Sunday, August 29, 2021

බුදුරදුන්ගෙන් පැසසුම් ලැබූ පුද්ගලයෝ



බුදුරදුන්ගෙන් පැසසුම් ලැබූ පුද්ගලයෝ



බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි

ප්‍රධාන අනුශාසක

ආචාර්ය

මිරිස්සේ ධම්මික නා හිමි


තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධයෙන් සරණ යන ඔබ අප සියලු දෙනා විසින් කෙසේ නම් අපේ ඉරියව් පැවතිය යුත්තේ දැයි අප විසින් ම තේරුම් ගත යුතුයි.


අප්පමත්තා සතීමන්තො

සුසීලා හෝථ භික්ඛවො

සුසමාහිත සංකප්පා

සචිත්ත මනුරක්ඛථ


භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පෙළකි. කුසලයට අප්‍රමාදී වන්න. සතිමන්ත හෙවත් සතර සතිපට්ඨානය පුරුදු කරන ලද සිහියෙන් යුක්ත වන්න. ‘සුසමාහිත සංකප්පා’ ලෝභ, ද්වේෂ, මෝහ සංසිදුණා වූ සිතිවිලි ඇති කර ගන්න. ඒවා පවත්වා ගන්න. ‘සචිත්ත මනුරක්ඛථ’ එසේ පවත්වමින් සිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැක ගන්න. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, මරුගෙන් ආරක්ෂාවෙන්න යන අදහසයි. එනමුත් උච්ඡංග පඤ්ඤා නම් වූ පුද්ගලයා අසාගෙන සිටින විට, පින්කම්වල යෙදෙන විට ඇතිකරගත්තා වූ සංයමය, අවබෝධය සාමාන්‍ය ජීවිතයේ නොපවත්වා ගැනීම නිසා ධර්ම මාර්ගය තුළ පිරිහුණු පුද්ගලයෙක් හැටියට හැඳින්විය හැකියි.


අප සඳහන් කළ පුද්ගලයන් තිදෙනාගෙන්, තුන්වෙනි පුද්ගලයා හඳුන්වන්නේ ‘පුථු පඤ්ඤා” යනුවෙනුයි. මේ පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසිතයි. ධර්ම විනයෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේ නමක් විසින් ‘ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං” නම් වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුල, මැද, අග මනාකොට ගලපා දේශනා කළ සේක.


මේ ශ්‍රාවකයා ගිහි හෝ පැවිදි හෝ වේවා, මේ ශ්‍රාවකයා තමා තුළ රාග, දේවේෂ, මෝහ සංසිෙඳන ආකාරයෙන් සිත එකඟකොටගෙන ධර්මය ගලපා බලනවා. ශ්‍රවණය කරනවා. හැම දහම් වචනයක් ම, සිතිවිල්ලක් ම ‘අජ්ජත්ථ’ හෙවත් අධ්‍යාත්මික වශයෙන් තමා කෙරෙහි ම ගලපමින් විරාගයට, වීත දෝෂයට, වීත මෝහයට ළං කර ගන්නවා. තමා ඒ තුළින් චිත්ත පස්සද්ධියක්, සිතේ සංසිඳීමක්, නිවුණු බවක් ඇති කර ගන්නවා. ඒ වගේ ම මේ ශ්‍රාවකයා බාහිර ආරම්මණයන් කෙරෙන් පවා ඒ සංසිඳීම වඩනවා.


ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආඝ්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතිවිලි වශයෙන් ආරම්මණ බාහිර වශයෙන් පරිහරණය කරන විට, සම්මුතිය තුළ සීලයේ පිහිටා ධර්මානුකූලව පරිහරණය කරනවා. ‘ඔබ මගේ යැයි පවසමින් මවුපියෝ, දරුවෝ, ස්වාමි, භාර්යා ආදී වශයෙන් පැවැත්වූවත්, පරමාර්ථ ධර්මයට අනුව සිතින් අත්හැර සසරෙහි හා නාම රූප ධර්මයන්හි යථා ස්වභාවය නුවණින් දැක හා දුටු දේ සිතින් පුරුදු කරමින් එය සිතින් පිළිගෙන ජීවිතය පවත්වන්න දක්ෂ කෙනෙකුයි.


එමගින් අද්ධ්‍යත්ත හා බාහිර වශයෙන් එනම්, තමා කෙරෙන් හා බාහිර ආරම්මණයන් කෙරෙන් ඉපදවිය හැකි ලෝභාදී කෙලෙස්වල සංසිඳීමක් ඇති කර ගන්නවා. කෙටියෙන් සඳහන් කළොත් , අකුසල ධර්මයන්ගේ සකස්වීම ක්‍රමයෙන් අඩු කරනවා. නැති කරනවා. ජීවන මගේ දී අවශ්‍ය කරන කර්ම විඥානය වැඩීම පාලනය කරනවා. බැහැර කරනවා. යම් කෙළවරකට එන විට කර්ම විඥානය නතර කිරීමට තරම්, එනම් කර්ම විඥානය පැවැත්ම නතර කිරීමට තරම් දක්ෂ කෙනෙක්, සතිමන්ත කෙනෙක්, වීර්යය වන්ත කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. මෙවැනි පිරිස් බොහොමයක් දැක ගන්නට පුළුවනි. ඔබ ද එවැනි අයෙක් දැයි නුවණින් සිතා බලන්නට යැයි ආරාධනා කරනවා.


මෙය පවසන මම ද එවැනි අයෙක් දැයි මා විසින් මා පිළිබඳව සිහිපත්කොට බලනවා. ඒ වගේ ම මේ ‘පුථු පඤ්ඤා’ නම් වූ පුද්ගලයා මුලින් සඳහන් කළ දෙදෙනාට ම වඩා විශේෂත්වය වන්නේ දහම් ශ්‍රවණය කරන විට වගේ ම, පින්කමක යෙදෙන විට වගේ ම ඉන් අනතුරුවත්, එදිනෙදා ජීවිතයේ එනම් සාමාන්‍ය ජීවිතයේදීත් තමන් ශ්‍රවණය කොට, ඉගෙන ගත්, සංසිඳුවා ගත් සිත, කය, වචනය නම් වූ ත්‍රිවිධ ද්වාරයන් ම ඒ ලෙසින් ම පවත්වා ගැනීමට තරම් දක්ෂයෙක් බවට පත්වීමයි. මොනතරම් කෙලෙසුන්ගෙන් පිරිපුන් පිරිසක් මැද ජීවිතය පැවැත්වූවත්, මහ වනයක් මැද හුදකලාව සිටින පුද්ගලයෙක් සේ බාහිර ආරම්මණයන් කෙරෙන් නොබැඳී, නොගැටී නොඇවිස්සී ව්‍යාකූල නොවී සිත පවත්වන්නට තරම් හැකියාවක්, පුරුද්දක් ඇතිකොට ගෙන තිබෙනවා.


ධර්මය ශ්‍රවණය කිරීමේ දී ඇතිකර ගන්නා වූ සමාහිත සිත, එනම් ඒ ඒ ආරම්මණයන් හි ලෝභයෙන් විනිර්මුක්තයි. ද්වේෂයෙන් විනිර්මුක්තයි. මෝහයෙන් විනිර්මුක්තයි. එසේ ම හැකිතාක් දුරට එදිනෙදා ජීවිතය පවත්වන විට කුමන ආකාරයේ පිරිසක් ඇසුරු කළත්, කුමන ආකාරයේ අවිඤ්ඤාණක වස්තු, එනම් ගේදොර, ධන ධාන්‍යය, ඇඳුම් පැළඳුම්, ආහාරපාන, ස්වභාවික පරිසරය ආදී වශයෙන් ඇසුරු කළත් තමාට අයිතිව තිබුණත් ඒවා පාලනය කළත් සිතෙහි කෙලෙස් සකස් නොවන ආකාරයෙන් පවත්වා ගන්නට ඒවා හා සමඟ කටයුතු කරන්නට තරම් සමාහිත සිතක් පවතිනවා. එයට හේතුව කුමක් ද? අවබෝධයෙන් යුතුව තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යාමයි.


මම බුදුරජාණන් වහන්සේ සරණ යමි. මම ධර්ම රත්නය සරණ යමි. ආර්ය සංඝරත්නය සරණ යමි. යන අවස්ථා තුනේ දී ම අවබෝධයක් හා ශ්‍රද්ධාවක් සිතේ ඇතිකර ගැනීමයි. සරණ යාම යනු අවබෝධයෙන් යුතුව ඒ මඟ අනුගමනය කිරීම නොවේ දැයි නිතර නිතර සිහිපත් කොට බලනවා. ඒ අනුව තමාගේ මාර්ගයෙහි ධර්ම විනයට නොගැළපීමක් වේ නම් එය වහා බැහැරකොටගෙන භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇති ආකාරයෙන් මනාව සිහිය පවත්වාගෙන ධර්ම මාර්ගය අනුගමනය කරන්න තරම් සිත පවත්වනවා.


අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවය අනුව යම් සිතිවිල්ලක් සිතෙහි නැගුණත්, ඒ සිතිවිල්ල අස්සාද ආදීනව වශයෙන් දැක, නිස්සරණ වශයෙන් කෙලෙස්වලට හසුනොවෙන්නට තරම් සිත පවත්වා ගන්නට හැකියාවක් මේ ශ්‍රාවකයාට පවතිනවා. මනාව සිහිය පවත්වා ගැනීමට තිබෙන හැකියාව නිසා ඇසට, රූපයක්, කනට ශබ්දයක්, නාසයට ආඝ්‍රහණයක් වශයෙන් ආරම්මණ සකස්වීමේ දී ඒවා විඤ්ඤාණයට අනුව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එනමුත් ඒවා කිසිවක් ‘මමය, මාගේ’ ය යන දෘෂ්ඨියෙන් කෙලෙස් සකස්වන ආකාරයෙන් හා වැඩෙන ආකාරයෙන් සිතත්, සිතිවිලිත්, වචනත්, ක්‍රියාවත් අවබෝධයෙන් යුක්තව පවත්වා නොගන්නට තරම් වීර්යයක් හා ප්‍රඥාවක් මේ ශ්‍රාවකයා තුළ පවතිනවා. ‘හරියට මහ මඟ ගමන් කරන විට ගලක්, මුලක්, කටුවක්, විසකුරු සත්වයෙක් දැක මග හැර යන්නේ යම් සේ ද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතිවිලි වශයෙන් රාග, ද්වේෂ, මෝහයන්ට සමීප වූ හෝ යුක්ත වූ අරමුණක් පැන නගින්නේ ද? ඒවා අස්සාද, ආදීනව, නිස්සරණ වශයෙන් ධර්ම විවරණය කොටගෙන සිත සමාහිතව පවත්වා ගන්නට තරම් මේ ශ්‍රාවකයාට හැකියාව තිබෙනවා.


යම් කෙනෙක් එවැනි කෙනෙකුගෙන් මෙ වැනි ප්‍රශ්නයක් අසන්නට පුළුවනි. මේ තරම් ගැටලු මැද්දෙත් ඔබ මේ තරම් නිවුණු කෙනෙක් හැටියට සැනසුණු කෙනෙක් හැටියට ජීවිතය පවත්වන්නේ කෙසේ ද? මට නම් ඔය ආකාරයෙන් දරාගෙන සිටිය නොහැකියි. මම නම් මේ කරුණෙදි මේ වන විටත් කෑ ගසා රණ්ඩු දබර කරගෙන හඬා වැළපී සිටිනවා නො අනුමානයි. නමුත් ඔබ බොහෝ විට දකින ආකාරයෙන් ම සංසිඳුණු මනසකින්, නිවුණු පෙනුමකින් සමාහිත බවකින් කටයුතු කරන බව පැහැදිලියි. ඔබ නූගත් කෙනෙක් නොවන බව, ඔබ අත්දැකීම් පළපුරුදු නැති කෙනෙක් නොවන බව මා ඉතා හොඳින් දන්නවා. රට ලෝකය ගැන බොහෝ ලෞකික දැනුමක් පවතින, බොහෝ පිරිස් ආශ්‍රය කරන, අත්දැකීම් සම්භාරයක් ඇති ඔබ සමාහිත හිතකින් කටයුතු කිරීම නම් හැබෑවට ම විශ්මය ජනකයි.


මෙවැනි නිදසුන්වලින් අප දකින්නේ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පුථු පඤ්ඤා නම් වූ මේ පුද්ගලයා ධර්මය ශ්‍රවණය කරන විටත්, ඉන් අනතුරුවත් ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන් සංසිඳවාගෙන ජීවිතය පවත්වා ගන්නා වූ ආකාරයයි. අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවයේ දී නම් මේ පුද්ගලයා තුළත් රාගාධි කෙලෙස් හට ගැනීමක් නොවනවා නොවෙයි. යම් යම් වූ අරමුණයන්හි දී ඇලීම්, බැඳීම් වශයෙන් කෙලෙස් හටගත හැකියි. නමුත් තමා ධර්මය ශ්‍රවණය කරමින් පුරුදු කළ ඒ සිත, නැවත වහා මතු වී ඒවා නැවත සතිමන්ත ලෙස පවත්වාගෙන සිතෙන් කෙලෙස් සිතිවිලි බැහැර කර ගන්නත් සංසිඳුවා ගන්නට තරම් හැකියාවක් පවතිනවා. සතිය හෙවත් සිහිය ගැන සඳහන් කරනවිට උගන්වන සතිය යෝනිසෝ මනසිකාරය අනුපස්සනා එනම් නැවත නැවත මෙනෙහි කොට බැලීම මනසිකාරය කිරීම සම්පජඤ්ඤය එනම් විදර්ශනා නුවණින් පරික්ෂා කොට බැලීම මේ පුරුදු නිසා අශ්‍රැතවත් පෘතග්ජන සිතේ සකස්වන කෙලෙස් වැඩෙන්නට නොදී ඒවා බැහැර කර ගැනීමට තරම් හැකියාවක් තිබෙනවා.


නිදසුනක් මෙසේ දැක්විය හැකියි. සම්මග්ප්‍රදාන සූත්‍රයට අනුව


“උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති

පජහති විනොදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති

උප්පන්නං ව්‍යාපාද විතක්කං නාධිවාසේති

පජහති විනොදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති

උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසේති

පජහති විනොදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති


උපන්නා වූ කාම විතර්කය, ව්‍යාපද විතර්කය, විහිංසා විතර්කය එනම් ඉවසන්නේ නැහැ. එය අවබෝධයෙන් ඉවත් කරනවා. ගලවා දමනවා. බැහැර කරනවා. නැවත හට නොගන්නා සේ සිහිය පිහිටුවනවා යන ආකාරයයි.


පුථු පඤ්ඤා නම් වූ පුද්ගලයා “කට උඩු දෙසට හරවා මනාව තබන ලද කළයක් හා සමානයි. පැන් වත් කරන විට ඒ කළය ඇතුළට මනා සේ ජලය ඇතුලුවන්නා සේ, රැස්වන්නා සේ, පිටතට ඉහිර නොයන්නා සේ මේ පුද්ගලයාට ධර්මය මැනවින් වැටහෙනවා. ජීවිතය පුරාම ඒ ධර්මය පවත්වා ගන්නවා. එනම් රාග, ද්වේෂ, මෝහ සංසිඳවමින් නිවුණු පුද්ගලයෙක් හැටියට ජීවිතය පවත්වනවා.


තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨියට අනුව සම්මා වීර්යයත්, සම්මා සතියත්, සම්මා ප්‍රඥාවත් මනාව එකට එකතුකොටගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ම අනුගමනය කරමින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස පිළිපන් ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. පුථු පඤ්ඤා නම් වූ පුද්ගලයා ම භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශංසිතයි.


- දීපා පෙරේරා



කුල සූත්‍රය

 


කුල සූත්‍රය  

225

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, යම්සේ වනාහි බොහෝ ස්ත්‍රීන් ඇත්තාවූ, ස්වල්ප පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක (කළයක පහන් දල්වාගෙන ගොස් සොරකම් කරන) සොරුන් විසින් පහසුවෙන් පෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය නොවඩන ලද්දේ, නැවත නැවත භාවිතා නොකරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් පෙළිය හැක්කේ වෙයි.

“මහණෙනි, යම්සේ වනාහි ස්වල්ප ස්ත්‍රීන් ඇත්තාවූ, බොහෝ පුරුෂයන් ඇත්තාවූ, යම්කිසි කුලයෝ වෙත්ද, ඒ කුලයෝ කුම්භත්ථෙනක සොරුන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කාහු වෙති. මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ වේද, ඒ මහණතෙම අමනුෂ්‍යයන් විසින් පහසුවෙන් නොපෙළිය හැක්කේ වෙයි. මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප විසින් මෛත්‍රී භාවනා සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹ සිටින ලද්දේ, පුරුදු කරන ලද්දේ, මනාකොට පටන්ගන්නා ලද්දේ වන්නේය.’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(තුන්වෙනි කුල සූත්‍රය නිමි.)


Thursday, August 26, 2021

රූප


 05

රූප යනු නොයෙක් අර්ථයන්හි වැටෙන නාමයකි. බොහෝ සෙයින් රූප යන නම ව්‍යවහාර කරනුයේ ශරීරවලට ය. ශරීර යන නම ද ලෙව්හි බොහෝ සෙයින් ව්‍යවහාර කරනුයේ දෙව් මිනිස් ආදි ජීවීන්ගේ ශරීරවලට ය. මෙහි ශරීරය යි කියනුයේ දික් බව, කෙටි බව, වට බව, සතරැස් බව ආදි සටහන් ඇත්තා වූ ද, කුඩා බැව් මහත් බැව් ආදි ප්‍ර‍මාණ ඇත්තා වූ ද, පැහැයක් ඇත්තාවූ ද, සත්ත්ව වූද, සත්ත්ව නොවූ ද, සියල්ලට ම ය. දෙවියා ගේ මිනිසාගේ තිරිසනා ගේ කය ද ශරීරයකි. ගලත් ගසත් වැලත් කොළයත් ගෙඩියත් ශරීරයෝ ම ය. ගින්නත් දියත් සුළඟත් අව්වත් ශරීරයෝ ම ය. චිත්ත චෛතසික ධර්මයෝ වනාහි ක්‍රියා මාත්‍ර‍ ම වන බැවින් හා සමූහ වී සටහනක් නො දක්වන්නවුන් බැවින් ශරීර නැත්තෝ ය, චිත්ත චෛතසිකයන් ශරීර නැතියවුන් බව:

“දුරංගමං එකචරං - අසරීරං ගුහාසයං

යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති - මොක්ඛන්ති මාරබන්ධනා”

