Thursday, September 21, 2023

කූට වෙළෙන්දාට හා මව්පියන්ට පහර දුන්නන්ට වන විපාක.


ප්‍රේත වත්ථු කථා - 03

කූට වෙළෙන්දාට හා මව්පියන්ට පහර දුන්නන්ට වන විපාක.

එක් ප්‍රේතයෙක් බොල් වී හිස විසුරුවා ගනී. එක් ප්‍රේතයෙක් මුඟුරෙන් සිය හිස බිඳගනි. එක් ප්‍රේතියක් සිය මස් ලේ අනුභව කරයි. එක් ප්‍රේතියක් අසූචි අනුභව කරයි. මෙය දුටු මුගලන් මහ රහතන් වහන්සේ අසූචි කන ප්‍රේතියගෙන් තොපි කුමන පව්කොට මෙසේ දුක් විඳින්නාහු දැ යි ඇසූ සේක.

පෙර කූට වෙළෙන්දෙක් හැල් වී (බොල්) රත් හැල් වී සමග මිශ්‍ර කොට හොර මිණුම් ක්‍රම ද ඇතිව වෙළදාම් කරමින් සිට කළුරිය කල පසු මේ පළමු ප්‍රේතයා වූ බව කීවා ය. මේ වෙළෙන්දා ගේ පුත් තෙමේ මව හිත මිතුරන්ට සංග්‍රහ නො කරන්නී ය කියා යෝග්‍ය හමක් ගෙන තම මවගේ හිසට පහර දුන්නේ ය. ඔහු කළුරිය කොට විත් මේ කියූ දෙවන ප්‍රේතයා විය. ඒ මවට ගැසූ පුතාගේ බිරිඳ හැම දෙනාටම ආහාර පිණිස තිබූ මස් හොරාට කා පසුව ඇසූ කල්හි තමා එසේ නො කෑ බව ද කියා ඉදින් “මා විසින් ඒ මස කෑවේ නම් භවයක් භවයක් පාසා තමාගේ පිටෙහි මස් සිඳගෙන කන්නියක් වේවා” යැ යි බොරුවට දිවුරා ශාප කළා ය. ඒ හේතුවෙන් ඇය සිය මස් ලේ අනුභව කරන තෙවෙනි ප්‍රේතිය විය. ඒ පුතාගෙන් ගුටි කෑ මව වූ මා යම් යම් දේ ඉල්ලා ගෙන ආ කල නැති බව කියා ඉදින් තියාගෙන නැති යැ යි කියන්නේ නම් උපනූපන් තැන අසූචි කන්නියක් ම වේවා යි කීවාය. ඒ හේතුවෙන් තමා කළුරිය කොට විත් මෙසේ අසූචි කන ප්‍රේතියක් වූ බව ඕ තොමෝ කිවා ය.

(ප්‍රේත වත්ථු අට්ඨ කථා-137 පිට)

තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා

Sunday, September 10, 2023

ශාසනායු ප්‍රශ්නය



ශාසනායු ප්‍රශ්නය
මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණෝ ආනන්ද තෙරුන්ට පන්දහසක් අවුරුදු සද්ධර්මය පවතින්නේය යයි වදාළහ. එසේනම් සුභද්‍ර පරිබ්‍රාජකයාට පිරිනිවන් පාන සමයෙහි “මාගේ ශාසනයෙහි භික්ෂුහු මනා ලෙස ප්‍රතිපත්තියෙහි යෙදෙන්නේ නම් රහතුන්ගෙන් ලෝකය හිස් නොවෙයි.” යයි වදාළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුපියාණෝ “ආනන්දයෙනි, කාන්තාවන් ශාසනයේ පැවිදි නොවුයේ නම් දස දහසක් අවුරුදු සද්ධර්මය පවතියි. දැන් සද්ධර්මය පවතින්නේ අවුරුදු පන් දහසක් පමණි” යයි වදාළහ. මෙහිදී බුදුපියාණෝ ශාසනයේ විනාශය ද, ඉතිරිවූ ශාසනායුෂය ද දෙවි මිනිසුන්ට වදාළහ. උපමාවකින් කිවහොත් යම්කිසි විපතකින් වස්තුව විනාශ වූ මිනිසෙක්” මාගේ මෙපමණ වස්තුව නැතිවී ගියේය. ඉතිරුවූ වස්තුව මෙපමණය” යයි පෙන්වා කියන්නාක් මෙනි. එසේම සුභද්‍ර පරිබ්‍රාජකයාට “මාගේ භික්ෂුහු මනා ලෙස වාසය කරන්නේ නම් (සීල සමාධි ප්‍රඥාවෙහි හැසිරෙන්නේ නම්) ලෝකය රහතුන්ගෙන් හිස් නොවෙයි” යයි නිර්මල වූ ශාසන ප්‍රතිපත්තිය දක්වා වදාළහ. සිහිල් ජලයෙන් පිරුණු විලක් ඇත්නම් නිරතුරු වසිනා වැස්සෙන් එය නිතර පිරේ නම් ඒ විලේ වතුර නොසිඳෙන්නාක් මෙනි. ඇවිළෙන ගිනි ගොඩකට නැවත නැවතත් වියළි තණකොළ, ගොම වැරටි දැමූ විට වඩ වඩාත් එය ඇවිළෙන්නාක් මෙනි. නොනිමෙන්නාක් මෙනි. මෙසේ සම්බුදු සසුන ප්‍රතිපත්තිය මුල් කර පවතියි. බබළයි.
බුදු පියාණන් පිරිනිවී කාලයක් යන තුරු භික්ෂුහු රහත් බව ලබති. කල්‍ යාමේදී එසේ නොහැකිව අනාගාමී වෙති. සකෘදාගාමී වෙති. සෝවාන් වෙති. අවසන් සෝවාන් ලාභියාගේ ජීවිතය ක්ෂය වීමෙන් ධර්මය අවබෝධ කර ගැනීම හෙවත් අධිගමනය අතුරුදහන් වෙයි. පසුව භික්ෂුහු භාවනා කර මාර්ගඵල උපදවා ගත නොහැකිව සීලය පමණක් රක්ෂා කරති. ඉන්පසුව ශික්ෂාපද පමණක් රකිති. කල්‍ යාමේදී කුඩා කුඩා ශික්ෂාපදද කඩ කරති. වරද දුටු කල එකිනෙකාට චෝදනා නොකරති. මෙසේ සමථ විදර්ශනා ආදී භාවනා නොකරන සිල් පිරිසිදු නොකරන භික්ෂුහු ඇති වෙති. ඔවුන්ගේ ශිෂ්‍ය හිමිවරුද සිල් රැකීමට භාවනා කිරීමට අසමත් වෙති. එහෙත් උපසම්පදාව ලබති. පාපයට බැස සිටින එම භික්ෂුහු ධර්මයට කන් නොදෙන අතර ධර්මය තේරුම් නොගනිති. නූගත යුතු දේ උගන්නා අතර ධර්මය උගත යුතු බව, භාවිතා කළ යුතු බව නොසලකති. ශාසනය ලිහිල් කොට ගෙන සිව්පසය වැඩි කර ගැනීම පිණිස පිළිපදිති. ඔවුන්ගෙන් අන්තිම භික්ෂුවගේ ජීවිතය ක්ෂය වීමෙන් ප්‍රතිපත්තිය හෙවත් ධර්මය පිළිපැදීම අතුරුදහන් වෙයි.

