|
Monday, January 31, 2022
බුද්ධ පූජාවේ අනුසස්
ආයුෂ වැඩෙන පිළිවෙත
ආයුෂ වැඩෙන පිළිවෙත
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
" සමාජය සදාචාරයෙන් පිරිහෙන විට එහි වෙසෙන්නන් අතර විවිධ ලෙඩරෝග වර්ධනය වන බවත්, මිනිසුන්ගේ දීර්ඝායුෂ්ක බව ක්‍රමයෙන් පිරිහෙන බවත් චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වේ."
ලොව සැම කෙනෙක් ම නොමැරී බොහෝකල් ජිවත්වීමට කැමැත්තෝ වෙති. ආබාධ හේතුවෙන් ශරීරයේ ඇතැම් කොටස් ඉවත්කරමින් වුව ඔවුහු දිගුකලක් ජීවත් වීමට කැමැත්තක් දක්වති. විද්‍යාව හා තාක්ෂණය විසින් හඳුන්වාදෙන ලද බොහෝ දෑහි අරමුණ වන්නේ මිනිසාගේ ආයු කාලය වැඩි කිරීම ය. වෛද්‍යවරු මෙන් ම, විද්‍යාඥයෝ ද මිනිසාගේ ආයුෂ වර්ධනය කිරීමෙහිලා අනවරත අරගලයක නිරත වෙති.
මෙම පසුබිම යටතේ සැම කෙනෙක් ම නොමැරී දිගුකලක් ජීවත් වීමේ ආසාවෙන් යුක්ත වූවෝ වෙති. ඒ සඳහා ඔවුහු විවිධ කායික හා මානසික අභ්‍යාසවල නිරත වෙති. විවිධ දෑ සිදුකරති. නීරෝගී බව උතුම්ම ලාභය යැයි අවධාරණය කළ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ද නීරෝගී ව දිගාසිරි ලැබීමේ පිළිවෙත් පසක් දේශනා කළහ. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන දුතිය ආයුස්ස සූත්‍රයේ දැක්වෙන පරිදි දීර්ඝායුෂ ලැබීම සඳහා හිතකර දෑ අනුගමනය කරන (සප්පායකාරී හොති), හිතකර දැයෙහි වුව ප්‍රමාණය දැනීම (සප්පායේ මත්තං ජානාති), පමණ දැන ආහාරපාන ගැනීම (පරිනතභොජි හොති) , සිල්වත් වීම (සිලවා ච හොති) ,කල්‍යාණමිත්‍ර සේවනය (කල්‍යාණමිත්තො ච හොති) ආදියෙන් යුක්ත විය යුතු ය. භික්ෂූන් පිරිසක් අමතා කළ මෙම දේශනයෙන් අවධාරිත කරුණු ගිහි සමාජයටද එකසේ ම සාධාරණ වේ. ආයුෂ වර්ධනය වීම යනුවෙන් අදහස් කෙරෙන්නේ ආපදාවකින් තොරව බොහෝ කලක් ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ලැබීමයි. එය ප්‍රාර්ථනා කිරීමෙන් ලද නොහැකි ය. එසේ ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නම් ලෝක වාසීන්ට කවර නම් අඩුවක් තිබේදැයි වරෙක බුදුන් වහන්සේ ද සඳහන් කළහ. ආයුෂ ප්‍රාර්ථනා කිරීම වෙනුවට ආයුෂ වැඩෙන පිළිවෙත අනුගමනය කිරීම බෞද්ධ ඉගැන්වීමයි. ආයුෂ වැඩීමට නම් ඒ සඳහා ඉවහල්වන හිතකර දෑ මෙන්ම අහිතකර දෑ පිළිබඳ මූලික අවබෝධයක් අවශ්‍ය වේ.
දුතිය ආයුස්ස සූත්‍රයේ එන පළමු හා දෙවන කරුණෙන් අවධාරණය කෙරෙන්නේ හිතකර හා අහිතකර දෑ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු පිළිවෙතයි. මෙහිදී හිතකර දෑ යනුවෙන් අදහස් කෙරෙන්නේ කෙනෙකුගේ සෞඛ්‍යයට හා නීරෝගීබවට හිතකර ආහාරපාන, ඇඳුම් පැළදුම් වාසස්ථාන පරිසරය හා ජීවන රටාවයි. හිතකර දැයෙහි වුව ද ප්‍රමාණය වටහා ගැනීම අවශ්‍ය වේ. කොතෙක් හිතකර ආහාරපාන වුව ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් නීරෝගිබවට හානිවිය හැකි ය. හිතකර යැයි සීමාව ඉක්මවා භාවිතයට ගන්නා කවර දෙයකින් නමුත් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි ය. එබැවින් හිතකර දෑ සම්බන්ධයෙන් සීමා පනවා ගැනීමත් නීරෝගීබව සඳහා අවශ්‍ය වේ.
තෙැවන්නෙන් අදහස් වන්නේ ආහාර පාන සම්බන්ධයෙන් පාලනයක් ඇතිකර ගැනීමයි. කය වෙහෙසා වැඩ නොකරන අයෙකු අධික ලෙස ආහාරපාන අනුභව කළහොත් ස්ථූලතාව පදනම්කරගත් රෝග රැසකට හිමිකම් කියන්නෙකු බවට පත්විය හැකි ය. ආහාරයෙහි පමණ දැන කටයුතු කිරීම කායික මෙන් ම, මානසික සුවයටත් හේතු වේ. පමණ දැන අහාර අනුභව කරන්නාට ලැබෙන ආනිසංස සහල් නැලි හතරක බත් අනුභව කළ කොසොල් රජු අරභයා පැහැදිලි කළ සේක. ඒ අනුව පමණ දැන ආහාර අනුභව කරන්නාට කායික සුවයත්, මැනවින් ආහාර දිරවීමත්, දීර්ඝායුෂත් ලැබිය හැකි වේ. ආහාරපාන ජීවිතය සුරක්‍ෂිත කරන අතර ම, ජීවිතය කෙටි කිරීමට ද හේතුවන බව සිහිතබාගත යුතුවේ. බුදුරදුන් මෙන්ම ශ්‍රාවක ශ්‍රාවිකාවන් ද පමණ දැන ආහාර අනුභව කළේ එය අවධාරණය කරමිනි. ආහාරයට ගිජුව කටයුතු කළ බොහෝ දෙනෙකු සිය ජීවිතය නිමාකරන්නේ අතිශය වේදනාකාරී ලෙඩ රෝගවලට මුහුණ දීමෙන් ය. වර්තමාන මිනිසාට වැළඳී තිබෙන බොහෝමයක් ලෙඩ රෝග ආහාරය සම්බන්ධයෙන් ඇතිකරගත් වැරැදි පුරුදු හේතුවෙන් බව පිළිගත් මතයයි. එබැවින් දිගාසිරි අපේක්ෂා කරන්නෙකු ආහාරය සම්බන්ධයෙන් ස්වයං පාලනයක් මෙන්ම විනයක් ද ඇතිකරගත යුතුවේ.
සදාචාරාත්මක හැසිරීම දිගාසිරි ලැබීමට හේතුවන සිව්වන කරුණයි. සමාජය සදාචාරයෙන් පිරිහෙන විට එහි වෙසෙන්නන් අතර විවිධ ලෙඩරෝග වර්ධනය වන බවත්, මිනිසුන්ගේ දීර්ඝායුෂ්ක බව ක්‍රමයෙන් පිරිහෙන බවත් චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වේ. මත්පැන් පානය, අනාචාරයේ යාම වැනි දුසිරිත් ඍජුවම විවිධ ලෙඩරෝග හා සම්බන්ධ ය. සමාජ රෝග යනුවෙන් හඳුනාගන්නා බොහෝමයක් ලෙඩ රෝග ලිංගික සාදාචාරය ඉක්මවා කටයුතු කිරීමේ ප්‍රතිඵල වේ. සුරාව විවිධ ලෙඩ රෝගවලට නිවාසයකි. මිනිසා සදාචාර සම්පන්න වන තරමටම කායික හා මානසික වශයෙන් ද නීරෝගිමත් ය. පුද්ගලයා මෙන්ම සමාජයත් නීරෝගිමත් වන්නේ සදාචාරාය වර්ධනය වීමෙනි. එය පුද්ගලයාට පමණක් නොව පරිසරය කෙරෙහි ද බලපාන බව චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් තවදුරටත් සනාථ වේ. ඒ අනුව සදාචාර සම්පන්න ජීවන පිළිවෙත අනුගමනය කිරීමෙන් කෙනෙකුට ලොව නීරෝගිමත් ම මිනිසා බවට පත්විය හැකි වේ.
