Sunday, August 29, 2021

හැඳීන වඳීමු මහ රහතුන් නිකෙලෙස්

 



හැඳීන වඳීමු මහ රහතුන් නිකෙලෙස්

බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී,

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද,

අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය,

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

බලංගොඩ රාධ හිමි


" ස්පර්ශ වූ තැන වන මුඛයක් බවට පත්වන පතොක්, කටුපිල වැනි ගස් වර්ග වැවෙන මිහි මත, පිපෙන හතු, රස නහර පිනවන ආහාරයක් වන්නේ පසෙහි වූ විශේෂ ගුණයක් නිසාවෙන් නොවේ. වපුල බීජයෙහි ඒ රසදායක ශක්තිය ඇති බැවිනි. එලෙසින්ම සිතක වැඩෙන අශෝභන සිතිවිලි ධාරාව මගින් පුද්ගලයෙකුගේ හද සන්තානය විසම වන්නේ ද, සෝභන - ශාන්ත හැඟීම් සමුදාය හේතුවෙන් පාරිශුද්ධ වන්නේ ද, සිතෙහි වූ විශේෂ ගුණයක් නිසාවෙන් නොවේ."


චෛතසික ශක්තීන්ගේ අසමාන සංයෝගය පදනම් කරගෙන ය. ඒ අනුව නොකිලිටි මනසක් බලාපොරොත්තු වන තැනැත්තා විසින් අඳුරු සිතුවිලි හැරදමා සුප්‍රබුද්ධ කල්පනාවන්ගෙන් යුක්තව, විරාගීව, වීතදෝසීව මුලාවෙන් නිදහස්වීම උදෙසා තම කල්පනාව මෙහෙයවා ගත යුතු ය.


අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ යනු මායාවී මනෝපවිචාරයන්හි අක්මුල් සිඳ හෙලමින් දුර්දාන්ත වූ සිතිවිලි නිවා, හද සන්තාප ඉවත් කළ අභිනව මහා මුනි වරයාණෝ ය. ඉන් පසුව ඛේදංගත ලෝ සතුන්ට ඒ සුදම් අමා ඔසු පොවා එමගින් පැහැබර වූ සිත් මලේ විමුක්ති සුගන්ධය කසාවත් ධර බුදු පුතුන්ගේ හද සුමුඟෙහි බහාලමින් දේශ දේශාන්තරයෙහි පැතිරවූහ. කෙලෙස් බර බිම තබා නිවන් සුව හද දරා දස දිග වැඩම කළ ඒ රහතන් වහන්සේලා ඒකාන්තයෙන් සැපවත් වූවෝ ය. තණ්හාව ද, අස්මිමානය ද, මෝහ ජාලය ද පදාලනය කළහ. සිතේ කැළඹීම් රහිත, ලෝකයෙහි නොනැගෙන - නොපැටලෙන සැහැවි ඇති ඒ රහත්හු ගිම්හානයෙහි වට වැස්සක් සේ ඇවිලගත් සිත් සතන් නිවාලූහ. පඤ්චස්ඛන්ධය පිරිසිඳ අවබෝධ කොට, ප්‍රශංසා කළ යුතු සත්පුරුෂයන් බවට පත් වෙමින් බුදුරදුන්ගේ ලයෙහි උපන් දරුවෝ වූහ.


බුදුරදුන් වදාළ පරිදි මහා රහතන් වහන්සේ කිසි ලෙසකින් වෙනස් නොවන ධර්මතා සතක ඉන්ද්‍රඛීලයක් සේ පිහිටි සේක. ඒ අතර පළමු වැන්න ශ්‍රද්ධාවයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ආදරයක්, ගෞරවයක් ඇතිව වෙසෙන ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා බුදු සිරිපා නමදින සේක් දණ මඩුලුවල පටන් මුලු සිරිපාදයම සිඹ සිඹ මල් ඇත්තේ නම් එකිනෙක පුදා සියල්ලන්ට ප්‍රථමයෙන් වන්දනා කරන සේක. ඒ අනුව බුදුන් නොවඳීන රහත්හු ලොව කිසි ලෙසකින්වත් සිටිය නොහැක. සෝවාන් ආදී සෙසු මගඵල ලාභීන්ටත්, මිනිසුන්ටත්, දිව්‍ය බ්‍රහ්මයන්ටත් වඩා බලවත් වූ ද, නොසිඳෙන උල්පතක් බදු වූ ද බුද්ධ ගෞරවය ඇති බව මහ රහත් ගුණයකි.


අනුමාත්‍ර වූ ද, පාපයට ලජ්ජා වන ස්වභාවය හිරිය නමිනුත්, බියවන ස්වභාවය ඔත්තප්පය නමිනුත් වදාරා ඇත. ඒ ධර්මතා යුගලය රහතන් වහන්සේගේ ජීවිතයෙහි සෑම නිමේෂයකම එළැඹ පිහිටන බැවින් ඒ උතුමන් වහන්සේ රහසින් හෝ, එළිපිට හෝ කිසිදු පාපයක් නොකරන සේක. ගමනින් ශාන්තව, පැවැත්මෙන් සංවරව සෑම ඉරියව්වක් ම පරම වූපසමයකින් යුක්ත වන්නේ ය. නිග්‍රෝධ රහතන් වහන්සේ කුඩා සාමණේර නමකි. දිනක් ධර්මාශෝක රජුගේ රාජාංගණයෙන් වැඩම කරන සේක් උඩුමහල් තලයේ සිටි රජතුමා විසින් දක්නා ලදී. වර්ෂ ගණනක් සිදුකරන ලද කුරිරු යුද්ධයෙන් ඇළලී ගිය සිතක් ඇතිව; සිදු වූ මිනිස් ඝාතනයන් ගැන පසුතැවිලි වෙමින් හුන් රජුගේ චිත්ත සන්තාප මුලුමනින්ම නිවා දමන්නට ඒ දසුන හේතුවිය. අනතුරුව රජ මැදුරට වැඩම කරවා ගෙන සිංහාසනයෙන් පූජා කොට ඇසූ බණ පදයෙන් ලැබූ අස්වැසුම කෙතරම් ද යන වග ධර්මාශෝක රජුගේ ශාසන මෙහෙවරින් වටහාගත හැකි ය.


බුද්ධ පුත්‍ර වු ඒ රහතන් වහන්සේලා සතුරන්ය, මිතුරන්ය කියා හෝ පොහොසතුන්ය, දුප්පතුන්ය කියා හෝ කුලවතුන්ය, කුලහීනයන්ය කියා හෝ කිසිදු පුද්ගලයෙකු ප්‍රමාණ නොකරන අතර සියල්ලන්ම සංසාර දුක්ඛයෙන් දුක්ඛිත වූවන් ලෙස සලකා පිහිට වන සේක. සම සිතින් දම් දෙසන සේක. මහා කාශ්‍යප රහතන් වහන්සේගේ චරිතාපදානය මෙහිලා දෘෂ්ඨාන්තයකි. සක් දෙව් රජතුමා ඇතුලු දෙව් පිරිස විසින් දානය පූජා කිරීමට මග බලා සිටියදී අසරණ ලාදුරු රෝගියා දුන් බත් පාත්‍රයට ගැලවී වැටුණ සැරව මිශ්‍ර ඇගිලි පුරුක ඉවත් කොට ඔහුට පෙනෙන ලෙස වළඳා එපමණින්ම සැහීමකට පත්වූ සැටි සිහිකිරීම මගින් සැබෑ රහතන් වහන්සේ හඳුනා ගැනීමට හැකිවේ. රහත් වීමට ප්‍රථමයෙන් එතරම් දැන උගත්කමක් නොතිබුණද කෙලෙසුන් නැසීම තුළින් ලද ආනුභාවයක් ලෙස ඉතා උසස්, ජීවිතාවබෝධයක් ලබන ලදුව ඕනෑම පිරිසක් ඉදිරියේ විශාරදව කථා කිරීමට, දම් දෙසීමට, පැණ විසඳීමට තරම් බහුශ්‍රැත බවක් බොහෝ සෙයින් රහතන් වහන්සේලාට පහළ වේ. එය රහතන් වහන්සේ හඳුනා ගත හැකි සතරවන කාරණයයි. කිසිදු අයුරකින් ක්ෂීණාශ්‍රවයන් වහන්සේගේ ප්‍රකාශයක් බුදුන් වදාළ ධර්මයට පටහැනි නොවේ. අක්ෂරයකින්වත් ධර්මාර්ථයන්ට විශදෘෂ නොවන පරිදි මගඵල ලාභීහු ධර්මය ප්‍රකාශ කරති. තමන්ගේ බාහිර උගත්කම්, හැකියාවන්, ශිල්ප ඤාණ, කලා කුසලතා, සහජ තත්වයන්, දේශපාලන මති මතාන්තර ආදී ලෞකිකත්වය තුළ පුරසාරම් දොඩන්නෝ රහත්හු හෝ මගඵල ලාභීහු හෝ නොවෙති. යටත් පිරිසයින් කල්‍යාණ පෘථග්ජන භික්ෂුව ද උක්ත අවිෂයන්හි නොලැග සිටීමට වගබලා ගනියි.