අනාගතයේ රජදරුවෝ, ඇමතිවරු සහ රටවැසියෝ අධර්මිෂ්ඨ වෙති. කලට වැසි නොලැබෙයි. ගොවිතැන් පාලු වෙයි. සිවුපසය දිය නොහැකි වෙයි. ක්ලාන්ත වන භික්ෂුහු බුද්ධ වචනය උගන්වන්නට අසමත් වෙති. තමාටත් මතක තබා ගැනීමට අසමත්ව අටුවා හැර පාලි ධර්මය දරති. පාලි ධර්මයද දැරිය නොහැකි වෙති. අභිධර්ම පිටකය පිරිහෙයි. විනයත් පිරිහෙයි. යම්කිසි දිනෙක ධර්මිෂ්ට රජෙක් දහසින් බැඳි පියල්ලක් ඇතෙකු පිට තබා “බුදු දහමින් සතර පදයක බණ කියා මේ සියලු වස්තුව ගන්න” යයි තුන්වරක් නුවර වටේ යවාත් ධර්මය දන්නා කෙනෙක් නොලදින් මහා ශෝකීව හඬයි. ඒ දවස පර්‍යාප්තිය හෙවත් ධර්මය ඉගෙනීම අතුරුදහන් වෙයි.
කල්‍ යාමේදී මහණහූ කුඩා කහ පාට රෙදි කැබැල්ලක් හිසේ, අතේ හෝ බෙල්ලේ බැඳගෙන “අපි උපසම්පන්නයම්හ” යයි කියමින් අඹුදරුවන් සමඟ කෘෂිකර්මයෙන්, වෙළෙඳාමෙන් ජීවත් වෙති. මිනිස්සු ඒ දුසිල් පවිටු මහණුන්ට කුසල් පතා සාංඝික කර දානය දෙති. එයද අනුසස් සහිතය. පසුව නොයෙක් වැඩවල යෙදෙන්නාවූ ඔවුහු මේ කහකඩින් වැඩක් නැතැයි එය කඩා දමති. ඒ දවස මහණ වේෂය අතුරුදහන් වෙයි.

බුදුපියාණන්ගේ ශාරීරික ධාතු පන්දහසක් අවුරුදු පවතියි. පූජා සත්කාර නොලබන්නා වූ ධාතුන් වහන්සේලා බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් පූජා සත්කාර ලැබෙන තැනට අහසින් වඩිති. කල් යාමේදී සෑම තැනම පූජා සත්කාර නොලැබෙයි. එකල ලෝ වැඩ පිණිස විසිර පවත්නට අධිෂ්ඨාන කළ සියලු ධාතුන් වහන්සේ මහ බෝමැඩට වැඩ, බුද්ධ රූපයක් මැවෙයි. ඒ දකින දෙව් බඹහු “අද බුදුපියාණන්ගේ ධාතු පරිනිර්වාණය සිදුවන්නේය” යයි මහත් සංවේගයට පැමිණ නොයෙකුත් පුද පූජා පවත්වති. එවිට බුදුපියාණන්ගේ අධිෂ්ඨාන බලයෙන් එයින් නැගෙන ගින්නෙන් හැම ධාතු ආදාහනය කරයි. ඒ දවස ශාසනායුෂය ගෙවෙයි.

Saturday, September 9, 2023

සභිය මහරහතන් වහන්සේ

අසු මහා ශ්‍රාවක වහන්සේලා - 80
(80 වන ලිපිය )


සභිය මහරහතන් වහන්සේ.

 මෙයින් අවුරුදු කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා “ අනාගත යෙහි රහත් බව ලබා සසර දුකින් මිදෙන්නෙමි” යි ප්‍රාර්ථනා කළහ. වෙනත් පින්කම් ද කළ ඒ කුල පුත්‍ර තෙම එයින් චුතව සසර බොහෝ කාලයක් සැරිසරමින් සිට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල ගෙයක උපන්නේ ය. එම කුල පුත්‍රයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුතුව පාවහන් සගලක් උන්වහන්සේට පුජා කෙළේ ය. අනතුරුව එයින් චුතව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එම බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි තවත් කුලපුත්‍රයන් සය දෙනකු හා සමග කැටිව පැවිදිව කර්මස්ථාන රැගෙන වනයෙහි වාසය කරනුයේ මාර්ගඵල අවබෝධයක් ලබා ගත නොහැකි එක්තරා පර්වතයකට නැඟ මහණ දම් රැක්කාහුය.

එම තෙරවරුන් සත් දෙනාගෙන් එක් නමක් රහත් භාවයට පැමිණ පිරිනිවන් පෑ සේක. තවත් නමක් අනාගාමී ඵලයට පැමිණ පුක්කුසාති රජ නමින්ද, එක් අයෙක් කුමාර කස්සප නමින් ද, එය අයෙක් දාරුචීරිය නමින් ද පස්වන්න සභිය නමින් ද උත්පත්ති ලැබූහ. සභියගේ මව ක්ෂත්‍රිය කුමාරිකාවකි, ඇගේ දෙමව්පියන් ඇයව ශාස්ත්‍ර හැදෑරීම සඳහා එක්තරා පරිබ්‍රාජකයකු වෙත යැවූහ පරිබ්‍රාජකයා ඇය සමග වරදවා හැසීරීමෙන් කුමරිය ගැබිනියක වුවාය. ඇය ගැබිනි වූ බව දුටු මව් පියෝ ඇයව ගෙයින් පන්න දැමූහ. ගෙයින් පිටව ගිය ඇය මගදී දරුවකු වැදුවාය. ඔහු සභික නමින් ප්‍රසිද්ධ විය. හෙතෙම වැඩි වියට පැමිණ පරිබ්‍රාජකයන්ගෙන් පැවිද්ද ලබා නොයෙක් වාද ඉගෙන නුවර දොරටුව ළඟ ආශ්‍රමයක් තනා ගෙන එහි වාසය කරමින් ක්‍ෂත්‍රිය කුමාරවරුන්ට ශිල්ප ශාස්ත්‍ර ඉගැන් වීමෙහි යෙදී සිටියේ ය. ඔහුගේ හිතවත් එක්තරා දේවතාවෙක් ඔහු වෙතට පැමිණ ප්‍රශ්න විස්සක් කියාදී මේ ප්‍රශ්න විසඳන්නට හැකි අයකු වෙත ගොස් ඔහුගේ ශ්‍රාවකයකු වන්නැයි පැවසිය

