Friday, October 30, 2020

බෞද්ධයාගේ අත්පොත මහාචාර්ය රේරුකානේ චන්දවිමල (සාහිත්‍ය චක්‍ර‍වර්ති, පණ්ඩිත, ප්‍ර‍වචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී) මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිතයි.


ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි පිළිපැදිය යුතු අන්දම

නිවන් ලැබීමට ඇත්තා වූ එක ම නොවරදින මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ය. නිවන් පසක් කරනු කැමති සත්පුරුෂයන් විසින් කල්‍යාණ මිත්‍ර‍යන් වූ බුදුවරයන් බුද්ධ ශ්‍රාවකයන් ඇසුරු කොට, පින් පව් හා පින් පව්වල විපාක හැඳින ගත යුතු ය. චතුරාර්ය සත්‍ය ධර්මය සැකෙවින් මුත් උගත යුතු ය. එසේ කර ගැනීම පළමුවන මාර්ගාඞ්ගය වූ සම්‍යග් දෘෂ්ටිය ඇති කර ගැනීමය. (චතුරාර්ය සත්‍යය මැනවින් දනු කැමැත්තෝ මෙම කතෘන් වහන්සේගේ ම චතුරාර්ය සත්‍යය පොත බලත්වා!)

ඉක්බිති දෙවන මාර්ගාංගය සම්පූර්ණ කරනු පිණිස කාමයන් හළ යුතු ය. කාමයන් හැර දැමීම නම් ගිහි ගෙයින් නික්ම පැවිදි වීම ය. එක වරට ම සියලු කාමයන් නො හැරිය හැකි පින්වතුන් විසින් පෙහෙවස් සමාදන් වීම් ආදියෙන් නෛෂ්ක්‍ර‍ම්‍යය පුරුදු කළ යුතු ය. නෛෂ්ක්‍ර‍ම්‍යයෙන් ලෝභය දුරුවේ. ද්වේෂය දුරු වනු පිණිස සකල සත්ත්වයනට මෙත් වැඩීම ද, දුඃඛිත සත්ත්වයනට කරුණා කිරීම ද පුරුදු කළ යුතු ය. එසේ කිරීමෙන් සම්‍යක් සංකල්ප මාර්ගාඞ්ගය පිරේ.

ඉක්බිති වචනයෙන් සිදු වන පව් සතර හැර වාක් කර්මය ද කයින් සිදුවන පව් තුන හැර කාය කර්මය ද පිරිසිදු කර ගත යුතු ය. දිවි පැවැත්වීමට පව්කම් නො කොට ආජීවය පිරිසිදු කර ගත යුතුය. එසේ කිරීමෙන් සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය යන අංග තුන පිරේ. සිද්ධාර්ථකුමාරයන් වහන්සේ ද ගිහිගෙන් නික්ම පැවිදිව එසේ කළ බව -

පබ්බජිත්වාන කායෙන - පාපකම්මං විවජ්ජයි

වචීදුච්චරිතං හිත්වා - ආජීවං පරිසොධයි

යනුවෙන් දක්වා තිබේ. පැවිදි ව කයින් කරන පව්කම් හලෙමි. වාක් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කළෙමි යනු එහි තේරුම ය.

කාමයන් හැර සිල් රක්නා සත්පුරුෂයා විසින් පව් නො කිරීම නිසා කොතරම් අමාරුකම් ඇති වුවත් ඒවා ඉවසමින් මහත් වූ වීර්‍ය්‍යයෙන් ශීලය රක්ෂා කළ යුතු ය. පව් හැර ජීවත්වන්නහුට සමහර විට ආහාර පානාදිය දුර්ලභ විය හැකි ය. එසේ වූ කල්හි සාගින්න ඉවසිය යුතුය. පිපාසාව ඉවසිය යුතු ය. කොතරම් නීරස ආහාරයක් වුව ද වැළඳීමට මැළි නො විය යුතු ය. භික්ෂුවක් නම් වැස්සේ තෙමෙමින් වුව ද පිඬු සිඟා ගැනීමට මැළි නො විය යුතු ය. පහසුව සඳහා පාපයක් නො කළ යුතු ය. එසේ වීර්යයෙන් ශීලය රක්ෂා කිරීම ද වත පිළිවෙත කිරීම ද භාවනාවෙහි යෙදීම ද සම්‍යග් ව්‍යායාමය පිරීම ය.