දිගාසිරි ලැබීමෙහිලා සමාජමය නීරෝගිබවත් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා බුදුරදුන් නිර්දේශකොට වදාළේ කල්‍යණ මිත්‍ර සේවනයයි. පාප මිත්‍ර සේවනයෙහි යෙදෙන්නාට කායික හා මානසික වශයෙන් කිසිදු අස්වැසිල්ලකට හිමිකම් කිව නොහැකි ය. කොතරම් යහපත් පුද්ගලයෙක් වුව ද පාප මිත්‍ර සේවනයෙන් අයහපත් අයෙකු බවට පත්වීමේ ඉඩකඩ බහුල ය. පාප මිත්‍ර සේවනය හේතුවෙන් කෙනෙකු සුරාවට මෙන්ම දුරාචාරයටත් යොමුවිය හැකි ය. එවැනි චර්යාවක් සහිත කෙනෙකුට කායික මෙන්ම මානසික සුවයක් අත්පත්කරගත නොහැකි ය. වර්තමානයේ ඇතැම් තරුණ පිරිස් අකාලයේ තම වටිනා ජීවිතයට සමු දෙන්නේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමට හුරු වීම නිසයි. එවැනි චර්යාවකට හුරුව තිබෙන්නේ පාප මිත්‍ර සේවනයේ බලපෑමෙන් ය. ඇතැම් පුද්ගලයන් තම ජීවිතය අවසන් කරන්නේ අපරාධකරුවෙකු ලෙස ය. අපරාධ කළ පුද්ගලයාට මොහොතකටවත් තම ජීවිතයේ සුරක්‍ෂිතතාව ගැන අපේක්ෂා තැබිය නොහැකි ය. එවන් තැනැත්තෙකු බලවත් මානසික අසහනයකින් පසුවන අතර ඉතා කෙටි කලකින්ම තවත් අපරාධ කරුවෙකුගේ හෝ අපරාධ කල්ලියක ගොදුරක් බවට පත්ව ජීවිතය අවසන් කරනු නොඅනුමාන ය. සැබෑ කල්‍යාණ මිත්‍රයා යනු සමාජමය වශයෙන් නීරෝගී පුද්ගලයෙකි. එබඳු මිතුරන්ගේ ඇසුර හේතුවෙන් කිසිවෙකුත් අයහපත් චර්යා සහිත කෙනෙකු බවට පත් නොවේ. කායික මානසික අසහනයකින් තොරව දිගුකලක් නීරෝගිමත් ව ජීවත්වීම උදෙසා කල්‍යාණමිත්‍ර හා සත්පුරුෂ ආශ්‍රය උපනිශ්‍රය වේ.
දීර්ඝායුෂ ලැබීමට ඉවහල්වන කරුණු හතර සමාලෝචනය කළ විට එයින් ප්‍රධාන කරුණු තුනක් අවධාරණය වේ. නීරෝගීව දිගුකලක් ජීවත්වීමට පත්‍ය අපත්‍ය දෑ ගැන දැනුවත් වීම මෙන්ම, පමණ දැන ආහාරපාන ගැනීම හේතුවන බව පළමු කරුණයි. දෙවැන්න නම් සදාචාරාත්මක ජීවිතයයි. තෙවැන්න සමාජ ආශ්‍රයයි. සෞඛ්‍ය සංරක්ෂණය වන හිතකර ජීවන පිළිවෙතක් ගොඩ නගාගැනීමත්, සදාචාර සම්පන්න අර්ථවත් චර්යා පද්ධතියක් සකස් කරගැනීමත්, සමාජමය වශයෙන් නීරෝගී මිනිසුන්ගේ ඇසුරත් ආයුෂ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව ඉහත බුද්ධ දේශනාවෙන් පැහැදිලි වේ.
ආයුෂ වර්ධනය කිරීමට අතීතයේ නොතිබුණු බොහෝ දෑ නූතන මිනිසාට කොතෙක් ලැබුණත් පරමායුෂ වින්දනය නොකර ජීවිතයෙන් සමුගන්නේ ඉහතින් දැක්වූ කරුණු පස ගැන නොසැලකිලිමත් වීමේ හේතුව නිසයි. බුදුදහම අනුව කෙනෙකුගේ නීරෝගී බව මැනෙන්නේ කායික නීරෝගී බව පමණක් සැලකිල්ලට යොමුකිරීමෙන් පමණක් නොවේ. ඒ සඳහා සදාචාරාත්මක මෙන්ම සමාජමය නීරෝගී බවත් අවශ්‍ය වේ. රෝගී වූ විටෙක අවශ්‍ය ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය රක්ෂණයක් ගැන සිතනු වෙනුවට බුදුරදුන් වදාළ මෙම කරුණු පස ප්‍රතිපදාවක් ලෙස ක්‍රියාවට නැංවීමෙන් පරමායුෂ වින්දනය කෙරෙන නීරෝගී ජීවිතයටකට හිමිකම් කිව හැකි ය.
සාංඝික දාන සත
සාංඝික දාන සත
එක් පසෙකින් භික්ෂු සංඝයා ද , එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් ව හන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍රමුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සංඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය.
භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය.
භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය.
මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද, භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍රණය කොට පැමිණියා වූ භික්ෂු , භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය.
එසේ නිමන්ත්‍රණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය.
එසේ නිමන්ත්‍රණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය.
මේ දාන සත අතුරෙන් මෙ කල දිය හැක්කේ තුන්වන, සවන දාන දෙක පමණකි. එක භික්ෂුවකට වුව ද , සවන සාංඝික දානය දිය හැකි ය. ස වන සාංඝික දානය දිය යුතු සැටි මෙසේ ය. සංඝාරාමයකට හෝ සංඝයා වැඩ සිටින තැනකට හෝ ගොස් අසවල් භික්ෂූන් වහන්සේ ය, කියා නියමයක් නො කොට මාගේ දානය පිළිගැනීමට මෙ පමණ ගණනක් භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන සේක්වායි සංඝ ස්ථවිරයන් වහන්සේට ආරාධනය කොට සංඝයා වෙනුවෙන් පැමිණෙන්නාවූ ඒ භික්ෂූන්ට දානය පිරිනැමිය යුතු ය. තමාට දිය හැක්කේ එක් භික්ෂුවකට නම් ඒ මහා සංඝයාගෙන් එක් නමක් වැඩම කරන සේක්වා යි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍රණය කොට සංඝයා වෙනුවෙන් පැමිණියා වු කවර භික්ෂුවකට හෝ සංඝරත්නයට දෙමිය යන අදහසින් දන් දුන් කල්හි සවන සාංඝික දානය දුන්නේ වේ. එසේ දීමේදී “ඉමං භික්ඛං භික්ඛුසංඝස්ස දේම” යන වාක්‍යය කියන්නට වුවමනා නැත. එසේ දෙන කල්හි සංඝයා වෙනුවෙන් පැමිණි භික්ෂුව “සිල්වතෙක් ය ගුණවතෙක් ය” කියා සිත සතුටු කරගෙන හෝ “දුශ්සීලයෙක, අනුපසම්පන්නයෙක” කියා සිත නො සතුටු කරගෙන හෝ දෙන්නේ නම් ඔහුගේ දානය සාංඝික නො වේ. සාංඝික වන්නට නම් පැමිණෙන භික්ෂුවගේ ගුණාගුණ නො සිතා සංඝයාට දෙන අදහසින් දිය යුතු ය. පැමිණෙන පුද්ගලයා ගැන නොසලකා සංඝරත්නය ගැන ම සලකා දන් දීම බොහෝ දෙනාට අපහසු කාර්යයෙකි. සඟින් එක් භික්ෂුවක් හෝ භික්ෂූන් වැඩි ගණනක් හෝ ලබා ගෙන දන් දෙන්නවුන්ට පිළිපැදිය යුතු සැටි දැන ගැනීමට අටුවාවෙහි එක් උපාසක මහතකුගේ පුවතක් දක්වා තිබේ. ඒ මෙසේ ය.
පෙර සංඝාවාසයක දායකයකු වූ එක් උපාසක තුමෙක් සාංඝික දානයක් දෙනු පිණිස විහාරයට ගොස් සඟින් එක් නමක් ලැබෙන ලෙස නිමන්ත්‍රණය කළේය. ඔහුගේ දානය පිළිගන්නට පැමිණියේ දුශ්සීල භික්ෂුවකි. උපාසකතුමා ද ඒ භික්ෂුව ගැන දන්නේ ය. එහෙත් ඒ උපාසකතුමා ඉතා ගෞරවයෙන් ඒ භික්ෂුව පිළිගෙන පා සෝදවා උතුම් අස්නක වඩා හිඳුවා සුවඳ දුමින් හා මලින් ද පුදා ඉතා ගෞරවයෙන් දන් දිණි. එදින සවස් කාලයේ පන්සලේ වැඩක් සඳහා උදැල්ලක් ලබා ගැනීමට ඒ භික්ෂුව ඒ උපාසක තැන වෙත පැමිණියේ ය. උපාසක තැන භික්ෂුව දැක හුනස්නෙන් නො නැගීම “ගෙන යනුයි” කියා උදැල්ල භික්ෂුව ඉදිරියට විසි කළේ ය. එය දුටු මනුෂ්‍යයෝ” මේ භික්ෂුවට දානයට පැමිණි වේලාවේ දී බුදුනට සේ ගරු බුහුමන් කොට දැන් මෙසේ කිරීමට කරුණ කවරේ දැ”යි විචාළහ. උපාසකතුමා, “මා ඒ වේලාවේ දී ගරු බුහුමන් කළේ මේ භික්ෂුවට නොව සංඝ රත්නයට ය”යි කී ය. සංඝ රත්නයෙන් නමක් , දෙනමක් ලබා ගෙන සවෙනි සාංඝික දානය දෙන්නෝ මේ උපාසකතුමා මෙන් පැමිණෙන භික්ෂූන්ගේ ගුණා ගුණ ගැන නො සලකා සංඝ ගුණය ම සලකා දන් දීම කෙරෙත්වා.
