ආයුෂ වැඩෙන පිළිවෙත
" සමාජය සදාචාරයෙන් පිරිහෙන විට එහි වෙසෙන්නන් අතර විවිධ ලෙඩරෝග වර්ධනය වන බවත්, මිනිසුන්ගේ දීර්ඝායුෂ්ක බව ක්‍රමයෙන් පිරිහෙන බවත් චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වේ."
ලොව සැම කෙනෙක් ම නොමැරී බොහෝකල් ජිවත්වීමට කැමැත්තෝ වෙති. ආබාධ හේතුවෙන් ශරීරයේ ඇතැම් කොටස් ඉවත්කරමින් වුව ඔවුහු දිගුකලක් ජීවත් වීමට කැමැත්තක් දක්වති. විද්‍යාව හා තාක්ෂණය විසින් හඳුන්වාදෙන ලද බොහෝ දෑහි අරමුණ වන්නේ මිනිසාගේ ආයු කාලය වැඩි කිරීම ය. වෛද්‍යවරු මෙන් ම, විද්‍යාඥයෝ ද මිනිසාගේ ආයුෂ වර්ධනය කිරීමෙහිලා අනවරත අරගලයක නිරත වෙති.
මෙම පසුබිම යටතේ සැම කෙනෙක් ම නොමැරී දිගුකලක් ජීවත් වීමේ ආසාවෙන් යුක්ත වූවෝ වෙති. ඒ සඳහා ඔවුහු විවිධ කායික හා මානසික අභ්‍යාසවල නිරත වෙති. විවිධ දෑ සිදුකරති. නීරෝගී බව උතුම්ම ලාභය යැයි අවධාරණය කළ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ද නීරෝගී ව දිගාසිරි ලැබීමේ පිළිවෙත් පසක් දේශනා කළහ. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන දුතිය ආයුස්ස සූත්‍රයේ දැක්වෙන පරිදි දීර්ඝායුෂ ලැබීම සඳහා හිතකර දෑ අනුගමනය කරන (සප්පායකාරී හොති), හිතකර දැයෙහි වුව ප්‍රමාණය දැනීම (සප්පායේ මත්තං ජානාති), පමණ දැන ආහාරපාන ගැනීම (පරිනතභොජි හොති) , සිල්වත් වීම (සිලවා ච හොති) ,කල්‍යාණමිත්‍ර සේවනය (කල්‍යාණමිත්තො ච හොති) ආදියෙන් යුක්ත විය යුතු ය. භික්ෂූන් පිරිසක් අමතා කළ මෙම දේශනයෙන් අවධාරිත කරුණු ගිහි සමාජයටද එකසේ ම සාධාරණ වේ. ආයුෂ වර්ධනය වීම යනුවෙන් අදහස් කෙරෙන්නේ ආපදාවකින් තොරව බොහෝ කලක් ජීවත් වීමට අවශ්‍ය ශක්තිය ලැබීමයි. එය ප්‍රාර්ථනා කිරීමෙන් ලද නොහැකි ය. එසේ ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නේ නම් ලෝක වාසීන්ට කවර නම් අඩුවක් තිබේදැයි වරෙක බුදුන් වහන්සේ ද සඳහන් කළහ. ආයුෂ ප්‍රාර්ථනා කිරීම වෙනුවට ආයුෂ වැඩෙන පිළිවෙත අනුගමනය කිරීම බෞද්ධ ඉගැන්වීමයි. ආයුෂ වැඩීමට නම් ඒ සඳහා ඉවහල්වන හිතකර දෑ මෙන්ම අහිතකර දෑ පිළිබඳ මූලික අවබෝධයක් අවශ්‍ය වේ.
දුතිය ආයුස්ස සූත්‍රයේ එන පළමු හා දෙවන කරුණෙන් අවධාරණය කෙරෙන්නේ හිතකර හා අහිතකර දෑ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු පිළිවෙතයි. මෙහිදී හිතකර දෑ යනුවෙන් අදහස් කෙරෙන්නේ කෙනෙකුගේ සෞඛ්‍යයට හා නීරෝගීබවට හිතකර ආහාරපාන, ඇඳුම් පැළදුම් වාසස්ථාන පරිසරය හා ජීවන රටාවයි. හිතකර දැයෙහි වුව ද ප්‍රමාණය වටහා ගැනීම අවශ්‍ය වේ. කොතෙක් හිතකර ආහාරපාන වුව ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් නීරෝගිබවට හානිවිය හැකි ය. හිතකර යැයි සීමාව ඉක්මවා භාවිතයට ගන්නා කවර දෙයකින් නමුත් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි ය. එබැවින් හිතකර දෑ සම්බන්ධයෙන් සීමා පනවා ගැනීමත් නීරෝගීබව සඳහා අවශ්‍ය වේ.
තෙැවන්නෙන් අදහස් වන්නේ ආහාර පාන සම්බන්ධයෙන් පාලනයක් ඇතිකර ගැනීමයි. කය වෙහෙසා වැඩ නොකරන අයෙකු අධික ලෙස ආහාරපාන අනුභව කළහොත් ස්ථූලතාව පදනම්කරගත් රෝග රැසකට හිමිකම් කියන්නෙකු බවට පත්විය හැකි ය. ආහාරයෙහි පමණ දැන කටයුතු කිරීම කායික මෙන් ම, මානසික සුවයටත් හේතු වේ. පමණ දැන අහාර අනුභව කරන්නාට ලැබෙන ආනිසංස සහල් නැලි හතරක බත් අනුභව කළ කොසොල් රජු අරභයා පැහැදිලි කළ සේක. ඒ අනුව පමණ දැන ආහාර අනුභව කරන්නාට කායික සුවයත්, මැනවින් ආහාර දිරවීමත්, දීර්ඝායුෂත් ලැබිය හැකි වේ. ආහාරපාන ජීවිතය සුරක්‍ෂිත කරන අතර ම, ජීවිතය කෙටි කිරීමට ද හේතුවන බව සිහිතබාගත යුතුවේ. බුදුරදුන් මෙන්ම ශ්‍රාවක ශ්‍රාවිකාවන් ද පමණ දැන ආහාර අනුභව කළේ එය අවධාරණය කරමිනි. ආහාරයට ගිජුව කටයුතු කළ බොහෝ දෙනෙකු සිය ජීවිතය නිමාකරන්නේ අතිශය වේදනාකාරී ලෙඩ රෝගවලට මුහුණ දීමෙන් ය. වර්තමාන මිනිසාට වැළඳී තිබෙන බොහෝමයක් ලෙඩ රෝග ආහාරය සම්බන්ධයෙන් ඇතිකරගත් වැරැදි පුරුදු හේතුවෙන් බව පිළිගත් මතයයි. එබැවින් දිගාසිරි අපේක්ෂා කරන්නෙකු ආහාරය සම්බන්ධයෙන් ස්වයං පාලනයක් මෙන්ම විනයක් ද ඇතිකරගත යුතුවේ.
සදාචාරාත්මක හැසිරීම දිගාසිරි ලැබීමට හේතුවන සිව්වන කරුණයි. සමාජය සදාචාරයෙන් පිරිහෙන විට එහි වෙසෙන්නන් අතර විවිධ ලෙඩරෝග වර්ධනය වන බවත්, මිනිසුන්ගේ දීර්ඝායුෂ්ක බව ක්‍රමයෙන් පිරිහෙන බවත් චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වේ. මත්පැන් පානය, අනාචාරයේ යාම වැනි දුසිරිත් ඍජුවම විවිධ ලෙඩරෝග හා සම්බන්ධ ය. සමාජ රෝග යනුවෙන් හඳුනාගන්නා බොහෝමයක් ලෙඩ රෝග ලිංගික සාදාචාරය ඉක්මවා කටයුතු කිරීමේ ප්‍රතිඵල වේ. සුරාව විවිධ ලෙඩ රෝගවලට නිවාසයකි. මිනිසා සදාචාර සම්පන්න වන තරමටම කායික හා මානසික වශයෙන් ද නීරෝගිමත් ය. පුද්ගලයා මෙන්ම සමාජයත් නීරෝගිමත් වන්නේ සදාචාරාය වර්ධනය වීමෙනි. එය පුද්ගලයාට පමණක් නොව පරිසරය කෙරෙහි ද බලපාන බව චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් තවදුරටත් සනාථ වේ. ඒ අනුව සදාචාර සම්පන්න ජීවන පිළිවෙත අනුගමනය කිරීමෙන් කෙනෙකුට ලොව නීරෝගිමත් ම මිනිසා බවට පත්විය හැකි වේ.
දිගාසිරි ලැබීමෙහිලා සමාජමය නීරෝගිබවත් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා බුදුරදුන් නිර්දේශකොට වදාළේ කල්‍යණ මිත්‍ර සේවනයයි. පාප මිත්‍ර සේවනයෙහි යෙදෙන්නාට කායික හා මානසික වශයෙන් කිසිදු අස්වැසිල්ලකට හිමිකම් කිව නොහැකි ය. කොතරම් යහපත් පුද්ගලයෙක් වුව ද පාප මිත්‍ර සේවනයෙන් අයහපත් අයෙකු බවට පත්වීමේ ඉඩකඩ බහුල ය. පාප මිත්‍ර සේවනය හේතුවෙන් කෙනෙකු සුරාවට මෙන්ම දුරාචාරයටත් යොමුවිය හැකි ය. එවැනි චර්යාවක් සහිත කෙනෙකුට කායික මෙන්ම මානසික සුවයක් අත්පත්කරගත නොහැකි ය. වර්තමානයේ ඇතැම් තරුණ පිරිස් අකාලයේ තම වටිනා ජීවිතයට සමු දෙන්නේ මත්ද්‍රව්‍ය භාවිත කිරීමට හුරු වීම නිසයි. එවැනි චර්යාවකට හුරුව තිබෙන්නේ පාප මිත්‍ර සේවනයේ බලපෑමෙන් ය. ඇතැම් පුද්ගලයන් තම ජීවිතය අවසන් කරන්නේ අපරාධකරුවෙකු ලෙස ය. අපරාධ කළ පුද්ගලයාට මොහොතකටවත් තම ජීවිතයේ සුරක්‍ෂිතතාව ගැන අපේක්ෂා තැබිය නොහැකි ය. එවන් තැනැත්තෙකු බලවත් මානසික අසහනයකින් පසුවන අතර ඉතා කෙටි කලකින්ම තවත් අපරාධ කරුවෙකුගේ හෝ අපරාධ කල්ලියක ගොදුරක් බවට පත්ව ජීවිතය අවසන් කරනු නොඅනුමාන ය. සැබෑ කල්‍යාණ මිත්‍රයා යනු සමාජමය වශයෙන් නීරෝගී පුද්ගලයෙකි. එබඳු මිතුරන්ගේ ඇසුර හේතුවෙන් කිසිවෙකුත් අයහපත් චර්යා සහිත කෙනෙකු බවට පත් නොවේ. කායික මානසික අසහනයකින් තොරව දිගුකලක් නීරෝගිමත් ව ජීවත්වීම උදෙසා කල්‍යාණමිත්‍ර හා සත්පුරුෂ ආශ්‍රය උපනිශ්‍රය වේ.
දීර්ඝායුෂ ලැබීමට ඉවහල්වන කරුණු හතර සමාලෝචනය කළ විට එයින් ප්‍රධාන කරුණු තුනක් අවධාරණය වේ. නීරෝගීව දිගුකලක් ජීවත්වීමට පත්‍ය අපත්‍ය දෑ ගැන දැනුවත් වීම මෙන්ම, පමණ දැන ආහාරපාන ගැනීම හේතුවන බව පළමු කරුණයි. දෙවැන්න නම් සදාචාරාත්මක ජීවිතයයි. තෙවැන්න සමාජ ආශ්‍රයයි. සෞඛ්‍ය සංරක්ෂණය වන හිතකර ජීවන පිළිවෙතක් ගොඩ නගාගැනීමත්, සදාචාර සම්පන්න අර්ථවත් චර්යා පද්ධතියක් සකස් කරගැනීමත්, සමාජමය වශයෙන් නීරෝගී මිනිසුන්ගේ ඇසුරත් ආයුෂ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය බව ඉහත බුද්ධ දේශනාවෙන් පැහැදිලි වේ.
ආයුෂ වර්ධනය කිරීමට අතීතයේ නොතිබුණු බොහෝ දෑ නූතන මිනිසාට කොතෙක් ලැබුණත් පරමායුෂ වින්දනය නොකර ජීවිතයෙන් සමුගන්නේ ඉහතින් දැක්වූ කරුණු පස ගැන නොසැලකිලිමත් වීමේ හේතුව නිසයි. බුදුදහම අනුව කෙනෙකුගේ නීරෝගී බව මැනෙන්නේ කායික නීරෝගී බව පමණක් සැලකිල්ලට යොමුකිරීමෙන් පමණක් නොවේ. ඒ සඳහා සදාචාරාත්මක මෙන්ම සමාජමය නීරෝගී බවත් අවශ්‍ය වේ. රෝගී වූ විටෙක අවශ්‍ය ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය රක්ෂණයක් ගැන සිතනු වෙනුවට බුදුරදුන් වදාළ මෙම කරුණු පස ප්‍රතිපදාවක් ලෙස ක්‍රියාවට නැංවීමෙන් පරමායුෂ වින්දනය කෙරෙන නීරෝගී ජීවිතයටකට හිමිකම් කිව හැකි ය.