සභිය පරිබ්‍රාජක තෙමේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමෙහි නිරත වුයේ පළමු කොට එකල මහත් ප්‍රසිද්ධියට පත්ව සිටි පූරණ කස්ස මක්කලි සෝසාල, අජිත කේක්සකම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨි පුත්ත, නිගණ්ඨනාථපුත්ත යන මොවුන් කරා ගොස් එස් ප්‍රශ්න විමසීය. එහෙත් ඒ එක් අයෙකුටවත් ප්‍රශ්න විසදීමට තබා එ අර්ථයවත් ප්‍රකාශ කළ නොහැකි විය. අවසානයේ දී ඔහු අ බුදුරජාණන් වහන්සේ කරා පැමිණ සතුටු සාමීචියෙන් පසු ” සවාමීනී, ප්‍රශ්න විචාරීම සඳහා පැමිණියෙමි, ඔබ වහන්සේ පිළිතුරු දෙන සේක්ද " යි විචාලේය, " සහිය තොප යම් කිසි පැනයක් දැන ගන්නා පිණි පැමිණියේ නම් ඒ ප්‍රශ්න අසව, මම පිළිතුරු දෙමි' යි බුදුරජාණ; වහන්සේ වදාළ සේක. සභිය පරිබ්‍රාජකයා එයින් පසු ප්‍රශ්න ඇසීද බුදුරජාණන් වහන්සේ ඒවා විසඳා වදාළ සේක. ප්‍රශ්න විසඳු කල් සභිය පරිබ්‍රාජකයා " සවාමීනි, මම බුදුරජාණන් වහන්සේ ද, ධර්මය සංඝයා ද සරණ යමි, ඔබ වහන්සේ ගේ ශ්‍රාවක බවට පැමිණ පැදී වන්නෙමි” යි කී ය. අන්‍යතීර්ථකයකු සසුන් ගත වූයේය.

විශේෂය සලකා සභිය පරිබ්‍රාජකයාට එහි භික්ෂු භාවයෙන් ද පැවිදි උපසම්පදාව දුන් සේක. එසේ පැවිදි උපසම්පදාව ලැබූ සභිය තෙරුන් වහන්සේ හුදකලාවුයේ කෙලෙස් තවන වීර්ය ඇත්තේ නොබෝ කලකින් සියලු කෙලෙසුන් නසා රහත් වූ ස්ත. සභිය මහරහතන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරෙහි එක් මහා ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් වූ සේක.

තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා 🙏

Sunday, August 20, 2023

උත්තර මාතු ප්‍රේත වස්තු

ප්‍රේත වත්ථු කථා - 01

ප්‍රේත ලෝකයේ දොරටුව විවර වන්නේ මෙලෙස ය

" නුඹ මනුස්ස ලෝකයේ දී සිත, කය, වචනය මෙහෙයවා මොන වගේ පාපයක් ද කර ගත්තේ. ගංගාවේ ජලය ලේ බවට හැරෙන්නට තරම් විපාකයක් ලැබුණේ මොන වගේ පාපයක් නිසා ද?"

ප්‍රේත ආත්මයක් ලබා උපදින්නේ මිනිස් ලොවෙහි දී කරන ලද බලවත් අකුසල කර්ම හේතු කරගෙන යි. ඇතැම් විට ඉතාම බලවත් අකුසල කර්ම හේතුවෙන් සමහර දෙනා නිරයේ ඉපදී එහි බොහෝ කලක් පැසී එයින් චුතව ප්‍රේත ලෝකයේ උපදී. සමහර දෙනා මිනිස් ලොවින් චුත වූ සැණින් ප්‍රේත ලෝකයේ ඉපදේ.

යම් කෙනෙක් උපත ලබන විට ඔහුට ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය යි. එය කර්ම විපාකයකින් ලැබෙන්නක්. ඒ තුළින් ඔහුට සිදුවන්නේ තම තමන්ට කර්මානුරූපව සාදා දුන් වේදනා විදීමට යි.

ප්‍රේත ලෝකය යැයි සඳහන් වූවාට මිනිස් ලොව හෝ තිරිසන් සතුන්ට මෙන් වෙන් වූ ලෝකයක් ප්‍රේතයන්‍ට නොමැත. ඒ ප්‍රේතයෝ පර්වත පාමුල, හිස් නිවාසවල, පාළු ස්ථානවල, සොහොන් පිටිවල ඕපපාතික උපත උරුම කර ගනිති. එනිසා ප්‍රේතයන්ට උපදින්නට නිශ්චිත ස්ථානයක් නැත.

ප්‍රේත ලෝකයේ සැඟවුණ තොරතුරු අපට කියා දෙන්නේ ප්‍රේත වස්තුව තුළින්. මිනිසා විසින් දූෂිත සිතින් යුතුව සිත, කය, වචනයෙන් පව් කරන ලදුව එකී සා පිපාසයන්ගෙන් නිර්මිත වූ දුක්ඛිත ජීවිත ගැන අනුවේදනීය තොරතුරු හෙළි වෙයි. ඔවුන් ඉතා දුක් සහිත ලෙස සෙම්, සොටු, ලේ සැරව ආදිය අනුභව කරමින් ස්වකීය සා පිපාසව නිවා ගන්නට වෙහෙසෙන අයුරු ඉතා සෝචනීය ය. එම තොරතුරු දකින විට අකුසල කර්මයන් කෙරෙහි බලවත් බියක් මෙන්ම පිළිකුලක් ඇතිවීම නිතැතින් ම සිදුවේ.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පා මාස තුනක් ගිය තැන ප්‍රථම සංගායනාව පැවැත්වීමව මහාකාශ්‍යප තෙරුන් වහන්සේ භික්ෂු පිරිසක් සමග කොසඹෑ නුවරට නුදුරු එක් ආරණ්‍යයක වැඩම කර සිටියහ.

ඒ කාලයේ රට පාලනය කළ උදේනි රජතුමාගේ එක්තරා ඇමැතිවරයෙක් මිය ගියේ ය. ඒ ඇමැතිවරයාගේ උත්තර නම් පුත්‍රයා රජතුමා විසින් ඇමැතිවරයා කළ තනතුරට ම පත්කරනු ලැබුවේ ය. උත්තර ඇමැතිවරයා දිනක් නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය දේ සෙවීමට නගරයට ගියේ ය. ඔහු මහාකාශ්‍යප රහතන් වහන්සේ වැඩ සිටින කුටිය වෙත පැමිණියේ ය. උන්වහන්සේගේ සරල දිවියට පැහැදී උන්වහන්සේ සමඟ කතාබහ සිදු කළා. තෙරුන් වහන්සේ උත්තරට ධර්මය දේශනා කළ අතර, ධර්මය අසා සිත පැහැදී “ස්වාමිනි, මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට දින මාගේ නිවසට දානයට භික්ෂූන් වහන්සේලා සමඟ වඩින සේක්වායි!” ආරාධනා කළේ ය.