බෞද්ධයාගේ අත්පොත ඇසුරිණී
සම්මා වාචා
සම්මා වාචා
හෝමාගම පුරාණ විහාරාධිපති
පළාත් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්)
මාදෝවිට වජිරබුද්ධි හිමි
බුදුන් වදාළ ධර්මය මෙලොව, පරලොව දෙලොවට ම සුබදායක වේ. බුදුරදුන් වදාළ ධර්මය ලොවට සෙතකි. ශාන්තියකි.
සම්මා වාචා හෙවත් යහපත් වචනයට බුදුදහමේ ප්‍රමුඛ තැනක් හිමිවේ. මෙම මානව ශිෂ්ටාචාරය ඔවුනොවුන් වචන හුවමාරු කර ගැනීම නිසා ශීඝ්‍රයෙන් දියුණු විය. සත්‍යය දස පාරමිතාවලින් එකකි.
සම්මා වාචා යනු පරම සච්ච හෙවත් පරම සත්‍යයයි. බොරුකීම. කේළාම් කීම, පරුෂ වචන බිණීම සහ හිස් වචන දෙඩීමෙන් වැළකී සුභාෂිත වචන දෙඩීම සම්මා වාචාවලට අයත්වේ. මෙය සීලමය පදනමේ එක අංගයකි. “යම් බසක් වචනයක් නිර්දෝෂී වේ ද, හෘදයාංගම වේ ද, කනට සුව එළවයි ද, පේ‍්‍රමණීය වේ ද, පුරවැසි වේ ද, බොහෝ දෙනට කර්ණ රසායන වේ ද, බොහෝ ජනතාව මනමත් කරන සුළුවේ ද, එබඳු බස් තෙපළීම වේ” යයි මජ්ක්‍ධිම නිකායේ සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රයේ සඳහන් වේ.
බුදුරදහු අසත්‍ය මිථ්‍යාවාචා පි‍්‍රය නොකළහ. චතුරාර්ය සත්‍යය මේ ලෝකයේ පවතින සැබෑම සත්‍යය වේ. බුදුන් වදාළ ධර්මය මෙලොව, පරලොව දෙලොවට ම සුබදායක වේ. බුදුරදුන් වදාළ ධර්මය ලොවට සෙතකි. ශාන්තියකි. “ඒතේන සච්චේන සුවත්ථි හෝතු” යයි ආශිර්වාද කරති. සත්‍යය අමෘත පදයකි.රසයන් අතර සත්‍යය රසය හරවත් ම රසය වේ. සියලු ආකාර මුසාවන් දුරු කළ යුතු ය. (සප්ප අභූතං පරිවජ්ජයෙය්‍ය) ආදි වශයෙන් සත්‍ය වචනයේ ඇති වැදගත්කම පහදා දී ඇත. පංච සීල ප්‍රතිපදාවේ මෙන් ම අෂ්ටාංග උපෝසථ සීලයේ දී මුසාවාදයෙන් වැළකීම පිළිබඳ ශික්ෂා පද පනවා ඇත. මුසාව, කේළාම් පරුෂ වචන ආදිය නිසා සමාජය තුළ ගැටුම් උදාවේ. පුද්ගලයා හඳුනා ගැනීමට උපකාරි වන්නේ ඔහුගේ වාග් මාලාවයි.
දිනක් බුදුරදහු භික්ෂු, භික්ෂුණී උපාසක – උපාසිකා සිව්වනක් පිරිස පිරිවරා සිංසපා වනයට වැඩම කළහ. සේතව්‍යානුවර එම ඇට්ටේරියා වනයේ ඇට්ටේරියා කොළ මිටක් අතට ගත් බුදුරදහු තමන් දේශනා කළ ධර්මය, අතැති ඇට්ටේරියා කොළ මිට ට සමාන කළ හ. අර්ථවත් අත්‍යවශ්‍ය කරුණු පමණක් දේශනා කළ බව එමඟින් ප්‍රකාශ වන බව සංයුත්ත නිකායේ සිංසපා සූත්‍රයෙන් හෙළිවේ. අනර්ථවත් වචන දහසක් පවසනවාට වඩා අර්ථවත් එක සුභාෂිතය යහපත් බව ද, ධම්මපදයේ සඳහන් වේ. තමාට සහ සමාජයට වැඩ ඇති එකම දහම සමාජය හා තමන් බබුළුවයි.
බුදු සමය වෙත ප්‍රථමයෙන් එළඹෙන පුද්ගලයා මෙන් ම වෙනත් ආධුනික පිරිස් බුදුරදුන් බැහැ දැකීමෙන් පසු ක්‍රමානුකූලව එම ශ්‍රාවක පිරිස තම දහමට සමීප කරගන්නා වැඩ පිළිවෙළක් ද ඇත. එය සසුනේ අනුපිළිවෙළ කතා යනුවෙන් සඳහන් වේ. දාන කථා, සීල කථා, ස්වර්ග කථා කාමයන්ගේ ආදිනව, ලාමක බව, කාමයන්ගේ කෙලෙසීම, කාමයන්ගේ හික්මුණු බව හෙවත් නෛෂ්ක්‍රම්‍යයේ ආනිශංස ද එයට අයත් බව දීඝනිකාය අම්බට්ඨ සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍රවල සඳහන් වේ. බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ අපමණ වේ. බුදුරදුන් ධර්ම දේශනා කිරීමෙන් හෝ අනුශාසනා කිරීමෙන් අනතුරුව බොහෝ ගිහි – පැවිදි පිරිස් ප්‍රකාශ කරන ලද්දේ” ගෞතමයන් වහන්ස, ධර්ම දේශනය ඉතා විශිෂ්ට ය. ඉතා මනස්කාන්ත ය. යටිකුරු කළ භාජනයක් උඩුකුරුකරන්නා සේ , වැසී තිබූ දෙයක් විවෘත කරන්නා සේ , මං මුළාවූවෙකුට මාර්ගය කියන්නා සේ, අන්ධකාරයට ආලෝකයක් උදා කරන්නා සේ මැනවින් ධර්ම දේශනා කළ බවකි.
සීලයේ පදනම ද වචනය මුල් කරගෙන, කේන්ද්‍රීය කරගෙන ක්‍රියාත්මක වේ. සීල සමාදානය ද සම්මාවාචාව සුරක්ෂිත කිරීමට ඉවහල් වේ. එහි දී වචනයෙන් බිඳී යන සීලය රැක ගැනීමට දෙතිස් කතාවලින් වැළකිය යුතු බව ද දීඝනිකාය ලෝහිච්ච ආදි සූත්‍රවලින් හෙළිවේ. රජ, සොරු, මහ ඇමති, යුද්ධ, ආහාර පාන, වස්ත්‍ර, සයන, මල්දම්, ස්ත්‍රී, පුරුෂ, කුමරි, කුමර මහා සමුද්‍ර ජනපද මහා කතා ආදිය දෙතිස් කතාවලට අයත් වේ. මුසාවාදය පංච දුශ්චරිත වලට මෙන්ම සතර කර්ම ක්ලේශවලට ද අයත් වේ.
සම්මා වාචාව ඇති කල්හි කලහ විවාද නැත. මුඛය හෙවත් කට කෙටේරියක් බවත්, දුර්භාෂිත දෙඩීම තුළින් එම කෙටේරිය තමාට සහ සමාජයට අවැඩක් ම සිදුවන බවත් බුදු සමයේ පිළිගැනීම වේ. බුදුරදුන් වදාළ ධර්මය අසූහාර දහසක් ධර්මස්කන්ධ වලින් යුක්ත වේ. එවැනි ශ්‍රේෂ්ඨ ධර්මයක් ඇති කල්හි එම දහම දේශනා කරන, ශ්‍රවණය කරන පිරිස ධර්ම රත්නයේ සරණ ප්‍රාර්ථනා කරති. බියක්, තැති ගැනීමක් , ලොමු දැහැගැනීමක් උදාවූ කල්හි ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කිරීමෙන් එම උපද්‍රවවලින් වැළකිය හැකි බව ධජග්ග පිරිතේ සඳහන් ය. සත්‍ය පාරමිතාවකි. සත්‍ය පාරමිතාව ද පරම සත්‍යයට අදාළ වූ සම්මා වාචාව නියෝජනය කරයි. පෙර මගධයෙහි අපේ බෝසතුන් වටු ජාතියෙහි උපන් කල ප්‍රදේශයේ පැතිරී ගිය මහ ලැව්ගින්නක් පෙර බුදුවරුන් දේශනා කල ධර්මයෙහි බලයෙන් ද, සීල, සමාධි, ප්‍රඥාදී ත්‍රිශික්ෂා ගුණ මහිමයෙන් ද, සිදු කරන ලද සත්‍ය සිහිපත් කිරීමේ බලයෙන් ද ගින්න නිවා දමා ජනතාවට පිහිට වූ පුවතක් වට්ටක ජාතකයේ සඳහන් වේ.
