Friday, February 4, 2022

නාගසේන තෙරුන්ගේ විශ්මිත ප්‍රඥාව

 

නාගසේන තෙරුන්ගේ විශ්මිත ප්‍රඥාව

අගනා, වීමංසනශීීලි කුසලතාවයකින් යුත් මිළිඳු රජතුමා අසන සදහම් පදයන්ට විශ්මිත ප්‍රඥාවකින් හෙබි නාගසේන මහරහතන් වහන්සේ අසිරිමත් ලෙස පිළිතුරු දෙන අයුරුයි මිළිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් වන්නේ. 

බුදුගුණ සිහිකිරීම

නාගසේන මහරහතන් වහන්සේ බැහැදුටු මිළිඳු රජු මෙසේ ඇසුවේ ය. 

‘ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් වසර සියයක් අකුසල් කරනවා ද? එහෙත් මරණාසන්න කාලයේ දී එක බුදු ගුණයක් සිහි කරයි නම්, ඔහු දෙවියන් අතර උපදින්නේ ය කියා ප්‍රකාශයක් ඔබ වහන්සේ විසින් කර තිබෙනවා නේද? මෙම කාරණය මම විශ්වාස නො කරමි. ඒ වගේ ම එක් වරක් කළ ප්‍රාණඝාතය හේතුවෙන් නිරයේ උපදින බවටත් ප්‍රකාශ කරනවා නේ ද? ඔය කාරණයත් මම විශ්වාස නො කරමි.” 

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ? “කුඩා ගලක් පවා නැවක තබන්නේ නැතිව ජලයෙහි පා කළ හැකි ද?” 

“නො හැකියි ස්වාමීනි” 

“මහරජාණෙනි, කරත්තයක ප්‍රමාණයේ ගල් සියයක් වුණත් නැවක තැබූ විට එය ජලයෙහි පා වෙනවා නේද? 

“එසේය ස්වාමීනි” 

“මහරජාණෙනි, නෞකාව යම් සේ ද , කුසල කර්මයන් දත යුත්තේ ඒ අයුරිනි.” 

“නාගසේනයන් වහන්ස ඉතා දක්ෂ වන සේක” 

දුක් ප්‍රහාණයට වෑයම් කිරීම 

මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේ වීරිය වඩන්නේ අතීතයට ගිය දුක් ප්‍රහාණය කිරීමට ද?” 

“නැත මහරජාණෙනි” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස. එසේනම් වීරිය වඩන්නේ අනාගතයේ හටගන්නා දුක් ප්‍රහාණය කිරීමට ද? 

“නැත මහරජාණෙනි” 

“ ස්වාමීනි නාගසේනයන් වහන්ස, එසේනම් වීරිය වඩන්නේ අනාගතයේ හටගන්නා දුක් ප්‍රහාණය කිරීමට ද? 

“නැත මහරජාණෙනි” 

“කිම? ස්වාමීනි නාගසේනයන් වහන්ස, එසේනම් වීරිය වඩන්නේ වර්තමානයේ හටගන්නා දුක් ප්‍රහාණය කිරීමට ද? 

“නැත මහරජාණෙනි” 

“ඉදින් ඔබවහන්සේ අතීත දුක ප්‍රහාණයට වෑයම් නො කරත් නම්, අනාගත දුක ප්‍රහාණයට වෑයම් නො කරත් නම්, වර්තමානයේ දුක ප්‍රහාණයට වෑයම් නොකරත් නම්, කවර කරුණක් පිණිස ද වෑයම් කරන්නේ?” 

“මහරජාණෙනි, මේ දුක නිරුද්ධ වන්නේ ද, වෙනත් දුකක් නූපදින්නේ ද යන මෙ කරුණ පිණිස වෑයම් නො කරන්නෙමු” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේට අනාගත දුකක් තියෙනවා ද?” 

“නැත මහරජාණෙනි” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබවහන්සේ අතිපණ්ඩිත වන සේක. අනාගතයෙහි නො තිබෙන්නා වූ දුකක් පිණිස නේද මේ වෑයම් කරන්නේ? 

“මහරජාණෙනි, ඔබට සතුරු වූ , ප්‍රතිපක්ෂ වූ, පසමිතුරු වූ රජවරු ඉන්නවා නේද? ඔවුන් ඔබ හා යුද්ධයට පැමිණෙනවා නේද? 

“එසේය ස්වාමීනි, එබඳු සතුරු රජවරුන් ඉන්නවා” 

“කිම? මහරජාණෙනි, ඔවුන් සටනට පැමිණි කල්හි ද දිය අගල කණින්නේ? ප්‍රාකාරය බඳින්නේ? ගෝපුර සකසන්නේ? අට්ටාල කරවන්නේ? ධන ධාන්‍ය රැස් කරවන්නේ?” 

“නෑ ස්වාමීනි, වේලාසනින් ම ඒ කටයුතු සූදානම් කරනවා” 

“කිම? මහරජාණෙනි, එවිටද හස්තීන් හික්මවන්නේ? අසුන් හික්මවන්නේ? රථ හික්මවන්නේ? දුනු ශිල්පීන් හික්මවන්නේ? පාබල සේනා හික්මවන්නේ?” 

“නෑ. ස්වාමීනි, වේලාසනින් ම ඒවා හික්මවලයි තිබෙන්නේ,” 

“කුමන කරුණක් පිණිස ද?” 

“අනාගතයේ හටගන්නා භය නැති කිරීම පිණිසයි” 

”කිම? මහරජාණෙනි, අනාගත භය තිබෙනවා ද?” 

“නැත ස්වාමීනි”

“මහරජාණෙනි, ඔබ අතිපණ්ඩිතයි. නො තිබෙන්නා වූ අනාගත භය නැතිකිරීම පිණිස නොව මෙ පමණ සූදානම් ව තියෙන්නේ”

“ස්වාමීනි තවත් උපමාවක් වදාළ මැනව“ 

“මහරජාණෙනි, යම් කලෙක ඔබට පිපාසය ඇතිවෙනවා. එවිට ජලය පානය කරන්නට ඕනෑයි කියලා. ඒ වෙලාවෙ ද ඔබ ළිඳක් සාරවන්නේ? පොකුණක් සාරවන්නේ? විලක් සාරවන්නේ?” 

“නැත ස්වාමීනි. කලින්ම එය පිළියෙල කරවනවා”

“ඒ කුමක් පිණිස ද?” 

“ස්වාමීනි, අනාගතයේ පිපාසය නැතිවීම පිණිසයි පිළියෙළ කරන්නේ?” 

”මහරජාණෙනි අනාගතයේ පිපාසය කියා දෙයක් තිබෙනවා ද?” 

“නෑ ස්වාමීනි.” 

“මහරජාණෙනි, ඔබ අතිපණ්ඩිතයි. නො තිබෙන්නා වූ අනාගත පිපාසය නැතිකිරීම පිණිස නෙව, මෙ පමණ සූදානම් ව තිබෙන්නේ?” 

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව “

“මහරජාණෙනි, යම් කලක ඔබට බඩගින්නක් ඇතිවෙනවා එතකොට ද ඔබ කුඹුර සී සාන්නේ? වපුරන්නේ?” 

“නැත ස්වාමීනි, එය කලින්ම පිළියෙළ කරනවා.” 

“ඒ කුමක් පිණිස ද?” 

“ස්වාමීනි අනාගත කුසගින්න නැති කිරීම පිණිසයි” 

“මහරජාණෙනි. අනාගත කුසගින්න කියා දෙයක් තියෙනවා ද?” 

“නැත ස්වාමීනි” 

“මහරජාණෙනි, ඔබ අතිපණ්ඩිතයි. නො තිබෙන්නා වූ අනාගත කුසගින්න නැතිකිරීම පිණිස නෙව මෙපමණ සූදානමක් තියෙන්නේ?” 

බ්‍රහ්ම ලෝකයට දුර

මිළිඳු රජු මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ සිට බ්‍රහ්ම ලෝකයට කො පමණ දුර ද?” 

“කූටාගාරයක් වැනි සුවිශාල ගලක් බ්‍රහ්ම ලෝකයෙන් වැටුණොත් දිවා රාත්‍රි දෙකේ යොදුන් හතළිස් අට දහසක් පහළට වැටෙද්දී පොළොවට ළං වෙන්නට හාර මාසයක් යාවි” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඒ වුණාට ඔබවහන්සේලා මෙහෙම කියනවානේ. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින්නේ යම් සේ ද? දිග් කළ අතක් හකුලන්නේ යම් සේ ද, ඒ අයුරින් ඍද්ධිමත් චේතෝවශීප්‍රාප්ත භික්ෂුව දඹදිවින් අතුරුදන් ව සැණෙකින් බඹ ලොව පහළ වෙනවා ය කියා. ඔය වචනය මම විශ්වාස නො කරමි. එපමණ අති ශීඝ්‍රව බොහෝ යොදුන් සිය ගණන් එහෙම යන්නට පුළුවන්ද?” 

“මහරජාණෙනි, ඔබ උපන් භූමිය තියෙන්නේ කොහේද? 

“ස්වාමීනි, ඇලෙක්සැන්ඩ්‍රියාව කියා රටක් තියෙනවා. එහෙ තමයි මං උපන්නේ”. 

“මහරජාණෙනි, මෙහෙ සිට ඇලෙක්සැන්ඩ්‍රියාවට කො පමණ දුර ඇද්ද?” 

“ස්වාමීනි, යොදුන් දෙසීයක් පමණ ඇති.” 

“මහරජාණෙනි, ඔබ ඒ රටේදී කරන ලද යම්කිසි දෙයක් මෙහිදී යළි සිහිකරද්දී එය මැනැවින් දන්නවා නේද?” 

“එසේය ස්වාමීනි දනිමි” 

“එතකොට මහරජාණෙනි, මෙතරම් ඉක්මනට ඒ දෙසිය යොදුනක් දුර ඇලෙක්සැන්ඩ්‍රියාවට ඔබ ගියා නේද?” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.” 

