Sunday, March 7, 2021

මච්ඡරි සූත්‍රය


එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘මච්ඡෙරා ච පමාදා ච, එවං දානං න දීයති (දිය්‍යති (ක.));
පුඤ්ඤං ආකඞ්ඛමානෙන, දෙය්‍යං හොති විජානතා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘යස්සෙව භීතො න දදාති මච්ඡරී, තදෙවාදදතො භයං;
ජිඝච්ඡා ච පිපාසා ච, යස්ස භායති මච්ඡරී;
තමෙව බාලං ඵුසති, අස්මිං ලොකෙ පරම්හි ච.
‘‘තස්මා විනෙය්‍ය මච්ඡෙරං, දජ්ජා දානං මලාභිභූ;
පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණින’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘තෙ මතෙසු න මීයන්ති, පන්ථානංව සහබ්බජං;
අප්පස්මිං යෙ පවෙච්ඡන්ති, එස ධම්මො සනන්තනො.
‘‘අප්පස්මෙකෙ පවෙච්ඡන්ති, බහුනෙකෙ න දිච්ඡරෙ;
අප්පස්මා දක්ඛිණා දින්නා, සහස්සෙන සමං මිතා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -
‘‘දුද්දදං දදමානානං, දුක්කරං කම්ම කුබ්බතං;
අසන්තො නානුකුබ්බන්ති, සතං ධම්මො දුරන්වයො (දුරන්නයො (සී.)).
‘‘තස්මා සතඤ්ච අසතං (අසතඤ්ච (සී. ස්‍යා. කං.)), නානා හොති ඉතො ගති;
අසන්තො නිරයං යන්ති, සන්තො සග්ගපරායනා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ එතදවොච - ‘‘කස්ස නු ඛො, භගවා, සුභාසිත’’න්ති?
‘‘සබ්බාසං වො සුභාසිතං පරියායෙන; අපි ච මමපි සුණාථ -
‘‘ධම්මං චරෙ යොපි සමුඤ්ජකං චරෙ,
දාරඤ්ච පොසං දදමප්පකස්මිං;
සතං සහස්සානං සහස්සයාගිනං,
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’’ති.
අථ ඛො අපරා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි -
‘‘කෙනෙස යඤ්ඤො විපුලො මහග්ගතො,
සමෙන දින්නස්ස න අග්ඝමෙති;
කථං (ඉදං පදං කත්ථචි සීහළපොත්ථකෙ නත්ථි) සතං සහස්සානං සහස්සයාගිනං,
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’’ති.
‘‘දදන්ති හෙකෙ විසමෙ නිවිට්ඨා,
ඡෙත්වා වධිත්වා අථ සොචයිත්වා;
සා දක්ඛිණා අස්සුමුඛා සදණ්ඩා,
සමෙන දින්නස්ස න අග්ඝමෙති.
‘‘එවං සතං සහස්සානං සහස්සයාගිනං;
කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙ’’ති.


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු
සිටාණන් විසින් කරවනලද ජෙීතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි සතුල්ලපකායික නම්න් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල බබළන පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියෝය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ.
එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මෙසේ මසුරුබවත්, පමාවත්, කරණකොට ගෙන දන් දෙනු නොලැබේ. (දීමෙහි ඵල ඇතැයි) දන්නා පින් කැමැත්තහු විසින් දන් දිය යුතු වෙයි.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ ගාථා කීය:
“යමකට බියෙන් මසුරා දන් නොදේද, නොදෙන ඔහුට ඒ බියම වේ.
“බඩගින්නද පිපාසාවද යන යමකට මසුරා බිය වේද, එයම මෙලොවද පරලොවද ඒ දන් නොදෙන අනුවණයා වෙතම පැමිණෙයි.
“එබැවින් මසුරු බව දුරලා මසුරුමළ මැඩලන්නෙක්ව දන් දෙන්නේය. පින් පරලෙිවෙහිදී ෂත්හට පිහිටවේ.”
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුක් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“යම් කෙනෙක් මහ කතරක යන්නාහු, මඳ දෙයක් ඇති කලද, එය (තමා) සමග යන්නවුන්ට බෙදා දෙන්නාහු නම්, ඔවුහු මළවුන් අතුරෙහි නොමැරෙත්. මේ පුරාණ ධර්‍මයෙකි.
“ඇතැම් කෙනෙක් වස්තුව ස්වල්පව ඇතිකල්හිද දෙත්. ඇතැම්හු බොහෝ වස්තුයෙන් යුක්තව ඉඳත් දන් නොදෙත්. ස්වල්පයක් ඇතියහු ඒ ස්වල්ප දෙයින් දුන් දන දහසක් ධනයෙන් දුන් දනක් හා සමයැයි ප්‍රමාණ කරණ ලදී.”
එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“දීමට දුෂ්කරවූ දානය දෙන, කරන්නට අමාරුවූ පින්කම් කරන, තැනැත්තවුන් අනුව අසත්පුරුෂයෝ ක්‍රියා නොකෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් විසින් අනුගමනය කළ නොහැක්ක. එබැවින් සත්පුරුෂයන්ගේද අසත්පුරුෂයන්ගේද මෙයින් මතු පරලොව ගතිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ සුගතියට යත්.”
එවිට අන් දෙවියෙක්, “භාග්‍යවතුන් වහන්ස, මොවුන්ගෙන් කාගේ කියුම් මැනැවින් කියන ලද්දෙක්දැ?” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසුවේය. “තොප හැම කීදේ ඒ ඒ කාරණයේ සැටියෙන ්මනා කොට කියන ලද්දේය. එතෙකුදු වුවත් මගේ කීමද අසවු:
“යමෙක් දුකසේ අඹු දරුවන් රකිමින් වෙසෙන්නේද, ඔහු ස්වල්ප වස්තුවක් ඇති කල්හි එයින් දන් දෙමින් කුසල් කරන්නේද, එසේ වූවහුගේ ඒ දානයේ සියයෙන් කොටසක් පමණටවත් වරකට දහසක් වියදම් කොට, ලක්‍ෂයක් දෙනෙකුට දන් දුන්නවුන්ගේ දාන සිය දහස නොවටනේය.
එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“මහත්වූ උදාර බවට පත් මේ දානය කවර කරුණෙකින් (දිළින්දා) ඒ දැහැමෙන් උපයා දුන් දානයාගේ අගයට (ළංව) නොපැමිණේද? දහස් ගනන් දන් දෙන්නහුගේ ඒ දාන (දිළින්දා දුන්) එබඳු දානයාගේ සියෙන් පංගුවටක් කවර හෙයින් නො අගිත්ද?”
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ දෙවියාට ගාථාවෙකින් මෙසේ වදාළසේක.
“ඇතැම්හු විෂම කර්‍මයන්හි පිහිටියාහු අනුන් ශෝකයට පත්කොට දන් දෙත්. ඒ ශෝකයට පත්කර දුන් දඬු මුගුරුවලින් අනුන් බියගන්වා තළාපෙළා දුන් දානය, දැහැමෙන් දිළින්දා දුන් දානයේ වටිනාකමට නොඑයි. මෙසේ වරකට ලක්‍ෂයක් දෙනෙකුට දහසක් බැගින් දුන් ඒ දානයෝ දිළින්දා අනුන් නොරිදුවා සපයාගත් දෙයින් දුන් එබඳු දානයේ සියෙන් කොටසකටද නොවටනේය.”


දන් දීමයි අනුසස් ලැබීමයි අත් හැරීමයි නිරාමිස සතුටයි
රත්මලානේ ශ්‍රී රත්නාරාමය
බොරලැස්ගමුවේ සිරි සෝනුත්තර විහාරය යන
උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත
කොළඹ නව තොටමුණේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක
සූරියගොඩ සිරිධම්ම නා හිමි

දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්.

දේවතා සංයුත්තය පිළිබඳව විමසිලි ඇසින් බලන විට බොහෝම මාතෘකා ඔස්සේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. දානය හෝ පරිත්‍යාගය පිළිබඳව දෙවිවරුන් විසින් විවිධ මති මතාන්තර අදහස් දැරු බව පෙනෙන්නට තිබෙනවා.

දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්. නමුත් මේ සූත්‍ර දෙකෙන්ම පැහැදිලි කරන කාරණා දෙපැත්තට විහිදුන කාරණා නොවෙයි. ඒ දෙවර්ගයේදීම දෙවිවරුන් විසින් අසා ඇත්තේ දානය පිළිබඳවයි.

අද අප මේ සූත්‍ර අතරින් මච්ඡරි සූත්‍රය ගැන පැහැදිලි කරමු. මච්ඡරී යනු මසුරුකමයි. ඒ මසුරුකම මුල් කරගෙන දානය පිළිබඳ අදහස් මෙම සූත්‍රයේ ඇතුළත්. ඒ වගේම මච්ඡරි සූත්‍රයේ දන් දිය යුත්තේ කවුද? කියා සාකච්ඡා කරනවා.

දෙවැනි මච්ජරී සූත්‍රයේදී සාකච්ඡාවට භාජනය වන්නේ දෙන්නාගේ සහ නො දෙන්නාගේ වෙනසයි. මේ සියල්ලම අපට ඉතාමත් වැදගත් මෙන්ම ඉතාමත් ප්‍රයෝජනවත් කරුණුයි.

මච්ඡරි සූත්‍රයේ දාන ආනිසංස බොහෝ විස්තර කොට තිබෙනවා. සතුල්ලපකායික දෙවි දේවතාවන් විසින් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී මුළු ජේතවනය ඒකාලෝකමත් කරගෙන පැමිණ මෙසේ විමසා සිටියා.

නිදුකාණන් වහන්ස, මසුරුකමත්, ප්‍රමාදයත් නිසා ඇතැම් අය දන් දෙන්නේ නැහැ. පින් කැමැති දානඵල දන්නා අය, දාන ආනිශංස දන්නා අය දන් දිය යුතු වෙනවා. මේ දේවතාවාගේ දානය පිළිබඳව ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ මසුරුකම සහ ප්‍රමාදය නිසා දන් නො දෙන්නා පිළිබඳවයි. නමුත් පින් කැමැති දානයේ ආනිශංස දන්නා අය දන් දීමට මැළි වන්නේ නැහැ. අප දන්නවා වර්තමානයේ ඇතැම් අය ශ්‍රද්ධාව මුල්කරගෙන වගේම දානයේ අනුසස් දැනගෙනත් දන් දෙනවා. ඇතැම් අය දන් දෙන්නේ තමන්ගේ චිත්ත සන්තානයේ ඇති ලෝභය, ද්වේෂය, මෝහය යටපත් කිරීමටයි. මෙය දානය පිළිබඳව ඇති ධර්මානුස්වභාවය යි.

නමුත් අද සමාජයේ ඇතැම් අය දන් දෙනුයේ අවබෝධයකින් නොවෙයි. විවිධ භය නිසා, මළගිය අය නිසා, ඔවුන්ගෙන් සිදුවන කරදර නිසා දන් දීමට පෙළෙඹනවා. එසේ නොමැතිව ශ්‍රද්ධාවෙන් දන් දෙන අයට ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් මඟ පෙන්වන සූත්‍රයක් තමයි මච්ඡරි සූත්‍රය.

තවත් එක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ අභියස දී මෙසේ ප්‍රකාශ කළා. ස්වාමිනි නිදුකාණන් වහන්ස , මසුරා, දැඩි ලෝභයා යම් කටයුත්තකට බියෙන් දන් නොදෙයි. එයම ඔහුට භය පිණිස පවතිනවා. මසුරු තැනැත්තා ඒ නිසාම මෙලොවත්, පරලොවත් දුක් විඳියි. දුක බාලයා ස්පර්ෂ කරයි. ඒ නිසාම මසුරුකම හැරදා එය මැඬලීම පිණිස දන් දිය යුතුයි. ඒ වගේම නිදුකාණන් වහන්ස, මියයන සත්ත්වයාට පරලොවදී පිහිට පිණිස පවතින්නේ පිනයි. ඒ නිසා පින් කර ගන්නට ඕන. පින් කිරීමට නම් දන් දීම අවශ්‍ය යැයි ඒ දෙවියා බුදුරජාණන් වහන්සේ අභියසදී ප්‍රකාශ කළා.

