Thursday, February 18, 2021
ජටා සූත්‍රය
මෛත්‍රිය
උපුටා ගැනීම කී
මෛත්‍රිය යනු මිතුරු බව යි. අප තිලෝගුරු බුදු හිමිපාණෝ බුද්ධත්වය අවබෝධ කරගැනීමෙහි ලා මෛත්‍රිය පාරමිතාවක් ලෙස පිරූ සේක. පෘථග්ජන පුද්ගලයකුට මෛත්‍රිය වැඩීම එතරම් පහසු නො වේ. එය උදාර සිතිවිල්ලක් මෙන් ම භාවනාවක් ද වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ව්‍යාපාදය, උපහාසය මෙයට විරුද්ධ දේ ය.
තමන්ගේ අඹු-දරුවන්ට සෙත් පැතීම, මෛත්‍රිය කිරීම ඉතා පහසුවෙන් ම කළ හැකි ය. එය ආශාව, රාගය, ඇලීම නිසා ම සිදු කරන්නකි. එහෙත් අපට සතුරකුට පහසුවෙන් මෛත්‍රී කළ හැකි ද? එය අපහසු වන්නේ ඔහු අපට කළ දෝෂාරෝපණ, විරුද්්ධවාදීකම් මෛත්‍රිය වැඩීමට ඇරඹූ වේලේ සිට සිහි වන නිසා ය.
මේ සියල්ල යටපත් කරගෙන තම මිතුරාට මෙන් ම සතුරාටත්, මැදහත් අයටත් මෙත් සිත පැතිරවීම මෙත්තා පාරමිතාව යි. මවක් තම එක ම දරුවා තම ජීවිතය මෙන් ආරක්ෂා කරයි ද, එමෙන් ම සියලු සතුන් කෙරෙහි ම අප්‍රමාණ ව මෛත්‍රිය වැඩිය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයේ “මාතා යථා නියං පුත්තං - ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ” යන ගාථාවෙන් දැක්වේ.
බුද්ධ දේ්ශනාව අනුව මෛත්‍රිය වැඩීමට නියම වේලාවක් නැත. නොනිඳා සිටින සෑම වේලෙහි ම තමාට, තමාගේ නෑ-හිතවතුන්ට, මැදහත් අයට, විරුද්ධවාදීන්ට ජාති-ආගම්-කුල භේදවලින් තොර ව සම සේ මෛත්‍රිය පැතිරවිය හැකි ය. සෑම දෙනා ම සියලු දුකින් මිදී සැප සේ ජීවත් වීම අවංක ව ම දැකීමට ඇති කැමැත්ත නියම මෛත්‍රියේ ස්වභාවය යි. ඔහුට මෙලොව දියුණුවට මග පෑදෙයි. ඉන් ඔහු ගෞරව කීර්ති ප්‍රශංසා මෙලොවදී ම ලබයි.
“සියලු සත්ත්වයෝ සුවපත් වෙත් වා!” යි මහ හඬින් කීවත් එයින් ඇති ඵලයක් නැත. හද පත්ලෙන් ම ඒ ගැන මෙනෙහි කරමින් “යහපතක් ම වේවා!” යන අරුතින් මෙත් වැඩිය යුතු ය. එයින් ලැබෙන ඵලය අතිමහත් ය. මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන ආනිසංස එකොළහක් පිළිබඳ ව සඳහන් කර ඇත. එනම්,
1. සුව සේ නින්දයෑම, 2. සුව සේ අවදි වීම, 3. නරක සිහින නොදැකීම, 4. මිනිසුන්ට පි‍්‍රය වීම, 5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වීම, 6. දෙවියන්ට පි‍්‍රය වීම (දේව ආරක්ෂාව ලැබීම), 7. අවි ආයුධවලින් ගින්නෙන් වස-විෂවලින් විපත් නොවීම, 8. සිත සමාධිගත වීම, 9. මුහුණ ප්‍රසන්න වීම, 10. සිහි මුළාවෙන් තොරව මිය යෑම, 11. මරණින් පසු බඹ ලොව ඉපදීම.
මිනිසුන්ට පමණක් නො ව, සෑම ප්‍රාණියකු කෙරෙහි ම මෙත් සිත පැතිරවිය යුතු ය. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන්නාගේ සිත නිතර ම දූෂිත ය; අපිරිසිදු ය; මුහුණ බැලීමට පවා අප්‍රසන්න ය. ඔහු කායික මෙන් ම මානසික රෝගවලට ද ගොදුරු වේ.
බාහිර පෙනුමින් ශාන්ත බව හුවා දැක්වුව ද ඇතුළතින් කිපෙනසුලු නපුරු ස්වභාවය ඇති බවට වේදේහිකාගේ කථාව නිදසුනක් ලෙස දැක්විය හැකි ය. වේදේහිකා සැවැත් නුවර විසූ කාන්තාවකි. ඇයට අනලස් ව ක්‍රියා කරන ඉතා දක්ෂ සේවිකාවක් සිටියා ය. ඕ නමින් ‘කාලී’ විය. වේදේහිකා ඉතා ගුණ සම්පන්න කාරුණික තැනැත්තියක ලෙස අසල්වැසියන් අතර ප්‍රසිද්ධ වූවා ය. විශේෂයෙන් ම පුරුෂයන් කීවේ “අපේ ගෙවල්වල කාන්තාවන්ට වඩා මැය කොපමණ හොඳ ද?” යන්න ය.