නිවන් සොයන තැනැත්තා විසින් සිල් රැකීමෙන් ම නො නැවතිය යුතුය. පෘථග්ජනයාගේ ශීලය ස්ථිර වූවක් නො වේ. පෘථග්ජනයා කාමයන් හැර පැවිදිව කොතරම් උග්‍ර‍ තපස් ඇතියකු වුව ද නැවත පස්කම් සුව විඳින්නකු විය හැකි ය. දුශ්ශීලයකු විය හැකිය. එබැවින් සිල් රකිමින් ම මතු නූපදනා පරිදි කෙලෙසුන් නැති කිරීම සඳහා කළ යුතු වැඩවල වහ වහා යෙදිය යුතු ය. මතු ඇති නොවන පරිදි කෙලෙසුන් නැසිය හැක්කේ ලෝකෝත්තර මාර්ගය ඇති කර ගැනීමෙනි. ලෝකෝත්තර මාර්ගය ඇති කර ගනු පිණිස කර්මස්ථාන දායක ආචාර්යවරයකුගේ උපදෙස් පිට භාවනාවෙහි යෙදිය යුතු ය. සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් සම්‍යක් ස්මෘති මාර්ගාඞ්ගය පිරේ.

සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් දීර්ඝ කාලයක් නානාරම්මණයන්හි වික්ෂිප්ත ව පැවැත්තා වූ සිත බොහෝ දුරට සන්සිඳීමට පැමිණේ. ඉන්පසු සමාධිය දියුණු කරමින් ප්‍ර‍ථමධ්‍යාන සමාධිය, ද්විතීයධ්‍යාන සමාධිය, තෘතීයධ්‍යාන සමාධිය, චතුර්ථධ්‍යාන සමාධිය යන සමාධීන් අතුරෙන් එක් සමාධියක් හෝ සියල්ල ම හෝ උපදවා සම්‍යක් සමාධිය සම්පූර්ණ කළ යුතු ය. සතිපට්ඨාන හා සමාධි වැඩීම ලෙහෙසියෙන් කළ හැකි නොවේ. සැප විඳීමේ ආශාව හා අධික නින්ද ද හැර මහන්සි නො බලා භාවනාවෙහි යෙදෙන්නා හට සම්‍යක් සමාධිය පිරේ.

මෙසේ ඒ ඒ මාර්ගාංග වෙන් වෙන් ව වඩා විදර්ශනා භාවනාවෙහි ක්‍ර‍මානුකූල ව යෙදෙන්නා වූ තැනැත්තාට මාර්ගාංග වැඩී සියලු ම මාර්ගාංග එක විට ම ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නා වූ අවස්ථාවක් පැමිණේ. එසේ පළමුවර පහළවීම සෝවාන් වීමය. දෙවන වර පහළවීම සකෘදාගාමී වීම ය. තුන්වන වර පහළවීම අනාගාමී වීම ය. සතර වන වර පහළවීම රහත් වීම ය. රහත්වීම නිවන් ලැබීම සඳහා පුරන ප්‍ර‍තිපත්තියේ අවසානය ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය සංක්ෂේප කළහොත් ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍ර‍ඥාස්කන්ධය යන මේ ස්කන්ධ තුන වේ. සම්‍යග්වචනය සම්‍යක්කර්මාන්තය සම්‍යගාජීවය යන මාර්ගාංග තුන සීලස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මේ තුන සමාධිස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග් දෘෂ්ටිය සම්‍යක් සංකල්පය යන දෙක ප්‍ර‍ඥාස්කන්ධයට ඇතුළු වේ.

දුර්ලභ කරුණු පසක්

භික්ඛවෙ, අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභො, දුල්ලභා ඛණ්සම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං

මේ බුදුන්වහන්සේ දිනපතා ම කරන අනුශාසනයකි. එහි තේරුම මෙසේ ය. මහණෙනි, අප්‍ර‍මාදයෙන් යුක්ත වව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මිනිසත් බව ලැබීම දුර්ලභ ය. ක්ෂණ සම්පත්තිය දුර්ලභ ය. ප්‍ර‍ව්‍ර‍ජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍ර‍වණය දුර්ලභ ය.

ලොව්තුරා බුදුවීම ලෝකයෙහි ඇති වැඩවලින් සියල්ලට ම වඩා දුෂ්කර දෙය ය. බුදු බව ලැබිය හැක්ක් පුත්‍ර‍දාරාවන් හා ධනය ද ශරීරාවයවයන් ද ජීවිතය ද පරිත්‍යාග කරමින් ඉතාම අඩු ගණනින් සාරාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට සමත් කෙනකුන් විසින් ය. එබඳු පුද්ගලයන් ලෝකයෙහි සුලභ නොවන බැවින් සමහර විට කල්ප කෝටි ගණනකිනුදු ලෝකයෙහි බුදුවරයෙක් පහල නො වේ. එබැවින් බුද්ධෝත්පාදය දුර්ලභ ය.