රහතන් වහන්සේගේ ජීවිතයේ ඇති සතිමත් භාවය ඒ උතුම් ජීවිතයෙන් කැපී පෙනෙන පස්වන කරුණයි. පමණ සහ විනය උල්ලංඝනය කොට කෙරෙන ගිහි - පැවිදි ඇසුර නිසරු ලෙස දක්නා ඔවුන් සැතපෙන කාලය හැර සෙසු අවස්ථා ගත කරන්නේ සතර සී වටන්හි යොමුකළ මනසිකාර ඇතිවමය. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ ඔවුනොවුන්ට අපවාද නගන්නෝ, දොස් පවරන්නෝ, වාදය පිණිස ධර්මය කියන්නෝ රහත්හු හෝ රහත් මාර්ගයට පිළිපන් අය හෝ මගඵල ලාභීහු නොවෙතියි යන්නයි.


පඨවීසමො නො විරුජඣති

ඉන්දඛීලූපමො තාදි සුබ්බතො

රහදොව අපෙත කද්දමො

සංසාරා න භවන්ති තාදිනො


යන මෙය බුදු මුවින් රහතන් වහන්සේ ගැන වදාළ දෙසුමකි. ඒ අනුව රහතන් වහන්සේ සෑම කල්හි, මහා පොළොවට මළ මුත්‍රා බහාලන්නේ නමුදු, සුවඳ මල් පෙති විසුරුවන්නේ නමුදු කිසිවෙකු හා හාද වීමක් හෝ විරුද්ධ වීම නැතිව සියල්ල සම සිතින් ඉවසන සේක. අෂ්ට ලෝක ධර්මයෙන් අකම්පිත වන සේක් ඉන්ද්‍රඛීලයක් මෙන් සියල්ල අභිබවනය කරන සේක.


රොන් මඩ නොමැති විලක් කලතා අපිරිසුදු කළ නොහැක්කා සේ රහත් මුනිවරු කෝප ගැන්විය නොහැක්කෝ ය. ලැබෙන චීවරයකින්, කුස පිරෙන බොජුනකින්, රුක් මුලක, ගල් ලෙනක සෙවනකින් යැපෙමින් බ්‍රහ්මචරිය වාසයෙහි නොතිත්ව කල් ගෙවන්නෝ බුදුරදුන් විසින් මනු ලොවට දායාද කළ රහතන් වහන්සේලා පමණි. නොපනත්කම් හපන්කම් ලෙස සලකන ඇතමුන්ට රහතන් වහන්සේලාගේ ගුණ සුවඳ මකා දැමීමට හෝ රහත් ගුණ තමා කෙරෙහි ආරෝපණය කරගැනීමට එතරම් කාලයක් ගත නොවේ. දහමෙන් ලැබෙන රක්ෂණාවරණ ගුත්තිය හෙවත්, සතර සතිපට්ඨානයෙහි සිත හැසිරවීමෙන් ලැබෙන සැහැල්ලු පැවතුම් වලින් යුතු ජීවන සුවය මොහොතක් වත් නොවිඳී ගිහි - පැවිදි දෙපිරිසටම රහතන් වහන්සේලා ගැන කියාදීම විහිළුවකි.


‘ආරද්ධ විරියතා’ යනු විශුද්ධි දේව රහතුන් ගැන වදාළ සවැනි කරුණයි. එනම් අරඹන ලද වීර්යයෙන් යුක්ත බවයි. රහතන් වහන්සේට අමුතුවෙන් සාදාගත යුතු නිවනක් නැත ද, අමුතුවෙන් දුරුකළ යුතු ක්ලේශයක් නැත ද පෙර සේඛ භූමියෙහි දී මගඵල පිණිස යම් මානුෂීය වූ ද කායික වූ ද වැර වෑයමක් ගත් සේක් නම් අරිහත් ඵල ප්‍රතිවේදයෙන් පසුව ද එලෙසින් ම වීර්යය පවත්වන සේක. එය සැබවින්ම විශ්මිත කරුණකි. ඇතැම් රහතන් වහන්සේලා වර්ෂ ගණන් සැතපෙන ඉරියව්ව හැර සෙසු තුන් ඉරියව් වලින් විමුක්ති සුව විඳීමින් කල් යවති. එය එසේම ය. සැරියුත් - මුගලන් ස්වාමීන් වහන්සේ වර්ෂ තිහක් ද, අනුරුද්ධ තෙරුන් වර්ෂ පණස් පහක් ද, බක්කුල තෙරුන් වර්ෂ අසූවක් ද, නාලක තෙරුන් පිරිනිවෙන තුරු ද ඇඳක පිට නොතබා කල් යැවූ බව සක්ක පඤ්හ සූත්‍ර වර්ණනාවේ සඳහන් වේ. එබැවින් ලෝකයේ වැඩ සිටි වීර්යවන්තම පිරිස රහතන් වහන්සේලා බව කිව යුතු ය.


මෝහ ඇඳීරිය දුරු කොට ප්‍රඥා චක්ෂුසින් ලොව දකින බව හත්වැනි මහා රහත් ගුණයයි. රූපාදී අරමුණක් විෂයයෙහි කිසිදු ක්ලේශයක් හට නොගන්නා ලෙසත්, සිත පැවැත්වීමේ හැකියාව පරිපූර්ණ වශයෙන් ලැබෙන්නේ අරිහත් ඵල විමුක්තියෙනි. කාමාදී ලෝකත්‍රය විෂයෙහි මෝහනීය බව ඇති තාක් ඔහු සදොස් පුද්ගලයෙකි. අඩුවැඩි වශයෙන් අවුල් වියවුල් ඔහුගෙන් බලාපොරොත්තු විය යුතුමය. එහෙත් සව් කෙලෙසුන් නැසූ උතුමන්ගෙන් කුහුඹුවෙකුටද වන අනතුරක් නොමැත. අනෙක් අතට රහතන් වහන්සේගේ මෙත් සිතෙහි ශක්තිය පැතිරවීම මගින් වන්නේ සියල්ලන්ටම නවෝදයකි. උන්වහන්සේලාගේ කරුණාවට පාත්‍ර වූ දෙවියාද, මිනිසාද, තිරිසනාද, යන සෑමදෙනාම අපමණ අස්වැසුමක් ලැබූ බව ථේර ථේරී ගාථාවන්ගෙන් ප්‍රකට වේ. රහතන් වහන්සේලා අසංවර වචනය හෝ ක්‍රියාව නිසා කිසිවකුගේ හෝ දෝෂ දර්ශනයට ලක් නොවෙති. එබඳු කාය වාග් ප්‍රගල්බ මුලිනුපුටා දමා හුදෙකලාවක, නිහැඬියාවක, මිහිර විඳීන ඒ උතුමෝ වස්ත්‍ර, ආහාරපාන, බෙහෙත් රැස් නොකරති. යාන වාහන, වතු කුඹුරු, ගෝල බාලයන් වගේම තනතුරු තාන්න මාන්න පිටුපස ද කිසි ලෙසකින්වත් නොයති. ‘සන්තං තසස මනං හොති - සන්තවාචාච කම්මච’ සංවර වූ සිත ඇති රහතන් වහන්සේගේ වචනය සහ කය සංවර වීම පුදුමයක් නොවේ. සිතේ හැසිරීම ප්‍රකට වන්නේ පුද්ගලයෙකුගේ වචන සහ කායික ක්‍රියාකාරකම් - ඉරියව් පැවැත්වීම් ආදියෙනි.


