එපරිද්දෙන් ම සෙසු සියලු සත්ත්වයෝ ද සුව කැමැත්තෝ ය. දුක් නො කැමැත්තෝ ය.’ යැයි තමා සාක්‍ෂි කොට සෙසු සතුන් කෙරෙහි හිත සුව කැමති බව උපදී. එහෙයින් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.
පළමුව තමන්ට මෙත් වැඩීමක් දේශනා පාළියේ නො හමු වුව ද තමන්ගේ හිත සුව කැමති තැනැත්තා තමන් උපමා කොට අන් අයගේ ද හිත කැමති විය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ වදාළ ගාථාවක් මෙසේ ය.

සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා – නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි
එවං පියො පුථු අත්තා පරෙසං – තස්මා න හිංසෙ පරං අත්තකාමො

එහි අර්ථය මෙසේය. සියලු දස දිශාවලට සිතින් සොයා ගොස් කිසි දිශාවක තමාට වඩා අතිශයින් ප්‍රිය සත්ත්වයෙක් නොම දක්නේය. සෙසු සත්ත්වයන්ට ද වෙන වෙන ම තම තමන්ගේ ශරීරය එසේ ම ප්‍රිය වේ. එහෙයින් තමන්ට හිත සුව කැමැති තැනැත්තා අන් සත්ත්වයන් නො වෙහෙසන්නේය.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ සියලු සත්ත්වයන්ට වඩා තමා ම ප්‍රියතර බව සලකා තමන්ගේ හිත සුව කැමති වන්නා සේ ම අන් සියලු සත්ත්වයන් කෙරෙහි ද කරුණාව උපදවාගත යුතු බවයි. ඒ අනුව තමන් සාක්‍ෂි භාවයෙහි තබා සෙසු සතුන් කෙරෙහි මෙත් වැඩිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් ම දේශිත බව සැලකිය යුතු වේ.

එසේ තමන්ට කොපමණ මෙත් වැඩුව ද මෛත්‍රී ධ්‍යානය ඉපදවිය නොහැකි බව ඉහත දක්වන ලදී. තමන්ට තමන් පිළිබඳ ආත්ම ස්නේහයක් පවතී. ඒ ආත්ම ස්නෙහය ධ්‍යාන ඉපදවීමට උපද්‍රවයක් බවට පත් වේ. එහෙත් සෙසු බැහැර සත්ත්වයන් කෙරෙහි මෙත් වඩා මෛත්‍රී ධ්‍යානය උපදවන ලද තැනැත්තාට තමන් කෙරෙහි ද සීමා සම්භේදය සිදුවන බව විශුද්ධි මාර්ග සන්නයේ සඳහන් වේ.

එබැවින් පළමු කොට තමා කෙරෙහි මෙත් වැඩීම කළ යුතු වේ. ‘මම යම් සේ සුව කැමති වෙමි ද දුක පිළිකුල් කරමි ද, දුක නො කැමති වෙමි ද, සෙසු සත්ත්වයෝ ද එසේ ම තම තමන්ගේ සුව කැමති වෙති, දුක පිළිකුල් කරති, දුක නො කැමති වෙති’ යැයි සෙසු සතුන්ගේ හිත සුව කැමති බවට සාක්‍ෂි කරණු පිණිස පළමු කොට තමන් කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතු වේ. අනතුරුව තමන් සාක්‍ෂි ස්ථානයේ තබා සෙසු සත්ත්වයන්ට ද මෙත් වැඩිය යුතු වේ.
මෛත්‍රී භාවනාවේ දී මීළඟට අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ඒ සඳහා භාවිතා කරන මනසිකාර පාඨය කුමක් ද යන්නයි. සමහර කෙනෙක් ‘මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා, දුකින් මිදෙම්වා, සුවපත් වෙම්වා, නිවන් දකිම්වා’ යනාදි වශයෙන් දීර්ඝ පාඨයක් සජ්ඣායනය කරමින් මෙත් වඩති. එහෙත් ඒ තුළින් මෛත්‍රී භාවනාවේ විශේෂ තත්ත්වයකට පැමිණීම අපහසු වේ. බොහෝ දීර්ඝ භාවනා පාඨයක් මෙනෙහි කිරීමේ දී සිත එක් අරමුණකට සමාධිමත් වීම දුර්වල බැවිනි.

එබැවින් මෙත් වැඩීම පිණිස කෙටි වාක්‍යයක් භාවිතයට පුරුදු වීම වඩාත් සුදුසු වේ. ඒ සඳහා බොහෝ විට භාවිතා කරන වාක්‍ය ඛණ්ඩ 4 ක් වේ.
1. වෛර නැත්තෙක් වේවා.
2. තරහ නැත්තෙක් වේවා.
3. දුක් පීඩා නැත්තෙක් වේවා.
4. සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වේවා.

මේ අතරින් ද එක් වාක්‍ය ඛණ්ඩයක් පමණක් තෝරාගෙන පළමුව මෙත් වැඩීමට පුරුදු වීම වඩාත් සුදුසු වේ. උදාහරණයක් ලෙස ‘වෛර නැත්තෙක් වේවා’ යන්න තෝරාගෙන පළමුව තමන්ට ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි වැඩිය යුතු වේ. ඉන් පසු සෙසු පුද්ගලයන්ට ද පිළිවෙළින් මෙත් වැඩිය යුතු වේ.
මෙසේ මෙත් වැඩීම සඳහා පළමුව මෙම එකිනෙක වාක්‍ය ඛණ්ඩයේ අර්ථය හොඳින් වටහා ගැනීම ද වැදගත් වේ. එසේ අර්ථය හොඳින් වැටහෙන විට තමන්ගේ සන්තානයේ මෛත්‍රිය වැඩීම ද මැනවින් සිදු වන බැවිනි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

9-9 නවවන කෝක නම් බලුවැද්දාගේ වස්තුවයි.