යන තථාගත වචනයෙන් ද දැක්වේ. රූප පරමාර්ථ වූ පෘථිව්‍යාදීහු ක්‍රියා වුව ද බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම්කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් ද්‍ර‍ව්‍යයක් ඇති සේ දක්වන්නෝ ය. ලෝකයෙහි ද්‍ර‍ව්‍ය වශයෙන් හෙවත් ශරීර වශයෙන් සලකන සියල්ල ම පෘථිව්‍යාදි ධාතූන් ගේ සමූහයෝ ය. ද්‍ර‍ව්‍ය හෙවත් ශරීරය පරමාර්ථ වශයෙන් ඇතියක් නො වේ. ඇති සැටියට පෙනෙන ද්‍ර‍ව්‍යයක තතු සොයන්නකුට ඒවායින් සත්‍ය වශයෙන් ඇති දෙය සැටියට ලැබෙනුයේ පෘථිව්‍යාදි ධාතු සමූහයකි. ඒවා ද්‍ර‍ව්‍ය නො වතුදු ශරීර නො වතු දු ශරීරයන් සේ පෙනෙන බැවින් ශරීරයන් හැඳින්වීමට ව්‍යවහාර කරන රූප යන නාමය ඒවාට ද කියනු ලැබේ.

පරමාර්ථ ධර්මයෝ නාම රූප වශයෙන් දෙවැදෑරුම් වෙති. ඒවායින් ශරීර සංඛ්‍යාත රූපයක් නො ලැබෙන චිත්ත චෛතසික නිර්වාණ යන පරමාර්ථ ධර්ම තුනට ශරීරය බලා නො දත හැකි බැවින් නම පමණක් අසා නමේ අනුසාරයෙන් ම දත යුතු වන බැවින් නාමය යි කියනු ලැබේ. බොහෝ ගණනක් එක් තැන් වූ කල්හි යම් කිසි සටහනක් ඇත්තා වූ ශරීරයක් හෙවත් රූපයක් පෙනෙන්නා වූ පරමාර්ථ ධර්ම කොටස ඒ රූපය බලා රූපයාගේ අනුසාරයෙන් දත හැකි බැවින් ඒවාට රූපය යි කියනු ලැබේ. කොටින් කියත හොත් සමූහ වී ශරීර සංඛ්‍යාත රූපයක් දක්වන්නා වූ පරමාර්ථ ධර්ම කොටස රූපයෝ ය. මේ එක්තරා ක්‍ර‍මයකින් රූප පරමාර්ථය හැඳින්වීමකි.

තථාගතයන් වහන්සේ විසින් රූපය හඳුන්වා තිබෙන්නේ, රූප යන වචනය විස්තර කර තිබෙන්නේ ගැඹුරු ක්‍ර‍මයකිනි. “රුප්පතීති ඛො භික්ඛවෙ! තස්මා රූපන්ති වච්චති” යනු තථාගතයන් වහන්සේ විසින් රූපය වර්ණනා කළ ආකාරයයි. “මහණෙනි, රුප්පනය වන බැවින් රූප නම් වේය” යනු එහි තේරුම යි. දැන් දත යුත්තේ රුප්පනය යනු කුමක් ද කියා ය. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ “රුප්පති” යන තථාගත වචනය කාමසූත්‍ර‍ය වර්ණනා කිරීමේ දී වර්ණනා කර තිබෙනුයේ “කුප්පති ඝට්ටීයති පීලියති” යන වචනවලිනි. ඒ වචනවල තේරුම “කිපේය, විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලබා ය, විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පෙළනු ලබා ය” යනුයි. එහි සැටියට රූපය කවරෙක් දැ යි කියත හොත් කිය යුත්තේ කිපෙන්නා වූ විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලබන්නා වූ විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පෙළනු ලබන්නා වූ ධර්මය රූපය කියා ය.

එහි විරුද්ධ ප්‍ර‍ත්‍යය නම් ශීතෝෂ්ණාදිය ය. රූපයා ගේ කිපීම වනාහි නයාගේ කිපීම, කොටියාගේ කිපීම, රජුගේ කිපීම වැන්නක් නොව සෙම කිපුණේය, වාතය කිපුණේය, පිත කිපුණේය යනාදීන් හි කියැවෙන කිපීම බඳු කිපීමකි. ඒ කිපීම විරුද්ධ ප්‍ර‍ත්‍යයෙන් පහර ලැබීමේ හා පෙළනු ලැබීමේ ඵලයකි. චිත්ත චෛතසිකයන් ඉතා සියුම් බැවින් හා අන්‍ය ධර්මයකගේ ප්‍ර‍හාරයට ලක් වීමට තරම් කාලයක් නො පවත්නා බැවින් ද ඒවායේ රුප්පනයක් නැත. රූපයාගේ ජීවන කාලය ජීවන කාලයට වඩා සොළොස් ගුණයක් දික් බැවින් විරුද්ධ ප්‍ර‍ත්‍යයා ගේ ප්‍ර‍හාරයට ඒවා ලක් වේ. එබැවින් රුප්පනයක් ඇත්තේ රූපයන්හි පමණෙකි.

