Friday, December 18, 2020
Thursday, December 17, 2020
ආනාපානසති භාවනාව – 12 වන කොටස
ආනාපානසති භාවනාව – 12 වන කොටස
May 26, 2020 | සිත නිවන භාවනා | 0
ආනාපානසති භාවනාවෙන් ප්‍රථමධ්‍යනය දක්වා සමාධිය දියුණු කරගන්නා ආකාරය පැහැදිලි කරන ලදී. මෙහි දී බුදුරජාණන් වහන්සේගේ දේශනා සංඛ්‍යාත ත්‍රිපිටකය ඉගෙනීම නොකළ පුද්ගලයෙක් අනවබෝධය නිසා මුළාවට පත්විය හැකි බව ද මතක තබාගත යුතු වේ. භාවනාවේ දී ධ්‍යානයට පූර්වයේ අත්දකින සුළු සැපයක් හේතුවෙන් තමන් උතුම් සමාධියක් උපදවා ගත්තේ යැයි වරදවා වටහාගත හැකි වේ. ඒ නිසා සමාධිය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනය මැනවින් තේරුම් ගැනීම ද වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේ මහාසතිපට්ඨානසූත්‍රය ආදියෙහි ප්‍රථමධ්‍යාන සමාධිය විස්තර කරන්නේ ‘විවිච්චේව කාමේහි විව්ච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති’ යනුවෙනි. එනම් ‘කාමයන්ගෙන් වෙන් වූ ම, අකුසල ධර්මයන්ගෙන් වෙන් වූ ම, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වාසය කරයි’ යන අදහසයි.
මෙම ප්‍රථමධ්‍යානයට එළඹීම කාමයන්ගෙන් වෙන්ව ලබන, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව ලබන සමාධියක් වේ. කම්සැපය ධ්‍යානයට විරුද්ධ වේ. ඒ කම්සැපයෙන් වෙන්වීමෙන්ම ධ්‍යාන සැපය ලබන බව මෙහි දැක්වේ. ඒ අනුව භාවනා කරන යෝගියා තමන්ගේ ආශ්වාස-ප්‍රාශ්වාසය අරමුණු කරගෙන භාවනා කිරීමේ දී උපචාර අර්පණා සමාධි ලබන මොහොතේ කාමච්ඡන්දයෙන් වෙන් වේ. එසේම සෙසු නීවරණ ධර්ම හෙවත් අකුසලයන්ගෙන් ද වෙන්වේ. එසේ නැතිනම් කාම වස්තූන් රැස් කිරීමේ කැමැත්ත නම් වූ වස්තුකාමයෙන් ද, සෙසු කෙලෙස් නම් වූ කිලේසකාමයෙන් ද වෙන්වීම ප්‍රථමධ්‍යාන සමාධිය ඉපදවීමට පදනම වේ. මේ අනුව පැහැදිලි වන්නේ ප්‍රථමධ්‍යාන ආදී සමාධි ඉපදවීම කම්සැපයෙන් වෙන් වූවක් මිස ඒ කම්සැප විඳින අතරතුර ලබන්නක් නොවන බවයි. සමාධිය ඉපදවීමට පෙර සිව්-පිරිසිදු ශීලයම ආරක්‍ෂා කරගැනීමේ වැදගත්කම අවධාරණය කරන්නේ මේ නිසාය. ඒ අනුව තමන් රකින සිල්පද පමණක් නොව ඉන්ද්‍රිය සංවරය ආදිය ද සමාධියට වැදගත් වේ.
මෙසේ ප්‍රථමධ්‍යානය ඉපදවීම පිණිස දුරු කළයුතු ධර්මයන් දක්වා අනතුරුව සවිතක්කං, සවිචාරං යනුවෙන් ඒ ප්‍රථමධ්‍යාන සමාධියේ යෙදෙන අංගයන් දක්වන ලදී. එනම් විතර්කයෙන් සහ විචාරයෙන් යුතු බවයි. මේ ප්‍රථමධ්‍යාන සමාධියේ ධ්‍යාන අංගය වශයෙන් විතර්කය සහ විචාරය මූලිකවම ඇති අතර සෙසු කිසිම ධ්‍යානයක මෙම අංග දෙක නොමැත.
විතර්කය යනු කල්පනා කිරීම යැයි සමහර කෙනෙක් සිතති. එය වැරදි අදහසක් වේ. එය ප්‍රථමධ්‍යාන සමාධි සිතේ ඇති චෛතසික ධර්මයක් වන අතර ඉතා සියුම් ව අවබෝධ කරගත යුතු වේ.
මෙසේ විතර්ක සහිත, විචාර සහිත සමාධිය ‘විවේකජං’ යනුවෙන් විවේකයෙන් හටගත් බව දැක්වේ. ඉන් අදහස් වන්නේ නීවරණ ධර්මයන් පහවූ බවයි. ‘විවේක’ යන වචනයේ අර්ථය වෙන්වීම යන්නයි. වැඩ කටයුතු වලින් වෙන් වූ වේලාව විවේක වේලාව ලෙස හඳුන්වන්නේ එබැවිනි. මේ ප්‍රථමධ්‍යාන සමාධියේ ද වෙන්වීමකින් හටගත් බවක් ඇත. එනම් නීවරණයන්ගෙන් වෙන් වීමයි. සිත නීවරණයන්ගෙන් තාවකාලිකව නමුත් බැහැර වීමෙන් ප්‍රථමධ්‍යාන සමාධිය උපදී.
මෙසේ කාමයන්ගෙන් හා අකුසලයන්ගෙන් වෙන් ව, නීවරණයන්ගේ වෙන්වීම නම් වූ විවේකයෙන් හටගත් ප්‍රථමධ්‍යාන සමාධියේ විතර්කය සහ විචාරයට අමතරව ප්‍රීතිය සහ සැපය යනුවෙන් ද අංග දෙකක් ඇති බව ‘පීතිසුඛං’ යැයි කියවේ. මේ අනුව ප්‍රථමධ්‍යාන සමාධියේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යනුවෙන් අංග පසක් ඇත. ඒ එකිනෙකක් හඳුනාගැනීම භාවනා කරන පුද්ගලයාට කළහැකි විය යුතු වේ. එසේ නැතහොත් තමන් උපචාර සමාධියක්වත් නොලබා ධ්‍යාන ලැබූ බවට මුළාවක් ඇති විය හැකි වේ. මෙහි දී ඒ ධ්‍යාන අංග පරික්‍ෂා කිරීම පිණිස එකිනෙක අංගය විස්තර කරනු ලැබේ.
විතක්ක: විතක්කය යනු සිත අරමුණට නැංවීමේ ස්වභාවයයි. සිත ආනාපානසති නිමිත්තට නංවන ස්වභාවයෙන් වැටහේ නම් එය විතක්කය වේ. ප්‍රථමධ්‍යාන සමාධියෙන් ඉවත්ව උපචාර සමාධියට පැමිණ තමාගේ සිත නැවත නැවත පටිභාග නිමිත්තට නංවන ස්වභාවයක් වැටහේ දැයි බැලිය යුතු වේ. එසේ වැටහේ නම් එය විතක්කය වේ.
විචාර: විචාරය යනු අරමුණ පිරිමැදීමයි. විතක්කයෙන් නංවන ලද අරමුණෙහි සිත හැසිරෙන ස්වභාවයෙන්, සිත අරමුණෙහි නොසිඳී පවතින බවක් වැටහේ නම් එය විචාරය වේ.
ප්‍රීති: සිත පිනායන ස්වභාවය ප්‍රීතිය නම් වේ. මෙම ප්‍රීතිය ආකාර පසක් ඇති අතර එය පස්වණක් ප්‍රීතිය ලෙස හැඳින්වේ. ඒ අතරින් ඵරණ ප්‍රීතිය ලෙස හඳුන්වන මුළුකය පිරී යන්නාක් සේ වැටහෙන ප්‍රීතිය ප්‍රථමධ්‍යානයේ අංගයක් වේ.
සුඛ: සුඛය යනු කායචිත්ත පීඩාව නැසීමයි. සමාධිමත් සිතට දැනෙන සැපවත් බව මින් අදහස් වේ. යම් සිතක ප්‍රීතියක් ඇත්තේ නම් එවිට සැපවත් බවක් ද දැනේ. කයට යම් සීතල සුළඟක් ආදිය හැපීමේ දී සිතටත් යම් සැපවත් බවක් දැනේ. එවැනි සැපවත් බවක් ප්‍රථමධ්‍යාන සමාධියේ දී දැනේ.
ඒකාග්‍රතා: සිතේ එකඟ බව ඒකාග්‍රතාවය නම් වේ. අරමුණෙහි සිත නොවිසිරී පවතින බවයි. තෙත මැටි පිඩක් ඉහළ සිට පහළට අතහැරියහොත් එය බිම වැටී, වැටෙන තැනම ඇලී සිටින්නා සේ සිත අරමුණෙහිම නොවිසිරී පවතින බව ඒකාග්‍රතාවයයි.
මෙම ධ්‍යානාංග පස ප්‍රථමධ්‍යාන සමාධියේ දී අත්දැකිය හැකි වේ. එබැවින් ධ්‍යානයෙන් සිත මුදවාගෙන උපචාර මට්ටමට පැමිණ එකිනෙක ධ්‍යානාංගය පරික්‍ෂා කළ යුතු වේ. මේ ධ්‍යානාංග පසම ඇති බව වැටහේ නම් තමන් ප්‍රථමධ්‍යානයට සමවැදුණු බවට නිගමනය කළ හැකි වේ. යම් අංගයක් වැටහෙන්නේ නැති නම් එවිට තමාගේ සමාධිය ශක්තිමත් වී නොමැති බවත්, නිසි පරිදි ධ්‍යානයට සමවැදී නොමැති බවත් දැනගෙන තව තවත් සමවැදීම කළයුතු වේ. ධ්‍යානාංග හඳුනාගැනීම ආධුනිකයෙකට අපහසු නම් පළපුරුදු ගුරු ඇසුරකින් අවවාද ලබා ගැනීම වැදගත් වේ.
එසේම සමහර විටක විතක්කය හෝ විචාරය හඳුනාගත නොහැකිව සෙසු අංග එකක් හෝ කිහිපයක් වැටහේ නම් තමන් කෙලින්ම දුතිය ධ්‍යානයට ගොස් ඇත්දැයි සැකයක් සිතිය හැකිය. එහෙත් ප්‍රථමධ්‍යානයට නොගොස් දුතිය ධ්‍යානයට යාමක් සිදු නොවේ. එය තමන්ගේ සමාධියේ දුර්වල බවක් බව දැනගෙන තව තවත් සමවැදීම කළයුතු වේ.
මෙසේ ප්‍රථමධ්‍යානයට සම වැදීමෙන් පසු පැයක් හෝ පැය එකහමාරක් හෝ පැය දෙකක් හෝ හැකි තරම් වේලාවක් එම සමාධියට සමවැදී සිටින බව අධිෂ්ඨාන කරගෙන සමවැදිය යුතු වේ. එවිට ඒ තමන් සිතාගත් කාලය අවසානයේ නිරායාසයෙන්ම ධ්‍යානයෙන් සිත මිදීම සිදු වේ. අනතුරුව නැවත ධ්‍යානාංග පරික්‍ෂා කර බැලිය යුතු වේ.
මෙසේ තමන් ප්‍රථමධ්‍යානයට සමවැදුණු බව නිසැකවම දැනගත් පසු සමථ භාවනාව තවදුරටත් දියුණු කිරීමට කැමති පුද්ගලයා එම ධ්‍යානය ආකාර පසකට වශී භාවයට පත් කරගත යුතු වේ. එසේ වශී භාවයට පත් කරගෙන තවත් සමථ කමටහනක් පුරුදු කළ හැකි වේ. මෙසේ සමථ කර්මස්ථාන කිහිපයක් පුරුදු කරගන්නා පුද්ගලයාගේ සමාධිය බලවත් වේ. එවිට විදසුන් වැඩීම පහසු වේ.
සිත අර්පණා සමාධියට පත් නොවන පුද්ගලයා විසින් අර්පණා කුසලතාවයන් දහයක් (10) සම්පාදනය කරගත යුතු වේ. ඒ පිළිබඳ මීලඟට විවරණය කෙරේ.
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Wednesday, December 16, 2020
ආනාපානසති භාවනාව – 11 වන කොටස
ආනාපානසති භාවනාව – 11 වන කොටස
May 23, 2020 | සිත නිවන භාවනා | 0
මුල පටන් පිළිවෙලට ආනාපානසති භාවනාව වඩන යෝගාවචරයාට ආනාපානසති ප්‍රතිභාග නිමිත්ත පහළ වූ පසු තවදුරටත් ඒ ප්‍රතිභාගනිමිත්ත සහිතවම ආශ්වාස-ප්‍රාශ්වාසය මෙනෙහි කළයුතු වේ. ඒ නිමිත්ත පිළිබඳ වර්ණය වෙනස් වන ලෙස සිතීම් ආදියක් නොකොට නිමිත්ත පිළිබඳ දැඩි සේ අවධානය යොමු කිරීමක් හෝ නොමැතිව, මැදහත් සිතින් නිමිත්ත කෙරෙහි අවධානය සහිතව ආශ්වාස-ප්‍රාශ්වාසයම මෙනෙහි කළයුතු වේ. නිමිත්තක් උපදවා ගැනීමෙන් දුෂ්කර දෙයක් කරන ලද්දේ යැයි භාවනාව අතහැර නොදමා දිගටම ඕනෑකමින් යුතුව භාවනාව කරගෙන යා යුතු වේ.
මෙසේ ප්‍රතිභාග නිමිත්ත උපන් කල්හි හුස්ම රැල්ල මෙනෙහි කිරීමේ දී යෝගියා ඒ ප්‍රතිභාග නිමිත්තෙහි සිත පිහිටුවා ගතයුතු වේ. එය ‘ඨපනය’ ලෙස සඳහන් වේ. එය නිමිත්ත කෙරෙහි වඩාත් අවධානයෙන් බලා සිටීමක් නොවේ. සිත නිමිත්තට යොමු කරමින් ආශ්වාස-ප්‍රාශ්වාසම නැවත නැවතත් මෙනෙහි කිරීමයි. මෙය ඉතා සියුම් ව පැහැදිලි කරගතයුතු වේ. ආශ්වාසය අරමුණු කරන සිත එකකි. ප්‍රශ්වාසය අරමුණු කරන සිත අනෙකකි. නිමිත්ත අරමුණු කරන සිත අනෙකකි. එබැවින් යෝගියා විසින් කළයුත්තේ තමන්ට අරමුණු වන නිමිත්ත කෙරෙහි සිත යොමු කරගෙන මේ දක්වා කරගෙන ආ පිළිවෙලින්ම හුස්ම රැල්ල මෙනෙහි කිරීමයි.
යම් පුද්ගලයෙකුට ආනාපානසති ප්‍රතිභාග නිමිත්ත උපන්නේ නම් එයින්ම ඔහුගේ පංච නීවරණ ධර්මයන් විශ්කම්භන වශයෙන් ප්‍රහාණය වූයේ වෙයි. කෙලෙස් සංසිඳුනේ වෙයි. සිත උපචාර සමාධියෙන් සමාධිමත් වූයේ වේ. මෙහි දී තමන්ට අරමුණු වන ආලෝක නිමිත්ත අනිත්‍ය වශයෙන් මෙනෙහි නොකළ යුතු වේ. එසේ කළහොත් ධ්‍යානයට නොපැමිණේ. එබැවින් තමන්ට සප්පාය නොවන සෙනසුන්, පුද්ගලයන් ආදිය ද බැහැර කොට භාවනාවට රුචිය උපදවාගත යුතු වේ. එසේ භාවනාවට රුචිය උපදවාගෙන භාවනා කරන යෝගියාගේ සිත ඉතා ඉක්මනින් ප්‍රථම ධ්‍යානයට පත් වේ.
එහෙත් මෙම අවස්ථාවේ දී තමන් ඉතා ඉක්මනින් ධ්‍යානයක් ලබා ගන්නෙමි යැයි දැඩි වීර්ය කිරීමක් සුදුසු නොවේ. එසේ දැඩි සේ වීර්ය කිරීමේ දී ඔහුගේ සිත උද්ධච්චයට පත්වේ. එවිට සිත අර්පණාවට පත් නොවේ. එසේම දැඩි වීර්යයේ දොස් දැක භාවනාව අතහැර දමමින් වීර්යය පිරිහෙළන පුද්ගලයාට ද ධ්‍යාන ලැබිය නොහැකි වේ. එවිට සිත කුසීත බවට පත්වන බැවිනි. යම් යෝගියෙක් තමාගේ සිත ලීන භාවයෙන් හෝ උද්ධචච් භාවයෙන් මුදවාගෙන සමව පවත්වාගෙන නිමිත්ත අභිමුඛ කරගෙන සිත පිහිටුවාගෙන හුස්ම රැල්ල මෙනෙහි කරයි නම් ඔහුගේ සිත අර්පණාවට පැමිණේ.
නිමිත්ත කෙරෙහි සිත පිහිටුවාගෙන හුස්ම රැල්ල පෙර කී ආකාරයෙන් මෙනෙහි කිරීමේ දී තමන්ගේ සිත ඒ නිමිත්ත දෙසට යොමු වන බව යෝගියාට දැනේ. බැහැර අරමුණු වලින්, ශබ්ද ආදියෙන් සිත ඉවත් වී තමන්ට අරමුණු වන නිමිත්ත දෙසටම යොමු වන බවක් දැනේ. තමන්ගේ කයේ යම් සුළු වේදනාවක් නමුත් තිබුණේ නම් ඒ පිළිබඳව පවා අවධානය නොමැතිව නිමිත්ත කෙරෙහිම අවධානය තියුණු වන්නට පටන් ගනී. සමහර කෙනෙකුට පටිභාග නිමිත්ත තුළට තමන් කිමිදී ගියාක් මෙන් දැනේ. පටිභාග නිමිත්තෙන් තමන්ගේ සිත යටපත් වූ ආකාරයක් අත්දකී. ඒත් සමඟ භාවනාවේ තමන් පෙර අත් නොදුටු ආකාරයේ සැහැල්ලුවක්, සමාධිමත් බවක්, සිතේ එකඟ බවක් ඇති වේ. කෙලෙස් සංසිඳීමට පත් වේ. එවිට සිත විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා යන අංගයන්ගෙන් යුත් ප්‍රථමධ්‍යානයට පත්වූයේ වෙයි.
සමහර යෝගියෙකුට පහසුවෙන් සිත ධ්‍යානය දක්වා දියුණු කරගත නොහැකි වේ. ඒ සඳහා දසවිධ අර්පණා කෞෂල්‍යය සම්පාදනය කරගත යුතු බව අර්ථකථාවන්හි සඳහන් වේ. ඒ පිළිබඳ ඉදිරියේ කරුණු විස්තර කිරීමට බලාපොරොත්තු වන අතර මෙහි දී ධ්‍යානයකට පත් වූ පුද්ගලයා විසින් පිළිපැදිය යුතු ආකාරය විස්තර වේ.
සමහර කෙනෙක් සිත ප්‍රථමධ්‍යානයට පත් නොවී මුළ වීමක් සිදු විය හැකිය. එබැවින් සිතේ සමාධිමත් බවක් ඇති වූ පමණින් තමන් ධ්‍යානයක් ලැබුවේ යැයි නොසිතිය යුතු වේ. ඒ ධ්‍යානයේ ධ්‍යානාංග පරික්‍ෂා කර බැලිය යුතු වේ. ධ්‍යානාංග පරික්‍ෂා කිරීම සිත සමාධියට සමවැදී සිටින විට කළ නොහැකි වේ.
