Wednesday, September 15, 2021
ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි උපේක්ඛා සම්බොජ්ඣංගය
කප්පින සූත්‍රය
කප්පින සූත්‍රය
245
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කප්පිණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් මහාකප්පිණ තෙරුන් දුරදීම දුටුසේක. දැක, භික්ෂූන්හට කථාකළ සේක.
“මහණෙනි, තෙපි එන්නාවූ සුදුපැහැයෙන් යුක්තවූ සිහින්වූ, උස්වූ නැහැයකින් යුක්තවූ, ඒ මහණ දක්නහුද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ඒ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ භික්ෂුව විසින් සමනොවදිනලද විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියායි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.
(1) “ගෝත්‍ර සොයන්නාවූ යම් සත්වයෝ වෙත්ද, (ඔවුන් කෙරෙහි) ක්ෂත්රියතෙම ශ්‍රේෂ්ඨ වෙයි. දෙවි මිනිසුන් කෙරෙහි අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්ත තැනැත්තේ ශ්‍රේෂ්ඨ වෙයි.”
(2) “සූර්‍ය්‍යයා දවල් බබලයි. චන්ද්‍රයා රෑ බබලයි. ක්ෂත්රියතෙම සන්නාහසන්නද්ධ වූයේ බබලයි. ක්ෂීණාශ්රව තෙම ධ්‍යානයෙන් යුක්ත වූයේ බබලයි. එහෙත් බුදු රජාණන් වහන්සේ දිවා රෑ දෙක්හිම තේජසින් බබලන සේක.”
(එකොළොස්වෙනි කප්පින සූත්‍රය නිමි.)
Saturday, September 11, 2021
Wednesday, September 8, 2021
ජීවිතය කෙසේ සමබර විය යුතු ද?
ජීවිතය කෙසේ සමබර විය යුතු ද?
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට දේශනා කරනු ලැබුවේ ආර්ථික දියුණුව ලැබූ පුද්ගලයකු විසින් අධ්‍යාත්මික දියුණුව ද ඇතිකර ගත යුතු බව ය. බුදු දහම එම මඟ පෙන්වීම නිතර කරයි. මෙලොව ජීවිතය නිවැරැදි ව ගත නොකළ පුද්ගලයෙකුට පරලොව ජීවිතය ගත කිරීමේ හැකියාවක් නැත. නිර්වාණගාමී මාවතට පිවිසි බෞද්ධයා විසින් මෙලොව ජීවිතය සාර්ථක කරගත යුතු ය. එබැවින් පුද්ගලයා නිතර ම තම ආත්ම දමනය පිළිබඳව කල්පනා කළ යුතු ය. එය තමා විසින් ම අවබෝධයෙන් කළ යුතු ය. වෙනත් පුද්ගලයකු යමක් පෙන්වා දෙනතුරු නොසිට තම වරද දැකීමේ හැකියාව තමාට තිබිය යුතු ය.
සමබර ජීවිතයක් ගතකිරීමට නම්, මනා සිහිකල්පනාව, ඉවසීම හා අරපරෙස්සම යන ගුණාංගයන් තිර වශයෙන් ම පැවතිය යුතු ය. එසේ නොවූ විට ජීවිතය සමබර ව පවත්වාගෙන යාමට හැකියාවක් නැත. ආර්ථිකය ද ධර්මය ද සමානව තිබිය යුතු ය. පුද්ගල චරිතය සැමවිට ම ධර්මයෙන් පෝෂණය විය යුතු ය. බොහෝ දුරට පෙර කළ පින හා පව ද මෙයට හේතු වේ. ඇතැම් අවස්ථාවල ආර්ථිකය ශක්තිමත් වන විට ධර්මය පුද්ගලයා තුළ දක්නට නොලැබෙන අවස්ථා ද තිබේ. ධර්මය සහ නීතිරීති බිඳ දමා ආර්ථික මාර්ග ඔස්සේ ගමන් කරන්නෝ ද සිටිති. කෙසේ වුව ද, මෙම අංශ දෙක ම සෑම පුද්ගල චරිතයක ම පැවතිය යුතු ය.