Thursday, February 3, 2022

අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ

 

අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ 

යස්ස පාපං කතං කම්මං කුසලෙන පිථීයති

සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.

යමකු විසින් කළ පාපකර්‍මය (අර්‍හත්ත්‍වමාර්‍ගසම්ප්‍රයුක්ත චේතනා සංඛ්‍යාත) කුසලයෙන් පිහියේ ද (මුව ව සේ ද), හෙ තෙම වලා පටලයෙකින් මිදුනු පුන් සඳු (අහස බබුලුවන්නා) මෙන් (ස්කන්‍ධාදිසංඛ්‍යාත) මේ ලෝකය ඥානාලෝකයෙන් බබුලුවන්නේ ය.

කොසොල් රජුට අයත් එක් ගමෙක ගර්‍ග නම් බමුණෙක් විය. කොසොල් රජුගේ පුරෝහිත වූයේ ද ඒ බමුණු ය. මන්තානී නම් බැමිණියත් ඔහුට බිරිය වූ ය. ගර්‍ග නිසා මෑ පුතකු වැදූ ය. ඔහු උපන් වේලේ කොසොල් රට හැම ගමක නුවරෙක තුබූ සියලු ආයුධ දිලිහී ගියේ ය. රජුගේ මගුල් කඩුව ද දිලිහින. බමුණු තෙමේ සිය දරු උපන් නැකත බැලී ය. සොර නැකතින් උපන් බව දැක එය කාටත් නො දන්වා නිහඩ වී ය. පසුදා ඔහු රජගෙට ගොස් රජුගෙන් “රෑ දවස ගත වූයේ කෙසේ දැ” යි ඇසී ය. “ගුරුතුමනි! ඊයේ රෑ මා හිස් දොර තුබූ මගුල් කඩුව ගිනිගත්තක් සේ වුනා, එතැන් සිට නිදි නැතිව මට මා බිසොවට රජයට මොන නපුරෙක් වේ දැ යි සිතමින් රෑ දවස ගත කළා” යි රජ තෙමේ කීයේ ය. එවිට බමුණු “මහරජ! ඒ අනෙකෙක් නො වේ, ඊයේ රෑ මා ගෙයි උපන් ලදරුගේ අනුභාවයෙන් මගුල් කඩුව පමණක් නොව හැම ගමෙක හැම නුවරෙක තුබූ ආයුධ දිලිහි ගියේ වනැ” යි කියා සිටියේ ය. ඉක්බිති රජ තෙමේ එයින් වන වැඩ අවැඩ විචාළේ ය. බමුණු “ඌ සොරෙක් වන්නේ ය” යි කියා නැවැත රජුන්ගේ සිත් ගන්නා අටියෙන් “ඌ අද හෙට ම මරා වළ දමමි” යි කී ය. රජ තෙමේ “ඌ එකලා සොරෙක් වන්නේ ද, නැත, සොරමුළක් ගෙණ ගම් පහරණ සොරදෙටුවෙක් වන්නේ දැ” යි ඇසී ය. බමුණු “ඌ එකලා සොරෙක් වන්නේ ය” යි කී කල්හි රජ තෙමේ “එසේ නම් ඌ රකුව” යි කී ය. 

බ්‍රාහ්මණ තෙමේ යහපතැ යි පෙරළා ගෙට අවුත් පුතුට “අහිංසක” යි නම් තබා පිළිදැගුම් කෙළේ ය. අහිංසක සොළොස් අවුරුදු වයසට පැමිණි කල්හි ශිල්ප උගන්නට තක්සලා නුවර දිසාපාමොක් මහඇදුරු වෙත යැවී ය. ඔහු එහි මැනැවින් ශිල්ප උගන්නේ ගුරුසිත් ගත්තේ ය. ගුරු වචනය නො ඉක්මවා සිටියේ ය. ඉතා කීකරු ය. කී දෙය වහා කෙළේ ය. හැම කෙනෙකුගේ මන වැඩුයේ ය. එහෙයින් එහි සිටි ආචාර්‍ය්‍යවරයෝ ඔහු කෙරෙහි ස්නේහ ඇත්තෝ වූහ. මෙසේ දවස ගෙවුනේ ය. මේ අතර ඔහු හා එකට උගන්නා අන් සිසුදරුවෝ ඊර්‍ෂ්‍යා ඇත්තෝ “මූ ආ දවසේ සිට අපගේ ගුරුවරුනට මූ මිසක් අපි නො පෙණෙන්නමෝ ය, එහෙයින් කුමක් හෝ කොට මූ කෙරෙහි ගුරුන් බිඳුවාපියමු” යි කුමන්ත්‍රණය කළහ. එහිදී “මූ නො මැලි හෙයින් මැලි එකෙකැ යි නො කිය හැක්ක, කුලීන හෙයින් අකුලීනැයි නො කිය හැක්ක, නුවණැති හෙයින් නුවණ නැතැයි නො කිය හැක්ක, එහෙයින් මේ කිසිවක් කියා ගුරුන් බිඳුවාපියන්නට නො හැක්ක, එහෙත් මූ ගුරු බිරිය හා අනාචාරයෙහි හැසිරේ යි කී කල්හි ගුරු මූ හා බිඳෙන්නේ ය” යි කතා කොට මේ වග ගුරුවරයාට කියන්නට ඒ සිසුදරුවෝ තුන් කොටසකට බෙදී සිට ගත්හ. 

ඉන් එක් කොටසෙක සිසුදරුවෝ දිසාපාමොක් ඇදුරන් වෙත ගොස් “ආචාර්‍ය්‍යයන් වහන්ස! ඔබ වහන්සේට දැන්විය යුත්තෙක් ඇත, එයට අවසර දී වදාළ මැනැවැ” යි කීහ. “කියවු” යි ඔහු කී ය. එවිට ඔවුහු ලොකු රහසක් කියන්නා සේ බිය දක්වමින් ගුරුන් වෙත ලංව “ආචාර්‍ය්‍යතුමනි! අහිංසක ගුරු බිරිය හා අනාචාරයෙහි හැසිරේ” යි කීහ. ඒ බසින් උදහස් වූ දිසාපාමොක් “මා දරු එසේ නො කෙරේ” යි ඔවුන් පන්නා හැරියේ ය. නැවැත අන් දිනෙක දෙවන කොටසට අයත් වූවෝ ගොස් “ගුරුතුමනි! දැන්විය යුතු රහසෙක් තිබේ. එයට අවසරැ” යි කියා, “අහිංසක ගුරුමෑනියන් හා ඇඟ ඇලි කම් ඇත්තේ නො හොබනේ ය” යි කීහ. දිසාපාමොක් ඔවුන් ද පන්නා හැරියේ ය. 

ඉන් පසු දවසෙක, තුන්වන කොටසට බෙදී සිටි සිසුදරුවෝ ගොස් “ගුරුතුමනි! අවසර! ඔබවහන්සේට නො දන්වා නො සිටිය හැකි බලගතු රහසෙක් අප ඇසට හමු වී ඇත. එය ඉතා නින්දිත එකෙකි, රට වැසියාහට එහිලා දැනුමෙක් වී නම් අපට ජීවත් වීමෙන් වැඩෙක් නැත, අප උගන්නා ශිල්පයෙන් වැඩෙක් නැත. එහෙයින් එය දන්වන්නට අපට අවසර දුන මැනැවැ” යි කීහ. දිසාපාමොක් “කියවු” යි. කී කල්හි ඔවුහු ද “ගුරුතුමනි! අහිංසකගේ හා ගුරුබිරියගේ හැසිරීම ඉතා නපුරු ය, අඹු සැමි දෙදෙනකුගේ හැසිරීම සේ ය, උන් දෙන්නාගේ හැසිරීමැ” යි කීහ. දිසාපාමොක් උන් කෙරෙහි ද උදහස්ව “මෙතැනින් යවු” යි කී කල්හි “ගුරුදේවය! අප කෙරෙහි උදහස් නො වනු මැනැව, ටික දවසක් ගිය තැන අප කී බසෙහි සැබෑබොරු දත හැකි වන්නේ ය” යි කියා ඔවුහු එතැනින් නික්ම ගියහ. 

දිසාපාමොක් මුන්ගේ බසින් සැකයට වැටී ඒ ගැණ පරීක්‍ෂා කරණුයේ දවසෙක අහිංසක, ගුරු මෑණියන් හා පිය තෙපුල් කතා කරණු අසා “සිසු දරුවන් කීයේ සැබැවැ” යි අදහා ගෙණ කාමයෙන් අන්‍ධවූයේ, අහිංසක මරා දමන්නට සිතී ය. නැවැත ද “ඉදින් මම මූ මැරූයෙම් නම්, මා වෙත ශිල්ප උගන්නට එන්නෝ අඩු වෙත්, එවිට මට ලැබෙන ලාභ සත්කාර ද අඩු වන්නේ ය, එහෙයින් යම්කිසි උපායයක් යොදා මූ මැරුව මනාය” යි සලකා අනෙකකු ලවා, මරවන අටියෙන් “පුත! අහිංසක! මෙහි එව, තාගේ ශිල්ප ඉගැන්ම අවසන් වන්නට ලංව තිබේ, එය සම්පූර්‍ණ වන්නට උපචාර වුවමනා ය, එහෙයින් ශිල්පයට උපචාර පිණිස දහසක් මිනිසුන් මරා එව” යි අණ කෙළේ ය. “ගුරුදේවය! මම අන්නට හිංසා නො කරණ කුලයෙහි උපන්හි, එහෙයින් මම කෙසේ මිනිසුන් මරම් දැ” යි ඇඟ මැලි කැඩී ය. 

