බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමේ දී ඒ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් යුක්ත යැයි දැන හඳුනාගෙන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීම බුද්ධානුස්මෘතිය යි. නව අරහාදි ගුණ එකිනෙක විස්තර වශයෙන් භාවනාව වඩන තැනැත්තාට උපකාරී වීම පිණිස ඉදිරිපත් කරන බුදුගුණ විස්තරයේ ‘ලොකවිදු’ ගුණය පිළිබඳ තවත් කොටසක් මෙම ලිපියෙන් දැක්වේ.
ලොකවිදු ගුණය ඉතිරිය
අට මහා නරකයන් අතරින් සඤ්ජීවය හා කාලසූත්‍රය ඉහත ලිපියෙන් විස්තර කරන ලදී.
3. සඩ්ඝාතය
මෙම නරකයෙහි උපදින සත්වයෝ ගිනිගෙන දැවෙන නව යොදුන් යකඩ පොළොවෙහි කටිය දක්වා එරී නිශ්චලව සිටිති. අනතුරුව පෙරදිගින් අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින් යකඩ පර්වත පෙරළෙමින් විත් ඒ නිරිසතුන් අඹරමින් බටහිර දෙසට ගමන්කරයි. බටහිරින් ද එසේම පර්වතයක් පෙරළෙමින් විත් නිරිසත්වයන් අඹරමින් පෙරදිගට ගමන් කරයි. ඒ පර්වත දෙක එකිනෙකට හමු වී ඒ ඒ තැන සිටින සත්වයන් උක් යන්ත්‍රයකින් උක්දඬු අඹරන්නාක් මෙන් අඹරවයි. මෙය කාළසූත්‍රයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
ඇත්, අස්, ගව ආදී සත්වයන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද මෙහි උපත ලබා නොයෙක් වර්ෂ සියදහස්ගණන් දුක් විඳිති. යාම දෙවියන්ගේ මුළු ආයු කාලය සඩ්ඝාතයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර දෙදහසක් සඩ්ඝාතයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 103,680,000,000,000ක් සඩ්ඝාතයේ ආයුෂ වේ.
4. රෞරවය
නව වණමුඛයන්ගෙන් සත්වයන්ගේ සිරුරු තුළට පිවිස ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇති නරකය රෞරවය නම් වේ. මෙය ධූමරෞරවය යැයි ද හැඳින්වේ. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬන නිරිසතුන්ගේ හඬ නිරතුරුව ඇසෙන බැවින් එය රෞරවය නම්වේ. මෙය සඩ්ඝාතයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
තුසිත දෙව්යන්ගේ මුළු ආයු ප්‍රමාණය රෞරවයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර සාරදහසක් රෞරවයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 829,440,000,000,000ක් රෞරවයේ ආයුෂ වේ.
5. මහාරෞරවය
මෙහි කල්පයක් තිස්සේ දැල්වෙන ගිනිදැල් වලින් යුතු වේ. උපදින සතුන්ගේ නව වණමුඛයන්ගෙන් ඒ ගිනිදැල් පිවිස සිරුර දවන අතර ඒ වේදනාවෙන් හඬන නිරිසතුන්ගේ හඬ නිරතුරුව ඇසෙන බැවින් රෞරවය නම්වේ. මෙය ජාල රෞරවය ලෙස ද හැඳින්වෙන අතර සංයුත්තනිකාය අර්ථකථාවේ ජාලරෞරවය යනු අවීචියටම නමක්යැයි ද දැක්වේ. රෞරවයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
ආර්යයන් වහන්සේලාට, ධර්මයට ගරිහා කරමින් හැසිරෙන අනුවණයන් මෙහි උපදින බව සංයුත්තනිකායේ සඳහන් වේ. එසේ ම තුණුරුවන්ට හා මාපියන්ට අයත් දේ පැහැරගත් අයද මෙහි උපදින බව පැවසේ. නිම්මාණරතී දෙව්යන්ගේ මුළු ආයු ප්‍රමාණය මහාරෞරවයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර අටදහසක් මහාරෞරවයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 6,635,520,000,000,000ක් මහාරෞරවයේ ආයුෂ වේ.
6. තාපනය
මෙහි උපදින සත්වයන් තල් කඳක් පමණ වූ ගිනිගෙන දැවෙන යහුල්වල හිඳුවනු ලැබ යටින් දැවෙන පොළොවෙන් නැගෙන ගිනි දැල් වලින් ද ගිනිගත් යහුලෙන් නැගෙන ගිනිදැල් වලින් ද දැවෙමින් සිටී. මහාරෞරවයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
සංකිච්ච ජාතකයේ සඳහන් වන අන්දමට අධර්මයෙහි පිහිටා රට වනසන අය ද, ජනපද තවන්නන් (වෙහෙසවන්නන්) ද තාපන නිරයේ පැසේ. එසේ ම සතුන් පණපිටින් දවා මැරුවෝ ද, අනුන්ගේ ගෙවල් ගිනි තැබුවෝ ද මෙහි උපදින බව සඳහන් වේ. පරනිම්මිතවසවර්තියේ මුළු ආයු ප්‍රමාණය තාපනයට එක් රෑ දවාලකි. එබඳු දින තිසක් මාසයක් වන අතර එබඳු මාස දොළොසක් එක් වසරකි. එබඳු වසර සොළොස්දහසක් තාපනයේ ආයුෂ වේ. ඒ අනුව මනුෂ්‍ය වර්ෂ 53,084,160,000,000,000ක් තාපනයේ ආයුෂ වේ.
7. ප්‍රතාපනය /මහාතාපනය
මෙහි උපදින සත්වයන් ගිනිගෙන දැල්වෙන ආවුධවලින් පහර දී ගිනිගෙන දැල්වෙන යකඩ පර්වතයක නංවනු ලැබෙති. පර්වත මස්තකයෙහි දැවෙමින් සිටින ඔවුන්ගේ කර්මය හේතුවෙන් වාතය හමාවිත් වැදී එහි සිටිය නොහැකිව, හිස පහළට සිටින සේ ඇද වැටෙති. එවිට පොළොවෙන් ගිනිගෙන දැවෙන යවුල් පැන නැගී ඒ යවුල්හි වැදී සිරුර විනිවිද ගොස් දැවෙමින් පැසෙති. මෙසේ බොහෝ සෙයින් පැසෙන බැවින් මහාතාපනය නම් වේ. තාපනයට යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
බුදුන් නැත, දහම් නැත, සඩ්ඝරත්නය නැත, මරණින් මතු උපතක් නැත යනාදි මිථ්‍යා දෘෂ්ටි ගෙන අකුසලකර්ම කළවුන් මෙහි උපදින බව පැවසේ. අන්තඃකල්පයකින් අඩක් මහාතාපනයේ ආයුෂ වේ.

