නිරෝධ සත්‍ය - කෙලෙස් නිරෝධයට සිත සකසා ගැනීම
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
නිරෝධ සත්‍යය යනු නිර්වාණ ය යි. සියලු සංසාර දුකෙන් නිදහස් ව ලැබෙන උතුම් සම්පත නිර්වාණය යි. ‘නි’ යනු නැත යන අදහස යි. ‘වාණ’ යනු තණ්හාව යි. එනම්, තණ්හාව නැති බව ‘නි-වාණ යි’. එලෙස පවසන්න අපහසු නිසා, ‘ව’ යන්නෙහි ස්වර වෙන්කර ‘ව’ වෙනුවට ‘බ’ යොදාගෙන නිබ්බාණ නම් වෙයි. විශේෂයෙන් තණ්හාවෙන් නිවීම නිරෝධය යි. එනම්, කෙලෙස් නිරෝධ වීම යි.
නිර්වාණය අවබෝධ කරගන්න ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වන්න, අඩුම තරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් විවරණ සහිතව පාරමී පුරාගෙන පැමිණිය යුතු යි. පසේ බුදු වී නිවන් දකින්න, අසංඛ්‍ය කල්ප දෙකකුත්, කල්ප ලක්ෂයකුත්, පාරමී පුරාගත යුතු යි. රහත් බව සඳහා කල්ප ලක්ෂයක් සිත දියුණු කළ යුතු යි. ඒ උත්තමයන්ට නිරෝධ සත්‍ය අවබෝධ වෙයි. ආලාරකාලාම, උද්දකරාම පුත්ත, අසිත ආදී තාපසයාණන් වහන්සේට, සංජය පරිබ්‍රාජක තුමාට නිරෝධය අවබෝධ කරගන්නට බැරි වුණා. ඒ අය නිවන් සුව පතා නැහැ. නමුත් ඔවුන්ට අහසින් යා හැකි ලෙස ධ්‍යාන අභිඤ්ඤා තිබුණා. හොඳ නුවණක් තිබුණා. නමුත් නිවන් සුව ප්‍රාර්ථනා නොකළ නිසා නිර්වාණය අවබෝධ කළ නොහැකි වුණා. ඒ නිසා අරූපාවචර බඹතලයේ උපත ලැබුවා. නිවන් සැප ලැබේවා යනුවෙන් ඕනෑම කෙනෙක් සිතුවොත්, ඒ අයට නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවනි.
කෙලෙසුන් නිරෝධ කර ගැනීමේ තත්ත්වයට මේ සිත සකසා ගත යුතු යි. එක්දහස් පන්සියයක් තරම් ක්ලේෂයෝ සිතෙහි පවතිනවා. එය කෙටිකළ විට ලෝභ, ද්වේශ, මෝහ නම් වෙයි. එය ව්‍යාප්ත කළ විට කෙලෙසුන් එක්දහස් පන්සියයක් වෙයි. බුදුන් වහන්සේ තණ්හාවට නාමයන් සියයක් දේශනා කර වදාළා. එවැනි ගැඹුරු දෙයක් නැති කිරීමෙන් නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවනි.
‘නිර්වාණය’ නමැති වදන විවිධාකාර නාමයන් රාශියකින් හඳුන්ව යි. ඉපදීමක් නැති නිසා නිර්වාණය ‘අජාති’ නම් වෙයි. ජරාවක් නැති නිසා නිර්වාණය ‘අජර’ නම් වෙයි. ලෙඩ රෝග නැති නිසා නිර්වාණය ‘අව්‍යාදි’ නම් වෙයි. මරණයක් නැති නිසා නිර්වාණය ‘අමත’ නම් වෙයි. ඇලීමක් නැති බැවින් ‘අශෝක’ නම් වෙයි. වැළපීමක් නැති බැවින් ‘අපරි’ නම් වෙයි. කායික දුකක් නැති බැවින් ‘අදුක්ඛ’ නම් වෙයි. මානසික වේදනාවක් නැති බැවින් ‘අදෝමනස්ස’ නම් වෙයි. දැඩි ආයාසයක් නැති බැවින් ‘අනුපායාස’ නම් වෙයි. රාගය නැති බැවින් ‘වීතරාග’ නම් වෙයි. තරහව නැති බැවින් ‘වීත දෝස’ නම් වෙයි. මෝහය නැති බැවින් ‘ වීත මෝහ’ නම් වෙයි. මාන්නය නැති බැවින් ‘අනතිමානී’ නම් වෙයි. ක්ෂේම භූමියක් බැවින් ‘කේම’ නම් වෙයි. භය නැති බැවින් ‘ අභය’ නම් වෙයි. ආශ්චර්ය ධර්මයක් බැවින් ‘අච්ඡරිය’ නම් වෙයි. අද්භූත ධර්මයක් බැවින් ‘අද්භූත ධම්ම’ නම් වෙයි. ආලයක් නැති බැවින් ‘ආලය සමුග්ඝාත’ නම් වෙයි. මද මාන්න නැති බැවින් නිර්වාණය ‘මදනින් මදන’ නම් වෙයි. ශාන්ත ගති පැවතුම් නිසා නිර්වාණය ‘ශාන්ත’ නම් වෙයි. සිසිලසක් බැවින් ‘සිසිලස’ නම් වෙයි. ආශ්‍රවයෝ නැති බැවින් ‘අනාශ්‍රව’ නම් වෙයි. ඇසට නොපෙනෙන බැවින් ‘අනිදස්සන’ නම් වෙයි. පටිඝයක් නැති බැවින් ‘අප්පටිඝ’ නම් වෙයි. ක්‍රෝධයක් නැති නිසා ‘අක්‍රෝධ’ නම් වෙයි. නිර්වාණයට එවැනි තේරුම් රාශියක් බුද්ධ ධර්මයේ තිබෙනවා.
මේ ගැන හොඳ දැනීමක් ඇති කරගන්නට හොඳට පොත පත කියවා දැනුම වැඩිකර ගත යුතු යි. එවිට නිර්වාණය ගැන මනා වැටහීමක් තමන්ට ඇති කරගත හැකි යි. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ නිර්වාණය අවබෝධයෙන් දේශනා කර වදාළා. බුද්ධ ගයාවේ දී ගෞතම මහ බෝසතාණන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළා. තණ්හාව දුරු කළා. නිවනට වැඩම කළා. නිර්වාණය අවබෝධ කළා. එනම් නිරෝධ සත්‍ය අවබෝධ වුණා. එයයි බුදුන් වහන්සේ දේශනා කර වදාළේ. සූවිසි අසංඛ්‍යෙයක් නිවනට පත් වුණා. අද වැනි වෙසක් පුන් පොහොය දිනක වුව ද, බෞද්ධ ජනතාව නිවන් මඟ ගමන් කරන්නේ බුදුන් වහන්සේ පහදා දුන් දහමට අනුකූලව යි. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන් නිර්වාණය මනාකොට පැහැදිලි කර තිබෙනවා. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධයෙන් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තිබෙනවා.
දන්දීම, ශීලය පමණක් ප්‍රමාණවත් නැහැ. භාවනාවත් අවශ්‍යය යි. එවිට නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. දාන පාරමිතාව, ශීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්යය පාරමිතාව, ඛන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෙත්තා පාරමිතාව, උපේක්ෂා පාරමිතාව, ආදී දස පාරමිතා රහතන් උතුමෝ බොහොම ඉහළින් දියුණු කළා. පසේ බුදු උතුමෝ උප පාරමී ලෙස පාරමිතා දහයක් සමඟ විස්සක් දියුණු කළ යුතු යි. ලොවුතුරා බුද්ධත්වයට පත්වන උතුමන් පාරමිතා තිහක් සම්පූර්ණ කළා. දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ථ පාරමිතා වශයෙන් එකක් ත්‍රිවිධාකාරව දියුණු කළ යුතු යි. එලෙස දියුණු කිරීමෙන් නිරෝධ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා.
ලෝකයේ සැමට බුද්ධ ධර්මය අවබෝධ කරගන්න බැහැ. තණ්හාවෙන් , තරහවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් යුක්තවන සත්ත්වයන්ට බුද්ධ ධර්මය අවබෝධ කරගන්නට බැහැ. ධර්මය අවබෝධ කරගන්නට නම්, සිල් ගුණ හොඳින් දියුණු කළ යුතු යි. පාරමිතාවන් හොඳින් දියුණු කර ගන්න. සිතේ සතුටෙන් ම ගුණ ධර්ම දියුණු කළ යුතු යි. එවිට නිරෝධ සත්‍ය නොහොත් නිර්වාණය අවබෝධ කරගන්නට පහසුවක් වෙයි. පාරමිතා ගුණ දියුණුවෙන් ශක්තිය ලැබෙන්නේ තමන්ටම යි. ඒ ශක්ති විශේෂය ලබාගත් බුද්ධාදී උතුමන් වහන්සේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කළා.