රූප උපදිනුයේ කලාප හෙවත් සමූහ වශයෙනි. තමන් නිරුද්ධ වන්නට මත්තෙන් තමන්ගේ ජාතියට අයත් තවත් රූප කලාප එකක් හෝ වැඩි ගණනක් ඉපදවීම බොහෝ රූප කලාපයන්ගේ ස්වභාවයකි. විරුද්ධ ප්‍ර‍ත්‍යයාගේ ප්‍ර‍හාරයට ලක් වූ රූපකලාපයෝ තමන්ගේ පරම්පරාවට තමන් හා සමාන රූප කලාප ඉපදවීමට අසමත් වෙති. ඉටිපන්දමක රූප කලාපයන්ට උණුසුම නමැති විරුද්ධ ප්‍ර‍ත්‍යය සැපුණ හොත් ඒවා තමන් හා සමාන කැටි වූ රූප කලාප ඉපදවීමට අසමත් වේ. එබැවින් උණුසුම ස්පර්ශ වීමෙන් පසු ඒවාට ඉපදවිය හැකි වන්නේ තමන් හා සම නොවූ දියාරු රූප කලාපයෝ ය. මෙහි කිපීම යයි කියන ලදුයේ ඒ තමන් හා සමාන රූප ඉපදවීමට අසමත් බවට පැමිණීමට ය. කලින් කැටිව තිබූ ඉටිවල දියාරු බවට පැමිණීමට නො වේ. ඉටි දියාරු බවට පැමිණීම කලින් කැටිව තිබූ ඉටිවල රුප්පනයේ ඵලයකි. රුප්පනය රූපයා ගේ අවස්ථාන්තරයකට පැමිණීම යයි ගැනීම ධර්ම විරෝධ ය. පරමාර්ථ ධර්මයකට ඇත්තේ උත්පාදය, ස්ථිතිය, භංගය කියා අවස්ථා තුනකි. සතර වන අවස්ථාවක් ඒවාට නැත. ශීතෝෂ්ණාදියේ ස්පර්ශයෙන් තිබෙන රූපයක් අන්‍යාකාරයකට අන්‍යාවස්ථාවකට පැමිණේ යයි කියත හොත් එය රූපයාගේ සතර වන අවස්ථාවක් ඇති බව කීම ය. එ බන්දක් නො ලැබෙන බැවින් එසේ නො ගත යුතුය. මෙය තේරුම් ගැනීම තරමකට අමාරු ගැඹුරු කරුණෙකි. මෙය මෙ පමණ දිගට කියන ලදුයේ බොහෝ පොත්වල ද අවුල් කර තිබෙන බැවිනි. මෙය නැවත නැවත කියවා හොඳින් කාරණය තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා.

මතු සම්බන්ධයි!


කළ හොඳ දේ සතුට ගෙන දේ

 


කළ හොඳ දේ සතුට ගෙන දේ
ගලගෙදර රතනවංස හිමි

අප කරන හැම කටයුත්තකින් ම අපට සතුටක් ලැබිය නොහැකි ය. ලැබෙන්නේ නම්, එය ඒ වෙලාවට පමණක් වූවකි. නමුදු සමහර ක්‍රියා අසීරු වුව ද, ඒ තුළ ඇත්තේ නිරාමිස පී‍්‍රතියකි.

ඒවානම් කුසල කර්මයි. පින් කටයුතු යහපත් කටයුතු වශයෙන් ද, ඒවා ජීවිතයට සම්බන්ධ වේ. ජීවිතයකට අවශ්‍ය වන්නේ වංචා සහගත සතුටක් නොව සැබෑ සතුටකි. “සන්තුට්ඨි පරමං ධනං” කෙනෙකුට උතුම්ම ධනය වන්නේ සතුටයි. කුමන සැප සම්පත් තිබුණ ද, සතුට නොමැතිනම් එම ජීවිතය අරටුවක් නැති ගසක් සේ, සුවඳවත් නැති මලක් සේ නිෂ්ඵල වන්නේ ය.

එසේ නම්, එම සතුට ජීවිතය ජීවත් කරවන්නක් සේ සිතා යහපත් කටයුතු කිරීමට කෙනෙකුට අවකාශය සැලසෙනු ඇත. ධම්ම පදයේ යමක වග්ගයේ දෙවැනි ගාථාව තුළින් දේශනා කොට ඇත්තේ කුසල් කටයුත්තක් හඳුනා ගන්නා මනෝ භාවයන් ක්‍රියාත්මක වන ආකාරයයි.

මනෝ පුබ්බංගමා ධම්මා -මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන - භාසතී වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති - ඡායාව අනපායිනී

සියලු සිතිවිලි (ධර්ම) වලට මනස ( සිත) ම ප්‍රධාන වේ. ශ්‍රේෂ්ඨ වේ. එසේම සියලු සිතිවිලි සිතින් ම උපදී. සිතම ශ්‍රේෂ්ඨ කොට ගෙන පවතී. එම නිසා යම් කෙනෙකු හොඳ යහපත් දෙයක් පහන් සිතින් කරයි නම් සිරුර හැර නොයන සෙවනැල්ල සේ සැපය ඔහු පසුපස ලුහුබඳියි.

යහපත් සිතනම් පිරිසුදු සිතයි. එනම් අලෝභ, අදෝෂ, අමෝහ යන ත්‍රිවිධ කුසල් සිත් පෙරටු කොටගෙන. “කියන වචන” සුබ පිණිස පවතින බවත්, “කරන ක්‍රියා” සුබ පිණිස පවතින බවත් ය. යමක් කිරීමේ දී එය තමාටත්,අනුන්ටත්, මෙලොවටත්– පරලොවටත් සුබ පිණිස පවතීනම් එවැනි කර්ම නැවත නැවත කිරීම ඉතා වැදගත් වනු ඇත. එතුළින් මුළු විශ්වයටම ශාන්තියක් සැනසීමක් සිදු වේ. අදෘශ්‍යමාන දෙවි දේවතාවුන්ටද එය පි‍්‍රය උපදවන්නක් ම වේ. බුදුරජාණන් වහන්සේ එවැනි කර්ම අගය කොට ඇති අතර ඒවා අනුමත කොට ද ඇත. ඒ බව ධම්ම පදයේ කතා පුවතක් ඇසුරින් වටහා ගැනීම ධර්මඥානය වැඩිවීමට තවත් රුකුලක් වනු ඇත.