මේ අනුව සම්මා වාචා යන ආර්ය මාවතේ සඳහන් වාචසික ශක්තිය ඉතා පුළුල් තලයක පැතිරුණු ධර්මතාවයකි. සම්මා වාචා හෙවත් සත්‍යය අමාවදනකි. මේ දහම සනාතනික පැරැණි දහමකි. සත් පුරුෂයෝ සත්‍යයේ ද, අර්ථයෙහි ද, ධර්මයෙහි ද පිහිටා ක්‍රියා කරනු ඇති බව සංයුක්ත නිකායේ සුභාෂිත සූත්‍රයේ සඳහන් වේ
මිලින්ද ප්‍රශ්නය
කිරුවත් ලුණු බර තරාදියක් නෑ රස හඳුනන්නේ
පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
"නාගසේන මහ රහතන් වහන්සේගේ ප්‍රඥා භාවයත්, ඉවසීමත්, අවබෝධයත්, ශාස්තෘ ගෞරවයත් අදහාගත නොහැකි තරම් විශ්මිත ය."
නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැසුණ මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය.
“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, කිම? මේ දුක නිරුද්ධ වී යන්නේ ද, යළි වෙනත් දුකක් නූපදින්නේ ද යන කරුණ පිළිබඳ ඔබවහන්සේ වදාරණවා නොවේ ද?
“මහරජාණෙනි, අපගේ පැවිදි බව තිබෙන්නේ ඔය කාරණය පිණිස තමයි”
“ නූපන් අකුසල් ආදියත්, උපන් අකුසල් ආදියත් දුරුකිරීම පිණිස, නූපන් කුසල් ඉපිදවීම පිණිස, උපන් කුසල් වැඩිදියුණු කිරීම පිණිස මුල සිට ම වීරිය කළ යුතු ද? එහෙම නැත්නම් අකුසල් ආදිය හටගත් අවස්ථාවන් හි දී ඒ ඒ තන්හි වීරියෙන් යමක් කළ යුතු නම්, ඒ වීරිය කළ යුතු ද?”
“මහරජාණෙනි, අවස්ථානුකූල ව බලා සිට කරන වීරියෙන් අදාළ කාරණය ඉෂ්ට වන්නේ නැත. මුල සිටම අඛණ්ඩ ව කරන වීරියෙන් තම යි අදාළ කාරණය ඉටුවන්නේ?”
“ස්වාමීනි උපමාවක් වදාළ මැනැව“
“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? යම් විටෙක ඔබට පිපාසය ඇතිවෙනවා ද? “මට පිපාසයි පැන් බොන්නට ඕන.” කියා සිතෙනවා. එවිට ද? ඔබ ළිඳක් කණින්නේ? එවිට ද ?ඔබ පොකුණක් කණින්නේ?”
“නැත ස්වාමීනි”
ඒ වගේ තමයි මහරජතුමනි, වීරියෙන් යමක් කළ යුත ªද, ඒ සඳහා කලින් වීරිය නො කොට එයට අවස්ථාව ලද කල්හි , වීරිය කිරීම සාර්ථක දෙයක් නොවේ. වේලාසනින් ම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වන්නේ?”
“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනව.”
“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ?” යම් විටෙක ඔබට කුසගින්න ඇතිවෙනවා. එතකොට ද ඔබ ‘මට බත් අනුභව කරන්නට ඕන’ කියලා කුඹුරු සී සාන්නේ? වී වපුරන්නේ? ධාන්‍ය රැස් කරන්නේ?”
නැත ස්වාමීනි”
“ඒ වගේ තමයි මහරජතුමනි, වීරියෙන් යමක් කළ යුතු ද, ඒ සඳහා කලින් වීරිය නොකොට එයට අවස්ථාව ලද කල්හී වීරිය කිරීම සාර්ථක දෙයක් නොවේ. වේලාසනින් ම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වන්නේ.”
“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනව“
“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? යම් විටෙක ඔබට යුද්ධයකට මුහුණ දෙන්නට වෙනවා. එවිට ද ඔබ ඇතුළු නුවර වටේට දිය අගල තනන්නේ? ප්‍රාකාර බඳින්නේ? දොරටුව කරවන්නේ? මුර අට්ටාල කරවන්නේ? ධාන්‍ය රැස් කරවන්නේ? එවිට ද ඔබ ඇත් සේනාව පුහුණු කරවන්නේ? අශ්ව සේනාව පුහුණු කරවන්නේ? රථ සේනාව පුහුණු කරවන්නේ? දුනු සේනාව පුහුණු කරවන්නේ? කඩු සේනාව පුහුණු කරවන්නේ?”
“නැත ස්වාමීනි”
“ඒ වගේ තමයි මහරජතුමනි, වීරියෙන් යමක් කළ යුතු ද?, ඒ සඳහා කලින් වීරිය නො කොට එයට අවස්ථාව ලද කල්හි වීරිය කිරීම සාර්ථක දෙයක් නොවේ. වේලාසනින් ම වීරිය කරමින් සිටිය යුතුයි. එයයි සාර්ථක වන්නේ.
මහරජාණෙනි , භාග්‍යවතුන් වහන්සේ ඔය කාරණය මේ අයුරින් වදාළ සේක.
පටිගච්චේච නං කයිරා
යං ජඤ්ඤා හිතමත්තනෝ
න සාකටිකචින්තාය
මන්තා ධීරෝ පරක්කමේ
තමාගේ හිතසුව පිණිස ඇති යමක් ඇද්ද?, ඒ දන්නා තැනැත්තා විසින් මුල සිට ම වීර්යය කළ යුත්තේ ය. නුවණැති ප්‍රඥාවන්ත තැනැත්තා වීරිය කරන්නේ මඟ වැරදුණු ගැල්කරුවා සිත සිතා සිටින අයුරින් නොවේ.
යථා සාකටිකෝ නාම
සමං හිත්වා මහාපථං
විසමා මග්ගමාරුය්හ
අක්ඛච්ජින්නෝවඣායති
ගැල්කරුවන් යා යුතු ප්‍රධාන සම මාර්ගය අත්හැර විෂම වැරැදි මඟකට පැමිණෙයි. වැරැදි මඟට පිළිපන් කරුණ හේතුවෙන් ගැලෙහි අකුර බිඳී ගිය විට චිත්ත වික්ෂෝපයෙන් පසුවන්නේ යම් සේ ද?
ඒවං ධම්මා අපක්කම්ම
අධම්මමනුවත්තිය
මන්දෝ මච්චුමුඛං පත්තෝ
අක්ඛච්ඡින්නෝ ච සෝචති
මෙසේ යා යුතු ධර්මයෙන් බැහැර වී අධර්මයට අනුව දිවි ගෙවූ බාල තැනැත්තා මරණය අභියසට පැමිණි කල්හි ශෝක කරන්නේ අකුර බිඳී ගිය ගැල්කරුවා ශෝක වන ලෙසිනි.
“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” මිළිඳු රජු පැවසී ය.
නැවත මිළිඳු රජු මෙසේ ඇසුවේ ය
“ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ ධර්මයන් එකට එක් වී තිබෙද්දී එහි ඇති දේ වෙන් වෙන් කොට වෙන් වෙන් වශයෙන් පැහැදිලි කළ හැකි ද? එනම් මෙය ස්පර්ශය යි. මෙය විඳීම යි. මෙය සංඥාව යි. මෙය චේතනාව යි. මෙය විඤ්ඤාණය යි. මෙය විතර්කය යි. මෙය විචාරය යි කියා.”
“මහරජාණෙනි, මේ ධර්මයන් එකට තිබෙන විට. වෙන් වෙන් කොට වෙන් වෙන් වශයෙන් මෙය ස්පර්ශය යි, මෙය විඳීම යි, මෙය සංඥාව යි, මෙය චේතනාව යි, මෙය විඤ්ඤාණය යි, මෙය විතර්කය යි, මෙය විචාරය යි කියා පෙන්වන්නට බැහැ”
“ස්වාමීනි උපමාවක් වදාළ මැනව.”
