Sunday, March 14, 2021

කිව යුතුදේ කිවයුතුහොඳම ක්‍රමය

 කිව යුතුදේ කිවයුතුහොඳම ක්‍රමය

කොළඹ විශ්වවිද්‍යාලයේ

බෞද්ධ අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

රාජකීය පණ්ඩිත ආචාර්ය

උඩුහාවර ආනන්ද හිමි



දිනක් භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලෙහෙණුන්ගේ අභය භූමියක් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එහි පැමිණි මගධ මහා ඇමැති වස්සකාර බ්‍රාහ්මණයා බුදුරදුන් හා සතුටු සාමීචියෙහි යෙදී අනතුරුව, “ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! යම් කිසිවෙක් තමා දුටු දේ දක්නා ලදැ’යි කියයි ද (දිට්ඨ), එහි දෝෂයක් නැත.


තමා ඇසූ දේ (සුත) අසන ලදැ’යි කියයි ද එහි දෝෂයක් නැත. තමා විඳීන ලද (ගන්ධ රස ස්පර්ශ වශයෙන් ) දේ විඳීන ලැදැ’යි (මුත) කියයිද එහි දෝෂයක් නැත. තමා දැනගත් දේ (විඤ්ඤාත) දක්නා ලැදැ’යි කියත්ද එහි ද දෝෂයක් නැත. භාග්‍යවතුන් වහන්ස, මම මෙබඳු වාද ඇත්තෙමි, මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි.” යනුවෙන් ප්‍රකාශ කළහ.


වස්සකාර මගධ මහා ඇමතිවරයාගේ ප්‍රකාශය සාවධානව අසා සිටි භාග්‍යවතුන් වහන්සේ, “බ්‍රාහ්මණය, මම දක්නා සියල්ල කිවයුතු යැයි ද නොකියමි. නොකිවයුතු යැයි ද නොකියමි. අසන ලද සියල්ල -------- විඳීන ලද සියල්ල (ගන්ධ රස ස්පර්ශ) ----- දැනගත් සියල්ල කිවයුතු යැයි ද නොකියමි. නොකිවයුතු යැයි ද නොකියමි. එහෙත් බ්‍රාහ්මණය, යම් දෙයක් කියන විට අකුසල ධර්ම වැඩේ නම්, කුසල ධර්ම පිරිහේ නම්, මෙබඳු දුටු දෙය, ඇසූ දෙය, විඳීන ලද දෙය, දැනගත් දෙය නොකිවයුතු යැයි කියමි. එහෙත් යම් දෙයක් කියන විට කුසල ධර්ම වැඩේ නම්, අකුසල ධර්ම පිරිහේ නම් ඒ දුටු දෙය ඇසූ දෙය, විඳීනලද දෙය, දැනගත් දෙය කිවයුතු යැයි කියමි.” යනුවෙන් කරුණු පැහැදිලි කළහ. බුදුරදුන්ගේ මෙම පිළිතුරෙන් සතුට ට පත් වස්සකාර බ්‍රාහ්මණ මහා ඇමැතිවරයා තථාගතයන් වහන්සේට නමස්කාර කොට උන්වහන්සේගෙන් සමුගෙන ගියේ ය.


අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ වස්සකාර සූත්‍රයේ එන ඉහත සංවාදය වර්තමාන ලෝකයට බෙහෙවින්ම වැදගත් වේ. තොරතුරු තාක්ෂණය ඉතා දියුණු මෙම අවදියේ ලොව කවර තැනක වුව සිදුවන ඕනෑම සංසිද්ධියක් ඉතා සැණෙකින් පුද්ගලයා වෙත ළඟා වේ. එසේම තොරතුරු දැනගැනීමේ උනන්දුව ද සැම අයෙක් වෙත ම එකසේ පවතී. එමගින් පුද්ගලයා දැනුවත් වන අතරම අනෙක් අතින් ඔහු අසහනයටත්, කෝපයටත් පත්වනු දැකි ය. හැකිය. එබැවින් මිනිසා වෙත ළඟාවෙන තොරතුරු සියල්ල ඔහුගේ යහපත පිණිසම හේතු නොවේ. ඇතැම් තොරතුරු පුද්ගලයාට පමණක් නොව සමාජයේ යහපැවැත්මට ද අහිතකර වේ. පුද්ගලයා ලෝකය අත්දකින්නේ ෂඩ් ඉන්ද්‍රියන්ගෙනි. තොරතුරු යනු එසේ පුද්ගලයා විසින් තම ඉඳුරන් ආශ්‍රයෙන් ඒකරාශීකරගත් දත්ත ය. එම දත්ත ඔහු තුළ තැන්පත්කරගනිමින් අන්‍යයන් වෙත බෙදාහැරීම ද සිදුකරනු ලැබේ. එසේ ඒකරාශීකරගත් දත්ත හා තොරතුරු අන්‍යයන් වෙත ලබාදීම සඳහා විවිධ මාධ්‍ය භාවිත කෙරේ. අතීතයේ මෙන් වාචික සන්නිවේදනය පමණක් නොව වර්තමානයේ ඒ සඳහා බහුවිධ මාධ්‍ය භාවිත වේ. ඒ සියල්ලේම ඒකායන අරමුණ වන්නේ පුද්ගලයා වෙත කඩිනමින් විවිධ තොරතුරු සැපයීම ය. මේ උනන්දුව නිසා බහුවිධ මාධ්‍ය නියෝජනය කරන පුද්ගලයන් හා සංවිධාන අතර නිසර්ගයෙන්ම තරගකාරිත්වයක් ඇති වී තිබේ. තොරතුරු ඉදිරිපත් කිරීමේ දී තමන් ප්‍රමුඛයා බවට පත්වීමටත්, වැඩි ශ්‍රාවක පිරිසක් ග්‍රහණය කරගැනීමත් ඔවුන්ගේ එකම අභිලාසය බවට පත්ව තිබේ. මෙම පසුබිම යටතේ මාධ්‍ය සදාචාරය ගැන පුළුල් කතිකාවක් නිර්මාණය වී ඇත.


ඉහතින් දැක් වූ වස්සකාර මගධ මහා ඇමතිවරයාගේ ආකල්පය වූයේ තමා දකින ලද, අසන ලද, අත්දකින ලද, අවබෝධකරගත් සියල්ල අන්‍යයන් වෙත ප්‍රකාශ කළ යුතු බවයි. වර්තමානයේ පිළිගත් මතය ද එයයි. එහෙත් බුදුරදුන්ගේ අනුශාසනය එයට වෙනස් එකකි. ෂඩ් ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා අත්දැකීම් අන්‍යයන්ට ප්‍රකාශ කිරීමේ දී සදාචාරාත්මක පාලනයක් අවශ්‍යයය යන්න යථෝක්ත බුද්ධානුශාසනයෙන් පැහැදිලි වේ. වස්සකාර මහා ඇමැතිවරයාගේ අදහස වන සියල්ල ප්‍රකාශ කළ යුතුය යන්න බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ම අනුමත නොකළහ. ඒ වෙනුවට උන්වහන්සේ යෝජනා කළේ ප්‍රකාශ කළ යුතු තොරතුරු මෙන්ම ප්‍රකාශ නොකළ යුතු තොරතුරු ද තිබෙන බවයි. එබැවින් බුදුරජාණන් වහන්සේ මෙහිදී තවදුරටත් පෙන්වා වදාළේ සියල්ල ප්‍රකාශ කළ යුතුය යන්න මෙන්ම සියල්ල ප්‍රකාශ නොකළයුතුය යන අදහසෙහි තමන්වහන්සේ පිහිටා නොසිටින බවයි. එපමණක් නොව තොරතුරු ප්‍රකාශනය සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි සදාචාරාත්මක නිර්ණායකයක් ද බුදුරජාණන් වහන්සේ වස්සකාර මහා ඇමතිවරයාට නිර්දේශ කළහ.


ඒ අනුව කිසියම් ප්‍රකාශනයක් හෝ පුවතක් මගින් අකුසල ධර්ම වැඩේනම්, කුසල ධර්ම පිරිහේනම් එය ප්‍රකාශ නොකළ යුතුය. බෞද්ධ සදාචාර දර්ශනයේ එන කුසල හා අකුසල යන වචන මගින් අතිශය පුළුල් එමෙන්ම ගැඹුරු සදාචාරාත්මක ඉගැන්වීම් සමූහයක් ඉදිරිපත්කොට තිබේ. ඒ හෙයින් එම වචන විවරණය කිරීමේ දී අප වඩාත් සැලකිලිමත් විය යුතු වේ. බුද්ධ වචනය අනුව ලෝභ දෝස මෝහ යන ත්‍රිවිධ මනෝ භාවයන් අකුසල මූල වේ. ඒවා මූලික කරගෙන සිදුවන සියලුම ක්‍රියා ද සාකල්‍යයෙන්ම අයහපත් ඒවා වේ. එම ක්‍රියාවල ප්‍රතිඵලය ද පුද්ගලයාට මෙන්ම සමාජයට ද හානිකර ය. මේ අනුව යම්කිසි කෙනෙකු දුටු දෙයක්, ඇසූ දෙයක්, අත්විඳීන ලද දෙයක් හෝ අවබෝධකරගත් දෙයක් ප්‍රකාශයට පත්කළ විට එම ප්‍රකාශය හේතුවෙන් අසන්නා හා කියවන්නා තුළ ලෝභ දෝස මෝහ මූලික කරගත් අකුසල සිතිවිලි හා ඒ හා පදනම්කරගත් අකුසල ක්‍රියා වර්ධනය වේ නම්, එය ප්‍රකාශයට පත් නොකළ යුතු එකක් ලෙස සැලකේ. එසේම එම ප්‍රකාශය හේතුවෙන් සමාජය තුළ යම් කැලඹීමක්, සාමය කඩවීමක්, අන්තර් පුද්ගල ගැටුමක් සිදුවන්නේ නම් ඒ අනුවද එය ප්‍රකාශයට පත් නොකළ යුතු එකක් ලෙස පිළිගත යුතු වේ. එහෙත් යම් පුවතක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් පුද්ගලයා තුළ හෝ සමාජය තුළ අකුසල සහගත හැගීම් ඇතිවීමට හෝ අකුසල සහගත චර්යා කෙරෙහි යොමුවීමට යම් පෙළඹවීමක්, බලපෑමක් සිදු නොවේ නම් එවැනි දෑ ප්‍රකාශයට පත් කළ යුතු වේ. මේ අනුව පුද්ගලයාට හා සමාජයට යහපත ගෙන දෙන තොරතුරු, අත්දැකීම් දැනුම දත්ත පමණක් ප්‍රකාශයට පත්කළ යුතුය යන්න බෞද්ධ පිළිගැනීම වේ.


මෙහි දක්වන ලද සූත්‍ර දේශනාව මෙකලට බෙහෙවින් අදාළ වේ. ඇතැම් විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍යවල වගකීමෙන් තොරව විවිධ ව්‍යාජ පුවත් ඇතැම් විට වාර්තා කෙරේ. එම පුවත් කියවන විචාර බුද්ධියෙන් තොර පුද්ගලයන් අතර ඒ හේතුවෙන් විවිධ අර්බුද නිර්මාණය වේ. විවිධ පටු අරමුණු පෙරදැරිව ප්‍රචාරය කෙරෙන ඇතැම් පුවත් නිසා රටක පුරවැසියන් වන විවිධ ජාතීන් හා ඔවුන් අදහන ආගම් අතර කොතෙකුත් ගැටුම් හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් වාර්තා වේ. මාධ්‍ය සදාචාරය බිඳ දමමින් තම මනෝමූලික අවශ්‍යතා පෙරදැරිව තොරතුරු වාර්තා කරන බහුවිධ මාධ්‍ය නියෝජනය කරන මාධ්‍ය වේදීන්ට බුදුරදුන්ගේ මෙම සදාචාරාත්මක ප්‍රකාශන විධික්‍රමය මාහැඟි


උපදේශයකි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන්නන් අතර පවතින සදාචාර සම්පන්න නොවන හැසිරීම් රටාව පාලනය කිරීමට ද මෙම සාදාචාරාත්මක ඉගැන්වීම් අදාළකරගත හැකිවීම භාග්‍යයකි. එබැවින් පුද්ගලයාට මෙන්ම සමාජයටත් හිතකර දෑ පමණක් ප්‍රකාශයට පත්කිරීමෙහිලා අවශ්‍ය ආත්ම දමනය කවර තැනැත්තෙකුට වුව අවශ්‍ය වේ.