සප්ත බොජ්ඣංග නම් වූ සප්ත රත්නයන්ගෙන් යුක්ත ත්‍රි ශික්ෂාවන්ගෙන් ලැබූ ඤාණය ඇති සංයමීන්ට ජන සමාජය තුළ කැපී පෙනීමේ ආශාවක් නොමැත. තම ජීවිතයේ පුද්ගලිකත්වයන් බුදු බණ හා මිශ්‍ර කොට පවසන්නට යාමෙන් පරියත්ති ශාසනයට වන බලපෑම ගැන හොඳීන්ම දන්නේ රහතන් වහන්සේලා මගඵල ලාභීහුය. එබැවින් ඔවුහු සූත්‍රයද, විනයද අභිධර්මයද, සුදුසු පරිදි අර්ථකථාව ඇසුරු කර ගනිමින් දේශනා කිරීම හැර ධර්මාර්ථ විකෘතියක් දැන හෝ නොදැන සිදු නොකරති. තමා අන්‍යයන්ට වඩා හීනය හෝ උසස්ය යන හැඟීම් ඇතිවූ විට ඊර්ෂ්‍යාව හෝ මසුරුකම හට ගනී. සම ලෙස සිතන්නට පුරුදු වීමෙන් නිහතමානීකම වැඩිහිටි ගෞරවය ආදී යහගුණ මැකී යයි. රහතන් වහන්සේලා ‘විධාසු න විකම්පන්ති’ යැයි වදාළ පරිදි ත්‍රිවිධ මානයන්ට පත් නොවෙති. එනිසාම ලෝකයේ කිසිම පුද්ගලයෙකු සමඟ සිතිවිල්ලකින් වත් උරණ වීමේ ස්වභාවයක් රහත් මුනිවරුන්ට නැත. ඒ උතුමන් වහන්සේලා පා තබන භූමිය පවා පරම පාරිශුද්ධ වන්නේ එබැවිනි.


නැති ගුණ හුවා දැක්වීම පුහුදුන් ගතියකි. එහෙත් රහතන් වහන්සේලා ඇති ගුණයන් ද සඟවා ගන්නේ ගුණය විෂයෙහි පවා අල්පේච්ඡ වන බැවිනි.


පඤ්චස්ඛන්ධයෙහි හෝ කාලත්‍රයෙහි හෝ භවත්‍රයෙහි හෝ තෘෂ්ණා දෘෂ්ඨි බැඳීම් නැති රහත් උතුමෝ ද නිවන් රස විඳීන ලද මගඵල ලාභීහු ද ලොව වෙසෙනා පරම අහිංසකයෝ වෙති. යමෙකු විසින් ඒ අවිහිංසා ගුණය නිවට නියාලු කමක් ලෙස සලකන්නේ නම් හෝ , තමා කෙරෙහි එළවා මවා දක්වන්නේ නම් හෝ විපාක අවස්ථාව අතිශයින් බිහිසුණු වනු ඇත.

මහා පින් ඇති බක්කුල මහ රහතන් වහන්සේ

 


මහා පින් ඇති බක්කුල මහ රහතන් වහන්සේ

අතුරුගිරිය සදහම් පදනමේ

අනුශාසක

ගලිගමුවේ ඤාණදීප හිමි


බක්කුල මහ රහතන් වහන්සේගේ පින්බර ජීවිතය ගැන සඳහන් කළොත්, උන්වහන්සේ පැවිදි වෙන්නේ අවුරුදු අසූවේ දී ය. පැවිදි ජීවිතය තුළත් උන්වහන්සේ අවුරුදු අසූවක් ම නිරෝගීව ගත කළා. අවුරුදු එකසිය හැටක් ආයු වින්දනය කළා.


මෙවැනි කතා කියවන විට ඔබට සිතෙන්න පුළුවන්, කොපමණ වුණත් අවුරුදු එකසිය හැටක් වනවිට නම්, වයසට යන්න ඇති. බොහොම දුර්වල වෙලා, කවුරු වුණත් මිය යද්දී ලෙඩක් හැදෙනවානේ , කියලා හිතෙනවා. හැබැයි, බක්කුල මහ රහතන් වහන්සේ ගැන සඳහන් වෙන්නෙ උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ අවුරුදු අසූවටම නිදාගෙන නැහැ කියනවා එක දවසක්වත්.


උන්වහන්සේට නින්දක් අවශ්‍ය වෙලා නැහැ. බක්කුල මහ රහතන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ ඉරියව් තුනයි පරිහරණය කළේ. හිටගෙන සිටින ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව, වාඩි වී සිටින ඉරියව්ව. උන් වහන්සේ ඍජුව වාඩි වෙන්නේ කිසිම තැනක හේත්තු නොවීම යි. නිදා ගෙන සිටින ඉරියව්වට කය හරවන්නේ නැහැ’යි සඳහන් වෙනවා. එය බක්කුල මහ රහතන් වහන්සේගේ අධිෂ්ඨානයක්.


පැවිදි ජීවිතයේ අවුරුදු අසූව තුළ ම උන්වහන්සේ කවම දාකවත් කිසිම භික්ෂුවකගෙන් මට මෙන්න මේ දේ කර දෙන්න, මොහොතක් මා අල්ලා ගන්න, මට නැඟිට ගන්න අපහසු යි, මගේ හිස රිදෙනවා, මට මේක ගෙනත් දෙන්න යනුවෙන් කිසිම කෙනෙකුගෙන් උදව්වක්, උපස්ථානයක් ලබලා නැහැ කියනවා. බක්කුල හාමුදුරුවෝ, ගිහි හෝ පැවිදි කාලයේවත්, කුඩා වුවද මහත් වුව ද රෝගයක් කියන වදනවත් උන්වහන්සේට අහන්නවත් ලැබී නැහැ කියනවා. ඇතැම් විට ඔබට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේටත් වැඩිය පින්වන්ත ද , කියා? පින්වතුනි එහි මෙවැනි දෙයක් තියෙනවා.


එනම්, බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පිරුවේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානය ලබන්න නොවෙයි. උන්වහන්සේගේ අරමුණ තිබුණේ, අසංඛ්‍යෙ සත්ත්වයන් සංසාර දුකෙන් එතෙර කරවන්න. ලොවුතුරා සම්බුද්ධත්වය පිණිස රැස් කරගන්නා පින, දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී ධර්මයන් බුද්ධත්වයටම උපකාර වේවා, යනුවෙන් බුදු බව ප්‍රාර්ථනය කරගෙනමයි, උන්වහන්සේ පාරමී පිරුවේ. සාරිපුත්ත හාමුදුරුවෝ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ආවේ, ඒකාසංඛ්‍යෙ කල්ප ලක්ෂයක් එනම් අසංඛ්‍යෙයකුත් තවත් කල්ප ලක්ෂයක් පාරමී පිරුවේ අගසව් තනතුර ලබන්නයි. ප්‍රඥාවන්තයන් අතුරෙන් අගසව් තනතුර ලබන්න යි. මුගලන් හාමුදුරුවෝ පාරමී ධර්ම සම්පූර්ණ කළේ, ඍද්ධිමතුන් අතුරෙන් අග්‍රස්ථානය ලබන්න යි. ඒ භික්ෂූන් වහන්සේලා සසරේ ඒ, අධිෂ්ඨාන, පින්කම්, ප්‍රාර්ථනා මත ඉලක්කය මුල් කරගෙන පාරමී ධර්ම සම්පූර්ණ වෙලා තමන්ගේ ඉලක්කය කරා යන්නේ.


අසූමහා ශ්‍රාවකයන්ට බක්කුල මහ රහතන් වහන්සේ අයත් වෙනවා. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕනෑ. බක්කුල මහ රහතන් වහන්සේ නිරෝගී සම්පත්තිය අරමුණු කරගෙන ම සසරේ පින්කරගෙන ඇවිත්, කල්ප ලක්ෂයකට පෙර , පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ එනම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ විවරණ ගත්තා. මේ මහා පින්වන්ත උත්තමයා තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතුරෙන් අග්‍රස්ථානය ලබනවා යනුවෙන්. එදා සිටම සසරේ පාරමී පුරාගෙන , පින්කරගෙන පැමිණියා. විපස්සී බුද්ධ ශාසනයේ විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂයක් සංඝයා හිමාලය පර්වතය ආශ්‍රිතව වනාන්තරයක වස් කාලයක් ගත කරද්දී විපුෂ්පිත නමැති රෝගයෙන් (විෂ සහිත පුෂ්පයන්ගේ ගන්ධය ආග්‍රහණය නිසා වැළදෙන රෝගයක්) විපස්සී බුදුරජාණන් වහන්සේත්, අගසව් දෙනමත් හැර අනෙක් සියලුම සංඝයා බොහෝ ගිලන් වුණා. ඒ වෙද්දී පාරමී පුරාගෙන පැමිණි බක්කුල මහ රහතන් වහන්සේ, එදා හිමාල පර්වතය ආශ්‍රිතව අෂ්ට සමාපත්ති දක්වා සිත වඩපු තාපසයෙක්.මේ පින්වත් උත්තමයා අහසින් ගමන් ගනිද්දී මහා සඟ පිරිසක් හිමාල වනාන්තරය ආශ්‍රිතව සිටිනවා. අහසින් බැස පැමිණ බලද්දී, විපස්සී බුදුරජාණන් වහන්සේ සඟ පිරිසකුත් සමඟ. දකින ගමන් තේරුණා, කුමක් හෝ අසනීපයක්. උන්වහන්සේලාගේ මුහුණ මැළ විලා, කය දුර්වලව ඇති දසුන නිසා, විමසා බලද්දී බුදුරජාණන් වහන්සේත් , අගසව් දෙනමත් පමණක් නිරෝගීව වැඩ සිටියා. ‘ස්වාමීනි, මා මේ සියලු සංඝයාට බෙහෙත් කරනවා යනුවෙන් ඍද්ධියෙන් ගොස් ගස්වල පොතු, ගෙඩි, කොළ වර්ග, මුල් වර්ග බෙහෙත් වර්ග සොයාගෙන ඇවිත්, තමන් ම බෙහෙත් සාදා, ලක්ෂයක් සංඝයාට ප්‍රතිකාර කළා. එසේනම් එය කුඩා දෙයක් නෙවෙයි, තමන්ගේ චිත්ත බලය, ඍද්ධි බලය, යොදා ගෙන තාපසයා එදා මේ සියලුම ලක්ෂයක් භික්ෂූන් වහන්සේට බෙහෙත් හේත් තනිවම සාදමින් පුදුම වෙහෙසක් දරා, උපස්ථාන කර ප්‍රාර්ථනාවක් කළා. එනම් ‘ මට කුඩා වූ ද, මහත් වූ ද රෝගයක් කියන වචනෙවත් අසන්න නොලැබේවා!, මට සසරේ නිවන් දකින තෙක් නිරෝගී සම්පත්තියම ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනය කළා. මෙලෙස සසරේ පින්කරගෙන පැමිණ, ගෞතම බුද්ධ ශාසනයේ, බක්කුල මහ රහතන් වහන්සේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්නේ.


