Monday, April 18, 2022

දැඩි බැඳීමෙන් මිදෙන දනහට හැකිය දුක් ගින්නෙන් මිදෙන්නට

 

දැඩි බැඳීමෙන් මිදෙන දනහට හැකිය දුක් ගින්නෙන් මිදෙන්නට




උපාදාන යනු බුදුසමයෙහි හමුවන පුළුල් අර්ථ ඇති ව්‍යවහාරයෙකි. ගැනීම, දැඩිව ගැනීම (අභි) (අරමුණු) දැඩි කොට ගැනීම එහි මූලික අර්ථය වේ. දැඩි සේ ගැන්ම, දර, කිසිවක පැවැත්මට උපකාරවන දෙය, තෘෂ්ණා - දෘෂ්ටි ආදිය යන අරුත් ද එයට දිය හැකි ය. තදින් අල්ලා ගැනීම, අත් නොහැරීම, එල්බ ගැනීමාදී අරුත් ද උපාදාන යන්නෙහි ඇතුළත් වෙයි. 

‘ආදාන යන වචනයේ තේරුම ගැනීම යනුයි. සර්පයෙකු විසින් මැඩියෙකු ගන්නාක් මෙන් ද, කබරයෙකු විසින් සර්පයෙකු ගන්නා මෙන් ද ලෙහෙසියෙන් නොහරින පරිද්දෙන් තදින් ගැනීමට උපාදාන යැයි කියනු ලැබේ. සිත්හි හටගන්නා යම් ධර්මයක් තෙමේ අරමුණු එසේ තදින් ගැනීම කෙරේද, ඒ ධර්මයට උපාදාන යැයි කියනු ලැබේ. මෙහි උපාදාන යැයි කියනුයේ එසේ අරමුණු තදින් ගැනීම කරන චෛතසික ධර්මයන්ට ය. (චන්දවිමල නාහිමි, රේරුකානේ, පටිච්ච සමුප්පාද විවරණය පිට 72) 

බුදු දහම අනුව එක් අතෙකින් උපාදාන යන්නෙන් විග්‍රහ කෙරෙන දැඩිව ගැනීම මානසික ය. එය මනසින් අල්ලා ගැනීමකි. එබැවින් දාර්ශනික වශයෙන් උපාදානය මනෝ විද්‍යාත්මක සංකල්පයෙකි. අනෙක් අතින් එය මානව චර්යාව හා බැඳී සිටියි. එනම් මිනිසාගේ හැසිරීමට සම්බන්ධ වූවකි. එබැවින් ආචාර විද්‍යාත්මක ස්වරූපයක් ද ගනී. බුදු දහම අනුව උපාදානය යථාභූත ඤාණදස්සන නම් වූ ඇත්ත ඇති සැටියෙන් දැන දැක ගැන්මට බාධකයකි. ඒ අනුව ඥානය වීමංසාත්මක ස්වරූපයක් ද ප්‍රකට කරන්නේ ය. බුදු සමයෙහි පදනම පටිච්ච සමුප්පාදය යි. එනම් බුද්ධ දේශිත හේතුඵල ධර්මයයි. පටිච්ච සමුප්පාදය දකින්නා දහම දකින බව ද, දහම දකින්නා පටිච්ච සමුප්පාදය දකින බව ද නිකායගත ඉගැන්වීම ය. 

උපාදාන යන්න පටිච්ච සමුප්පාද දේශනාවේ හමුවන ප්‍රත්‍යයෙකි. එහි ‘මෙය ඇති කල මෙය ඇත’ (ඉමස්මිං සති ඉදං හොති) යනාදී අනුලෝම නය අනුව තණ්හාව ඇති කළ උපාදානය වේ. (තණ්හා පච්චයා උපාදානං) උපාදානය ඇති කළ භවය වේ (උපාදාන පච්චයා භවො) භවය ඇති කළ ජාති ජරා මරණා දී සංසාරගත දුක්ඛයෙහි සමුදය (හටගැන්ම) වන්නේ ය. එසේම එහි මෙය නැති කල මෙය නැත (ඉමස්මිං අසති ඉදං න හොති). යනාදී ප්‍රතිලෝම නය අනුව තණ්හාව නැති කල උපාදානය නැත (තණ්හා නිරෝධා උපාදාන නිරොධො). උපාදානය නැති කල භවය නැත (උපාදාන නිරෝධා භව නිරොධො) භවය නැති කල ජාති ජරා මරණාදී සසර දුක් නැත. එය ම දුක්ඛ නිරෝධය යි. මෙසේ පටිච්ච සමුප්පන්න ප්‍රත්‍යාකාරය තුළ උපාදානය ඉතාවැදගත් ස්ථානයක් ගනී. එහි සමුදය දුක්ඛ සමුදය කෙරෙහි ද, එහි නිරෝධය දුක්ඛ නිරෝධය කෙරෙහි ද බලපායි. එසේම උපාදානයට ස්වතන්ත්‍ර ස්වාධීන පැවැත්මක් නැත. තණ්හාව එයට උපකාරී ය. එය භවයට උපකාරී ය. උපාදානය සාපේක්ෂක ස්වභාවයෙන් යුක්ත වන්නේ ය. 

පෙළ දහම නොයෙක් තැන දක්වා ඇති පරිදි උපාදානය චතුර්විධ ප්‍රභේදයකින් යුක්ත වෙයි. එනම් කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතුපාදානය හා අත්තවාදුපාදානය යනුවෙනි. එහි කාමුපාදානය නම් වස්තු කාම, ක්ලේශ කාමයන්හි දැඩිව, තදින් එල්බ ගැන්ම ය. අල්ලා ගැන්ම ය. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ඨබ්බ කාම යැයි දක්වා ඇති පඤ්ච කාමයෙහි ඇති දැඩි ඇල්ම, තෘෂ්ණාව කාම තණ්හාවයි. එකී පස්කම් සුවයෙහි එල්බ ගැනීම, එය දැඩිව ගැනීම, තදින් අල්ලා ගැනීම කාමූපාදානයයි. දිටිඨි යන්න සම්මා - මිච්ඡා යන විශේෂණයෙන් තොරව ව්‍යවහාරයට ගන්නා විට ඉන් අර්ථවත්වන්නේ අන්තගාමී මතවාදයකි. සාමයික දාර්ශනික වශයෙන් අත් නොහරින්නා වූ, එල්බ ගත්තා වූ ස්ථාවරයකි. සස්සත දිට්ඨිය, භවගාමී නිත්‍ය සදාකාලික ආත්මයක් ඇත යන්න එබඳු එක් මතවාදයෙකි. අසස්ත හෙවත් උච්ඡේද දිට්ඨිය එහි ප්‍රතිවිරුද්ධ මතවාදය යි. නිත්‍යාත්මයක් නැත. සියල්ල මරණයෙන් කෙළවර වේ’ යන ස්ථාවරය යි. මෙම උභය දෘෂ්ටීන්ගෙන් එකක හෝ ඒවාට අනුගත වූ වෙනත් දෘෂ්ටියක හෝ එල්බ ගැනීම එවැන්නක් තදින් අල්ලා ගැනීම දිට්ඨි උපාදානයයි. මෙයම සත්‍යය. අන් සියල්ල අසත්‍යයැ’යි අන්තවාදී මතයක එල්බ ගැනීම ඉන් අදහස් වෙයි. බුදු දහම අරබයා වුව ද එබඳු දැඩි එල්බ ගැනීම් බුදුරජාණන්වහන්සේ අනුමත නොකරති. ධර්මය පහුරකට උපමා කරන ලද්දේ ය. සීලබ්බත යනු ශීල ව්‍රතාදිය යි. කිසියම් සීලයෙක, පිළිවෙතක එල්බ ගැනීමයි. එහි ලා අන්තවාදී වීමයි. එය තදින් දැඩිව ගැනීමයි. අජව්‍රත, ගොව්‍රතාදී අබෞද්ධ ශීලව්‍රතයක එල්බ ගැනීම මින් අදහස් වෙයි. බෞද්ධ ශීල ප්‍රතිපදාවක් වුව ද එසේ තදින් දැඩිව ගැනීම මෙයට ඇතුළත් නොවේ යැයි කිව නො හැකි ය. නුඹය, මමය, තමා ය, සත්ත්වයා ය, පුද්ගලයා ය, ආත්මයයි යනුවෙන් සලකා ගත හැකි පදාර්ථයක් ඇතැයි ද එය නිත්‍යය, සදාකාලික යැයි ද පිළිගැනීම එහි මූලිකාර්ථයයි. එබඳු ආත්ම දෘෂ්ටියක් කර ගසා ගැනීම, ආත්මයක් ඇත එය ම සත්‍ය ය, අන් සියල්ල අසත්‍යය යැයි දැඩිව ගැනීම, මම, තමා යන මතයෙහි ම එල්බ ගැනීම, අත්තවාද උපාදාන නම් වේ. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ ධර්මයන් අරබයා තණ්හාව හේතුවෙන් මෙය මගේය (එතං මම) යැයි ද, මානය නිසා මේ මම වෙමි (එසො හමිස්මිං) යැයි ද, දෘෂ්ටිය නිසා මේ මගේ ආත්මය (ඵසො මෙ අත්තා) යැයි ද සලකා ගැන්ම අත්තවාදූපාදානයයි. එය අයොනිසොමනසිකාරය පාදක කොට ගෙන ඇති බව බුදු දහම පෙන්වා දෙයි. 

දුක්ඛාර්ය සත්‍යය පැහැදිලි කළ දම්සක් දේශනාවට අනුව සැකෙවින් කිවහොත් පඤ්ච උපාදානය ම දුක ය. එනම් අනිත්‍ය වූ දුක් සහිත වූ අනාත්ම වූ රූපය, වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය යන පඤ්චස්කන්ධය ඉහත කී පරිදි මගේ ය, මම වෙමි, මගේ ආත්මය වේ යැයි උපාදාන කර ගැනීම ම, තදින් අල්ලා ගැනීම ම, දැඩි මානසික ග්‍රහණය ම දුක ය. අර්ථ ශූන්‍ය ය . අතෘප්තිය පිණිස ම වේ. ඉහත කී ස්කන්ධ පඤ්චකයෙහි ඡන්දරාගය උපාදානීය ධර්ම ලෙස පෙළ දහමෙහි දක්වා තිබේ. 

පූර්වෝක්ත පරිදි ස්කන්ධ විභාගය කේන්ද්‍ර කොට ගෙන මෙන් ම ආයතන විභාගය කේන්ද්‍ර කොට ගෙන ද උපාදානය බුදුරදුන් විසින් විවරණය කොට තිබේ. “මහණෙනි, උපාදානයට හිත දහම් ද, උපාදානය ද දේශනා කරන්නෙමි. ඇස උපාදානයන්ට හිත දහමෙකි. කන ද, නැහැය ද, දිව ද, සිරුර ද, සිත ද උපාදානයන්ට හිත ය. එකී චක්ෂුරාදියෙහි යම් ඡන්දරාගයෙක් වේද එය එහි උපාදානයයි. මොවුහු උපාදානයන්ට හිත දහම් ය. මෙය උපාදාන යැයි කියනු ලැබේ. මෙලෙසින් ම චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ට විෂයවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් ද උපාදානයන්ට හිත දහම් ලෙස දක්වා තිබේ. මහණෙනි, ඉෂ්ට වූ, කාන්තා වූ, මනවඩන්නා වූ, පි‍්‍රය වූ, කාමයෙන් යුත්, ඇලුම් කටයුතු, ඇසින් දත යුතු රූප ඇත. මොවුහු උපාදානයන්ට හිත දහම් යැයි කියනු ලැබෙත්. එහි යම් ඡන්ද රාගයක් වේ නම් එය එහි උපාදානයයි. කනින් දත යුතු ශබ්ද ඇත. නැහැයෙන් දත යුතු ගන්ධ ඇත. දිවෙන් දත යුතු රස ඇත. කයින් දත යුතු ස්පර්ශ ඇත. සිතින් දත යුතු ධර්ම ඇත. එහි යම් ඡන්ද රාගයෙක් වේ නම් එය එහි උපාදානය යි. සංසාරගත සත්ත්වයෝ තෘෂ්ණාව විසින් පොළඹවන ලද්දෝ ය. ඔවුහු උපාදාන නම් වූ මානසික එල්බ ගැනීම්, අල්ලා ගැනීම් නිසා සසරින් මිදීමට අසමත් වන්නෝ ජාති ජරා මරණා දී දුකට ම ගොදුරු වන්නෝ ය.” 