බුදුසරණ: බෞද්ධ දර්ශනය | තෙවළා බුදු වදන් අතරින් 32: කිව යුතුදේ කිවයුතුහොඳම ක්‍රමය (budusarana.lk)

 2019 ජුනි 02 වනදා ඉරිදා

Pali 3

 




Friday, March 12, 2021

10-3 බොහෝ කුමාරවරුන්ගේ කථාපුවත

 

10-3 බොහෝ කුමාරවරුන්ගේ කථාපුවත 

සුඛකාමානි භූතානි, යො දණ්ඩෙන විහිංසති;

අත්තනො සුඛමෙසානො, පෙච්ච සො න ලභතෙ සුඛං.

යම් පුද්ගලයෙක් තමාහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දණ්ඩනයෙන් පෙළාද, හෙතෙම පරලොව සුව නොලබන්නේය.

සුඛකාමානි භූතානි, යො දණ්ඩෙන න හිංසති;

අත්තනො සුඛමෙසානො, පෙච්ච සො ලභතෙ සුඛං.

යමෙක් තමහට සුව කැමතිවූයේ සුව කැමති සත්වයන් දඬුවමින් නොපෙළාද ඒ පුද්ගලතෙම පරලොව සුව ලබන්නේය.

“සුඛකාමාති භූතානී” - යන මේ දම් දෙසුම ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී දරුවන් පිරිසක් නිමිති කරගෙන දෙසූහ. එක් දිනක් බුදුරජාණන් වහන්සේ සැවත් නුවර පිඬු පිණිස පිවිසියේ අතරමග දී දරුවන් බොහෝ දෙනෙක් ගැරැඩියෙකුට දණ්ඩකින් පහර දෙනු දැක. දරුවනි ! කුමක් කරන්නේදැයි විමසූහ. අපි දණ්ඩෙන් සර්පයෙකු මරන්නෙමුයි පැවසූහ. කුමක් හෙයින් මරන්නේදැයි විමසා දෂ්ටකරයි යන බියෙන් මරන්නෙමුයි පැවසූවිට.

නුඹලා තමන්ට සැපයක් කරගන්නේ යයි සිතමින් මේ සතා මැරීමෙන් ඉපදෙන හැමතැනකදීම සුවය නො ලබන්නෝය. තම සුවය සිතන්නවුන් විසින් අන් අය නැසීම සුදුසු නොවේයි පවසා පිළිවෙළ කථාව සසඳා දහම් දෙසමින් මේ ගාථාව පැවසූහ.

සුව කැමති සත්නට

එපා දුක් ගෙන දෙන්නට

දුක් දෙන දනන් හට

නිරය දුක් සිදුවේ ගෙවන්නට

අවිමුගුරු අරගෙන

මිනිසුන් සතුන් නොමරන

මෙත්සිතින් වැජඹෙන

දනෝවෙති දෙව්සුවය වළඳන

“සැප කැමැතිව යමෙක් (දණ්ඩකින්) දඬුවම් කිරීමෙන් අන් සතුන් පෙළන්නේද එබඳු ඇය සැප කැමතිවුවද පරලොවදී සැප නොලබති සැප කැමැත්තේ දඬුවම් දීමෙන් අන් සතුන් නොපෙළත් ද? ඔවුහු පරලොව දී සැප ලබති.

එහි යො දණ්ඩෙන - යනු යම් පුද්ගලයෙක් දණ්ඩකින් හෝ ගල් කැට කැබලි ආදියෙන් හෝ පෙළන්නේද?

පෙච්ච සො නලභතෙ සුඛං - යනු ඒ පුද්ගලයා පරලොවදී මිනිස් සුවයක් හෝ දිව්‍ය සුවයක් හෝ පරමාර්ථ වශයෙන් නිවන් සුවයක් හෝ නො ලබයි. පෙච්ච සො ලභතෙ - යනු යම් පුද්ගලයෙක් පරලොවදී කියන ලද ලෙසට තුන් ආකාර වූ සුවයක් ලබයි යන අර්ථ දෙයි. දේශනය අවසානයේ දී පන්සියයක් වූ ඒ දරුවෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.

