Saturday, September 24, 2022

සහනසීලි මානසික පරිසරයකට සිව්බඹ විහරණ

 

සහනසීලි මානසික පරිසරයකට සිව්බඹ විහරණ



සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා මහෝපකාරී වන කරුණු සතරක් දේශනා කළහ. මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ඛා යනු එම ධර්ම හතර යි. ඒවා සිව් බඹ විහරණ හෙවත් චතුර්විධ බ්‍රහ්ම විහරණ නාමයෙන් හැඳීන්වේ.

මෙම ගුණ හතර මහා බ්‍රහ්මයා තුළ ඇතැ යි යන පිළිගැනීමක් වේ. ඒ අනුව මහා බ්‍රහ්මයා සැම සත වෙත කිසිදු වෙනසක් නැතිව මෙම ගුණධර්ම හතර පතුරුවන්නෙකු වේ. එමෙන් ම මෙම ගුණ හතර යම්කිසිවකු කෙරෙහි පවතී ද හෙතෙමේ ද මහා බ්‍රහ්ම ගුණයෙන් යුතු අයකු වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහා බ්‍රහ්මයා සතුව ඇතැයි සැලකෙන මෙම උතුම් ගුණධර්ම හතර ප්‍රත්‍යක්ෂ වශයෙන් ම ඇති බව දැනගත හැකි පදවි දෙකක් මේ ලෝකයේ ඇති බවයි, එනම් මව් පදවිය සහ පිය පදවිය යි. “බ්‍රහ්මාති මාතා පිතරො“ යන සිඟාලෝවාද සූත්‍රාගත පාඨයෙන් ඒ බව තහවුරු වෙයි. මෙම කරුණු හතර යම් සමාජයක ක්‍රියාත්මක වන්නේ ද සැබැවින්ම එම පරිසරයේ ජීවත්වන සියල්ලෝම මානසික සහනශීලිතාවය භුක්ති විඳීන්නෝ වෙති. අභිධර්මයට අනුව මෙත්තා, කරුණා සහ මුදිතා යන බ්‍රහ්ම විහරණ තුන අප්පමඤ්ඤා නමින් හැඳීන්වේ. “තිස්සො අප්පමඤ්ඤා මෙත්තා කරුණා මුදිතා” මේ කරුණුවල ඇති වටිනාකම ඉතා කෙටියෙන් විමසා බැලීම අපගේ අරමුණ වේ.

මෙත්තා

“මිත්තස්සභාවො මෙත්තා” ‘මෙත්තා’ යනු මිත්‍ර ස්වභාවයෙන් හෙවත් හිතවත් භාවයෙන් යුක්තව කටයුතු කිරීමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී කල්‍යාණ මිත්‍රයන් හතර දෙනෙකු දක්වා එම මිත්‍රයන් සතු ගුණධර්ම ද දේශනා කොට ඇත. අවංක මිතුරන් කිසි විටෙක තම මිතුරාට විපතක් කරදරයක් වේවායි නොපතන අතර තම මිතුරා ආරක්ෂා කරගනියි. අපගේ ඇසුරට ගත යුත්තේ එවැනි කල්‍යාණ මිත්‍රයන් පමණක් බවත් එවැනි තැනැත්තෙකු තමාගේ ඇසුරට නොලැබෙන්නේ නම් තනිව ජීවත්වීම උසස් බවත් බුදුන් වහන්සේ දේශනා කොට ඇත. ‘මෛත්‍රිය’ භාවනා කමටහනක් වශයෙන් ද වැඩිය හැකි ය. මෙත් වැඩිය යුතු ආකාරය ඉතා පැහැදිලි ව කරණීයමෙත්ත සූත්‍රයේ දක්වා ඇත. අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත්‍රයේ දී මෛත්‍රී භවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස එකොළහක් ඇති බව පෙන්වා දී ඇත. ඒ අනුව මෛත්‍රි සහගත සිතුවිලිවලින් යුක්තව මෙත්තා භාවනාව වඩන පුද්ගලයා,

සැප සේ නිඳාගනියි, සැප දේ අවදිවෙයි, නිදා සිටින විට පාපී නපුරු සිහින නොදකියි, මිනිසුන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි, දෙවිවරු හෙතෙම ආරක්ෂා කරයි, වස විෂ, අවි ආයුධ වලින් විපත් සිදුනොවෙයි, ඉක්මනින්ම සිතෙහි සමාධිය ඇති කරගත හැකි වෙයි, ශරීර වර්ණය පැහැපත් වෙයි, සිහි මුළා නො වී මරණයට පත්වෙයි, මේ ජීවිතයේ අරහත්වයට පත්වුණේ නැත්නම් බ්‍රහ්ම ලෝකයේ උපදියි.

මෛත්‍රී සහගත ව මිත්‍රස්වභාවයෙන් ජීවත් වන තැනැත්තා තමාටත් සමාජයටත් හිතැති පුද්ගලයෙකු වේ. එවන් පුද්ගලයන් ජීවත්වන සමාජය පතිරූපදේසවාස වෙයි.

කරුණා 

“පරදුක්ඛෙ සති සාධූනං කම්පනං හදයඛෙදං කරොතීති වා කරුණා” අනුන්ගේ දුකේ දී සත්පුරුෂයන්ගේ හදවතේ ඛේදයක්, කම්පනයක් ඇතිවන්නේ කරුණාව නිසා ය. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාකරුණාවේ ප්‍රතිමූර්තියය යි.

උන්වහන්සේ සම්මා සම්බුදුවරයකු වශයෙන් සෑම දිනක ම හිමිදිරි උදෑසන අද මගෙන් සිදුවිය යුතු සේවය කුමක් ද? අද දින මම කාහට නම් පිහිට වන්නේ ද, අද මම දුකෙන් සිටින්නෙකු කෙසේ නිදුක් කරන්නෙම්ද? විපතට පත්ව සිටින්නෙකු කෙසේ දුකෙන් ගලවා ගන්නෙම් ද? යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ සැමදාම අලුයම නැගිට මහා කරුණා සමාපත්තියට සම වැද ලෝක සත්ත්වයා දෙස බලති. සත්පුරුෂයන්ගේ හදවතේ ඇතිවන කරුණාවේ ස්වභාවය වන්නේ දුක්ඛිත සත්වයන් කෙරෙහි කම්පාවක් ඇතිවී එය නොඉවසා එම දුකින් පීඩාවට පත්වූවන් දුකෙන් මිදවීමට ක්‍රියා කිරීම යි. කරුණාව සැම සත වෙත එක හා සමාන ව අප්‍රමාණ ව වැඩිය යුතු දෙයක් වන අතර මෙලොව ජීවත්වන බොහෝ දෙනාගේ කරුණාව එසේ නොවේ. එය එකිනෙකාට අනුව වෙනස් වේ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ හදවත සෑම මොහොතක ම නිරතුරුව ම කරුණාවෙන් සිසිල් ව තිබුණි. ඉතා දිළිදු දුගී මගී යාචකයාගේ පටන් රජමැදුරේ උසස් කුලවතුන්ට පවා උන් වහන්සේගේ කරුණාව එක හා සමාන විය.

මුදිතා

තමන් මේ ලෝකයට බිහි කළ දරුවන් හැදී වැඩී ඉතා හොඳීන් ඉගෙන කියාගෙන, දැහැමින් ධනය හරි හම්බ කරගෙන, ඉඩකඩම් මිල දී ගෙන, ගෙවල් දොරවල් හදාගෙන, දූ දරුවන් හදා වඩාගෙන දරු සුරතල් බලමින් සමාජයේ යහපත් පුරවැසියන් වශයෙන් ජීවත්වන ආකාරය දකින දෙමාපියන්ගේ හදවතේ ඇති වන්නේ අප්‍රමාණ සතුටකි. එම සතුට මුදිතාවයි. දෙමාපියන්ගේ හදවතේ පමණක් නොව අන් අයගේ දියුණුව දැක, ඔවුන්ට ලැබෙන කීර්ති ප්‍රශංසා ගරු බුහුමන් ආදිය දැක ඒ කෙරෙහි කවරෙකුගේ හෝ හදවතේ සතුටක් ඇති වේ නම් ඒ සතුට මුදිතාවයි. ඉතා ධනවත් රූමත් කුලවත් අය දෙස බලා හිතේ සතුටක් ඇති කර ගැනීමට හැකි විය යුතු ය. එහෙත් යමෙකුගේ හදවතේ දැඩිව ඉරිසියා ගති පවතින්නේ නම් ඔහුගේ හදවතේ මුදිතාව පහළ නොවෙයි.

උපෙක්ඛා

ලාභ, අලාභ, යස, අයස. නින්දා, ප්‍රශංසා, සැප සහ දුක යන අට ලෝ දහමින් කම්පා නො වී ඉන්නට නම් උපේක්ෂාව වැඩිය යුතු ය. පුද්ගල ජීවිතය සාර්ථක ව පවත්වාගෙන යාමට පුරුදු පුහුණු කළ යුතු ඉතා වැදගත් ගුණ ධර්මයක් ලෙස උපේක්ෂාව සඳහන් කළ හැකි ය. මිනිසා තමාට එදිනෙදා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන දුක් කරදර හමුවේ දුකට සහ කම්පාවට පත්වන අතර, සැප සතුට ලැබෙන අවස්ථාවල දී අතිශය සතුටට ප්‍රීති ප්‍රමෝදයට පත් වෙයි. මේ ආකාරයට තම ජීවිතයට ළඟාවන දුක් කරදර හමුවේ පීඩාවට, සිත් වේදනාවට හෝ පත් නොවී සැප සතුට නිසා උද්දාමයට පත් නොවී මැදහත් සිතින් ඒ සියල්ල විඳ දරාගත හැකිනම් ඒ උපේක්ෂා විහරණයේ ප්‍රතිඵල වේ.

වර්තමානයේ ලෝකයේ ජීවත්වන අපි සියලූ දෙනාටම මුහුණ දීමට සිදු වී ඇත්තේ ද අට ලෝ දහමට අනුව සිදුවන පරිවර්තන තත්ත්වයකට ය. එය කිසිවෙකුට වැළැක්විය නොහැකිය. එපමණක් නොව එය කිසිවෙකුගේ කර්මයක ඵලයක් නිසා ඇති වූවක් ද නොවේ. ස්වභාව ධර්මයේ මූලික න්‍යායන් වන ඒ අට ලෝ දහම හමුවේ කම්පා නොවන සිතක් ඇති කර ගැනීමට, උපේක්ෂාව වැඩිය යුතු ම ය.

මෙහි දක්වන ලද කරුණු එකක් එකක් පාසාම පුද්ගල ජීවිතයේ සාර්ථකත්වයට මෙන්ම සමාජයේ

සාර්ථකත්වයට ද ඉවහල් වේ. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව මුළු මහත් සමාජය හා පරිසරය දෙස මෙත්තාසහගත කායකම්ම, මෙත්තා සහගත වචීකම්ම, මෙත්තා සහගත මනොකම්ම ප්‍රගූණ කරමින් කරුණාවෙන්, මුදිතාවෙන් හා උපේක්ෂාවෙන් ජීවත් වියු යුතු කාලය එළඹ ඇති බව සෑම දෙනාට පසක් වී ඇත. මේ උතුම් දිනයේ ඒ බව සිහිපත් කරදීමට කැමැත්තෙමි. ලෝකයේ ජීවත් වන සෑම දෙනාම බුදුන් වහන්සේ ලෝකයාට දෙසා වදාළ ධර්ම මාර්ග අනුගමනය කරමින් සිවු බඹ විහරණයෙන් යුක්තව කටයුතු කරන්නේ නම් සහනශීලි මානසික පරිසරයක් ගොඩ නගාගෙන ජීවත් වීමේ මංපෙත් සැම සත වෙත විවර වනු නො අනුමාන ය

Thursday, September 22, 2022

සම්බුදු උපත සැපතකි

 

සම්බුදු උපත සැපතකි



මිනිස්සු උපදිනවා, ජීවත්වෙනවා, මැරෙනවා. ඒ මිනිසුන් අතරෙන් ම කලාතුරකින් කෙනෙක් බුද්ධත්වයට පත්වෙනවා. ඒ කාලාන්තරයක් පුරා පුරන ලද පෙරුම්දම්වල ප්‍රතිඵල වශයෙන්. අප ජීවත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ, උන් වහන්සේගේ දහම පවතින කාලයක යි.

බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීමත්, ධර්ම විනය ලෝකයේ පැවතීමත් ලෝකයට හිත පිණිස, සැප පිණිස පවතින බව සුගත විනය සූත්‍රයේ තථාගතයන් වහන්සේ ම දේශනා කොට තිබෙනවා. ලෝකයේ මිනිස්සු කල්පනා කරන්නේ, තමන් සිතන දේ එලෙසින් ම ඉටු වෙනවා නම් එය සැපයක් කියලයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පසිඳුරන් ඇසුරෙන් ලබන සංතෘප්තිය ම ඔවුන් අපේක්ෂා කරනවා. 

ඉඳුරන් පිනවන්නට ලැබීම සැපයක් කියලා හිතනවා. එහෙත් කිසිවෙකුටත් කිසි විටෙකත් එලෙස තමන් සිතන පතන සියල්ල එලෙසින්ම සපුරා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එසේ නොවන විට ඇති වන්නේ දුකක්. එබැවින් ලෝකයේ සියලු දෙනාම බොහෝ විටජීවත් වෙන්නේ බලාපොරොත්තු කඩ වූ අය හැටියට දුකෙන්, වේදනාවෙන්. එනිසා බොහොම ඈත කාලයක ඉඳලාම දුක යටපත් කිරීමට, නැතිනම් නැතිකර දැමීමට ක්‍රම සෙවීම කෙරෙහි මිනිසුන් උනන්දුවක් දැක්වූවා. බුද්ධ කාලයට පෙර සිටම මිනිසා දුකෙන් මිදීම පිණිස, නොයෙක් ක්‍රියා මාර්ග අනුගමනය කළ බව පොත පතෙහි දැක්වෙනවා. මහා බ්‍රහ්මයා, ඊශ්වරයා වැනි අදෘශ්‍යමාන බලවේග කෙරෙහි විශ්වාසය තැබීම ඒ අතරින් එක් ක්‍රමයක්. තව කොටසක් සිරුරට දුක්දීම තුළින්ම සියලු දුක් නිමා කළහැකි බව හිතුවා. මේ අතර සිරුරට අසීමිත ලෙස සැප දීමෙන් දුක් දුරලිය හැකි බව පිළිගත් පිරිසක් ද හිටියා. මේ කිසිදු ක්‍රමයකින් දුක නැතිකළ නොහැකි බව පසක් කරගත් බුදු රජාණන් වහන්සේ, ලෝකයට අනාවරණය කරන ලද්දේ එතෙක් ලෝකයේ කිසිවෙකුත් සොයා නොගත් නවතම ක්‍රියා මාර්ගයකි.

වරක් අචේල කස්සප නම් පිරිවැජියා බුදුරජාණන් වන්සේ වෙත පැමිණ ප්‍රශ්න කීපයක් ම විමසුවා.

ගෞතමයන් වහන්ස, දුක ඇති කරන්නේ තමා විසින් ම ද? නැතිනම් අනුන් විසින් ද? එසේත් නැතිනම් තමන් හා අනුන් යන දෙදෙනා විසින්දැ’යි? කස්සප ප්‍රශ්න කළා. තථාගතයන් වහන්සේගේ පිළිතුර වූයේ, දුක තමන් විසින් හෝ අනෙකෙකු විසින් හෝ තමා හා අනෙකෙකු විසින් හෝ ඇති කරන ලද්දක් නොවන බවයි.එසේනම් දුක ආකස්මික ව ඇති වන්නක් දැයි කස්සප නැවතත් විමසුවා. දුක ආකස්මික ව ඇති වන්නක් ද නොවන බව තථාගතයන් වහන්සේ වදාළා. එසේනම් දුක කියා දෙයක් නැද්දැයි ඔහු නැවත විමසුවා. දුක කියා දෙයක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඔබ වහන්සේ දුක දැක තිබේදැයි? ඔහු නැවතත් විමසා සිටියා. තමන් වහන්සේ දුක දැක ඇති බව උන් වහන්සේ වදාළා.

සමහරුන්ගේ විශ්වාසය වෙනස් නොවෙන සදාකාලික ආත්මයක් ඇති බවයි. තව කොටසක් කලක් තිබී විනාශවන ආත්මයක් ඇතැයි පිළිගනී.ි තමන් වහන්සේ මේ අන්ත දෙකට ම නොගොස් මධ්‍යම ප්‍රතිපදාවේ සිට ධර්ම දේශනා කරන බව තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ අනුව සදාකාලික හෝ කලක් තිබී වෙනස්වෙන හෝ ආත්මයක් නැත, සිදු වන්නේ ප්‍රත්‍යයන්ගෙන් උපන් ධර්මය හා නිරෝධය පමණි. මෙය ඇති කල්හි මෙය වේ, මෙය නැති කල්හි මෙය නොවේ, මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය තුළ උපදින්නේ දුක මිසක් ආත්මය නොවේ. මෙයින් පැහැදිලි වන්නේ දුක කිසියම් පුද්ගලයෙකු විසින් ඇති කරන්නක් නොව, හේතු ප්‍රත්‍යයන්ගේ ඵලයක් බවයි. 

බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි භද්‍රක නම් ගම් දෙටුවෙක්, ස්වාමිනී, මට දුකෙහි සමුදයත්, අස්තයට යාමත් පැහැදිලි කර දෙන්නැයි ඉල්ලා සිටියා. එවිට තථාගතයන් වහන්සේ කරුණු පැහැදිලි කර නොදී, ඔහුට තම අත්දැකීම් තුළින් වටහා ගැනීමට සලසාලනු පිණිස ඔහු සමග සාකච්ඡාවක යෙදුණා. ඔබ ජීවත්වෙන උරුවේලකප්ප ගමේ යම් කෙනෙකුට දුකක් ඇති වුවහොත්, ඔබටත් දුක හිතෙන අවස්ථා තිබේදැයි ප්‍රශ්න කළා. එවැනි අවස්ථා ඇති බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම යමෙකුට දුකක්, දොම්නසක් ඇතිවූ විටෙක, ඔබට දුකක් ඇති නොවෙන අවස්ථාත් ඇද්දැයි ඊළඟට ප්‍රශ්න කළා. ඊට පිළිතුරු වශයෙන් එවැනි අවස්ථා ද ඇතැයි ඔහු ප්‍රකාශ කළා. යමෙකුට විපතක්, දුකක් ඇති වූ විටෙක, ඔබේ හිතේ දුකක් ඇතිවූයේ කුමන හේතුවක් නිසාදැයි ප්‍රශ්න කළවිට, ඒ ඡන්දරාගය නිසායැයි කිව්වා. සමහර වෙලාවට වෙනත් කෙනෙකුට දුකක් ඇති වෙච්ච වෙලාවල්වල, ඔබේ හිතේ දුකක් ඇති නොවෙන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළා. ඒ ඡන්දරාගය නැති නිසායැයි ඔහු ප්‍රකාශ කළා. මේ සාකච්ඡාවෙන් පැහැදිලි වෙන්නේ දුකට හේතුව ඡන්දරාගය බවයි. භද්‍රකට තව දුරටත් පැහැදිලි කර දෙන තථාගතයන් වහන්සේ, ඔබේ බිරිඳ ඔබ දැකලාවත් අහලාවත් නැති නොමැති අවදියේ ඇය පිළිබඳ ඡන්දරාගයක් තිබුණාදැ’යි ප්‍රශ්න කළා. එවැන්නක් නොතිබුණු බවත්, ඇය දැක ඇසුරට ගැනීමෙන් පසුව ඡන්දරාගය උපන් බවත් ඔහු ප්‍රකාශ කළා.