එකල දිසාපාමොක් “පුත! අහිංසක! ඒ කළ යුතු ය, මේ වේලෙහි කුල සිරිත් ගැන සිතීම වරද ය, ශිල්පයට උපචාර නො කරන්නේ ශිල්ප නො ලබන්නේ ය” යි කී යේ ය. එවිට, අහිංසක ඉන් පසු කිසිත් නො බැණ දුනු හී සපයා ගෙණ වන වැද වන මැදින් යන එන්නන් මරා ලන්නට පටන් ගතු. මරා දමන්නවුන්ගේ ඇඳුම් කැඩුම් අබරණ ඈ කිසිවක් තෙමේ නො ගණියි. මැරූවන්ගේ ගණන පමණක් ගණියි. කල් යත්, මැරූ මිනිසුන්ගේ ගණන අමතක ව ගියේ එහෙයින් ඔහු එතැන් සිට එක මිනිසකුගෙන් එකැඟිල්ල බැගින් කපා ඒ ඒ තැන තැබී ය. එද නැසෙන බව දැක නැවැත කපා ගන්නා වූ ඇඟිලි වැලක අවුණ ගෙල දැරී ය. එහෙයින් අඞ්ගුලිමාලයි ප්‍රසිද්ධ විය. 

අඞ්ගුලිමාල තෙමේ රාත්‍රියෙහි ගම් වැද ගෙවල දොර බිඳ ගෙට වැද හොත්තා වූ මිනිසුන් මරා ඇඟිලි කපා ගෙණ යන්නට පටන් ගත්තේ ය. ගම් වැස්සෝ බියෙන් වෙලා ගියහ. බියෙන් ගැහෙන්නට වූහ. කරන්නට කිසිවක් නො දත් ඔවුහු, ගෙවල හැර දරු බිළිඳුන් හා වටිනා ඇදුම් කැඩුම් හා රන් රීදී අබරණ ද මිල මුදල් ද ගෙණ නියම්ගම් තුළට වන්හ. නියම්ගම් වැස්සෝ එසේ ම කොට නුවර වටා කඳවුරු බැඳ සිට ගත්හ. ඒ අතර දවසෙක ගම් නියම්ගම් නුවර වැසි මිනිස්සු රජගෙය මිදුලෙහි රැස්ව සිට “දේවයන් වහන්ස! ඔබ වහන්සේගේ රජයෙහි අඟුල්මල් නම් සොරෙක් දුටු දුටුවන් මරා ඇගිලි කපා ගෙණ යයි, දර පලා සඳහා වනයට යන්නෝ දැන් නැත, හැම ගම් අගම් කෙළේ ය, නියම්ගම් අනියම්ගම් කෙළේ ය, දනවු නො දනවු කෙළේ ය, හැම දෙනෙක් ම බියෙන් තැති ගෙන සිටිත්, මෙසේ රට වැසියා පෙළන තවන මේ බිය වහාම දුරු කරණ සේක්වා” යි මහහඬින් මුරගාන්නට වුහ. 

එවිට කොසොල් රජ තෙමේ අඟුල්මල් මරා දමන්නට රාජපුරුෂයන්ට නියම කෙළේ ය. එවේලෙහි කොසොල් රජු වෙත සිටි අඟුල්මල් සොරුගේ පිය වූ පෙරෙවි බමුණු තෙමේ ඒ නියමය අසා ගෙට ගොස් සිය බිරිය අමතා “සොඳුර! රජු විසින් මරන්නට නියම කරණ ලද අඟුල්මල් අනෙකෙක් නො වේ, දිසාපාමොක් වෙත ශිල්ප උගන්නට යැවූ අපගේ පුතු ය, දැන් මෙයට කළ යුත්තේ කුමක් දැ” යි කී ය. “හිමියෙනි! ඔබ ගොස් මපුතු කැඳවා ගෙණ එවු” යි ඕතොමෝ කියා සිටියා ය. එබසට ඔහු “සොඳුර! ලෝකයෙහි විශ්වාස නො කොට හැකි සිවු දෙනාගෙන් එකෙකි සොරු, ම පුත් ද දැන් සොරෙකි, එහෙයින් මට යෑ නො හැක්කැ” යි කී ය. එවිට බැමිණි “මට කුමක් වුවත් කම් නැතැ” යි පුතු රැක ගන්නට සිතා ගෙයින් නික්ම ගොස් වන වැද “පුත අහිංසක! ඇයි, මට මෙසේ දුක් දෙන්නෙහි? මෙහි එන්න! මෙසේ මිනිසුන් මරණු ඔබගේ කුලයට නමට ගැළපේ ද? පුත! අහිංසක! ශිල්ප උගත්තෙහි මිනිසුන් මරණු පිණිස ද? රාජ පුරුෂයන් ඔබ මරා දමන්නට දුනු හී ගෙණ රැක සිටිනු ඔබට දැනුම් නැත, මට දුක් දෙනු ඔබට තරම් නො වේ, දසමසක් ඔබ කුසෙහිලා දැරීම, ඒ කාලයෙහි මා විඳි දුක් දන්නෙම් මම මැ යි, වැදු දා පටන් ශිල්ප උගන්නට යන තුරු ඔබ වඩන්නට මා ගත් වෙහෙස නො දනීහි ද? මෙහි එන්න” යි මෙසේ කියමින් හඩමින් වනයෙහි ඇවිදින්නට වූවා ය. 

එදවස උදෑසන බුදුරජානන් වහන්සේ මහකුළුණු සමවතට සම වැද ලොව බලා වදාරණ සේක් අඟුල්මල් සොරු දුටු සේක. දැක “මම මූ කරා ගියෙම් නම් මූ මාගෙන් බණ අසා රහත් ව අමාමහ නිවන දකින්නේ ය, නො ගියෙම් නම් මවු මරා මැරී ගොස් නිරයෙහි ඉපිද අතුරු කපක් දුක් විඳින්නේ ය, එහෙයින් මා මූ කරා යා යුතු ය” යි සැවැත් නුවර පිඬු සිඟා වළඳා වෙහෙරට වැඩ ඔහු කෙරෙහි කරුණාවෙන් මග බැස වඩනා සේක. එසේ වඩින්නා වූ බුදුරජුන් දුටු නොයෙක් දෙන බුදුරජුන් නො හැඳින “මහණ! තෙල මග නො යා, එමග සොරෙක් ඇත්තේ ය, ඌ ඉතා දරුණු ය, ලේ වැකුණු සිරුරු ඇත්තේ ය, කඩමාලු හැඳියේ ය, දුනු හී දරා සතුන් කෙරෙහි ටිකකුත් කුළුණු නැත්තේ ය, බිහිසුණු ය, ගම් නො ගම් කෙළේ ය, නියම්ගම් නැසූයේ ය, දනවු නො දනවු කෙළේ ය, දුටු දුටු මිනිසුන් මරා එකාගෙන් එකැඟිල්ල බැගින් කපා ගෙණ ඒ ඇඟිලි වැලක අවුණ මාලාවක් කොට දරන්නේ ය, මහණ! තෙල මග යන්නෝ විසි තිස් දෙනා බැගින් කාණ්ඩ ගැසීමෙන් යුතුව ම යෙත්, එහෙත් ඔවුහු යන්නෝ පණ බියේ ම යෙත්” යි ඉදිරියට පැමිණ කියා සිටියාහ. එහෙත් උන්වහන්සේ උන් කියන බස් නො ඇසෙන සේ එම මග ම වැඩ අඟුල්මල් සිටි වන පෙදෙසට ම වැඩි සේක. 

එදවස අඟුල්මල්හුගේ අඞ්ගුලිමාලාවෙහි එකැඟිල්ලෙකින් දහස පිරෙන්නේ ය. එහෙයින් ඔහු එදවස පළමු කොට දුටු කෙනකු මරා ඇඟිලි දහස පුරවා ගෙණ ගුරුන් දැක ශිල්පයට උපචාර දක්වා ඉස් සෝදා නා සුදු පිළි හැඳ නෑ දැ හිතවතුන් වෙත යන්නට සිතා වනයට වදන් මගින් මදක් ඉවත් ව කවරෙක් ඒ දැයි බලා සිටියේ ය. ඒ වේලෙහි එමඟ වඩනා බුදුරජුන් දැක, පුදුමයට පැමිණ “මේ මග දස දෙන විසි දෙන තිස් දෙන සතළිස් දෙන පණස් දෙන බැගින් කණ්ඩායම් ගැසී ආවෝ ද මාගෙන් මැරුම් කෑහ. එහෙත් මේ මහණ, මා ගැණ නො දන්නා සේ එයි, මූ මැරුව මැනැවැ” යි සිතා දුනු හී ගෙණ බුදු රජුන් ලුහු බැඳ ගියේ ය. ඒ වේලෙහි උන්වහන්සේ “හැකි තරම් වේගයෙන් ලුහු බැඳ දිවනා අඟුල්මල් ප්‍රකෘති ගමනින් යන මට ලංවන්නට අසමර්‍ත්‍ථ වේවා” යි ඉටුහ. ඒ ඉටීම් බලයෙන් අඟුල්මල් දිවනා තැන් හා බුදුරජුන් වඩනා තැන් නො ලං වූ සේ පෙණෙන්නට වන. එහෙත් ඔහු දැන් දැන් මහණහු ගණිමි, මෙ තැන දී හසු කෙරෙමි, යි දොළොස් ගව්වක් තැන් ලුහු බැඳ ගියේ ය. බුදුරජානන් වහන්සේ ඉදිරියෙහි වළක් හෝ ගොඩක් දක්වන සේක. සොරු වළින් නැග ගොසින් බැස යන්නේ කට කෙළ සිඳී ඩහදියෙන් තෙත් වූ සිරුරු ඇත්තේ වෙහෙසට පත් විය. 