8. අවීචිය
ගිනිගෙන දැවෙමින් පැසෙන සත්වයන්ගේ දුකෙහි අතරක්, හිඩැසක් නැති අපාය අවීචිය නම් වේ. මෙහි එක් බිත්තියෙන් නැගෙන ගිනිදැල් අනෙක්පස බිත්තියේ හැපී බිත්තිය විනිවිද ඉදිරියට යොදුන් සතක් දක්වා ගමන් කරයි. පොළොවෙන් නැගෙන ගිනිදැල් උඩ පියන්පත දක්වා නගී. පියන්පතින් නික්මෙන ගිනිදැල් පොළොවේ හැපේ. මෙසේ ගිනිදැල් වලින් අතරක් නැති අතර එහි උපදින සත්වයෝ නිතරම සදිසාවෙන් නැගෙන ගිනිදැල් වලින් වෙළී දැවෙමින් සිටී. එහි යොදුන් සියයක් ඇතුළත නිරතුරුව සත්වයන්ගෙන් පිරී පවතී. සිව් ඉරියව්වලින් ම පැසෙන සත්වයන්ගේ ද අතරක් නැත. මහා ප්‍රතාපනයෙන් යොදුන් 15000ක් යටින් පිහිටා තිබේ.
පඤ්චානන්තර්ය කර්ම කළවුන් ද, බෝසතුන් නැසුවවුන් ද, ගුණවතුන් නැසුවවුන් ද, චෛත්‍ය බින්දවුන් ද, පිළිම බින්දවුන් ද, බෝරුක් සින්දවුන් ද, ත්‍රිවිධරත්නයට අයත් වස්තූන් පැහැරගත් අය ද, මිත්‍රද්‍රෝහීහු ද, භාර්යාවන්ට අපරාධ කළවුන් ද, මිසදිටු ගත්තවුන් ද මෙහි උපදින බව සඳහන් වේ. එක් අන්තඃකල්පයක් ආයුෂ වේ.
මෙම අපායයන් හි ආයු පරිච්ඡේදයන් මෙසේ දක්වන ලද නමුදු අදාළ සත්වයාගේ කර්ම ශක්තිය ගෙවී ගියේ නම් හෝ වෙනත් පුණ්‍ය බලයක් එල්බගෙන සිටියේ නම් අතරෙහි ද චුත වන බව සඳහන් වේ. එබැවින් විභඩ්ග අර්ථකථාවේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ විභඩ්ගපාළියෙහි සතර අපායගත සත්වයන්ගේ ආයු පරිච්ඡේදයක් දේශනා නොකළ බවයි.

“ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ලෝකයන් ලෝක ස්වභාව වශයෙන් ද, ලෝක සමුදය වශයෙන් ද, ලෝක නිරොධ වශයෙන් ද, ලෝක නිරෝධූපාය වශයෙන් ද සර්වප්‍රකාරයෙන් ම දන්නා හෙයින් ‘ලෝකවිදූ’ නම් වන සේක.” යැයි ලෝකවිදූ ගුණය වැඩිය යුතු වේ.

මතු සම්බන්ධයි.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි