Wednesday, January 19, 2022

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති:

 

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති: 

සසර සැඩ පහර තරණයට ...


සම්මා සති මාර්ගාංගය බුද්ධොත්පාද කාලයක අසන්න ලැබීමත් වාසනාවක්. අබුද්ධෝත්පාද කාලවලදී ආගම, දහමක් ගැන, පැහැදිලි නිවන් මඟක් ගැන , නිවැරැදි දර්ශනයක් පිළිබඳව දැක ගන්න, අසන්න ක්‍රමයක් නැහැ. සම්මා සතිය පැහැදිලි කරන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම ය. 

ආනාපාන සති භාවනාව, එනම් හුස්ම ඇතුළුවීම පිටවීම හොඳින් බලාගෙන යාමෙන් සම්මා සතිය හොඳින් තහවුරු වෙයි. මෛත්‍රී භාවනා, බුදු ගුණ භාවනා ආදියෙන් ද සම්මා සතිය දියුණු කර ගන්න පුළුවන්. නිවැරැදි සිහිය තිබුණොත් පමණක්, තම ගුණ දියුණුවෙන් ඉදිරියට යා හැකි යි. පාඩම් කරන්න, පොත පත කියවන්න, බණ, භාවනා කරගන්න සම්මා සතිය අවශ්‍යම යි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යනුවෙන් සිය, දහස්වර, මෙනෙහි කිරීමෙන් සිහි කල්පනාව දියුණු වෙයි. මේවා හැකිතාක් පුරුදු, පුහුණු කරගත යුතු යි. සම්මා සතියෙන් මේ ගමන යන්නේ සතර සතිපට්ඨාන දියුණු කරගන්න යි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී සතර සතිපට්ඨාන දියුණු කර ගැනීම සම්මා සති නම් වෙයි. එනම්, කය අනුව, වේදනාව අනුව, සිත අනුව සහ ධර්මය අනුව බැලීම යි. මෙවැනි ගැඹුරු පාඩම් ඔස්සේ කටයුතු කරගෙන යාමෙන් නිවැරැදි සිහිය පිහිටුවා ගන්න පුළුවන්. සක්මන් භාවනාවේ දී ද හොඳ සිහි කල්පනාවෙන් ‘ඔසවනවා, තබනවා’ යනුවෙන් සිතමින් සක්මන් කළ යුතු යි. ඊළඟට ‘ඔසවනවා , තබනවා, ඔසවනවා, යවනවා, තබනවා’ යනුවෙන් භාවනා කළ යුතු යි. ‘ඔසවනවා, නවනවා, දිග හරිනවා, තබනවා’ යනුවෙන් කරුණු හතරකින් සක්මන් කළ යුතු යි. ‘ඔසවනවා, නවනවා, දිග හරිනවා, යවනවා, තබනවා’ යනුවෙන් ද සක්මන් කළ යුතු යි. ‘ඔසවනවා, නවනවා, දිග හරිනවා, යවනවා, තබනවා, තද කරනවා’ මේ කරුණු හයම සිතමින් ද සක්මන් කළ යුතු යි. මේ සඳහා සම්මා සතිය අවශ්‍ය වෙයි.

‘ආනන්ද, ස්වාමීන් වහන්සේ ට පුදුම ලෙසින් සම්මා සතිය පිහිටියා. එක වචනයක් අසන්නේ එකම වතාව යි. දෙවතාවක් කියන්නට අවශ්‍ය නැහැ. හොඳින් මතක සිටිනවා. එතරම්ම සිහි කල්පනාව හොඳයි. අතීත සංසාරයේ දී ද හොඳින් බණ භාවනා කර, සිහිය දියුණු කළ නිසා උන්වහන්සේට සති සම්පජඤඤය හොඳින් පිහිටියා. මේවා සංසාරයෙන් ගෙනෙන ,අනන්ත ජාතිවල කළ පින්කම්වල විපාක යි. එසේනම්, කවුරු වුණත්, සම්මා සතිය හොඳින් දියුණු කළ යුතු යි. ‘මම කායානුපස්නාව දියුණු කරන්නෙමි, මම වේදනානුපස්සනාව දියුණු කරන්නෙමි, මම චිත්තානුපස්සනාව දියුණු කරන්නෙමි, මම ධම්මානුපස්සනාව දියුණු කරන්නෙමි යනුවෙන් නිතර අධිෂ්ඨාන කළ යුතු යි. ‘මම සම්මා සතියෙන් වැඩ කරමි යනුවෙන් නිතර සිතමින් ද මෙනෙහි කළ යුතු යි. එවිට සම්මා සතිය හොඳින් තහවුරු වෙයි. එවිට බෝධිපාක්ෂික ධර්මයන් ද, සිහි නුවණ ද හොඳින් වැඩෙයි.

බුද්ධාදී උතුමෝ නිවන් සුව අවබෝධ කළේ, සම්මා සතිය මුල් කරගෙන යි. සම්මා සතිය ඇත්තෙක්, මරණයට පත් වුණොත්, දෙව්ලොවට, බඹ ලොවට යා හැකි යි. සම්මා සතියෙන් තොර නම්, අපාගත වෙනවා ම යි. ඒ නිසා හොඳින් මතක තබා ගන්න. නිබඳවම සිහි කල්පනාව, දියුණු කළ යුතු යි. සතර ඉරියව්වේ ම යම් භාවනාවක් මෙනෙහි කරන්නට පුරුදු වන්න. වාහනයක ගමන් කරනවා නම්, ගමන ආරම්භයේ පටන් ගමනාන්තය දක්වාම යම් අරමුණක් මෙනෙහි කළොත්, සිහිය හොඳින් පවත්වාගත හැකි යි. මේවා බුදු දහමට අනුව ඉගෙන ගෙන, වැඩිදියුණු කරගනු ලැබුවානම්, කාටවත් කරදර, පීඩාවක් නොමැතිව පැහැදිලිව, ඉදිරියට යන්නට පුළුවන්. 

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ සිහි කල්පනාවෙන් ම යි වැඩ කළේ. සම්මා සතිය හොඳින් තිබුණා. ඒ නිසා අපට නිවැරැදි සිහියෙන්, සම්මා සතියෙන් වැඩ කරන්නැ’යි උන්වහන්සේ නිතර උපදෙස් ලබා දුන්නා. තණ්හාව, තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව , පළිගැනීම, මාන්නය උඩඟුකම ආදී පහත් සිතිවිලි සිඳ බිඳ දැමීමට අවශ්‍ය කරන්නේ සම්මා සතිය යි. නිවැරැදි සිහිය තිබුණොත්, හොඳින් සිහිය පිහිටුවාගෙන භාවනා කළොත්, තමන්ගේ පාපී සිතිවිලි විනාශ කර දමන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා කවුරුත් සම්බුද්ධ ශාසනය වැළඳගෙන කළ යුතු ගුණ ධර්ම වඩා වර්ධනය කළොත්, කාටවත් කුමන දෙයකින්වත්, කරදරයක් , පීඩාවක් නැතිව ඉදිරියටම යන්න පුළුවන්කම තියෙනවා.

කායානුපස්සනාවේ භාවනා ක්‍රම දාහතරක් ද, වේදනානුපස්සනාවේ භාවනා ක්‍රම එකක් වශයෙන් ද, චිත්තානුපස්සනාවේ භාවනා ක්‍රම එකක් වශයෙන් ද ප්‍රභේද වශයෙන් දාසයක් ද , ධම්මානුපස්සනාවේ ප්‍රධාන භාවනා ක්‍රම පහක් ද වශයෙන් සිහිය දියුණු කරන ක්‍රම විසි එකක් මහා සතිපට්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කළා. සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගැනීමෙන් සියලු භාවනා ක්‍රම දැන කියාගන්න පුළුවන්කම තියෙනවා. දරුවන්ගේ සිහි නුවණ දියුණු කර ගැනීම සඳහා යම් භාවනාවක් කියා දිය යුතු යි. ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’ යනුවෙන් සිය දහස්වර මෙනෙහි කළොත් දරුවාගේ සිහි කල්පනාව , පාඩම් ආදිය හොඳින් මතක තබාගෙන ඉහළම ප්‍රගතියකට යා හැකි යි. එසේනම් කවුරුත් නිවැරැදි සිහිය දියුණු කරගත යුතු යි. එවිට සම්මා සතියෙන් වැඩ කටයුතු කළා වෙයි. 

මිලින්ද ප්‍රශ්නය,

 

මිළිඳු රජුගේ සහ නාගසේන තෙරුන්ගේ හමුව

නාගසේන මහරහතන් වහන්සේ උතුම් රහතන් වහන්සේ අමතමින් මෙසේ පැවසූ සේක. “එක මිළිඳු රජ කෙනෙකු තබා දඹදිව සියලු රජ දරුවෝ මා කරා පැමිණ ප්‍රශ්න විචාරයත්, පසු නො බැස විසඳමි. එය මට බාර ය. 