ඉක්බිති ඔහු “අනේ! කිම, මම පෙර දුවන ඇතුන් දුවන අසුන් දුවන රිය දුවන මුවන් දුව ගොස් අලා ගතිමි. එහෙත් අද හැකිතරම් වේගයෙන් දුවනා මට පියවිගමනින් යන මේ මහණහු අල්වා ගත නො හැකිය” යි සිතා බුදුරජුන්ට “සිට මහණැ” යි කීයේ ය. බුදුරජානන් වහන්සේ “මම සිටියෙමි, තෝ ද සිටුව” යි වදාළ විට “මහණ! තෝ නො සිට යන ගමන් සිටියා වූ මට තෝ සිටුව, යි කියහි, මේ කියනු යුක්ති දැ” යි ඇසී ය. එකල්හි බුදුරජානන් වහන්සේ “මම සැමදා ක්‍ෂාන්තිමෛත්‍රී ආදී ගුණයන්හි පිහිටා ගත් බැවින් සිටියෙම් නම් වෙමි, තෝ එසේ නො වෙහි, මෙතෙක් දහස් ගණනින් සතුන් මරන්නා වූ තෝ එබඳු කිසි ගුණයෙක නො පිහිටි බැවින් නො පිහිටියේ වෙහි, ඉරියවු විසින් සිටියෙහි ද, තා කළ අකුසල් විසින් සිවු අපායයෙහි උපදනා බැවින් නො සිටියෙහි” යි වදාළ සේක. 

එකල්හි අඟුල්මල් “මෙ වැනි අභීත නාදයෙක් අනෙකකු විසින් කළ නො හැක්කේ ය, මේ නාදය සුදොවුන් පිත් මහමහණහුගේ විය යුතු ය, සියුම් නුවණැති ඔහු මා දැක මට වැඩ පිණිස මෙහි ආයේ වන, මා කෙරෙහි උපන් කරුණාව නිසා මෙහි ආයේ වනැ” යි තම අත තුබූ දුනු හී වළකඩෙක බහා ගොස් බුදු රජුන්ගේ පාමුල්හි වැතිර වැඳ “තිලෝගුරු හිමියනේ! මා පැවිදි කර ගන්නැ” යි ඇය ද සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ ඔහු පැවිදි කොට ඔහු හා ජේතවනාරාමයට වැඩි සේක. එයින් ටික දවසක් ගිය තැන් අඞ්ගුලිමාල ස්ථවිර තෙමේ රහත් බවට පැමිණ රහතුන් අතුරෙහි එක්තරා එකෙක් විය. දිනෙක අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ විවේකයට පැමිණ එකඟ සිතින් යුක්තව අර්‍හත්ඵල සුඛය විඳිනුවෝ; 

“පෙර පමාවූවෙක් පසුව නො පමා වේ නම්, 

හේ, වලාමුත් සඳසේ මේ ලොව බබලවාලයි” 

යනුවෙන් නම ප්‍රීතිය ප්‍රකාශ කළහ. මේ ප්‍රීති ප්‍රකාශයෙන් පසු උන්වහන්සේ පිරිණිවී ගියහ. 

එකල්හි සෙසු භික්‍ෂූන් වහන්සේලා එක්ව “ආයුෂ්මත්නි! අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ කොතැන උපන්නෝ දැ” යි ධර්‍මසභාවෙහි කතාවක් ඉපද වූහ. බුදුරජානන් වහන්සේ ඒ අසා “මහණෙනි! මාගේ පුත් පිරිනිවියේ ය” යි වදාළ විට “ස්වාමීනි! මෙතෙක් දෙනාත් මරා පිරිනිවියේ දැ” යි නැවැත ඇසූ හ. “අඞ්ගුලිමාල මෙතෙක් කල් කල්‍යාණමිත්‍රයකු නො ලැබ පව් කෙළේ ය, පසුව ඔහු කල්‍යාණ මිත්‍රයකු ලැබ අප්‍රමත්ත විය, පින් දහම් කෙළේ ය, එයින් ඔහු මුලින් කළ සියලු පව් වැසී ගියේ ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක. 

යස්ස පාපං කතං කම්මං කුසලෙන පිථියති, 

සො ඉමං ලොකං පභාසෙති අහා මුත්තොව චන්‍දිමාති. 

යමකු කළ පව්කම්, පින් කමින් වැසී යේ ද, ඔහු වලාපටලයෙන් මිදුනු සඳසේ මෙ ලොව බබලවාලයි. 

යස්ස පාපං කතං කම්මං = යමකු විසින් කළ පව්කම. 

කුසලෙන පිථියති = කුසලින් වැසී යේ ද. 

මවු මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරජුන් සිරුරෙහි ලේ මීසලවීම, සමානසංවාසකසඞ්ඝයා භේද කිරීම, යන ආනන්තර්‍ය්‍යය කර්‍ම නො කළ රහත්වීමේ වාසනා ගුණය ඇති යමකු විසින් පාපමිත්‍රයන් හා එකතුවිමෙන් ප්‍රාණඝාතාදී අකුශලකර්‍ම කොතෙක් කරණ ලද නමුත් ඒ සියල්ල කල්‍යාණමිත්‍ර සංසර්‍ගය නිසා පසුව කළ පින්බලයෙන් පිළිවෙත් පුරා රහත්වීම් හේතුවෙන් වැසී යන්නේ ය. අර්‍හන්මාර්‍ගකුශලය සියලු පව් සිඳ හරින්නේ ය. ඔහු පිළිබඳ සියලු අකුසලයෝ විපාක නො දෙන තැනට යන්නෝ ය. රහතුන් වහන්සේට මතු ඉපැමක් නැති බැවින් උන්වහන්සේ පෙර කළ කිසිත් අකුසලයෙක් ප්‍රතිසන්‍ධි විපාකයක් නම් නො දෙන්නේ ය. අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහත් වූවෝ එහෙයිනි. උන් වහන්සේ පෙර පවිටු මිතුරන් හා එක්ව නොයෙක් පව්කම් කළෝ ද ආනන්තර්‍ය්‍යය කර්‍මයක් නම් කිසිදාකත් නො කළෝ ය. එහෙයින් පසුව බුදුරජානන් වහන්සේගේ ආශ්‍රයෙන් පිළිවෙත් පුරා රහත් වූවාහු තමාගේ පෙර වූ සියලු අකුසල් නසාලූහ. අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ පිළිබද වූ හැම අකුසලයෙක් ම අවිපාකභාවයට පැමිණියේ උන්වහන්සේගේ අර්‍හනමාර්‍ග කුශලබලයෙනි. එය අකුශලච්ඡේදක විය. එහෙයින් මෙය උපච්ඡේදක නම් වේ. අජාසත් රජුන් පිළිබද වූ සෝවන් වීමේ වාසනා ගුණය පිතෘඝාතක අකුශලකර්‍මය විසින් නසන ලද්දේ ය. මේ අකුශලයෙන් කුශලය වැසී ගිය තැනෙකි. මේ ද උපච්ඡේදක නම් වේ. මෙයට ප්‍රවෘත්තිවිපාක විසින් උන්වහන්සේ බලු කපුටු ආදීන්ට ගැසූ ගල් මුල්පහරවලට ලක් වූහ. 

සො අබ්භා මුත්තො චන්‍දිමා ඉව ඉමං ලොකං පභාසෙති = ඔහු වලාවකින් මිදුනු සඳසේ මේ ලොව බබලවාලයි. [1]

ධර්‍මදේශනාවන්ගේ අවසානයෙහි බොහෝ දෙනෙක් සෝවන් ඵලාදියට පැමිණියෝ ය. 

අඞ්ගුලිමාලස්ථවිර වස්තුව නිමි.

තුන් සිත පහදා කරන පින්කම උතුම්

 

තුන් සිත පහදා කරන පින්කම උතුම් 

අලෝභ, අදෝස, අමෝහ චේතනාවෙන් පින්කමේ ආරම්භය, පින්කම කරන මොහොත, පින්කමේ අවසානය ආදී අවස්ථා තුනෙහි ම තුන් සිත පහදා ගෙන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුක්තව උසස් පින්කමක් සිදු කළ යුතු යි. එහි අනුහසින් තමන්ට සතර අපායෙන් අත් මිදී සුගතියක ම වාසය කළ හැකි යි. 

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන සියලු පූජාවන්ගෙන් ලැබෙන පින අසීමිත යි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරන මල්, පහන්, ගිලන් පස, දැහැත් , බෙහෙත්, ඖෂධ, දාන මාන ආදී පූජාවෝ විපාක දෙන්නේ කල්ප ගණනින්. සියලුම සැප සම්පත් ලබා දෙන පින්කමක්. 

බුදුරජාණන් වහන්සේ නමක් නොමැති කාලයක එවැනි පින්කම් කළ නො හැකි යි. ඒ නිසා කවුරුත් බුද්ධ ශාසනය පවතින තුරා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන්, චිත්ත ප්‍රසාදයෙන් යුක්තව තුනුරුවන් වැඳ නමස්කාර කරන්න. 

බුදුන් වහන්සේගේ කාලයේ සුමන නමින් සැදැහැවතෙක් රජගහනුවර වාසය කළා. ඔහු දිනපතා ම බිම්බිසාර රජතුමාට සමන් මල් නැළි අටක් බාර දී රජතුමාගෙන් තෑගි බෝග ලබා ගන්නවා. එක්තරා දිනයක රජ මාලිගයට සමන් මල් රැගෙන යන ඔහු අබියසට බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළා. සවණක් ඝන බුදු රැස් විහිදුවමින්, සන්සුන් ගමනින් විශාල සඟ පිරිසක් පිරිවරා වැඩම කරන බුදුන් වහන්සේගේ දසුනින් සුමන මල් කරුවාගේ සිත ශ්‍රද්ධාවෙන් පැහැදී ගියා. මාලිගයට රැගෙන යන මල් ටික පමණක් තමන් සතුව තිබූ ඔහු, මාලිගයට මල් නොලැබුණොත් ලැබෙන රාජ දඬුවම ගැනවත් නොසිතා, බොහොම ශ්‍රද්ධාවෙන් බුදුන් වහන්සේ දෙසට මල් මිටක් මුදා හැරියා. එය බුද්ධානුභාවයෙන් බුදුන් වහන්සේගේ සිරස මත මල් වියනක් සේ පිහිිටියා. තවත් මල් දෝතක් පිදුම් දුන් විට, එක් පසකින් මල් වියනක් සේ පහතට ඇද හැලුණා. තවත් මල් දෝතකින් පිදුම් දුන් විට අනෙක් පසින් මල් වියනක් සේ ද, ඉතිරි මල් ටික ද පිදුම් දුන් පිට පිටුපසින් මල් වියනක් සේ ද අසිරිමත් වූවා. දසත විහිදී ගිය බුදු රැසින් ද, පිදුම් දෙනු ලැබූ සමන් මල් ද මණ්ඩපයක් සේ අලංකාර වූවා. ශ්‍රද්ධාවෙන් සිත පිවිතුරු වූ සුමන මල් කරුවා දොහොත් මුදුන් තබා අසීමිත ගෞරවයකින් මල් ටික පූජා කළා. මේ පින්කම, කුසලානිසංස ධර්මය, නිවන් දකිනා තුරු ඵල විපාක දෙන පින්කමක්. 

