Thursday, August 17, 2023

ආවර්ජනා ප්‍රතිබද්ධ ප්‍රශ්නය


ආවර්ජනා ප්‍රතිබද්ධ ප්‍රශ්නය.
මිලිඳු රජු -

ස්වාමීනි, බුදුපියාණන් සියල්ල දන්නේ නම් සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර පවසන්නේ ඇයි?

 

නාගසේන තෙරණුවෝ -

මහරජ, බුදුවරු දත යුතු සියල්ල දනිති. බුදුවරුන්ගේ සිත අතිපිරිසිදු නිසා, වේගවත් නිසා ඕනෑම දෙයක් වහා සිහි කළ හැකිය. යමා මහ පෙළහර පෑමේදී ශරීරයෙන් ගින්දර සහ ජලය එකවර නිකුත් වන්නා සේ පෙනෙන්නේ සිතේ ඇති වේගවත් බව නිසාය. එහෙත් සැබැවින්ම සිදු වන්නේ එක සිතකින් ගින්දරත් අනෙක් සිතකින් ජලයත් පිටකිරීමයි.

මහරජ, බුදුවරු සමහර දේවල් ටික වේලාවක් මෙනෙහි කර දැන ගන්නා බව සත්‍යය. සියල්ල වහා නොදකින බව සත්‍යය. පිහිට විය යුත්තන් සොයා යන්නේද දිනපතා අලුයම මහා කරුණා සමාපත්තියට සමවැදීමෙනි. මෙසේ මෙනෙහි කිරීම සඳහා බුදුපියාණන්ට ගත වන්නේ ඉතා සුළු කාලයකි. හකුළුවන ලද අතක් දික් කිරීමට ගතවනවාටත් වඩා සුළු කාලයකි. දික් කරන ලද අතක් හකුළුවන්නට ගතවනවාටත් වඩා අඩු කාලයකි. එක් අතක ඇති දෙයක් අනෙක් අතට ගැනීමට ගතවන කාලයටත් වඩා සුළු කාලයකි. ඇසි පිය හැරීමට ගතවනවාටත් වඩා සුළු කාලයකි. එසේ සුළු කාලයක් මෙනෙහි කර අතීතය, අනාගතය, වර්තමානය සම්බන්ධ ඕනෑම දෙයක් වදාරණ සේක.

බුදුවරුන්ට මෙසේ මෙනෙහි කළ හැක්කේ බුදුවරයකුගේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වී නැති බැවිනි. පෘථග්ජන මිනිසුන්ට මෙසේ මෙනෙහි කළ නොහැක්කේ ඔවුන්ගේ සිත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වසා ගෙන ඇති බැවිනි

Sunday, August 13, 2023

නොපසන් මනසින් කළ-කී දෑ පසු පස එන සැටි


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙන
භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛ මන්වේති
චක්කංච වහතෝ පදං

පින්වත්නි!

ජීවිතයේ කරන කියන හැම දෙයකටම මුල් වන්නේ මනසයි. ශ්‍රේෂ්ඨ වන්නේත් මනසයි. හට ගන්නේත් මනසින්මයි. ඉතින් අපිරිසුදු මනසකින් යුතුව යම් දෙයක් කරයිද, කියායි ද එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසු පස්සේ දුක ලුහුබඳියි. කුමක් මෙන්ද යත් ගැල අදනා ගොනු පසුපස නොනැවතී යන ගැල්සක මෙනි.

පින්වතුනි! අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ යුගයේ, සැවැත් නුවර මහාසුවණ්ණ නමැති ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. එක්තරා දිනක දිය නා ආපසු පැමිණෙද්දී සුවිසල් නුග රුකක් ඔහු හට දක්නට ලැබිණි. ඒ දුටු මහා සුවණ්ණට මෙසේ සිතිණි. “මේ නුගරුකෙහි මහේශාක්‍ය දෙවිරු අරක්ගෙන සිටින හැඩයි.” සිතා ඔහු රුක් සෙවන ශුද්ධ පවිත්‍ර කළා. අවසානයේ ඔහු එම නුග රුකට වන්දනාමාන කරගෙන “අනේ දෙවියනි! මට දූ දරුවන් නොමැති හෙයින්, මට දුවෙක් හෝ පුතෙක් ලැබුණොත් මම ඔබ වහන්සේට මහත් පූජාවක් කරනවා යැයි ප්‍රාර්ථනා කරන්නට විය.

කාලය කෙමින් ගෙවී යද්දී මහාසුවණ්ණගේ බිරිඳගේ කුසින් පුත් රුවනක් බිහි විය. මහා සුවණ්ණට ඇති වූ පී‍්‍රතිය අසීමිත විය. නුගරුකෙහි වැඩ සිටිය දෙවියා දරුවෙක් දුන්නැයි කියා, ඔහු හට “පාල” කියා නම තැබුවේය. ටික දවසකින් තවත් පුතෙක් බිහි විය. එවිට වැඩිමහල් පුත්‍රයාට “මහාපාල” කියාත්, අලුත උපන් ප්‍රත්‍රයාට “චූලපාල” කියාත් නම් තැබීය.