එක් කලෙක බුදුරජාණන් වහන්සේ මගධ රට දක්ෂිණගිරියෙහි ඒකනළ නම් බමුණු ගමෙහි වැඩ වාසය කළ සේක. එකල කසී භාරද්වාජ බමුණාගේ වප් මගුල වෙත බුදුරජාණන් වහන්සේ වැඩම කළ සේක. නඟුල් පන්සියයක් යොදා ගනිමින් ගොවිතැන් කරන ස්ථානය තුළ බමුණා ආහාර බෙදමින් සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ද එම ස්ථානයටම වැඩම කළ සේක.
බුදුරජාණන් වහන්සේ පාත්‍රය ද සහිතව වැඩ සිටිනු දුටු කසී භාරද්වාජ බමුණාට කේන්ති ගියේ ය. එම කේන්ති සහගත සිතිවිලි අතරින් බමුණා බුදුරජාණන් වහන්සේ ඇමතී ය. “ශ්‍රමණය, ඔබත් සී සාන්න, වපුරන්න එසේ කොට ආහාර අනුභව කරන්න” යනුවෙනි.
“බමුණ මම සී සෑමත් කරමි. වැපිරීමත් කරමි. සී සෑමත්, වැපිරීමත් කොට අනුභව කරමි. බුදුරජාණන් වහන්සේ වදාළහ.
සී සෑමට අවශ්‍ය උපකරණ කිසිවක් පෙනෙන්නට නැත. විය ගහ, නගුල, කෙවිට දක්නට නැත. නමුත් සී සා ආහාර අනුභව කරන බව ප්‍රකාශ කරයි. එය කුමන ආකාරයේ සී සෑමක් ද? බමුණා සිතී ය. එවිට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් වදාළ සේක.
ශ්‍රද්ධාව බීජයකි. තපස වැස්සයි. ප්‍රඥාව නගුල සහ වියගහයි. ලජ්ජාව, නගුලිසයි. මනස සොතයි, සිහිය හී වැල හා කෙවිටයි. කයින්, වචනයෙන්, සුරක්ෂිතව ,ආහාරයෙහි සංවරව සත්‍යයෙන් නෙළීම කරමි. රහත් බව මාගේ මිදීම යි. එවිට, බමුණා කරුණු කාරණා තේරුම්ගෙන බුදුරජාණන් වහන්සේට දානය වළඳන ලෙස ඉල්ලා සිටියේ ය.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. ගාථා කියා ලත් ආහාර මවිසින් නො ගත යුතු ය. මහා පාරිශුද්ධිය දකින අයගේ පිළිවෙළ එය නොවේ. බුදුවරු ගාථාහි ගීතය බැහැර කරති.
බුදුරජාණන් වහන්සේ එසේ වදාළ විට බමුණාට සත්‍ය අවබෝධ විය. තමන් එල්බ සිටියේ සාවද්‍ය මතයක බවත්, බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් තමන්ගේ මනසට යමක් ඇතුලු වූ බවත්, වචන කිහිපයක් පමණක් කතා කළ ද, එය වැටහී යාම නිසා මහත් අස්වැසිල්ලක් උදාවූ බවත් ඔහුට අවබෝධ විය.
බමුණා විසින් කරනු ලැබුවේ කුඹුර වැපිරීම ය. එය ධන ධාන්‍ය ලැබීමට මඟකි. පුද්ගලයකුට භෞතික දියුණුව අත්‍යවශ්‍යය යි . දියුණුවක් නොමැතිවීම පුද්ගල පිරිහීමේ ආරම්භය යි. එනිසා ම පුද්ගලයා අලසකම ඉවත ලා වීර්යයෙත්.ධනය හම්බ කළ යුතු ය. පුද්ගලයකු කෙතරම් ධනය ඉපයුව ද එහි වැඩි වීමක් නැත. නමුත් පුද්ගල ජීවිතයට ආර්ථික දියුණුව පමණක් ළගා කර ගැනීම ප්‍රමාණවත් ද? බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට දේශනා කරනු ලැබුවේ ආර්ථික දියුණුව ලැබූ පුද්ගලයකු විසින් අධ්‍යාත්මික දියුණුව ද ඇතිකර ගත යුතු බව ය. බුදු දහම එම මඟ පෙන්වීම නිතර කරයි. මෙලොව ජීවිතය නිවැරැදි ව ගත නොකළ පුද්ගලයෙකුට පරලොව ජීවිතය ගත කිරීමේ හැකියාවක් නැත. නිර්වාණගාමී මාවතට පිවිසි බෞද්ධයා විසින් මෙලොව ජීවිතය සාර්ථක කරගත යුතු ය. එබැවින් පුද්ගලයා නිතර ම තම ආත්ම දමනය පිළිබඳව කල්පනා කළ යුතු ය. එය තමා විසින් ම අවබෝධයෙන් කළ යුතු ය. වෙනත් පුද්ගලයකු යමක් පෙන්වා දෙනතුරු නොසිට තම වරද දැකීමේ හැකියාව තමාට තිබිය යුතු ය. අවංක ගති සිරිත් තිබෙනවා නම්, පමණක් එසේ කළ හැකි වුව ද, සාමාන්‍ය ක්‍රමය තමාගේ වරද, නොපෙනීම ය. අන්‍යයාගේ වරද බහුල ලෙස දර්ශනය වනු ඇත. එබඳු තත්වයනට පත් නොවී තම වරද, අඩුපාඩු වටහා ගත හැකි අයකු බවට පත්විය හැක්කේ ආත්ම දමනයේ ක්‍රමවේදය ට අනුව ය. එය පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වන්නා සේ ම, සමාජයේ හිත සුව පිණිස ද බලපායි.