ඔහු පසුදින තෙරුන් වහන්සේලාට ප්‍රණීතව දානය සැකසුවේ ය. තෙරුන් වහන්සේලා වඩින පෙරමගට ගොස් පාත්‍ර රැ‍ගෙන උන්වහන්සේලා ගෞරවයෙන් නිවසට කැඳවාගෙන ආවේය. තෙරුන් වහන්සේලා වඩා හිඳුවා ප්‍රණීත දානය ගෞරවයෙන් පූජා කළේ ය. ඉන්පසුව අනුමෝදනා දේශනාව දොහොත් මුදුනේ තබාගෙන ශ්‍රවණය කළේ ය.

තෙරුන් වහන්සේලා නැවත පිටත් වී වඩින විට ඔහු නුවර අවසානය තෙක් උන්වහන්සේලා සමඟ ගමන් කර නැවත ස්වාමින් වහන්සේලාට වන්දනා කර “ස්වාමිනි, නිතර නිතර මගේ නිවසට දානය සඳහා වඩින සේක්වායි!” නැවත ආරාධනා කළේ ය. උන්වහන්සේලා නිහඬව ඒ ආරාධනය පිළිගත්හ. ඉතාමත් සොම්නස් සිතින් නැවත නිවස කර පැමිණියා. ඔහු එදා පටන් ආර්ය මහා සංඝරත්නය ඉතා ගෞරවයෙන් ඇසුරු කළේ ය. ඒ අවවාද අනුව කටයුතු කළ නිසා උත්තර තරුණයා නොබෝ කලකින් සෝවාන් ඵලයට පත්විය. ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඔහු විහාර ඉදි කළේ ය. තමාගේ ලේ ඤාතීන් ධර්මය කෙරෙහි පහදවා ඔවුන්ටත් තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව ඇති කළේ ය.

එහෙත් මේ තරුණයාගේ මව ඉතාමත් මසුරු ය. අකීකරු ය. තුනුරුවන් කෙරහි කිසිදු ශ්‍රද්ධාවක් නැති අහංකාර ස්ත්‍රියකි. ඇය තම පුතා නිතර පින්කම් කරනවාට විරුද්ධ වුණි. දොස් නඟමින් සාප කළා ය.

දිනක් ඇය බොහෝ සේ කිපුණි. ඇය තම පුතාට සාප කරමින් කියා සිටියා ඔබ මේ මුඩු මහණුන්ට දානය දෙන්නේ මාගේ කැමැත්ත නො විමසා යි. මේ දේට මම අකමැතියි. නුඹ මේ දෙන ආහාර පරලොව දී රුධිරය බවට පත්වේවා! කියා සාප කළා.

නමුත් උත්තර තරුණයා දිනක් විහාරයක් කර පූජා කරන අවස්ථාවේ දී මේ මව ඒ කෙරෙහි සතුටු සිත උපදවාගෙන මොණර පිල් කළඹක් පිදුවා ය. කාලයකට පසු ඇය මියගොස් ‍ ප්‍රේත ලෝකයේ භයානක පෙනුවක් ඇති ප්‍රේතියක් ලෙස ඕපපාතික ව උපත ලැබී ය.

දිනක් එක් භික්ෂූන් වහන්සේ නමක් දවල් කාලයේ භාවනාවෙන් ගත කිරීමට සිතා ගං තෙරට වැඩම කළහ. එව්ලෙහි ඒ ප්‍රේතිය තෙරුන් වහන්සේ වෙතට පැමිණියා. ඇගේ කොණ්ඩය බොහෝ දිගය. කෙස්වලින් තමයි මේ ප්‍රේතිය සිරුර වසාගෙන සිටියේ ඒ තෙරුන් වහන්සේට ඇය මෙසේ කියා සිටියා ය.

“ස්වාමිනි, මම දැන් මියගොස් පනස් පස් අවුරුද්දක් වෙනවා. මේ තාක් මම කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන දැනීමක් නැහැ. අනේ ස්වාමිනි මම ගොඩක් පිපාසයෙන් ඉන්නේ. මට පැන් ටිකක් ඕන පානය කරන්න. මට පැන් ටිකක් ලබාදෙන සේක්වා!” යි ඉල්ලා සිටියා.

“මෙතැනින් ගලා බසින්නේ සීතල පැන් ඇති ගංගාවක්. හිමාල කන්දේ සිටයි මේ ගඟ ගලන්නේ. මේ ගඟෙන් පැන් අරගෙන පානය කරන්න. ගත, සිත නිවා ගන්න.”

“අනේ ස්වාමිනි, මම පැන් ටිකක් බොන්න ඕනේ කියා ගඟට බසිනවා තමයි. එවිට ඒ ජලය ලේ බවට හැරෙනවා. මම ඒ නිසයි පැන් ටිකක් ඉල්ලුවේ.”

“නුඹ මනුස්ස ලෝකයේ දී සිත, කය, වචනය මෙහෙයවා මොන වගේ පාපයක් ද කර ගත්තේ. ගංගාවේ ජලය ලේ බවට හැරෙන්නට තරම් විපාකයක් ලැබුණේ මොන වගේ පාපයක් නිසා ද?”

“ස්වාමිනි, මට හිටියා උත්තර කියලා පුතෙක්. හරිම ශ්‍රද්ධාවන්තයි. තෙරුවන් සරණ ගිය උපාසකයෙක්. ඔහු මම අකමැති වෙලා සිටිද්දී ම ශ්‍රමණයන් වහන්සේලාට දන් දුන්නා. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස පිදුවා. එවිට මසුරුකමෙන් සිටි මම ඔහුට නින්දා අපහාස කළා. මම කිව්වා උඹ මම අකැමැති ව සිටිද්දී නේද ඔය ශ්‍රමණයන් වහන්සේලාට සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදිය පූජා කරන්නේ. උත්තර, පරලොව දී නුඹට මේ සියල්ල ම ලේ බවට පත්වේවා!” කියා කළ සාපය නිසයි ගංගා ජලය මට ලේ බවට පත් වන්නේ.

ඇය කෙරෙහි අනුකම්පාව උපදවාගත් මේ තෙරුන් වහන්සේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට පැන් පූජා කළහ. පිඬුසිඟා වැඩ දානය ද පූජා කළහ. සිවුරු පූජා කළහ. ඒ පින් ප්‍රේතියට අනුමෝදන් කළහ. විපාක ලෙස ඒ ප්‍රේතියට දිව්‍ය සැප ලැබුණි. ඇය ඒ සළුපිළි පොරවාගෙන තෙරුන් වහන්සේ ඉදිරියේ පෙනී සිට වන්දනා කළා ය.

ඒ තෙරුන් වහන්සේ මෙම පුවත සිව්වනක් පිරිසට කියා සිටියහ. දානයේ විපාක කෙ තරම් ද කියා වැටහේ. ඒ පුවත ඇසූ බොහෝ දෙනා මසුරුමළ දුරු කොට දස කුසල් කරමින් ධර්මයේ හැසිරුණ හ.

