විමාන වත්ථු කථා - 1
අඹ පුදා දෙව් සැප විදින උයන් පාලකයා.
බිම්බිසාර රජතුමාට අඹ කෑමේ ආශාවක් ඇති විය. එතුමා අඹ උයනේ පාලකයා කැඳවීය. ඔහු ආවේය. පාලකය, මේ අඹ අවාරේ නේද? ඇසී ය.
එසේය, දේවයන් වහන්ස. ඇයි ඔබතුමා එසේ අසා සිටියේ?
පාලකය, මට අඹ කෑමේ ආශාවක් ඇති විය. ඒ නිසා ඔබට ඊට අඹ ගෙනත් දෙන්න බැරිද?
දේවයන් වහන්ස, මේ අඹ අචාරය වුවත් මම අඹ පලගැන්වීමට උත්සාහ කරන්නම්. හැබැයි ටික දිනක් ගත වෙයි.
හා කමක් නෑ. වෑයම් කර බලන්න.
හොඳමයි දේවයන් වහන්ස. ඔහු කීවේය. අඹ උයනට ගියේ ය. පීදෙන්න ආසන්න තත්වයේ ඇති අඹගස් කීපයක සහමුල පස් අස් කෙළේ ය. බොරළු මිශ්‍රසස් දැම්මේ ය. දිය බත් කෙළේය. ටික දිනක් ගත විය. ගසේ කොළ දව වෙනස් විය. යළි බොරළු පස් අයින් කෙළේ ය. නොයෙක් පොහොර වර්ග මිශ්‍ර කළ පස් දැම්මේය. දිය වත් කෙළේය. තවත් දින කීපයක් පසු විය. එම ගස් අලුත් දළු කොළ දැමීය. දවස් කීපයකින් මල් හටගත්තේය. ඉන් එක ගසක අඹ ගෙඩි හතරක් හැදිණි. එය ඔහු සතුන්ගෙන් ආරක්ෂා කෙළේය. ඒ අඹ පැසිණි. කෑමට සුදුසු තත්වයට ආවේ ය. අඹ උයන් පාලකයා සතුටට පත් විය. අඹ ගෙඩි සතර ගෙන රජතුමා බැහැ දැකීමට පිටත් විය.
වැඩි දුරක් නොගියේ ය. පිඬුසිඟා වඩින මුගලන් මහ රහතන් වහන්සේ මුණගැසිණි. ඔහු කල්පනා කරන්නට විය. මා මහන්සියෙන් පල ගන්වාගත් මේ අඹ මහ රහතන් වහන්සේට පූජා කළොත් මට එලොව දී බොහෝ සම්පත් ලැබෙයි. මේ දුකින් මිදෙයි. රජතුමාට ගෙන ගොස් දීමෙන් එලොව තබා මෙලොවත් ලැබෙන යහපතක් නැත. ලැබෙන්නේ පැසසීම පමණෙකි. එතුමාට අඹ නුදුන්න හොත් මට මරණය හිමිවෙයි. කමක් නෑ. මේ දුක් විඳිනවාට වඩා අඹ පුදා මිය ගොස් එලොව සැප විඳිමි. අඹ උයන් පාලකයාට සිතිණි. ඔහු අඹ හතර මුගලන් මහ රහතන් වහන්සේට පූජා කළේය. රජතුමා බැහැ දැකීමට ගියේය.
උයන් පල්ල, ඔබ අඹ ගෙනාවද?
මට අනුකම්පා කරන්න දේවයන් වහන්ස.
ඒ ඇයි?
එවිට ඔහු සිදු වූ සියල්ල කීවේය.
රජතුමා කෝප නොවීය. රාජ පුරුෂයකු ගෙන්වීය. මේ අඹ උයන් පාලකයා කියන්නේ, සැබෑවක් දැයි සොයා බලන්න අණ කෙළේ ය.
රාජ පුරුෂයා වේළුවනාරාමයට ගියේ ය. ඒ වන විට මුගලන් මහ රහතන් වහන්සේ අඹ ගෙඩි හතර බුදුන් වහන්සේට පිළිගන්වා තිබිණි. බුදුන් වහන්සේ එක අඹ ගෙඩියක් සැරියුත් මහ රහතන් වහන්සේට ද එකක් මුගලන් මහ රහතුන් වහන්සේ ද තව එකක් කාශ්‍යප මහ රහතන් වහන්සේට ද ප්‍රදානය කළ සේක. ඉතිරි අඹය බුදුන් වහන්සේ වැළඳූ සේක.
රාජපුරුෂයා එය දැනගත්තේය. ආපසු ආවේය. රජතුමාට දැන්වීය. රජතුමා එය අසා මේ අඹ උයන්පල්ලා නැණවත් ය. එඩිකරය. ජිවිතය ගැන නොතකා කුසල් කෙළේය කීවේය. බොහෝ සතුටට පත් විය. පාලකය දැන් ඔබ අඹ පුදා කුසල් පුරවාගෙන ඇත. එබැවින් මට ද පින්දෙව කීවේය.
දේවයන් වහන්ස, පින් අනුමෝදන් කරගනු මැනවි ඔහු කීය. පින් දුන්නේය. පසුව රජතුමා දැතොප උයනට යව් යැයි අණ කෙළේය. ඔහු ගියේ ය. එදින රාත්‍රියේ අඹ උයපාලකයා මිය ගියේ ය. තව්තිසාවේ උපන්නේය.ර විමනක් පහළ විය. බොහෝ දිව්‍ය සම්පත් ද ලැබිණි.
දේව චාරිකාවේ යෙදී උන් මුගලන් මහ රහතන් වහන්සේට මේ දිව්‍ය පුත්‍රයා හමුවිය. ඔබ මෙවන් දිව ඉසුරු ලබා ගැනීමට කළ කුසල් කවරේදැයි විමසූ සේක.
දෙවියා පෙර කල කළ අඹ දානය විස්තර කෙළේය.
මුගලන් මහ රහතන් වහන්සේ එය අසා පැහැදී ඔහුට ධර්ම දේශනාවක් කළ සේක. යළි චාරිකාවේ යෙදුණු සේක.
කරුණු උපුටා ගැනිම : හල්ලියේ කරුණාතිලක මහතා විසින් රචිත 'පිනෙන් ලබන දෙව් විමන්' කෘතියෙනි.
ලිපිය සැකසුම : දාන පාරමිතා
තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා 🙏