Tuesday, October 26, 2021

බුද්ධ නම් වන සේක



බුද්ධ නම් වන සේක

කොළඹ ආනන්ද විද්‍යාලයේ

විශ්‍රාමික සහකාර විදුහල්පති

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය

දිවියාගහ යසස්සි නා හිමි


“බුද්ධ” යන වචනය තරම් මිහිරිවූත්, සැප එලවන්නාවූත්, වෙනත් වචනයක් මුළු ලොවෙහි ම නැත. ලොවෙහි වෙසෙන කවර සත්ත්වයෙකුට වුවත් බුද්ධ යන්න තරම් ශ්‍රේෂ්ඨ නාමයක් ලබා ගැනීම පහසු නොවේ. එසේ නම් මිනිස්, දෙව්, බඹ යන සියල්ලන්ටත් ඉහළින් දැක්වෙන මේ නම මනුෂ්‍යයෙකු සඳහා දක්වා ඇත්තේ ඇයි.?


සේල නමැති බමුණා දිනක් බුද්ධ යනුවෙන් හඳුන්වන්නේ ඇයි දැයි බුදුරදුන්ගෙන් ම විමසී ය. එහිදී උන්වහන්සේ දුන් පිළිතුර මෙය යි.


අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං

භාවෙතබ්බං ච භාවිතං

පහාතබ්බං පහීණං මෙ

තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ


දත යුතු සියල්ල මා විසින් දන්නා ලද ය. වැඩිය යුතු දේ වඩන ලද්දේ ය. ප්‍රභාතව්‍ය දේ ප්‍රහීණ කරන ලද්දේ ය. බමුණ, මේ නිසා මම ‘බුද්ධ’ වූයේ වෙමි යි යන අර්ථය ඇති ඉහත සඳහන් ගාථාවෙන් උන්වහන්සේ ම පැහැදිලි කොට දුන්හ.


අනෙකුත් ශාස්තෘවරුන් අතර බුදුරදුන්ගේ විශේෂත්වය නම්, අන් කිසිවෙකුට නිවැරැදිව විග්‍රහ කොට පෙන්වීම නොහැකි වූ ස්වර සහිත අකුරු අටක් ඇති අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන පද තුන පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම යි. සත්ත්වයාගේ ශරීරය නිත්‍ය වශයෙන් නො පවතින බවත්, ඒ නිසාම දුක හට ගන්නා බවත්, උන්වහන්සේ පෙන්වා දුන්හ. මෙසේ දුක් හට ගැනීමට ප්‍රධාන හේතුව ශරීරයෙහි ආත්ම යි ගත හැකි කිසිවක් නැතිවීම බව තවදුරටත් සහේතුකව උන්වහන්සේ දැක්වූහ.


ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් යුක්ත යි. බුදුරදුන් දේශනා කොට තිබීම නිසා බුදුදහම අසුබවාදී ඉගැන්වීම්වලින් පරිපූර්ණ වී ඇතැයි සමහරු චෝදනා කරති. යම්කිසි පුද්ගලයෙකු පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔහුට වැළඳී ඇත්තාවූ රෝගයේ බිහිසුණුකම පිළිබඳ තොරතුරු ප්‍රකාශ කොට එහි සුවය සඳහා බෙහෙත් කිරීම වරදක්යැයි කිව හැකි ද? බුදුරදුන් සත්ව ශරීරය පිළිබඳ පවතින, ජාති, ජරා, ව්‍යාධි, මරණ පිළිබඳ කළ විග්‍රහය ඉහත කී වෛද්‍යවරයා රෝගියා පිළිබඳ අනුගමනය කළ ක්‍රියා මාර්ගයට සමාන වූවකි. එය ශ්‍රේෂ්ඨ උතුමෙකුගෙන් විය යුතුම වූ කාර්යයකි.


සිද්ධාර්ථ කුමාරයා තිස් පස් වන වියේ දී උතුම් වූ බුද්ධත්වයට පත් විය. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා එතුමාණන් තුළ පැවැති විශිෂ්ටත්වය කුමක්දැයි විමසීම වැදගත් වේ.


බුදුරදුන්ගේ අතීත උප්පත්තීන් පිළිබඳ තොරතුරු විමසන විට කරුණාව හා ප්‍රඥාව යන ප්‍රධාන ලක්ෂණ දෙකෙන් සම්පූර්ණ වූ පරාර්ථ චර්යාවන්ගෙන් පරිපූර්ණව පැවති බව ප්‍රකට වෙයි. මේ පිළිබඳ වැදගත් නිදසුන්වලින් ජාතක පොත පිරී පවතී. එහි දැක්වෙන අන්දමට තිරිසන් ආත්ම ලබා සිටි අවදිවල දී ද අන් අයගේ යහපත සඳහා තමන්ගේ ජීවිත කැප කළ බව පැහැදිලි වෙයි. එසේම ලෞකිකත්වය නිසා බෝසත් අවධියේ විවිධ සුළු වැරැදි සිදු කරන ලද නමුත්, සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂය පුරාම එතුමාණන්ගේ කටින් එකද බොරුවක් හෝ ප්‍රකාශ නො කොට තිබීම මහා ආශ්චර්යයකි. එපමණක් නොව තමා සතු වස්තුව ද අඹු දරුවන් ද, අවයව ද අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කිරීමෙන් නො නැවතී ජීවිතය ද පරිත්‍යාග කළ වාර අපමණ ය. බුදුරදුන්ගේ ශරීරය කිසිවෙකුට සම කළ නොහැකි තරම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ ය.


බුද්ධත්වයෙන් පසු බරණැස බලා වඩිද්දී උපක නම් ආජිවකයෙකු හමු විය. ඔබේ ඉඳුරන් ඉතා ප්‍රසන්න ය. හමේ වර්ණය පිරිසුදු හා සුදු පාටින් යුක්තය යි ප්‍රකාශ කරන ලද්දේ ශරීර ලක්ෂණයන් නිසා පුදුමයට පත්වීමෙනි. අන්‍ය ආගමක් අදහමින් සිටි වක්කලි නමැති තරුණයා බුදුරදුන් පසුපස අවුත් පැවිද්ද ලබා ගන්නා ලද්දේ ධර්මය ඇසීමෙන් පැහැදීමට පත්ව නොව දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ ශ්‍රී දේහය දැක වශී වීමෙනි. ශ්‍රමණ භවත් ගෞතමයන් අන් සියලු දෙනාටම වඩා උසස් රූපයකින් යුක්ත වන හෙයින් දැකීමෙන් තෘප්තියට පත් විය නො හැකි ය. රන්වන් පැහැයෙන් යුක්ත වූ උන්වහන්සේගේ සිරුර මහා බ්‍රහ්මයාගේ සිරුර මෙන් දිලිසෙන ලක්ෂණයෙන් යුක්ත යයි බුද්ධිමත් අන්‍යාගමිකයෝ ද පිළිගත්හ.


උන්වහන්සේ දත යුතු ධර්ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ල ම අන් කිසිවෙකුගේ සහායක් නැතිව අවබෝධ කොට ගෙන අන්‍යයන්ටත් අවබෝධ කර දෙන හෙයින් බුද්ධ නම් වූ සේක. එපමණක් නොව චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් බැහැර වූ දත යුතු අන්‍ය ධර්මයන් ද අවබෝධ කොට ගෙන ඇති හෙයින් ද උන්වහන්සේ බුද්ධ නම් වූ සේක.


බුදුරජාණන් වහන්සේ උසස් ආශ්චර්යය සම්පත්තීන්ගෙන් යුක්ත හෙයින් ද භජනය කරන ලද මාර්ගඵල, නිර්වාණ ධර්මයන් සහ වන සෙනසුන් ඇති හෙයින් ද, සිවුපසයටත්, අර්ථ, ධර්ම, විමුක්ති රසයටත්, අධි සීලාදියටත් හිමිකම් ඇති හෙයින් ද, ලෞකික ලෝකෝත්තර ධර්මයන් මනා සේ බෙදා වෙන් කොට දැක් වූ හෙයින් ද රාගාදී පාප ධර්ම වැනසූ හෙයින් ද, ගරු කළ යුතු හෙයින් ද මහ පින් ඇති බැවින් ද උතුම් කුසල ධර්මයන් මැනවින් භාවිත කරන ලද සිත් ඇති හෙයින් ද භගවා නම් වූ සේක. මේ උතුම් සියලු ගුණ අන් කිසිවෙකුට සමාන නැති අන්දමට බුදුරදුන් තුළ පැවතුන හෙයින් උන්වහන්සේ අසම නම් වූ සේක.
 

