Tuesday, August 10, 2021

ලැබෙන අවමන් ඉවසමු මෙත් සිතින්

 


ලැබෙන අවමන් ඉවසමු මෙත් සිතින්

බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විහාරාධිපති

කරගොඩ උයන්ගොඩ

මෛත්‍රී මූර්ති මහ නා හිමි


කිසියම් කෙනෙකුට කිපෙන්නට, ක්‍රෝධ කරන්නට හේතුවන කරුණක් තිබුණ ද එය ක්‍රියාත්මක කරන්නට නොදී ඉවසීමෙන් එය සංසිඳවා ගන්නේ නම්, ඔහු උතුම් පුද්ගලයෙකි.


“යො වෙ උප්පතිතං කොධං

රථං භන්තංව ධාරයේ

තමහංසාරථිං බ්‍රෑමි

රස්මිග්ගාහො ඉතරෝ ජනො”


මෙම ගාථාව ධම්මපදයේ ක්‍රෝධ වර්ගයෙහි සඳහන් වන්නකි. මෙම ගාථාවෙන් පෙන්නුම් කරන්නේ ක්‍රෝධ නොකිරීමේ ඇති වැදගත්කමයි. එනම් තමා තුළ ඇති වූ ක්‍රෝධ සිතිවිල්ල අවබෝධයෙන් තේරුම්ගෙන, හිත සන්සුන් කරගැනීමේ ඇති වටිනාකම පෙන්වා දීමයි.


මෙම ගාථාව දේශනා කළේ එක්තරා දේවතාවියක් මුල්කරගෙනයි. ජේතවනාරාමයට ආසන්නයෙහි එක්තරා දෙවඟනක් එක් වෘක්ෂයක් තම නිවස කරගෙන, වාසස්ථානය කරගෙන සිටියා ය. භික්ෂුවක් තමාට අවශ්‍ය කුටියක් සෑදීම සඳහා ලී හා අතු සොයා යමින් මෙම ගස දෙස බලා ගහ කපන්නට සූදානම් විය. මෙය දුටු ගහට අධිපති, ගස වාසස්ථානය කරගත් දෙවඟන තම දරුවා ද පෙන්වා මේ ගස නොකපන ලෙස ඒ භික්ෂුවගෙන් ඉල්ලා සිටියා ය. මේ ගස මගේ වාසස්ථානය යි. මෙය කපා විනාශ කළොත් මට යන්න තැනක් නැහැ. ඒ නිසා, ස්වාමීන් වහන්ස, වෙන ගසක් සොයා ගන්න, මගේ නිවස වූ මේ ගස කපන්න එපා යැයි” ඉල්ලා සිටියා ය.


නමුත් මේ ඉල්ලීමට කන් නොදුන් භික්ෂුව ගස කපන්නට පොරෝ පහරක් ගැසුවේ ය. ගසේ අත්තට ගැසූ පොරෝ පහර දරුවාගේ අතකට ද වැදිණි. තමාගේ අහිංසක ඉල්ලීම ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා කෝපයට පත් දෙවඟන කෝපයෙන් පුපුරමින් හාමුදුරුවන්ට ගැසීමට අත්දෙක එස වුව ද, එස වූ අත් දෙක පහළට හෙළන්නට පෙර ඇය මෙසේ සිතුවා ය. වැරදිලාවත් මා පහර දුන්නොත් ඒ පහරින් මේ භික්ෂුව මරණයට පත්වනු ඇත. මේ භික්ෂුව සිල්වත් ය. ඒ පාපකර්මයෙන් අනිවාර්යයෙන්ම මා අපාගතවනු ඇත. අනන්ත අප්‍රමාණ කාලයක් සසර අපාදුක් විඳින්නට සිදුවේ. මේ ගැන සිතා තමා තුළ ඇති වූ අධික කෝපය ඉවසීමෙන් සංසිඳුවාගෙන අත් දෙක පහළට හෙළුවා ය. අනිත් අතට මා කළාක් මෙන් අනික් දෙවිවරු ද තම නිවාස වූ වෘක්ෂයන් කපා ගැනීමට එන භික්ෂූන්ට ද පහර දෙනු ඇත. එසේ වුවහොත් බරපතල පාපකර්මයක් වනු ඇත. මේ ගැන සිතා හඬමින් තම දුක් ගැනවිල්ල කීමට ජේතවනාරාමයෙහි වැඩ සිටින බුදුරදුන් හමුවට පැමිණියා ය. බුදුරදුන් හමුවට පැමිණි දෙවඟන තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා ය.


බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් මාගේ නිවස වූ වෘක්ෂය මා එපා කියද්දීම කපා විනාශ කළ බවත්, මා තුළ ඇති වූ කෝපය නිසා උන්වහන්සේට පහර දීමට අත් දෙක එස වුවත් ඒ පහර දීමෙන් ඇතිවිය හැකි බරපතල විපාකය සලකා තරහ සංසිඳුවා ගනිමින් අත්දෙක පහළට හෙළූ බවත් ප්‍රකාශ කළා ය. දේවතාවියගේ ඉවසීම විශිෂ්ට බව ප්‍රකාශ කළ බුදුරදුහු ඇයගේ ක්‍රියාවට ප්‍රශංසා කළහ.


එහිදී බුදුරදුහු ඉහත කී ගාථාව වදාරමින් වේගයෙන් යන රථයක් අතුරු අන්තරාවක් නොවී, කරදරයක් නො වී පදවන්නාක් මෙන් යම්කිසිවෙකු තුළ ඇතිවන කෝපය සංසිඳුවා ගැනීමේ ඇති වැදගත්ම අගය කළහ. දෙවඟනගේ වාසස්ථානය වෙනුවෙන් අලුත් වෘක්ෂයක් ද බුදුරදහු ලබා දුන්හ. බුදුරදුන් දිවැසින් බලනවිට ඒ අසල වෘක්ෂයක් වාසස්ථානය කරගෙන සිටි දෙවියෙකු එයින් චුත වී යනු දැක ඒ වෘක්ෂය වාසස්ථානය කරගන්නා ලෙසත් දෙවඟනට දැන්වූහ. ඒ අනුව බුදුරදුන් පෙන්වා දුන් නව වෘක්ෂය තම වාසස්ථානය කරගත් අතර අනිත් දෙවිවරු ද එම දෙවඟනට විශේෂත්වයක් දක්වන්නට වග බලා ගත්හ.


මෙම සිද්ධිය අප වෙත මහඟු පාඩමක් උගන්වා ඇත. එනම් ක්‍රෝධය, තරහ, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සිත් නරක් කරන සිතිවිලිවල ඇති භයානකකමත්, එම සිතිවිලි ක්‍රියාත්මක වන්නට නොදී සිත පවිත්‍රව තබාගන්නට හැකියාවක් ඇත්නම් එයින් ලබන මහඟු සුවය ඔබට අත්විඳින්නට පුළුවන් වන බවත් ය.


උදේ පටන් රෑ නින්දට යනතුරු ඔබගේ එදිනෙදා ක්‍රියාදාමය දෙස බලන්න. ඔබගේ සිත අවුල්වන, වික්ෂිප්ත වන, නොසන්සුන්වන, පසුතැවිලි වන අවස්ථා දෙස බලන්න. සිත් තුළ කෝපය, ක්‍රෝධය, තරහ, වෛරය, ඊර්ෂ්‍යාව ඇතිවන අවස්ථා දෙස බලන්න. එබඳු අවස්ථාවලදී ඔබ මානසිකව කොතරම් පීඩාවට වේදනාවට පත්වූවා දැයි බලන්න.