බුදුන් වහන්සේ අවබෝධ කළ නිරෝධ සත්‍යය පළමු මංගල ධර්ම දේශනාවේ දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ වහන්සේට නිවන් පසක් කර දුන්නා. දහඅට කෝටියක් දෙවිවරු රහත් බවට පත්ව අසංඛ්‍යෙයක් දෙවි දේවතාවුන් ඉතිරි මාර්ගඵලයන්ට පත් වුණා. ධර්මයට අනුව කටයුතු කළ කිසිම කෙනෙකුට වැරැදුණේ නැහැ. නොමඟ යන දේ සිතට එන්නේ නැහැ. මිථ්‍යාවාදී අදහස් එන්නේ ම නැහැ. සම්මා දිට්ඨිය නොහොත් නිවැරැදි ප්‍රඥාවෙන් යුතුවම යි කටයුතු කරන්නේ. ඒ අය නිර්වාණ ධර්මය, සෝවාන් මාර්ග ඥානය, සකෘදාගාමී අනාගාමී අර්හත් මාර්ග ඥානයෙන් අවබෝධ කරනවා. සක්කාය දිට්ඨි නොහොත් ශරීරය පිළිබඳ ව තිබෙන සැකය දුරු වෙනවා. විචිකිච්ඡා එනම්, සැකය දුරු වෙනවා. ශීලබ්බත පරාමාස එනම්, වැරැදි ශීල දුරුව යනවා. කාමරාග යනුවෙන් පංචකාම වස්තූන් පිළිබඳ ව තිබෙන තණ්හාව දුරුව යනවා. ව්‍යාපාද නොහොත් තරහව දුරුව යනවා. රූප රාග නොහොත් රූපාවචර බඹතලය කෙරෙහි තිබෙන ආශාව දුරුව යනවා. අරූප රාග නොහොත් අරූපාවචර බඹතලය පිළිබඳව තිබෙන ආශාව දුරුව යනවා. මාන්නය, උඩඟු බව, අවිද්‍යාව දුරුවී යනවා. මේ දස සංයෝජනයෝ මාර්ගඵල අවස්ථාවේ දී සම්පූර්ණයෙන් ම නැති වෙනවා. අසංයෝජන තත්ත්වයට පත් වෙනවා. එවිට සංසාරයේ උප්පත්තිය සැකසෙන කිසිම ඉතිරියක් නැහැ. එලෙස කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ තත්ත්වය නිරෝධ අවස්ථාව නම් වෙයි. එවැනි උතුමෝ පමණක් තථාගත ධර්මය අවබෝධ කළා. ඒ තථාගත ධර්මය අවබෝධ කිරීමෙන් මාර්ගඵල අවස්ථාවන්ට පත්ව ජාති, ජරා, මරණාදී කිසිම දුකක් නැහැ. උන් වහන්සේ ධර්මය අවබෝධ කරන්නට භාග්‍යවත් වූවා. සංසාර දුකෙන් නිදහස් වුණා. ඒ තත්ත්වයට පත්වෙන්න යැ’යි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.
තවත් අවුරුදු දෙදාස් හාරසිය ගණනාවක් ඉදිරියට බුදු සසුන පවතිනවා. ඒ කාල වකවානුවේ පාරමී ගුණ දියුණු කරගන්නා අයට මාර්ග ඵල නිවන් සුව ලබාගත හැකි යි. මේ කාලයේ නිවන් සුව ලැබෙන්නේ නැහැ’යි සිතන්නට එපා. උත්සාහවත් බව යි අවශ්‍ය වන්නේ. මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. සියලු සංස්කාරයෝ අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නුවණින් බලා මෙනෙහි කරන්න. නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. එසේනම්, නිරෝධ සත්‍ය පාදක කරගෙන ගුණ සම්පත් ද දියුණුවෙන්, මාර්ග ඵල පිළිවෙළින් නිවන් පසක් කරගන්නට සියලු ම පින්දහම් පින්වතුන්ට හේතු වාසනා වේවා!
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
No comments:
Post a Comment