භගවා නම් වන සේක
මැලේසියාවේ
ප්‍රධාන සංඝනායක
බූටාවත්තේ ශී‍්‍ර සරණංකර නා හිමි
‘ධර්ම රාශිය වෙන්කොට පහදා දුන් හෙයින් ද, ගුණ රාශියක් සතුව සිටි හෙයින් ද, ඓශ්චර්ය ධර්ම යස ශී කාම පයත්න යන භග ධර්මයන්ගෙන් යුක්ත වන හෙයින් ද, බුදුරජාණන් වහන්සේ භගවත් නම් වන සේක.‘ මේ බුදුරජාණන් වහන්සේගේ භගවා ගුණය සම්බන්ධව බුදුගුණාලංකාරයේ දැක්වෙන සරල අර්ථ දැක්වීම යි.
අතීතයේ භාරතයේ පිළිගැනීම මිනිසා උපතින් ම පාපකාරී අයෙක් බවයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව මිනිසා භාග්‍යවන්තයෙකි. ඒ භාග්‍යවන්තයන් අතර ද බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයක් නැත්නම් මුල්තැනක් ගනී. එසේ වන්නේ උන්වහන්සේ සියලු කෙලස් ධර්මයන් නැසූ හෙයිනි.
බුදුරජාණන් වහන්සේ උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්ගෙන් යුක්ත ය. කීර්තිමත් ය. පිරිවර සහිත ය. අධිපති ය. පරාර්ථකාමී ය. රාගාදි කෙලෙසුන් නැසූහ. භාවනාවෙන් නිවනට පැමිණි සේක. ෂඩ් විධ භාග්‍ය ධර්මයන්ගෙන් යුක්ත හෙයින් භගවා ගුණයෙන් යුක්ත වේ. භගවා යන ගුණයට ධර්මයේ ලබා දී ඇති අර්ථ දැක්වීම් මෙසේ ය.
බුදුරජාණන් වහන්සේ මානුෂීය ධර්මවලින් අග්‍රස්ථානයට පත් වූ නිසා උන්වහන්සේ භගවා ගුණයට සුදුසු බවත් දිව්‍ය, බ්‍රහ්ම,මනුෂ්‍ය, නාග ආදී සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ හා උතුම් හෙයින් ද
උන්වහන්සේ භගවා යන ගුණයෙන් යුක්ත බවත්, අපේ බෞද්ධ සාහිත්‍යයේ දක්වා තිබේ.
මේ අර්ථ දැක්වීම් අතුරින් ඓශ්චර්ය, භාග්‍යය යනුවෙන් සරලව හඳුන්වා දී ඇත්තේ තම සිත කැමැති පරිදි හැසිරවිය හැකි හා අන්‍යයන්ගේ සිත් ද තමා කැමැති පරිදි හැසිරවිය හැකි බව යි.
එසේම අටලෝ දහමින් කම්පා නො වන ගුණය ද, ඊට අයත් වේ. ධර්ම භාග්‍යය යන්නද ධර්මයෙහි සුවිශේෂ ගුණාංගවලින් සමන්විතව ධ්‍යාන අභිඥානවලින් පෝෂිත බව යනුවෙන් සරල ලෙසින් හැඳීන්වීමට පුළුවන. යස භාග්‍යය යන්න, පැතිරී ගිය කීර්තිය, පරිවාර සම්පත්තිය
යන්නත් දකින්නන්ගේ මන නුවන් සනහාලන රූපශී‍්‍රයක් පැවතීම, පැහැපත් බව, පිරිසුදු බව, ඉරියව් පැවැත්වීම, කතා කිරීම, සිනාසීම, බැලීම, යනාදී සියලු කියාවලින් යුක්ත ලක්‍ෂණයන් ශී‍්‍ර භාග්‍යය ලෙසින්ද දක්වා ඇත. කාම භාග්‍යය යන්න තම සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් කැමැති පරිදි ඉටුකර ගැනීමට හැකි බවත්, ප්‍රයත්න භාග්‍යය යන්න උත්සාහය බවත් සරල ලෙසින් පෙන්වා දීමට හැකි වේ.
බුදු රජාණන් වහන්සේගේ මේ භගවා ගුණය ඇතුලු සියලු බුදු ගුණයන් ශ්‍රද්ධාවෙන් ම සිහි කළ යුතු වේ. නමුත් බොහෝ බෞද්ධයින් සිදු කරනුයේ බුදු හිමියන්ට වන්දනාමාන කරනු ලබන තවත් ගාථාවක් ලෙසින් ‘ඉතිපිසෝ භගවා.... ‘ යන්න මන්තරයක් මෙන් පැවසීම පමණකි.
බුදුරජාණන් වහන්සේ රාගය, ද්වේෂය, මෝහය යටපත් කළ හෙයින්, උන්වහන්සේට භගවා යනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි ය. එසේනම් කළයුත්තේ අකුසල් සිතිවිලි දුරලමින් කුසල සිත් කරා සිත ප්‍රායෝගිකව සකස්කර ගැනීම ය.
භගවා යන ගුණය බුදු හිමියන්ගේ නව අරහාදී ගුණයන්ට පමණක් සීමා වූ බව සිතා අප ඉවත බලා සිටීම නොව අපගේ දිවිය ඒ දෙස බලමින් සකස් කරගැනීම කළ යුතු ය. එසේ
නොකළහොත් ජීවිතයේ බොහෝ දුක් කම්කෙටොලුවලට මුහුණ පාන්නට සිදුවනු ඇත. මතු භවයට ගෙන යා හැකි කුසල් දහම්හි යෙදීමට මේ භගවා ගුණය මෙනහි කළ යුතු ය. මේ වන විට බොහෝ යුරෝපා රටවල ජනතාව මානසික සහනය පිණිස විවිධවැඩමුළු කරා යමින් තිබේ. බුදුරජාණන් වහන්සේ ඒ සහනය ගැන අපට පැවසුවේ වසර 2600කට පමණ පෙර ය. අපගේ දිවිය ලෞකික දෙසට ම යොමු නො කර ලෝකෝත්තර දෙසට යම් හෝ ආකාරයකට නැඹුරු කරවීමට භගවා ගුණය පැහැදිලිව ම උපෙයෝගී කරගත හැකි ය.
ඇතැම් අයට ඒ සඳහා වේලාවක් නැති බව කියන්නට පුළුවන. එහෙත් ඒ අයට නිදා ගන්නට කෑමට හෝ පරිගණක කටයුතු ඇතුළු සියලුදේට වේලාව තිබේනම් අවශ්‍යම මානසික සහනය කරා යාමට වේලාවක් වෙන් කර නො ගැනීම තමන්ගේ නිදහසට සකස්කරගත් පිළිතුරක් විනා සත්‍යය නොවේ. අපට නිසි පරිදි මානසික ශක්තිය රැක ගැන්මට නොහැකි වුවහොත් ආතතිය නිතැතින්ම උරුම වේ. බුදු හිමියන් වන්දනා කරනු ලබන වචනයක් වචනයක් පාසාම තමන්ට භගවා ගුණය මෙනෙහි කරන්නට පුළුවන්නම්, එය අපගේ ලෝකෝත්තර දිවිය සකස්කර ගන්නට මහඟු මඟක් වනු ඇත. භගවා ගුණ බලයෙන් අපි ලබා ගන්නා මානසික සැනසීමේ බලයෙන් තවත් අයෙකුට නිදුක් නීරෝගී බලයක් ලැබේවා යනුවෙන් සිතන්නේ නම්, එයින් මානසික ශක්තියක් ලැබේ.
බුදුරජාණන් වහන්සේට සුදුසු වූ භගවා යන බුදු ගුණය මෙන්ම අනෙක් බුදු ගුණයන් ද අපගේ ප්‍රායෝගික ජීවිතයට ද උපෙයෝගී කරගත හැකි ගුණාංගයන් බව මෙයින් පැහැදිලි විය යුතුය. එහෙත් ඒ නාමයන් අපට කිසිසේත් ම යොදා ගත නො හැක්කේ බුදුරජාණන් වහන්සේ අසමසම වන හෙයිනි.
No comments:
Post a Comment