Monday, May 31, 2021
පිය (නොහොත් පියඅත්ත) සූත්‍රය
පිය (නොහොත් පියඅත්ත) සූත්‍රය |
115 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, තනිව විවේකීව හුන් මට මෙබඳු විතර්‍කයක් පහළවිය. එනම්:- ‘කවුරුන්ට තමා ප්‍රියද? කවුරුන්ට තමා අප්‍රියද?’ කියායි. ස්වාමීනි, ඒ මට මේ සිත විය. ‘යම්කිසි කෙනෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. අපගේ ආත්මය හෙවත් තමා තමන්ට ප්‍රියයයි යම් ලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා අප්‍රියමය. ඊට හේතු නම්:- අප්‍රියයෙක් අප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කෙරෙති. එහෙයින් ඔවුන්ට තමා අප්‍රියය. ‘යම්කිසි කෙනෙක් කයින් සුචරිතයෙහි හැසිරෙත්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය. අපට තමා අප්‍රියයයි කිසිලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා ප්‍රියමය. ඊට හේතු නම්:- ප්‍රියයෙක් ප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කරෙති. එහෙයින් ඔවුන්ට තමා ප්‍රියයි.” “මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, යම්කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. මහරජ, යමෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය. “ඉදින් යමෙකුට තමා ප්‍රියයයි දන්නෙනම් ඒ තමා පවෙහි නොයෙදෙන්නේය. (සුසිරිත් කිරීමෙන් ලද හැකි සැප) දුසිරිත් කරන්නා විසින් පහසුවෙන් ලද හැකි නොවේ. (එහෙයිනි.) “මාරයා විසින් යටපත්කරගන්නා ලද්දාවූ, මිනිස් සිරුර හැර දමන්නාවූ ඔහුට කුමක්නම් තමන් සතු වේද, ඔහු කුමක් රැගෙන (පරලොව) යයිද, තමන් පසුපස යන සෙවනැල්ල මෙන් කුමක් නම් ඔහු අනුව යයිද?” “මිනිසා මෙලොවදී යම් පිනක් හෝ පවක් කරයිද, ඒ ඔහුට තමන් සතුවෙයි. ඔහු එය රැගෙන (පරලොව) යයි. තමන් පසුපස යන සෙවනැල්ල මෙන් ඒ ඔහු අනුව යයි.” “එහෙයින් පරලොවට හිතසැප පිණිස දේ රැස් කරන්නා කුසල් කරන්නේය. කුසල් පරලොවදී සත්ත්‍වයන්ට පිහිට වෙති.” |
Sunday, May 30, 2021
දහර සූත්‍රය
දහර සූත්‍රය
112
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, සතුටු විය. සතුටු වියයුතු, සිහි කටහුතු කථා පවත්වා එක් පසෙක හුන්නේය.
එක් පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමයන් වහන්සේත් ‘අනුත්තර සම්‍යක් සම්බෝධිය ලදුම්හ’ යි ප්‍රතිඥා කෙරෙත්ද?”
“මහරජ, සරිලෙස කියන තැනැත්තේ ‘මේ තෙම සම්‍යක් සම්බෝධියට පැමිණියේය’ යි යමකු ගැන කියන්නේ නම්, ඒ නිවැරැදි සේ කියන තැනැත්තා එය මා ගැනම කියන්නේය. මහරජ, මම් වනාහි ඉතා උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණියෙක්මි” යි (භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන් සේක.)
“භවත් ගෞතමයන් වහන්ස, පූරණකස්සප, මක්ඛලීගොසාල, නිගණ්ඨනාථපුත්ත, සඤජයබෙල්ලට්ඨපුත්ත, පකුධකච්චායන, අජිත කෙසකම්බල යන පැවිදි සමූහයා ඇති, පැවිදි ගනයා ඇති, ගණාචාර්‍ය්‍යවූ, ප්‍රකටවූ යසස් ඇති, ලබ්ධි ඇති කරන්නාවූ, බොහෝ දෙනා විසින් යහපත්යයි සම්මත කරණලද යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුහුත් අනුත්තර සම්මා සම්බෝධිය ලදුම්හයි ප්‍රතිඥා කරනුදැයි මවිසින් ප්‍රශ්න කරන ලද්දෝ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කෙළෙමුයි ප්‍රතිඥා නොකරති. උත්පත්තියෙන් තරුණුවූත්, පැවිද්දෙන් ආධුනිකවූත්, අළුත පැවිදිවූ භවත් ගෞතමයන් වහන්සේ කෙසේ නම් ප්‍රතිඥා කරන සේක්ද?”
“මහරජ, මේ සතරදෙනෙක් තරුණයයි හෙවත් ළදරුයයි ලඝු කොට සැලකිය යතු නොවෙති, පරිභව කටයුතු නොවෙති. එනම්:- ක්‍ෂත්‍රිය රජ කුමරා ළදරුයයි සැහැල්ලුකොට සිතියයුතු නොවේ. සර්‍පයා ළදරුයයි සැහැල්ල්‍රකොට සිතියයුතු නොවේ. ගින්න කුඩායයි නොසැලකියයුතු නොවේ. භික්‍ෂුව තරුණයයි පහත්සේ සිතියයුතු නොවේ. මහරජ, මේ සතරදෙන තරුණයයි අවමන් නොකටයුතු වෙති. පරිභව නොකටයුතු වෙති.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මේ ගාථා වදාළ සේක.
නුවණැති මිනිස් තෙමේ ජාති සම්පන්නවූ, උසස් කුලයෙහි උපන්නාවූ, යසස් ඇති, ක්‍ෂත්‍රිය රාජකුමාරයාට, ළදරුයයි අවමන් නොකරන්නේය. පරිභව නොකරන්නේය, ඊට කරුණු ඇත්තාහ, මනුජෙන්‍ද්‍රවූ ඒ ක්‍ෂත්‍රිය තෙමේ රජකම ලබාගෙන තමන්ට අවමන්කළ තැනැත්තා කෙරෙහි කිපියේ බෙහෙවින් ඔහුට රාජ දඬුවම් කරන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ක්‍ෂත්‍රිය (උතුම්) කුමරුන් නොගටා ඈත්වන්නේය.
“නුවණැති මිනිසා ගමෙහි හෝ වෙනෙහි හෝ යම්කිසි තැනෙක සර්‍පයෙක් දකීද, ඒ සර්පයා කුඩායයි සැහැල්ලුකොට නොසිතන්නේය. අවමන් නොකරන්නේය. තෙදින් යුත් සර්පයා උස් පහත් නොයෙක් වෙසින් හැසිරෙන්නේය. ඒ සර්පයා තමහට ගැහැට කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දෂ්ට කරන්නේය. එහෙයින් තම දිවි රකින්නේ ඒ සර්පයා වෙත නොයන්නේය.
“බොහෝ කොට කන, ගිනි දැල් ඇති, ගිය මග කළුකරණ ගින්න නුවණැති මිනිසා කුඩායයි ලඝුකොට නොසිතන්නේය. පරිභව නොකරන්නේය. ඒ ගින්න ඇවිලීමට උපකරණ ලැබ මහත්වී ඒ අවමන්කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දවන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ගින්න ඈත් කරන්නේය.
“ගිය මග කළුකරන්නාවූද, පව් දවන්නා යන අර්ත්‍ථයෙන් පාචක නම්වූද ගින්න යම් වනයක් දවානම් එහි කලකට පසු පැල හටගනිති. නමුත් සිල්වත් භික්‍ෂු සිල් තෙදින් යමෙකුන් දවානම් ඔහුට පුත්තු නැති වෙති. ගෙරි සරක් නැති වෙති. ඔහුගේ දායාදයෝ හෙවත් ධනයට හිමිකම් ඇති නෑදෑයෝ ඔහුගේ ධනය නොලබති. ඔවුහු දූ දරුවන් නැත්තෝව, ධනයට හිමි නෑයන් නැත්තෝව කරටියෙන් කැඩූ තල් ගස් මෙන් වෙති.
එහෙයින් තමන්ට යහපත බලාපොරොත්තුවන නුවණැති මනුෂ්‍යයා සර්පයාද, ගින්නද, කීර්තිමත් උතුම් කුමරාද, සිල්වත් භික්‍ෂුවද යන මොවුන් කෙරෙයි යහපත්ව හැසිරෙන්නේය.”
මෙසේ වදාළ කල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, ඉතා රම්‍යයි, ඉතා මනොඥයි. ස්වාමීනි, යටිකුරු වූවක් යම්සේ උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් යම්සේ මතුකරන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරේ තෙල් පහනක් දල්වන්නේ යම්සේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශකරණ ලදී. ස්වාමීනි, මේ මම බුදුන්, දහම්, සංඝයා සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු ලෙස සලකන සේක්වා.”
Saturday, May 29, 2021
සතර ඉරියව්වෙහි ම සිහිය පිහිටුවමු
සතර ඉරියව්වෙහි ම සිහිය පිහිටුවමු
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
"බොහෝ දෙනා අවමඟුල් උළෙලකට සහභාගී වූවිට හැඬීම , වැළපීම බොහොම වැඩියි. එයට හේතුව භාවනාවෙන් සිත දියුණු නො කිරීම යි. සාමාන්‍යයෙන් හැඬීම, වැළපීම පෘතග්ජන ගතියක්. නමුත් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් නාමය සහ ගුණය පවසමින් හැඬීම වැළපීම එතරම් සුදුසු නැහැ. එය තණ්හාවෙන්, තරහවෙන්, මිසදිටුකමින් කරන ක්‍රියාවක්. නමුත් බුදු දහමේ සඳහන් කරන්නේ හැඬීම, වැළපීම දුරු කර ගැනීමට නුවණ භාවිත කළ යුතු බව යි. "
කුරුරට වාසීන්ට 'කම්මාස්ස ධම්ම' නම් වූ නියම් ගමක් තිබුණා. එහි වැඩම කළ බුදුපියාණන් වහන්සේ, තිස්දාහක් භික්ෂූන් වහන්සේ අමතමින් සතිපට්ඨාන සූත්‍ර දේශනාව පැවැත්වූවා. සති යනු සිහිය යි. පට්ඨාන යනු එළඹීම නොහොත් කටයුතු කිරීම යි. සිහියෙන් කටයුතු කිරීම, එළඹ සිටි සිහියට ‘සතිපට්ඨාන’ නාමය යොදා තිබෙනවා. ඒ සතර අන්තර්ගත බැවින් චතු සතිපට්ඨාන යනුවෙන් හඳුන්වයි. මේ සතිපට්ඨාන දේශනාවෙහි ආනිශංස වාරය මුලත් අගත් පැහැදිලිව ම බුදුන් වහන්සේ වදාළා.
සිහියෙන් භාවනා කරන අයට තමන් ගමන් කරන මඟ නිවන් මාර්ගය යි. විශුද්ධි මාර්ගය යි. ඒ නිවන් මඟ ගමන් කරන තැනැත්තාට සතර සතිපට්ඨානය වැඩෙන සේ භාවනා කිරීමෙන් සිත පිරිසුදු කරගන්නට පුළුවන් වෙයි. ‘සත්ථානං විශුද්ධියා’ යනුවෙන් පළමු ආනිශංසය දේශනා කළා. එනම් සත්ව සන්ථානය පිරිසුදු කිරීම යි.
එක්දහස් පන්සියයක් තරම් වූ කෙලෙසුන් සිතෙන් බැහැරකර සිත අලෝභ, අදෝශ, අමෝහ ආදී සංඛ්‍යාවට ගෙනෙනවා. චතුසන්ථානය පිරිසුදු කරගන්න වෙන ක්‍රමයක් සොයා ගැනීම ලෙහෙසි නැහැ. ඒ නිසා කවුරුත් දිනකට ටික වේලාවක් හෝ මේ සඳහන් කරනු ලබන භාවනා ක්‍රමය කරන්න ම අවශ්‍යය යි. එවිට සිහි කල්පනාවෙන් යුතුව ඇලීමක් ගැටීමක් නැතිව අවසන් ගමන් යන්නට පුළුවනි. එයට හේතුව සිත පිරිසුදු කමයි. අපිරිසුදු සිත කැළි කසළ වගෙයි. තණ්හා, වෛර , ක්‍රෝධ, මාන්න, ආදී පාපී සිතිවිලි නිසා චතු සන්ථානය අපිරිසුදු වෙනවා. භාවනා කිරීමෙන් ඒ පාපී සිතිවිලි දුරස් ව පිරිසුදු සන්ථානයක් ඇති වෙනවා.
එමෙන් ම ඇඬීම , වැළපීම දුරු කර දමනවා. භාවනා කරන යෝගියා මේ විශේෂ ආනිසංසය ලබනවා. හඬන, වැළපෙන අරමුණක් පැමිණි කල්හි ඉවසීමෙන් සිහියෙන් කටයුතු කරනවා. හැඬීම වැළපීම හැකිතාත් දුරට යටකරනවා. එය විශේෂිත අවස්ථාවක්. බොහෝ දෙනා අවමඟුල් උළෙලකට සහභාගී වූවිට හැඬීම , වැළපීම බොහොම වැඩියි. එයට හේතුව භාවනාවෙන් සිත දියුණු නො කිරීම යි. සාමාන්‍යයෙන් හැඬීම, වැළපීම පෘතග්ජන ගතියක්. නමුත් දවස් ගණන්, සති ගණන්, මාස ගණන් නාමය සහ ගුණය පවසමින් හැඬීම වැළපීම එතරම් සුදුසු නැහැ. එය තණ්හාවෙන්, තරහවෙන්, මිසදිටුකමින් කරන ක්‍රියාවක්. නමුත් බුදු දහමේ සඳහන් කරන්නේ හැඬීම, වැළපීම දුරු කර ගැනීමට නුවණ භාවිත කළ යුතු බව යි.
‘දුක්ඛ දෝමනස්සානං අත්ථංගමා ය’ යනුවෙන් පදයක් තිබෙයි. කායික, මානසික දුක නැති කිරීම යි. එයත් බොහොම වැදගත්. හැඬීම , වැළපීම නිසා කායික මානසික වශයෙන් අප්‍රමාණ දුක් ලැබෙනවා. දවස් ගණන් ආහාර ගන්නේ නැහැ. ක්ලාන්තව රෝහල් ගතව දවස් ගණන් එහි දුක් විඳින්න සිදු වෙනවා.