හැමදෙනා වහන්සේ ට ම වාද කළ හැකි ද? නො හැකිදැයි? නො සිතා මිළිඳු රජු සාගල නුවරට වැඩිය මැනවැයි” කී හ. එය අසා රහතන් වහන්සේ සාගල නුවරට වැඩි සේක.

එකල ආයුපාල නම් තෙරුන් වහන්සේ සාඛෙය්‍ය නම් පිරිවෙනෙහි වසන සේක. මිළිඳු රජු දිනක් ඇමතිවරු අමතා “අඳුර දුරු වීමෙන් මේ රාත්‍රිය ඉතා සිත්කළු ය. මේ සොඳුරු රාත්‍රියෙහි කවර කෙනෙකුන් හා විවාද කරම් ද? කවරෙක් අප හා විවාද කරන්නට සමත් ද? කියා විචාළේ ය. එවිට ඇමැතිවරු “ආයුපාල නම් තෙරුන් වහන්සේ නමක් සාඛෙය්‍ය නම් පිරිවෙනෙහි වසන සේක. උන්වහන්සේ ත්‍රිපිටකධර හෙයින් බහුශ්‍රැත වන සේක. ඔබතුමා ගොස් උන්වහන්සේ හා කතාබස් කළ මැනවයි” කීහ. රජතුමා එය අසා ආයුපාල තෙරුන් දකිනු කැමැති ව මුලින් අවසර ගෙන ඇමැතිවරු සමගින් තෙරුන් වහන්සේ මුණ ගැසීමට ගියේ ය. ඉන්පසු තෙරුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වී මෙසේ විමසා සිටියේ ය. ‘ස්වාමිනි, මහණ වන්නේ කුමක් නිසා ද? මහණ වීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? කියා ය. “මහරජ, මහණ වන්නේ ධර්මයේ හැසිරීම පිණිස යි.” කියා පිළිතුරු දුන්විට ‘ ස්වාමිනි, ධර්මයෙහි හැසිරෙන ගිහියන් නැද්දැයි” යළිත් රජු විමසී ය. එවිට ආයුපාල තෙරුන් වහන්සේ ඒ පිළිබඳව මෙසේ පහදා දුන් සේක. “ඇත මහරජ, බුදුරජාණන් වහන්සේ බරණැස දී දම්සක් පැවතුම් සූත්‍රය දෙසන විට දහඅට කෝටියක් බ්‍රහ්මයෝ ධර්මය අවබෝධ කළහ. පැවිද්දන් අතරින් ධර්මාවබෝධ කළේ කොණ්ඩඤ්ඤ තෙරුන් පමණකි. එමෙන් ම මහරජතුමනි, මහාසමය සූත්‍රය දෙසූ දිනත්, සමචිත්තපරියාය සූත්‍රය දෙසු දිනත්, රාහුලෝවාද සූත්‍රය දෙසු දිනත්, පරාභව සූත‍්‍රය දෙසු දිනත් ගණනින් ප්‍රමාණ කළ නො හැකි තරම් දෙවි, බඹුන් ධර්මාවබෝධ කළහ. ඔවුන් හැම ගිහි පිරිස මිස පැවිද්දන් නොවේ”.

ඒ අසා රජතුමා “ස්වාමීනි, එසේ වී නම් මහණ වීමෙන් ප්‍රයෝජනයක් නැත. බෙහෙත් නො කොට සන්සිඳෙන ලෙඩට බෙහෙත් කර දුක් ගන්නා සේ, හිණිදඬු නැතිව නැංගහැකි තැනට හිණිමං බඳිමින් දුක්ගන්නා සේ, නොමිලයේ ලද හැකි භාණ්ඩයකට මුදල් සොයමින් දුක් ගන්නා සේ, මහණ නො වීත් ලද හැකි නිවන පිණිස මහණ වී දුක් ගන්නේ පෙර කල පව් නිසා ය. එසේ ඇති කල ධූතාංග පිණිස ප්‍රයෝජනයක් නැත්තේ ය. යම් පැවිද්දෙක් එක් වේලකින් පමණක් යැපෙන ඒකාසනික ධුතාංගය පුරන්නේ පෙර ජීවිතවල අනුන් කන බොන දෙය උදුරා ගත් නිසා ය. වෙන කරුණක් නිසා නොවේ. එමනිසා කන්නට, බොන්නට කැමැත්ත ඇති මුත් දෙවේලේ සම ව බත්, පාන් නො ලබති. එසේ හෙයින් ධුතාංග පූරණයෙන් පෙනෙන අකුසල් විපාක මිස කුසල් විපාක නැත. යම් පැවිද්දෙක් එළිමහනෙහි වාසය කරන අබිභෝකාසිකය පුරන්නේ නම් හෙතෙම අතීතයේ අනුන්ගේ ගෙවල් උදුරා ගත් නිසා ය. ගෙවල් අහිමිවූවන් රුක් සෙවණට වී සිටි නිසා ය. ඒ පව් හේතුකොටගෙන ය. රුක්මුල්වල වාසය කරන්නට සිදු වී තිබෙන්නේ. නිදා නො ගැනීම නම් වූ භේසජ්ජකාංගය පුරන්නේ අතීතයේ මං පැහැරූ පවින් ය. මං පහරන්නා මග යන්නවුන් වාඩි කරවා අත්බැඳ අත මිට තිබූ දෙය උදුරා ගත් හෙයින් දැන් ඇඳ තිබියදීත් වාඩී වී රැය පහන් කරන්නට සිදුවී ඇත. එසේ හෙයින් පැවිදි වී පුරන ශාසනික පිළිවෙතින් ප්‍රයෝජනයක් නැත්තේ ය. නිවන පිණිස යැයි කළත්, කුසල් විපාක වශයෙන් කරනා නිසාත් ඒ කිසිවක් නො කළ ගිහියන්ටත් නිවන ලැබෙන නිසාත් කිසිම අයුරකින් ධුතාංග පිළිවෙත්වලින් කිසිදු ප්‍රයෝජනයක් නැත්තේ ය. මෙසේ මිළිඳු රජතුමා බුදු සසුනට නිගා කරන්නාක් මෙන් වාදාභිමුඛව උපවාද කොට කිව්වේ ය.

ඒ හැම ඇසූ ආයුපාල මහතෙරුන් වහන්සේ “ධූතාංග පූරනයේ කෙලෙසුන් වැඩීම පිණිස යි” කීමටවත් නො හැකි වී තමන් වහන්සේ නිරුත්තර වූ සේ නිහඬව වැඩහුන් සේක. එව්ිට ඇමැතිවරු ”වදනකින් පමණවත් පිළිතුරක් නො කීවත් ශාසන බලය අවතක්සේරු නො කළ යුතුයි” යන අදහසින් රජතුමාට මෙසේ පැවසූහ. “ මහරජාණන් වහන්ස, තෙරුන් වහන්සේ නුවණැති සේක. පිළිතුරු දැන සිටියත් පහදා දෙන්නට හැකියාව නැති සේක. ගොළුවන් දුටු සිහින අන් අයට පවසන්න නො හැකි සේ දැනුම ඇතත් කියාගත නො හැකික. එසේ හෙයින් පිළිතුරු දන්නාමුත් කියාගත නොහැකි සේක”. ඒ අසා මිළිඳු රජතුමා “ඔබලා කුමක් කීවත් මදක් හෝ පිළිතුරු පැවසිය යුතු නොවේ ද? “අනේ මේ දඹදිව පැන් නැති ගඟක් සේ, රජුන් නැති රටක් සේ නුවණැත්තන් ගෙන් හිස් වූ සෙයකි” කියා පැවසුවේ ය. එමෙන්ම මා හා වාද කරන්නට ප්‍රතිබල වෙනත් නුවණැත්තෙක් ඇද්දැයි” ඇමැතිවරුන්ගෙන් විමසුවේ ය.

එකල්හි නාගසේන මහතෙරුන් වහන්සේ වැඩිමහලු භික්ෂූන් හතළිස් දහසක් ද, තමන් වහන්සේට වඩා නවක භික්ෂූන් හතළිස් දහසක් ද සමගින් වාසය කරන සේක. බහුශ්‍රැත, නුවණ ඇතිව, ව්‍යක්ත ධර්ම කථිකයෙක් නිකෙලෙස් හද මඬලක් දරාගෙන කරුණා මෙත් සිතින් යුතුව සාගල නුවර සාඛෙය්‍ය පිරිවෙනේ වැඩ වසන සේක. නාගසේනයන් වහන්සේ ගැන දැනගත් දේවමන්ත්‍රී නම් ඇමැතිතුමා මිළිඳු රජතුමාට මෙසේ පැවැසී ය. “මහරජාණන් වහන්ස, ඉවසා වදාළ මැනවි. මහා නුවණැති බහුශ්‍රැත වූ නාගසේන නම් තෙරුන් වහන්සේ භික්ෂූ සංඝයා පිරිවරා මේ සාගල නුවරට වැඩි සේක. උන්වහන්සේ කරා ගොස් වාද ප්‍රතිවාද නැංවුව මැනවි. උන්වහන්සේ ඒ පිණිස ව්‍යක්ත ප්‍රතිබල වන්නේ ම ය”.

