බුද්ධානුස්සති භාවනාව – 25 කොටස “බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්යය”
Jan 23, 2021 | සිත නිවන භාවනා | 0
බුද්ධානුස්සති භාවනාව – 25 කොටස “බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්යය”
තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්‍ධය භාවනා වශයෙන් වැඩීමට උපකාරී වනු පිණිස නව අරහාදි බුදුගුණ පිළිබඳ කරන විස්තරයේ අද දින ඉදිරිපත් කෙරෙන්නේ ‘සත්‍ථා දේවමනුස්සානං’ ගුණය පිළිබඳව වේ.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිට්ඨධම්මික අර්ථයෙන් ද සම්පරායික අර්ථයෙන් ද නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථයෙන් ද දෙව් මිනිසුන්ට අනුශාසනා කරන හෙයින් ශාස්තෘ (සත්‍ථා) වන සේක.
දිට්ඨධම්මික අර්ථය යනු මෙලොවින් වන අර්ථයයි. තථාගතයන් වහන්සේ ලෝක සත්ත්වයා හට මෙලොව හිත වැඩ පිණිස අනුශාසනා කරන සේක. සම්පරායික අර්ථය යනු පරලොවින් වන අර්ථයයි. පරලොව හිත වැඩ බවයි. තථාගතයන් වහන්සේ ලෝක සත්ත්වයාගේ පරලොව හිත වැඩ පිණිස ද අනුශාසනා කරන සේක. මෙසේ මෙලොව පරලොව හිත වැඩ පිණිස අනුශාසනා කරන තවත් අය සිටිති. එහෙත් නිර්වාණය පිණිස අනුශාසනා කිරීමට සමර්ථ අන් කිසිවෙකුත් නැත. තථාගතයන් වහන්සේ ලෝකසත්ත්වයාට නිර්වාණ පරමාර්ථය පිණිස අනුශාසනා කරන සේක. එහෙයින් තථාගතයන් වහන්සේ ශාස්තෘ වන සේක.
අතීතයේ රට රටවල භාණ්ඩ වෙලෙඳාමේ නියුතු වෙළෙඳ කණ්ඩායම් සිටි අතර එය ගැල් සාත්තුවක් (සත්‍ථ) ලෙස හැඳින්වේ. ඒ ගැල් සාත්තුවක නායකයෙක් සිටි අතර (සත්‍ථවාහො) ඔහුගේ නායකත්වයෙන් ගැල් හිමිවරුන් සොරුන් සිටින කාන්තාරවලින්, සැඩ මෘගයන් සිටින කාන්තාරවලින්, ජලය නොමැති නිරුදක කාන්තාරවලින් සුවසේ එතෙර වෙති. එසේ නිරුපද්‍රිතව කාන්තාරයෙන් එතෙර වීමට ගැල්සාත්තු නායකයා අනුශාසනා කරයි. බෝසතාණන් වහන්සේ අතීත ආත්මභාවයන්හි මෙසේ ගැල් කණ්ඩායම්වලට නායකත්වය දී බොහෝ දෙනා නිරුපද්‍රිතව කාන්තාරවලින් එතෙර කරවූ බව අපණ්ණක ජාතකය, වණ්ණුපථ ජාතකය ආදියෙන් හෙළි වේ. එසේ ගැල්සාත්තුකරුවෙක් ගැල්කරුවන් කාන්තාරයෙන් එතෙර කරන්නාසේ තථාගතයන් වහන්සේ ද ලෝකසත්ත්‍වයන්ට මෙලොව පරලොව හිත වැඩ පිණිස අනුශාසනා කිරීමෙන් ඔවුන් ජාති කාන්තාරයෙන් එතෙර කරන සේක. එබැවින් තථාගතයන් වහන්සේ ශාස්තෘ නම් වන සේක.
දේවමනුස්සානං යන පදයේ අර්ථය වන්නේ දෙව් මිනිසුන්ට යන්නයි. මෙහි දී භව්‍ය පුද්ගලයන්ගේ වශයෙන් දෙව් මිනිසුන්ට ශාස්තෘ යැයි කියනු ලැබේ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන්ට පමණක් නොව තිරිසන්ගත සත්ත්වයන්ට ද අනුශාසනා කරන හෙයින් ශාස්තෘ වන සේක. ඒ තිරිසන්ගත සත්ත්වයන් ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයෙන් ලබන ලද උපනිශ්‍රය සම්පත්තිය ඇතිව ත්‍රිහේතුක ආත්මභාවයන්හි උපත ලැබ දෙවන හෝ තෙවන ආත්මභාවයන්හි මාර්ගඵල ලබත්.
දිනක් භාග්‍යවතුන් වහන්සේ ගග්ගරා නම් පොකුණු තෙර වැඩ හිඳිමින් චම්පා නගර වාසීන්ට දහම් දෙසන සේක. එකල්හි එක්තරා මැඬියෙක් පොකුණෙන් ගොඩට විත් භාග්‍යවතුන් වහන්සේගේ හඬට සවන් යොමු කළේය. මේ හඬ කිසියම් යහපත් ධර්මයක් ය යන අදහසින් යුතුව ඒ භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයේ නිමිත්ත ගත්තේය. එසේ ස්වරයේ නිමිත්ත ගෙන පිරිස් කෙළවර සිටිනා විට එක්තරා ගොපල්ලෙක් ද එතැනට පැමිණ තමා අත තිබූ දණ්ඩට බර දී ඔබාගෙන සිටියේය. එසේ කරන විට ඒ මැඬියාගේ හිස මත දණ්ඩ තිබූ බව ඒ ගොපල්ලා නොදත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ හඬට සවන් යොමු කරගෙන සිටි මැඬියාගේ හිස මත තිබූ දණ්ඩට බර දී සිටීම නිසා ඌ එතැනම මරණයට පත් විය.