පින්වතුනි, බක්කුල මහ රහතන් වහන්සේ අවුරුදු එකසිය හැටක් වැඩ සිටියත් , වයෝවෘද්ධ පෙනුමක් උන්වහන්සේගේ කයේ පෙනෙන්නවත් තිබුණේ නැහැ’යි කියනවා.


බක්කුල මහ රහතන් වහන්සේ දිනක් භාවනා කරද්දී දකිනවා, උන් වහන්සේගේ ආයුෂ ගෙවී අවසන්. ඒ මොහොතේ භාවනාවෙන් නැඟිට, ස්වාමීන් වහන්සේලා සැමගේම කුටිවලට ගිහින් ඇමැතුවා.‘ආයුෂ්මතුනි, එළියට වඩින්න. අද මා පිරිනිවන් පානවා යනුවෙන් තම කුටියෙහි යතුර සංඝයාට දී, භික්ෂූන් වහන්සේලාට අවවාද කර, ස්වාමීනි, මා පිරිනිවන් පානවා යනුවෙන් අහසට පැන නඟින්න පෙර අධිෂ්ඨානයක් කළා. ‘මගේ පැවිදි ජීවිතය තුළ කිසිකෙනෙක් ලවා මා උපස්ථානයක් කරවාගෙන නැහැ. කාටවත් මගේ කය කරදරයක් වෙලා නැහැ. මේ මොහොතේ පිරිනිවන් පෑ පසුවවත්, මගේ දේහය තව කෙනෙකුට කරදරයක්, බාධාවක් නොවේවා’ යනුවෙන් අධිෂ්ඨානයක් කළා. ඒ වගේම අනාගතයේ දෙව්, මිනිස් ලෝකයාට නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන, වැඳුම් පිදුම් කරන සිව්වණක් ශ්‍රාවකයන්ට, මාගේ ශාරීරික ධාතූන් වහන්සේලා බොහෝ කාලයක් වැඳුම් පිදුම් කරමින් මනුස්සයන්ට යහපත පිණිස පවතීවා යනුවෙන් අධිෂ්ඨානයක් කර, අහසට පැන නැඟ, අහසේම ඵලක් බැඳගෙන පිරිනිවන් පෑවේ තේජෝ කසිණයට සම වැදිල යි. මෙලෙස පිරිනිවන් පානවාත් සමඟ ම අහසෙම ගිනි ජාලාවක් හට ගත්තා. ඒ ශරීරයෙන් හටගත් ගිනි ජාලාවෙන් අහසෙදිම දැවිලා, පිළිස්සිලා, අළුවත්, දැළිවත්, දූවිල්ලක්වත් ඉතිරි නොවී, ධාතූන් වහන්සේලා පමණක් පහළට වැටෙනවා, ගිතෙල් ටිකක් දැවිලා ගියා වගේ මුළු ශරීරයේම සියලුම කොටස් අහසෙම අතුරුදන් වුණා.


බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා බොහෝ කාලයකට පසුවයි, බක්කුල මහ රහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ. පින්වතුනි, බක්කුල මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවාට පසුව ධාතූන් වහන්සේලා පමණයි දෙව් , මිනිස් ලෝකයාට වන්දනා කර ගන්න, අධිෂ්ඨානයෙන් පහළට වැටෙන්නේ. අනෙක් සියලුම සිරුරේ තිබූ සම්, මස් , නහර ආදී සියලු කොටස් ගිතෙල් ටිකක් දැවෙනවා සේ අහසේ දැවෙනවා. ඒ උන්වහන්සේගේ අධිෂ්ඨානය. එසේනම්, පින්වතුනි, ඒ මහා පින්ඇති බක්කුල මහ රහතන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ වැඩ සිටියා. නමුත් වර්තමානයේ මිනිසුන් ආයුෂ පිරිහිලා, පහළට ම පිරිහෙන කාලය එන විට, තමන්ට ලෙඩ රෝගයක් හැදුණහම කවදාකවත් බක්කුල මහ රහතන් වහන්සේ සිහි වෙන්නේ නැහැ. ඇතැම්විට අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් , ඉගෙන ගන්නා දරුවාට කිසිම වේලාවක ප්‍රඥාවන්තයන් අතුරෙන් අග තැන්පත් සාරිපුත්ත හාමුදුරුවන්ව සිහි කරන්න මොළයක් පෑදෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ මතක ශක්තියෙන් අග්‍රයි. අසූහාරදහසක ධර්මස්ඛන්ධය කටපාඩමින් , යමක් එකපාර ඇසූ සැනෙන් මතක සිටිනවා. උන්වහන්සේ සසරේ පෙරුම් පුරාගෙන ආවේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන්. එසේම සතිමන්තානං, සිහි නුවණ තිබෙන භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍රයි. දුතිමන්තානං යමක් ක්ෂණයෙන් වටහා ගන්නන් අතුරෙන් අග්‍රයි. ඒ නිසා බෞද්ධයන් ලෙස, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් හැටියට ඔබ ඔබේ දරුවන්ට වේවා, අධ්‍යාපනය ලබන දරුවන්ට තුනුරුවන් වන්දනා කරලා, ආශිර්වාදයක් කරන්න. ආනන්ද හාමුදුරුවන්ට වගේ මතක ශක්තිය මේ දරුවන්ට පිහිටාවා, යනුවෙන්. ඒ වගේම සාරිපුත්ත මහ රහතන් වහන්සේට වගේ නුවණ, ප්‍රඥාව ලැබේවා යනුවෙන් ආශිර්වාද කරන්න. එසේම ලෙඩ දුක් නිතර වෙනවා නම්, තුනුරුවන් වන්දනා කර, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කර, බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය බක්කුල මහ රහතන් වහන්සේගේ පුණ්‍ය ශක්තියෙන් අපටත් නිදුක් නිරෝගී භාවය, නිරෝගී සම්පත්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනය කරන්න. අද බොහෝ දෙනෙක් දරුවන් ලැබෙන්න සිටින අම්මලාට අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත්‍ය ක්‍රිියාවෙන් පිහිට ලබනවා. ඒ වගේ ම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ආදී සිව් පසයෙන් යුක්ත වූ ප්‍රත්‍යලාභීන් අතුරෙන් අග්‍ර වූ සීවලී මහ රහතන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවෙන් පිහිට ලබනවා. බුද්ධ ශාසනය පවතින තාක් කල්, පින්වත් රහතන් වහන්සේලාගේ පුණ්‍ය ශක්තිය ලෝකයාට ලැබෙනවා


බුදුරදුන්ගෙන් පැසසුම් ලැබූ පුද්ගලයෝ



බුදුරදුන්ගෙන් පැසසුම් ලැබූ පුද්ගලයෝ



බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි

ප්‍රධාන අනුශාසක

ආචාර්ය

මිරිස්සේ ධම්මික නා හිමි


තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයෙන් සරණ යන ඔබ අප සියලු දෙනා විසින් කෙසේ නම් අපේ ඉරියව් පැවතිය යුත්තේ දැයි අප විසින් ම තේරුම් ගත යුතුයි.