9-9 නවවන කෝක නම් බලුවැද්දාගේ වස්තුවයි. 

යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති, සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස;

තමෙව බාලං පච්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත්තො.

යම් පුද්ගලයෙක් ද්වෙෂයෙන් දූෂිත නොවූ (තරහ නැති) පව් නැති, පිරිසිදුවූ පුරුෂයෙකුට අපරාධ කෙරේද, ඒ පාපකර්මය තෙම උඩු සුළඟට දමන ලද ධූවිලි මෙන් (මෙලෝ හෝ පරලෝ හෝ විපාක දෙමින්) ඒ අනුවණයා පැසවන්නේය.

යො අප්පදුට්ඨස්ස ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ කෝක නම් බලුවැද්දකු අරභයා දේශනා කරනලදි.

ඔහු එක්දිනක උදේ වරුවේ දුන්නත් රැගෙන තමන්ගේ දඩබල්ලන්ද පිරිවරාගෙන කැලයට යන අතර, අතරමග පිඬු පිණිස හැසිරෙන එක් භික්‍ෂුවක් හමු වී කාලකණ්ණියෙක් මට මුණ ගැහුණේයයි කලකිරී අද මට කිසිදෙයක් හමුනොවේයයි සිතමින් ගියේය.

තෙරණුවෝත් ගමේ පිඬුසිඟා ආහාර ගෙන නැවත විහාරයට වැඩියහ. අනිත් තැනැත්තාත් කැලයට ගොස් කිසිවක් නොලැබ ආපසු එනවිට නැවතත් තෙරුන් දැක අද මම මේ කාලකණ්ණියා දැක කැලයට ගොස් කිසිවක්ම ලබාගත නොහැකිවීමි. දැන් යළිත් මොහු මුණගැසුණේය. බල්ලන් ලවා මොහු කවා ලන්නෙමියි සංඥාවක් දී සුනඛයන් මුදා හැරියේය. තෙරණුවෝ එසේ නොකරව උපාසකයයි ඉල්ලා සිටියෝය. අද මම ඔබ හමුවූ නිසා කිසිවක් නොලදිම. නැවතත් මට මුණගැසීමට ආවෙහිය. තා බල්ලන් ලවා කවා ලන්නෙමියයි කියා බල්ලන් පිටත්කර හැරියේය. තෙරණුවෝ වහා එක් ගසකට නැගී පුරුෂප්‍ර‍මාණ උසින් සිටියෝය. බල්ලෝ ගස පිරිවරා සිටියහ. කෝක එහිගොස්, ගසට නැගුණත් තොපට මිදීමක් නැතැයි ඊතලතුඩකින් තෙරුන්ගේ යටිපතුල විද්දේය. තෙරණුවෝ එසේ නොකරවයි ඉල්ලා සිටියේමය. අනිකා උන්වහන්සේගේ ඉල්ලීම පිළිනොගෙන නැවත නැවතත් විද්දේමය. තෙරණුවෝ එක් පාදයක් විදින විට එය උඩට ගෙන අනිත් පයින් සිටිති. එය විදින විට අනික් පය තබා අනික ඔසවයි. මෙසේ ඒ වැද්දා තෙරුන්ගේ ඉල්ලීම පිළිනොගෙන දෙපාදයම විද්දේය.

තෙරුන්ගේ සිරුර පන්දම්වලින් පුළුස්සන්නාක් මෙන් දැවෙන්ට පටන්ගත්තේය. තෙරණුවන්ට වේදනාව නිසා සිහි එලවාගන්ටත් අපහසු විය. පෙරවූ සිවුර ගැළවී වැටෙද්දීත් එය සලකාගත නොහැකිවිය. ඒ සිවුර වැටී කෝකගේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා වැසීයනසේ පතිතවිය. සුනඛයෝ තෙරුන් වැටුණේය යන කල්පනාවෙන් සිවුර ඇතුළටම වැදී තම සැමියා ඇද ඇද ඉරඉරා කා දමා ඇට පමණක් ඉතිරි කළහ. සුනඛයෝ සිවුර ඇතුළෙන් එළියට අවුත් සිටියහ. ඉන්පසු තෙරණුවෝ එක් වියළිදණ්ඩක් බිඳගෙන ඔවුන් වෙත වීසිකෙළේය. සුනඛයෝ තෙරුන් දැක අපි අපේ ස්වාමියාම කා ඇතැයි වනයට ගියාහුය.

තෙරණුවෝ, ඔහු මගෙ සිවුරු අතරට ගොස් නැසුණෝය. එයින් මගේ සීලයට කිසියම් වරදක් වීදැයි කුකුසක් ඇතිකරගත්හ. උන්වහන්සේ ගසෙන් බැස බුදුන් සමීපයට ගොස් මුල පටන් ඒ පුවත දන්වා සිටියහ. ස්වාමීනි, මගේ සිවුර නිසා ඒ උපාසකයා නැසුණේය. ඉතින් මගේ සීලයට එයින් වරදක් නැද්ද? මගේ ශ්‍ර‍මණභාවයට හෝ එයින් වරදක් නැද්දැයි ඇසූහ.

බුදුරජාණන්වහන්සේ ඒ තෙරණුවන්ගේ වචන අසා මහණ ඔබේ සීලයට වරදක්වී නැත. ශ්‍ර‍මණභාවයටද වරදක් වී නැත. ඔහු පිරිසිදු සිල් ඇත්තෙකුට ද්‍රෝහීවී විනාශයට පැමිණියේය. එය මෙකල පමණක් නොව අතීතයේදීත් ද්වේෂ සිත් නැත්තන්ට ද්වේෂ කිරීමෙන් විනාශයට පැමිණියේමයයි වදාරා එහි අර්ථය පැහැදිලිකරමින් අතීතකථාව ගෙනහැර පෑහ.