මනසට ලැබෙන්නා වූ ශෝකය සීමාවක් නැහැ. එය දෝමනස්ස යනුවෙන් හඳුන්වයි. සිත දුසිත වෙලා. සිත තැන්පත් කර ගන්න ම බැහැ. ඒ නිසා බුදු දහමෙන් සැමට ම උගන්වන්නේ සතිපට්ඨාන භාවනාව කරන විට දුක් දොම්නස් සංසිඳුවා ගන්නට පුළුවන් බවයි.
ඊළඟ ආනිසංසය වන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම යි. ‘ඤායස්ස අධිගමාය’ එනම්, නිවන් මඟට බැස ගෙන නිවන සාක්ෂාත් කිරීම යි. නිවන් මඟ යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. කුමන භාවනාවක් වුව ද සිහි කල්පනාවෙන් දියුණු කරන විට නිවන් මඟට කවුරුත් බැස ගනි යි. එවිට නිවන් මඟට බැස ගැනීම ම අපේ ගුණ ධර්ම වලට විශාල ශක්තියක්, බලයක් ගොඩනංවා ගන්නට පුළුවනි. සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵල වලින් ලැබෙන්නා වූ උතුම් සුවය නිර්වාණය වෙයි.
නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ භාවනාව විශේෂයෙන් ප්‍රයෝජනවත්. සතිපට්ඨාන සතර භාවිත කිරීමෙන්, නැවත නැවත භාවිත කිරීමෙන් ප්‍රධාන ආනිසංස හත ලැබෙන බව තථාගත ධර්මයේ සඳහන් වෙනවා. සතිපට්ඨාන සතරක් තිබෙයි. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සන සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය යි. කායානුපස්සනා සතිපට්ඨානයට භාවනා කර්මස්ථාන දාහතරක් දේශනා කරනවා. වේදනානුපස්සනාවට එකයි. ප්‍රභේද වශයෙන් තුනයි. චිත්තානුපස්සනාවට ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම එක යි. ප්‍රභේද වශයෙන් දාසය යි. ධම්මානුපස්සනාවට ප්‍රධාන කර්මස්ථාන පහ යි. අන්තර්ගත කරුණු බොහොම යි.
තව ද, සතිපට්ඨාන සූත්‍රය අතිශයින් ගැඹුරු, ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ මඟින් භාවනාව ගැනම දේශනා කරනවා. ඒ නිසා එය විශේෂිත යි. පුරාතන මිනිසුන් නිතර ම සජ්ඣායනා කළා. ඒ නිසා ඒ අයට කටපාඩම් සූත්‍ර දේශනාවක්. පෝයට සිල් සමාදන් වුණ විට, රාත්‍රී කාලයේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව සජ්ඣායනා කරනවා. සමහරු අවමඟුලක දී ද සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා.
ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණොත් විශේෂයෙන් සතිපට්ඨාන දේශනාව සජ්ඣායනා කරනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පැහැදිලි කරන දේශනාවක්. මෘත ශරීරය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව වටහා දෙනවා. එය තවත් ප්‍රකට කිරීම සඳහා සතිපට්ඨාන සූත්‍රය සජ්ඣායනා කරනවා. මේ සතර සතිපට්ඨානය වැඩෙන කර්මස්ථාන විසි එකක් සූත්‍ර දේශනාවෙන් බුදුන් වහන්සේ අපට පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන භාවනා අරමුණු පුළුවන් තරම් දියුණු කර ගන්නට අවශ්‍යය යි. ඉගෙන ගත්තාට පමණක් මදි. භාවිත කළ යුතු ම යි. එසේ දියුණු කර ගැනීමෙන් බොහෝ අනුසස් ලැබිය හැකි යි.
ආනාපාන සතිය පළමුවැන්න යි. එය ක්‍රම දාසයකට උගන්වනවා. එතරම් දුර දිග යාම පින්වතුන්ට අපහසුනම්, ආශ්වාස ප්‍රශ්වාස දෙක සිහියෙන් ම හොඳට බලාගෙන සිටීම ම ප්‍රමාණවත්. ඒ පළමු භාවනා ක්‍රමය ලෙස සතිපට්ඨාන සූත්‍රයෙන් අපට ඉදිරිපත් කරන්නේ ආනාපාන සති භාවනාව යි. (පෙර භාවනා ලිපි මඟින් ඒ ගැන සඳහන් කළෙමු)
දැන් ඇත්තේ ඉරියාපථ මනසිකාරය යි. ඉරියව් සතරක් තිබෙනවා. ගමන් කිරීම, සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම සහ නිදා ගැනීම යි. මේ සතර ඉරියව්වෙහි ම සිහිය පිහිටුවන්නැ’යි බුදු පියාණන් වහන්සේ වදාළා. ඇවිදින විට ඇවිදින බව සිතාගෙන ම ගමන් කළ යුතු යි. සිටගෙන සිටියදීම සිටගෙන සිටින බව දැනගෙන වාසය කළ යුතු යි. වාඩිවී සිටියදී මා මේ වාඩිවී සිටින්නේ යැ’යි සිහියෙන් වාඩිවිය යුතු යි. නිදා ගැනීමේ දී ද සයන ගත ආසනයේ සිටියදී එය මෙනෙහි කළ යුතු යි යන කරුණු සතරයි. මේ අරමුණු අවස්ථා සතර කෙරෙහි සිත පිහිටුවා ගැනීම ඉරියාපථ මනසිකාරය වෙයි. එනම් ඉරියව් මෙනෙහි කිරීම යි. තවත් දෙයක් වන්නේ ‘චතු සම්පජඤ්ඤය යි’ හැම ඉරියව්වකදී ම කරන කියන දේ සිහි නුවණින් සිදු කිරීම යි. අත දිග හැරීම, අත හැකිලීම, වටපිට බැලීම, නැවත හැරී බැලීම, ආහාර අනුභව කිරීම, ස්නානය කිරීම, ඇඳුම පැළඳුම ඇඳීම, මේ හැම අවස්ථාවක දී ම සිහි නුවණ භාවිත කළ යුතු යි. සිහි කල්පනාවෙන් ආහාර ගත යුතු යි. සිහි කල්පනාවෙන් යන්න. එන්න. සිහි කල්පනාවෙන් දොර වසන්න. එසේනම්, සිහි කල්පනාවෙන් සියලු කාර්යයන් කළ යුතු යි. එය බුදු දහමේ හඳුන්වන්නේ ‘චතු සම්පජඤ්ඤ’ භාවනාව යනුවෙනි. එය බොහොම වැදගත්.
එක්තරා ස්වාමීන් වහන්සේ නමක්, පිණ්ඩපාතයේ වැඩියේ සිහි කල්පනාවෙන්. භාවනාවකින්. ඒ සිහි නුවණ කෙතරම් දියුණු දැ’යි සඳහන් කළොත් වැඩිකලක් නොගොස් ම රහත් බව ලබාගත් චරිත ද තිබෙනවා. ස්වාමීන් වහන්සේ හෙමිහිට පිණ්ඩපාතයේ වඩින විට ඇතැම් ගොවි මහතුන් ‘ස්වාමීන් වහන්සේට , අසනීපයක් දැ’යි විමසනවා. හෙමිහිට වඩිනවා. නැවතිලා ඉන්නවා. හේතුව කුමක්දැ’යි විමසනවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කෙසේ හෝ සිත එකඟ කර ගත්තා. විදසුන් නුවණ ලබා මහ රහතන් වහන්සේ නමක් වූවා. එසේනම්, සිහි කල්පනාව, චතුසම්පජඤ්ඤය එතරම් ම වැදගත්.
ඒ නිසා පින්වතුන් මේ පාඩම කියවීමට පමණක් සීමා නොවී සිහි කල්පනාවෙන් නිවසේ වැඩ කටයුතු පවා කළ යුතු යි. අඩුම තරමේ නිවසේ දොර වැසීම, ඇරීම පවා සිහි කල්පනාවෙන් කරන්නේ නම්, බොහොම වැදගත්. මේ කරුණු හොඳට දැන කියාගෙන සතිපට්ඨාන භාවනාව සැවොම දියුණු කරගත්තොත්, මෙලොව, පරලොව දෙ ලොවට ම යහපත්.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
Friday, May 28, 2021
සුදත්ත සූත්‍රය
සුදත්ත සූත්‍රය
97
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුදත්ත නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය.
එක් පසෙක සිටි සුදත්ත දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“හුලකින් අනිනු ලැබූවෙකු හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද, ඉස ගිනි ගත්තකු නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද, මහණතෙම කාමරාගය දුරලනු පිණිස සිහි ඇතිව උත්සාහ කරන්නේය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) හුලකින් අනිනු ලැබූවෙකු හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද, ඉස ගිනි ගත්තකු ගිනි නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද, මහණතෙම සිහි ඇතිව සත්කාය දෘෂ්ඨිය වනසනු පිණිස (උත්සාහීව) වසන්නේය.”
Wednesday, May 26, 2021
දාමලි සූත්‍රය
දාමලි සූත්‍රය
86
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි දාමලි දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දාමලි දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
මෙහි (මේ සස්නෙහි) බ්‍රාහ්මණයා (රහත්හු) විසින් අකුසීතව (ප්‍රධන්) වීර්‍ය්‍යය කටය්‍රතුය. කාමයන් දුරලීමෙන් ඔහු භවය නොපතයි.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “දාමලිය, බ්‍රාහ්මණයා විසින් (රහත්හු විසින්) නැවත කළ යුත්තෙක් නැත. බ්‍රාහ්මණතෙම (රහත් තෙම) ඒකාන්තයෙන් කොට නිමවූ කටයුතු ඇත්තේය. සත්ත්‍ව තෙමේ ගංගාවෙහි ස්ථිරව සිටීමට තැනක් නොලබන තෙක්ම සියලු ශරීර අවයවවලින් (ගොඩනගින්නට) තැත් කෙරේ. ඔහු ස්ථිරව සිටීමට තැනක් ලැබ සිටගත්තේ (ඉන්පසු) උත්සාහ නොගනී. කවර හෙයින්ද යත්, ඔහු එගොඩ වූයේය. එබැවිනි. දාමලිය, ප්‍රඥා ඇති, ධ්‍යානයෙහි ඇලුණු, ආශ්‍රව නැසූ, පව් බැහැර කළාහට මේ උපමාවෙකි. ඔහු ජාති මරණ දෙකේ කෙළවරට පැමිණ, ඒකාන්තයෙන් (භව සාගරයේ) පරතෙරට ගියේ, උත්සාහ නොකෙරේ.
Tuesday, May 25, 2021
උපෙක්‍ඛා භාවනාව
උපෙක්‍ඛා භාවනාව 1 -ආර්යයන් විසින් ගිය මඟ යන්න, සියලු දෙනා කෙරෙහි මැදහත් වන්න
Apr 24, 2021 | සිත නිවන භාවනා |
උපෙක්‍ඛා භාවනාව 1 -ආර්යයන් විසින් ගිය මඟ යන්න, සියලු දෙනා කෙරෙහි මැදහත් වන්න
බ්‍රහ්මවිහාර භාවනා අතරෙහි සතර වැනි භාවනාව ‘උපෙක්‍ඛා’ බ්‍රහ්මවිහාරය යි. මෛත්‍රී, කරුණා, මුදිතා බ්‍රහ්මවිහාර භාවනාවලින් සියලු සත්ත්වයන් කෙරෙහි ‘සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා’ යනාදි ලෙස භාවනාව වඩා තෘතීය ධ්‍යානය දක්වා උපදවන ලද තැනැත්තාට සතරවෙනුව උපෙක්‍ඛා බ්‍රහ්මවිහාර භාවනාව වැඩිය හැකි වේ. මෙම භාවනාව වැඩීම පිණිස මෛත්‍රී, කරුණා, මුදිතා භාවනාවකින් තෘතීය ධ්‍යානය දක්වා සමාධිය උපදවා තිබීම පූර්ව අවශ්‍යතාවයක් වේ. එහෙයින් පළමුවෙන් ඉහත කී බ්‍රහ්මවිහාර කර්මස්ථාන තුනෙන් අඩු ම තරමේ එක් භාවනාවකින් හෝ තුන්වන ධ්‍යානය දක්වා උපදවා ගත යුතු වේ.
උපෙක්‍ඛා බ්‍රහ්මවිහාර භාවනාව වැඩීමට මත්තෙන් උපේක්‍ෂාව යනු කුමක් දැ යි වටහා ගත යුතු වේ. ‘උපේක්‍ෂාව’ යන පදයෙන් අදහස් වන්නේ මැදහත් බව යි. මෙම මැදහත් බව නොයෙක් අවස්ථාවල නොයෙක් ආකාරයෙන් හමු වන බැවින් උපේක්‍ෂාව දස වැදෑරුම් බව අර්ථකථාවන්හි සඳහන් වේ. ඒ මෙසේ ය.
1. ඡළඩ්ග උපේක්‍ෂාව : නිකෙලෙස් රහතන් වහන්සේලා ස්වකීය චක්‍ෂුරාදි ද්වාරයන්හි පතනය වන අරමුණුවල දී ඇලීම්, ගැටීම් ඇති නොකර ගෙන මැදහත් වේ. එය ඡළඩ්ගෝපේක්‍ෂාව නම් වේ.
2. බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව : සත්ත්වයන් කෙරෙහි මමායනය කිරීමකින් තොරව මැදහත් ලෙස සැලකීම බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව යි.
3. බොජ්ඣඩ්ග උපේක්‍ෂාව : උපේක්‍ෂා සම්බොජ්ඣඩ්ගය යි. එනම් සිතක උපදින්නා වූ ඵස්ස, වේදනා ආදි සහජාත චෛතසික ධර්මයන් පිළිබඳ මැදහත් බව ඇති කරන තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යි.
4. විරිය උපේක්‍ෂාව : ඉතා දැඩි නො වූත්, ඉතා ලිහිල් නො වූත් මැදහත් වීර්ය සංඛ්‍යාත උපේක්‍ෂාව වීර්යෝපේක්‍ෂාව යි.