කාලයාගේ ඇවෑමෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන නිසි වයස එළඹි කල විවාහ දිවියටද ඇතුළත් විය. දිනක් උපාසක උපාසිකාවෝ පිරිසක් සුදුවතින් සැරසී, බුදු මුවින් පිට වන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට දෙව්රම් වෙහෙරට පිය නගන අන්දම මහාපාලට දැක ගන්ට ලැබිණි. මහාපාල හටද සද්ධර්මය ශ්‍රවණය කරන්නට ආශාව ඇති වූ හෙයින් උපාසක උපාසිකාවන් සමඟ දෙව්රම් වෙහෙරට ගොස් කෙලවරකට වී බුදු මුවින් ගලා එන ඒ උතුම් ධර්ම දේශනයකට සවන්දුන්හ. අර්ථ මෙනෙහි කිරීමෙන් ටිකෙන් ටික ඔහුට ශ්‍රී සද්ධර්මය තේරුම් ගැනීමට හැකියාව ලැබිණි. තෙරුවන්සරණ ගිය මහාපාල උපාසක තුමා, අවසානයේ පැවිදිවීමට තීරණය කළේ ය. “මහාපාල” උපාසක තුමා, ගෙදර ගොස් පවුලේ සියලු දෙනා කැඳවා තමන්ගේ අදහස ඔවුන් වෙත දන්වන ලදී. එවිට “චූලපාල” මෙසේ කියන්නට විය. මගේ ආදරණීය අයියේ, ඔබ පැවිදි වන්න එපා. මවුපියන් නැති වූ දවසේ පටන්, ඔබ තමයි මගේ මවුපියන් වශයෙන් හිටියේ. අයියාට ගිහිගෙයිම ඉඳගෙන පින් කරන්න පුළුවන්නේ. ඇයි? ඔබ පැවිදි වෙන්නේ? එවිට උතුම් ශ්‍රී සද්ධර්මයේ ගුණ මහාපාල උපාසක විසින් කියා දෙන්නට විය. පවුලේ සියලු දෙනාගේ අවසරයෙන් ඔවුන් හඬා වැලපෙද්දී ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් පැවිදි උපසම්පදාව ලබා ගත්තේ ය.

පස් අවුරුද්දක් මුළුල්ලේ තම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට අවනත වී ධර්ම විනය ඉගෙන ගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හමුවීමට ගියහ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් අසුන් ගත් මහාපාල තෙරණුවෝ මෙසේ ප්‍රකාශ කරන්නට විය. “ස්වාමීනී! භාග්‍යවතුන් වහන්ස මා දැන් ධර්ම විනය පස් අවුරුද්දක් මුළුල්ලේ ඉගෙන ගත්තා. මම කැමතියි ධ්‍යාන වඩලා කෙලෙස් දුරු කර ගන්න. මා කෙරෙහි අනුකම්පා කොට මට උපදෙස් දෙන සේක්වා” මහාකාරුණික බුදුරජාණන් වහන්සේ “මහාපාල” තෙරුන් හට උපදෙස් ලබා දුන්නේ ය. උපදෙස් ලබාගත් “මහාපාල” ස්වාමීන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ හැට නමක් සමඟ චාරිකාවේ වැඩම කළහ. සැවැත් නුවර සිට යොදුන් ගණනක් ඈතට වැඩියහ.

සන්සුන් ඉරියව් ඇති ස්වාමීන් වහන්සේ දුටු ජනයා වස් තුන්මාසය එම ජනපදයේ වැඩ සිටින ලෙස ආරාධනය කළහ. මහාපාල තෙරුන් ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේ එම ආරාධනාව පිළිගත් හෙයින් ඉමහත් පී‍්‍රතියට පත් ජනයා ඉක්මණින් කුටි, සක්මන් මළු, භාවනා ශාලා ඉදි කරන්නට විය. ගමේ සිටි දක්‍ෂ වෙද මහත්මයකු ස්වාමීන් වහන්සේ අමතා මෙසේ පවසන්නට විය. මේ වස් තුන්මාසයේ ඔබ වහන්සේලාට සෑදෙන ඕනෑම රෝගයකට මම බෙහෙත් කරන්නම් මාහට දන්වන්න.

වස් විසීමේ නියමිත දවස උදා විය. මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේ අමතා අහනවා “පින්වත් ස්වාමීන් වහන්ස මේ වස් තුන්මාසය ඉරියව් කීයකින් ගත කරන්නද බලාපොරොත්තු වන්නේ” “මහාපාල ස්වාමීන් වහන්ස! අප ඉරියව් හතරින්ම කල් ගෙවන්නයි හිතාගෙන ඉන්නේ යනුවෙන් අනික් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්හ” එවිට මහාපාල ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා අමතා මෙසේ ප්‍රකාශ කරනවා.

දැන් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණා. උතුම් පැවිදි උපසම්පදා බවට පත්වුණා. ප්‍රමාද වීම අනතුරුදායකයි. ඉතින් මම තීරණය කළා සැතපෙන ඉරියව්වෙන් තොරව ඉරියව් තුනකින් කල් ගෙවන්න අනෙකුත් ස්වාමීන් වහන්සේලා එම ක්‍රියාව බොහෝ අගය කොට සැලකූහ.

පින්වතුනි! මේ මහාපාල ස්වාමීන් වහන්සේ පළමු මාසයේ හොඳට භාවනා කළහ. දෙවැනි මාසයේ මුල් සතියේ රාත්‍රියක මහාපාල ස්වාමීන් වහන්සේට අක්‍ෂි රෝගයක් හැදුනා. පසුදා උදෑසන පිඬු සිඟා වඩින්ට සූදානම් වන විට අනෙක් ස්වාමීන් වහන්සේලා දුටුවා මහාපාල ස්වාමීන් වහන්සේගේ දෙනතින් කඳුලු ගලන ආකාරය. ස්වාමීන් වහන්සේලාට මතක් වෙනවා, වස් වසන අවස්ථාවේ වෙදකම් කරන්න පොරොන්දු වූ වෙද මහත්තයා පිළිබඳව. ඒ වෙදමහත්මයාට කරුණු දැක් වූ පසු ඔහු විසින් මහාපාල ස්වාමීන් වහන්සේට වටිනා තෛලයක් පූජා කළා. ස්වාමීන් වහන්ස! මේ තෙල් බින්දු ගෑමෙන් රෝදුක දුරුවී යාවි යැයි වෙද මහත්මයා උපදෙස් දුන්නා.

මහාපාල ස්වාමීන් වහන්සේ ඇස්වල තෙල් දැම්මේ වාඩි වෙලා. හාන්සි වෙලා නොවේ. හාන්සි වෙලා බෙහෙත් දැම්මෙ නොමැති නිසා එන්න එන්නම රෝගය උග්‍ර වනවා මිසක සුවවීමක් පෙන්නුම් කළේ නැහැ. නමුත් මහාපාල ස්වාමීන් වහන්සේ තම අධිෂ්ඨානය අතහැරියේ නැහැ. නිතර නිතරම කල්පනා කළේ මම කොහොමත් මැරෙන කෙනෙක්නේ. තවත් ප්‍රමාද නොවී චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට උත්සාහ ගන්න ඕනෑ. එසේ සිතා උන්වහන්සේ දිගටම භාවනා කළා.

