Wednesday, February 10, 2021

දොළොස්වන පටාචාරා තෙරණියගේ වස්තුවයි

දොළොස්වන පටාචාරා තෙරණියගේ වස්තුවයි.


යො ච වස්සසතං ජීවෙ, අපස්සං උදයබ්බයං;

එකාහං ජීවිතං සෙය්‍යො, පස්සතො උදයබ්බයං.

(පංචස්කන්ධයන්ගේ) උදයව්‍යය (ඇතිවීම හා නැතිවීම) නොදක්නාවූ යම් පුද්ගලයෙක් ඉදින් අවුරුදු සියයක් ජීවත්වේ නමුදු (ඔහුගේ ජීවත්වීමට වඩා) උදයව්‍යය දක්නා භික්‍ෂුහුගේ එකදවසකුදු ජීවත්වීම උතුම්ය.

යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි පටාචාරා ස්ථවිරීන් අරභයා දේශනා කරනලදි.


ඕතොමෝ සැවැත්නුවර සතළිස්කෝටියක ධනසම්පතක් ඇති සිටුවරයෙකුගේ අභිරූපී දුවණියකවූවාය. මවුපියෝ ඈ සොළොසැවිරිදි වියේදී සත්මහල් ප්‍රාසාදයක උඩුමහලේ රැකවල් සහිතව ආරක්‍ෂා සහිතව වාසයකරවූශ. මෙසේ තිබියදීත් ඈ තමාගේ එක් සේවකයකු සමග නෝබිනා ආශ්‍ර‍යට වැටුණාය. ඉන්පසු ඇගේ මවුපියෝ සම ජාති කුලවත් එක් කුමාරයකු ගැන කතාබහ කරගෙන විවාහයට දින නියම කරගත්හ. දිනය ළංවූ විට ඈ ඒ තමාගේ සුළුසේවකයාට කථාකොට, මා අසවල් පවුලේ අසවලාට දෙන්නේය. මා පතිකුලයට ගිය පසු මගේ පණිවුඩයක් රැගෙන එන කෙනෙකුට පවා එහි ඇතුළට යෑමට අවසරයක් නොලැබෙයි. ඉතින් ඔබ මා කෙරෙහි ආදරයක් ඇත්නම් දැන්ම මා රැගෙන කොහේ හරි පලායන්නැයි කීවාය. හෙතෙම සොඳුර, යහපති. මම හෙට උදේ පාන්දරම නුවර දොරටුවේ අසවල් තැන සිටින්නෙමි. ඔබ කුමක් හෝ උපායකින් නික්මී එතැනට එන්නැයි කියා දෙවෙනි දිනයේ නියම කරගත් තැනට ගොස් සිටියේය.


ඈ දෙවෙනි දිනයේ කිළුටු ඇඳුම් ඇඳගෙන කෙස් මුදාහැරගෙන විසුරුවාහැර ධාන්‍යකුඩු ඇඟේ තවරාගෙන කළගෙඩියක්ද රැගෙන දාසයන් සමග යන්නියක මෙන් ගෙයින් පිටවී එකී තැනට ගියාය. ඔහු ඈත් සමග ඈත ගමකට ගොස් එහි නැවතී ආරණ්‍යයෙහි කෙතක් හදා සීසා දරකොළ ආදිය ගෙන එයි. අනිත් තැනැත්තිය කළයෙන් දිය ගෙනවුත් සියතින්ම වී කෙටීම් ආහාර පිසීම් ආදිය කරමින් තමන්ගේ පවෙහි විපාක විඳියි. පසුව ඇගේ කුස ගැබක් පිහිටියේය. ඈ පිරිපුන් ගැබ ඇතිව, මෙහි අපට කිසිම උදව් කරන්නෙක් නැත. මවුපියෝ දරුවන්ට මොළොක් හදවත් ඇත්තෝ වෙති. මා ඔවුන් ළඟට පමුණුවන්න, ඔවුන් ළඟදී මගේ දරුවන් ලැබී වියයුතුයයි කියමින් සැමියාගෙන් ඉල්ලාසිටියාය.


හෙතෙම, සොඳුර කුමක් කියන්නෙහිද, මා දුටු හැටියේම ඔබේ මවුපියේ නොයෙක් වධහිංසා කරන්නහුය. ඔබ හා සමග මට නම් එහි යාම අපහසුයයි ප්‍ර‍තික්ෂේප කෙළේය. ඈ නැවත නැවතත් ඉල්ලාසිටි නමුත් යාගත නොහැකිව ඔහු වනයට ගිය කල අසල්වැසියන් අමතා ඉදින් ඔහු අවුත් මා නොදැක කොහේ ගියාදැයි ඇසුවොත් මා තමන්ගේ ගෙදර ගියබව දන්වන්නැයි කියා යන්ටගියාය.


ඒ පුරුෂයාත් ගෙට අවුත් ඈ නොදැක අසල්වැසියන්ගෙන් ඒ පුවත අසා ඈ නවත්වාගන්නෙමියි ලුහුබැඳගොස් හමුවී නානාප්‍ර‍කාරයෙන් ඉල්ලාසිටි නමුත් නවත්වාගත නොහැකිවිය.


ඉන්පසු පිටත්ව යන අතර එක්තැනකදී ඈට විලිරුදාව හටගත්තේය. ඈ එක් ගස් අතරකට ගොස් සැමියාණනි, මට විලිරුජා හටගත්තේයයි කියා බිම නිදාගෙන ඉතාමත් දුකසේ දරුවා වදා අපි අපේ ගෙදරට යන කරුණ මෙහිදීම සිදු වූයේයයි නැවත ආපසු ගෙදර ගොස් වාසය කළහ. පසුකලකදී ඇගේ කුස තවත් ගැබක් පිහිටියේය. ඈ ගැබ මුහුකුරා ගියවිට පෙර පරිද්දෙන්ම සැමියාගෙන් යාච්ඤාකොට එය ඉටු නොවුණු හෙයින් පුතාත් වඩාගෙන පෙර පරිද්දෙන්ම පිටත්ව යනකල සැමියා පිටුපසින් අවුත් නවත්වා ගනු නොහැකිවිය. මෙසේ යන ඔවුන්ට අතරමගදී මහා අකල් වැස්සක් හමුවිය. හාත්පසම විදුලියවැලින් දිලිසෙන්නාක් මෙන්ද මේඝගර්ජනාවලින් අහස බිඳී වැගිරෙන්නාක් වැනි වර්ෂාධාරා නිපාතයෙන් පිරීගියේය. එකෙණෙහිම ඈට විලිරුදාවද ඇතිවිය. ඈ සැමියා අමතා, හිමියනි මට විලිරුදා ඇතිවිය. ඉවසීමත් අපහසුය. නොතෙමෙන තැනක් සොයන්නැයි කීවාය. ඔහු අතේ තිබුණු වෑයත් රැගෙන එහෙමෙහ සොයා යන අතර, එක් තුඹසක් මත වැවී තිබුණු පඳුරු කැලෑවක් දැක එය කපන්ට පටන්ගත්තේය. තුඹසේ සිටි ඝෝරවිෂ සර්පයෙක් ඇවිත් ඔහු දෂ්ටකෙළේය. එකෙණෙහි සිරුර ඇතුළේ ඇතිවූ විෂගිනිජාලාවකින් දැවෙන්නාක් මෙන් වී ශරීරය නිල්පැහැවී එතැනම ඇද වැටුණේය.


අනිත් තැනැත්තිය මහාදුකක් විඳිමින්, ඔහුගේ පැමිණීම බලාසිට ඔහු නොදැකම පුතකු වැදුවාය. දරුවෝ දෙදෙන වැසිවාත වේගය උහුලාගතනොහී මහහඬින් හඬන්නටවූහ. ඈ දරුවන් දෙදෙනාම බඩතුරුලට ගෙන අත්දෙකක් දණිස් දෙකත් පොළොවේ පිහිටුවා දරුවන් රකිමින් මුළු රැයම ගත කළාය. මුළු සිරුර ලේ නැතුව ගියක්මෙන් පඬුපැහැ ගැන්විණි. ඈ එළිවුණු පසු මස්වැදැල්ලක් වැනි දරුවා ඇකයෙන් ගෙන අනික් පුතාගේ ඇඟිල්ලෙන් අල්වාගෙන පුතා එන්න. ඔබේ පියා ගියේ මේ පැත්තටයයි කියා සැමියා ගිය පාරෙන් ගොස් ඔහු තුඹස උඩ මැරී වැටී නිල්වන්ව දරදඬු ගැහී තිබුණු සිරුර දැක මා නිසා මගේ සැමියා පාරේ වැටී මළේයයි හඬමින් විලාපකියමින් එතැනින් පිටත්ව ගියාය.


