Thursday, May 13, 2021

Na Uyane Ariyadhamma Thero

 


මෛත්‍රී භාවනාව – 12 කොටස – මෛත්‍රිය පැතිරවීම

 මෛත්‍රී භාවනාව – 12 කොටස – මෛත්‍රිය පැතිරවීම – පටිසම්භිදාමග්ගපාළිය අනුව



Apr 5, 2021 | සිත නිවන භාවනා | 0 


මෛත්‍රී භාවනාව – 12 කොටස – මෛත්‍රිය පැතිරවීම – පටිසම්භිදාමග්ගපාළිය අනුව

මෛත්‍රී භාවනාවෙන් සීමා සම්භින්දනය කොට හිත අහිත මැදහත් සෑම පුද්ගලයෙකුට ම එක සේ මෙත් සිත පැවැත්විය හැකි වේ නම් සිත ප්‍රථම ධ්‍යානයෙන් අර්පණාවට පැමිණෙන බව ඉහත පැහැදිලි කරන ලදී. පළමුව තමන්ට මෙත් සිත පවත්වා අනතුරුව හිතවත් සම්භාවනීය පුද්ගලයාගේ පටන් අහිතවත් පුද්ගලයා දක්වා මෙත් සිත පවත්වා පුරුදු කරන ලද යෝගියා සියලු හිත අහිත මැදහත් පුද්ගලයන් අරමුණු කර මෛත්‍රිය වඩයි. එයින් සම සේ මෙත් සිත පැවැත්විය හැකි වන පරිදි සීමා සම්භින්දනය වේ නම් සිත ප්‍රථම ධ්‍යානයට පත් වේ. අනතුරුව ඒ මෙත් සිත නැවත නැවත පරිශීලනය කරමින් ශක්තිමත් කරගෙන දෙවන තෙවන ධ්‍යානයන්ට ද පැමිණිය හැකි වේ.


මෛත්‍රියෙන් ප්‍රථම ධ්‍යානය උපදවන ලද යෝගියා එම ධ්‍යානයෙන් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ. ඒ අනුව විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා යන අංගවලින් සමන්වාගත බව හඳුනාගත හැකි වේ. මෙහි දී ද ඉහත ආනාපානසති භාවනාවේ දී පැහැදිලි කළ ආකාරයට ධ්‍යාන වශී භාවයට පත් කර ගන්නේ නම් වඩාත් සුදුසු වේ.


ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිට අංග ප්‍රත්‍යවේක්‍ෂා කර විතක්ක, විචාර නොමැති ද්විතීය ධ්‍යානයට සම වැදිය යුතු වේ. ප්‍රථම ධ්‍යානය ඉපදවීමට අරමුණු කරන ලද පුද්ගලයා ම අරමුණු කරගෙන විතක්ක, විචාර රහිත ද්විතීය ධ්‍යානයට සම වැදිය යුතු වේ. නැවත එයින් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කර එම පුද්ගලයා ම අරමුණු කරගෙන පීති රහිත සුඛ ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යානයට සම වැදිය හැකි වේ. මෙසේ මෛත්‍රී භාවනාවෙන් ප්‍රථම, ද්විතීය සහ තෘතීය ධ්‍යානයන්ට පැමිණිය හැකි අතර චතුර්ථ ධ්‍යානය ඉපදවිය නො හැකි වේ.


මෛත්‍රී භාවනාවෙන් අර්පණා සමාධිය උපදවන ලද යෝගාවචරයාට පටිසම්භිදාමග්ගපාළියෙහි දක්වන ලද ආකාරයට පස් ආකාරයකට අවධියක් නැතිව (අනොධිසො) හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව මෛත්‍රී ධ්‍යානය ඉපදවීම ද, සප්තාකාරයකට අවධියක් සහිතව (ඔධිසො) මෛත්‍රී ධ්‍යානය පැතිරවීම ද, දශ ආකාරයකින් දිශා වශයෙන් මෛත්‍රිය පැතිරවීම ද දත යුතු වේ. මේ සියල්ල මෛත්‍රී ධ්‍යානය උපදවන ලද යෝගියාට පමණක් ම සමෘද්ධමත් වේ.


සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු පුද්ගලයන්, සියලු ආත්මභාව පර්යාපන්නයන් යනුවෙන් ආකාර පසකට මෙත් වැඩීම කළ හැකි බව පටිසම්භිදාමග්ගපාළිය දක්වයි. ඒ අනුව සියලු සත්ත්වයන් අරමුණු කරමින් ‘වෛර නැත්තෝ වෙත්වා’ යනාදි ක්‍රමයෙන් මෙත් වැඩීම කළ හැකි වේ. නැවත් සියලු ප්‍රාණීන් අරමුණු කළ හැකි වේ.


ඒ අනුව ‘වෛර නැත්තෝ වෙත්වා’ (අවෙරා හොන්තු) යන එක් පදයකින් සියලු සත්ත්වයන්ට මෙත් වැඩීම කළ හැකි වේ. ‘සත්ත්ව’ ශබ්දයෙන් ඉතිරියක් නැතිව සියලු ම සත්ත්වයන් අරමුණු කරනු ලැබේ. එසේ ‘සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි මෙත් වඩා සිත ප්‍රථම ධ්‍යානයෙන් සමාධිමත් කර ගෙන එයින් ද්විතීය, තෘතීය ධ්‍යානයන් ද උපදවා ගත හැකි වේ.


අනතුරුව ‘නිරෝග වූවෝ වෙත්වා’ (අව්‍යාපජ්ඣා හොන්තු) යන දෙවන පදයෙන් ද මෛත්‍රිය උපදවාගත හැකි වේ. ඒ අනුව ‘සියලු සත්ත්වයෝ නිරෝග වූවෝ වෙත්වා’ යැයි මෙත් වඩා පෙර කී ආකාරයෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.


අනතුරුව ‘නිදුක් වූවෝ වෙත්වා’ (අනීඝා හොන්තු) යන තෙවන පදයෙන් මෙත් සිත පැවැත්විය හැකි වේ. එසේ ‘සියලු සත්ත්වයෝ නිදුක් වූවෝ වෙත්වා’ යනුවෙන් ද මෙත් වඩා ඉහත කී ආකාරයෙන් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යානයන් උපදවා ගත හැකි වේ.


අනතුරුව ‘සුවසේ ආත්මය පරිහරණය කරත්වා’ (සුඛී අත්තානං පරිහරන්තු) යන සිව්වන පදයෙන් ද සියලු සත්ත්වයන්ට ‘සියලු සත්ත්වයෝ සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යැයි මෛත්‍රිය වඩා ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන උපදවා ගත හැකි වේ.


මේ අනුව ‘සියලු සත්ත්වයෝ’ යැයි අරමුණු කර ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පැතිරවීමෙන් ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.

නැවත ‘සියලු ප්‍රාණීන්’ යැයි අරමුණු කිරීම කළ හැකි වේ. ප්‍රාණීන් යනු ජීවත් වන අර්ථයෙන් වේ. ආශ්වාස ප්‍රශ්වාස අයත් කොට පවත්නා සියලු ජීවයක් සහිත වූවන් ප්‍රාණීන් ලෙස ගැනේ. ඒ අනුව සියලු ප්‍රාණීන් යැයි අරමුණු කිරීමෙන් ද ඉහත ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පැතිරවීමෙන් ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.


නැවත ‘සියලු භූතයන්’ යැයි අරමුණු කළ හැකි වේ. කර්ම ක්ලේශ දෙකින් විශේෂයෙන් උපන් සත්ත්වයන් යන අර්ථයෙන් භූත නම් වේ. ඒ අනුව සියලු භූතයන් යන අරමුණු කිරීමෙන් ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.