වස් කාලය අවසන් වන දවසේ රාත්‍රියේම මහාපාල තෙරුන්ගේ ඇස් දෙක සදහටම නොපෙනී ගියේ ය. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වුණේ ද එම අවස්ථාවේදීමය. පසුදා උදෑසන මහාපාල තෙරුන් පිණ්ඩපාතයේ නොවැඩි නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ බලන්ට ගිය අවස්ථාවේ ඇස් අන්ධ වූ කථාව ඇසූ උන්වහන්සේලා මහාපාල රහතන් වහන්සේට උපස්ථාන කළහ. දෑසම අහිමි වූ නිසා උන්වහන්සේ ප්‍රසිද්ධ වුණේ “චක්ඛුපාල රහතන් වහන්සේ ලෙසයි” වීර්ය වන්ත චක්ඛුපාල මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා නිසා, අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වීමට වාසනාව ලැබුණි.

චක්ඛුපාල මහරහතන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටින විට මහා වැස්සක් ඇද හැලිනි. පසුදා හිමිදිරි පාන්දර, සක්මන් භාවනාව කරමින් සිටියදී, චක්ඛුපාල මහරහතන් වහන්සේගේ දෙපා වලට පෑගි මඩියෝ මිය ගියහ. මේ දුටු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දැන්වූහ. “පින්වත් මහණෙනි, සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වූ ස්වාමීන් වහන්සේට මරණ චේතනාව ඇති නොවන්නේ ය. කියා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. සංසාර චක්‍රය නවතාලීමට පෙර පින් තිබූ චක්ඛුපාල රහතන් වහන්සේගේ ඇස් අන්ධ වීමට හේතුව කුමක්දැයි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූහ.

පින්වත් මහණෙනි! අතීතයේ බරණැස් නුවර කසී කියලා රජකෙනෙක් රජකම් කරන යුගයේ ප්‍රසිද්ධ ඇස් වෙද මහත්මයෙකු වාසය කළහ. දිනක් කාන්තාවක් ඇසක් දුර්වල නිසා, මෙම වෙද මහතා ළඟට පැමිණ, සුව කර දෙන ලෙස ඉල්ලා සිටි අතර, ඇස හොඳ වුවොත් දූ දරුවන් සමඟ පැමිණ වෙද මහතා ළඟ බැල මෙහෙවරකම් කරන බවට ප්‍රතිඥාවක් වූවාය. වෙද මහත්තයා ඒ ගැන සතුටු වී එක බෙහෙතකින් ඇස සුවපත් කළහ. ඇස හොඳ වූ පසු ඒ මහලු කාන්තාව ඇස හොඳ වුවහොත්, දූ දරුවන් සමඟ බැලමෙහෙකාරකම් කරන්න එන බවට වෙද මහත්මයාට පොරොන්දු වුණා. එය කිසිසේත් කළ හැකි 

Saturday, August 12, 2023

ඉට්ඨධම්ම සූත‍්‍රය



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

පඤ්චිමෙ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මිං. කතමෙ පඤ්ච ආයුඛෝ ගහපති ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං, වණෙණා ඉට්ඨො කනෙතා මනාපො දුල්ලභෝ ලොකස්මිං සුඛං ඉටඨං කනතං මනාපං දුල්ලභං ලොකස්මිං යසො ඉටෙඨාකනෙතා මනාපො දුල්ලභො ලොකස්මිං සග්ගා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකසමිං ඉමෙඛො ගහපති පඤ්චධම්මා ඉටඨා කනතා මනාපා දුල්ලභා ලොකස්මිං (අං.ගු.නි. පඤ්චක නිපාතය ඉට්ඨධම්මසුත්ත)

පින්වත්නි, අප ධර්මදේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ එන ඉට්ඨධම්ම සූත‍්‍රයයි. මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අගය කළ වටිනා සම්පත් පහක් ගැන සඳහන් වෙනවා. මෙම කරුණු පිළිබඳව සිහි නුවණින් සිතා බැලීම අපකාගේත් හිතසුව සඳහාම හේතු වන අයුරු සලකා බලන්න. ආයුෂය, ශරීරවර්ණය, ශරීර සුවය, යසස, සමගිසම්පත, යන මේ කරුණු සෑම දෙනාගේම පැතුමයි. නිකම්ම ප‍්‍රාර්ථනා කළ පමණින්ම මේ එකක්වත් හිමි නොවන බව බුදුදහමේ ඉගැන්වීමයි. දාන, ශීල, භාවනා පින්කම්වල නිරතවන ආකාර අනුව හිතේ පහල වන පින් සිතිවිලි ඇසුරින් හිතේ ගොඩනැගෙන පුණ්‍ය බලවේග මේ සම්පත් හිමි කර දෙන ආකාරය හඳුනාගත හැකි වූයේ බුදුරජාණන් වහන්සේටයි. අදෘෂ්‍යමාන දෙවිකෙනෙකුගේ මාර්ගයෙන් ඉල්ලා ලබාගත නොහැකි මෙම සම්පත් ව්‍යායාම් වල නිරතවීමකින්ද හිමිකර ගත හැකි යයි සිතන්නේ නම් එයද නිසරු සිතිවිල්ලකි.