මේ පින පිළිබඳව අර්ථ දක්වන තැන්වලදී බුදුරජාණන් වහන්සේ වදාළා ගිහි අයට ද, දෙවියන්ටද, පැවිදි උතුමන්ටද පින අවශ්‍යයි. පින අනුවයි මේ සියලු දෙනාගේම බැබළීම සිදුවන්නේ. පින පරලොවදී සත්ත්වයාට පිහිට පිණිස පවතියි කියා.

තව දේවතාවෙක් පවසනවා යමෙක් සමඟ ගමනක් යන කෙනෙකුට ලැබුණ දේ බෙදා ගන්නාක් මෙන් ටිකක් ඇති කල්හිත් දන් දෙනවා නම් ඒ අය මළවුන් අතර නොමැරී සිටිනවා යැයි කියා සිටියා.

අප දන්නවා ඇතැම් අයට විශාල ලෙස මිල මුදල් තිබෙනවා. ඇතැම් අයට ටිකක් තිබෙනවා. ටිකක් තිබෙන කෙනෙක් ශ්‍රද්ධාව නමැති ධනය මුල්කරගෙන දන් දෙනවානම් ඒ තැනැත්තා මළවුන් අතර, නො මළ කෙනෙක්. ඇතැම් අය ටිකක් ඇති විටත් දන් දෙනවා. ඇතැම් අය බොහෝ තිබියදීත් දන් නොදේ. නමුත් සුළුවෙන් තිබියදී හෝ ශ්‍රද්ධාව නමැති ධනය මුල්කරගෙන දන් දෙනවා නම් එය දෙලොව යහපතට හේතු වෙනවා.

තවත් දේවතාවෙක් ප්‍රකාශ කරනවා අසද්පුරුෂයෝ ස්වල්පයක් ඇති කල්හී දුෂ්කර වූ දානය දෙන සද්පුරුෂයා අනුගමනය කරන්නේ නැහැ. ස්වල්පයක් ඇති කල්හිත් දීම නැමැති දුෂ්කර, සුචරිත ක්‍රියාව පුරුදු කළ යුතු බවයි මේ දේවතාවා කියන්නේ. ඒ දේවතාවා තවදුරටත් කියා සිටියා මේ සමාජයේ ටිකක් තිබෙන සද්පුරුෂයෝ ඉන්නවා ඒ වගේම ඉන්නවා ටිකක් තිබෙන අසද්පුරුෂයෝ. එයින් ටිකක් තිබෙන සද්පුරුෂයෝ දීම නමැති ඒ සුචරිත ක්‍රියාව ප්‍රගුණ කිරීම නිසා සුගතියේ ඉපදෙනවා .

ස්වාමිනි, සද්පුරුෂයාගේ ධර්මය පිරීම ඉතා අමාරුයි. එය ඉදිරියට ගෙන යාම, ව්‍යාප්ත කිරීම ඉතා අමාරුයි. අද සමාජයේ වුවත් හොඳ කරන අය අඩුයි. ඒ අය කරන ක්‍රියාවන්ද අසන්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා සද්පුරුෂයාගේ ධර්මය පිරීම අසීරු බවයි මේ දේවතාවා කියන්නෙ. අප දන්නවා බෝසතාණන් වහන්සේ දසපාරමිතා පුරන අවදියේ ඒ පාරමිතා පිරුවේ පහසුතා ලබාගෙන නොවේ. බොහෝම දුෂ්කරතා මැද දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ. ඒ නිසා අප තේරුම් ගන්න ඕන සද්පුරුෂයාගේත් අසද්පුරුෂයාගේත් වෙනස්කම් පවතිනවා. සද්පුරුෂයා මෙලොවින් පරලොව යනවිට සුගතියට යනවා. අසද්පුරුෂයා නිරයට යනවා කියන කාරණයයි මේ දේවතාවා ප්‍රකාශ කරන්නේ. මේ ආකාරයට දානය පිළිබඳව විවිධ අදහස් දෙවිවරුන් විසින් ප්‍රකාශ කර සිටියා.

ඒ දෙවි පිරිස පසෙකින් සිටි විට එක් දෙවියෙක් ඉදිරියට පැමිණ කියන්නේ ස්වාමිනි නිදුකාණන් වහන්ස, අප ප්‍රකාශ කළ ප්‍රකාශ වලින් වඩාත් වැදගත් නිවරැදි සාධු ධර්මය, සුභාෂිත ප්‍රකාශය කිව්වේ කවුද?

ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා දේවේන්ද්‍රය, ඔබ සියලු දෙනාගේම කියමන් ඉතාමත්ම සුභාෂිතයි. ඒ වගේම මාගේ ප්‍රකාශයත් අසන්න. දේවේන්ද්‍රය, යමෙක් දුකසේ ජීවත්වෙමින් ධර්මානුකූලව හැසිරේ ද? අඹු දරුවන් පෝෂණය කර, ටිකක් තිබියදීත් දන් දෙයිද? ලක්ෂ ගණන් වියදම් කොට සිය ගණන් යාග කරන්නාගේ දීම ඔහුගේ දානයෙන් සියයෙන් පංගුවක් නො වටී කියායි. එහිදී භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළේ දුකසේ ජීවත්වෙමින් ධර්මානුකූලව හැසිරෙමින්, අඹුදරුවන් පෝෂණය කරමින්, ධනය ටිකක් තිබියදීත් දන් දෙනවා නම් ඒ දන් දීම අධාර්මිකව හරිහම්බ කර දන් දෙන පුද්ගලයාට වඩා වටිනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දෙවියන් අරභයා වදාළා.

මේ දේ අද සමාජයටත් වැදගත් වෙනවා. දෙන දේ ධාර්මිකව, සිල්වත්ව උපයාගෙන එය ශ්‍රද්ධාවෙන් දීම ඉතා හොඳ බව මෙයින් අවධාරණය කරන්නේ.එනිසා ටිකක් හරි දෙන දේ ශ්‍රද්ධාවෙන් දෙන්න. දෙන්නම් වාලේ දෙන්න එපා. දෙන ටික හෝ තේරුම් අරගෙන දෙන්න. මම දෙන මේ පරිත්‍යාගය මාගේ චිත්ත සන්තානයේ ප්‍රසාදය පිණිස හේතුවේවා කියා දෙන්න. ආශාව සංසිඳීමටත්, මුලාව බැහැර කිරීම සඳහාත් කියන හොඳ සිතිවිලි ඇතිකරගෙන දන්දීම කළයුතු වෙනවා.

දන් දෙනවිට දහඩිය මහන්සියෙන් සොයා ගත් දෙයකින් දන් දීම වටිනවා. කෙසේ නමුත් දානයක් දීමේදී වඩා අර්ථවත් වන්නේ කර්මය, කර්මඵල දැනගෙන දීමයි. දැහැමින් දුන් දෙයි වටිනාකම වැඩියි. අධාර්මිකව හම්බ කරන දේ කෝටි ගණන් දුන්නත් එය මහත්ඵල මහානිසංස නොවෙයි. ඉහත කී දෙය දෙවි දේවතාවන් අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළද එය අද සමාජයටත් ඉතා වැදගත්. අකාලික මුනි දහම එසේමයි. එනිසා ටිකක් දන් දුන්නත් චේතනාව බලවත්නම් එය මහත්ඵල මහානිසංස යි. ඇතැම් කෙනෙක් විෂම පැවැත්මෙන් යුතුව අනුන් තලා පෙළා ශෝක කරවා හැඬු කඳුළු ඇතිකරවා දන් දෙනවා. එය මහත්ඵල මහානිශංස වන්නේ නැහැ. ඒ නිසා දේවතා සංයුත්තයේ මච්ඡරි සූත්‍රය අපේ ජීවිතවලට ඉතාමත් වැදගත් වෙනවා.

දන් දෙන්නේ කෙසේද කියන කාරණය මෙන්ම දන් දිය යුත්තේ කටද? කියන දෙයත් මච්ඡරි සූත්‍රයෙන් ඉතාමත් මැනවින් පැහැදිලි වෙනවා.


No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...