මෙසේ වේදේහිකා පිළිබඳ සෑම දෙනාගේ ම මුවින් හොඳ කියැවෙද්දී කාලී මෙසේ සිතන්නට වූවා ය: ‘මාගේ ස්වාමි දුව ඇත්තට ම ගුණවත් ද? ඈ මෙසේ ශාන්ත ව සිටින්නේ මා හොඳින් වැඩ කරන නිසා ද? මා මෙය පරීක්ෂා කළ යුතු යි,’ සිතා එක් දිනක් දවල් වන තුරු නිදාගත්තා ය. උදේ තේ පානයේ සිට සියලු කටයුතු ඇනහිටිණි. වෙනදා අකුරට ම කැරුණු වැඩකටයුතු අතපසු වීම නිසා වේදේහිකාගේ ශාන්ත බව ක්‍රමයෙන් යටපත් විය. ඈ කාලී දෙස රවා බලා කෝපයෙන් කථා කළා ය. කාලී දෙවැනි දිනයේ ද ස්වාමි දුව පරීක්ෂා කරන අටියෙන් පළමු දිනට වඩා දවල් වන තෙක් නිදාගත්තා ය. එදින වේදේහිකාගේ සැර-පරුෂ බව පළමු දිනට වඩා ප්‍රබල විය. ඈ නොසෑහෙන ලෙස කාලීට දොස් පැවරුවා ය.
වේදේහිකාගේ ගතිලක්ෂණ තවත් විමසීමට සිතා තෙවැනි දිනයේ ද දවල් වී නැගිට්ටා ය. එදින වේදේහිකාට ඉවසුම් නැති විය. “ඇයි මෙපමණ දවල් වන තෙක් නිදන්නේ?” යි ඈ ඇසුවේ පාලනය කරගත නොහැකි කෝපයකිනි. “කිසි කරුණක් නැති ව” යි කාලීගේ මුවින් පිට විණි. ඉවසාගත නොහැකි කෝපයෙන් ඈ අසල තිබූ දොරපොල්ල ගෙන කාලීට ගැසුවා ය. ඇගේ හිස පැළිණි. කාලී හිසෙන් ලේ ගලමින් තිබියදී ම තමාට සිදු වූ ඇබැද්දිය අසල්වාසීන්ට දැනගන්නට සැලැස්සුවා ය. ඒ මොහොතෙහි ම වේදේහිකාගේ කීර්ති රාවය අතුරුදන් විය; ඈ දුෂ්ට ගැහැනියක ලෙස හංවඩු ගැසිණි.
මේ කථාවෙන් දැක්වෙන්නේ බාහිර පෙනුමින් ශාන්ත ව සිටියත් අභ්‍යන්තර ස්වභාවය ඊට හාත්පසින් ම වෙනස් බව ය. මෛත්‍රිය වැඩීමෙන් කළ යුත්තේ එවැනි යටපත් වූ අධර්මයන් සිතෙන් තුරන් කරගැනීම යි.
අප මහා බෝසතාණන් වහන්සේ මෛත්‍රිය පාරමී ධර්මයක් ලෙස පිරූ බව නිග්‍රෝධ මිග ජාතකයෙන් පැහැදිලි වේ. මහා කපි ජාතකයේදී බෝසතාණන් වහන්සේ වඳුරකු ව ඉපිද වනයේ විශාල වළකට වැටී ගොඩ ඒමට නොහැකි ව කෑගසන මිනිසකු දැක මහත් පරිශ්‍රමයක් යොදා ගොඩගත් අයුරු පැහැදිලි කරරෙයි. පසු ව බොහෝ විඩාවට පත් ව සිටින මේ බෝසත් වඳුරා නින්දට වැටුණු විට ගලකින් ගසා තුවාල කර මැරීමට තැත් කළ මිනිසාට ද මෛත්‍රි සහගත ව වනයෙන් එළියට යෑමට පාර පෙන්වූයේ තම තුවාලයෙන් ලේ වගුරවමිනි.
වර්තමාන ලෝකයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයන්ට මුල් ම හේතුව වී ඇත්තේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය ආදිය යි. බෝසත් අවධියේ සිට මෛත්‍රිය පාරමිතාවක් ලෙස පිරූ බුදුන් වහන්සේට තම පුත් රාහුල හිමියන්ටත්, තමා මරන්නට ආ දෙව්දත් තෙරුන්ටත්, සුද්ධෝදන රජුටත්, මහා ප්‍රජාපතී ගෝතමියටත්, තමන් වහන්සේ අපකීර්තියට පත් කිරීමට තැත් කළ චිංචිමාණවිකාව, සුප්‍රබුද්ධ වැන්නන්ටත් සම සිත් ඇති ව සිටීමට හැකි විය. උන් වහන්සේ මහා කරුණා සමාපත්ති ඥානයෙන් යුතු ව දිනපතා ම අසරණයන් සුඛිත-මුදිත කිරීමේ හැකියාව ලැබුවේ මෛත්‍රිය පාරමිතාවක් ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය.
උදේනි රජු, සාමාවතී දේවිය ඇතුළු පන්සියයක් ස්ත්‍රීන් පෙළට සිටුවා එක ඊ පහරින් මරන්නට තැත් කළ ද එය ව්‍යර්ථ වූයේ ඔවුන්ගේ මෙත් වැඩීමේ බලයෙනි. එමෙන් ම සිරිමා ගණිකාව විසින් උත්තරා දේවියගේ හිසෙහි බහා ලූ උණු තෙල් භාජනය සිසිල් දිය දහරක් මෙන් නොදැවී හිස මත පතිත වූයේ ද එම දේවිය මෙත් සිතින් විසූ නිසා ය.
මිනිස්, නොමිනිස්, තිරිසන් ආදි සෑම කෙනෙක් ම මිතුරු බවට කැමති ය. එනිසා අල්පමාත්‍ර ඇල්මකුදු නොමැති ව අනුන්ගේ යහපත සඳහා අපේ ශක්ති පමණින් මෛත්‍රිය පතුරුවා, ඊර්ෂ්‍යා ක්‍රෝධවලින් තොර සුන්දර පරිසරයක් ගොඩනඟාගැනීමට සෑම කෙනෙක් ම අදිටන් කරගත යුතු ය.
අසුරු සණක් ගසන මොහොතක් වත් නියමාකාරයෙන් මෛත්‍රිය පතුරුවන්නට හැකි නම් එයින් මහත් ඵල ලැබෙන බව බුද්ධ දේශනාව යි.
Wednesday, February 17, 2021
9-4 සතරවන අනාථ පිණ්ඩික සිටුවරයාගේ වස්තුවයි.
9-4 සතරවන අනාථ පිණ්ඩික සිටුවරයාගේ වස්තුවයි.
පාපොපි පස්සති භද්‍රං, යාව පාපං න පච්චති;
යදා ච පච්චති පාපං, අථ පාපො පාපානි (අථ පාපානි (?)) පස්සති.
යම්තාක් කල් අකුශල කර්මය (පව) විපාක නොදේද, ඒතාක් කල් පාපකාරී පුද්ගලතෙමේ පව් කරන්නේද යහපත දක්නේය. යම්කලෙක වනාහි ඔහු විසින් කරණ ලද පාප කර්මය විපාක දේද එකල්හි පව්කම් කළ පුද්ගලතෙම පාපයෙහි විපාක දක්නේය.
භද්‍රොපි පස්සති පාපං, යාව භද්‍රං න පච්චති;
යදා ච පච්චති භද්‍රං, අථ භද්‍රො භද්‍රානි (අථ භද්‍රානි (?)) පස්සති.
යම්තාක් කල් කුශල කර්මය විපාක නොදේද, ඒතාක් කල් පාපකාරී පුද්ගල තෙමේද අකුශල විපාකවූ අවැඩ දක්නේය. යම්කලෙක වනාහි ඔහු විසින් කරණ ලද සුචරිතය විපාක දේද, එකල්හි කුශලකාරීවූ සත්පුරුෂතෙම ඉෂ්ටවිපාකයන් දක්නේය.
පාපොපි පස්සති භද්‍රං යනාදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ අනාථපිණ්ඩික සිටුවරයා උදෙසා දේශනා කරනලදි.
අනාථපිණ්ඩික සිටුවරයා පනස්හතර කෝටියක් බුද්ධශාසනය උදෙසා වියදම්කොට කරවනලද ජේතවනවිහාරයෙහි බුදුරජාණන්වහන්සේ වැඩවාසය කරන විට දිනපතා උපස්ථාන සඳහා තුන්වරක් යයි. එසේ යනවිට, ළදරු සාමණේරවරු ගෙනාවේ මොනවාදැයි මගේ අත්දෙස බලතියි හිස්අතින් නොයයි. උදේ වරුවේ යන්නේ නම්, කැඳ රැගෙනම යයි. උදේ ආහාර වේලාවෙන් පසු යනවිට ගිතෙල්, වෙඬරු ආදිය රැගෙන යය. සවස් වේලේ යනවිට මල්ගඳවිලවුන්, රෙදි ආදිය රැගෙන යයි. මෙසේ නිරන්තරයෙන්ම දවස්පතා දන්දෙමන් සිල් රකියි.
