බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරමාර්ථ ධර්මයක් ලෙස අවබෝධ කොටගත යුතුමය. බුදුරජාණන් වහන්සේගේ දහම නම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය ධර්මය නම් බුදුරජාණන් වහන්සේයි.
ඒ අදහස් පෙළ ඔස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පළමුවැනි ආර්ය සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව ඉතාමත් කෙටියෙන් හා සරලව විවරණය කර ගනිමු.
දුක්ඛ හෙවත් ‘දුක’ ආර්ය සත්‍යයක් හැටියට දකින්නේ කෙසේ ද? මෙහි දී ‘ධම්මචක්කපවත්වන’ සූත්‍රයෙහි සඳහන් ධර්ම කොට්ඨාසය උපුටාගත හැකියි. එය මෙසේ දක්වමු. ‘ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං නලබති තම්පි දුක්ඛං සංඛිත්තේන පංචුපාදනක්ඛන්ධා දුක්ඛාති’.
ආශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයාට ඉහත සඳහන් කළ දුක, දැනුමට හසුකර ගත හැකි ය. ධාතු ස්කන්ධ ආයතනයන්ගේ නොසංසිඳීම දුකය. එනම් සසර පැවැත්ම, ඉපදීම, භවය දුකක් ය. දිරාගෙන යෑම හෙවත් ජරාවටපත්වීම දුකක් ය. ව්‍යාධිය හෙවත් ලෙඩවීම දුකක් ය. මරණය ද දුකක් ය. අප්‍රියයන් හා එක්වීම ද දුකක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක ය. කැමැති දෑ නොලැබීම දුක ය. එනම් පංචඋපාදානස්කන්දය ම දුකක් ය.
මහා වග්ග පාලියෙහි ධම්මචක්කපවත්වන සූත්‍රයට අනුව මේ දුකෙහි කතාව ආර්ය සත්‍යයක් ආකාරයෙන් දකින්නේ කෙසේ දැයි විමසා බැලිය යුතුයි..
ඉපදීම දුකක් ද? එනම් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ඉපදීම දුකක් හැටියට දැක ගන්නේ කෙසේදැයි, ආර්ය සත්‍යයක් හැටියට දැක ගන්නේ කෙසේ දැයි වටහා ගත යුතුවේ. ඉපදීම, ලෙඩවීම, දිරාගෙන යෑම, මරණය ආදී මේ ජීවිතයේ පවත්නා දුක්වලට මුහුණ දෙන්නට සිදුවන බව සැබෑ ය. ඉපදීම ආර්ය සත්‍යයක් හැටියට දකින්නට නම් අරමුණු කීපයකින් දුක පිළිබඳව විමසා බැලිය යුතු ය.
පළමු අදහස නම් උපතක් ලබන්නේ මනුෂ්‍යයෙක් හැටියට ම පමණක් නොවීමයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව කර්මානුරූපව සියලු සත්ත්වයන්ට ඉපදිය හැකි ස්ථාන තිස් එකකි. එනම් සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය, රූපාවචර බ්‍රහ්මලෝක දහසය සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර යන තිස් එකයි. මේ උප්පත්ති ස්ථාන තිස් එකෙන් සියලු සත්වයෝ වැඩිපුරම උපත ලබා ඇත්තේ සතර අපායේ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළහ. ඒ අනුව උපත දුකක් බව තේරුම්ගත යුතු පළමු පියවරයි.
එසේ නොමැති වූවහොත් සාමාන්‍ය පුද්ගලයකුට සිතෙන්නේ දිව්‍ය ලෝකයක ඉපදීම, බ්‍රහ්ම ලෝකයක ඉපදීම, මනුෂ්‍යයෙක් වී සියලු සැප සම්පත් ලබා ගැනීම සැපතක් නොවේ ද යන්නයි. ලෞකික සැප වශයෙන් මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක ඉපිද එහි කෙළවර නැවතත් දුකකට ම පත්විය හැකි බව සම්බුද්ධ දේශනාවෙහි සඳහන් වේ.
එනමුත් වඩා නුවණින් සිතා බැලිය යුතු දහම් අදහස නම් සියලු සත්ත්වයෝ අතීත සංසාර ගමනේ, වැඩිපුරම එනම් කල්ප ගණනාවක් උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායෙහි ම බව ය.
මේ අදහස ඔස්සේ ඉපදීම දුකක් බව අවබෝධ කොට ගත යුතු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අනවතග්ග සංයුක්තයෙහි’ සූත්‍ර රාශියෙහි ම දේශනා කොට ඇත්තේ, “නුඹලා හැම කෙනෙක් ම අතීත සංසාර ගමනෙහි දීර්ඝ කාලයක් දුක්විඳ ඇත්තෝය.’ යනුවෙනි. මේ අදහස් පෙළ අනුව ඉපදීම දුකක් බව තේරුම්ගත යුතු වන්නේ ය.
ඉන් අනතුරුව දිරාගෙන යෑම, ලෙඩ දුක්වලට පත්වීම, මමය මාගේ ය යන සම්මුතියෙහි පවත්නා සියලු බැඳීම් කෙළවර කොට මරණයට පත්වීම, ජීවත්ව සිටින කාලය තුළ අප්‍රියයන් හා එක්ව වාසය කිරීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, යමක් කැමැති නම් ඒ දෑ නොලැබීම මේවා සාමාන්‍ය දුක් හැටියට තේරුම් ගත හැකියි.
මේ සඳහන් කරන සාමාන්‍ය දුක් පවා, දුකක් හැටියට නොගන්නට නම් දුක ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කොට ගත යුතුමයි. ඒ කෙසේ ද? පඨවි ආදී ධාතූන්ගෙන් සමන්නාගත සවිඤ්ඤාණඛ, අවිඤ්ඤාණක මේ වස්තූන් ආශ්‍රැතවත් පෘතග්ජන ලෝකයා විසින් ‘මම ය මාගේ ය’ යන දැක්මෙන් යුක්තව සිතින් දැඩිව අල්ලා ගනී. උපාදානය කර ගනී.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ හෙවත් තද ගතිය, වැගිරෙන බව, උෂ්ණය, වායුව නම් වූ සතර මහා ධාතූන්ගෙන් සකස් වූ මෙම වස්තූන් සංඛත ලෙස හඳුන්වමු. මේ සංඛත වස්තූන් ස්ථිරයි. සදාකාලිකයි. සැපයි යන අදහසකින් සිතින් දැඩිව ගැනීම කාමයන් හි බැඳීමක් හැටියට සඳහන් කළ හැකියි.
එනම් මේ වස්තූන් ඉටු වඩන, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත්, ඇලුම් කරන ආදී වූ පංචකාම ගුණයෙන් යුක්තව සිතින් දැඩිව ගැනීමයි. එහෙත් මේ සංඛතයේ ස්වභාවය නම්, හට අරගෙන බිඳී නැතිව යෑමයි. එහි පවතින්නේ කය සහ වය ධර්මතාවයයි. එනම් ක්ෂයවීම හා වැයවීමයි. තවදුරටත් සඳහන් කළොත් ඇති වී, බිඳී නැතිව යන ස්වභාවයයි. වෙනස්වන වස්තූන් නිත්‍යකොට සලකා එම වස්තූන්හි තදින් ඇලීම අස්වාද හෙවත් ආස්වාදයක් කොට ගනී. එම සංඛත වස්තු වෙනස්ව යන විට එනම් විපරිනාමයට පත්වන විට අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා එය පිළිගන්නට සිත පුරුදුකොට නොමැතිවීම නිසා ශෝක කරන්නට, වැළපෙන්නට, ළයේ අත්ගසා ගන්ට, ක්ලාන්ත වෙන්නට, මුලාවට පත්වෙන්නට පටන් ගනී. සාමාන්‍ය ලෝකයා මෙය හඳුන්වා ගන්නේ දුක්විඳීමක් හැටියට ය. මෙය ආර්ය සත්‍යයක් හැටියට දැක ගැනීමට නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් හැම වස්තුවක් ම, පඨවි ආදී වූ හේතුප්‍රත්‍යයන්ගේ විසිරීමෙන්, බිඳීයෑමෙන් නාමය ද වස්තුව ද, බිදී යන බවත් නැතිවී යන බවත් තේරුම්ගත යුතුයි.
ලෝක ස්වභාවය එය බව නුවණින් දකින විට ශෝක කරන්නට, හඬන්නට, වැළපෙන්නට, ළයේ අත්ගසා ගන්නට, ක්ලාන්තවෙන්නට, මුලාවෙන්නට හේතුවක් නොමැත. භාග්‍යවතුන් වහන්සේ ‘සංඛිත්තේන පංචු උපදානක්ඛන්දා දුක්ඛති’ යනුවෙන් දේශනා කළහ. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පංචකයම දුකක් බව දේශනා කළහ. එසේ නම් ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධයක් ඇතිකොට ගත යුතුමයි. ආර්ය සත්‍යයක් හැටියට තේරුම් ගත හැකි වන්නේ එවිටයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ‘රූපය’ පෙනපිඬුවක් හැටියටය. ‘වේදනාව‘ දිය බුබුළක් හැටියටය. ‘සංඥාව‘ මිරිඟුවක් හැටියට ය. ‘සංඛාර’ අරටුවක් නැති කෙසෙල් ගසක් හැටියට ය. ‘විඤ්ඤාණය’ – මායාවක් හැටියට ය. එසේ නම් ස්කන්ධ පංචකය වරදවා ‘මම ය මාගේ’ යන දෘෂ්ඨියෙන් අල්ලා ගැනීමෙන්, ඒවායෙහි විපරිනාමය හා සමගින් එනම්, ත්‍රිලක්ඛනයට යටත්වීම සමගින් ඒ පිළිබඳ අවබෝධයක් නැති අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා තම සිතෙහි දුක උපදවා ගනී. රූප, ශබ්ද ආදී කිසිදු ආරම්මනයක දුකක් නොමැත එහෙත් අනවබෝධයෙන් යුතු පුද්ගලයා තමන් කැමැති අරමුණ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් සිතෙන් දැඩිව ගනී. ඒවා වෙනස්වන විට දුක උපදවා ගනී. අකැමැති අරමුණෙහි ගැටීම නිසාත්, තමන්ට කැමැති දේ කැමැති ආකාරයට සිදු නොවීම නිසාත් දුක උපදවා ගනී. අවසන් වශයෙන් මේ සියල්ල ම සාරාංශ කොට දුක්ඛ, දුක්ඛ විපරිනාම දුක්ඛ, සංඛාර දුක්ඛ වශයෙන් අපි විස්තර කර ගනිමු.
දුක්ඛ දුක්ඛ හැටියට දක්වන්නේ මුලින් අප සඳහන් කළ ඉපදීම, දිරාගෙන යෑම, 1ලෙඩදුක් මරණය ආදී සාමාන්‍ය දුකයි. විපරිනාම දුක්ඛ හැටියට දක්වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට අරගෙන පවත්නා වූ, හේතු ප්‍රත්‍යයන්ගෙන් හට අරගෙන බිඳී නැතිව යන්නා වූ සංඛත ධර්මයන් හි ඇති යථා ස්වභාවය අවබෝධ නොකර ගැනීම නිසා ඇතිවන වෙනස් වීමේ දුකයි. සංඛාර දුක්ඛ නම් පංච උපාදානස්කන්දය පිළිබඳව පරමාර්ථ ධර්ම වශයෙන් අපි අවසන් වශයෙන් සඳහන් කළ ආකාරයෙන් තේරුම් නොගැනීම නිසා ඇතිවන්නා වූ දුකයි.
මේ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පළමුවැනි ආර්ය සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍යය, ආර්ය සත්‍යයක් හැටියට ම දැක ගැනීමෙන් තොරව සියලු කෙලෙසුන් හි ප්‍රහාණය හෙවත් නිර්වානාවබෝධයට මාර්ගය සකසා ගත නොහැකියි.
දුක පිළිබඳව සඳහන් කරන්නේ දුක්විඳීමට නොව දුකෙන් නිදහස්වීමට බව අප විසින් තේරුම්ගත යුතුමයි. එවිට දුක දුකක් නොව දුක ගැන දැන ගැනීම සැපතට හේතුවක් බව, නිවනට ම හේතුවක් බව අවබෝධකොට ගත හැකි වන්නේ ය.
- දීපා පෙරේරා