තථාගතයන් වහන්සේ භද්‍රක සමග මෙතරම් ප්‍රශ්න කළේ, දුක හටගන්නා හේතුව ඡන්දරාගය බව ඔහුටම තම අත්දැකීම් අනුසාරයෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසාදීමටයි.

ඉන් පසුව භද්‍රක, මෙතෙක් කල් එක් එක්කෙනා පැමිණ දුක නැති කිරීම සඳහා යැයි කරන ලද ඉගැන්වීම් පිළිබඳ මතක් කිරීමක් කරමින්, ඒවා තර්ක වැඩෙන කතා පමණක් වූ නිසා මගෙ හිත් ගත්තෙ නැහැ, ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ප්‍රසන්නයි, පැහැදිලියි, සැකයක් නැහැ එනිසා දුක ඇති කරන්නේ කාමරාගය බව පැහැදිලියැයි ඔහු ප්‍රකාශ කොට එය දුරලීමට ඇති ක්‍රමවේදය කුමක්දැයි නැවත විමසා සිටියා. යමෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම වශයෙන් ලබන ප්‍රිය දේවල් පිළිබඳව ඇතිවන ඡන්දරාගය ප්‍රහාණය කළහොත් ඔහු දුක නැති කළ කෙනෙකු වෙනවා. ඒ සඳහා යෝනිසෝ මනසිකාරය ඇතිකර ගත යුතුයැයි උන්වහන්සේ වදාළා.

අපේ හිතට නිතරම නොයෙක් දේ සිහිවෙනවා, උවමනාවක් ඇතත් නැතත් නොයෙක් දේ කල්පනාවට එනවා. සමහර විට අතීත සිදුවීම්, එසේත් නැතිනම් ඉදිරියේ දී කිරීමට බලා පොරොත්තු වෙන දේවල්, නැතිනම් මේ වෙලාවෙ යෙදෙන මොකක් හෝ අරමුණක් ගැන විය හැකියි .මෙලෙස සිහිපත්වෙන සියල්ලම හඳුන්වන්නේ මනසිකාරය කියලයි. හිතේ එලෙස සිතිවිලි ඇතිවෙන්නේ ඇස, කණ, නාසය ආදි සළායතන රූප, ශබ්දාදි අරමුණු සමග ගැටීම නිසයි. අරමුණු අල්ලා ගැනීම, හැඳීන ගැනීම හා විඳීම නිසයි. 

ලෝකය හා ලෝකයේ පවතින දේ පිළිබඳවත් ඇති අනවබෝධය නිසා ලෝකයේ සත්වයා දුක් විඳින බව තථාගතයන් වහන්සේ හා භද්‍රක අතර ඇති වූ මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වෙයි. උන්වහන්සේ පෙන්වා දුන් මග ගමන් කොට භද්‍රක සියලු කෙලෙස් නසා සසර දුකින් එතෙර වෙයි.එනිසා ඔහ දුක් නැති කිරීමටයැයි එතෙක් නොයෙක් දෙනා ඉදිරිපත් කළ දේශනාවන් මිථ්‍යවන් ම බවත් පසක් කරගනී.

බුදුවරයන් වහන්සේ නමකගේ පහළවීම සැපයක් යැයි යන කියමන සැබෑවක් බව වටහා ගැනීමට, මේ භද්‍රක සූත්‍ර දේශනාව වැනි එක් සූත්‍රයක් ම ප්‍රමාණවත්යැයි සිතේ. උන්වහන්සේ ජීවමාන ව වැඩ සිටි හතළිස් පස් වසරතුළ දේශ දේශාන්තරයන්ගෙන් පැමිණි මිනිසුන් ද දෙවියන් බඹුන් ද තථාගතයන් වහන්සේ වෙත පැමිණ සාංසාරික දුකෙන් නිදහස් වූ බව සත්‍යයකි. සත්වයා දුකෙන් එතෙර කිරීමට මග පෙන්වීම බුදු වරයන් වහන්සේ නමකගේ කෘත්‍යයයි. මේ වෙසක් සමයේ මිථ්‍යාවේ කඩතිර ඉරා දමා, ප්‍රඥා ඇස පාදා ගෙන, දුක් නිමා කරන මගට අපි පිවිසෙමු

Wednesday, September 21, 2022

බුදුගුණ සිහි කරමු

 

බුදුගුණ සිහි කරමු





"බුදුවරයන් වහන්සේ වනාහි ලෝකය හා ජීවිතය පිළිබඳ ව අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළ සේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළ සේක. ජීවිතයෙන් ඉවත් කළයුතු සියල්ල බැහැර කළ සේක . එබැවින් බුද්ධ නම් වූ සේක."

මම සත්‍යය අවබෝධ කරමි. අන්අයට ද සත්‍යය අවබෝධ කරවා මම ද සසර දුකින් මිදෙන්නෙමි. අන් අය ද සසර දුකින් මුදවන්නෙමි කාම, භව, දිට්ඨි, පච්චයා යන සසර සයුරෙහි සැඩ පහර භයානක ය. යනුවෙන් දීපංකර පාදමූලයේ දී සුමේධ නම් තාපස ව නියත විවරණ ලබමින් අප බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා ඇති කොට ගත්හ. 

එතැන් පටන් දානාදී සමතිස් පෙරුම් පුරමින් සීල , සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේගේ අසමසම අනන්ත, අත්‍යුදාරතර බුදුගුණය අනුස්මරණයෙහි ලා සුදුසුම දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි.

මහණෙනි පා නැත්තා වූ ද, පා දෙකක් ඇත්තා වූ ද පා හතරක් ඇත්තාවූ ද බොහෝ පා ඇත්තා වූ ද, රූප ඇත්තා වූ ද රූප නැත්තා වූ ද සංඥාඇත්තා වූ ද, සංඥා නැත්තා වූ ද, සංඥා ඇත්තාවුත් නොවු ව ද, සංඥානැත්තාවූත් නොවූ ව ද යම් පමණ සත්ත්වයෝ වෙත් ද ඒ හැමසත්වයන්ට වඩා තථාගතයන් වහන්සේ අග්‍ර වන සේක. යනු එහි අර්ථයයි.

බුද්ධ යනු අවබෝධයයි. ඒ කවර නම්, අවබෝධයක් ද? තථාගතයන් වහන්සේ ම සේල නම් බමුණාට මෙසේ වදාළ සේක. දත යුතු සියල්ලම විසින් වෙසෙසින් දක්නා ලදිමි. වැඩිය යුතු සියල්ල වඩනා ලදිමි. හළයුතු සියල්ල හළෙමි. එහෙයින් මම බුද්ධ නම් වෙමි. යනුවෙනි. දුක්ඛසමුදය නිරෝධ මාර්ගා දී ආර්යය සත්‍යය ස්කන්ධ , ආයාතන , ධාතු,බෝධිපාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාද අංග ආදි ගැඹුරු දහම් කොටස් වෙන් වෙන් වශයෙන් ඉතා සියුම්ව ද , සත්ත්වයා හා ලෝකයපිළිබඳ අප්පාද, භංගාදී විග්‍රහයන් හේතු ඵලවාදී විචාරක්ෂියෙන් දත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේකැයි අට්ඨකථාචාරීහු පෙන්වා දෙති.

බුද්ධං අනුසාරතො චිත්තං පසීදතී යන බුදු වදන් සිහියට නඟා ගැනීම මේ වෙසක් සමයේ සැදැහැවතුන්ගේ යුතුකමකි. 

සම්බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමරුන් ලෙසින් ලොව පහළ වීමසිදුහත් බෝධිසත්වයන් වහන්සේ සකල ක්ලේශ මාර පරාජයෙන් උතුම් වූ සම්බුද්ධත්වයට පත්වීම, පන්සාලිස් වසක් තුන් ලෝ වැසි අනන්ත සත්වයන්ගේ සංසාරික විමුක්තිය උදෙසාම කැප කොට ඒතථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත්වීම යන තෙමඟුල සිදුවූමේ උතුම් පූජනීය දිනය තරම් ශ්‍රේෂ්ඨ දිනයක් බෞද්ධ ලෝකයාට

තවත් නොමැත. මෙත්, කරුණා, මුදිතා ආදී ගුණ සමුදාය ගලා යන, නොසිඳෙන දියදහරක් මෙන් අකාලිකව පවත්නා අනන්ත බුදුගුණය සිහිකරත්ම සිත්සතන් ප්‍රබෝධයට පත්වීම. ස්වභාවික ය. බුද්ධානුභාවයෙහි සුවිශේෂත්වය නිරතුරු සිහිකිරීම උදාරතර ආධ්‍යාත්මිකසංවර්ධනයකට මාර්ගෝපදේශ වේ. තථාගතයන් වහන්සේ සතු වූ ශීල,සමාධි , ප්‍රඥා විමුක්ති , විමුක්ති ඤාණ, දර්ශනාදී පරමෝත්කෘෂ්ට ගුණාංග සමුදායන් අසරණ සරණ ගිලානෝපස්ථාන, අටලෝ දහමින් අනුකම්පාබව , විෂම වූවන් දමනය කිරීම, මහා කාරුණිකත්වය , මහාප්‍රඥාවත්භාවය ආදී ශ්‍රේෂ්ඨ ගුණ සමුදායන් සකල සත්ත්ව වර්ගයාටම ගුණාංග වර්ධනයෙහිලා හැම විටම මාර්ගෝපදේශ වන්නේ ය. පූරිතපාරමී දම් නිසා ලැබූ කෘතහස්ත භාවයත් , ප්‍රසාද ජනක පෞරුෂත්වයත්, ගරු සම්භාවනීයත්වයත්, මහා ප්‍රඥාවත් , අපූරුදේශනා විලාසයත් යනාදී නන් වැදෑරුම් විශේෂතාවයන් සකල සත්වප්‍රජාවගේ ම හිත සුව පිණිස යෙදූ බව වටහා ගැනීම මැනවි.

බුදුවරයන් වහන්සේ වනාහි ලෝකය හා ජීවිතය පිළිබඳ ව අවබෝධ කළ යුතු සියලු සත්‍යයන් අවබෝධ කොට වදාළ සේක. පුරුදු පුහුණු කළ යුතු මනා පැවතුම් සම්පූර්ණ කළ සේක.ජීවිතයෙන් ඉවත් කළයුතු සියල්ල බැහැර කළ සේක . එබැවින් බුද්ධ නම් වූ සේක. සියලු බුදුවරයන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ගුරුකොට ,ශාස්තෘ කොටවැඩ විසූහ. එම ශ්‍රි සද්ධර්මය වනාහි සමස්ත ලෝක විෂයෙහි යථාස්වභාවය මැනවින් මෙන්ම ගැඹුරින් ද ප්‍රකාශිත ය. 

උතුම් වූ සද්ධර්මය මනාකොට අවබෝධ කර ගැනීම ප්‍රඥාවන්ත මනුෂයාගේ මූලික කාර්යයක් වේ. බුද්ධ ධර්මය වනාහි හේතුඵලවාදීදාර්ශනික පදනමෙහි පිහිටි ලෝක ස්වභාවය මැනවින් අවබෝධ කර ගැනීමට මහෝපකාරී වන චතුරාර්ය සත්‍ය මත පදනම් වූවිමුක්තියටත්, සමාජමය විමුක්තියටත්, මාර්ගෝපදේශ කරගැනීම බව තරයේ අවබෝධ කර ගත යුතු ය.

ශ්‍රී ලංකාද්වීපයෙහි ජීවත් වන සිංහල බෞද්ධ වූ අපට වෙසක් පොහෝ දිනය ජාතික වශයෙන් , ද ඉතා වැදගත්වේ. වෛශාඛ්‍ය පුජනීයත්වය හා ජාතියෙහි සමාරම්භය සම්මිශ්‍රණය වූ අයුරු ඉතිහාසයෙහි පැහැදිලිව සඳහන් වේ. විජය කුමරුන් ප්‍රධාන සත්සියයක් අපේ මුතුන් මිත්තන් ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූයේ උතුම්වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක ය. අපේ ජාතියෙහි සියලු යහපත් අංගයන් හා සම්බන්ධ සංවර්ධනාත්තමක වු ත් , අධිෂ්ඨාන සහගත වුත් දිනයක් වශයෙන් මේ දිනය යොදාගෙන ඇත. ශ්‍රී ලංකාද්වීපවාසී සිංහලයන් ගුණයෙන්, නුවණින් සම්පූර්ණ වූ විශිෂ්ටසංස්කෘතියක් ගොඩනඟා ගත්තේ මේ උතුම් වූ බුද්ධ ධර්මයෙහිඉගැන්වීම ගුරුකොට තබාගෙන ය. උට්ඨාන සම්පදා , ආරක්ඛ සම්පදා,කල්‍යාණ මිත්තතා, සමජීවිකතා යන මුලික සංකල්ප හතර පදනම්කොට ගෙන ස්වයංපෝෂිත ආර්ථිකයත් , සරල ජීවන පැවැත්මත්, විශිෂ්ට චින්තන ශක්තියත් උරුම කර ගැනීමට අපේ මුතුන් මිත්තෝසමත් වුහ. වර්තමානයේ විශේෂයෙන් අපේ තරුණ පරපුර ඉහත කීකරුණු කෙරෙහි අවධානය යොමුකොට සිල්වත් ව , ගුණවත් ව, නැණවත් ව කටයුතු කිරීමට අධිෂ්ඨන සහගතවීම අත්‍යවශ්‍ය වේ.

රටක් වශයෙන් ද, ජාතියක් වශයෙන් ද, පුද්ගලයෙක් වශයෙන් ද, සමාජයක් වශයෙන් ද, ශ්‍රේෂ්ඨත්වයට පත්විය හැක්කේ එමඟිනි. උදා වූ මෙම උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දින පංචශීල , අට්ඨාංග ශීල, දස ශීල ආදී උතුම් ප්‍රතිපත්තියෙහි පිහිටා දාන , ශීල, භාවනා දී පින්කම් සිදුකොට ලොව්තුරා සැපත් සිද්ධ කටයුතු යැයි මෙත්සිත් පෙරටුව සඳහන් කරනු කැමැත්තෙමු.

- හේමමාලා රන්දුනු

සසුනෙහි නො ඇලුනු මහණෙක්

 

14-5 සසුනෙහි නො ඇලුනු මහණෙක් 


බබලන සඳහිරු - යම් පමණ තැන් හැසිරෙත්, 

බබලත් ද දිග්හි - එ පමණ පෙදෙස පොළොවෙහි. 

වසනා යම් පමණ - පාණහු වෙත් ද ඒ හැම, 

මන්දා රජුගෙ දස්හූ - වෙත් ම ය (කම් සැපෙහි උස්)” 

යි එය මෙසේ වදාරා අනතුරු ව තවත් ගාථා දෙකක් ද ගෙණ හැර පෑ සේක. 

න කහාපණවස්සෙන තිත්ති කාමෙසු විජ්ජති, 

අප්පස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතො. 

.

අපි දිබ්බෙසු කාමෙසු රතිං සො නාධිගච්ඡති, 

තණ්හක්ඛයරතො හොති සම්මාසම්බුද්ධසාවකො. 

කහවණු වැස්සෙන් ද වස්තුකාමයන්හි සෑහීමෙක් නැත්තේ ය. නුවණැත්තේ “කාමයෝ රසවිඳ ගැණුම් රහිතහ ය, දුක් ඇත්තාහ” යි මෙසේ දැන, දිව්‍යමය වූ කාමයන්හි ද ඇල්මට නො පැමිණයි. ඒ සම්මා සම්බුදුරජුන්ගේ ශ්‍රාවක තෙමේ අර්‍හත්ඵලයෙහි හෝ නිවනෙහි ඇලුනේ වෙයි. 

න කහාපණවස්සෙන = කහවණු වැස්සෙන් ද. 

මෙහි පෙණෙන  යන්න දෙවන පාදයෙහි එන විජ්ජති යන්න හා එක් වේ.  යනු නිපාත මාත්‍රයෙකි. 

රන් පස් මස්සක් රිදී පස් මස්සක් තඹ දස මස්සක් යන මේ විසි මස්ස එක් කොට එහි මටබව පිණිස වී ඇටක් පමණ ලෝහයත් බහා කලවම් කොට අකුරු හා යම් කිසි රූසටහනක් දක්වා කරන ලද්දේ කහවණු, යි කියත්. නිල් කහවණු නමින් ද එන්නේ මේ ය. “පංච මාසාසුවණ්ණස, තථා රජතස්ස, දසමාසා තම්බස්ස, එතෙ වීසති මිස්සෙත්‍වා මට්ටත්‍ථාය වීහිමත්තං ලොහං පක්ඛිපිත්‍වා අක්ඛරාණී ච හත්‍ථිපාදාදීනං අඤ්ඤතරං ච රූපං දස්සෙත්‍වා කතො නීලකහාපණො නාම” යනු විනයාර්‍ත්‍ථකථාවෙහි ආයේ ය. 

‘කහාපණවස්සෙන’ යන මෙයින් මෙහි අදහස් කරණ ලද්දේ මන්‍ධාතු රාජකාලයෙහි වට සත් රුවන් වැස්ස ය. අහසින් වැටෙන දියදහර වස්සනම්. 

තිත්ති කාමෙසු (න) විජ්ජති = වස්තුකාම ක්ලේශකාමයන්හි සෑහීමෙක් නැත. 

සෑහීම තිත්තී නම්, ‘ විජ්ජති’ යන මෙහි අරුත් ගත යුත්තේ, මුලින් දැක්වූ  යන නිපාතයත් මෙයට එක් කිරීමෙනි. 

අප්පස්සාදා දුඛා කාමා = කාමයෝ රසවිඳගැණුම් නැත්තෝ ය. දුක් ඇත්තෝ ය. 

රසවිඳ ගැණුම අස්සාද නම්, මේ හා එක් ව සිටි, අප්ප ශබ්දය අභාවයෙහි වැටේ. ස්වල්පාර්‍ත්‍ථයෙහිලා ගත ද, විරෝධයෙක් නො වේ. අභාවාර්‍ත්‍ථයෙහිලා ගත්විට ‘රසවිඳ ගැණුම් නැතැ’ යි යන අරුත් යෙදෙයි. ස්වල්පාර්‍ත්‍ථයෙහිලා ගත්විට ‘මඳවූ රසවිඳගැණුම් ඇතැ’ යි යන අරුත් යෙදෙයි. 

අප්පස්සාදා යන්නෙන් කාමා යන්න ගැණේ. අප්පස්සාදයෝ නම් කාමයෝ ය. කාමයෝ නම් අප්පස්සාදයෝ ය. මෙහි ‘කාමයෝ රසවිඳගැණුම් නැත්තාහ’ යි ගැණිම ම වඩා සුදුසු ය. ‘කාමයෝ මඳ වූ රසවිඳගැණුම් ඇත්තාහ’ යි ගණිතොත්, එය සිතැඟි අනුව ම වේ. 

“යං ඛො පන භික්ඛවෙ! ඉමෙ පංචකාමගුණෙ පටිචව උප්පජ්ජති සුඛං සොමනස්සං අයං කාමානං අස්සාදො” යන දේශනාවෙන් පස්කම් ගුණ ඇසුරු කොට උපදනා, සැපයෙක් සොම්නසෙක් වේ ද, එය කාමයන්ගේ ආස්වාද ය. ඒ මේ ආස්වාදය “කො ච භික්ඛවෙ! කාමානං ආදිනවො? ඉධ භික්ඛවෙ කුල පුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති යදි මුද්දාය යදී ගණනාය” යන දේශනයෙන් වදාළ ලෙසින් දුක හා සසඳා බලත් දුක හා කිරා බලත් ඉතා ටිකක් ම, දියබිඳක් පමණ ම වේ. එහි දුක ම බොහෝ ය. සිවු සයුරෙහි දියකඳ සමානය. “අප්පසාදො දුක්ඛමෙත්‍ථ භිය්‍යො” යනු වදාළේ එහෙයිනි. කාමයන් කෙරෙහි ඇති දුක කෙබඳු දැ යි බුදුරජුන් වදාළ දුක්ඛක්ඛන්‍ධාදි සූත්‍ර ගෙණ බැලිය යුතු ය. එකකු විසින් සැපැ යි පිළිගන්නා වූ කාමවස්තුව අනෙකට දුකැ යි හැඟෙනුයේ කාමයන්ගේ සැපයක් ආස්වාදයක් නැති බැවින් ම ය. කාමයන් කෙරෙන් යමෙක් සැපයක් ආස්වාදයක් උදුරා ගණී නම් එය සිතින් මවා ගත් සිතින් උදුරා ගත් නැත්තා වූ ම සැපයෙකි. ආස්වාදයෙකි. අර්‍ත්‍ථ ශුන්‍ය චින්තාමාත්‍රයෙකි. [1]

ඉති විඤ්ඤාය පණ්ඩිතො = නුවණැත්තේ මෙසේ දැන. 

“කාමයෝ රසවිඳගැණුම් නැත්තාහ, බොහෝ දුක් ඇත් තාහ” යන මේ දෙකරුණ දැනැ යි කියූ සේ යි. [2]

අපි දිබ්බෙසු කාමෙසු = දිව්‍යමය වූ කාමයන්හි ද. 

දෙවියන් අත ඇති, දෙවියන් විදුනා කාමයෝ දිබ්බකාමයෝය. ‘ඔවුන් කෙරෙහි’ යන අරුත් ය. අපි යනු නිපාත යි. 

රතිං සො නාධිගච්ඡති = ඇල්මට නො පැමිණෙයි. 

සො යනු ‘සම්මාසම්බුද්ධසාවකො’ යනු බලා සිටියේ ය. නුවණැත්තේ වස්තුකාම ක්ලේශකාමයන්ගේ තතු හරිහැටි දත් විට මිනිස් කාමයන්හි තබා දිව්‍යකාමයන්හි ද ඇල්මක් නො කරන්නේ ය. ඇල්මට නො පැමිණෙන්නේ ය. දෙවඟනන් දුටු නන්ද තෙරණුවෝ උසස් රූසපුවෙන් යුත් මිනිස් කතුන්, දාගිය වැහරීගිය වැඳිරිමැහැල්ලන් සේ දුටහ. උන්වහන්සේට එසේ පෙණුනේ ද කාමවිරතියක් ඇති විටක ද නො වේ. කාමයෙහි තද ඇඳුමක් ඇතිවිටක ම ය. දෙවියන් අත ඇති කාමයන්ගේත් මිනිසුන් අත ඇති කාමයන්ගේත් අතර වූ පරතරය උස්පහත්කම හීනප්‍රණීත භාවය දැන ගැණුමට නන්ද තෙරුන්ගේ ඒ දැකීම ම පමණ වේ. මිනිස් කාමයන්ට වඩා හැම අතකින් ම උසස් ව සිටි දිව්‍යකාමයන් ගැණවත් කාමයන්හි දොස් දුටු නුවණැතේ නො සිතන්නේ ය. නො පතන්නේ ය. ඇලීම නො කරන්නේ ය. කාමයන්හි නො ද බැඳෙන්නේ ය. 

ඇලිම රති නම්. “රමණං = රති” යනු අරුත් පැවසීම ය. 

තණ්හක්ඛයරතො හොති = අර්‍හත්ඵලයෙහි හෝ නිවනෙහි ඇලුනේ වේ. 

තණ්හක්ඛය යනු නිවනට නමෙකි. අර්‍හත්ඵලය ද කිය වේ. තෘෂ්ණාව මුළුමනින් සිඳලන හෙයින්, අර්‍හත්මාර්‍ගඥානය ‘තෘෂ්ණා ක්‍ෂය’ යි ගත ද, එ මගින් තෘෂ්ණාවගේ ක්‍ෂයවීම සමග ම අර්‍හත් ඵලයත් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමට ආලම්බන ප්‍රත්‍යයය වන නිර්‍වාණයත් තෘෂ්ණාක්‍ෂය යි ගැණේ. “තණ්හානං ඛයහෙතුත්තා තණ්හා ඛීයති එත්‍ථාති = තණ්හක්ඛයො” තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමට හේතු වන බැවින් මෙහි දී තෘෂ්ණාව නැසී යානු යි තෘෂ්ණාක්‍ෂය නම්. එහි ඇලුනේ තණ්හක්ඛයරත නම්. 

සම්මාසම්බුද්ධසාවකො = සම්මා සම්බුදුරජුන්ගේ ශ්‍රාවක තෙමේ. 

සම්මා සම්බුදුරජුන් විසින් දෙසූ දහම් ඇසීමෙන් සසුන්ගත යෝගාවචර මහණ තෙමේ ය ඒ. “සම්මා සම්බුද්ධෙන දෙසිතස්ස ධම්මස්ස සවණෙන ජාතො යොගාවචරො භික්ඛු” යනු අටුවාය. [3]

මන්‍ධාතුරජ, අහස දෙස බලා අප්පුඩි ගැසූ කල්හි, දොළොස් යොදුන් පමණ තන්හි මසක් පමණ වැස්සා වූ, සත්රුවන් වැස්සෙනුදු සෑහීමට නො පත් බැවින් කහවණු වැස්සකින් කාමයන්ගේ සෑහීමෙක් නො වන්නේ ය. එහෙයින් කාමයෝ සිහිනයක් සේ මඳ වූ ආස්වාද ඇත්තාහ. ආස්වාද නැත්තාහ යි සේ යි. බොහෝ දුක් ඇත්තාහ යි දැන නුවණැත්තේ මිනිස් කම්සැපෙහි තබා දෙවියන් පිළිබඳ පස්කම්සැපෙහි දු නො ඇලේ. කිසිලෙසකින් එය නො පතයි. එසේ නො ඇලෙන්නා වූ නො පතන්නා වූ ඒ සම්‍යක්සම්බුද්ධ ශ්‍රාවක තෙමේ අර්‍හත්ඵලයෙහි නිවනෙහි ඇලී වසන්නේ ය, යනු දන්නේ ය. 

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ මහණ තෙමේ සෝවන් ඵලයෙහි පිහිටියේ ය. පැමිණ සිටි පිරිසට දේශනාව වැඩ සහිත වූ ය.


න කහාපණවස්සෙන තිත්ති කාමෙසු විජ්ජති

අප්පස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතො.