අනුපදාන යනු උපාදාන කර නොගැනීම ය. උපාදානයෙන් තොර වීම ය. අනිත්‍ය වූ, දුක් සහිත වූ, අනාත්ම වූ, පටිච්ච සමුප්පන්න වූ ස්කන්ධාදි ධර්මයන් දැඩිව අල්ලා නො ගැනීම ය. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය ද, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය ද, භව නිරෝධයෙන් ජාති නිරෝධය ද, ජාති නිරෝධයෙන් ජරා මරණ, සෝක පරිදේවාදී සියලු දුක්ඛ දොමනස්සයන්ගේ නිරෝධය දනවන බව පටිච්ච සමුප්පාද දේශනාව උගන්වයි. (එවමෙතස්ස කෙවලස්ස දුක්ඛන්ධස්ස නිරොධො හොති) “මහණෙනි, දර ගැල් දහයක හෝ විස්සක හෝ තිහක හතළිහක හෝ මහා ගිනි කඳෙක් යම් සේ දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල වියළි තණත්, වියළි ගොමත්, වියළි දරත් එහි නො ලන්නේ ද, මහණෙනි, මෙසේ ඒ මහා ගිනිකඳ පළමු දර ගැනීමෙනුත්, අනෙක දර නො ගැනීමෙනුත් ප්‍රත්‍යය රහිත වූයේ නිවෙන්නේ ය. එසේම උපාදානීය ධර්මයන්හි දෝෂය නැවත නැවතත් දක්නා සුළුව වෙසෙන්නාගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන නිරෝධයෙන් සියලු දුක් රැසෙහි නිරෝධය වේ. ආදී බෞද්ධ චින්තනයෙහි මූලික අරමුණ වන්නේ මෙසේ අනේකවිධ හේතු ප්‍රත්‍යකාරයෙන් සසර දුක හටගන්නා ආකාරයත්, එකී හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් එකී දුක නිරුද්ධවන ආකාරයත් හෙළිදරව් කිරීම ය. “පෙර මෙන් ම දැනුත් මම දුකත් දුකින් අත්මිදීමත් පමණක් පනවමි’යි බුදුරජාණන්වහන්සේ වදාළහ. එබැවින් උපාදානයෙහි අවැඩ දකින බුදුදහම අනුපාදානයට ම මග පෙන්වයි. එයින් ම සසර දුකින් අත්මිදීම වේ. 

සතරාකාර පරිවර්තයෙකින් යුතුව රූපය, වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය යන පඤ්ච උපාදානස්කන්ධයන් ඇති සැටියෙන් (යථාභූතං) දැන දැක ගන්නා තුරු විමුක්ති ප්‍රතිලාභයෙක් නොවන බව පෙළ දහම උගන්වයි. එකී සතරාකාරය (චතු පරිවත්තය) නම් රූප ස්කන්ධයන් ද, එම ස්කන්ධයන්ගේ හට ගැනීම (සමුදය) ද, නිරුද්ධ වීම (නිරෝධ) ද, නිරෝධ වීමට අදාළ ප්‍රතිපදාව (පටිපදා) ද වේ. යමෙකු වෙත එසේ උපාදාන වශයෙන් අල්ලා ගත් ස්කන්ධ ධර්මයන් පිළිබඳ චතු පරිවත්තය ඇත්තේ නම් හෙතෙම එම ධර්මයන් අරබයා නිර්වේදය විරාගය, නිරෝධය ඇත්තේ ය. උපාදාන වශයෙන් ස්කන්ධයන් අල්ලා නො ගන්නේ ය. මැනවින් මිදුණේ ය. අනුපාදානය හෙවත් උපාදානයෙන් තොර වීම වෙත ළඟාවන මාර්ගය, එනම් උපාදාන නිරෝධගාමිණී පටිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. නිවන් මගයි. උපාදාන නිරෝධයෙන් තොර වූ දුක්ඛ නිස්සරණයක් නැත.

බුද්ධානුස්මෘති භාවනාව

 

බුද්ධානුස්මෘති භාවනාව 



බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම් කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්මෘති භාවනාව ය.

බුදුන් වහන්සේගේ ගුණයෝ ඉතා බොහෝ ය. ඒ ගුණ කොටස් නවයකට බෙදා තිබේ. “අරහං සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතො, ලොකවිදූ, අනුත්තරෝ පුරිස දම්ම සාරථි, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා” යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ. බුද්ධානුස්මෘති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කර ගත යුතු ය.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල ක්ලේශයන් මතු නූපදනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද , කාලමුක්ත වූ ද සකල ධර්ම සමූහය පරෝපදේශ රහිතව තමන් වහන්සේ විසින් ම නො වරදවා දැන වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘද්ධ වූ විදර්ශනා ඥානාදීි විද්‍යාවෙන් හා ශීලාදි චරණයෙන් ද සම්පූර්ණ වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන ශීලාදි සම්‍යග් ප්‍රතිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකත්‍රය නිරවශේෂයෙන් දැන වදාළ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන, පුණ්‍යමාන, බලමාන ප්‍රඥාමාන, සෘද්ධි, මානාදි අනේකවිධ මානයෙන් උඩඟු වූ , දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, යක්ෂ, රාක්ෂ රාජාදීන් දමනය කරන හෙයින් සත්ත්වයන් දමනය කරන්නවුන් අතුරෙන් අග්‍ර වූ සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිස ද අනුශාසනය කරන සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්භීර චතුස්සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන නොයෙක් දහස් ගණන් දෙව් මිනිසුන්ට ද අවබෝධ කරවන සේක.

මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුණ්‍ය, අනන්ත සෘද්ධි , අනන්ත ඥාන, අනන්ත තේජෝ බල පරාක්‍රමයෙන් යුක්ත ව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූ සේක.

මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කර ගෙන බුද්ධ වන්දනාව සඳහා ද භාවිත කළ යුතු ය. තමනට නො තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින් ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත් ය. වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයෙහි “මේ නව වැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ කායාදි ද්වාරත්ත්‍රයෙන් වඳිමි” යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුය.

අප්‍රමාදය පැසසුමට

 

අප්‍රමාදය පැසසුමට 

 

අප්පමාදෙත මඝවා දේවානං සෙට්ඨතං ගතො 
අප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා 
ධම්මපදය – අප්පමාද වග්ගය 

(මඝ මානවක තෙමේ අප්‍රමාද හේතුවෙන් දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ භාවයට ගියේ ය. එහෙයින් අප්‍රමාදය පසසත් . පමා බව හැම කල්හි ම ගරහන ලද්දේය) 

" වර්තමානයේ ද ගම්වල තරුණ පිරිස් අද මහත් වූ උනන්දුවෙන් ගමේ පොදුවැඩවලට ඉදිරිපත් වී සිටිති. පුරන් වී ගිය කුඹුරු අස්වැද්දීම වැනි කිසිවෙකුත් ප්‍රයෝජන නොගෙන තිබෙන මේ භූමි වෙල් යායවල් සාමූහික ව ශ්‍රමය, කාලය කැප කර නැවත වගා කිරීමේ ක්‍රියාදාමය බෝසත් චර්යාවන් ලෙස දෙවියන් අතර උසස් බවට පත්වීමට හේතුවන කටයුතු බව අගය කළ යුතු ය."

 

අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නවම් පුරපසළොස්වක පොහොය දිනෙක ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වූහ. සසර පෙරුම් දම් මනාව සපුරා තිබූ සාරිපුත්ත, මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ රහත් බව ලබා මෙම ගෞතම බුදු සසුනේ අගසව් තනතුරු ලැබීම ද බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද මෙම උතුම් පොහෝ දිනයේ ම සිදුවිය. 

නවම් පොහොය දිනයෙන් තෙමසක් ඉකුත් වූ විට වෙසක් පොහෝ දින පිරිනිවන් පානා බවට ආයුසංස්කාරය අත් හැරීම ද සිදු වු විශේෂ පොහෝ දිනයක් ලෙස තුණුරුවන් වෙත පූජෝපහාර පැවැත්වීමට ම සංවිධානය වන කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය ද මෙම නවම් පොහෝ දා ම සිදු කරනු ලැබේ. 

අප සම්බුදු රජුන් දවස හැම සැපතකින් පිරී තිබූ විශාලා මහා නගරය ලිච්ඡවී රජ දරුවන්ට වාසස්ථාන විය. එක් ලිච්ඡවී රජෙක් මහාලි නමින් ප්‍රසිද්ධ විය. බුදුරජුන් දෙසූ සක්ක පඤ්හ සූත්‍ර දේශනාව අසා එම රජතුමා බුදුරජුන් සක්දෙව් රජු විඳින සැපත ඉතා උසස් ලෙස දේශනා කරති. මේ ප්‍රකාශ දැක වදාරන්නේ ද නොදැක වදාරන්නේ දැයි සිතා අපත් දෙව් රජු ගැන දැන ගනු පිණිස බුදුරජාණන් වහන්සේ වැඳපසෙකට වී හිඳ විමසුවේ ය.

මහාලි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සක් දෙව් රජතුමා දක්නා ලද්දේදැයි විමසූහ. 

එහිදී බුදුරජාණන් වහන්සේ මහාලි, අහන්න මම සක්දෙව් රජුන් හඳුනමි. සක්දෙව් රජ වන හැටිත් දනිමියි වදාළහ. 

මඝ නමින් මානවකයකු ලෙස ඉපිද බොහෝ පින් කොට දෙව්ලොව උපන් බැවින් මඝවා නම් විය.ඔහු නගරයක් පාසා, ගමක් පාසා දානශාලා කරවා දුන් බැවින් පුරින්දද නම් වේ. දුන්නේ ද යම්තරමට නොවේ. එහෙයින් සක්ක නම් වේ. මිනිසත් බව ලබා සිටියදී ආවාසයක් කරවා පිදූ බැවින් වාසව නම් වේ. සක්දෙව්රජ මොහොතක් තුළදී කරුණු දහසක් වටහා ගැනීමේ පොහොසත් බැවින් සහස්ස සක්ක නම් වේ. තව්තිසා වැසි දෙවියන්ගේ අධිපතියා බැවින් දෙවින්ද නම් වේ.

පෙර සසර සක්දෙව් ලැබීමට හේතුවන පින තිබෙනතුරු මවුපියන් රැක බලා ගැනීම ,කුලදෙටුවන් පිදීම, මොලොක් බස් බිණීම , කේලාම් නොකීම, පහවූ මසුරු මල ඇතිව දීමෙහි ඇලී සිටීම , හැම විටම ඇත්ත කීම, කිසිම කරුණක නොකිපීම යන සප්ත ව්‍රතපද සම්පූර්ණ කළෙන් දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේව ආත්මය ලබා ගනිමු. 

පෙර දවස මගධ රට මචල නම් ගමෙක මඝ නම් තරුණ පුරුෂයෙක් විසුවේ ය. ඔහු සිරිතක් ලෙස විවේක ලත් හැම විටෙක කුණුරොඩු ඉවත් කර බිම පොළව සමතලාකොට තැබීම සිරිතක් ලෙස සිදු කළේ ය. එසේ පිරිසුදු කළ සැණින් බොහෝ දෙනා එහි විවේක ගනු දැක කිපී බැණ වැදී කලබල කරනු වෙනුවට මෙය ඉතා හොඳ ක්‍රියාවක් ලෙස අනේ සාධු සාධු කියමින් සියල්ලෝ ම සුවසේ වෙසෙත්වා මට පින් ලැබේවා යි සතුටු වූහ. 