මිනිසත්බවම අතිවිශාල පින්රැසක ප‍්‍රතිඵලයකි. එම මිනිසත්බව බබලවන ආර්ථාන්විත බවට පත්වීමට ඉඩසලසන මෙම කරුණුවලට හිමිකරුවෙක් වීමට ප‍්‍රායෝගික වශයෙන් කි‍්‍රයාත්මක කළ යුතු පුණ්‍යකි‍්‍රයා වෙන වෙනම හඳුනාගෙනම කටයුතු කිරීම මිනිසත් බව බැබලීමට උපකාරවන බව වටහා ගන්න. ඒ බව බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී අනාථ පිණ්ඩික සිටුතුමාට මැනවින් පහදා දුන්සේක. එදා මහත් යස ඉසුරෙන් බැබළුන එතුමා මෙම සම්පත් සියල්ලටම හිමිකරුවෙක්ව මිනිස් සමාජයේම ධර්ම මාර්ගයට අවනත කිරීමට කි‍්‍රයාකළ උතුමෙකි. බුදුරදුන්ගේ ප‍්‍රධාන දාකයාවීමම එතුමා සසර පින්කරමින් කළ ප‍්‍රාර්ථනාවල අග‍්‍රඵලයයි. දෙවි දේවතාවන් අදහමින් දැඩි අන්‍ය ආගමික විශ්වාසයන්ගෙන් පිරී ඉතිරී සිටි එදා දඹදිව වැසියෝ තම සියලු සිතුම් පැතුම්, අදෘෂ්‍යමාන දෙවියන්ගෙන් ලබාගත හැකිය යනුවෙන් විවිධ තපස්ක‍්‍රම අනුගමනය කළහ. විශාල පර්වත වනාන්තර ගස්ගල් සරණගිය ආදිකාලීන මිනිස්සු බියෙන් සැකයෙන් දවස් ගෙවූ ආකාරය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේම දක්නට ලැබේ.

බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනා නිච
ආරාම රුක්ඛ චෙත්‍යානි

මනුස්සා භය තජ්ජිතා. යනුවෙන් ධම්ම පද දේශනාවේ සඳහන්වන පරිදි එදා දඹදිව සමාජය පිළිබඳ සමාජ පසුබිම සිතාගත හැකියි. එම නිසරු පිළිවෙත් අතර තපස්රැකීම, ජටාධරවීම, දත්නොමැද සිටීම, ඇඟ පුරාමඩගාගෙන සිටීම, ආහාර නොගෙන දින ගණන් ගත කිරීම, අජවුත, ගෝවුත, උක්කුටිකව සිටීම, වැනි ලාමක කි‍්‍රයාවලින් සැනසීමක් බලාපොරොත්තු වූහ. මෙවැනි සිදුවීම් දුටු හැමවිටකදීම ඒවායේ නිසරු බව නොබියව පහදා දුන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. දිගු කලක් ජීවත්වීම, සිත් ගන්නා සිරුරකට හිමිකරුවකු වීම වැනි අද සමාජයද උනන්දු වන කරුණු කිසියම් දෙවියකුට යාඥාකර ඉල්ලා ගත නොහැකි බව අනාථපිණ්ඩික සිටුවරයාට පහදා දීම මෙම දේශනාවේ අරමුණයි. සසර කළ පින් ඇතිව සිටි එතුමා, මෙම සියලු සම්පත්වල උරුමකරුවකුව සිටින බව දත් බුදුපියාණන් වහන්සේ දාන, ශීල, භාවනාදී පින්කම්වල නිරත වීමෙන්ම මෙම ප‍්‍රතිලාභ අත්වන ආකාරය පහදා දුන්හ. ආයුෂ වැඩීමට ආයුසංවත්තිනික පටිපදා, පටිපජ්ජිතබ්බා, ශරීරයේ වර්ණ සම්පන්න බව පිහිටීමට වර්ණ සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, සැපපහසුකම්වලට හිමිකරුවෙක් වීමට නම් සුඛසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, යසස් ලැබීමට යසසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා, ස්වර්ග සම්පත් කැමැති වන්නේ නම් සග්ග සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා යනුවෙන් ඒ ඒ සම්පත් ලැබීම සඳහා අවශ්‍ය පිළිවෙත් පහදා දුන් සේක. ආයුෂ වැඩිදියුණුවන පින්කම් අතර අභයදානය විශේෂයි. දාන ආනිසංස දේශනා කළ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ භෝජන සූත‍්‍රයේ මෙසේ වදාළ සේක.

භොජනං භික්‍ඛවෙ දදමානොදායකො පටිගගාහකානං පඤ්චධානානි දෙති, කතාමානි පඤච, ආයුං දෙති, වණ්ණං දෙති, සුඛංදෙති, බලං දෙති, පටිභාහනං දෙති, දන්දීමේ දී ත්‍යාගශීලී හිත මෙන්ම එම දානය ලබන ප‍්‍රතිග‍්‍රාහකයන්ගේ නිදුක් නිරෝගී චිරජීවනය හදපත්ලෙන්ම පැතිය යුතුයි. මැනවින් සැකසූ ආහාරපාන ගැනීම ආයුෂය ප‍්‍රධාන සිරුරේ සංවර්ධනය සමඟම දායකයාට එම සම්පත් හිමිවන කුශලශක්තියක් තමාවටා ගොඩනැංවෙන බව පිළිගත යුතුයි. ප‍්‍රාණඝාතය, සතුන්ට වධදීම, වැනි පාපකි‍්‍රයා ආයුෂ නිරෝගීකම අහිමිකරන දරුණු අකුසල් බව හඳුනා ගන්න. අභයදාන ආමිස දානය සතුටු සිතින් කළ තරමට දීර්ඝායුෂයට හිමිකරුවෙක් වෙනවා ඇත. තුණුරුවන්ට අවනතව කටයුතු කිරීම හිත සැහැල්ලු ආකාරයට තබාගැනීම එදිනෙදා ජීවිතය සුවදායක කරගැනීමට උපකාර වන බව හොඳින් මතකයේ තබා ගන්න. මිනිසෙක් වශයෙන් ඉතා සාර්ථක ජීවිතයක් ගත කළ අනාථපිණ්ඩිත සිටුතුමාට එතුමාගේ පිණින් පිරීගිය ජීවිතය මිනිස් සමාජයටම හඳුනාගත හැකි ආකාරයට අගේ කරමින් මෙම දේශනාව දේශනා කළේ මිනිස් සමාජයටම ආදර්ශයක් වනු පිණිසයි. නුවණින් කටයුතු කිරීම තම තමාගේ වගකීමයි. පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං. තෙරුවන් සරණයි.