5. සඩ්ඛාර උපේක්‍ෂාව : සංස්කාර උපේක්‍ෂා ඤාණය යි. මෙය අෂ්ට සමාපත්තීන්ගේ ම සමථ වශයෙන් ද සතර මාර්ග, සතර ඵල, සුඤ්ඤත විහාර සමාපත්ති, අනිමිත්ත විහාර සමාපත්ති යන දස විධ අධිගමයන්හි ම විදර්ශනා වශයෙන් ද උපදී. ප්‍රථමධ්‍යානාදියෙන් විෂ්කම්භනය වූ නීවරණයන් ස්වභාව වශයෙන් පරික්‍ෂා කොට සනිටුහන් කරන්නා වූ ඒ නීවරණාදීන්ගේ උත්පාදනයෙහි මැදහත්ව බලන්නා වූ විදර්ශනා ප්‍රඥාව සංස්කාර උපේක්‍ෂා ඤාණය ලෙස හැඳින්වේ.
6. වේදනා උපේක්‍ෂාව : උපේක්‍ෂා වේදනාව හෙවත් අදුක්ඛම අසුඛ වේදනාව යි. එනම් දුක් වේදනාවත් නො වූ සුඛ වේදනාවත් නො වූ මැදහත් වේදනාව යි. චතුර්ථ ධ්‍යානයේ දී ඇති වේදනාව මෙම වේදනෝපේක්‍ෂාව යි.
7. විපස්සනා උපේක්‍ෂාව : පඤ්චස්කන්‍ධය පිළිබඳව අනිත්‍යය දුටු යෝගියා නැවත එය සෙවීමෙහි ව්‍යාපාර නො කර මැදහත් වන ප්‍රඥාව යි. මෙය සංස්කාරෝපේක්‍ෂා ඤාණය ම තවත් ආකාරයකට දැක්වීමකි. සංස්කාරෝපේක්‍ෂාවේ දී ත්‍රි ලක්‍ෂණය දුටු යෝගියාට භවත්‍රය ම ගිනි ඇවිලී ගියාක් මෙන් නැවත භවෝත්පත්තිය පිළිබඳ ඇල්මක් ඇති නො වේ. සර්පයෙකු සොයන තැනැත්තෙක් සර්පයා සොයාගත් විට නැවත සෙවීමේ උනන්දුවක් නැති වන අතර මිදීමේ උනන්දුවක් ඇති වේ. එසේ ත්‍රි ලක්‍ෂණය දුටු යෝගියා ද නැවත එය සෙවීමේ උනන්දුවක් නොමැතිව මැදහත් වීම විදර්ශනා උපේක්‍ෂාව යි.
8. තත්‍රමජ්ඣත්තතා උපේක්‍ෂාව : සිතක උපදින්නා වූ ඵස්ස, වේදනා ආදි සහජාත චෛතසික ධර්මයන් පිළිබඳ මැදහත් බව ඇති කරන තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යි. මෙය නොයෙක් අවස්ථාවල නොයෙක් නම්වලින් හැඳින්වේ.
9. ධ්‍යාන උපේක්‍ෂාව : තෘතීය ධ්‍යානයෙහි ඇත්තා වූ ධ්‍යාන සුඛය අග්‍ර ම වූ ධ්‍යාන සුඛය යි. ඒ අග්‍ර වූ ධ්‍යාන සුවයෙහි ද මැදහත් බව ඇතිව වාසය කරන්නා වූ උපේක්‍ෂාව ධ්‍යානෝපේක්‍ෂාව යි.
10. පාරිශුද්ධි උපේක්‍ෂාව : චතුර්ථ ධ්‍යාන උපේක්‍ෂාව පාරිශුද්ධි උපේක්‍ෂාව ලෙස හැඳින්වේ. එනම් සමාධියට ප්‍රතිපක්‍ෂ වූ නීවරණ, විතර්කාදි සියලු ප්‍රතිපක්‍ෂ ධර්මයන් චතුර්ථ ධ්‍යානයේ දී සන්සිඳීමට පත් වූ පසු යළිත් සන්සිඳවීම පිණිස උනන්දුවක් නොමැති වන උපේක්‍ෂාව යි.
මේ දශ වැදෑරුම් උපේක්‍ෂාවන් අතරින් ඡළඩ්ග, බ්‍රහ්මවිහාර, බොජ්ඣඩ්ග, තත්‍රමජ්ඣත්තතා, ධ්‍යාන, පාරිශුද්ධි යන උපේක්‍ෂාවන් සියල්ල ම අර්ථ වශයෙන් එක ම තත්‍රමජ්ඣත්තතා චෛතසිකය යි. ඒ ඒ අවස්ථාවේ කටයුතු කරන ආකාරයෙන් වෙන් වෙන් ව ඡළඩ්ගාදි නම් ලබයි.
ඒ අනුව මේ උපේක්‍ඛා බ්‍රහ්මවිහාර භාවනාවේ දී ‘උපේක්‍ඛා’ යන්නෙන් අදහස් කරන්නේ බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව යි. එනම් සියලු සත්ත්වයන් කෙරෙහි මැදහත් සිතක් ඇති කර ගැනීම යි. සත්ත්වයන්ට ‘සුවපත් වේවා’ යනාදි ලෙස ඇති කරගන්නා මමායනයෙන් තොර ව මැදහත් ව සලකා බැලීම මෙහි දී සිදු වේ. එය උපේක්‍ෂා වේදනාව නොවන බව වටහා ගත යුතු වේ.
උපේක්‍ෂා බ්‍රහ්මවිහාර භාවනාව ආරම්භ කිරීමට මත්තෙත් මෛත්‍රී, කරුණා, මුදිතා භාවනාවකින් තෘතීය ධ්‍යානය දක්වා උපදවා තිබිය යුතු බව ඉහත දක්වන ලදී. ඒ අනුව මැනවින් වඩන ලද, පංච වශීතාවයෙන් වශී භාවයට පත් කර ගන්නා ලද, මැනවින් ප්‍රගුණ කරන ලද මෛත්‍රී ආදි තෘතීය ධ්‍යානයකින් නැගී සිට ඒ මෛත්‍රී කරුණා මුදිතාවන්හි ආදීනව මෙනෙහි කළ යුතු වේ.
මෛත්‍රී භාවනාදියෙහි ‘සුවපත් වෙත්වාල නිදුක් වෙත්වා’ යනාදි ලෙස පවත්වන ලද මනසිකාරය සත්ත්වයන් පිළිබඳ මමායනය කිරීමකි. එසේ සත්ත්වයන් කෙරෙහි මමායන වශයෙන් පවත්නා මනසිකාර ඇති බැවින් මෛත්‍රී, කරුණාදි භාවනාවන් සෝමනස්සයට ද පටිඝයට ද සමීපචාරී යැයි කියනු ලැබේ. කරුණාව පවත්වන්නේ දුකට පත් සත්ත්වයන් අරමුණු කරගෙන වේ. එය දෝමනස්සයට සමීප වන අතර මෛත්‍රිය හා මුදිතාව සත්ත්වයන්ගේ සැප අරමුණු කරන බැවින් සෝමනස්සයට සමීප වේ. ඒ නිසා ම මෙත්තා, කරුණා, මුදිතා භාවනාවන් ඕළාරික වේ. උපේක්‍ෂාව තරම් ශාන්ත නො වේ. මෙසේ මෛත්‍රී ආදි භාවනාවන්හි ආදීනවය සැලකිය යුතු වේ. එසේ ම උපේක්‍ෂා භාවනාව සත්ත්වයන් පිළිබඳ මැදහත් ආකාරය සැලකීමක් බැවින් අතිශය ශාන්ත වේ. ප්‍රණීත වේ. මෙසේ උපේක්‍ෂා භාවනාවෙහි ආනිසංසය ද සැලකීමෙන් සත්ත්වයන් කෙරෙහි මැදහත් වීමේ රුචිය උපදවාගෙන භාවනාව ආරම්භ කළ යුතු වේ.
මෛත්‍රී භාවනාව ආරම්භ කිරීමේ දී අතිශය ප්‍රිය පුද්ගලයා තෝරා නොගත යුතු බව ද කරුණා, මුදිතා භාවනාවන්හි දී ප්‍රිය පුද්ගලයන් තෝරා නො ගත යුතු බව ද යනාදි වශයෙන් ඒ ඒ භාවනාව ආරම්භයේ දී තෝරා ගත යුතු, නො ගත යුතු පුද්ගලයන් පිළිබඳව ඉහත ඒ ඒ භාවනාවේ දී පැහැදිලි කරන ලදී. එසේ ම මෙම උපේක්‍ෂා භාවනාවේ දී ද පළමුව ප්‍රිය අප්‍රිය පුද්ගලයන් අතහැර මධ්‍යස්ථ පුද්ගලයෙකු තෝරා ගත යුතු වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
මාඝ සූත්‍රය
මාඝ සූත්‍රය |
84 මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල මාඝ (ශක්‍ර) දෙව්පුත් රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි මාඝ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙය කීය: “කුමක් නම් නසා සුවසේ සැතපේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් එක් දැයෙක විනාශයට සතුටුවහුද?” (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ක්‍රෝධය නසා සුවසේ සැතපෙයි. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ. ශක්‍රය, දුඃක විපාක විෂමූලයක් ඇති, මිහිරිවූ අගක් ඇති, ක්‍රෝධයාගේ විනාශය ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කරත්. එය නසා ශෝක නොකෙරේ. |
Monday, May 24, 2021
මුදිතා භාවනාව 2
මුදිතා භාවනාව 2 – ‘ද්වේෂ පීඩාවෙන් මිදීමට, මුදිතාව වඩන්න’
Apr 24, 2021 | සිත නිවන භාවනා | 0
මුදිතා භාවනාව 2 – ‘ද්වේෂ පීඩාවෙන් මිදීමට, මුදිතාව වඩන්න’
මුදිතාව යනු අන් අයගේ සැපයට සතුටු වීමේ උසස් ගුණය යි. එය පුරුදු පුහුණු කර නැති අයෙකුට පහසුවෙන් ඇති කර ගත හැකි මානසික තත්ත්වයක් නො වේ. ඒ සඳහා මුදිතා භාවනාව වැඩීමෙන් මනා උපකාරයක් වේ.
මුදිතාව වැඩූ තැනැත්තාට අනෙක් පුද්ගලයාගේ සැපය කෙරෙහි ඊර්ෂ්‍යාව ඇති නො වේ. අනෙක් කෙනාගේ සැපයට ඊර්ෂ්‍යාව ඇති වන තැනැත්තා නිතර දුකින් වාසය කරයි. ඔහුගේ සිතේ නිරන්තරයෙන් ඇති වන්නේ ගැටීම යි. ඊර්ෂ්‍යාව යනු ද්වේෂ මූල චෛතසිකයක් වේ. ඒ නිසා අනෙක් කෙනාගේ සැප දකින විට ඊර්ෂ්‍යාවක් ඇති වන තැනැත්තා නිතර ද්වේෂයෙන් පීඩා විඳින අයෙක් වේ. ඒ පීඩාකාරී තත්ත්වයෙන් මිදීමට මුදිතා භාවනාව බොහෝ සෙයින් උපකාරී වේ.
මුදිතා භාවනාවට පළමුව අතිශය ප්‍රිය සහායක පුද්ගලයෙක් තෝරා ගත යුතු බව ඉහත සඳහන් කරන ලදී. අතිශය ප්‍රිය පුද්ගලයා ඇසුරු කිරීම නිතර සොම්නස් සහගත බැවින් මුදිතාව ඇති කර ගැනීමට එය උපකාරී වන බැවිනි.
විභඩ්ගප්‍රකරණයෙහි ද ‘කථඤ්ච භික්‍ඛු මුදිතා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති? සෙය්‍යථාපි නාම එකං පුග්ගලං පියං මනාපං දිස්වා මුදිතො අස්ස, එවමෙව සබ්බෙ සත්තෙ මුදිතාය ඵරති’ යනුවෙන් මුදිතා භාවනාව වැඩිය යුතු ආකාරය දැක්වේ. එනම් තමන්ට ප්‍රිය වූ මනාප වූ සිත්කලු වූ එක් පුද්ගලයකු දැක යම් ආකාරයකින් සතුටු වේ ද එසේ ම සියලු සතුන් කෙරෙහි මුදිතාව උපදවාගෙන එය පතුරුවමින් මුදිතා භාවනාව වැඩිය යුතු වේ.
ඇතැම් විට අතිශය ප්‍රියවන්ත මිත්‍රයා අතීතයේ සුවපත් වී සිටි නමුදු වර්තමානයේ දුගී දුක්පත් තැනැත්තෙක් විය හැකි ය. එසේ නම් අතීතයේ ඔහුගේ සුවපත් භාවය සලකා බලා මුදිතාව වැඩිය යුතු වේ. ‘මේ තැනැත්තා අතීතයේ මෙසේ මහත් භෝග ඇත්තෙක් විය. මහත් පිරිවර ඇත්තෙක් විය. නිරන්තරයෙන් සතුටු වීය.’ යනාදි වශයෙන් ඔහුගේ ඒ ඉක්මගිය සතුටු වීමේ ආකාරය සලකා ගෙන මුදිතාව ඉපදවිය යුතු වේ. එසේ ඒ පුද්ගලයා අනාගතයේ නැවත ඒ සම්පත් ලැබ මෙසේ සතුටු වන්නේය. මෙසේ සතුටු වන්නේය යැයි සැලකිය යුතු වේ. මහත් සැප සම්පත් ඇතිව මෙසේ මෙසේ යානවාහන සහිත වන්නේය. මෙසේ මෙසේ ගෙවල් fදාරවල් ඇතිව වසන්නේය. මෙසේ මිල මුදල් පරිහරණය කරන්නේය යැයි ඔහුගේ අනාගත සතුටු වීමේ ආකාරය සිහිපත් කර ගත හැකි වේ. ඒ අනුව ඔහුගේ සැපය පිළිබඳව සිතේ සතුටක් ඇති කර ගත යුතු වේ.
මේ කියන ලද ආකාරයෙන් පළමුව අතිශය ප්‍රිය පුද්ගලයාට මුදිතාව ඇති කර ගත යුතු වේ. ඒ අතිශය ප්‍රිය පුද්ගලයාගේ සැපය පිළිබඳව තමන් ද සතුටු වන බැවින් සිතේ ප්‍රීති ප්‍රමෝදය ඇති වේ. ඒ ප්‍රීතියෙන් යුතුව මුදිතා අරමුණේ සිත පැවැත්වීමේ දී සිත කය දෙක ම සැහැල්ලු වී සුඛය ඇති වේ. ඒ සුඛයෙන් සිත සමාධිමත් වේ. ඒ පුද්ගලයාගේ සැපය ම අරමුණු කරගෙන සිත බොහෝ වේලා පැවැත්විය හැකි වේ.
අනතුරුව සාමාන්‍ය ප්‍රිය පුද්ගලයා කෙරෙහි ද ඒ ආකාරයෙන් ම මුදිතාව ඉපදවිය යුතු වේ. ඔහු අරමුණු කරගෙන ඔහුගේ සැපය ගැන සතුටු වෙමින් සිත ඒ අරමුණෙහි ද පවත්වා ගත හැකි මට්ටමට පත් වීමෙන් අනතුරුව මධ්‍යස්ථ වෛරී පුද්ගලයන් කෙරෙහි ද අනුපිළිවෙළින් මුදිතාව ඉපදවිය යුතු වේ. එසේ ඇති කරගන්නා මුදිතා සිත අනතුරුව තමන් කෙරෙහි ද පැවැත්විය යුතු වේ.
වෛරී පුද්ගලයා කෙරෙහි මුදිතාව වැඩීමේ දී ගැටීමක් උපදී නම් මෛත්‍රී භාවනාවෙන් කී ආකාරයෙන් ම ඒ ගැටීම සන්සිඳුවාගෙන මුදිතාව වැඩිය යුතු වේ. ඒ අනුව ගැටීම ඇති තැනැත්තා අරමුණු කර මුදිතාව වැඩීම අපහසු නම් යළිත් පෙර පුද්ගලයාට ම මුදිතාව වඩා සිත මෘදු බවට පත් කර ගත යුතු වේ. එසේ සිත මෘදු භාවයට පත් වූ පසු නැවත වෛරී පුද්ගලයා අරමුණු කළ යුතු වේ. මේ ක්‍රමයෙන් කිහිප වරක් මුදිතාව වඩන විට වෛරී පුද්ගලයා කෙරෙහි ද සම සේ මුදිතාව පැවැත්විය හැකි වේ.
මෙසේ ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී යන පුද්ගලයන් කෙරෙහි ද තමන් කෙරෙහි ද යන සියලු දෙනා කෙරෙහි සම සිතින් මුදිතාව පැවැත්විය යුතු වේ. ඒ සියලු දෙනාගේ ම සැපය පිළිබඳව කිසිදු භේදයකින් තොර ව සතුටු විය හැකි සිතක් ඇති වනු ඇත. එසේ සම සේ මුදිතාව ඇති කර ගත හැකි වන විට සීමා සම්භේදය සිදු වේ. එසේ මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් ම සීමා සම්භින්දනය කොට ඒ මුදිතා නිමිත්ත ඇසුරු කරමින් වඩමින් බහුලීකෘත කරමින් මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් ම තතිය ධ්‍යානය දක්වා වැඩිය යුතු වේ.
මෙසේ මුදිතා භාවනාවෙන් තතිය ධ්‍යානය දක්වා සිතේ සමාධිය දියුණු කරගෙන පටිසම්භිදාමග්ගපාළියෙහි කී ක්‍රමයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) ද, දශ ආකාරයකින් දිශා වශයෙන් ද මුදිතාව පැතිරවිය යුතු වේ.
‘සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන්, සියලු ආත්මභාව පර්යාපන්නයන්’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව ද ‘සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයන්, සියලු ආර්යයන්, සියලු අනාර්යයන්, සියලු දෙවියන්, සියලු මනුෂ්‍යයන්, සියලු විනිපාතිකයන්’ යන සත්ව කොට්ඨාශ සත (7) අරමුණු කරමින් විශේෂ පිරිසිඳීමක් සහිතව ද මුදිතාව පැතිරවිය යුතු වේ. නැවත දිශා වශයෙන් ද සියලු සත්ත්වයන් යනාදි වශයෙන් අරමුණු කරමින් ද සියලු ස්ත්‍රීන් යනාදි ලෙස අරමුණු කරමින් ද මුදිතාව පැවැත්විය යුතු වේ. වඩන ලද මුදිතාව මෙසේ නොයෙක් ආකාරයෙන් පැතිරවීමෙන් සමාධිය ශක්තිමත් වේ. ඒ සමාධිය විදසුන් වැඩීමට උපකාරී කර ගත හැකි වේ.
එසේ නොයෙක් ආකාරයෙන් සිතේ මුදිතාව භාවනා වශයෙන් දියුණු කරගෙන එම මුදිතාව පතුරවමින් සමාධිය ශක්තිමත් කරගෙන මුදිතා ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා නිවන් සාක්‍ෂාත් කර ගැනීමට සත්පුරුෂ පින්වතුන් උත්සාහ කරත්වා.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
පාථෙය්‍ය සූත්‍රය
පාථෙය්‍ය සූත්‍රය
79
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
“කිමෙක් නම් මගට වුවමනා දේ බඳීද? භෝගයන් රැස් වන තැන නම් කිමෙක්ද? කිමෙක් නම් සත්ත්‍වයා ඒ මේ අතට අදීද? ලොව කිමෙක් නම් අපහසුවෙන් දුරලිය යුතුද? මලපුඩුවෙන් (බැඳුනු) කිරිල්ලක සෙයින් කිමෙක්හි බොහෝ සත්ත්‍වයෝ බැඳුනාහු වෙත්ද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ශ්‍රද්‍ධාව සසර මගට වුවමනාදේ බඳී. (සපයයි) ඓශ්චර්‍යය භෝග රැස්වන තැනය. ආසාව සත්ත්‍වයා ඒ මේ අතට අදී. ආසාව ලොව අපහසුවෙන් දුරලිය යුතු දෑය. මලපුඩුවෙන් (බැඳුණු) කිරිල්ලක සෙයින් බොහෝ සත්ත්‍වයෝ ආසායෙන් බැඳුණාහු වෙති.”
Sunday, May 23, 2021
මුදිතා භාවනාව 1 – ‘අනෙකාගේ සැපයට සතුටු වීමේ භාවනාව
මුදිතා භාවනාව 1 – ‘අනෙකාගේ සැපයට සතුටු වීමේ භාවනාව’
Apr 24, 2021 | සිත නිවන භාවනා | 0
මුදිතා භාවනාව 1 – ‘අනෙකාගේ සැපයට සතුටු වීමේ භාවනාව’
කරුණා භාවනාවට අනතුරුව සමථ භාවනාවකින් සිතේ සමාධියක් ඇති කරගෙන අනතුරුව විදසුන් වඩනු කැමති යෝගාවචරයන් වෙනුවෙන් මුදිතා භාවනාව විස්තර කරනු ලැබේ.
මුදිතාව යනු අන් අයගේ සැපයෙහි සතුටු වීම යි. අන් පුද්ගලයකුගේ සැපයක් දැක, ඔහුගේ සතුට දැක ‘අනේ හොඳයි’ යැයි ඒ පිළිබඳ තමන් සිතේ ද සතුටක් ඇති කරගෙන සතුටු වන ස්වභාවය මුදිතාව ලෙස හැඳින්වේ. මෙය ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ බව යි.
ලෝකයේ බොහෝ දෙනෙක් අන් අයගේ සැපයේ දී ඊර්ෂ්‍යාව උපදවාගෙන අකුශල රැස් කර ගනිති. ඒ අනුව සමහර කෙනෙක් ඒ අය අභිබවා යාමට උත්සාහ දරමින් තව තවත් අකුශල රැස් කර ගනිති. ඇතැම් විට සැපවත් පුද්ගලයාට අනතුරක් කර ඔහු දුකට පත්වනු දැක සතුටු වන අය ද සිටිති. එවන් ලෝකයක අන් තැනැත්තාගේ සැපයේ දී තමන්ට ද ඒ පිළිබඳව සන්තුෂ්ටියක් උපදවා ගත හැකි නම් එය උසස් ගුණයක් වේ. එය භාවනාවක් බවට පත් කර ගැනීම මුදිතා භාවනාවෙන් සිදු වේ.
සමථ භාවනාව සමෘද්ධමත් වන්නේ අරමුණේ සිත මැනවින් පිහිටා පැවතිය හැකි වුවහොත් පමණි. මෛත්‍රී භාවනාවේ දී අතිශය ප්‍රිය සහායක පුද්ගලයාට පළමුව මෛත්‍රිය වැඩීම නො කළ යුතු බව කියන ලදී. අතිශය ප්‍රිය සහායක පුද්ගලයාට මෙත් වැඩීමේ දී ඇල්මක් හටගෙන රාගයක් ඇති විය හැකි බැවිනි. එසේ ම මධ්‍යස්ථ, වෛරී පුද්ගලයන් ද පළමුව තෝරා නො ගත යුතු වේ. එසේ ම කරුණා භාවනාවේ දී ප්‍රිය පුද්ගලයා තෝරා නොගෙන දුකට පත් පුද්ගලයෙක් තෝරා ගත යුතු බව සඳහන් කරන ලදී. ප්‍රිය පුද්ගලයා ප්‍රිය භාවයෙන් ම සිටින නමුදු ඒ පුද්ගලයාගේ දුකක දී සිත කම්පා වන කරුණා බවක් ඇති නොවන බැවිනි. ඒ නිසා කරුණාවේ දී සිත මැනවින් කරුණාවන්ත බවක පිහිටුවා ගැනීමට දුකට පත් වූ පුද්ගලයෙක් අරමුණු කර ගත යුතු වේ.
මෙම මුදිතා භාවනාවේ දී ද කරුණා භාවනාවේ කී පරිද්දෙන් ම පළමුව ප්‍රිය, මධ්‍යස්ථ, අවෛරී පුද්ගලයන්ට මුදිතාව වැඩීම සිදු නො කළ යුතු වේ. ප්‍රිය පුද්ගලයා පිළිබඳව ඇත්තේ ප්‍රියවන්ත බවක් ම වේ. ඔහුගේ සැපයේ දී තමන් සතුටට පත් වන නමුදු භාවනාව ආරම්භ කිරීමට අරමුණෙහි මැනවින් පිහිටා සිටීමට එය ප්‍රමාණවත් නො වේ. මුදිතාව හෙවත් අන් අයගේ සැපයේ දී සතුටු වීම හොඳින් ප්‍රකට වන්නේ සොම්නස් පිළිසඳර යෙදීම සිදු වන්නා වූ, නිතර සතුටු මුහුණෙන් යුතුව කථා කරන්නා වූ, අනෙකාට පළමුව තමන් කථා කරන ස්වභාවය ඇත්තා වූ, සතුටු වන කථා ඇත්තා වූ පුද්ගලයන් පිළිබඳව වේ. සාමාන්‍ය ප්‍රිය පුද්ගලයා තුළ ඇත්තේ ප්‍රියවත් බවක් පමණි. ඔහු වෙත ඇති ප්‍රිය ස්වභාව මාත්‍රය පමණක් මුදිතාව ඇති වීමට ප්‍රමාණවත් නො වේ. එහෙයින් පළමුව ප්‍රිය පුද්ගලයාට මුදිතාව වැඩීම නො කළ යුතු වේ.
එසේ ම මධ්‍යස්ථ පුද්ගලයා සිහි කිරීමේ දී සිතේ ඇති වන්නේ උදාසීන බවකි. ඒ උදාසීන හැඟීම ද මුදිතාවක් ඇති කර ගැනීමට ප්‍රමාණවත් නොවේ. අන් තැනැත්තාගේ සැපයේ දී සතුටු වීම යනු උසස් ගුණයකි. එය සාමාන්‍යයෙන් ඊර්ෂ්‍යා ආදියෙන් මැඩී පවත්නා පෘථග්ජන සිතේ ඇති කර ගැනීම පහසු කටයුත්තක් නො වේ. එහෙයින් මධ්‍යස්ථ පුද්ගලයා ද පළමුව මුදිතාව වැඩීමට තෝරා නො ගත යුතු වේ.
වෛරී පුද්ගලයා සිහි කිරීමේ දී සිතේ ඇති වන්නේ ගැටීමකි. ක්‍රෝධයකි. එය ද මුදිතාව ඇති වීමට ප්‍රතිවිරුද්ධ වේ. වෛරී සතුරු පුද්ගලයෙකුට යහපතක් වනු දැකීමට සිත පළමුව ම කැමති නො වේ. එහෙයින් වෛරී පුද්ගලයාට ද පළමුව මුදිතාව වැඩීම නො කළ යුතු වේ.
මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් ම ලිංගවිසභාග පුද්ගලයන් සහ කලුරිය කළ පුද්ගලයන් මෙම භාවනාවට ද ක්‍ෂේත්‍රය නො වේ ම ය. ඔවුන්ට මුදිතාවක් වැඩීමට උත්සාහ කළ ද එය සමෘද්ධ නො වේ මය.
මුදිතාව උපදින්නේ පරම සම්පත්තීන් පිළිබඳ සන්තුෂ්ට වූ තුටු පහටු වූ ප්‍රිය පුද්ගලයා කෙරෙහි ම වේ. යමෙකුගේ අතිශය ප්‍රිය සහායක තැනැත්තා පිළිබඳව ඔහුට ඇත්තේ සොම්නස් හැඟීමකි. ඔහු සමඟ නිරන්තරයෙන් සතුටු වීම රුචි වේ. තම තමන් එකිනෙකා පිළිබඳව ඇත්තේ සිත පිනා යන හැඟීමකි. එවන් තත්වයක් මුදිතාව ඇති වීමට සුදුසු භූමිය යි. මුදිතාවට ආසන්න කාරණය වේ. එහෙයින් අතිශය ප්‍රිය පුද්ගලයා මුදිතාව වැඩීමට ආසන්න කාරණය වශයෙන් උපාකරී වන බව සඳහන් වේ.
ඒ අනුව මුදිතා භාවනාව ආරම්භ කරන තැනැත්තා විසින් පළමුව තෝරා ගත යුතු වන්නේ අතිශය ප්‍රිය සහායකයෙකු වේ. අතිශය ප්‍රියවත් වූ මිත්‍රයා හමු වීමේ දී පළමුව සිනා සී සතුටු සාමීචියෙන් කථා කරයි. බොහෝ විට අතිශය ප්‍රිය මිත්‍රයා හමු වන විට පළමුව කථා කිරීමට තමන්ට සිත පහළ වේ. ඒ ඔහු සමඟ ඇති සතුටු වීමේ ආකාරය යි. එබඳු පුද්ගලයා පිළිබඳව පරම සන්තුෂ්ටිය ඇති වන හෙයින් පළමුව මුදිතාව වැඩීමට තෝරා ගත යුත්තේ ඒ අතිශය ප්‍රිය සහායකයා වේ. අර්ථකථාවන්හි මෙම අතිශය ප්‍රිය සහායකයා ‘සොණ්ඩ සහායකයා’ යැයි හඳුන්වා ඇත. එනම් රා සොඬෙකු බඳු වූ සහායකයා ය. සුරා සොඬෙක් සුරා මතින් මත් වූ විට සතුටු වීමට කාරණාවක් නොමැති අවස්ථාවක නමුත් සතුටු වේ. ඇතැම් විට දුක් විය යුතු අවස්ථාවේ ද සුරා මතින් සතුටු වෙයි. අතිශයින් ප්‍රිය මිත්‍රයා ද මේ සුරා සොඬෙක් බඳු ව නිතරම සතුට ම දනවන තැනැත්තෙක් වේ. ඔහු හමු වීමෙන් දුකට පත් වූ අවස්ථාවේ නමුත් දුක තුනී කරගෙන සතුටු විය හැකි වේ. එබඳු මිත්‍රයෙක් තෝරාගෙන පළමුවෙන් ම මුදිතාව වැඩිය යුතු බව අර්ථකථාවෙහි සඳහන් වේ.
සුවපත් වූ සැප අනුභවයට සැරසුණා වූ සතුටු වන්නා වූ ‘සොණ්ඩ සහායකයෙක්’ නමු වූ අතිශය ප්‍රිය පුද්ගලයෙකුගේ සැපයක් ඇසින් දැක හෝ ඒ පිළිබඳව කනින් අසා හෝ ‘ඒකාන්තයෙන් ම මේ තැනැත්තා සතුටු වන කෙනෙකි. අහෝ සාධු. (අනේ හොඳයි)’ යැයි මුදිතාව ඉපදවිය යුතු වේ. ‘මේ තැනැත්තා තව තවත් සැපයට පත් වේ නම් හොඳ ය. සතුටට පත් වේ නම් හොඳ ය’ යැයි සිතේ මුදිතාව ඇති කර ගත යුතු වේ. ‘මේ තැනැත්තාගේ සැපය දිනෙන් දින වැඩි වර්ධනය වේ නම් හොඳයි’ යනාදි ලෙස සිතිවිලි පැවැත්විය යුතු වේ. එසේ අතිශය ප්‍රිය සහායක තැනැත්තෙක් තෝරාගෙන පළමුව මුදිතාව පැවැත්වීමෙන් තමන්ගේ සිත සතුටට පත් වේ. ප්‍රීති ප්‍රමෝදය ඇතිවේ. එයින් කය සැහැල්ලු භාවයට පත් වී සුඛය ඇති වී සිතේ සමාධියක් ඇති වේ. එයින් මුදිතා භාවනාව සමෘද්ධමත් කර ගත හැකි වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
ඉස්සර සූත්‍රය
ඉස්සර සූත්‍රය
77
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය:
“ලොව අධිපති බව කිමෙක්ද? බඩු අතුරෙන් කිමෙක් උතුම්ද? ලොව ශාස්ත්‍රයට මලකව කිමෙක්ද? ලොව විනාශකාරී කවරේද?
“ගෙන යන කවරකු (මිනිස්සු) වළක්වත්ද? ගෙන යන කවරෙක් වනාහි ප්‍රිය වේද? නුවනැත්තෝ නැවත නැවත එන කවරකු පිළිගනිත්ද?
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “අණ පැවැත්වීම ලොව අධිපති බවයි. භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී උතුමි. ක්‍රෝධය ලොව ශාස්ත්‍රයට මලකඩයි. සොරු ලොව විනාශකාරීහුයි.
“බඩු ආදිය යමක් ගෙනයන සොරා (මිනිස්සු) වළක්වත්. තමාගෙන් යමක් ගෙන යන මහණ තෙම ප්‍රියවේ. නුවණැත්තෝ නැවත නැවත එන මහණහු සතුටින් පිළිගනිති.
Friday, May 21, 2021
කරුණා භාවනාව – 02 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න
කරුණා භාවනාව – 02 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න
Apr 24, 2021 | සිත නිවන භාවනා | 0
කරුණා භාවනාව – 02 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න
පළමුව සිතේ උපචාර, අර්පණා සමාධියක් ඇති කරගෙන ඒ පදනම් කරගෙන විදර්ශනාව වැඩීමට අදහස් කරන තැනැත්තෙකුට ඒ සඳහා කරුණා භාවනාව වැඩීමට තෝරා ගත හැකිය. එසේ කරුණා භාවනාව ආරම්භ කිරීමට අදහස් කරන යෝගියා පළමුව කරුණාව දැක්විය යුතු නිමිත්තක් තෝරා ගත යුතු වේ. ඒ අනුව රෝහල්, අනාථකඳවුරු ආදියක දුකට පත් පුද්ගලයන් දැක බලා ඒ පුද්ගලයන්ගේ දුක පිළිබඳ හොඳින් නුවණින් විමසා ඒ නිමිත්ත සිතට ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එබඳු පුද්ගලයෙක් කලින් දැක ඇත්නම් ඒ පිළිබඳ සිහියට නඟා ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එසේ පුද්ගලයෙක් දැක මතකයේ නැතිනම් රෝහල් ආදියකට ගොස් දුක් විඳින පුද්ගලයන් ගැන විමසා බැලීම ද සුදුසු වේ. එසේ කළ නොහැකි විටක දී සුවපත් වූ නමුදු පව් කරන පුද්ගලයෙක් වධක උපමාවෙන් සලකා බලා කරුණාව පැවැත්විය හැකි වේ.
සොරෙක් භාණ්ඩ සහිතව අල්වා ගනු ලැබූ කල්හි මොහුට වධ දෙව යැයි රජු විසින් අණ කරනු ලැබූ රාජ පුරුෂයෝ ඒ සොරා බැඳගෙන සන්ධි ස්ථානවල දී පහර සියය බැගින් දෙමින් මරණ ස්ථානයට රැගෙන යති. මිනිස්සු ඒ සොරාට අතරමග දී කෑ යුතු පිය යුතු දේ ද මල්, සුවඳ විලවුන් ආදිය ද දෙති. හෙතෙමේ ඒවා කමින් පරිභෝග කරමින් යයි. එහෙත් කිසිවෙක් ‘මේ තෙමේ සුවපත් වූවෙකි. මහත් භෝග ඇත්තෙකි’ යි නොසිතයි. ‘ඒකාන්තයෙන් ම පව්කාරයෙකි. දැන් දැන් මරණයට ලං වන්නේය’ යැයි සිතා මිනිස්සු ඔහුට කරුණාව දක්වති. එසේ ම මෙලොව පව් කරන තැනැත්තෙක් කාම සම්පත් පරිභෝග කළේ නමුදු ඒකාන්තයෙන් ම දුකට පත් වෙයි. එබඳු අයෙක් දෙස බලා මේ වධක උපමාවෙන් සලකා බැලිය යුතු වේ. ‘මේ පව්කාරයා දැන් සැප අනුභව කළේ නමුදු තුන් දොරින් එක් දොරකින් නමුදු කළ පිනක් නැති බැවින් මරණින් මතු අපායේ නොයෙක් දුක් දොම්නස් අනුභව කරන්නේය’ යැයි සලකා ඒ පව් කරන පුද්ගලයාට කරුණාව ඉපදවිය යුතු වේ.
මෙසේ පළමුව කිසියම් දුකට පත් පුද්ගලයෙක් දැක ඒ පුද්ගලයාට හෝ එසේ දුකට පත් පුද්ගලයෙක් දක්නට නො ලැබේ නම් සුවපත් වූ නමුදු පව්කම් කරන පුද්ගලයෙක් වධක උපමාවෙන් සලකා ඔහුට හෝ ‘මොහු මේ දුකින් අත මිදේවා, නිදුක් වේවා’ යැයි කරුණා සිත පැවැත්විය යුතු වේ. එහි දී අදාළ පුද්ගලයා අරමුණු කරගෙන සිතේ එකඟ බවක්, ඔහු දුකින් අත මිදීම පිළිබඳ කරුණා සිතකින් සමාධිමත් බවක් ඇති වේ. සිතට සුවයක් දැනේ. අනතුරුව ඒ සමාධිය ම නිමිති කරගෙන තමන්ට ප්‍රිය වූ වෙනත් පුද්ගලයෙක් තෝරාගෙන ‘නිදුක් වේවා’ යැයි කරුණා සිත පැවැත්විය යුතු වේ. එහි දී ද නැවතත් සිත සමාධිමත් වේ. අනතුරුව මෛත්‍රී භාවනාවේ කී ආකාරයෙන් මැදහත් පුද්ගලයා කෙරෙහි ද නැවත වෛරී පුද්ගලයා කෙරෙහි ද යැයි අනුපිළිවෙළින් කරුණා සිත පැවැත්විය යුතු වේ.
වෛරී පුද්ගලයා කෙරෙහි කරුණා සිත පැවැත්වීමේ දී සිතේ ගැටීමක් උපදී නම්, අරුචියක් පහළ වේ නම්, ඒ ගැටීම මෛත්‍රියේ කී ක්‍රමයෙන් ම සංසිඳුවිය යුතු වේ. ප්‍රිය පුද්ගලයා කෙරෙහි, මධ්‍යස්ථ පුද්ගලයා කෙරෙහි කරුණා සිත පැවැත්වීමේ දී සිතට දැනෙන සමාධිය ම දැනෙන අයුරින් වෛරී පුද්ගලයා කෙරෙහි ද කරුණා සිත පැවැත්විය හැකි විය යුතු. එසේ නො හැකි වුවහොත් යළි යළිත් පූර්ව පුද්ගලයන්ට කරුණා සිත පවත්මින් සිත මෘදු බවට පත් කරගෙන වෛරී පුද්ගලයා අරමුණු කළ යුතු වේ. එයින් යම් අවස්ථාවක වෛරී පුද්ගලයා අරමුණු කරගෙන ද පහසුවෙන් කරුණාව පැවැත්විය හැකි වේ. සිත සමාධිමත් වේ. මෙසේ ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී යන සියලුදෙනාට සම සේ කරුණා සිත පැවැත්විය හැකි වීමෙන් මෛත්‍රී භාවනාවේ කී ක්‍රමයෙන් ම සීමා සම්භින්දනය වේ. එසේ සීමා සම්භින්දනය වූ නිමිත්ත ඇසුරු කරගෙන, එය වඩා ප්‍රථම ධ්‍යානය උපදවාගෙන, නැවත ද්විතීය, තෘතීය ධ්‍යානයන් ඉපදවිය හැකි වේ.
මෙසේ යම් කිසි පිනැති තැනැත්තෙක් නම්, ඤාති ව්‍යසන, රෝග ව්‍යසනාදියෙන් යුක්ත පුද්ගලයෙක් දැක හෝ එවැන්නකු පිළිබඳ අසා දැනගෙන හෝ එවැන්නෙකු නොමැති කල්හි ‘මේ තෙමේ සංසාර දුකින් අත නොමිදුණේ’ යැයි සලකා හෝ තමන් කෙරෙහි ද ප්‍රිය, මධ්‍යස්ථ, වෛරී පුද්ගලයන් කෙරෙහි ද යන සතර දෙනා කෙරෙහි කරුණාව පවත්වා මෛත්‍රියේ කී ක්‍රමයෙන් ම සීමා සම්භින්දනය කොට ඒ නිමිත්ත ඇසුරු කරමින්, වඩමින්, බහුලීකෘත කරමින් ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන උපදවන්නේය.
අනතුරුව මෛත්‍රී භාවනාවේ කී ක්‍රමයෙන් ම කරුණාව ද පැතිරවිය යුතු වේ. ඒ අනුව පටිසම්භිදාමග්ගපාළියෙහි කී ක්‍රමයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) ද, දශ ආකාරයකින් දිශා වශයෙන් ද කරුණාව පැතිරවිය යුතු වේ.
ඒ අනුව ‘සබ්බේ සත්තා (සියලු සත්ත්වයෝ), සබ්බේ පාණා (සියලු ප්‍රාණීන්), සබ්බේ භූතා (සියලු භූතයන්), සබ්බේ පුග්ගලා (සියලු පුද්ගලයන්), සබ්බේ අත්තභාවපරියාපන්නා (සියලු ආත්මභාව පර්යාපන්නයන්)’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව කරුණා ධ්‍යාන ඉපදවිය හැකි වේ.
අනතුරුව සප්තාකාරයකට විශේෂ පිරිසිඳීමක් සහිතව කරුණා සිත පැතිරවිය හැකි වේ. එනම් ‘සියලු ස්ත්‍රීන් (සබ්බා ඉත්ථියො), සියලු පුරුෂයන් (සබ්බේ පුරිසා), සියලු ආර්යයන් (සබ්බේ අරියා), සියලු අනාර්යයන් (සබ්බේ අනරියා), සියලු දෙවියන් (සබ්බේ දේවා), සියලු මනුෂ්‍යයන් (සබ්බේ මනුස්සා), සියලු විනිපාතිකයන් (සබ්බේ විනිපාතිකා)’ යන සත්ත්ව කොට්ඨාස සත (7) අරමුණු කරමින් කරුණාව වැඩිය හැකි වේ.
නැවත දිශා වශයෙන් ද දශ දිශාවට ම කරුණා සිත පැතිරවිය හැකි වේ. එහි දී එකිනෙක දිශාවේ සියලු සත්ත්වයන්, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන් සහ සියලු ආත්මභාව පර්යාපන්නයන් අරමුණු කරමින් ‘නිදුක් වෙත්වා’ යැයි කරුණා සිත පැතිරවිය හැකි වේ. එසේ ම එකිනෙක දිශාවේ ‘සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයන්, සියලු ආර්යයන්, සියලු අනාර්යයන්, සියලු දෙවියන්, සියලු මනුෂ්‍යයන්, සියලු විනිපාතිකයන්’ යන සත්ත්ව කොට්ඨාස සත (7) අරමුණු කරමින් කරුණා සිත පැතිරවිය හැකි වේ.
එසේ නොයෙක් ආකාරයෙන් කරුණා සිත පතුරවමින් සමාධිය ශක්තිමත් කරගෙන ඒ කරුණා ධ්‍යානය පදනම් කරගෙන විදසුන් වඩා නිවන් සාක්‍ෂාත් කර ගත හැකි වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
වුටඨි සූත්‍රය
වුටඨි සූත්‍රය
Monday, May 17, 2021
චිතත සූත්‍රය
චිතත සූත්‍රය
73
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. ඉක්බිති ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මෙහි (මෙලොව) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනය නම් කිමෙක්ද? කුමක් නම් මනාව පුරුදු කරන ලද්දේ සුව ගෙන දේද? රස අතුරෙන් ඉතා මිහිරි රසය නම් කිමෙක්ද? කෙසේ නම් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රෙෂඨයයි කියත්ද? “
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මෙහි ශ්‍රද්ධාව (මෙලොව) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනයයි. හොඳින් පුරුදු කළ ධර්‍මය සැප ගෙන දෙයි. රස අතුරෙක් ඒකාන්තයෙන් ඉතා මිහිරි රසය නම් සත්‍ය රසයයි. ප්‍රඥායෙන් ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියත්
කරුණා භාවනාව – 01 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න
කරුණා භාවනාව – 01 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න
Apr 18, 2021 | සිත නිවන භාවනා | 0
කරුණා භාවනාව – 01 කොටස – දුකට පත් අයට කරුණාව ඇති කරගන්න
දුර්ලභව ලබා ගත් බුද්ධ ශාසනයේ නිවන් දැකීමට රිසි සත්පුරුෂයන් විසින් නිරන්තරයෙන් ශීල, සමාධි, ප්‍රඥා ගුණ සම්පූර්ණය කරමින් නිවන් මගෙහි අප්‍රමාදීව ගමන් කළ යුතු වේ. ඒ සඳහා පළමුව සිව් පිරිසිදු ශීලය සම්පූර්ණ කළ යුතු වේ. පරිපූර්ණ වූ ශීලස්කන්ධයකින් සමන්විත නැණවත් පුද්ගලයා සමථ විදර්ශනා භාවනා වැඩීමෙන් පිළිවෙළින් සමාධි, ප්‍රඥා ස්කන්ධයන් පරිපූර්ණය කරගෙන මගපල නිවන් අවබෝධ කර ගන්නා බව බුදුරජාණන් වහන්සේගේ දේශනය යි.
චිත්ත සමාධියක් උපදවා ගත හැකි භාවනා කර්මස්ථාන සම සතළිසක් ත්‍රිපිටකය පුරාවට දේශිත අතර ඒ අතරින් තමන්ට රුචි කමටහනක් තෝරාගෙන භාවනාව ආරම්භ කළ යුතු වේ. බොහෝ දෙනෙකුට ගැළපෙන කමටහනක් වන ආනාපානසති භාවනාව ද එසේ ම බුද්ධානුස්සති භාවනාව ද මෛත්‍රී භාවනාව ද විස්තර කරන ලදී. මෛත්‍රී භාවනාව සමඟ සමීපව වැඩිය හැකි අනෙක් බ්‍රහ්මවිහාර භාවනාවක් වන කරුණා භාවනාව මෙතැන් පටන් විස්තර කරනු ලැබේ. සතර බ්‍රහ්මවිහාර භාවනා අතරින් පළමුවැන්න මෛත්‍රිය වන අතර දෙවැන්න වන්නේ කරුණාව යි.
අන් අයගේ දුකේ දී සිත කම්පාවන ස්වභාවය කරුණාව ලෙස හැඳින්වේ. ‘පරදුfක්‍ඛ සති සාධූනං මනං කම්පෙතීති කරුණා’ යැයි සඳහන් වන්නේ එබැවිනි. ඒ අනුව දුකට පත් අන් සත්ත්වයන් ඒ දුකින් අතමිදෙනු දැකීමේ කැමැත්ත කරුණාව යි. බෝසතාණන් වහන්සේලා සමස්ත ලෝක සත්ත්වයා දුකට පත් වී ඇති බව නුවණින් දැක ඒ සත්ත්වයන් දුකින් අත මිදවීම පිණිස පාරමී ධර්මයන් සම්පූර්ණය කරති. බුදුරජාණන් වහන්සේ මෙම ලෝක සත්ත්වයා සසර දුකින් මිදීමේ කරුණා සිතින් සෑම දිනක ම ලොව බලා වදාරණ සේක. බුදුරජාණන් වහන්සේගේ කරුණාව සෙසු සියලු සත්ත්වයන් අභිබවා ඇති බැවින් එය මහාකරුණාව ලෙස හැඳින්වේ.
කරුණා බ්‍රහ්මවිහාර භාවනාවේ දී සිදු කරනු ලබන්නේ අන් සත්ත්වයන් දුකින් අතමුදවනු කැමැති අධ්‍යාශය භාවනාවක් වශයෙන් පුරුදු කිරීමයි. එහි දී ද මෛත්‍රී භාවනාවේ දී මෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.
කරුණා බ්‍රහ්මවිහාර භාවනාව වඩනු කැමති යෝගාවචරයා පළමු කොට ම අකාරුණික බවෙහි හෙවත් විහිංසාවෙහි ආදීනව මෙනෙහි කොට කරුණාව වැඩීමේ ආනිසංස ද මෙනෙහි කළ යුතු වේ. සත්ත්වයන් වෙහෙසට පත් කිරීම වනාහි මෙලොව පරලොව දෙලොව ම අකුශල විපාක ගෙන දෙයි. යමෙක් සත්ත්වයන්ගේ දිවි තොර කිරීමෙන් හෝ අඟ පසඟ සිඳීමෙන් හෝ ධන හානි කිරීම්, අලාභ කිරීම්, අනර්ථය කිරීම්, අයස ඇති කිරීම් ආදියට උත්සාහ කිරීමෙන් හෝ අනෙක් අය වෙහෙසට පත් කරයි ද ඔහුගේ ඒ ප්‍රමාද විහරණය මෙලොව දී ම අලාභය පිණිස පවතී. ලද දෙය පිරිහීම පිණිස පවතියි. ඒ හේතුවෙන් ඔහුගේ අකීර්ති රාවය පැන නගී. පිරිසක් වෙත එළඹීමේ දී බිය, මකු බව ඇති වේ. සිහි මුළා වී කලුරිය කරයි. මරණින් මතු දුගතියේ උපදියි. මිනිසත් භවයක උපන්නේ නමුදු පහත් ජාතිවල, හීන කුලවල උපදියි. දුර්වර්ණ වෙයි. දැකීමට අප්‍රිය උපදවන්නෙක් වෙයි. බොහෝ ආබාධ ඇති බොහෝ ලෙඩ රොග ඇත්තෙක් වෙයි. දිළිඳු, අල්ප ආහාරාදිය ඇති අයෙක් වෙයි. අල්පායුෂ්ක ඇත්තේ වෙයි. මෙසේ සත්ත්වයන් කෙරෙහි අකාරුණික භාවය හෙවත් වෙහෙසට පත් කරන සුළු බව නොයෙක් ආකාරයෙන් අනර්ථකර විපාක ගෙන දෙන්නේ වෙයි.
එසේ ම සත්ත්වයන් කෙරෙහි කරුණාව ඇති කර ගැනීම නොයෙක් ආනිසංස ගෙන දෙන්නේ වෙයි. මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන සුවසේ නින්ද යාම, සුවසේ අවදි වීම ආදි එකොළොස් ආනිසංසය ම කරුණා භාවනාව වැඩීමෙන් ද ලැබිය හැකිය. මෙසේ කරුණා භාවනාව ආරම්භ කිරීමට අදහස් කරන යෝගාවචරයා පළමුව අකාරුණික භාවයෙහි ආදීනව ද කරුණා භාවනාවේ ආනිසංසය ද මෙනෙහි කර අනතුරුව කරුණා භාවනාව ආරම්භ කළ යුතු වේ.
කරුණා භාවනාව වැඩීම ද මෛත්‍රී භාවනාවට අතිශයින් සමාන වේ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව පිළිබඳ දේශනා කරන ආකාරයෙන් ම ‘කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ලෙස කරුණා සමාපත්තිය උපදවා වාසය කිරීම පිළිබඳ දේශනා කරන සේක.
එබැවින් කරුණා භාවනාව ආරම්භ කරන යෝගියා විසින් ද මෛත්‍රී භාවනාවේ දී මෙන් ම පළමුව ප්‍රිය පුද්ගලාදීන්ට කරුණාව වැඩීම නො කළ යුතු වේ. පළමුව ප්‍රිය පුද්ගලයාට කරුණාව වැඩීමේ දී ප්‍රිය පුද්ගලයාගේ ප්‍රිය භාවය පහ වීම සිදු නොවන බැවින් පළමුව ප්‍රිය පුද්ගලයාට කරුණාව වැඩීම සුදුසු නොවේ. මෛත්‍රියේ දී විස්තර කළ ආකායෙන් ම අප්‍රිය පුද්ගලාදීන් ට ද පළමුව කරුණාව වැඩීම නො කළ යුතු ය. එසේ ම විරුද්ධ ලිංගික පුද්ගලයා ද කලුරිය කළ පුද්ගලයා ද කරුණා භාවනාවට තෝරා නො ගත යුතු වේ. එයට හේතුව ද මෛත්‍රී භාවනාවේ දී විස්තර කරන ලදී.
අභිධර්ම පිටකයේ අප්පමඤ්ඤා විභංගයේ බුදුරජාණන් වහන්සේ කරුණා භාවනාව වඩන ආකාරය ‘කථඤ්ච භික්‍ඛු කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ලෙස වදාළ සේක. එහි දී වදාළ ආකාරයට කිසියම් දුගී දුප්පත්, කායදුශ්චරිතාදියෙන් යුත් පුද්ගලයෙක් දැක කරුණා සිතක් උපදින්නේ යම් ආකාරයකට ද එසේ සියලු සත්ත්වයන් කෙරෙහි කරුණා සිත ඉපදවිය යුතු වේ. එබැවින් පළමු කොට කරුණාව පැතිරවීම පිණිස කිසියම් කරුණා කටයුතු ස්වරූප ඇති අතිශයින් ම දුකට පත්, දිළිඳු වූ, කපන දල අත් පා ඇති, සිඟන කබලක් පෙරටු කොට අනාථශාලාවෙක සිටින, අතින් පයින් වෑහෙන පණු කැලන් ඇති, බැගෑපත් හඬින් හඬන්නා වූ අසරණ පුද්ගලයෙකු දැක ‘මේ සත්ත්ව තෙමේ දුකට පත් වූයේ යැයි ද මොහු මේ දුකින් අත මිදුණේ නම් හොඳ යැ’යි ද කරුණා සිතක් ඉපදවිය යුතු වේ.
කරුණා භාවනාව ආරම්භ කිරීමට අදහස් කරන තැනැත්තා රෝහල්, අනාථකඳවුරු ආදියක දුකට පත් පුද්ගලයන් දැක බලා ඒ පුද්ගලයන්ගේ දුක පිළිබඳ හොඳින් නුවණින් විමසා ඒ නිමිත්ත සිතට ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එබඳු පුද්ගලයෙක් කලින් දැක ඇත් නම් ඒ පිළිබඳ සිහියට නඟා ගෙන කරුණා භාවනාව ආරම්භ කළ හැකි වේ. එසේ පුද්ගලයෙක් දැක මතකයේ නැති නම් රෝහල් ආදියකට ගොස් දුක් විඳින පුද්ගලයන් ගැන විමසා බැලීම ද සුදුසු වේ. එසේ කළ නොහැකි විටක සුවපත් වූ නමුදු පව් කරන පුද්ගලයෙක් වධක උපමාවෙන් සලකා බලා කරුණාව පැවැත්විය හැකි වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Sunday, May 16, 2021
මෛත්‍රී භාවනාව – 13 කොටස – මෛත්‍රී ධ්‍යාන 528 ක්
මෛත්‍රී භාවනාව – 13 කොටස – මෛත්‍රී ධ්‍යාන 528 ක් …
Apr 18, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 13 කොටස – මෛත්‍රී ධ්‍යාන 528 ක් …
මෛත්‍රී භාවනාවෙන් සිත සමාධියට පත් කර ගත් යෝගාවචරයාට පටිසම්භිදාමග්ගපාළියෙහි දක්වන ලද ආකාරයට පස් ආකාරයකට සත්ත්වයන් පිළිබඳ විශේෂ පිරිසිඳීමක් නොමැතිව (අනොධිසො) ද, සප්තාකාරයකට විශේෂ පිරිසිඳීමක් සහිතව (ඔධිසො) ද, දශ ආකාරයකින් දිශා වශයෙන් ද මෙත් සිත පැතිරවිය හැකි වේ. මේ සියල්ල මෛත්‍රී ධ්‍යාන සමාපත්තිය උපදවන ලද යෝගියාට ම කළ හැකි බව විශුද්ධිමාර්ගයේ සඳහන් වේ.
‘සබ්බේ සත්තා, සබ්බේ පාණා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභාවපරියාපන්නා’ යනුවෙන් පස් ආකාරයකට විශේෂ පිරිසිඳීමක් රහිතව මෙත් සිත පැතිරවීමේ දී ‘අවේරා හොන්තු, අබ්‍යාපජ්ඣා හොන්තු, අනීඝා හොන්තු, සුඛී අත්තානං පරිහරන්තු’ යනුවෙන් සතර පදයකින් මෛත්‍රිය පැවැත්විය හැකි වේ. ඒ අනුව මෛත්‍රී ධ්‍යාන විස්සක් (20) ඉපදවිය හැකි වේ.