එහෙත් ධර්මස්වරය කෙරෙහි පැහැදුණු සිතින් යුතුව සිටි ඒ මැඬියා කලුරිය කර එකෙණෙහි ම නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව fදාළොස් යොදුන් පමණ ඇති රන් විමනක උපන්නේය. එහි දිව්‍යප්සරාවන් සමූහයා විසින් පිරිවරන ලද ඒ තමන්ගේ අභිනව උත්පත්තිය පිළිබඳ විස්මයට පත් වී කුමන කර්මයකින් මෙහි උපන්නේ දැ යි සිහි කර භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයේ නිමිත්ත ගැනීම හැර අන් කිසිදු කුශල කර්මයක් නොදුටුවේය. එහෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේට කෘත ගුණ දැක්වීම් වශයෙන් වන්දනා කිරීමට එකෙණෙහි ම රන් විමන ද සමඟ එහි අවුත් භාග්‍යවතුන් වහන්සේගේ පා වැන්දේය.
භාග්‍යවතුන් වහන්සේ ද ඒ කර්මය හා කර්මඵලය පිළිබඳ මහජනතාවට කරුණු පැහැදිලි කර දෙනු පිණිස ‘කවරෙක් නම් මෙසේ ඍද්ධියෙන් ද පිරිවරින් දිලෙමින් වූ අති කාන්තිමත් ඡවි වර්ණයෙන් සියලු දිශාවන් ඒකාලෝක කරමින් මාගේ පා වඳී දැ’යි විමසූ සේක.
එහි දී ඒ මණ්ඩුක දෙව්පුත් තෙමේ තමන් පෙර ආත්මභාවයේ දියෙහි හැසිරෙන මැඬියෙකු වූ බවත් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ධර්මය දේශනා කරන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ස්වරයේ නිමිත්ත ගෙන සිටිය දී මියගොස් මෙසේ දිව්‍ය විමනක උපන් බවත් පවසා සිටියේ ය.
භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්පුත් හට දහම් දේශනා කළ අතර හේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියේය. සුවාසූ දහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය විය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ තිරිසන් සත්ත්‍වයන්ට නමුත් ධර්මශ්‍රවණයෙන් වන උපනිශ්‍රය සම්පත්තිය දැක ඔවුනට හිත පිණිස ධර්මානුශාසනය කරන හෙයින් ශාස්තෘ නම් වන සේක.
මෙසේ තථාගතයන් වහන්සේ ලෝකසත්ත්‍වයාට ධර්මානුශාසනය කිරීම ‘අනුශාසනා ප්‍රාතිහාර්ය’ නම් වේ. ඒ ධර්මානුශාසනය කෙළවර සත්ත්‍වයෝ ලෞකික ලෝකෝත්තර සැපයන්ට නො වරදවා ම පැමිණෙන්නාහ. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා තමන් වහන්සේ වෙත පැමිණෙන අයගේ සිත් බලා අදහස් අනුව, චරිතය අනුව දහම් දෙසන සේක. මෙලොව යහපත පිණිස දහම් දෙසීමට සුදුසු අයට මෙලොව යහපත පිණිසත් පරලොව යහපත පිණිස දහම් දෙසීමට සුදුසු අයට පරලොව යහපත පිණිසත් දහම් දෙසන සේක. දෙලොව ම යහපත සලසා ගත හැකි අයට දෙලොව ම යහපත වෙනුවෙන් දහම් දෙසන සේක. තමන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට තරම් නුවණ නැති අන්‍ය තීර්ථකාදීන්ට ඔවුනොවුන්ගේ ධර්මය ම ද පැහැදිලි කර දෙන බව දීඝ නිකායේ උදුම්බරික සූත්‍රාදියෙන් හෙළි වේ.
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන අයට ආනුපුබ්බීකථාවෙන් දහම් දේශනා කරන සේක. එනම් දානකථා, ශීලකථා, ස්වර්ගකථා, කාමයන්ගේ ආදීනවය, කාමයන්ගේ ලාමකබව, කාමයන් නිසා සත්ත්‍වයන් කිළිටි වන බව, නෛශ්ක්‍රම්‍යයේ ආනිශංසය යනාදි අනුපිළිවෙළින් දහම් දෙසන සේක. එසේ ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයාගේ සිත කෙළෙස්වලින් පිරිසිදුව නෛශ්ක්‍රම්‍යයට නැමෙන අතර චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැකි තත්ත්‍වයට පත් වෙයි. එසේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැකි අන්දමට සිත සකස් වූ බව දැනගන්නා තථාගතයන් වහන්සේ දුක්‍ඛය, සමුදය, නිරෝධය, මග්ගය යන චතුරාර්ය සත්‍යයෙන් ධර්ම දේශනය කරන අතර එය අවසානයේ ධර්මශ්‍රවණය කරන හේතු සම්පත් ඇති සත්ත්‍වයෝ මඟ පල නිවන් අවබෝධ කරගන්නාහ.
මෙසේ ඒ තථාගතයන් වහන්සේ ලෝක සත්ත්‍වයාට මෙලොව පරලොව අර්ථයෙන් ද නිර්වාණ පරමාර්ථයෙන් ද අනුශාසනය කරන බැවින් සත්‍ථා දේවමනුස්සානං නම් වන සේක.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි