Sunday, July 11, 2021

උදය සූත්‍රය

 


උදය සූත්‍රය  

198

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ නිවස යම් තැනෙකද එතැනට වැඩිසේක. ඉක්බිති උදය බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය ආහාරයෙන් පිරවීය. දෙවෙනි දිනත් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ නිවස යම් තැනෙකද එතැනට වැඩිසේක. දෙවෙනි දිනත් උදය බමුණුතෙම ආහාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය පිරවීය.

තුන්වෙනි දිනත් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාත්‍ර සිවුරු ගෙන උදය බමුණාගේ නිවස යම් තැනෙකද එතැනට වැඩිසේක. තුන්වෙනි දිනත් බමුණුතෙම ආහාරයෙන් භාග්‍යවතුන්ගේ පාත්‍රය පුරවා භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “රසට ලොල්වූ මේ ශ්‍රමණ ගෞතමතෙම නැවත නැවතද එයි.”

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “(ගොවියෝ) නැවත නැවත ශස්‍ය බීජ වපුරති. වැස්ස නැවත නැවත වසී. ගොවියෝ නැවත නැවත කෙත සාති. නැවත නැවත ධාන්‍ය රටට පැමිණෙයි.

“යාචකයෝ නැවත නැවත ඉල්වත්. දානපතියෝ නැවත නැවත දෙත්. දානපතියෝ නැවත නැවත දී නැවත නැවත දෙව්ලොවට පැමිණෙති.

“කිරි දොවන්නෝ නැවත නැවත දොවිත්. වසුතෙම නැවත නැවත මවුදෙන කරා පැමිණෙයි. (සත්ත්‍වතෙම ඒ ඒ ඉරියව්වෙන්) නැවත නැවත පීඩාවෙයි. අඥාන සත්ත්‍වතෙම නැවත නැවත උත්පත්තියට පැමිණේ.

“නැවත නැවත උපදී. නැවත නැවත මැරෙයි, (මළාවූ ඔහු) සොහොනට ගෙන යෙත්. නුවණ ඇති පුද්ගලයා නිර්‍වාණය පිණිසවූ මාර්‍ගය ලැබ නැවත නැවත නොඋපදී” යි (වදාළසේක.)

මෙසේ වදාළකල උදය බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යටිමුව කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේ හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ (ඇසූ) මම භවත් ගෞතමයන් වහන්සේ

හා ධර්‍මයද, සංඝයාද සරණකොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවරකොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ දරණ සේක්වා

Saturday, July 10, 2021

උරමත දී රහත් වූතෙරනමක්

 උරමත දී රහත් වූතෙරනමක්

රාජකීය පණ්ඩිත,

ශාස්ත්‍රපති

මහරැඹෑවැවේ පාලිත හිමි



මෙම ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ උපාසකයෙකුගේ කරමත දී රහත් වූ අම්බඛාදක මහාතිස්ස තෙරුන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය යි. උපසම්පදා භික්ෂුවක විසින් තම ජීවිතයට අනතුරක් වුව ද තම ශික්ෂාවන්ට අනතුරක් නො කරගත යුතු ය, යන්න මේ කතා ප්‍රවෘත්තියෙන් අපට පෙන්වා දෙයි.


බුද්ධඝෝස හිමියන් මෙම කතාව උදාහරණ පහක් ලෙස යොදා ගන්නේ සතර සංවර සීලය විස්තර කිරීමෙන් අනතුරුව ශීලයේ පාරිශුද්ධි පහක් විස්තර කරන අවස්ථාවේ ‘පරියන්ත පාරිශුද්ධි’ යන්න විස්තර කිරීමට ය. ඒ අනුව මෙය වඩාත් පැහැදිලි කරගැනීම සඳහා පළමුව ශීලයෙහි පාරිශුද්ධි පඤ්චකය දැනගැනීම වැදගත් වෙයි.


පඤ්චවිධ ශීල පාරිශූද්ධිය


01. පරියන්ත පාරිශුද්ධිය


02. අපරියන්ත පාරිශුද්ධිය


03. පරිපුණ්ණ පාරිශුද්ධිය


04. අපරාමට්ඨ පාරිශුද්ධිය


05. පටිපස්සද්ධි පාරිශුද්ධිය යනුයි


උපසම්පදා නොවූ භික්ෂූන්ගේ ශීලය මෙතෙකැයි ප්‍රමාණ කළ හැකි බැවින් එම ශීලය පරියන්ත පාරිශුද්ධි ශීලය ලෙස හඳුන්වයි.


උපසම්පදා භික්ෂුවගේ ශීලය මෙතෙකැයි කෙළවරක් නැති බැවින්, හෙවත් සීමා කිරීමට නොහැකි බැවින් අපරියන්ති පාරිශුද්ධි ශීල නම් වෙයි.


කල්‍යාණ පෘථජ්ජන යමෙකුගේ ශීලයක් ඔප දැමූ මිණි රුවනක් මෙන් උපසම්පදාවේ පටන් දිනෙන් දින පිරිසුදු වේ ද, අකුසලයක් කරනුයේ තබා සිතනුයේ වත් නො වේ ද, එය රහත් බවට ම කාරණා වේ ද , එබඳු ශීලය පරිපුණ්ණ පාරිශුද්ධි ශීලය නම් වෙයි.


ශෛක්ෂකයාගේ හෙවත් සෝවාන් මාර්ගයට පෙර අවස්ථාවේ සිටින පුද්ගලයාගේ ශීලය දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කරන බැවින් අපරාමට්ඨ පාරිශුද්ධි ශීල නම් වෙයි.


ශීලය මනාව ආරක්ෂා කරන පුද්ගලයා තම දිවිය පවා කැපකොට ශීලය ආරක්ෂා කරන අයුරු විසුද්ධි මාර්ගයේ මෙසේ සඳහන් වෙයි.


(ශස්තපාදාදි ශරීර අංග ආරක්ෂා කරණු පිණිස ධනය වුව දෙන්නේ ය. ජීවිතය රැකීම පිණිස ශරීර අංග වුව දෙන්නේ ය. ධර්මය හෙවත් ශීලය ආරක්ෂා කිරීම පිණිස තම ශරීරාංග පමණක් නොව ජීවිතය වුව ද දෙන්නේ ය. )


අම්බඛාදක මහාතිස්ස මහතෙරුන් වහන්සේ


ලක්දිව චීවරගුම්මක නම් විහාරයෙහි මහාතිස්ස නමින් තෙරනමක් වැඩ වාසය කළහ. දිනක් උන්වහන්සේ දුර්භික්ෂ කාලයක දීර්ඝ මාර්ගයක පිඬු පිණිස වඩින්නේ එක් ගමකට වැඩි සේක. එහෙත් උන්වහන්සේට දුර්භික්ෂය නිසා එම ගමෙන් පිණ්ඩපාතය නො ලැබුණි. වේල් කිහිපයක් භික්ෂාව නො ලැබීමෙන් ක්ලාන්ත වු උන්වහන්සේ ඵලගත් එක් අඹ රුකක් මුල සිහිල් සෙවනේ වැතිර වැඩහුන් සේක. වැටී තිබූ එක් අඹ ගෙඩියක් දැක එය වැළඳීමට සිතුන ද, කෙනෙකු විසින් පිළිනොගැන් වුවක් උපසම්පදා භික්ෂුවකට කැප නො මැති බැවින් එය නො වළඳා සිටියහ. ඒත් සමඟම උන් වහන්සේ ටික වේලාවකින් ක්ලාන්ත විය.