සැමට තෙරුවන් සරණයි ..!
දාන පාරමිතා 🙏

Saturday, August 19, 2023

දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.


දේවදත්ත ප්‍රවුජ්‍යා ප්‍රශ්නය.

මිලිඳු රජු -

ස්වාමීනිදේවදත්ත පැවිදිව සංඝ භේදය කර කල්පයක් මුළුල්ලෙහි අවීචි මහා නරකයෙහි පැසෙන බව දැන දැනත් ඔහු පැවිදි කළේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජදේවදත්ත පැවිදි නොවී ගිහිව සිටියේ නම් බොහෝ අකුසල් කර කල්ප කෝටි ගණන් නරකයෙන් නරකයට වැටෙමින් අප්‍රමාණ දුක් විඳින බව දිවැසින් දැක තමාගේ සසුනෙහි පැවිදි වූ අයට දුක් කෙළවර වන නිසා කරුණාවෙන් ඔහු පැවිදි කළ සේක. බලවත් පුරුෂයෙක් තමාගේ නෑයෙකුට හෝ මිතුරෙකුට රජ කෙනෙකුගෙන් දැඩි දඬුවමක් ලැබුණු විට කරුණු කියා දඬුවම සැහැල්ලු කර දෙන්නාක් මෙන් ඔහුට උරුම වීමට තිබූ බලවත් දුක් සැහැල්ලු කළ සේක. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් මහත්වූ රෝගයක් ඖෂධ බලයෙන් අඩුකර දෙන්නාක් මෙන් ඔහුට විඳීමට තිබූ බලවත් දුක් අඩුකර දුන් සේක.

ඒ දෙව්දත් තෙරද පෙර වෛරය නිසා බුදුපියාණන් මැරීමට නොයෙක් උත්සාහ ගෙන ඒ නොහැකිවූ තැන සංඝ භේදයද කර මියයන මොහොතෙහි බුදුගුණ සිහි කළේය. “ස්වාමීනිමාගේ ලොව්තුරා බුදුපියාණෙනිඔබවහන්සේට අපරාධ කර මා කෙරෙහිද අංගුලිමාල කෙරෙහි දැක්වූනාලාගිරි ඇත්‍ රජ කෙරෙහි දැක්වූරාහුල කුමරු කෙරෙහි දැක්වූ කරුණාව දක්වනු මැනවි. මම සුදොවුන් මහ රජුට බෑණනුවන් වීමි. යශෝධරාවන්ට සහෝදරයා විමි. රාහුල කුමරුවන්ට මාමා වීමි. මේ නිසා මස් නරක (නිරා) දුකින් ගලවා ගත මැනව” යයි කියා බුදුන් සරණ ගියේය. මේ නිසා ඔහු මතු දිනක අවීචියෙන් මිදී සට්ඨිස්සර නම් පසේ බුදු කෙනෙක් වෙයි.

මහරජමෙසේ බුදුපියාණෝ ජල පහරට අසුව පහළ බලා යන දෙව්දත් උඩු ගඟ බලා හැරවූ සේක. අමාර්ගයට පැමිණි දෙව්දතුන් මාර්ගයට පැමිණ වූ සේක. ප්‍රපාතයක වැටී සිටි දෙව්දතුන්ට පිහිට වූ සේක.

අසු මහා ශ්‍රාවක වහන්සේලා - 1(පළමු ලිපිය)අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ


අසු මහා ශ්‍රාවක වහන්සේලා - 1
(පළමු ලිපිය)

අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ

සැදැහැ ධනයෙන් යුතු සිත් ඇති පින්වතුන් හට සඟරුවන කෙරෙහි ප්‍රසාදය බලවත් වීම පිණිස ලියැවෙන මෙය ගොයුම් බුදුසසුන සෝභමාන කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට උපහාර පූජාවක් වේවා.

මේ සේනිය බිම්බිසාර මහා නරේන්ද්‍රයන් විසින් ගෞතම බුදුසසුනට පූජා කළ සොඳුරු වේළුවනාරාම පින් බිමයි. රමණීය කඳු වළළු කිහිපයකින් වට වූ රජගහනුවර සුපිහිටි මේ ආරාමයෙහි තිලෝගුරු ගෞතම බුදුරජාණෝ වැඩ සිටිනා සේක.

එදින භික්ෂු පිරිස පිරිවරාගත් අප සම්මා සම්බුදු රජාණෝ එළිමහනේ වැඩහුන් මොහොතේ, වයෝවෘද්ධ වූ, වැවී ගිය කෙස් රැවුල් ඇති, වැහැරී ගිය සිවුරක් ගත දරා ගත්, ශාන්ත සංසුන් ඉරියව් ඇති භික්ෂුවක් වේළුවනාරාමය වෙත වැඩම කළේය. දුර සිටම සම්බුදු රජාණන් වහන්සේ දෙසට ම යොමු කරගත් නෙතින් යුතුව ගෞරවාන්විත ගමනින් පැමිණි මේ භික්ෂුව රැස්ව සිටි භික්ෂු පිරිස මධ්‍යයේ ම බුදුරජුන්ගේ සිරිපතුල් යුග අභියස සිරසින් වැඳ වැටිණි. ඒ ස්වර්ණ වර්ණ සිරිපා යුග්මය තම මුවින් සිඹින්නට පටන් ගති. නහර වැල් ඉල්පුණු තම දෙඅතින් ඒ සිරිපා යුග පිරිමදින්නට විණි.

එහි සිටි නවක භික්ෂූන් මුහුණට මුහුණ බලා ගත්තා විණා, කිසිවෙකුත් මේ උතුම් භික්ෂුව හඳුනා නොගත්තේය. මේ මහා මුනිඳුන්ව හඳුනාගත් භික්ෂූන් හදපිරි සතුටිනුත්, හටගත් ගෞරවයෙනුත් යුතුව බලා සිටියේ ය. සැබැවින් ම…. ශාස්තෘන් වහන්සේ කෙරෙහි මේ සා ප්‍රසාද ගෞරව දක්වමින් මෙහි වැඩසිටිනා මේ මහා මුනිඳුන් කවරෙක් ද?

‘මා හට බුදුසසුනක ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නා භික්ෂුව බවට පත් වීමේ භාග්‍යය උදා වේවා!’ යන අදහසින් මින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර අර්හත් සම්මා සම්බුදු රජුන්ගේ උතුම් බුදුසසුනේ පටන් පින් පුරමින් පැමිණි මහා පින්වන්තයාණෝ මේ මුනිඳු ය.

මින් අනූඑක් කල්පයකට පෙර පහළ වූ විපස්සී සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහාසඟරුවන විෂයෙහි සිය මුළු අස්වැන්න ම කැපකොට නව වරක් දන්පැන් පුදමින් මහා පින් රැස්කළ දානපතියාණෝ මේ මුනිඳු ය.

උතුම් තෙරුවනට සත්කාර කරමින් මනාකොට රැස්කළ පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් දෙව්මිනිස් දෙගතියේ ම සැප විඳිමින් පැමිණි මහා පින්වන්තයාණෝ මේ මුනිඳු ය.