අතීතයෙහි එක්තරා වෙදෙක් වෙදකම් පිණිස ගමේ ඇවිද කිසි වෙදකමක් නොලැබ බඩගිනි වී නික්ම ගොස් ගම්දොර බොහෝ ළමයින් සෙල්ලම් කරනු දැක මොවුන්ට සර්පයෙකු ලවා දෂ්ටකරවා වෙදකම් කොට ආහාරපාන ලබා ගන්නෙමියි සිතා එක් රුක්ඛිලයක හිස ඔසවා සිටින සර්පයෙකු පෙන්වා, එම්බල කොල්ලනි, අර පෙනෙන්නේ සැළලිහිණි පැටියෙකි. ඔහු අල්වාගනුවයි කීවේය. එක් ළමයෙක් සර්පයාගේ බෙල්ලෙන් තදින් අල්වා පිටතට ගෙන ඌ සර්පයකු බව දැන ඇවිදගෙන අවුත් ළඟ සිටි වෙදාගේ ඔළුව උඩට දැම්මේය. සර්පයා වෙදාගේ උරහිස් දැඩිව වෙළාගෙන දෂ්ට කොට එතැනම මරා දැමීය. මෙසේ මේ කෝක බලුවැද්දා පෙරත් ද්වේෂ නොකරන්නන්ට ද්වේෂකොට විනාශයට පැමිණියේ යයි ශාස්තෘන්වහන්සේ මේ අතීත කථාවද ගෙනහැර පා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක:

තරහ නැති නිකෙලෙස්

පිරිසිදු අයට කිසිවෙක්

තරහෙන් පිරී ඉතිරී

තරහෙන් යමක් කළහොත්

යටිසුළඟෙහි දැමූ දූවිලි

දැමූ අය සොයා එනු මෙන්

විපාකය ඔහු වෙතට ගෙන එයි

එහි අප්පදුට්ඨස්ස යනු තමන්ට හෝ සියලු සතුන්ට ද්වේෂ නොකරන්නාටයි. නරස්ස යනු සත්ත්වයාටයි. දුස්සති යනු අපරාධ කිරීමයි. සුද්ධස්ස යනු අපරාධ නොකරන්නාටය. පොසස්ස යන මෙයද වෙනත් අයුරකින් සත්ත්වයාටම කියන නමකි. අනංගනස්ස යනු කෙලෙස් නැති තැනැත්තාටය. පච්චෙති යනු ආපසු එයි. පටිවාතං යනු එක් පුරුෂයෙක් පටිවාතයෙහි-සුළඟ ගසාගෙන තමන් වෙත එන වාතයෙහි සිට තවත් කෙනෙකුට පහර දෙනු කැමැත්තෙන් වීසිකරන ලද සියුම් දූවිලි ඒ පුරුෂයා වෙතම ආපසු එයිද, ඔහු උඩටම වැටෙයිද, එපරිද්දෙන් යම් කෙනෙක් තරහක් නැති කෙනෙකුට අතින් පයින් ගැසීමෙන් ද්වේෂය ඇතිකර ගනීද, ඒ ගැසූ පුද්ගලයා වෙතම මෙලොවදී හෝ පරලොවදී පැසවමින් ඒ පාපය විපාකදුක් වශයෙනුත් ආපසු එයි යන අර්ථයි. දේශනාවසානයෙහි ඒ භික්‍ෂුව රහත් බවෙහි පිහිටියේය. පැමිණි පිරිසටද එය සාර්ථක දේශනාවක් විය.

Na Uyane Ariyadhamma Thero

 




Monday, March 1, 2021

9-8 අටවන කුක්කටමිත්ත වැද්දාගේ වස්තුවයි.

9-8 අටවන කුක්කටමිත්ත වැද්දාගේ වස්තුවයි.

පාණිම්හි චෙ වණො නාස්ස, හරෙය්‍ය පාණිනා විසං;

නාබ්බණං විසමන්වෙති, නත්ථි පාපං අකුබ්බතො.

ඉදින් අත්ලෙහි වනයක් නොවීනම් අත්ලෙන් විෂය ගන්නේය. විෂය තෙමේ වණ නැතියහු අනුව නොයන්නේය. එසේම නොකරන්නාහට අකුශලයෙක් නැත්තේය.

පාණිම්හි චෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් වේළුවන විහාරයෙහි වැඩසිටින කාලයේ කුක්කුටමිත්ත නම් වැදිපුත්‍ර‍යා නිමිතිකරගෙන දේශනා කරනලදි.

රජගහනුවර එක් සිටුදුවක් වැඩිවිය පැමිණ සත්මහල් පහයක ඉහළම පහයේ සිරියහන් ගැබක තබා එකම සේවිකාවක් දී මවුපියන් විසින් පෝෂණය කරනලදුව සිටියාය. දිනක් සවස් භාගයෙහි වාකවුළුවෙන් ඇතුළුවීථිය දෙස බලා සිටින ඈට තොණ්ඩු පන්සීයක්ද උල් පන්සීයක්ද රැගෙන මුවන් මරා ජීවත්වන එක් කුක්කුටමිත්ත නම් වැද්දෙක් පන්සීයක් මුවන් මරා ඔවුන්ගේ මස්වලින් ගැල්පුරවාගෙන ගැල් අසුනේ හිඳගෙන මස් විකිණීම සඳහා නගරට පිවිසෙනු දැක ඔහු හා පිළිබඳසිත් ඇතිකරගෙන තම සේවිකාවට කථා කොට, ඇගේ අතට ලිපියක් දී, යව, මොහු පිටත්වන වේලාව දැනගෙන එවයි යැවුවාය.