මහරජාණෙනි, එය මෙවැනි දෙයකි. රජතුමාගේ අරක්කැමියා රස නැති දෙයක් හෝ රස ඇති දෙයක් හෝ, වෑංජනයක් පිණිස පිළියෙළ කරද්දී එයට දී කිරිත් දමයි. ඉඟුරුත් දමයි. දුරු පහේත් දමයි. මිරිස් දමයි, වෙනත් රසකාරකත් දමයි. එවිට රජු ඔහුට මෙසේ පවසයි. “මට මේ වෑංජනයෙන් දී කිරි රස වෙන ම ගෙන එන්න. මට ලුණු රස වෙනම ගෙන එන්න. මට ඉඟුරු රස වෙනම ගෙන එන්න. මට දුරුපහේ රස වෙනම ගෙන එන්න. මට මිරිස් රස වෙනම ගෙන එන්න. මට ඒ දැමූ සියල්ලේ ම රස වෙන වෙන ම ගෙන එන්න’ කියා. ඉතින් මහරජාණෙනි, ඒ ඒ රසයන් එකට එකතු වී තිබෙන වෑංජනයෙහි, රස වෙන් වෙන් කොට ඇඹුල් ගතිය හෝ ලුණු ගතිය හෝ තිත්ත ගතිය හෝ කටුක ගතිය හෝ කසට ගතිය හෝ මිහිරි ගතිය හෝ වෙන් කොට දෙන්නට පුළුවන් ද?”
” බැහැ ස්වාමීනි, ඒ සියලු රසයන් එකට එක් වූ වෑංජනයෙහි රස ඇඹුල් ගතියට හෝ ලුණුූ ගතියට හෝ තිත්ත ගතියට හෝ කටුක ගතියට හෝ මිහිරි ගතියට හෝ වෙන් වශයෙන් ගෙනෙන්නට බැහැ. එසේ නමුත් ඒ ලුණු, මිරිස් ආදියෙහි ඇති ස්වභාවය එය අනුභව කරද්දී වැටහේ.”
“මහරජාණෙනි, එබඳු ම තමයි. මේ ධර්මයන් එකට තිබෙන විට, වෙන් වෙන් කොට, වෙන් වෙන් වශයෙන් මෙය ස්පර්ශය යි. මෙය විඳීම යි. මෙය සංඥාව යි. මෙය චේතනාව යි. මෙය විඤ්ඤාණය යි. මෙය විතර්කය යි. මෙය විචාරය යි කියා පෙන්වන්නට බැහැ. නමුත් එය අත්දකින විටදී ඒ ඒ දෙයට අදාළ ස්වභාවය තේරුම් ගත හැකි ය.”
ඉන්පසු නාගසේන තෙරුන් වහන්සේ මෙසේ ප්‍රශ්න ඇසූ සේක
“මහරජාණෙනි, ලුණු යනු ඇසට පෙනෙන දෙයක් නේ ද?”
“එසේය ස්වාමීනි, ලුණු යනු ඇසට පෙනෙන දෙයකි”
“මහරජාණෙනි, දැන් ඔබ ලුණු රසය දැන ගත්තා නේ ද?”
“ස්වාමීනි, ලුණු රස යනු දිවෙන් දැනගත යුතු දෙයක් නොවේ ද?
“එසේය මහරජාණෙනි, දිවෙන් දැනගත යුතු දෙයකි”.
“ඒ කියන්නේ ස්වාමීනි, සෑම ලුණු වර්ගයක් ම දිවෙන් දැනගත යුතු ද?”
“එසේය මහරජාණෙනි, සෑම ලුණු වර්ගයක් ම දිවෙන් තමයි විශේෂයෙන් දැනගන්නේ”
ස්වාමීනි, සෑම ලුණු වර්ගයක් ම විශේෂයෙන් දැනගන්නේ දිවෙන් නම්, ගැල්වලින් ගවයෝ ලුණු අරගෙන එන්නේ කුමක් සඳහා ද? ලුණු විසින් ම ලුණු ගෙන ආ යුතු නොවේ ද?”
මහරජාණෙනි, ලුණු විසින් ම ලුණු අරගෙන එන්නට බැහැ. නමුත් මේ ලුණු භාජනවලට දමා එකට එකතු කර ගැනීමෙන් ගෙන ආ හැකි ය. ඒ ලුණු වර්ගවල වෙනස්කම් නම්, ඒ අයුරින්ම තිබේ. ලුණුවල බරකුත් තිබේ.
මහරජාණෙනි, එතකොට ලුණු තරාදියෙන් කිරන්නට බැරි ද?.”
”ස්වාමීනි, ලුණුු තරාදියෙන් කිරන්නට පුළුවනි.”
”මහරජාණෙනි ලුණු රසය තරාදියෙන් කිරන්නට බැහැ. තරාදියෙන් කිරන්නේ ලුණුවල ඇති බර පමණි.” යැයි නාගසේන මහරහතන් වහන්සේ වදාළ සේක.
- නයනා නිල්මිණී
Monday, January 24, 2022
පෞද්ගලික දාන තුදුස
පෞද්ගලික දාන තුදුස
රේරුකානේ චන්දවිමල මහා නා හිමි
දානය - සාංඝික දානය, පෞද්ගලික දානය යි දෙවැදෑරුම් වේ. එක් පුද්ගලයකුට හෝ පුද්ගලයන් බොහෝ ගණනකට වෙන් වෙන් වශයෙන් හෝ දීම පෞද්ගලික දානය ය. මෙය අසවල් හාමුදුරුවන්ටය. මෙය අසවල් හාමුදුරුවන්ට ය කියා වෙන් කිරීමක් නැති ව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හට දීම සාංඝික දානය ය. පෞද්ගලික දාන තුදුසක් හා සාංඝික දාන සතක් දැ යි එක් විස්සක් දක්ෂිණා විභංග සූත්‍රයෙහි දක්වා තිබේ. එහි පෞද්ගලික දාන තුදුස මෙසේ ය
ලොව්තුරා බුදුනට දෙන දානය
පසේ බුදුනට දෙන දානය
රහතුනට දෙන දානය
අර්හත්ඵලයට පැමිණෙනු පිණිස පිළිපන් තැනැත්තාට දෙන දානය
අනාගාමි පුද්ගලයාට දෙන දානය
අනාගාමි ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය
සකෘදාගාමී පුද්ගලයාට දෙන දානය
සකෘදාගාමී ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය
සෝවාන් පුද්ගලයාට දෙන දානය
සෝවාන් ඵලය පිණිස පිළිපන්නහුට දෙන දානය
සර්වඥ ශාසනයෙන් බැහැර කර්මවාදී ධ්‍යාන ලාභීන්ට දෙන දානය
සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන සිල්වතුන්ට දෙන දානය
සර්වඥ ශාසනයෙන් බැහැර පෘථග්ජන දුශ්ශීලයන්ට දෙන දානය
තිරිසනුන්ට දෙන දානය
යන මේ තුදුස පෞද්ගලික දානයෝ ය. තිසරණ ගත උපාසකයෝ ය, පන්සිල් රක්නා උපාසකයෝ ය, අටසිල්, නව සිල්, දස සිල් රකින්නෝ ය, සාමණේර ශීලය රකින්නෝ ය, උපසම්පදා ශීලය රකින්නෝ ය යන සියල්ලෝ ම සෝවාන් ඵලය ලබනු පිණිස පිළිපන්නෝ ය. එබැවින් ඔවුන් අතුරෙන් කවරකුට වූව ද දීම දස වන දානය වේ. එහෙත් ඔවුන්ගෙන් ගුණ වැඩි අයට දීම වඩා උසස් දානය වේ. දොළොස් වන දානයෙහි කී ශාසනයෙන් බැහැර වූ පෘථග්ජන සිල්වත්හු නම් පවින් වැළකී දැහැමින් ජීවත් වන්නා වූ අබෞද්ධයෝ ය. තෙළෙස්වන දානයෙහි කී පෘථග්ජන දුශ්ශීලයෝ නම් මසුන් මැරීම් ආදියෙන් අධර්මයෙන් ජීවත් වන අබෞද්ධයෝ ය. ප්‍රාණඝාතාදිය කරන බෞද්ධයා ද, තිසරණ ගත් බැවින් දස වන දානයෙහි කී පුද්ගලයන්ට අයත් වේ.
බෞද්ධයාගේ අත්පොත ඇසුරිනි
ධර්ම දානය
ධර්ම දානය
ලාභ කීර්ති ප්‍රශංසාදිය ගැන අපේක්ෂාවක් නැතිව, කරුණාධ්‍යාශයෙන්, පින්පව් හඳුන්වා දීම් වශයෙන් දහම් දෙසීම ධර්ම දානය ය. සත්ත්වයන් නිවන් මගට පමුණුවනු සඳහා ආර්ය සත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානය ය.
