Friday, June 11, 2021

Sathi pattana



ලොවේ කිසිවක් නිත්‍ය නොවේ

සීවතික භාවනාව


අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


සතිපට්ඨාන සූත්‍රයට අදාළ ව කායානුපස්සනාවට ඇතුළත් සීවතික නවයක් තිබෙනවා. සීවතික යනු සොහොනක දැමූ මෘත ශරීරය නම් තේරුම යි. පසුගිය ලිපියෙන් පළමු සීවතිකය ගැන සඳහන් කළා. එනම්, දින දෙක තුනක් ඉක්ම වූ, සැරව ගලන මෘත සිරුර යි. තමාගේ සිරුරත් මෙලෙස පත්වන බව මෙනෙහි කරන්නැ’යි සඳහන් වුණා.


දෙවන සීවතිකය, මෘත ශරීරය සොහොනට දැමූ පසු ව නොයෙක් සතුන් කා දමයි. ඒ මෘත සිරුරේ මස් ඇද බඩවැල් ඇද, දමමින් කා දමයි. එසේනම්, දෙවන සීවතිකයෙන් සඳහන් කරන්නේ මෘත ශරීරයට වන විපත්තිය යි. කපුටන්, උකුස්සන්, ගිජු ලිහිණියන්, හිවලුන්, එලෙස ම තවත් නොයෙක් පක්ෂීන් පැමිණ මේ මෘත ශරීරයේ නොයෙක් කොටස් ඇද දමමින් කා දමයි. මෙලෙස බලා මේ ශරීරයේ ස්වභාවය මට තවම පැමිණ නැහැ. නමුත් මා ද අනිවාර්යයෙන් මේ මෘත ශරීරය සේ ම එවැනි තත්ත්වයට පත්වෙන බව මෙනෙහි කරන්න. එලෙස මෙනෙහි කරද්දී තමන්ට ජීවිතය පිළිබඳ අස්ථීර බව වැටහෙනවා. මරණය ස්ථීර බව වැටහෙනවා. කුමන දෙයක් කළත් වැඩක් නැහැ. අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මේ පද තුන වැටහෙන්නට පටන් ගන්නවා. මේ පද තුන වටහා ගන්නට ශක්තියක් ලබා ගත යුතු යි. එය යි වැදගත් ම කාරණය.


වනාන්තරයක හෝ කුමන ස්ථානයක හෝ මෘත ශරීරයක් තිබෙන විට ඒ මෘත ශරීරය සතුන් කා දමන ආකාරය තමන්ට දැක ගන්නට පුළුවනි. එය මෙනෙහි කිරීම භාවනාව යි. මෙහි දී ‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ යනුවෙන් ද පැහැදිලි වෙයි. ශරීර කූඩුවෙන් ගත යුතු කිසිවක් නොමැති බව ද පැහැදිලි වෙයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රය පැහැදිලිව වටහා ගන්නට පුළුවන් කමක් ද තිබෙයි. එසේ නැතිනම්, පංච උපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් හොඳට වටහා ගත යුතු යි. දුර්ගන්ධය හොඳින් වැටහෙයි. ඇතැම් මෘත ශරීර දැක ගන්නට තරම් බිය ජනක යි. එතරම් ම විරූපී වෙලා. මෙවැනි මෘත සිරුරට බිය වන අය සීවතික භාවනාව නොකළ යුතු යි. නිර්භීත, සිතේ බියක් නොමැති අයට පමණයි මේ භාවනාව තිබෙන්නේ. මේ භාවනාව ගුරු උපදෙස් ඇති ව ම කළ යුතු යි. නමුත් කොයි කාටත් ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කිරීම සුදුසු වෙයි. විපත්තිය ගැන, ජීවිතයේ අස්ථීර බව ගැන, මරණයේ ස්ථීර බව ගැන පැහැදෙන්න. එය බොහොම හොඳයි.


බුදුන් වහන්සේ අතීත සංසාරයේ සිදු කරගත් පුණ්‍ය පාරමිතාවන්ගේ බල මහිමයෙන් බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ පිළිබඳ ව හොඳ අවබෝධයක් ලබා ගත්තා. රහතන් වහන්සේට මෙවැනි මෘත සිරුරු ඇති සොහොනක වුවද වාසය කළ හැකි යි. උන් වහන්සේ බිය නැති කර ‘අභය’ නම් නිවනට පත් වුණා. ඒ වගේ ම උන් වහන්සේට කිසිම දෙයක් කෙරෙහි අමුතුවෙන් කිව යුතු දෙයක් නැහැ. ධර්මය මනාකොට අවබෝධ කර තිබෙනවා. ඒ අවබෝධයට භාවනාව විශේෂයෙන් අත්‍යවශ්‍ය වනවා.


අප කවා පොවා සරසන සිරුරේ ස්වභාවය කවුරුත් තේරුම් ගත යුතු යි. මේ පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කර වදාළා. ධර්මය අවබෝධ කරගන්නට පහසුවක් ලෙස ශරීරයේ තිබෙන තත්ත්වය වටහා ගත්තා. උන් වහන්සේ හිසකෙස් පටන් පාදාන්තය දක්වා ම ශරීරයේ තිබෙන සියලු ම කොටස් මනාකොට දේශනා කර වදාළා. සිරුරේ ගත යුතු කිසිවක් නැති බව පැහැදිලිව දේශනා කර වදාළා.


ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ , මහ රහතන් වහන්සේ ආදී උතුමන් වහන්සේ පිරිනිවීමට පත් වුණා නම්, ලෝක සත්ත්වයා ගැන කවර කතා ද? ඒ වගේ ම පෘතග්ජන සත්ත්වයා අවසන් ගමන් යනවා. ඒ ගමන දෙවියන්ටත් පොදු ධර්මතාවක්. මනු ලොව , තිරිසන් ලොව සත්ත්වයන්ගේ පංචස්ඛන්ධය දිරා යාම, දුර්ගන්ධය හැමීම ප්‍රබලව ම පැහැදිලිව ම පෙනෙනවා. මෙහි ඇත්තේ චුත වීමක් නොවෙයි. මරණයක් ම පමණ යි. එය හොඳින් තේරුම් ගත යුතු යි. පින තිබේ නම්, මරණයට බිය විය යුතු නැහැ. පින නැති අය මරණයට බය යි.


තමන්ගේ රැකියාව, අධ්‍යාපනය, වෙළෙඳාම , ආර්ථික කටයුතු කරන ගමන් පරලොවට යමක් ලබා ගත යුතු යි. දාන, ශීල, භාවනා වශයෙන් සංසාර ගමනට අවශ්‍ය ආයුෂ, වර්ණ , සැප , බල , ප්‍රඥා බෝග සම්පත්, සුගති සම්පත්, පරිවාර සම්පත් ලැබෙනවා. ඒවා පරිශීලනය කරමින් ශීල, සමාධි, ප්‍රඥා , ගුණ දියුණු කළොත් ධර්මය අවබෝධ කරගන්න අපහසු නැහැ. මෙවැනි වටිනා ධර්මය වටහා ගැනීම ඔබ අප කාගෙත් පරම යුතුකමක්.


ජම්මික ප්‍රබෝධනී වැලිකල



No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...