සත්ථා දේව මනුස්සානං

 



සත්ථා දේව මනුස්සානං නම් වන සේක
සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ
තණමල්විල රාහුල හිමි

අප ජීවත් වන සමාජයේ ඇතැමුන්ට ගරු සැලකිලි ලැබෙනුයේ ඔවුන්ගේ වත් පොහොසත් කම්

නිසා ය.ඔවුන් සතුව බොහෝ ධන ධාන්‍ය ඇති නිසා ය.

මෙලෙසින්ම සමහරු බලතල නිසා ද, තවත් සමහරු නිලතල නිසා ද ගරු බුහුමන් ලබති. මෙ හැරුනු කොට කුල ගෝත්‍ර නිසා මෙන්ම කාය ශක්තිය නිසා ද මිනිස්සු තවත් මිනිස්සුන්ගේ ගෞරවයට සම්භාවනාවට හා ඇගයීමට පාත්‍ර වෙති.එහෙත් බුදු දහමට අනුගතව අප තවත් කෙනෙකුට ගරු කළ යුත්තේ සම්භාවනාවට පාත්‍ර කළ යුත්තේ ධනවත්කම, බලවත්කම, නිලය, කුලය, ශරීරයේ හැඩය අනුව නොව ගුණ නුවණ අනුව යි.

ලෝකයේ එදාමෙදා තුර පහළ වූ ගුණවතුන් හා නැණවතුන් අතර අති ශ්‍රේෂ්ඨ උතුමාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය.බෞද්ධයින් ලෙස අපි උන්වහන්සේ තරම් ගුණ නුවණින් අගතැන්පත් වෙනත් කිසිදු ශාස්තෘවරයෙකු පිළිබඳව නොදනිමු.උන්වහන්සේ අනන්ත ගුණ ඇති සේක.අනන්ත නුවණ ඇති සේක.බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ දී පවා උන්වහන්සේගේ ගුණ නුවණ දඹදිව පුරාවට ම ප්‍රචලිත විය.රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පටන් ඉතා අසරණ දුකට පත් වූ මිනිසුන් දක්වා බුදු ගුණයත් , බුදු සුවඳත්, බුදු නුවණත් ඇගයීමට සම්භාවනාවට පත් වූ බව පෙළ දහමේ එන සූත්‍ර දේශනා තුළ සුපැහැදිලි ය.

බුදුරජාණන් වහන්සේ සතු අසීමිත සම්බුදු ගුණ නව අරහාදි බුදුගුණ ලෙස කැටි කොට දේශනා කර තිබේ.ඒ අතරින් සත්ථා දේව මනුස්සානං යනු බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව හා නිවන පිණිස මාර්ගය පෙන්වන ශාස්තෘවරයා ය.එම නිසා (සත්ථ) ශාස්තෘ වන සේක.සත්ථ (සාර්ථ)යනු ගැල් සිය ගණනකින් යුක්ත ගැල් සාත්තුවකට තවලමකට කියන පරියාය පදයකි.

අතීතයේ එබඳු ගැල් කණ්ඩායම් රැගෙන කාන්තාර වලින්,ගිරිදුර්ග, වනදුර්ග අතරින් තරණය කිරීමේ දී ඒ සඳහා නිවරැදි නායකත්වය හා මග පෙන්වීම සිදු කරන තැනැත්තා ගැල් නායකයා,සාත්තු නායකයා සත්ථා යනුවෙන් හඳුන්වන ලදි.එසේම එකොළොස් ගින්නකින් පෙළෙන සත්වග සසර කතරින් එතර කිරීමට මග පෙන්වන හෙයින් බුදුරජාණන් වහන්සේ සත්‍ථා දේව මනුස්සානං වන සේක.

බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්‍වය පිළ ිබඳව පෙළ දහමෙහි මනා සේ විවරණය වේ. ඒ අතර අංගුත්තර නිකායෙහි කකුධ සූත්‍රයෙහි ශාස්තෘත්‍වය පිළිබඳව මනාව පැහැදිලි වේ.

‘මොග්ගල්ලානය’මේ ලෝකයෙහි අපිරිසුදු සීල ඇති,අපිරිසුදු ජීවිකා ඇති,අපිරිසුදු ධර්ම දේශනා ඇති අපිරිසුදු විවරණ ඇති, අපිරිසුදු ඤාණ දර්ශන ඇති ආගමික නායකයෝ වෙති.ඔවුහු තම තමාම එකී කරුණුවලින් පිරිසුදු යැයි ප්‍රතිරූප මවා පෙන්වති.මාගේ ශ්‍රාවකයන් මෙම කිසිදු කරුණකින් මා නොරකිති.මම ඔවුන්ගේ එබඳු රැකවරණයක් බලාපොරොත්තු නොවෙමි.මන්ද යත් සෑම කරුණකින්ම මා පිරිසුදුව සිටින බැවිනි. ලොව බොහෝ ලෞකික කරුණු අරභයා අනුශාසනා කරන බොහෝ ආගමික නායකයෝ වෙති.එහෙත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මග පෙන්වීම නිවන උදෙසාම ය.මේ බව

අහං හි අරහං ලෝකේ
අහං සත්ථා අනුත්තරෝ
සකෝම්හි සම්මා සම්බුද්ධෝ
සීතුභූතෝස්මි නිබ්බුතෝ

බුදුරජාණන් වහන්සේ දෙවන වර බරණැසට වඩින අතරතුර දී උපක නම් ආජීවකයා හමු වී ඔබ කවුරුන්

උදෙසා මහණ දම් පුරන්නේදැයි විමසූ පැනයට පිළිවදන් ලෙස බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා ධර්මය දේශනා කළ සේක.එහි දි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දිමට සත්ථා යන්න භාවිත කර ඇත්තේ අනුත්තර වූ ශාස්තෘවරයා වන බැවිනි.

බුදු ගුණ අලංකාර කතු හිමියන් බුදුරජාණන් වහන්සේ පමණක් සතු වූ සත්‍ථා දේවමනුස්සානං ගුණය මනා සේ කාව්‍යයට නාගා තිබීම ශ්‍රද්ධාව ජනනය කරවන්නකි.

බව කතරින් එතර
ලනුයෙන් සතන් හැම වර
තිලෝගුරු මුනිවර
වී ය සත්තා නමින් පුවතර

ලොව තුළ ශ්‍රාවක ආකර්ශනය ලබා ගැනිම උදෙසා විවිධ ප්‍රාතිහාර්ය සිදුකරන ආගමික නායකයින් දුලභ ය.එහෙත් බුදුරජාණන් වහන්සේ එකී සියලු ප්‍රාතිහාර්යන් පසෙකලා අනුශාසනා ප්‍රාතිහාර්ය උතුම් කොට දේශනා කළ සේක. දිනක් කේවට්ට නම් බමුණා සෘද්ධි ප්‍රාතිහාර්ය තුළින් ළඟා කරගත හැකි ප්‍රසිද්ධිය පිළිබඳව භික්‍ෂූන්ට වර්ණනා කළේය.එහි දී බුදුරජාණන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්ය තුළින් ලැබෙන ප්‍රසිද්ධියට වඩා ඉන් සිදුවන හානිය පිළිබඳව පැහැදිලි කළහ.නිබඳවම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වූයේ ලෞකික සැපය අභිබවා යන ලෝකෝත්තර සුවය උදෙසා ය.

