(දෙවන ලිපිය )
බුද්ධ ශාසනයේ අග්ර ශ්රාවකයාණන් වහන්සේ වන සැරියුත් මහ රහතන් වහන්සේගේ..
තථාගත ශ්රාවකයන් අතර අග්රශ්රාවක බව ලැබූ සැරියුත් හිමියෝ උපන් නැණවතෙකි; මහා නුවණැති උතුමෙකි; මහා සාගරයෙහි ජලය බින්දු ගණනින් ද, මහා ගංගාවක වැලි ඇට ගණනින් ද පොළොවෙහි පස් කැට ගණනින් ද ගිණීමෙහි සමත් වූ අද්භූත බුද්ධි බලයෙකින් සම්පූර්ණ වූ හ; ‘මහා පඤ්ඤානං යදිදං සාරිපුත්තො’ යන්නෙත් තථාගතයන් වහන්සේ වෙතින් ‘මහා ප්රඥාවන්තයන්ගෙන් අග්රස්ථානය’ හිමි වූ උතුමෙකි. උසස් කුලයක ධන සැරියුත් මහ රහතන් වහන්සේ වත් පවුලක උපන්, රූපයෙන් හා නුවණින් අගපත් කෙනකු වුව ද නිහතමානීකම මූර්තිමත් වූ ශ්රේෂ්ඨ පුරුෂයෙකි; තමන් වහන්සේට ප්රථමයෙන් ම නිවන් සුව ලබාදුන් අස්සජි මහ රහතුන් වහන්සේට මුළු ජීවිතය තෙක් ම ගුරු භක්තිය දැක්වූ සේක. දිනක ගමනින් ගොස් ආපසු සිය අරමට ආ හැකි දුර පෙදෙසක වෙසේ නම් ඇදුරුතුමන් දැකීමට දිනපතා ම ගොස් වත් දක්වා එන සේක; සැතැපෙන කල ඇදුරුතුමන් වැඩ සිටින දෙසට හිස ලා ම සැතැපෙන සේක; ඇදුරු ගුණ සිහි කොට වැඳැලා ම නින්දට පිවිසෙන සේක.
තව ද එක් බත් සැන්දකින් තමන් වහන්සේට සංග්රහ කළ රාධ නම් දුප්පත් බමුණෙක් අතැවැසි භික්ෂුවක වශයෙන් පැවිදි උපසපන් කොට කමටහන් දියුණු කරවා රහත් බලයෙන් ලොවුතුරු නිවන් සුවය අත් කර දුන්හ.
නොදැනුවත් ව සැරියුත් හිමියන්ගේ සිවුරු කොනක් බිම ඇදෙනු දුටු සාමණේර භික්ෂුවක සැරියුත් හිමියන් අමතා ‘ස්වාමීනි ඔය සිවුරු කොන බිම ඇදෙනවා, එය ඔසවාගනු මැනැවැ’ යි කී කල්හි ‘සාමණේර උපදේශය මම ඉතා හොඳින් පිළිගනිමි’ යි පැවැසූ සැරියුත් හිමියෝ ‘වයසින් සත් හැවිරිදි සාමණේරයකු වුව ද මට දෙන උපදේශය මම සතුටින් පිළිගනිමි’ යි පැවැසීමෙන් සුවිනීත ගුණය ප්රකට කළහ.
එක් කලෙක මහ තෙරණුවෝ වස් පවරා අවසන් වී චාරිකා ගමනක් වඩිනු කැමැති ව ඒ සඳහා සතුටු භික්ෂූන් සංවිධානය කරන්නට වූ හ. ලාමක අදහස් ඇති එක්තරා භික්ෂුවක් ‘සැරියුත් තෙර මටත් කථා කළොත් මැනැවැ’ යි සිතමින් තමන් ඒ සඳහා ඉදිරිපත් නොවී සැරියුත් තෙරණුවන් ලවා ආරාධනා කරවාගන්නා අදහසින් එහා මෙහා හැසිරෙන්න විය. එහෙත් ඒ භික්ෂුව ගැන සැරියුත් තෙරණුවෝ සඳහන් නොකළහ. මහ තෙරහු නම් කළ භික්ෂූන් පිරි වරා ගමනාරම්භ කළහ. තමන් ගමනට නොකැඳැවීම නිසා කෝපයට පත් භික්ෂුව මහ තෙරණුවන්ගේ දොසක් සොයන අයුරින් පිරිස අතර හැසිරෙන කල්හි මහ තෙරුන්ගේ සඟළ සිවුරේ කොනක් ඒ ලාමක භික්ෂුවගේ සිරුරෙහි වැදිණ. ‘මට මෙය ප්රමාණ ය’ යි සිතාගත් ලාමක භික්ෂුව සම්බුදුන් කරා එළැඹ “ස්වාමීනි, සැරියුත් තෙර මගේ ඇඟේ හැපී මගෙන් ඒ සඳහා සමාව නොගෙන චාරිකාවෙහි ගියහ” යි චෝදනා කළේ ය. සැරියුත් තෙරුන්ගේ නිවරද බව දැනත් සම්බුදුහු අනඳ හිමියන් ලවා සැරියුත් තෙරුන් කැඳවා “සාරිපුත්තය, තොපට චෝදනාවක් එල්ල වී තිබේ. එයට පිළිතුරු දිය යුතු ය” යි නියම කළහ.
එවිට මහ තෙරහු “ස්වාමීනි, මම කිසිවකුට කිසිත් වරදක් දැනුවත් ව නොකරමි. පිරිසිදු අපිරිසිදු සියලු දෙය ඉවසන මහ පොළොව මෙන් ද; ජලය හා වාතය මෙන් ද කසළ ශෝධක සැඬොලකු හා අං සිඳුණ ගවයකු මෙන් ද සියලු වැරැදි ඉවසමින් කෙනකුට වරදකුදු නොකරමි. මේ සිරුර ගැරැ¼ඩි කුණක් ලෙසින් සලකමි. අවටින් තෙල් උතුරා හැලෙන මේද තෙල් සැළියක ලෙසින් නව දොරින් කුණු වැගිරෙන මේ සිරුර මා පරිහරණය කරන්නේ ද ඇල්මක් ඇති ව නො වේ. එබඳු මගෙන් නොදැනුවත් ම මිස දැනුවත් ව වරදක් සිදු විය නොහැක්කැ” යි සම්බුදුන් හමුවේ තමන් වහන්සේගේ නිදොස් බව පළ කළහ. චෝදක භික්ෂුව මහ තෙරුන්ගේ මේ කථාවෙන් සංවේගයට පැමිණ ‘නිදොස් වූ තෙරුන් වහන්සේට අස්ථාන චෝදනා නැඟීම නිසා මගේ හිස සත්කඩක් ව පැළෙනු ඇතැ’ යි බියට පැමිණ මහතෙරුන් වැඳ සමාව ඉල්ලී ය.
දිනක් මිනිස්සු සමූහයක් එක් ව සැරියුත් තෙරණුවන්ගේ ගුණ වනමින් සිටියහ: “අපේ මහ තෙරුන් වහන්සේ අද්භූත වූ ඉවසීමෙන් යුක්ත වූ සේක. යමෙක් උන් වහන්සේට අපහාස කළත් පහර දුන්නත් උන් වහන්සේ එය සතුටින් ඉවසන සේක; මඳකුත් නොකිපෙන සේක. එතුමෝ එතරම් ම ගුණවත්හ” යි ආදියෙන් ගුණ වැයූ හ. මේ කථාව අසා සිටි මිථ්යාදෘෂ්ටික බමුණෙක් “මෙහි ඇත්ත නැත්ත දැනගනිමි” කියා දිනක් මහතෙරුන් පිඬු සිඟා වඩනා කල්හි පසුපසින් ගොස් මහ තෙරුන්ගේ පිටට වැරෙන් පහරක් දුන්නේ ය. මහ තෙරුන් වහන්සේ එය කිසිත් ගණනකට නොගෙන මැස්සකු සිරුරේ වැසූ තරම් වත් නොසලකා මේ කුමක් දැ යි යන්න වත් නොසිතා වැඩියහ.
බමුණාගේ ශරීරයේ දාහ ඇති විය. ‘අහෝ! මේ ගුණවත් උතුමාට පහරදීමෙන් මා කළේ බරපතළ වරදක්. මේ උතුමාගේ ගුණය උදාර ය. මිනිසුන් කීවේ ඇත්ත යි. දැන් දැන් මේ උතුමාගෙන් සමාව නොඉල්ලී නම් මගේ හිස සත් කඩක් ව පැළෙනු නියත ය’ යි සිතූ හෙතෙමේ මහ තෙරුන් පාමුල වැඳවැටී “ස්වාමීනි ඔබ විමසනු පිණිස මම පහරක් ගැසීමි. සැරියුත් මහ රහතන් වහන්සේනොදැන කළ වරදට සමා වුව මැනව” යි අයැද සිටියේ ය. මහ තෙරහු ඔහුට සමාව දුන්හ. “ස්වාමීනි, ඔබ සමාව දුන් සේක් නම් මගෙන් අද භික්ෂාව (ආහාර) පිළිගනු මැනැවැ” යි කියා මහ තෙරුන්ගෙන් පාත්රය ඉල්ලී ය. ඔහුට තෙරණුවෝ පාත්රය දුන්හ. බමුණා තෙරුන් නිවෙසට වැඩමවාගෙන ගොස් වඩා හිඳුවා දන් පිළිගැන්වී දන් වළඳා අවසන් කළ හිමියෝ බමුණාට අනුශාසනා කොට “බ්රාහ්මණය, මෙය ගනුව” යි වදාරා පාත්රය බමුණා අතට දී නිවෙසින් පිටත් වූ සේක.
බමුණාගේ නිවෙස අසල මහා පිරිසකි. මිනිස්සු සිය ගණනක් පමණ සිටියහ. එකෙක් මහ තෙරුන් ළඟට විත් “ස්වාමීනි, පාත්රය මේ මිනිසාගෙන් ගනු මැනැවැ” යි අයැදූ හ. මහ තෙරහු එය නෑසුණාක් මෙන් වැඩියහ. දෙවරක් පමණ මෙසේ මිනිසුන් ඇවිටිලි කළ පසු “ඇයි ද පාත්රය ගන්ට කියන්නේ?” යි මහ තෙරහු ඇසූහ. “ස්වාමීනි, මේ මිනිසා ඔබට පහරක් ගැසූ බව දැනගතිමු. අපි ඔහුට දඬුවම් කරන්ට සූදානමින් සිටිමු. ඔබගේ පාත්රය ඔහු අත තිබීම අපේ කරුණ ඉටු කිරීමට බාධාවක් ය” යි මිනිස්සු තෙරුන්ට කී හ.
“පින්වත්නි, මොහු මට පහරක් දුන් බව සැබෑ ය. එහෙත් ඔහු ඒ වරදට මගෙන් සමාව අයැදී ය. මම ඔහුට සමාව දුනිමි. එහෙයින් ඔහුට පීඩා කිරීම නුසුදුසු ය” යි පැවැසූ මහ තෙරහු බමුණා හා මිනිසුන් ද යවා තමන් වහන්සේගේ පාත්රය ද රැගෙන වෙහෙරට වැඩියහ. මෙවැනි ගුණ ඇති ශ්රාවකයෝ බාහිර ශාසනයන්හිත් ලැබේ ද?
පුහුදුන් මිනිසා ‘තත්ත්වයක්’ ලැබෙන්න ලැබෙන්න උදම් වේ. ධනය, කුලය, පිරිස් පාලන බලය යනාදි ලෞකික බලයෙන් යුක්ත වූවෝ සුළඟින් පිම්බෙන බෝල මෙන් පිම්බෙති. තථාගත ශ්රාවක ආර්ය උත්තමයෝ අධ්යාත්ම ගුණයෙන් දියුණු වන්න වන්න නිහතමානී වෙති; නිහඬ වෙති; ස්වභාව ධර්මය පවා අභිභවනය කිරීමේ ආධ්යාත්ම බලයකින් යුක්ත වෙති. ගුණයෙන් සාර වූ සාරිපුත්ත හිමියෝ එවැනි ශ්රේෂ්ඨයෙක් වූ හ.
එක් කලෙක සැරියුත්-මුගලන් දෙදෙනා වහන්සේ වනසෙනසුනක වසන සේක. දිනක් සැරියුත් මහ තෙරුන්ට උදරාබාධයක් සෑදී බලවත් දුක්-වේදනා ඇති විය. සැරියුත් තෙරණුවන් කරා උපස්ථානයට ගිය මුගලන් තෙරුන්ට දක්නට ලැබුණේ බඩරුජාවෙන් වැදහොත් සැරියුත් හිමියන් ය.
“ස්වාමීනි! මෙයට පෙරදීත් මේ බඩරුජාව සැදුණේ ද? එසේ නම් එයට පිළියම් කෙසේ වී දැ?” යි මුගලන් තෙරණුවෝ විචාළහ. “ඇවැත්නි! ගිහි කල අපගේ මෑණි උපාසිකාවෝ ගිතෙල්, මී සකුරු එක් කොට යොදා දිය නුමුසු කොට කිරෙන් ම පිසූ කැඳත් දෙති. එයින් ම බඩරුජා සන්සිඳේ යැ” යි සැරියුත් තෙරණුවෝ පිළිතුරු වශයෙන් ප්රකාශ කළහ.