Sunday, October 16, 2022

මිනිසත්බව දේවත්වයට ද වඩා උතුම්ය

 

මිනිසත්බව දේවත්වයට ද වඩා උතුම්ය

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍ය සේනාසනවාසී
ත්‍රිපිටක විශාරද, 
විද්‍යාවේදී, 
ශාස්ත්‍රපති
මහව ඤාණාලෝක හිමි



කිසියම් දෙවියෙක් දෙව් ලොවින් චුත වන විට සෙසු දෙවියන් විසින් ඔහුට දෙන අවවාද තුනක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දිනක් භික්‍ෂූන් වහන්සේලාට පැහැදිලි කර දුන්හ. මහේශාක්‍ය දෙවි කෙනෙක් චුත වීමට ආසන්න වන විට පෙරනිමිති පහක් පහළ වේ. එනම් පැළඳ සිටි මල් මැළවෙයි. හැඳීවත් කිලිටි වෙයි. දහදිය වැගිරෙයි. සිරුර දුර්වර්ණ වෙයි. 

තමන්ගේ දිව්‍ය ආසනය පිළිබඳ ඇලීම දුරු වෙයි. මෙසේ පෙරනිමිති පහළ වීමෙන් ඒ දෙවියන් දිව්‍යලෝකයෙන් චුත වීමට ආසන්න බව අනෙක් දෙවියන් විසින් ද දැනගනු ලැබේ. එවිට ඒ අනෙක් දෙවිවරු මෙම පෙරනිමිති පහළ වූ දිව්‍යපුත්‍රයා කැඳවාගෙන දිව්‍යලෝකයේ නන්දන වනයට ගොස් අවවාද තුනක් ලබා දෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.

‘පින්වත, මේ දෙව්ලොවින් චුතව සුගතියට යව’ යනු පළමු අවවාදය යි. ‘ඒ සුගතියට ගොස් මනා සේ ලැබූ ලාභය ලබව’ යනු දෙවන අවවාදය යි. ‘ඒ සුලද්ධ ලාභය ලැබ මනා පිහිටීමක් ඇති කරගනුව’ යනු තෙවන අවවාදය යි.

මෙහි දී ඒ භික්‍ෂු පිරිසේ සිටි එක් භික්‍ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් වැඳ අවසර ගෙන විමසා සිටියේ ‘ස්වාමීනි, දෙවියන්ගේ සුගතිය කුමක් ද? දෙවියන්ගේ සුලද්ධ ලාභය නම් කුමක් ද? දෙවියන්ගේ මනාකොට පිහිටීම නම් කුමක් ද?’ යනු යි. මෙහි දී බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ සුගතිය පිළිබඳව කළ දේශනය වර්තමානයේ ඔබ අප සෑම දෙනාටම සිහිපත් කර දෙන වටිනා අවවාද රැසක් වේ.

අප නිතරම අසන දෙයක් නම් මිනිසත් බව දුර්ලබ බවත් එය උතුම් බවත් ය. එහෙත් එය තවමත් අපට නිවැරදිව වැටහී ඇත්දැයි සිහිපත් කරගත යුතු වේ. මන්ද දෙවියන් සුගතිය යැයි සඳහන් කරන්නේ ද මෙම මිනිසත් බව ම වේ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පැහැදිලි කර දෙන්නේ දෙවියන්ගේ සුගතියේ ඉපදීම නම් මනුෂ්‍යාත්මභාවය වේ. එහෙත් ඒ උතුම් සුගතියේ ඉපිද මරණින් මතු දෙව් ලොව ඉපදීමට සිතන කීදෙනෙක් නම් වර්තමානයේ සිටිත් ද?

බුදුරජාණන් වහන්සේ ‘දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ’ යැයි දේශනා කළා මිස දිව්‍යාත්මභාවය දුර්ලභ යැයි දේශනා කළේ නැත. එසේ දේශනා නොකළේ මේ මිනිසත් බවේ ඇති උත්තරීතර බව නිසා ම වේ. මෙය අර්ථකථාවේ පැහැදිලි කරන්නේ දිව්‍ය ලෝකයේ ධර්මශ්‍රවණය දුර්ලභ බව යි. එහෙත් මනුෂ්‍ය ලෝකයේ ධර්ම ශ්‍රවණය දුර්ලභ නොවන බව දැක්වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිව්‍යලෝකයේ දෙවියන් චුත වන විට මිනිස් ලොව ඉපදීමට කැමති වන බව යි. ඒ ඔවුන්ට වැඩි වැඩියෙන් පින් දහම් කිරීමට, ධර්ම ශ්‍රවණය කිරීමට ය. එසේ නම් අපි වර්තමානයේ හැකි ඉක්මනින් නිවන් දැකීමට නොසිතා මරණින් මතු තව්තිසාව වැනි සශ්‍රීක දිව්‍යලෝකයක ඉපදීමට පතන්නේ නම් එය මුළාවක් නොවන්නේ ද?

ඇතැම් දිව්‍ය ලෝක වල මගඵල ලාභී දෙවිවරු සිටිති. ඔවුන් ඇතැම් විට දහම් දේශනා කරති. තව්තිසා දෙව් ලොවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ වෙසෙති. උන්වහන්සේ ද නිතර දහම් දේශනා කරන බව සඳහන් වේ. එසේ නම් එවැනි දිව්‍ය ලෝකයක ඉපදීමට පතන්නේ නම් අපගේ නිවන් මඟ සුරක්‍ෂිත නොවන්නේ දැයි සමහරෙකුට සිතිය හැකි ය. එහෙත් මේ මිනිස් ලොව ධර්ම මාර්ගයේ ගමන් කිරීමට තරම් කාල වේලාවක් සොයාගත නොහැකිව කම් සැපට යොමු වී සිටින කෙනෙක් දිව්‍ය ලෝකයේ ඉපිද කෙසේ නම් ඒ දිව්‍ය සැප අතහැර දහම් ශ්‍රවණයට යොමු වේ ද? එසේ වන්නේ ඉතා අතළොස්සක් පමණි. සමහර දෙවි කෙනෙක් නිසි වේලාවට දිව්‍යමය ආහාරය අනුභව කිරීමට අමතක වී දිව්‍ය ලෝකයෙන් චුත වන බව සඳහන් වේ. එසේ නිසි වේලාවට කෑම ගැනීම අමතක වන්නේ අපට මෙන් වැඩ රාජකාරි බහුල වී නොව දිව්‍යාංගනාවන් සමඟ සතුටු වෙමින් විනෝද වීමෙනි.

මේ කෙලෙස් බර හොඳීන්ම දැනෙන, සමාජයේ නොයෙක් කම් කටොලු දකින, නිතර කිළිටි වන, මළ මුත්‍ර පිටවන, දහදිය දමන සිරුරු පරිහරණය කරන අපට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අමතකව ලස්සන ලස්සන රූප දක්නට සිතේ නම්, හොඳ හොඳ ශබ්ද ඇසීමට සිතේ නම්, හොඳ රසමසවුලු රසවිඳීමට සිතේ නම්, දිව්‍ය ලෝකයේ ඉපිද කෙලෙස් බර නොදැනෙන, නිතර සතුටින් විනෝද වන දෙවියන් දකිමින්, සාමාන්‍යයෙන් ගතේ දහදිය බිඳුවකුදු පැන නොනඟින ජාතිරංග්‍ය මාණික්‍ය රත්නයන් සේ පිරිසිදු ආත්මභාවයන් පරිහරණය කරමින් සිටින විට ඒ දිව්‍ය සැප මධ්‍යයේ සිට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අමතක වීම අසන්නටත් දෙයක් ද? 

ඔබ අප සිටින මුළාවේ තරම සිහිපත් කරගත යුතු වේ. ඒ ප්‍රමාදබව අත්දකින දෙවියන් චුත වන විට නැවත මිනිස් ලොව ඉපදීමට සිතන්නේ ඒ නිසා ය. ඒ මිනිස් ලොව ඉපිද සිටින අපි ඒ ලැබූ මිනිසත් බවින් නිසි ඵල ලබා නොගෙන දිව්‍ය ලෝකයේ ඉපිද නිවන් දකින්නට සිතන්නේ මුළා වූ නිසා ම වේ.

මිනිස් ලොව වෙසෙන පුද්ගලයන් කොටස් සතරක් පිළිබඳව අර්ථකථාවේ සඳහන් වේ. එනම් මනුෂ්‍ය නෙරයික, මනුෂ්‍ය ප්‍රේත, මනුෂ්‍ය තිරච්ඡාන සහ පරමත්ථ මනුෂ්‍ය වශයෙනි. ඇතැම් කෙනෙක් මිනිස් ලොව ඉපිද ප්‍රාණඝාතාදි නොකළයුතු දේ සිදු කර රජවරුන් ආදීන්ගෙන් අත්පා සිඳීම් ආදී වධබන්‍ධනයන්ට පත්ව මහා දුකක් විඳීති. 

ඒ අය මිනිස් ලොව අපා දුක් විඳීන බැවින් මනුෂ්‍ය නෙරයික නම් වේ. සමහරෙක් පෙර කරන ලද අකුසලයන්ගේ බලයෙන් මේ ජීවිතයේ දී කුසට අහරක් හෝ නොලබමින්, බඩගිනි පිපාසාදියෙන් පෙළෙමින් ගත කරති. ඒ අය මිනිස් ලොව ඉපිද ප්‍රේත ලෝකයේ මෙන් දුක් විඳීන බැවින් මනුෂ්‍ය ප්‍රේත නම් වේ. තවත් සමහරෙක් පරාධීනව අනෙක් අයට බියෙන් අනෙක් අයගේ වැඩ කරමින් සිට නොයෙක් අනාචාර කටයුතු ද කොට මරණ බියෙන් සැඟවී නිදි නැතිව, බඩගින්නේ, පිපාසයෙන් දුක් විඳීති. ඒ අය තිරිසන් සතුන් සේ දුක් විඳීන බැවින් මනුෂ්‍ය තිරච්ඡානගත වේ. තවත් සමහරෙක් තමාගේ හිත අහිත දේ දැනගෙන, කර්මඵල අදහමින්, හිරි ඔතප් ඇතිව, සියලු සත්වයන් කෙරෙහි සංවේග බහුලව, අකුසලයන් බැහැර කරමින් කුසලයෙහි සමාදන්ව කරමින් ධර්මයේ හැසිරෙති. ඒ අය නිසි මිනිස් ධර්මයේ පිහිටි පරමත්ථ මනුෂ්‍යයන් නම් වේ. දිව්‍ය ලෝකයේ දෙවියන් කැමති වන්නේ මෙබඳු මිනිස් ධර්මයේ පිහිටි උතුම් මිනිසුන්ට වේ. එබැවින් ඔබ අප ලත් මිනිසත් බව හැඩගසාගත යුත්තේ මේ උතුම් මිනිසත් බවක් ලෙස වේ.

දැන් අප ඒ උතුම් මිනිසත් බව උරුම කරගත්තෝ බැවින් මිනිසුන් විසින් ලැබිය යුතු උතුම් ලාභය ලබාගත යුතු වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිසත් බව ලැබූ පුද්ගලයෙක් විසින් තථාගතයන් වහන්සේගේ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශාසනයෙහි ශ්‍රද්ධාවක් උපදවා ගන්නේ නම් එය උතුම් ම ලාභය බව යි. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය මනාකොටම දේශනා කරන ලද්දේ යැයි ශ්‍රද්ධාවක් ඇති කරගත යුතු වේ. යම් කෙනෙක් රන් රිදී, මිල මුදල් ලැබීමෙන් දිළිඳු බව දුරු කරගනී ද, සා පිපාසාදි දුක් දුරු කරගනී ද, තවතවත් මුතුමැණික් ආදී ධනය ලබයි ද, එසේම ශ්‍රද්ධාව ලබන තැනැත්තා ගුණ දිළිඳු බව දුරු කරගනී. ජාති ජරා දුක් දුරු කරගනී. සප්ත බෝධ්‍යංග නමැති රත්නයන් ලබයි. එබැවින් කළයුත්තේ ඒ ලැබූ බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරගැනීම යි.