කැති පොරෝ ගෙන මංමාවත් එළි පෙහෙලි කොට පිරිසුදු කිරීමේ සත්කාර්යය නොකඩවා ම සිදු කළහ. මග දෙපස යන්නෝ ද කුමක් කරන්නේ දැයි ප්‍රශ්න කොට මෙම පින්කම්වලට උපකාර කළහ. දෙව්ලොව යාමට මගක් පිළියෙල කරන බව කී විට සියල්ලෝම උපකාර කළහ. මෙසේ එක්වූ යහළු පිරිස තිස් දෙනෙක් වූ හ. ගම්මුලාදෑණි තෙමේ රජතුමාට කේළාම් කියා ඔවුන් මං පහරන්නන් , මිනිසුන් දුසිරිතෙහි පොළඹවන අය බව පවසා කේළාම් බිණූූහ. රජයට විරුද්ධ ව එන මේ සොරුන් අල්වාගෙන ඇතුලවා පාගවා මරන්නට අණ කළෝ ය. 

මඝ මානවක තෙමේ තම පිරිසට “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි” ධර්මය විසින් අපව රකිනු ඇත යැයි පවසා සියලුම දෙනා කෙරෙහි මෛත්‍රීය ම පතුරුවන්නට තම පිරිසට කී හ. මෛත්‍රී අනුහසින් ඒ එක් අයකුටවත් හිංසාවක්, පීඩාවක් කිරීමට අපොහොසත් විය. මඝ මානවක තෙමේ අනතුරුව රජුට සත්‍ය ප්‍රකාශ කොට කීවේ ය. රජතුමා ඔවුන්ට නින්දගම් ලබාදී ගම්මුලාදෑනියා ද ඔවුන්ගේ දාස මෙහෙවර පිණිස පාවා දුන්හ. 

මෙසේ රජුගෙන් ප්‍රසාද ලැබු මේ මඝමානවක සහ තිස් දෙනා අප කළ යහපත් වැඩවල ඵලය මෙහිදී ම අපි ලැබීමු යි සතුටුව අපි වඩාත් පින්කම් කළ යුතු යැයි හන්දියක් හන්දියක් පාසා අම්බලම් ඉදි කරවූහ. දන්සැල් කරවූහ. මංමාවත් , ළිං පොකුණුූ ඉදිකළහ. කම්මැලිනොවී ගොවිතැන් බත් කරමින් සමගියෙන් , සමාදානයෙන් ජීවත් වූහ. එහි ප්‍රතිඵල ලෙස දෙවියන් අතර ශ්‍රේෂ්ඨයා වන ශක්‍ර දේව තනතුරට මඝ මානවකයා පත් වූහ. අනෙක් තිස් දෙනා පිරිවර වූහ

Monday, April 4, 2022

ඒරකපත්ත නා රජු s

 

14-3 ඒරකපත්ත නා රජු 

කිච්ඡො මනුස්සපටිලාභො කිච්ඡං මච්චාන ජීවිතං

කිච්ඡං සද්ධම්මසවනං කිච්ඡො බුද්ධානං උප්පාදො.

මිනිසත්බව පිළිලැබීම නම් (මහත් වෑයමෙන් මහත් කුසලින් පිළිලැබියැ යුතු බැවින්) දුර්‍ලහය. සත්ත්‍වයන්ගේ ජීවිතය (හෙවත් ජීවිකාව) ද (නිරතුරු ගොවිතැන් වෙළෙඳාම් ඈ කොට දිවි පවත්වන බැවිනුත් මඳ කලක් පවත්නා බැවිනුත් කෘච්ඡ්‍ර ය (දුක් ය). දහම් ඇසීම ද (නොයෙක් කප් කෙළ සුවහස්හි දහම් දෙසන්නකු දුලබ හෙයින්) කෘච්ඡ්‍ර ය (දුර්‍ලභ ය) සම්‍යක්සම්බුද්ධවරයන් ගේ ඉපැත්ම ද (මහත් වෑයමින් අභිනීහහාරය සමෘද්ධ වන බැවිනුත් සමෘද්ධාභිනීහාර ඇති මහපුරිසක්හුගේ උපත ද නොයෙක් කප් කෙළ සුවහස්හි දු දුලබ බැවින්) කෘච්ඡ්‍ර ය (දුලබ ය).

ඒරකපත්ත නාරජ තෙමේ කසුප් සම්බුදු රජුන්ගේ ශාසනයෙහි තරුණ උපසපන් මහණෙක් ව සිටියේ දවසක අඟුළකට නැගී ගඟෙහි ගියේය. ඒ යද්දී ඒරුගස් ලැහැබක් දැක එහි එක් කොළයක් අතින් ඇල්ලී ය. ඒ වේලෙහි අඟුළ ද වේගයෙන් ගමන් ගෙණ තුබුනේ ය. එහෙයින් මේ මහණ අල්ලාගෙන සිටි ඒරු කොළය කැඩී අතට ආයේ ය. තමන් පැමිණි ඇවැත සුලු බැවින් ඔහු එය නො දෙසා විසි දහසක් හවුරුදු වන මැද මහණදම් කෙළේ ද මැරෙන්නට ලං ව සිටි කාලයෙහි, ඒරුකොළය බෙල්ලෙහි දැවටී ගියා සේ සිතා ඇවැත් දෙසනු කැමැති වූයේ ද අන් මහණකු නො ලැබ, “සිල් අපිරිසිදු ය” යි විපිළිසර ව මිය ගොස් ඒරුරුක් කඳකින් කළ ඔරුවක් පමණ වූ නාරජෙක් ව උපන්නේ ය. ඔහුගේ නම ද ‘ඒරකපන්ත’ නම් වී ය. ඌ උපන් සැටියේ ම අත්බව බලා “මෙතෙක් කලකුත් මහණදම් කොට මැඩියන් ගොදුරු කොට ගන්නා අහේතුක යෝනියක උපනැ” යි එහිදී ද විපිළිසරට පත් වී ය. පසු දවසෙක මේ නාරජු ගඟදිය මතු පිට පෙණය මහත් කොට තබා තම දුවක වූ නැයින්නක් ඒ මත්තෙහි හිඳුවා ඈ ලවා ගී කියවා, “බුදු කෙනෙකුන් වහන්සේ ලොව උපන් සේක් නම්, මම මේ උපායයෙන් එය දැන ගන්නෙමි” යි ඔහුට අදහසෙක් වී ය. “යමෙක් මාගේ මේ ගීයට පෙරළා ගීයක් කියා නම්, ඔහුට මහත් සම්පතුත් සමග මේ දුව ද දෙන්නෙමි” යි ද සිතා අඩ මසකට වරක් දුව පෙණය මත්තේ තබන්නේ ය. ඕ ද පෙණ ගොබයෙහි සිට නටමින්: 

“කිම අදිපති රජ ද? - රජ කෙසේ රදිසුරු වෙ ද? 

කෙලෙස ද විරජ වනුයේ? - කියැ වේ බල්හු කෙලෙසින්?” 

යි මෙසේ ගයයි. දඹදිව් වැස්සෝ මෙය අසා “නැයින්න අල්ලා ගණිමු” යි තම තමන් උගත් ලෙසින් උන් කී ගීයට පෙරළා ගී කියති. එහෙත් ඒ ගී ඇයගේ ගේ සිත් නො ගතු. අඩමසකට වරක් පෙණ ගොබෙහි සිට මෙසේ ගායනා කරණ ඇයට එක් බුද්ධාන්තරයෙක් ඉක්ම ගියේ ය.

මෙ දවස අපගේ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක. දවසක් උන්වහන්සේ අලුයම ලොව බලා වදාරණ සේක් ඒරකපත්තයා හා උත්තරමාණවකයා දැක නැවැත ඔවුනට කුමක් වන්නේ දැ යි බලා වදාළ සේක. එකල්හි “අද ඒරකපත්ත තම දුව පෙණගොබ මතුයෙහි හිඳුවා නටවන දවස ය, උත්තර මාණවක මා දෙන ගීය ගන්නේ ම සෝවන් වන්නේ ය, නැවැත ඒ ගීය ගෙණ ඔහු නාරජු වෙත යන්නේ ය, නාරජු එය අසා බුදුන් ලොව උපන් බව දැන මා වෙත එනු ඇත, එහි දී මම ඔහු ලං කොට මහාසමාගමයෙහි ධර්‍ම දේශනාවක් කරන්නෙමි, ඒ අවසන්හි සුවාසූදහසක් දෙන සෝවන් වන්නාහ” යි දුටහ. 

ඉක්බිති බුදුරජානන් වහන්සේ බරණැසට නො දුරෙහි එක් මහරි ගසක් මුල වැඩ හුන් සේක. දඹදිව් වැස්සෝ ද ගී සපයා ගෙණ එහි රැස් වූහ. බුදුරජානන් වහන්සේ නො දුරෙහි යන උත්තර දැක “උත්තර!” යි ඇමතූහ. හේ ද “කිම ස්වාමීනි!” යි ඇසී ය. “මෙහි එව” යි වදාළ කල්හි වෙත ගොස් වැඳ සිටියහු අතින් “කොහි යෙහි?” යි විචාළ සේක. “ඒරකපත්තගේ දූ ගී ගයන තැනට” යි කී කල්හි “ඒ ගීයට පිළිතුරු ගීයක් තනා ගත්තෙහි?” යි ඇසූහ. “එසේ ය, ස්වාමීනි!” යි කී විට “එය කියව” යි වදාළ සේක. හේ ද තමන් දන්නා ලෙසින් තැනූ ඒ ගීය බුදුරජුන් ඉදිරියෙහි කියා පෑයේ ය. බුදුරජානන් වහන්සේ “උත්තර! මේ ගීය ඒ ගීයට පිළිතුරක් නො වේ, මම තට පිළිතුරු ගීයක් තනා දෙමි, එය ගෙණ යව” යි වදාළ කල්හි “එසේ ය, ස්වාමීනි!” යි කී කල්හි බුදුරජානන් වහන්සේ “උත්තර! නැයින්න ගී ගයන විට තෝ ද, 

“යමෙක් සදොරට අදි - පති වේ ද හේ රජ වේ, 

ඇලෙනුයේ නම් සදොරෙහි - රදිසුරු නම් ද හේ ම ය. 

සදොරෙහි නො ඇලුනේ - විරජ නම් වේ ඒ මෙහි, 

ඇලෙනුයේ අඳබල් යී - කියැ වේ ලෝ දනන් මැද”

යන මේ ගීය ගයන්නැ” යි වදාළ සේක. 

බුදුරජානන් වහන්සේ ඔහුට මෙය උගන්වා නැවැත “උත්තර! තා මේ ගීය ගැයූ විට මේ ගීයට පිළිතුරු විසින් ඇය ද ගීයක් ගයනු ඇත, ඒ මෙසේ ය: 

“කුමකින් ගෙණ යනු - ලැබේ දෝ අඳබල් දන, 

නුවණැති දෙනේ කෙලෙසින් - පා කොට හරි දෝ හෝ? 

කෙසේ නම් යෙදුමෙන් - බියරහිත දැ යි එපුරිස්, 

මවිසින් ඇසූ මේ පැණ - ඔබ දැන් කියනු මැනැවී” 

යනු.

එවිට තෝ ඇය ඉදිරියෙහි, 

“කම් ඈ දියපහර - විසින් ගෙණ යැවෙ අඳබල්, 

නුවණැති දෙනේ වැරයෙන් - කම් ඈ දියපහර ඒ. 