ඈ ගොස් ඔහුට ලියුම දී පිටත්වන වේලාව ඇසුවාය. අද මස් විකුණා හෙට පාන්දරම අසවල් දොරටුවෙන් නික්ම යමියි කීවේය. ඈ ඔහුගේ කථාව අසා අවුත් සිටුදියණියට එය කීවාය. සිටුදුව තමන්ගේ ගතයුතු වස්ත්‍රාභරණ සියල්ල සූදානම් කරගෙන උදෑසනම කිලිටිවස්ත්‍ර‍ හැඳපෙරවාගෙන කළයක්ද රැගෙන දාසියන් සමග නානතොටට යන්නාක් මෙන් පිටත්වී නියමිත තැනට ගොස් ඔහු එන මග බලමින් සිටියාය. ඔහුද ගැල පදවාගෙන ආවේය. ඈ ඔහුගේ පසුපසින් ගියාය. ඔහු ඈ දෙස බලා, මම තී කාගේ දුවක්දැයි නොහඳුනමි. මෑණියනි, මා පිටුපසින් නොඑවයි කීවේය. මම ඔබේ ඉල්ලීමක් අනුව නොඑන්නෙමි. මගේ කැමැත්තෙන් එන්නෙමි. ඔබ නිශ්ශබ්දව ඔබේ රිය පදවාගෙන යන්න. ඔහු නැවත නැවතත් වැළැක්වූයේමය. ඉන්පසු ඈ ඔහුට මෙසේ කීවාය. ශ්‍රියාව තමන් ළඟට එන විට වැළැක්වීම නොවටී. හෙතෙම ඈ නිසැකයෙන්ම එනබව දැන ඇය ගැලෙහි නංවාගෙන ගියේය. ඇගේ මවුපියෝත් ඈ ගැන එහෙමෙහෙ සොයා බලා ඈ නොදැක මැරෙන්නට ඇතියි සිතා මතකවත් ආදිය දුන්හ. ඈ ඔහු සමග සංවාසයට පැමිණ පිළිවෙලින් පුතුන් සදෙනෙකු ලබා ඔවුන් වියටපත් කල්හි ගෘහබන්‍ධනයෙන් බැන්දවීය.

ඉන්පසු දිනෙක ශාස්තෘන්වහන්සේ උදෑසනම ලොව බලනසේක් පුතුන් භාර්‍ය්‍යාව හා කුක්කුටමිත්ත තම ඤාණදැලට ඇතුළත්වූ බව දැක, මේ කිමෙක්දැයි සොයා බලනසේක් ඒ පසළොස් දෙනාම සෝවාන්මගට හේතුසම්පත් ඇත්තවුන්බව දැක, උදෑසනම පාසිවුරු දරා ඔවුන්ගේ නිවහන බලා වැඩමවූහ. එදින ඔවුන්ගේ පාසවලට එක් මුවෙක්වත් හසුනූණේය. ශාස්තෘන්වහන්සේත් ඔහුගේ මලපුඩුපාස තිබෙන තැනම පියවරතබා පෙන්වා එයින් එහා රුක්ගොමුවක් යට වැඩහුන්හ. කුක්කුටමිත්ත උදෑසනම දුන්නත් රැගෙන මලපුඩු ඇති තැනට ගොස් මුල පටන් ඒ මලපුඩු බලා, පාසයන්හි බැඳුණු එකම මුවෙක්වත් නොදැක බුදුරදුන්ගේ පියවර සටහන් දුටුවේය. කවුරුන් හෝ මගේ පාසවල බැඳුණු මුවන් මුදමින් ඇවිදියි, කියා සිතක් ඇතිවිය. හෙතෙම බුදුන් කෙරෙහි ආඝාත බැඳ යනවිට රුක්ගොමුමුල වැඩසිටි බුදුන් දැක, මොහු මගේ මුවන් මුදාහරින්නට ඇත, මොහු මරා දමන්නෙමියි දුන්න ඇද්දේය. දුන්න අදිනු දුටු බුදුරජාණන්වහන්සේ, එයින් විදින්ට ඉඩ නොදුන්හ. හෙතෙම ඊතලය විදහැරීමට හෝ එයින් ඉවතට ගැනීමට හෝ නොහැකිව පතුඇට බිඳීයන්නාක් මෙන්, වේදනා විද කටින් කෙළ පෙරපෙරා දුන්න ඇද වෙහෙසට පත්විය.

ඉන්පසු ඔහුගේ පුත්තු ගෙදර ගොස් අපේ පියා ඒමට පමා වෙයි. ඒ කුමක් නිසාදැයි කීකල්හි, මවුතොමෝ දරුවනි පිටත්වී යව්යයි පිටත් කළ නමුදු දුනුත් රැගෙන ගිය නමුත් ඒ දුටු ගැනීමට අපොහොසත්ව සිටි පියා දැක, අපේ පියාට පසමිතුරෙක් වියහැකියයි සත්දෙනාම දුනු ඇදගෙන, බුද්ධානුභාවයෙන් යම් සේ ඔවුන්ගේ පියා සිටියේද, එපරිද්දෙන්ම ඔවුහුද සිටියාහුය. ඉන්පසු ඔවුන්ගේ මව, මගේ පුතුනුත් පමා වන්නේ ඇයිදැයි යෙහෙළියන් සත්දෙනාත් සමග ගොස් ඉහත සඳහන් පරිදි සිටි ඔවුන් දැක, මොවුන් මේ දුනුදිය ඇදගෙන සිටින්නේ කාටදැයි බලන විට බුදුරදුන් දැක, ඉසඅත් බැඳගෙන, මගේ පියා නොනසව, මගේ පියා නොනසවයි මහහඬින් ශබ්ද කළාය. කුක්කුටමිත්ත ඒ ශබ්දය අසා අනේ අපි නැහුණා. මේ අපේ මාමා නේද, අපි මහා බරපතළ වරක් කෙළෙමුයයි සිතීය. ඔහුගේ පුත්‍රයෝත්, අනේ අපේ අත්තා නේද මේ, අපි මහා බරපතළ වරදක් කෙළෙමුයයිද සිතූහ.