බුදුරඳුන් ජීවමාන කල සුමන කියා මල් වෙළෙඳාම් කොට ජීවත් වූ අසරණ මිනිසෙක් සිටියා. ඔහුගේ රැකියාව වූයේ මල් වෙළඳාමයි. ඔහු බිම්බිසාර රජුගේ මාලිගාවට රාජාඥාව මත දෑසමන් මල් මාලා අටක් දීම දෛනිකව සිදු කළා. ඒ සඳහා ඔහුට අටකලඳක් පමණ වැටුපක් ද ලැබුණි. දිනක් මල් රැගෙන යන අතරේදී මහ පාරේ දි බුදුරඳුන් ප්‍රමුඛ මහා සංඝයා ඉදිරියට වඩිනවා හමු වුණා. බුදුරඳුන් වඩින නමුදු බුදුන්ට පූජා කිරීමට කිසිවක් නොමැති හෙයින් ඒ ගැන සිතමින් සිටියදී මල් පූජා කිරීමට සිත ශක්තිමත් කොට ගත්තා. රජුගෙන් නොයෙක් දඩුවම් හෝ මරණ දණ්ඩනය හෝ රටින් නෙරපීම හෝ ලැබෙන්නට පුළුවන්. නමුදු ජීවිතය ගියත් මේ මල් බුදුන්ට පූජා කරනවා කියා සිතේ අධිෂ්ඨානය ඇතිකොට ගෙන අපමණ ශ්‍රද්ධාවෙන් බුදුන් දෙසට මල් විසි කළා. පසුව ඒවා මල් යහනාවක් බවට පත් වී බුදුරඳුන් එම මල් යහනාව තුළ වඩින අයුරු සැකසුණා. මෙම අසිරිය නගරයේ සිසාරා රැව්දෙන්නට වුණා. බොහෝ දෙනෙක් එම ආශ්චර්ය දැක සෝමනස්ස සහගත සිතින් පින්සිදු කරගත්තා. පසුව බිම්බිසාර රජුට ද මෙම ආරංචිය ලැබී සුමන මල්කරු ගෙන්වා ඔහු කළ උතුම් ක්‍රියාව අගය කොට ඇතුන් හා ගොව්වන් අටක් ද, අසුන් අටක් ද, ස්වර්ණාභරණයෙන් සැරසුණු ස්ත්‍රීන් අටක් ද, අට දහසක් පමණ රන් ද, ගම්වර අටක් ද, ප්‍රදානය කොට සතුටින් කල් යවන ලෙස දැනුම් දුන්නා.

මෙම කතා පුවත පුංචි කතාවක් සේ දැනුන ද මේ තුළ ගත හැකි අර්ථය සේ ම, ආදර්ශය ඉතා විශාල ය. ගැඹුරු ය. සුමන මල්කරු පූජා කළේ මල් පමණක් නො වේ. ඔහුගේ ජීවිතය ද පූජා කළේ ය. රාජ ආඥාවක් කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. නමුදු සුමන මල්කරු තුනුරුවන් උදෙසා තම ජීවිතය ද පූජා කරමින් මල් පීදීය.බිම්බිසාර රජු සෝවාන් වූ සැදැහැති රජකෙනෙක් වූ නිසාදෝ සුමන මල්කරුගේ ක්‍රියාව අගය කොට විශාල ධන සම්පතක් ද ලබා දුන්හ. සුමන මල්කරු සැදැහැ සිතින් කළ ක්‍රියාවේ ප්‍රතිඵලය සාංදෘෂ්ඨික (මෙලොවදීම) වශයෙන් විපාක ලැබුණි. එබැවින් හොඳ දේ කිරීමට පසුබට නොවිය යුතු ය.

තමන් ට ලැබෙන දුර්ලභ අවස්ථා බොහෝ දෙනෙක් මඟහරවා ගනිති. හොඳ දෙයක් කිරීමට අවස්ථාව ලැබීමේ දී බොහෝ දේ ගැන සිතීමට ගියහොත් තමන්ට පින්කර ගැනීමට ලැබුණ එම අවස්ථාව මඟ හැරී යාමට පුළුවන. එබැවින් ‘අද අද එයි මරු පින් කර ගන්නේ” කී ආකාරයට අද අදම පින් කිරීමට යුහුසුළු විය යුතු ය.

තංච කම්මං කතං සාධූ - යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො - විපාකං පටිසේවති

සිහිවන හැමවිටම පසුතැවිලි ඇති නොවන, පී‍්‍රතියෙන් පිනාගිය සිත් ඇති වන, පී‍්‍රතියෙන් හා සොම්නසින් යුක්තව සැප විපාක විඳීමට හේතුවන පින්කම් කිරීම යහපත් ය.

පින් කිරීමේ දී කිසිම අවස්ථාවක ඒ සඳහා පසුබට නොවිය යුතු ය. දාන, ශීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච,අපචායන ,ධම්මසවන, දිට්ටිජුකම්ම නම් වූ දස පුණ්‍යක්‍රියා අඩු වැඩි වශයෙන් බොහෝ දෙනෙක් සිදු කරති. ඒවා බොහෝ නිවෙස් තුළ නිරන්තරයෙන් කර ගත හැකි පින්කම් ය. දස පුණ්‍ය ක්‍රියා නමින් බුදු සසුන තුළ සුලභව සිදුවන පින්කම් මාලාවක් ලෙස ඒවා ඉතා ප්‍රකට ය. වරක් දෙකක් සිදුකොට, පින්කම් ඇති කියා කවදාවත් නොසිතිය යුතු ය. පින සත්වයාට නිරන්තරයෙන් අවශ්‍ය බැවින් මෙලොවටත්, පරලොවටත්, එය දියකින් එගොඩ වීමට ඇති පාරුවක් සේ අවශ්‍ය වනු ඇත. එය දැන හඳුනාගත් ඇත්තෝ නැවත නැවත පින් දහම් සිදු කර ගන්නාහ

ධම්මානුපස්සනාව - බොජ්ඣංග

 


ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි වීර්යය බොජ්ඣංගය

අලසකම දුරලන වීර්යය
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

නිවන් සම්පත් බලාපොරොත්තු වන්නන්ට උට්ඨාන වීර්යය නැතිව නිවන් සම්පත් ලබන්නට බැහැ. උත්සාහය නැති කිසිකෙනෙකුට ධ්‍යාන, සමාපත්ති, මාර්ග ඵල , නිවන ලබන්නට පුළුවන්කමක් නැහැ. බලවත් උත්සාහවන්තයා තමයි, දියුණුවට පත්වන්නේ.