Na Uyane Ariyadhamma Thero


 

ශ්‍රද්‍ධා සූත්‍රය


එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘සද්ධා දුතියා පුරිසස්ස හොති,

නො චෙ අස්සද්ධියං අවතිට්ඨති;

යසො ච කිත්තී ච තත්වස්ස හොති,

සග්ගඤ්ච සො ගච්ඡති සරීරං විහායා’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි -

‘‘කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං,

සංයොජනං සබ්බමතික්කමෙය්‍ය;

තං නාමරූපස්මිමසජ්ජමානං,

අකිඤ්චනං නානුපතන්ති සඞ්ගා’’ති.

‘‘පමාදමනුයුඤ්ජන්ති , බාලා දුම්මෙධිනො ජනා;

අප්පමාදඤ්ච මෙධාවී, ධනං සෙට්ඨංව රක්ඛති.

‘‘මා පමාදමනුයුඤ්ජෙථ, මා කාමරති සන්ථවං;

අප්පමත්තො හි ඣායන්තො, පප්පොති පරමං සුඛ’’න්ත්න්ත්ති.


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි බොහෝ සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප.්‍රභායෙන් සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ.

එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වශන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

“ලෞකික ලෝකෝත්තර සැප කරා යන පුරුෂයාට ශ්‍රද්‍ධාව ඔහු සමග යන දෙවැන්නා වෙයි ඔහු අශ්‍රද්‍ධායෙහි බැස නොසිටී නම් ඒ හේතුයෙන් ඔහුට පිරිවරද, කීර්තියද වෙයි. මේ ශරීරය හැර ඔහු ස්වර්‍ගයටද යෙයි.”

එකල අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය.

“ක්‍රෝධය නසන්නේ නම්, මානය දුරු කරන්නේ නම්, සියලු සංයෝජන ඉක්මවා ලන්නේ නම්, නාම රූප දෙක්හි නොඇලෙන, හිරිහැර නැති, ඒ පුද්ගලයා කරා සංයෝගයෝ (බැමි) නොපැමිණෙත්.”

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.) “අනුවණ මෝඩ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් රකී.

“ප්‍රමාදයෙහි නොයෙදෙවු: කාමරතිය හා එක්වීමෙහි නොයෙදෙවු. ධ්‍යාන වඩන, නොපමා තැනැත්තාම පරම සැපයට පැමිණේ.





Thursday, March 11, 2021

න සන්ති සූත්‍රය



එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘න සන්ති කාමා මනුජෙසු නිච්චා,

සන්තීධ කමනීයානි යෙසු (කාමෙසු (ක.)) බද්ධො;

යෙසු පමත්තො අපුනාගමනං,

අනාගන්තා පුරිසො මච්චුධෙය්‍යා’’ති.

‘‘ඡන්දජං අඝං ඡන්දජං දුක්ඛං;

ඡන්දවිනයා අඝවිනයො;

අඝවිනයා දුක්ඛවිනයො’’ති.

‘‘න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ,

සඞ්කප්පරාගො පුරිසස්ස කාමො;

තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ,

අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං.

‘‘කොධං ජහෙ විප්පජහෙය්‍ය මානං,

සංයොජනං සබ්බමතික්කමෙය්‍ය;

තං නාමරූපස්මිමසජ්ජමානං,

අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා.

‘‘පහාසි සඞ්ඛං න විමානමජ්ඣගා (න ච මානමජ්ඣගා (ක. සී.), න විමානමාගා (ස්‍යා. කං.)),

අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ;

තං ඡින්නගන්ථං අනිඝං නිරාසං,

පරියෙසමානා නාජ්ඣගමුං;

දෙවා මනුස්සා ඉධ වා හුරං වා,

සග්ගෙසු වා සබ්බනිවෙසනෙසූ’’ති.

‘‘තං චෙ හි නාද්දක්ඛුං තථාවිමුත්තං (ඉච්චායස්මා මොඝරාජා),

දෙවා මනුස්සා ඉධ වා හුරං වා;

නරුත්තමං අත්ථචරං නරානං,

යෙ තං නමස්සන්ති පසංසියා තෙ’’ති.

‘‘පසංසියා තෙපි භවන්ති භික්ඛූ (මොඝරාජාති භගවා),

යෙ තං නමස්සන්ති තථාවිමුත්තං;

අඤ්ඤාය ධම්මං විචිකිච්ඡං පහාය,

සඞ්ගාතිගා තෙපි භවන්ති භික්ඛූ’’ති.


මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිඅනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි සතුල්ලපකායික නම්න් දන්නා ලද බොහෝ දෙවි කෙනෙක් රෑ පෙරයම ඉක්මුණුකල මනා පැහැ ඇක්කාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක සිටියහ.

එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

“මිනිසුන් කෙරෙහි නිත්‍ය කාම වස්තූහු නැත්තාහ. යම් කාම වස්තුවක් කෙරෙහි බැඳුණු තැනැත්තේ, යම් කාම වස්තූන්හි පමාවූ තැනැත්තේ භවයන් (නික්ම) නිවණට නොයන්නේ වේද, එසේවූ, සිත් අදනා, රූපාදී ආරම්මණයෝ නම් මෙහි (ලෝකයෙහි) ඇත්තාහ.

(පඤචස්කන්‍ධ) දුක තන්හායෙන් උපදනේය. සසර දුක තණ්හායෙන් හටගැනේ. තණ්හාව නිරුද්‍ධ කිරීමෙන් (පඤච) ස්කන්‍ධ නිරෝධය වේ. ස්කන්‍ධ නිරෝධයෙන් (සංසාර) දුක්ඛ නිරෝධය වේ.”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලොව විසිතුරු රූපාදී යම් අරමුණු කෙනෙක් වෙත්ද, ඔවුහු කාමයෝ නොවෙති. පුරුෂයාගේ ඇලීම නම්වූ රාගය කාම නම්. ලොව විසිතුරු රූපාදීහු තමන් සිටි ලෙසම සිටිත්. එතෙකුදූ වුවත් නුවණ ඇත්තෝ එහි ඇල්ම දුරලත්.

“ක්‍රෝධය දුරලන්නේය. මානය හාත්පසින් බැහැර ලන්නේය. සියලු සංයෝජනයන් ඉක්මවන්නේය. නාම රූප දෙක්හි නොඇලෙන්නාවූ, ලොව කිසිත් (ඇලුම්) නැති, ඔවුන් අතර දුක්ඛයෝ කඩා නොවැටෙත්.”

“යමෙක් සත්ත්‍වාදී ප්‍රඥප්තිය දුරලීද, නැවත ඉපදීම් වශයෙන් මවුකුෂ නමැති විමානයට නොපැමිණියේද, මේ නාම රූප දෙකෙහි තණ්හාව දුරලීද, සිඳලූ සියලු පළිබෝධ ඇති, දුක් නැති, ආශා නැති, ඒ රහතුන් දෙවියෝත් මිනිස්සුත් මෙහි හෝ පරලොව හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්‍වාවාසයන්හි හෝ සොයන්නාහු නුමුත් දැක්ක නොහැක්ක.”

ආයුෂ්මත් මෝඝරාජ තෙම මෙසේ කීය. “ඉදින් දෙවියෝත් මිනිස්සුත් මෙලොවෙහිත් අන් තන්හිත් සොයන්නාහු, එසේ මිදුනු රහතුන් නොදක්නාහු නම්, නරෝත්තමවූ, සත්නට හිත වැඩ සලසන, එසේවූ බුදුරජුන් යම් කෙනෙක් නමදිත් නම් ඔවුහු පැසසුම් ලැබිය යුත්තෝය.”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මොඝරාජය, එසේ මිදුණු රහතුන් යම් කෙනෙක් නමදිත්ද, ඒ භික්‍ෂූහු පැසසුම් ලද යුත්තෝය. ඒ භික්‍ෂූහු දහම් දැන, සැක දුරලා, රාගාදී බැමි ඉක්මවූවෝ වෙත්.”





10-1 සවග මහණුන්ගේ පළමුවන කථා පුවත.

 

10-1 සවග මහණුන්ගේ පළමුවන කථා පුවත. 

සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙ භායන්ති මච්චුනො;

අත්තානං උපමං කත්වා, න හනෙය්‍ය න ඝාතයෙ.

සියලු සත්වයෝම වධබන්ධනාදියට තැතිගන්නාහ. සියල්ලෝම මරණයට බියවෙති. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවා හිංසා නොකරවන්නේය.

[“සබ්බේ තසන්ති” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩසිටිය දී ෂඩ්වර්ගීය (හයේ කණ්ඩායම වූ) භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළ සේක.

එක් අවස්ථාවකදී භික්ෂූන් දහසයේ කණ්ඩායමක් විසින් සෙනසුන් පිළියෙළ කරන අතරතුරදී - සයවර්ගීය භික්ෂූන් - අපි වඩා වැඩිහිටි අය වෙමු. එනිසා මෙය අපට අයත් වේ. යයි කියා සිටියදී. එම දහසය වර්ගීය භික්ෂූන් විසින් අපි නොදන්නෙමු. අප විසින් මෙය පළමුවෙන් පිළියෙළ කරන ලදැයි පැවසූවිට - එම භික්ෂූන්ට පහර දෙන ලදී.

දහසය වර්ගීය භික්ෂූහු මරණ බියෙන් යුතුව මහා හඬින් විලාප නගන්නට වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ හඬ අසා මේ මහ ශබ්දය කුමක්දැයි විමසා - මේ හේතුවෙන් යයි දැනගත් විට මහණෙනි ! මෙතැන් සිට භික්ෂූන් විසින් නම් මෙසේ නොකළ යුතුය. යම් භික්ෂුවක් නැවත මෙසේ පහර දෙයිද ඇවත් සිදුවේයයි “පහරදාන විනය සිඛ පදය” පනවන ලදහ. මෙම ශික්ෂාපදය පනවා මහණෙනි ! තමන් දඬුවමට බියවන්නා සේම අනෙක් අයද දඬුවමට බිය වෙතැයිද, මරණයට බිය වේයයිද. දැනගෙන භික්ෂුවක් විසින් අන් භික්ෂුවකට පහර නොදිය යුතුය. ඝාතනය නොකළ යුතුයයි පවසා, පෙර පසු සම්බන්ධ කර දහම් දෙසමින් මෙම ගාථාව දේශනා කළහ.

බිය වෙති හැම දෙනම මරණෙට දඬුවමට

හොඳ නැහැ මරණ දඬුවම් නැති වරදකට

තම සිත තම සිරුර අරගෙන උවමකට

සතෙකුටම මෙත පතුරනු දියුණුවට

සියල්ලෝ දඬුවමට බියවෙති සියල්ලෝ මරණයට බියවෙති - තමාගේ බියවීම උපමා වශයෙන් ගෙන සත්ත්ව හිංසාවෙන් හා ඝාතනයෙන් වැළකිය යුතුය.

එහි සබ්බේ තසන්ති - යනු සියළු සත්ත්වයෝ තමා කෙරෙහි දඬු මුඟුරු පතිත වන විට ඒ දඬුවමට - දඬුවම්වලට බියවෙති. මච්චුනො මරණයට ද බියවෙත්ම ය. මෙම දේශනයේ ව්‍යඤ්ජනාර්ථය, සම්පූර්ණ අර්ථය නම් අවශේෂ වෙයි. යම් ලෙස රජු විසින් සියල්ලන් එක් රැස් වේවායි. අණබෙර යැවූවිට - රජ මහ ඇමති අත්හැර සෙසු අය රැස්වෙති. මෙලෙසම සියල්ලෝ බියවෙත් යයි පැවසූවිටද ආජානේය ඇත් - අස් හා කේශර සිංහයෝ ද රහතන්වහන්සේලා ද යන මේ සිව් පිරිස අත්හැර අනෙක් අය බිය වෙතියි දතයුතු මොවුන් අතර රහතන් වහන්සේලා නම් සක්කාය දෘෂ්ටිය දුරුකර ඇති හෙයින් කයේ බිඳීමක් විනා මියයන කෙනෙක් නොදකින්නේ බිය නොවෙති. අනෙක් තිදෙන මමය මාගේය යන දෘෂ්ටියෙන් බලවත් නිසා තමන්ට ප්‍රතිපක්ෂ වූ කෙනෙක් නොදකින්නේ බිය නො වෙති.

 හන්‍යාන න ඝාතයෙ, යම්සේ මා මෙන්ම අනෙක් සත්ත්වයෝ ද මරණයට බියවෙතියි අන් අය නොපෙළති අන් සතුනට අන් අය ලවා හෝ හිංසා නොකරවති. යන අරුත් දේ දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදීයට පත්වූහ.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...