එබැවින් මිනිසත් බව ලැබූ අපට බුදුරජාණන් වහන්සේ දෙන වටිනා අවවාදය නම් ලැබූ මිනිසත් බව ඉක්මයා නොදී අප්‍රමාදීව කුසල ධර්මයන් පුරන ලෙස යි. ඒ සඳහා කාය, වාක්, මනෝ දුසිරිතෙන් වැළකී, කයින්, වචනින්, මනසින් අප්‍රමාණ වූ කුසලධර්මයන් කළයුතු වේ. ඒ කුසල් කිරීමේ දී ද කෙලෙසුන්ගෙන් කිළිටි නොවී තෘෂ්ණා, දෘෂ්ටීන්ගෙන් මුළා නොවී, නොයෙක් නොයෙක් ලෞකික ප්‍රාර්ථනයන්ගෙන් දූෂිත නොවී කළයුතු වේ. නැතහොත් නිවන් පතාගෙන ම පින් කළයුතු වේ. තමාගේ උසස් බව පෙන්වීමට හෝ ඊළඟ ආත්මයේ හොඳ කම්සැප ලැබීමට හෝ කරන පින අපිරිසිදු ය. එසේ අපිරිසිදු නොවී පිරිසිදුව පින්දහම් කළයුතු වේ.

එබැවින් අප ලැබූ දුර්ලභ මිනිසත් බවේ වටිනාකම සිහිකරගෙන එය ඉක්ම යා නොදී අද අද ම ධර්ම මාර්ගයේ නිවන් උදෙසා ගමන් කිරීමට උත්සුක විය යුතු ය. යළි තවත් උපතක් යනු දුක් රැසක් ම බව බුදුපියාණන් වදාළේ ඔබ අප වෙනුවෙන් ම බැව් නිතර සිහි තබාගත යුතු වේ.

Thursday, October 6, 2022

ස්වර්ණහංස ජාතකය

 

ස්වර්ණහංස ජාතකය











මෙවර බුදුසරණ කවරයෙන් දැක්වෙන්නේ ස්වර්ණහංස ජාතක කතාවේ අවස්ථාවකි. එය සැකෙවින් මෙසේ ය. 

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයේ ඒ ප්‍රදේශයේ ලූනු වගා කළ උපාසකයෙක් විසී ය. ඔහු භික්ෂු භික්ෂුණින් වහන්සේලාට ලූනු කඩා දෙයි. දිනක් නන්දා නම් මෙහෙණක් උපාසකගෙන් ලූනු ඉල්ලුවා ය. වත්තට ගොස් ගස් තුනක් ගනුමැනව‘යි කීවේ ය.

නන්දා මෙහෙණ තවත් මෙහෙණිවරු සමග ගොස් තමන්ට රිසි සේ ලූනු කැඩීය. මේ දුටු උපාසක තරහින් කෑ ගැසී ය. නන්දා මෙහෙණ ඇතුළු පිරිස කළකිරිමට පත්වූහ. තමන් කළ දේ ගැන නොසිතා, මේ බව භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ

“පැවිද්දන් විසින් දුන් දෙයක් මිස නුදුන් දෙයක් නොගත යුතු ය. අධික තණ්හාව විනාශයට මුලය. ඇති දෙයක් නැති වන්නේ ය. පිටතින් ද දෙයක් නොලැබෙන්නේ ය. ලද දෙයින් සතුටු වන්න. එයින් ඇති දෙය තහවුරු වෙයි. පිටතිනුත් ලැබෙයි’ 

යනුවෙන් දේශනා කොට වදාළහ. එමෙන් ම මේ නන්දා නම් භික්ෂුණිය පෙරත් අධික තණ්හා ඇත්තී යැයි අතීත කතාව වදාළ සේක.

අතීතයේ බරණැස් නුවර බඹදත් නම් රජකෙනෙක් විසී ය. එකල බමුණු කුලයක උපන් බෝසතාණන් වහන්සේට දූවරු තිදෙනෙක් වූ හ. ඔවුන් කුඩා කල්හිම බෝසතාණෝ මිය ගොස් ස්වර්ණහංසයෙක් ව උපන්හ. දිනක් ස්වර්ණහංස තෙමේ ජාතිස්මරණ ඥානයෙන් තමන් ඉහත ජාතියෙහි බමුණු ව උපන් බවත්, අඹු දරුවන් අනුන්ට බැලමෙහෙ කරමින් ජීවත් වන බවත් දුටුවේ ය.

ඔවුන් දිළිඳු කමින් මුදවනු පිණිස වරින් වර ඔවුන්ගේ ගෙට ගොස් එක එක රන් පිහාටුව දමා ගෙයි වහලය මත සිටියහ. 

“ඔබ කවුරුදැ”යි දූවරු අසූහ.

”ඔබගේ පියාණෝ ය. පිහිටට පැමිණියෙමි’යි ස්වර්ණ හංසයා කීවේ ය.

මෙසේ කීප දිනක් ම සිදුවිය. දිනක් බැමිණිය සිය දූවරු අමතා පියාණන් අල්ලා ගෙන පිහාටු සියල්ල උදුරා ගන්නැ’යි කීවා ය. දූවරු ඊට අකැමැති වූ හ. බැමිණි ය දිනක් ස්වර්ණ හංසයා අල්ලාගෙන පියාපත් සියල්ල උදුරා ගත්තා ය. එහෙත් ඒ සියලු පිහාටු සාමාන්‍ය පිහාටු විය. නැවත කිසි දිනෙක බෝසත්හු නොපැමිණියහ. මේ අතීත පුවත දැක් වූ සර්වඥයන් වහන්සේ එකල බැමිණි නම් මේ නන්දා මෙහෙණ යැයි ද, හංසරාජයා නම් තමන් වහන්සේ යැයි ද වදාළ සේක


Tuesday, September 27, 2022

මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව අරුත් දැන සජ්ඣායනය කරමු

 

මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව අරුත් දැන සජ්ඣායනය කරමු




ඌරුගමුවේ අස්සජී හිමි 

මෙතැන්හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද, අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිත් ඇත්තෝ වෙත්වා තව ද මාගේ වචනය මැනවින් අසත්වා.

භූතයිනි, එබැවින් නුඹලා සියල්ලෝ ම මේ වචනය අසන්න. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරන්න. යම් කෙනෙක් දිවා රෑ පුද පඬුරු පූජා කෙරෙත් ද එබැවින් නොපමාවම ඔවුන් ව ආරක්ෂා කරන්න.