හැරලා සිටී සැම - බෙවෙහි යෙදුමෙන් වෙන් වූ, 

පුරිස් බියරහිතැ යි - කිය වේ මෙලොව මිදුනු” 

යන මේ ගීය ද ගයව” යි මෙසේ ගීය උගන්වා ලූ සේක.

උත්තර තෙමේ මේ පිළිතුරු ගීය උගන්නේ ම සෝවන් වූයේ ය. සෝවන් වූ හෙතෙමේ ඒ ගීය උගෙණ ගොස්. “එම්බා! නැයින්න! මා තාගේ ගීයට පිළිතුරු විසින් ගීයක් පිළියෙළ කර ගෙණ ආමි, එය ගයන්නට මට මදක් ඉඩ දෙන්නැ” යි කියා තදබද වී සිටි මිනිසුන් අතරින් උරයෙන් උර හපා යන්තමකින් එහි ලං විය. ඒ වේලෙහි නැයින්න පියාගේ පෙණ ගොබෙහි සිට නට නටා “කිම අදිපති රජද?” යන මේ ගීය ගැයූ ය. උත්තර එයට පිළිතුරු විසින් “ යමෙක් සදොරට අදිපති වේද?” යන මෙය ගැයී ය. නැවැත නැයිනිය “ කුමකින් ගෙණ යනු ලැබේ දෝ?”යන ගීය ගැයූ. උත්තර “ කම් ඈ දියපහර විසින් ගෙන යැවෙ අඳබල්” යනුවෙන් පිළිතුරු දින. නාරජ තෙමේ එය අසා බුදු රජුන් උපන් බව දැන “මා මේ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මෙබඳු පදයෙක් නම් නො අසන ලද ය, එකතින් බුදුරජානන් වහන්සේ ලොව උපන්හ” යි සතුටුව නගුටින් දියට ගැසී ය. එයින් මහාරැළ නැගී දෙතෙර ඉවුරු බිදී ගියේ ය. එතෙර එක්සිය සතළිස් රියනක් තැන්හි හා මෙතෙර එක්සිය සතළිස් රියන් තැන්හි සිටි මිනිස්සු දියෙහි ගැලී ගියහ. නාරජ තෙමේ ඒ සියලු මිනිසුන් පෙණගොබෙහි ලා ඔසවා ගොඩට පැමිණ වී ය. 

නැවැත උත්තර වෙත ගොස් “හිමියෙනි! බුදුරජහු කොහි දැ?” යි ඇසී ය. “උන්වහන්සේ අර පෙණෙන ගසමුලැ” යි හේ කී ය. “ස්වාමීනි! එනු මැනැවි, එහි යන්නටැ” යි උත්තර සමග එහි ගියේ ය. මහාජන තෙමේ ද ඔවුන් හා ම නික්ම ගතු. නාරජ බුදුරජුන් වෙත ගොස් සවණක් රැස් අතරට වැදී බුදුරජුන් වැඳ අඬ අඬා සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ “නාරජ! කුමක් නිසා හඬහු දැ?” යි අසා වදාළ සේක. “ස්වාමිනී, මම ඔබවහන්සේ වැනි බුදුවරයකුගේ ශ්‍රාවකයෙක් ව අවුරුදු විසිදහසක් මහණකම් කෙළෙමි, එහෙත් ඒ මහණකම මා සසරින් එතෙර කරන්නට පොහොසත් නො වී ය, ඒ මහණකම ඵල රහිත වී ය, ඉතා කුඩා ඒරුක්කොළයක් මා අතින් කැඩී ගියෙන් මම මේ අහේතුක ප්‍රතිසන්‍ධිය ගෙණ බඩගා ඇවිදුනා තැන උපන්මි, බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ම මිනිසත්බවක් නො ලැබීමි, බණක් නො ද ඇසීමි, ඔබ වහන්සේ වැනි බුදුවරයකු දැක ගත නුහුනෙමි” යි නාරජු කී විට, නැවත බුදුරජානන් වහන්සේ “මහරජ! මිනිසත්බව සුලබ නො වේ, ඒ ලැබීම ඉතා අපහසු ය, මිනිසත්බව ලැබීම බොහෝ කලකින් මහත් පිණකින් වන්නේ ය, බණදහමක් ඇසීම ද ඒ තරම් ම අපහසු ය, බුදුවරයකුගේ ලෝ පහළවීම ද එසේ ම කලාතුරකින් වන්නේ ය, මේ තුණ එකවර සිදුවීම තරම් අපහසු සිදුවීමෙන් මේ ලෝකයෙහි නැත්තේය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක. 

කිච්ඡො මනුස්සපටිලාභො කිචාඡං මච්චාන ජීවිතං, 

කිච්ඡං සද්ධම්මසවණං කිච්ඡො බුද්ධානං උප්පාදොති.

මිනිසත්බව ලැබීම දුෂ්කර ය. සත්ත්‍වයන්ගේ ජීවිතය දුක් ය. බණ දහම් ඇසීම දුර්‍ලභ ය. බුදුවරුන්ගේ ඉපදීම දුර්‍ලභ ය. 

කිච්ඡො මනුස්සපටිලාභො = මිනිසත්බව ලැබීම අපහසු ය. 

සහේතුක කාමාවචර කුසල් මේ, යි යට කියන ලදී. දව රෑ දෙක්හි අතර නො තබා රූපරසාදී වූ පස්කම්රසයෙන් ඇස්, කන්, නාස් ඈ ඉඳුරන් පිනවීම ම බලාපොරොත්තුවෙන් දවස් යවන පව් අදහස්වලින් ගහන වූ පුහුදුනට මැරෙන්නා වූ කාලයෙහි සහේතුක කාමාවචර කුසලයක් සිතට නගා ගැණුම පහසු නො වේ. එය කෙතරම් අපහසු ද? යත්: කණ කැස්බකුට වියසිදුරෙන් අහස දැකීමට ද වඩා අපහසු ය. “ සෙය්‍යථාපි භික්ඛවෙ! පුරිසො එකචඡිග්ගලං යුගං මහාසමුද්දෙ පක්ඛිපෙය්‍ය. තමෙනං පුරත්‍ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්‍ය, පචඡිමෙ වාතො පුරත්‍ථිමෙන සංහරෙය්‍ය, උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්‍ය, දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්‍ය, තත්‍රස්ස කාණො කච්ඡපො, සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං උම්මුජ්ජෙය්‍ය, තං කිම්මඤ්ඤථ භික්ඛවෙ! අපි නු සො කාණො, කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්‍ය, යදි නූන භන්තෙ කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චෙය්‍යනාති, ඛිප්පතරං ඛො සො භික්ඛවෙ! කාණො කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලේ යුගෙ ගීවං පවෙසෙය්‍ය, තතො දුල්ලභතරාහං භික්ඛවෙ! මනුස්සත්තං වදාමි. සකිං විනිපාතගතෙන බාලෙන” යනු මිනිස්බව දුලබ බව වදාළ එක් දේශනාවකි. මහා මුහුදෙහි බහන ලද, පෙර පැසුළු දකුණු උතුරු දිසාවන්ගෙන් හමන වාතය විසින් ඒ මේ අත ගෙන යන එක් සිදුරක් ඇති වියදණ්ඩක් වේ ද මුහුදෙහි වසන හවුරුදු සියයකට වරක් හිස ඔසවා බලන කණකැස්බෑවකු ඒ වියදඩු සිදුරෙහි මොන ලෙසකින් නමුත් ගෙල ඇතුල් කිරීම බොහෝ දිගුකලක් ගොස් කවදා හෝ සිදුවිය හැකි වුවත් මිනිසත්බවෙන් ගැලවී අපායයට ගිය අඥ මනුෂ්‍යයා නැවැත මිනිස්කමක් ලබනු ඉතා අපහසු ය යනු එහි කෙටි තේරුම ය. 

මහාමුහුදෙහි වසන හවුරුදු සියදහසකට වරක් දියෙන් හිස නගන කණ කැස්බකුට සිදුර මැදින් දෙකට කැඩුනු වාතයෙන් මුහුදෙහි ඒ මේ අත පා වී යන වියදණ්ඩ එක් තැන් ව පෙර තුබූසේ සිටි කල්හි එම වියසිදුරෙන් අහස දැක්ක හැකි වුවත්, පව්කම් කොට අපායයෙහි උපන්නකුට මිනිස්බව ලැබීම නම් හවුරුදු සියදහසකිනුදු නො වන්නේ ය. “මහන්තෙන හි වායාමෙන මහන්තෙන කුසලෙන ලද්ධබ්බත්ත මනුස්සත්තපටිලාහෝ කිච්ඡො දුල්ලභො” යනු අටුවා ය.

“අවෙකල්ලමනුස්සත්තං බුද්ධාදිච්චාභිමණ්ඩිතං,

 සුදුල්ලභතරං තං හි ඛණො නිබබාණසිද්ධියා”

විසෙස විසින් බුද්ධෝත්පාදයෙක ඇස් කන් නාස් ඈ ඉඳුරන්ගේ විකලබවක් නැති ගොළු බිහිරි බැව් ඈ නැති මිනිසත් බවක් ලැබීම කියනු බැරි තරම් අපහසු ය. ඒ මිනිසත් බව ම ය, නිවන්ලැබීමට කරුණු වනුයේ.

“හේතුදුක්කරතො චෙව සාරතො ච මහග්ඝතො, 

මහාසාරං ව රතනං මනුස්සත්තං සුදුල්ලභං”

මේ මිනිසත්බව ලැබුම අපහසු වනුයේ එය ලැබීමට කරුණු වන පින් කිරීම අපහසු බැවිනුත් මිනිසත්බව තමා දිව්‍ය බ්‍රහ්මාදී වූ අන් හැම උසස් අත්බවකට ම වඩා, උසස් බැවිනුත් මහඟු බැවිනුත්ය. මහාසාර රත්නයක් සේ එය ලබනු අපහසු ය.

කිච්ඡං මච්චානජීවිතං = සත්ත්‍වයන්ගේ ජීවිතය දුක් ය.

කිච්ඡ යනු දුකට නමෙකි. යම් ස්වභාවයෙන් තෙමේ සැපැ යි ගැණෙන ස්වභාවය විසුරුවා හරීද ඒ කිව්ඡ නම්. දුකට නමෙකැ යි කීයේ එහෙයිනි.

සත්ත්‍වපර්‍ය්‍යාය නාම අතුරෙහි මූලපදය මච්චයනුයි. මැරෙණ ස්වභාවය ඇතතේ මච්චු නම්. ජීවිතෙන්ද්‍රිය දරණ හැම එකකු කෙරෙහි ම විශේෂයක් නො තබා මෙය නගිතත්, මෙහිලා මිනිසා කෙරෙහි ම ඒ නැගී සිටියේ ය.

ජීවිත නම් පණදැරීම ය. ජීවත්වීම ය. ආයුෂය යි ද කියනු ලැබේ. එය දුක් වනුයේ නිතොර සීසෑම් වෙණඳාම් ඈ කොට මහත් ආයාශයෙන් රැකිය යුතු බැවිනුත් එසේ කළ ද ඉතා ටික කලක් ම පවත්නා බැවිනුත් ය. 

සත්ත්‍ව තෙමේ හැම කම්කටොල්ලට මුණ දෙනුයේ ජීවිතය නිසාම ය. සතුන් මරනුයේ සොරකම් කරණුයේ දැහැමි නො දැහැමි වෙණඳාම් කරණුයේ අවුවැසි නො බලා වෙහෙස වනුයේ වනදුර්‍ග ගිරිදුර්‍ග ජලදුර්‍ග පර්‍වතදුර්‍ග ගෙවා නො රට යනුයේ ජීවිතය නිසා ම ය. දුවන්නේ පනින්නේ ජීවිතය නිසා ම ය. 