නාගසේන නම ඇසූ පමණින් ම මිළිඳු රජතුමාට තැති ගැනීමක් හට ගත්තේ ය. එහෙත් රාජ ධෛර්යය උපදවා බිය සඟවාගෙන “උන් වහන්සේ මා හා කතා කරන්නට සමර්ථදැයි” යළිත් විමසී ය. එවිට දේවමන්ත්‍රී ඇමැතිවරයා “ඔබතුමා තබා, ශක්‍ර, බ්‍රහ්ම මහේශ්වරාදී කවර තරමේ කෙනෙකුන් හා කතා කොටත් හිරු නැගි කලට කළාමැදිරියන් සේ වාද කරන්නන් නිශ්ප්‍රභා කරන්නට ප්‍රතිබල ඇති සේක. එසේ හෙයින් ඔබතුමා හා කතා කරන්නට පුළුවන්කම ගැන කවර කතා ද?” කියා පැවසී ය. එය ඇසූ පමණින් ම මිළිඳු රජතුමා පසු බා ගිය මුත් ඒ බවක් නො සඟවා “එසේ නම් නාගසේන තෙරුන් මුණ ගැසීමට මා කැමැති බව දන්වා අවසර ගනු” කියා දේවමන්ත්‍රී ඇමැතිට නියෝග කළේ ය. ඉක්බිති නාගසේන තෙරුන්ගෙන් අවසරලත් රජතුමා ඇමැතිවරු පන්සියයක් ද පිරිවරාගෙන සාඛෙයඅඹ්‍ය පිරිවෙන වෙත ගියේ ය.

Saturday, January 15, 2022

මිලින්ද ප්‍රශ්නය,

මහමෙව්නා භාවනා අසපු සංචිතයේ 

නාගසේන තෙරුන් වහන්සේ අමතා රෝහණ තෙරුන් වහන්සේ මෙසේ වදාළහ. “ආයුෂ්මතුනි, සාගල නම් නුවර මිළිඳු නම් යෝනක රජතුමා තර්කවාදී ව, සියුම් ප්‍රශ්න අසමින් භික්ෂූන් වහන්සේ පීඩාවට පත් කරයි. ඔබ වහන්සේ ගොස් ඒ රජතුමාගේ වාද ප්‍රතිවාදයන් සිඳ දමා එතුමා බුදු සසුනෙහි අචල පැහැදීමට පත්කරවනු මැනව” යි පැවසූ සේක.

”ස්වාමිනි, එතෙක්“මා කවර උතුමෙකු ඇසුරේ වසන්නෙම් ද?, කියා නාගසේනයන් වහන්සේ විමසූහ.

එවිට රෝහණ තෙරුන් “ආයුෂ්මතුනි, අස්සගුත්ත මහරහතන් වහන්සේ වන්තනිය නම් සේනාසනයේ වැඩ වසන සේක. උන්වහන්සේ වෙත ගොස් මුලින් ම මාගේ වන්දනාව කොට, ඔබ වහන්සේ ද වන්දනා කළ මැනව. වැඩියේ ඇයිදැයි විමසුවොත් මේ වස් තුන් මාසය ඔබ වහන්සේ අසල වාසය කරන්නට එවූ බව පවසනු යි” කී හ. ඉන්පසු නාගසේනයන් වහන්සේ රෝහණ තෙරුන්ට වන්දනා කොට, පා සිවුරු ගෙන, වන්තනිය සේනාසනයට ගොස් අස්සගුත්ත මහරහතන් වහන්සේ මුණගැසී කී ලෙසින් ම කටයුතු කළ සේක. 

නාගසේනයන් වහන්සේ පාත්‍ර සිවුරු තැන්පත් කොට එදින රාත්‍රී සැතපී, පසුදින උදෑසන ම අවදි වී ආවාසය, මිදුල අතුගා දැහැටි සහ පැන් ගෙනවිත් තැබූහ. අස්සගුත්්්ත තෙරුන්, නාගසේන තෙරුන්ගේ හික්මීම පරීක්ෂා කර බලනු පිණිස අතු ගෑ තැන් යළිත් අතුª ගා ගෙනැවිත් තැබූ දැහැටි, පැන් ඉවත දමා වෙනත් දැහැටි හා පැන් පරිභෝග කළසේක. නාගසේනයන් වහන්සේ සිත කම්පා කර නො ගෙන සතියක් පුරාවට ම එලෙසින් ම වත් කළත්, මහතෙරුන් වහන්සේ යළි යළිත් ඉවසීම විමසනු පිණිස එලෙසින් ම කළ සේක. ඉන්පසු සෑහීමට පත් වූ තෙරුන් වස් තුන් මාසයේ තමන් වහන්සේ ළඟ වස් විසීමට නාගසේන තෙරුන්ට අවසර දුන් සේක.

ඉන්පසු අස්සගුත්ත මහතෙරුන් වහන්සේ නාගසේන තෙරුන් වහන්සේට මෙසේ වදාළ සේක.”ආයුෂ්මතුනි, පැළලුප් නුවර අශෝකාරාමයෙහි ධර්මරක්ඛිත මහ තෙරුන් වහන්සේ වාසය කරන සේක. ශාසන ප්‍රතිපත්තියට මුල්වන්නේ පර්යාප්තිය යි. (නවාංග ශාස්තෘ ශාසනය හෙවත් සම්බුද්ධ දේශනායි) පර්යාප්තිය නැතිනම්, ප්‍රතිපත්තිය නැත. ප්‍රතිපත්ති නැති කලකට ප්‍රතිවේධය (මාර්ගඵල අවබෝධය) නැත. ප්‍රතිවේධය නැති කලට අද්ධ්‍යාශය සම්පන්නයන් ( උදාර අදහස් ඇති) නැති හෙයින් ශාසනයක් නො පවතී. ඔබවහන්සේ බුද්ධි සම්පන්න ව පර්යාප්තිය පවත්වා නො ගතහොත් අනාගතයේ පවත්වා ගන්නේ කවුරු ද? ඔබ ගොසින් තෙවලා බුදුවදන් (ත්‍රිපිටකය) හදාරන්න’ යැයි කී හ. නාගසේනයන් වහන්සේ එය අසා, “පැළලුප් නුවරට මෙතැන් සිට කො පමණ දුරක් ඇද්දැ”යි විමසූහ. “යොදුන් තුන්සීයයක් දුර ය” කියා තෙරුන් වහන්සේ පැවසූ විට “එපමණ දුරක් යා හැකි ද? දානමාන ලබා ගන්නේ කෙසේ ද?” කියා යළිත් විමසී ය. ඒ ගැන නො සිතන්න. අතරමග දී පිරිසුදු ඇල් හාල් බත් දානයට ලැබෙනු ඇත. එක දිගට නො යන්න. සැතපී විවේක ගනිමින් යන ගමනක් නිසා වෙහෙසක් ඇති නොවේ” කියා මහ තෙරුන් වහන්සේ පිළිතුරු දුන් සේක. ඒ අසා නාගසේනයන් වහන්සේ මහතෙරුන් වහන්සේට වැඳ සමුගෙන පාත්‍රා සිවුරු රැගෙන පැළලුප් නුවරට වැඩම කරන්නට නික්මුණ සේක.