නිවසට පැමිණි සුමන මල් කරුවා මේ කතාව තම බිරිඳ හමුවේ පැවසූ විට , එයින් බියට පත් බිරිය මල් නො ලද රජතුමාගෙන් රාජ දඬුවම් ලැබේදෝ බියෙන් තම දරුවනුත්, ස්වාමියාත් සමඟ මාලිගාවට පැමිණ රජතුමා හමුවේ සියලු තතු පැහැදිලි කළා. මේ මොහොතේ බුදුන් වහන්සේ ද මල් වියන යටින් රාජ මාලිගාවේ මිදුලේ වැඩ සිටියා. මේ දසුනෙන් රජතුමා ද බොහොම සතුටට පත්ව, අසුනක් පනවා ‘ස්වාමීනි, ජීවිත පරිත්‍යාගයෙන් සුමන මල් කරුවා සිදු කළ මල් පූජාව ගැන පැවසුවා. එහිදී ආනන්ද ස්වාමීන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මල් පූජාවේ අනුසස් කෙතරම් දැ’යි බුදුන් වහන්සේගෙන් විමසා වදාළා. ‘ආනන්දය, කල්ප ලක්ෂයක් සුගතියක ම වාසය කර, සුමන නමින් පසේ බුදුන් වහන්සේ නමක් ව නිවනට පත්වන බව දේශනා කර වදාළා.

මේ කාරණය කවුරුත් ඉස්මතු කරගෙන පින්කම් අසම්පූර්ණ ව සිදු නොකර, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන්, ච්ත්ත ප්‍රසාදයෙන්, පිරිසුදු දෑතින්, පිරිසුදු සිතෙන් , පිරිසුදු බඳුනක මල් හොඳින් තැන්පත් කර, බුදු ගුණ සජ්ඣායනා කර දෙදණ නමා වන්දනා මාන කරන්න. එබඳු පූජාවක් කරන ඕනෑම කෙනෙකුට සුමන මාලාකාරයා සේ සුගතියක වාසයෙන් නිවන් පසක් කළ හැකි යි. 

මෙවැනි පූජාවන් බාර ගන්න සුදුසු එකම උත්තමයා බුදුන් වහන්සේ පමණ යි. වීත රාග, වීත දෝස, වීත මෝහ නම් බුදුන් වහන්සේ උදෙසා කරන පූජාව මහත් ඵල, මහත් ආනිසංස දායක වෙයි. සැරියුත් මහ රහතන් වහන්සේ ද , අනෝම දස්සී බුදුන් වහන්සේගේ කාලයේ දී සිදු කළ දැවැන්ත මල් පූජාවේ අනුහසින් ඒකාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් සැප විපාක ලැබ ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දුටුවා. එසේම පියුමතුරා බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කළ සෑයට මල් පූජා කළ අය කල්ප ලක්ෂයක් ම සුගතියක වාසයෙන් නිවනට පත් වුණා. තව ද වැටකෙයියා මල් පූජාවක් සිදු කළ පින්වතෙක් කල්ප ලක්ෂයක් දිව්‍ය සම්පත් විඳ නිවනට පත් වුණා. මේ ගැන සිතා, කල්පනා කර, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන් යුක්තව ම පින්කම් කළ යුතු යි.

මරණින් මතු මෙවැනි පූජා කළ නොහැකි අතර, කුමන උපතක් ලබනවා දැ’යි අපට හිතන්න බැහැ. ඒ නිසා දුර්ලභ ව ලබාගත්, මනුෂ්‍ය ජීවිතය ගැන ම සිතා , දුර්ලභ ව ලැබූ බුද්ධ ශාසනය ගැන සිතා හැකිතාක් තම තමා විසින් මේ මහා පින්කම් සිදු කර ගන්න. මේවායේ අනුසස් ලබන්නේ තමන්ම යි. අලෝභ, අදෝස, අමෝහ චේතනාවෙන් පින්කමේ ආරම්භය, පින්කම කරන මොහොත, පින්කමේ අවසානය ආදී අවස්ථා තුනෙහි ම තුන් සිත පහදා ගෙන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුක්තව උසස් පින්කමක් සිදු කළ යුතු යි. එහි අනුහසින් තමන්ට සතර අපායෙන් අත් මිදී සුගතියක ම වාසය කළ හැකි යි. 

මෙලෙස බුදුරජාණන් වහන්සේ උදෙසා කරන සියලු පූජා පින්කම් නිවන් දකිනා ජාති දක්වා ම අපට සැප විපාක ලබා දෙයි. නැවත නැවතත් එහි විපාක ලැබෙන අතර රහත් ව පිරිනිවන් පාද්දී මේ සියල්ල අහෝසි වෙයි. ඒ නිසා කවුරුත් උතුම් කුසල ධර්මවල සිත යොදවා , පිනේ වැදගත්කම සිතා, බුද්ධ , ධම්ම, සංඝ රත්නත්‍රය උදෙසාම සැදැහැ සිතින්, නිවන් සුව ලැබේවා යන පැතුමෙන් ම පින්කම ගෞරවයෙන් සිදු කර ගන්න. ඉහත සඳහන් චරිත කතා සේ තමාට ද සංසාර ගමන සුවපත් ව සා පිපාසාදී දුකකට පත් නොවී , සතර අපායකට පත් නොවී, අන්ධයෙක්, ගොළුවෙක්, බිහිරෙක් , මන්ද බුද්ධික කෙනෙක් නොවී සකල සම්පත් වලින් පිරිපුන් ජීවිත පෙළක් ලබාගෙන බියකරු සංසාර දුකෙන් නිදහස් ව අමා මහ නිවනට පත්වෙන්නට හේතු වාසනා වේවා.

මිලින්ද ප්‍රශ්නය,

 

නාගසේන තෙරුන්ගේ ශාසන දායාදය

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වසර පන්සියයක් ගිය කල්හි නාගසේන මහ රහතන් වහන්සේ සහ ගී‍්‍රක රජෙකු වූ මිළිඳු රජතුමා මුණ ගැසීම සිදුවිය. සසරේ කළ ප්‍රාර්ථනාවකින් මුණ ගැසුණ ඔවුහු බුද්ධ ශාසනය දීප්තිමත් කිරීමට කටයුතු කළහ. මිළිඳු රජතුමා ශාසනය පිළිබඳ ප්‍රශ්න අසද්දී නාගසේන මහ තෙරුන් වහන්සේ ඒ සියලු ප්‍රශ්න විසඳාලූහ.

කය තමන්ට පි‍්‍රය ද? 

මිළිඳු රජු නාගසේන මහ තෙරුන්ගෙන් මෙසේ ඇසුවේ ය.

ස්වාමීනි නාගසේනයන් වහන්ස, පැවිද්දන්ගේ කය ඔවුන්ට පි‍්‍රය ද?” 

“මහරජාණෙනි, පැවිද්දන්ගේ කය ඔවුන්ට පි‍්‍රය නැහැ.” 

“එසේ වී නම් ස්වාමීනි, කවර කරුණක් නිසා ද පැවිද්දන් තම කය ගැන තෘෂ්ණාවෙන් සිටින්නේ? මමත්වයෙන් සිටින්නේ” 

“කිම මහරජාණෙනි, කිසියම් අවස්ථාවක දී ඔබ යුද්ධයකට මැදි වුවහොත් හී පාරක් වුණත් වදිනවා නේද?” 

“එසේය ස්වාමීනි, එහෙම වෙනවා.” 

”එතකොට මහරජාණෙනි, හී පහරින් ලත් ඒ තුවාලයට බෙහෙත් ගල්වනවා නේද? තෙල් ගල්වනවා නේද? සියුම් රෙදි පටින් වෙළනවා නේද?” 

“එසේය ස්වාමීනි, හී පහරින් වූ තුවාලයට බෙහෙත් ගල්වනවා. තෙල් ගානවා. සියුම් රෙදි පටියෙන් වෙළනවා.” 

“කිම මහරජාණෙනි, ඔබට ඒ තුවාලය පි‍්‍රයයි ද? ඒ නිසාද බෙහෙත් ආලේප කරන්නේ? තෙල් ගාන්නේ? සියුම් රෙදි පටින් වෙලන්නේ?” 

“ස්වාමීනි, ඒ තුවාලය මට පි‍්‍රය නැහැ. නමුත් තුවාලයෙහි මස් වැඩීම පිණිස යි බෙහෙත් ආලේප කරන්නේ. තෙල් ගාන්නේ. සියුම් රෙදි පටින් වෙළන්නේ”. 

“මහරජාණෙනි, ඔය ආකාරයට පැවිද්දන්ට මේ කය අපි‍්‍රය වන්නේ. නමුත් කයට ආලය කිරීමෙන් තොරව බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසයි මේ කය පරිහරණය කරන්නේ. මහරජාණෙනි , භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය ගැන වදාරන ලද්දේ තුවාලයක් උපමා කරලයි. පැවිද්දන් ඒ තුවාලයක් බඳු කය නො ඇල්මෙන් යුතුව පරිහරණය කරනවා. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ කරුණ වදාරන ලද්දේ ය.” 

අල්ලචම්මපටිච්ඡන්නෝ - නවද්වාර මහාවණෝ 
සමන්තතෝ පග්ඝරතෝ - අසූචි පූතිගන්ධියෝ 

තෙත් වූ සමකින් වැසී ඇති මේ කය වනාහී සෙම්, සොටු, මළ, මුත්‍රා ආදිය වැගිරෙන දොරටු නවයකින් යුත් මහ තුවාලයක් වැන්න. හාත්පසින් අසූචි වැගිරෙන මේ කය කුණු ගඳින් යුක්ත ය.

බ්‍රහ්මචාරී ප්‍රශ්නය

මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචාරි වූ සේක් ද?” 

“එසේය මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මචාරි වූ සේක” 

“එසේ වී නම් ස්වාමීනි නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ශිෂ්‍යයෙක් ද? 

“මහරජාණෙනි, ඇතුන්ට ප්‍රමුඛ වූ හස්තිරාජයෙක් සිටිනවා ද?” 

“එසේය ස්වාමීනි” 

“කිම? මහරජාණෙනි, ඇතැම් අවස්ථාවන්හි දී එම හස්තිරාජයා කුඤ්චනාද කරනවා ද?” 

“එසේ වී නම් මහරජාණෙනි, ඒ හස්තිරාජයා කුඤ්ච කියන පක්ෂියාගේ ශිෂ්‍යයෙක් ද?” 

“නැත, ස්වාමීනි,” 

“කිම? මහරජාණෙනි, බ්‍රහ්ම රාජයා බුද්ධි සහිත ද?” බුද්ධි රහිත ද?” 

“ස්වාමීනි, බුද්ධි සහිත ය.” 

“එසේනම් මහරජාණෙනි, බ්‍රහ්මරාජයා අනන්ත බුද්ධි ඇති භාග්‍යවතුන් වහන්සේගේ ශිෂ්‍යයෙකි.” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේ ඉතා දක්ෂ වන සේක” යැයි පැවසූ මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය. 

උපසම්පදාවේ සුන්දරත්වය

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, උපසම්පදාව යනු සුන්දර දෙයක් ද?

“එසේය මහරජාණෙනි, උපසම්පදාව ඉතා සුන්දර ය” 

“එසේ වී නම් ස්වාමීනි, බුදුරජාණන් වහන්සේට ඒ උපසම්පදාව තියෙනවාද? නැද්ද?” 

“මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ බෝධි වෘක්ෂ මූලයෙහිදී ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙනවාත් සමඟ ම උපසම්පදාව ට ද පත් වූ සේක. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්හට දිවිහිමියෙන් ඉක්මවා නො යන ලෙස ශික්ෂාපද පනවන සේක. ඒ අයුරින් අප භාග්‍යවතුන් වහන්සේගේ උපසම්පදාව අන්‍ය වූ ශ්‍රමණ, බ්‍රාහ්මණ කෙනෙක් හෝ දෙවි මිනිස් කෙනෙක් හෝ විසින් දෙන ලද්දක් නොවේ” යැයි නාගසේනයන් වහන්සේ වදාළ සේක.

දෙතිස්පුරුෂ ලක්ෂණ

නැවත මිළිඳු රජු මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි නාගසේනයන් වහන්ස, බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ද, අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් ද සෝභමානව, රන්වන් පැහැයෙන් දිලිසෙන, දුහුවිලි නො වදින සමකින් යුක්තව ප්‍රභාවෙන් යුක්තව සිටි සේක් ද?” 

“එසේය මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ද, අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් ද සෝභමානව,රන්වන් පැහැයෙන් දිලිසෙන දුහුවිලි නො වදින සමකින් යුක්තව ප්‍රභාවෙන් යුක්තව සිටි සේක.” 

“කිම? ස්වාමීනි, බුදුරදුන්ගේ මවුපියනුත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත ද? අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්ත ද? සෝභමාන ද? රන්වන් පැහැයෙන් යුක්ත ද? දිලිසෙන දුහුවිලි නොවදින සමකින් යුක්ත ද? ප්‍රභාවෙන් යුක්ත ද? 

“නැත මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේගේ මවුපියන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත නැත. අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්ත නැත. සෝභමාන නැත. රන්වන් පැහැයෙන් යුක්ත නැත. දිලිසෙන දුහුවිලි නො වදින සමකින් යුක්ත නැත. ප්‍රභාවෙන් යුක්ත නැත”. 

“ස්වාමීනි, එහෙම නම් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව, අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්තව, සෝභමානව, රන්වන් පැහැයෙන් දිලිසෙන, දුහුවිලි නො වදින සමකින් යුක්තව, ප්‍රභාවෙන් යුක්තව නූපදින සේක. එසේ නමුත් දරුවාට මවගේ හැඩරුව හෝ ඇතිවෙයි. මවු පාක්ෂික ගති ඇතිවෙයි. පියාගේ හැඩරුව හෝ ඇතිවෙයි. පිය පාක්ෂික ගති ඇතිවෙයි.” 

“මහරජාණෙනි, සියපත් නෙළුම කියා දෙයක් තියෙනවා නේද?” 

“එසේය ස්වාමීනි” 

“ඒ සියපත් නෙළුම හටගන්නේ කොහෙ ද?” 

“මඩෙහි උපදින්නේ ය. දිය මතින් පිපෙන්නේ ය” 

“මහරජාණෙනි, කිම? ඒ සියපත් නෙළුමත් මඩ හා සමාන රූපයෙන් හෝ ගන්ධයෙන් හෝ රසයෙන් හෝ යුක්තද?” 

“නැත ස්වාමීනි” 

“මහරජාණෙනි, මෙයත් එබඳු දෙයක්. අප භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ද, අසූවක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් ද සෝභමානව, රන්වන් පාටින් යුක්තව දිලිසෙන, දුහුවිලි නො වදින සමකින් යුක්තව, ප්‍රභාවෙන් යුක්තව සිටි සේක.” 

කර්මානුරූපී ව පැමිණෙන දුක

 

කර්මානුරූපී ව පැමිණෙන දුක



තෙවළා බුදු වදන් අතරින් 51 : 

කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත ආචාර්ය 
උඩුහාවර ආනන්ද හිමි

යුද්ධ පිටියට ගමන් කළ ඇතෙකුට සතුරු පාර්ශ්වය විසින් එල්ලකරනු ලබන විවිධ ගණයේ හී පහරවලට මුහුණ දීමට සිදු වේ. එමෙන් ම නොහික්මුණු බාල ජනයා ද අභූත වචන නමැති හී වලින් නිවැරැදි පුද්ගලයන්ට පහර දෙති.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි, උන්වහන්සේ වෙත පැහැදුණු බොහෝ ජනයා බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝරත්නයට සිව්පස ආදියෙන් මැනවින් සංග්‍රහ කළ හ. මේ හේතුවෙන් උන්වහන්සේලාට අපහසුවකින් තොරව තම සසුන් පිළිවෙතෙහි පිහිටා කටයුතු කළ හැකි විය. 

බුදුරදුන් ප්‍රමුඛ සංඝ රත්නය වෙත පැහැදුණු ජනයා නිතර නිතර උන්වහන්සේට සත්කාර කළ ද, සැවැත්නුවර වැසි අන්‍ය තීර්ථකයන්ට එවැනි සත්කාර සැලකිලි නොලැබුණ හෙයින්, ඔවුහූ දොම්නසටත්, අපහසුතාවටත් පත් වූහ. බුදුරජාණන් වහන්සේ වෙත ලද ලාභ සත්කාර නොඉවසූ අන්‍යතීර්ථකයෝ උන්වහන්සේගේ කීර්තියට හා මහජන ප්‍රසාදයට හානිකරනු අටියෙන් සුන්දරී නම් පරිබ්‍රාජිකාව උපක්‍රමශීලීව පොළඹවාගෙන ඇය ඝාතනය කොට එම ක්‍රියාව බුදුරදුන් ප්‍රමුඛ සංඝයාගේ කාර්යයක් යැයි ප්‍රචලිත කළ හ. එම අසත්‍ය පුවත ඇසූ දුටු ශ්‍රාවස්ති නගර වැසි මහජනයා එහි පිඬු සිඟා වැඩි භික්‍ෂූන්වහන්සේලාට නන් අයුරින් අභූත චෝදනා නගමින් නින්දා අපහාස කළහ.

පිඬු සිඟාගෙන නැවත විහාරයට පැමිණි භික්‍ෂූන්වහන්සේලා ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේට දැන් වූහ. අනතුරුව භික්‍ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ මහජනයා විසින් අසත්‍ය පදනම් කර ගෙන කරනු ලබන නින්දා, අපහාස සතියකින් පමණ කලකින් නිමාවන බවත්, එබැවින් ඒ සම්බන්ධයෙන් කලබලයට පත් නොවී ඉවසීමෙන් යුතුව කාලය ගතකරන ලෙසත් දැන්වූහ. යම් හෙයකින් භික්‍ෂූන්වහන්සේලා පිඩුසිඟා වඩිනු දුටු මහජනයා උන්වහන්සේලාට තවදුරටත් නින්දා අපහාස කළහොත් එම අවස්ථාවෙහි ඔවුන්ට ඇසෙන සේ සජ්ඣායනය කිරීම සඳහා ගාථා ධර්මයක් ද උගන්වා වදාළ හ. දෙවන දිනයෙහි පිඬු සිඟා වැඩි භික්‍ෂූන් වහන්සේලා මහජනයා විසින් නින්දා අපහාස කරනු ලබන කල්හී බුදුරදුන් උගන්වා වදාළ ගාථා ධර්මය ඔවුන්ට ඇසෙන සේ සජ්ඣායනා කළහ. එම ගාථා ධර්මය ඇසීමෙන් අනතුරුව මහජනයා භික්‍ෂූන් වහන්සේලා නිවැරැදි පිරිසක් යැයි පසක් කළ හ. සුන්දරී පරිබ්‍රාජිකාවගේ පුවත බෞද්ධයන් අතර ඉතා ප්‍රකටය. එබැවින් එය දීර්ඝ වශයෙන් විස්තර කිරීම අනවශ්‍ය ය.

මෙම පුවත පදනම් කර ගෙන බුදුරදුන් වදාළ ගාථා ධර්මයෙහි අන්තර්ගතය විමර්ශනය කිරීම බෙහෙවින් වැදගත් වේ. උදානපාලි සුන්දරී සූත්‍රයෙහි දැක්වෙන එම ගාථා ධර්මයෙහි අර්ථය නම් “බොරු කියන තැනැත්තා නිරයගාමී වෙයි. යමක් සිදුකොට එය නොකළේ යැයි කියයි නම් එම තැනැත්තා ද නිරයගාමී වේ. පහත් ගති ඇති එම පුද්ගලයන් දෙදෙනා ම මරණින් පසුව නිරයේ ඉපිද සමාන විපාක විඳිති” යන්න ය. මෙයින් පැහැදිලි කෙරෙන්නේ බොරු කියන්නා මෙන්ම යමක් සිදුකොට එය නොකළේ යැයි කියන්නා ද යන දෙදෙනා ම දුගතිගාමී ව සම විපාක විඳීන බව යි. ඒ අනුව බොරු කිරීමත්, යමක් සිදුකොට එය නොකළේ යැයි සැඟවීමත් යන දෙකම එක හා සමාන ආදීනව හා විපාක සහිත අකුසල සහගත ක්‍රියා බව පැහැදිලි වේ. බොරු කියන අතරම යමක් සිදුකොට එය සැඟවීමට යත්න දරණ පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ. විවිධ ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ අරමුණින් නන් විසිතුරු බොරු, අසත්‍ය පුවත් සිදුවීම් ගොතා කනින් කන පතුරුවන පුද්ගලයන් මෙන්ම, එවැනි ඇතැම් මාධ්‍යද තිබේ. කර්මානුරූපව ඔවුන්ට වි¼දීමට සිදුවන දුක්වේදනා කවරේදැයි බුදුරදුන් වදාළ ගාථාවෙන් ප්‍රකට

වේ. බොරු කියන තැනැත්තාට කළ නොහැකි කිසිදු පාප කර්මයක් නැතැයි බුදුරදුන් වදාළේ එබැවිනි. එසේම බොරු කියන්නාගේ ජීවිතය සාකල්‍යයෙන්ම හිස් වූවක් බව පැහැදිලි වේ.

ලාභ ප්‍රයෝජන කෙරෙහි ගිජු වූ තැනැත්තා එය නොලැබෙන විට, සාහසික අයුරින් ක්‍රියාත්මක වන ආකාරය අන්‍යතීර්තකයන් සුන්දරිය ඝාතනය කිරීමට පෙළඹීමෙන් පෙනේ. පංචකාම ලෝකය සම්බන්ධයෙන් ඔවුනොවුන් අතර ගැටුම් නිර්මාණය වන්නේ අපේක්‍ෂා භංගත්වය මෙන්ම ඊර්ෂ්‍යාව හා මසුරු කම නමැති මානසික දුර්වලතා නිසයි. එවැනි දුර්වලතා සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක දරුණු ගණයේ සාහසික අපරාධ සිදුවීම අනිවාර්ය වේ. ඉච්ඡා භංගත්වය සමාජ ගැටුම් නිර්මාණය වීමේ ප්‍රබල හේතුව කි. ලාභ, කීර්ති, ප්‍රශංසා පුද්ගලයා කිලිටි බවට බවට පත්කරන බව බුදුරදුන් විසින් නාගිත හිමියන් අමතා දේශනා කරන ලදී. එබැවින් තථාගතයන් වහන්සේ මෙන්ම, තථාගත ශ්‍රාවකයෝ ද ලාභ කීර්ති ප්‍රශංසා ආදිය සමග ඇලීමෙන් හා ගැටීමෙන් තොරව වාසය කළහ. ලාභ කීර්ති ප්‍රශංසාදියෙහි ගිජු වූ මිනිසුන් තම අපේක්‍ෂා මුදුන් පමුණුවා ගැනීමෙහිලා අනවරත අරගලයක නිරතවන මුත් බුදුසව්වෝ එවැනි විජිගීසාවන්ගෙන් තොරවූවෝ වෙති.

බුදුරදුන් වදාළ පරිදි අන්‍යතීර්ථකයන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නිසා හටගත් මහජන අප්‍රසාදය දින හතකින් නිමාවට පත්විය. එම සිදුවීම පදනම් කර ගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් අමතා දේශනා කොට වදාළ උදාන ගාථාවේ එන උපදේශය ද විවිධ අභියෝග ජය ගැනීමේ දී බෙහෙවින් වැදගත් වේ. එහි දැක්වෙන පරිදි යුද්ධ පිටියට ගමන් කළ ඇතෙකුට සතුරු පාර්ශ්වය විසින් එල්ලකරනු ලබන විවිධ ගණයේ හී පහරවලට මුහුණ දීමට සිදු වේ. එමෙන් ම නොහික්මුණු බාල ජනයා ද අභූත වචන නමැති හී වලින් නිවැරැදි පුද්ගලයන්ට පහර දෙති. අනුවණ ජනයාගේ එවැනි පරොස් බස් ඇසීමෙන් කෝප නොවන තැනැත්තා සියල්ල ඉවසා දරා ගනී. කෙනෙකු තමා වෙත එල්ල කෙරෙන විවිධ ගණයේ අභූත චෝදනා හා වාග් ප්‍රාහාරයන්ට ඉවසීමෙන් යුතුව ප්‍රතිචාර දැක්වීම නුවණැති පුද්ගලයාගේ ලක්‍ෂණය යි. අසත්‍ය පදනම්කරගත් බොහෝ නින්දා අපහාස තවකාලික ය. අනුවණ පුද්ගලයා හැම විටම අසත්‍ය පදනම් කර ගෙන අන්‍යයන්ට චෝදනා කරයි. තරගකාරිත්වය මෙන්ම විවිධ අභිලාස හා බලාපොරොත්තු සහිත පුද්ගලයන්ගෙන් ගහණ සමාජයක අසත්‍ය පදනම් කර ගත් නින්දා අපහාස අනිවාර්ය අංගය කි. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ තම ප්‍රතිවාදියා මනසින් මෙන්ම කයින් දුර්වලකොට තම බලාපොරොත්තු ඉටු කර ගැනීම යි. එහෙත් නුවණැති පුද්ගලයා චිත්තවේගාත්මක නොවී ඒ සියල්ලට ප්‍රතිචාර දක්වයි. සැඩ සුළඟ හමුවේ මහ පර්වතයක් නොසෙල්වී සිටින්නාක් මෙන් නුවණැති පුද්ගලයා නින්දා අපහාස හමුවේ කිසිදු විටෙක සසල නොවේයැයි ධම්ම පදයේ දැක්වේ. තමා වෙත එන සියලු නින්දා අපහාස හමුවේ ඉවසීමෙන් හා උපේක්‍ෂාවෙන් යුතුව කටයුතු කිරීමෙන් ජයග්‍රහණය කිරීම නුවණැතියෙකුගේ ස්වභාවය යි.

ලොව සියල්ල සිදුවන්නේ හේතුඵල සන්තතියකට අනුව ය. කිසිවක් ආකාශ්මික ව සිදු නොවේ. මේ යථාර්ථය වටහාගත් අයෙකුට තමා වෙත එල්ලවන විවිධ නින්දා අපහාස කෙසේ ඇති වූයේද? යන්න අවබෝධකරගත හැකි වේ. ඇතැම් විටෙක එම චෝදනා සඳහා තමාගේ ම ප්‍රමාද දෝෂයක් ඉවහල් වූවා විය හැකි ය. ආවේගශීලි වීම වෙනුවට ඉවසීමෙන් හා සියල්ල සැකෙවින් විමසා බැලුවහොත් එහි හේතුඵල සම්බන්ධය වටහා ගත හැකි වේ. 

නින්දා අපහාස කෙරෙහි වන හේතුඵල සන්තතිය දකින තැනැත්තාට එහි මූල හේතු ක්‍රමයෙන් හඳුනාගෙන ඒ සියල්ල ක්‍රමයෙන් උපුටා දැමිය හැකි ය

කාල දානයෝ

 කාල දානයෝ




“පඤ්චිමානි භික්ඛවෙ, කාල දානානි. කතමානි පඤ්ච? ආගන්තුකස්ස දානං දෙති, ගමිකස්ස දානං දෙති, ගිලානස්ස දානං දෙති. දුබ්භික්ඛෙ දානං දෙති. යාති තානි නව සස්සානි නව ඵලානි පඨමං සීලවන්තේසු පතිට්ඨාපෙති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච කාල දානානි.”

යනුවෙන් කාල දාන පසක් වදාරා තිබේ. ඔවුහු නම් ආගන්තුකයන්ට දන් දීම ය. ගමිකයන්ට දන් දීම ය. රෝගීන්ට දන් දීම ය. දුර්භික්ෂයෙහි දන් දීම ය. ගොවිකම් කොට පළමු ලැබූ දෙය දන් දීමය යන මොහුය. ආගන්තුකයෝ නම් යම්කිසි තැනකට අලුත පැමිණ සිටින්මෝ ය. ගමිකයෝ නම් යම්කිසි තැනකට යෙමින් සිටින්නෝ ය. ආගන්තුක වූ ද, ගමික වූ ද, ගිලන් වූ ද ගිහි පැවිදි කවුරුත් ආහාර පාන සපයා ගැනීමට අපහසු අවස්ථාවකට එළඹ සිටින්නෝ ය. එය ඔවුනට අනුන්ගේ උපකාර විශේෂයෙන් ම වුවමනා අවස්ථාවෙකි. එබැවින් ඔවුනට දීම කාල දානයකි. නොහොත් සුදුසු අවස්ථාවන්ට දෙන දානයකැයි තථාගතයන් වහන්සේ වදාළ සේක. දුර්භික්ෂය සැමට ම ආහාර පාන දුර්ලභ අවස්ථාවෙකි. එබැවින් ඒ අවස්ථාවේ දීම ද කාල දානයෙකි. ගොවිකමකින් පළමු ලැබුණ දෙය උතුම් වස්තුවකි. එය උත්තමයනට දීම ද කාල දානයෙකි.

“කාලෙ දදන්ති සප්පඤ්ඤා - වදඤ්ඤු විතමච්ඡරා
කාලෙන දින්නං අරියෙසු - උජුභූතෙසු තාදිසු
විප්පසන්නමනා තස්ස - විපුලා හොති දක්ඛිණා”

මසුරු මළ දුරු කළා වූ, දෙන ස්වභාවය ඇත්තා වූ නුවණැත්තේ දීමට සුදුසු කල්හි දන් දෙති. කාය, වාචා, චිත්ත වංකයන් ප්‍රහීණ බැවින් අවංක වූ ඉෂ්ටානිෂ්ටයන්හි ඇල්ම හා කෝපය නැත්තා වූ ආර්යයන් කෙරෙහි ප්‍රසන්න සිත් ඇත්තා වූ යමෙක් දන් දේ ද, ඔහුගේ දානය මහත් ඵල වන්නේ ය යනු ගාථාවෙහි අදහසයි.

බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි

Tuesday, February 1, 2022

විදර්‍ශකභික්‍ෂූන් වහන්සේ

 

13-3 විදර්‍ශකභික්‍ෂූන් වහන්සේ 

යථා බුබ්බුලකං පස්සෙ යථා පස්සෙ මරීචිකං

එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති.

දිය බුබුලක් (ඉපිද වහා නස්නේ යැ යි තුච්ඡ යැ යි අසාර යැ යි) යම්සේ බලා ද, (පවනින් සැලුනු ඉරු රැස යැ යි කියන ලද) මිරිඟුව ගන්නට නොනිසි යැ යි දක්නේ ද, එ පරිද්දෙන් ම (ස්කන්‍ධායතනධාතුසංඛ්‍යාත) ලෝකය (ඉපිද වහා නස්නේ ය, තුච්ඡ ය, අසාර ය, ආත්ම ආත්මීය භාවයෙන් ගන්නට නො නිසි යැ යි) නුවණැසින් බලන තැනැත්තහු මෘත්‍යුරාජ තෙම (මරණ තෙම) (තමාට අවිෂය වූ නිවන් පුරයට ගිය හෙයින්) නො දක්නේ ය.

පන්සියයක් පමණ විදර්‍ශක භික්‍ෂූන් වහන්සේ බුදුරජුන් වෙතින් කමටහන් ගෙණ වනයට ගියහ. එහිදී ඔවුහු රහත් වන්නට සිතා මහත් ඕනෑකමින් කමටහන් වැඩූහ. එහෙත් විශේෂාධිගමයක් ලැබීමෙහි අපොහොසත් වූ ඔවුහු නැවතත් විශේෂ කොට කමටහන් කියවා ගන්නට බුදුරජුන් වෙත එන්නෝ අතර මග දී මිරිඟුවක් දැක එහි සිත් හසුරුවමින් ජේතවනය බලා ආහ. ඔවුන් දෙව්රමට ඇතුල් වූ වේලෙහි තද වැස්සෙක් වසින්නට වන. දොරපිළ ඒ ඒ තැන සිටගත් ඒ මහණෝ වැසි දියෙහි නැගී බිදී යන දිය බුබුලු දැක “අපගේ සිරුරද ඉපිද නැසෙන බැවින්, මේ නැගී බිදී යනු දිය බුබුලු වැනි” යි සිතන්නට වූහ. බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන් සේක් ඒ මහණුන් බලා උන් හා කතා කරමින් ආලෝකයක් පතුරුවා මේ ධර්‍මදේශනාව කළ සේක. 

යථා බුබ්බුලකං පස්සෙ යථා පස්සෙ මරීචිකං,

එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සතී ති. 

දිය බුබුලක් යම් සේ බලා ද, මිරිඟුවක් යම්සේ බලාද මරරජ තෙමේ එසේ ලෝකය බලන්නහු නො දක්නේ ය. 

බුබ්බුලකං යථා පස්සෙ = දිය බුබුල යම්සේ බලා ද.

මරීචිකං යථා පස්සෙ = මිරිගුවක් යම්සේ බලා ද. 

මච්චුරාජා එවං ලොකං අවෙක්ඛන්තං න පස්සති = මරරජ තෙමේ එසේ ආත්මභාවය දක්නහු නො දකී. 

ආත්මභාවසඞ්ඛ්‍යාත ලෝකය, පරමාර්‍ත්‍ථ විසින් ස්කන්‍ධධාතු ආයතනැයි ගත යුතු ය. එය ඉපිද ඒ හා ම නස්නේ ය. දියෙහි හට ගන්නා දිය බුබුල හට ගැණීම හාම නැසෙන්නා සේ ය ඒ නස්නේ. එහෙයින් එය සිස් ය. හරයෙක් නැත. තමන්ගේ යි ගන්නට කිසිත් නැත. දෙව් බඹ මිනිස් තිරිසන් ඈ නන් අයුරෙන් පෙණේ. ඈත පෙනෙන මිරිඟුව ගෘහ සංස්ථානාදි වශයෙන් පෙණෙන්නා සේ ය ඒ පෙණෙනුයේ. ලං ලංවත් මිරිගුවෙහි ගන්නට කිසිත් නැත්තා සේ මෙහි දෙව් බඹ මිනිස් තිරිසන් ඈ විසින් ගන්නට කිසිත් නැත්තේ ය. එහෙයින් සිස් ය. නිසරු ය, යි විදර්‍ශනා ඥානයෙන් දක්නේ මරරජු විසින් නො දක්නා ලැබේ. 

ආත්මභාවය දියබුබුලක් මිරිඟුවක් වැනි කොට බලන්නා හට ආත්ම භාවය කෙරෙහි අනිත්‍ය - දුඃඛ - අනාත්ම දර්‍ශනයෝ පහළ වෙත්. “ යථා උදකබුබ්බුලකං අසාරං නිස්සාරං සාරාපගතං, යථා මරීචි අසාරා නිස්සාරා සාරාපගතා, එවමෙව රූපං අසාරං නිස්සාරං සාරාපගතං, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සංඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අසාරං නිස්සාරං සාරාපගතං නිච්චසාරසාරෙන වා සුභසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත්තසාරසාරෙන වා නිච්චෙන වා ධුවෙන වා සස්සතෙන වා අවිපරිණාමධම්මෙන වා” යනු සාධකසූත්‍ර යි. 

“සිරුර අසාර ය නිස්සාර ය සාරයෙන් තොර ය” යි බලන්නහුට සිරුරෙහි උපදවා ගත් නිත්‍ය සුඛ ආත්මදර්‍ශනයෝ පහවයෙත්. “ අනිච්චතො පස්සන්තො නිච්චසඤ්ඤං පජහති. දුක්ඛතො පස්සන්තො සුඛසඤ්ඤං පජහති. අනත්තතො පස්සන්තො අත්තසඤ්ඤං පජහති” යනු ඒ කීහ. 

දිය මතුපිට නැගී බිඳී යන ගොලාකාර වූ දිය බිඳ බුබ්බුලක යි කියනු ලැබේ. පවනින් සැලෙන හිරුරැස් මරීචි නමි. එය දුටු සිවුපාවෝ එය ජල යැයි සලකා දුවගොස් විනාශයට පත් වෙත්. 

එවං ලොකං අවෙක්ඛන්තං = මෙසේ ලෝකය බලන්නහු. 

පංචස්කන්‍ධය මෙහි ලෝක නමි. එසේ නම් කළේ පංචස්කන්‍ධය නැසෙන වැනසෙන බැවිනි. පංචස්කන්‍ධය අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන තිලකුණට නගා බලන්නේ අවෙක්ඛන්ත නමි. පංචස්කන්‍ධයෙහි වූ අනිත්‍යාදිලක්‍ෂණ තතුසේ දැක හැක්කේ විදර්‍ශනාඥානයට ය. එහෙයින් විදර්‍ශනාඥානයෙන් පංචස්කන්‍ධය බලන්නේ මෙහි අදහස් කරණ ලද්දේ ය. 

දියබුබල හා මිරිඟුව ඉපිද නස්නා බැවින් සිස් ය, අසාරය යි දක්නා සේ යෝගීජන තෙමේ පංචස්කන්‍ධය ඉපිද නස්නා බැවින් සිස් ය, අසාර ය යි දකියි. මේ දැකුම් දෙක මේ අතින් සමාන බව එවං යන්නෙන් පැහැදිලි කළහ. 

මච්චුරාජා න පස්සති = මරරජ තෙමේ නො දකියි. 

විදර්‍ශනාඥානයෙන් ඥානවත් යෝගී තෙමේ පංචසස්කන්‍ධයෙහි දොස් දැක එය හරින්නේ ය. එයින් මරණයෙන් මිදෙන්නේ ය. නිවන් පසක් කරන්නේ ය. නිවණ මරණයට තැන් නො වේ. අමත, අච්චුත යන නම් නිවණ කියන්නට යෙදුනේ ද එහෙයිනි. මෙහි මරණය ම මච්චුරාජයි කියන ලද ය. 

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂුහු උන්හිටිතැනදී ම රහත් වූහ. 

විදර්‍ශකභික්‍ෂු වස්තුව නිමි

සීවලී මහ රහතන් වහන්සේ

අසු මහා ශ් ‍ රාවක වහන්සේලා - 18 (දහඅටවන ලිපිය ) සීවලී මහ රහතන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී රාජධානි...