කුක්කුටමිත්ත මේ මගේ මාමායයි මෙත්සිත උපදවා ගත්තේය. පුත්‍රයෝ මේ අපේ අත්තායයි මෙත්සිත් උපදවා ගත්හ. ඉන්පසු ඔවුන්ගේ මවු සිටුදුව, වහාම දුනු පසෙක දමා මගේ පියා සමාකරගනිව්යයි කීවාය. ශාස්තෘන්වහන්සේ ඔවුන් මෘදු සිත් ඇත්තවුන්කොට, දුනු බහා තබන්ට අවස්ථාව ලබාදුන්හ. ඉන්පසු ඒ සියලු දෙනාම බුදුන් වැඳ ස්වාමීනි අපට සමාවුව මැනවියි සමාකරවාගෙන, එක් පැත්තක හිඳගත්හ. බුදුරජාණන්වහන්සේ ඔවුන්ට පිළිවෙල කථාව වදාළහ. දේශනා කෙළවර කුක්කුටමිත්‍ර‍යාත් සමග පුතුන් යෙහෙළියන් පසළොස් දෙනා සෝවාන්ඵලයෙහි පිහිටියාහුය.

බුදුරජාණන්වහන්සේ පිඬුසිඟා වැඩ සවස් වේලෙහි විහාරයට පැමිණියහ. ඉන්පසු ආනන්‍ද තෙරණුවෝ, ස්වාමීනි, කොහි වැඩිසේක්දැයි ඇසූහ. ආනන්ද කුක්කුටමිත්ත සමීපයටයයි වදාළහ. ඒ ප්‍රාණාතිපාතිකියා එසේ නොකරන්නෙකු බවට පත් කෙළෙහිදැයි ඇසූහ. ආනන්දයෙනි එසේය. ඔහු තමන් පසළොස් වැනි කොට අචල ශ්‍ර‍ද්ධාවෙන් යුක්තව, ත්‍රිවිධරත්නය පිළිබඳ නිසැකවී ප්‍රාණවධ නොකරන්නෙක් වූයේය. භික්ෂූහු ස්වාමීනි, උන්ගේ භාර්යාවත් එහි සිටියා නොවේදැයි ඇසූහ. මහණෙනි, එසේය, ඈ කුලගෙයක කුමරියක්වී එකල්හිම සෝවාන්ඵලයට පැමිණ සිටියායයි වදාළහ.

භික්‍ෂූහු, කුක්කුටමිත්තගේ භාර්යාව කුමරියක්ව සිටියදීම සෝවාන්ඵලයට පැමිණ ඔහුගේ ගෙදරට ගොස් පුත්‍ර‍යන් සත්දෙනෙක් ලැබුවාය. ඈ මෙතරම් කලක් දුන්න ගෙනෙව. ඊතලය ගෙනෙව. අඩයටිය ගෙනෙව, දැල ගෙනෙවයි කීකල ඒවා ගෙනවුත් දුන්නාය. තෙමේත් ඈ දුන් දේවල් රැගෙන වනයට ගොස් පරපණ නැසීම කළේය. කිම සෝතාපන්නයෝ ප්‍රාණාතිපාතය කරද්ද?

බුදුරජාණන්වහන්සේ අවුත්, මහණෙනි, කිනම් කථාවක් කරමින් හුන්නාහුදැයි විචාරා, මේ කථාවෙනුයි කීකල්හි, මහණෙනි, සොතාපන්නයෝ පරපණ නොනසත්. ඈ කර තිබෙන්නේ වචනය ඉටුකිරීම පමණකි. මෙන්න අර ආවුධය. මෙය ගෙන ගොස් සතුන් මරන්නැයි ඇයට සිතක් නැත. වණයක් නැතිවට ඒ අතින් විෂ ඇල්ලුවත් ඒ විෂය සිරුරට ඇතුළු කිරීමට නොහැකිය.

ඒ විධියට අකුසල චේතනාවක් එහි නොවන බැවින්, පව්නොකරන්නකු බැවින් දුනු ආදය ගෙනත් දුන්නත් පවක් නම් නොවන්නේමයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද ප්‍ර‍කාශ කළහ.

අතෙහි වණයක් නැත්නම්

විසක් නැත අතට විස ගත්තත්

වණ නැති අයට විස නොවදී

පවක් නැත පව් නොකරන්නහුට

එහි නාස්ස යනු නොවන්නේය. හරෙය්‍ය යනු බැහැර කිරීමට හැකි ව්නනේය. කුමක් නිසාද? යම් හෙයකින් නාබ්බණං විසමන්වෙති තුවලායක් නැති අතක් විෂබීජ වර්ග ඇතුළට ගෙන යෑමට සමත් නොවෙයිද, එමෙන් දුනු ආදිය ගෙනවුත් දෙන්නාටද අකුසල චේතනා නොවන නිසා, පවක් නොකරන නිසා, පවක් නම් සිදුනොවේ. තුවාලයක් නැති අතක් බාහිර විෂබීජ ඇතුළට ගැනීමට අසමත් වන්නාක්මෙන් ඔහුගේ සිතද පාපය අනුව නොයයි. දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