කපිලවස්තු නගරයට ආසන්න ද්‍රෝණවත්ථු නම් ග්‍රාමයේ මහාසාර බ්‍රාහ්මණ කුලයෙක ජන්ම ලාභය ලැබ යොවුන් වියට පත් වෙද්දී ම අංග ලක්ඛණ ශාස්ත්‍රය ඇතුළු ත්‍රිවේදයේ කෙළ පැමිණි නැණවතාණෝ මේ මුනිඳු ය.

රාම, භෝජ, ධජ, ලක්ඛණ, මන්තී, සුයාම, සුදත්ත යන වයෝවෘද්ධ පඬිවරුන් සමඟ සුදොවුන් නිරිඳුන්ට දාව මහාමායා බිසොවුන්ගේ කුසින් උපන් පින්වන්ත කුමාරයාණන් හට නම් තැබීමේ මංගල්‍යයට සම්බන්ධ වීමේ භාග්‍යය ලද වාසනාවන්තයාණෝ මේ මුනිඳු ය.

ලුමිබිණී සල් උයනේදී මහා අසිරිය කරමින් මනුලොවට වැඩියා යැයි අසන්නට ලැබුණු ඒ සිඟිති කුමාරයාණන්ගේ රන්පැහැ සිරුරේ මහා පුරිස ලකුණු මොනවට පිහිටා තිබෙනු දැක මහත් සේ සන්තෝෂයට පත් වූයේ මේ මුනිඳු ය.

අනෙක් බමුණු පඬිවරු ‘මේ කුමරා ගිහිගෙයි විසුවහොත් සක්විති රාජ බවට පත් වන්නෙකි, ගිහි දිවිය අත්හළහොත් ලොව්තුරා සම්බුද්ධ රාජ බවට පත් වන්නෙකි.’ යනුවෙන් තීරණ දෙකක සිටියදී ‘නැත, මේ කුමාරයාණන් ඒකාන්තයෙන් ම ගිහි බන්ධන සිඳබිදලා දෙව්මිනිසුන්ව දුකින් එතෙර කරවන විමුක්ති දායකයාණන් වූ සම්මා සම්බුදු රජාණන් බවට පත් වන්නේ ම ය.’ යනුවෙන් නියතව ප්‍රකාශ කළ මහා පඬිවරයාණෝ මේ මුනිඳු ය.

එකුමරුන් හට සිද්ධාර්ථ යැයි නම් තැබූ දිනයේ ම ‘මම මතු ශ්‍රී සම්බුද්ධත්වයට පත් වන බුදුරජුන්ගේ දහම් අසා අමා සුවයේ සැනසෙන්නෙමි’ යි ගෘහ බන්ධන අත්හැර උතුම් පැවිද්දට පත් වූ විමුක්තිකාමියාණෝ මේ මුනිඳු ය.

විසිනව හැවිරිදි වියේදී මහාභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ මහබෝසතුන් හට අමා නිවන සොයමින් ආර්ය පර්යේෂණයේ යෙදෙන අවදියේ දුෂ්කර ප්‍රතිපදාවකට බැස ගත් කල්හී ඉතා ගෞරවයෙන් උපස්ථාන කළ ශ්‍රමණවරු පස්දෙනා අතරේ මූලිකයා ද මේ මුනිඳු ය.

වෙසක් පුන් පොහෝ දින දඹදිව බුද්ධගයාවේ නේරංජරා නදිය අසබඩ දසමර සෙන් පරදා ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ තම මංගල දම් දෙසුම පැවැත්වීම පිණිස සුදුස්සෝ කවරහු දැ යි ඤාණය මෙහෙයවන කල්හී ඒ සඳහා සුදුසු යැයි කියා සම්බුදු නේත්‍රයට හසු වූයේ වප්ප – භද්දිය – මහානාම – අස්සජී යන පින්වත් ශ්‍රමණවරු පිරිවරා සිටිනා මේ මුනිඳු ය.

ඇසළ මස පුන් පොහෝ දිනයේ පින්බර රාත්‍රියේ බරණැස් වන මිගදායේදී තිලෝගුරු ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒ පරම ගම්භීර චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත දහම්සක ප්‍රවර්තනය කරද්දී මේ මනුලොව එය ඇසීමේ භාග්‍යය උදා වූ පස්වග භික්ෂූන් අතරේ ප්‍රධාන භික්ෂුව වූයේ මේ මුනිඳු ය.

අහෝ! අසිරියෙකි… කරන ලද පුණ්‍ය ප්‍රාර්ථනය සඵල වෙමින් මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සතරවෙනි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දම් දෙසුමෙන් මේ මනුලොව යමෙක් පළමු කොට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගත් සේක් ද, සම්බුදු රජාණන් වහන්සේගේ ඒ පළමු ශ්‍රාවක රත්නය මේ මුනිඳු ය.

උතුම් සෝතාපන්න ඵලයට පත්ව ‘හේතූන්ගෙන් හට ගත් සියල්ල ඒ හේතු නැති වීමෙන් නැති වී යන්නේ ය’ යන දහම් ඇස ලබනා මොහොතේ (අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ) “භවත් කොණ්ඩඤ්ඤයෙනි, ඔබ ඒකාන්තයෙන්ම මේ දහම අවබෝධ කළා” යනුවෙන් ශාස්තෘන් වහන්සේ විසින් උදාන වාක්‍යයක් පහළ කළේ ද මේ මුනිඳුන් අරබයා ය. මේ ලෝකයට අනුත්තරීය පින්කෙත වූ ආර්ය මහා සංඝරත්නයේ පහළ වීම සිදුවූයේ කොණ්ඩඤ්ඤ නම් මේ මුනිඳුන්ගේ ධර්මාවබෝධයත් සමඟ ය.

ශාස්තෘන් වහන්සේගේ උදාන වැකිය නිසාවෙන් මේ මුනිඳුන්ව එදා සිට හැඳින්වූයේ “අඤ්ඤා කොණ්ඩඤ්ඤ” යන නාමයෙනි. අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මුනිඳුන්ගේ දිවිය සැබැවින්ම අසිරියකි. බරණැස් වන මිගදායේදී ම මංගල දම්දෙසුමෙන් සත් දිනකට පසු සම්බුදු මුව මඬලින් දේශනා කළ අනත්ත ලක්ඛණ දෙසුම අසා උන්වහන්සේ උතුම් වූ අර්හත්වයට පත් වූ සේක. ඒ අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ යනු මේ බුදුසසුනේ පැවිදිව වැඩිම කලක් ගත කළ චිරරාත්‍රඥ භික්ෂුව හෙවත් මේ බුදුසසුනේ වැඩිමහල් ම භික්ෂු රත්නය යි.

උන්වහන්සේ බොහෝ ප්‍රිය කළේ මිනිසුන්ගෙන් වෙන් වූ විවේකී වන සෙනසුන්වලටයි. ඒ ප්‍රියභාවයටත් වඩා පිරිසෙන් වෙන්ව හුදෙකලා වීමට හේතුවක් උන්වහන්සේට පෙනෙන්නට විය. පැවිදි වූ පිළිවෙළට ගරු සත්කාර දැක්වීම භික්ෂූන්ගේ පිළිවෙතයි. එහෙත් සසරේ පුරන ලද මහා පින් ඇතිව බුදුරජුන්ගේ අග්‍රශ්‍රාවක බවට පත් වූයේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ය. දම්සභා මණ්ඩපයට රැස්වන භික්ෂූන් අතරේ ශාස්තෘන් වහන්සේට පසු මූලාසන පැණවෙන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ය. අපගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේ වැඩසිටිද්දී එම මූලාසනවල වැඩ සිටීමට සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා හැකිළෙති, එසේ වැඩහිඳීමට සිදුවීමෙන් ලැජ්ජාවට පත් වෙති.

මෙය දැනගත් කෙනෙහි අග්‍රශ්‍රාවක දෙනම වහන්සේලාට ද පහසුවක් වෙමින් වන පියසට වැඩම කිරීමට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන් තීරණය කළේය. සුදුසු අවස්ථාවක ඒ උදෙසා අවසරය ලබාගත් උන්වහන්සේ ශාස්තෘන් වහන්සේගේ පාකමල් වැඳ හිමාලයේ මන්දාකිනී විල්තෙර වෙත වැඩම කළ සේක.

ගන්ධමාන පර්වතය අසබඩ යොදුන් පනහක් පුරා පැතිරී ඇති මේ මන්දාකිනී විලේ පළිඟු වන් පිරිසිදු ජලය පිරී පවතී. රියසක බඳු රත්නෙළුම්, සුදුනෙළුම් මේ විලේ නිබඳ පිපී පවතී. විල අවට වනය දෑසමන්, චම්පක, සඳුන් ආදී නේක සුවඳැති පුෂ්පයන්ගෙන් ද, නොයෙක් ප්‍රණීත පළතුරු වලින් ද පිරී පවතී. එහෙත් මෙහි කිසිදු මිනිස් වාසයක් නම් නැත්තේ ය. අතීතයේ පසේබුදු රජාණන් වහන්සේලාට උපස්ථාන කරමින් වාසය කළ පරපුරකින් පැවත එන ඡද්දන්ත කුලයේ හස්තීන් අටදහසක් පමණ මෙහි වාසය කළේය. එනිසාම මෙය ඡද්දන්ත වනය කියා හැඳින්විණි.

වයෝවෘද්ධ, මේ මහාමුනිඳුන් තම වන පියසට වැඩම කිරීම ඒ ඡද්දන්ත හස්තීන්ට කිව නොහැකි තරම් සතුටකි. උන් ප්‍රීතියෙන් කුංචනාද කළෝය. තම මාපිය හස්තීන් සමඟ නේක ඵලවැල ගෙන පසේබුදු වරුන්ට දන්පැන් පිදූ අයුරුත්, නොයෙක් උවටැන් දැක් වූ අයුරුත් සිහිපත් වූ හස්තීන්ගේ දෑස් කෙවෙනි සතුටු කඳුළින් පිරී ගියේ ය. “අහෝ!… කාලෙකට පස්සේ අපට පින්කෙතක් පහළ වෙලා. ඔව්! පින්කෙතක් පහළ වෙලා.”

හස්තීන් එක්ව කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට වැඩහිඳීමට ගල්ලෙන පිරිසිදු කළෝය. ඒ ලෙනේ වැඩහිඳින උන්වහන්සේට දිනපතා උපස්ථාන කළෝය. අව්වේ තබා රත්කරගත් ගල් යොදාගෙන උන්වහන්සේට සීතල කලට පැන්පහසුව පිණිස උණුපැන් පිළියෙළ කර දුන්නේ හස්තීන් ය. මාසයකට දෙවතාවක් පමණ සිවුරු රැහැනේ දමා තිබෙන උන්වහන්සේගේ චීවරය මනාකොට අපුල්ලා ගෞරවයෙන් පිරිසිදු කළේ ද හස්තීන් ය. අතු අග පිපෙන මල් කිණිති කඩාගෙන විත් උන් ලෙන අවට සුවඳවත් කරති. සවස් කාලයට ගිලන්පසක් ලෙස වැළඳීමට පැණි වෑහෙන උක්දඬු ගෙනැවිත් පාත්‍රයට පැණි පුරවා පූජා කරති. සෑම දිනෙක ම නොයෙක් පලවැල සහිතව ප්‍රණීත දානයක් පූජා කරති. අටදහසක් හස්තීන් දිනපතා සාදර ගෞරවයෙන් අප මහරහතන් වහන්සේට වන්දනා කොට පින් පුරා ගනිති.

මෙසේ කාලය ගත වී ගියේය. දොළොස් අවුරුද්දක් ම ගත වී ගියේය. දැන් අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ සිවුර බොහෝ සෙයින් වැහැරී ගොස්ය. කෙස් රැවුල් ද වැවී තිබේ. එසේම කාලයත් සමඟ මිහිමඬළ සනසාලමින් වැඩසිටි, දැක සිත පහදවාගැනීම් මාත්‍රයකින් පවා සුගති සැප ඉපදවීමට තරම් මහා ගුණ ඇති, ඡද්දන්ත හස්තීන්ට පින්කෙතක් වූ මුනිඳුන්ගේ ආයුෂය ද ගෙවී ගොස්ය. තමන් වහන්සේට පිරිනිවීමට කාලය බව දැනගත් විගසයි අපගේ කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන් මේ ශාස්තෘන් වහන්සේ සොයා වැඩම කොට වදාළේ. ඒ සම්බුදු සිරිපා කමල් පිරිමදිමින් උන්වහන්සේ “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම් වනාහී ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ කොණ්ඩඤ්ඤයන් වෙමි. ස්වාමීනී, මම කොණ්ඩඤ්ඤයන් වෙමි’යි පවසන්නට වූ සේක.

ඒ මොහොතේ වංගීස මහරහතන් වහන්සේ ශාස්තෘන් වහන්සේගේ අවසරය ගෙන මේ ගාථාවන්ගෙන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ගුණ පසසන්ට විය.

“ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් බුද්ධානුබුද්ධ කෙනෙක්. බලවත් වීරියකින් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්. නිතරම චිත්ත විවේකය ඇති ධ්‍යාන සමාපත්ති සැප ලබන කෙනෙක්.

ශාස්තෘ ශාසනය අනුගමනය කරන ශ්‍රාවකයෙක් විසින් යම් ශ්‍රේෂ්ඨ දෙයක් ලැබිය යුතු නම්, අප්‍රමාදීව දහම තුළ හික්මෙන කොණ්ඩඤ්ඤයන් වහන්සේ ඒ හැම දෙයක්ම ලබාගත්තා.

කොණ්ඩඤ්ඤයන් වහන්සේ මහානුභාව සම්පන්නයි. ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. අනුන්ගේ සිත් දකින්න හැබෑම දක්ෂයි. බුදු සමිඳුන්ගේ දායාදයක්. උන්වහන්සේ තමයි ශාස්තෘන් වහන්සේගේ සිරිපා වඳින්නේ.”

ශාස්තෘන් වහන්සේගේ ස්වර්ණ සිරිපා වන්දනා කළ කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන් “ස්වාමීනී, මා හට පිරිනිවීමට කල් පැමිණිලා. එයට මා හට අවසර ලැබේවා!”යි පැවසූ සේක.

“මා ප්‍රිය පුත්‍රය, ඔබ පිරිනිවන් පාන්නේ කොහිද?”

“ස්වාමීනී, මාගේ උපස්ථායකයෝ මන්දාකිණී විල්තෙරයි වාසය කරන්නේ. මාගේ අදහස නම් ඒ විල්තෙරේදී ම පිරිනිවෙන්නට යි.”

“එසේ නම්, මා ප්‍රිය පුත්‍රය, ඔබ වන් භික්ෂුවකගේ දැකීමක් යළි මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා හට යළි කිසිදා නොලැබේ. එහෙයින්, මොවුන් හට අනුශාසනා කොට ඔබ ඒ විල්තෙර වෙත වැඩම කරන්න.” ශාස්තෘන් වහන්සේගේ ඒ වදනත් සමඟ අවසන් වරට ඒ සම්බුදු සිරිපාද යුග්මය වන්දනා කළ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අහස්ගැබට පැන නැඟුණි. මහා පෙළහර සහිතව භික්ෂූන් හට ධර්මය දේශනා කළ උන්වහන්සේ අහස් ගමනින් ම මන්දාකිනී විල්තෙර වෙත වැඩම කළ සේක.

මේ උන්වහන්සේ මන්දාකිනී විලේ සිහිල් දියෙන් පැන් පහසු වන අවසාන වතාවයි. පැන් පහසු වී අවසන ලෙනතුලට පිවිසි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මනා සිහිනුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් යහනේ සැතැපුණු සේක. පුරා රැය පිළිවෙළින් සමාපත්තීන්ට සමවැදෙමින් ගත කළ උන්වහන්සේ අළුයම උදා වෙත්ම, පහන් සිලක් නිවී යන පරිද්දෙන් පිරිනිවන්පා වදාළ සේක.

අනේ, මේ කිසිවක් නොදත් ඡද්දන්ත හස්ති පිරිසේ නායක හස්තියා වෙනදා මෙන්ම දැහැටි දඬු රැගෙන ලෙනදොර අසලට පැමිණියේ ය. වෙනදාට නම් කිසිම දිනයෙක උන්වහන්සේ ප්‍රමාද වී නැත. ගිලන් බවක්වත් දැ යි සිතූ හස්තියා වරක් සෙමෙන් හඬක් නැඟීය. එහෙත් කිසිදු හඬක් ලෙන තුළින් නොඇසිනි. තරමක් ලෙන තුළට එබී බලද්දී… හටගත්තේ මහත් සතුටෙකි. ඔව්! ඒ මහා මුනිඳුන් වැඩසිටී. යහනේ සැතපී වැඩසිටී.

ඒත්… බොහෝ වේලාවක් ගතවීත් තෙරුන් වහන්සේ අවදිවන හැඩක් නම් නැත. කුටිය තුළට තම හොඬය ප්‍රවිෂ්ට කළ හස්ති රාජයා තෙරුන් වහන්සේගේ සිරුරේ නොගැටෙන පරිදි නාස්පුඩු ඉදිරියේ හොඬය තබාගෙන හුස්ම රැල්ල විමසීය. අහෝ! හුස්ම හෙළනා බවක් නොදැනේ. ඒ සොඬවැල තෙරුන්ගේ හදවතේ රිද්මය විමසන්නට යොමු වූයේ නොදැනුවත්ව ම ය. “අහෝ!…. කෙලෙසින් ද මෙය වාවාගන්නේ. මෙතෙක් කලක් අපට පින්ඵල උපදවා දුන් අපේ පින්කෙත අපව අත්හැර දමා ගොසින්. ඒ හදවතේ රිද්මයත් නැවතිලා.”

දුක දරාගත නොහැකි වූ හස්තිරාජයා සියලු හස්තීන්ට ඇසෙන පරිදි කුංචනාද කළේය. “ප්‍රිය මිතුරනේ,… අපගේ උතුම් පින්කෙත අපට අහිමි වෙලා. උන්වහන්සේ අපිව හැරදමා ගිහිල්ලා…” කියමින් කුංචනාද දෙන හස්තිරාජයාගේ හඬඅසා ඒ අටදහසක් හස්තීන් මන්දාකිනිය ඒකනින්නාද වන පරිදි කුංචනාද කළෝය. ඒ හස්තීන්ගේ නාදය අකණිටාව තෙක්ම ඇසෙන්නට විය.

දෙව්බඹුන් එහි රැස්ව කොණ්ඩඤ්ඤ රහත් මුනිඳුන් උදෙසා මනරම් කුළුගෙයක් කරවීය. අවසන් බුහුමන් දැක්වීම පිණිස අටදහසක් හස්තීන් කොණ්ඩඤ්ඤ මහරහත් මුනිඳුන්ගේ දේහය තැන්පත් ඒ කුළුගෙය වටා තෙවරක් පැදකුණු කළෝය. දේවානුභාවයෙන් දැවුණු චිතකය නිවී ගිය පසු එහි උතුම් ධාතූන් වහන්සේලා ඉතිරි විය. එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට ධාතු සෑයක් ද ඉදිකෙරිණි. මින් මතු මේ ලොවට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ නාමයෙන් වන්දනා කිරීමට ඉතිරිව ඇත්තේ ඒ උතුම් ධාතූන් වහන්සේලා ය.

ගෞතම බුදුසසුනේ පහළ වූ ඒ අසිරිමත් ශ්‍රාවක රත්නය වූ ආර්ය මහා ශ්‍රාවක සඟ පරපුරේ ආරම්භක භික්ෂුව වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා!

තෙරුවන් සරණයි ..!

(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )

දාන පාරමිතා

Thursday, August 17, 2023

නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ


තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏

වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ,
මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි.

එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි.

කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත,
"මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත.
එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා.

උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත.

නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ
ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි 
ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත.

මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත.

නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත.

දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත.

මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත.

බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත.

බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා.

හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත.

බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත.

අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය 
දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත.

තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත.

මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත.

ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත.

දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා 
විපස්සනා භාවනාවන් වඩා ඇත.

2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත.

කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත.

භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත.

උපුටා ගැනීම 
 
පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි 

තෙරුවන් සරනයි.

ධර්ම දානය පිණිස බෙදා හරින්න

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...