මුළු රැයමවැසි වැටී තනමත්තක් පමණ දියෙන් පිරුණු අචිරවතී ගඟ දුටු ඈ තම බුද්ධියේ මඳකම නිසා දරුවන් සමග දියට බසිනු නොහැකිව දෙටුපුතා මෙහා ඉවුරෙන් තබා ළදරුපුතා රැගෙන එහා ඉවුරට ගොස් අත්තක් කඩා දමා ඔහු එහි හොවා අනික් පුතා ගෙන එනු පිණිස දියට බැස ගොස් බාලපුතාගේ ඇඬීම නවතාගනු නොහැකිව නැවත නැවතත් නැවතී නැවතී ආපසු බලමන් ගියාය. ඈ නදිය මැදට ගියකල්හි එක් උකුස්සෙක් ඒ බිළිඳා දැක මස්වැදැල්ලකියි යන හැඟීමෙන් අහසින් බැස්සේය. පුතා නිසා එසේ බසින උකුස්සා දුටු ඈ දෑතින් අත්පුඩි ගසා සූ සූ කියා තෙවරක් මහහඬින් කෑගෑවාය. උකුස්සා දුරින් සිටි නිසා ඒ ශබ්දය නොඇසී බිළිඳා ඩැහැගෙන අහසට නැගී ගියේය. එහා ඉවුරෙහි සිටි පුතා මව නදියෙහි මැඳ සිටි දෑතින් මහහඬ නගන නිසා මට හඬගසන්නේයයි සිතා වේගයෙන් වතුරට පැන්නේය. මෙසේ ඇගේ බාලපුතා උකුස්සා ඩැහැගෙන ගියේය. දෙටුපුතා ජලය පැහැරගෙන ගියේය. ඈ මගේ එක පුතෙක් උකුස්සකු විසින් ගන්නාලදි. එකෙක් ජලපහර මගින් ගසාගෙන ගියේය. සැමියා පාරෙහිදී මළේයයි හඬමින් වැලපෙමින් යන්නී සැවැත්නුවර සිට එන එක් පුරුෂයකු හමුවී ඔබ කොහි වසන්නෙක්දැයි ඇසුවාය. මෑණියනි, මම සැවැත්නුවර වසමි. සැවැත්නුවර අසවල් වීථියේ මෙබදු පවුලක් වෙයි. ඒ ගැන ඔබ දන්නෙහිදැයි ඇසුවාය. මෑණියනි, එසේය මම එය දන්නෙමි. ඒ ගැන මගෙන් නොඇසුව මැනවි. වෙන ඕනෑම ඔබ දන්නා දෙයක් ගැන අසන්නැයි ඔහු කීවේය. මට වෙනත් දෙයකින් වැඩක් නැත. ඒ ගැනම අසමියි කීවාය. මෑණියනි, ඔබ මා වළකන දේම අසන්නෙහිය. අද මුළු රෑ පුරා වැසි වැස්ස බව දැක්කෙහිද? දරුව එසේය, දැක්කෙමි. ඒ වැස්ස මටම වැස්ස බව පසුව කියමි. දැන් ඒ සිටුගෙදරටවූ දෙය කියන්නැයි ඉල්ලා සිටියාය.


මෑණියනි, අද රෑ වැස්සෙන් සිටුවරයාත්, සිටුභාර්යාවත්, සිටුපුතාත් යන තිදෙනාම යටකරගෙන ගෙය කඩා වැටුණේය. ඔවුහු අර පෙනෙන එකම දරසෑයේ පිළිස්සෙති. අර දුම මෑණියනි, අර දුම පෙනෙන්නේ ඒ දරසෑයෙනි. ඈ ඒ වේලාවේ ඇඳ සිටි වස්ත්‍ර‍ වැටෙද්දීත් ඒබව නොදත්තාය. උමතුබවට පැමිණ උපන් හැටියෙන්ම හඬමින් විලාප කියමින්,


දරු දෙදෙනා නැසුණා


හිමියා මගදී මැරුණා


මව පියා සහ සොහොයුරු


එකම සෑයක දැවුණා


යනාදිය කියමන් දුවන්ට පටන්ගත්තාය. ඒ දුටු මිනිස්සු කුණුකසල ආදියද පස්ද ගෙන ඇගේ හිස මත දමා කැටකැබිලිතිවලින්ද පහර දුන්හ.


දෙව්රම්වෙහෙරෙහි අටපිරිස් මැද වැඩ හිඳගෙන දහම් දෙසමින් සිටි බුදුරජාණන්වහන්සේ එන්නාවූ ඈ දුටුසේක. ඈ කල්ප ලක්‍ෂයක් පිරූපාරමිතා ඇති අභිනීහාර ලැබූ තැනැත්තියකි.