පසුකල් යනවිට ඔහුගේ ධනය අවසන් වූයේය. මෙසේ එදිනෙදා ජීවිතය සඳහා අටළොස්කෝටියක් ණයට ගන්නාලදි. තම පාරම්පරික ධනයෙන් අටළොස්කෝටියක ධන ගංඉවුරේ සැළක බහා නිධන්කොට තිබිණි. ජලයෙන් ඉවුරු සෝදාගෙන යනවිට ධනනිධානද මූදට ගසාගෙන ගියේය. මෙසේ ක්‍රමයෙන් ඔහුගේ ධනය ක්ෂය වී ගියේය. එසේවුවත් ඔහු සංඝදාන දිගටම දෙන්නේමය. එහෙත් ප්‍රණීත ලෙස දීමට අපොහොසත්විය.
දිනක් බුදුරජාණන්වහන්සේ සිටුවරයා අමතා සිටුවරය ඔබේ නිවසේ පෙර සේම දැනුත් දන් දෙන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය, දන්දෙමි. එහෙත් ඒ දෙන්නේ නිවුඩුහාලේ බත් කොඩිහොදිත් සමගයයි සිටුවරයා කියා සිටියේය.
ගෘහපතිය, ඔබ කටුක ලෙස දන් දෙන්නෙමියි නොසිතව. සිතේ ප්‍රණීතබව ඇත්නම් බුද්ධාදීන්ට දෙන දානයක් කටුක නොවෙයි. එය අෂ්ටාර්යපුද්ගලයන්ට දෙන දානයක් හෙයිනි. ගෘහපතිය, මම වේලාම නම් බමුණෙක්ව සිටි කාලයේ නගරයේ සියලු දෙනා නඟුල් පසෙකින් බැඳ ගොවිතැන් නොකරන කාලයේත් මහදන් දුන්නත් තිසරණගිය කෙනෙක්වත් එකල නොලැබීමි. දක්‍ෂිණාර්හ පුද්ගලයෝ ඉතා දුර්ලභයහ. එනිසා මාදුන් දානය කටුකයයි නොසිතවයි කියා වේලාම සූත්‍රය දේශනා කළසේක.
ඉන්පසු සිටුවරයාගේ දොරකොටුවෙහි අධිගෘහීත දේවතාදුව බුදුනුත් බුද්ධශ්‍රාවකයෝත් එතනින් ඇතුල් වනවිට උන්වහන්සේලාගේ ආනුභාවයෙන් එහි සිටීමට නොහැකිව, මොවුන්ට මේ ගෙයට ඇතුල් නොවීමේ ක්‍රමයක් යෙදිය යුතුයයි ගෘහපතියා හා මේ පිරිස බිඳුවන්නෙමියි සිතා ඉසුරුමත් කාලයේ එය කියාගත නොහැකි වුණත්, දැන් ඔහු දුප්පත් නිසා මගේ කියමන් භාරගනු ඇතියි සිතා රාත්‍රිභාගයෙහි සිටුවරයාගේ ශ්‍රීයහන් ගැබට පිවිසි අහසෙහි සිටියාය. සිටුවරයා එය දැක මේ කවරෙක්දැයි ඇසීය. මහසිටුවරය, සතරවෙනි දොරටුවෙහි අධිගෘහිත දේවතාදුවණිය මමයි, ඔබට අවවාදයක් දෙනු පිණිස ආවෙමි. එසේනම් අවවාද කරවයි කීපසු මහසිටුවරය, ඔබ පසුකාලය ගැන නොසිතා ශ්‍රමණගෞතමයන් උදෙසා බොහෝ ධනය වියදම් කෙළෙහිය. දැන් දුප්පත් වීමෙන් පසුවත් එය අත්නොහරින්නෙහිය. මෙහෙම ගියොත් කීප දිනකින්ම බඩගින්නට ආහාරවත් ඇඳීමට රෙදිවත් නැතිවීයන්නට පුළුවන. ඔබට ශ්‍රමණගෞතමයන්ගෙන් වැඩක් නැත. එය අතිපරිත්‍යාගයෙන් මිදී ධනය කර්මාන්තයෙහි යොදවා පවුල රැකගනු මැනවි. ඔබ මටදෙන අවවාදය එයද? සිටුවරය එසේය. ඉවත්ව යව, තී වැනි අය ලක්‍ෂයක් ආවත් මා එයින් ඉවත්කරනු නොහැකිය. තී කියන්නේ අයුක්තියකි. මගේ ගෙදරම වසමින් මෙසේ කියන තී මගේ ගෙයින් ඉවත්ව යවයි කීවේය. සෝවාන්ව සිටි ආර්යශ්‍රාවකයාගේ වචන අසා සිටිය නොහැකිව දරුවනුත් රැගෙන නික්මුණාය. එසේ නික්මී ගොසිනුත් වාසයකිරීමට වෙනත් තැනක් ලබාගත නොහැකිව, සිටුවරයා සමා කරවාගෙන එහිම වාසය කරන්නෙමියි නගරයටම අධිපති දිව්‍යපුත්‍රයා වෙත එළඹ තමන් කළ අපරාධය ගැන දන්වා මාත් සමග එන්න. සිටුවරයා ළඟට මා පමුණුවා සමාකරවා විසීමට තැනක් ලබා දෙන්නැයි කීවාය.
ඒ දිව්‍යපුත්‍රයා, තී කියන්නේ අයුත්තකි. මම තී සමග එහි යෑමට උත්සාහ නොකරන්නෙමියි ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙළේය. ඈ සිව්වරම් දෙවියන් වෙත ගොස් ඔවුනුත් ඉල්ලීම ප්‍රතික්ෂේප කළකල්හි, ශක්‍රදිව්‍යරාජයන් වෙත ගොස් ඒ පුවත කියා දේවයන්වහන්ස, වසන තැනක් නොලැබ දරුවන් අතින් එල්ලාගෙන අනාථව ඇවිදිමි. වසන තැනක් මට සොයා දෙන්නැයි බලවත්සේ ඉල්ලා සිටියාය. ඉන්පසු සක්දෙව් රජ ඈට මෙසේ කීවේය. ඔබේ කරුණ සිටුවරයාට කීමට මමත් අපොහොසත් වෙමි. මම එක් උපායක් ඔබට කියා දෙමියි කීවේය. දේවයන්වහන්ස එසේයයි කීවිට, යව ගොසින් සිටුවරයාගේ ලියන්නකුගේ වෙස්ගෙන සිටුවරයාගෙන් ණයට ගත් අයට ලිපියක්ද ගෙන, ඔවුන් සිටින තැන්වලට ගොස් ඔවුන් විසින් ගන්නාලද අටළොස්කෙළක් ධනය තම ආනුභාවයෙන් රැගෙන අවුත් හිස් ගබඩා පුරවා, මහමුහුදට ගසාගිය අටළොස්කෙළක ධනයත්, අසවල් ස්ථානයෙහි ඇති අස්වාමික අටළොස්කෙළක ධනයක් ගෙනවුත් ඔහුගේ හිස් ගබඩා පුරවා දඬුවම් විඳ ක්ෂමාකරවානුවයි කීවේය.
ඈ යහපත දේවයිනියි ඒ කී සියල්ල කී අයුරින්ම ඉටුකොට යළි සිටුවරයාගේ සිරි යහන්ගැබ ආලෝකවත් කරමින් අහසෙහි සිට මේ කවුදැයි ඇසූවිට මම ඔබේ සිව්වැනි දොරකොටුවෙහි අධිගෘහිතමෝඩ දේවතාදුවයි, මගේ මෝඩකමෙන් මා ඔබ ළඟදී යමක් කීවෙහි නම් ඒ සියල්ලට මට සමාව දෙනු මැනව. ශක්‍රදේවේන්ද්‍රයාගේ උපදෙස් අනුව සිව්පනස්කෝටියත් ගෙනුවත් හිස්ගබඩා පිරවීම දඬුවමක් වශයෙන් කෙළෙමි. වසන තැනක් නොමැතිව ක්ලාන්තව සිටිමැයි කීවාය.
අනාථපිණ්ඩික මෙසේ සිතීය, මේ දේවතාවිය දඬුවම් වින්ද බවත්, තම වරද පිළිගන්නා බවත් කියයි. මැය බුදුන්ට පෙන්වන්නෙමියි සිතීය. හෙතෙම ඇය බුදුන් හමුවට පමුණුවා තී කළ හැම දෙයක්ම දන්වන්නැයි කීවේය. දේවතාවිය බුදුන්න පාමුල හිස තබා වැඳවැටී ස්වාමීනි, මම මගේ මෝඩකමෙන් ඔබවහන්සේගේ ගුණ නොදැන පව්කාර වචන කීවෙමි. ඒ සියල්ලටම මට සමාව දෙනු මැනවයි බුදුන් සමා කරවාගෙන, මහසිටුවරයාත් සමාකරගත්තාය.
බුදුරජාණන්වහන්සේ හොඳනරක ක්‍රියාවල හැටි සිටුවරයාටත් දේවතාවියටත් පැහැදිලි කරමින් අවවාද කරමින්, ගෘහපතිය, මේ ලෝකයෙහි පව්කාර පුද්ගලයා; පාපය මුහුකුරා යනතුරු එය යහපතැයි සිතා ගනී. එය මුහුකුරා ගියපසු එය පාපයකියි දකියි. යහපත් පුද්ගලයා පින මුහුකුරා යනතුරු පාපයක් ලෙස දකියි. ඔහුගේ පින මෝරා ගියපසු එය යහපතක් ලෙස දකියි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාද වදාළහ:
පව්කරන අය මේ ලොව
එය පවක් සේ නොදකිති
මුහුකුරා පල දෙනවිට
එය පවක් බව වැටහෙයි
පින්කරන අය මේ ලොව
එය පිනක් සේ නොදකිති
මුහුකුරා සැප දෙනවිට
එය පිනක් සේ වැටහෙයි.
එහි පාපො යනු කායදුශ්චරිතාදියෙන් යුක්ත පුද්ගලයායි. ඔහුත් පෙරසුචරිත කිරීමේ ආනුභාවයෙන් උපන් සැප අනුභව කරමින් එය යහපත් ලෙස දකියි. යාව පාපං න පච්චති යනු යම්තාක් ඔහුට ඒ පාපය මෙලොවදී හෝ පරලොවදී විපාක නොදෙයිද එතෙක්කල්ය. යම් විටක එලොවදී හෝ පරලොව විපාක දෙයිද, මෙලොවදී නොයෙක් දුකටත්, පරලොව අපාය දුකටත් වැටී දුක්විඳින කල එය පාපයක් ලෙස දකියි.
දෙවෙනි ගාථාවේත් කායසුචරිතාදි භේද ඇති යහපත් ක්‍රියාවලින් යුක්තවූයේ යහපත් පුද්ගලයායි. ඔහුද පෙර කළ කර්මානුරූපව උපන් දුක් අනුභව කරමින් පවේ විපාක දැනගනී. යාව භද්‍රං පච්චති යනු යම්තාක් ඔහුගේ ඒ යහපත් ක්‍රියා මෙලොවදී හෝ පරලොවදී විපාක නොදේද, යම් විටකදී ඒ යහපත් ක්‍රියා මෝරා යයිද, එකල්හි මෙලොවදී හෝ පරලොවකදී හෝ ලාභසත්කාරාදිය ලැබීමේ සැපය හෝ දිව්‍යමය සම්පත් අනුභව කරන අවස්ථාවේදී හෝ කළ කර්මය යහපතක්ම ලෙස දකියි.
දේශනාවසානයෙහි ඒ දෙව්දුව සෝවාන්ඵලයෙහි පිහිටියාය. පැමිණි පිරිසටත් එය ප්‍රයෝජනවත් ධර්මදේශනාවක් විය.
තුන්වන ලාජදෙව් දුවණියගේ වස්තුවයි.
3 තුන්වන ලාජදෙව් දුවණියගේ වස්තුවයි.
පුඤ්ඤඤ්චෙ පුරිසො කයිරා, කයිරා නං (කයිරාථෙතං (සී. ස්‍යා.), කයිරාථෙනං (පී.)) පුනප්පුනං;
තම්හි ඡන්දං කයිරාථ, සුඛො පුඤ්ඤස්ස උච්චයො.
පුරුෂයා ඉදින් පිනක් කරන්නේ වීනම් එය නැවත නැවතද කරන්නේය. ඒ කුශලයෙහි ආලය කරන්නේය. පින් රැස්වීම සුවය.
පුඤ්ඤං චෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසය කරද්දී ලාජ දෙව්දුව අරභයා දේශනා කරනලදි.
මෙහි මුල්කථාව රජගහ නුවරදී උපන්නකි. ආයුෂ්මත් මහා කාශ්‍යපතෙරණුවෝ පිප්ඵලී ගුහාවෙහි වාසයකරන කාලයෙහි ධ්‍යානයට සමවැදී සත්වෙනි දින එයින් නැගිට පිඬු පිණිස හැසිරීමට සුදුසු තැනක් දිවඇසින් බලවිට එක් හැල්කෙතක පාලිකාස්ත්‍රියක් හැල්වීකරල් නෙවුත් විලද කරනු දැක, ඈ සැදැහැවත්ද නැද්දැයි බලා සැදැහැති බවත්, ඈ මට සංග්‍රහයක් කිරීමට සුදුසු තත්ත්වයක සිටින්නීදැයි බැලූවිට, ඈ විශාරදවූ කුලදුවක් බවත් දැන, තමන්ට සංග්‍රහ කරනබවත් එයින් මහා සම්පතක් ලබනබවත් දැන, සිවුරුපොරවා පාත්‍රයක් රැගෙන හැල්කෙත ළඟට වැඩමවූහ.
ඒ කුලදුව තෙරුන්දැක පැහැදී පස්වණක් ප්‍රීතියෙන් පිනාගිය සිරුරු ඇතිව, ස්වාමීනි, වැඩහිඳිනු මැනවැයි කියා විලඳ ගෙනවුත් තෙරුන්ගේ පාත්‍රයෙහි දමා පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, ඔබ අවබෝධකරගත් ධර්මය ලබාගැනීමට සුදුසු කෙනෙක් වෙම්වායි ප්‍රාර්ථනා කළාය. එය එසේම වේවායි තෙරණුවෝ අනුමෝදනා කළහ. ඈද තෙරුන් වැඳ තමන් දුන් දානය ගැන සිතමින් නැවතුණාය.
ඇගේ කුඹුරු සීමාවට යන මගෙහි එක් ගස් බෙනයක ඝෝර විෂ ඇති සර්පයෙක් සිටියේය. කසාවතින් වැසුණු තෙරුන්ගේ කෙණ්ඩ දෂ්ටකිරීමට සර්පයාට නොහැකිවිය. අර තැනැත්තී දුන් දානය ගැන සිහිකරමන් නැවතිනැවතී අවුත් ඒ ප්‍රදේශයට පැමිණියාය. සර්පයා බිලයෙන් පිටවී අවුත් ඈ දෂ්ටකොට එතැනම හෙළුවේය. ඈ පැහැදුණු සිතින්ම මිය පරලොව ගොස්, තිස්යොදුන් පමණවූ තව්තිසා භවනයෙහි සියලු ආකාර ඇඳුම් පැළඳුම්වලන් යුක්තව, නිදා පිබිදියාක් මෙන් උපන්නාය. ඈ දොළොස් යොදුන් පමණවූ එක් දිව්‍ය වස්ත්‍රයක් ඇඳ එකක් පෙරවාගෙන දිව්‍යාප්සරාවන් දහසක් පිරිවරා පෙර කළ පින්කම් කියනු පිණිස රන්වන් විලඳවලින් බරවූ එල්ලෙන්නාවූ රත්නමය භාජන සහිතව විමාන දොරටුවෙහි සිට තම සම්පත් දැක, කිනම් පිනක් කිරීමෙන් මේ සම්පත ලැබුවේදැයි දිවැසින් බලා, ආර්යවූ මහාකාශ්‍යප හිමියන්ට මවිසින් දෙනලද විලඳදානයෙනියි දැනගත්තාය.
මෙතරම් කුඩා පරිත්‍යාගයකින් මා මේසා විශාල සම්පතක් ලබා දැන් පමාවීම නුසුදුසුය. ආර්යයන්වහන්සේට වත්පිළිවෙත් කොට මේ සම්පත් ස්ථාවර කරගන්නෙමියි සිතා උදෑසනම රත්රන්මුවා මුසුනක්ද කසළ ඉවත්කරන භාජනයක්ද ගෙන තෙරුන්ගේ ගෙමිදුල හැමද බීමටත් පරිහරණයටත් අවශ්‍ය ජලය සපයා තැබුවාය. තෙරණුවෝ ඒවා දැක කිසියම් ළමයෙකු විසින් කරන්නට ඇතියි සිතාගත්තෝය. ඈ දෙවෙනි දවසේත් එසේ කළාය. තෙරණුවෝ එදවසත් එසේම වන්නට ඇතියි සිතූහ. තුන්වෙනි දිනයෙහි තෙරණුවෝ ඇගේ හැමදීම් හඬ අසා, යතුරුසිදුරු හෝ තල්කොළ වැටවල සිදුරු ආදියෙන් ආ ශරීර ආලෝකය දැක දොරහැර මේ අමදින්නේ කවුරුන්දැයි ඇසූහ. ස්වාමීනි, ඔබවහන්සේගේ උපස්ථායිකාවක්වූ ලාජදෙව්දුවවූ මමයයි කීවාය. මට මේනමින් උපස්ථායිකාවක් ඇතිබව මතකනැතැයි කීහ.
ස්වාමීනි, මම ඇල්කෙත රකිමින් විලඳ දන් දී ප්‍රීතියෙන් සිටින අවස්ථාවේ සර්පයකු දෂ්ටකර තව්තිසාවෙහි උපනිමි. මම මේ සම්පත් ලැබුවේ ආර්යයන් වහන්සේ නිසාය. දැනුත් ඔබවහන්සේට වත්පිළිවෙත්කොට සම්පත් ස්ථාවරකර ගන්නෙමියි ආවෙමි. ඊයේත් පෙරේදාත් මෙතැන හැමදියේ තී විසින්ද? පානීය පරිභෝජනීය පැන්ගෙනාවේත් තී විසින්ද? එසේය ස්වාමීනි. දෙව්දුව මෙතනින් පහවයව. තී විසින් කළ වතාවත් එසේම වේවා, මෙතැන් පටන් මෙතැනට නොආයුතුය. ස්වාමීනි, මා නොනසනසේක්වා, ඔබවහන්සේට වතාවත් කර මගේ සම්පත් ස්ථාවරකර ගැනීමට අවසර දෙනුමැනවි. දෙව්දුව පහව යව. අනාගතයේදී විජිනිපත් රැගෙන ධර්මාසනයෙහි වැඩ සිටින ධර්මකථිකයන් විසින්, මහාකාශ්‍යප තෙරුන්වහන්සේට එක් දේවතාදුවක් අවුත් වතාවත්කොට පානීය පරිභොජනීය පැන් ගෙනවුත් උවටැන් කරන ලදැයි කීමට කථාවක් නොතැබිය යුතුයයි කීහ. දැන් මෙතනින් යව. මින්පසු මෙහි නොඑවයිද කීහ. ඈ, අනේ ස්වාමීනි, මා නොනැසුව මැනවැයි යළියළිත් ඉල්ලා සිටියාය. තෙරණුවෝ මෑ මගේ වචනය අසන්නේ නැතැයි සිතා, තීගේ ප්‍රමාණය තීම දැනගනුවයි අසුරුසණක් ගැසූහ. ඈ එහි සිටිනු නොහැකිව අහස උඩට පැන ඇඳිලි බැඳගෙන සිට, ස්වාමීනි, මා ලත් සම්පත නොනැසුව මැනව, එය ස්ථාවර කර ගැනීමට ඉඩදෙන්නැයි හඬමින් වැළපෙමින් අහසෙහි සිටියාය.
ශාස්තෘන්වහන්සේ දෙව්රම ගන්ධකුටියෙහි වැඩසිටින ගමන්ම ඈ අඬන හඬ අසා ආලෝකයක් යවා දෙව්දුව ඉදිරියෙහි වැඩහිඳගෙන කථා කරන්නාක් මෙන් දෙව්දුව, මා පුත් කාශ්‍යපතෙරණුවන්ට සංවරවීම භාරය. පින් කැමති අයට මේ මේ දෙය අර්ථවත් යයි සලකා පින්කිරීම භාරය. පින්කිරීම මෙලොවටත් සැපම ගෙනදේයයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
පින් කළහොත් කවුරු හෝ
එය යළිත් කළයුතුමවේ
එයට රුචි කළයුතු
පින් රැස් කිරීමෙන්
සැපත හැමවිට ළංවේ
එහි අර්ථය නම්, පුද්ගලයා පින් කරන්නේ නම්, එක් වරක් පිනක් කොට මම පිනක් කෙළෙමි දැන් ඉතින් මේ ප්‍රමාණවත්ය කියා එතැන් පටන් එහි නොඇළී නොසිට යළියළිත් පින් කළයුතුම වේ. පිනක නොයෙදන විටක වුවත් කළ පින් ගැන රුචියත් උත්සාහයත් කළයුතුම වේ. කුමක් නිසාද? සුඛො පුඤ්ඤස්ස උච්චයො පින් රැස්කිරීම, එහි වර්ධනය මෙලෝ පරලෝ සැප ගෙන දෙන බැවින් සැපයක්ම වන හෙයිනි.
දේශනාවසානයෙහි දෙව්දුව සතළිස්පස්යොදුනක් උඩ සිටම සෝවාන්ඵලයට පැමිණියාය.
9-2 දෙවන සෙය්‍යසක තෙරුන්ගේ වස්තුවයි.
9-2 දෙවන සෙය්‍යසක තෙරුන්ගේ වස්තුවයි.
පාපඤ්චෙ පුරිසො කයිරා, න නං (න තං (සී. පී.)) කයිරා පුනප්පුනං;
න තම්හි ඡන්දං කයිරාථ, දුක්ඛො පාපස්ස උච්චයො.
පුරුෂතෙම ඉදින් අකුශල කර්මයක් කෙළේ නමුදු ඒ (අකුශල කර්මය) නැවත නැවත නොකරන්නේය. ඒ (අකුශල කර්මයෙහි) ආලයක් නොකරන්නේය. පව් රැස්වීම දුක්ය.
පාපං චෙ පුරුසො ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරද්දී සෙය්‍යසකතෙරුන් අරභයා දේශනා කරනලදි. උන්වහන්සේ ලාලුදායීතෙරණුවන්ගේ සද්ධිවිහාරිකයෙකි. උන්වහන්සේ තමන්ගේ නොඇල්ම ලාලුදායිතෙරුන්ට දැන්වූ පසු උන්වහන්සේ විසින් ප්‍රථම සංඝාදිසෙස කර්මයෙහි පිහිටුවන ලදි. අනභිරතිය උපනුඋපන් අවස්ථාවල එම කර්මයම කෙළේය.
බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ මේ ක්‍රියාව ගැන අසා උන්වහන්සේ කැඳවා ඔබ මෙබන්දක් කෙළෙහිදැයි අසා ස්වාමීනි එසේයයි පිළිගත්කල්හි, ඇයි මෙතරම් බරපතළ දෙයක් කෙළේ, හිස් මිනිස, ඔබ නොගැළපෙන ක්‍රියාවක් කෙළෙහියයි නානාප්‍රකාරයෙන් ගර්හාකොට ශික්‍ෂාපද පණවා, මෙබදු ක්‍රියා කරන්නවුන්ට මෙලොවත් පරලොවත් එය දුක් ගෙනදීමටම හේතුවේයයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
පව් කළහොත් කවුරු හෝ
යළිත් එයම නොකළයුතුවේ
රුචි නොකළ යුතුය එයටම
පව් රැස් කිරීමෙන් පසු
දුක් විඳීමට සිදුවේ
එහි අර්ථය නම්, යම් හෙයකින් පුද්ගලයා වරක් පාපකර්මයක් කළවිට, එකෙණෙහිම ඒ ගැන සිතාබලා මෙය නුසුදුසුය, පහත් වැඩකියි සිතා ගන්නේනම් එය නැවත නොකරන්නේය. ඒ පිළිබඳ යම් කැමැත්තක් රුචියක් හෝ උපන්නොත් එයත් නැතිකර දමන්නේමය. මක්නිසාදයත්? දුක්ඛො පාපස්ස උච්චයො පාපයාගේ රැස්කිරීම, වර්ධනයට පත්කර ගැනීම මෙලොවත් පරලොවත් දුකක්ම ගෙන දෙන හෙයිනි. දේශනා කෙළවර බොහෝදෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.
Monday, February 15, 2021
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...