Saturday, November 6, 2021

පංච නීවරණ ධර්ම : ථීනමිද්ධ නීවරණය



පංච නීවරණ ධර්ම :

ථීනමිද්ධ නීවරණය

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි


ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව සසරින් නිදහස් වීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ යුතු බව දේශනා කළා. එහිදී හමුවන ප්‍රධාන බාධක පහක් පිළිබඳවත් උන්වහන්සේ දේශනා කළා.


ඒ තමයි නීවරණ. නිවන් මග අහුරාලන කරුණු, එවැනි නීවරණයන් පහක් දේශනා කර වදාළා. ඒ අතරින් නිවන්මග අහුරාලන ප්‍රධාන කරුණක් වන නිදිමත හා අලසබව (ථීනමිද්ධය) පිළිබඳවයි, මෙහිදී විස්තර කෙරෙන්නේ. ථීනමිද්ධය පිළිබඳ බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවලදී කරුණු පැහැදිලි කර තිබෙනවා.


අංගුත්තර නිකායේ හතරවන භාගයේ පචලායන සූත්‍රයේ දී ත්, ඒ වගේම අංගුත්තර නිකායේ සංහාරව සූත්‍රයේ දී ත් බුදුන්වහන්සේ ථීනමිද්ධය පිළිබඳව විවරණය කර තිබෙනවා. සංයුක්ත නිකායේ අටුවාව තුළත් ථීනමිද්ධය දුරුකර ගැනීමට ආලෝක සංඥාව වැඩීම පිළිබඳව දේශනා කරනවා. දීඝනිකායේ සීලස්ඛන්ධ වර්ගයේ සාමඤ්ඤඵල සූත්‍ර ආදි සූත්‍රවලදී මේ පිළිබඳව ඉගෙන ගන්නට ලැබෙනව, අද මේ සඳහා අංගුත්තර නිකායේ හතරවන කොටසේ අභ්‍යකත වර්ගයේ පචලායන සූත්‍රය, නැතිනම් නිදිකිරා වැටීම ගැන ඍජු ලෙස කළ දේශනාවෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.


එදා බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයේ සුංසුමාරගිරබේසකලා වනයෙහි වැඩවාසය කරන විට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මගධ ජනපදයේ කල්ලවාලමුත්ත ග්‍රාමයේ නිදිකිරා වැටෙමින් වාඩි වී සිටින ආකාරය බුදුරජාණන් වහන්සේට දිවැසින් දැකබලා ගන්නට ලැබෙනවා. උන්වහන්සේ බලවත් පුරුෂයෙක්. හැකිලූ අතක් දිගහරින්නේ යම් සේ ද, දික්කල අතක් හකුලන්නේ යම් සේද ඒ ආකාරයෙන් මුගලන් මහරහතන් වහන්සේ වැඩසිටින ස්ථානයෙහි පෙනී සිට උන්වහන්සේගෙන් විමසා සිටියා ‘ඔබ නිදිකිරා වැටෙනවා නේද? කියලා. එහෙමයි ස්වාමීනි කියල මොග්ගල්ලානයන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහි දී ථීනමිද්ධය නැතිකර ගැනීම පිණිස උන්වහන්සේ මේ ආකාරයට උපදෙස් මාලාවක් දෙනවා. “යම් සංඥාවකින් වාසය කරනවිට නිදිමත එනවා නම් අන්න ඒ සංඥාව මෙනෙහි කරන්න එපා. බහුලව වඩන්න එපා. එසේ කරද්දි නිදිමත ප්‍රහාණය වෙනවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා .


ඒ ආකාරයටත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් තමන් ශ්‍රවණය කළ ධර්මය සිතින් අනුවිතර්ක කරන්න. අනුවිචාර කරන්න. එය මනසින් මෙනෙහි කරන්න. එවිට නිදිමත ප්‍රහාණය වෙනවානම් ඒක වෙන්න පුළුවන් දෙයක්. ඉන්පසුව උන්වහන්සේ දේශනා කරනවා “මොග්ගල්ලාන ඔබ ඇසූ ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනය කරන්න. එවිට නිදිමත ප්‍රහාණය වෙනවා නම් ඒක වෙන්න පුළුවන් කරුණක්.


ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඒ ආකාරයටත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් කන්පෙති, දෙකන් හා අත්පා, අත්ලෙන් හොඳින් පිරිමදින්න. එවිට නිදිමත ප්‍රහාණය වෙනවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක්.


ඒ ආකාරයටත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් මොග්ගල්ලාන ඔබ ඉඳගෙන සිටින ආසනයෙන් නැගිටලා සිහිල්දිය අරගෙන ඇස් දෙක සෝදන්න. ඉන්පසුව වටපිට බලන්න. අහස දෙස තරු දෙස බලන්න. එවිට නිදිමත ප්‍රහාණය වෙනව නම් ඒ නිදිමත ප්‍රහාණය වෙන්න පුළුවන් කරුණක් හැටියට බුදුරදුන් පෙන්වා දුන්නා. එහෙමත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් ආලෝක සංඥාව මෙනෙහි කරන ලෙස දේශනා කළා.. ඒ ආකාරයට නිදිමතට යට නොවී ප්‍රභාස්වරව සිත මඩන්න යැයි උන්වහන්සේ දේශනා කළා. ඒ ආකාරයට වාසය කරනවිට නිදිමත ප්‍රහාණය වෙනවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක් ලෙසට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.


ඒ අවස්ථාවේදීත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් අධිෂ්ඨානයෙන් යුක්තව සක්මනෙහි නිරත වන ලෙස පැවසුවා. එවිට නිදිමත ප්‍රහාණය වෙනව නම් ඒක වෙන්න පුළුවන් දෙයක් කියල උන්වහන්සේ දේශනා කළා. එලෙස වාසය කරද්දීත් නිදිමත ප්‍රහාණය වෙන්නේ නැතිනම් දකුණු පාදයෙන් වම් පාදය මදක් ඇළට තබාගෙන සිහිනුවණින් යුක්තව නැගිටිමි කියන සංඥාව මෙනෙහි කරගෙන සිංහ සෙයියාවෙන් මතු වේලාවක් සැතපෙන්න. අවදි වූ විගස වහාම නැගිටින්න. නිද්‍රා සැපයෙහි, ස්පර්ශ සැපයෙහි, අලස සැපයෙහි නැවත නැවත යෙදෙමින් වාසය කරන්නේ නැහැ කියල නික්මෙන්න කියල බුදුරදුන් දේශනා කළා .


ඒ වගේම යම් භික්ෂුවක් මානය නමැති හොඬවැල දැඩිව ඔසවාගෙන දායක පවුල් කරා එළඹෙන්නේ නැහැ කියල හික්මෙන්න කියලත් බුදුරදුන් දේශනා කරනව. එවිට මොග්ගල්ලානයන් වහන්සේ බුදුරදුන්ට ප්‍රකාශ කරනවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංශේපයෙන් දේශනා කරන්නේ භික්ෂුවක් තණ්හාව ගෙවා දමා දුකින් නිදහස් වෙනවා නම් නියම ලෙස නිවන් මගේ නිමාවට පැමිණියා” කියන බවයි. දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා කියන අර්ථයයි.


එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “පින්වත් මොග්ගල්ලායන සංෂේපයෙන් කියනවා නම් භික්ෂුවක් තණ්හාව ගෙවා දැමීමෙන් දුකින් නිදහස් වෙනවා. ඒ අත්‍යන්ත වූ නියම නිෂ්ටාවට පැමිණෙනවා. අත්‍යන්ත වු බ්‍රහ්මචාරි තත්ත්වයට පත්වෙලා, අත්‍යන්ත වූ නිවන් මගේ නිමාවට පැමිණෙනවා. දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වෙනවා යනුවෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සමාප්ත කරනවා. මේ වෙසක් සමයේ දී මේ සියලු නීවරණ දුරලා නිවන් මගට පිවිසීමට ඔබ සියලු දෙනාටම වාසනාව උදාවේවා.


අයන්ති විතාන


පංච නීවරණ ධර්ම : ව්‍යාපාද නීවරණය



පංච නීවරණ ධර්ම :
ව්‍යාපාද නීවරණය


ව්‍යාපාදය කියන්නේ සිතක ඇතිවන තරහ සිතිවිලියි. නැතිනම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පංචකාම ගුණ කෙරෙහි කෙනෙකුගේ සිතේ ඇතිවන ගැටීම යි.

ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදය බලවත්වීම පිණිසත් හේතුවන කාරණා බුදුරජාණන් වහන්සේ මනාකොට පෙන්වා දී තිබෙනවා. එනම් හිතේ ගැටීම ඇතිකරවන අරමුණු (පටිඝ නිමිත්ත) පිළිගැනීමත්, අනවබෝධයෙන් ඒ ගැන කල්පනා කිරීමත් තුළින් ව්‍යාපාදය හට ගන්නවා. ඒ වගේ ම හටගත් ව්‍යාපාදය බලවත් වෙනවා. නූපන් ව්‍යාපාදය නූපදීම පිණිසත්, උපන් ව්‍යාපාදය ප්‍රහාණය වීම පිණිසත් උපකාරී වන කරුණු භාග්‍යවතුන් වහන්සේ මෙලෙස දේශනා කොට වදාළා. ව්‍යාපාදය දුරුවීමට නම් කරුණා වූ මෛත්‍රී ආදී ගුණධර්ම බලවත් කර ගැනීමත්, ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීමත් සිදුකළ යුතු යි.

ව්‍යාපාදය ඇතුළු නීවරණ පහ නිසා යථාර්ථය වටහා ගැනීමට නොහැකි පරිදි අරමුණුවලට මුළුමනින්ම වසඟ කරවාලන අන්ධයෙක් බවට පත් කරවනවා. (අන්ධ කරණා) දහම් ඇස නම්වූ නුවණැස නැති කර දමනවා. (අචක්ඛු කරණා) අඤ්ඤාන භාවයේම ගිල්වා තබනවා. (අඤ්ඤාණකරණා) සද්ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නැතිකර දමනවා. දුක් උපදවාලන පක්ෂයටම අයිති වෙනවා. සංසාර දුකින් නිදහස් වීම පිණිස උපකාර නොවේ. (අනිබ්බාණා සංවත්තනිකෝ) කියා ශාස්තෘන් වහන්සේ වදාළා. එනිසා ධම්මානුපස්සනාවේ යෙදෙන ශ්‍රාවකයා, අකුසල් ගොඩක් කියා හඳුන්වන මෙම නීවරණ ප්‍රහාණය කිරීමට සිහිය, නුවණ වීරිය, යොදවනවා.

හු පංච කාම ගුණයන් කෙරෙහි ගැටීම තමා තුළ පවතින කල්හි ව්‍යාපාදය මා තුළ දැන් පවතී යයි මනා කොට දැන ගන්නවා. (සන්තං වා අජ්ඣත්තං ව්‍යාපාදං, අත්ථි මේ අජ්ඣත්තං ව්‍යාපාදෝති පජානාති

තරහ ඇතිවූ විට නුවණින් තමන්ගේ සිත දෙස බලනවා. මේ තරහ ඇතිවුණේ පටිඝ නිමිත්ත යි, අයෝනිසෝ මනසිකාරය යි නිසා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් පටිඝ නිමිත්ත බැහැර කර මෛත්‍රී නිමිත්තක සිත පිහිටුවා ගැනීමයි එතැන දී කරන්න තිබෙන්නේ. මේ ආකාරයට යෝනිසෝ මනිසිකාරයන් මෙත් සිත ඇතිකරගෙන ව්‍යාපාදය දුරු කරගත්විට, දැන් මගේ සිතේ තරහක් නැහැ යනුවෙන් මනාකොට තේරුම් ගන්නවා. (අසන්තං වා අජ්ඣත්තං ව්‍යාපාදං, නත්ථි මේ අජ්ඣත්තං ව්‍යාපාදෝති පජානාති)

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළා, යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා, තමා තුළ හට නො ගන්නා වූ ව්‍යාපාදය හටගන්නේ වෙයි ද , ශ්‍රාවකයා එය ද මනාකොට දැන ගන්නවා. (යථා ච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උප්පාදෝ හෝති තඤ්ච පජානාති) යම් ආකාරයකින් සතිපට්ඨානයෙහි සිත මනාව පිහිටුවා ගැනීම නිසා කලින් හටගෙන තිබුණා වූ ව්‍යාපාදය ප්‍රහීණ වී යන්නේ වේ ද, එය ද මනාකොට දැන ගන්නවා. (යථා ච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහාණං හෝති, තඤ්ච පජානාති) එසේම යම් ආකාරයකින් අවබෝධ ඤාණය තුළින් යථාර්ථය දැකීම නිසා ප්‍රහීණ වී ගියා වූ ව්‍යාපාදය , මතු කිසි කලෙකත් හට නො ගන්නේ වේ ද, එය ද මනාකොට දැනගන්නවා. (යථා ච පහීණස්ස ව්‍යාපාදස්ස ආයතිං අනුප්පාදෝ හෝති, තඤ්ච පජානාති)

ව්‍යාපාදය ආදී නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීමට උනන්දුව ඇතිවන්නේ ඒවායෙහි ආදීනව ධර්ම නුවණින් විමසා බැලීමෙනි. භාග්‍යවතුන් වහන්සේ අකුසල රාසි නම් සූත්‍ර දේශනාවේ දී නීවරණයන් ගැන වදාළේ මෙලෙසිනි. “පින්වත් මහණෙනි, අකුසල් ගොඩක් කියා යම් දෙයකට කිවයුතුනම්, මේ පංච නීවරණයන්ට ම කිව යුතු ය. මේ පංච නීවරණ තනිකරම අකුසල් ගොඩකි.”

එමෙන් ම, සංයුත්ත නිකායෙහි කිලේස සූත්‍රයෙහි දී, භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් මෙලෙසින් කරුණු පෙන්වා දුන් සේක. “පින්වත් මහණෙනි, කිළිටි වී ගිය අපිරිසුදු රත්තරන් මෘදුත් නොවේ. කර්මණ්‍යත් නොවේ. ප්‍රභාස්වරත් නොවේ. වහා කැඩෙන්නේ ද වේ. එවැනි රත්තරන්, ආභරණ තැනීම වැනි රනින් කරන කටයුතු සඳහා ද නො ගනී.

පින්වත් මහණෙනි, එපරිද්දෙන් ම පංච නීවරණයන්ගෙන් කිලිටි වී ගිය අපිරිසුදු සිත මෘදුත් නොවේ. කර්මණ්‍යත් නොවේ. ප්‍රභාස්වරත් නොවේ. වහා බිඳ වැටෙයි. සිතෙහි මුල් බැසගත් කෙලෙසුන් ක්ෂය වීමට සුදුසු පරිද්දෙන් මනාකොට සමාධිමත් ද නොවේ.

පංච නීවරණයන්ගෙන් සිත මුදවා ගැනීම සද්ධර්මය තුළ ස්ථිරසාර ප්‍රගතියක් උදාකර ගැනීමට අතිශයින් ම රුකුල් දෙන බව භාග්‍යවතුන් වහන්සේ පුන පුනා වදාළ සේක. එබැවින් ව්‍යාපාදය ආදී මෙම නීවරණයන් පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කරගැනීම ශ්‍රාවකයා කළයුතුම දෙයකි. අප මුලින් ම ඉගෙනගත් පරිදි ව්‍යාපාදය හටගන්නේ හේතු ප්‍රත්‍ය සහිතව ම ය. පවතින්නේ ද හේතු ප්‍රත්‍ය සහිතවම ය. ඒ හේතුන්, ඒ ප්‍රත්‍යයන් නැතිවීමෙන් ව්‍යාපාදය ද නැති වී යයි.

එනිසා අපගේ ශාස්තෘන් වහන්සේ වදාළ අයුරින් ව්‍යාපාදය ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රිය ප්‍රගුණ කිරීමට අපි සියලු දෙනාම උත්සාහවත් වෙමු. එය සම්බුදු තෙමඟුල සමරන, මෙම උතුම් වෙසක් සමයේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිදුකළ හැකි උතුම් ප්‍රතිපත්ති පූජාවකි.

නයනා නිල්මිණී


පධානික තෙරුන්ගේ බණ

 

12-3

පධානික තෙරුන්ගේ බණ 

අත්තානඤ්චෙ තථා කයිරා යථඤ්ඤමනුසාසති

සුදන්තො වත දම්මෙථ අත්තා හි කිර දුද්දමො.

අනෙකකුට යම්සේ අනුශාසන කෙරේ ද, එසේ ම තමා ප්‍රතිපත්තිසාරයකු කරන්නේ වී නම්, හේ තෙමේ මනා වැ දැමුනේ අනුන් දාන්ත කරන්නේ ය. යම් හෙයකින් තමා දමනය කිරීම දුෂ්කර ද (හෙවත් ආත්ම දමනය උගහට ද,) එ හෙයිනි. (යම් ලෙසෙකින් තමා දාන්ත කරණ ලද්දේ මොනවට දැමුනේ නම් වේ ද එ ලෙස දැමිය යුතු).

පධානික ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් වෙතින් කමටහන් උගෙණ තවත් මහණුන් පන් සියයක් කැටු ව වනයට ගියහ. වනයට ගොස් එහි වස් එළඹියහ. වස් එළැඹි දිනයෙහි සෙසු වහන්දෑට “තමුන්නාන්සේලා මෙහි ආවහු, ජීවමාන බුදුරජුන් වෙතින් කමටහන් උගෙණ ය. එහෙයින් නො පමා ව මහණදම් කරවු” යි කියා තෙමේ ගොස් නිදන්නේ ය. සෙසු මහණේ මුල් යම සක්මන් කොට මැදුම් යම වෙහෙරට වැද ගණිත්, පධානික ස්ථවීර තෙමේ නිදා නැගිට ඒ මහණුන් වෙත ගොස් “කිම, මේ උන්නාන්සේලා කැලයට ආවෝ, නිදා ගැණුමට ද, වහා නැගිට ගොස් මහණදම් කරවු” යි තෙමේ ගොස් එසේ ම නැවැතත් නිදයි. අන් මහණෝ මැදුම් යමෙහි ද එලි බැස සක්මන් කොට පාන් වන්නට ලං වත් ම වෙහෙරට වැද හිඳිත්. පධානික තෙමේ නැවතත් නින්දෙන් නැගිට මහණුන් වෙත ගොස් ඒ මහණුන් වෙහෙරින් එලියට ඇද දමා අවුත් නැවතත් නිදයි. පධානික ස්ථවියන් නිතර මෙසේ කරණ බැවින් ඒ සෙසු මහණෝ හැදෑරීමක් කමටහන් වැඩීමක් කර ගන්නට නො හැකි ව කලකිරීමට පත් වූහ. සිත් අන් අතට පෙරළින.

එකල්හි ඒ භික්‍ෂූන් වහන්සේලා “අපේ ස්වාමීන් වහන්සේ ඉතා ඕනෑකමින් මහණකම ගැණ උත්සාහයක් දක්වති, උන්වහන්සේ එය කෙසේ කරත් දැ යි අපත් පරීක්‍ෂා කොට බැලිය යුතු ය” යි පරීක්‍ෂා කරන්නෝ, ඔහු මහණකම කරණ හැටි දැක “ඕ, වැඩේ වැරදුනි, අපේ ස්වාමීන් වහන්සේ බොරුවට හඩ නගන්නෙකැ” යි කීයන්නට වූහ. ඒ භික්‍ෂූන් වහන්සේලා නිදි වැරීමෙන් තදින් වෙහෙසට පත් ව කිසි විශේෂගුණයෙක් උපද වන්නට නො හැකි වී වස් අවසන් කොට පවරා බුදුරජුන් වෙත ගොස් පිළිසඳර කතාවට වැටුනාහ. බුදුරජානන් වහන්සේ “කොහොම ද, තමුසේලා මහණදම් පිරූවහු දැ?” යි ඇසූහ. ඒ වේලෙහි ඒ භික්‍ෂූහු එහි දී සිදු වූ හැටි දන්වා සිටියහ. “මහණෙනි! ඔය උන්නාන්සේ තමුසේලාට පෙරත් ඔය හැටියට ම අන්තරාය කළහ” යි වදාළ කල්හි “ස්වාමිනි! ඒ වදාරණු මැනවැ” ඔවුහු ආරාධනා කළහ. එකල්හි බුදුරජානන් වහන්සේ;

“දැහැමි මවුපිය වෙත - නො වැඩි ගුරුකුලයෙහි නිසි,

නො වැසි මේ කුකුළු - කල් නො කල් නොම දන්නේ”

යි අකාලරාවී කුක්කුටජාතකය වදාළ සේක. නැවත උන්වහන්සේ “මහණෙනි! මේ පධානිකයා එදා ඒ කුකුළා ය. මේ පන් සියයක් දෙන එදා ඒ තරුණයෝ ය. දිසාපාමොක් ඇදුරු මමැ” යි ජාතකය විස්තර කොට වදාරා “මහණෙනි! අනුනට බණ කියන්නහු, හොඳට හැදුනකු විය යුතු ය. දැමුනකු හික්මුනකු විය යුතු ය. බණදහම් දන්නකු විය යුතු ය. මෙසේ අවවාද කරන්නේ හොඳට දැමුනෙක් ව පරහු දමන්නෙක් හදන්නෙක් වන්නේ ය” යි මේ ධර්‍මදේශනාව කළ සේක.

අත්තානං චෙ තථා කයිරා යථඤ්ඤමනුස්සාති,

සුදන්තො වත දමෙථ අත්තා හි කිර දුද්දමොති.

පරහට යම් ලෙසකින් අනුශාසනා කරේ නම්, තමාත් ඒ අනුශාසනා ලෙසින් කරන්නේ නම්, එකාන්තයෙන් තෙමේ මනා ව දැමුනේ පරහු දමන්නේ ය. ආත්මය දමන්නට දුෂ්කරය.

අත්තානං චෙ තථා කයිරා යථා අඤ්ඤං අනුසාසති = යම් ලෙසකින් පරහට අනුශාසනා කෙරේ නම්, තමාත් එසේ ම කරන්නේ ය.

“සත්තු නො මැරිය යුතු ය. හොරකම් නො කළ යුතු ය. පරඹුවෝ නො සෙවිය යුතු ය. පරපුරුෂයෝ නො ගත යුතු ය. බොරු නො කිය යුතු ය. මත් පැන් නො පිය යුතු ය. මහණදම් කළ යුතු ය. සිල් පිරිසිදු කර ගත යුතු ය. පොහොය කළ යුතු ය. ඇවැත් නො වැදිය යුතු ය. ඇවැත් දෙසිය යුතු ය. පිරිස් වෙස් පිරිය යුතු ය. මානත හැසිරිය යුතු ය. අබ්භාන කළ යුතු ය. වත් පිළිවෙත් පිරිය යුතු ය. ගම් නො වැදිය යුතු ය. වැඩි මහල්ලෝ පිදිය යුතු ය. තෙරුවන් වැඳිය යුතු ය. කෑම් පීම් හිඳිනා ගෙවල තබා නො ගත යුතු ය. නො සුදුසු වේලෙහි කෑම් පීම් නො ඇල්ලිය යුතු ය. නො නිදිය යුතු ය. නිදි වැරිය යුතු ය. භාවනා කළ යුතු ය. නීවරණයන්ගෙන් සිත පිරිසිදු කර ගත යුතු ය. කෝලාහල නො කළ යුතු ය. අකැප දෙය හළ යුතු ය” යන ඈ ලෙසින් පරහට යම් ලෙසකින් අනුශාසනා කරන්නේ නම්, බණ කියන්නේ නම්, තමාත් මේ කියු ලෙසින් වරදින්, නො කළ යුත්තෙන්, පවින්, අකුශලයෙන් අස්විය යුතු ය. යමෙක් පවකම් කෙරේ නම්, වරදෙහි බැඳේ නම්, අකැපයෙහි යෙදේ නම්, ඔහු සෘද්ධිවිහාරික - අන්තේවාසික - දායකාදී කිසිවකු වරදින්, නො කළ යුත්තේ පවින් අකුශලයෙන් මුදා ලන්නට අපොහොසත් වේ. ඔවුනට හිතවැඩ සැලසීමෙහි අසමර්‍ත්‍ථ වේ. බොහෝ දෙන පරහට අනුශාසනා කරන්නෝ ය. බණ කියන්නෝ ය. එහෙත් ඒ අනුශාසකයෝ බණ කියන්නෝ වැඩි දෙන පව් කම් කරන්නෝය වරදෙහි යෙදී සිටින්නෝ ය. අවැඩ කරන්නෝ ය. මෙසේ පව්කම් කරමින් වරද කරමින්, අවැඩ කරමින් පරහු වරදින් මුදා ලන්නට අනුශාසනා කරන්නෝ, බණ කියන්නෝ ගිහි පැවිදි දෙ පසෙහි ම බහුල ව දක්නා ලැබෙත්.

සුදන්තො වත දමෙථ = තෙමේ මොනවට දැමුනේ පරහු දමන්නේ ය.

යමෙක් යම් ධර්‍මයකින් ශාස්ත්‍රයකින් ගුණයකින් මොනවට දැමුනේ ද, වැඩුනේ ද, ඔහු ඒ තමන් දැමුනු වැඩුණු ධර්‍මයෙන් ශාස්ත්‍රයෙන් ගුණයෙන් පරහු ද දමන්නේ ය. වඩන්නේ ය. තෙමේ නා දැමුනේ නො වැඩුනේ, පරහු දමන්නේ ය, වඩන්නේ ය, යනු නො ඇදහිය හැකි ය. අදහන්නන්ට කරුණු නැත්තේ ය. නො දැමුනෙක් අන්හු දමන්නේ ය, නො උගතෙක් අන්හු උගත් කරන්නේ ය. අශික්‍ෂිතයෙක් අනුන් ශික්‍ෂිත කරන්නේ ය, යනු නො පිළිගැනෙන්නේ ය.

“ජාතිමාත්‍රයෙන් මහාපුරුෂභාවයට පත් වූවෝ ද, ගුණනුවණින් නො දැමුනෝ නො වැඩුනෝ අන්හු දමන්නට වඩන්නට අපොහොසත් වෙති” යනු ඒකාන්තය. “එතෙර වුනෙම් අන්හු එතෙර කරන්නෙමි, මිදුනෙම් අන්හු මුදන්නෙමි, දැමුනෙම් අන්හු දමන්නෙමි” යන මහා පුරුෂ වචනයෝ සාධක වෙති.

අත්තාහි කිර දුද්දමො = ආත්මදමනය දුෂ්කර ය. ආත්මය දමනය කිරීම පහසු නො වේ.

මෙහි අත්තා යනු සිත ය. චිත්තදමනයට, ආදියෙහි ශීලයෙන් මද්ධ්‍යයෙහි සමාධියෙන් අවසානයෙහි ප්‍රඥාවෙන් හික්මිය යුතු ය. මුළුමනින් චිත්තදමනය වනුයේ, සිවු වැදෑරුම් මගපල නුවණින් අක් මුල් නො කියැකි කලක පටන් සිතෙහි තැන්පත් ව එන රාග ද්වේෂ මෝහාදී වූ බලතර කෙලෙසුන් ඉතිරි නො කොට සිඳ හැරීමෙන් ය. සිත දැමුනේ නම්, එවිට ය. ඉන් මෙ පිට චිත්තදමනය ධර්‍ම ශාස්ත්‍ර ඉගෙණීමෙන් ආචාර්‍ය්‍යොපාධ්‍යාය මාතෘ පිතෘ ආදීන්ගේ අවවාදයෙන් කල්‍යාණමිත්‍රයන්ගේ ආශ්‍රයෙන් ඔවුන්ගේ සේවනයෙන් දැහැමි වට පිටාව හා ගැටීමෙන් වන්නේ ය. නැත, බතින් බුලතින් ඇඳුමෙන් කැඩුමෙන් කුලයෙන් ධනයෙන් නො වන්නේය. කරුණු මෙසේ බැවින් ලෝකයෙහි වූ දුෂ්කර ක්‍රියාව නම්, සිත දමනය කිරීමැ යි බුදුරජානන් වහන්සේ වදාළ සේක.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ පන් සියයක් දෙනා වහන්සේ රහත් බවට පැමිණියාහු ය.

ප්‍රධානිකතිෂ්‍යස්ථවිර වස්තුව නිමි

Tuesday, November 2, 2021

බුදුරජානන් වහන්සේගේ උදන් ඇනුමක්



බුදුරජානන් වහන්සේගේ උදන් ඇනුමක් 

අනෙකජාති සංසාරං සන්‍ධාවිස්සං අනිබ්බිසං


ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං.


භවයෙහි නැවත, නැවත උත්පත්තිය යම් හෙයකින් දුක් ද, එහෙයින් ආත්මභාව සංඛ්‍යාත ගෙය කරණ තෘෂ්ණා නැමැති වඩුවා සොයන මම (යම් නුවණෙකින් ඔහු දක්නට පිළිවන් ද, ඒ බෝධිඥානාධිගමය පිණිස (දිවකුරු පාමුලැ දී කරණ ලද අභිනීහාර ඇත්තෙම්, මෙ තෙක් කල් මුළුල්ලෙහි නොයෙක් ජාතිකෝටිසහස්‍ර යැ යි කියන ලද සසරවටෙහි (ඒ බෝධිඥානය නො ලබන්නෙම් ම) ච්‍යුතිප්‍රතිසන්‍ධි වශයෙන් නැවත නැවත හැවිද්දෙමි.



ගහකාරක දිට්ඨො’සි පුන ගෙහං න කාහසි


සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසඞ්ඛතං


විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා.


(අත්බව් නැමැති මේ ගෙය කරණ තෘෂ්ණා නැමැති) වඩුව, (සර්‍වඥතාඥානය ප්‍රතිවේධ කරණ මා විසින්) දැන් දක්නා ලද්දේ වෙහි. නැවැත (අත්බව්) ගෙයක් තෝ මට නො කරන්නෙහි ය. තාගේ සියලු (කෙලෙස් නැමැති) පරාළයෝ තාක් (නොහොත් සියලු ගෘහොපකරණයෝ මා විසින්) බිඳැ පියන ලදහ. (තා කළ අත්බව් ගෙහි) අවිද්‍යා නැමැති කැණිමඬල (මා විසින් රහත් මඟ නුවණ නැමැති පොරොවින් පළා) විසුරුවා පියන ලදී. දැන් මා සිත (අරමුණු කිරීම් වශයෙන්) නිවනට වන. තෘෂ්ණාවන්ගේ ක්‍ෂය යැ යි කියන ලද රහත්පලයට මම් පැමිණියෙමි.



බුදු වන්නට පිරිය යුතු වූ සියලු දහම් මුළුමනින් සම්පූර්‍ණ කොට, ඒ පිණිස බෝරුක් මුල වැඩ හුන් බුදුරජානන් වහන්සේ එදා ඉර බැස යන්නට පෙරාතු ව මරසෙනග පලවා හැරි සේක. පෙරයම, පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ වසා සිටි අවිදඳුර පා කොට හැරි සේක. මැදියම දිවැස පිරි සිදු කළ සේක. අලුයම සියලු සතුන් කෙරෙහි කරුණායෙන් යෙදී ප්‍රත්‍යයාකාරයෙහි නුවණ බහා එය අනුලෝම - ප්‍රතිලෝම විසින් සලකන සේක්, අරුණ නැගෙත් ම සම්‍යක්සම්බෝධිය අවබෝධ කළ සේක. ඉන් පසු නොයෙක් දහස් ගණන් බුදුවරුන් විසින් අත් නො හැර පැවැත් වූ ප්‍රීතිවාක්‍යය පහළ කරණු පිණිස මේ ගාථාවන් වදාළ සේක:


අනෙකජාතිසංසාරං සන්‍ධාවිස්සං අනිබ්බිසං,


ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං.


.


ගහකාරක! දිට්ඨොසි පුනගෙහං න කාහසි,


සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං,


විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගාති.


නැවත නැවත උත්පත්තිය (යම්හෙයකින්) දුක් ද (එහෙයින්) ගෙය කරන්නා වූ වඩුවා සොයන මම නොයෙක් ජාති යි කියූ සසරෙහි බෝධි ඥානය නො ලබන්නෙම් සැරිසරා ඇවිද්දෙමි.


ගෘහකාරකය! (මවිසින් තෝ) දක්නා ලද්දෙහි ය. නැවත (මට) ගෙයක් නො කරන්නෙහි. තාගේ සියලු පරාළයෝ බිඳ දමන ලදහ. කැණිමඩල විසුරුවන ලදි. (මාගේ) සිත නිවණට පැමිණියේ ය. අර්‍හත්ඵලයට පැමිණියෙමි.


අනෙකජාතිසංසාරං = නොයෙක් ජාති යි කියු සසරෙහි.


සසර වනාහි ජාති මෙතෙකින් සැදුනේ ය යි ජාති විසින් මොන ලෙසකිනුත් ගිණිය නො හැකි ය. ජාති විසින් පිරිසිඳිය නො හැකි ය. එහෙයින් සසර ‘අනෙකජාතිසංසාරං’ යි වදාළ සේක.


සන්‍ධාවිස්සං = ඇවිද්දෙමි. ජාතියෙන් ජාතියට ගියෙමි.


මේ වනාහි අතීතකාලයෙහි අනාගත වවනයි. ‘අතීතෙපි භවිස්සන්ති තඞ්කාලවචනිච්ඡයං’ යනු අනුශාසනා ය.


අනිබ්බිසං = නුවණ නො ලබන්නෙම්.


සිවුසස් දහම් දන්නා සිවු මග නුවණ මෙයින් කැමැති වන ලද්දේ ය. ඒ නුවණ නො ලබන්නෙම් නො ද විඳින්නෙම්. මේ එහි අටුවාව. ‘අනිබ්බිසං ඤාණං අවින්දන්තො අලභන්තොයෙව’ යනු.


ගහකාරකං ගවෙසන්තො = ගෙය කරන්නහු සොයන්නා වූ (මම).


මම මේ අත්බව යි කියන ගෙය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා සොයන්නෙම්. ‘සන්‍ධාවිස්සං’ යනු හා සම්බන්‍ධ ය. මෙහි ගහකාරක නම් තෘෂ්ණා ය. අත්බව නැමැති ගෙය ගොඩ නගන බැවිනි. ලෝකයා පිළිගත් ගෙයක් ගොඩ නැගීමෙහි දී ඒ පිණිස ගල් - වැලි - හුණු - මැටි - දැවදඬු ආදී වූ ද්‍රව්‍යරාශියක් යෙදිය යුතු ය. එ මෙන් ම අත්බව යි කියන ගෙය ගොඩ නැගීමේ දී රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥාන යි ද්‍රව්‍යාද්‍රව්‍යධර්‍ම රාශියක් ඒ පිණිස යෙදෙන්නී ය. සසර උපත දෙන කුශලාකුශලකර්‍ම, තෘෂ්ණාව මුල් කොට හට ගත්තේ ය. අවිද්‍යා - උපාදානාදීන්ගෙන් ද මේ පිණිස උපකාර ඇතත් පංචස්කන්‍ධය ඉපදවීමෙහි ප්‍රධාන වන්නී තෘෂ්ණා ය. ද්‍රව්‍ය අද්‍රව්‍යධර්‍මයන්ගෙන් ගොඩ නැගුනු ඒ මේ ආත්මභාවය ගල් වැලි ආදී ද්‍රව්‍යයන්ගෙන් ගොඩනැගුණු ගෙයක් වැනි හෙයින් ආත්මභාව හැඳින්වීමට ආගමධර්‍මයෙහි ගහ-ගෙය යන නාම යොදන ලද්දේ ය. ගල් වැලි ඈ එක්තැන් කොට ගෙය කරන්නේ වඩුවා ය. රූපාරූප ධර්‍ම එක් තැන් කොට ආත්මහාවසංඛ්‍යාත ගෘහය කරන්නී තෘෂ්ණා ය. එහෙයින් තෘෂ්ණාව වඩුවා වැනි ය. තෘෂ්ණාව හා වඩුවා හා අද දෙදෙන ම ගහකාරකයෝ ය. මෙහිලා ගහකාරක යි කියූවා තෘෂ්ණා ය.


ආත්මභාවසඞ්ඛ්‍යාත ගෘහය කරන්නා වූ තෘෂ්ණා නැමැති වඩුවා සොයන්නා වූ මම ඔහු දැකීමට ලබා ගත යුතු වූ බෝධිඥානය ලබා ගණු පිණිස දීපඞ්කරපාදමූලයෙහි දී කරණ ලද පැතුම් ඇති ව දන් ඈ දස පැරුම් දම් මුල් කොට ඇති බුදුකුරුදම් ඇස් - ඉස් - මස් - ලේ - අඹුදරු ඈ හැම සැපත් පුදා, ලොව අනෙකකුට නො යෙදිය හැකි මහත් වීර්‍ය්‍යයක් යොදා සපයමින් ජාතීන් විසින් නිමා කළ නො හැකි මේ සසර ඉපැදෙමින් මැරෙමින් ඔබමොබ ඇවිද්දෙමි.


දුක්ඛා ජාති පුනප්පුනං = නැවත නැවත ඉපදීම දුක් ය.


මම එසේ මුල් පැතීමේ සිට හැම ජාතියක ම ලැබූ හැම සැපතක් ම හැර දමා නොයෙක් කටුක දුක්වලට මුහුණ දෙමින් ගෘහකාරකයා සොය මින් ඇවිද්දෙම්, පුන පුනා ඉපදීම හා මරණය දුක් බැවිනි. ජරාය ව්‍යාධිය මරණය යන මොවුන් හා මිශ්‍රව සිටි බැවින් නැවත ඉපදීම දුක් ය, තෘෂ්ණාව මාර්‍ගඥානයෙන් දක්නා තුරු ම උත්පත්තිය නො නවතින්නී ය. එහෙයින් ඒ තෘෂ්ණාව සොයමින් ඇවිද්දෙමි. “ඉදං ගහකාරකං ගවෙසන්තස්ස පුනප්පුනජානනං වචනං දුක්ඛං. යස්මා ජරාව්‍යාධි මරණමිස්සත්තා ජාති නාමෙසා පුනප්පුන උපගන්තුං දුක්ඛා. න ච සා තස්මිං අදිට්ඨෙ නිවන්තති. තස්මා තං ගවෙසන්තො සන්‍ධාවිස්සං” යනු අටුවා ය.


ගහකාරක = ගෘහකාරකය.


දිටඨොසි = දක්නා ලද්දෙහි ය (තෝ).


සර්‍වඥතාඥානය ලබන්නා වූ මා විසින් තෝ දක්නා ලද්දෙහි ය. සියල්ල දත් නුවණ ය සර්‍වඥතාඥාන නම්.


“සබ්බං අඤ්ඤාසීති = සබ්බඤ්ඤු, සබ්බඤ්ඤුස්ස භාවො = සබ්බඤ්ඤුතා, සා එව ඤාණං සබ්බඤ්ඤුතාඤාණන්ති වත්තබ්බෙ සබ්බඤ්ඤුත ඤාණන්ති වුත්තං” යනු විවරණ යි. සියලු දහම් දත්තෝ සබ්බඤ්ඤු නම්. ඒ මේ සබ්බඤ්ඤු ශබ්දයගේ පැවැත්මට නැගීමට යම් තත්ත්‍වයෙක් කරුණු වී නම්, ඒ සබ්බඤ්ඤුතා නම්. සියල්ල දත්තෙකැ යි දැනුමට කීමට ඔහු පිළිබඳ යම් භාවයෙක් කරුණු නම්, ඒ ය සබ්බඤ්ඤුතා යි කීයේ. ඒ නම් අනෙකෙක් නො ව සියල්ල දැනීම ය. එය සබ්බඤ්ඤුතාඤාණැ යි කිය යුතු වුව ද, එහි සිලුටුබව සලකා සබ්බඤ්ඤුතඥාණැ යි ගන්නා ලදී.


‘සබ්බං අඤ්ඤාසි’ යන විවරණයෙහි එන සබ්බ ශබ්දය ලෝකය පිළිබඳ හැම දෙයක් ම ගත යුතු බව කිය යි. ලෝකයට අයත් හැම දෙයක් ම සඞ්ඛත ය. ලෝකය පිළිබඳ නො වූ පදාර්‍ත්‍ථ, අසඞ්ඛත ය. එ ද මේ සබ්බ ශබ්දයෙහි හෙන්නේ ය. සඞ්ඛත නම්, හේතූන්ගෙන් හට ගත් පදාර්‍ත්‍ථයෝ ය. ඒ නම්, ස්කන්‍ධපංචක ය යි. අසඞ්ඛත නම්, හේතුන්ගෙන් නො හට ගත් පදාර්‍ත්‍ථයෝ ය. ඒ නම් නිවණ ය. මේ සඞ්ඛත - අසඞ්ඛත දෙක සඞ්ඛාර - විකාර - ලක්ඛණ - නිබ්බාණ - පඤ්ඤත්ති යි පසකට බෙදෙන්නේ ය. “සඞ්ඛතාසඞ්ඛතාදිභෙදා සබ්බධම්මා භි සඞ්ඛාරො විකාරො ලක්ඛණං නිබ්බාණං පඤ්ඤත්තීති පඤ්ච ඤෙය්‍යාපථා හොන්ති” යනු අටුවා ය.


කුශලාකුශලාදිහේතුධර්‍ම හා එයින් හට ගන්නා ඵලධර්‍ම සංස්කාර නම්. රූපලහුතා රූපමුදුතා රූපකම්මඤ්ඤතා කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤති විකාර නම්. උපවය සන්තති ජරතා අනිච්චතා ලක්ඛණ නම්. ලෝකය හා මිශ්‍ර නො වූ ලෝකයෙහි ඇතුළත් නො වූ ප්‍රත්‍යධර්‍මබලයෙන් නො උපදින්නා වූ අසංස්කෘත ධාතුව නිර්‍වාණ නම්. යථෝක්තධර්‍මයන් මේ මේ යි හඳුන්වන්නට පැණවුනු සංඥා ප්‍රඥප්ති නම්.


එහි සංස්කාර - විකාර - ලක්ඛණ යන මේ තුණ සඞ්ඛත ය. ප්‍රත්‍යයයන් නිසා හට ගත්තේ ය. නිර්‍වාණ - ප්‍රඥප්ති දෙක අසඞ්ඛත ය. ප්‍රත්‍යබලයකින් නො හට ගත්තේ ය.


මෙයින් පිටත් දෙයක්, මෙහි නො ඇතුළත් දෙයක් නැත්තේ ය. මේ පසෙහි සියල්ල ඇතුළත් ය. දත යුත්තේ ද මෙ පමණ ය. මෙහි ඇතුළත් නො වූ දත යුත්තෙක් කො තැනකත් නැත. දත යුතු හැම මෙහි ඇතුළත් ය. එහෙයින්. මේ පස සකලඥෙය මණ්ඩලැ යි කියනු ලැබේ. සව්නේමඬලෑ යි සිංහල පොතපතෙහි ආයේ ය මේ.


මෙසේ කොටින් කියූ සඞ්ඛත වූ (ප්‍රත්‍යයයන් විසින් උපදවන) පංචස්කන්‍ධය පිළිබඳ අනිත්‍යාදී ස්වභාව හා අසඞ්ඛත වූ, (ප්‍රත්‍යයයන් නිසා නො උපන්) නිවන පිළිබඳ සුඤ්ඤතාදී ආකාර ඉතිරි නො කොට දැනීම සර්‍වඥතාඥාන නමැ යි දන්නේ ය.


“කතමං තථාගතස්ස සබ්බඤ්ඤුතඤාණං?” යන වොදනාවෙහි පරිහාරය, “ සබ්බං සඞ්ඛතමසඞ්ඛතං අනවසෙසං ජානාතීති = සබ්බඤ්ඤුත ඤාණං” යනු යි. සියලු සඞ්ඛත අසඞ්ඛතධර්‍මයන් ඉතිරි නො කොට දන්නා නුවණ සර්‍වඥතාඥාන නමැ යි එයින් කියන ලදි.


නොයෙක් විෂයයන්හි පැවතීම් විසින් සර්‍වඥතාඥානයාගේ භේදය ඉමහත් ය. “අතීතං සබ්බං ජානාතීති = සබ්බඤ්ඤුතඤාණං -පෙ- පච්චුප්පන්නං සබ්බං ජානාතීති - සබ්බඤ්ඤුතඤාණං. තත්‍ථ ආවරණං නත්‍ථිති අණාවරණඤාණං” යනු පටිසම්භිදාපාළියෙහි ආයේ ය. මෙහි අතීතං අනාගතං පච්චුප්පන්නං යන පදත්‍රයයෙන් කියනුයේ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුරාදී වස්තුරූප හා රූපාදී විෂයරූප, එසේ කාල භේදයෙන් සර්‍වඥතාඥානයට විෂය වන බව ය.


“චක්ඛුං චෙව රූපා ච එවං තං සබ්බං ජානාතී ති = සබ්බඤ්ඤුතඤාණං -පෙ- මනො චෙව ධම්මා ච එවං තං සබ්බං ජානාතීති = සබ්බඤ්ඤුතඤාණං තත්‍ථ ආවරණං නත්‍ථිති = අණාවරණඤාණං” යනු ද ආයේ ඔවුන් ස්වරූප විසින් දක්වනු සඳහා ය. චක්ඛු - සෝත - ඝාණ - ජිව්හා - කාය - මන යන වස්තුරූප හා රූප - සද්ද - ගන්‍ධ - රස - ඵොට්ඨබ්බ - ධම්ම යන විෂයරූප ඔවුන්ගේ ස්වභාව විසින් දැනීම සර්‍වඥතාඥානැ යි කියන ලදී.


“යාවතා අනිච්චට්ඨං දුක්ඛට්ඨං අනත්තට්ඨං තං සබ්බං ජානාතීති = සබ්බඤ්ඤුතඤාණං” රූපවේදනාදී ස්කන්‍ධපංචකය පිළිබඳ අනිත්‍ය - දුඃඛ - අනාත්ම තත්ත්‍වයන්, උන් පිළිබඳ අනිත්‍යාදී ආකාරයන් දැනීම සර්‍වඥතාඥානැ යි කියන ලදී. විස්තර ග්‍රන්ථාන්තරයෙන් දන්නේ ය.


සර්‍වඥතාඥානය ආවර්‍ජනාපතිබද්ධ බැවින් මොහුට ආවරණයෙක් නැත්තේ අනාවරණඤාණ නම් වේ. සර්‍වඥතාඥානය හා සමගතික බැවින් ඒ හා ම අනාවරණඤාණය දක්වන ලද්දේ ය. ධර්‍ම විසින් තත්ත්‍ව විසින් මේ දෙකෙහි විශේෂයක් නැත්තේ ය. සර්‍වඥතාඥානය කිසි ධර්‍මයකින් කිසි පුද්ගලයකු විසින් ආවරණ කරන්නට අවුරන්නට නො හැකි බැවින් අනාවරණඤාණැ යි කියනු ලැබේ. ඇතැම් කෙනෙක් සර්‍වඥතාඥානය සර්‍වාලම්බනික බැවින් මනෝවිඤ්ඤාණය වැනි ය යි ද, ඒ මේ සකලධර්‍ම විෂයයෙහි අප්‍රතිහත හෙයින් කිසිවෙක නො ද හැපෙන බැවින් අනාවරණැ යි ද කියත්.


“යාවතකං ඤෙය්‍ය තාවතකං ඤාණං, යාවතකං ඤාණං, තාවතකං ඤෙය්‍ය, ඤෙය්‍යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං ඤෙය්‍යං, ඤෙය්‍ය අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා ඤෙය්‍යපථො නත්‍ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා” යන බුදුවදනින් සර්‍වඥතාඥානයාගේ මහත්ත්‍වය හා ඥෙය්‍යධර්‍මයන්ගේ මහත්ත්‍වය පැහැදිලි වන්නේ ය. දත යුතු දහම් යම් පමණ වේ නම්, ඥානය ද ඒ පමණ වේ. ඥානය යම් පමණ වේ නම්, දත යුතු දහම් ද ඒ පමණ වේ. ඥානය, දත යුතු දහම් කෙළවර කොට සිටියේ ය. දත යුතු දහම්, ඥානය කෙළවර කොට සිටියේ ය. දත යුතු දහම් ඉක්මවා ඥානය නො පවත්නේ ය. ඥානය, ඉක්මවා ගිය ඥෙය්‍යපථයෙක් නැත්තේ ය. ඥෙය්‍ය-ඥාන දෙක උනුන් කෙළවර කොට පවත්නේ ය.


මැනැවින් පියවෙන උඩු යටි දෙ පියන, යට පියන උඩ පියනත් උඩ පියන යටපියනත් ඉක්මවා නො ගොස් උනුන් කෙළවර කොට පවත්නා සේ ඥෙය්‍ය-ඥාන දෙක උනුන් කෙළවර කොට සිටියේ ය.


මෙයින් දැක් වෙනුයේ ද කාමරූපාරූපලෝකයන්හි ලැබෙන තාක් සඞ්ඛතධර්‍ම හා ලෝකයෙන් බැහැර ලැබිය හැකි අසඞ්ඛතධර්‍ම හා එකකුත් නො හැර බුදුනුවණට විෂය වන බව ය. දත යුතු දේ ඇත්තේ බුදුනුවණ පමණට ය. බුදුනුවණ දත යුතු දේ පමණට, ඇත්තේ ය. එකිනෙකට වැඩි බවෙක් මෙහි නැත්තේ ය. මේ නුවණ ‘ සමන්තචක්ඛු’ යි ද හඳුන්වනු ලැබේ. ‘සමන්තචක්ඛු වුච්චති සබ්බඤ්ඤුතඤාණං’ යනු දේශනා ය. කාමාවචර බැවින් ලෞකිකය. මාර්‍ගඵල හා නො යෙදෙන්නේ ලෝකෝත්තර නො වේ.


පුන ගෙහං න කාහසි = නැවත (මට) ගෙයක් නො කරන්නෙහි.


පංචස්කන්‍ධය උපදවන තෘෂ්ණාව, මූලෝච්ඡින්න කළ බැවින් නැවත මට සසර ඉපැත්මෙක් නො වන්නේ ය. සසර ඉපැත්මට කරුණු වන කුශලාකුශලකර්‍මයන්ගේ හට ගැණීමෙක් නො වන්නේ ය. පංචස්කන්‍ධයෙක් නැවත පහළ නො වන්නේ ය.


සබ්බා තෙ ඵාසුකා භග්ගා = තාගේ සියලු පරාළයෝ බිඳින ලදහ. සියලු ගෘහෝපකරණ බිඳ දමන ලදී.


ඵාසුකා නම්, රාගද්වේෂමෝහාදී වූ ඇති තාක් සියලු කෙලෙස් ය, ඔවුහු ආත්මභාවසඞ්ඛ්‍යාත ගෘහයෙහි පරාළ වෙති.


ගහකූටං විසංඛිතං = කැණිමඩල විසුරුවන ලදි.


මෙහි ගහකූටැ, යි කීවා අවිද්‍යා ය. අවිද්‍යාව, ආත්මභාවයට ගෙයකට කැණිමඬල වැනි ය. එහි පල සතරෙහි වූ පරාළ අග් කැණිමඬල හා සම්බන්‍ධ ව පවත්නේ ය. එමෙන් ආත්මභාවය සම්බන්‍ධී වූ රාගාදී ක්ලේශධර්‍මයෝ අවිද්‍යාව හා සම්බන්‍ධව සිටියෝ ය, ඔවුහු අවිද්‍යා හේතුවෙන් ම උපදිත්. ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’ යනු දේශනා ය. අවිද්‍යා නම්, දුඃඛාදීන්ගේ නො දැනීම ය. ඒ මේ අවිද්‍යා නම් වූ කැණිමඬල මා විසින් රහත්මගනුවණ නමැති පොරවින් පළා විසිරුවාපියන ලද්දේ ය.


විසඞ්ඛාරගතං චිත්තං = (මාගේ) සිත නිවණට පැමිණියේ ය, අරමුණු කිරීම් වශයෙන් නිවණට පිවිසියේ ය.


“ඉදානි මම චිත්තං විසඞ්ඛාරං නිබ්බාණං ආරම්මණකරණ වසෙන ගතං අනුපවිට්ඨං” යනු අටුවා ය. දැන් මාගේ සිත අසඞ්ඛතනිබ්බාණයට අරමුණු කිරීම් වශයෙන් පැමිණියේ ය යන අරුති. නිවණ මට අවබෝධ විය, නිවණ මාගේ හිතට වැටහුනි, යනු වදාළ සැටියි.


තණ්හානං ඛයමජ්ඣිගා = තෘෂ්ණාක්‍ෂයට පැමිණියෙමි. අර්‍හත්ඵලයට පැමිණියෙමි.


යමකට පැමිණ යමක් ඇසුරු කොට තෘෂ්ණාව මුළුමනින් ක්‍ෂය වූ නම්, නැවත නො හට ගන්නා පරිදි ගෙවී ගියා නම්, හේ තෘෂ්ණාක්‍ෂය නම්. අර්‍හත්ඵලය යන මෙයින් නිවණ ද කිය වේ. තෘෂ්ණාවගේ අත්‍යන්තය නිරෝධය මෙයින් වන බැවින් එසේ කියන ලද්දේ ය. අර්‍හත්මාර්‍ගයට පැමිණීම හා ම තෘෂ්ණාව නිරවශයෙන් නිරුද්ධ වන්නී ය.







Friday, October 29, 2021

පංච නීවරණ ධර්ම : කාමච්ඡන්ද නීවරණය


පංච නීවරණ ධර්ම :

කාමච්ඡන්ද නීවරණය
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි

කාමච්ඡන්දය නම් කාමයට හෙවත් ඇලීමට ඇති කැමැත්තයි. එනම් කාමාශාවයි. කාමය තනි වචනයක් ලෙස සලකන්නේ නම්, කැමැත්ත, ආශාව, රාගය, රූප ශබ්දා දී සතුටට හේතුවන දෙය ආදී ලෙසින් ගැනීමට හැකි ය. කාමච්ඡන්දය නම්, නිර්වාණ මාර්ගය අවහිර කරන පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් පළමුවැන්නයි. සිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීමේ දී, දැඩි ආශාව, ලෝභය, මහත් සේ බාධා පමුණුවයි. මෙම දැඩි ආශාව හෙවත් විෂම වූ ලෝභය වස්තු කාම සහ ක්ලේශ කාමයන් හේතුකොට ගෙන ඇතිවෙයි.

ආහාරපාන, වස්ත්‍රාභරණ, යාන වාහන, ගෘහ භාණ්ඩ, විහාරාරාම, තනතුරු, පුත්‍ර - භාර්යා, ශිෂ්‍ය ඤාති හිතමිත්‍ර, දායක, ජීවිත, කීර්ති, ප්‍රශංසා, රට රටවල සංචාර, ස්ත්‍රී පුරුෂ දර්ශන, ප්‍රිය සම්භාෂණ ආදී ලෞකික වස්තූන් පිළිබඳව ඒවායින් ලබන ප්‍රීතිය සුවය පිළිබඳව ද ආශාව කමච්ඡන්දයේ ලක්ෂණයෝ ය. නිවන් මඟ අරමුණු කරන ගිහි හෝ පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඔවුන්ගේ චරිත ස්වභාවය සහ පැවැත්ම අනුව මේ කාමච්ඡන්දයේ ක්ලේශ විපාක බලය අඩු වැඩි විය හැකි ය.

ලෞකික ජීවිත ගත කරන ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඉගෙනීම, රැකියාව, විවාහ, දරුවන්, මව්පියන්, ගේදොර, තනතුරු, කීර්ති ප්‍රශංසා හේතුකොට ගෙන වස්තුකාම සහ ක්ලේශ කාම බලවත්ව සහ නිතොර ඉපදීම ස්වභාවයකි. පැවිදිව නිවන් මඟ අරමුණු කරන විට ගිහි ජීවිතයේ ඇතිවන බොහෝ කාමච්ඡන්දයන් ඉපදීමට අරමුණු නොසැකසෙයි. එයට හේතුව නම්,

“සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡිකරණත්ථාය”

යනුවෙන් සියලු දුකින් නිදහස්ව නිවන් අවබෝධය පිණිස ම අරමුණු පවත්වනවා යන අදහස නිසා ය. පැවිදි වූවත් එම අරමුණෙන් බැහැර වූවොත් ගිහියන් මෙන් කාමච්ඡන්දය බහුල විය හැකි ය.

“සත්ව - පුද්ගල” සංඥාව නිච්ච, සුඛ, අත්ත වශයෙන් සිතින් ගැනීමෙන් උපාදානයන් සකස් වෙයි. සියලු සංඛත (පඨවි ආදී ධාතූන් හේතු කරගෙන හටගෙ, එම පඨවි ආදී ධාතූන් විසිර යන විට ක්ෂය, වයස, භංගවන සියල්ල) සංඛාර අනිච්ච, දුක්ඛ, අනත්ත නම් තිලක්ඛණයට යටත් කොට දැක රාග, දෝස, මෝහ, යටපත් වීමට, සංසිඳීමට, මුලින් ම උපුටා දැමීමට පුරුදු නොකරන ලද අභාවිත සිත් මෙසේ අරමුණු උපාදානය කර ගනී. එය කාමයට ඇති ඇල්මෙන් සිදුවන්නකි. එය එසේ සිදුවන්නේ කුමක් නිසා ද? ඉහත සඳහන් කළ ආකාරයෙන් අභාවිත සිත් ඇත්තා විසින් ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් රූපාදී අරමුණු ගන්නා විට නිමිති අනුනිමිති,ව්‍යඤ්ජන රස වශයෙන් කාම ගුණ සකස් කර ගනු ලැබේ. එනම් පුද්ගලයෙක් නම් අඟ පසඟ, ආකාරය, ලීලාව, සිනහව, හැසිරීම කතාබහ ආදී වශයෙන් අවිඤ්ඤාණක වස්තුවක් නම් පෙනුම, රසය, පනවා ගත් වටිනාකම් අනුව ඇලීම්, බැඳීම්, සිතින් අයිතිකර ගැනීම් වශයෙනි.

මෙම මානසික ස්වභාවය පඤ්චකාම ගුණයන්ගේ ඉපදීම ලෙස ද දක්වයි. “චක්ඛු විඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා” යනුවෙන් දැක්වූ පරිදි චක්ඛු විඤ්ඤාණයෙන් රූප ගන්නා විට ඉටු වඩන, මනවඩන, ප්‍රිය දැයෙහි, කාමයෙන් යුත්, සිත් අලවන ලෙසින් නිමිති, ලක්ෂණ, රස සලකා ගැනීම ය. තවදුරටත් මෙය මෙසේ විස්තර කළ හැකිය.

“චක්ඛුනා රූපං දිස්වා සුඛාය වේදනාය ඵුට්ඨෝ සමානො අභිනන්දති, අභිවදති, අජ්ඣෝසාය තිට්ඨති”.

එනම් ඇසින් රූපයක් දැක, ‘මම’ කොටගත් සැප වේදනාවෙන් ස්පර්ශ කරමින්, නිමිති ගනිමින්, ඒ ගැන සතුටුවෙයි. ඒ ගැන කියයි.

ප්‍රාර්ථනා කරයි. සිත ඒ අරමුණෙහි ඔසවා තබයි. එනම් සිතෙහි ප්‍රධාන කොට පනවා ගනී. මේ කාමච්ඡන්දයේ හටගැනීම සහ ස්වභාවයයි. කාමච්ඡන්දය ප්‍රහාණය වීම පිණිස මෙසේ මනසිකාරය කළ යුත්තේ ය. “භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්ප ආස්වාද ඇතියහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ උපායාස ඇත්තා හ. බොහෝ ආදීනව ඇත්තාහ යැයි වදාරන ලදහ.

“අට්ඨකංකලූපමා කාමා” කාමයෝ මස් ලේ නැති ඇට සැකිල්ලක් බඳු ය. යනුවෙන් කාමයේම කොටසක් වන රාගය ප්‍රහාණය පිණිස මෙසේ සිහිපත් කිරීම සුදුසු ය. “රාගය සිත කය දවන ගින්නකි. පපුවට අනින කිනිස්සකි. මිත්‍ර වේශයෙන් එන සතුරෙකි. ගුණ දහම් පැහැර ගන්නා සොරෙකි. නුවණැස වසන පටලයෙකි. සිත දුබල කරන රෝගයකි.

ගොඩනැගිය නොහෙන සේ එරෙන මඩ වගුරකි. සත්වයන් ගිල්වා මරන ඕඝයෙකි. මෙලොව ම දාස බවට පමුණුවන පාපයෙකි. අපායට ගෙන යන්නට එන යම දූතයෙකි. නිවන් මග වසන පවුරකි. මේ රාගයෝ හට ගන්නේ දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් අපවිත්‍ර වළකය. අපවිත්‍ර පිරවූ, බිඳෙන, නිතර අපවිත්‍ර පිටට ගලා එන බඳුනකටය. නපුරු වූ කාමයෝ, රාගයෝ මා සිත දුරුවේවා යනුවෙනි.

දීපා පෙරේරා

 

භගවා නම් වන සේක


භගවා නම් වන සේක
මැලේසියාවේ
ප්‍රධාන සංඝනායක
බූටාවත්තේ ශී‍්‍ර සරණංකර නා හිමි

‘ධර්ම රාශිය වෙන්කොට පහදා දුන් හෙයින් ද, ගුණ රාශියක් සතුව සිටි හෙයින් ද, ඓශ්චර්ය ධර්ම යස ශී කාම පයත්න යන භග ධර්මයන්ගෙන් යුක්ත වන හෙයින් ද, බුදුරජාණන් වහන්සේ භගවත් නම් වන සේක.‘ මේ බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණය සම්බන්ධව බුදුගුණාලංකාරයේ දැක්වෙන සරල අර්ථ දැක්වීම යි.

අතීතයේ භාරතයේ පිළිගැනීම මිනිසා උපතින් ම පාපකාරී අයෙක් බවයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව මිනිසා භාග්‍යවන්තයෙකි. ඒ භාග්‍යවන්තයන් අතර ද බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයක් නැත්නම් මුල්තැනක් ගනී. එසේ වන්නේ උන්වහන්සේ සියලු කෙලස් ධර්මයන් නැසූ හෙයිනි.

බුදුරජාණන් වහන්සේ උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්ගෙන් යුක්ත ය. කීර්තිමත් ය. පිරිවර සහිත ය. අධිපති ය. පරාර්ථකාමී ය. රාගාදි කෙලෙසුන් නැසූහ. භාවනාවෙන් නිවනට පැමිණි සේක. ෂඩ් විධ භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත හෙයින් භගවා ගුණයෙන් යුක්ත වේ. භගවා යන ගුණයට ධර්මයේ ලබා දී ඇති අර්ථ දැක්වීම් මෙසේ ය.

බුදුරජාණන් වහන්සේ මානුෂීය ධර්මවලින් අග්‍රස්ථානයට පත් වූ නිසා උන්වහන්සේ භගවා ගුණයට සුදුසු බවත් දිව්‍ය, බ්‍රහ්ම,මනුෂ්‍ය, නාග ආදී සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ හා උතුම් හෙයින් ද

උන්වහන්සේ භගවා යන ගුණයෙන් යුක්ත බවත්, අපේ බෞද්ධ සාහිත්‍යයේ දක්වා තිබේ.

මේ අර්ථ දැක්වීම් අතුරින් ඓශ්චර්ය, භාග්‍යය යනුවෙන් සරලව හඳුන්වා දී ඇත්තේ තම සිත කැමැති පරිදි හැසිරවිය හැකි හා අන්‍යයන්ගේ සිත් ද තමා කැමැති පරිදි හැසිරවිය හැකි බව යි.

එසේම අටලෝ දහමින් කම්පා නො වන ගුණය ද, ඊට අයත් වේ. ධර්ම භාග්‍යය යන්නද ධර්මයෙහි සුවිශේෂ ගුණාංගවලින් සමන්විතව ධ්‍යාන අභිඥානවලින් පෝෂිත බව යනුවෙන් සරල ලෙසින් හැඳීන්වීමට පුළුවන. යස භාග්‍යය යන්න, පැතිරී ගිය කීර්තිය, පරිවාර සම්පත්තිය

යන්නත් දකින්නන්ගේ මන නුවන් සනහාලන රූපශී‍්‍රයක් පැවතීම, පැහැපත් බව, පිරිසුදු බව, ඉරියව් පැවැත්වීම, කතා කිරීම, සිනාසීම, බැලීම, යනාදී සියලු කියාවලින් යුක්ත ලක්‍ෂණයන් ශී‍්‍ර භාග්‍යය ලෙසින්ද දක්වා ඇත. කාම භාග්‍යය යන්න තම සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් කැමැති පරිදි ඉටුකර ගැනීමට හැකි බවත්, ප්‍රයත්න භාග්‍යය යන්න උත්සාහය බවත් සරල ලෙසින් පෙන්වා දීමට හැකි වේ.

බුදු රජාණන් වහන්සේගේ මේ භගවා ගුණය ඇතුලු සියලු බුදු ගුණයන් ශ්‍රද්ධාවෙන් ම සිහි කළ යුතු වේ. නමුත් බොහෝ බෞද්ධයින් සිදු කරනුයේ බුදු හිමියන්ට වන්දනාමාන කරනු ලබන තවත් ගාථාවක් ලෙසින් ‘ඉතිපිසෝ භගවා.... ‘ යන්න මන්තරයක් මෙන් පැවසීම පමණකි.

බුදුරජාණන් වහන්සේ රාගය, ද්වේෂය, මෝහය යටපත් කළ හෙයින්, උන්වහන්සේට භගවා යනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි ය. එසේනම් කළයුත්තේ අකුසල් සිතිවිලි දුරලමින් කුසල සිත් කරා සිත ප්‍රායෝගිකව සකස්කර ගැනීම ය.

භගවා යන ගුණය බුදු හිමියන්ගේ නව අරහාදී ගුණයන්ට පමණක් සීමා වූ බව සිතා අප ඉවත බලා සිටීම නොව අපගේ දිවිය ඒ දෙස බලමින් සකස් කරගැනීම කළ යුතු ය. එසේ

නොකළහොත් ජීවිතයේ බොහෝ දුක් කම්කෙටොලුවලට මුහුණ පාන්නට සිදුවනු ඇත. මතු භවයට ගෙන යා හැකි කුසල් දහම්හි යෙදීමට මේ භගවා ගුණය මෙනහි කළ යුතු ය. මේ වන විට බොහෝ යුරෝපා රටවල ජනතාව මානසික සහනය පිණිස විවිධවැඩමුළු කරා යමින් තිබේ. බුදුරජාණන් වහන්සේ ඒ සහනය ගැන අපට පැවසුවේ වසර 2600කට පමණ පෙර ය. අපගේ දිවිය ලෞකික දෙසට ම යොමු නො කර ලෝකෝත්තර දෙසට යම් හෝ ආකාරයකට නැඹුරු කරවීමට භගවා ගුණය පැහැදිලිව ම උපෙයෝගී කරගත හැකි ය.

ඇතැම් අයට ඒ සඳහා වේලාවක් නැති බව කියන්නට පුළුවන. එහෙත් ඒ අයට නිදා ගන්නට කෑමට හෝ පරිගණක කටයුතු ඇතුළු සියලුදේට වේලාව තිබේනම් අවශ්‍යම මානසික සහනය කරා යාමට වේලාවක් වෙන් කර නො ගැනීම තමන්ගේ නිදහසට සකස්කරගත් පිළිතුරක් විනා සත්‍යය නොවේ. අපට නිසි පරිදි මානසික ශක්තිය රැක ගැන්මට නොහැකි වුවහොත් ආතතිය නිතැතින්ම උරුම වේ. බුදු හිමියන් වන්දනා කරනු ලබන වචනයක් වචනයක් පාසාම තමන්ට භගවා ගුණය මෙනෙහි කරන්නට පුළුවන්නම්, එය අපගේ ලෝකෝත්තර දිවිය සකස්කර ගන්නට මහඟු මඟක් වනු ඇත. භගවා ගුණ බලයෙන් අපි ලබා ගන්නා මානසික සැනසීමේ බලයෙන් තවත් අයෙකුට නිදුක් නීරෝගී බලයක් ලැබේවා යනුවෙන් සිතන්නේ නම්, එයින් මානසික ශක්තියක් ලැබේ.

බුදුරජාණන් වහන්සේට සුදුසු වූ භගවා යන බුදු ගුණය මෙන්ම අනෙක් බුදු ගුණයන් ද අපගේ ප්‍රායෝගික ජීවිතයට ද උපෙයෝගී කරගත හැකි ගුණාංගයන් බව මෙයින් පැහැදිලි විය යුතුය. එහෙත් ඒ නාමයන් අපට කිසිසේත් ම යොදා ගත නො හැක්කේ බුදුරජාණන් වහන්සේ අසමසම වන හෙයිනි.

 

Tuesday, October 26, 2021

Dhammapada

 


සොහොන් ගිය ඒ භික්‍ෂුහු සොහොනෙක තැන තැන දමා තුබූ දවස් ගණන් ඉක්මුනු දුගඳ හමන්නා වූ මිනීකුණු දුටහ. එයින් ඔවුන් සිත්හි ප්‍රතිඝය උපන්නේ ය. ඒ අතර එදවස ම එහි දැමු මිනියක් දැකීමෙන් එහි ආලය උපන. එයින් ම තමන් කෙලෙස් සහිත බව දැන ගත්හ. මේ වේලෙහි බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩ හුන් සේක් ම ආලෝකයක් යවා ඔවුන් ඉදිරියෙහි සිට බණ වදාරන්නකු සේ “මහණෙනි! මෙබඳු ඇට ගොඩවල් දැක එහි ඇලීම් තොපට තරම් නො වේ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.


යානිමානි අපත්‍ථානි අලාපූනෙව සාරදෙ,


කාපොතකානි අට්ඨීනි තානි දිස්වාන රතීති.


ශරත් කාලයෙහි ඒ ඒ තැන දැමූ ලබුකබල් වැනි වූ කොබෝවන් පැහැති යම් යම් මිනි ඇට වේ ද, ඒ මිනී ඇට දැකීමෙන් කිනම් ඇල්මක් වේ ද,


යානි ඉමානි = යම් මේ.


අපත්‍ථානි = ඒ ඒ තැන දැමූ.


අලාපූනි ඉව = ලබු කබල් වැනි වූ.


සාරදෙ = ශරත් කාලයෙහි.


ඉල්මස කාලපක්‍ෂයෙහි පටන් පිළිවලින් සාර මසෙක් සාර මසෙක් හේමන්ත - ගිම්හ - වස්ස යි තුන් සෘතු කෙනෙක් වෙති. ඒ එක් ක්‍රමය අයකි. නැවත එ තැන් පටන් ම ගෙණ පිළිවෙළින් දෙ මස දෙ මස හේමන්ත - සිසිර - වසන්ත - ගිම්හ - වස්ස - සරද යි ෂඩ් සෘතු කෙනෙක් වෙති. එහි ඉල් - උඳුවප් දෙමස, හේමන්ත උතු නම්. දුරුතු - නවන් දෙමස, සිසිර උතු නම්. මැදින් - බක් දෙමස, වසන්ත උතු නම්. වෙසක් - පොසොන් දෙමස, ගිම්හ උතු නම්. ඇසළ - නිකිණි දෙමස, වස්ස උතු නම්. බිනර - වප් දෙමස, සරද උතු නම්.


බිනර - වප් දෙමසෙහි මුළුමනින් ඖෂධවර්‍ගයන්ගේ පැසීම වන්නේ ය, යි ශාස්ත්‍රයෙහි කී බැවින් මේ දෙමස් කාලය සරද නමින් හඳුන් වත්. ‘සරති පීළයති අස්මිං ඉති = සරදො, ශීර්‍ය්‍යන්තෙස්‍යාං පාකෙනෞෂධයඃ ඉති = ශරත්’ යනු අත්‍ථ නිශ්චය වේ. මේ දෙ මස් කාලය මෙහි සාරද නම.


කාපොතකානි අට්ඨිනි = කොබෝවන් පැහැති මිනී ඇට.


පරවියන්ගේ පැහැය වැනි පැහැය ඇත්තේ ‘ කාපොතක’ නම්. එනම් සුදුපාට ය. මිනී ඇට සුදු ය. එහෙයින් එයට විශේෂණ කොට ‘කාපොතකානි’ යෙදුනේ ය.


ගින්නෙන් පැසුනු, වාතයෙන් වියලුනු මේදය, ඇට යි ගැණේ. මේදය මසින් හට ගත්තේ ය.


“මෙදො යත් ස්වාග්නිනා පක්චං වායුනා චාති ශොසිතම්,


තදස්ථිසංඥා ලභතෙ සසාරඃ සර්‍වවිග්‍රහෙ”


ඇතුළත්හි වූ හරය හේතු කොට ගස්කොළන්වල පැවැත්ම වන්නේ ය. එමෙන් දේහධාරණය වන්නේ අස්ථිසාරය හේතු කොට ය


“අභ්‍යන්තරගතෛඃ සාරෛර්‍යථා තිෂ්ඨන්ති භූරුහාඃ,


අස්ථිසාරෛස්තථා දෙහා ධරීයන්තෙ දෙහිනො ධ්‍රැවම්”


ශරීරවත්හුගේ සිවි - මස්, නැසි බොහෝ කල් ගිය ද ඇට විනාශ නො වී පවතී. ඇට සත්ත්‍වයන්ගේ හරය වේ.


“තස්මාවිචිර විනෂ්ටෙෂු ත්වඩ්මාංසෙෂු ශරීරිණාම්,


අස්ථිනි න විනශ්‍යත්ති සාරාණ්‍යෙතානි දෙහිනාම්”


තානි දිස්වන කා රති = ඒ මිනී ඇට දැක්මෙන් මොන ඇල්මක් වේ ද.


ශරත් කාලයෙහි ඒ ඒ තැන දැමු අවුසුළගින් වියලී ගිය ලබු කබල් වැනි වූ කාබෝවන් වූ මේ මිනී ඇට බලා පල්ප වූත් කාම රතියක් ඉපදවීම තොපට නො සුදුසු ය. එසේ එහි ඇලීම, බැඳීම තොපට විනාශය පිණිස වන්නේ ය. එහෙයින් ඒ මිනී ඇටවල ඇලීම තොපට සුදුසු ද? ‘රමන්ති තාය රමණං වා = රති’ ඇලීම ‘රති’ නම්.


ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂුහු සිටි ලෙසින් ම රහත් ව බුදුරජුන්ට තුති පුද දෙමින් ඉදිරියට විත් ඇඳ සිටියහ.


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...