මෙම මනුෂ්‍ය ලෝකය හෝ නාග ලෝකය ආදී වෙනත් ලෝකයක හෝ යම්කිසි ධනයක් වේ ද, ස්වර්ගයෙහි හෝ යම්කිසි උතුම් රත්නයක් වේ ද ඒ කිසිවක් තථාගතයන් වහන්සේ හා සමාන නොවේ. බුදුරදුන් කෙරෙහි මෙම රත්න භාවය උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

එකඟ වූ සිත් ඇති තථාගතයන් වහන්සේ කෙලෙසුන් දුරු කරන හෙයින් ක්ෂය නම් වූ රාගයෙන් වෙන්වීමට නිමිති වූ, විරාග නම් වූ මරණයක් නැති හෙයින් අමත නම් වූ යම් නිවනක් අවබෝධ කළේ ද ඒ ධර්මය හා සම වූ කිසිවක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ පිරිසුදු වූ යම් ආර්ය මාර්ගයක් වර්ණනා කළ සේක් ද යම් මාර්ගයක් පිරිසුදු වූ හෙයින් එකී ආනන්තරික සමාධිය බුද්ධාදී ආර්යයන් වහන්සේලා දේශනා කරත් ද එම සමාධිය හා සම වූ සමාධියක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද ප්‍රශස්ත වූ එකසිය අටක් ආර්ය පුද්ගලයෝ වෙත් ද මේ සැමදෙනම සතර යුග කෙනෙක් වෙති. සුගත නම් වූ බුදුරදුන් ගේ ශ්‍රාවක වූ එම ආර්යයන් වහන්සේලා සැදැහැවතුන් විසින් දෙන ලද දක්ෂිණාවට සුදුස්සෝ වෙති. මෙම බුද්ධශ්‍රාවකයන් කෙරෙහි දෙන ලද දානය මහත්ඵල ඇත්තේ වෙයි. සංඝරත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙම ගෞතම නම් වූ තථාගත ශාසනයෙහි යම් කෙනෙක් ස්ථිර වූ සිතින් මනාකොට පිළිවෙත් සපුරා සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණාහු ද ඔවුහු නිවන් සුව විඳින්නාහු රහත් ඵලයට පැමිණියාහු නම් වෙති. සංඝ රත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යම් සේ පොළොවෙහි යටට බැසගත් ඉන්ද්‍රඛීලය සිව් දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නොවේ ද? යම් පුද්ගලයෙක් චතුරාර්ය සත්‍යය නුවණින් අවබෝධ කළේද ඒ ආර්ය පුද්ගලයා ඒ ඉන්ද්‍රඛීලය බඳු යැයි, කියමි. සංඝරත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යම් සෝවාන් උතුමෙක් ගැඹුරු නුවණින් යුත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද චතුරාර්ය සත්‍යයන් තමා ම අවබෝධ කෙරෙත් ද ඔවුහු බෙහෙවින් ප්‍රමාදව කටයුතු කළත් කිසිසේත් අට වන උත්පත්තියක් නොගනිති. සංඝරත්නය කෙරෙහි මේ රත්නභාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙම සෝවාන් පුද්ගලයා ගේ සෝවාන් මග හා ඵලය පහළවීම සමඟ සක්කාය දෘෂ්ටිය ද සැකය ද යම්කිසි සීල ව්‍රත ආදියත් හෝ පවතී ද මෙම සංයෝජන ධර්ම තුන දුරු කරන ලද්දේ වෙයි. හෙතෙම සතර අපායෙන් ද මිදුණේ වෙයි. සය වැදෑරුම් බරපතළ පාපයන්හි කිසිසේත් නොයෙදෙයි. මෙය ද සංඝ රත්නය කෙරෙහි උතුම් රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

ඒ සෝවාන් පුද්ගල තෙමේ කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ ප්‍රඥප්ති මාත්‍ර වූ කිසියම් වරදක් කරන්නේ නමුදු හෙතෙම එය සැඟවීමක් නො කරන්නේය. එය කිසිකලෙකත් සිදු නොවන දෙයකි. දක්නා ලද නිවන් පදය ඇති සෝවාන් පුද්ගලයා අතින් වරද සැඟවීම කිසි කලෙකත් සිදු නොවන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙය ද සංඝ රත්නය කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

වන ලැහැබ තුළ ග්‍රීෂ්ම සෘතුවෙහි පළමු ග්‍රීෂ්ම මාසයෙහි හෙවත් බක් මාසයෙහි සුපිපි ඵල ඇත්තේ වෙයි. එසේම නිවන් පුරට පමුණුවන උතුම් වූ ධර්මය ලෝ සතුන් ගේ හිත පිණිස බුදුරදුන් දෙසූ සේක. මෙය බුදුරදුන් කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

උතුම් වූ නිවන දන්නා වු උතුම් නිවන් සුවය දෙන්නා වූ උතුම් නිවන් මඟ ගෙනහැර පාන්නා වූ අනුත්තර වූ බුදුරජාණන් වහන්සේ උතුම් දහමක් දෙසූ සේක. මෙය ද බුදුරදුන් කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යම් රහතන් වහන්සේ නමක ගේ පුරාතන කර්ම ප්‍රහීණ වූයේ ද අලුත් භවයක් නැත්තේ ද මතු භාවයක් කෙරෙහි නොඇලුණු සිත් ඇති ප්‍රහීණ වූ ප්‍රතිසන්ධි විඥාන බීජ ඇති පුනරුත්පත්තියෙහි ආශාවක් නැති ධෛර්ය සම්පන්න වූ ඒ රහතන් වහන්සේලා මේ පහන නිවෙන්නාක් මෙන් පිරිනිවෙත්. මෙය ද සංඝරත්නය කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

මෙතැන් හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනාම තථාගත නම් වූ දෙවි මිනිසුන් විසින් පුදන ලද බුදුරදුන් නමදිමු. සත්හට සෙත් වේවා.

මෙතැන් හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනා ම දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ ධර්මය නමදිමු. සත්හට සෙත් වේවා.

මෙතැන් හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනාම දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සංඝරත්නය නමදිමු. සත්හට සෙත් වේවා

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...