මුගලන් තෙරුන් වහන්සේ ද “නුඹ වහන්සේගේ වත් මගේ වත් පිනක් ඇත් නම් ලබන්නමෝ වේ දැ?” යි කී සේක. දෙදෙනා වහන්සේ කී බස් අසා සිටි එක්තරා රුක් දෙවියෙක් “සැරියුත් තෙරුන්ට අවශ්ය ආහාරය සෙට සකස් කරවමි” යි සිතා තෙරුන් වහන්සේගේ දායක උපස්ථායක කුලයක වැඩිමහලු පුතාගේ ශරීරයෙහි ආවිෂ්ට ව පීඩා කළේ ය.
ඉක්බිති ඕ හට පිළියම් කිරීමට ඥාතීන් සැරසෙන කල “සැරියුත් හිමියන්ට ගිතෙල් - මී - සකුරු එක් කොට කිරි බතක් සාදවා යැව්වොත් ආවිෂ්ටය හරිමි” යි දේවතාව නොපෙනී සිට කී ය. ඒ ඇසූ කුලයෙහි ඇත්තෝ “තොප නොකීවත් සැරියුත් හිමියන්ට අපි නිරන්තරයෙන් බත් දෙම්හ” යි කියා, දෙවන දවස් එලෙසින් කිරිබතක් සැපැයූහ.
උදෑසන පිඬු සිඟා වඩනා මුගලන් තෙරණුවෝ යට කී දායක කුලයට වැඩියහ. ගෙහිමියෝ පාත්රය ගෙන කිරි පිඬු පුරා දුන්හ. තෙරුන් වහන්සේ ගමනාකාර දැක්වූ හ. “ස්වාමීනි වැළඳුව මැනැව. සැරියුත් හිමියන්ට අනෙක් කිරිබත් පාත්රයක් දෙම්හ” යි කියා තෙරුන් වළඳා අවසන් වූ කල්හි පාත්රය සුවඳ පැනින් සෝධා පාත්රය පුරා දෙවැනි වරට කිරිබත් එළැවූ හ.
මුගලන් හිමියෝ කිරිබත රැගෙන ගොස් සැරියුත් හිමියන්ට දුන්හ. එළැවූ කිරිබත දැක සිතේ අදහසේ සැටියෙන් මේ කිරිබත සකස් ව ඇත්තේ කෙසේ දැ යි ආවර්ජනා කරන සේක් දේවතාවා විසින් උපදවන ලද බතක් බව දැන “ඇවැත්නි, මේ ආහාරය අනුභවයට සුදුසු නො වේ යැ” යි මුගලන් තෙරුන්ට පවසා ආහාරය ප්රතික්ෂේප කළ සේක. මුගලන් හිමි ද කිසිත් වචනයක් නොපවසා සතුටු මුහුණින් පාත්රය ආපසු ගෙන එක් හිස් තැනෙක බත් පාත්රය මුණින් නැමූ සේක. කිරිබත් බිම හුණු කෙණෙහි ම තෙරුන් වහන්සේගේ උදරාබාධය සංසිඳිණි. එතැන් පටන් පන්සාළිස් හවුරුද්දක් නැවත රුජාව නොසෑදිණි.
තව ද ඔබට දන් දුන් කාකවලි දුගියා, පුණ්ණ දුගියා ආදීහු කෝටිපති සිටුවරයෝ වූ හ. සත් හැවිරිද්දෙහි මවුපියන් විසින් හැර දැමූ හෙයින් අනාථ වූ ලෝසකතිස්ස කුමරු මහණ පැවිදි කොට
ඕ හට ලොවුතුරා නිවන් රස ලැබෙන්නට සැලැසූ හ. මෙලෙසින් නන් අයුරින් මහජනයාට යහපත සැලසූ සැරියුත් හිමිපාණෝ තමන් වහන්සේගේ ආයු කෙළවර වූ බව දැන එතෙක් මෑණියන් මිසදිටු බවෙහි ම වැද සිටි හෙයින් ‘මෑණියන්ගේ කිරි මිල ගෙවමි’ යි සිතා සැවැත්පුරයෙහිදී සම්බුදු රදුන්ගෙන් පිරිනිවනට අවසර ගෙන රජගහනුවර කරා වැඩ, ඔබගේ උපත සිදු වූ තිඹිරිගෙයි වැඩ වෙසෙමින් මෑණියන්ට දහම් දෙසා ඇයට සෝවාන් මගපල නුවණින් නිවන් රස පොවා එහිදී ම අනුපාදා පරිනිබ්බාණයෙන් අමාමහ නිවන්පුර වැඩියහ.
තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා