Saturday, February 27, 2021
Friday, February 26, 2021
මෛත්‍රී භාවනාව – 03 කොටස – “සුවසේ නිදන්න – මෙත් වඩන්න”
මෛත්‍රී භාවනාව – 03 කොටස – “සුවසේ නිදන්න – මෙත් වඩන්න”
Feb 21, 2021 | සිත නිවන භාවනා |
මෛත්‍රී භාවනාව – 03 කොටස – “සුවසේ නිදන්න – මෙත් වඩන්න”
‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දී දේශනා කරන ලද්දේ ‘ආසේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් වසඟයේ පවත්වන ලද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද, අත නොහරින ලද, භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය පිළිබඳ එකොළොස් ආනිසංසයක් කැමති විය යුතු බව’යි. මෙලොවදී ම ලබන දස ආනිසංසයක් සහ පරලොව දී ලබන එක් ආනිසංසයක් වශයෙන් එකොළොස් ආනිසංසයක් මෙත් වැඩීමෙන් අත් වන බව මෙහි වදාළ සේක.
මෛත්‍රී භාවනාව වඩන යෝගාවචරයා මෙම ආනිසංස පිළිබඳ මෙනෙහි කළ යුතු වේ. භාවනාව ආරම්භ වීමට මත්තෙන් එහි ආනිසංස මෙනෙහි කිරීමෙන් එකී භාවනාවේ නියැළීමට ඡන්දය ඇති වී උනන්දුවෙන් භාවනාවේ නියැළීම සිදු වේ. එවිට ඉතාමත් ඉක්මනින් කමටහන සමෘද්ධමත් භාවයට පත් කර ගත හැකි වේ.
මෙත්තානිසංස සූත්‍රයේ දී පළමුව බුදුරජාණන් වහන්සේ මෙත් වඩන පුද්ගලයාට මෙලොව දී ම ලැබෙන ආනිසංස දහයක් (10) වදාළ සේක.
1. සුඛං සුපති (සුවසේ නින්ද යාම)
මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා සුවසේ නින්දට එළඹෙන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සිතේ මෙත් සිතිවිලි පැවතීම නිසා දුක් fදාම්නස්වලින් තොරව නින්දට යා හැකි පුද්ගලයා එයින් සැහැල්ලු සිතින් නින්දට එළඹේ. ඒ නිසා ම ඔහුගේ නින්ද ඉක්මනින් ඔහු වෙත ළඟා කර ගත හැකි වේ.
වර්තමානයේ ඇතැම් අය නින්ද නොලැබීම නිසාවෙන් බොහෝ පීඩාවලට පත් වෙති. නින්ද ලබා ගැනීම පිණිස ඖෂධ පවා සොයති. එහෙත් බුදුරජාණන් වහන්සේ නින්ද ළඟා කර ගැනීමට පහසු ම මඟක් ලෙස පෙන්වා දෙන්නේ මෙත් වැඩීමයි. මෙත් වඩන පුද්ගලයාගේ සිතේ කිළිටි පහව යාම නිසා ඒ පුද්ගලයා සැහැල්ලු භාවයට සන්සිඳීමට පත් වීම ඉක්මනින් නින්ද ළඟා වීමට හේතුව වේ. බොහෝ දෙනෙක් නිදාගැනීමට ගොස් නොයෙක් දේ කල්පනා කරමින් කාලය ගත කිරීම නිසා බොහෝ වේලාවක් නිදා ගත නොහැකිව ගත කරති. එහෙත් නින්දට ගොස් සිත මෙත් වැඩීමට යොමු කරගන්නා පුද්ගලයාට ඉක්මනින් නින්ද ළඟා කර ගත හැකි වේ.
2. සුඛං පටිබුඤ්ජති (සුවසේ අවදි වේ)
නිදා ගන්නා තැනැත්තාගේ අවදි වීම ද සුවපත් විය යුතුය. ඇතැම් අය අවදි වන්නේ ඉතාමත් අපහසුවෙනි. සමහර කෙනෙක් බිය වී අවදි වෙති. මෙත් වඩන පුද්ගලයාගේ නින්දෙන් අවදි වීම සුවපත් වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
3. න පාපකං සුපිනං පස්සති (ලාමක සිහින නො දකී)
ඇතැම් කෙනෙක් නින්දට ගිය විට නොයෙක් ආකාරයේ නපුරු සිහින දකී. නපුරු සිහින දැකීමෙන් බියට පත් වී අවදි වේ. එතැන් පටන් සමහර විට හොඳ නින්දක් ලැබිය නො හැකි වේ. නපුරු සිහින දැකීමේ කරදරයෙන් මිදීම පිණිස මෙත් වැඩිය යුතු වේ.
සිහින දැකීම ආකාර 4 කට සිදු වන බව ධර්මයේ සඳහන් වේ. එනම් පෙර ගත් අරමුණක් අනුව සිහින පෙනීම, සෙම් පිත් ආදි ධාතු කිපීම නිසා සිහින පෙනීම, පූර්ව නිමිති වශයෙන් සිහින පෙනීම සහ දෙවියන් විසින් පෙන්වීම වශයෙනි. සිහින දකින්නේ කපි (වඳුරු) නින්දේ දී බව ධර්මයේ සඳහන් වේ. කපි නින්ද යනු අඩ නින්දයි. නින්දත් නොනින්දත් අතර සිටීමයි. එවිට නොයෙක් සිත් පහළ වන අතර ඒ සිත්වලට එම දින තමන් ඇසූ, කියූ, දුටු දේ අනුව ගත් නිමිති අරමුණු විය හැකි වේ. ඒ අනුව සිහින පෙනීම සිදු විය හැකිය. නිරන්තරයෙන් මෙත් වඩන පුද්ගලයාගේ ආසන්න අරමුණු ගැනීම මෛත්‍රී සහගත බැවින් නපුරු නිමිති අරමුණු නොවීම නිසා නපුරු සිහින පෙනීම සිදු නොවේ. ධාතු කිපීම නිසා හෝ පූර්ව නිමිති වශයෙන් හෝ සිහින පෙනීම සිදු විය හැකි වුව ද මෙත් සිතින් වාසය කරන තැනැත්තා සුව නින්දකට බැසගනී. සුව නින්දක දී සිහින පෙනීම සිදු නොවන බැවින් නපුරු සිහින පෙනීම ද සිදු නොවේ. ඇතැම් විට දෙවියන් විසින් ද සිහින පෙන්වීම සිදු කරයි. මෙත් වඩන තැනැත්තාට දෙවියන් ප්‍රිය වන නිසාවෙන් දෙවියන් විසින් නපුරු සිහින පෙන්වීමක් සිදු නොවේ. මෙසේ මෛත්‍රී භාවනාව හොඳින් ප්‍රගුණ කර ජීවිතයට එකතු කරගත් තැනැත්තාට නපුරු සිහින නොදැක සුව නින්දක් ලැබිය හැකි වේ.
4. මනුස්සානං පියො හොති (මිනිසුන්ට ප්‍රිය වේ)
මෛත්‍රිය යනු මිතුරු බවයි. මෛත්‍රිය වැඩීමෙන් සිදු වන්නේ සියලු දෙනාට මිතුරු බව පැතිරවීමයි. එබැවින් මෙත් වඩන තැනැත්තා මිනිසුන්ට ප්‍රිය පුද්ගලයෙක් වේ. මෙය ප්‍රායෝගිකව මෙත් වඩන පුද්ගලයාට ලැබෙන විශේෂ ප්‍රතිලාභයක් වේ. මෙත් වඩන තැනැත්තාට ඒ මෛත්‍රී භාවනාවේ බලයෙන් බොහෝ ප්‍රයෝජන අත් කර ගත හැකි වේ.
උදාහරණයක් ලෙස කිසියම් ආයතනයක නිළධාරියෙකු ලවා වැඩ කටයුත්තක් කර ගත යුතුව ඇති තැනැත්තාට මෛත්‍රී භාවනාවේ බලයෙන් පහසුවෙන් තම කටයුත්ත සිදු කර ගත හැකි වේ. නිතර මෙත් වඩා පුරුදු තැනැත්තා අදාළ පුද්ගලයා මුණ ගැසීමට පෙර ඔහු සිහියට නඟාගෙන ඔහුට ටික වේලාවක් මෙත් වැඩිය යුතු වේ. ඉන්පසු එම පුද්ගලයා වෙත ගොස් තමන්ගේ වුවමනාව පැහැදිලි කිරීමේ දී ඉක්මනින් මිතුරු භාවය ගොඩ නඟාගෙන තමන්ගේ කටයුත්ත කළ හැකි වේ.