බුද්ධ කාලයේ වැඩ සිටි මහා සීව ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කළා. අවසානයේ යටිපතුල් පැලී සක්මන් කරන්නට නොහැකි වුණා. ඉන්පසුව දණහිසේ රෙදි පටි ගැට ගසා ගනිමින් දණහිසින් සක්මන් කළා. බලන්න, කෙතරම් උත්සාහවත් ද කියා? අවසානයේ දී දණහිසෙන් යන්නට නො හැකිව පසෙකට වී අඬ , අඬා සිටියා. දිව්‍ය පුත්‍රයකුත් ගසක අඬනවා. උන්වහන්සේ විමසුවා, කවුද මේ ගසේ අඬන්නේ යනුවෙන්. මා වෘක්ෂ දේවතාවෙක්. මාර්ග ඵලයක් ලැබේවා යනුවෙන් මා අඬනවා යැ’යි පැවසුවා. මේ මොහොතේ මහා සීව ස්වාමීන් වහන්සේ තමාටම අවවාද කර ගත්තා. පේනවා නේද? දෙවියොත් ඔබගේ රහත් වීම බලාපොරොත්තුවෙන් ඉන්නේ. එසේනම්, මහා සීව ඔබ රහත් වීම සඳහා නොපසුබට වීර්යයෙන් කටයුතු කරන්න. අලස වුණොත් මෙය කරන්නට බැහැ. ඒ නිසා වීර්යය තවත් දියුණු කර ගනිමින් වීර්යය සම්බොජ්ඣංගය දියුණු කර ගෙන ඍද්ධියෙන් වැඩම කර බුද්ධ වන්දනාව සිදු කළා.

එසේනම්, ශාසනික වශයෙන් සියලු පින්දහම් වලින් ඉදිරියට යන්න , දියුණු කරගන්න අත්‍යවශ්‍ය කාරණය උත්සාහය යි. එනම් විරිය සම්බොජ්ඣංගය යි. වීර්යය පදනම් කරගෙන සිහි නුවණ රඳා පවතිනවා. කම්මැළි, මන්දෝත්සාහී අයට සිහි නුවණ දෙකම නැති වී යයි. සිහිය මදිනම් කුමන දෙයක්වත් කරගන්නට බැහැ. සිහිය, නුවණ, උත්සාහය, සන්තෝෂය, සිතේ දරදඬු ගතිය නොමැති බව, සමාධිය ඇති බව, මධ්‍යස්ථබව ආදී කරුණු හත තිබුණොත් ඕනෑම කෙනෙකුට උත්සාහයෙන් වැඩ කරන්න පුළුවන්.

උත්සාහය දියුණු වන තරමටම සැනසුම, දියුණුව, යහපත, සලසා ගන්න පුළුවන්. දියුණුවක් නැතිනම්, උත්සාහය මද වෙයි. නුවණක් නැතිනම් උත්සාහය මද වෙයි. ඒ නිසා කවුරුත් සිහි නුවණ දෙක හොඳට දියුණු කරගන්න වගේ ම බලවත් උත්සාහයෙන් කටයුතු කළ යුතු යි. එය වීර්යය පාරමිතාවක් ලෙස සඳහන් වෙයි.

සතර සම්මග්පධන් වීර්යය, වීර්යය ඉන්ද්‍රිය, වීර්යය බලය, විරිය සම්බොජ්ඣංගය, විරිය ඍද්ධිපාද, සම්මා වායාම, බෝධිපාක්ෂික ධර්ම ස්ථාන රාශියකම සඳහන් වී තිබෙනවා වීර්යය සම්බන්ධයෙන්. එයින් පෙනෙනවා, වීර්යය නැතිව කිසිම දෙයක් කරකියා ගන්නට බැරි බව. ඒ නිසා කවුරුත් වීර්යය ඉස්මතු කරගෙන එහි දියුණුව, සලසා ගත්තොත්, තම සියලු ශාසනික පැතුම් ඉෂ්ඨ කරගන්න පුළුවන්කම තිබෙනවා. වීර්යය සම්බොජ්ඣංගය දියුණු කරගැනීම සඳහා පළමුව අපායේ ඇති භයානකත්වය නිතර , නිතර මෙනෙහි කර ගන්නට අවශ්‍යය යි. තිරිසන්, නරක, ප්‍රේත, අසුර වශයෙන් අපාය සතරක් තිබෙයි. අපායගාමී වන්නේ පව් කළ අයයි. දෙවැන්න වීර්යයේ අනුසස් සැලකිය යුතු යි. දෙව්ලොවට යනවා, නිවනට යනවා යනුවෙන් වීර්යයේ අනුසස් කල්පනා කළ යුතු යි. තෙවැන්න වීර්යයේ අනුසස් සැලකිය යුතු යි. භික්ෂූන් වහන්සේට පූජා කරන දානය ගෞරවයෙන් පිළිගෙන සුවපත් වේවා යනුවෙන් මෛත්‍රියෙන් ප්‍රත්‍යවේක්ෂාවෙන් වැළඳිය යුතු යි. සැදැහැවතුන්ලා ද දෙන දානය ගෞරවයෙන් පිළිගැන්විය යුතු යි. එවිටත් උත්සාහය හොඳින් වැඩී කිසිවිටකත් පිරිහීමට පත් වන්නේ නැහැ. සිව් වැන්න නිවන් මඟ නුවණින් මෙනෙහි කළ යුතු යි. තව ද ශාස්තෘන් වහන්සේ මෙනෙහි කළ යුතු යි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම වූ, අනන්ත බුදු ගුණ, අනන්ත ඥානයන්ගෙන් බැබළෙන ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බව සිතන විටත්, දෙතිසක් මහා පුුරුෂ ලක්ෂණ, අසූවක් අනු ව්‍යංජන ලක්ෂණ , කේතුමාලාවන්, සවණක් ගණ බුදු රැස් මාලාවන් ආදියෙන් තමන්ගේ ශාස්තෘන් වහන්සේ ගැන සිතන විටත්, වීර්යය වැඩෙනවා. තම ජාතිය ගැන සිහිපත් කළ යුතු යි. එනම් අප බුද්ධ ශ්‍රාවකයෝ , බුද්ධ වංශිකයෝ යැයි සිතන විටත් වීර්යය වැඩෙනවා.

සැරියුත් , මුගලන් වැනි සබ්‍රමචාරීන් වහන්සේලා ගැන සිහිපත් කළ යුතු යි. තමන්ට ලැබුණු දායාදය ගැන (බුදු සසුනෙන්) සිහිපත් කළ යුතු යි. කම්මැළි පුද්ගලයෝ ප්‍රහාණය කළ යුතු යි, කම්මැළි , අවාසනාවන්ත පුද්ගලයෝ ආශ්‍රය කළොත් තමන්ද ඒ අනුව ගමන් කරයි. තවද උත්සාහවන්තයෝ ආශ්‍රය කළ යුතු යි. උදේ , දවල් , සවස යනුවෙන් කාලය වෙන් කරවා ගන්නේ නැතිව අවශ්‍ය කටයුතු ඒ මොහොතේ සිද්ධ කරන බලවත් උත්සාහය ඇත්තන් ආශ්‍රය කළ යුතු යි. වීර්යය සඳහා නැඹුරු වූ සිතින් කටයුතු කළ යුතු යි. කම්මැළිකම දුරු කර, දවසම උත්සාහයෙන් කටයුතු කරන්න පුළුවන්නම් බොහොම හොඳ යි. මෙම කරුණු එකොළහ තම සන්තානයේ දියුණු කර ගැනීමෙන් වීර්යය සම්බොජ්ඣංගය වැඩෙන්නේ ය. කුසීතකම අලසකම දුරු වන්නේ ය. මේ ගැන සිතා කල්පනා කළොත් අපට, මේ ගමන ඉදිරියට යන්න පුළුවන්.