සතත්‍වයන් පිළිබඳ වූ ඒ මේ ජීවිතය ආශ්වාස ප්‍රශ්වාස දෙකින් බැඳී සිටියේ ඔවුන් සම ව පවත්නා කල්හි ම පවතී. ඒ එසේම ය. යම් ලෙසකින් නැහැයෙන් පිටතට නිකුත් වූ වාතය ඇතුළට නො ගත් කල්හි ද ඇතුළත්හි වූ නාසිකා වාතය පිටතට නො නික්මුනු කල්හි ද ජීවිතය නැසී යන්නේ ය. 

ඉරියවු සම ව පැවැත්ම ද ජීවිතයාගේ පැවැත්මට කරුණු ය. යම්ලෙසකින් සිවු ඉරියව්වෙන් එකෙකුත් වැඩි ව පැවැත්නේ නම් ජීවිතය නැසී යන්නේ ය. 

ශීතෝෂ්ණයන්ගේ සම ව පැවැත්ම ද ජීවිතයාගේ පැවැත්මට කරුණු ය. අධික ශීතයෙනුත් අධික උෂ්ණයෙනුත් ජීවිතය නැසී යන්නේ ය. ශීතෝෂ්ණ දෙකෙනුදු ජීවිතය බැඳී සිටියේ ය. 

සතර මහා භූතයන්ගේ සම ව පැවැත්ම ද ජීවිතයාගේ පැවැත්මට කරුණු ය. ශරීරගත පෘථිවීධාත්‍වාදීන් කෙරෙහි එකතු අනෙකකුට වඩා නැගී සිටි කල්හි ජීවිතය නැසී යන්නේ ය. මෙසේ ජීවිතය, සතර මහා භූතයන්ගෙනුදු තම පැවැත්මෙහි රුකුල් ලබා සිටියි. 

මේ හැම එකක් සම ව සිටිය ද වැඩි කලක් ජීවිතය පවතින්නේ නම් අවුරුදු සියයකට අඩු ව හෝ මදක් වැඩි ව පවතින්නේ ය. එහෙත් කිනම් ක්‍ෂණයක කිනම් මොහොතක කිනම් පැයෙක ජීවිතය නැසේ දැ යි නො කියැකි ය. 

ජීවිතය පවතින්නේ ඉතා මදකලෙකි. රියසක පෙරළෙතත් නැවතී තිබෙතත් නිම්වලල්ලෙහි එක් පෙදෙසකින් ම පවත්නා සේ සත්ත්‍ව ජීවිතය පරමාර්‍ත්‍ථ වශයෙන් එක් චිත්තවීථියක් පවත්නා තාක් පවතින්නේ ය. චිත්තක්‍ෂණ සතළොසකින් පමණ වන එක් චිත්තවීථියක් සිඳී ගිය කල්හි සත්ත්‍ව තෙමේ මළේ ය, නිරුද්ධ වූයේ ය යි කියනු ලැබේ. ඒ එසේම ය. අතීත චිත්තක්‍ෂණයෙහි ජීවත් වූ සත්ත්‍වයා වර්‍තමාන චිත්තක්‍ෂණයට ද වර්‍තමාන චිත්තක්‍ෂණයෙහි ජීවත් වන සත්ත්‍වයා වර්‍තමාන චිත්තක්‍ෂණයට ද නො ද පැමිණෙන්නේ ය. එක් චිත්තක්‍ෂණයෙක පැවැති රූපධර්‍ම අන්‍ය චිත්තක්‍ෂණයකට නො ගොස් නිරුද්ධ වෙමින් පරම්පරා, වශයෙන් දිගින් දිගට යන්නේ ය. මෙසේ සත්ත්‍වජීවිතය මඳ කලකින් නැසෙන බැවින් හා පවත්නා චිත්තක්‍ෂණය මද බැවින් හා ඉතා ටික කලක් ම පවතී.

කිච්ඡං සද්ධම්මසවණං = බණදහම් ඇසීම ලැබිය නො හැකි ය. දුක සේ ලැබිය යුතු ය. 

බුදුරජානන් වහන්සේගේ අදහස් ලෙස දහම් දෙසන්නකු කප් කෙළ සිය දහස් ගණනිනුදු ලබා ගන්නට නො හැකි බැවින් බණ දහම් ඇසීම දුර්‍ලභය යි වදාළ සේක. තත්වපූර්‍ණ ධර්‍ම දේශකයා පරමාර්‍ත්‍ථ ධර්‍මය මැනැවින් දත් ලාභ කීර්ති ප්‍රශංසාවෙහි මඳ වූ ද බලාපොරොත්තු නැති පාට්‍යර්‍ත්‍ථකථා ටීකාවනට එකඟව ස්වල්පමාත්‍රයකුත් ඉන් නො බැහැර ව න්‍යයානුකූල ව උපමා උපමෙය පදාර්‍ත්‍ථයන් ගළපා අනුනට ධර්‍මාර්‍ත්‍ථයන් වටහා දීමෙහි සමර්‍ත්‍ථයකු විය යුතු ය. විශේෂ විසින් ධර්‍මදේශක නම් අභිධර්‍මය දත් තැනැතේ ය. “ ආභිධම්මිකාභික්ඛුයෙව කිර ධම්මකථිකා නාම, අවසෙසා ධම්මං කථෙන්තාපි න ධම්මකථිකා. කස්මා? තෙ හි ධම්මං කථෙන්තා කමන්තරං විපාකනත්තරං රූපාරූප පරිච්ඡෙදං ධම්මන්තරං ආලොළෙත්‍වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මත්තරං අනාලොළෙන්ති. තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිතකාලෙ පන පඤ්හං කථෙන්ති” යනු ආගම බැවිනි. 

අභිධර්‍මය දත් භික්ෂූහු ධර්‍මකථිකයෝ වෙති. සෙස්සෝ බණ කියන්නෝ ද ධර්‍මකථිකයෝ නො වෙත්. ඔවුහු බණ කියන්නේ කර්‍මාන්තර, විපාකාන්තර, රූපාරූප පරිච්ඡෙද ධර්‍මාන්තර ආලොළනය කොට ධර්‍ම දේශනා කරත්. අභිධර්‍මය දත්තෝ ධර්‍මාන්තරය ආලොළනය නො කොට ධර්‍මදේශනා කරත්. අභිධර්‍මය දත් භික්‍ෂු තෙමේ බණ කියාවා හෝ නො කියාවා හෝ විචාළ කල්හි ප්‍රශ්න විසඳන්නේ ය. පරමාර්‍ත්‍ථ ධර්‍මය නො දත් දේශක තෙමේ නියම ධර්‍මදේශකයෙක් නො වන්නේ ය. “යාය වා තාය වා අප්පමත්තකාය පඤ්ඤාය සමන්තාගතො පන භික්ඛු ධම්ම කථං කථෙන්තො ඉතො වා එත්තො වා අනොක්කමිත්‍වා යට්ඨිකොටිං ගහෙත්‍වා අන්‍ධො විය එකපදිකං දණ්ඩසෙතු ආරූළාහො විය ගච්ඡති” මඳ නුවණැති මහණ තෙමේ දහම් දෙසන විට සැරයටි කොණ ගත් අන්‍ධයකු සේ එක් පියවරක් තැබිය හැකි තරම් වූ එක් පාපුවරුවක් ඇති ඒ දණ්ඩට නැග ගත්තකු සේ දහම් තතු නො දැන බියෙන් ඇවිසී අතැනින් මෙතැනින් මොනවා හෝ කරුණු ටිකක් ඇහිඳ ගෙණ උඩ බිම නො දැන දහම් දෙසන්නේ ය. එහෙයින් ධර්‍මකථිකයා පරමාර්‍ත්‍ථය මොනවට උගෙණ ධර්‍මනෙත්තිය දැන හැම කරුණෙක ම නො පැකිළ දහම් දෙසිය යුතු ය. පරමාර්‍ත්‍ථ ඥානය මෙන් ම නෙත්තියෙහි එන ප්‍රස්ථානඥානය ද ධර්‍මදේශකයා හට අවශ්‍යයෙන් තිබිය යුතු ය. ප්‍රස්ථාන නම්, දේශනාව පැවැත්වීම ය. දේශනාව ක්‍රමානුකූලව ගෙණ යෑම ය. දේශනාව පැවැත්වීම දේශනාව ගෙණ යෑම ආස්වාද - ආදීනව - නිශ්ශරණ - ආස්වාදාදීනව - ආස්වාදනිඃශරණ - ආදීනවනිඃශරණ - ආස්වාදීනවනිඃශරණ යි සත් වැදෑරුම් ය. “අස්සාදො ආදීනවො නිස්සරණං අස්සාදො ච ආදීනවො ච අස්සාදො ච නිස්සරණං ච අස්සාදො ච ආදීනවො ච නිස්සරණං ච අස්සාදො ච ආදීනවො ච නිස්සරණං චාති එතෙ සත්ත පට්ඨානනයා” යනු එහිලා ආයේ ය.

රූපශබ්දාදිවස්තුකාමයන්ගේ ඇසුරෙන් හටගන්නා වූ ක්ලේශ කාමයෙන් සිත්හි නගින සොම්නස ආස්වාදය යි. “අස්සාද යතී ති = අස්සාදො, සුඛං සොමනස්සං ච” යනු නිරුක්තියි. තවද පංච උපාදාන ස්කන්‍ධයන් නිසා උපදනා සැප සොම්නස ආස්වාදය යි. “යං භික්ඛවෙ! පංචුපාදානක්ඛන්‍ධෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං පංචසු උපාදානක්ඛන්‍ධෙසු අස්සාදො” යනු ආගම ය. ඉෂ්ටාලම්බනය ගැණ ද කිය යුත්තේ මෙසේ ය. රූපාලම්බනයෙහි රස විඳ ගැණුමෙන් ඒ අරබයා රාගය උපදනේ ය. ඒ ආස්වාදය යි. තෘෂ්ණාව ද ආස්වාද නමි. 

“අස්සාදෙති එතායාති = අස්සාදො” යනු අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය යි. තෘෂ්ණාව නිසා සත්ත්‍වයා සුඛයත් සුඛාලම්බනයත් ආස්වාදය කරන බැවිනි එසේ කියනු. සිවු වැදෑරුම් විපල්ලාසයෝ ද ආස්වාද නම් වෙත්. 

ඒ මේ ආස්වාද නම් වූ කාමයන්හි රසවිඳ ගැණීම පමණක් කරුණු කොට මුල් කොට කරන දේශනාව ආස්වාද පූර්‍වක දේශනා බැවින් එබඳු දේශනා මාත්‍රයකින් ශ්‍රාවකයන්ට සසරින් ගැලවී යෑමෙහි අදහසෙක් නූපදනේ ය. එහෙයින් මේ පළමුවන ප්‍රස්ථානය හික්ම විය යුතු සත්ත්‍වයන්ට හිත පිණිස නො වන්නේ ය.

ත්‍රෛභූමක සංස්කාරයන්හි පවත්නා දෝෂය ආදීනවය යි. “ආදීනං අතිවිය කපණං වාති පවත්තතීති = ආදීනවො” කෘපණ මනුෂ්‍යයකු වැනි බැවින් ත්‍රෙභූමකසංකාර අනිත්‍යාදි ස්වභාව හෙයින් ආදීනව නම්. පංච උපාදානස්කන්‍ධයෝ අනිත්‍ය වෙත්. දුක් වෙත්. පෙරළෙන එක් හැටියෙන් නො පවතින ස්වභාවයෙන් යුක්ත වෙත්, පංච උපාදානස්කන්‍ධයන්හි වූ මේ අනිත්‍ය ස්වභාවය ආදීනව නම් වේ. “යං භික්ඛවෙ! පංචුපාදානක්ඛන්‍ධා අනිච්චා දුක්ඛා විපරිනාම ධම්මා, අයං පංචසු උපාදානක්ඛන්‍ධෙසු ආදීනවො?” යනු දේශනා ය. 