අභිධර්මයේ දැක්වෙන අන්දමට අර්පණා සමාධි සිත යනු රූපාවචර සිතකි. ධ්‍යානාංග පරික්‍ෂා කිරීමේ සිත කාමාවචර කුසල් සිතකි. ඒ නිසා ධ්‍යානයට සමවැදී සිටින විට ධ්‍යානාංග අරමුණු කළ නොහැකි වේ. එබැවින් ධ්‍යානයට සමවැදුණු පුද්ගලයා එයින් මිදී සිත උපචාර සමාධියට පත් කරගත යුතු වේ. එනම් නැවතත් තමන් ඉදිරියේ නිමිත්ත පවතින ආකාරයට නිමිත්ත කෙරෙහි සිත යොමු කරගත යුතු වේ. එය සිදු කරන අන්දම ධ්‍යානයට සමවැදුණු යෝගාවචරයාට වටහාගත හැකි වේ. එසේ නොවැටහේ නම් පළපුරුදු ගුරු ඇසුරකින් උපදෙස් ලබාගත යුතු වේ.
මෙසේ සිත ධ්‍යානයෙන් මුදවාගෙන, උපචාර සමාධියට පත් කරගෙන ධ්‍යානාංග පස ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු වේ. ඒ සඳහා එකිනෙක ධ්‍යානාංග පිළිබඳ අවබෝධයක් තිබිය යුතු වේ. සමහර පුද්ගලයන් ‘විතක්කය … විතක්කය’ යනාදි වශයෙන් වචනයෙන් මෙනෙහි කළයුතු බව කියති. එය වැරදි අදහසක් වේ. එසේ මෙනෙහි කිරීමෙන් ධ්‍යානාංග වැටහීමක් සිදු නොවේ. වචනය මෙනෙහි කිරීමක් පමණක් සිදු වේ. ඒ නිසා එකිනෙක ධ්‍යානාංගය පිළිබඳ අවබෝධය ඇතිව උපචාර සමාධියේ දී ඒ ධ්‍යානාංග පරික්‍ෂා කළ හැකි වේ.
ධ්‍යානාංග පවතින්නේ ධ්‍යාන සිතේ නිසා උපචාර සමාධියේ දී ධ්‍යානාංග පරික්‍ෂා කරන්නේ කෙසේ දැයි කෙනෙකුට සිතිය හැකි වේ. මෙහි දී කරන්නේ තමන් කලින් සමවැදුණු ධ්‍යානයේ ඇති අංග එයින් ඉවතට පැමිණ පරික්‍ෂා කිරීමකි. එය කිසියම් ගෘහයක හැඩහුරුකම පරික්‍ෂා කිරීමක් වැනි යැයි කිව හැකිය. ගෘහය ඇතුළට ගිය විට එහි හැඩහුරුකම පරික්‍ෂා කළ නොහැකි වේ. එයින් පිටතට පැමිණ බැලිය යුතු වේ. එහෙත් පිටතට පැමිණ තමන් ඇතුළු වී සිටි ගෘහය පරික්‍ෂා කළ හැකි වේ. එසේම ධ්‍යානයෙන් සිත ඉවත් කරගෙන තමන් සමවැදුණු ධ්‍යානයේ අංග පරික්‍ෂා කර බැලිය හැකි වේ. ඒ සඳහා ප්‍රතිභාග නිමිත්ත තිබිය යුතු වේ. එවිට සිත පවතින්නේ උපචාර සමාධියේ බැවින් සිතේ සාමාන්‍ය තත්වය ඉක්මවා ගිය සමාධියක් පවතී. ඒ සමාධිමත් බව උපකාර කරගෙන ධ්‍යානාංග පරික්‍ෂා කළ හැකි වේ.
ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පිණිස එකිනෙක ධ්‍යානාංගය පිළිබඳ මීළඟට විස්තර වේ.
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...