ඉන්පසු කාලයක භික්‍ෂූන් අතර, මේ කුක්කුටමිත්තට පුතුන් ලේලිවරුන් සහිතව සොවාන්වීමට තිබූ හේතුසම්පත් මොනවාද? කිනම් කරුණක් නිසා වැදිපවුලක ඉපදුණේත් ඇයිදැයි කථාවක් ඇතිවිය. බුදුන් එතැනට වැඩමවා, මහණෙනි, මෙහි කථාකරමින් සිටියේ කුමක් පිළිබඳවදැයි අසා, මේ කතාවෙනියි කී පසු-

මහණෙනි, අතීතයෙහි කාශ්‍යප දසබලයන්වහන්සේගේ ධාතුචෛත්‍යයේ කටයුතු කරගෙන ගිය මිනිස්සු, මේ චෛත්‍යයට මැටි වශයෙන් කුමක් ගත යුතුද? ජලය වශයෙන් කුමක් ගතයුතුදැයි කථිකා කළහ. හිරියල් මනෝසීල මැටි වියයුතුය. තලතෙල් ජලය විය යුතුයය තීරණය කළහ. ඔවුහු හිරියල් මනෝසීල ගෙන කොටා තලතෙලෙන් අනා ගඩොල් කපා පුළුස්සා රන් ආලේප කර ඇතුළත බැන්දාහ. පිටපැත්ත ඒකඝන රත්තරනින්ම හැදූ ගඩොලින් බැන්දාහ. එක් ගඩොලක වටිනාකම ලක්‍ෂයක් විය. ඔවුහු ධාතු නිධාන ගර්භය තෙක් චෛත්‍යයෙහි වැඩ නිමවූ පසු ධාතුනිධාන වේලාවේ බොහෝ ධනය අවශ්‍ය වේ. එහි ප්‍ර‍ධානත්වය ගන්නේ කවුරුන්දැයි සිතූහ. එක් ගම්වැසි සිටුවරයෙක් මම ප්‍ර‍ධාන වන්නෙමියි කියා, ධාතුනිධාන අවස්ථාවේ එක්කෝටියක රත්රන් ගෙනත් තැබුවේය. ඒ දුටු රටවැසියෝ, මේ නගර සිටුවරයා ධනයම එකතුකරයි. මෙබඳු චෛත්‍යයක මූලිකයාවීමට අපොහොසත් වෙයි. ග්‍රාමවාසී සිටුවරයා කෝටියක ධනයක් යොදා මූලිකයාවීයයි දොස් කීහ. නාගරික සිටුවරයා ඒ අසා මම දෙකෝටියක් දී මූලිකයා වන්නෙමියි දෙකෝටියක් දුන්නේය. අනිකා මමම මූලිකයා වන්නෙමියි තුන්කෝටියක් දුන්නේය. මෙසේ වැඩි කරමින් ගොස් නාගරික සිටුවරයා අටකෝටියක් දුන්නේය. ග්‍රාමවාසී සිටුවරයාගේ ගෙදර තිබූ මුළු ධනය නවකෝටියක් විය. නාගරික සිටුහුගේ වත්කම සතළිස්කෝටියකි. ඒ නිසා ගම්වැසි සිටුවරයා, ඉදින් මම නවකෝටියක්, දසකෝටියක් දෙන්නෙමියි කීවොත් එයින් මා නිර්ධනයෙක් වෙයි. එසේ සිතූ ඔහු මෙසේ කීවේය: මම මෙපමණ ධනයකුත් දෙමි. දූ දරුවන් සහිතව චෛත්‍යයට දාසයෙක් වන්නෙමියි, පුතුන් සත්දෙනාත් යෙහෙළියන් සත්දෙනාත් භාර්යාවත් සහිත තමනුත් චෛත්‍යය උදෙසා පාවා දුන්නේය.

රටවැසියෝ, ධනය නම් උපයා ගත හැකිය. මොහු අඹුදරුවනුත් සමග තමන් චෛත්‍යයේ දාසභාවයට පත්වෙයි. මූලිකයා මොහුම විය යුතුයයි ඔහු මූලිකයා කළහ. මෙසේ ඔහු සෙසු ජනයාත් සමග චෛත්‍යයේ දාසභාවයට පත්විය. රටවැසියෝ නැවත ඔවුන් දාසභාවයෙන් නිදහස් කළහ. එසේවුවත් චෛත්‍යයට පිළිදැගුම් කරමින් ආයු ප්‍ර‍මාණය ගෙවා එයින් චුතව දෙව්ලොව උපන්හ.

එක් බුද්ධාන්තරයක් දෙව්ලොව විසූ ඔවුහු මේ බුද්ධෝත්පාද කාලයේ භාර්යාව එයින් චුතව අවුත් රජගහ නුවර සිටුහුගේ දුවණියවී උපන්නාය. ඒ කුමරිය කුමාරිකා කාලයේදීම සෝවාන්ඵලයට පැමිණියාය. සත්‍යය අවබෝධ නොකළවුන්ගේ ප්‍ර‍තිසන්ධිය අනියත හෙයින් සැමියා චුතව අවුත් වැදිපවුලක උපන්නේය. ඔහු දුටු මොහොතේම සිටුදුව කෙරෙහි පූර්ව ස්නේහය නැගී ආවේය. ඒ නිසා මෙසේත් කියා ඇත:

පෙර එක්ව විසුමේ

පුරුද්දෙන් මේ දිවියෙද

ප්‍රේමය හටගනී

විලෙහි උපුල් පිපෙන විලසින්

ඈද පෙර ස්නේහය අනුවම වැදිකුලයට ගියාය. ඔවුන්ගේද පුත්‍රයෝද දෙව්ලොවින් චුතව අවුත් ඇගේ කුස පිළිසිඳගත්තාහුය. යෙහෙළියෝද ඒ ඒ තැන්වල ඉපදී වැඩිවියට පැමිණ ඔවුන්ගේ ගෙවල්වලටම ආවාහ. මෙසේ ඒ සියලු දෙනාම චෛත්‍යය පළිසකරකරමින් ඒ පින්කමේ ආනුභාවයෙන් සෝවාන්ඵලයට පත්වූහ.


Na Uyane Ariyadhamma Thero


 

මෛත්‍රී භාවනාව – 06 කොටස – පළමුව මෙත් වැඩිය යුත්තෝ

 

මෛත්‍රී භාවනාව – 06 කොටස – පළමුව මෙත් වැඩිය යුත්තෝ…

Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 



මෛත්‍රී භාවනාව –  06 කොටස – පළමුව මෙත් වැඩිය යුත්තෝ…

මෛත්‍රී භාවනාව වඩනු කැමති පුද්ගලයන් පළමුව ද්වේෂයේ ආදීනව මෙනෙහි කර මෙත් වැඩීමේ ආනිසංස මෙනෙහි කොට තම චිත්ත සන්තානය තුළ ඉවසීමේ ගුණය වැඩි දියුණු කරගනිමින් මෛත්‍රී විහරණය ඇති කර ගැනීම පිණිස මෛත්‍රී භාවනාව ආරම්භ කළ යුතු වේ.


මෙත්ත සූත්‍රාදියේ දී බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවට උපදෙස් දෙන ලද්දේ වුව ද ප්‍රායෝගිකව මෛත්‍රී විහරණය ඇති කරගැනීමේ දී ඒ සූත්‍ර දේශනාවන්ගේ අර්ථ විග්‍රහය මැනවින් සිදු කර ගත යුතු වේ. ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව වඩන ආකාරය පිළිබඳ විශිෂ්ඨතම අර්ථ විග්‍රහය හමු වන්නේ විශුද්ධි මාර්ගයේ බ්‍රහ්මවිහාර නිර්දේශයේ ය. එහි දී පළමුව මෛත්‍රී භාවනාව වැඩීම පිළිබඳ දීර්ඝ විවරණයක් සැපයෙන අතර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කොට අත්දැක ඇති ප්‍රත්‍යක්‍ෂ භාවනා මාර්ගයක් වේ. වර්තමානයේ භාවනාව පිළිබඳ නොයෙක් විවරණයන් හමු වුව ද ඒ බොහෝ භාවනා විවරණයන් බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනයට නො ගැළපෙනවා මෙන් ම ප්‍රායෝගිකව චිත්ත සමාධිය ඇති කරන භාවනා නොවේ. එබැවින් පෞරාණික මහාවිහාරීය භාවනා මාර්ගය තුළ විවරණය වන මෛත්‍රී භාවනාව මෙහි දී විස්තර කරනු ලැබේ.


විශුද්ධි මාර්ගයේ දැක්වෙන අන්දමට මෛත්‍රී භාවනාව ආරම්භ කරන යෝගාවචරයා විසින් පළමු කොට ම පුද්ගල දෝෂයෝ දැන ගත යුතුය. පුද්ගල දෝෂ යනු භාවනාවට හානිකර පුද්ගලයන් ය. ඇතැම් කෙනෙකුට පළමුව මෛත්‍රී කිරීම සුදුසු නොවේ. එවන් අයෙකුට මෛත්‍රී කිරීමෙන් භාවනාව ආරම්භ කරන තැනැත්තාට භාවනාව සමෘද්ධමත් කර ගැනීමට නො හැකි වේ. ඒ අනුව කවුරුන් කෙරෙහි පළමුව මෛත්‍රිය නො වැඩිය යුතුය දැයි පළමුව ම දැන ගත යුතුය.


මෙත් වැඩීමේ දී අප්‍රිය පුද්ගලයා ය, අතිශය ප්‍රිය සහායකයාය, මධ්‍යස්ථ පුද්ගලයාය, වෛරී පුද්ගලයාය යන සතර පුද්ගලයන් කෙරෙහි පළමුව නොම වැඩිය යුතුය. එසේ ම ස්ත්‍රී ලිංගාදි ලිංග විසදෘෂ පුද්ගලයන්ට ද පළමුව නො වැඩිය යුතුය. එනම් පුරුෂයෙක් විසින් පළමුව මෙත් වැඩීම ස්ත්‍රියක් කෙරෙහි නො කළ යුතුය. ස්ත්‍රියක් විසින් පළමුව පුරුෂයෙකුට මෙත් වැඩීම නො කළ යුතුය.


අප්‍රිය පුද්ගලයෙකුට පළමුව මෙත් වැඩීමේ දී ඒ අප්‍රිය තැනැත්තා ප්‍රිය ස්ථානයේ තබන්නට දරන උත්සාහයෙන් යෝගියා වෙහෙසට පත් වේ. එනම් අප්‍රිය බව ප්‍රිය බවට ඍජුවම ප්‍රතිපක්‍ෂ බැවින් අප්‍රියයා ප්‍රිත තැන තබන්නට උත්සාහ කිරීමේ දී වෙහෙසට පත් වේ. වැඩුණු මෛත්‍රී භාවනාවක් ඇති තැනැත්තාට එය අපහසුවක් නොවේ.

අතිශය ප්‍රිය සහායකයා කෙරෙහි ගේහසිත ප්‍රේමය ඇති වන බැවින් පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ. වැඩුණු මෛත්‍රී භාවනාවක් නොමැති විට පළමුව මෙත් වැඩීමේ දී අතිශය ප්‍රිය සහායකයා මධ්‍යස්ථ බවට පත් කර ගත යුතු වේ. ඒ අතිශය ප්‍රිය සහායකයාට ඉතා කුඩා දුකක් ඇති වුව ද තමන්ට එය බලවත්ව දැනෙයි. එබැවින් අතිශය ප්‍රිය සහායකයාට ද පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ.


උපේක්‍ෂාව ඇති කර ගත යුතු මධ්‍යස්ථ පුද්ගලයා සම්භාවනීය බවට ද ප්‍රිය කටයුතු බවට ද නො පැමිණේ. පළමුව මෙත් වැඩීමේ දී ඒ මධ්‍යස්ථ තැනැත්තා ගෞරවනීය තැනක ප්‍රිය තැනක තැබීමට දරන උත්සාහයේ දී යෝගියා වෙහෙසට පත් වේ. එබැවින් මධ්‍යස්ථ තැනැත්තාට ද පළමුව මෙත් වැඩීම නො කළ යුතු වේ.

වෛරී තැනැත්තා සිහි කිරීමෙන් ද සිතට ක්‍රෝධය උපදී. එබැවින් වැඩුණු මෛත්‍රී විහරණයක් නොමැති තැනැත්තාට වෛරී පුද්ගලයා කෙරෙහි පළමුව මෙත් වැඩීම කළ නොහැකි වේ. මෛත්‍රිය පුරුදු පුහුණු කරගෙන සෑම දෙනා කෙරෙහි ම සම සේ මෙත් වැඩීමට හැකි තත්ත්වයට පත් වූ යෝගියාට වෛරී පුද්ගලයාට ද මෙත් වැඩිය හැකි වේ. මේ නිසා වෛරී පුද්ගලයාට ද පළමුව මෙත් වැඩීම සිදු නො කළ යුතු වේ.


එසේ ම ලිංග විශභාග තැනැත්තාට ද විශේෂයෙන් අරමුණු කොට මෛත්‍රී වැඩීම නො කළ යුතු වේ. එනම් අසවල් කාන්තාව සුවපත් වේවා, අසවල් පුරුෂයා සුවපත් වේවා යනාදි වශයෙන් පුරුෂයෙක් ස්ත්‍රියකට මෙත් වැඩීම ද ස්ත්‍රියක් පුරුෂයෙකුට මෙත් වැඩීම ද නො කළ යුතු වේ. එසේ ලිංග විශභාග පුද්ගලයාට මෙත් වැඩීමේ දී රාගය උපදී. එබැවින් වැඩුණු භාවනාවක් නොමැති තැනැත්තා පළමුව ඒ ලිංග විශභාග තැනැත්තා විශේෂයෙන් අරමුණු කොට මෙත් වැඩීම නො කළ යුතු වේ.


මියගිය තැනැත්තන්ට මෙත් වැඩීමේ දී ධ්‍යානයක් හෙවත් අර්පණා සමාධියක් හෝ උපචාර සමාධියක් හෝ ඉපදවිය නො හැකි වේ. මෛත්‍රිය පැතිරවීමට අයෝග්‍ය ස්ථානයක් ලෙස මළවුන් කෙරෙහි ද මෛත්‍රී භාවනාව සිද්ධ නොවන බව සඳහන් වේ.


එක්තරා තරුණ භික්‍ෂුවක් තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරමින් මෙත් වැඩීම ආරම්භ කළේය. එහෙත් මෛත්‍රිය නො පවතින්නේය. උන්වහන්සේ මහාස්ථවිරයන් වහන්සේ සමීපයට ගොස් තමන්ට මෛත්‍රි ධ්‍යානය ප්‍රගුණ නොවන බව පැවසීය. සමවැදීමට නො හැකි වන බව පැවසීය. එහි දී මහාස්ථවිරයන් වහන්සේ අවවාද දුන්නේ තමන් මෙත් වඩන තැනැත්තා ජීවත් වේ ද නැද්ද යන්න සොයා බලන ලෙසයි. ඒ පිළිබඳ සොයා බැලීමෙන් තමන්ගේ ආචාර්යයන් වහන්සේ මරණයට පත් වී ඇති බව සොයා ගන්නා ලද බව විශුද්ධි මාර්ගයේ සඳහන් වේ. එබැවින් මෛත්‍රී භාවනාව මිය ගිය පුද්ගලයන් විෂයෙහි ද වැඩීම නො කළ යුතු වේ.


මෛත්‍රී භාවනාව වැඩීම ආරම්භ කරන තැනැත්තා සියල්ලට ම පළමුවෙන් තමන්ට මෛත්‍රිය වැඩීමට පුරුදු විය යුතුය. ‘මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා, සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.

මෙහි දී බොහෝ දෙනෙකුට ඇති වන ගැටලුවක් වන්නේ බුදුරජාණන් වහන්සේ කිසිදු සූත්‍ර දේශනාවක තමන්ට මෛත්‍රී වැඩීමක් පිළිබඳව දේශනා කර නොමැති වීමත් සෑම තැන්හි ම අන් අයට මෙත් වැඩීම ගැන පමණක් ම දේශනා කර තිබීමත් නිසා තමන්ට මෙත් වැඩීම කළ යුතු ද යන්නයි. මෙත්ත සූත්‍රයේ ද හමු වන්නේ ‘සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනුවෙනි. කිසිදු ආකාරයකට තමන්ට මෙත් වැඩීමක් ‘අහං සුඛිතො හොමි’ යනාදි වශයෙන් හමු නොවේ. ඒ පිළිබඳව මීළඟ ලිපියෙන් විවරණය කරමු.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...