අපායයෝ වනාහි පින් කිරීමට ඉඩ නැත්තා වූ ස්ථානයෝ ය. අපායෙහි උපන් සත්ත්වයාට පින් කිරීම පිළිබඳ නුවණක් ද ඇති නොවේ. එබැවින් අපායට ගිය සත්ත්වයා එහිදී ද පව්කම් ම කොට නැවත නැවතත් අපායෙහි ම උපදන්නේ ය. වරක් අපායට ගිය සත්ත්වයකුට නැවත මිනිසකු වන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි. මිනිසත් බැව්හි දුර්ලභත්වය තථාගතයන් වහන්සේ විසින් උපමාවකින් වදාරා තිබෙන්නේ මෙසේ ය.

මහණෙනි, පුරුෂයෙක් එක් සිදුරක් ඇති වියදඬු කඩක් මහ මුහුදට දමන්නේ ය. සමුද්‍ර‍ගත වූ වියදඬුව නැගෙනහිරින් එන සුළඟින් බස්නාහිරට ගෙන යනු ලබයි. බස්නාහිරින් එන සුළඟින් නැගෙනහිරට ගෙන යනු ලබයි. උතුරෙන් එන සුළඟින් දකුණට ගෙන යනු ලබයි. දකුණින් එන සුළඟින් උතුරට ගෙන යනු ලබයි. සමුද්‍රයෙහි වෙසෙන කණකැස්බෑවෙක් ද වර්ෂ සියයකට වරක් මුහුදු දියෙන් අහසට හිස දිගු කරයි. මහණෙනි, කිමෙක් ද, ඒ කණකැස්බෑවා ගේ හිස අර වියදඬු සිදුරට ඇතුළු වේ ද? මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගෙන් විචාළ සේක. එකල්හි භික්ෂූහු ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දීර්ඝ කාලයක් ගතවන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබේ ය යි සැලකළෝ ය. එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක් මහණෙනි, කණකැස්බෑවාගේ හිස ඉක්මනින් විය සිදුරට ඇතුළු වන්නේ ය. පව්කම් කොට වරක් අපායට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීම එයට වඩා දුර්ලභ වන්නේ ය යි වදාළ සේක. මිනිසත් බැව්හි දුර්ලභත්වය ඒ දේශනාවෙන් දත යුතු ය.

සත්ත්වයනට පින් කිරීමට සර්වාකාරයෙන් ම අවකාශ නො ලැබෙන්නා වූ ද පින් කිරීමට දුෂ්කර වූ ද කල් අටක් ඇත්තේ ය. සසර සැරිසරන සත්ත්වයනට බොහෝ සෙයින් සිදුවන්නේ පින් කිරීමට දුෂ්කර අවස්ථාවලට හසු වී සිටීමට ය. ක්ෂණසම්පත්තියයි කියනුයේ පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අන්‍ය වූ අවස්ථාවට ය. එය ලැබෙන්නේ කලාතුරකිනි. නොකල් අට මතු දක්වනු ලැබේ.

බුදුසස්නෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාදය ය, මිනිස් බව ය, ක්ෂණසම්පත්තිය යන දුර්ලභ කරුණු තුන ම ලද තැනැත්තාට ය. ඒ තුන ම ලද ද පැවිද්දට සිත නැමෙන්නේ ඉතා ම ටික දෙනකුගේ ය. එබැවින් පැවිද්ද දුර්ලභ දෙයකි.

තථාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධෝත්පාද කාලයෙහි ම මිස අන් කලෙක අසන්නට නො ලැබෙන්නේ ය. දුර්ලභ වූ බුද්ධෝත්පාදය හා මිනිසත්බව ලැබූ සැමට ම දහම් අසන්නට නො ලැබේ. අද ලෝකයෙහි දහම් අසන්නට නො ලබන්නෝ බොහෝ ය. ලදත් නො අසන්නෝ ම බොහෝ ය. ධර්මය ආදරයෙන් අසන්නෝ ඉතා ම ටික දෙනෙකි. එබැවින් සද්ධර්මය ශ්‍ර‍වණය දුර්ලභය යි වදාළ සේක.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...