සමහර පුද්ගලයෙක් ප්‍රකෘතියෙන් ම සැර පරුෂ බව නිසා අන් අය සමඟ මිතුරු නොවේ. එවැනි අයෙක් ලවා වැඩක් කරවා ගැනීමට මෛත්‍රී භාවනාව උපකාරී කරගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ බොහෝ දුර්දාන්ත පුද්ගලයන් හා සත්ත්වයන් දමනය කිරීමට උන්වහන්සේගේ අසමසම මෛත්‍රී බලය භාවිතා කළ සේක. අංගුලිමාල වැනි දාමරිකයෙක් තමන් වහන්සේ වෙත කඩුව අමෝරාගෙන දිව එන විට ඔහුව දමනය කිරීමට උන්වහන්සේගේ අසමසම මෙත් සිත උපකාරී විය. නාලාගිරි ඇතු කිසිදු හොඳ නරකක් නොදැන බුදුරජාණන් වහන්සේ අභිමුවට දිව එන විට ඉදිරිපත් වූයේ බුදුරජාණන් වහන්සේගේ ඒ අසමසම මෙත් සිතයි. එබඳු අසමසම මෙත් සිතක් නොමැති වුව ද අප සෑම දෙනෙකුට ම පුරුදු කළ මෙත් සිත නොයෙක් ලෙස උපකාරී කරගත හැකි වේ.
මෙසේ නොයෙක් ආකාරයෙන් මෙලොව ආනිසංස ලැබිය හැකි බැව් බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කරන ලදී.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Thursday, February 25, 2021
මෛත්‍රී භාවනාව – 02 කොටස – මැනවින් අරඹන ලද චේතෝවිමුක්තිය
මෛත්‍රී භාවනාව – 02 කොටස – මැනවින් අරඹන ලද චේතෝවිමුක්තිය
Feb 21, 2021 | සිත නිවන භාවනා | 0
මෛත්‍රී භාවනාව – 02 කොටස – මැනවින් අරඹන ලද චේතෝවිමුක්තිය
මෛත්‍රී භාවනාව විස්තර කෙරෙන සූත්‍ර දේශනාවල දී ඒ පිළිබඳ භාවිතා කරන විශේෂ පද කිහිපයක් හමු වේ. මෙත්තානිසංස සූත්‍රයේ ‘මෙත්තාය භික්‍ඛවෙ චෙතොවිමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය, වත්‍ථුකතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමාරද්ධාය ඒකාදසානිසංසා පාටිකඩ්ඛා’ යනුවෙන් ‘ආසේවනය කරන ලද, වඩන ලද, බහුල කරන ලද, යානයක් මෙන් වසඟයේ පවත්වන ලද, පිහිටීමට වස්තුවක් මෙන් කරන ලද, අත නොහරින ලද, භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය පිළිබඳ එකොළොස් ආනිසංසයක් කැමති විය යුතු බව’ දේශනා කරන ලදී. එබැවින් මෛත්‍රී භාවනාව පිළිබඳ ඉගෙන ගන්නා තැනැත්තා මෙම පද පිළිබඳව ද අර්ථ වශයෙන් දැන ගත යුතු වේ.
මෛත්‍රී භාවනා බලයෙන් සිත කෙලෙසුන් කෙරෙන් මුදවා ගැනීම ‘මෛත්‍රී චෙතොවිමුක්තිය’ ලෙස හැඳින්වේ. මෙත් වැඩීම් වශයෙන් කුශල සිතක් ඇති කර ගැනීමෙන් තදංග වශයෙන් කෙලෙස් ප්‍රහීණ වන අතර පුරුදු කරන ලද මෛත්‍රී භාවනාව ඇති පුද්ගලයාගේ සිත මෛත්‍රී දැහැන්ගත වීමෙන් විශ්කම්භන වශයෙන් ද කෙලෙස් ප්‍රහීණ කරයි. ඒ මතු ද නොව මෛත්‍රී භාවනාව පදනම් කරගෙන විදසුන් වඩා සහමුලින් ම කෙලෙස් ප්‍රහීණ කිරීම ද කළ හැකි වේ. එබැවින් මෙම මෛත්‍රී භාවනාවේ දී ‘මෛත්‍රී චෙතොවිමුක්තිය’ ලෙස හැඳින්වෙන්නේ පුරුදු කරගත් මෛත්‍රීය ඇති පුද්ගලයෙක් සිය සිත කෙලෙස්වලින් මුදවාගෙන මෛත්‍රී වසයෙහි පවත්වා ගැනීමයි.