මේ අවස්ථාවේ එම ස්ථානයෙන් ගිය එක් මගියෙක් ක්ලාන්තව වැටී සිටි උන්වහන්සේ දැක අඹ ගෙඩිය ගෙන මිරිකා අඹ යුෂ පෙව්ව ද, උන්වහන්සේට සිහිය පැමිණියේ නැත. ඉන් පසු ඒ මගියා උන්වහන්සේට ප්‍රතිකාර කරනු රිසිව තමාගේ පිට උඩ උන්වහන්සේ නංවාගෙන සිය ගමට යෑමට පිටත් විය. එයින් මද වේලාවකට පසු සිහිය ලැබූ උන්වහන්සේ මේ කිමෙක් දැයි සිහි කරනුයේ කරුණු අවබෝධව තමන් වහන්සේට ම මෙසේ අවවාද කරගත්හ.


‘න පිතා නපි තෙ මාතා, න ඤාති නපි බන්ධවො,

කරොතෙතාදිසං කිච්චං, සීලවන්තස්ස කාරණා.

සංවෙගං ජනයිත්වාන, සම්මසිත්වාන යොනිසො

තස්ස පිට්ඨිගතො සන්තො, අරහත්තං අපාපුණි’ති


(මොහු ඔබගේ පියා ද නොවේ. ඔබගේ මව ද නොවේ. සහ ලේ ඥාති ද නොවේ. සිල්වත් බව හේතුකොට ගෙන මෙසේ උපකාර කරයි. මෙසේ සංවේගය උපදවාගෙන එළඹගත් සිහියෙන් යුක්ත වූයේ උන්වහන්සේ ඔහුගේ කරමත දී ම සව් කෙලෙස් නසා උතුම් රහත් භාවයට පත් වූහ.)


භාවිතය


ශීලය යනු, හදවතට එකඟවම ආරක්ෂා කළ යුතු දෙයකි. තව කෙනෙකුට හොවා පෙන්වීම පිණිස හෝ යම් ප්‍රත්‍යයක් අපේක්ෂාවෙන් නුවණැත්තෝ කෙදිනකවත් සිල් නො රකිති. කිසිදු අපේක්ෂාවකින් තොරව යමෙක් සසර බය දැන හැඳින ගෙන ශීලය ආරක්ෂා කරන්නේ නම් බලාපොරොත්තු නො වුව ද, එහි සාංදෘෂ්ටික වූ කල්‍යාණ ප්‍රතිඵල අනිවාර්ය වේ. එය මෙලොව පරලොව දෙලොව යහපත පිණිස ම හේතු වන්නකි. ඒ නිසා නුවණැත්තා තම දිවිය ද දෙවැනි කොට ජීවිත පරිත්‍යාගයෙන් වුව ශීලය ආරක්ෂා කිරීමට පසුබට නො වන්නේය.

චිත්තානුපස්සනාව

 චිත්තානුපස්සනාව:



සිතේ සංවරයට...


අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී

කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


පසුගිය ලිපි මඟින් සතර සතිපට්ඨාන භාවනාවෙන් කායානුපස්සනාව සහ වේදනානුපස්සනාව ගැන සඳහන් කළෙමු. දැන් සඳහන් කරන්නේ චිත්තානුපස්සනාව යි.


චිත්තානුපස්සනාව යනු සිත අනුව බැලීම යි. සිත ක්‍රම වශයෙන් එකක් වුවද සිත බෙදා දැක්වීමේ ක්‍රම හැටියට අසූනවයක් තිබෙනවා. කාමාවචර සිත් පනස් හතර යි. රූපාවචර සිත් පහළොව යි. අරූපාවචර සිත් දොළහ යි. ලෝකෝත්තර සිත් අට යි. චිත්තානුපස්සනාව පිළිබඳ බුදුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයෙන් ක්‍රම දාසයක් වදාළා. මේ දාසයෙන් සිතේ ස්වභාවය පිළිබඳ දැක්වෙයි. සිතේ හටගන්නා පින් පව් පිළිබඳව දීර්ඝ විස්තරයක් චිත්තානුපස්සනාවෙන් බුදුන් වහන්සේ වදාළා. වික්ෂිප්ත මනසක් තිබුණත් සිත අනුව බැලුවොත් පසුව සංවර වෙයි. මෙය අසංවර වූ සිත සංවර කරනා හොඳ ක්‍රමයක්. මේ පිළිබඳ හොඳට දැනීමක් ඇතිකරගෙන මෙම භාවනාව කළ යුතු යි.


බුදුන් වහන්සේ වදාළේ සිතම ආරක්ෂා කරගත යුතු බව යි. දවසක් සිටු මාළිගාවක් අසලින් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වැඩම කළා. මේ සංවර දසුන දුටු සිටු මාළිගාවේ දරුවෙක් තමා කෙතරම් අසංවර දැ’යි සිතුවා. වටපිට බලනවා, උඩ බිම බලනවා, කෑකෝ ගසනවා , නමුත් මේ එකක්වත් ස්වාමීන් වහන්සේ ළඟ නැහැ. අපි අසංවර යි. මේ ස්වාමීන් වහන්සේ සංවර යි. මේ දරුවා එක්තරා දිනෙක ස්වාමීන් වහන්සේගෙන් සංවරකම කෙසේ කළ යුතු දැ’යි විමසා බැලුවා. එහිදී ස්වාමීන් වහන්සේ ගැඹුරු දෙයක් දේශනා කළේ නැහැ. දරුව, ඔබ අද පටන් තණ්හාව, තරහව නැතිව සිතේ සතුටෙන් කෙනෙකුට යමක් දෙන්න. ඉවත නොදමන පිරිසුදු යමක් දෙන්න පුරුදු වන්න. එවිට මේ දරුවා ප්‍රථමයෙන් කෙනෙකුට යමක් දෙන්න පුරුදු පුහුණු කළා. මේ නිසා මොහුගේ සිතේ තිබුණු දැඩි ගතිය අඩු වුණා. මේ නිසා කරුණාව, අනුකම්පාව ආදී දියුණු සිතක් හැදුණා. සිතට බොහෝ ප්‍රිය මනාප ගතියක් දැනුණා. ඉන්පසුව තවත් දිනෙක ස්වාමීන් වහන්සේගෙන් තවත් දෙයක් අසා දැන ගත්තා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනුවෙන් තෙරුවන් සරණ යන්නැ’යි ස්වාමීන් වහන්සේ වදාළා. දැන් මේ දරුවා උදේ, දවල් , රාත්‍රියේ නිබඳවම තුනුරුවන් සරණ යනවා. ඒ නිසා බොහොම සංවරකමක්, ශ්‍රද්ධාවක් මතු වුණා. සිතේ පිරිසුදු කම මතු වුණා. තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති වුණා. ඒ නිසා මේ දරුවා තවත් යමක් ස්වාමීන් වහන්සේගෙන් විමසුවා. එසේනම්, පන්සිල් රකින්නැ’යි වදාළා. දැන් මේ දරුවාන්ගෙන් හොඳින් පන්සිල් රැකුණා. ඉන්පසුව අටසිල් , දස සිල් ආදිය මේ දරුවා ප්‍රගුණ කළා. ඉන්පසුව තවත් යමක් ඇත්දැ’යි මේ දරුවා ස්වාමීන් වහන්සේගෙන් විමසුවා. එවිට මහණ වෙන්නැ’යි වදාළා. මේ දරුවා මහණ වී උපසම්පදා වුණා. එවිට කෝටි ගණනක් ශික්ෂාපද රකින්න අපහසු බව පැවසුවා. නිවසටවිත් පන්සිල්, අටසිල් රැකගෙන ඉන්නා බව ස්වාමීන් වහන්සේට පැවසුවා. ඉන්පසු ස්වාමීන් වහන්සේ මහණ වූ ස්වාමීන් වහන්සේ සමඟ බුදුරදුන් හමුවට පැමිණියා. මේ ස්වාමීන් වහන්සේ ගිහිව හොඳින් සිල් රැක , දැන් ශික්ෂා පද වැඩි නිසා උපසම්පදාව සිතට අපහසු බැවින් නිවසට යා යුතු බව පවසනවා. එහිදී බුදුන් වහන්සේ මහණ, ඔබට එකක් රැකිය හැකි දැ’යි විමසුවා. එහිදී කැමැත්තෙන්ම එකක් රැකීමට පුළුවන් බව පැවසුවා. එසේනම්, මහණ ඔබ අද පටන් සිත නමැති ශික්ෂාපදය රැක ගන්නැ’යි වදාළා. එනම් චිත්තානුපස්සනාව බැලීම යි.


මේ නිසා දන් වළදන්න, සිවුරු පොරොවන්න, ගිලන්පස ගන්න, සේනාසන පරිහරණය, යාම් ඊම්, සියල්ල කළේ සිහිකල්පනාවෙන්. ලෝභ , ද්වේශ, මෝහ පව් සංසිඳුවාගෙන අලෝභ, අදෝශ, අමෝහ සිතිවිලි පිරිපුන්ව උදා පත් වුණා. ගුණ නුවණ හොඳට දියුණු තියුණු වුණා. බෝධිපාක්ෂික ධර්ම හොඳින් වැඩුණා. ශ්‍රද්ධා දී ගුණත් හොඳින් වැඩී ස්වාමීන් වහන්සේ නොබෝ දිනකින් රහත් බව ලැබුවා.


එසේනම් චිත්තානුපස්සනාව කෙතරම් වටිනවා ද? සිත අනුව පමණයි බැලුවේ. සිත අනුවම බලා ඒ ස්වාමීන් වහන්සේ සිතම රැකගෙන රහත් බව ලැබුවා. එසේනම්, ඕනෑම කෙනෙකුට තමන්ගේ සිත අනුව බලමින් වාසය කරන්න පුළුවන්. පංච නීවරණ ආදී පව් හටගන්නේත්, ලෝභ ද්වේශ මෝහ ආදී කෙලෙස් අකුසල මූල හට ගන්නෙත් මේ සිත තුළම යි. විවේකීව වාඩිවෙලා සිතට එන අරමුණු සියල්ල දෙස බැලිය යුතු යි. සිතට එන, දැනෙන සියලු අප්‍රමාණ අරමුණු නුවණින් බැලීම චිත්තානුපස්සනාව යි. සිත සහ සිතිවිලි එකට එකතුවෙන් සිත් උත්පාදනය වෙයි. මේ දෙකේ එකතුවෙන් සිත ක්‍රියාත්මක වෙයි. එසේනම්, කුසල් , අකුසල්, විපාක, ක්‍රියා යනුවෙන් ඒ සියලුම සිත් කොටස් වලට බෙදා දැක්විය යුතු යි. සහේතුක, අහේතුක වශයෙන් මේවා කොටස් කරනවා. අහේතුක, ඒකහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක ඒ සියලුම සිත් එකිනෙක කොටස් වලට බෙදනවා. මෙසේ සිත පිළිබඳ දැනීමෙන් චිත්තානුපස්සනාව ඉදිරියටම දියුණු කළ හැකි යි.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

වේදනානුපස්සනාව - සැප හා දුක් වේදනාව

 වේදනානුපස්සනාව - සැප හා දුක් වේදනාව



අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


සතිපට්ඨාන දේශනය කුරුරට වාසී භික්ෂූන් වහන්සේ තිස්දාහක් අමතා බුදුන් වහන්සේ දේශනා කර වදාළා. ඒ තිස්දාහටම මේ සතිපට්ඨාන දේශනාව තේරුම් බේරුම් කරගන්නට වාසනාව ලැබුණා. වේදනාව දිගටම මෙනෙහි කිරීමෙන් තම සිත පිරිසුදු වෙයි. එය වැදගත් ආනිශංසයක්. ඒ වගේම ඇඬීම, වැළපීම දෙක වේදනානුපස්සනාව මෙනෙහි කිරීමෙන් ඇති ප්‍රයෝජනයක් නැති බව තමන්ට වැටහෙයි. කායික මානසික දුක සංසිදුවා ගන්නට පුළුවනි.


පසුගිය ලිපියෙන් වේදනානුපස්සනාව ගැන නව ආකාරයකින් පැහැදිලි කළා. ඇසෙන් හොඳ දෙයක් දුටුවොත් සැප වේදනාවක්. අසුභ දෙයක් දුටුවොත් දුක් වේදනාවක්. හොඳ මනුස්සයෙක් දුටුවොත් සැප වේදනාවක්. නරක මනුස්සයෙක් දුටුවොත් දුක් වේදනාවක්. තුනුරුවන් ඇදහුවොත් සුඛ වේදනාවක්. කනෙන් බණ ටිකක් ඇසුවොත් සැප වේදනාවක්. කරදරයක් ආවොත් දුක් වේදනාවක්. නාසයෙන් සුවඳක් ආඝ්‍රහණය කළොත් සැප වේදනාවක්. දුර්ගන්ධයක් ආඝ්‍රහණය කළොත් දුක් වේදනාවක්. රස ආහාරයක් අනුභව කළොත් සැප වේදනාවක්. තිත්ත දෙයක් අනුභව කළොත් දුක් වේදනාවක්. සැප ස්පර්ශයක් ලැබුවොත් සැප වේදනාවක්. දුක් ස්පර්ශයක් ලැබුවොත් දුක් වේදනාවක්. සිතට හොඳ අරමුණක් ලැබුණොත් සැප වේදනාවක්. සිතට නරක වේදනාවක් ලැබුණොත් දුක් වේදනාවක්. එසේනම්, මේ ආයතන හයෙන් සැප වේදනාවන්, දුක් වේදනාවන් සහ උපේක්ෂා වේදනාවන් හට ගන්නවා. එවිට කායද්වාර, වාග්ද්වාර, මනොද්වාර යනුවෙන් ද්වාරත්‍රය ක්‍රියාත්මක යි. එයින් ද සැප දුක් හට ගන්නවා. එලෙස කල්පනාකර බැලුවහම කවර ආකාරයකින් හෝ වේදනාවක් හට ගත්තොත්, ඒ වේදනාව සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මැදහත් වේදනාවක් හෝ වෙයි. එවිට බුදුරජාණන් වහන්සේ මේ සෑම වේදනාවක් ම නුවණින් කල්පනාකර බලා වේදනාව මෙනෙහි කරන්නැ’යි උපදෙස් දුන්නා.


වේදනාවට රූපයක් නැහැ. ඒ නිසා එය අරූප වෙයි. එහි ඇත්තේ නාමය පමණයි. එය අරූප භාවනා කර්මස්ථානයක් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කර වදාළා. ස්පර්ශ වශයෙන් හෝ විඤ්ඤාණ වශයෙන් හෝ දේශනා කළේ නම්, මෙතරම් පැහැදිලි වන්නේ නැහැ. සෑම කෙනෙකුටම පාහේ සැප දුක් මැදහත් වේදනා ඇතිවීම ප්‍රකට යි. එවිට වැඩිපුරම දුක් වේදනාවන් සිතට ගතට දැනෙයි. සැප දුක් දෙකම නැත්නම් ඒ අතර ඇත්තේ උපේක්ෂා වේදනාවයි. උපේක්ෂා වේදනා සාමාන්‍යයෙන් අප්‍රකට යි. එවිට අපට මධ්‍යස්ථ වේදනාවක් කවර ආකාරයෙන් පහළ වේදැ’යි සිතීම අපහසු යි. එවිට වේදනාව තම සිතෙහි හෝ ගතෙහි හට ගත්තොත් ඒ වේදනාව අනිත්‍යය යි, දුක්ඛයි , අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න.


සච්චක නිගණ්ඨවාදීතුමාට එය මනාකොට පැහැදිලි කළා. ‘සුඛාපි වේදනා අනිච්ඡා සංකතා පටිච්චසමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා යනුවෙනි. සච්චකය සැප වේදනාව අනිත්‍යය යි. සංස්කරණය කරන සුළු යි. හේතූන් නිසා ඇතිවන සුළු යි. පිරිහෙන සුළු යි. වැනසෙන සුළු යි. නොඇලිය යුතු ධර්මය කි. නිරුද්ධ කළ යුතු ධර්මය කි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ වේදනාව පිළිබඳ මෙනෙහි කළ යුතු ආකාරය පැහැදිලි කර දුන්නා.


වේදනාව අනිත්‍ය ලක්ෂණය පමණක් නොවෙයි, දුක්ඛ ලක්ෂණය , අනාත්ම ලක්ෂණය ආදී ලක්ෂණ තුනට ම යොමු කරමින් බැලිය යුතුයි. සැප වේදනාව පමණක් නොවෙයි. දුක්ඛ වේදනාව, මැදහත් වේදනාව වශයෙන් මෙනෙහි කළ යුතු යි. සැප වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි . දුක්ඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි , උපේක්ෂා වේදනාව අනිත්‍යය යි , දුක්ඛ යි, අනාත්මයි සාමිස සුඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, නිරාමිස සුඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සාමිස දුක්ඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි, නිරාමිස දුක්ඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, සාමිස උපේක්ෂා වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, නිරාමිස උපේක්ෂා වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් වේදනානුපස්සනාව මෙනෙහි කරන ක්‍රමය යි.


එපමණක් නොවෙයි, යම් වේදනාවක් තමන්ට, ශරීරයේ කවර හෝ තැනක දැනුණා නම්, වේදනාව මෙනෙහි කරලා අනිත්‍ය ,දුක්ඛ, අනාත්ම වශයෙන් සලකන්න. එවිට වේදනානුපස්සනා සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. වේදනාවයි, වේදනාව යි යනුවෙන් මෙනෙහි කිරීම සමථ භාවනාවක්. වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කිරීම විදර්ශනාවට වැටෙයි. කළ යුතු වන්නේ විදර්ශනා භාවනාව යි. හේතුව ඇත්ත ඇති සැටියෙන් නුවණින් දැකිය හැකි වීම යි. ගත යුතු කිසිම දෙයක් නැතිබව හොඳින් වටහා ගත හැකි යි. මේ පිළිබඳ හසල දැනුමක් ලබා ගැනීම සඳහා කවුරුත් වේදනානුපස්සනාව පිළිබඳ ඉගෙන ගත යුතු යි. වේදනානුපස්සනාව ගැන මෙනෙහි කළ යුතු යි. කල්පනා කළ යුතු යි. එවිට මේ ශාරීරික සියලු වේදනාවන් හොඳින් දැනකියා ගන්න පුළුවනි.


සාමිස සුඛ වේදනාව පස්කම් නැමැති දේ ඇසුරු කිරීම නිසා, අරමුණු කිරීම නිසා දේහසික සෝමනස්ස වීම නිසා ඇතිවන වේදනාව සාමිස සුඛ වේදනාව යි. එසේම, නිරාමිස සුඛ යනු රූපාදී සය වැදෑරුම් අරමුණු නැවත පංචකාම ගුණයන්ගෙන් නික්මීම සඳහා කටයුතු කිරීමෙන් ඇතිවන්නා වූ වේදනාව යි. එසේම සාමිස දුක, නිරාමිස දුක යනු පස්කම් සැප ඇසුරෙන් ඇතිවන දෝමනස්සය, පස්කම් ගුණයන්ගෙන් වෙන්වීම නිරාමිස යි. පස්කම් සැපයන්ගෙන් ඇලී වාසය කිරීම ‘සාමිස’ දුක යි. සාමිස උපේක්ෂා , නිරාමිස උපේක්ෂා වේදනාව යනු පස්කම් ඇසුරු කිරීමෙන් ඇතිවන සැප නොවූ දුක් නොවූ වේදනාව යි. පස්කම් ගුණයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන සැප නොවූ දුක් නොවූ වේදනාව උපේක්ෂා නිරාමිස වේදනාව යි.


මේ ක්‍රමයට වේදනා නව ආකාරය හොඳට තේරුම් බේරුම් කරගෙන තම දැනුම හැකිතාක් වැඩි කරගන්න. වේදනාව මෙනෙහි කිරීම නිවන් මඟ යි. අනිත්‍ය , දුක්ඛ, අනාත්ම මෙනෙහි කිරීම සුවිශේෂී නිවන් මඟ යි. මේ ගැන දැනගෙනෙ කවුරුත් නිවන් මඟට බැස ගන්න. සම්මා දිට්ඨි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කරුණු අට නිවන් ම ඟ යනුවෙන් ව්‍යවහාර කරනවා. එය තම දිවියට සහ සම්බන්ධ කළ විට නිවන් මඟට බැස ගත්තා වෙයි. වේදනාව මෙනෙහි කර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ විට සෝවාන්, සකෘදාගාමී , අනාගාමී , අර්හත් යන මාර්ග ඵල අවස්ථාවන්ට පත් විය හැකි යි. සෝවාන් සෝවාන් ඵලය, සකෘදාගාමී සකෘදාගාමී ඵලය, අනාගාමී අනාගාමී ඵලය අර්හත් මාර්ග ඵලය යනුවෙන් මාර්ග සතරයි. ඵල සතරයි. නිර්වාණය යි, යන නවලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නට සුදුසු ම භාවනාව වේදනානුපස්සනා සතිපට්ඨානය යි.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

කසි සූත්‍රය

 



 කසි සූත්‍රය  

197

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනවියෙහි දක්‍ෂිණාගිරියෙහි එකනාලා බමුණුගම වසනසේක.

එකල වනාහි කසීභාරවාජ බමුණා විසින් වපුරන කාලයේ පන්සියයක් පමණ නගුල් යොදන ලද්දේ විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව, පාත්‍ර සිවුරු ගෙන කසීභාරවාජ බමුණාගේ කර්‍මාන්ත ස්ථානය යම් තැනෙකද එතැනට වැඩිසේක.

එකල කසීභාරවාජ බමුණාගේ (අහර) වැළඳවීමෙක් විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වළඳවන ස්ථානය යම් තැනෙකද එතැනට වැඩිසේක. වැඩ එකත්පසෙක සිටිසේක.

කසීභාරවාජ බමුණුතෙම පිඬු පිණිස වැඩ සිටි දිටීය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “ශ්‍රමණය, මම් වනාහි (සී) සෑමද කරමි. වැපිරීමද කරමි. (සී) සෑම කොටද, වැපිරීම කොටද වළඳමි. ශ්‍රමණය, නුඹත් සෑමද කරව, වැපිරීමද කරව. සෑමද කොට වැපිරීමද කොට වළඳව” (යි කීය.)

“බමුණ, මමත් සෑමද කරමි, වැපිරීමද කරමි. සෑමද කොට වැපිරීම්ද කොට වළඳමි” (යි වදාළසේක.)

“පින්වත් ගෞතමයන්ගේ වියදණ්ඩක් හෝ නගුලක් හෝ හීවැලක් හෝ කෙවිටක් හෝ ගොනුන් හෝ අපි නොදකිම්හ. එසේ නමුත් භවත් ගෞතමතෙම මෙසේ කියයි: ‘බමුණ, මමත් සෑමද කරමි, වැපිරීමද කරමි. සෑමද කොට වැපිරීම්ද කොට වළඳමි”

ඉක්බිති කසීභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවක් කීය:

“ ‘ගොවියෙක්මි’ යි ඔබ ප්‍රතිඥා කරන්නෙහිය. ඔබගේ (සී) සෑමක් නොදක්නෙමි. අප විසින් විචාරන ලද ඔබ ගොවියෙක් දැයි කියව, ඔබගේ සීය කෙසේ දැන ගන්නෙමුද?”

ශ්‍රද්‍ධාව මගේ බීජය වෙයි. තපස වැස්සය, ප්‍රඥාව මගේ සීයට වියගහ හා නගුලය. ලජ්ජාව (හා භය) ද මාගේ නගුල් කඳය. සමාධිය රැහැන් හෙවත් ලණුය. මාගේ සිහිය සීවැල හා කෙවිටය.

“කාය සුචරිතයෙන්, වාක් සුචරිතයෙන් රක්නා ලද්දේ වෙයි. ආහාරයෙහි ගන්නා ලද සංවර නමැති ගවයා වූයෙම්, උදරයෙහි සංවර වූයෙම් සත්‍යයෙන් නෙලීම කෙරෙමි. අර්හත් ඵල විමුක්තිය මාගේ (සීසෑමෙන්) මිදීමයි.

“බර ඉසිලීමට සමර්‍ථවූ මාගේ වීර්‍ය්‍යය නිර්‍වාණයට අභිමුඛව ගමන්කරමින් යම් තැනකට පැමිණ ශෝක නොකරන්නේද, එතැනට නොනවතිමින් යෙයි.”

“මෙසේ මේ සීය සාන ලදී. ඒ සීය අමෘත ඵල ඇතිවේ. මේ සීය සා, සකල සංසාර දුඃඛයෙන් මිදේ.”

“පින්වත් ගෞතමතෙම වළඳාවා. පින්වත් ගෞතමතෙම ගොවියෙක්නම් වෙයි. යම් හෙයකින් අමා ඵල දෙන්නාවූ යම්බඳු සීයක් පින්වත් ගෞතමතෙම සායිද, එහෙයිනි” යි (කීය.)

“බමුණ, මා ගාථා කියා ලත් කිරිබත් වැළඳියයුතු නොවේ. (අර්‍ථධර්‍මයන්) අර්‍ථ ධර්‍ම දෙක දන්නාවූ (සර්‍වඥවරයන්ගේ) මේ (ගාථා කියා ලද දෙය වැළඳීම) සිරිතක් නොවේ. බුදුවරයෝ ගාථා කියා ලැබූ භෝජනය බැහැර කෙරෙත්. බමුණ, ධර්‍මය පවත්නා කල, මේ ඔවුන්ගේ පැවැත්මයි.

“සියලු ගුණයෙන් යුතු මහාර්ෂිවූ, සන්සුන් පසුතැවීම් ඇති, රහතන් වහන්සේ අන්‍යවූ ආහාරයකින් පානයකින් උපස්ථානකරව. ඔහු වනාහි පින් කැමැත්තාහට කෙතක්වේ.” (යි වදාළසේක.)

මෙසේ වදාළ කල්හි කසීභාරවාජ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් හෝ උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේ හෝ ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ (ඇසූ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද, සංඝයාද සරණකොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි කෙළවරකොට සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා.”

Friday, July 9, 2021

දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක නිමා කරමු




ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ අධි පොසොන් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජුනි 06 වනදා බදාදා

දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක නිමා කරමු
බලංගොඩ දම්වැල්ඕඩය
වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාම පුරාණ රජමහා විහාරාධිපති
ර/බල/වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලයේ
විදුහල්පති,
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි

නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යො අප්ප දුට්ඨස්ස නරස්ස දුස්සතී
සූද්ධස්ස පෝසස්ස අනංගනස්ස
තමේව බාලං පච්චේති පාපං
සුඛුමො රජො, පටිවාතංව ඛිත්තො

“යමෙක් ද්වේෂ නොකරන, වරදක් නොකරන කෙනෙකුට අවැඩක් කරයි නම්, ඒ පාපය ආපසු තමන් කරා පැමිණෙයි. උඩුසුළඟට දැමු දූවිලිමෙන් පෙරළා ආපසු පැමිණේ.”

“අප්පදුට්ඨස්ස” යනු නිදොස් පුද්ගලයා ය. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම අවැඩක් සිදුකරයි ද, එය ‘දොස්’ ලෙස හැඳින්වේ. තමන්ට හෝ අනුන්ට කරදර නොකර දැහැමෙන්, සෙමෙන් කල් යවන්නා නිදොස් පුද්ගලයා ය. ඔහුගේ ලක්ෂණ මැනවින් පෙනේ. පැවැත්ම යහපත් ය. යන එන ගමන බිමන් සන්සුන් ය. තුන්දොර පිරිසුදු ය. අනුන් කෙරේ මෙත් සිත පතුරයි. “සුද්ධස්ස” යනුවෙන් හඳුන්වයි. “අනංගනස්ස” කෙලෙස් නැති තැනැත්තා ය. සසර බැඳ තබන බැමිබිඳ දැමූ නිකෙලෙස් ඇත්තෙකි. එවැනි පිරිසුදු සිත් ඇති අයට දුස්සීල අයෙක් දොස් කීමෙන් ,අවැඩක් කිරීමෙන්, චරිතයට කැළැල් ඇති කිරීමෙන් ඇතිවන පාප කර්මය සුළුපටු නොවේ. ආපසු විපාක හඹා ඒම වැළැක්විය නොහැකි ය. වසර ගණනක සිට කීර්තිමත් වෙමින් ගොඩනඟා ගත් සමාජ පසුබිම දුෂිත වචනයෙන් අපකීර්තියට ඇද දමන්මෝ කවදත් සමාජයේ සිටිති. වචනයෙන්, කයින් කෙනෙකුට අවැඩක් සිදුකිරීමට ගොස් ඒ කර්ම ශක්තිය ආපසු පැමිණ දුක් විඳි චරිත බෞද්ධ සාහිත්‍යයෙන් සෙවිය හැකි ය.

ඉහත ගාථාව දේශනා කර ඇත්තේ ද එවැනි සිද්ධියක් මුල්කර ගෙන ය. නමින් “කෝක” යනුවෙන් නම් දරා සිටි වැද්දෙක් දඩයම් කිරීමේ දී සුනඛයන් පිරිවරා යන බැවින් “කෝක නම් සුනඛ වැද්දා” යනුවෙන් හැඳින්වුණි. දිනක් සුනඛයන් පිරිවරාගෙන දඩයමේ යන වැද්දාට භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට හමුවුණි. භික්ෂූන් වහන්සේ නමක් හමුවුණොත් කිසිම දඩයමක් නොලැබෙන බව ඔහුගේ අදහසයි. එනම් උදයේ ම හෝ ගමනක් ආරම්භයේ භික්ෂුන් වහන්සේ නමක් හෝ හිසමුඩු කරගත් අයෙක් දැකීම කාලකණ්ණි දර්ශනයක් වන බවයි. එවන් දැකීමක් සිදුවුණා යැයි ද, දඩයම් නොලැබෙනු ඇතැයි ද සිතමින් කැළයටම යයි. කැළය පුරා ඇවිද කිසි දඩයමක් නොලත් වැද්දා හිස් අතින් එන ගමනේ දී පිඬුසිඟා ආපසු වඩින භික්ෂුව දකියි. මුලින් මේ කාලකණ්ණියා දැක ගිය නිසා ගවරෝමයක් වත් නොලැබුණි. නැවතත් දුටු බැවින් ගෙදර බතත් නැති වේ යැයි අධික කෝපයක් ඇති කර ගත්තේ ය. ද්වේෂයෙන් රත්ව භික්ෂූන් වහන්සේ දෙසට දඩයම් සුනඛයන් උසි ගැන්විණි. කිසිවක් කර කියාගත නොහැකි වු භික්ෂූන් වහන්සේ ළඟම තිබු අතු පතුර විහිදී ගිය ගසකට ගොඩ වුණි. පොළවේ සිට බඹයක් තරම්වූ උසක් හදිස්සි අවස්ථාවලදි නැගගත හැකි බව විනය නීතියයි. ඒ උපක්‍රමයෙන් සුනඛයන්ගෙන් බේරීමට හැකි වුණි. එහෙත් වැද්දාගෙන් බේරීමට නොහැකිවුණි. සුනඛ රැළ ගසවට සිට බුරති. වැද්දා ඊතලවලින් භික්ෂූන් වහන්සේගේ යටි පතුලට අනියි.අතුමත පා තබන විට ඒ පාදවලට ඊතල’ඟින් අනියි. සිරුර ගිනිගත්තාක් මෙන් වේදනාව දැනුණි. වේදනාවෙන් පාද අතුමත මාරුකරමින් තබද්දී නොදැනුවත්වම සිරුරේ දවටාගෙන තිබුණු සිවුර ගැලවී වැටෙයි. උඩසිට සිවුර වැටුණේ වැද්දාගේ හිස වසාගෙන ය. දඩයම බලාසිටි දඩයම් සුනඛයෝ රැවටිණි. උඩසිටි කෙනා වැටුණේ යැයි සිතා තම ස්වාමියාගේ සිරුර මතට කඩාපැන කන්නට වුණි. සිවුර අස්සෙන් වැදි වැදී කාදමා වැද්දා මැරූහ. භික්ෂුවට දුන් වේදනාවට වඩා වැඩිවේදනා විඳිමින් මරණයට පත්වීමට සිදු වුණේ ය.

මෙම අවාසනාවන්ත සිද්ධියත් සමඟ භික්ෂූන් වහන්සේ විශාල භීතියකට පත්වුණි. සිය දිවියේ පැවිදිවූ තැන් සිට ආරක්ෂා කළ සීලයට හානියක් සිදුවූයේ දැයි දැන ගැනීමට බුදුන් දැකීමට යයි. සියලු සිද්ධිය සවිස්තර කළ භික්ෂුවට බුදුරදුන් වදාළේ තම සීලයට කිසිදු හානියක් සිදු නොවු බවයි. හැම මොහොතේම විශාල පසුබෑමකට පත්වූ සිත සැක දුරු කර ගැනීමට හැකිවුණි. මෙම සිද්ධිය අරමුණු කර ඉහත ගාථාව වදාරා දහම් දෙසූ සේක්. “ද්වේෂ නොකරන පිරිසිදු වූ සිල්වත් කෙනෙකුට ද්වේෂ කරමින්, තිදොරින් සිදුකර ගන්නා අකුසලයට විපාක ලැබෙන බව පෙන්වා දෙමින් පෙර භවවලදී ද එවැනි දේ සිදුකළ ඔහු ජීවිතක්ෂයට පත්වු බව වදාළහ. සසර පුරා කළ පින් ඵලයෙන් අවදිව දහම් නැණැස ඔස්සේ උතුම් රහත් ඵලයට පත්වීමෙන් සිල්වත් භික්ෂූන් වහන්සේ සසර ගමන කෙළවර කර ගත්හ.

මෙම චරිත දෙක හරහා වැදගත් පාඩමක් සමාජ ගත කරයි. පිරිසුදු චරිතයත් අපිරිසුදුවු චරිතයත් සමාජයේ ක්‍රියාත්මක වන අයුරු පෙන්වයි. තමන් සමාදන් වූ ශීලය දිවි දෙවැනිකොට රැක ගැනීමට අධිෂ්ඨානයෙන් කටයුතු කළ සිල්වතුන් වහන්සේ එම තීරණාත්මක අවස්ථාවේ දී බුද්ධ නීතියට පිටුපෑමට නොකැමැති වූහ. බඹයකට වඩා උඩට නැගීමට අකැමැති වුයේ එහෙයිනි. එම නික්ලේශී චරිතය පැසසුමට ලක්වේ.උදර පෝෂණය ජීවිතයේ පළමු කාර්ය කරගත් අපිරිසුදු මානසික මට්ටමක සිටි වැද්දා සිල්වතුන් වෙනුවෙන් ද්වාරත්‍රය අපිරිසුදුව තබා කටයුතු කිරීමෙන් දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක ලැබුණ බව පැහැදිලි ය. වැරැදි නොකරන මෙත් සිත පෙරටු කොට උභයාර්ථය සකසා ගැනීමට උත්සුක වන සිල්වතුන්ට ගර්හා කිරීම, චරිත කැළැල් ඇති කිරීම, දුක්දීම,පදබැඳීම, මෙලොව දී ම ප්‍රතිවිපාක ලැබෙන බව සමාජයට කියාදෙන්නේ කර්මයේ ප්‍රබලත්වයයි.

උසස් මනසක් උරුම කර ගෙන ජනිත වූ මිනිසාට විවිධ හැකියා පිහිටා තිබේ. විද්‍යා හා තාක්ෂණ ලෝකයේ ඉහළ හිනිපෙත්තට මිනිසා අද නැග තිබේ. ඒ මනසේ දියුණුව තාක්ෂණ පැත්තට යොමුකර ඇති හෙයිනි. එමගින් උපකරණවල දියුණුව ඉහළගොස් ඇත. බුදුවරු මනස යොමුකරන්නේ අධ්‍යාත්මික අංශයට ය. එමගින් අනවරාර්‍ග¡ සසර දුක් නිමා කර සිතේ නිවීම ඇති කරවයි.

තුන් දොර සංවරකර ගෙන සැහැල්ලු ජීවිතයක් ගොඩනගා වැරැදි අඩුකර නිවැරැදි දේ තේරුම් ගැනීමට ඉහත දේශනාව ආදර්ශයට ගැනීමට උත්සාහ වන්න. පහත් සිතිවිලි උත්පාදනයට ඉඩ නොදී උසස් සිතිවිලි මතුකර ගෙන දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක් කෙළවර කර ගැනීමට ලැබූ මිනිස් දිවිය හසුරුවා ගන්න.

Sathi pattana

 


වේදනානුපස්සනාව

වේදනාව ජයග්‍රහණයක් කරගන්න

සතිපට්ඨාන යනු සිහි එළඹීම යි. එනම් සිහි නුවණින් බැලීම යි. යමක් දෙස, සත්ත්වයා , පුද්ගලයා , ආත්ම වශයෙන් බැලීම නොවෙයි. ඒ දෙස සිහි නුවණින් බැලුවොත් සත්ත්ව, පුද්ගල , ආත්ම, සංඥා සියල්ල බැහැරව යයි. එයම නිවන් මඟට මහෝපකාරී වෙයි.

පසුගිය ලිපි පෙළෙන් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව ගැන සඳහන් කළෙමු. අද සඳහන් කරන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ වේදනානුපස්සනාව යි. වේදනානුපස්සනාව පිළිබඳ ව ලොවුතුරා බුදුරජාණන් වහන්සේ විවිධාකාර ස්ථානයන්හි දී දේශනා කර වදාළා. සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව වශයෙන් වෙනම කාණ්ඩයක් ගෙන හැර දැක්වූවා. වේදනාව අනුව බැලීම, වේදනා - අනුපස්සනා නම් වෙයි. ශරීරයට දුක් වේදනාවක් වැඩිපුර ලැබෙනවා. සැප වේදනා අඩුයි. මධ්‍යස්ථ වේදනාත් අඩුයි. කායික වේදනා, මානසික වේදනා යනුවෙන් වේදනාව දෙවදෑරුම් වෙයි. සියලු ම වේදනාවන් කායික දුක් ලෙසත්, සිතට දැනෙන වේදනාවන් මානසික දුක් වේදනාවන් ලෙසත් සඳහන් කරනවා.

වේදනාව ගැන අපට අමුතුවෙන් වැඩි විස්තර කිව යුතු නැහැ. වේදනාව ගැන කාටත් පැහැදිලි යි. සැප සහ දුක්ඛ වේදනාව යනුවෙන් ප්‍රධාන වශයෙන් කොටස් දෙක යි. එය උපේක්ෂා වේදනාව යනුවෙන් ද සඳහන් වෙයි. එවිට සුඛ වේදනාව, දුක්ඛ වේදනාව , උපේක්ෂා වේදනාව යනුවෙන් තෙවැදෑරුම් වෙයි.

එයට ආමිස, නිරාමිස යනුවෙන් තවත් දෙකොටසක් එකතු කර ගත යුතු යි. ආමිස වේදනාව ලෞකික යි. නිරාමිස වේදනාව ලෝකෝත්තර යි. වේදනානුපස්සනාව නව ආකාරයකට සඳහන් වෙනවා. සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව යි, සාමිස සුඛ වේදනාව, නිරාමිස සුඛ වේදනාව, සාමිස දුක්ඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව, සාමිස උපේක්ෂා වේදනාව හා නිරාමිස උපේක්ෂා වේදනාව යි.

සිතේ ඇතිවන කල්හි එම වේදනාවන් මෙනෙහි කිරීම වේදනානුපස්සනාව වෙයි. ඒ තත්ත්වයත් හොඳින් වටහාගෙන, වේදනාවේ තත්ත්වයත් හොඳට තේරුම් බේරුම් කරගෙන වේදනානුපස්සනා භාවනාව මෙනෙහි කරමු. ඒ වේදනාව විටක සැප වේදනාවක් විය හැකියි. තවත් විටක දුක් වේදනාවක් විය හැකි යි. ඒ නිසා වේදනාව, වේදනාව යි, වේදනාව යි. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

බුද්ධ කාලයේ පිණ්ඩපාතයේ වැඩම කළ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දරුණු කායික වේදනාවට පත් වුණා. උන්වහන්සේ අවුරුදු දොළහක් ම එකම නිවසින් දානය වැළඳුවා. කොසොල් මහ රජතුමා ඒ නිවසේ හිමිකරුට මැණික් ගලක් ඔප මට්ටම් කරන්න දුන්නා. ඔහු මේසය මත මැණික් ගල තබා මුළුතැන්ගෙට පිවිස නැවත පැමිණෙන විට මේසය මත තැබූ මැණික් ගල නැහැ. නිවසේ ඇතිකරන ගිජු ලිහිණියා මේ මැණික් ගල ගිල තිබුණා. මේ ගෙහිමියා සැක කළේ ස්වාමීන් වහන්සේ යි. ඒකාන්තයෙන් මැණික් ගල ගන්න ඇත්තේ ස්වාමීන් වහන්සේ යි. ඔහු ඇසුවා , ස්වාමීනි, මා මැණික් ගල මේසය මත තැබුවා. නමුත් දැන් එය නැහැ. ඔබ වහන්සේ ම තමයි මේක ගන්න ඇත්තේ. නැහැ, උපාසක තුමනි, මා එය ගත්තේ නැහැ. එය මට අවශ්‍ය නැහැ. එවිට උපාසකයා, ස්වාමීන් වහන්සේට තරවටු කරමින් ඇසුවා. ඒත් පෙර දුන් පිළිතුර ම දුන්නා. මේ නිසා උපාසකයා වෙළුමක් දමා භික්ෂුන් වහන්සේගේ හිස තද කළා. මේ නිසා ඇස්, කන්, නාසාදී පුපුරා රුධිරය ගලන්න පටන් ගත්තා. සිවුර තෙත බරිත කරමින් ගලා ගිය රුධිර ධාරාව නිවසේ ඇති කළ පක්ෂියා බොන්න පටන් ගත්තා. කෝප වුණ ගෙහිමියාගේ පා පහරින් ඒ සතා මරණයට පත් වුණා. එහිදී පක්ෂියා මළ බව දැන ගත් ස්වාමීන් වහන්සේ , සතාගේ උදරය පළා බලන්නැ’යි වදාළා. එවිට මැණික් ගල ලැබුණා. ගෙහිමියා ලේ විලක් මැද වැඳ වැටී භික්ෂූන් වහන්සේගෙන් සමාව අයැදුවා.

එහිදී ස්වාමීන් වහන්සේ , අතීත සංසාරයෙත් මා මෙවැනි වරදක් කරන්න ඇති. මේ දුකම යි මට ලැබුණේ යනුවෙන් ස්වාමීන් වහන්සේ කායික දුක්ඛ වේදනාව මෙනෙහි කළා. වේදනාවයි, වේදනාවයි, එය අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි යනුවෙන් වේදනාව හට ගන්නා ආකාරය, නැතිවන ආකාරය සියල්ල ම නුවණින් මෙනෙහි කළා. ඒ නිසා තමන් වහන්සේට විදර්ශනා නුවණ පහළවීමත්, මහ රහත් භාවයට පත්වීමත් එකවරම සිද්ධ වුණා. එය වේදනා පස්සනාවට සිත යොමුකර, වේදනාව මෙනෙහි කිරීම යි.

බොහෝ ස්වාමීන් වහන්සේ අතර කතාවක් ඇති වුණා, මේ ස්වාමීන් වහන්සේ අපාගත වෙන්න ඇති යනුවෙන්. එහිදී බුදුන් වහන්සේ දේශනා කර වදාළේ, ‘මහණෙනි, ඒ භික්ෂුව අපායට ගියෙත් නැහැ. මැරී ඉපදුණෙත් නැහැ. දෙව්ලොව, බඹලොව ගියෙත් නැහැ. එහෙමනම් කොහේ ගියේ දැ’යි භික්ෂු පිරිස භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළා. ‘මහණෙනි, ඒ භික්ෂුව තථාගතයන් වහන්සේගේ කියමන අකුරටම ඉටු කළා. කුමක්ද ස්වාමීනි, අකුරට ම ඉෂ්ට කිරීම? වේදනාව ලැබුණු වේලාවේ එය මෙනෙහි කිරීම යි, අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් වටහාගෙන රහත් බවට පත්වුණා යනුවෙන් ශාස්තෘන් වහන්සේ වදාළා.

එසේනම්, තමන්ටත් කායික මානසික වේදනාවන් දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට වේදනාව තිබුණු තැන සිත පිහිටුවා ගෙන වේදනාව මෙනෙහි කරන්න. හිසේ වේදනා, බඩේ වේදනා, දණහිස් වේදනා, ඇඟපත වේදනා ආදිය තිබේනම්, ඒ ස්ථානයේ සිත පිහිටුවා ගන්න. යම් ප්‍රශ්නයක් නිසා සිතට වේදනාව දැනුණොත්, වේදනාව මෙනෙහි කළ යුතු යි. ‘වේදනාව යි, වේදනාව යි, වේදනාව මම නොවෙයි, මගේ නොවෙයි, මගේ ආත්මය නොවෙයි, ඒ නිසා වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි’ යනුවෙන් වේදනාව මෙනෙහි කරමින් ඉදිරියට යන්න. එවිට තමන්ට වේදනාවෙන් ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. කලබල වෙන්න හොඳ නැහැ. වේගවත් වෙන්න හොඳ නැහැ. හිමිහිට ම අත් විඳින්න. මධ්‍යම ප්‍රමාණයෙන් වේදනාව හොඳින් මෙනෙහි කරන්න. වේදනාව හට ගැනීම, වේදනාව පැවතීම, වේදනාව නැතිවීම යි. එය උප්පාද, ථිති, භංග නම් වෙයි. ඒ අවස්ථා තුන දෙස හොඳට බලාගෙන මෙනෙහි කරද්දී, තමන්ට වේදනානුපස්සනාවෙන් යම්කිසි ජයග්‍රහණයක් ලැබිය හැකි යි. එසේනම්, වේදනානුපස්සනාව දුක් සහගත විය හැකි යි. මධ්‍යස්ත විය හැකි යි. සැපදායක විය හැකි යි. කෙසේ වෙතත් වේදනාව හොඳට හඳුනාගෙන තමන්ගේ කටයුතු ටික හොඳට ඉදිරියට ගෙන යන්න අවශ්‍යය යි.

සිතුල්පව්වෙහි මෑත කාලයේ එක්තරා භාවනායෝගී භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ බොහොම සිල් ගුණ දියුණු කරමින් කටයුතු කළා. උන්වහන්සේට උදරයේ වේදනාවක් හට ගත්තා. එහෙට මෙහෙට හැරෙමින් වේදනාව උහුලා ගන්න බැරිව සිටියා. තව ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ නිබඳව භාවනා කරනවා. වේදනාව ඉවසා ගන්න බැරි මොකද? යනුවෙන් විමසුවා. එවිට, උන්වහන්සේ සිත දැඩිකරගෙන උදරයේ ඇතිවුණු වේදනාව උහුලාගෙන කටයුතු කළා. වේදනාවෙන් උදරය පැලී බඩවැල එළියට එනතුරා ඉවසා සිටියා. මෑත කාලයේ එතරම් ඉවසූ භික්ෂූන් වහන්සේ නමක් ගැන සඳහනක් නැහැ. මරණයත් , රහත් වීමත් දෙක එකටම සිද්ධ වුණා.

මේවා තමන්ගේ සිතට, කයට දැනෙන වේදනාවන්. මේ ගැන හොඳට දැන කියාගෙන සිහි කල්පනාවෙන් ම වේදනාව හොඳට මෙනෙහි කළ යුතු යි. විවේක වන සිත අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලිය යුතු යි. සිතේ පහළවන චෛතසික අනිත්‍යය, දුක්ඛ, අනාත්ම වශයෙන් බැලිය යුතු යි. එවිට ගැඹුරු විදර්ශනාවකට බැසගත හැකි යි. තමන්ගේ වේදනාව තිබෙන තැන වේදනාවයි, යනුවෙන් මෙනෙහි කර වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කිරීමත් හොඳටම ඇති. තමන්ගේ දරුවන්ටත් ඒවා දියුණු තියුණු කළ හැකි යි. සැප වේදනාව වුවද ඒ වේදනාවේ තරම දැන කියාගෙන එකක් පාසා මෙනෙහි කළ යුතු යි. දුක් වේදනාව ද හට ගත්තේ කෙසේද? ඒ සිත, චෛතසික මෙනෙහි කළ හැකි යි.

පුරාතන උතුමන් වේදනාව ගැන පමණක් ම මෙනෙහි කළා. කායික වේදනා, කායික සුඛ වේදනා, මානසික දුක්ඛ වේදනා, මානසික සුඛ වේදනා, මෙනෙහි කළා. වේදනාවක් නොදැනේ නම්, මධ්‍යස්ථ වේදනාවෙන් සිත මෙනෙහි කරනවා. ඒ මඟින් සිත දියුණු කළ හැකි යි. එවිට තණ්හාව, තරහව, ඊර්ෂ්‍යාව , මාන්නය, උඩඟුබව, සිතට එන්නේ නැහැ. ඒ පාපී සිතිවිලි යටපත් වෙනවා. තමන්ගේ වේදනාව පමණක් ඉස්මතු කර ගන්න. එය සුබ ආරම්මණයක් ලෙස දිගට ගෙනියන විට වේදනාව යටපත්ව තමන්ගේ නුවණ දියුණු වෙයි. එය අවංක භක්ත්‍යාදරයෙන් ම සිදු කළ යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම හොඳින් වටහා ගන්න. තමා සැප වේදනාවක් විඳින්නේ? තමා දුක් වේදනාවක් විඳින්නේ? තමා උපේක්ෂා වේදනාවක් විඳින්නේ? යනුවෙන් මේ අවස්ථා තුන තේරුම් බේරුම් කරගත යුතු යි. සිතේ වේදනාවක් නම් මා මේ වේලාවේ සිතේ වේදනාවෙන් පසුවන්නේ. කායික වේදනාවක් නම්, මම කායික වේදනාවෙන් පසු වන්නේ. යනුවෙන් මෙනෙහි කරන්න. එයම වේදනානු පස්සනාව වශයෙන් ම දියුණු කිරීමෙන් චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයට මඟ සැලසෙයි.


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...