හතළිස් පස් වසක් පුරාවටම ලෝසත වෙත අපමණ කරුණාවෙන් ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව වූයේ නොපමාව කුසල් රැස් කරන්න අප්‍රමාදි නොවන්න යනුයි.මුල මැද අග කලණ දහමක් දෙසූ එකම ශාස්තෘවරයා වන, බැවින් ද තවත් බුදුරජාණන් වහන්සේ නමකට පමණක් සම වන අනෙකෙකුට සම නොවන හෙයින් ද දෙවි, බඹ, මිනිස් සත්වගට ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

Sunday, October 24, 2021

ඛජ්ජන සූත්‍රය



ඛජ්ජන සූත්‍රය  
79
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරන්නාවූ යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නොයෙක් පෙර විසූ උත්පත්ති පිළිවෙළ සිහිකරද්ද, ඒ සියලුදෙනා, උපාදානස්කන්ධ පස හෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහිකරත්.
“මහණෙනි, ‘අතීතකාලයෙහි මම මෙබඳු රූප ඇත්තෙක් වීමියි’ සිහිකරන තැනැත්තේ රූපයම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ වේදනාවම සිහිකරයි. අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංඥාවම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ සංස්කාරයන්ම සිහිකරයි. ‘අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙක් වීමියි’, මහණෙනි, මෙසේ හෝ සිහිකරන තැනැත්තේ විඥානයම සිහිකරයි.
“මහණෙනි, රූපය කුමකැයි කියව්ද? මහණෙනි, විකාරයට හෙවත් වෙනස්වීමට පැමිණෙනුයි එහෙයින් රූපයයි කියනු ලැබේ. කුමකින් වෙනසට පැමිණෙයිද? සීතයෙන්ද වෙනසට පැමිණෙයි. උෂ්ණයෙන්ද වෙනසට පැමිණෙයි. බඩගින්නෙන්ද වෙනසට පැමිණෙයි. පිපාසයෙන්ද වෙනසට පැමිණෙයි, ඩැහැ ලේ බොන ඇටමැසි, විද ලේබොන මදුරුවා, අව් සුලං සර්පාදී දීර්ඝ ජාතික සතුන්ගේ ස්පර්ශයෙන්ද, වෙනසට පැමිණෙයි. මහණෙනි, වෙනසට පැමිණෙනුයි එහෙයින් වනාහි රූපයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාව කුමකැයි කියව්ද? මහණෙනි විඳිනුයි. එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ. කුමක් විඳීද? සැපද විඳියි. දුකද විඳියි. අදුක්ඛම සුඛයද, (උපෙක්ෂාව) විඳියි. මහණෙනි, විඳිනුයි එහෙයින් වනාහි වේදනාවයයි කියනු ලැබේ.
“මහණෙනි, සංඥාව කුමකැයි කියව්ද? මහණෙනි, හඳුනනුයි එහෙයින් වනාහි සංඥාවයයි කියනු ලැබේ. කුමක් හඳුනාද? නිල්වූ දේ නිල්යයිද, හඳුනයි. කසාවන් දෙය කසාවන් යයිද හඳුනයි. ලෙහෙවන් දෙය ලේවන්යයිද හඳුනයි. සුදු දෙය සුදුයයිද හඳුනයි. මහණෙනි, හඳුනයි හඳුනයිනුයි සංඥාවයයි කියනු ලැබේ.
“මහණෙනි, කුමක් වනාහි සංස්කාරයන්යයි කියව්ද? මහණෙනි, හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ පිළියෙල කරත්. එහෙයින් සංස්කාරයයි කියනු ලැබෙත්. කිනම් හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද්දක් පිළියෙල කරද්ද? හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද රූපය රූපයවීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ වේදනාව වේදනාව වීම පිණිස පිළියෙළ කරත්. සංඛතවූ සංඥාව සංඥාව වීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ සංස්කාරයන් සංස්කාරවීම පිණිස පිළියෙල කරත්. සංඛතවූ විඥානය විඥානයවීම පිණිස පිළියෙල කරත්. මහණෙනි, සංඛතය (හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ) පිළියෙල කරන හෙයින් සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, කුමක් විඥානයයි කියව්ද? මහණෙනි, විශේෂයෙන් දැනගනියි. එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දැනගනීද? ඇඹුල් රසද, විශේෂයෙන් දනී. තිත්ත රසද විශේෂයෙන් දනී කුළුරසද විශේෂයෙන් දනී. මිහිරි රසද විශේෂයෙන් දනී. කර රසද විශේෂයෙන් දනී. මිශ්‍ර රසද විශේෂයෙන් දනී. ලුණු රසද විශේෂයෙන් දනී දිය රසද විශේෂයෙන් දනී. මහණෙනි, මෙසේ වනාහි අරමුණ විශේෂයෙන් දැනගන්නා හෙයින් විඥානයයි කියනු ලැබේ.
“මහණෙනි! එහිදී ඇසූ පිරූ තැන් ඇති ආර්යශ්‍රාවක තෙමේ මෙසේ සලකයි. ‘මම වනාහි දැන් රූපය නිසා පෙළෙමි. දැන් මම වනාහි පවත්නා රූපය නිසා යම් සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අතීත කාලයෙහිද, රූපය නිසා පීඩාවට පැමිණියෙමි. මම වනාහි අනාගත රූපය කෙරෙහිද, කැමති වන්නෙම් නම් දැන් වර්තමාන රූපය නිසා යම්සේ පීඩාවට පැමිණෙම්ද, එපරිද්දෙන්ම මම අනාගත රූපය නිසාද පීඩාවට පැමිණෙන්නෙමියි’ කියායි, හෙතෙමේ මෙසේ සලකා අතීත රූපය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත රූපය (ගැන) නොකැමැති වෙයි. පවත්නා රූපයෙහි කළකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නැති කිරීම පිණිසද පිළිපන්නේ වෙයි.
“මම වනාහි දැන් වේදනාවෙන් පීඩා විඳිමි. යම්සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, අතීතයෙහිද මම මෙපරිදිම වේදනාවෙන් පෙළුනෙමි. මම වනාහි අනාගත වේදනාව කැමති වන්නෙම් නම් යම් සේ දැන් පවත්නා වේදනාවෙන් පෙළෙම්ද, එපරිදි මම අනාගත කාලීන වේදනාවෙන් පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙමේ මෙසේ සලකා අතීත වේදනාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත වේදනාව (ගැන) නොකැමැති වෙයි. පවත්නා වේදනාව කෙරෙහි කළකිරීමටද, නොඇලීමටද, නැතිකිරීමටද පිළිපන්නේ වෙයි.
“මම වනාහි දැන් සංඥාවෙන් පීඩා විඳිමි. යම්සේ දැන් පවත්නා සංඥාවෙන් පෙළෙම්ද, අතීතයෙහිද මම මෙපරිදිම සංඥාවෙන් පෙළුනෙමි. මම වනාහි අනාගත සංඥාව කැමති වන්නෙම් නම් යම් සේ දැන් පවත්නා සංඥාවෙන් පෙළෙම්ද, එපරිදි මම අනාගත කාලීන සංඥාවෙන් පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙම මෙසේ සලකා අතීත සංඥාව කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත සංඥාව (ගැන) නොකැමැති වෙයි. පවත්නා සංඥාව කෙරෙහි කළකිරීමටද, නොඇලීමටද, නැති කිරීමටද පිළිපන්නේ වෙයි.
“මම වනාහි දැන් සංස්කාරයන් නිසා පීඩා විඳිමි. දැන් (මම) සංස්කාරයන් නිසා යම් සේ පෙළෙම්ද එපරිද්දෙන්ම මම අතීත සංස්කාරයන් නිසා පෙළුනෙමි. මම වනාහි අනාගත සංස්කාරයන් කෙරෙහි සතුටු වන්නෙම් නම්, යම්සේ දැන් පවත්නා සංස්කාරයන් නිසා පීඩා විඳිම්ද, එපරිද්දෙන්ම මම අනාගත සංස්කාරයන් නිසා පීඩා විඳින්නෙමියි’ කියා හෙතෙම මෙසේ සලකා අතීත සංස්කාරයන් කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත සංස්කාරයන් කෙරෙහිද සතුටු නොවෙයි. පවත්නා සංස්කාරයන්හි කළකිරිම පිණිසද, නොඇලීම පිණිසද, නැතිකිරීම පිණිසද, පිළිපන්නේ වෙයි.
‘මම වනාහි දැන් විඥානය නිසා පෙළෙමි. දැන් වනාහි පවත්නා විඥානය නිසා යම් සේ පෙළෙම්ද, එසේම මම අතීත විඥානය නිසාද පීඩාවට පැමිණියෙමි. මම වනාහි අනාගත විඥානය ගැන සතුටුවන්නෙම් නම් දැන් පවත්නා විඥානය නිසා යම් සේ පෙළෙම්ද එපරිද්දෙන්ම මම අනාගත විඥානය නිසාද පීඩාවට පැමිණෙන්නෙමි’ කියායි.
‘හෙතෙම මෙසේ සලකා අතීත විඥානය කෙරෙහි බලාපොරොත්තු රහිත වෙයි. අනාගත විඥානයෙහි නො කැමැති වෙයි. පවත්නා විඥානයෙහි කළකිරීම පිණිසද නොඇලීම පිණිසද, නැතිකිරීම පිණිසද පිළිපන්නේ වෙයි.