එකල පැළලුප් නුවර සිටි එක් සිටුවරයෙක් ගැල් පන්සියයකින් භාණ්ඩ රැගෙනවිත් වෙළෙදාම් කොට යළි පැළලුප් නුවරට යමින් සිටිය දී නාගසේන තෙරුන් දැක වන්දනා කොට කො තැනක වැඩම කරන්නේ දැයි විමසා සිටියේ ය. “පැළලුප් නුවරට වඩිමි” යි කී විට දුටු පමණින් පැහැදී “ස්වාමින් වහන්ස, මමත් එහි යන්නෙමි. මා හා සුවසේ වැඩිය හැක” කියා සිටුතුමා පැවසී ය. ඉන්පසු සියතින් ම ගෞරවයෙන් දන් පැන් පුදා වැළඳු පසු ඔබ වහන්සේ් කි නම් වන සේක්දැයි? ඇසී ය. “නාගසේන’’ නම් වෙමි, “ස්වාමීනි, දන්නා බණ දහමක් ඇද්දැයි විමසී ය. සිටුතුමනි, තවම අසා, පිරිවහා ගුරු මුවින් ඉගෙන ගන්නට නො ලැබුණ හෙයින්, විනය හා සූත්‍ර නො දනිමි. සාමණේර අවධියේ දී ම අසා දැනගත් හෙයින් අබිදම් (ගැඹුරු දහම ) දනිිමි”කියා නාගසේනයන් වහන්සේ පිළිතුරු දුන් සේක. සිටාණෝ එය අසා “මමත් ගැඹුරු දහම් දනිමි. ඔබවහන්සේ දන්නා දහම් මටත් වදාරණ සේක්වායි” ඉල්ලා සිටියේ ය. ඉක්බිති නාගසේනයන් වහන්සේ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ගැඹුරු දහම් වදාළ කල්හි සිටුතුමා දහම් ඇස පහළ කරගෙන සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්විය. පැළලුප් නුවර ආසන්නයට පැමිණිය පසු දෙ මංසන්ධියේ දී “නාගසේනයන් වහන්ස, මේ අශෝකාරාමයට මග යි. පෙර දන්නා හඳුනන බවක් නැතිමුත්, නුඹ වහන්සේ වඩිනා ගමනේ දී මා හට දුන් ලොව්තුරු සැපයට සුදුසු සංග්‍රහයක් මා වෙත නො මැත. එනමුත් මේ වටිනා පලස ඔබ වහන්සේට පූජා කරමි” කියා සොළොස් රියන් දිග, අටරියන් පළල අගනා පළසක් පූජා කළේ ය. ඉන්පසු මහත් ශ්‍රද්ධාවෙන් වන්දනා කොට සිටුතුමා පිටව ගියේ ය. :නාගසේනයන් වහන්සේ අශෝකාරාමයට ගොස් ධම්මරක්ඛිත මහතෙරුන් වහන්සේ මුණ ගැසී වන්දනාමාන කොට පැමිණි කාරණාව කියා ධර්මය හැදෑරීම ආරම්භ කළ සේක.

සූත්‍ර , විනය තෙ මසකින් ඉගෙනගත්, විස්මිත ධාරණ ශක්තියෙන් යුක්ත නාගසේනයන් වහන්සේ තවත් තුන් මාසයකින් එහි අර්ථ අස්වා ගත් සේක. ධර්ම, විනය මෙලෙසින් ඉගෙනීම නිම වූ කල්හි සුළු මඟ පෙන්වීමකින් ‘ප්‍රතිපත්ති , ප්‍රතිවේධ පූරණය කරති’ යි සිතු ධම්මරක්ඛිත තෙරණුවෝ උත්සාහවත් කිරීම පිණිස මෙසේ වදාළ සේක. “ආයුෂ්මතුනි, ගොපල්ලන් ගව රැළක් බලා ගත්තත්, දී කිරිවලින් ප්‍රයෝජන ගන්නේ අන් කෙනෙකු ය. එමෙන් ම ඔබ වහන්සේත් තෙවලා බුදු වදන් , රන් බඳුනක දැමූ සිංහ තෙල් පරිද්දෙන් මතකයේ දරාගත් නමුත්, ඔබ ප්‍රයෝජන ගෙන නැත්තේ” ය කීහ.. එම වදන්වල අරුත් වටහාගත් නාගසේනයන් වහන්සේ අප්‍රමාදීව විදසුන් වඩා එක් දිනක් ඇතුළත සියලු කෙලෙසුන් නසා පටිසම්භිදාලාභී මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.

කෙලෙස් සතුරන් පරදවා අරහත්වයට පත් වූ සැණින් දෙවිවරු පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. මිහිකත කම්පා විය. ආකාසයෙන් මල් වැසි වැස්සේ ය. හිමාලයේ වැඩ සිටි මහරහතන් වහන්සේ නාගසේන තෙරුන් දකින්නට තමන් කැමැති බව අරහත් සෘද්ධියෙන් දැන් වූ හ. එවිට නාගසේන මහරහතන් වහන්සේ පැළලුප් නුවර අශෝකාරාමයෙන් අතුරුදන් වී හිමාලයේ අරහත් සඟ ගණ මැද පහළ වූ හ.

සත්‍ය නිර්දේශය මාර්ග සත්‍ය - සම්මා ආජීව

 

සත්‍ය නිර්දේශය මාර්ග සත්‍ය - සම්මා ආජීව

නිකිණි පුර අටවක පෝදා (අගෝස්තු 07 ) පත්‍රයේ ලිපිය හා සම්බන්ධයි.

බුදුරජාණන් වහන්සේ කළ සෑම දේශනාවක් ම පැහැදිලි කර දුන්නේ , කායික සංවරය, වාචසික සංවරය, මානසික සංවරය පිණිස යි. අප ඉහත සඳහන් කළේ කායික සංවරයෙන් සංවර වීම පිණිස යි. එවි ට මානසික සංවරයත් ඉබේම සැකසෙයි. කතාව අඩුකළ විට වාචසික සංවරයත් බොහොම හොඳ වෙයි. එසේනම්, බුදු දහමෙහි සංවර ක්‍රම තුන යි, කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය යනුවෙන්. මෙලෙස සංවර වූවෝ බුදු, පසේ බුදු, මහ රහත් තත්ත්වයට පත් වුණා. අප ද සංවර වෙමින් ඉදිරියට යනවා. අවසාන මොහොත දක්වා ම. ඒනිසා, බුද්ධ ශාසනය සැමදාම ලොවේ නැහැ. බොහොම කලාතුරකින් අසන්න, දකින්න තියෙනවා. ඒ බුද්ධ ශාසනය තුළ ගුණ ධර්ම හොඳින් දියුණු තියුණු කරගත්තොත්, එහි විපාක ඇත්තේ තමන්ටම යි.

ඒ නිසා තමන් මේවා හොඳින් වටහාගෙන සිල්වන්තකම, ගුණවන්තකම හොඳින් වඩා වර්ධනය කළ යුතු යි. ඒවාගෙන් අපේ සිතෙහි සතිය නොහොත් සිහි කල්පනාව පහළ වෙයි. එය සති සම්බොජ්ඣංගය නම් වෙයි. මේවා මෙනෙහි කරද්දී හොඳට නුවණ දියුණු තියුණු වෙයි. එය ධම්ම විඡය සම්බොජ්ඣංගය නම් වෙයි. බණ, භාවනා කටයුතු හොඳින් දියුණු කරගෙන යද්දී උත්සාහය හොඳින් මතුවී දියුණු වෙනවා. එය විරිය සම්බොජ්ඣංගය නම් වෙයි. ඒ සිතට ලැබෙන විශාල ප්‍රීතිය පීති සම්බොජ්ඣංගය නම් වෙයි. සිතේ, කයේ දරදඬු ගති සංසිඳී අපට පස්සද්ධියක්, සංසිඳීමක් ලැබෙනවා, කෙලෙසුන්ගේ සංසිඳිමක් ලැබෙනවා. එය පස්සද්ධි සම්බොජ්ඣංගය නම් වෙයි. එයින් ලැබෙන චිත්ත සමාධිය, සිතේ තැන්පත්කමක්, ධ්‍යාන අවස්ථාවක් ලැබෙනවා. එය සමාධි සම්බොජ්ඣංගය නම් වෙයි. 

ඉන් අනතුරුව අපට ලැබෙන්නේ මධ්‍යස්ථ භාවය යි. කුමන දෙයකවත් ඇලීමක් ගැටීමක් නැතිව , මධ්‍යස්ථව ඉන්න පුළුවන් තත්ත්වයක් ලැබෙනවා. එය උපේක්ඛා සම්බොජ්ඣංගය නම් වෙයි. මේ සප්ත බොජ්ඣංග ධර්ම හත දියුණු කරගැනීම සඳහා බුදු කෙනෙක් ලොවේ පහළව උන්වහන්සේ ධර්මය ලොවට දේශනා කරනවා. ඒ අසන අය ත් මාර්ගාංග හොඳින් දියුණු කර ගනි යි. මඟ ඵල නිවන් සුවයට පින් මදි අය මාර්ගාංග හොඳින් දියුණුවෙන් තමන් ඉදිරියට ගමන් කරනවා. මේ පිළිබඳ කවුරුත් හොඳ දැනීමකින් මේ ගමන ඉදිරියටම යන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය වන්නේ සිහි කල්පනාව යි. සිහි කල්පනාවෙන් යුක්තව ඉදිරියට ම යා යුතු යි. ශාසනයත් ආරක්ෂා කරගෙන තමන්ට නිවන් මග යන්නට පුළුවන්කම තියෙනවා. මේ සඳහා උට්ඨාන වීර්යය අවශ්‍යය යි. මෙයින් ඉදිරියටම යාමෙන් සම්මා ආජීවය බොහොම පිරිසුදු වෙයි. 