අප්පමත්තා සතීමන්තො

සුසීලා හෝථ භික්ඛවො

සුසමාහිත සංකප්පා

සචිත්ත මනුරක්ඛථ


භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පෙළකි. කුසලයට අප්‍රමාදී වන්න. සතිමන්ත හෙවත් සතර සතිපට්ඨානය පුරුදු කරන ලද සිහියෙන් යුක්ත වන්න. ‘සුසමාහිත සංකප්පා’ ලෝභ, ද්වේෂ, මෝහ සංසිදුණා වූ සිතිවිලි ඇති කර ගන්න. ඒවා පවත්වා ගන්න. ‘සචිත්ත මනුරක්ඛථ’ එසේ පවත්වමින් සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැක ගන්න. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, මරුගෙන් ආරක්ෂාවෙන්න යන අදහසයි. එනමුත් උච්ඡංග පඤ්ඤා නම් වූ පුද්ගලයා අසාගෙන සිටින විට, පින්කම්වල යෙදෙන විට ඇතිකරගත්තා වූ සංයමය, අවබෝධය සාමාන්‍ය ජීවිතයේ නොපවත්වා ගැනීම නිසා ධර්ම මාර්ගය තුළ පිරිහුණු පුද්ගලයෙක් හැටියට හැඳින්විය හැකියි.


අප සඳහන් කළ පුද්ගලයන් තිදෙනාගෙන්, තුන්වෙනි පුද්ගලයා හඳුන්වන්නේ ‘පුථු පඤ්ඤා” යනුවෙනුයි. මේ පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසිතයි. ධර්ම විනයෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේ නමක් විසින් ‘ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං” නම් වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුල, මැද, අග මනාකොට ගලපා දේශනා කළ සේක.


මේ ශ්‍රාවකයා ගිහි හෝ පැවිදි හෝ වේවා, මේ ශ්‍රාවකයා තමා තුළ රාග, දේවේෂ, මෝහ සංසිෙඳන ආකාරයෙන් සිත එකඟකොටගෙන ධර්මය ගලපා බලනවා. ශ්‍රවණය කරනවා. හැම දහම් වචනයක් ම, සිතිවිල්ලක් ම ‘අජ්ජත්ථ’ හෙවත් අධ්‍යාත්මික වශයෙන් තමා කෙරෙහි ම ගලපමින් විරාගයට, වීත දෝෂයට, වීත මෝහයට ළං කර ගන්නවා. තමා ඒ තුළින් චිත්ත පස්සද්ධියක්, සිතේ සංසිඳීමක්, නිවුණු බවක් ඇති කර ගන්නවා. ඒ වගේ ම මේ ශ්‍රාවකයා බාහිර ආරම්මණයන් කෙරෙන් පවා ඒ සංසිඳීම වඩනවා.


ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආඝ්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතිවිලි වශයෙන් ආරම්මණ බාහිර වශයෙන් පරිහරණය කරන විට, සම්මුතිය තුළ සීලයේ පිහිටා ධර්මානුකූලව පරිහරණය කරනවා. ‘ඔබ මගේ යැයි පවසමින් මවුපියෝ, දරුවෝ, ස්වාමි, භාර්යා ආදී වශයෙන් පැවැත්වූවත්, පරමාර්ථ ධර්මයට අනුව සිතින් අත්හැර සසරෙහි හා නාම රූප ධර්මයන්හි යථා ස්වභාවය නුවණින් දැක හා දුටු දේ සිතින් පුරුදු කරමින් එය සිතින් පිළිගෙන ජීවිතය පවත්වන්න දක්ෂ කෙනෙකුයි.


එමගින් අද්ධ්‍යත්ත හා බාහිර වශයෙන් එනම්, තමා කෙරෙන් හා බාහිර ආරම්මණයන් කෙරෙන් ඉපදවිය හැකි ලෝභාදී කෙලෙස්වල සංසිඳීමක් ඇති කර ගන්නවා. කෙටියෙන් සඳහන් කළොත් , අකුසල ධර්මයන්ගේ සකස්වීම ක්‍රමයෙන් අඩු කරනවා. නැති කරනවා. ජීවන මගේ දී අවශ්‍ය කරන කර්ම විඥානය වැඩීම පාලනය කරනවා. බැහැර කරනවා. යම් කෙළවරකට එන විට කර්ම විඥානය නතර කිරීමට තරම්, එනම් කර්ම විඥානය පැවැත්ම නතර කිරීමට තරම් දක්ෂ කෙනෙක්, සතිමන්ත කෙනෙක්, වීර්යය වන්ත කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. මෙවැනි පිරිස් බොහොමයක් දැක ගන්නට පුළුවනි. ඔබ ද එවැනි අයෙක් දැයි නුවණින් සිතා බලන්නට යැයි ආරාධනා කරනවා.


මෙය පවසන මම ද එවැනි අයෙක් දැයි මා විසින් මා පිළිබඳව සිහිපත්කොට බලනවා. ඒ වගේ ම මේ ‘පුථු පඤ්ඤා’ නම් වූ පුද්ගලයා මුලින් සඳහන් කළ දෙදෙනාට ම වඩා විශේෂත්වය වන්නේ දහම් ශ්‍රවණය කරන විට වගේ ම, පින්කමක යෙදෙන විට වගේ ම ඉන් අනතුරුවත්, එදිනෙදා ජීවිතයේ එනම් සාමාන්‍ය ජීවිතයේදීත් තමන් ශ්‍රවණය කොට, ඉගෙන ගත්, සංසිඳුවා ගත් සිත, කය, වචනය නම් වූ ත්‍රිවිධ ද්වාරයන් ම ඒ ලෙසින් ම පවත්වා ගැනීමට තරම් දක්ෂයෙක් බවට පත්වීමයි. මොනතරම් කෙලෙසුන්ගෙන් පිරිපුන් පිරිසක් මැද ජීවිතය පැවැත්වූවත්, මහ වනයක් මැද හුදකලාව සිටින පුද්ගලයෙක් සේ බාහිර ආරම්මණයන් කෙරෙන් නොබැඳී, නොගැටී නොඇවිස්සී ව්‍යාකූල නොවී සිත පවත්වන්නට තරම් හැකියාවක්, පුරුද්දක් ඇතිකොට ගෙන තිබෙනවා.


ධර්මය ශ්‍රවණය කිරීමේ දී ඇතිකර ගන්නා වූ සමාහිත සිත, එනම් ඒ ඒ ආරම්මණයන් හි ලෝභයෙන් විනිර්මුක්තයි. ද්වේෂයෙන් විනිර්මුක්තයි. මෝහයෙන් විනිර්මුක්තයි. එසේ ම හැකිතාක් දුරට එදිනෙදා ජීවිතය පවත්වන විට කුමන ආකාරයේ පිරිසක් ඇසුරු කළත්, කුමන ආකාරයේ අවිඤ්ඤාණක වස්තු, එනම් ගේදොර, ධන ධාන්‍යය, ඇඳුම් පැළඳුම්, ආහාරපාන, ස්වභාවික පරිසරය ආදී වශයෙන් ඇසුරු කළත් තමාට අයිතිව තිබුණත් ඒවා පාලනය කළත් සිතෙහි කෙලෙස් සකස් නොවන ආකාරයෙන් පවත්වා ගන්නට ඒවා හා සමඟ කටයුතු කරන්නට තරම් සමාහිත සිතක් පවතිනවා. එයට හේතුව කුමක් ද? අවබෝධයෙන් යුතුව තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යාමයි.


මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. මම ධර්ම රත්නය සරණ යමි. ආර්ය සංඝරත්නය සරණ යමි. යන අවස්ථා තුනේ දී ම අවබෝධයක් හා ශ්‍රද්ධාවක් සිතේ ඇතිකර ගැනීමයි. සරණ යාම යනු අවබෝධයෙන් යුතුව ඒ මඟ අනුගමනය කිරීම නොවේ දැයි නිතර නිතර සිහිපත් කොට බලනවා. ඒ අනුව තමාගේ මාර්ගයෙහි ධර්ම විනයට නොගැළපීමක් වේ නම් එය වහා බැහැරකොටගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇති ආකාරයෙන් මනාව සිහිය පවත්වාගෙන ධර්ම මාර්ගය අනුගමනය කරන්න තරම් සිත පවත්වනවා.


අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවය අනුව යම් සිතිවිල්ලක් සිතෙහි නැගුණත්, ඒ සිතිවිල්ල අස්සාද ආදීනව වශයෙන් දැක, නිස්සරණ වශයෙන් කෙලෙස්වලට හසුනොවෙන්නට තරම් සිත පවත්වා ගන්නට හැකියාවක් මේ ශ්‍රාවකයාට පවතිනවා. මනාව සිහිය පවත්වා ගැනීමට තිබෙන හැකියාව නිසා ඇසට, රූපයක්, කනට ශබ්දයක්, නාසයට ආඝ්‍රහණයක් වශයෙන් ආරම්මණ සකස්වීමේ දී ඒවා විඤ්ඤාණයට අනුව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එනමුත් ඒවා කිසිවක් ‘මමය, මාගේ’ ය යන දෘෂ්ඨියෙන් කෙලෙස් සකස්වන ආකාරයෙන් හා වැඩෙන ආකාරයෙන් සිතත්, සිතිවිලිත්, වචනත්, ක්‍රියාවත් අවබෝධයෙන් යුක්තව පවත්වා නොගන්නට තරම් වීර්යයක් හා ප්‍රඥාවක් මේ ශ්‍රාවකයා තුළ පවතිනවා. ‘හරියට මහ මඟ ගමන් කරන විට ගලක්, මුලක්, කටුවක්, විසකුරු සත්වයෙක් දැක මග හැර යන්නේ යම් සේ ද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතිවිලි වශයෙන් රාග, ද්වේෂ, මෝහයන්ට සමීප වූ හෝ යුක්ත වූ අරමුණක් පැන නගින්නේ ද? ඒවා අස්සාද, ආදීනව, නිස්සරණ වශයෙන් ධර්ම විවරණය කොටගෙන සිත සමාහිතව පවත්වා ගන්නට තරම් මේ ශ්‍රාවකයාට හැකියාව තිබෙනවා.


යම් කෙනෙක් එවැනි කෙනෙකුගෙන් මෙ වැනි ප්‍රශ්නයක් අසන්නට පුළුවනි. මේ තරම් ගැටලු මැද්දෙත් ඔබ මේ තරම් නිවුණු කෙනෙක් හැටියට සැනසුණු කෙනෙක් හැටියට ජීවිතය පවත්වන්නේ කෙසේ ද? මට නම් ඔය ආකාරයෙන් දරාගෙන සිටිය නොහැකියි. මම නම් මේ කරුණෙදි මේ වන විටත් කෑ ගසා රණ්ඩු දබර කරගෙන හඬා වැළපී සිටිනවා නො අනුමානයි. නමුත් ඔබ බොහෝ විට දකින ආකාරයෙන් ම සංසිඳුණු මනසකින්, නිවුණු පෙනුමකින් සමාහිත බවකින් කටයුතු කරන බව පැහැදිලියි. ඔබ නූගත් කෙනෙක් නොවන බව, ඔබ අත්දැකීම් පළපුරුදු නැති කෙනෙක් නොවන බව මා ඉතා හොඳින් දන්නවා. රට ලෝකය ගැන බොහෝ ලෞකික දැනුමක් පවතින, බොහෝ පිරිස් ආශ්‍රය කරන, අත්දැකීම් සම්භාරයක් ඇති ඔබ සමාහිත හිතකින් කටයුතු කිරීම නම් හැබෑවට ම විශ්මය ජනකයි.


මෙවැනි නිදසුන්වලින් අප දකින්නේ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පුථු පඤ්ඤා නම් වූ මේ පුද්ගලයා ධර්මය ශ්‍රවණය කරන විටත්, ඉන් අනතුරුවත් ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන් සංසිඳවාගෙන ජීවිතය පවත්වා ගන්නා වූ ආකාරයයි. අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවයේ දී නම් මේ පුද්ගලයා තුළත් රාගාධි කෙලෙස් හට ගැනීමක් නොවනවා නොවෙයි. යම් යම් වූ අරමුණයන්හි දී ඇලීම්, බැඳීම් වශයෙන් කෙලෙස් හටගත හැකියි. නමුත් තමා ධර්මය ශ්‍රවණය කරමින් පුරුදු කළ ඒ සිත, නැවත වහා මතු වී ඒවා නැවත සතිමන්ත ලෙස පවත්වාගෙන සිතෙන් කෙලෙස් සිතිවිලි බැහැර කර ගන්නත් සංසිඳුවා ගන්නට තරම් හැකියාවක් පවතිනවා. සතිය හෙවත් සිහිය ගැන සඳහන් කරනවිට උගන්වන සතිය යෝනිසෝ මනසිකාරය අනුපස්සනා එනම් නැවත නැවත මෙනෙහි කොට බැලීම මනසිකාරය කිරීම සම්පජඤ්ඤය එනම් විදර්ශනා නුවණින් පරික්ෂා කොට බැලීම මේ පුරුදු නිසා අශ්‍රැතවත් පෘතග්ජන සිතේ සකස්වන කෙලෙස් වැඩෙන්නට නොදී ඒවා බැහැර කර ගැනීමට තරම් හැකියාවක් තිබෙනවා.


නිදසුනක් මෙසේ දැක්විය හැකියි. සම්මග්ප්‍රදාන සූත්‍රයට අනුව


“උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති

පජහති විනොදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති

උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති

පජහති විනොදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති

උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසේති

පජහති විනොදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති


උපන්නා වූ කාම විතර්කය, ව්‍යාපද විතර්කය, විහිංසා විතර්කය එනම් ඉවසන්නේ නැහැ. එය අවබෝධයෙන් ඉවත් කරනවා. ගලවා දමනවා. බැහැර කරනවා. නැවත හට නොගන්නා සේ සිහිය පිහිටුවනවා යන ආකාරයයි.


පුථු පඤ්ඤා නම් වූ පුද්ගලයා “කට උඩු දෙසට හරවා මනාව තබන ලද කළයක් හා සමානයි. පැන් වත් කරන විට ඒ කළය ඇතුළට මනා සේ ජලය ඇතුලුවන්නා සේ, රැස්වන්නා සේ, පිටතට ඉහිර නොයන්නා සේ මේ පුද්ගලයාට ධර්මය මැනවින් වැටහෙනවා. ජීවිතය පුරාම ඒ ධර්මය පවත්වා ගන්නවා. එනම් රාග, ද්වේෂ, මෝහ සංසිඳවමින් නිවුණු පුද්ගලයෙක් හැටියට ජීවිතය පවත්වනවා.


තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨියට අනුව සම්මා වීර්යයත්, සම්මා සතියත්, සම්මා ප්‍රඥාවත් මනාව එකට එකතුකොටගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස පිළිපන් ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. පුථු පඤ්ඤා නම් වූ පුද්ගලයා ම භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසිතයි.


- දීපා පෙරේරා



කුල සූත්‍රය

 


කුල සූත්‍රය  

225

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, යම්සේ වනාහි බොහෝ ස්ත්‍රීන් ඇත්තාවූ, ස්වල්ප පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක (කළයක පහන් දල්වාගෙන ගොස් සොරකම් කරන) සොරුන් විසින් පහසුවෙන් පෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය නොවඩන ලද්දේ, නැවත නැවත භාවිතා නොකරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් පෙළිය හැක්කේ වෙයි.

“මහණෙනි, යම්සේ වනාහි ස්වල්ප ස්ත්‍රීන් ඇත්තාවූ, බොහෝ පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක සොරුන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කේ වෙයි. මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, පුරුදු කරන ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය.’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(තුන්වෙනි කුල සූත්‍රය නිමි.)