ගෙදර දී ඔබගේ දරුවන් සමඟ තරහින්, කේන්තියෙන් කටයුතු කළ අවස්ථා දෙස බලන්න. දරුවන්ගේ සමහර ක්‍රියාකාරකම් ඔබ කෝප ගන්වා ඇත. භාර්යාවගේ ක්‍රියාකාරකම් දෙස බලා ඔබ කෝප වූ අවස්ථා තිබෙන්නට පුළුවන. ස්වාමිපුරුෂයාගේ නුරුස්සන ක්‍රියාකාරකම්වලින් ඔබ වේදනාවට පත් වූ අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවන. තම පරිසරය, වටාපිටාව හා සමාජය සමඟ කේන්තියෙන් නො ඉවසීමෙන් ප්‍රශ්න උග්‍ර වූ අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවන. තම කාර්යාලයේ දී, වැඩපළේ දී ආයතනයේ දී තරහින් වචන හුවමාරු කරගත් අවස්ථා මෙන් ම වෛරයෙන් පිපිරී ක්‍රියා කළ අවස්ථා ද මතකයට නංවන්නට පුළුවන. සමහර අවස්ථාවල සිතේ ඇති වූ ක්‍රෝධය වචනයෙන් හා ක්‍රියාකාරකම්වලින් පෙන්නුම් කිරීමට ගොස් විවිධ මාදිලියේ ප්‍රශ්න ඇති වූ අවස්ථා ද සුලබ විය හැකි ය. තරහෙන්, කේන්තියෙන් ක්‍රියා කළ සෑම අවස්ථාවකම ඔබ මානසිකව මෙන් ම ශාරීරිකව ද අසහනයට, වේදනාවට පීඩනයට පත් වූ බව ඔබ මේ වන විට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන සිටිනු ඇත. ක්‍රෝධය ඇතිවීමට බලපාන දසවිධ ආඝාත වස්තූන් පිළිබඳව බුදුදහමෙහි සඳහන් ය. ක්‍රෝධය, තරහ, වෛරය, ඇතිවීමට හේතු වන කරුණු දහයක් මෙහිදී පෙන්නුම් කර ඇත.


අසවල් තැනැත්තා මගේ දියුණුවට අකැමැති වී ඇත. මගේ දියුණුවට බාධා කර ඇත. මගේ දියුණුව වළක්වා ඇත.


දැනුත් ඒ අය මගේ දියුණුවට බාධා කරති. මගේ දියුණුව වළක්වති.


අනාගතයේ දී ද ඒ අය මගේ දියුණුවට බාධා කරනු ඇත.


ඒ තරහකරුවෝ මගේ මිතුරාගේ, දියුණුවට බාධා පමුණුවනු ඇත.


දැනුදු ඒ අය මගේ මිත්‍රයාගේ, හිතවතාගේ දියුණුවට බාධා කරති.


අනාගතයේ දී ද ඔවුහු මගේ මිතුරාගේ හිතවතාගේ දියුණුවට බාධා පමුණුවනු ඇත.


අසවල් අය මගේ සතුරාට විරුද්ධකාරයාට උදව් උපකාර කර ඇත.


අසවල් අය අනාගතයේ දී මගේ සතුරාට, විරුද්ධකාරයාට උදව් උපකාර කරනු ඇත.


යනුවෙන් නව විධ ආකාරයකින් සිතා විරුද්ධකාරයා කෙරෙහි වෛර කිරීම, ක්‍රෝධ කිරීම නවවිධ ආඝාත වස්තු ලෙස ධර්මයේ සඳහන් කර ඇත.


සමහර විට වැස්ස වසින විටද, වැස්ස නොවසින විටද, අව් රශ්මිය ඇතිවිටද, අව් රශ්මිය නැති විටද, සුළඟ ඇතිවිටද, සුළඟ නැති විටද, ඇවිදීමේ දී පා ගල්මුල්වල හැපුණු විටද, කෝප ගන්නා අවස්ථා කොතෙකුත් දැක ගන්නට පුළුවන. මෙයට අස්ථාන ක්‍රෝධය යැයි කියති. අස්ථාන ක්‍රෝධයත් සමඟ ආඝාත වස්තු දහසක් ධර්මයෙහි සඳහන් ය. ක්‍රෝධ සූත්‍රයට අනුව ද මිනිසා ක්‍රෝධයෙන් බලන, ක්‍රෝධයෙන් සිතන, ක්‍රෝධයෙන් බලා ඊර්ෂ්‍යාවෙන් පුපුරන අවස්ථා හතක් පෙන්වා දී ඇත. බුද්ධ චරිතය යනු අපගේ ජීවිත නිවැරැදිව හැඩගස්වා ගැනීමට මඟ කියාදෙන වටිනා පාඩම් පොතකි. බුද්ධ චරිතය තුළ ක්‍රෝධයෙන්, තරහෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් සිටි කිසිම අවස්ථාවක් දැක ගන්නට නැත. තමන් විනාශ කරන්නට ආ දේවදත්ත කෙරෙහිත් තම පුතු වූ රාහුල කෙරෙහිත් දැක්වූයේ එකම බැල්මකි. මාගන්ධියා බැමිණිය, චිංචිමානවිකාව වැනි කාන්තාවන් නොයෙකුත් නින්දා අපහාස, ඇණුම් බැණුම් සිදු කළ ද බුදුරදුහු ඒ කිසි දෙයකින් කම්පා නොවූහ. අස්ථානයෙහි කරන චෝදනා ගැරහුම් පවත්වන්නේ දින හතක් වැනි කාලයක් පමණක් බව බුදුරදුහු පෙන්වා දුන්හ. නින්දා අපහාසවලට පිළිතුරු දීමට බුදුරදුහු සූදානම් නො වූහ. මෙත් සිතින් ඉවසා වදාළහ. නිරපරාදේ සිදු කරනු ලබන දෝෂාරෝපණ ඒ අය වෙතට පෙරළා යනු ඇත.


සුරාවෙන් මත් වූ කල

 



සුරාවෙන් මත් වූ කල ...

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ

බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

පාතේගම ඤාණිස්සර හිමි


සුරාව සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති අය සමඟ කළ අධ්‍යයනවලදී පෙනී ගියේ බහුල වශයෙන් ම තම මිත්‍රයන්ගේ ඇසුරින් මතට හුරුපුරුදු වීම හා එයට ඇබ්බැහි වී ඇති බව ය.


එකවර ඇබ්බැහියක් ඇතිවන්නේ නැත. සිතිවිල්ල, ආසාව, අවශ්‍යතාව, ආස්වාදය, ඇබ්බැහිය යනුවෙන් එය අනුපිළිවෙළ ක්‍රමයකට ඇතිවන්නක් මිස එකවර ඇබ්බැහියක් ඇතිවන්නේ නැත. පළමුව ඇතිවන්නේ යමක් පිළිබඳ සිතිවිල්ලයි. එය මනසේ දී ම ප්‍රතික්ෂේප වීම හෝ කැමැතිවීම හෝ ඇතිවෙයි.


යම් දෙයක් පිළිබඳව කැමැත්ත අඛණ්ඩව මනසේ තිබීමෙන් එය ආසාව බවට පත්වෙයි. ආසාව නිසා යමක් කරන විට ඉන් ආස්වාදයක් ලැබෙයි. ඇතැම් ආස්වාද ලැබීමෙන් එය නතර කර හෝ අවසන් කර දමයි. ඉන් එහා ආශ්වාදයේ ලොල්වීම ඇබ්බැහියයි. ඇබ්බැහිය , සිතිවිල්ල කැමැත්ත.අවශ්‍යතාව, ආස්වාදය යනාදියට එහා ගිය එකකි. ඇබ්බැහිය එක්තරා ආකාරයක රෝග ලක්ෂණයක් වීමටද පුළුවන. මත්වතුර හා ද්‍රව්‍ය ගන්නන් සියල්ලෝ ම එයට ඇබ්බැහි වූවෝ නොවෙති. ඇබ්බැහිය දක්වා පැමිණියෝ කිසියම් දුර්වල මානසික තත්වයෙන් පෙළෙන්නෝ ය. ඇබ්බැහිය ද කිසියම් මානසික දුර්වලතාවයකි. යමෙක් යමකට ඇබ්බැහි වූ පසු, ඔහුට තමා ඇබ්බැහියක සිටින බව බොහෝ විට වැටහෙන්නේ නැත. වර්තමාන ශ්‍රී ලාංකික පරිසරයේ පවත්නා වූ ප්‍රශ්න අතර මිනිසුන් මතට ඇබ්බැහිවීම ප්‍රබල ප්‍රශ්නයකි.


සිංහල සමාජය තුළ ප්‍රමාණාත්මක වශයෙන් මත්වතුර සහ මත්ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙයි. ඇතැම්හු මත් වුවද ඒ බව පිටට නොපෙන්වති. ඇතැම්හු තමා පානය කළ සුරා ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්වෙයි.


රා බී සත පහක

වෙරි වී පනම් හතරක

ගුටි කා රුපියලක

අහෝ දුක්වෙති සිලිං හතරක


යනුවෙන් වන කවිය ඉතා පැරැණි එකකි. එය කෙතරම් පැරැණි ද යත් එහි සඳහන් වන මුදලේ වටිනාකම්වලින් වැටහෙයි. ඇබ්බැහි වුවත්, ඇබ්බැහි නොවූවත් මත්වීම පුද්ගල බලය හා ශක්තිය හීන කරයි. පෞරුෂය දුර්වල කරයි. මත්වීමේ ආදීනව වඩාත් හොඳින් පෙනෙන්නේ ද දැනෙන්නේ ද මත්වූයේ නැති පුද්ගලයාට ය.


සුරාපාන ජාතකය හෙළි කරනු ලබන්නේ අධ්‍යාත්මික ශක්තිය සහිත පුද්ගලයකු වුව ද, සුරාපානය නිසා සමාජයේ අවතක්සේරු වන බවයි. පෞරුෂත්වය දුර්වල කරන බවයි. සුරාපාන ජාතක කතාවේ වර්තමාන කතාව මෙසේ දක්වමු.


අප ලොව්තුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේටත් උපස්ථාන කළ සාගත නම් වූ තෙරනමක් වැඩ සිටියහ. උන්වහන්සේ පෘතග්ජන ඍද්ධි බලයෙන් යුක්ත වන සේක. උන්වහන්සේ තම ඍද්ධිය නිසා සාමාන්‍ය මිනිසාට නොකළ හැකි විවිධ ඍද්ධිබල පාන්නාහ. එනිසාම සාගත තෙරණුවෝ සමාජයේ මිනිසුන් අතර තරමක් ප්‍රසිද්ධ වූහ. බොහෝ මිනිස්සු පි‍්‍රය කළහ. උන්වහන්සේගේ විශේෂ හැකියාව නිසා උන්වහන්සේ වටා මිනිස්සු පෙළ ගැසුණහ.


එකල අම්බතීර්ථ නම් ගමේ බරපතළ නාගයෙක් වෙසෙයි. නාගයා ගමට ඒම නිසා ගැම්වැසියෝ ඉමහත් බියට පත්වෙති. නාගයා පළවා දැමීමට විවිධ උපක්‍රම කළ ද, ඉන් යහපතක් වූයේ නැත. අම්බතීර්ථ නාග බිය සමාජය වෙළා ගත්තේය. ඍද්ධි බලයෙන් යුක්ත සාගත තෙරණුවෝ අම්බතීර්ථයට වැඩම කළහ. මිනිසුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දීම සඳහා උන්වහන්සේ කිසිම මිනිසෙක් අහලකටවත් නොයන නාගයා වසන තැන තණ ඇතිරිල්ලක් එළාගෙන වැඩ උන්හ. තෙරණුවෝ දැක නාගයා දැඩි සේ කිපී උන්වහන්සේ දෙසට සිය නාග ඇසින් දුම් පිට කළේය. තෙරණුවෝ ද එසේම තමන් වහන්සේගේ ඇසෙහි දුම් පිටකළහ. නාගයා ගිනි පිට කළේ ය. තෙරණුවෝ ද එසේම කළහ. නාගයාගේ තේජස තෙරණුවන්ට නොපෙනෙයි. තෙරණුවන්ගේ තේජස නාගයා පෙළයි. නාග බියෙන් සලිතව සිටි නියම්ගම් වැසියෝ ද තෙරණුවන් නාගයා දමනය කරන අපූරුව බලන්නට රොඳ බැඳුණාහ. සාගත තෙරණුවෝ මෙසේ විවිධ දේ කර ක්ෂණයකින් සහන දී සර්වඥයන් වහන්සේ වෙත වැඩියහ.


සාගත තෙරණුවන්ගේ මේ වීර ක්‍රියාව හා උන්වහන්සේගේ කීර්ති රාවය මොහොතින් සියලු ජනපදයෙහි තුඩ තුඩ පැතිර ගියේ ය. කොසඹෑනුවර ජනයා සර්වඥයන් ඉදිරියේ වැඳ නමස්කාර කොට සාගත ස්ථවීරයන් වහන්සේ වෙත ගොස් මෙසේ කී හ. ස්වාමීනි, ඔබ වහන්සේ අපට කරනු ලැබුවේ ඉමහත් උපකාරයකි. ඔබ වහන්සේට අවශ්‍ය කරන කුමන හෝ අවශ්‍යතාවයක් තිබේ නම්, අපට දැනුම් දෙන්න. මිනිසුන්ගේ බස් ඇසූ සාගත තෙරණුවෝ කිසිවක් නොකීහ. සාගත තෙරුන් වහන්සේ ඒ මිනිසුන්ගෙන් කිසිවක් ඉල්ලා නොසිටි බව අසා ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේ ඔවුන්ට මෙසේ කී හ.


උපාසකවරුනි, පැවිදි තැනැත්තන්ට කාපෝතිකා නම් සුරාව ලබාගැනීම අපහසුයි. උන්වහන්සේලා එයට මනාපද වෙයි. ඉදින් ඔබ සාගත තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ නම්, කාපෝතිකා නම් සුරාව පිළියෙළ කරන්න යනුවෙනි. ඒ උපාසකවරු ස්වාමීන් වහන්ස යහපතැයි පිළිගෙන තම තමන්ගේ ගෙවල්වල කාපෝතිකා නම් සුරාව පිළියෙළ කොට තෙරුන් වහන්සේට පිළිගැන්වූහ.සාගත තෙරුන් වහන්සේ සුරාව වළඳා මඳයෙන් මත්ව නුවරින් නික්මෙන සේක. වාසල් දොර අසල වැටී නන්දොඩමින් වැදහොත්හ.


සර්වඥයන් වහන්සේ නුවරින් නික්මෙන සේක. සාගත තෙරුන් වහන්සේ වාසල් දොර අසල නන් දොඩවමින් වැටී සිටිනු දැක මහණෙනි, සාගත තෙරුන් ඔසවා ගනු යැයි කියා ගෙන්වාගෙන විහාරයට වැඩිසේක. ඒ භික්ෂූන් වහන්සේලා සාගත තෙරුන්ගේ හිස බුදුරදුන්ගේ සිරිපතුල පාමුල දෙසට යොමුකොට බිම තැබූ සේක. තෙරුන් වහන්සේ පෙරළි ගොස් තමන් වහන්සේගේ දෙපය සිරිපතුල පාමුල සිටි සේක. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ගෙන් මෙසේ විචාළ සේක.


කිමෙක්ද, මහණ පෙරදී සාගත ස්ථවිරයන් මා කෙරෙහි යම් ගෞරවයක් තිබුණිද, දැන් ගෞරවය තිබේද? නැත ස්වාමීනි.


මහණෙනි, අම්බතීර්ථ නාගරාජයා දමනය කළෝ කවරහුද?


ස්වාමීනි, සාගත තෙරුන් වහන්සේ ය.


කිමෙක්ද? මහණෙනි, සාගත ස්ථවිරයන් දියබරියකුවත් දමනය කිරීමට සමත් වේද?


නැත.ස්වාමීනි


කිමෙක්ද? මහණ, යමක් බී මෙලෙසට විෂව වැටී සිටිත් නම් එසේ වූ සුරාව බොන්නට සුදුසුද?


සුදුසු නොවේ ස්වාමීනි.


සාගත තෙරුන් වහන්සේට ලෞකික ඍද්ධි ප්‍රාතිහාර්යය හා අම්බතීර්ථ නම් භයානක නාගරාජයා දමනය කොට මිනිසුන්ට සෙත යහපත් සලසාදීම වෙනුවෙන් පිරිනැමූ පිරිකර පිළිගැනීමේ සිද්ධි අරබයා බුදුරජාණන් වහන්සේ සාගත තෙරුන් වහන්සේට අවවාද කළහ.


ඒ සිද්ධිය අරබයා සියලුම භික්ෂූන් වහන්සේලාට ශික්ෂා පදයක් පවා පනවා වදාළහ. ඇවැත්නි, සුරාපානය නම්, ඉමහත් දොස් ඇත්තකි. ඒ සුරාපානය ප්‍රඥා සම්පන්නවූත් සමෘද්ධිමත්වූත් සාගත ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නොදන්නා තත්වයට පත් කරනු ලැබී ය. යනුවෙන් භික්ෂූහු සුරාපානය හා තම අත්දැකීම් සාකච්ඡා කළහ. ගුථපාණී ජාතක කතාවෙන් හෙළිවන්නේ සුරාපානයෙන් මත්වී තමන්ගේ කට රැකගත නොහැකිව ජීවිතය විනාශ කරගත් මැස්සෙක් පිළිබඳවයි.


ඉස්සර ජීවත්වූ මිනිස්සු අද වගේ ගම ගෙවල්වල සුරාපානය නොකළහ. ඔවුන් එසේ නොකරන්නේ ගෙවල්වල කුඩා දරුවන් ද, කාන්තාවන් ද සිටින බැවිනි. සුරාපානය කිරීමට අවශ්‍ය වූ විට එයට අවශ්‍ය කරන කළමනා සපයාගෙන කැලෑවට යති. කැලෑවේ ඇති පමණ පදම් වී ඒ කටයුත්ත නිමකොට වෙරි හිඳුන පසු ගම ගෙවල්වලට එති. ඒ ආකාරයෙන් එක්තරා මිනිස් කණ්ඩායමක් සුරාපානය කරන්නට කැලෑවට ගියෝ ය. සුරාවෙන් මත් වී ඔවුහු එහි විවිධ කෙළි කොට ආපසු පැමිණියහ. සුරාපානය කළ එම ස්ථානයේ බිම වැටී තිබූ පත්‍රයක මත්වතුර ටිකක් වැටී තිබිණ. පුළුටු දෑමූ තැන එහෙ මෙහෙ පියාසර කරන මැස්සෙක් එතනට ඇවිත් වේළුන මත්වතුර එකතු වී තිබුණ පත්‍රය මත වැසුවේය. එහි තිබූ මත් වතුරවලට ඉහඳ තැබුවේය. මත්වතුර ශරීර ගතවීමෙන් මැස්සා හොඳටම වෙරි විය. මහ කැලෑවේ මහ ගස් කැරකැවෙන්නා සේද පොළොව ගිලාබසින්නා සේද ඌට දැනෙන්නට විය. තමා මත් වී සිටින බවත් අමතක වී ගියේය. මැස්සා කල්පනා කරන්නේ ගහකොළ ඇඹරෙන්නේ තමන්ගේ තේජස නිසා බවය. පොළොව ගිලා බසින්නේ තමාගේ බර මිහිකතට දරාසිටීමට තරම් නොහැකි නිසා කියාය. මැස්සාගේ සිතට පෙරදා නොවුණු මහ වීරත්වයක් නැගෙන්නට විය. තමා බරපතළ කෙනෙකු බවට කල්පනා වන්නට විය.


ඒ අවස්ථාවේ වනාන්තරයේ සිටි මහා හස්තිරාජයෙක් කැලෑව පෙරළාගෙන ඉදිරියට එයි. අනුන්ගේ සුරාවෙන් මත් වී සිටි මේ මැස්සා හිතේ ඇති වූ වීරත්වය නිසා අර මහා හස්තිරාජයාට තමා හා සටනට එන්නැයි ආරාධනා කළේ ය. මැස්සෙක් සමඟ තමාට මොන සටනක් දැයි කල්පනා කළ හස්තිරාජයා අනුන්ගේ සුරාවෙන් මත්වී තමාට අභියෝග කළ මැස්සා ගණනකටවත් නොගෙන ආපසු හැරී යන්නට විය.


හස්තියා ආපසු හැරී යන විට මත්වී සිටි මැස්සා කල්පනා කරනු ලැබුවේ මහ වනයේ මහ ඇතුන් පවා තම කටහඬට කොපමණ බියක් දක්වන්නේ ද කියා ය. තමන්ගේ සිතෙහි ඇතිවූ එම සිතිවිල්ලෙන් උදම් වූ මැස්සා ඉදිරියට යන හස්තිරාජයාගේ පසුපස යමින් බියවී ආපසු යාම හස්තිරාජයෙකුට ගැළපෙන්නේ නැත. හැකිනම්, මා සමඟ සටනකට එනුයි අභියෝග කළේ ය. හස්තිරාජයා මැස්සෙක් එක්ක කුමන සටනක් දැයි කල්පනාකොට හිටි පියවර එසේම ඉඳගෙන පසුපස එන මැස්සා මතට වර්චස් පිඬක් හෙළුවේ ය. එම වීර මැස්සා හස්තිරාජයාගේ වර්චස් පිඬට යට විය. හස්තියා සිද්ධිය ගණනකටවත් නොගෙන මහ කැලයට යන්නට ගියෙ ්ය.


වර්තමාන සමාජයේ වුවද මේ වගේ මැස්සන් මනුස්සයන් වශයෙන් උපත ලබා සිටිනවා විය හැකිය. කායික වශයෙන් මිනිස් ශරීර පෙනුණ ද මානසික වශයෙන් අනුන්ගේ සුරාවෙන් මත්වී තමන් මත් වූ බවවත් නොදැන තමන්ටත් නොගැළපෙන වචන කතා කරන්නේ ය.

සගාථ සූත්‍රය

 


සගාථ සූත්‍රය  

100

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) හීන අදහස් ඇත්තාවූ සත්වයෝ හීන අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වෙත්. සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) හීන අදහස් ඇත්තාවූ සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක්වූහ. සමගි වූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) හීන අදහස් ඇත්තාවූ සත්වයෝ, හීන අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක් වෙත්. සමගි වෙත්. හීන අදහස් ඇත්තාවූ සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක්වෙත්. සමගි වෙත්.

“මහණෙනි, යම්සේ වනාහි අසූචි අසූචි සමග එක්වේද, සමවේද, මුත්‍ර, මුත්‍ර සමග එක්වේද, සමවේද, කෙළ, කෙළ සමග එක්වේද, සමවේද, සැරව, සැරව සමග එක්වේද, සමවේද, ලේ, ලේ සමග එක්වේද, සමවේද, මහණෙනි, එසේම වනාහි අදහස් වශයෙන්ම සත්වයෝ එක්වෙත්. සමගි වෙත් හීන අදහස් ඇත්තාවූ සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගි වූහ. (කෙසේද?) හීන අදහස් ඇත්තාවූ සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක්වූහ. සමගි වූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) හීන අදහස් ඇත්තාවූ සත්වයෝ, හීන අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) හීන අදහස් ඇත්තාවූ සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක්වෙත්. සමගි වෙත්.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වෙත්. සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක්වූහ. සමගි වූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක් වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වෙත් සමගි වෙත්. (කෙසේද?) යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්.

මහණෙනි, යම්සේ වනාහි කිරි, කිරි සමග එක්වේද, සමවේද; තෙල්, තෙල් සමග එක්වේද, සමවේද, ගිතෙල්, ගිතෙල් සමග එක්වේද, සමවේද; මී, මී සමග එක්වේද, සමවේද; පැණි, පැණි සමග එක්වේද, සමවේද; මහණෙනි, එසේම වනාහි අදහස් වශයෙන්ම සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වෙත්. සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. මෙය සුගතයන් වහන්සේ දේශනා කොට නැවතද, ශාස්තෲන් වහන්සේ ගාථාවන් දේශනා කළ සේක.