ධර්මකථිකයන්ලවා ධර්මය කියවීම ද, බණ නො අසන්නන්ලවා බණ ඇස්වීම ද, බණ පොත් පත් ලියවීම හා මුද්‍රණය කරවීම ද, බණ පොත් මිලට ගෙන පූජා කිරීම ද, ධර්මය ඉගෙන ගන්නවුනට පොත පත සපයා දීම ද, ධර්මයාගේ චිරස්ථිතිය සඳහා ධර්මය උගන්වන ගුරුවරයනට හා උගන්නා ශිෂ්‍යයන්ට උපකාර කිරීම ද, පොත් ගුල් දහම් හල් කරවීම ද, ධර්මයාගේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය පිණිස කළ හැකි කිනම් දෙයක් වූවත් කිරීම ද ධර්ම දානය ම වන්නේ ය.
දානයන් අතුරෙන් ධර්ම දානය අග්‍ර දානය වේ. යමෙකුට සක්වළ ගැබ පුරා අතුරු සිදුරු නැති ව වැඩ සිටින්නා වූ බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මටසිලුටු සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චීවර දානයෙකි. ඒ අතිවිශාල ආමිෂ දානයට වඩා එතැනට රැස් වූ පිරිසට අනුමෝදනා වශයෙන් සතර පද ගාථාවකින් දහම් දෙසීම් වශයෙන් කරන ධර්ම දානය ම උතුම් වේ. ඒ මහා චීවර දානය, එක් ගාථාවකින් දහම් දෙසීමේ කුසලයෙන් සොළොස් වෙනි කලාව තරම්වත් නො වටිනා බව දක්වා තිබේ. තව ද සක්වළ පුරා වැඩ සිටින බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට පාත්‍රා පුරා දෙන මහා ආහාර දානයට ද, එසේ ම පාත්‍ර පුරා දෙන ග්ලානප්‍රත්‍යය දානයට ද, මහා විහාරයන් වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා, ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයට ද වඩා, ජේතවනාරාමය සඳහා අනේපිඬු සිටුහු විසින් කළ පරිත්‍යාගයට ද වඩා, සතර පද ගාථාවකින් පවත්වන ධර්මදානය ම උතුම් බව දක්වා තිබේ. කුමක් හෙයින් ද යත්? එබඳු දානයන් දෙන්නාහු දහම් ඇසීම නිසා ම දෙන බැවිනි. මේ සත්ත්වයෝ දහම් නො ඇසුවෝ නම් යටත් පිරිසෙයින් කැඳ සැන්දක් පවා පිනට නො දෙන්නාහු ය. එබැවින් සියලු ම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ.
“සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතිං ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”
ධර්මදානය තෙමේ සියලු දානයන් දිනන්නේ ය. හෙවත් යට කරන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධම්රතිය (ධර්මයෙහි ඇල්ම) සියලු රතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂයය සකල දුක්ඛය දිනන්නේ ය.
බෞද්ධයාගේ අත්පොත ඇසුරින්
මිලින්ද ප්‍රශ්නය
නාමරූපයන්ගේ හට ගැනීම කර්මයට අනුවයි
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රීක ජාතිකයෙකු වූ මිළිඳු රජතුමාත්, ශාසනයේ චිර පැවැත්මට කැමැති නාගසේන මහරහතන් වහන්සේත් ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර පන්සියයක් ගෙවුණ තැන මුණ ගැසුණේ ය.
දෙදෙනා ම සසරේ ප්‍රාර්ථනාවක් කර තිබුණි. මිළිඳු රජතුමා බුද්ධ ශාසනය පිළිබඳ ව යම් ප්‍රශ්නයක් ඇසුවේ ද, නාගසේනයන් වහන්සේ නො පැකිළිව ඉතා රම්‍ය වූ පිළිතුරු ලබාදුන් සේක.
දිනක් මිළිඳු රජු විසින් මෙසේ ඇසුවේ ය.
“ස්වාමීනි නාගසේනයන් වහන්ස, පිළිසිඳ ගන්නේ කවුද?
“මහරජාණෙනි, පිළිසිඳ ගන්නේ නාමරූපයි”
“එසේනම් මේ නාමරූප ම ද පිළිසිඳ ගන්නේ?”
“මහරජාණෙනි, පොදු ව්‍යවහාරයේ දී නාමරූප පිළිසිඳ ගන්නා බව කතා කරන නමුත් පිළිසිඳ ගන්නේ මේ නාමරූප පමණක් නොවේ. මහරජාණෙනි , මේ නාමරූපය භාවිත කරමින් යම් සුන්දර වූ හෝ , පාපී වූ හෝ කර්මයක් කරයි නම්, ඒ කර්මය කරණ කොටගෙනයි නාමරූපය පිළිසිඳ ගන්නේ”
“එසේනම් ස්වාමීනි, පිළිසිඳ ගන්නේ මේ නාමරූප ම නෙවෙයි නම්, පාප කර්මයන්ගේ අනාගත විපාකවලින් ඒ පුද්ගලයා නිදහස් වෙනවා නේද?”
තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පිළිසිඳ ගන්නේ නැත්නම්, පාප කර්මවල අනාගත විපාකයන්ගෙන් නිදහස් වන්නේ වෙයි. නමුත් මහරජාණෙනි යමක් , හේතුවක් නිසා පිළිසිඳ ගන්නේ නම්, ඒ හේතුව නිසයි ඔහු පාප කර්මයන්ගෙන් නිදහස් නො වෙන්නේ” .
ස්වාමීන් වහන්ස, උපමාවක් වදාළ මැනව“
“මහරජාණෙනි, කිසියම් පුරුෂයෙක් තවත් පුරුෂයෙකුට අයත් අඹ ගෙඩියක් සොරකම් කරයි. එවිට අඹ හිමිකරු ඔහු රැගෙන ගොස් රජුට පෙන්වයි.” දේවයන් වහන්ස, මේ පුද්ගලයා මගේ අඹ සොරකම් කළා’ කියා. එවිට සොරා මෙසේ පවසයි. ‘නැත දේවයන් වහන්ස, මම මොහුගේ අඹ සොරකම් කළේ නැහැ. මොහු යම් අඹයක් රෝපණය කළා නම් , ඒවා වෙනත් අඹ. මා විසින් යම් අඹයක් සොරකම් කළා නම් ඒවා වෙනත් අඹ. මම දඬුවම් නො ලැබිය යුතු වෙමි.’ මහරජාණෙනි, කිම? ඒ පුුරුෂයා දඬුවම් ලැබිය යුතු කෙනෙක් නේද?
“එසේය ස්වාමීනි, ඔහු දඬුවම් ලැබිය යුතු කෙනෙකි.”
”මහරජ, ඒ දඬුවම් ලබන්නේ මක් නිසාද?”
“ස්වාමීනි. ඒ පුද්ගලයා එසේ කියන නමුත්, කලින් සිටුවන ලද අඹය පිළිබඳ හේතුව නො සලකා එයින් උපන් පසු අඹය හේතුවෙන් ඒ පුරුෂයා දඬුවම් ලැබිය යුතුයි.”
”මහරජාණෙනි, සසර ගමනත් එවැනි දෙයකි. මේ නාමරූපය කරණ කොට ගෙන සුන්දර වූ හෝ , පවිටු වූ හෝ කර්මයක් කරයි ද? ඒ කර්මය නිසයි අන්‍ය වූ නාමරූපයක් පිළිසිඳ ගන්නේ. ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ.”
“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව“
“මහරජාණෙනි, කිසියම් පුද්ගලයෙක් අධික සීත කාලයේ ගිනි ගොඩක් දල්වා ගිනි තැප එය නො නිවා පිටත් වෙයි. එවිට ඒ ගින්න ඇවිලී තවත් කෙනෙකුගේ කුඹුරක් දවයි. ඉක්බිති කුඹුරු අයිතිකාරයා අර පුද්ගලයා රැගෙන ගොස් රජුට පෙන්වයි. ‘දේවයන් වහන්ස, මේ පුරුෂයා විසින් මාගේ කුඹුර ගිනි තබන ලද්දේ ය’ කියා. එවිට ඔහු මෙසේ පවසයි. ‘ස්වාමීනි, මම මොහුගේ කුඹුර ගිනි තැබුවේ නෑ. මා විසින් නො නිවන ලද ගින්නක් ඇද්ද, එය අනෙකකි. මොහුගේ කුඹුර දවන ලද යම් ගින්නක් ඇද්ද? එය තව එකකි. එනිසා මම දඬුවම් නො ලැබිය යුතු වෙමි” කියා. කිම? මහරජාණෙනි, ඒ පුුරුෂයා දඬුවම් ලැබිය යුතුයි නේ ද?
“එසේය ස්වාමීනි, ඔහු දඬුවම් ලැබිය යුතුයි”
“කාරණය කුමක්ද?”
“ස්වාමීනි , ඒ පුද්ගලයා එසේ කියන නමුත්, කලින් නො නිවූ ගින්න පිළිබඳ හේතුව නො සලකා, එයින් පසු ගින්න හේතුවෙන් ඒ පුරුෂයා දඬුවම් ලැබිය යුතුයි.”