නැවත ‘සියලු පුද්ගලයන්’ යැයි අරමුණු කළ හැකි වේ. ‘පූරණතො ගලනතො ච පුග්ගලා’ යන නිරුක්ති අනුව ඒ ඒ සත්ත්ව නිකාය එහි උපදින්නා වූ සත්ත්වයන්ගෙන් පිරේ. සත්ත්වයන් ඒ ඒ සත්ත්ව නිකයෙහි යත්. ඒ අර්ථයෙන් සියලු සත්ත්වයන් පුද්ගලයන් ලෙස සැලකේ. ඒ සියලු පුද්ගලයන් අරමුණු කිරීමෙන් ද ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.


නැවත ‘සියලු ආත්මභාව පර්යාපන්නයන්’ යැයි අරමුණු කළ හැකි වේ. ආත්මභාවය යනු ශරීරය හෙවත් ස්කන්‍ධ පඤ්චකය යි. ඒ ස්කන්‍ධ පඤ්චකයේ අන්තර්ගත සියලු සත්ත්වයෝ ආත්මභාව පර්යාපන්නයෝ ය. ඒ සියලු ආත්මභාව පර්යාපන්න සත්ත්වයන් අරමුණු කිරීමෙන් ද ‘වෛර නැත්තෝ, නිරෝගි වූවෝ, නිදුක් වූවෝ, සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා’ යනුවෙන් මෙත් සිත පතුරවා ධ්‍යාන සතරක් ඉපදවිය හැකි වේ.


මෙසේ පටිසම්භිදාමග්ගපාළියෙහි සඳහන් වන ආකාරයට ‘සබ්බේ සත්තා, සබ්බේ පාණා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභාවපරියාපන්නා’ යන පස් ආකාරයට අරමුණු කිරීමෙන් අවධිරහිතව හෙවත් විශේෂ පිරිසිඳීමක් නොමැතිව මෛත්‍රී අර්පණා සතර බැගින් සියල්ල අර්පණා විස්සක් ඉපදවිය හැකි වේ. ඒ සෑම අරමුණු කිරීමක් ම ප්‍රථම, ද්විතීය, තෘතීය ධ්‍යාන වශයෙන් මතු අර්පණාවන්ට පැමිණිය හැකි වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

ඣත්‍වා සූත්‍රය


  ඣත්‍වා වර්‍ගය  

1. ඣත්‍වා සූත්‍රය  

71

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පලමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

“කුමක් නම් නසා සුවෙන් වෙසේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් ධර්‍මයක්හුගේ නැසීම කැමැත්තහුද? “

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “ක්‍රෝධය නැසීමෙන් සුවසේ වෙසෙයි. ක්‍රෝධය නසා ලීමෙන් ශෝක නොකෙරේ. දෙවිය, මිහිරි වූ අක් ඇති, විෂ සහිත මුල් ඇති, ක්‍රෝධයාගේ වැනසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නැසීමෙන් ශෝක නොකෙරේ. “

Tuesday, May 11, 2021

මෛත්‍රී භාවනාව – 11කොටස – ‘එකං දිසං ඵරිත්වා විහරති’ … මෙත් සිත දිශා වශයෙන් පතුරවමු

 මෛත්‍රී භාවනාව – 11කොටස – ‘එකං දිසං ඵරිත්වා විහරති’ … මෙත් සිත දිශා වශයෙන් පතුරවමු.

Apr 5, 2021 | සිත නිවන භාවනා | 0 





මෛත්‍රී භාවනාව – 11කොටස – ‘එකං දිසං ඵරිත්වා විහරති’ … මෙත් සිත දිශා වශයෙන් පතුරවමු.

තමන්ට මෙන් ම සෙසු අහිතවත් පුද්ගලයාට ද සම සේ මෙත් වැඩිය හැකි යෝගියාගේ සිත මෛත්‍රියෙන් අර්පණා සමාධියට පත් වේ. මෙය මෛත්‍රී භාවනාවේ සීමා සම්භින්දනය ලෙස විශුද්ධි මාර්ගයේ දැක්වේ. එසේ මෙත් වඩා පුහුණු කර ගත් මෙත් සිත විශ්වය දක්වා පතුරවා සමාධිය ශක්තිමත් කරගෙන අනතුරුව දස දිශාවන්ට මෙත් වැඩිය යුතු වේ. එසේ දිශා වශයෙන් ද මෙත් සිත පැතිරවිය යුතු වේ.


නැවතත් පළමුව තමන්ගෙන් ආරම්භ කර මෙත් වඩන්න. පිළිවෙළට ඉක්මනින් සෙසු අයට ද මෙත් වඩා සිතේ සමාධිය ශක්තිමත් කරගෙන අනතුරුව ඒ මෙත් සිතෙන් පෙර දිග දිශාවේ සියලු සත්ත්වයන් අරමුණු කරන්න. ‘පෙර දිග දිශාවේ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි බොහෝ වේලාවක් මෙත් වැඩීම සිදු කරන්න. එවිට පෙර දිග දිශාවේ සිටින සියලු දෙනා තම සිතට අරමුණු වන බවක් වැටහේවි. ඒ සියලු දෙනාට මෙත් සිත පැතිරවීමේ දී ඒ ඔස්සේ සිත සමාධිමත් වී නැවතත් සීමා සම්භින්දනය වී සිත අර්පණාගත වේ. එනම් ප්‍රථම ධ්‍යානයට පත් වේ.


එසේ පෙරදිග දිශාවේ සියලු සත්ත්වයන්ට මෙත් වඩමින් භාවනා ආසනයක් හෝ කිහිපයක් සිදු කර ගැනීම යෝගියාට සුදුසු වේ. ඒ තුළින් මෛත්‍රී සමාධිය ශක්තිමත් වේ. නැවත උතුරු දිශාවේ සියලු සත්ත්වයන් අරමුණු කළ හැකි වේ. එසේ උතුරු දිශාවේ සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා යැයි මෙත් වැඩීම සිදු කරන්න. ඒ උතුරු දිශාවේ සියලු සත්ත්වයන් ද අරමුණු වී මෙත් සිත පවතීවි. ඒ ඔස්සේ ද සීමා සම්භින්දනය වී නැවතත් සිත ප්‍රථම ධ්‍යානයෙන් සමාධිමත් වේ.


එසේ උතුරු දිශා වැසි සියලු සත්ත්වයන් අරමුණු කර මෙත් වඩා අනතුරුව දකුණු දිශාවේ සියලු සත්ත්වයන් අරමුණු කළ හැකි වේ. දකුණු දිශා වැසි සියලු සත්ත්වයන්ට ද වෛර නැත්තෝ වෙත්වා යැයි මෙත් සිතින් අරමුණු කිරීමේ දී ඒ අරමුණේ සිත සමාධිමත් වේ. එසේ ප්‍රධාන දිශා සතරෙහි ම සත්ත්වයන්ට මෙත් සිත පතුරවා ඊළඟට අනු දිශා වැසි සත්ත්වයන් අරමුණු කළ හැකි වේ.


‘උතුරු අනුදිශාවේ (ඊසාන) සියලු සත්ත්යෝ වෛර නැත්තෝ වෙත්වා’ යැයි උතුරු අනු දිශාවේ සියලු සත්ත්වයන්ට මෙත් සිත පැතිරවිය හැකි වේ. එසේ ම නැගෙනහිර අනුදිශාවේ, දකුණු අනුදිශාවේ, බස්නාහිර අනුදිශාවේ යනුවෙන් සියලු සත්ත්වයන්ට මෙත් වැඩිය යුතු වේ. එසේ අනුදිශාවන් ද සමඟ අට දිශාවකට මෙත් සිත පතුරවන ලද්දේ වෙයි.


අට දිශාවට මෙත් සිත පතුරවන ලද යෝගියා අනතුරුව උඩ දිශාවට ද යට දිශාවට ද මෙත් සිත පැතිරවිය යුතු වේ. මිනිස් ලොවට ඉහළින් ඇති සත්ත්වයන් සියලු දෙනා අරමුණු කර ‘වෛර නැත්තෝ’ වෙත්වා යැයි මෙත් වැඩීමෙන් සිත සමාධිමත් කර ගත යුතු වේ. අනතුරුව යට දිශාවේ සියලු සත්ත්වයන්ට ද ‘වෛර නැත්තෝ වෙත්වා’ යැයි මෙත් සිත පැතිරවිය යුතු වේ.


මෙසේ එකිනෙක දිශාවන්ට වෙන වෙන ම මෛත්‍රිය පැතිරවීමෙන් වෙන වෙන ම සිත ප්‍රථම ධ්‍යානයට පත් කර ගත හැකි වේ. ඒ කිසියම් දිශාවකින් සිත වඩාත් හොඳින් සමාධිමත් වන තෙක් ඊළඟ දිශාවට මෙත් වැඩීම නො කිරීම වඩාත් සුදුසු වේ. එකිනෙක දිශාවෙන් සිත සමාධිමත් කර ගැනීමෙන් ඒ දිශා වැසි සත්ත්වයන් අරමුණු කරගෙන සීමා සම්භින්දනය වී සිත අර්පණා ප්‍රාප්ත වේ.


‘මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සමාපත්තිය පිළිබඳ දෙශනා කිරීමේ දී මෙම දිශා වශයෙන් මෙත් සිත පැතිරවීම වදාළ සේක. වරෙක බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨ භාරද්වාජ බ්‍රාහ්මණයාට සම්බුද්ධ ශාසනයේ භික්ෂුවක් මෙත් සිත පතුරවා, මෛත්‍රී විහරණයෙන් වාසය කරන ආකාරය මෙසේ වදාළහ. එසේ ම තවත් අවස්ථාවක භික්‍ෂුවක් බ්‍රහ්මත්වයට පත් වන ආකාරය දේශනා කරන බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව මේ අයුරින් සමස්ථ ලෝකයට මෙත් සිත පතුරවා වාසය කරන බව වදාළහ.

ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් අට්ඨකනාගර සූත්‍ර දේශනාවේ දී දසම ගෘහපතියා අරබයා අර්හත්වය දක්වා භාවනා ක්‍රම එකොළොසක් විවරණය කරන ලදී. එහි දී මෛත්‍රී භාවනාව පදනම් කරගෙන අර්හත්වය දක්වා භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් දක්වන ආකාරය පහදා දෙන ලදී. ‘මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ක්‍රමයෙන් දශ දිශාවන්ට ද අනතුරුව සියලු ලෝක සත්ත්වයාට ද මෙත් වැඩීම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ අතර ඒ ඒ දිශාවේ සත්ත්වයන් අරමුණු කරගෙන සිත සමාධිමත් කරගෙන එය පදනම් කරගෙන විදසුන් වැඩිය යුතු වේ.

මෙහි දී ඇතැම් අය භාවිතා කරන වැරදි භාවනා ක්‍රම පිළිබඳව ද පැහැදිලි කිරීම අවශ්‍ය වේ. ඇතැම් කෙනෙක් මෙම මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේගේ සෙසු සූත්‍ර දේශනාවක් සමඟ මිශ්‍ර කර ගන්නා බව අසන්නට ලැබේ. ඇතමෙක් සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ විසින් එකිනෙක දිශාව එකිනෙක පාර්ශවය අරබයා නම් කරන ලද ආකාරය මෛත්‍රී භාවනාවේ දිශා වශයෙන් මෙත් සිත පැතිරවීම සමඟ මිශ්‍ර කරගනිති. ඒ අනුව සිඟාලෝවාද සූත්‍රයේ දී පෙර දිග දිශාව මව්පියන් ලෙස නම් කළ බැවින් පෙර දිග දිශාවට මෙත් සිත පැතිරවීම යනු අතීතයේ මේ දක්වා අපට සිටි මව්පියන්ට මෙත් වැඩීම බව දක්වති. ඒ අනුව සංසාරයේ මේ දක්වා හමු වූ සියලු මව්පියන්ට මෙත් වඩන අදහසින් මෙත් වැඩිය යුතු බව දක්වති.