‘එක්ව වාසය කිරීමෙන් කෙලෙස් වනය උපදියි. තනිව විසීමෙන් කෙළෙස් වනය සිඳෙයි. කුඩා දැවයකට (ලී කඩකට) නැගී, යම්සේ මහ මුහුදෙහි කිඳාබසීද,

“එසේම පිරිසිදු ජීවිතයක් ගතකරන තැනැත්තේද, කුසීත පුද්ගලයා වෙතට පැමිණීම නිසා කිඳාබසී. එනිසා ඒ කුසීතවූ, හීන වීර්යය ඇති පුද්ගලයා දුරු කරන්නේය.

විවේකයෙන් යුක්තවූ, ආර්යවූ, නිවණ කරා යැවූ සිත් ඇත්තාවූ, ධ්‍යාන වඩන්නාවූ, නිතර පටන් ගන්නා ලද උත්සාහයෙන් යුක්තවූ, පණ්ඩිතයන් හා සමග වාසය කරන්නේය.”

(හයවෙනි සගාථ සූත්‍රය නිමි.)


Sunday, August 8, 2021

රාධ මහරහතන් වහන්සේ


රාධ මහරහතන් වහන්සේ
තණමල්විල රාහුල හිමි

සම්බුදු සසුනෙහි චිර පැවැත්මත්, ධර්ම විනයෙහි ආරක්ෂාව පිණිසත් ඒ ඒ කුසලතාවන්ට අනුගතව මහරහතන් වහන්සේලා උදෙසා අග තනතුරු පිරිනමන ලදී. ඒ අතර දම් දෙසුම් වටහා ගන්නා භික්ෂූන් අතර අගතනතුර ප්‍රදානය කරන ලද්දේ රාධ මහරහතන් වහන්සේට ය.

උන්වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි සිටු කුමරෙකු ලෙස ඉපදුණහ. දිනක් ගෙපිළිවෙලින් පිඬුසිඟා වඩින විපස්සී බුදුරජාණන් වහන්සේ දැක අපමණ පැහැදුණු සිතින් යුතුව, විපස්සී බුදුරජාණන් වහන්සේට මිහිරි අඹ ඵලයක් පූජා කළේ ය. විපස්සි බුදුරජාණන්වහන්සේ කෙරෙහි හටගත් ශ්‍රද්ධාවත්, පූජා කළ අඹ ඵලයෙහි ආනිසංසත් හේතුවෙන් සිටු කුමරු මරණින් මතු සුගතියෙහි ඉපදුණේ ය. දෙව් මිනිස් භව කෙළවර ගෞතම බුදුරජාණන් වහන්සේ දවස රජගහ නුවර ධනවත් බ්‍රාහ්මණ පවුලක ඉපිද රාධ කුමරු නමින් ප්‍රකට විය.

කල්යත් ම තරුණ වියට පත් රාධ කුමරු සුදුසු කල විවාහ දිවියට පත්ව දරුවන් කිහිපදෙනෙකුගේ පියෙකු බවට පත් විය. ජීවිතයේ සැදෑ සමයට පත් වූ රාධ බමුණු තෙමේ කිසිවෙකුගේ හව්හරණක් නොමැති ව හුදකලා ජීවිතයක් ගත කළේ ය. ස්වකීය බැමිණියගේ වියෝවත්, දරුවන්ගේ නොසැලකිලි බවත් හේතුවෙන් රාධ බමුණා අධික ලෙස චිත්ත පීඩාවටපත් විය. සිතට සහනයත්, ලෞකික ජීවිතයේ යථාර්ථයත් අවබෝධ කරගනු පිණිස තමා පැවිදි කරන ලෙස ජේතවන වෙහෙර වැසි භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියේ ය. වරක්, දෙවරක්, තෙවරක් රාධ බමුණාගේ ඉල්ලීම එකී භික්ෂූන් වහන්සේලා ප්‍රතික්ෂේප කළහ. එයින් බලවත් සිත් තැවුලට පත් වූ රාධයන් ආහාරපාන ගැනීම නිසි ලෙස සිදු නොකළේ ය. රාධ බමුණාගේ සිතත් ගතත් ක්‍රම ක්‍රමයෙන් දුර්වල වන්නට විය.

දිනක් භාග්‍යවතුන් වහන්සේ ඔහු දැක කරුණු විමසා රාධ බමුණා කුමන හෝ භික්ෂුවකට සුළු හෝ උපකාරයක් කර ඇති ද යනුවෙන් විමසූහ. එවිට මහත් වූ ප්‍රඥාවෙන් අගතැන්පත් සැරියුත් මහරහතන් වහන්සේ ඉදිරිපත් වී මා දිනක් පිඬු පිණිස වඩින විට මා හට බත් සරළුවක් පූජා කළ බව පැවසූහ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කළ ගුණයට ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ රාධ බමුණාගේ පෙර භවයන්හි කරන ලද කුසල කර්මයන් දැක පැවිදි කරන ලෙස සැරියුත් මහරහතන් වහන්සේට අනුදැන වදාළහ.

අගසව් සැරියුත් මහරහතන් වහන්සේ විසින් පැවිදි කරන ලද රාධ හිමියන් නොබෝ කලකින් සව් කෙළසුන් නසා මහරහත් භාවයට පත් වූ හ. අරහත්වයටපත් උන්වහන්සේ බුදුන් වහන්සේ සමීපයෙහි ම හිඳිමින් මනා ලෙස ධර්මය ශ්‍රවණය කළහ. ඒ අනුව හැසිරුණහ. පසුව බුදුරජාණන් වහන්සේ විසින් අග තනතුරු ප්‍රදානයේ දී දම් දෙසුම් වටහා ගන්නා භික්ෂූන් අතර අගතනතුර රාධ මහරහතන් වහන්සේට පිරිනමන ලදී. ඒ උන්වහන්සේ පෙර භවයන්හි ශ්‍රද්ධා සිත් ඇති ව කරනු ලැබූ පින් බල මහිමයෙනි. රාධ මහරහතන් වහන්සේ අන් අයට ද සමථ විදර්ශනා වඩා විමුක්ති සුවයට පත්වීම සඳහා ථේර ගාථාවන්හි සඳහන් මෙම ගාථා ධර්මය දේශනා කළහ.

යථාගාරං දුච්ඡන්නං - වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං - රාගෝ සමතිවිජ්ඣති

මනාලෙස සෙවිලි නොකරන ලද ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් සමථ විදර්ශනා නොවැඩූ සිත රාගයෙන් දැවේ.

යථාගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං - රාගෝ න සමතිවිජ්ඣති

මනාලෙස සෙවිලි කරන ලද ගෙය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන්, සමථ විදර්ශනා වැඩූ සිත රාගයෙන් නොදැවේ.

 

ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව:

 



ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව:


ඇතිවී නැතිවන දේ නුවණින් දකින්න

අම්බලන්ගොඩ,

කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


" සති, සමාධි, ඥාන දියුණුවෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදී මාර්ග ඵල අවස්ථා දක්වා දිවෙන දහමක්. එසේම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග අටෙහි අනිත්‍ය යි කියා සිතද්දී ද ගමන් කරයි."


සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මුල සිට කර්මස්ථාන විසි එකෙහි ම සියලු තතු සඳහන් වුණා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව භාවනාවට ගන්නා ක්‍රමය සඳහන් වුණා. ධම්මානුපස්සනාවෙහි ද නීවරණ පිළිබඳ සියලු විස්තර සහ එය භාවනාවට ගන්නා ක්‍රමය ද සඳහන් වුණා.


ස්කන්ධ විදර්ශනාවේ රූප උපාදානස්ඛන්ධ, වේදනා උපාදානස්ඛන්ධ, සංඥා උපාදානස්ඛන්ධ, ආදී කොටස් ද මේවා භාවනාවට ගන්නා ක්‍රමය ද සඳහන් කළා. අද සඳහන් කරන්නේ ස්කන්ධ විදර්ශනාවේ අවසාන කොටස වන සංඛාර උපාදානස්ඛන්ධය පිළිබඳව යි.