”මහරජාණෙනි, මෙයත් එවැනි දෙයකි. මේ නාමරූපය කරණ කොට ගෙන සුන්දර වූ හෝ පවිටු වූ හෝ කර්මයක් කරයි ද? ඒ කර්මය නිසයි අන්‍ය වු නාමරූපයක් පිළිසිඳ ගන්නේ. ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ?”
“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව“
“මහරජාණෙනි, කිසියම් පුරුෂයෙක් පහනක් දල්වාගෙන ප්‍රාසාදයකට නැගී එහි සිට ආහාර අනුභව කරයි. පහන එහි දැල්වෙද්දී පිදුරු ගිනි ගනියි. පිදුරු ගිනි ගනිද්දී නිවස ගිනි ගනියි. නිවස ගිනි ගනිද්දී ඒ ගින්න ගමට පැතිර ගොස් ගම ද ගිනි ගනියි. ගම්වැසියන් අර පුද්ගලයා අල්ලා ගෙන මෙසේ අසයි. ‘එම්බා පුරුෂය, නුඹ ගම ගිනි තිබ්බේ ඇයි? ඔහු මෙසේ පවසයි. ‘භවත්නි, මම ගමක් ගිනි තිබ්බේ නෑ. යම් ආලෝකයක් නිසා මං ආහාර අනුභව කළා ද, ඒ පහන අනෙකකි. යමකින් ගම ගිනි ගත්තා ද, ඒ ගින්න තව එකකි. මෙසේ ඔවුහු විවාද කරමින් ඔබ ළඟට පැමිණෙති. මහරජාණෙනි, එතකොට ඔබ ගන්නේ කවරෙකුගේ පැත්ත ද?”
“ස්වාමීනි, මං ගන්නේ ඒ ගම්වැසියන්ගේ පැත්තයි”
“එසේ කිරීමට හේතුව කුමක් ද?”
“අර පුද්ගලයා කෙසේ පැවසුව ද, ඒ ගින්නෙන් ම යි අර ගින්න හටගත්තේ”
“ඔය අයුරින් ම මහරජාණෙනි, මරණාසන්න මොහොතේ මොන ආකාරයකින් නාමරූප තිබුණ ද, පිළිසිඳ ගන්නා මොහොතේ මොන ආකාරයකින් නාමරූප තිබුණ ද කලින් කර්මානුරූප ව සකස් වූ නාමරූපයන්ගේ උපකාරයෙනුයි එය උපදින්නේ . ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ,”
“ස්වාමීනි තවත් උපමාවක් වදාළ මැනවැ”
“එක්තරා පුරුෂයෙක් සිටියි. ඔහු ළදරු වියෙහි සිටින දැරියක අනාගතයේ විවාහ කරගැනීම පිණිස ඇය වෙනුවෙන් ධනය තැන්පත් කොට පිටත්ව යයි. කාලයාගේ ඇවෑමෙන් ඇය උස් මහත්ව වැඩෙයි.
එවිට වෙනත් පුරුෂයෙක් ඇයට ධනය දී විවාහ කර ගනියි. කලින් පුරුෂයා පැමිණ ඔහුගෙන් මෙසේ විමසයි. එම්බා පුරුෂය, නුඹ මාගේ භාර්යාව රැගෙන යන්නේ ඇයි? ඔහු මෙසේ පවසයි. “නුඹගේ බිරිඳක් මා රැගෙන යන්නේ නෑ. නුඹ යම් දැරියකට පොරෙන්දු වී ධනය දුන්නේ වෙයිද, ඕ ළදරු කෙල්ලෙකි. යම් තරුණියකට මා පොරොන්දු වී ධනය දුන්නේ වෙයි නම් ඕ උස් මහත් වූ යොවුන් ස්ත්‍රියකි. ඉදින් මොවුන් විවාද කරමින් ඔබ සමීපයට පැමිණ පැමිණිලි කළහොත් මහරජාණෙනි, ඔබ ගන්නේ කවුරුන්ගේ පැත්ත ද?
“ස්වාමීනි, මා ගන්නේ කලින් පුරුෂයාගේ පැත්තයි”
“එසේ කිරීමට හේතුව කුමක් ද?”
“දෙවෙනි පුද්ගලයා කෙසේ කීවද උස් මහත් වී තරුණියක්ව සිටින්නී අර කලින් දැරිය ම ය.
“ඔය අයුරින්ම මහරජාණෙනි, මරණාසන්න මොහොතේ කුමන ආකාරයකින් නාමරූප තිබුණද, පිළිසිඳ ගන්නා මොහොතේ කුමන ආකාරයකින් නාමරූප තිබුණ ද අර කලින් කර්මානුරූපව සකස් වූ නාමරූපයන්ගේ උපකාරයෙන් එය උපන්නේ. ඒ හේතුව නිසාය පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ”
“ස්වාමීනි තවත් උපමාවක් වදාළ මැනැව“
“මහරජාණෙනි, එක්තරා පුුරුෂයෙක් ගොපල්ලෙකුගේ කිරි කළයක් මිලට ගනියි. නැවත ඔහු ඒ ගොපල්ලා අතම ඒ කිරි කළය තබා “මම හෙට අරගෙන යන්නම්’ යනුවෙන් පවසා පිටත් වෙයි. නමුත් ඒ කිිරි, දී කිරි බවට පත්වෙයි. ඔහු නැවත පැමිණ ‘මගේ කිරි කළය දෙන්න’ කියා ඉල්ලයි. ගොපල්ලා අර කිරි කළය පෙන්වයි. ”නෑ මම ඔබෙන් මිලදී ගත්තේ දී කිරි නො වෙයි. මට කිරි කළය දෙන්න.
”ඔබේ කිරි දී කිරි වූ බව තේරෙන්නේ නැද්ද?” අනෙක් පුරුෂයා අසයි. ඉතින් ඔවුන් වාද විවාද කරමින් ඔබ ළඟට පැමිණියොත් මහරජාණෙනි, ඔබ ගන්නේ කවුරුන්ගේ පැත්ත ද?
“ස්වාමීනි, ගොපල්ලාගේ පැත්තයි”
“එයට හේතුව කුමක්ද?”
“අර පුද්ගලයා කෙසේ පැවසුව ද ඒ කිරිවලින් ම යි දී කිරි උපන්නේ”
“ඔය විදිහට තමයි මහරජාණෙනි, මරණාසන්න මොහොතේ කුමන ආකාරයකින් නාමරූප තිබුණ ද , පිළිසිඳ ගන්නා මොහොතේ කුමන අයුරකින් නාමරූප තිබුණ ද, අර කලින් කර්මානුරූප ව සකස් වු නාමරූපයන්ගේ උපකාරයෙන් ම යි එය උපන්නේ. ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ”.
“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” යි මිළිඳු රජතුමා පැවැසී ය.
- නයනා නිල්මිණී
Sunday, January 23, 2022
මිලින්ද ප්‍රශ්නය
කුසල් දහම් මත පවතින සමාධිය
පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු සංචිතයේනිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර පන්සියයක් ගත වූ තැන නාගසේන මහරහතන් වහන්සේත්, ගී‍්‍රක රජෙකු වූ මිළිඳු රජතුමාත් අතර පැවැති දුර්ලභ ධර්ම සංවාදය මිළිඳු රාජ ප්‍ර‍්‍රශ්නය ග්‍රන්ථයේ ඇතුළත් වී ඇත.
මෙම දහම් සංවාදයේ ඉස්මතු වන දහම් කරුණු අපට අතිශයින් ප්‍රයෝජනවත් ය. කො තරම් දහම් දැනුම තිබුණත් ඇතැම් දහම් ගැටලු විසදා ගැනීමේ දී මිළිඳු රාජ ප්‍රශ්න ග්‍රන්ථයෙන් අපට ලැබෙන උපකාරය ඉතා ම වැදගත් වේ.
දිනක් නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැසුණ මිළින්ද රජු මෙසේ අසා සිටියේ ය.
සිහිය ගැන පිළිබඳ ප්‍රශ්නය
”ස්වාමීනි නාගසේනයන් වහන්ස, සිහියේ ස්වභාවය කුමක් ද?”
”මහරජාණෙනි, කුසල් දහම් අරමුණු කරවන ස්වභාවය සිහිය යි. එමෙන් ම නිවන් මඟට හිිත වූ දේ ත්, අහිත වූ දේ ත් හඳුනාගෙන හිත දේ ගැනීමත්, අහිත දේ බැහැර කිරීමත් සතියේ ස්වභාවය යි.
මහරජාණෙනි, සිහිය ඉපදීමෙන් කුසලාකුසල ධර්මයන්, වැරැදි නිවැරැදි ධර්මයන්, හීන ප්‍රනීත ධර්මයන්, යහපත් අයහපත් ධර්මයන්, පිළිබඳව පැහැදිලිව තේරුම් ගන්නේ. එනම් මේ සතර සතිපට්ඨාන ය, මේ සතර සම්‍යහ්පධාන ය, මේ සතර සෘද්ධිපාද ය, මේ පංච ඉන්ද්‍රිය ය, මේ පංච බල ය, මේ සප්ත බොජ්ඣංග ය, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ය, මෙය සමථය යි. මෙය විදර්ශනාව යි, මෙය අවබෝධ ඤාණය යි, මෙය විමුක්තිය යි. වශයෙන් වටහා ගන්නේ සිහියෙනි. ඒ තුළින් ය, යෝගාවචර තෙමේ සේවනය කළ යුතු ධර්මයන් සේවනය කරන්නේ. සේවනය නො කළ යුතු ධර්මයන් සේවනය නො කරන්නේ. භජනය කළ යුතු ධර්මයන් භජනය කරන්නේ. භජනය නො කළ යුතු ධර්මයන් භජනය නො කරන්නේ. මහරජාණෙනි, සිහිය යනු මේ අයුරින් කුසල් දහම් අරමුණු කරවන ස්වභාවය යි.
”ස්වාමීනි, උපමාවක් කළ මැනැව“
”මහරජාණෙනි, සක්විති රජුුගේ භාණ්ඩාගාරික තෙමේ උදේ හවස සක්විති රජුගේ යසස සිහි කරවයි. දේවයන් වහන්ස, ඔබ වහන්සේට හස්්තීීහු මෙ පමණ සිටිති. අශ්වයෝ මෙ පමණ සිටිති. රථ සේනාවෝ මෙ පමණ සිටිති. පාබල සේනාවෝ මෙ පමණ සිටිති. රිදී මෙ පමණ තිබේ. රන් මෙ පමණ තිබේ. ගෘහෝපකරණ මෙ පමණ තිබේ. දේ්වයන් වහන්ස, එය සිහිකළ මැනැවැ’යි කියා ය. මෙසේ රජතුමා සතු දේපළ විස්තර මනසට අරමුණු කරව යි.
”මහරජාණෙනි, ඔය අයුරින් ම සිහිය, කුසල් - අකුසල්, හරි - වැරැදි, හීන - ප්‍රණීත, හොඳ - නරක ආදී ධර්මයන් සිතට අරමුණු කරවයි. මේ සතර සතිපට්ඨාන ය, සතර සම්‍යහ් පධාන වීර්ය ය, සතර සෘද්ධිපාද ය, පංච ඉන්ද්‍රිය ය, පංච බල ය, සප්ත බොජ්ඣංගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ය, මේ සමථ ය, මේ විදර්ශනාව ය, මෙය අවබෝධ ඤාණය ය, මෙය විමුක්ති ය වශයෙන් වටහා ගන්නේ සිහියෙනි. ඒ තුළින් ය යෝගාවචර තෙමේ සේවනය කළ යුතු ධර්මයන් සේවනය කරන්නේ. සේවනය නො කළ යුතු ධර්මයන් සේවනය නො කරන්නේ. භජනය කළ යුතු ධර්මයන් භජනය කරන්නේ. භජනය නො කළ යුතු ධර්මයන් භජනය නො කරන්නේ. මහරජාණෙනි, සිහිය යනු මේ අයුරින් අකුසල් දහම් අරමුණු කරවන ස්වභාව යි.
”ස්වාමිනි, හිත - අහිත දේ හඳුනාගෙන හිතකර දේ ග්‍රහණය කරන සතිය පවතින්නේ කෙසේ ද?”
”මහරජාණෙනි, සිහිය උපදින විට හිත අහිත දේ තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙයි. මේ ධර්මයන් මට යහපත පිණිස පවතී. මේ ධර්මයන් මට අහිත පිණිස පවතී. මේ ධර්මයන් මට උපකාර යි. මේ ධර්මයන් මට අපකාර යි වශයෙනි. එයින් යෝගාවචර තෙමේ අයහපත් ධර්මයන් බැහැර කරන්නේ. යහපත් ධර්මයන් වැළඳ ගන්නේ. අපකාර ධර්මයන් බැහැර කරන්නේ. උපකාර ධර්මයන් ළං කර ගන්නේ. මහරජාණෙනි, හිත අහිත දේ හඳුනාගෙන යහපත් දේ ග්‍රහණය කරනා ස්වභාවය වනාහි සිහිය යි.
”ස්වාමිනි, ඒ සඳහා උපමාවක් වදාළ මැනවි”
”මහරජාණෙනි, සක්විති රජුට අනුශාසනා කරන ප්‍රධාන තැනැත්තා හිත - අහිත දේ ගැන රජුට දැනුම් දෙයි. මේවා රජුට හිත සුව පිණිස පවතී. මේවා අහිත පිණිස පවතී. මේවා උපකාර යි. මේවා අපකාර යි.” වශයෙනි. ඒ හේතුවෙනුයි අහිත දේ බැහැර කරන්නේ. හිත දේ ළං කරන්නේ. අපකාර දේ බැහැර කරන්නේ. උපකාරක දේ ළං කරන්නේ. මහරජාණෙනි, මේ අයුරින් ම සිහිය උපදින විට හිත - අහිත ධර්මයන් මැනැවින් හඳුනාගනී. මේ ධර්මයන් මට යහපත පිණිස පවතී. මේ ධර්මයන් මට අහිත පිණිස පවතී. මේ ධර්මයන් මට උපකාරයි. මේ ධර්මයන් මට අපකාරයි ඒ තුළින් ය යෝගාවචර තෙමේ අයහපත් ධර්මයන් බැහැර කරන්නේ. යහපත් ධර්මයන් වැළඳ ගන්නේ. අපකාර ධර්මයන් බැහැර කරන්නේ. උපකාර ධර්මයන් ළං කරගන්නේ. මහරජාණෙනි, හිත - අහිත දේ හඳුනාගෙන යහපත් දේ ග්‍රහණය කර ගන්නා ස්වභාවය වනාහී එම සිහිය යි. මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ මෙය මැනවින් වදාළ සේක. පින්වත් මහණෙනි, මම සිහිය යනු සියලු යහපතට උපකාර දේ යැයි පවසමි” කියා ය.
සමාධිය ගැන ප්‍රශ්නය
”ස්වාමිනි, නාගසේනයන් වහන්ස, සමාධියෙහි ස්වභාවය කුමක් ද?
” මහරජාණෙනි, කුසල් දහම් ඉදිරියට ගැනීම සමාධියෙහි ස්වභාවය යි. යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒ සියල්ල පවතින්නේ සමාධිය ප්‍රමුඛ කොටගෙන ය. සමාධියට නැඹුරු වී ගෙන ය. සමාධියට යොමු වී ගෙන ය. සමාධියට බර වෙමින් ය.”
”ස්වාමිනී, උපමාවක් වදාළ මැනව“
”මහරජාණෙනි, වහලයක මැද කැණිමඬලක් තිබේ. ඒ කැණිමඬලට සියලුම පරාල සම්බන්ධ කරන්නේ. එකල්හි ඒ සියලු පරාල තිබෙන්නේ කැණිමඬල දෙසට යොමු වීමෙනි. කැණි මඬලයට යොමු වීමෙනි. කැණිමඬලේ උපකාරය තුළ ය. ඒ සියලු පරාලයන්ට අග්‍ර වන්නේ කැණිමඬල ය. මහරජාණෙනි, මේ අයුරින් යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒවා පවතින්නේ සමාධිය දෙසට යොමු වීමෙන් ය. සමාධියටම නැඹුරු වීමෙන් ය. සමාධියට බර විමෙන් ය.
”ස්වාමිනි තවත් උපමාවක් වදාළ මැනැව“
”මහරජාණෙනි, කිසියම් රජෙක් සිව්රඟ සේනාව සමඟ සංග්‍රාම භූමියට පිවිසෙයි. එහිි යම්තාක් හස්තීන් ඇද්ද, අශ්වයන් ඇද්ද, රථයන් ඇද්ද, පාබල සේනාවන් ඇද්ද, ඒ සියලු සේනාවන් ම සිටින්නේ රජු ප්‍රමුඛ කොට ය. රජු දෙසට ම නැමී ය. රජුට නැඹුරු වෙමින් ය. රජුට බර වෙමින් ය. රජු පිරිවර කොට ගෙන ය. මහරජාණෙනි, ඔය අයුරින් යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒවා පවතින්නේ සමාධිය දෙසට හැරීමෙනි. සමාධියට ම නැඹුරු වීමෙනි. සමාධියට ම බර වීමෙනි.
මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ මෙසේ වදාළ සේක.
පින්වත් මහණෙනි, සමාධිය ප්‍රගුණ කරන්න. පින්වත් මහණෙනි, සමාහිත සිත් ඇති භික්ෂුව යථාවබෝධ ඤාණය ලබන්නේ ය කියා ය.
- නයනා නිල්මිණී
Friday, January 21, 2022
බෝසතාණන් වහන්සේගේ අධිෂ්ඨානය
|
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...