ඈ වනාහි පියුමතුරාබුදුන්ගේ කාලයෙහි ඒ බුදුන් විසින් එක් විනයධර තෙරණියක් අතින් ගෙන නන්දන වනයෙහි තබන්නාක් මෙන් එතදග්‍ර‍ පාළියෙහි තබනු දැක, මමත් ඔබවහන්සේ වැනි බුදුකෙනකුන්ගේ හමුවෙහි විනයධර තෙරණියන්ගේ අග්‍ර‍ස්ථානය ලබම්වායි ප්‍රාර්ථනා තැබුවාය.


පදුමුත්තර බුදුරජාණන්වහන්සේ අනාගතය බැලිය හැකි නුවණ විහිදුවා ඒ පැතුම සිද්ධ වනබව දැක අනාගතයෙහි ගෞතමනම් බුදුන්ගේ සසුනෙහි මැය පටාචාරී නමින් විනයධර භික්‍ෂුණීන් අතර අග්‍ර‍ස්ථානය ලබන්නීයයි ප්‍ර‍කාශකළහ.


එසේ පැතූපැතුම් ඇති, විවරණත් ලබා ඇති දුරසිට එන්නාවූ ඈ දුටු බුදුරජාණන්වහන්සේ මැයට මාමිස වෙනත් කිසිවෙක් පිහිටවීමට සමත් නොවේයයි සලකා ඈ විහාරයට අභිමුඛව එන්නට සැලැස්වූහ. පිරිස ඈ දුටු හැටියේම මේ පිස්සියට මෙහි එන්නට ඉඩ නොදෙව්යයි කීවාහුය. බුදුරජාණන්වහන්සේ පහව යව්. ඈ නොවළක්වව්යයි කියා, සමීපයට ආකල්හි, නැගණිය සිහිඑළවා ගන්නැයි කීහ. ඈ එකෙණෙහිම බුද්ධානුභාවයෙන් සිහිය ලැබුවාය. එකල ඇඳසිටි වස්ත්‍ර‍ ගැළවී ගොස් ඇති බව දැන හිරිඔතප් ඇතිකරගෙන උත්කුටිකව හිඳගත්තාය. ඉන්පසු එක් පුරුෂයෙක් ඈ වෙත උතුරුසළුවක් විසි කෙළේය. ඈ එය ඇඳගෙන බුදුන් වෙත එළඹ රන්වන් පාදයෙන් පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, මට පිහිටවන්නැයි කියා, මගේ එක පුතෙක් උකුස්සෙකු පැහැර ගන්නා ලදි. අනිකා වතුරේ ගසාගෙන ගියේය. ස්වාමියා මාර්ගයෙහිදී මළේය. මව පියා සහ සොහොයුරා ගෙට යටවී මැරී එකම දර සෑයක දැවෙන්නෝයයි කීවාය.


බුදුරජාණන්වහන්සේ ඇගේ වචන අසා පටාචාරවනි, අමුත්තක් නොසිතව. ඔබට පිහිටවීමට, සරණ ලබාදීමට සමත් අය ළඟටම පැමිණියේයය වදාළහ. යම් ලෙසකින් ඔබේ එක් පුත්‍රයෙක් උකුස්සකු විසින් ඩැහැ ගත්තේද, අනිත්පුතා ජලයෙහි ගිළී ගියේද, ස්වාමියා මගදී මළේද, මව පියා සහ සොහොයුරා ගෙට යටවී මැරී ගියෝද, මෙසේ මේ සසර ගමනේදී පුත්‍රාදීන් මළ අවස්ථාවල ඇඬූ ඔබගේ දෑසින් වැගුරූ කඳුළු සතරමහා සමුද්‍රයෙහි ජලයට බොහෝ වැඩියයි වදාරා මේ ගාථාවද වදාළහ:


සතර මහා සාගර ජලයට වැඩී


බොහෝ කඳුළු දෑසින් වගුරා ඇත


මිනිසා ශෝකෙන් දුකෙන් පෙළෙනවිට


යහළුව ඔබ ඇයි තව පසුවෙන්නේ


මෙසේ ශාස්තෘන්වහන්සේ අනමතග්ග පර්යාය (කෙළවරක් නැති සසර පිළිබඳ විස්තරය) වදාරන විට ඇගේ ශරීරයෙහිවූ ශෝකය තුනීවී ගියේය. ඉන්පසු ඇගේ ශෝකය තුනීවී ගියබව දැන ශාස්තෘන්වහන්සේ ඈ අමතා පටාචාරාවෙනි, දූදරුවෝ වනාහි පරලොව යන්නාට පිහිටක්, සරණක් ආරක්‍ෂාවක් හෝ ලබාදීමට සමර්ථ නොවෙති. එහෙයින් ඔවුන් සිටියත් නැත්තාක් මෙනි. පණ්ඩිතයන් විසින් කළයුතුව ඇත්තේ සීලයෙන් පිරිසිදුව තමන්ගේ නිර්වාණගාමිණී මග වහවහා පිරිසිදු කරගැනීමයයි වදාරා දහම් දෙසමින් මේ ගාථාද ප්‍ර‍කාශ කළහ:


පුතුන් දූවරුන් පිට නෑයන්


වෙනත් අයෙකුගෙන් හෝ පිහිටක් නැත


මරුවා ඇවිදින් කැඳවන දවසෙදි


කිසිවෙකුනේ පිහිටක් නම් නොලැබේ


නුවණැතියෝ මේ බව වටහාගත්


සීල සමාදි ගුණයෙන් යුතුවෙති


නිවන් ගමන් යන පාරත් දැනගෙන


වහාම එය පිරිසිදු කෙරෙතී


දේශනාවසානයෙහි පටාචාරාව මහපොළොවේ පස් පමණවූ කෙලෙස් දවාලා සෝවාන්ඵලයෙහි පිහිටියාය. අනිත් බොහෝ අයත් සෝවාන්ඵලාදියට පැමිණියාහුය. ඕතොමෝ සෝවාන්ව ශාස්තෘන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියාය. ශාස්තෘන්වහන්සේ ඈ භික්‍ෂුණීන් වෙත යවා පැවිදි කළහ. ඈ උපසම්පදාවද ලබා සිඳීගිය ආචාරය නැවත ලැබූ හෙයින් පටාචාරා නමින්ම ප්‍ර‍කටවූවාය.


එක්දිනක් ඈ කළයෙන් වතුර ගෙන පා සෝදන විට ගළාගිය ජලය ටික දුරක් ගොස් සිඳීගියේය. දෙවෙනි වර වත්කළ විට ඊට වඩා දුරක් ගියේය. තුන්වෙනි වර ඊටද වඩා දුරක් ගියේය. ඈ එයම අරමුණු කොටගෙන තුන් වයස ගැන මෙනෙහි කරමින් මා පළමුවෙන් දැමූ වතුර මෙන් මේ සත්ත්වයෝ ප්‍ර‍ථම වියේදීත් මැරෙති. එයින් දුරට ගිය දෙවෙනි වර වත්කළ ජලය මෙන් මැදුම් වියේදීත් මැරෙති. එයිනුත් ඈතට ගිය තෙවෙනි වර වත්කළ ජලය මෙන් පශ්චිම වියෙහිදීත් මැරෙත්මැයි සිතුවාය. බුදුහු ගඳකිළියෙහි හිඳගෙනම ආලෝකයක් පතුරුවා ඈ ළඟ සිට කථා කරන්නාක්මෙන් පටාචාරාව එසේමයි. පංචස්කන්ධයන්ගේ උදාව හා නැසීම නොදන්නාගේ වර්ෂ සියයක් ජීවත්වීමට වඩා ඒ ස්කන්ධයන්ගේ උදයව්‍යය දකින්නාගේ එක් දිනක්, එක මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයයි කියා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:


පස්කඳුන් ඇති නැති


වීම නොදැන සියවසක්


ජීවත්වීමට වඩා


එදැන දවසක් සිටිනු යහපති


එහි අපස්සං උදයව්‍යයං යනු පඤ්චස්කන්ධයන්ගේ විසිපස් ආකාර ලක්‍ෂණයන් අනුව ඉපදීමත් නැතිවීමත් නොදක්නා පුද්ගලයායි. පස්සතො උදයව්‍යයං යනු ඒ පංචස්කන්ධයන්ගේ ඉපදීමත් මැරීමත් දකින්නාගේ එක් දවසක් ජීවත්වීම ශ්‍රේෂ්ඨ බවයි. දේශනාවසානයෙහි පටාචාරාව පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාය.

Tuesday, February 9, 2021

නිද්දාතන්‍දි සූත්‍රය

නිද්දාතන්දීසුත්තං
16
‘‘නිද්දා තන්දී විජම්භිතා (තන්දි විජම්භිකා (සී. පී.)), අරතී භත්තසම්මදො.
එතෙන නප්පකාසති, අරියමග්ගො ඉධ පාණින’’න්ති.
‘‘නිද්දං තන්දිං විජම්භිතං, අරතිං භත්තසම්මදං;
වීරියෙන (විරියෙන (සී. ස්‍යා. කං. පී.)) නං පණාමෙත්වා, අරියමග්ගො විසුජ්ඣතී’’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකළ වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“නින්ද, මැලිබව, බඩගිනි හෝ සීත ආදිය නිසා ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ උපක්ලේශ (සිත කිලිටිකරණ කාරණයන්) නිසා මෙහි සත්ත්‍වයන්ට ආර්‍ය්‍ය මාර්‍ගය නොපැනේ.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “නින්ද, මැලිබව, ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ දේ වීර්‍ය්‍යයෙන් පලවා හැරීමෙන් ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදුවේ

Na Uyane Ariyadhamma Thero

 


එකොළොස්වන සප්පදාස තෙරුන්ගේ වස්තුවයි.