පංචස්ඛන්ධයට අයත් සංඛාර යනුවෙන් චෛතසික පනස් දෙක ඇතුළත් වෙනවා. වේදනා සංඛාර දෙකට චෛතසික දෙකක් අයින් වූ විට පනහක් ඉතිරි වෙයි. සංඛාර උපාදානස්ඛන්ධය යනු මේ චෛතසික පනහ වෙයි. එය මනාකොට වටහාගෙන එකක් පාසාම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. කුසල්, අකුසල් චෛතසික දෙකම එකක් පාසා ම මෙනෙහි කිරීම ස්කන්ධ විදර්ශනාව යි. එනම් සංඛාර ස්කන්ධ විදර්ශනාව යි.


බාහිර සංඛාරය යනුවෙන් සඳහන් කිරීමේ දී නිර්වාණය හැර සියල්ල එනම්, මනු ලොව, දෙව් ලොව, සතර අපාය, අනන්ත ලෝක ධාතු පවා වැටෙන්නේ සංඛාර වලට යි. එවිට සංඛාර පිළිබඳ දැනීමක් අනිවාර්යෙන් ඇති කරගන්නට ම අවශ්‍ය යි. එවිට තමන්ට සියලුම චෛතසික නම් වූ සංඛාර අනිත්‍යය, දුක්ඛ, අනාත්ම, ලක්ෂණත්‍රයට යොමු කරවා ගන්න පුළුවන්. තම චිත්ත සන්තානයෙහි චෛතසිකයන් ගැන මනා අවබෝධයකින් නිවැරැදිව විපස්සනාව කරගත හැකි යි. විපස්සනාව කායික මානසික සුවය සඳහා ද, ධර්මාවබෝධය සඳහා ද හේතු වෙයි. චෛතසික පනහ පාඩම් කරගෙන ඉදිරියට පැහැදිලි ලෙස මෙනෙහි කළ හැකි යි.


සංඛාර උපාදානස්ඛන්ධ කොටසට බුදු දහමට අනුව අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වටහා ගන්නේ කෙසේද? එහි ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතු යි. කුසල් අකුසල් දෙක සම්මිශ්‍රණය වී හටගන්නා ආකාරය ගැන හොඳ දැනීමකින් චෛතසිකයෝ පිළිබඳ ව අවබෝධය හොඳින් ඇතිකර ගත යුතු යි. එවිට භාවනා පාඩම ඉදිරියට ගෙන යා හැකි යි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ මනාව අවබෝධ කරගත්තේ තමන් වහන්සේගේ බුදු නුවණින්. දෙව්ලොව දී දේශනා කළ සප්තප්පකරණී අභිධර්ම දේශනාව තුළ අන්තර්ගත කරුණු අප්‍රමාණ යි. මාසයක් තුළ උන්වහන්සේ දේශනා කළ ධර්මය ලෙහෙසි පහසු නැහැ.


බුදුන් වහන්සේ පහදා දුන් සංස්ඛාර පිළිබඳ ව අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ධර්මතාව හොඳට වටහාගෙන දියුණු කරගත්තොත්, නොපැකිල ව නිවන් මඟ ඉදිරියට යා හැකි යි. මේවා හොඳට වටහාගෙන ලොව්තුරු ධර්මය යනු කුමක්දැ’යි කටයුතු කළොත් ඉතාමත් ම වැදගත්. ශීල, සමාධි, ප්‍රඥා සංවරය හේතු භූත වන විශේෂ කරුණු ලෙස බුදුන් වහන්සේ අපට මේවා පහදා දුන්නේ. එය මනා කොට පහදාගෙන ඉදිරියට පිවිසෙන්න පුළුවන්නම්, වැදගත් වෙයි.


චෛතසික පනස්දෙක අතුරෙන් මුලටම ගන්නේ චිත්ත සාධාරණ චෛතසිකයන් ය. ඵස්ස චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. වේදනා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, සංඥා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, චේතනා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි , ඒකග්‍රතා චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ජීවිතේන්ද්‍රිය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙලෙස චෛතසික පිළිබඳ ව එකක් පාසාම මෙනෙහි කළ යුතු යි. ඵස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාරය යනුවෙන් හතක් තිබෙනවා. මේ සර්ව චිත්ත චෛතසික සාධාරණ හත එකක් පාසාම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.


තව ද මිශ්‍ර ප්‍රකීර්ණ චෛතසික යනුවෙන් විතර්ක, විචාර, අධිමෝක්ෂ, විරිය , ඡන්ද, පීති ආදිය හයක් තිබෙනවා. විතක්ක චෛතසිකය අනිත්‍යයයි, දුක්ඛ යි, අනාත්ම යි. විචාර චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, අධිමෝක්ෂ චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, විරිය චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, ඡන්ද චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, පීති චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මේ චෛතසික දහතුන අන්‍ය සමාන චෛතසික නම් වෙයි.


එසේනම්, චෛතසික දහතුන පිළිබඳ හොඳ වැටහීමක් ඇතිකරගෙන එකක් පාසා ම මෙනෙහි කරද්දී අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගන්න පහසු යි. එහි එකක් මෙනෙහි කළත් වටිනවා. ස්පර්ශ චෛතසිකය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එයම මෙනෙහි කරද්දී ද වටිනවා. එසේම සියල්ල අදාළ කරගෙන සංඛාර අනිත්‍ය යි, දුක්ඛයි, අනාත්ම යි. සියලු සංස්කාර අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළත් වටිනවා. මේ සෑම දෙයකින් ම ප්‍රකාශිත වන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කළ දේශනාව යි.


බුදු දහමෙහි සැප, ආත්ම වශයෙන් ගන්නේ නැහැ. නිර්වාණය හැර කන බොන දේ, අඳින පළදින දේ, සිටින ස්ථාන, යාන වාහන ආදිය ලෝක ධාතුවේ ඇති සෑම දෙයක් ම අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් ගනි යි. එසේ නුවණ හුරු කර ගැනීමෙන් නො ඇලී , නො ගැටී වාසය කරන්න පුඵවන්.


මෙහි සඳහන් අන්‍ය සමාන චෛතසික දහතුන ම පාඩම් කරගෙන එකක් පාසාම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. එය කොළයක සටහන් කළොත් පැහැදිලි වෙයි. නැතිනම්, අභිධර්ම මාර්ගය, අභිධර්ම චන්ද්‍රිකාව ආදිය පොත් සොයා ගෙන සිත් අසූ නවය , රූප විසි අට දැන ගත හැකි යි. පංචස්කන්ධය පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගත යුතු යි.


සති, සමාධි, ඥාන දියුණුවෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදී මාර්ග ඵල අවස්ථා දක්වා දිවෙන දහමක්. එසේම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග අටෙහි අනිත්‍ය යි කියා සිතද්දී ද ගමන් කරයි. එසේනම් අනිත්‍ය , දුක්ඛ , අනාත්ම විනාඩි පහක් මෙනෙහි කළොත් ආර්ය මාර්ගයෙහි ම ගමන් කරයි.


පංචස්ඛන්ධ විදර්ශනාවෙහි රූපස්ඛන්ධ විදර්ශනාව , රූප විසි අට පිළිබඳව ලිපිය හොඳින් දැන කියාගෙන පාඩම් කරගෙන මෙනෙහි කළ යුතු යි. වේදනා උපාදානස්ඛන්ධය, සංඥා උපාදානස්ඛන්ධය, පසුගිය සතියේ සඳහන් වුණ අතර සංඛාර උපාදානස්ඛන්ධයේ සංඛාර දහතුනක් ගැන අද ඉදිරිපත් කළා. සර්ව චිත්ත සාධාරණ චෛතසික හතයි, අන්‍ය සමාන ප්‍රකීර්ණක චෛතසික හයයි එකතු කළ විට දහතුන යි. මේ අන්‍ය සමාන ප්‍රකීර්ණක චෛතසික එකක් පාසාම අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්නට කවුරුත් හුරු පුරුදු විය යුතු යි.