ආරම්භ ධාතු වීර්යය, නෙක්ඛම්ම ධාතු වීර්යය, පරාක්‍රම ධාතු වීර්යය, යනුවෙන් වීර්යයේ කොටස් තුනක් වෙයි. යමක් පටන් ගැනීමේ දී ලබා ගන්නා වීර්යය ආරම්භ ධාතු වීර්ය යි. දිගට ගෙන යාමේ වීර්යය නෙක්ඛම්ම ධාතු වීර්ය යි. අවසානය දක්වා ගෙනයාම පරාක්‍රම ධාතු වීර්ය යි.

බුදුරජාණන් වහන්සේ අසංඛ්‍යෙය කල්ප ලක්ෂයකට ඉහත දී පාරමී ගමන ආරම්භ කළා, ආරම්භ ධාතුවේ දී එසේ ම දිගට ගෙනාවා, නෙක්ඛම්ම ධාතුවේ දී ලොවුතුරා බුද්ධත්වය අවබෝධ කළා, පරාක්‍රම ධාතුවේ දී මෙලෙස උත්සාහය පදනම් කරගෙන දියුණු කරගෙන ආවොත්, වීර්යය සම්බොජ්ඣංගය හොඳින් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. එලෙසම ගෞතම මහ බෝසතාණෝ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළේ බලවත් උත්සාහය නිසයි. බුද්ධගයාවට වැඩම කරලා, තද අධිෂ්ඨානයක් කළා, ඇඟේ ලේ , මස්, නහර, ඇට, ඇට මිඳුළු, වියළී ගිය ද, පුරුෂ පරාක්‍රමය, පුරුෂ වීර්යයෙන් ලොවුතුරා බුද්ධත්වය ලබා මිස මේ ආසනයෙන් නැඟිටින්නේ ම නැහැ’යි අධිෂ්ඨාන කළා. මේ බලවත් උත්සාහය පරාක්‍රම වීර්යය යනුවෙන් හඳුන්වනවා. එය අකම්පිත වීර්යයක්. කුමන දෙයකටවත් කම්පා වන්නේ නැහැ.

එසේනම්, මේ ගැන සිතා කල්පනා කර, උත්සාහය දියුණු කර ගැනීම සඳහාම කටයුතු කළොත් වටිනවා. මේවා අනුන්ට නෙවෙයි, තමන්ට යි. තමන්ගේ ම ගුණ දියුණුව, තමන්ගේ ම ගුණ සම්පත්වල ආරක්ෂාව, පතා නොනැවතී ඉදිරියට යා යුතු යි යන අධිෂ්ඨානය වැදගත්. ශීලා දී ප්‍රතිපත්ති කිසිදු අඩුපාඩුවක් නැතිව ඉදිරියට ගෙන යන්න විරිය සම්බොජ්ඣංගය අත්‍යවශ්‍ය කරනවා. වීර්යය තම සිතෙහි පහළ වන ආකාරයත් හොඳින් බලා, එයත් ඇති වී නැති වී යන බව දැන විරිය සම්බොජ්ඣංගයත් අනිත්‍ය, දුක්ඛ ,අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නට අවශ්‍යය යි.

එසේනම්, සමථ , විදසුන් නුවණ දියුණු කර ගත්තොත්, මේ ගමන අවසානය දක්වා අපට යන්නට පුළුවන්. එසේම ඉන්ද්‍රිය බල බොජ්ඣංග හොඳින් දියුණු කළ යුතු යි. පාරමිතා දහය වීර්යය නිසා හොඳින් දියුණු කළ හැකි යි. මේ පිළිබඳ හසළ දැනුමෙන් තමන් යන ගමන් මඟ ඉදිරියට පිරිසුදුවට යාමෙන් අවංක භක්ත්‍යාදරයෙන් කටයුතු කර, මේ ගමන නිවන දක්වාම යාමට පුළුවන්. මාර්ග ඵල අවස්ථාව දක්වාම අපායෙන් නිදහස්ව සුගතියකදී ම වරප්‍රසාද හමු වීම වීර්යයේ ප්‍රධාන ආනිසංසයක්. එසේනම්, අප සම්බුද්ධ ශාසනයක ලැබෙන ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණුවෙන්, ගුණ ධර්ම හොඳින් ආරක්ෂා කර, බුදු සසුන රැකගෙන, පාරමී ගුණ සම්පත් හොඳින් දියුණුවෙන්, ඉක්මන් භවයකදී ම නිවන් පසක් කරගන්නට ලැබේවා!

ජම්මික ප්‍රබෝධනී වැලිකල




නඛ සිඛ සූත්‍රය

 



නඛ සිඛ සූත්‍රය  

224

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ නියපිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, ඒ කුමැයි සිතන්නහුද? මා විසින් යම් මේ නියපිට තබනලද පස් ස්වල්පයද, මේ මහපොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද?” “ස්වාමීනි, යම් මේ මහපොළොවක්වේද, එයම වඩා ලොකුවෙයි. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්‍යවතුන්වහන්සේ විසින් නියපිටට ගන්නාලද පස් ස්වල්පය මහපොළොව හා සසඳා බලන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි.”

“මහණෙනි, එසේම වනාහි (මිනිසත් බැවින් චුතව) මිනිසුන් කෙරෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහු ස්වල්ප වෙත්. එහෙත් මිනිස් ලොවින් අන්‍යවූ සතර අපායයෙහි නැවත උපදින යම් සත්වයෝ වෙත්ද, ඔවුහුම ඉතා අධික වෙති. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනිත තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(දෙවෙනි නඛ සිඛ සූත්‍රය නිමි.)