8-11 එකොළොස්වන සප්පදාස තෙරුන්ගේ වස්තුවයි.

යො ච වස්සසතං ජීවෙ, කුසීතො හීනවීරියො;

එකාහං ජීවිතං සෙය්‍යො, වීරියමාරභතො දළ්හං.

මැලිවූ (කායික චෛතසික) වීර්යය නැත්තාවූ යම් පුද්ගලයෙකු ඉදින් අවුරුදු සියයක් ජීවත්වීමට වඩා දැඩිකොට වීර්යය වඩන භික්‍ෂුවගේ එකදවසකුදු ජීවත්වීම උතුම්ය.

යො ච වස්සතං ජීවෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි සප්පදාසක නම් තෙරුන් උදෙසා දේශනා කරනලදි.

සැවැත්නුවර එක් කුලපුත්‍රයෙක් බුදුන්නේ බණ අසා පැවිදිවී උපසම්පදාවක් ලබා, පසු කලක සසුනෙහි කලකිරී මා වැනි කුලපුත්‍රයෙකුට ගිහිවීම සුදුසු නොවෙයි. පැවිද්දේ සිටම මිය යෑම යෙහෙකැයි සිතා තමන් මියයන උපායක් සොයමින් හැසිරෙයි. ඉන්පසු දිනක උදෑසනම වැළඳූ භික්‍ෂූහු විහාරයට ගොස් ගිනිශාලාවේ සර්පයකු දැක ඌ එක් කළයකට දමා කළය වසාගෙන විහාරයෙන් පිටත්වූහ. කළකිරුණු භික්‍ෂුවත් වළඳා එනවිට ඒ භික්‍ෂූන් දැක ඇවැත්නි මේ කුමක්දැයි අසා ඇවත්නි මේ සර්පයෙකියි කීකල්හි ඔය කරන්ට යන්නේ කුමක්දැයි අසා මූ ඈත තැනකට දමන්නෙමුයි කීහ. ඔවුන්ගේ කථාව ඇසූ භික්‍ෂුව මේ සර්පයා ලවා දෂ්ට කරවාගෙන මැරෙන්නෙමියි එය ඉල්වාගෙන එක් තැනක හිඳගෙන ඒ සර්පයා ලවා තමන් දෂ්ටකරවාගන්ට වෑයම් කෙළේය. සර්පයා දෂ්ට කිරීමට නොකැමතිවිය. හෙතෙම කළය ඇතුළට අත දමා අත එහාට මෙහාට කාල් ගෑවේය. සර්පයාගේ කටඇර ඇඟිල්ල දැම්මේය. එහෙත් සර්පයා දෂ්ට කෙළේම නැත. හෙතෙම මූ විෂඝෝර සර්පයෙක් නොවේයයි ඌ හැරදමා විහාරයට ගියේය.

ඉන්පසු භික්‍ෂූහු, ඇවැත්නි, සර්පයා වීසි කෙළෙහිදැයි ඇසූහ. ඇවැත්නි, ඌ විෂඝෝර සර්පයෙක් නොවෙයි. නෑ ඇවැත්නි ඌ විෂඝොරයෙකි. පෙණය පුප්පා සූ සූ ගා ඌ පිම්බේය.

අපි ඌ අල්ලාගත්තේ ඉතා අමාරුවෙනි. ඔබ මෙසේ කියන්නේ කුමක් නිසාදැයි ඇසූහ. ඇවැත්නි, මම ඌ ලවා දෂ්ටකරවාගන්ට වෑයම් කළත් උගේ කටට ඇඟිල්ල දැමුවත් දෂ්ටකරවාගන්ට නොහැකිවිය. ඒ ඇසූ භික්‍ෂූහු නිහඬවූහ.

පසුව දිනක හිසරැවුල් බාන කරනවෑමියෙක් දැලිපිහි දෙකතුනක් රැගෙන විහාරයට ගොස් එකක් බිම තියා අනිකෙන් භික්‍ෂූන්ගේ හිස බායි. ඒ භික්‍ෂුව බිම තිබූ කඩකැත්ත රැගෙන මේකෙන් ගෙන සිඳගෙන මැරෙන්නෙමියි, එක් ගසකට බෙල්ල තබා කඩකැති තලය උගුරුදණ්ඩේ තබා, සිට, උපසම්පදා මාලකයේ පටන් තමන්ගේ සීලය ගැන කල්පනාකර එය නිර්මල සඳමඬලක් මෙන්ද, සුදෝසුදු මැණිකක් මෙන් ද පිරිසිදු බව දුටුවේය. එසේ තමන්ගේ නිර්මල සීලය බලය ඔහුගේ මුළුසිරුර පුරා සිහිය පැතිර ගියේය. හෙතෙම ප්‍රීතිය විෂ්කම්භනය (යටපත්කොට) කොට විදර්ශනා වඩා සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණ, දැළිපිහියක් රැගෙන විහාරය මැදට පැමිණියේය.

ඉන්පසු භික්‍ෂූහු ඇවැත්නි, කොහි ගියෙහිදැයි ඇසූහ. මේ දැළිපිහියෙන් උගුරුදණ්ඩ කපාගෙන මැරෙන්නෙමියි ගියෙමි. ඇවැත්නි, ඉතින් නොමැරුණේ ඇයි? මම දැන් පිහියකින් දිවි තොරකර ගැනීමට අපොහොසත් වෙමි. මම මේ පිහියෙන් ගළනාලය සිඳගන්නෙමියි නුවණ නමැති පිහියෙන් සියලු කෙලෙස් සිඳදැමීමියි කීහ. භික්‍ෂූහු මේ අය අභූතයෙන් නැති ගුණයක් කියන්නේ යයි භාග්‍යවතුන්වහන්සේට ඒ බව දැන්වූහ. භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ගේ වචන අසා,

මහණෙනි, රහතන්වහන්සේලා වනාහි සියතින් ජීවිතය තොරකර නොගනිති. ස්වාමීනි, ඔබවහන්සේ මොහු රහත්යයි කියනසේක්ද? මොහු රහත් වීමට උපනිශ්‍ර‍යසම්පත් ඇත්තෙක් නම් සසුනෙහි කලකිරුණේ ඇයි? මොහුට රහත් වීමට ඇති හේතුසම්පත් මොනවාද? කුමක් නිසා ඒ සර්පයා මොහු දෂ්ට නොකෙළේද?

මහණෙනි, ඒ සර්පයා ආත්මභාව තුනකට පෙර මොහුගේ දාසයෙකි. හෙතෙම තම ස්වාමියාගේ ශරීරය දෂ්ටකරන්ට උත්සාහ නොකෙළේය. මෙසේ ශාස්තෘන්වහන්සේ එක් කරුණක් පමණක් දැන්වූහ. එතැන් පටන් ඒ භික්‍ෂුව සප්පදාස නමින් ප්‍ර‍කට විය.

කාශ්‍යප බුදුන් කාලයෙහි එක් කුලපුත්‍රයෙක් ශාස්තෘන්වහන්සේගෙන් බණ අසා උපන් සංවේගයෙන් පැවිදිවී උපසම්පදාවත් ලබා පසු කාලයක සසුනෙහි කලකිරීම ඇතිවී තමන්ගේ එක් යහළු භික්‍ෂුවකට ඒබව දැන්නුවේය. ඒ භික්‍ෂුව මොහුට නිතර ගිහිබවේ ආදීනව කියා දුන්නේය. ඒ අසා ඔහු සසුනෙහි කැමැත්ත ඇතිවී පෙර කලකිරී සිටි කාලයෙහි කිලිටිවී තිබුණු ශ්‍ර‍මණ පරිස්කාර එක් ගල්පොකුණක ඉවුරේ තබා පිරිසිදුකරමින් සිටියේය. ඔහුගේ සහායකයාත් ළඟම වාඩිවී සිටියේය. ඉන්පසු ඔහුට කථාකොට, යහළුවාණනි, මම සිවුරු හැරීමට සිතූ කාලයෙහි මේ පිරිකර ඔබට දීමට සිතා සිටියෙමියි කීය. යහළුවා මෙසේ සිතීය. මොහු පැවිදිවී සිටියත් ගිහිවුවත් මට කමක් නැත. ඔහුගේ පිරිකර ගැනීම යෙහෙකි. එතැන් පටන් ඔහු, ඇවැත්නි, අපේ මේ ජීවිතයෙන් පලක් නැත. අපි කබලක් රැගෙන අනුන්ගේ ගෙවල්වලට පිඬුසිඟා යන්නෙමු. පුතුන් අඹුවන් සමග අල්ලාපසල්ලාප කරමු ආදිය කියමින් ගිහිභාවයෙහි ගුණ කීවේය. හෙතෙම ඔහුගේ කථා අසා නැවතත් කලකිරී, මොහු මම කලකිරුණු බව කීකල පළමුව ගිහිබවේ ආදීනව කියා දැන් නිතර එහි ගුණ කියයි. ඒ කුමක් නිසාදැයි සිතා, මේ ශ්‍ර‍මණපරිෂ්කාර කෙරෙහි ලෝභයෙන් බව දැන, තමන්ම තමන්ගේ සිත නවත්වා ගත්තේය.