මෙසේ මෛත්‍රී චෙතොවිමුත්තිය පැවැත්වීම පිළිබඳ ආසේවිතාය, භාවිතාය යනාදි වශයෙන් ආකාර කිහිපයක් දැක්වේ. ‘ආසේවනය කිරීම’ යන්නෙන් අදහස් වන්නේ ආදරයෙන් සේවනය කිරීමයි. මෙත් වැඩීම පුරුදු කරන තැනැත්තා එය ආදරයෙන් සේවනය කළ යුතු වේ. තවත් කෙනෙකුගේ බල කිරීමකට කරන මෙත් වැඩීම දියුණුවට පත් නොවේ. ඒ පිළිබඳ තමන් තුළින් ම ඇති වූ ඡන්දයක් පැවතිය යුතු වේ. මෙලොව ආනිසංස සලකමින්, පරලොව ආනිසංස සලකමින්, ලොකෝත්තර වශයෙන් නිර්වාණ ප්‍රතිලාභය සලකමින් ඒ සඳහා අවශ්‍යයෙන් ම අත නොහැර කළ යුතු කටයුත්තක් වශයෙන් මෙත් වැඩීම කරන්නේ නම් ‘ආසේවනය’ කරන ලද්දේ වෙයි.
එසේ ආදරයෙන් සේවනය කරන මෛත්‍රිය භාවනාවක් වශයෙන් පුරුදු කිරීම ‘භාවිත කිරීම’ නම් වේ. මෙලොව ආනිසංස අපේක්‍ෂාවෙන් ද පරලොව ආනිසංස අපේක්‍ෂාවෙන් ද නිර්වාණ ප්‍රතිලාභය අපේක්‍ෂාවෙන් ද මෙත් වැඩීම කළ යුතු යැයි සලකන තැනැත්තා එය භාවනා වශයෙන් වැඩීමෙන් පුරුදු කර ගත යුතු වේ.
භාවනා වශයෙන් වැඩීමෙන් පුරුදු පුහුණු වූ මෛත්‍රිය නැවත නැවත වැඩීම ‘බහුල කිරීම’ නම් වේ. නිරන්තරයෙන් භාවනා මනසිකාරයක් වශයෙන් මෛත්‍රිය වැඩීම කළ හැකි වේ. මෙත් වැඩීමට සුදුසු වචනයක් තමන්ට හුරු කර ගැනීමෙන් නිතර එය මෙනෙහි කළ හැකි වේ. ඒ තුළින් සිතේ මෙත් සිතුවිලි නිරන්තරයෙන් පවතී. නැවත නැවත මෛත්‍රි භාවනාව වැඩීමක් සිදු වේ. බහුල වේ.
යම් දක්‍ෂ රියදුරෙක් ආජඤ්ඤ අශ්වයින් යෙදූ රථය තමන් කැමති ආකාරයට හසුරුවයි. කැමති කැමති තැනට යයි. කැමති තැනින් නතර වෙයි. මෙසේ දක්‍ෂ රියදුරෙක් රථයක් තමන් වසඟයේ පවත්වන්නාක් මෙන් මෛත්‍රිය වඩන යෝගියාට ද මෛත්‍රී භාවනාව තමන් වසඟයේ පැවැත්විය හැකි විය යුතුය. එසේ යානයක් තමන් වසඟයේ පවත්වන්නාක් මෙන් කැමති ඕනෑම වේලාවක, ඕනෑම අවස්ථාවක මෛත්‍රී ධ්‍යානයට සම වැදිය හැකි ලෙස වසඟයේ පැවැත්විය හැකි විය යුතු. එය ‘යානිකතා’ නම් වේ.
යම් දෙයක් පිහිටීමට සුදුසු බිමක් වස්තුවක් නම් වේ. පිහිටීමට මනා භූමියක් ඇති විට පමණක් එහි මැනවින් පිහිටයි. සුදුසු බිමක් නොමැති තැන මනා පිහිටීමක් සිදු නොවේ. මෙත් සිත වඩන තැනැත්තාගේ සිත මෛත්‍රී සිතුවිලිවලට පිහිටීමට සුදුසු බිමක් විය යුතුය. එසේ සුදුසු බිමක් කරගත් සිතේ වඩන ලද මෛත්‍රිය මැනවින් රෝපණය වේ. මැනවින් ඵල දරයි. මෙලොව පරලොව ආනිසංස ඵලය ද කෙළවර ලොකෝත්තර නිර්වාණ ඵලය ද අත්පත් කර දෙයි. එබැවින් මෛත්‍රිය පිහිටීමට උපකාර වන භූමියක් මෙන් සිත පවත්වා ගැනීම ‘වත්‍ථුකතා’ නම් වේ.
භාවනා වශයෙන් බහුල කර වැඩීමෙන් මෛත්‍රිය නැවත නැවත එළඹ සිටියේ නම්, අත නොහැර සිටියේ නම් එය ‘අනුට්ඨිතා’ නම් වේ. මෛත්‍රී භාවනාව පුරුදු කරන යෝගියා එය එක් දිනක් සිදු කර අතහැර දැමිය යුතු නොවේ. දිනක්, දෙකක් වඩා යළි බොහෝ කාලයකට පසුව වැඩීමෙන් කියන ලද ආනිසංස ලැබිය හැකි නොවේ. මෛත්‍රී කර්මස්ථානය තමන් අත නොහැර පැවතිය යුතු වේ. එවිට පමණක් ම මෙලොව පරලොව ආනිසංස අත් විඳිය හැකි වේ.
සිතේ මෛත්‍රිය හාත්පසින් රැස් කරන ලද්දේ නම් එය ‘පරිචිත’ නම් වේ. සියලු ආකාරයෙන් සිතේ භාවනාවට සුදුසු සේ රැස් කළ මෛත්‍රියක් පවත්වා ගත යුතු බවයි. සාමාන්‍යයෙන් අපගේ සිත තුළ නිරන්තරයෙන් කෙලෙස් සිතිවිලි ඇති වීමට සුදුසු ඉඩකඩක් පවතී. මැනවින් පුරුදු නොකළ සිතක් ඇති යෝගියාගේ සිතේ රාගාදි කෙලෙස් නිතර ඇති වේ. ඇතැම් විට ඒ බව තමන් දන්නේ හෝ නො වේ. යෝගියා ප්‍රඥාව සේ දකින්නේ කෙලෙස් සිතිවිල්ලක් විය හැකි වේ. එබැවින් මෛත්‍රිය නමැති සත් චේතනාව නිරන්තරයෙන් සිතේ එක් රැස් කළ යුතු වේ. එවිට කෙලෙස් සිතිවිලිවලට පිවිසීමට සිතේ ඉඩක් නො ලැබේ.
සිතේ මෛත්‍රී සිතිවිලි අතිශයින් උපදවා ගැනීම, මැනවින් උපදවා ගැනීම කළ යුතු වේ. මෛත්‍රිය පුරුදු පුහුණු කරන යෝගියා පළමුව තමන්ට මෙත් සිත ඇති කර ගත යුතු වේ. තමන්ට තමන් මෙන් මිතුරු අන් කිසිවකුත් නැති බැවිනි. එසේ ම තමන්ගේ හිතවත්, මැදහත්, අහිතවත් යන සියලු දෙනාට මැනවින් මෙත් සිත පැවැත්විය යුතු වේ. මෙත් සිත මැනවින් ඇරඹිය යුතු වේ. එසේ මැනවින් මෙත් සිත ඇරඹීම ‘සුසමාරද්ධ’ නම් වේ.
මෙසේ ආදරයෙන් සේවනය කරන ලද, භාවනා වශයෙන් වඩන ලද, බහුලකොට වඩන ලද, තමන් වසඟයේ පැවැත්විය හැකි යානයක් මෙන් කරන ලද, පිහිටීමට බිමක් මෙන් කරන ලද, අත නොහැර පුරුදු කරන ලද, හාත්පසින් භාවනානුරූපීව රැස් කරන ලද, මැනවින් අරඹන ලද මෛත්‍රී චෙතොවිමුක්තිය ඇති යෝගියාට මෙලොව දී ම ආනිසංස දහයක් අත් විඳිය හැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එසේ ම පරලොව වශයෙන් ද එක් ආනිසංසයක් වදාළ සේක.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Wednesday, February 24, 2021
මෛත්‍රී භාවනාව – 01 කොටස
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...