කහවණු වැස්සෙනුදු (අහස බලා අත පොළාපු කල්හි දොළොස් යොත්නක් තන්හි හිනක් පමණ වස්නා සත් රුවන් වැස්සෙනුදු) වස්තුකාම ක්ලේශකාමයෙහි තෘප්තියෙක් නො වේ. වස්තුකාමක්ලේශකාමයෝ (සිහිනෙන් පූ පැනක් මෙන්) අස්වාද රහිතයහ. බොහෝ දුක් ඇත්තාහ. නුවණැති මහණ තෙම (කාමයෝ ආස්වාද රහිතයහ. බොහෝ දුක් ඇත්තාහ යි) මෙසේ දැන,

අපි දිබ්බෙසු කාමෙසු රතිං සො නාධිගච්ඡති

තණ්හක්ඛයරතො හොති සම්මාසම්බුද්ධසාවකො.

(මානුෂක කාමයන් තබා) දිව්‍ය වූ පංචකාමයෙහි ද ඒ නුවණැති මහණ තෙම ඇල්මකට නො පැමිණෙන්නේ ය. සම්‍යක්සම්බුද්ධශ්‍රාවක තෙම (තෘෂ්ණාවගේ ක්‍ෂයාන්තයෙහි උපන් හෙයින් තෘෂ්ණාක්‍ෂය නම් වූ) රහත්පලෙහි ද (තෘෂ්ණක්‍ෂයට නිමිති වූ හෙයින් තෘෂ්ණාක්‍ෂය නම් වූ) නිර්‍වාණයෙහි ද ඇලෙන්නේ ය. (එය පතමින් කැමැති වැ වසන්නේ ය)



Friday, September 16, 2022

ආනන්තරීය පාප කර්ම හැර සියලූ‍ පව් යටපත් කරන බුද්ධ වන්දනාව

 

ආනන්තරීය පාප කර්ම හැර සියලූ‍ පව් යටපත් කරන බුද්ධ වන්දනාව





"අසූ මහා  ශ්‍රාවකයන් වහන්සේලා‍ගේ චරිත දෙස බැලීමේ දී උන් වහන්සේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කර ති‍බෙනවා. ඒ උතුමෝ ඉහත ආත්ම භාවයන්හි සුගතියකම විසුවා. ‍මේවා ගැන සිතන්න, කල්පනා කරන්න, පින වර්ණනා කරන්න, පවට නිග්‍රහ කරන්න. එවිට යහපත් වෙයි."

බුද්ධ වන්දනාව බුදුරජාණන් වහන්සේ ම අනුදැන වදාළ පින්කමක්. බුදුරජාණන් වහන්‍‍සේ දවසක් ‍භික්ෂූන් වහන්‍සේ සමඟ වෙල් යායක් හරහා වැඩම කරමින් සිටියා. එක්තරා බ්‍රහ්මණයෙක් තමන් කුඹුරේ වැඩ අරඹන්න පෙර එක්තරා ස්ථානයකට වැඳ නමස්කාර කර කුඹුරු වැඩට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ, මෙහි ඔබ වැඳ නමස්කාර කරන්නේ කුමටද යනුවෙන් විමසුවා . 

එවිට බමුණා පැවසුවේ ස්වාමීනි, අපේ පිය පෙළපතේ සැ‍වොම ‍‍මෙම ස්ථානයට වැඳ නමස්කාර කර කුඹුරු වැඩ ඇරැඹූ බැවින්, මා ද මෙලෙස කුඹුරු වැඩ අරඹන බව පැවසුවා. ‍බොහොම ‍‍හොඳයි බමුණ. ඔබ ඉතාම සුදුසු තැනකට යි වන්දනා ක‍ෙළ් යනුවෙන් බුදුන් වහන්සේ වදාළා. 

මහණෙනි, කාශ්‍යප බුදුරජාණන් වහන්‍‍සේ පරිනිර්වාණයට පත් වුණාම ඒ ධාතූන් වහන්සේ තැන්පත් කළ සෑ රඳුන් වහන්සේ තිබුණේ මෙතැනයි යනුවෙන් ගෞතම බුදුන් වහන්සේ පහදා දී, බුද්ධ ආනුභාවයෙන් සෑය මතු කර පෙන්නුවා. බමුණා ඇතුළු පිරිසට බුද්ධ වන්දනා‍වේ අනුහස් පැහැදිලි කළ විට සෝවාන් මාර්ග ඥාචයෙන් විශාල පිරිසක් නිවනට පත් වුණා. ඒ නිසා බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව සාමාන්යය දෙයක් වශ‍යෙන් සලකන්න එපා. ඇතැමෙකු මෙවැනි විශාල පූජාවන් කුමටද කියා සිතනවා. එලෙස නිකම්වත් සිතන්න එපා. බුදුරජාණන් වහන්සේ තරම් පූජා සත්කාර කළ ‍උත්තමයෙක් ලොවේ‍ කොහේවත් නැහැ. බුද්ධ පූජාවට ‍කෙතරම් ‍දෙයක් පූජා කළත් ඒ ගැන සිතා සතුටු වන්න. එය විශාල පිනක්. රුවන්මැලි මහා සෑයට කෙතරම් පළඳනාවන් පළඳවනවාද? කෙතරම් පූජාවන් කරනවාද? ඒ ගැන සිතා සතුටු වන්න. ඒ නිසා බුද්ධ වන්දනාව ‍‍‍ගෞරවයෙන් කරන්න. හැකිතාක් පූජා සත්කාරයන් සිදු කරන්න. මේවා අනුන්ට නෙමෙයි තමන්ට යි. සංසාර ගමන දුකෙන් සිටින්නේ නැතිව සැපවත් ජීවිත පෙළක් ලබාගෙන සංසාර දුකෙන් නිදහස් වෙන්නට, අපායෙන් නිදහස් වෙන්නට පුළුවන්. 

අනන්ත බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ තුනුරුවන්ට ගෞරවය පුද කළා. බුදුරජාණන් වහන්සේ තම ගුරුවරයා වශයෙන් ධම්ම රත්නයට ගෞරවය පුද කළා. සිතේ රදැඬඳීබං නැගෙන තරමට ම පූජාව මහත්ඵල මහානිසංස වෙයි. මල්, පහන්, ගිලන් පස, දාන මාන පූජා කර ලක්ෂ ගණන් මනු ලොව, ‍දෙව් ලොව, බඹ ලොව සිටි චරිත තිබෙනවා. බුදු කෙනෙකුට දෑත් එකතු කර වන්දනා කළත් එය විශාල පිනක්. අනඳ හාමුදුරුවෝ දවසක් දෑත එකතු කර වැඳගෙනම කථා කළා. 

ඒ ආනිසංසය මෙලෙස පහදා දුන්නා. ආනන්දය, ඔබට වන්දනාමය පිනෙන් සක්විති රජකම් සතක් ද ශක්‍ර භවනේ හත් වරක් ද, රදැදේශ රජකම් ද සීමාවක් නැහැ. නමුත් ආනන්දය ඔබ එතරම් සම්පත් ‍අ‍ත් නොවිඳ ‍මේ ජීවිත‍යේ ම රහත් ව නිවනට පත් වන බව වදාළා. බලන්න දෑත එකතු කර වන්දනා කිරීමේ කුසල බලය කෙතරම් ද කියා. ඒ නිසා දෑත් එකතු කර තමන්ගේ නිව‍සේ තුනුරුවන් වන්දනාව ශ්‍රද්ධාවෙන් කර ගන්න. එය නිවසටත්, තමන්ටත්‍, දකින්නන්ටත්, පළාතටත් හොඳයි. මෙ‍ලොව පරලොව දෙලොවටත්, සංසා‍රෙටම හොඳයි. නිවන් සුව අව‍බෝධ කරගන්න පුළුවන්. ‍

මේවා තුනුරුවන් වන්දනාවෙන් ලැබෙන පිනක් බව වටහා ගෙන කටයුතු කරන්න. රදැඥා පාරමිතාව හොඳින් පිරෙයි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ, සිහි වෙනකොට අනුස්සති භාවනාවක් වශයෙන් වැඩෙනවා. බුද්ධ වන්දනාවෙන් අකුසල කර්ම පවා යටකරන්න පුළුවන්. පංචානන්තරීය පව් හැර අන් සියලූ‍ පව් යට කරන්න පුළුවන්. ‍‍මේ ගැන සිතා කල්පනා කර කවුරු වුණත්, බුද්ධ පූජාවට, වන්දනාවට ගෞරවය පුද කළ යුතු යි. එවිට කාටවත් වරදින්නේ නැහැ. 

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා‍ගේ චරිත දෙස බැලීමේ දී උන් වහන්සේ බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව ගෞරවයෙන් කර ති‍බෙනවා. ඒ උතුමෝ ඉහත ආත්ම භාවයන්හි සුගතියකම විසුවා. ‍මේවා ගැන සිතන්න, කල්පනා කරන්න, පින වර්ණනා කරන්න, පවට නිග්‍රහ කරන්න. එවිට යහපත් වෙයි. බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලාට රදැකාශ කර තිබෙන්නේ පින කෙතරම් සැප විපාක දුන්නාද යනුවෙන්. අවසාචයේ ත්‍රිවිද්‍යා  අෂ්ට විද්‍යාවන්ගෙන්  සමන්විතව පටිසම්භිදා ප්‍රාප්තව රහත්වී තිබෙනවා. එතරම්ම බුද්ධ පූජා වන්දනාව වටිනවා. 

මහා ප්‍රජාපතී ගෝතමිය ද , පියුමතුරා බුදුරජාණන් වහන්සේ වගේ ශාසන කාල‍යේ නිතර පන්සලට යන සැදැහැවතියක්. බුද්ධ වන්දනාව, බණ ඇසීම, භාවනාව, දන් දීම, කරනවා. ‍මෙලෙස තුනුරුවන්ට වන්දනා කිරීමේ පින ඇයට කල්ප ලක්ෂයක් සැප විපාක දුන්නා. නරකාදී සතර අපා දු‍කෙන්, දුගී දුප්පත් භාව‍යෙන් අත් මිඳුණා. දෙව්ලොව, බඹ ලොව, රජගෙදර උපත ලැබුවා. රාජ ම‍හේෂිකාවක් වුණා. ‍‍මෙ‍ලෙස සියලූ‍ සත්කාර ලැබීමට වන්දනා කිරීමේ පින, හේතු වූ බව ඒ උත්තමාවිය වදාළා. සතර අපායක් පැත්තකටවත් ‍නොගොස් එතරම් මනරම් ජීවිත පෙළක් ලබන්නට, මහත් ආනුභාව බලයක් ලැබුණේ තුනුරුවන්ගේ ආනිසංස නිස යි. ‍ ‍‍මේ ගැන සිතා කවුරුත් චිත්ත ප්‍රසාදයෙන් නුවණ පහළ කර‍ගෙන නිවන් සුව පතා බුද්ධ පූජා වන්දනාව කර ගන්න. 

ඡුත්ත මානවක උපාසක තුමාට විශාල විපතක් වන බව බුදුරජාණන් වහන්සේ දැක මඟ වැඩම කර ගාථා තුනක් වදාළා. .යො වදතං පවරො මනු ජෙසු. යනු‍වෙන් මේ ළමයා වීණාවත් වාදනය කරමින් ‍‍ම ගාථා තුන ගායනා කළා. 

මේ දරුවා ගුරු පඬුරු රැගෙන යන බව ‍සොර සතුරන් දැන ඔහුව දුන්නෙන් විද මරා මුදල් පැහැර ගත්තා. ‍මේ දරුවා මිය ගොස් සුගතියේ උපත ලැබුවා. තුනුරුවන් සරණ ගිය, තුනුරුවන්ගේ ගුණ ගායනා කළ දරු‍වෙක්, මහා දිව්‍ය රාජයෙක්ව උපත ලැබුවා. බුදුරජාණන් වහන්සේ ද ඒ මළ කඳ ළඟට වැඩම කර ග‍මේ ජනතාව, ඥාතීන්, දිසාපා‍මොක් ආචාර්යවරයාගේ සිසුන් සියල්ල ද ‍‍මෙතැනට එක් රැස් වුණා. මෘත සිරුර අයත් දෙව් ලොව උපන් දිව්‍ය පුත්‍රයා බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ගායනා කිරීමේ පිනෙන් දිව්‍ය රාජයෙක් වුණා යැව් තුනුරුවන් වන්දනා පූජාවේ විපාක වාරය පහදා දුන්නා. මේවා හොඳින් කවුරුත් කල්පනාවෙන්‍ ලොවුතුරු බුදු දහම කෙරෙහි පැහැදීමෙන් ‍ගෞරව සම්ප්‍රයුක්තව ම වැඩි වැඩි‍යෙන් පින් දහම් කළොත් වරදින්නේ නැතිව සුගතියක වාසය කළ හැකියි. 

විශේෂයෙන් අපායෙන් නිදහස් විය හැකි යි. එතරම් වාසනාවක් ලොවේ තවත් නැහැ. එ‍සේනම් පිනට දහමට අනුව කටයුතු කර තම චිත්ත සන්තානයේ පවතින සති, ධම්මවිඡුය, විරිය,පීති, පස්සද්ධි, සමාධි, උ‍පේක්ෂා යන ‍බොජ්ඣංග ධම්ම හත හැකිතාක් දියුණුවෙන් තම බෝධි පාක්ෂික ධර්මද දියුණු‍වෙන් සිත ගත නිවා සනසාගෙන මේ ගමන ඉදිරියට යන්න. අඩුපාඩු ‍දෙස ‍නොබලා ඒවා ඉවසා දරාගෙන ඳxබŠදඳී දී ගුණ දියුණුවෙන් ආපස්සට ‍‍නොගොස් ඉදිරියටම යන්න.

ඒ නිසා ලොවුතුරා බුදු දහමේ සඳහන් කරන ජය සංකේතය වන නිවන් සුව දක්වා යාමට උතුම් ගමන් මග බුදුන් වහන්සේ අපට පහදා දුන්නා. ඒවා ‍ හොඳින් කල්පනා‍වෙන් පිනට දහමට ගුණයට නැඹුරුව ශීලාදී ගුණ දියුණු‍වෙන් සම්මා සම්බුද්ධ ශාසනය ද රැකගෙන ඉදිරියට ගි‍යොත් තම ජීවිතයේ මෙ‍ලොව මෙන්ම පරලොව ද බැබළී නිර්වාණ ධර්මය අවබෝධ කරගත හැකි යි. 

- ජම්මික ප්‍රබෝධනී  වැලිකල

නිවසට සිරිකත ගෙන එන මවකගේ දියුණුවේ ලක්ෂණ

 

නිවසට සිරිකත ගෙන එන මවකගේ දියුණුවේ ලක්ෂණ




උට්ඨානවතෝ සතිමතෝ සුඛීකම්මස්ස නිසම්මකාරිනෝ 
සඤ්ඤතස්සච ධම්මජීවිනෝ 
අප්පමත්තස්ස යසොභිවඞ්ඩති 
(ධම්මපදය අප්පමාද වග්ගය* 

මිනිස්ලොව දක්නට ලැබෙන සුන්දරම කාන්තාව අපේ අම්මා. කාන්තාවක් අම්මා කෙනෙක් වන විට, බිරිඳක් වන විට ඇය අල්පේච්ඡුතාවෙන් දියුණුවන්නේ කොහොමද කියා අවබෝධ කරගත යුතුයි. 

කාන්තාවක් විවාහ දිවියට පත්වීමත් සමඟ එම පවුල් ඒකකයේ සුන්දරත්වයම ඇය මත තීරණය වෙනවා. සියලූුම දේ තමන් අතින් කළ යුතු වෙනවා. මේවාට ඇය දක්ෂ විය යුතුයි. ඒ සඳහා ඇය අල්පේච්ඡු විය යුතුමයි. කැපවීම් බොහොමයක් ඇය අතින් වෙනකොට කුස පිරෙන්න කෑම නැතිවෙනවා. ඇසට නින්ද නැතිවෙනවා. අගහිඟකම් ගොඩක් දැනෙනවා. ඒවා මග හරවා ගෙන ණය නොවී රටට බරක් නොවී ඉන්න අම්මා කෙනෙකුට උත්සාහය තිබිය යුතුයි. උත්සාහය කාන්තාවකට වටිනාම සම්පතක්. සමහර විට අම්මා කෙනෙක් වන්නේ සියලූ අභියෝග මැද්දේ සැමියාගේ දෙමාපියන්ගේ සහයෝගය වත් ඇයට හිමි වන්නේ නෑ. ලද දෙයින් සතුටු වී ඒ අම්මලා මේ රටට බරක් නැති දරුවෝ හදනවා. ඒ හැම තැනකම අපි දැක්කේ අල්පෙච්ඡුතාවයි, උට්ඨාන වීර්යයයි.

Thursday, September 15, 2022

තනිව ගමන් යන සිත

 "ඉතා දුබල කයක් ඇත්තෙකුට නැඟී සිටීමට යමක උපකාරයක් අවශ්‍ය සේම සිතක් උපදින කල, ඊට එල්බ සිටීමට ද අරමුණක් අත්‍යවශ්‍ය ය. ඒ අරමුණ අතීත, වර්තමාන හෝ අනාගත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයක් විය හැක,



සැවැත්නුවර දෙව්රම් වන අරණ නම් වීතරාගී මුනිවරුන්ගෙන් පරම පිවිතුරු බවට පත් අසම වූ පින් බිමකි. ලොව්තුරු බුදුරදුන් ප‍්‍රමුඛ සමාසීති මහා සව්වන්ගේත් අපරිමිත නිකෙලෙස් මහ රහතුන්ගේත් නිරතුරු සිරිපා පහස විඳි අන්‍ය එබඳු තැනක් තිලොවග කොතැනකවත් නැත. රාගයෙන් උණුවෙමින් ද්වේෂයෙන් පිිලිස්සෙමින් උදෑසනක දෙව්රමට පැමිණියෝ, හිරු දැක පිපී පහන් වන පියුම් සෙයින් අංගීරස බුදුරදුන්ගේ මුව කමල් දෙස නෙත් අයා බැලූම් මාත‍්‍රයෙන් ස්වකීය හද සන්තාන සනහා ගත්හ.

බුදුසිරි මුවම`ඩල විවරකොට දෙසා වදහළ බණ පද සිත් යොමා අසමින් දිවිම`ග ඝනඳුරු පහකොට නැණ පහන් දල්වා ගත්හ. මිථ්‍යා අධර්ම ප‍්‍රතිපදාවන් තුළ ඇති හිස්බව පසක් කොට, එහි ඇති බියකුරු ආදීනව හඳුනා ගත්හ. සම්‍යක් ධර්ම ප‍්‍රතිපදාව තුළ ඇති අම මිහිර දෙසවනින් විඳගනිමින් සසර හිම් තෙක් අපා ම`ගට වූ, දුකම උරුම කර දෙන ද්වාරයන් සියල්ල අගුළු ලා වසා දැමූහ.

එ නිසාම භික්ෂු - භික්ෂුණී, උපාසක - උපාසිකා සිව්වනක් පිරිසගේම සදහම් පවස් නිවාලූ අමා පැන් තොටක් වෙමින් දෙව් මිනිසුන්ගෙන් නොසිස් පින් බිමක්ව දිවා ? විරාජමාන විය. එසේ බුදුරදුන්ගෙන් බණ ඇසූ එක් කුල දරුවාණ කෙනෙක් ”බණ වූ පරිදි පිළිපැදීම නම් ගිහිව සිට උගහට ය. එනිසා අපමණ කම්කටොළු ඇති නිස්සාර ගිහි ජීවිතය දුගඳ හමන අසුචි පි`ඩක් මෙන් පිළිකුල් කොට, හිස් අහස මෙන් නිවන් ම`ගට කිසිත් බාධා නැති සුවඳ හමන සඳුන් කල්කයක් බඳු පැවිදි දිවියෙන් ගත - සිත සැරසීම වටනේ ය” යැයි ගිහි ගෙයි කලකිරිණ. බුදුරදුන් අබිමුවින් පැවිදි හා මහලූ පැවිදි බව ලබා සංඝරක්ඛිත නමින් ප‍්‍රකටව සසුනඹර පුන් සඳක් වෙමින් නොබෝ කලෙකින්ම අර්හත් ඵල ලැබූ සේක.

කලක් ඇවෑමෙන් උන්වහන්සේ සමීපයෙහි ගිහිකල තම බෑනණු පුත‍්‍රයෙක් ද පැවිදි විය. එහෙයින්ම හෙතෙම භාගිනෙය්‍ය සංඝරක්ඛිත නම් වූයේ ය. මැනවින් ඇදුරුවත් උපාධ්‍යාය වත් සිදුකරමින් විසි අවුරුදු වන තෙක්ම තම මයිලණුවන් වහන්සේ සමීපයේම විසූයේ ය. සුදුසු වයසේදී උපසපන් සිල් ලබා, කලක් ගත කොට එක් ගම් සෙනසුනක වස් එළඹුණේ ය. සුවසේ වස් තුන් මස් ගෙවා ඒ අවසන සත් රියන් හා අට රියන් වස්සාවාසික සළු දෙකක් ද ලැබ අට රියන් ඉණකඩ තම උපාධ්‍යායන් වහන්සේට දීමට සිත් විය.

වස් නිමවා තෙරුන් වහන්සේ වැඩසිටි අරමට යන අතරතුර පි`ඩු සි`ගා වැඩම කොට ආරාමයට පිවිස පුරුදු සෙයින්ම උපාධ්‍යාය වත් සිදු කළේ ය. සසුන් දිවියේ තම මව්පියන් බඳුව සලකමින්, තෙරුන් වහන්සේ දහවල් වැඩහිඳින තැන් ඇමඳ පා දෝනා පැන් සපයා අසුන් සකසා පෙර ම`ග බලා වැඩ සිටියේ ය. ඉදිරිම`ග වඩිනා තෙරුන් දැක පෙරම`ගට ගොස් පාත‍්‍රා හා ස`ගල සිවුරු ආදරයෙන් පිළිගෙන අස්නේ වඩා හිඳුවා පවන් සලමින් වැළඳීමට පැන් පූජා කළේ ය. අනතුරු තමා සතු අටරියන් සළුව තෙරුන් ඇවටිලි කරනු ලැබුව ද උපුල් පතක වූ පිනි බිඳුවක් සෙයින් වස්තූන්හි ඇල්ම දුරුකොට විසූ රහත් තෙරණුවෝ එය ප‍්‍රතික්ෂේප කළහ. සද්ධිවිහාරික තෙරුන්ගේ සිත මහත් වික්ෂේපයට පත් විය. පවන් සලන අතරම කල්පනා සයුරේ හද නිමග්න විය. ”මම මුන්වහන්සේ ගේ පැනණු සිසු පුතණුවෙක්මි. එනමුත් මාගේ පුද ප`ඩුර නොගත් හෙයින් මාහට දැන් සසුනේ පිළිසරණක් නැත. සක්විති සුවහැර ඉඳුල් බත් බුදිනා සි`ගමනක් බඳු, පැවිදි සිවුරු හැරදමා ගිහි සුදු වස්ත‍්‍ර දැරීම මගේ ඉරණම යි. ගිහි වී අටරියන් වස්ත‍්‍රය විකුණා මුදල් උපයා එළුදෙනක ගෙන ඇය වදනා පැටවුන් විකුණා තවත් මුදලක් උපයන්නෙමි. ගිහිව එකලා මාසය දුෂ්කර හෙයින් අඹුවක ද සරණපාවා ගනිමි. ඇය වැ¥ පුතණුවන් ද කැටුව ගැලක නැගී සංඝරක්ඛිත මයිලණුවන් වහන්සේ වැඳීමට එන්නෙමි. අතරම`ගදී මව්ගේ ඇකයෙන් දරුවා ගිලිහී රියසක් මුල පතිත වන්නේ ය. එවිට දාරක වියෝවෙන් උපන් ශෝකාග්නියෙන් මහත් වියෝවෙන් උපන් ශෝකාග්නියෙන් මහත් සේ කෝපාවිෂ්ටව අතෙහි වූ කෙවිටෙන් බිරිඳට පහර දෙන්නෙමි.”

මෙසේ සිතා පවන් සලන තල්වැටෙන් මහ තෙරුන් වහන්සේගේ හිසට තදින් පහරක් දුන්නේය. තෙරණුවෝ පරසිත් දන්නා හෙයින් ”සංඝරක්ඛිත, අඹුවට පහරදිය නොහැකි හෙයින් මහලූ අපහට පහර දුන්නේ” දැයි විමසූය. ඒ අසා පියවි ලොවට එළඹ තවත් නම් සසුනෙහි සිටිනට නොහැකියි සිතා සිවුරු හරින්නට වහා නික්මුණේ ය. නමුත් බුදුරදුන්ගේ මහා කරුණා සෙවණේ සිසිලස විඳිනට සසර පින් තිබූ නිසා බුදු වදනක් අසා සත් අත් බවයකින් සසර දුක් නිවුමට ඒ ගමන නියම විය.

සිත නම් මකුළු හුයක දුරකුදු කිසිත් දිශාවකට ගමන් නොකරයි. එනමුත් සක්වළ ඉමත් පසුකොට ඉතා දුර අරමුණක් ගැනීමට මොහොතකුදු ගත නොකරයි. ඒ සිත උපන් මොහොතේ තවත් දෙවන සිතක් හට ගැන්මක් ද නැත. එය නිරුද්ධ වූ කලම අනන්තර සිතක් උපදියි. සිතක් දැක හඳුනා ගැනීමට රූප කායක් හෝ නිල් - රතු ආදී වර්ණයක් හෝ නැත. එනිසාම මේ අරූප ධර්මයක් වූ සිත දැක ගැනීම ඉතා දුෂ්කර වූ සියුම් කටයුත්තකි. පසිඳුරන්ට තදනුරූප අරමුණු මුණ නොගැසුණු කල හෘදය වස්තු රූපයෙහි කුළුඳුලක් පමණ ලේ ධාතුව ඇසුරු කොට මෙසේ සිත් උපදියි. 

ඉතා දුබල කයක් ඇත්තෙකුට නැඟී සිටීමට යමක උපකාරයක් අවශ්‍ය සේම සිතක් උපදින කල, ඊට එල්බ සිටීමට ද අරමුණක් අත්‍යවශ්‍ය ය. ඒ අරමුණ අතීත, වර්තමාන හෝ අනාගත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්මයක් විය හැක. සංඝරක්ඛිත පොඩි තෙරුන් මුලාවූයේ එවැනි නොපැමිණි අනාගතයක් අබිමුව සිතෙහි මායාවට හසුවීමෙනි. ඊට නිමිත්ත වූයේ මොහොතකට පෙර වූ සිදුවීමකි. නමුත් ඒ මොහොතකට පෙර අතීතයේ ඇසූ, දුටු, විඳි දේ හේතූන් නිසා පෙර නොතිබී උපන් බවත් අවශේෂයක් නැතිවම අනතුරුව නිරුද්ධ වූ බවත් නොදුටුවේ ය. එබඳු පරම සත්‍යයක් හඳුනා නොගැනීම නිසා ඒ හේතුකොට වර්තමාන මොහොතේ පසුතැවීමෙන් දුක්වන, සිත් උපදින නිරුද්ධ වන බව ද නොදුටුවේ ය.

නමුත් පරසිත් දමනා බුදුවදන් අසා කැඩපතෙහි පිළිබිඹුව බලා මුහුණ හඳුනන්නාක් සේ, විදසුන් නුවණින් තම සිත් විනිවිද දක්නට ඔබ සමත් වූ සේක. එනිසා සසර දුක් නිවුම මෙන්ම ජීවිත සැනසුම කැමැත්තන් විසින් ද මිරි`ගුවක් හඹායන ජීවිත ගමනේ මඳක් නතරව මෙම දහම් අරුත තම ජීවිතය තුළින් දක්නට උත්සාහ කළ යුතු ය. එයට උත්තම ප‍්‍රතිපත්ති පූජාවෙන් ලොව්තුරු බුදු සිරිපා කමල් අභිෂේක කිරීම වනු නොඅනුමාන ය.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...