Thursday, August 26, 2021

රූප


 05

රූප යනු නොයෙක් අර්ථයන්හි වැටෙන නාමයකි. බොහෝ සෙයින් රූප යන නම ව්‍යවහාර කරනුයේ ශරීරවලට ය. ශරීර යන නම ද ලෙව්හි බොහෝ සෙයින් ව්‍යවහාර කරනුයේ දෙව් මිනිස් ආදි ජීවීන්ගේ ශරීරවලට ය. මෙහි ශරීරය යි කියනුයේ දික් බව, කෙටි බව, වට බව, සතරැස් බව ආදි සටහන් ඇත්තා වූ ද, කුඩා බැව් මහත් බැව් ආදි ප්‍ර‍මාණ ඇත්තා වූ ද, පැහැයක් ඇත්තාවූ ද, සත්ත්ව වූද, සත්ත්ව නොවූ ද, සියල්ලට ම ය. දෙවියා ගේ මිනිසාගේ තිරිසනා ගේ කය ද ශරීරයකි. ගලත් ගසත් වැලත් කොළයත් ගෙඩියත් ශරීරයෝ ම ය. ගින්නත් දියත් සුළඟත් අව්වත් ශරීරයෝ ම ය. චිත්ත චෛතසික ධර්මයෝ වනාහි ක්‍රියා මාත්‍ර‍ ම වන බැවින් හා සමූහ වී සටහනක් නො දක්වන්නවුන් බැවින් ශරීර නැත්තෝ ය, චිත්ත චෛතසිකයන් ශරීර නැතියවුන් බව:

“දුරංගමං එකචරං - අසරීරං ගුහාසයං

යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා”

යන තථාගත වචනයෙන් ද දැක්වේ. රූප පරමාර්ථ වූ පෘථිව්‍යාදීහු ක්‍රියා වුව ද බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම්කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් ද්‍ර‍ව්‍යයක් ඇති සේ දක්වන්නෝ ය. ලෝකයෙහි ද්‍ර‍ව්‍ය වශයෙන් හෙවත් ශරීර වශයෙන් සලකන සියල්ල ම පෘථිව්‍යාදි ධාතූන් ගේ සමූහයෝ ය. ද්‍ර‍ව්‍ය හෙවත් ශරීරය පරමාර්ථ වශයෙන් ඇතියක් නො වේ. ඇති සැටියට පෙනෙන ද්‍ර‍ව්‍යයක තතු සොයන්නකුට ඒවායින් සත්‍ය වශයෙන් ඇති දෙය සැටියට ලැබෙනුයේ පෘථිව්‍යාදි ධාතු සමූහයකි. ඒවා ද්‍ර‍ව්‍ය නො වතුදු ශරීර නො වතු දු ශරීරයන් සේ පෙනෙන බැවින් ශරීරයන් හැඳින්වීමට ව්‍යවහාර කරන රූප යන නාමය ඒවාට ද කියනු ලැබේ.

පරමාර්ථ ධර්මයෝ නාම රූප වශයෙන් දෙවැදෑරුම් වෙති. ඒවායින් ශරීර සංඛ්‍යාත රූපයක් නො ලැබෙන චිත්ත චෛතසික නිර්වාණ යන පරමාර්ථ ධර්ම තුනට ශරීරය බලා නො දත හැකි බැවින් නම පමණක් අසා නමේ අනුසාරයෙන් ම දත යුතු වන බැවින් නාමය යි කියනු ලැබේ. බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම් කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් රූපයක් පෙනෙන්නා වූ පරමාර්ථ ධර්ම කොටස ඒ රූපය බලා රූපයාගේ අනුසාරයෙන් දත හැකි බැවින් ඒවාට රූපය යි කියනු ලැබේ. කොටින් කියත හොත් සමූහ වී ශරීර සංඛ්‍යාත රූපයක් දක්වන්නා වූ පරමාර්ථ ධර්ම කොටස රූපයෝ ය. මේ එක්තරා ක්‍ර‍මයකින් රූප පරමාර්ථය හැඳින්වීමකි.

තථාගතයන් වහන්සේ විසින් රූපය හඳුන්වා තිබෙන්නේ, රූප යන වචනය විස්තර කර තිබෙන්නේ ගැඹුරු ක්‍ර‍මයකිනි. “රුප්පතීති ඛො භික්ඛවෙ! තස්මා රූපන්ති වච්චති” යනු තථාගතයන් වහන්සේ විසින් රූපය වර්ණනා කළ ආකාරයයි. “මහණෙනි, රුප්පනය වන බැවින් රූප නම් වේය” යනු එහි තේරුම යි. දැන් දත යුත්තේ රුප්පනය යනු කුමක් ද කියා ය. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ “රුප්පති” යන තථාගත වචනය කාමසූත්‍ර‍ය වර්ණනා කිරීමේ දී වර්ණනා කර තිබෙනුයේ “කුප්පති ඝට්ටීයති පීලියති” යන වචනවලිනි. ඒ වචනවල තේරුම “කිපේය, විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලබා ය, විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පෙළනු ලබා ය” යනුයි. එහි සැටියට රූපය කවරෙක් දැ යි කියත හොත් කිය යුත්තේ කිපෙන්නා වූ විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලබන්නා වූ විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පෙළනු ලබන්නා වූ ධර්මය රූපය කියා ය.

එහි විරුද්ධ ප්‍ර‍ත්‍යය නම් ශීතෝෂ්ණාදිය ය. රූපයා ගේ කිපීම වනාහි නයාගේ කිපීම, කොටියාගේ කිපීම, රජුගේ කිපීම වැන්නක් නොව සෙම කිපුණේය, වාතය කිපුණේය, පිත කිපුණේය යනාදීන් හි කියැවෙන කිපීම බඳු කිපීමකි. ඒ කිපීම විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලැබීමේ හා පෙළනු ලැබීමේ ඵලයකි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් හා අන්‍ය ධර්මයකගේ ප්‍ර‍හාරයට ලක් වීමට තරම් කාලයක් නො පවත්නා බැවින් ද ඒවායේ රුප්පනයක් නැත. රූපයාගේ ජීවන කාලය ජීවන කාලයට වඩා සොළොස් ගුණයක් දික් බැවින් විරුද්ධ ප්‍ර‍ත්‍යයා ගේ ප්‍ර‍හාරයට ඒවා ලක් වේ. එබැවින් රුප්පනයක් ඇත්තේ රූපයන්හි පමණෙකි.

රූප උපදිනුයේ කලාප හෙවත් සමූහ වශයෙනි. තමන් නිරුද්ධ වන්නට මත්තෙන් තමන්ගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීම බොහෝ රූප කලාපයන්ගේ ස්වභාවයකි. විරුද්ධ ප්‍ර‍ත්‍යයාගේ ප්‍ර‍හාරයට ලක් වූ රූපකලාපයෝ තමන්ගේ පරම්පරාවට තමන් හා සමාන රූප කලාප ඉපදවීමට අසමත් වෙති. ඉටිපන්දමක රූප කලාපයන්ට උණුසුම නමැති විරුද්ධ ප්‍ර‍ත්‍යය සැපුණ හොත් ඒවා තමන් හා සමාන කැටි වූ රූප කලාප ඉපදවීමට අසමත් වේ. එබැවින් උණුසුම ස්පර්ශ වීමෙන් පසු ඒවාට ඉපදවිය හැකි වන්නේ තමන් හා සම නොවූ දියාරු රූප කලාපයෝ ය. මෙහි කිපීම යයි කියන ලදුයේ ඒ තමන් හා සමාන රූප ඉපදවීමට අසමත් බවට පැමිණීමට ය. කලින් කැටිව තිබූ ඉටිවල දියාරු බවට පැමිණීමට නො වේ. ඉටි දියාරු බවට පැමිණීම කලින් කැටිව තිබූ ඉටිවල රුප්පනයේ ඵලයකි. රුප්පනය රූපයා ගේ අවස්ථාන්තරයකට පැමිණීම යයි ගැනීම ධර්ම විරෝධ ය. පරමාර්ථ ධර්මයකට ඇත්තේ උත්පාදය, ස්ථිතිය, භංගය කියා අවස්ථා තුනකි. සතර වන අවස්ථාවක් ඒවාට නැත. ශීතෝෂ්ණාදියේ ස්පර්ශයෙන් තිබෙන රූපයක් අන්‍යාකාරයකට අන්‍යාවස්ථාවකට පැමිණේ යයි කියත හොත් එය රූපයාගේ සතර වන අවස්ථාවක් ඇති බව කීම ය. එ බන්දක් නො ලැබෙන බැවින් එසේ නො ගත යුතුය. මෙය තේරුම් ගැනීම තරමකට අමාරු ගැඹුරු කරුණෙකි. මෙය මෙ පමණ දිගට කියන ලදුයේ බොහෝ පොත්වල ද අවුල් කර තිබෙන බැවිනි. මෙය නැවත නැවත කියවා හොඳින් කාරණය තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා.

මතු සම්බන්ධයි!


කළ හොඳ දේ සතුට ගෙන දේ

 


කළ හොඳ දේ සතුට ගෙන දේ
ගලගෙදර රතනවංස හිමි

අප කරන හැම කටයුත්තකින් ම අපට සතුටක් ලැබිය නොහැකි ය. ලැබෙන්නේ නම්, එය ඒ වෙලාවට පමණක් වූවකි. නමුදු සමහර ක්‍රියා අසීරු වුව ද, ඒ තුළ ඇත්තේ නිරාමිස පී‍්‍රතියකි.

ඒවානම් කුසල කර්මයි. පින් කටයුතු යහපත් කටයුතු වශයෙන් ද, ඒවා ජීවිතයට සම්බන්ධ වේ. ජීවිතයකට අවශ්‍ය වන්නේ වංචා සහගත සතුටක් නොව සැබෑ සතුටකි. “සන්තුට්ඨි පරමං ධනං” කෙනෙකුට උතුම්ම ධනය වන්නේ සතුටයි. කුමන සැප සම්පත් තිබුණ ද, සතුට නොමැතිනම් එම ජීවිතය අරටුවක් නැති ගසක් සේ, සුවඳවත් නැති මලක් සේ නිෂ්ඵල වන්නේ ය.

එසේ නම්, එම සතුට ජීවිතය ජීවත් කරවන්නක් සේ සිතා යහපත් කටයුතු කිරීමට කෙනෙකුට අවකාශය සැලසෙනු ඇත. ධම්ම පදයේ යමක වග්ගයේ දෙවැනි ගාථාව තුළින් දේශනා කොට ඇත්තේ කුසල් කටයුත්තක් හඳුනා ගන්නා මනෝ භාවයන් ක්‍රියාත්මක වන ආකාරයයි.

මනෝ පුබ්බංගමා ධම්මා -මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන - භාසතී වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති - ඡායාව අනපායිනී

සියලු සිතිවිලි (ධර්ම) වලට මනස ( සිත) ම ප්‍රධාන වේ. ශ්‍රේෂ්ඨ වේ. එසේම සියලු සිතිවිලි සිතින් ම උපදී. සිතම ශ්‍රේෂ්ඨ කොට ගෙන පවතී. එම නිසා යම් කෙනෙකු හොඳ යහපත් දෙයක් පහන් සිතින් කරයි නම් සිරුර හැර නොයන සෙවනැල්ල සේ සැපය ඔහු පසුපස ලුහුබඳියි.

යහපත් සිතනම් පිරිසුදු සිතයි. එනම් අලෝභ, අදෝෂ, අමෝහ යන ත්‍රිවිධ කුසල් සිත් පෙරටු කොටගෙන. “කියන වචන” සුබ පිණිස පවතින බවත්, “කරන ක්‍රියා” සුබ පිණිස පවතින බවත් ය. යමක් කිරීමේ දී එය තමාටත්,අනුන්ටත්, මෙලොවටත්– පරලොවටත් සුබ පිණිස පවතීනම් එවැනි කර්ම නැවත නැවත කිරීම ඉතා වැදගත් වනු ඇත. එතුළින් මුළු විශ්වයටම ශාන්තියක් සැනසීමක් සිදු වේ. අදෘශ්‍යමාන දෙවි දේවතාවුන්ටද එය පි‍්‍රය උපදවන්නක් ම වේ. බුදුරජාණන් වහන්සේ එවැනි කර්ම අගය කොට ඇති අතර ඒවා අනුමත කොට ද ඇත. ඒ බව ධම්ම පදයේ කතා පුවතක් ඇසුරින් වටහා ගැනීම ධර්මඥානය වැඩිවීමට තවත් රුකුලක් වනු ඇත.

බුදුරඳුන් ජීවමාන කල සුමන කියා මල් වෙළෙඳාම් කොට ජීවත් වූ අසරණ මිනිසෙක් සිටියා. ඔහුගේ රැකියාව වූයේ මල් වෙළඳාමයි. ඔහු බිම්බිසාර රජුගේ මාලිගාවට රාජාඥාව මත දෑසමන් මල් මාලා අටක් දීම දෛනිකව සිදු කළා. ඒ සඳහා ඔහුට අටකලඳක් පමණ වැටුපක් ද ලැබුණි. දිනක් මල් රැගෙන යන අතරේදී මහ පාරේ දි බුදුරඳුන් ප්‍රමුඛ මහා සංඝයා ඉදිරියට වඩිනවා හමු වුණා. බුදුරඳුන් වඩින නමුදු බුදුන්ට පූජා කිරීමට කිසිවක් නොමැති හෙයින් ඒ ගැන සිතමින් සිටියදී මල් පූජා කිරීමට සිත ශක්තිමත් කොට ගත්තා. රජුගෙන් නොයෙක් දඩුවම් හෝ මරණ දණ්ඩනය හෝ රටින් නෙරපීම හෝ ලැබෙන්නට පුළුවන්. නමුදු ජීවිතය ගියත් මේ මල් බුදුන්ට පූජා කරනවා කියා සිතේ අධිෂ්ඨානය ඇතිකොට ගෙන අපමණ ශ්‍රද්ධාවෙන් බුදුන් දෙසට මල් විසි කළා. පසුව ඒවා මල් යහනාවක් බවට පත් වී බුදුරඳුන් එම මල් යහනාව තුළ වඩින අයුරු සැකසුණා. මෙම අසිරිය නගරයේ සිසාරා රැව්දෙන්නට වුණා. බොහෝ දෙනෙක් එම ආශ්චර්ය දැක සෝමනස්ස සහගත සිතින් පින්සිදු කරගත්තා. පසුව බිම්බිසාර රජුට ද මෙම ආරංචිය ලැබී සුමන මල්කරු ගෙන්වා ඔහු කළ උතුම් ක්‍රියාව අගය කොට ඇතුන් හා ගොව්වන් අටක් ද, අසුන් අටක් ද, ස්වර්ණාභරණයෙන් සැරසුණු ස්ත්‍රීන් අටක් ද, අට දහසක් පමණ රන් ද, ගම්වර අටක් ද, ප්‍රදානය කොට සතුටින් කල් යවන ලෙස දැනුම් දුන්නා.

මෙම කතා පුවත පුංචි කතාවක් සේ දැනුන ද මේ තුළ ගත හැකි අර්ථය සේ ම, ආදර්ශය ඉතා විශාල ය. ගැඹුරු ය. සුමන මල්කරු පූජා කළේ මල් පමණක් නො වේ. ඔහුගේ ජීවිතය ද පූජා කළේ ය. රාජ ආඥාවක් කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. නමුදු සුමන මල්කරු තුනුරුවන් උදෙසා තම ජීවිතය ද පූජා කරමින් මල් පීදීය.බිම්බිසාර රජු සෝවාන් වූ සැදැහැති රජකෙනෙක් වූ නිසාදෝ සුමන මල්කරුගේ ක්‍රියාව අගය කොට විශාල ධන සම්පතක් ද ලබා දුන්හ. සුමන මල්කරු සැදැහැ සිතින් කළ ක්‍රියාවේ ප්‍රතිඵලය සාංදෘෂ්ඨික (මෙලොවදීම) වශයෙන් විපාක ලැබුණි. එබැවින් හොඳ දේ කිරීමට පසුබට නොවිය යුතු ය.

තමන් ට ලැබෙන දුර්ලභ අවස්ථා බොහෝ දෙනෙක් මඟහරවා ගනිති. හොඳ දෙයක් කිරීමට අවස්ථාව ලැබීමේ දී බොහෝ දේ ගැන සිතීමට ගියහොත් තමන්ට පින්කර ගැනීමට ලැබුණ එම අවස්ථාව මඟ හැරී යාමට පුළුවන. එබැවින් ‘අද අද එයි මරු පින් කර ගන්නේ” කී ආකාරයට අද අදම පින් කිරීමට යුහුසුළු විය යුතු ය.

තංච කම්මං කතං සාධූ - යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො - විපාකං පටිසේවති

සිහිවන හැමවිටම පසුතැවිලි ඇති නොවන, පී‍්‍රතියෙන් පිනාගිය සිත් ඇති වන, පී‍්‍රතියෙන් හා සොම්නසින් යුක්තව සැප විපාක විඳීමට හේතුවන පින්කම් කිරීම යහපත් ය.

පින් කිරීමේ දී කිසිම අවස්ථාවක ඒ සඳහා පසුබට නොවිය යුතු ය. දාන, ශීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච,අපචායන ,ධම්මසවන, දිට්ටිජුකම්ම නම් වූ දස පුණ්‍යක්‍රියා අඩු වැඩි වශයෙන් බොහෝ දෙනෙක් සිදු කරති. ඒවා බොහෝ නිවෙස් තුළ නිරන්තරයෙන් කර ගත හැකි පින්කම් ය. දස පුණ්‍ය ක්‍රියා නමින් බුදු සසුන තුළ සුලභව සිදුවන පින්කම් මාලාවක් ලෙස ඒවා ඉතා ප්‍රකට ය. වරක් දෙකක් සිදුකොට, පින්කම් ඇති කියා කවදාවත් නොසිතිය යුතු ය. පින සත්වයාට නිරන්තරයෙන් අවශ්‍ය බැවින් මෙලොවටත්, පරලොවටත්, එය දියකින් එගොඩ වීමට ඇති පාරුවක් සේ අවශ්‍ය වනු ඇත. එය දැන හඳුනාගත් ඇත්තෝ නැවත නැවත පින් දහම් සිදු කර ගන්නාහ

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...