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද, රූපය නිත්‍යය හෝ වෙයිද? අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි අනිත්‍යයි.” “යමක්වනාහි අනිත්‍යයනම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි දුකය,” “යමක් වනාහි අනිත්‍යයද, දුක් ද පෙරලෙනසුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? වේදනාව නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් වනාහි අනිත්‍ය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය” යමක් වනාහි අනිත්‍යයද, දුක්ද, පෙරලෙන සුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? සංඥාව නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය “යමක් වනාහි අනිත්‍යයද, දුක්ද පෙරලෙන සුලුද, ‘මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසු වේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? සංස්කාරයෝ නිත්‍යය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යයි” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද, සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යයද, දුක්ද, පෙරලෙන සුලුද, ‘මෙය මගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි” දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය නොවේමය.”
“මහණෙනි, නුඹලා කුමකැයි සිතන්නහුද? විඥානය නිත්‍යය හෝ වෙයිද, අනිත්‍යය හෝ වෙයිද?” “ස්වාමීනි, අනිත්‍යය” “යමක් වනාහි අනිත්‍යය නම් එය දුක් හෝ වෙයිද සැප හෝ වෙයිද?” “ස්වාමීනි, දුකය.” “යමක් අනිත්‍යය නම් දුක නම් පෙරලෙනසුළු නම් ‘එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි’ දැකීමට සුදුසුවේද?” “ස්වාමීනි, එය සුදුසු නොවේමය.”
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි (භික්ෂුව විසින්) අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම් වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි රූපයක් වේද, ඒ සියලු රූප ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරොසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනා ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීත වූද, අනාගතවුද, දැන් පවත්නාවූද, යම්කිසි සංඥාවක්වේද, ඒ සියලු සංඥාවන් එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීත වූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි සංස්කාරයෝ වෙත්ද, ඒ සියලු සංස්කාරයෝ ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිද්දෙන් මනා නුවණින් දත යුතුයි.
“අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූද, දැන් පවත්නාවූද, යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘එය මාගේ නොවේය. එය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිදි මනා නුවණින් දත යුතුයි.
“මහණෙනි, මේ ආර්යශ්‍රාවකතෙමේ (සසර පැවැත්ම) විනාශ කරන්නේයයි කියනු ලැබේ. රැස් නොකරන්නේය, දුරුකරන්නේය. අල්වා නොගන්නේය, විසුරුවා හරින්නේය, එකතු නොකරන්නේය, නිවන්නේය, නොදල්වන්නේයයි කියනු ලැබේ.
“කුමක් විනාශ කරයිද, රැස් නොකරයිද? රූපය විනාශ කරයි. රැස් නොකරයි. වේදනාව විනාශ කරයි, රැස්නොකරයි. සංඥාව විනාශ කරයි, රැස් නොකරයි. සංස්කාරයන් විනාශකරයි, රැස් නොකරයි. විඥානය විනාශ කරයි, රැස්නොකරයි. කුමක් දුරුකරයිද, අල්වානොගනීද? රූපය දුරුකරයි, අල්වා නොගනියි. වේදනාව දුරුකරයි, අල්වා නොගනියි. සංඥාව දුරුකරයි, අල්වා නොගනියි. සංස්කාරයන් දුරුකරයි, අල්වානොගනියි. විඥානය දුරුකරයි, අල්වා නොගනියි කුමක් විසුරුවාහරියිද, එකතු නොකරයිද? රූපය විසුරුවා හරියි, එකතු නොකරයි. වේදනාව විසුරුවා හරියි. එකතු නොකරයි. සංඥාව විසුරුවා හරියි, එකතු නොකරයි. සංස්කාරයන් විසුරුවා හරියි, එකතුනොකරයි. විඥානය විසුරුවා හරියි, එකතු නොකරයි. කුමක් නිවයිද, නොදල්වයිද? රූපය නිවයි, නොම දල්වයි. වේදනාව නිවයි, නොම දල්වයි. සංඥාව නිවයි, නොම දල්වයි. සංස්කාරයන් නිවයි, නොම දල්වයි. විඥානය නිවයි, නොම දල්වයි.
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයන් කෙරෙහිද කලකිරෙයි. විඥානය කෙරෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලීමෙන් (කෙළෙසුන් කෙරෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනෙමියි යන නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි වැස නිමවන ලද්දේය. කටයුතුකොට නිමවන ලද්දේය. මේ ආත්මභාවයෙහි කෙලෙසුන් දුරුකරනු පිණිස කළයුතු අනිකක් නැත්තේයයි” දනියි.
“මහණෙනි, මේ භික්ෂුතෙමේ රැස් කරන්නේද නොවේ. විනාශ කරන්නේද නොවේයයි කියනු ලැබේ. විනාශ කොට සිටියේ වෙයි. දුරුකරන්නේද නොවෙයි. අල්වා ගන්නේද නොවෙයි. දුරුකොට සිටියේ වෙයි. විසුරුවන්නේද නොවෙයි. එකතු කරන්නේද නොවෙයි. විසුරුවා සිටියේ වෙයි. නිවන්නේද නොවෙයි. දල්වන්නේද නොවෙයි. නිවා සිටියේ වෙයි යනුයි.
“කුමක් රැස් නොකරන්නේද, කුමක් විනාශ නොකරන්නේද, කුමක් විනාශකොට සිටියේද? රූපය රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශකොට සිටියේ වෙයි.
“වේදනාව රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශ කොට සිටියේ වෙයි.
“සංඥාව රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශ කොට සිටියේ වෙයි.
“සංස්කාරයන් රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශකොට සිටියේ වෙයි.
“විඥානය රැස් නොකරයි. නොම විනාශ කරයි. විනාශ කොට සිටියේ වෙයි.
“කුමක් දුරු නොකරයිද, අල්වා නොගනීද, දුරුකර සිටියේද? රූපය නොම දුරුකරයි. නොම අල්වා ගනියි. දුරුකර සිටියේ වෙයි.
“වේදනාව නොම දුරුකරයි. නොම අල්වාගනියි. දුරුකර සිටියේ වෙයි.
“සංඥාව නොම දුරුකරයි. නොම අල්වාගනියි. දුරුකර සිටියේ වෙයි.
“සංස්කාරයන් නොම දුරුකරයි. නොම අල්වා ගනියි. දුරුකර සිටියේ වෙයි.
“විඥානය නොම දුරුකරයි. නොම අල්වා ගනියි. දුරු කර සිටියේ වෙයි.
“කුමක් නොම විසුරුවයිද, නොම එකතු කරයිද? විසුරුවා හැර සිටියේ වෙයිද?
“රූපය නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි.
“වේදනාව නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි.
“සංඥාව නොම විසුරුවයි නොම එකතු කරයි. විසුරුවා සිටියේ වෙයි.
“සංස්කාරයන් නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි,
“විඥානය නොම විසුරුවයි. නොම එකතුකරයි. විසුරුවා සිටියේ වෙයි.”
“කුමක් නොනිවයිද? කුමක් නොම දල්වයිද? නිවාසිටියේ වෙයිද?”
“රූපය නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේවෙයි.
“වේදනාව නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි.
“සංඥාව නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි. “සංස්කාරයන් නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි.
“විඥානය නොම නිවයි. නොම දල්වයි. නිවා සිටියේ වෙයි.
“මහණෙනි, මෙසේ කෙළෙසුන් කෙරෙන් මිදුනු සිත් ඇති භික්ෂුව ශක්‍රයා සහිතවූ බ්‍රහ්මයා සහිතවූ ප්‍රජාපතී සහිතවූ දෙවියෝ දුරදීම නමස්කාර කරත්. (කෙසේද?)
“නුඹවහන්සේ යමක් (යම් ආර්යවංස ප්‍රතිපදාවක්) සඳහා සිතන්නෙහිද, යමකට කැමති වන්නෙහිද, එය අපි නොදනිමු. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, ඔබට නමස්කාරවේවා” කියායි.
(හත්වෙනි ඛජ්ජන සූත්‍රය නිමි.)

 

අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක


අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි

බුදුගුණ අතර පුරිසදම්මසාරථි ගුණය ප්‍රධාන ගුණයකි. දමනය පිළිබඳ බුද්ධ දේශනාව අන්‍ය ඉගැන්වීම්වලට වඩා වෙනස් ය. තථාගතයන් වහන්සේ පුද්ගලයන් දමනය කරන අයුරු කේශී සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් වේ.

කේශී හමුවන බුදුරදුන් ඔහුගෙන් විමසන්නේ ඔබ අශ්වයන් දමනය කරන්නේ කෙසේද යන්නයි. කේශිය පවසන්නේ ස්වාමීනි ගුණෙන්, අණෙන්, ගුණ, අණ දෙකෙන් පාලනය කරන බවත් එසේ නොහැකි වූ විට මරණයට පත්කරන බවත් ය. කේශිය නැවත බුදුරජාණන් වහන්සේගෙන් විමසනුයේ ඔබවහන්සේ පුරිසදම්මසාරථි වන හෙයින් එම දමනය කෙසේ සිදුකරන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිකරනුයේ ඔබ අස්සදම්මසාරථී ලෙස සිදුකරන අයුරින්ම මම ද දමනය කරන බවයි. එහිදී කේශිය විමසනුයේ මරණය ඔබ වහන්සේට කැප නොවන බවයි. බුදුරදුන් කේශිට පිළිතුරු ලබාදෙනුයේ කය සංවරවීම, වචනය සංවරවීම, එහි අනුසස් හා එය සිදුකරන අයුරු පහදා දීමෙන් පසුවද සංවරය සකසා නොගන්නේ නම් ආර්ය විනයට අනුව ඔහු අත්හැර දැමීමට කටයුතු කරන බවයි. එය ආර්ය විනයට අනුව මරණය බවයි.

බුදුරදුන්ගේ දමනය කෙළවර වන්නේ රහත් බෝධියෙනි. එය කායික දමනයක් නොව මානසික දමනය තුළ ඇතිවන ඵලයකි. එසේම දමනය කිරීම යනු ප්‍රචණ්ඩ ගති ඇති පිරිස්ම යන බව අදහස් නොවේ. දමනය කළ යුතු පුද්ගලයන් ඉතාම ශීලාචාර ශාන්තවන ලෙස, නැවත වෙනස් නොවන ලෙස දමනය කිරීම බුදුරදුන්ගේ මෙම ගුණයෙහි ස්වභාවයයි.

දමනය වූවන් මිනිසුන්, පිරිමින් පමණක් නොවේ. ‘පුරිස’ ලෙස ගැනුන ද සමස්තය මෙයට අයත් වේ. ලෝකයේ දමනය කළ නොහැකි වූවන් අතිශාන්ත වන අයුරින් දමනය කළ බැවින් උන්වහන්සේ ‘අනුත්තර පුරිසදම්ම සාරථි’ නම් වේ.

බුද්ධ දේශනාවට අනුව දමනය කළ යුතු කොට්ඨාස රාශියක් ගැන සඳහන් ය. බුදුරදුන් මේ සෑම කොටසක්ම එක මිටියකට ගෙන දමනයකොට ඔවුනට දෙලොව යහපත සලසා දුන්හ. එහිදී අවිහිංසාව පදනම්කොටගෙන ක්‍රියාත්මක වීම ඉතා වැදගත් ය. දමනය කළ යුතු පිරිස් මෙසේ බෙදාගත හැකි ය.

1.ධනය, බලය, උගත්කම, ප්‍රසිද්ධිය ආයතනයන්හි බලය, රූපය වැනි දෑ හේතුකොටගෙන මාන්නයට ලක්වීම. සච්චක, ඛේමාව, මාගන්ධියා, මුල්කාලීන වැඩිහිටි ශාඛ්‍යයන් මේ යටතට ගත හැකියි. මේ සියල්ල ත්‍රිලක්ෂණ ධර්මතාවයෙන් යුක්ත ය. ඒ මත අනෙකා පෙළීම යෝග්‍ය නොවේ.

2.අවිද්‍යාව හෙවත් මෝඩකම මත අන්‍යයන්ට නින්දා අපහාස කරමින් කටයුතු කරන පිරිස් ඇත. ඔවුන් ද දමනය කළ යුතු ය. චිංචිමානවිකාව, අක්කෝස භාරද්වාජ එවැන්නන්ට උදාහරණ වේ. මෝඩකම ධනය, බලය කොටගෙන සිටින, තමන් පණ්ඩිත යැයි සිතන අය දමනය කිරීම ඉතා අසීරු ය. බුදුරදුන් ඔවුන් ද දමනය කළහ.

3. රාගයෙන් කාමයෙන් අන්ධව ජීවිතය යනු පංචකාම සම්පත්තිය යැයි සිතා සිටින බොහෝ පිරිස් ඇත. අතීතයේ ද එය එසේම ය. එවැනි බොහෝ දෙනෙක් බුදු වදනට අවනත වූහ. ශාක්‍යයන්, කෝලියන් ඒ අතර සුවිශේෂී වූහ.

අංගුලිමාල, ආලවක වැනි අති ප්‍රචණ්ඩ අය පවා දමනය කරනු ලැබුවේ කරුණාවෙන් හා මෛත්‍රියෙනි. අවියෙන් ලබන ජය තාවකාලික ය. ඒ බව බොහෝ උදාහරණ මඟින් පෙන්වා දිය හැකි ය. අංගුලිමාල තෙරණුවන් තමන් දමනය වීම පිළිබඳව තමන් වහන්සේ ම මෙසේ වදාළහ. ඇතැම් පිරිස් පොලු මුගුරුවලින් කසවලින්, තවත් පිරිසක් දමනය කරන විට මම වනාහි බුදුරදුන් විසින් දඬුමුගුරු අවිආයුධ භාවිත නොකොට දමනය කරන ලද්දේ වෙමි. බුදුරදුන් එසේ දමනය කිරීමෙන් බොහෝ පිරිස් අතිශයින් ශාන්ත වූහ. තිරිසන් සතුන් දමනය මිනිසා දමනයට වඩා ඉතා පහසු ය. මිනිසා තුළ බොහෝ කපටිකම් ඇත. තිරිසනුන් කපටි නැත. මායම් දැක්වීමක් නැත. නපුරුකම් සඟවා හීලෑකම් දැක්වීමක් හෝ හීලෑකම් සඟවා නපුරුකම් පෙන්වීමක් නැත. සඟවන කාරණා ඔවුන් තුළ නැති අතර සැබෑ තත්ත්වය පෙන්නුම් කරයි. එහෙයින් තිරිසනා මෙල්ල කිරීම ඉතා පහසු වේ. නැති ගුණ පුහුමාන්න මිනිසා තුළ බොහෝ ඇත. එවැනි මිනිසුන් දමනය කිරීමට තරම් බුදුරදහු දක්ෂ වූහ.

බුදුරදුන් වසර 45 ක් පුරාවට එනම් දවස් 16425 බොහෝ පිරිස් දමනය කළහ. සැවැත්නුවර පමණක් දමනය කරන ලදුව පන්කෝටියක් ආර්ය ශ්‍රාවකයන් වී සිටියෝ ය. මෙලෙස අන්‍ය නගරවල ද බොහෝ පිරිස් සසර භය නොදැනෙන ලෙස දමනය කළහ. ලෙන්ගතුව ලෝකයා පුදුම වන ලෙස දඬුමුගුරු අවි ආයුධවලින් තොරව පුද්ගලයන් දමනය කිරීමට සමත්වන බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසධම්මසාරථී යන බුදුගුණයෙන් යුක්ත වූහ.

බුදුරදුන් දමනය කරන ලද්දේ පුරුෂයන් පමණක් නොවේ. දමනය කළ යුතු අය අතර ඔවුන් ප්‍රධාන බැවින් මෙම ගුණ පුරිසධම්ම සාරථී ලෙස භාවිත වේ. බුදුරදුන්ගේ දමනයේ

සුවිශේෂී අවස්ථා වන්නේ අංගුලිමාල, ආලවක, සච්චක දමනය නොවේ. එය කාරණා කිහිපයක් පමණි. උන්වහන්සේ බොහෝ සෙයින් කළ දමනය වන්නේ මෝහයෙන් මුලා වී සසර සැරිසැරූ සත්ත්වයින් ඉන් මුදවා ගැනීමයි. ඒ සඳහා සිත දමනය කිරීම අවශ්‍ය ය. අපහසුම දමනය ද මේ සිත දමනයි. වඩා අසීරු වන්නේ සිත දමනයයි. අනුන් දමනය කිරීමට පහසුවන්නේ සිත දමනය කරගත් පුද්ගලයාටය. භාග්‍යවතුන් වහන්සේ අති දීර්ඝ කාලයක් දානාදී පෙරුම් පුරා බෝධි මූලයේ දී සන්තානය දමනය කරගත්හ. එහෙයින් උන්වහන්සේ ඥානබලය, සෘද්ධිබලය යොදා බොහෝ පිරිස් දමනය කළහ. පස්වග මහණුන්ගෙන් ඇරැඹි මෙම දමනය අවසාන භික්ෂුව සුභද්‍ර දක්වාම නොකඩවා සිදුකළහ. තමන් වහන්සේ දමනය කොටගෙන ලෝක සත්ත්වයාට ද ශාන්තවන පරිදි දමනය කළ බැවින් අප බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම සාර්ථි වන සේක.