ඒ මේ ආදීනව නම් වූ සංස්කාර ධර්‍මයන්හි වූ දෝෂය පමණක් ගෙණ කරණ දේශනාව ආදීනවපූර්‍වක දේශනා බැවින් එබඳු දේශනා මාත්‍රයෙකින් ශ්‍රාවකයන්ට සසරින් නික්ම යෑමෙහි අදහසෙක් නූපදනේ ය. ඒ ද හික්ම විය යුතු සත්ත්‍වයන්ට හිත පිණිස නො වන්නේ ය.

ආර්‍ය්‍ය මාර්‍ගය හෝ නිර්‍වාණය නිඃශරණය යි. “නිස්සරති එතෙනාති = නිස්සරණං, අරියමග්ගො නිස්සරතීති වා = නිස්සරණං, නිබ්බාණං”ආර්‍ය්‍යමාර්‍ග සංඛ්‍යාත නිඃශරණය, සතිපට්ඨානා දී වූ සත්තිස් බෝ පැකිදහම් වසයෙන් හා එහි ඇතුළත් කායානුපස්සනාදීන්ගේ වසයෙන් ද විභාගයට ගියේ ය. නිෂ්පර්‍ය්‍යය වශයෙන් භේදයක් නැතත් නිර්‍වාණ සංඛ්‍යාත නිඃශරණය, සෝපාදිසේස - අනුපාදිසේස භේදයෙන් හා ද්වාර ආරම්මණ - විඤ්ඤාණ - ඵස්ස - වේදනා - සඤ්ඤා - චේතනා - තණ්හා-විතක්ක - විචාර - ධාතු - කසිණායතන - අසුභ - ද්වත්තිංසාකාර - ඛන්‍ධ - ආයතන - අට්ඨාරසධාතු - තිභව - ඣාන - අප්පමඤ්ඤා - ආරුප්ප - ද්වාදසපටිච්ච සමුප්පාදඞ්ග යනාදී වූ සඞ්ඛතධර්‍මයන්ගේ නිඃශරණයෙන් විභාගයට යන්නේ ය.

සසරින් නිදහස් වීමට ඉවහල් වූ ආර්‍ය්‍යමාර්‍ගපුර්‍වක දේශනාව නිඃශරණපූර්‍වකදේශනා බැවින් එය සසරින් නික්ම යන්නට හිත පිණිස වන්නේ ය. 

ආස්වාද - ආදීනව දෙක පෙරටු කර ගත් දේශනාව ආස්වාදාදීනවපූර්‍වක බැවින් ඒ ද හික්මවිය යුත්තන් හික්මවීමට ප්‍රමාණ වත් නො වේ.

කාමයන්ගේ රස විඳ ගැණිම පළමු කොට කියා අනතුරුව එහි දොස් නො කියා මිදීම කියන දේශනාව ආස්වාද - නිඃශරණ දෙකින් පමණක් මිශ්‍ර වූ බැවින් සත්ත්‍වයන් හික්ම වන්නට ඒ ද නො සුදුසු ය. ආදීනව නො දැක්වීම නිඃශරණයට උපාය නො වන බැවිනි.

ආස්වාදය නො කියා ආදීනව - නිඃශරණ දෙක පමණක් වුවත් කීම හික්ම විය යුත්තන් හික්මවීමට ප්‍රමාණ බැවින් ආදීනව නිඃශරණ පූර්‍වක දේශනාව සාර්‍ත්‍ථක වේ. 

කාමයන්හි රසවිඳුම එහි දෝෂය. ඉන් නික්මීම ගෙණ හැර දක්වන්නා වූ දේශනාව ආස්වදාදීනවනිඃශරණපුර්‍වක දේශනා ය. ඒ ද සත්ත්‍වයන්ට, හිත වේ. 

මෙහි කොටින් කියු මේ පට්ඨානයන්ගේ වහළින් ධර්‍මාවබෝධය ලබන්නා වූ පුද්ගලයෝ ප්‍රධාන විසින් තිදෙනෙක් වෙත්. අප්‍රධාන විසින් එකෙක් වේ. උද්ඝටිතඥ - විපචිතඥ - ඥෙය්‍ය යන තිදෙන ප්‍රධාන වෙත්. පදපරම තෙමේ අප්‍රධාන වේ. 

එහි යමක්හට උදෙසූ ඇසිල්ලෙහි ධර්‍මාවබෝධය වේ නම් හේ උද්ඝටිතඥ ය. මේ තෙමේ මෙහි තෙවන පට්ඨානයෙන් සසර ගැට බිඳ හැර, සසරින් නික්ම යයි. එහෙයින් මොහුට නිඃශරණදේශනාව ඒ පිණිස වන්නේ ය. “කතමොච පුගගලා උග්ඝටිතඤ්ඤු? යස්ස පුග්ගලස්ස සහ උදාහටවෙලාය ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො උග්ඝටිතඤ්ඤු”යනු එහි ආගමකථා ය. අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය මෙසේ වන්නේ ය. “ උග්ඝටිතං ඝටිතමත්තං උද්දිට්ඨමත්තං ජනාතීති = උග්ඝටිතඤ්ඤු, උග්ඝටිතං උච්චලිතං ජානාතීති = උග්ඝටිතඤ්ඤු, උග්ඝටිතො චලිතමත්තෙ ආසයෙ ධම්මං ජානාති අවබුජ්ඣතීති = උග්ඝටිතඤ්ඤු” යි. 

යමක් හට සැකෙවින් කියූ දහම්, විස්තර විසින් බෙදා දක්වන කල්හි ධර්‍මාවබෝධය වේ නම් හේ විපචිතඥ ය. මෙ තෙමේ මෙහි සවන පට්ඨානයෙන් සසර ගැට බිඳ හැර සසරින් නික්ම යෙයි. එහෙයින් මොහුට ආදීනවනිඃශරණපුර්‍වක දේශනාව ඒ පිණිස වන්නේ ය. “කතමො ච පුග්ගලො විපචිතඤ්ඤු? යස්ස පුග්ගලස්ස සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්‍ථාරෙන අත්‍ථෙ විභජියමානෙ ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො විපචිතඤ්ඤු” යි එහි ආගමකථා ය. අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය මෙසේ දන්නේ ය.“විපඤ්චිතං විත්‍ථාරිතං නිද්දිට්ඨං ජානාතීති = විපචිතඤ්ඤු, විපඤ්චිතං වා මන්දං සණිකං ධම්මං ජානාතීති = විපචිතඤ්ඤු” යි. 

යමක්හට උද්දෙස - පරිපුච්ඡා - යෝනිසෝමනසිකාර - කල්‍යණමිත්ත සේවන යනාදිය නිසා පිළිවෙළින් ධර්‍මාවබෝධය වේ නම්, හේ ඥය්‍ය ය. මෙ තෙමේ මෙහි සත්වන පට්ඨානයෙන් සසර ගැට බිඳ හැර සසරින් නික්ම යෙයි. එහෙයින් මොහුට ආස්වාද්දීනවනිඃශරණපූර්‍වක දේශනාව ඒ පිණිසවන්නේ ය. “කතමො ච පුග්ගලො නෙය්‍යො? යස්ස පුග්ගලස්ස උද්දෙසතො පරිපුච්ඡතො යොනිසො මනසිකරොතො කල්‍යාණමිත්තෙ සෙවතො භජතො පයිරුපාසතො අනුපුබෙබන ධම්මාභිසමයො හොති, අයං වුච්චති පුග්ගලො නෙය්‍යො” යනු එහි ආගමකථාය. අර්‍ත්‍ථසමර්‍ත්‍ථනය මෙසේ දන්නේ ය. “ නෙතබ්බො ධම්මස්ස පටිනිද්දෙසෙන අත්‍ථං පාපෙතබ්බොති = නෙය්‍යො” යි.

බණදහමට කොතෙක් කන් නතු කළ ද මෙලොව දී ආර්‍ය්‍යය මාර්‍ගය නො ලබනුයේ පදපරම ය. පදපරමයාගේ වශයෙන් පැවැති සංකිලේසභාගීය වූ හෝ වාසනාභාගීය වූ හෝ ඒ දෙපසෙහි වූ හෝ දේශනාවක් හෝ සූත්‍ර එකදේශයක් හෝ ගාථාවක් හෝ මේ කියූ නයක්‍රමයන්ට උදාහරණ වශයෙන් උපුටා දක්වා ද එකල්හි සත්වැදැරුම් පට්ඨානය ම ගැණුනේ වන්නේ ය. පදපරම, හුදු ආස්වාදපූර්‍වක දේශනාවෙන් ද සතුටු වෙයි. ඇතැම් විට ආදීනවපූර්‍වක දේශනාවෙන් ද සතුටු වෙයි. ආස්වාද-ආදීනවපූර්‍වක දේශනාවෙන් ද සතුටු වෙයි. ආස්වාද-නිඃශරණපූර්‍වක දේශනාව ද පදපරමයාගේ පැහැදීමට කරුණු වෙයි.

මැනැවින් පරමාර්‍ත්‍ථධර්‍ම විභාගය උගෙණ මේ කියූ සත්වැදෑරුම් පට්ඨානය ලෙසින් දහම් දෙසනුයේ නියම ධර්‍මදේශක තෙමේය. නියම ධර්‍ම දේශකයකු වීම නො පහසු ය. එහෙයින් බණ දෙසුම ද නො පහසු ය. “පරෙසං ඛො පන ආනන්ද! ධම්ම දෙසනා න සුකරා” යන බුද්ධ වචනයෙන් එය පැහැදිලි වේ. 

නගරවර්‍ණනා රාජවර්‍ණනා සන්‍ධ්‍යාවර්‍ණනා ස්ත්‍රීවර්‍ණනා ආදිය කියන යන හැටි ඉඳින හැටි නිදන හැටි කන හැටි බොන හැටි බඳින හැටි ගේ හදන හැටි වතු වවන හැටි මුදල් සපයන හැටි කියන, දෙසන, දේශකයා නියම ධර්‍මදේශකයෙක් නො වේ. ඔහු සාමාන්‍ය කථිකයෙකි. දේශකයෙකි. ඔහුගෙන් පරමාර්‍ත්‍ථය පිළිබඳ කිසිවක් අසා ගත නො හැකි ය. ඔහු ඒ නො දනියි. ඔහු කියනුයේ දෙසනුයේ රටේ තොරතුරු ගමේ තොරතුරු ගෙදර තොරතුරු පවුලේ තොරතුරු ය. එහෙයින් නියම ධර්‍මදේශකයකු ලැබීම එදා ද අපහසු ය. අද එදාට ද වඩා අපහසු ය. එහෙයිනි වදාළෝ “කිච්ඡං සද්ධම්ම සවණං” යනු.

කිච්ඡො බුද්ධානං උප්පාදො = බුදුවරුන්ගේ ඉපැත්ම දුර්‍ලභ ය.

බුදුබව පිළිබඳ මුල් පැතුම, මනුෂ්‍යජාති ඇති පුරුෂයකු ව රහත්වීමෙහි හේතු ඇත්තකු ව බුදුවරයකු ඉදිරියෙහි සිට පැවිදි ව පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගෙණ බුදුනට දිවි පුදා බුදුබව ලැබීමෙහි ආශා ඇත්තකු ව සිට කළ යුතු ය. එක් අත්බවකදී ම මේ අටගුණයෙන් යුක්තවූවකු කරණ බුදුබව පැතුම ම සමෘද්ධ වන්නේ ය. මේ අටඟින් යුක්ත වූවහු විසිනුදු බුදු බව පැතීම මහත් උත්සාහයෙන් යෙදී කළ යුතු යි. මෙය පහසු නො වේ. කවදා නමුත් කිසිවකු නමුත් මේ අටඟින් යුක්ත ව මුල් පැතුම කළ ද ඉන් පසු බුදුබව පිණිස පිරිය යුතු වූ දස පෙරුම්දම් පිරුම පහසු නො වේ. ධර්‍ම විසින් ඒ නො පහසු ය. කාල විසින් ඒ නො පහසු ය. ධර්‍ම විසින් මහත් ය. කාල විසින් දීර්‍ඝ ය. මෙසේ නියත විවරණ ලැබූ මහාබෝධිසත්ත්‍වයකු ලැබීම කප් කෙළ සුවහස් ගණනකිනුත් නො සිදු වන බැවින් බුදුවරුන් ලෝ පහළ වීම ඉතා දුර්‍ලභය යි වදාළ සේක. “මහන්තෙන පන වායාමෙන අභිනීහාරස්ස සමිජ්ඣනතො සමිද්ධාභිනීහාරස්ස ච අනෙකෙහිපි කප්පකොටිසහස්සෙහි දුල්ලභුප්පාදතො බුද්ධානං උප්පාදොපි කිච්ඡොයෙව, අතිවියදුල්ලභො” යනු අටුවා ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි අසුසාරදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය විය. නාරජ ද තිරිසන් ව නො සිටියේ එදා ම සෝවන් වන්නේ ය. නාගයෝ පිළිසිඳ ගැනීම සැවදැමීම නීදීම මෙවුන්දම් සෙවීම මැරීම යන පස්වැදැරුම් කරුණහිලා වෙහෙසෙත්. එහෙත් මෙතෙමේ මේ කරුණුවල වෙහෙසට නො පත්ව මාණවක වේශය ගෙණ හැසුරුනේ ය. 

ඒරකපත්‍ර නාගරාජ වස්තුව නිමි.

ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් ධර්මය පිළිපදිමු

 

ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් ධර්මය පිළිපදිමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 

කිච්ඡෝ මනුස්ස පටිලාභො 
කිච්ඡං මච්චාන ජීවිතං 
කිච්ඡං සද්ධම්ම සවණං 
කිච්ඡො බුද්ධානං උප්පාදො 

" මේ විශ්වය තුළ ඇති අනන්ත චක්‍රවාටවල ජීවින් අපමණ වුව ද අප ජීවත්වන ලෝකයේ මිනිසුන් සංඛ්‍යාත්මක ව ගණනය කළ හැකි අතර, එයින් මනුෂ්‍යත්වයේ ඇති වටිනාකම හා දුෂ්කර බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය."

සුපින්වත්නි, 

සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස්නුවරට නුදුරුව මහරිරුකක් මුල වැඩ සිටින අවස්ථාවේ ඒරකපත්ත නම් නාගරාජයාගේ ඇඬීම නිමිතිකර මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. 

මෙම නාගරාජයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ව දිවි ඇතිතෙක් මහණදම් පිරූ භික්ෂුවකි. එකල එම භික්ෂුව කිසියම් කරුණකට ගමනක් යන්නේ ගඟකින් එතෙරවීම සඳහා අඟුලකට නැගීමට තැත්කරද්දී ඒරු අත්තක් අල්ලාගෙන ගඟේ යද්දී ඒරු අත්ත කැඩී ගියේ ය. උපසම්පදා භික්ෂුවකට එය සුළු ඇවැතකි. එම ඇවතින් මිඳෙණු සඳහා ඇවැත් දෙසීම නොකළ බැවින් මිය යන වේලේ එම ඇවතින් නොමිඳී බැව් සිහි වී පසුතැවිලි ව මිය ගොස් ඔරුවක් පමණ වූ නාරජෙක් ව ඉපදී ඒරකපත්ත නාගරාජ නමින් ප්‍රකට විය. එම නාගරාජයා මහරිරුකමුල වැඩ සිටින බුදුරදුන් වෙත පැමිණ අඬන්නට විය. 

මෙම කාරණය නිමිති කරගෙන අප බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ට හිත සුව පිණිස ඉතා දුෂ්කර කාරණා හතරක් දේශනා කළ සේක. 

මිනිසත් බව ලැබීම ඉතා දුෂ්කර ය

මිනිසෙකු වශයෙන් දිවි පැවැත්ම ඉතා දුෂ්කර ය 

සද්ධර්මය ඇසීම ද දුෂ්කර ය 

බුදුවරුන්ගේ උපත ඉතා දුෂ්කර ය 

මෙම කරුණු හතරම සංයුක්ත ව පවතින කාලය ඉතා වාසනාවන්ත වන නමුත් එසේ වන්නේ කල්ප ගණනකට පසු ය. ඒ පිළිබඳ ව අප බුද්ධියෙන් අවබෝධ කරගත යුතු වන්නේ ය. 

මේ විශ්වය තුළ ඇති අනන්ත චක්‍රවාටවල ජීවින් අපමණ වුව ද අප ජීවත්වන ලෝකයේ මිනිසුන් සංඛ්‍යාත්මක ව ගණනය කළ හැකි අතර, එයින් මනුෂ්‍යත්වයේ ඇති වටිනාකම හා දුෂ්කර බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය. සෙසු ලෝකවල ඉපිද සැප සම්පත් විඳීමට මනුලොව උපරිම තලයේ තනතුරු ලැබීමට මනුෂ්‍යත්වය ම කේන්ද්‍රගත වන්නේ ය. යළි අපායගාමී අකුසල කළහොත් කල්ප ගණන් සතර අපායේ දුක්වේදනාවලට භාජනයවී කුමන හෝ කුසලයකින් මිනිස්ලොව ඉපිද සෙසු පුණ්‍යවන්තයන්ගේ අපහාසයට, උපහාසයට ලක්වන්නේ ය. 

කල්ප ගණනකට පසුව ලොව පහළ වන්නා වූ ලොව්තුරා බුදුකෙනෙකුන් දැකීම තබා, බුද්ධ යන වචනය පවා අසන්නට නම් උදාර මනුෂ්‍යත්වය අවශ්‍යම වන්නේ ය. මෙම විශ්වය අනන්ත අප්‍රමාණ චක්‍රවාට වලින් සංයුක්ත වන අතර ඒවායේ සත්ව සංඛ්‍යාව ද අනන්ත ය. දහසක්, දසදහසක්, ලක්ෂයක්, දස ලක්ෂයක්, කෙළ ලක්ෂයක් හා අනන්ත අප්‍රමාණ වශයෙන් පවත්නා චක්‍රවාට බුදුරජාණන් වහන්සේගේ ඤාණ බලයට හා සෘද්ධි බලමහිමයට යටත්වන බවත් බුදුරදුන්ගේ රූපකාය දර්ශනය කරවන්ටත් ශ්‍රී මුඛයෙන් පිටවන මිහිරි ස්වරය ශ්‍රවණය කරවන්නටත් හැකි බව ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. 

බුදු, පසේබුදු, රහත් යන උත්තමයන් පහළ වන්නේ දඹදිව මධ්‍ය දේශයේ බව ‘ත්‍රිපිටක’ සාහිත්‍යයේ විස්තර වන්නේ ය. අග්‍රශ්‍රාවක , ශ්‍රාවිකා හා අසූමහා ශ්‍රාවකයන් පහළවීමේ දී අසිරිමත් සිද්ධීන්ට නිවාස වූ, කේන්ද්‍රවූ මෙම මධ්‍යදේශය මනුලොව ඇති උත්තම තම ප්‍රදේශය වන අතර, පෙර බුදුරජාණන් වහන්සේලා සම්මුඛයෙ ් දී දානාදී පින්දහම් කළ ශ්‍රද්ධාවන්තයන්, ප්‍රඥාවන්තයන්, සසර සැරිසරා අප ගෞතම බුදුරදුන් පහළවන කාලයේ ම එම මධ්‍ය දේශයේ ගම් නියම්ගම් ආශි‍්‍රත ව ඉපිද බුදුරදුන් කරා එළඹ සිව්සත්දම් අවබෝධ කොට නිවනින් සැනසෙන්නේ බුද්ධෝත්පාද කාලයේ උතුම් මානුෂික සම්පත නිසා ම ය . 

අප ගෞතම බුදුරදුන් පිරිනිවන් පෑ නමුත් එම උතුම් සද්්ධර්මය ඇති බැවින් වර්තමාන බෞද්ධ ජනතාව මෙයට වඩා ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් සද්ධර්මය පිළිපදින්නේ නම් සිය ගුණයෙන් ප්‍රයෝජන ලබන්නේ ය. 

ආගම දහම අපේ ජීවිතයට සම්බන්ධ කිරීමේ දී දැනගත යුතු ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳ ව අවබෝධ කරගත යුතු වන්නේ ය. 

භක්තියෙන් ඇදහීම, බුද්ධියෙන් පිළිපැදීම 

ලෝක ජනගහණයෙන් වැඩිදෙනෙක් පාරම්පරික ව ලබාගත් දායාදයක් වශයෙන් තම තමන් විසින් නිර්මාණය කරගත් විශ්වාසය පදනම් කරගෙන, භක්තියෙන් ආගමික සිරිත් විරිත් අනුගමනය කරන අතර එය ආගමික පරිකල්පනයට සීමා වන්නේ ය. එයින් පෞද්ගලික ඤාණ වර්ධනයට හෝ ආධ්‍යාත්මික සහනයට හෝ උපකාරයක් නොවන්නේ ය. එවන් ආගම් ප්‍රධාන කරගෙන පිහිටුවන සමාජ සංස්ථාපනයන් නිසා සියලු අපේක්ෂා බිඳ වැටෙන්නේ ය. 

වත්මන් ලෝකය තුළ මෙතරම් සාපරාධී ක්‍රියාවන්ට මූලික වන්නේ අන්ධ විශ්වාසයෙන්, ආගමික අන්තවාදය තරයේ ම අනුගමනය කරන බැවිනි. 

බුද්ධියෙන් පරිකල්පනය බැහැරකොට දර්ශනයෙන් පිළිපදින ප්‍රතිපත්තිය ඉතා දුෂ්කර වුව ද එයින් විශ්ව ශක්තියෙන් නිර්මාණය වන අතර, සමාජ ම ය වශයෙන් උතුම් සේවාවක් ද වන්නේය.

බුද්ධාදී උතුමන් මිනිස් සිතකින් නිර්මාණය කළ විශ්ව ශක්තිය, ශ්‍රද්ධාවෙන් , බුද්ධියෙන් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාව අවසානයේ අපට ද ලබාගත හැකි වන්නේ ය. තමා විසින් ම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළ යුතු සද්ධර්මයකි. 

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති 

ඔබ සැමට මෙම ධර්මදේශනාව කියවීමෙන් හා අවබෝධයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වේවා.

භාවනාව

 


භාවනාව


භාවනාමය කුශලය වනාහි කුශලයන් අතුරෙන් අග්‍ර වූ කුශලය ය. දාන ශීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නො ලැබිය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකි ය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගය ද භාවනාව ම ය. 

සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර සෘද්ධිපාද ය, පඤ්චේන්ද්‍රිය ය, පඤ්ච බලය ය, සප්ත බොජ්ජංගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ය යන මේ සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම යනු ද භාවනාව ම ය, භාවනාවෙහි යෙදෙන කල්හි බෝධිපාක්ෂික ධර්මයෝ වැඩෙති. අනු ක්‍රමයකින් ඒ ධර්මයෝ නො වැඩෙති. භාවනා කිරීම හැර බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමය කියා අන් කළ යුත්තක් නැත.

සමථ භාවනාව ය, විදර්ශනා භාවනාව යැයි භාවනාව දෙවැදෑරුම් වේ. සමථ භාවනාව යනු සමාධිය දියුණු කිරීම ය. විදර්ශනා භාවනාව යනු ප්‍රඥාව දියුණු කිරීම ය. සමාධිය යනු සිතට නොයෙක් අරමුණුවල විසිරෙන්නට නො දී එය එක් අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයෙකි. එහි බලයෙන් සිත එකඟ වේ. 