පෙර සඳහන් කළා සේ ම හොඳින් අධිෂ්ඨාන තබමින් සිතෙන් මෙනෙහි කරමින්, සිතෙන් අධිෂ්ඨාන කරමින් ඉදිරියට යද්දී තම කායික සංවරය බොහොම යහපත් වන අතර, මානසික සංවරය දියුණු වෙයි. මෙනෙහි කරද්දී වාචසික සංවරය ද ලැබෙයි. එසේනම්, කායික, වාචසික, මානසික සංවරය , සීල, සමාධි , ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරගන්නට මහෝපකාරී වෙනවා. එසේම ලොවුතුරා බුදු දහමේ කියැවෙන සියලුම ගුණ ටික දියුණුවෙන් ඉදිරියට යන්නට පුළුවන්. මේවායේ හැල හැප්පිලි ගති නැහැ. එසේම ඇලීම, ගැටීම නැහැ. සුහදශීලීව මේ ගුණ ධර්මයන් වඩා වර්ධනයෙන් සම්මා ආජීවය ඉතා පැහැදිලිව ම අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් පසක් කර ගැනීමට මේ භාවනා ක්‍රමයත් හේතු වාසනා වේවා

Tuesday, January 11, 2022

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා ආජීව: යහපත් දිවි පෙවෙත පැහැපත් කරයි දිවිමග

 

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා ආජීව: 

යහපත් දිවි පෙවෙත පැහැපත් කරයි දිවිමග

සම්මා ආජීව යනු නිවැරැදි දිවි පෙවෙත යි. සම්මා වදනට අර්ථ බොහෝ ඇත. එනම්, නිවැරැදි, යහපත්, උතුම් , ශ්‍රේෂ්ඨ, අති ශ්‍රේෂ්ඨ ආදී වශයෙන් තේරුම් රාශියක් වෙයි. කවර අර්ථයක් තිබුණත් පිරිසුදු දිවි පෙවෙත වෙයි. මෙහිදී පිරිසුදු වචනය ද සම්මා වශයෙන් වෙයි. පෙර සම්මා කම්මන්ත මෙනෙහි කළා සේ සම්මා ආජීවය ද මෙනෙහි කළ යුතු යි. 

බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ, ජීවිතය බොහොම වාසනාවන්ත යි. මිථ්‍යා ආජීවයෙන් තොරව සම්මා ආජීවයෙන් ජීවත් වන්නේ. සිව්පස පරිහරණයත් මිථ්‍යාවෙන් තොර වෙයි. සම්මා ආජීවයෙන් යුක්තව මේ උතුමෝ වාසය කරති. එලෙස සිතා ‘මම ද බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ මෙන් මිථ්‍යා ආජීවයෙන් තොරව උතුම් ජීවිකාවෙන් කාලය ගත කරම්’ එවිට රැකියාව හොඳින් කළ යුතු යි. වංචාව, කපටිකම, සොරකමෙන් වැළකිය යුතු යි. නිවැරැදි දිවි පෙවෙතක් අවංක භක්ත්‍යාධරයෙන් ගත කළ යුතු යි. එය සීලයේ උතුම් අවස්ථාවක්. සීලය යනු කය වචනය දෙකෙහි සංවර කමයි. සම්මා ආජීව යනු කයේ සංවර බව යි. සීලයට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව පද තුනක් ඇතුළත් වුණා. 

සීලය මාර්ගාංගය දියුණු කර ගන්නට, කරුණු රැසක් අවශ්‍ය වෙනවා. ඉවසීම, කරුණාව, මෛත්‍රිය , දයාව, අනුකම්පාව ආදී අවශ්‍ය කරන ගුණයන් දියුණු කළ යුතු යි. විශේෂයෙන් කය සහ වචනය සංවර වෙද්දී , සීලය හොඳින් රැක ගත හැකි යි. බුදු , පසේ බුදු, මහ රහත් උතුමෝ අවශ්‍ය දේ පමණක් පමණට කථා කළා. අනෙක් සෑම විටම වාසය කළේ නිශ්ශබ්දතාවයෙන්. එය සඳහන් කරන්නේ ආර්ය තුෂ්ණිම්භාවය යනුවෙන්. තමා ද ආර්ය තුෂ්ණිම්භාවයෙන් වාසය කරන්න වග බලා ගත යුතු යි. එසේනම්, සම්මා ආජීව යනු කුමක් දැ’යි දැන් කාටත් වැටහෙයි. 

අධිෂ්ඨාන කරමින් සිය, දහස්වර මෙනෙහි කළ යුතු යි. ‘මම මිථ්‍යා ආජීවයෙන් තොරව , දැහැමිව ජීවත් වන්නෙමි, මම දැහැමිව ජීවත් වන්නෙමි’ යනුවෙන් සිය , දහස්වර සිතෙන් මෙනෙහි කරද්දී ලෝභ, ද්වේශ, මෝහ ප්‍රහාණය වී අලෝභ, අදෝශ, අමෝහ ආදී පහන් සිතිවිලිවලින් යුක්ත වෙයි. මේ අවස්ථාවට එළැඹීම ලෙහෙසි පහසු කාරණයක් නො වෙයි. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන විට, ඒ පුද්ගලයන්ගේ සිත බලා දේශනා කර වදාළා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනාව කරන්නේ රැස්ව සිටි අයගේ සිත බලලයි. උන්වහන්සේට සිත පෙනෙන බැවින් මේ අයට අද දේශනා කළ යුත්තේ කුමන දේශනාවක් ද යනුවෙන්. එවිට මේ දේශනාව උන්වහන්සේ තේරුම් ගන්නා අතර, මේ දේශනාව පැවැත්වූ විට මාර්ග ඵල අවස්ථාවට පත් වෙයි. එයට සංසාරයේ සිටම දියුණු තියුණු කරන ලද හොඳ පිනක් තිබිය යුතු යි. මේ පින විශේෂයෙන් වර්ණනා කළ යුතු යි. මේවා කොටස් තුනකි. එනම්, දාන, සීල, භාවනා ය. මේ පුණ්‍ය ක්‍රියාවෝ දියුණු කර ගැනීමෙන් පව් ඉවත්වී පින මතුවී පාරමිතාවෝ හොඳින් ඉස්මතු වෙයි. සැරියුත්, මුගලන්, ආනන්ද, කාශ්‍යප , රාහුල වැනි මහා රහතන් වහන්සේලා බුද්ධ අනුශාසනාවට ම අනුව තමන් වහන්සේලාගේ ජීවිතය සකස් කළා. 

සම්මා ආජීවයෙන් තොර අය ශාසන විරෝධි වැඩ කරයි. සම්මා ආජීවයට වැටෙන්නේ දැහැමිව යමක් කරගෙන, දැහැමිව ජීවත් වීම යි. අධාර්මික දේ කරමින් ජීවත් වුණොත්, එය මෙලොවට පමණක් වන අතර සසරේ දුක් විඳින්නට සිදු වෙයි. සුගතියක වාසය කරන්නට නම්, දිවි පෙවෙත යහපත් විය යුතු යි. යහපත් ආශ්‍රය, ලබා ගන්නා අදහස් ආදිය සහ ජීවනෝපාය යහපත් විය යුතු යි. එවිටයි සිත, ගත සංසිඳුවාගෙන සංවර කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. 

සම්මා ආජීව මාර්ගාංගය තමන් සිටගෙන සිටිය දී, ඇවිදින විට, වාඩිවී සිටියදී, නින්දට යන තුරා සිතින් අධිෂ්ඨාන කරන්නට, මෙනෙහි කරන්නට පුළුවන්. ‘මම නිවැරැදි දිවි පෙවෙතක් ඇත්තෙක් වන්නෙමි’ යනුවෙන් හැකිතාක් සිතෙන් මෙනෙහි කළ යුතු යි. එලෙස මෙනෙහි කරනවිට දී සම්මා ආජීවය ඉතා පැහැදිලිව තමන්ට දැක ගන්න පුළුවන්. සම්මා ආජීවය ඉතා හොඳින් ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේවා අමුතුවෙන් සිත සිතා ගමන් කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේ සිත හොඳ නම් , කය සංවර නම්, වචනය සංවර නම්, ඒකාන්තයෙන් තමන්ට හොඳ මඟක යන්නට පුළුවන්. බුද්ධාදී උතුමන් ගැන වචන අසන්නට ලැබීමත් වාසනාවක්. අපේ දිවි පෙවෙත ගෙන යන්න තුනුරුවන්ගේ ගුණ, බුද්ධාදී උතුමන්ගේ ගුණ නිතර සිතන විට, ලොකු ශක්තියක් ලැබේවි. 

මේ සීලය හොඳින් ආරක්ෂා කළොත්, සසර වසන තුරු සැප විපාක ලැබෙනවා. භෝග සම්පත්, විශාරද කෙනෙක් වීම, යස , ඉසුරු , සැප සම්පත් ලබනවා, සිහි නුවණින් මරණයට පත් වෙනවා, මරණින් මතු දෙව්ලොව උපත ලබනවා. මේ ප්‍රධාන වරප්‍රසාද පහ සීල සංවරයෙන් සංවර වූවන්නට පමණ යි ලැබෙන්නේ. ඒ අනුව සලකාගෙන ශීලයෙන් සංවර වීමට අධිෂ්ඨාන ප්‍රාර්ථනාවන් තබා ගන්නට ඕනේ. එයින් තමන්ට සැනසුමක් මිස , අයහපතක් වෙන්නට බැහැ. දුකක්, පීඩාවක් නොවී සැනසුමක් ම සකස් වෙනවා.

මිලින්ද ප්‍රශ්නය

 මහමෙව්නා භාවනා අසපු සංචිතයේ

ඒ සත් වසර පුරාවට “මෙතැනින් යන්න“ වචනයවත් ඒ බ්‍රාහ්මණ නිවසින් අසන්න නො ලැබුණි. නමුත් අටවෙනි අවුරුද්දේ දී දිනක් “මෙතැනින් යන්න“ කියන වචනය ඔවුන්ගෙන් ඇසුණේ ය. එදා රෝහණ තෙරුන් වහන්සේ ඒ නිවෙසින් එළියට වඩිද්දී පිටතට ගොස් නිවසට පැමිණෙමින් සිටි සෝණුත්තර බ්‍රාහ්මණයාට මුණ ගැසුණි. “ස්වාමීනි, අපගේ නිවසින් කිසිවක් ලැබුණාදැයි” උන්වහන්සේගෙන් විමසුවේ ය. “ එසේය බ්‍රාහ්මණය” කියා තෙරුන් වහන්සේ පිළිතුරු දුන් විට බ්‍රාහ්මණයා කිපී නිවසට ගොස් “අර ශ්‍රමණයන්ට කිසිවක් දුන්නාදැයි” ඇසුවේ ය. කිසිවක් නො දුන් බව දැනගෙන පසු දා පිඬුසිඟා වැඩි විට “මුසාවක්” කීවා යැයි තෙරුන්ට අපහාස කළේය. “පින්වත් බ්‍රාහ්මණය, එය මුසාවක් නොවේ. පසුගිය සත් වසර පුරාවට ඔබ නිවසින් මෙතැනින් යන්න කියන වචනයවත් ඇසුණේ නැහැ. නමුත් ඊයේ ඒ වචනය ලැබුණා. අපේ නිවසින් කිසිවක් ලැබුණාදැයි ඇසුවිට එසේය, බ්‍රාහ්මණය කියා මා පැවසුවේ ඒ නිසයි” කියා තෙරුන් වහන්සේ වදාළහ. ඒ පිළිතුªරට සෝනුත්තර බ්‍රාහ්මණයා වෙසෙසින් පැහැදුණේ ය. තමන් උදෙසා සැකසූ බතින් තෙරුන් වහන්සේට උපස්ථාන කොට එතැන් පටන් දිනපතා ම නිවසට වඩමවා දන්පැන් පිදී ය, තෙරුන් වහන්සේ ද දන් වළදා මද වශයෙන් නමුත් ධර්මය ද වදාරණ සේක.

නාගසේන කුමරු බිහි වී සත් වසරක් ගතවෙද්දී පිය බ්‍රාහ්මණතුමා දක්ෂ ඇදුරෙකු ලවා ත්‍රිවේදය හැදෑර වී ය. කෙටි කලකින් ත්‍රිවේදය පරතෙරට ගිය කුමරු එහි හරසුන් බව දැක නො සතුටු වී ය. එකල්හි රෝහණ තෙරුන් වහන්සේ වන්තනිය නම් සෙනසුණේ වැඩ වසද්දී කජංගල නම් නියම් ගම සිටි නාගසේන කුමාරයාගේ නො සතුටු සිතිවිලි තමන්ගේ සිතින් දැක වදාළ සේක. ඒ සැණෙකින් ම සිවුරු පොරවා පාත්‍රය ද රැගෙන සෙනසුනින් නික්ම කජංගල බමුණු ගමට වැඩි සේක. නිවස ඉදිරිපිට සිටි නාගසේන කුමාරයා ද මහතෙරුන් වහන්සේ දැක දුටු පමණින් සිත පැහැදී අසලට ගොස් මෙසේ විමසී ය. “ පැවිදි වූයේ කුමක් නිසාදැයි?” ඇසුවේ ය. “රාගාදී කෙලෙසුන් දුරු කර ගැනීම පිණිස යි” කියා තෙරුන් වහන්සේ පැවසූ සේක “එසේනම් සෙස්සන් මෙන් දිග් නැතිව හිසකෙස් කපා ඇත්තේ ඇයි?” කියා යළි විමසූ කුමරුට “වැවුුණු හිසකේ නිසා ඇතිවන පළිබෝධ දහසය දුරුකිරීම පිණිස” යැයි පිළිතුරු ලැබිණි. එය වටහා ගත් නාගසේන කුමරු “ අන් අයට වෙනස් ලෙසින් කඩ කැපූ, පඬු පෙව් වස්ත්‍රයක් පොරවන්නේ ඇයිදැයි? ඇසීය. “ කුමාරයාණෙනි, කඩ කපා පඬු පොවා සකස්කරගත් නිසා පැහැයත් අඩු වී, වටිනාකමත් අඩු වී යන නිසා, සොර සතුරන්ගෙන් හානියක් නැත. එමනිසා අහිමිවීමෙන් වන ශෝකයකුත් නැත. අපගේ වස්ත්‍ර වෙනස්වීමට හේතුව එයයි” කියා තෙරුන් වහන්සේ කරුණු පහදා දුන් සේක.

එම පිළිතුරුවලට සතුටු වූ නාගසේන කුමාරයා “ඔබ වහන්සේ කිසියම් ශිල්පයක් දන්නා සේක් ද?” කියා විචාළේ ය. “එසේය කුමාරයනි, ශිල්ප දනිමි. හස්තසාර ශිල්පියෙක් සේ තිබෙනා බලවත් උදාර ශිල්පත් දනිමි” යැයි රෝහණ තෙරුන් පැවසූ සේක. එවිට නාගසේන කුමරු එම ශිල්ප ඉගෙනගනු කැමැතිව “මිහිරි දෙයක් ලැබුණුවිට සඟවාගෙන තබා කන කෙනා මසුරු කෙනෙකි. අන් අයගේ යහපත පිණිස නො පිළිපත් කෙනෙකි. ත්‍යාගී කෙනෙක් නම් අනුන්ටත් දෙති. එසේම නුඹ වහන්සේ දන්නා බලවත් ශිල්ප අපටත් උගන්වන්නට පුළුවන්දැයි” ඇසී ය. “ඔබ ඉගෙන ගන්නේනම්, උගන්වමි. දැන් පිඬුසිඟා වඩිනා වේලාව හෙයින් නො හැකියි . ” කියා තෙරුන් වහන්සේ පිළිවදන් දුන් සේක. ඒ අසා නාගසේන කුමාරයා ආරාධනා කොට පාත්‍රය රැගෙන ම නිවසට වඩමවා සිය අතින්ම බෙදා මනාව වළඳවා අවසානයේ දී “ශිල්ප ඉගැන්වුව මැනවයි” ඉල්ලා සිටියේ ය. “කුමරුනි, මෙසේ ගිහි ව සිටිය දී ශිල්ප උගන්වනු නො හැකි ය. මව්පියන්ගෙන් අවසර ගෙන අප සේ ම මහණ වුවහොත් උගන්වමි” කියා රෝහණ තෙරුන් පැවසූ සේක. එවිට කුමරු මව්පියන් වෙත ගොස් “ පියාණෙනි, මව්නි, මේ ශ්‍රමණයන් වහන්සේ තමන් බලවත් ශාස්ත්‍රයක් දක්නා බව කියති. මා ඉල්ලු විට මහණ වුවහොත් මිස දෙන්නට බැරිබව පවසති. මට මහණ වී ශාස්ත්‍රය ඉගෙන ගන්නට අවසර දුන මැනවි’ යැයි කීවේ ය. ඒ අසා මව්පියන් අපගේ පුතු ශාස්ත්‍ර ඉගෙනගෙන උපැවිදි වී නැවත එනු ඇතැයි සිතා මහණවීමට අවසර දුන්හ.

රෝහණ මහතෙරුන් වහන්සේ නාගසේන කුමරු සමග වන්තනිය සේනාසනයට වැඩම කොට පසුදා හිමාලයේ රත්ගල් තලාවට වැඩ රහත් සඟ ගණ මධ්‍යයේ කුමරු පැවිදි කළ සේක. එවිට නාගසේන සාමණේරයන් වහන්සේ “දැන් මා මහණ වූ නිසා පමා නො කර ශිල්ප උගන්වන්නැයිි” ඇය ද සිටියහ. එවිට රෝහණ තෙරුන් “මොහු සාමණේර බැවින් දැන්ම විනය පිටකය ඉගැන්වීම සුදුසු නොවේ. මහා නුවණැත්තෙක් හෙයින් මුලින් ම අභිදම් උගන්වමි කියා සිතා මුලින්ම අභිධර්ම ප්‍රකරණ උගැන්වූ සේක. ඉන්පසු සියුම් නුවණ ඇති විස්මිත ධාරණ ශක්තියක් ඇති නාගසේනයන් වහන්සේ තමන් උගත් ධර්ම පරියායන් මහා රහතුන් මැද කට පාඩමින් පැවසූ සේක. සසුන බබුළුවන මහා පුණ්‍යවන්තයෙකුගේ අසිමරිත් සදහම් පෙළහරක් වූ නිසා ම මහා පොළොව කම්පා විය. දහම් වැසි වැස්ස වූ සාමණේරයන් වහන්සේට උපහාර පිණිස දෙවියෝ දිව මල් වැස්ස වූ හ. 

පසු කලෙක නාගසේනයන් වහන්සේට විසි වයස් සම්පූර්ණ වූ විගස රහතන් වහන්සේ ඒකරාශි වී සාමණේරයන් වහන්සේ අධිසීල උපසම්පදා සීලයෙහි පිහිටවූහ. දිනක් උපාධ්‍යාය තෙරුන් වූ රෝහණ මහරහතන් වහන්සේත් සමඟ පිඬුසිඟා වැඩම කරන නාගසේනයන් වහන්සේට මෙබඳු සිතිවිල්ලක් ඇතිවි ය. “අනේ මාගේ උපාධ්‍යායන් වහන්සේ නො දන්නා තරම්! විනය හා සූත්‍ර තිබෙද්දී මුලින්ම අභිදම් ඉගැන්වී ය. ඒ කළේ කුමක් ද?” කියා යි. රෝහණ මහරහතන් වහන්සේ එම සිතිවිල්ල පරසිත් දක්නා නුවණින් දැක “ආයුෂ්මතුනි, ඔබ සිතූ අයුරු අයහපත් ය. එවැනි සිතිවිලි සිතීම ඔබට තරම් නො වන්නේ” යැයි අවවාද කළ සේක. ඒ ඇසු නාගසේනයන් වහන්සේ “අනේ මගේ උපාධ්‍යායන් වහන්සේ බලවත් වන සේක. ළග සිට කියූ දෙයක් සවණින් අසා දැනගත්තා සේ, මා සිතූ සිතිවිල්ල සොර බඩුත් සමඟ සොරකු අල්ලාගත් සේ දැනගත් සේක” යැයි සංවේගයට පත් වී මහතෙරුන් වහන්සේගෙන් සමාව අයැද සිටියහ.

Saturday, January 8, 2022

මිලින්ද ප්‍රශ්නය

 

උපනුපන් ජාතිත් ප්‍රාර්ථනා ඉටු වුණි

අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ප්‍රතිපත්ති ගරුක භික්ෂු පිරිසක් ගංගාවක් අසල වැඩ වාසය කළහ. 

එහි දී එක් තෙරුන් වහන්සේ නමක් තමන් අතු ගා එකතු කළ රොඩු ගෙන ගොස් දමන ලෙස එක් සාමණේර නමකට පැවරී ය. එම සාමණේරයන් එය නො ඇසුණාක් මෙන් යද්දී දෙවැනි, තෙවැනි වරටත් කී නමුත් නො කළ නිසා අකීකරුකමට දඬුවම් කොට හික්මවන්නට සිතා ඉදල් මිටෙන් පහරක් ගැසී ය.

සාමණේරයන් වහන්සේ හඬමින්, කසළ ගොඩ ගෙන ගොස් නො දැමුවොත් තවත් විරසක වේයැයි බියෙන්, කොළ රොඩු ගොඩ ගෙන යමින් මෙසේ සිතී ය. “මම මේ පහර කෑවේ තේජස් නැති නිස යි. එනිසා මේ පින හේතුකරගෙන නිවන් දක්නා ජාති දක්වා, උපනුපන් තැන අහස් මුදුනේ දිලිසෙන හිරු සේ තේජස් ඇත්තෙක් වෙම්වා! යි පැතූහ.

ඉන්පසු පැන් පහසුවීමට නදියට වැඩම කොට ගංගාවෙන් දියරැළි දෙස බලාගෙන මෙසේ පැතු සේක.”මේ ජාතියේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කසළ බැහැර කළ මේ පිනෙන් මහ ප්‍රඥාවෙන් යුක්ත වෙම්වා! මේ ගංගාවේ දිය රැලි නැගෙන්නා සේ ගැඹුරු ප්‍රශ්න විමසමින් සියලු වාද විවාද නගන්නට ප්‍රතිබල ඇත්තෙක් වෙම්වා!” හඬ නගා ප්‍රාර්ථනා කළහ.

එවිට පැන් පහසු වීමට වැඩම කළ, කසළ බැහැර කිරීමට අණකළ තෙරුන් වහන්සේට එය ඇසී මෙසේ සිතී ය. “ මාගේ විදානයෙන් නො කැමැත්තෙන් කසළ බැහැර කළ මේ පොඩිනම මෙසේ සිතයි. උන්වහන්සේ කළ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේනම්, වත් පිළිවෙත් සරු මා කරන ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ම සමෘද්ධිමත් වේ. භාග්‍යවතුන් වහන්සේ ද සිල්වතුන්ගේ පැතුම් ඉටු වේ යැයි වදාරා ඇත්තා හ. එසේ කල්පනා කොට සාමණේරයන්ගේ ප්‍රාර්ථනාවට අනුව ම මෙසේ පැතූ සේක. “මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා උපනුපන් ජීවිතවල මේ ගඟේ රළ ගැස්ම මෙන් ක්ෂය නො වන වැටහීම් නුවණ ඇතිව වාද – ප්‍රතිවාදයන්ට පිළිතුරු දීමෙහි සමර්ථ වෙම්වා! ගඟ දිය වියළවා දමන ගිම්හානයෙහි මුදුන් වූ වණ්ඩ හිරු මඬල පරිද්දෙන් මේ සාමණේරයන්ගේ වාද ප්‍රතිවාදයන් මැඬ පවත්වන්නට හැකි ගම්භීර නුවණැත්තෙක් වෙම්වායි! ප්‍රාර්ථනා කළහ. දෙදෙනා වහන්සේ ම පින් රැස් කරමින් මෙසේ පැතූ හෙයින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වන තුරුම දෙව් මිනිස් දෙ ගතියෙහි උපත ලබමින් පැමිණියහ.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර දක්වා, තීර්ථකයන්ගේ මානය සිඳ දමා තව්තිසා දෙව් ලොවට වැඩම කොට; මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙව් පිරිසට ධර්මය දේශනා කරන කල්හි මේ දෙව්පුතුන් දෙදෙනා ද දුටු සේක. අනාගතයේ තිස්ස බ්‍රහ්මරාජයා මනුලොව ඉපිද මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ බවට පත්ව ශාසනය බබළවන්නා සේ, මේ දෙව්පුතුන් දෙදෙනා ද තථාගත පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගිය තැන මනුලොව ඉපිද මිළිඳු – නාගසේන නමින් සසුන බබළවන බව වදාළ සේක. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑ කරමින් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ අවදියේ පැතූ පැතුම් ඇති සාමණේර නම හෙවත් දිව්‍ය පුත්‍රයා දෙව් ලොවින් චුතව දඹදිව සාගල නුවර ගී‍්‍රක රජ කුලයේ මිළිඳු නමින් උපන්නේ ය. ප්‍රාර්ථනා පරිදි මහා නුවණැති ව උපන් හෙයින් බොහෝ ශිල්ප ශාස්ත්‍රාදිය ඉගෙනගෙන රජ කුලයෙන් ද ආඩ්‍ය වූයෙ ්ය. තේජසින්, නුවණින්, බල පරාක්‍රමයෙන් රූපා ශෝභාවෙන් මිිළිඳු රජු අභිබවා රජෙක් එකල දඹදිව් තලයෙහි නො සිටියේ ය. දිනක් රජතුමා චතුරංගනී සේනා පිරිවරා මහත් වූ රාජානුභාවයෙන් අගනුවර සිටිද්දී තමන් හා දහම් පිළිසඳරක යෙදෙන්නට සුදුසු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් සිටිත්දැයි ඇමැතිවරුන්ගෙන් විචාළේ ය. ඇමැතිවරු තම තමන් උගත් ආගමික මත අනුව පූර්ණකස්සප, නිගණ්ඨනාථ පුත්ත ආදී ශාස්තෘවරුන්ගෙන් පැවතගෙන එන මිථ්‍යාමතධාරි තීර්ථකයන් ගැන පැවසූහ. මිළිඳු රජතුමා ඔවුන් කරා ගොස් කතාබහ කළ පමණකින් එම නිසරු මතවාදවල ඇති අරුත් සුන්බව වටහාගෙන එය පෙන්වා දී එම අන්‍යාගමික තීර්ථකයන් නිරුත්තර කළෙ ්ය.

ඉන්පසු රජතුමා ඇමතිවරු අමතා මෙසේ පැවසී ය. “තොප හැම පැවැසූ ලෙසින් තර්ක කරන්නට ගොසින්, වෙළෙදාමේ ගොස් හිස් අතින් ආ පරිද්දෙන් කිසි සාරයක් නො ලැබී ය. මේ රාත්‍රියේ කවර නම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කරා ගොස් සවණට මිහිරි අර්ථවත් කතාවක් අසන්නෙම් ද? කවරෙක් නම් අපගේ සැක දුරු කරන්නට සමත්දැයි” රජතුªමා විමසා සිටියේ ය. ඇමැතිවරු පිළිතුරක් දී ගත නො හැකිව නිශ්ශබ්දව බලා සිටියහ. 

හිමාලයේ රත්ගල් තලාවේ වැඩ වසන අස්සගුප්ත මහරහතන් වහන්සේට මිළිඳු රජතුමා කී “දඹදිව් තලය නුවණැත්තන්ගෙන් හිස් ය” යන වදන දිව්‍ය ශ්‍රවණයෙන් අසන්නට ලැබුණි. උන්වහන්සේ තමන් හා වසන රහතන් වහන්සේ රැස්කර මිළිඳු රජතුමා හා දහම් සංවාදයක යෙදිය හැකි කෙනෙක් සිටිත්දැයි විමසී ය. වාද විවාද කිරීම සමාධි සමාපත්තීන්හි සමවැදී දිට්ඨධම්ම සුඛ විහරණයේ යෙදීමට පළිබෝධයක් බැවිනුත්, අදාළ පුණ්‍ය සංස්කාර ඇත්තේ තමන්ට නො වන බැවිනුත්, ඒ සඳහා සුදුසු කවරෙක්දැයි දන්නා නිසාත්, කිසිම රහතන් වහන්සේ නමක් ඉදිරිපත් නො වූහ.

ඉන්පසු අස්සගුප්ත මහරහතන් වහන්සේ පැතුම් පරිදි මිළිඳු රජුගේ වාද ප්‍රතිවාද සිඳ බිඳ සසුන බඹුළුවන්නට සමත් මහාසේන නම් දිව්‍ය පුත්‍රයෙකු ඇතිබව පවසා එම සියලු රහතන් වහන්සේ සමග සෘද්ධි බලයෙන් තව්තිසා දෙව්ලොව පහළ වූ සේක. එවිට සක්දෙව්ඳු පහන් සිත් ඇතිව පෙරට විත් අස්සගුප්ත මහරහතන් වහන්සේට ගෞරවයෙන් වන්දනා කොට “මෙ තරම් විශාල සඟ පිරිසක් සමඟ දෙව්ලොව වැඩියේ කුමක් පිණිස ද? කියා විමසුවේ ය. අස්සගුප්ත මහරහතන් වහන්සේ කරුණු පහදා දී ශක්‍ර දෙවිදුන් ලවාම ප්‍රකාශ කරනු පිණිස මිනිස් ලොව ඉපද මිළිඳු රජතුමා හා කතාබස් කරන්නට සමත් දෙව් කෙනෙකු ඇත්දැයි ඇසූ සේක. එවිට සක්දෙව්දු “ ස්වාමිනි, මිළිඳු රජතුමා ද මෙම තව්තිසා දෙව් ලොවින් ම චුත වී මිනිස් ලොව උපන්නෙකි. ඔහු හා දහම් කතා කරන්නට සමත් දිව්‍ය පුත්‍රයා ඉන්නේ අර පෙනෙන කේතුමති නම් විමානයේ වසන මහාසේන දෙවියන් ය. මිනිස් ලොව ඉපිද මිළිඳු රජු හා කතාබස් කරන්නට ඔහුගෙන් ඉල්ලා සිටිමු” යැයි පැවසී ය.

ඉන්පසු රහතන් වහන්සේ සක් දෙවිදු ලවා මහාසේන දෙවියාගෙන් එසේ ඉල්ලා සිටි විට මුලින් මිනිස් ලොව උපදින්නට දෙව්පුතු අකැමැති විය. එවිට අස්සගුප්ත මහරහතන් වහන්සේ මහාසේන දෙවියන් අමතා මෙසේ පැවසූ සේක. “ දිව්‍ය පුත්‍රය, මිනිස් ලොව උපදින්නට අකැමැති නො වන්න. ඔබට කිරීමට බලවත් ශාසනික කටයුත්තක් යෙදී ඇත්තේ ය. අපි මුළු ලොව ම අරහත් නුවණින් විමසා බලද්දී එම ශාසන සංග්‍රහයට ඔබ සුදුසු බව දැක්කෙමු. එමනිසා මේ සා මහත් වූ රහතුන්ගේ ඇරයුම පිළිගෙන මිනිස් ලොව ඉපිද මිළිඳු රජතුමාගෙන් භික්ෂු සංඝයාට ඇතිවන පීඩාව දුරලා ශාසනචිරස්්ථිතිය පිණිස කටයුතු සලසනු මැනව“ යි ඉල්ලා සිටියේ ය.

මහාසේන දෙව්පුතු එය අසා “ මා නිසා මහත් වූ ශාසනික සංග්‍රාමයක් වන්නේ යැයි” ඔද වැඩී ගිය සිතින් යුතුව එම ඉල්ලීම පිළි ගත්තේ ය. ඉන්පසු ඒ උතුම් මහරහතන් වහන්සේ මනුලොවට වැඩම කොට, නිරෝධ සමාපත්තියට සම වැදී සිටි නිසා දෙව්ලොව ගමනට සහභාගි නො වූ රෝහණ නම් මහතෙරුන් කැඳවා මෙසේ පැවසූහ. “ආයුෂ්මතුනි, මිළිඳු රජතුමා හා සංවාදයේ යෙදෙන්නට කෙනෙක් නො මැතිව බුදු සසුන උපද‍්‍රවයක් ඇති වී තිබෙද්දී, එය සංසිඳවීමට මැදිහත් නො වී උදාසින වූයේ මක් නිසා ද? ශාසනය නගා සිටුවීමට කටයුතු කළයුතු නොවේ ද? කියා ය. එවිට රෝහණ තෙරුන් දෙව්ලොව ගමනට එක්වීමට නො හැකි වූ නිසා මා දැන් කුමක් කළයුතුදැයි සංඝයාගෙන් නිහතමානීව විමසී ය. එවිට අස්සගුප්ත තෙරණුවෝ මෙසේ වදාළ සේක. “ ආයුෂ්මතුනි, හිමාලය ආසන්නයෙහි කජාගල නම් බ්‍රාහ්මණ ගමෙහි උභයකුල පාරිශුද්ධ බමුණුතුමාට දාව බැමිණියගේ කුසේ නොබෝ දිනකින් මහාසේන දෙව්පුතු පිළිසඳ ගන්නේ ය. ඔහු මව්කුසින් බිහි වී නාගසේන කුමරු කියා ප්‍රසිද්ධ වන්නේ ය. ඔබ වහන්සේ කිසිවක් ම නො ලැබෙන නමුත් අවුරුදු දස මසක්ම ඒ නිවසට පිඬුසිඟා වැඩමකොට නාගසේන කුමරු පැවිදි කළ යුත්තේ ය.

මහාසේන නම් දෙව්පුතු දෙව් ලොවින් චුතව කණගලවාසී සෝණුත්තර නම් බමුණාට දාව බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේ ය. එවිට පුණ්‍ය තේජස නිසා ගම පුරා තිබූ අවි ආයුධ දිළිසෙන්නට පටන් ගත්තේ ය. මහත් වූ වර්ෂාවක් ද පතිත විය. එදින පටන්ම රෝහණ තෙරුන් ද එම බ්‍රාහ්මණයාගේ නිවසට පිඬුසිගා වැඩීම ආරම්භ කළ සේක.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...