සප්තාකාරයකට විශේෂ පිරිසිඳීමක් සහිතව මෙත් සිත පැතිරවිය හැකි වේ. එනම් ‘සියලු ස්ත්‍රීන් (සබ්බා ඉත්ථියො), සියලු පුරුෂයන් (සබ්බේ පුරිසා), සියලු ආර්යයන් (සබ්බේ අරියා), සියලු අනාර්යයන් (සබ්බේ අනරියා), සියලු දෙවියන් (සබ්බේ දේවා), සියලු මනුෂ්‍යයන් (සබ්බේ මනුස්සා), සියලු විනිපාතිකයන් (සබ්බේ විනිපාතිකා)’ යන සත්ත්ව කොට්ඨාස සත (7) අරමුණු කරමින් මෛත්‍රිය වැඩිය හැකි වේ. එහි දී ද ‘වෛර නැත්තෝ වෙත්වා, නිරෝගී වූවෝ වෙත්වා, නිදුක් වූවෝ වෙත්වා, සුවසේ ආත්මය පරිහරණය කරත්වා’ යන සතර පදයෙන් ම මෙත් සිත පැවැත්විය හැකි වේ. ඒ අනුව විශේෂ පිරිසිඳීමක් සහිතව මෛත්‍රී ධ්‍යාන අට විස්සක් (28) ඉපදවිය හැකි වේ.
මෙහි දී ද ඉහත පැහැදිලි කරන ලද ආකාරයට ම පළමුව මෛත්‍රී සමාපත්තිය උපදවා ගත යුතු වේ. එහි දී පළමුව තමන්ට මෙත් වඩා දෙවනුව හිත, මධ්‍යස්ථ, අහිත පුද්ගලයන්ට මෙත් සිත පවත්වා සීමා සම්භින්දනයෙන් සිත මෛත්‍රී ප්‍රථමධ්‍යානයට පත් කර ගත යුතු වේ. අනතුරුව ලෝකයේ වෙසෙන සියලු ස්ත්‍රී සත්ත්වයන් හෝ පුරුෂ සත්ත්වයන් අරමුණු කර මෛත්‍රී සමාපත්තිය පැවැත්විය යුතු වේ. ස්ත්‍රී-පුරුෂයන් යනු ලිංගභේද වශයෙන් මෙත් සිත පැවැත්වීමයි. ඒ අනුව ‘වෛර නැත්තෝ වෙත්වා’ යන පදය ගෙන මෛත්‍රී සමාපත්තිය උපදවා ‘සියලු ස්ත්‍රීන් වෛර නැත්තෝ වෙත්වා’ යැයි එක් අර්පණාවක් ඉපදවිය හැකි වේ. එසේ ම ‘සියලු ස්ත්‍රීන් නිරෝගී වූවෝ වෙත්වා’ ‘සියලු ස්ත්‍රීන් නිදුක් වූවෝ වෙත්වා’ ‘සියලු ස්ත්‍රීන් සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් ද අර්පණා ඉපදවිය හැකි වේ. ඉන්පසු නැවත ‘සියලු පුරුෂයන්’ යැයි අරමුණු කරමින් මේ සතරාකාරයෙන් ම මෙත් සිත පැවැත්විය හැකි වේ.
ආර්ය-අනාර්ය යනු ආර්ය පෘථග්ජන වශයෙන් මෙත් සිත පැතිරවීමයි. ඒ එකිනෙක කොට්ඨාසයට ද ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතරාකාරයෙන් මෙත් වැඩිය හැකි වේ. දෙවා-මනුස්සා-විනිපාතිකා යනු උත්පත්ති වශයෙන්. නැතහොත් ජාති වශයෙනි. ඒ සියලු දෙනා පිළිබඳව ම විශේෂයෙන් පිරිසිඳ අරමුණු කර ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතරාකාරයෙන් මෛත්‍රිය පැතිරවිය හැකි වේ. ඒ අනුව එකිනෙක කොට්ඨාසයට ධ්‍යාන සතර බැගින් ධ්‍යාන අට විස්සක් (28) ඉපදවිය හැකි වේ.
අනතුරුව දිශා වශයෙන් මෙත් සිත පැතිරවිය හැකි වේ. දිශා වශයෙන් මෙත් සිත පැවැත්වීම පිළිබඳව ඉහත පැහැදිලි කරන ලදී. එහි දී එකිනෙක දිශාවේ සියලු සත්ත්වයන්, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන් සහ සියලු ආත්මභාව පර්යාපන්නයන් අරමුණු කළ යුතු වේ. තව ද ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතරාකාරයෙන් ම මෙත් සිත පැවැත්විය යුතු බැවින් ‘පෙරදිග වැසි සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ලෙස මෛත්‍රිය වැඩිය යුතු වේ.
එහි දී ද පළමුව ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි එක් පදයකින් තමන්ට මෙත් වඩා හිත, මධ්‍යස්ථ, අහිතවත් පුද්ගලයන්ට මෙත් වඩා සීමා සම්භින්දනය කොට මෛත්‍රී ප්‍රථම ධ්‍යානය උපදවා ගත යුතු වේ. අනතුරුව ‘පෙරදිග වැසි සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ලෙස මෛත්‍රිය පැතිරවිය යුතු වේ. ඒ අනුව එක් දිශාවක් පිළිබඳ සත්ත්ව කොට්ඨාස පස ම අරමුණු කර ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතරාකාරයෙන් විසි (20) අර්පණාවක් ඉපදවිය හැකි වේ. ඒ අනුව දශ දිශාවට මෛත්‍රිය වැඩීමේ දී සියල්ල මෛත්‍රී අර්පණා දෙසියයක් (200) ඉපදවිය හැකි වේ.
එසේ ම එකිනෙක දිශාවෙහි වසන සියලු ස්ත්‍රීන්, පුරුෂයන් යනාදි සප්ත පුද්ගලයන් ම අරමුණු කරගෙන ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි සතර පදයන්ගෙන් මෙත් සිත පැවැත්විය හැකි වේ. එහි දී ද පළමුව තමන්ට ‘වෛර නැත්තෙක් වෙම්වා’යි මෙත් වඩා හිත, මධ්‍යස්ථ, අහිත පුද්ගලයන් අරමුණු කරගෙන මෙත් වඩා සීමා සම්භින්දනය කිරීමෙන් මෛත්‍රී ප්‍රථම ධ්‍යානය උපදවා ගත යුතු වේ. අනතුරුව කිසියම් එක් දිශාවක් තෝරාගෙන ‘පෙරදිග වැසි සියලු ස්ත්‍රීන් වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ලෙස මෛත්‍රිය පැතිරවිය යුතු වේ. නැවත ‘නිරෝගී වූවෝ වෙත්වා’ යන පදය ගෙන මෙත් වඩා ‘පෙරදිග වැසි සියලු ස්ත්‍රීන් නිරෝගී වූවෝ වෙත්වා’ යනාදි ලෙස මෛත්‍රිය පැතිරවිය යුතු වේ. එසේ ම ‘නිදුක් වූවෝ වෙත්වා’, ‘සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් ද මෙත් වඩා එක් දිශාවක් පිළිබඳ මෛත්‍රී අර්පණා අටවිස්සක් (28) ඉපදවිය හැකි වේ. එසේ එක් දිශාවක සත්ත්වයන් අරමුණු කරමින් ධ්‍යාන අටවිස්ස (28) බැගින් දශ දිශාවට ම සියල්ල මෛත්‍රී ධ්‍යාන දෙසිය අසූවක් (280) ඉපදවිය හැකි වේ. ඒ අනුව දිශා වශයෙන් මෛත්‍රී ධ්‍යාන හාරසිය අසූවක් (480) ක් ඉපදවිය හැකි වේ.
මේ අනුව පටිසම්භිදාමග්ගපාළියෙහි කියන ලද ආකාරයට මෛත්‍රී භාවනාවෙන් විශේෂ සත්ත්ව පිරිසිඳීමක් නොමැතිව අර්පණා විස්සක් (20) ද ස්ත්‍රී පුරුෂාදි ලෙස විශේෂ සත්ත්ව පිරිසිඳීමක් සහිතව අර්පණා අටවිස්සක් (28) ද දිශා වශයෙන් අර්පණා හාරසිය අසූවක් (480) ක් ද යැයි සියල්ල අර්පණා පන්සිය විසි අටක් (528) ක් ඉපදවිය හැකි වේ.
මෙසේ විග්‍රහ කර දක්වන ලද මෛත්‍රී සමාධීන් අතරින් යම් කිසි සමාධියකගේ වශයෙන් මෙත් වඩා ඉහත විස්තර කරන ලද ‘සුඛං සුපති’ ආදි ආනිසංස ලැබිය හැකි අතර ඒ මෛත්‍රී සමාපත්තිය පදනම් කරගෙන විදසුන් වඩා උතුම් නිර්වාණය සාක්‍ෂාත් කර ගත හැකි වේ. ඒ සඳහා නිවන් කැමති සත්පුරුෂයෝ උත්සාහ කරත්වා !
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Thursday, May 13, 2021
මෛත්‍රී භාවනාව – 12 කොටස – මෛත්‍රිය පැතිරවීම
මෛත්‍රී භාවනාව – 12 කොටස – මෛත්‍රිය පැතිරවීම – පටිසම්භිදාමග්ගපාළිය අනුව
Apr 5, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 12 කොටස – මෛත්‍රිය පැතිරවීම – පටිසම්භිදාමග්ගපාළිය අනුව
මෛත්‍රී භාවනාවෙන් සීමා සම්භින්දනය කොට හිත අහිත මැදහත් සෑම පුද්ගලයෙකුට ම එක සේ මෙත් සිත පැවැත්විය හැකි වේ නම් සිත ප්‍රථම ධ්‍යානයෙන් අර්පණාවට පැමිණෙන බව ඉහත පැහැදිලි කරන ලදී. පළමුව තමන්ට මෙත් සිත පවත්වා අනතුරුව හිතවත් සම්භාවනීය පුද්ගලයාගේ පටන් අහිතවත් පුද්ගලයා දක්වා මෙත් සිත පවත්වා පුරුදු කරන ලද යෝගියා සියලු හිත අහිත මැදහත් පුද්ගලයන් අරමුණු කර මෛත්‍රිය වඩයි. එයින් සම සේ මෙත් සිත පැවැත්විය හැකි වන පරිදි සීමා සම්භින්දනය වේ නම් සිත ප්‍රථම ධ්‍යානයට පත් වේ. අනතුරුව ඒ මෙත් සිත නැවත නැවත පරිශීලනය කරමින් ශක්තිමත් කරගෙන දෙවන තෙවන ධ්‍යානයන්ට ද පැමිණිය හැකි වේ.
මෛත්‍රියෙන් ප්‍රථම ධ්‍යානය උපදවන ලද යෝගියා එම ධ්‍යානයෙන් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ. ඒ අනුව විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන අංගවලින් සමන්වාගත බව හඳුනාගත හැකි වේ. මෙහි දී ද ඉහත ආනාපානසති භාවනාවේ දී පැහැදිලි කළ ආකාරයට ධ්‍යාන වශී භාවයට පත් කර ගන්නේ නම් වඩාත් සුදුසු වේ.
ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිට අංග ප්‍රත්‍යවේක්‍ෂා කර විතක්ක, විචාර නොමැති ද්විතීය ධ්‍යානයට සම වැදිය යුතු වේ. ප්‍රථම ධ්‍යානය ඉපදවීමට අරමුණු කරන ලද පුද්ගලයා ම අරමුණු කරගෙන විතක්ක, විචාර රහිත ද්විතීය ධ්‍යානයට සම වැදිය යුතු වේ. නැවත එයින් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කර එම පුද්ගලයා ම අරමුණු කරගෙන පීති රහිත සුඛ ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යානයට සම වැදිය හැකි වේ. මෙසේ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම, ද්විතීය සහ තෘතීය ධ්‍යානයන්ට පැමිණිය හැකි අතර චතුර්ථ ධ්‍යානය ඉපදවිය නො හැකි වේ.
මෛත්‍රී භාවනාවෙන් අර්පණා සමාධිය උපදවන ලද යෝගාවචරයාට පටිසම්භිදාමග්ගපාළියෙහි දක්වන ලද ආකාරයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව මෛත්‍රී ධ්‍යානය ඉපදවීම ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) මෛත්‍රී ධ්‍යානය පැතිරවීම ද, දශ ආකාරයකින් දිශා වශයෙන් මෛත්‍රිය පැතිරවීම ද දත යුතු වේ. මේ සියල්ල මෛත්‍රී ධ්‍යානය උපදවන ලද යෝගියාට පමණක් ම සමෘද්ධමත් වේ.
සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන්, සියලු ආත්මභාව පර්යාපන්නයන් යනුවෙන් ආකාර පසකට මෙත් වැඩීම කළ හැකි බව පටිසම්භිදාමග්ගපාළිය දක්වයි. ඒ අනුව සියලු සත්ත්වයන් අරමුණු කරමින් ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ක්‍රමයෙන් මෙත් වැඩීම කළ හැකි වේ. නැවත් සියලු ප්‍රාණීන් අරමුණු කළ හැකි වේ.
ඒ අනුව ‘වෛර නැත්තෝ වෙත්වා’ (අවෙරා හොන්තු) යන එක් පදයකින් සියලු සත්ත්වයන්ට මෙත් වැඩීම කළ හැකි වේ. ‘සත්ත්ව’ ශබ්දයෙන් ඉතිරියක් නැතිව සියලු ම සත්ත්වයන් අරමුණු කරනු ලැබේ. එසේ ‘සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි මෙත් වඩා සිත ප්‍රථම ධ්‍යානයෙන් සමාධිමත් කර ගෙන එයින් ද්විතීය, තෘතීය ධ්‍යානයන් ද උපදවා ගත හැකි වේ.
අනතුරුව ‘නිරෝග වූවෝ වෙත්වා’ (අව්‍යාපජ්ඣා හොන්තු) යන දෙවන පදයෙන් ද මෛත්‍රිය උපදවාගත හැකි වේ. ඒ අනුව ‘සියලු සත්ත්වයෝ නිරෝග වූවෝ වෙත්වා’ යැයි මෙත් වඩා පෙර කී ආකාරයෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.