මෙසේ කසුප් බුදුන් සමයෙහි එක් භික්‍ෂුවකගේ සිත කලකිරවූ හෙයින් දැනුත් අනභිරතිය උපන්නේය. එකල විසිදහසක් අවුරුදු මහණදම් පිරූ නිසා ඔහුට මේ අත්බවෙහි රහත්වීමට එම කරුණු උපනිශ්‍ර‍යවූයේයයි මේ කරුණ ඒ භික්‍ෂූහු බුදුරදුන්ගෙන් දැන නැවතත් මෙසේ විචාළහ. ස්වාමීනි, මොහු දැලිපිහිතලය ගළනාලයේ තබාගෙන සිටියදීම රහත්බවට පැමිණියේය. මෙතරම් සුළු වේලාවකින් රහත්මග ලැබිය හැකිද? එසේය මහණෙනි, පටන්ගන්නා ලද වීර්යය ඇති භික්‍ෂුවට පයක් ඔසවා එය බිම ත බන කාලය අතරතුර පය බිම තැබීමට පෙර රහත්මග උපදියි. කුසීත පුද්ගලයාට වනාහි අවුරුදු සියයක්වුවද ජීවත්වුවත් ඊට වඩා ආරද්ධවිරිය ඇත්තාගේ ක්ෂණමාත්‍ර‍ ජීවත්වීම ශ්‍රේෂ්ඨයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

කුසීතව වෑයමක් නැති සියක් වසරක් සිටියත්

දැඩි වීරියෙන් යුතු එක දිනය වැදගත් වේ.

එහි කුසීතො යනු කාමවිතර්කාදි තුන්වැදෑරුම් විතර්කයන්ගෙන් කාලය ගෙවන පුද්ගලයායි. හීනවිරියො යනු උත්සාහයක් නැති පුද්ගලයායි. විරියමාරභතො දළ්හං යනු දෙයාකාර ධ්‍යානයන් උපදවා ගැනීමට සමත් වීර්යයෙන් ආරම්භ කරන පුද්ගලයාය. සෙස්ස පෙරසේමය. දේශනාවසානයේ බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.

Monday, February 8, 2021

Vappa Theragatha

ඛත්තිය සූත්‍රය


ඛත්තියො ද්විපදං සෙට්ඨො, බලීබද්දො (බලිවද්දො (සී. පී.), බලිබද්දො (ස්‍යා. කං. ක.)) චතුප්පදං.
කොමාරී සෙට්ඨා භරියානං, යො ච පුත්තාන පුබ්බජො’’ති.
‘‘සම්බුද්ධො ද්විපදං සෙට්ඨො, ආජානීයො චතුප්පදං;
සුස්සූසා සෙට්ඨා භරියානං, යො ච පුත්තානමස්සවො’’ති.

මා විසිත් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“දෙපා ඇතියන්ගෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂඨය. සිවුපාවුන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨ ය. අඹුවන්ගෙන් බාල වයසෙහි සිටි බිරින්දෑ ශ්‍රේෂ්ඨය. පුතුන්ගෙන් පළමුව උපන් පුතා ශ්‍රේෂ්ඨය.”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
“සම්‍යක් සම්බුදු තෙමේ දෙපා ඇතියන්ගෙන් ශ්‍රේෂ්ඨය. සිව්පාවුන්ගෙන් ආජානීයයා ශ්‍රේෂ්ඨය.(කී දේ තේරුම් ගන්නා සතා) ශ්‍රේෂ්ඨය. අඹුවන්ගෙන් කියන දේ අසන කීකරු භාර්‍ය්‍යාව ශ්‍රේෂ්ඨය. පුතුන්ගෙන් මව්පියන්ට කීකරු පුතා ශ්‍රේෂ්ඨය.”

Na Uyane Ariyadhamma Thero

 


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...