සමාධිය ඇති කර ගැනීම පහසු නො වේ. එය කරගත හැකි වන්නේ ඉතා ඕනෑ කමකින් බලවත් උත්සාහයෙන් එය වඩන්නාට ය. සමාධිය ඇති කර ගැනීමේ ඕනෑ කමක් නැති ව එය ගැන දැනීමකු දු නැති ව භාවනා කරමියි කියා යම් කිසිවක් කියමින් සිටියාට සමාධිය නො වැඩේ. සමාධිය වැඩෙන්නට නම් බලවත් වීර්යයෙන් හා සිහියෙන් සිත අනිත් අරමුණු කරා යාම හැකිතාක් වළක්වාගෙන ක්‍රමානුකූල ව භාවනාවෙහි යෙදිය යුතු ය. 

මිලින්ද ප්‍රශ්නය,



බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගත වූ තැන හමු වූ මිළිඳු රජු ගී‍්‍රක ජාතිකයෙකු වන අතර, මොහුගේ වීමංසනශීලි කුසලතාව ඉතා අගනේ ය. කරුණු ඉස්මතු කිරීමෙහිලා, ප්‍රශ්න කිරීමෙහිලා, වාද නැංවීමෙහිලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය අති දක්ෂ ය. නාගසේන මහරහතන් වහන්සේගෙන් රජතුමා මෙසේ ඇසී ය.

“ස්වාමීනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණි සේක් ද, නැතහොත් අකුසලයන් ඉතිරි ව තිබිය දී සර්වඥ බවට පැමිණි සේක් ද?”

“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පත් වූ සේක. භාග්‍යවතුන් වහන්සේට ඉතිරි වූ අකුසල් නැත්තේ ය”. 

“ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ කයෙහි දුක් වේදනා උපන්නේ ද? 

“එසේ ය. මහරජාණෙනි, රජගහ නුවර දී භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුණේ ය. එමෙන් ම ලෝහිත පක්ඛන්දිකා නම් රෝගය ද උපන්නේ ය. උන්වහන්සේගේ කයෙහි දොස් කිපී ජීවක වෛද්‍යවරයා විසින් විරේක කරන ලද්දේ ය. වාතාබාධයක් හට ගත්තේ ය.“ 

නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණි සේක් නම්, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල් පතුරකින් තුªවාල වීම, ලෝහිත පක්ඛන්දිකා රෝගාබාධය වැළඳීම යන වචනයක් ඇද්ද, එය බොරුවකි. තථාගතයන් වහන්සේගේ පාදය ගල් පතුරකින් තුවාල වූයේ නම්, ලෝහිත පක්ඛන්දිකා රෝගයත් වැළඳුණේ නම්, එකරුණෙන් තථාගතයන් වහන්සේ සියලු අකුසල් දවා සර්වඥ බවට පැමිණි සේක් ය යන වචනය බොරුවක් වෙයි. එය ඔබ වහන්සේ විසින් එය සංසිදවිය යුත්තේ ය.” 

“මහරජාණෙනි, ඒ විඳිය යුතු සියල්ල කර්මය මුල් වූයේ නොවෙයි. මහරජාණෙනි, යම් කරුණකින් බොහෝ සත්වයෝ වේදනා විඳිත් නම්, අට කරුණකින් වේදනාවෝ උපදිති. ඒ කවර කරුණු අටක් ද යත්, මහරජාණෙනි, ඇතැම් විඳීම් වාතය කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් පිත කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් සෙම කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් වා, පිත්, සෙම් තුන කිපීමෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් උපක්‍රමයෙන් හටගන්නේ වෙයි, ඇතැම් විඳීම් කර්ම විපාකයෙන් හටගන්නේ වෙයි. මහරජාණෙනි, මේ කරුණු අටෙන් බොහෝ සත්වයෝ වේදනා විඳිති. එහිලා යම් මේ පුද්ගලයෝ සත්වයන් කර්මය ම විඳවන්නේ යැයි කියත් නම්, ඔවුහු මේ සත් කරුණෙන් විඳින පුද්ගලයන් බැහැර කරති. ඔවුන්ගේ ඒ වචනය බොරු වේ. “ 

“ස්වාමීනි, යමක් වාතයෙන් ද, යමක් පිතෙන් ද, යමක් සෙමෙන් ද, යමක් වා, පිත් සෙමෙන් ද, යමක් ඍතු විපර්යාසයෙන් ද, යමක් විෂම පරිහරණයෙන් ද, යමක් උපක්‍රමයෙන් ද, හටගන්නේ නම්, ඒ සියල්ල කර්මයෙන් ම හටගන්නේ ය. ඒ සියල්ල කර්මයෙන් ම උපදින්නේ ය.”

ඒ සියල්ලක් කර්මයෙන් ම හටගන්නා රෝගාබාධ නම් ඒවායෙහි කොටස් වශයෙන් ලකුණු පහළ නොවෙති. වාතය කිපෙන විට දස අයුරකින් කිපෙයි. සීතලෙන් ද, උෂ්ණයෙන් ද, බඩගින්නෙන් ද, පිපාසයෙන් ද, බොහෝ කොට කෑමෙන් ද, සිටින තැනින් ද, අධික වීර්යයෙන් ද, වේගවත් ගමනින් ද, උපක්‍රමයෙන් ද, කර්ම විපාකයෙන් ද වෙයි. එහිලා යම් ඒ කර්ම විපාකය හැර නව කරුණක් ඇද්ද? ඒවා අතීතයටත් අයත් නැත. අනාගතයටත් අයත් නැත. වර්තමාන භවයෙහි උපදියි. එහෙයින් සියලු විඳීම් කර්මයෙන් හටගන්නේ යැයි නො කිව යුත්තේ ය. මහරජාණනි, පිත කිපෙන විට තුන් අයුරින් කිපෙයි. සීතලෙන්, උෂ්ණයෙන් හා විෂම භෝජනයෙන් ය. සෙම කිපෙන විට තුන් අයුරින් කිපෙයි. සීතලෙන්. උෂ්ණයෙන් හා ආහාර පානයෙන් ය. 

මහරජාණෙනි, යම් වාතයක්, යම් පිතක්, යම් සෙමක් ඇද්ද, ඒ කිපෙන දෙයින් කිපී මිශ්‍ර වී එක එක විඳීම් හටගනියි. ඍතු විපර්යාසයෙන් හටගන්නා විඳීම් ඒ ඍතු විපර්යාසයෙන් ම උපදියි. විෂම පැවැත්මෙන් හටගන්නා විඳීම් විෂම පැවැත්මෙන් ම උපදියි. උපක්‍රමයෙන් කෙරෙන විඳීම් ඇත්තේ ය. ක්‍රියා ඇත්තේ ය. කර්ම විපාක ඇත්තේ ය. කර්ම විපාකයෙන් හටගත් විඳීම් පෙර කරන ලද කර්මයෙන් උපදියි. මෙසේ කර්ම විපාකයෙන් හටගත් විඳීම් ඇත්තේ ස්වල්පයකි. බහුතරයක් අවශේෂ විඳීම් ය. 

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල් පතුරකින් තුවාල වුණේ ය යන යමක් ඇද්ද, එය වාතය කිපීමෙන්, පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, සන්නිපාතයෙන්, ඍතු පරිණාමයෙන්, විෂම පැවැත්මෙන්, කර්ම විපාකයෙන් හටගත් වේදනාවක් නොවෙයි. උපක්‍රමයෙන් හටගත් එකකි. 

මහරජාණෙනි, දේවදත්තයා බොහෝ ජාති ලක්ෂ ගණනක් තථාගතයන් වහන්සේ කෙරෙහි වෛර බැඳ පැමිණියේ ය. ඔහු ඒ බද්ධ වෛරයෙන් මහත් වූ ගලක් ගෙන මුදුනෙහි හෙළන්නෙමි යි මුදා හැරියේ ය. එකල්හි ගල්දෙකක් පැන නැගී තථාගතයන් වහන්සේ වෙත නො පැමිණ ම වැළැක්වූණේ් ය. ඒ ප්‍රහාරයෙන් බිඳී ගිය ගල් පතුරක් භාග්‍යවතුන් වහන්සේගේ පාදයෙහි වැදීි ලේ ඉපැද්දවූයේ ය. භාග්‍යවතුන් වහන්සේ ගේ කර්ම විපාකයකින්, ක්‍රියාවකින් මේ වේදනාව උපන්නේනම් අනෙක් වේදනාවක් නැත්තේ ය. මහරජාණෙනි, කුඹුරක් නිසරු නිසා හෝ, නිසරු බීජයක් නිසා හෝ යහපත් සේ බීජය හට නො ගන්නේ ය. එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාකයකින්, ක්‍රියාවකින්, මේ වේදනාව උපන්නේ නම්, අනෙක් වේදනාවක් නැත්තේ ය. කුසෙහි නපුරු බවින් හෝ ආහාරයෙහි නපුරු බවින් හෝ වැළඳූ දෙය විෂම බවට යන්නේ ය. එසෙයින් ම මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාකයකින් ක්‍රියාවකින්, මේ වේදනාව උපන්නේ නම්, අනෙක් වේදනාවක් නැත්තේ ය. 

මහරජාණෙනි ,භාග්‍යවතුන් වහන්සේ හට පෙර කර්මයෙන් හටගත් වේදනා නැත්තේ ය. විෂම පැවැත්මෙන් හටගත් වේදනා නැත්තේ ය. ඉතිරි කරුණෙන් භාග්‍යවතුන් වහන්සේට වේදනා උපදියි. ඒ වේදනාවන්ගෙනුත් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තොර කරන්නට හැකියාවක් නැත්තේ ය. 

මහරජාණනි, මේ සතර මහා භූතයන්ගෙන් හටගත් කයෙහි ඉෂ්ට,අනිෂ්ට , සුබ, අසුබ විඳීම් හටගනියි. මහරජාණෙනි, අහස දෙසට දැමූ ගල් කැටය මහපොළොවට වැටෙයි. ඒ ගල් කැටය මහපොළොවට වැටෙන්නේ පෙර කළ කර්මයක් නිසා ද?

“නැත ස්වාමීනි, යම් හේතුවකින් මහා පෘථිවිය කුසලාකුසල විපාක විඳියි නම් එබඳු හේතුවක් මහා පෘථිවියට නැත්තේ ය. ස්වාමීනි, වර්තමානයෙහි කර්මයක් නැති හේතුවෙන් ඒ ගල් කැටය මහා පෘථිවියට වැටෙයි”. “මහරජාණෙනි, මහා පෘථිවිය යම් සේ ද, තථාගතයන් වහන්සේ දත යුත්තේ එසේ ය. පෙර කර්මයෙන් නො කරන ලද ගල් කැටය මහා පෘථිවියට වැටෙන්නේ යම් සේ ද, එසේම තථාගතයන් වහන්සේ පෙර නො කරන ලද කර්ම ඇතත් ඒ ගල්පතුර පාදයෙහි වැදුණේ ය. 

මහරජාණෙනි, මිනිසුන් මේ මහා පෘථිවිය බිඳිති. සාරති. එනමුත් ඒ මිනිස්සු පෙර කරන ලද කර්මයකින් මහා පොළොව බිඳිත් ද, සාරත් ද? 

“නැත, ස්වාමීනි.” 

“එසෙයින් ම මහරජාණනි, තථාගතයන් වහන්සේ පෙර නො කරන ලද කර්ම ඇත්තේ ද ඒ ගල්පතුර පාදයෙහි වැදුණේ ය. භාග්‍යවතුන් වහන්සේට යම්, ලෝහිත පක්ඛන්දිකා රෝගාබාධයක් උපන්නේ ද, ඒ ආබාධයත් පෙර කරන ලද කරුමයකින් නූපන්නේ ය. වා, පිත්. සෙම් කිපීමෙන් ම උපන්නේ ය.

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේට යම්කිසි කායික රෝගාබාධයෝ උපන්නාහු නම්, ඒවා කර්ම විපාකයෙන් උපන්නාහු නො වෙති. මේ අනිත් කරුණු සයෙන් උපන්නාහු වෙති. 

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...