චිත්ත සමාධිය ධ්‍යාන අවස්ථාව දක්වා යා හැකි යි. ප්‍රඥාව ලබන්නට පුළුවන්. එය මොහොතින් මොහොත දියුණු කළ යුතු දෙයක්. ධර්මය පරිශීලනය කිරීමෙන් නුවණ දියුණු වෙනවා. ධර්මයට අනුව වැඩ කටයුතු නොකිරීමෙන් නුවණ පිරිහී යයි. ගුණ ධර්ම වියැකී යයි. පවට ගිජු වෙයි. සත්ත්ව ඝාතන, මවට පියාට නො සැලකීම ආදී පාපයන්ට යොමු වෙයි. කොයි කවුරු වුණත් ගුණයට දහමට ලැදිව ශීල, සමාධි, ප්‍රඥා දියුණුවෙන් , දුරාචාරයෙන් වැළකී නිති පන්සිල්, පෝයට අටසිල් ආදිය රැකිය යුතු යි. එවිට භාවනා ක්‍රම හොඳින් දියුණු වෙයි.


මෙම භාවනා ලිපියෙන් දැනුම ගෙන එය බොහෝ දෙනා අතරට පත් කළ යුතු යි. මේ කරුණු සටහන් කරගෙන අන් අයටත් කියා දෙන්න. සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාවට පමණක් සීමා නොවී මෙවැනි ගැඹුරු භාවනා ක්‍රම පිළිබඳ දැනුමක් ඇති කරගත යුතු යි. එකක් පාසාම දැනීමක් ලබාගෙන අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වටහාගෙන මෙනෙහි කළ යුතු යි. සෑම දෙයකම ආදීනව දකින්න. අනුසස් බලන්න. සියලු දේ විනාශ වන ආකාරය, ඇතිවී නැතිවන ආකාරය දකින්න. එවිට අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්න පුළුවන්. එසේනම්, පින්වත් ඔබත් ගුණ ධර්ම දියුණු කරගෙන, පාරමී පුරාගෙන ඉක්මනින් ම නිවන් පසක් කර ගනිත්වා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල


පොක්ඛරණී සූත්‍රය

 


පොක්ඛරණී සූත්‍රය  

75

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්සේ වනාහි දිගින් පනස් යොදුන්වූ, පුළුලින් පනස් යොදුන්වූ, ගැඹුරින් පනස් යොදුන්වූ, කපුටන්ට පානය කරනු හැකිවනසේ කට ළඟට පිරුණාවූ, පොකුණක් වේද, එයින් පුරුෂයෙක් කුසතණ පතක අගින් දිය බිඳක් ගන්නේය. මහණෙනි, ඒ කිමෙකැයි සිතන්නහුද කුසතණපත් අගින් ගන්නා ලද යම් දිය බිඳක් වේද, පොකුණෙහි ඉතිරිවූ යම් දියක් වේද, මේ දෙකින් කවරක් වනාහි අධිකතර වේද?” “ස්වාමීනි, යම් මේ පොකුණු දියක් වේද, එයම අධිකතරවේ. කුසතණ අගින් ගන්නා ලද දිය ඉතා ස්වල්පවේ. කුසතණ අගින් ගත් දිය, පොකුණු දිය හා සසඳන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”

“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකට ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය, ක්ෂයවූ, කෙළවරවූ, දුක්ගොඩ හා සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.

“මහණෙනි, එසේම ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”

(දෙවෙනි පොක්ඛරණී සූත්‍රය නිමි.)


Tuesday, August 3, 2021

ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව


 ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව:


ගතට සිතට සුව සලසන භාවනාව

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


බුදුරදුන් ධරමාන කාලයේ තිස්ස නමින් ස්වාමීන් වහන්සේ නමක් වසර දොළහක් ම එකම නිවසින් දවල් දානය වැළඳුවා. එක්තරා දවසක ඒ නිවසේ ගෙහිමියාට මැණික් ගලක් ඔප මට්ටම් කර දෙන්නැ’යි කොසොල් රජතුමා එවා තිබුණා.


එය මේසය මත තබා නිවස තුළට පිවිසි ගෙහිමියා නැවත පැමිණෙද්දී මැණික් ගල මේසය මත තිබුණේ නැහැ. එය නිවසේ ඇතිකරන ගිජු ලිහිණියා විසින් ගිල දැමූ අතර දනට වැඩම කළ ස්වාමීන් වහන්සේ මැණික් ගල ගත් බවට ගෙහිමියා සැක සිතුවා. ඒ නිසා උන්වහන්සේට අසීමිත ව තරවටුකර තාඩන පීඩන සිදු කරමින් මැණික් ගල ගැන විමසා, හිසට වෙළුමක් දමා තද කර දැමුවා. ඒ නිසා ඇස් , කන් , නාසා ආදියෙන් රුධිරය ගලා ගියා. වැගිරෙන රුධිරය ගිල දමන්න පැමිණි ගිජු ලිහිණියා ගැන ද කුපිත වූ ගෙහිමියාගේ පා පහරින් සතා මිය ගියා. එය දැනගත් ස්වාමීන් වහන්සේ ගිජුලිහිණියාගේ කුස පලා බලන්නැ’යි පැවසුවා. ඒ අනුව මැණික් ගල ලැබුණා.


මෙහි දී ස්වාමීන් වහන්සේ කායික වශයෙන් ලැබුණා වූ දුක් වේදනාව දිගින් දිගටම මෙනෙහි කර උන්වහන්සේගේ මරණය සහ රහත්වීම එකවර සිදු වී මහරහතන් වහන්සේ නමක් ලෙස අවසන් ගමන ගියා. කායික වශයෙන් ලැබුණා වූ දුක් වේදනාව දිගින් දිගට ම මෙනෙහි කර, වේදනානුපස්සනා සතිපට්ඨානය හොඳට වැඩී බෝධි පාක්ෂික ධර්මයන් ද දියුණු වී පින මතුවී රහත් බවට පත් ව ඒ මොහොතේ ම පිරිනිවන් පෑවා.


අද සඳහන් කරන්නේ වේදනා උපාදානස්ඛන්ධය භාවනාවට වඩන ක්‍රමය යි. ශරීරයට දැනෙන වේදනාව වේදනා ස්ඛන්ධය යනුවෙන් හඳුන්වන අතර වේදනා චෛතසිකය වේදනා ස්කන්ධය නම් වෙයි. වේදනාව ප්‍රධාන වශයෙන් සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව යනුවෙන් කොටස් තුනකට බෙදෙයි. නැවත එය සාමිස සුඛ වේදනාව , නිරාමිස දුක්ඛ වේදනාව , සාමිස උපේක්ෂා වේදනාව යනුවෙන් තවත් කොටස් තුනකට ද නිරාමිස සුඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව , නිරාමිස උපේක්ෂා වේදනාව යනුවෙන් තවත් වේදනා තුනක් වශයෙන් ද සියල්ල නවයකට බෙදෙයි. නව ආකාර වේදනා පිළිබඳ මනා දැනීමක් ඇතිකරගෙන හොඳට නුවණින් බලමින් වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි වශයෙන් මෙනෙහි කරන්න.( උදාහරණ - සුඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. දුක්ඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි...)


වේදනා උපාදානස්ඛන්ධය පිළිබඳ හොඳ දැනීමක් ඇතිකර ගත යුතු යි. වේදනාව ‘ගොඩක්’ ලෙස දැනුන ද එය රූපයක් නො වෙයි. වේදනාව මාත්‍රයක් පමණ යි. වේදනාව හොඳ හැටි දැන කියාගෙන මෙනෙහි කර, සිත දියුණු තියුණු කරගත යුතු යි. මේ මඟින් විශාල ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවන්. කායික වුව ද මානසික වුව ද සුවයක් ලබන්න වේදනාව යටපත් කළ යුතු යි. ඇතැමෙකුට වේදනාව උසුලා ගන්නට නො හැකිව කෑ කෝ ගසා විලාප නඟනවා.