අනතුරුව ‘නිදුක් වූවෝ වෙත්වා’ (අනීඝා හොන්තු) යන තෙවන පදයෙන් මෙත් සිත පැවැත්විය හැකි වේ. එසේ ‘සියලු සත්ත්වයෝ නිදුක් වූවෝ වෙත්වා’ යනුවෙන් ද මෙත් වඩා ඉහත කී ආකාරයෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.
අනතුරුව ‘සුවසේ ආත්මය පරිහරණය කරත්වා’ (සුඛී අත්තානං පරිහරන්තු) යන සිව්වන පදයෙන් ද සියලු සත්ත්වයන්ට ‘සියලු සත්ත්වයෝ සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යැයි මෛත්‍රිය වඩා ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන උපදවා ගත හැකි වේ.
මේ අනුව ‘සියලු සත්ත්වයෝ’ යැයි අරමුණු කර ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පැතිරවීමෙන් ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
නැවත ‘සියලු ප්‍රාණීන්’ යැයි අරමුණු කිරීම කළ හැකි වේ. ප්‍රාණීන් යනු ජීවත් වන අර්ථයෙන් වේ. ආශ්වාස ප්‍රශ්වාස අයත් කොට පවත්නා සියලු ජීවයක් සහිත වූවන් ප්‍රාණීන් ලෙස ගැනේ. ඒ අනුව සියලු ප්‍රාණීන් යැයි අරමුණු කිරීමෙන් ද ඉහත ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පැතිරවීමෙන් ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
නැවත ‘සියලු භූතයන්’ යැයි අරමුණු කළ හැකි වේ. කර්ම ක්ලේශ දෙකින් විශේෂයෙන් උපන් සත්ත්වයන් යන අර්ථයෙන් භූත නම් වේ. ඒ අනුව සියලු භූතයන් යන අරමුණු කිරීමෙන් ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
නැවත ‘සියලු පුද්ගලයන්’ යැයි අරමුණු කළ හැකි වේ. ‘පූරණතො ගලනතො ච පුග්ගලා’ යන නිරුක්ති අනුව ඒ ඒ සත්ත්ව නිකාය එහි උපදින්නා වූ සත්ත්වයන්ගෙන් පිරේ. සත්ත්වයන් ඒ ඒ සත්ත්ව නිකයෙහි යත්. ඒ අර්ථයෙන් සියලු සත්ත්වයන් පුද්ගලයන් ලෙස සැලකේ. ඒ සියලු පුද්ගලයන් අරමුණු කිරීමෙන් ද ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
නැවත ‘සියලු ආත්මභාව පර්යාපන්නයන්’ යැයි අරමුණු කළ හැකි වේ. ආත්මභාවය යනු ශරීරය හෙවත් ස්කන්‍ධ පඤ්චකය යි. ඒ ස්කන්‍ධ පඤ්චකයේ අන්තර්ගත සියලු සත්ත්වයෝ ආත්මභාව පර්යාපන්නයෝ ය. ඒ සියලු ආත්මභාව පර්යාපන්න සත්ත්වයන් අරමුණු කිරීමෙන් ද ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.
මෙසේ පටිසම්භිදාමග්ගපාළියෙහි සඳහන් වන ආකාරයට ‘සබ්බේ සත්තා, සබ්බේ පාණා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභාවපරියාපන්නා’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව මෛත්‍රී අර්පණා සතර බැගින් සියල්ල අර්පණා විස්සක් ඉපදවිය හැකි වේ. ඒ සෑම අරමුණු කිරීමක් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන වශයෙන් මතු අර්පණාවන්ට පැමිණිය හැකි වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
ඣත්‍වා සූත්‍රය
ඣත්‍වා වර්‍ගය
1. ඣත්‍වා සූත්‍රය
71
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පලමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“කුමක් නම් නසා සුවෙන් වෙසේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් ධර්‍මයක්හුගේ නැසීම කැමැත්තහුද? “
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ක්‍රෝධය නැසීමෙන් සුවසේ වෙසෙයි. ක්‍රෝධය නසා ලීමෙන් ශෝක නොකෙරේ. දෙවිය, මිහිරි වූ අක් ඇති, විෂ සහිත මුල් ඇති, ක්‍රෝධයාගේ වැනසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නැසීමෙන් ශෝක නොකෙරේ. “
Tuesday, May 11, 2021
මෛත්‍රී භාවනාව – 11කොටස – ‘එකං දිසං ඵරිත්වා විහරති’ … මෙත් සිත දිශා වශයෙන් පතුරවමු
මෛත්‍රී භාවනාව – 11කොටස – ‘එකං දිසං ඵරිත්වා විහරති’ … මෙත් සිත දිශා වශයෙන් පතුරවමු.
Apr 5, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 11කොටස – ‘එකං දිසං ඵරිත්වා විහරති’ … මෙත් සිත දිශා වශයෙන් පතුරවමු.
තමන්ට මෙන් ම සෙසු අහිතවත් පුද්ගලයාට ද සම සේ මෙත් වැඩිය හැකි යෝගියාගේ සිත මෛත්‍රියෙන් අර්පණා සමාධියට පත් වේ. මෙය මෛත්‍රී භාවනාවේ සීමා සම්භින්දනය ලෙස විශුද්ධි මාර්ගයේ දැක්වේ. එසේ මෙත් වඩා පුහුණු කර ගත් මෙත් සිත විශ්වය දක්වා පතුරවා සමාධිය ශක්තිමත් කරගෙන අනතුරුව දස දිශාවන්ට මෙත් වැඩිය යුතු වේ. එසේ දිශා වශයෙන් ද මෙත් සිත පැතිරවිය යුතු වේ.
නැවතත් පළමුව තමන්ගෙන් ආරම්භ කර මෙත් වඩන්න. පිළිවෙළට ඉක්මනින් සෙසු අයට ද මෙත් වඩා සිතේ සමාධිය ශක්තිමත් කරගෙන අනතුරුව ඒ මෙත් සිතෙන් පෙර දිග දිශාවේ සියලු සත්ත්වයන් අරමුණු කරන්න. ‘පෙර දිග දිශාවේ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි බොහෝ වේලාවක් මෙත් වැඩීම සිදු කරන්න. එවිට පෙර දිග දිශාවේ සිටින සියලු දෙනා තම සිතට අරමුණු වන බවක් වැටහේවි. ඒ සියලු දෙනාට මෙත් සිත පැතිරවීමේ දී ඒ ඔස්සේ සිත සමාධිමත් වී නැවතත් සීමා සම්භින්දනය වී සිත අර්පණාගත වේ. එනම් ප්‍රථම ධ්‍යානයට පත් වේ.
එසේ පෙරදිග දිශාවේ සියලු සත්ත්වයන්ට මෙත් වඩමින් භාවනා ආසනයක් හෝ කිහිපයක් සිදු කර ගැනීම යෝගියාට සුදුසු වේ. ඒ තුළින් මෛත්‍රී සමාධිය ශක්තිමත් වේ. නැවත උතුරු දිශාවේ සියලු සත්ත්වයන් අරමුණු කළ හැකි වේ. එසේ උතුරු දිශාවේ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යැයි මෙත් වැඩීම සිදු කරන්න. ඒ උතුරු දිශාවේ සියලු සත්ත්වයන් ද අරමුණු වී මෙත් සිත පවතීවි. ඒ ඔස්සේ ද සීමා සම්භින්දනය වී නැවතත් සිත ප්‍රථම ධ්‍යානයෙන් සමාධිමත් වේ.
එසේ උතුරු දිශා වැසි සියලු සත්ත්වයන් අරමුණු කර මෙත් වඩා අනතුරුව දකුණු දිශාවේ සියලු සත්ත්වයන් අරමුණු කළ හැකි වේ. දකුණු දිශා වැසි සියලු සත්ත්වයන්ට ද වෛර නැත්තෝ වෙත්වා යැයි මෙත් සිතින් අරමුණු කිරීමේ දී ඒ අරමුණේ සිත සමාධිමත් වේ. එසේ ප්‍රධාන දිශා සතරෙහි ම සත්ත්වයන්ට මෙත් සිත පතුරවා ඊළඟට අනු දිශා වැසි සත්ත්වයන් අරමුණු කළ හැකි වේ.
‘උතුරු අනුදිශාවේ (ඊසාන) සියලු සත්ත්යෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි උතුරු අනු දිශාවේ සියලු සත්ත්වයන්ට මෙත් සිත පැතිරවිය හැකි වේ. එසේ ම නැගෙනහිර අනුදිශාවේ, දකුණු අනුදිශාවේ, බස්නාහිර අනුදිශාවේ යනුවෙන් සියලු සත්ත්වයන්ට මෙත් වැඩිය යුතු වේ. එසේ අනුදිශාවන් ද සමඟ අට දිශාවකට මෙත් සිත පතුරවන ලද්දේ වෙයි.
අට දිශාවට මෙත් සිත පතුරවන ලද යෝගියා අනතුරුව උඩ දිශාවට ද යට දිශාවට ද මෙත් සිත පැතිරවිය යුතු වේ. මිනිස් ලොවට ඉහළින් ඇති සත්ත්වයන් සියලු දෙනා අරමුණු කර ‘වෛර නැත්තෝ’ වෙත්වා යැයි මෙත් වැඩීමෙන් සිත සමාධිමත් කර ගත යුතු වේ. අනතුරුව යට දිශාවේ සියලු සත්ත්වයන්ට ද ‘වෛර නැත්තෝ වෙත්වා’ යැයි මෙත් සිත පැතිරවිය යුතු වේ.
මෙසේ එකිනෙක දිශාවන්ට වෙන වෙන ම මෛත්‍රිය පැතිරවීමෙන් වෙන වෙන ම සිත ප්‍රථම ධ්‍යානයට පත් කර ගත හැකි වේ. ඒ කිසියම් දිශාවකින් සිත වඩාත් හොඳින් සමාධිමත් වන තෙක් ඊළඟ දිශාවට මෙත් වැඩීම නො කිරීම වඩාත් සුදුසු වේ. එකිනෙක දිශාවෙන් සිත සමාධිමත් කර ගැනීමෙන් ඒ දිශා වැසි සත්ත්වයන් අරමුණු කරගෙන සීමා සම්භින්දනය වී සිත අර්පණා ප්‍රාප්ත වේ.
‘මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සමාපත්තිය පිළිබඳ දෙශනා කිරීමේ දී මෙම දිශා වශයෙන් මෙත් සිත පැතිරවීම වදාළ සේක. වරෙක බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ භාරද්වාජ බ්‍රාහ්මණයාට සම්බුද්ධ ශාසනයේ භික්ෂුවක් මෙත් සිත පතුරවා, මෛත්‍රී විහරණයෙන් වාසය කරන ආකාරය මෙසේ වදාළහ. එසේ ම තවත් අවස්ථාවක භික්‍ෂුවක් බ්‍රහ්මත්වයට පත් වන ආකාරය දේශනා කරන බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව මේ අයුරින් සමස්ථ ලෝකයට මෙත් සිත පතුරවා වාසය කරන බව වදාළහ.
ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් අට්ඨකනාගර සූත්‍ර දේශනාවේ දී දසම ගෘහපතියා අරබයා අර්හත්වය දක්වා භාවනා ක්‍රම එකොළොසක් විවරණය කරන ලදී. එහි දී මෛත්‍රී භාවනාව පදනම් කරගෙන අර්හත්වය දක්වා භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ආකාරය පහදා දෙන ලදී. ‘මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ක්‍රමයෙන් දශ දිශාවන්ට ද අනතුරුව සියලු ලෝක සත්ත්වයාට ද මෙත් වැඩීම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ අතර ඒ ඒ දිශාවේ සත්ත්වයන් අරමුණු කරගෙන සිත සමාධිමත් කරගෙන එය පදනම් කරගෙන විදසුන් වැඩිය යුතු වේ.
මෙහි දී ඇතැම් අය භාවිතා කරන වැරදි භාවනා ක්‍රම පිළිබඳව ද පැහැදිලි කිරීම අවශ්‍ය වේ. ඇතැම් කෙනෙක් මෙම මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේගේ සෙසු සූත්‍ර දේශනාවක් සමඟ මිශ්‍ර කර ගන්නා බව අසන්නට ලැබේ. ඇතමෙක් සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් එකිනෙක දිශාව එකිනෙක පාර්ශවය අරබයා නම් කරන ලද ආකාරය මෛත්‍රී භාවනාවේ දිශා වශයෙන් මෙත් සිත පැතිරවීම සමඟ මිශ්‍ර කරගනිති. ඒ අනුව සිඟාලෝවාද සූත්‍රයේ දී පෙර දිග දිශාව මව්පියන් ලෙස නම් කළ බැවින් පෙර දිග දිශාවට මෙත් සිත පැතිරවීම යනු අතීතයේ මේ දක්වා අපට සිටි මව්පියන්ට මෙත් වැඩීම බව දක්වති. ඒ අනුව සංසාරයේ මේ දක්වා හමු වූ සියලු මව්පියන්ට මෙත් වඩන අදහසින් මෙත් වැඩිය යුතු බව දක්වති.
මෙය වැරදි මෛත්‍රී වැඩීමක් වේ. ඒ තුළින් සිතේ මෙත් සිතක් ඇති වී කුශලයක් රැස් වේවි. එහෙත් විදර්ශනාවට පාදක කර ගත හැකි මෛත්‍රී භාවනාවක් සමෘද්ධමත් නොවේ. අතීතයේ සිටි සියලු මව්පියන් අරමුණු කර මෙත් වැඩීමෙන් කිසිදු ලෙසකට බුදුරජාණන් වහන්සේ ‘මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ක්‍රමයෙන් වදාළ මෛත්‍රී ධ්‍යාන සමාපත්තිය ලබා ගත හැකි නො වේ.
එබැවින් මෛත්‍රී භාවනාව වැඩීමේ දී නොයෙක් දේශකයන් හුදු අත්තනොමති වශයෙන් කරන භාවනා ක්‍රමයන්ට අනුගත නො වී පෙළ, අර්ථකථා ඇසුරෙන් භාවනා ක්‍රමවේදය විවරණය කර ගත යුතු වේ.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...