පුද්ගලයා තම ජීවිතය සකස් කර ගන්නේ තම නැණ නුවණ අනුව ය. තමනට සිතෙන සියලු දෙය ම නිවැරැදිව එක ලෙස නොසිතිය යුතු ය. තමන්ට වඩා දැනුමෙන් හා අවබෝධයෙන් පිරි කෙනෙකුට වඩාත් වැඩි නිවැරැදි ක්‍රමවේදයක් කල්පනා විය හැකි ය. බමුණාගේ සිතිවිලිවලට වඩා වැඩි යමක් බුදුහිමියන්ගේ දේශනාව අනුව ඔහුට ම කල්පනා විය.
හේමමාලා රන්දුනු
ධම්මානුපස්සනාව - බොජ්ඣංග
Tuesday, September 7, 2021
විසාඛ සූත්‍රය
විසාඛ සූත්‍රය
241
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි පඤ්චාලිපුත්‍ර ආයුෂ්මත් විශාඛ ස්ථවිරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයි. (ඔවුන් එහි) සමාදන් කරවයි’ තියුණු කරවයි, සතුටු කරවයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙන් නැඟීසිටියේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැන්හි වැඩිසේක. වැඩ, පණවනලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි භික්ෂූන්ට කථාකළ සේක.
“මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්ය්යසත්යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්මකථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයිද, (ඔවුන් එහි) සමාදන් කරවයිද, තියුණු කරවයිද, සතුටු කරවයිද කියායි.”
“ස්වාමීනි, පඤ්චාලිපුත්‍රවූ ආයුෂ්මත් විසාඛ ස්ථවිර තෙම උපස්ථාන ශාලාවෙහිදී, ගැමි නොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයි. (ඔවුන් එහි) සමාදන් කරවයි, තියුණු කරවයි, සතුටු කරවයි” කියා කීයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලිපුත්‍රවූ ඇවැත් විසාඛහට ඇමතූසේක. “සාධු! සාධු!! විසාඛය, විසාඛය, නුඹ වනාහි මැනවි. ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වහි. (ඔවුන් එහි) සමාදන් කරහි, තියුණු කරහි, සතුටු කරහියි” වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.
(1) “බාලයන් හා සමග මිශ්‍රවූ, පණ්ඩිතයා කථා නොකරනතාක් නොදනිත්. අමෘත පදය දේශනා කළ කල්හිම දනිත්.”
(2) “ධර්මය කියන්නේය. පතුරුවන්නේය. ඍෂීන් ගේ ධජය (අරිහත් ධජය) ඔසවන්නේය. ඍෂීහු සුභාෂිතය ධජය (කොඩිය) කොට ඇත්තෝය. ඍෂීන්ගේ ධජය වනාහි ධර්මයයි.”
(හත්වෙනි විසාඛ සූත්‍රය නිමි.)
Thursday, September 2, 2021
ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි පස්සද්ධි සම්බොජ්ඣංගය
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
තමන්ගේ ස්වභාවය පිළිබඳව මනා වූ අවබෝධයක් ලබා ගැනීමට කන්දරක සූත්‍රය පිටුවහලක් වන්නේය. ඒ තත්කාලීන සමාජය අධ්‍යනය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ එදා...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...