මෙය වැරදි මෛත්‍රී වැඩීමක් වේ. ඒ තුළින් සිතේ මෙත් සිතක් ඇති වී කුශලයක් රැස් වේවි. එහෙත් විදර්ශනාවට පාදක කර ගත හැකි මෛත්‍රී භාවනාවක් සමෘද්ධමත් නොවේ. අතීතයේ සිටි සියලු මව්පියන් අරමුණු කර මෙත් වැඩීමෙන් කිසිදු ලෙසකට බුදුරජාණන් වහන්සේ ‘මෙත්තා සහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි ක්‍රමයෙන් වදාළ මෛත්‍රී ධ්‍යාන සමාපත්තිය ලබා ගත හැකි නො වේ.


එබැවින් මෛත්‍රී භාවනාව වැඩීමේ දී නොයෙක් දේශකයන් හුදු අත්තනොමති වශයෙන් කරන භාවනා ක්‍රමයන්ට අනුගත නො වී පෙළ, අර්ථකථා ඇසුරෙන් භාවනා ක්‍රමවේදය විවරණය කර ගත යුතු වේ.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

දෙවෙනි උපපථ සූත්‍රය

 


දෙවෙනි උපපථ සූත්‍රය

59

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.

“පුරුෂයාට කිමෙක් නම් දෙවැන්නී (දුතියිකා) වේද? ඔහුට කවරෙක් නම් අනුශාසන කෙරේද? කුමක විශේෂයෙන් ඇලුණු සත්ත්‍වයා සියලු දුකින් මිදේද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ශ්‍රද්‍ධාව පුරුෂයාට දෙවැන්නීය. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරේ. නිවනෙහි විශේෂයෙන් ඇලුණු සත්ත්‍වතෙම සැම දුකින් මිදේ.”


Sunday, May 9, 2021

මෛත්‍රී භාවනාව – 10 කොටස – මෛත්‍රියෙන් ධ්‍යානයට

 මෛත්‍රී භාවනාව – 10 කොටස – මෛත්‍රියෙන් ධ්‍යානයට …

Apr 5, 2021 | සිත නිවන භාවනා | 0 





මෛත්‍රී භාවනාව – 10 කොටස – මෛත්‍රියෙන් ධ්‍යානයට …

ප්‍රිය පුද්ගලයාගේ පටන් අප්‍රිය අමනාප පුද්ගලයා දක්වා වෙන වෙන ම පිළිවෙළින් මෙත් වැඩීම කළ යුතු බව පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. පළමුව තමන්ට මෙත් වඩා අනතුරුව ප්‍රිය නමුත් ගෞරවයෙන් ඇසුරු කරන සම්භාවනීය පුද්ගලයෙකුට මෙත් වඩන්න. අනතුරුව ප්‍රිය පුද්ගලයාගේ පටන් අප්‍රිය අමනාප පුද්ගලයා දක්වා මෙත් වඩන්න. ඒ සෑම පුද්ගලයෙකුට ම මෙත් වැඩීමේ දී එක සමාන මට්ටමකට මෛත්‍රී සිත පවතින තුරු මෙත් වැඩීම සිදු කළ යුතු වේ.


මෙසේ පුද්ගලයන් පස් දෙනෙකුට හය දෙනෙකුට පමණ වෙන වෙන ම මෙත් වඩා සිත පුරුදු කර ගත යුතු වේ. එවිට සිතේ මෛත්‍රිය නිරන්තරයෙන් ම පවතින්නට පටන් ගනු ඇත. පුද්ගලයන් වැඩි පිරිසක් වෙන වෙන ම තෝරා ගැනීම ද වරදක් නැත.


අප්‍රිය අමනාප පුද්ගලයා දක්වා මෙත් වඩා අවසන් වූ පසු දැන් තමන් මෙත් වැඩූ පුද්ගලයන් සියලු දෙනා එක වර අරමුණු කර සියලු දෙනාට ම මෙත් වැඩීම සිදු කළ හැකි වේ. ප්‍රිය පුද්ගලයාගේ පටන් අප්‍රිය පුද්ගලයා දක්වා සියලු දෙනා ම එක සිතට කැටි වී ගොනු වී අරමුණු වන බව ඔබට වැටහෙනු ඇත. ඒ පුද්ගලයන් කිසිවෙකු අතර වෙනසක් නොමැතිව සම මට්ටමෙන් මෙත් සිත පවතින ආකාරය වැටහෙනු ඇත. තමන් ද සමඟ සියලු දෙනා එකම මට්ටමකට වෛර නැති පුද්ගලයන් බව සිතට දැනෙනු ඇත.


මෙසේ ප්‍රිය අප්‍රිය පුද්ගලයන් සියලු දෙනාට එක හා සමාන මට්ටමකින් මෙත් සිත පැවැත්විය හැකි වීම මෛත්‍රී භාවනාවේ සීමා සම්භින්දනය ලෙස හැඳින්වේ. මෛත්‍රී භාවනාවේ අර්පණාවට හෙවත් ධ්‍යානයට පත් වන්නේ මෙම සීමා සම්භින්දනයෙනි. එබැවින් මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන ඉපදවීම සෙසු භාවනාවලට වඩා පහසු බවක් ඇත.


සීමා සම්භින්දනය සිදු වුවහොත් ඒ යෝගියා මෛත්‍රී භාවනාවෙන් අර්පණා සිත උපදවා ඇත. එනම් ප්‍රථම ධ්‍යානයට සම වැදී ඇත. දැන් එය තව දුරටත් ප්‍රගුණ කර ගත යුතු වේ. මේ නිසා ප්‍රිය අප්‍රිය සියලු දෙනා එකට අරමුණු කරමින් සම මට්ටමින් මෙත් සිත පැවැත්විය හැකි මට්ටමට භාවනාව දියුණු වූ විට ඒ මෛත්‍රී සිත පවතින අවස්ථාවේ තවත් පුද්ගලයන් අරමුණු කර මෙත් සිත පැවැත්වීමට හැකි දැයි පරික්‍ෂා කර බැලිය හැකි වේ. කලින් අරමුණු නො කළ පුද්ගලයෙක් අරමුණු කළහොත් ඒ පුද්ගලයා ද ක්‍ෂණිකව ම අනෙක් පුද්ගලයන්ගේ සම මට්ටමට පත් වනු ඇත. ඒ පුද්ගලයා අරමුණු කරගෙන ද අනෙක් අය හා සමානව මෙත් සිත පවතිනු ඇත. මෙසේ පුද්ගලයන් කිහිප දෙනෙක් අරමුණු කර එහි ඇති ආශ්චර්යය තමන්ට ම වටහා ගත හැකි වේ.


දැන් යෝගියා තමන්ගේ මෙත් සිත තරමක් දුරට දියුණු කරගෙන ඇත. මීළඟට එය තවදුරටත් ප්‍රගුණ කිරීම පිණිස මෛත්‍රිය පැතිරවිය හැකි වේ. ප්‍රිය අප්‍රිය සියලු දෙනා අරමුණු කර ඇති වූ මෙත් සිත තමන් සිටින ප්‍රදේශයට පැතිරවිය හැකි බව තමන්ට වැටහෙනු ඇත. සමහර කෙනෙකුට මෙම අවස්ථාවේ ආලෝකයක් වැනි යමක් වැටහීමට ඉඩ ඇත. එසේ නැතිනම් සියලු පුද්ගලයන් එකතු වී අරමුණු වූ සිතක් දැනෙනු ඇත. ඒ සිත හෝ ආලෝකය තමන් සිටින ප්‍රදේශයට පැතිරවීමට උත්සාහ කළ යුතු වේ.


ඒ අනුව පළමුව තමන් සිටින කුටිය හෝ කාමරයට මෙත් සිත පැතිරවිය හැකි වේ. සමාධිමත් සිත තියුණු ඇතැම් යෝගාවචරයෙකුට මෙසේ අරමුණු කිරීමේ දී ඒ ප්‍රදේශය සිතට පෙනීමට ද හැකි ය. එහෙත් එසේ වීම අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ තමන්ට අරමුණු කරන මුළු ප්‍රදේශයට ම මෙත් සිත පැතිරෙන බව වැටහීමයි. එසේ වැටහෙන විට ඒ ප්‍රදේශය පුළුල් කළ යුතු වේ.


පළමුව කුටිය හෝ කාමරය අරමුණු කළේ නම් එතැනින් මුළු සේනාසන ඉඩම හෝ ගෙවත්ත අරමුණු කර ඒ දක්වා මෙත් සිත පැතිරවිය හැකි වේ. එවිට ඒ සමස්ථයට මෙත් සිත පැතිරෙන බව වැටහෙනු ඇත. එතැනින් ගමට, ගමෙන් රටට, රටෙන් ලෝකයට, ලෝකයෙන් විශ්වයට මෙත් සිත පතුරවන්න. මුළු ලෝකයම තම මෙත් සිතෙන් ආවරණය වී ඇති බව වැටහෙනු ඇත. එවිට සිතට ශක්තිමත් සමාධිමත් බවක් වැටහෙනු ඇත. මේ දක්වා නිවැරදිව මෙත් සිත වැඩිය හැකි වූයේ නම් දැන් සිත අර්පණා සමාධියකට සම වැදී පවතිනු ඇත. එබැවින් ඒ සිතෙන් නැගී සිට ධ්‍යානාංග ප්‍රත්‍යවේක්‍ෂා කළ හැකි වේ.


තම සිත මෛත්‍රී අරමුණ තුළට කිඳා බැස ඇති ආකාරයක් වැටහෙන යෝගාවචරයා දැන් එම සිත මුදවාගෙන උපචාරයට පැමිණිය යුතු වේ. කිසියම් ආලෝකයක් වැටහෙන යෝගියාට නම් එම ආලෝකය ඇතුළේ සිටින බවක් වැටහෙනු ඇත. එයින් මිදී ආලෝකය තමන් ඉදිරියේ තිබෙන ආකාරයට සිත මුදවා ගත යුතු වේ. මෙවන් අවස්ථාවක ප්‍රායෝගිකව නොයෙක් උපක්‍රම භාවිතා කිරීම භාවනාව ප්‍රගුණ කරවන ස්වාමීන් වහන්සේලා විසින් සිදු කෙරේ. එබැවින් මෙවන් අවස්ථාවක ප්‍රායෝගික උපදෙස් ලබා ගැනීමට සුදුසු කමටහන් දෙන ස්වාමීන් වහන්සේ නමක් වෙත යාම සුදුසු වේ. සමහර කෙනෙක් මෙවැනි භාවනාවක් ප්‍රායෝගිකව නිවැරදිව සිදු කර නොමැති බැවින් මෙවන් අවස්ථාවල නිවැරදිව උපදෙස් දිය නොහැකිව භාවනාවට ගර්හා කරනු ඇත. එවන් කමටහන් ඇදුරු හිමිවරුන් වෙතින් කිසි දිනක ධ්‍යාන සමාධියක් ඉපදවිය නොහැකි වනු ඇත.


එසේ ප්‍රායෝගිකව භාවනාව පුරුදු කර නැති බොහෝ දෙනෙක් පවසන්නේ ධ්‍යාන ඉපදවීම ශාසනයෙන් බැහැර යෝගීන් වෙත තිබූ දෙයක් බවත් බෞද්ධ භාවනාවේ ධ්‍යාන ඉපදවීම නොකළ යුතු බවත්ය. එහෙත් මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුළු සූත්‍ර පිටකයේ භාවනා මාර්ගය දේශනා කරන සෑම සූත්‍රයකම පාහේ ප්‍රථමධ්‍යානාදියට උපදෙස් දෙන බැවින් එම වැරදි ඔවදන්වලට නො රැවටී මෙහි පැහැදිලි කළ පිළිවෙළට මෛත්‍රී භාවනාව වඩා මෛත්‍රී ධ්‍යානය උපදවා ගැනීමට උත්සාහ කරත්වා. එයින් නො නැවතී ඒ මෛත්‍රී ධ්‍යානය පාදක කරගෙන විදසුන් වඩා උතුම් නිර්වාණය සාක්‍ෂාත් කර ගනිත්වා.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...