වේදනානුපස්සනා භාවනාවෙන්, වේදනා ස්කන්ධය මෙනෙහි කර ගැනීමෙන් කුමන වේදනාවක් වුවද තමන්ට ඉවසා දරා ගන්න පුළුවන්. තම ජීවිතයට අත්‍යවශ්‍ය කරන ගුණ ධර්ම ඉදිරියට ගෙන ඒම සඳහා වේදනානුපස්සනාවට විශේෂ තැනක් තිබෙනවා. ඒ ගැන හොඳ අවබෝධයක් ඇතිකරගෙන කටයුතු කළ යුතු යි. වේදනාස්කන්ධය , වේදනා උපාදානස්ඛන්ධය වේදනාව දැඩිව අල්වා ගැනීම මෙහි ප්‍රකාශ කෙරෙනවා. එවිට නාම රූප කොටස් දෙකක් තිබෙනවා. රූප විසිඅට ගැන පසුගිය ලිපියෙන් සඳහන් කළා. එය ද එකක් පාසා ම මෙනෙහි කළා සේ ම, වේදනානුපස්සනාව ද මෙනෙහි කර වේදනාව සම තත්ත්වයට ගත යුතු යි. මේ පිළිබඳ හසල දැනීමක් ඇතිකරගෙන කොයි කවුරු වුණත් වේදනා උපාදානස්ඛන්ධය පිළිබඳ මනා දැනීමකින් වේදනාව මෙනෙහි කළ යුතු යි.


ගෞතම බෝසතාණන් වහන්සේ ද වේදනාව පුදුමාකර ලෙස ඉවසීමෙන් දියුණු කරගත් උත්තමයෙක්. වේදනා උපාදානස්ඛන්ධය මනා කොට තේරුම් බේරුම් කර ගැනීම ඉදිරියට යන්න පහසුවක්. තම සිරුරේ ඇති එක ගොඩක් වන්නේ වේදනාඋපාදානස්ඛන්ධය යි. වේදනාව දැඩි සේ ගැනීම නිසා තමන්ට දුකක් මිස සැපයක් නැහැ.


මහ රහතන් වහන්සේට වේදනා ස්කන්ධය මිස වේදනා උපාදානස්කන්ධ කොටස නැහැ. එසේනම්, ඒ තත්ත්වයට පත්වීම සඳහා බුදු දහම නොයෙක් කරුණු ගෙනහැර දක්වමින් කටයුතු කෙරෙන්නේ. තම ගුණ ධර්ම දියුණුවෙන්, සති, සමාධි, ඥාන දියුණු තියුණු කරගත යුතු යි.


තෙවැන්න සංඥා උපාදානස්ඛන්ධය යි. එහි වැඩි විස්තරයක් නැහැ. එය වැඩි දෙයක් හඳුනා ගැනීම යි. මනුස්සයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක්, ගේ දොර ආදිය හඳුනාගන්නේ සංඥා උපාදානස්ඛන්ධයෙන්. එය සංඥා චෛතසිකය නම් වෙයි. එය සංඥා උපාදානස්ඛන්ධය ලෙස ඉදිරිපත් කර තිබෙනවා. එසේනම්, සංඥාව යනු කුමක්දැ’යි හොඳ දැනීමක් කොයි කා ළඟත් තිබෙනවා. සංඥාව පිළිබඳ ව වටහා ගෙන, සංඥා චෛතසිකයක් බව වටහාගෙන, සංඥාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කර ගත යුතු යි. සංඥාව ඇසට පෙනෙන, කනට ඇසෙන දෙයක් නො වන අතර එය නාම ධර්මයක්. එසේනම්, නාමයක් වන සංඥාවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනාවට ගන්නා ක්‍රමය පැහැදිලි කළා. සංඥාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නුවණින් බලන්න. එවිට තමන්ට විශාල ශක්තියක්, දියුණුවක් ඇති කරගන්න පුළුවන්.


භාවනා ක්‍රම දියුණු කර ගැනීමේ දී ඡන්ද ඍද්ධි පාද, චිත්ත ඍද්ධි පාද, විරිය ඍද්ධි පාද , වීමංස ඍද්ධි පාද යන සතර ඍද්ධිපාදයෝ අත්‍යවශ්‍ය කරනවා. භාවනාව දියුණු කර ගැනීමට ඇති කැමැත්ත ඡන්ද ඍද්ධි පාදය යි. ඒ සඳහා අවශ්‍ය බලවත් සිත චිත්ත ඍද්ධි පාදය යි. භාවනාවට ගන්නා වූ නුවණ නොහොත් විමසීම වීමංස ඍද්ධි පාදය යි. ඒ සඳහා ගන්නා උත්සාහය විරිය ඍද්ධිපාදය යි. මේවා බණ භාවනා ක්‍රම වලට අත්‍යවශ්‍ය කරනවා. ඕනෑම දෙයක් සාර්ථකව ඉදිරියට ගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. මේ ගැන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ගෙන හැර දක්වනවා. වේදනාව, සංඥාව මෙනෙහි කර, විදර්ශනා ඥාන පහළ කරගෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල සහ නිවන ආදිය නව ලොවුතුරා ධර්මය අවබෝධ කර ගැනීමේ ක්‍රමය පහදා දුන්නේ. මේ ගැන දැන පහදාගෙන ඉදිරියට පිවිස හසල දැනුමකින් සම්මා සම්බුද්ධ ශාසනයේ ලබා ගත යුතු ගුණ ධර්ම සොයා ඉදිරියට යා යුතු යි. සිහි නුවණ හොඳට දියුණුවෙන්, ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි , ඥාන , ඉන්ද්‍රිය හොඳට දියුණු තියුණු කරගෙන භාවනා ක්‍රම ටිකත් සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ නිවැරැදිව නැතිනම්, ඉදිරියට පිවිසෙන්න අපහසු යි. ඒ නිසා කොයි කවුරු වුණත්, බුදු දහම වැළඳගෙන බණ භාවනා ක්‍රම පිළිබඳ හසල දැනුමකින් ඉදිරියට පහසුවෙන් ගමන් කළ හැකි යි. බුදු දහමට අනුකූලව කටයුතු කිරීමෙන් සැමට යහපතක් මිස අයහපතක් නැහැ. ඒ නිසා මෙහි සඳහන් වූ වේදනානුපස්සනාව නම් වූ වේදනාස්ඛන්ධයත් එනම් වේදනා චෛතසිකය, සංඥා ස්ඛන්ධයත් එනම් සංඥා චෛතසිකයත් හොඳින් අවබෝධයෙන් අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කර භාවනා දැනීම ශක්තිමත් ව ඉදිරියට ගෙන යා යුතු යි. එවිට භාවනා ක්‍රමය තමන්ට පහසුවෙන් ගෙන යා හැකි යි. වේදනාව වේදනාව වශයෙන් හඳුනාගෙන, වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කර, සංඥාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කරන්න. එවිට තම නුවණ හොඳින් වැඩී තම පුණ්‍ය වාසනාව ද දියුණුවෙන් පාරමිතාවන් ද සම්පූර්ණ කර ගන්න පුළුවන්. මේ කරුණු හොඳින් දියුණුවෙන් භාවනාව පිළිබඳ දැනීමක් ඇතිකරගෙන කටයුතු කරගත යුතු යි. එවිට අප යන ගමන් මඟ වරදින්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය යන නිවන් මග පැහැදිලිව යන්නට පුළුවනි. එසේනම්, මේ පිළිබඳ හොඳ දැනීමක් ලබා, සියලු කටයුතු සඵල කරගෙන බණ භාවනා කටයුතු ද සාර්ථක කරගෙන , ගුණ ධර්ම ද දියුණුවෙන් පාරමිතා ද ඉක්මනින් ම සම්පූර්ණ කරගෙන නිවන් පසක් කරගන්නට ලැබේවා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...