 

Dhammapada



කො නු භාසො කිමානන්‍දො නිච්චං පජ්ජලිතෙ සති,


අන්‍ධකාරෙන ඔනද්ධා පදීපං න ගවෙස්සථා ති.


නිතොර ගිනි ඇවිල දැවෙද්දී, කවර සිනහවෙක් ද, කිනම් සතුටෙක් ද, අඳුරෙන් වැසුනහු පහණක් කිම නො සොයහු.


කො නු භාසො = කවර සිනහවෙක් ද?


කො යනු කිං යන්න මුල් කොට ඇත්තේ ය. එය සලිඞ්ගික වේ. “කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං, කිං සීලං, කො සමාධි” යන තැන්හි සේ ය.


නු යනු නිපාතයි. ප්‍රශ්න, සංශය යන අරුත්හි එයි. “කස්මා නු තුම්හෙ දහරං න මීයරෙ, අරහං නු ඛොස්මි, නො නු ඛොස්මි” යනාදී බැහි සේ ය. මෙහි ප්‍රශ්න යෙහි ආයේය.


සන්තෝෂය හාස නම් “හාසොතීති = හාසො, හසති යෙන = සො හාසො, හසනං = හාසො යනු අරුත් කීම ය. තුටු පහටු අයුරය හාස.


කිං ආනන්‍දො = කිනම් සතුටක් ද?


කිං ශබ්දය “ කිං සෙවමානො ලහතීධ පඤ්ඤා, කිං රාජාදයො ලොකං පාලෙන්ති, යං කිං චි රූපං අතීතානාගතපච්චුප්පන්නං, කිං තෙ වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, කිං නු කාහාමි දෙවතෙ” යන මේ තැන්හි පිළිවෙළින් ප්‍රශ්න, ගර්‍හා, අනියම, නිරර්‍ත්‍ථක, වචන ප්‍රතිග්‍රහණ යන අරුත්හි එන්නේ ය. තවත් ස්වරූප, වස්තු, ක්‍රියා, කාරක, කෘත්‍ය යන අරුත්හි ද, යෙදේ. මෙහි ද ප්‍රශ්නයෙහි ය.


දැඩි සතුට ආනන්‍ද නම්. ‘ආහුසො නන්‍දයතී ති = ආනන්‍දො’ යනු විවෘතියි. ‘ආ භූසා තුට්ඨි ආනන්‍දෙති වුච්චති’ යනු ටීකා ය.


නිච්චං = නිතොර. අතර නො තබා. නො කඩවා.


අතර නො තබා නො කඩවා පැවැත්ම ‘නිච්චං’ යන්නෙන් කිය වේ. “තොරතෝන්චියක් නැතුව” යනු සාමාන්‍ය ව්‍යවහාරයයි.


පජ්ජලිතෙ සති = ගිනි ඇවිල දන කල්හි. ගිනි ගෙණ තදින් ඇවිල ගත් කල්හි.


මේ සත්ලොව රාගාදී එකොළොස් ගින්නකින් රෑ දාවල හැම මොහොතෙක්හි අතර නො තබා තදින් ඇවිල ගෙණ දැවෙන්නේ ය. රාග, දෝස, මෝහ, ව්‍යාධි, ජරා මරණ, සෝක, පරිදේව, කායික දුක්ඛ, චෛතසිකදුක්ඛ, උපායාස යන මේ ය ඒ ගිනි එකොළොස. මේ ඔවුන්ගේ සංග්‍රහ ය.


“රාගො ච දොසො ච මොහො ච ව්‍යාධි


ජරා ච මරණම්පි ච සොකමෙව


පරිදෙවදුක්ඛම්පි ච දොමනස්සං


පායාසමෙකාදසමග්ගිමාහු”


රාගාදීහු ඇතුළත්හි සිට සත්ත්‍වයා පිළිබඳ හැම ගුණයක් දවන්නෝ ය. සත්ත්‍වයා පුළුස්සන්නෝ ය. එහෙයින් මොවුහු ගිනි වෙති. සත්ත්‍වශරීරගත සප්තධාතුන් ම වියලන්නෝ ය මොවුහු. සත්ත්‍ව ශරීරය ශුෂ්ක කරන්නෝත් මොහු ය.


අන්‍ධකාරෙන ඔනද්ධා = අඳුරෙන් වැසුන තෙපි අඳුරෙන් වළඳනා ලදහ.


මෙහි අන්‍ධකාර නම්, අවිද්‍යා ය. ප්‍රකෘති අන්‍ධකාරය පියවි ඇසින් දැකීම බැලීම නසන්නේ ය. පියවි ඇස වැඩට නැත්තක් කරන්නේ ය. චක්ඛුවිඤ්ඤානයාගේ ඉපැත්ම වළකන්නේ ය. අවිද්‍යාව ද එබඳු ය. නුවණැස නසන්නේ ය. සත්‍යය වසා ලන්නී ය. සත්ත්‍වයා නො මග යවන්නී ය. එහෙයින් අන්‍ධකාරැ යි වදාළ සේක.


ප්‍රකෘතිඅන්‍ධකාරයෙන් හැසී ගැවසී ගත් සත්ත්‍ව ලෝකය ක්‍රියා විරහිත වන්නා සේ අවිද්‍යාන්‍ධකාරයෙන් වැළඳුනු සත්ත්‍වලෝකයත් ක්‍රියාවිරහිත වන්නේ ය.


පදීපං න ගවෙස්සථ = පහන් කිම නො සොයහු ද?


මෙහි පදීප නම්, මගපල නුවණ ය. සූර්‍ය්‍යාදීලෝකාදී වූ යම්කිසි ආලෝකයක්හුගේ ලැබීමෙන් ප්‍රකෘති අන්‍ධකාරය නැසී යන්නා සේ මග පල නුවණ ලැබීමෙන් අවිද්‍යාන්‍ධකාරය නැසී යන්නේ ය. බුදුරජානන් වහන්සේ “අවිද්‍යා නැමැති ගනඳුරෙන් වැළඳ ගත්, අවිද්‍යාන්‍ධකාරයෙන් වැසී ගිය තෙපි එය දුරලීම පිණිස, එයින් ගොඩ එනු පිණිස කුමක් හෙයින් නැණ පහන නො දල්වවු ද? කිම නො සොයවු දැ” යි මෙයින් වදාළ සේක. අවිද්‍යාන්‍ධකාරයෙන් අඳුරුව ගිය සත්ත්‍වලෝකයහි නැණ පහන දැල්වියයුතු ය යනු එහි අදහස ය.


මුළු සත්ලොව රෑ දාවල හැම මොහොතෙක අතර නොතබා එක සැටියෙන් රාගාදී වූ ගිනි වලින් ඇවිල දැවෙන්නේ ය. එසේ දැවෙන මේ සත්ත්‍වයාහට මොන සිනහවෙක් ද, මොන සතුටෙක් ද, සිනහ වන්නට සතුටු වන්නට කරුණු නැත්තේ ය. අවිදු අඳුරෙන් තදින් මුළා ව සිටිනා සත්ත්‍වයා විසින් ඒ අවිදු අඳුර නසන්නට වෙර වැඩිය යුතු ය. නුවණ දියුණු කර ගත යුතු ය.


ධර්‍මදේශනාවගේ කෙළවර ඒ ගෑණු සෝවාන් පලයෙහි පිහිටියාහු ය. බුදුරජානන් වහන්සේ උන් නො සැලෙන සැදැහයෙහි පිහිටි බව දැන, මහමෙර මුදුනෙන් බැස බුද්ධාසනයෙහි වැඩ හුන් කල්හි විශාඛාවෝ “ස්වාමිනි! සුරා බීම කැත බීමෙක, විළිබිය නසන්නෙක, නින්දාවට කරුණෙක, මෙලොව දියුණුව නසනෙක, පරලොව අපායයට හෙලනෙක, ස්වර්‍ගය අවුරන්නෙක, ස්වාමිනි! මේ ගෑණු ඔබ වහන්සේ ඉදිරියෙහි ඉරියවු පමණෙහි වත් පිහිටා ගන්නට නො හැකි ව අත්පුඩි ගසන්නට සිනාසෙන්නට ගී කියන්නට නටන්නට උඩ පනින්නට පටන් ගත්තෝ සුරා බී මත්ව සිටි බැවිනි. තිරිසනකුටත් මේ බීම නො වටනේ ය. මේ බීම නිසා මිනිසා මුළුමනින් තිරිසනකු කරන්නේ ය” යි කීහ. “ඔව්, විශාඛා සුරා බීම ඉතා පහත් බීමක්, රා අරක්කු බීම නිසා විපතට පත් මිනිසුන්ගේ ගණන නො කියහැකිය, මේ නිසා මිනිස්සු මෙලොව ම ධනහානියට, ‍භෝග හානියට, යසභානියට, ප්‍රඥා හානියට පැමින්නේ ය. මරණින් පසු සිවු අපායයෙහි උපදින්නාහ” යි බුදුරජුන් වදාළ කල්හි, නැවත විශාඛාවෝ “ස්වාමීනි! මේ රා අරක්කු ලොව පහළ වූයේ කවදාදැයි ඇසූහ. බුදුරජාණන් වහන්සේ ඒ දක්වන්නට විස්තර විසින් කුම්භජාතකය වදාළ සේක. එය බැලිය යුතුයි



Friday, October 22, 2021

ලෝකවිදූ නම් වන සේක

 


ලෝකවිදූ නම් වන සේක
නිට්ටඹුව, දඹදෙණිය, සාරිපුත්ත,
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ
පීඨාධිපති
කොටගම වාචිස්සර නා හිමි

තුන් ලොව තතු ලෙස ට
දැනගෙන නොදත් මෙලොව ට
දෙසුයෙන් නියම කො ට
ලෝක විදු යයි කියති මුනිඳු ට”

ඒ වීදාගම මහා මෛත්‍රී හිමිපාණන් බුදුගුණාලංකාර නම් පද්‍ය සංග්‍රහයෙහි දී ලෝකවිදූ ගුණය විස්තර කළ අයුරුයි.

නව අරහාදී බුදු ගුණයන්හී පස්වන බුදුගුණය ‘ලෝක විදූ’ ය. වචනාර්ථ ලෙසින් ඉන් කියැවෙන්නේ ලෝකය දැන ගත්තේය යන්නයි. බුද්ධ කාලයෙහි “ලෝක” යන වචනය ඉතා පුළුල් ලෙස විග්‍රහ වූ දාර්ශනික පදනමක් ඇති වචනයකි. නමුත් ඒ එක ද ධර්මයක හෝ දර්ශනයක ප්‍රකාශ නොවන අර්ථ සමූහයක් ම බෞද්ධ ලෝක විග්‍රහයෙහි සූචනය වේ.

ලෝකය පිළිබද අප දන්නේ ඉතා අල්ප වූ දෙයකි. ලෝකය විශාලය. ඒ නිසා අප ලෝකය පිළිබඳ දන්නේම නැත. මහ සයුරෙන් දිය බිඳුවක් මෙනි. ලොව පිළිබඳ අප දන්නේ නොදන්නා දේ මහා සාගරයේ දියමෙනි. පොළොවෙහි වැලිකැට ගණන් කළ නොහැකි ය. නමුත් ලොව පිළිබඳ අප දන්නේ එක් වැලිකැටයක දෙයක් පමණි. නොදන්නා දේ පොළොවෙහි වැලිකැට මෙනි. අප දන්නා දේ නියපිටට ගත් පස් ටිකක් මෙනි. නොදන්නා දේ පොළොවේ පස් මෙනි. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු ලොව සර්වාකාරයෙන් දැන වදාළහ. ඒ නිසාම උන්වහන්සේ “ලෝක විදූ” නම් වන සේක.

“ලෝකය” යනු කුමක්ද? සෑදී තිබෙන්නේ කුමකින් ද? ලෝකය ඇතිවූයේ කෙසේ ද? එය කොතෙක් පැරැණි ද? එහි විශාලත්වය කොපමණ ද? ලෝකයේ ප්‍රභේද මොනවා ද? ආදී ප්‍රශ්න විසඳීමෙන් බුදුරජාණන් වහන්සේ තුළ පැවති ලෝක විදූ ගුණය හඳුනාගත හැකි ය.

බුද්ධ දේශනාවට අනුව ලෝකය යනු සත්ත්වයන් හා අසත්ත්ව වස්තු ලෙස හෙවත් ජීව අජීව ලෙසින්ද, ධාතු හා ගුණ වශයෙන් ඇති සියල්ලයි.

ලෝකය සෑදී ඇත්තේ නාම රූප දෙකිනි. ලෝකය යනු සත්ත්ව සන්තාන යයි. හෙවත් පඤ්චස්කන්ධයම යි. මේ සත්ත්ව සන්තාන හෙවත් පඤ්චස්කන්ධය පිළිබඳ ලෝකය දත් නිසයි බුදුරජාණන් වහන්සේ “ලෝක විදූ” නම් වූයේ. මේ “විදූ” ශබ්දයෙන් කියන්නේ ඒ සත්ත්ව සන්තාන ලෝකය සර්ව ප්‍රකාරයෙන්ම දත් බවයි. සර්ව ප්‍රකාරයෙන්ම දැනීම නම් සභාව,සමුදය ,නිරෝධ ,නිරොධූපාය යන සතරාකාරයෙන් දැන ගැනීමයි. සභාව නම් දුක්ඛ ස්වභාවයයි. සංඛිත්තෙන “පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යන පරිදි වදාළ බැවින් උපාදානස්ඛන්ධ පඤ්චකය දුක්ඛ ස්වභාවයෙන් යුක්ත ය. සමුදය නම් ලෝකයේ හට ගැනීමයි. නැතිවීම නිරෝධයයි. ඊට යොදන උපාධි නිරෝධූපායයි.මෙසේ ස්කන්ධ සන්තතියම සතර මාර්ග ඥානයෙන් සර්ව ප්‍රකාරයෙන්ම අවබෝධ කරගත් නිසා බුදුරජාණන් වහන්සේ ලෝක විදූ නම් වන සේක.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ලෝකය ද්වා දසායතනයන්ගෙන් සෑදී ඇත. චක්ඛායතනය, රූපායතනය, සෝ්තායතනය, සද්දායතනය, ඝාණායතනය. ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායායතනය, පොට්ඨබ්බායතනය,මනායතනය, ධම්මායතනය යන ද්වා දසායතනයෝය.

බුදුරදුන් ලොව පහළවන විට ලෝකය පිළිබඳ මිනිසුන් ගෙන තිබුණේ අන් ලොවක වෙසෙන මහා බලගතු මැවුම්කරුවෙකුගේ නිර්මාණයක්, මැවීමක් ලෙසිනි. මහා බ්‍රහ්මයා , ඊශ්වරයා දෙවියන් වහන්සේ ආදි නමින් හැඳින්වූහ. තමන් විසින්ම මවා ගත් ඒ මැවුම්කරුගේ පිහිටෙන් දුකින් මිඳීමටත්. සැපයට පැමිණීමටත් හැකි යැයි සිතූහ. මේ පිළිබඳ ඇති අනවබෝධය දුරුකරගත් බුදුරජාණන් වහන්සේ. ලෝකය කෙනෙකුගේ මැවීමක් නොවන බව දත්, සේක. බීජයෙන් ගසත්, ගසින් බීජයත් ඇති වීමෙන් වෘක්ෂ පරපුර නොසිඳී පවතින මෙන් පළමුවෙන් පහළ වූ සංස්කාර නිසා පසු සංස්කාර පහළවීමෙන් සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය අවකාශ ලෝකය යන ලෝකත්‍රය පවතින බව බුදුරජාණන් වහන්සේ දැන වදාළහ.

ලෝකය පිළිබඳ ඇති අනවබෝධය නිසා වර්තමානයේ බොහෝ දෙනා මින් පෙර වූවා සේ ලෝකයෙහි අතරමංව ඇත. ලෝකයට අගක් – මුලක් නැති බව දත්, බුදුපියාණෝ එය සෙවීමට නොගොස් ලෝකයෙන් එතෙර වීමට මග කියා දුන් සේක. හේතුව නිසා ඵලයත් ඒ ඵලය නිසා නැවත හේතූන්ද ඇතිවීමෙන් සසර නොසිඳී පවතිනවා මිස එහි මුලක් නොලැබිය හැකි බව දැන වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ දත් දේ බොහෝ ය. ප්‍රකාශ කළේ අවශ්‍ය දේ පමණි. වරක් ඇට්ටේරියා වනයේ වැඩ සිටිද්දී අතට ඇට්ටේරියා කොළ මිටක් ගෙන ප්‍රශ්න කළේ මිටෙහි ඇති කොළද වැඩි කැලේ ඇති කොළද වැඩි කියායි. එපරිද්දෙන් තමන් වහන්සේ දත් දහම කැලේ කොළ මෙනි. දෙසූ දහම මිටේ ඇති ස්වල්ප මෙන් බවයි. නියට පස් බිඳක් ගෙන දේශනා කළේද නිය මත ඇති පස් මෙන් දේශනා කළේ ටිකක් බවත්, වටහාගත් දහම පොළොවෙහි පස් මෙන් බවයි.

එබැවින් බුදුරදුන් තුන් ලෝකය පිළිබඳ මනාව දැනගත් උතුමා ය. උන්වහන්සේ නව වැදෑරුම් ලෝකය, අටලෝදහම, සත්ත්ව ලෝක විභජනය ස්වභාව, සමුදය , නිරෝධ, නිරෝධාර්ය වශයෙන් ලෝකය දැන වදාළ හෙයින් ලෝක විදූ නම් වන සේක. මෙලෙසින් බුදුරජාණන් වහන්සේ ලෝකය ඇතැඹූලක් සේ දත් අතර, ලෝකය ලෝක සමුදය, ලෝක නිරෝධය හා ලෝක නිරෝධ ගාමිනී පටිපදාව යන කරුණු ලෝකය අරභයා මනාව දත් බැවින් උන්වහන්සේ ලෝක විදූ නම් වන සේක.

සුගත නම් වන සේක


සුගත නම් වන සේක
නුවරඑළිය පාර පුස්සැල්ලාව
සිරි මන්තින්දාරාම මූලික පිරිවෙනේ ආචාර්ය,
ශාස්ත්‍රවේදී
අඹගහවත්තේ සුධම්මවංශ හිමි

මුළු මහත් ලෝකයාට ම මහත් සැනසීමේ මග වදාළ අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මෙම උතුම් වෙසක් පොහෝ දින අනන්ත අපරිමිත වූ, බුදු කෙනෙකුට ද දේශනා කොට නිම කළ නොහැකි බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ අතරින් සුගත බුදුගුණය පිළිබඳව මෙසේ විවරණය කෙරේ.

“සුගතත්තා සුගත්තත්තා
සෝබනා යස්ස වාගතෝ
ගතත්තා සුන්දරං ථානං
සුගතෝ නාම තේ නමෝ”

සුන්දර සෝබන වූ දහම් වදනින් මුළු ලෝකයාට ම සැනසීම ලබාදුන් නිසා ද, සුන්දර වූ ගමන් විලාශය නිසා ද, නිවන නමැති ක්ෂේම භූමියට පත් වූ නිසා ද, සුගත නම් වන සේක.

කෝට්ටේ යුගයේ වීදාගම මෛත්‍රී හිමියන් විසින් රචිත බුදුගුණ අලංකාරයේ සුගත බුදු ගුණය පිළිබඳව මෙසේ සඳහන් වන්නේ,

“යහපත් කොට යෙතැයි
සුන්දර තැනට සැපතැයි
සොඳුරු බස් කියතැයි
කියති ඒ මුනි රජුට සුගතැයි” යනුවෙනි.

බුදුරජාණන් වහන්සේගේ සුගත බුදු ගුණය ආකාර කිහිපයකින් විස්තර කළ හැකි ය. මේ අනුව ගමන් මාර්ගය බොහොම යහපත් ය. සුන්දර වාග් විලාශයෙන් යුක්ත ය. නිවන් මග පෙන්වා දෙන ලද්දා හ. උන් වහන්සේගේ ස්වභාවික ගමන හා නිර්වාණ ගමන අර්ථාන්විත ය. දිව්‍ය මනුෂ්‍ය සැමට යහපතක් සිදු කළේ ය. උන් වහන්සේගේ ගමන් විලාශය පසේ බුදු, මහරහත්, දෙවියන්ට, මිනිසුන්ට සම කළ නොහැක. උන් වහන්සේගේ අනේක ප්‍රාතිහාර සුන්දර වූ ගමන් විලාශය පිළිබඳව අටුවාවේ මෙසේ විස්තර කරයි.

“එවං සබ්බංග සම්පන්නො - කම්පයන්තො වසුන්ධරං
අහේඨයන්තො පාණානි – යාති ලෝකේ විනායකො”

කිසිදු සත්ත්වයෙකුට හිංසාවක් නොකරමින් මහ පොළොව කම්පා කරවමින් දක්ශිණ ශ්‍රී පාදය ඉදිරියට තබා ගමන් කරන උන් වහන්සේට මහ පොළොවේ ඇති ගල් කැට, දුහුවිලි පවා ඉවත් වෙමින් ඉඩ සලසා දුනි. ඇතෙකු කේශර සිංහ රාජයෙකු වැඩම කරන්නාක් මෙන් උන් වහන්සේ ගමන් කරයි. පියවර තබන විට දුහුවිලි මතු වීමක් නොමැත. එමෙන් ම නිවන් මග මිනිසුන්ට අවබෝධ කරදුන් නිසා ද සුගත නම් වූ සේක. ලොව උපන් සියලුම සත්ත්වයෝ මනුෂ්‍ය, තිරිසන්, දිව්‍ය, ප්‍රේත, යක්ෂ වැනි ආත්ම භාවයන් ලබා සසර ගමන් කරන අතර ඔවුන් ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවමින් මරණින් මතු ලොවක් ගැන නොසිතා පස් කම් සැපය ම පමණක් ජීවිතය යැයි සිතමින් දිවි ගෙවති. ඔවුන්ට තමන් සිදු කරන්නේ කුමක් ද යන්න පිළිබඳව අවබෝධයක් නැත. යමෙකු සැනසීම සොයමින් විවිධ ඇදහිලි, විශ්වාස පසුපස ගමන් කරන අතර, තවකෙනකු විමුක්තිය ලැබීමට නම් ජීවිතයට දුකම ලබා දිය යුතු බව සිතා කෑම, බීම නොගෙන, වාසස්ථාන නොසාදවමින්, වස්ත්‍ර පවා නොදරමින් ගවයෙකු, සුනඛයෙකු, එළුවෙකු මෙන් වෘතයන් පිරීමෙන් කයට දැඩි දුක් දෙයි. මොවුන් සියලු දෙනා ම අපාගාමී වන්නාහ. යා යුතු මග, කළ යුතු දෑ, අවබෝධ කරගත යුතු දේ නොදනිති. තථාගතයන් වහන්සේ මෙම අන්ත දෙකම බැහැර කොට මධ්‍යම ප්‍රතිපදාව පෙන්වා දී, කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර ඕඝයන්ගෙන් එතෙරව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගොස් නිවන අවබෝධ කර ගැනීමට මග පෙන්වූ හෙයින් සුගත නම් වන සේක.

එමෙන් ම උන් වහන්සේ දේශනා කළ සෑම කරුණක් ම යහපත් ය. තුන් ලොවට ම යහපතක් සිදු කළේ ය. මහ මුහුදේ ජලය කිනම් තැනකින් ගත්ත ද එකම රසය දැනෙන්නාක් මෙන්, ධර්මයේ ද එකම රසයක් පවතී. එබැවින් මෙම ශ්‍රී සද්ධර්මය දේශනා කළ හෙයින් ද උන්වහන්සේ සුගත නම් වන සේක.

මේ ආකාරයට උන් වහන්සේගේ සුන්දර ගමන් විලාශය, වාග් විලාශය හා නිවන් මඟ පෙන්වා දුන් ඒ සුගත බුදු ගුණය නිසා ම අංගුලිමාල, රජ්ජුමාලා, පටාචාරා, අජාසත්ත රජතුමා, සුනීත සෝපාක, ආලවක යක්ෂයා වැනි දහස් සංඛ්‍යාත පිරිස මානසික සැනසීම මෙන් ම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, රහත් තත්ත්වයට පත් ව සසර සයුරෙන් එතෙර වූ හ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුගත බුදු ගුණයට නමස්කාර වේවා!

- දීපා පෙරේරා


 

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...